අලුත් අවුරුද්ද සහ අපේ බාල කාලේ

අපි පුංචි කාලේ ඉස්කෝලේ වාර නිවාඩුව හරියටම මාසයක් ලැබෙනවා. මාර්තු මාසෙ මුළ ඉඳන්ම මට මතකයි, මම කොළ කෑල්ලක අවුරුද්දට තව දින කීයද කිය කියා ගණන් හදාගෙන තිබුණා. දැන් මතක් වෙනකොට ඒ කාලෙට ආපහු යන්න හිතෙන තරම්.

ඉස්සර අපි මේ කාලෙට ඉස්කෝලෙ යන්න කලින් උදේ ම නැගිටලා දුවන්නෙ වත්ත පහළ තියෙන කජු ගස් යටට. අපේ වත්තෙ කජු ගස් තුනක් තිබ්බා. අපේ අයියයි, මායි, මහප්පගෙ පුතාලා තුන් දෙනයි, තරඟෙට වගේ කජු ඇහින්දෙ. ඒ අහුළන කජු වලින් ලොකු ඒවා ගණන් කරලා අයින් කරනවා. ඉතුරු වෙන පොඩි ඒවා තමයි අපිට කන්න ඉතුරු වෙන්නෙ. අවුරුද්දෙන් පස්සෙ පාර දිගේ කජු ගන්න මිනිස්සු යනවා ඒකාලෙ. මට මතකයි අයියයි මමයි එක පාරක් කජු ගෙඩි දෙසීයක් විකුණලා රුපියල් 28/- ක් ගත්තා. ඒවයින් මොනවා කළා ද කියලා මට මතක නැතත්, මගෙ ‘මුල්‘ කියන පෝස්ටුවෙ කිව්වා වගේ අපි පොඩි කාලෙ හරි දුප්පත්. ඉතින් මොනව හරි අත්‍යවශ්‍ය දේකට තමයි ඒ සල්ලි ප්‍රයෝජනයට ගත්තෙ කියල මතකයි.

කජු පුච්චලා කන එකත් හරි ආශික් වැඩේ (ඒකාලෙ භාෂාවෙන් කියනව නම්). පොල් අත්තක් කඩලා ඊට උඩින් කජු දාලා, ඊටත් උඩින් පොල් අත්තේ ඉතුරු කොටස දාලා, ගිණි තියලා, පොල් කට්ටකින් තළ තළා කජු මද එකතු කරලා, අම්මටයි තාත්තටයි ත් දීලා තමයි කෑවෙ.

තව ආස කරපු දෙයක් තමයි කවඩි සෙල්ලම. අපේ ගෙදරට පහළ ගෙදර කවඩි පෙතක් තිබුණා. ඒ සාන්ති මාමගෙ ගෙදර. සාන්ති මාමා ගැන යන්තම් සඳහන් වුණා ළිඳක් කපපු කතාවෙ. සාන්ති මාමගෙ අක්කගෙ පුත්තු දෙන්නයි දුවයි. පුත්තු, එකෙක් බත් දාස, එයාගෙ අයියා සුදුවා. (ගමේ ගහපු කාඩ්) උන් දෙන්නයි, අහළ පහළ ළමයිනුයි උදේ හවස නැතුව කවඩි සෙල්ලම් කරනවා අවුරුදු නිවාඩුවට.

අපේ අයියා එක සැරයක් අවුරුද්දට උණ වෙඩිල්ලක් හැදුවා. ඒක හැදුවෙ තාත්තගෙ ඒ කාලෙ යාළුවෙක් වුණු ඥාණෙ මාමගෙන් අහගෙන. උණ බටයක් කපාගෙන, ඒකෙ පුරුක තියෙන කොණේ සිදුරක් හදාගෙන, ඒක ට යටින් ගින්දර දාලා, සිදුරට බූමිතෙල් දම දමා පැයක් විතර පිඹිනකොට, මට හිතුණා මේ මොන කරුමයක් ද කරන්නෙ කියලා. මම එක එක දේවල් කියද්දි, අයියා මට බැණ බැණ උණ වෙඩිල්ල පත්තු කරනවා. ‘බුම්‘ ගාලා සද්දයක් එනවා. ඊට පස්සෙ ආයෙ පැය බාගෙයක් විතර බූමිතෙල් දාලා පිඹිනවා. දැන් හිතෙනවා ඒකෙත් හරි ආතල් එකක් තියෙන්න ඇති කියලා. අන්තිමේ රෑට ගෙදර ලාම්පු පත්තු කරන්න තියෙනවා කියලා අම්මා බූමිතෙල් බෝතලේ උදුර ගත්තා. ඊළඟට ආව වෙසක් දවස් වල අයියම උණ වෙඩිල්ල පළලා වෙසක් කූඩුවක් හැදුවා.

අපේ මිදුලෙ තිබුණ අඹ ගහේ උඩ අත්තක ඔන්චිල්ලාවක් ගැට ගහන්නෙත් මම මයි. අයිය මට වඩා වැඩිමල් අවුරුදු හතරකින්. ඉතින් මම ඔන්චිලි පදින කාලෙ අයිය යාළුවොත් එක්ක වෙලේ එල්ලෙ ගහනව.

අවුරුදු කාලෙට ඉස්සර නම් තද පෑවිල්ලක් එනව. පෙබරවාරි ඉඳන් අප්‍රේල් මැද වෙනකම් හොඳට පායනව. ඉතින් වෙළේ නිකම් පිට්ටනියක වගේ එල්ලෙ ගහන්න පුළුවන්. ඒ කාලෙ හැම අවුරුද්දකම මහා පරිමාණ එල්ලෙ තරඟ දෙකක් තියෙනව. එකක් විවාහක විවාහක පිල් අතරෙ. අනික අපේ ගමයි අල්ලපු ගමයි අතරෙ. මට මතකයි එක පාරක් අපේ ගමේ ටීම් එකට අපේ තාත්තත් හිටියා. එයා කැච් එහෙම අල්ලන්නෙ බෝලෙ ට ස්ථාන ගත වෙලා, වටේ දුවන කෙනා දිහා බලාගෙනයි. අතට බෝලෙ ආව ගමන් ඉතින් දුවන මනුස්සය ගෙ පිට ඉවරයි.

ඉතින් මාත් කරන්නෙ මගෙ වයසෙ අයයි පොඩි උන් සෙට් එකයි අල්ලගෙන අපේ ගේ ගාව පොල් වත්තෙ එල්ලෙ ගහන එක. මැච් කීපයක් ගහලා හොඳටම හවස් වුනහම අනිත් උන් ගෙවල් වලට යනව. මායි බාප්පගෙ පුතා සුමේධ යි දෙපැත්තට බෙදිල තනියම එල්ලෙ ගහනව, බෝලෙ පේන් නැති තරම් අඳුරු වැටෙන කම්.

ගමේ අවුරුදු උත්සවයක් නම් ඒකාලෙ තියෙනවමයි. දැන් තියෙන්නෙ සිඟිති අවුරුදු උත්සව නෙ. ඒකාලෙ අපි කියන්නෙ බක මහ උළෙල කියල. ඒකෙ එනවුන්ස් කරන්න සැදී පැහැදී හිටිය එක්කෙනක්. ඒ තමයි අපේ කූඹිය මාමා. ඒත් අපේ බාප්පගෙ එහෙම හොඳ යාළුවෙක්. ගමේ හිටියා පරණ ඉස්කෝළෙ මහත්තුරු කීප දෙනෙක්. ඉන් එක්කෙනක් තමයි කටුවාලමුල්ලේ ජිනදාස කියන්නෙ. අවුරුදු උත්සවේ වුණත්, එල්ලෙ මැච් එක වුණත්, අඩුම තරමෙ මළ ගෙයක් වුණත්, එයාට මයික් එක නම් පේන් බෑ. මට මතකයි, සැරයක් එල්ලෙ මැච් එකක දි එයා
   ‘මට මහළු වයසේ
   බැරිය කවි ගායනා පෙර සේ‘ කියලා කිව්වා.

අපේ සීයත් හරි කවි කාරයෙක් ලු නේ. ඒ හැකියාව අපේ තාත්තටයි බාප්පටයි පිහිටලා තිබුණා. මේ තියෙන්නෙ ජිනදාස මහත්තයා ගැන බාප්පා ලියපු කවියක්,

කටුවලමුලු ගමටම කවි රස වැස්සූ
පවුලේ ගෞරවය බින්දුවටම බැස්සූ
දෙල් ගැට පොළොස් ගැට කැඩුමට කෙකි ඉස්සූ
වයි ජිනදාස කවියට හොඳටම පිස්සූ

ජිනදාස මහත්තයා ගැන වැඩිදුරට වෙන පෝස්ට් එකකින් කියන්නම්. මගෙ මාතෘකාව වුනේ අපි පොඩි කාලෙ අවුරුද්ද නෙ. ඉතින් ඔය වගේ, ඒ කාලෙ අවුරුද්ද හරිම ආස්වාදජනකයි. ඒ කාලෙ අපිට අවුරුදු කන්න ටීවී එකෙන්, ලොකු මුදලාලිලගෙන් උපදෙස් ලැබුණෙ නෑනෙ. දැන් ඉතින් අවුරුද්දත් හරිම කළබලයි.

කොහොම වුණත් බ්ලොග් අවකාශයෙ සැරි සරණ සියළුම දෙනාට

සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

12 comments:

  1. අදයි මේ පැත්තෙ ආවෙ. ෆලෝ කලෙමි !

    නව වසර සුභම සුභ වේවා !

    ReplyDelete
    Replies
    1. සුභම සුභ වේවා ! ලොකු සෑමා ටයි පොඩි සෑමා ටයි. :ඩී

      Delete
  2. //වයි ජිනදාස කවියට හොඳටම පිස්සූ//
    Y.ජිනදාස නෙවේ K.ජිනදාස නේද??? ( K for කටුවලමුලු ) :D

    ඩ්‍රැකීටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා, එසේම වේවා !
      වයි. කිව්වෙ එයාගෙ වාසගම, ඒක මගෙ එකමයි. එයා අපේ තාත්තලගෙ බාප්පෙක් වෙනවලු.

      Delete
  3. අද තමයි මේ අඩවිය හමු උනේ. ඔන්න ෆොලොවක් එහෙමත් දැම්මා. පහුගිය පොස්ට් ටික ඔක්කොම කියවන්න ඕන.

    මම දිගටමේ මේ පැත්තේ එනවා හොඳේ.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වෙල්කම්. මම තාම පටන් ගත්තා විතරයි වගේ. දිගටම එන්න. ඒක මට ලොකු හයියක්.

      Delete
  4. දැන් කාලෙ ළමයින්ට මාසයක් නිවාඩු නොදෙන එකනම් හරි පව්. දෙන කෙටි නිවාඩුවටත් ගෙදර වැඩ, පාඩම් කරගෙන එන්න දෙනවනෙ.
    අපේ අය්යත් පොඩිකාලෙ උණබට තුවක්කුවක් හදලා, ඒකෙ සිදුරක ඇඟිල්ල හිරකරගෙන, බොහොම අමාරුවෙන් බේර ගත්තෙ. ඔය වගෙ සිද්දි මතක් වෙන්නෙ මේ විදිහට තව කවුරුහරි මතකය අවදි කරොත්ම තමා. :)

    ReplyDelete
    Replies
    1. නිවාඩුව නම් හොඳටම මදි. ළමයින්ගෙ ළමා කාලය හැම පැත්තෙන්ම සීමා වෙලා තියෙන්නෙ.
      ඉතින් ඔයාගෙ මතක සටහනුත් ලියන්න. අපි ඉන්නව කියවන්න.

      Delete
  5. ඔය කිව්වට හුළු ඇත්තෙන් කජු පුච්චන එකෙන් කජ්ජේ හරියට පිච්චෙන් නෑ. පස්සේ කන්න ගියාම කුරුට්ට යන්නෙත් නෑ. ඉටි වගේ කටේ ඇලෙනවා. අපි නම් පරණ ටකරන් තහඩුවක් ගන්නේ. ඇල්ලෙන් එක පාරක් පොඩි කලත් ඇති අපුරුවට් කුරුට්ට ගැලවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕන් බලන්නකො, නවීන තාක්ෂණේ දියුණුව...

      Delete
  6. දැන් සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වට වැඩක් නෑනේ බං. නමුත් අපිව හිතෙන් අතීතයට කැන්දාගෙන ගිය පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... මාත් හිතෙන් අතීතෙට ගියා. එතකොට මතකෙට ආව එව්වා ඔහේ ලිව්වා. වැඩ අධිකයි ඒ වෙලාවෙ. ඉතින් සංස්කරණයක් කළේ නෑ.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ලබ්බෙ මගුල

මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම: මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගු...

ගොඩක්ම කියවපු ලිපි