තෙවන සියවසේ ලක්දිව පැවති බැංකු ක්‍රමය පිළිබඳ තතු හෙළි කරන තෝනිගල ගිරි ලිපිය (දිවිතියික මූලාශ්‍ර ඇසුරිනි) - මේකත් දැනට හරියටම අවුරුදු දෙකකට කලින් සඟරාවක පළ කළ එකක් නිසා, ලියා ඇති ශෛලිය කියවීමට අපහසු වන්නේ නම් කණගාටුව පළ කරමි.


පැරණි ලෝකයේ පැවති මුල්ම බැංකු, ආගමික ගොඩනැගිලි තුළ ස්ථානගත ව පැවති බව සැළකිය හැකිය. මුදල් භාවිතයට ද බොහෝ පෙර සිට පැවතුනු මේ ආයතන, ඇරඹෙන්නට ඇත්තේ ක්‍රි. පූ. තෙවන සහස්‍රයේ තරම් ඈතකදී ය. මේවායේ තැන්පතු බොහෝවිට අතිරේක ධාන්‍ය අස්වැන්න වූ අතර, පසුකාලීනව අනෙකුත් හුවමාරු ද්‍රව්‍ය වන කෘෂිකාර්මික උපකරණ, සහ රත්රන් වැනි දුර්ලභ ලෝහ වර්ග බවට මාරු විය. මෙසේ බැංකු ක්‍රමය, මුදල් භාවිතයේ පරිණාමය හා සමඟම දියුණු වූ බව පෙනේ. ආගමික ගොඩනැගිලි ශක්තිමත්ව හා කල් පවතින ලෙස තනා තිබීමත්, සොරකම් අධෛර්යවත් වන පරිද්දෙන් ඒවා වටා ගොඩනැගී පැවති සංකල්පීය විශ්වයත් හේතුවෙන් අපරදිග ලෝකයේ බැංකු ක්‍රමය, ආගමත් සමඟ අත්වැල් බැඳගෙන සංවර්ධනය විය. ජේසුතුමන් විසින් දේවස්ථානයේ සිටි මුදල් පොළී කරන්නන් පළවා හරිනු ලැබීමේ සිදුවීම මෙම තත්ත්වය පැහැදිළි කරන උදාහරණය කි.

ක්‍රි. පූ. දෙ වන සියවසේ බැබිලෝනයේ දේවස්ථාන පූජකයන් විසින් පවත්වාගෙන ගිය ණය පිළිබඳ පැහැදිළි වාර්තා දැනට හමු වී තිබේ. එසේම, ක්‍රි. පූ. 1760 පමණ කාලයට අයත් වන හමුරාබි රජුගේ නීති මගින්, බැංකු කටයුතු පාලනය කිරීමේ නීති සාධාරණීකරණය කරන්නට වෑයම් කර ඇති බව පෙනේ. මීට අමතර වශයෙන්, පුරාණ ග්‍රික සහ රෝමානු වාර්තා තුළ වඩා පැහැදිළි ලෙස ණය දිම, පොළීකරණය සහ තැන්පතු භාරගැනීම කෙරුනු ආයතනික ව්‍යුහ පිළිබඳ කරුණු දැක්වේ.
පුරාතන බැංකු ක්‍රමය අපරදිග ලෝකයට පමණක් සීමා නොවූවක් බවට, දැනට ලංකාවෙන් සොයාගෙන ඇති හොඳම සාධකය සටහන් වන්නේ තෝනිගල ගිරි ලිපිය ලෙස ප්‍රකට අභිලේබනය තුළය. මෙය පිහිටියේ උතුර, නැගෙනහිර සහ උතුරු මැද යන පළාත් වල සීමාවෙහි, තිලක්කුමලය නම් පෙදෙසේ තෝනිගල හෙවත් නාගරගල ලෙස හැඳින්වෙන ගල් තළාවෙහි ය. මෙම ස්ථානය, වවුනියාව සිට හොරොව්පොතාන ට දිවෙන මාර්ගයේ 6 වන සැතපුම් කණුවට සැතපුම් 1/2 ක් පමණ උතුරින් පිහිටා තිබේ.


මහසෙන් රජුගේ පුත් සිරිමෙවන් රජතුමා ගේ (ක්‍රි. ව. 303 - 331) තෙවන රාජ්‍ය වර්ෂයේ ලියැවුනු බව සඳහන් වන මෙහි, ඇතුළත් වන්නේ දේව නමැත්තෙකු යහිසපවය නම් නව විහාරයේ පැවැත්වෙන අරියවංශ වෘත්තිය වෙනුවෙන් දන්වැට සැපයීම සඳහා, කළහුමනක නම් නියම්ගම හි ධාන්‍ය තැන්පත් කොට ලැබෙන පොළිය යෙදවීමට නියම කිරීමකි. බැංකු ක්‍රමය, පොළී අනුපාත පිළිබඳ තොරතුරු වලට අමතරව මෙම ලිපියෙන් එවක පැවති සාමාජයේ විවිධ අංග පිළිබඳව ද තොරතුරු හෙළිදරව් වේ.


තෝනිගල ගිරිලිපියේ පෙළ

සි පුවිය මහසෙන මහරජ පුත සිරිමෙකවණ අබ මහරජහ චත ලෙගි
තක තිනවනක වසහි නකරහි උතර පසහි කළහුමනක නියම තනහි සිය අ
චිය කිණියෙනි නිකත කඩුබලගමකෙහි වසනක අමෙති පහෙජ සිවය
හ පුත දෙවයහ යහිසපවය නව වහෙරකෙහි දින අරියව
ස වටවි දෙහකඩ දසඅමණක විඉච සඅමණක
උදි ඉච බයලි දස අමණ ඉච මෙදෙහකඩ දස අ
මණක වි පිටදඩහසහි වෙඪ අකලහසහි වෙඪ ම
දෙහසහි වෙඪ පචවිසිය අමණක වීඉච මෙසඅමණක උදිහි
වෙඪ එකඅමණ දෙපෙකඩක උදි ඉච දස අමණක බයලිහි වෙඪ අ
මණ දෙපෙකඩක බයලි ඉච මෙවතක වනහි ගහෙ කිණිය චිටවය වෙ
ඪගෙණ තිණඩහකට දනවට ඉච අතරකජක වට ඉච අතරකජ
(පරි) කර යපෙනි ඉච දි මියවට පෙණිතිල ඉච බුන තෙල ඉච ලොණ ඉච
පලහවට ඉච වෙටයල ඉච වහෙරග ගසරප පවතහි
මිලිය පදිය ඉච මෙව (තක) වෙඪ වතක ගෙණ වනය ව (න) ය
අතොවසහි නිකමනිය වදපුණමස දොළසපක දිවස
(අ) රියවස කරන මහ බිකු සග හට නියත කොටු යහිසපව (තන)
ව වහෙරකහි දිනි

අර්ථය

යහපතක් වේවා! පෘථිවීශ්වර මහසෙන් මහරජුගේ පුත් ශ්‍රී මේඝවර්ණාභය මහරජු සේසත් නැගූ තුන්වන වර්ෂයෙහි නගරයේ උතුරු පස කාළ සුමන නම් නිගම් ස්ථානයෙහි තමන් පරිත්‍යාග කරන ලද බද්දෙන්, තබන ලදි. කඩුබලගමෙහි වසන අමාත්‍ය පහෙජ සිව ගේ (පහෙජ යනු පර්ෂද් යන අර්ථය යැයි සැළකේ. ඒ අනුව, මෙය අමාත්‍ය පර්ෂදයට අයත් සිව හෝ අමාත්‍ය පර්ෂද් ඇති සිව යන තේරුම ගනී.) පුත් දේව, යහිස නම් පර්වතයේ නව විහාරයට දෙන ලද ආර්යවංශ වෘත්තිය කෙසේද යත්,
දෙයාළ දස අමුණක් වී ද, සය අමුණක් උඳු ද, මුං දස අමුණක් ද යන මෙයින් මෙකී දෙයාළ දස අමුණක වීයෙන් පිටදඩහස නම් කන්නයෙහි, යළ කන්නයෙහි සහ මහ කන්නයෙහි පොළිය වන විසි පස් අමුණක වී ද, සය අමුණක උඳු වල පොළිය වන එක් අමුණු දෙපෑළක උඳු ද, දස අමුණක මුං වල පොළිය වන අමුණකුත් දෙපෑළක මුං ද යන මේතාක් වන දෙය හි මුල් තැන්පතුව තබා, පොළිය ගෙන,
ගැල් තුනක් දන්වැට ද, අතුරුපස ද, අතුරුපස සඳහා වන පරිවාර දේ ද, දී මීපැණි වෘත්තිය හා පැණි තල ද, දුන්තෙල් ද, ලුණු ද, පළා ද, කහ අල ද, විහාරයට පිවිසීමේ මූල්‍ය දීමනාව ද, යන මේතාක් දේ පොළී වෘත්තිය ගෙන, එන එන වර්ෂයෙහි නිකිණි මස පුර දොළොස්වක දවසේ ආර්යවංශ ප්‍රතිපදාව කරන මහ භික්ෂු සංඝයා හට නියත කොට යහිස පර්වතයේ නව වෙහෙරට දෙන ලදි.

විමසුම

පුරාණ ලක්දිව, නිගම ස්ථානයක් හෙවත් නියම් ගමක් යනු, යාබද ගම් කිහිපයක වැසියන් සිය වෙළෙඳ කටයුතු උදෙසා රැස්වූ ස්ථානයයි. මෙවැනි නිගම ක පරිපාලන නිති පිළිබඳව බදුලු ටැම් ලිපියේ ද සඳහන් වේ. එහි, නියම්ගම ට ගෙන එන වෙළෙඳ බඩු සහ සතුන් ගැන සහ වෙළෙඳාම ගැන මෙන්ම, අල්ලස් ගැනීම, යුක්තිය පසිඳලීම සහ අපරාධ වලට දිය යුතු දඬුවම් පිළිබඳව ද සටහන් කර තිබේ. එයින් ම, මෙවැනි ස්ථානයක කටයුතු වල සංකීර්ණ බව වටහා ගත හැකිය. මෙම ගිරි ලිපියේ සඳහන් පරිදි කාළ සුමන නම් ස්ථානය ද එවැනි ප්‍රාදේශීය වෙළෙඳ මධ්‍යස්ථානය කි.

මෙම අභිලේබනයේ සඳහන් වන දේව නමැත්තා සිය අතිරේක ධාන්‍ය කොටස් මෙකි නිගම් ස්ථානයෙහි ආයෝජනය කොට එහි පොළියෙන් දානමය පිංකමක් අවුරුදු පතා සිදු කෙරෙන සේ නියම කර ඇත. මෙය වර්තමානයේ පවතින ස්ථාවර නියෝගයක් වැනිය. ක්‍රි. ව. තෙවන සියවස වන විට ලක්දිව පැවති ආර්ථික කටයුතු වල දියුණු ස්වභාවය මෙයින් මොනවට පැහැදිළි වේ. ඊට අමතරව, මෙහි පොළී අනුපාතයන් ද, සඳහන් කර තිබේ. එහි එන කරුණු අනුව, වී, උඳු සහ මුං සඳහා වෙනස් පොළී අනුපාත හඳුනා ගත හැක. ඒ අනුව, වී සඳහා වාර්ෂික පොළිය 50%කි. උඳු සඳහා 25% ක් ද, මුං සඳහා 15% ක්ද වශයෙන් පොළිය නියම කර තිබේ. එසේම, මේවා ස්ථාවර පොළී අනුපාත වේ. නැතහොත්, මෙය අද දවසේ දක්නට ලැබෙන ස්ථාවර තැන්පතු ක්‍රමය ට සමාන බව පෙනේ.

අතිරේකව උකහා ගත හැකි කරුණූ

අභිලේබනයක මූලිකම අතුරු වැදගත්කම වන්නේ, භාෂාවයි. ක්‍රි. පූ. තෙ වන සියවසේ සිට ක්‍රි. ව. පස්වන සියවස වනතෙක් කාලය තුළ ලංකාවේ භාවිත වූ භාෂාව සිංහල ප්‍රාකෘත ලෙස හැඳින්වේ. මෙම ලේබනයේ එන වචන හා වාග් යෙදීම් ගැඹුරින් පිරික්සීමේදී, ප්‍රාකෘත සිට අද සිංහල දක්වා භාෂාව පරිණාමය වීමේ සංක්‍රාන්තික ලක්ෂණ දැකගත හැක. මෙය පාළිය සිංහලයේ මාතෘ භාෂාව වූ බවට ඇති සමහර විද්වතුන්ගේ මතය තහවුරු කිරීම සඳහා සාධක වශයෙන් ද යොදා ගැනේ. එය විවාදාපන්න මැයක් වන අතර, වෙනම ලියවිල්ලක් මඟින් සාකච්ඡා කළ යුතු තරම් පුළුල් කරුණ කි. 

සැකෙවින්,
දීර්ඝ ශබ්ද කෙටි වීම, (උදාඃ දේව - දෙව),
මහප්‍රාණ ශබ්ද අල්පප්‍රාණ වීම, (උදාඃ භික්ෂූ සංඝයා - බිකු සග),
ශබ්ද සංයුක්ත කේවල වීම (උදාඃ උත්තර පස්ස - උතර පසෙ),
ඝෝෂ ශබ්ද අඝෝෂ ශබ්ද වීම (උදාඃ නගර - නකර) මෙන්ම,
සමහර විට අඝෝෂ ශබ්ද ඝෝෂ ශබ්ද වීම (උදාඃ සකට - හකඩ) වැනි ලක්ෂණ මෙම ගිරි ලිපියෙහි ප්‍රකට ව දැකිය හැක.

දේශපාලන වාතාවරණය

මහසෙන් මහරජුගේ කාලයේ දී පැවති ආගමික වියවුල් සමථයකට පත්වීමෙන් පසු, ලංකාවේ සෑහෙන කාලයක් පුරාවට දේශපාලන සංහිඳියාවක් පැවති බව ඓතිහාසික තොරතුරු වලින් අනාවරණය වේ. වසර 27ක් මහසෙන් රජු හට ද, වසර 28 ක් සිරිමෙවන් රජු හට ද රජකම් කළ හැකි වූයේ ද, මහසෙන් රජ හට මහා වැව් පහක් ඉදි කළ හැකි වූයේ ද, සිරිමෙවන් රජහට හස්ත කර්මාන්ත රට පුරා ප්‍රචලිත කළ හැකි වූයේ ද සමකාලීන දේශපාලනික ස්ථාවර භාවය හේතුවෙනි. මෙම තත්ත්වය තහවුරු කෙරෙන සාධක තෝනිගල ගිරි ලිපියෙන් සෘජුව සපයාගත නොහැකි වුව ද, ඒ සඳහා බොහෝ අනියම් සාක්ෂි ඉන් සොයාගත හැක.
වී කන්න තුනක් වගා කළ බව මෙම ලිපියේ සඳහන් වේ. පිටදඩහස, අකළහස සහ මදෙහස යනු එකී කන්න තුන බව ට බොහෝ විද්වත්තු එකඟ වෙති. ස්ථාවර ලෙස කන්න තුනක් වගා කිරීමටත්, ලැබෙන අස්වැන්න තුළින් ස්ථාවර පොළියක් ලබා දීමටත් නිගම් ස්ථානයේ පරිපාලනය සමත් වූයේ, අහස් දිය මත යැපීමෙන් නොවන බව පැහැදිළි ය. එනම්, එම ප්‍රදේශයේ මනා ජලවහන රටාවක් පවතින සේ වාරි කර්මාන්තය සකස් කර තිබූ බව ය. දේශපාලන වියවුල් පැවතියේ නම්, වාරි මාර්ග බිඳ වැටී, කෘෂිකර්මාන්තය අඩාල වී, දන්වැට කෙසේ වෙතත්, ජන ජීවිතය පවා බිඳවැටෙනු ඇත.

නිගම් ස්ථානයේ කටයුතු ස්ථාවරව දිගු කාලයක් පවතිනු ඇති බව ගිරි ලිපිය පිහිටවූ දේව නම් ප්‍රභූ වරයා අපේක්ෂා කළ බව මෙම ලිපියෙන් පෙනේ. අභිනව විහාරයක පැවැත්ම අස්ථාවර ව්‍යාපාරයක් මත රඳාපවතින සේ දේශපාලනික ප්‍රභූ වරයෙක් කටයුතු නොකරයි. එය ඔහුගේ සාමාජීය ප්‍රතිරූපයට හාණියක් ද විය හැකි බැවිනි. මෙවැනි ව්‍යාපාරික ස්ථාන වල ස්ථාවරත්වය ද, රාජ්‍යයේ ස්ථාවරත්වය පිළිබඳ පිළිබිඹුව කි.

රජයේ තනතුරු බලාපොරොත්තු වන අය ආගමික හා සාමාජීය කටයුතු වල නියැළෙමින් සිය ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ සම්ප්‍රදායක් පැවතුනු බවට ඉඟියක් මෙම ගිරි ලිපියෙන් සැපයේ. දේව නමැත්තා, අමාත්‍ය වරයෙකු ගේ පුතෙකු වන බව මිස වෙනත් විශේෂණයකින් තමා හඳුන්වා නොගනියි. එහි අදහස වන්නේ, ඔහු එවකට කිසිදු අයුරක පරිපාලනමය තනතුරක් නොදරන ලද බව ය. එවැනි ප්‍රභූ අංකුරයක් මෙවැනි මනා ලෙස සංවිධානය කරන ලද සාමාජීය කෘත්‍යයක් ඉටු කිරීම එක් ආකාරයකට, අනාගත රාජ්‍ය පරිපාලනමය තනතුරක් කරා ළඟා වීම ට ඔහුගේ ඇති සුදුසුකම් ප්‍රකාශ කිරීමක් ලෙස ද දැකිය හැක.

ආගමික කටයුතු

යහිසපවය ලෙස හැඳින්වෙන විහාරය අලුතින් ඉදිකරවන ලද්දක් බව මෙම ලිපියේ සඳහන් වේ. අභිනවයෙන් පිහිටුවන ලද වෙහෙරේ පිංකම් උදෙසා අවශ්‍ය වන විශාලතම ආධාරය වන්නේ දන්වැට හා ආශ්‍රිත වියදම් වන හෙයින්, එම භාරය එළඹෙන සෑම වසරක් පාසා ම ආවරණය වන සේ ස්ථාවර ක්‍රමයක් මෙම ගිරි ලිපිය මඟින් සළස්වා තිබේ.
එසේම, ආරියවංශ වෘත්තිය ක්‍රි. ව. තෙවන සහ සිවුවන සියවස් වල උත්කර්ෂවත් ලෙස පවත්වන ලද ආගමික උත්සවයක් බව මෙම ලිපියෙන් තහවුරු වේ. බුද්ධ වංශය පිළිබඳව දේශනා පැවැත්වීම සහ ආශ්‍රිත කටයුතු ආර්යවංශ උත්සවය යි. මෙම කටයුත්ත සමඟ බැඳුනු කතා පුවත් ක්‍රි. පූ. දෙවන සියවස ආශ්‍රිතව ලියැවුණු සීහලවත්ථුප්පකරණය සහ තවත් එවැනි ග්‍රන්ථ වල දැකිය හැකිය. එම උළෙල ඉන් ඉදිරියට ද පැවතුණු බව මෙම ගිරි ලිපියෙන් පෙනේ. තවද, මෙම විහාරයේ ආර්යවංශ දේශනා පවත්වන ලද දිනය, නිකිණි මස පුර දොළොස්වක ලෙස ද මෙහි නිශ්චිත වශයෙන් දක්වා ඇත.

මීට අමතර වශයෙන්, සංඝයා වහන්සේ වෙත පිරිනැමුණු දානය ට අඩංගු දේ පිළිබඳව ද මෙම ලිපියෙන් උගත හැක. ඒ අනුව, ප්‍රධාන දන්වැට ට අමතරව, අතරකජක හෙවත් අතුරුපස හා ආශ්‍රිතව, දී කිරි, මී පැණි, පැණි තළ, දුන්තෙල්, ලුණු, පළා ආදියද, සිවුරු පඬුපෙවීම සඳහා කහ අළ ද දානය ට ඇතුළත් කර ඇත. මෙම දානය සපයන්නේ, ධනවත් ප්‍රභූ වරයෙක් විසින් වන හෙයින්, මෙම ලැයිස්තුව සමකාලීන සමාජයේ උසස් යැයි සම්මත ආහාර වට්ටෝරුව ලෙස සැළකිය හැක.

සාමාජීය තොරතුරු

නිගම් ස්ථානයක කටයුතු පිළිබඳ යම් පමණක චිත්‍රයක් මවා ගැනීමට මෙම ලිපිය ඉවහල් වන බව ප්‍රකට ව පෙනෙන ලක්ෂණය යි. ඊට අමතර වශයෙන් කෘෂිකාර්මික කටයුතු, ආගමික පසුබිම හා අශ්‍රිත සංස්කෘතිය පිළිබඳවද මෙම ලිපියෙන් උකහා ගත හැකි තොරතුරු බොහෝ වේ.
මිණුම් ක්‍රම, මෙම ලිපියේ දක්නට ඇති එක් සාමාජීය තොරතුර කි. එවකද, අස්වැන්න මණින ලද්දේ, මේ දක්වා ම පැවත එන යාළ, අමුණ, පෑළ යන ඒකක වලිනි. ඒවා, මෙම ලිපියේ දක්වා ඇත්තේ පිළිවෙලින්, හකඩ, අමණ සහ පෙකඩ යන වචන වලිනි.
මෙකී මිනුම් ක්‍රමයේ චක්‍රය පහත පරිදි වේ,

යාළ 1 - අමුණු 20
අමුණු 1 - පෑල් 4

මෙකල වගා කරන ලද ධාන්‍ය වර්ග තුනක් පිළිබඳව මෙහි සඳහන් වේ. මෙයින් වී යනු ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වන අතර, මුං, බර වැඩ කරන්නන් සහ අනෙකුත් අයගේ ද උදෑසන ආහාරය වන්නට ඉඩ තිබේ. මෑතක් වන තුරු ම ගැමි ගෙවල් වල ආහාර රටාව පැවතුනේ එපරිද්දෙනි. වර්තමානයේ උඳු, බහුල වශයෙන් ආහාරයට ගන්නේ ද්‍රවිඩ ජාතිකයන් බව පෙනේ. එම ලක්ෂණය මෙකී ගිරිලිපිය ට සමකාලීන වකවාණුවට ආදේශ කළ හැකි වුව හොත්, එවක සමාජයේ ද්‍රවිඩ ජාතිකයන් සිංහලයන් හා සමඟ සහජීවනයෙන් වාසය කළ බව සැළකිය හැක.

සමකාලීන ලෝකය

මෙම කාලයට අදාළව පර්සියානු සාසනිඩ් අධිරාජ්‍යය තුළ පැවති බැංකු ලෙස හඳුනාගත හැකි ආයතන මඟින් ශැක් නමින් හැඳින්වුනු ණයවර ලිපි නිකුත් කිරීම ආරම්භ කෙරුණු බව වාර්තා වේ. චීනයේ රාජ්‍යයන් තවදුරටත් විසිරී යමින් දියවී යාම ද මෙම කාලයේ සිදු වූ හෙයින්, පෙරදිග ජාත්‍යන්තර වෙළෙඳාම එතරම් ප්‍රාණවත් මට්ටමකින් නොපැවතුණු බව සැළකිය හැක. හන් වරු යුරෝපය ආක්‍රමණය කිරීම ද මෙම තත්ත්වය තවත් දරුණු කළේය. එහෙයින්, ලංකාවේ පැවති ප්‍රාදේශීය වෙළෙඳාම සහ බැංකු ක්‍රමය කෙරෙහි සමකාලීන ලෝක ප්‍රවණතා එතරම් බල නොපෑ බව සැළකිය හැක.

රෝම අධිරාජ්‍යය තුළ මෙම කාලයේ පැවතුණු කතෝලික භක්තිකයන් සංහාරය ලංකාවේ පැවති ආගමික වාතාවරණය සමඟ සැසඳිය නොහැක. ඒ වන විට, රෝම රාජ්‍යයන් තුළ කතෝලිකාගමය පැතිරී යන්නට පටන් ගත්තා පමණි. ඒ වන විට සාපේක්ෂව, ලංකාවේ බුදු දහම රාජ්‍යානුග්‍රහය ද සමඟ ස්ථාවර වී, සියවස් හතරකට වඩා ගත වී තිබුණි.

තෝනිගල ගිරි ලිපියේ වැදගත්කම මෙවැනි ලිපියකට  ලඝු කළ නොහැක. පේළි 17 කින් සහ එක් වාක්‍යයකින් යුත් ලිපියක් තුළින් තත්කාලීන සමාජය හා දේශපාලන, ආර්ථික, ආගමික යන සමාජ සංස්ථාවන් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ පැහැදිළි චිත්‍රයක් මවාගත හැකි වීම අපූරු කාරණය කි. අපේ මුතුන් මිත්තන් අප අමතමින් ඔවුන්ගේ දිවි පෙවෙත පිළිබඳ තොරතුරු නිරාවරණය කරන බව පුරාණ අභිලේබන අධ්‍යයනයේ ගැඹුරට යද්දී අපට හැඟේ.

මූලාශ්‍ර
Wickramasinghe, Don Martin de Zilva - Epigraphia Zeylanica Vol. III

4 comments:

  1. ගොඩක්ම වැදගත් දෙයක් ගැන මේ ලියල තියෙන්නේ draki ..
    අසාවෙන් බැලුවා ..දිගටම ලියන්න ,..හෙමින් සීරුවේ පරණ
    පොස්ට් ටිකත් බලන්නම් හොඳද ..?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ස්තූතියි...

      Delete
  2. මේක ලියන පුද්ගලයාට ඩ්‍රැක්‍යුලා කියන නම ගැලපෙන් නෑ. වියත් නමක් ඕන. නැත්තම් අපි අතින් අවුසෝවාදයෙන් කතා කෙරෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මොන වියත්ද පූමා? මම එහෙම තද පොරක් නෙවේ. ආවුසෝවාදයෙන් කතා නොකරන්න මම බුදුන් යෑ? කැමති විදිහට කතා කරන්න.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රප...

ගොඩක්ම කියවපු ලිපි