Monday, March 25, 2013

අපේ බාප්පගෙ මිරිස් වගාව (ගජබින්නාලංකාරයේ පළමු කථා වස්තුව)

අපේ බාප්පා ගැන යන්තමින් විතර මගේ මුල් කියන පෝස්ටුවෙන් කිව්වා.

බාප්පා කොලුව කාලේ කන්තලේ පැත්තෙ ඉඩම් හම්බවෙලා වගා කොළා නොවැ. එක පාරක් එයා එහෙ ගොවි රජා හැටියට ත් තේරිලා තියෙනව. එක හැටියකට එක තැනක ඉන්න බැරි කමෙන් එයා ආපහු ගමට ඇවිත් මහගෙදර ඉඩම වගා කර ගෙන, අඩියක් පුඩියක් ගහගෙන, කාට හරි කෑගහගෙන, ආතල් එකේ හිටියා. එයා කොච්චර දක්ෂ ගොවියෙක්ද කියන එක මම පොඩි කාලෙ දැකලා තියෙනව. ඒ කාලෙ අපේ මහ ගෙදර අක්කර දෙකක ඉඩම (සහෝදර සහෝදරියො 8 දෙනෙකුට අයිති උනාට) බාප්පා තනියම වගා කරලා, එළවළු, බුලත් එහෙම පොළට ගෙනියලා තමන්ගෙ හැම ඕනෙ එපා කමක් ම පිරිමහගෙන ජීවත් වුනේ.

බාප්පා ඉතාම දක්ෂයි බොරු විදින්න. එයා බොරු විදිනවා විතරක් නෙවෙයි, අල්ලෙ පැළ කරනවා, පැකැට් කරනවා, තව තව ගොඩක් දේවල් කරනවා. මේ එයා දවසක් අපිට කියපු කතාවක්.

බාප්පා කන්තලේ තනියම මිරිස් හේනක් වගා කළා. ඒක කොච්චර සාරවත් ද කියනව නං, මිරිස් කඩන්න ගහට නගින්න වෙන තරම්. ඒක ට පාවිච්චි කරපු උදැල්ල ට ගහල තිබුණෙ ගංජ ගහකින් හැදුව මිටක් කියනවනෙ. ඒ මිටේ පවර් එකට උදේ වැඩ පටන් ගත්තහම එක දිගට ම වැඩ කරන්න පුළුවන් ලු.

දවසක් එයා උදේ ඉඳන් මිරිස් කඩලා කඩලා හරිම මහන්සියි. ඉතින් හිතුවලු ගහෙන් බැහැලා බීඩියක් බොන්න. ඉතින් ගහෙන් බැහැලා, ළඟම තිබුණු ගළකට හේත්තු වෙලා, කණේ ගහං හිටිය බීඩිය පත්තු කරගෙන, ගිණිකූර ඇතිල්ලුව ලු ගළේ. මෙන්න බොලේ එකපාරටම ගළ හෙල්ලෙන්න ගත්තලු. බාප්පත් බයවෙලා භූමි කම්පාවක් ද කියල බලනකොට තමයි, එයා මෙච්චර වෙලා ගළක් කියලා හේත්තුවෙලා ඉඳල තියෙන්නෙ නිදාගෙන හිටිය පතරංග සයිස් ඇතෙකුට බව දැක්කෙ. ඇතා දැක්ක බාප්පා බය බිරන්තට්ටු වෙලා   ආත බූත නැතුව කැළේ කඩාගෙන දුවලා. ඇතත් ළඟ ළඟම එළවං එනවලු.


බාප්පා දුවලා දුවලා ගිහිං ඉස්සරහට හම්බ වුණු අඩි සීයක් විතර උස ගහකට නැග්ගලු, ඇතාට ළං වෙන්නවත් බැරි. කොච්චර උසද කියනවනං ඒ ගහ, උඩට නැග්ගහම ඇතා පේන්නෙත් නිකං අර ඒ කාලෙ තිබුණ ගිණිපෙට්ටියෙ ඉන්න ඇතා සයිස් ලු. ගහේ උඩම අත්තකට නැගලා යන්තම් හුස්මක් කටක් අරන් බැලුවලු මේ මොන වගේ ගහක් ද කියලා. එතකොට තමයි දන්නෙ;

ඒක මිරිස් ගහක් බව.

ගජබින්නාලංකාරය මේ අයුරින් ආරම්භ කරමි.

මීට අපේ බාප්පගෙ අයියගෙ පුතා,
ඩ්‍රැකියා

පින්තූර ඉස්සුවෙ -
http://static.guim.co.uk/sys-images/Guardian/Pix/pictures/2010/8/23/1282575161155/Chillies-006.jpg
http://www.newsonair.nic.in/feature-image/Elephant-Tusker-running.JPG

වැඩිපුර බලපු ලිපි