Friday, May 17, 2013

කෝපය ගැන බුදුන්ගේ අදහස් - ඩ්‍රැකියාගේ වෙසක් කළාපය 2

ඩ්‍රැකියා පටන් ගත්ත වෙසක් කළාපයෙ පළවෙනි ලිපිය ගැන ගොඩක් දෙනා අදහස් දක්වලා තිබ්බා. ඉතින් ඩ්‍රැකියා කල්පනා කළා දූතීය ආඝාත පටිවිනය සූත්‍රයේ පළවෙනි කොටස වන ආඝාත පටිවිනය සූත්‍රය ඇසුරින් කෝපය ගැන ම තවදුරටත් කතා කරන්න.

කලින් ඩ්‍රැකියා කතා කරපු කරුණු සැරියුත් හාමුදුරුවන්ගේ අදහස් (බුදුන් ගේ අනුමැතියට යටත්ව) වුනාට, ආඝාත පටිවිනය සූත්‍රයේ සඳහන් වෙන්නෙ කෙළින්ම බුදුන් වහන්සේ ගේ ම දේශනයක්. බුදුන් කෝපය ගැන කියන්නෙ මේ විදිහෙ අදහසක් සරළව ගත්තොත්.


කෝපය ඇති වන ආකාර

කෝපය ඇතිවන හේතු සහ ආකාර 9 ක් ගැන බුදුන් වහන්සේ කියනවා. ඒක සරළව ගත්තොත්, ප්‍රධාන හේතු තුනක්, කාල වශයෙන් තුන් ආකාරයකින් තියෙනවා.

1. කෙනෙක් තමන්ට කරදර හිරිහැර කරනවා නම්. ඒ කියන්නෙ අනර්ථයක් කරනවා නම්, ඒක එක හේතුවක්,

2. කෙනෙක් තමන්ගෙ ළඟ හිතවතුන්ට, නෑයන්ට අනර්ථයක් කරනවා නම්, ඒක දෙවැනි හේතුව,

3. තමන්ටත්, තමන්ගෙ හිතවතුන්ටත් අනර්ථයක් කරන එක ඉවසා සිටියත්, ඒ අනර්ථකාරී තැනැත්තා ගැන අනිත් අය ගුණ ගායනා කරනවා නම්, (අපිව බේරගත්තෙ මෙයා ය, මෙයා අපේ ගැළවුම්කාරයා ය, තව තවත් කල් වැජඹෙන්න වාසනා කරන්න ඕනෙ ය කියලා) ඒක ඉවසන්න බෑ, ඒක තමයි තුන්වැනි හේතුව. 

අ) අපි සමහරු ඉන්නවා, අතීතයේ වෙච්ච දේවල් ගැන කෝපයෙන්. නිතරම සිහියට එන්නෙ ඉස්සර කාලෙක වෙච්ච අනර්ථයක් ගැන.

ආ) ඒ වගේම දැන්, මේ මොහොතෙ කෙනෙකුගෙන් සිද්ධ වෙන කරදර, හිරිහැර ගැන කෝපය ඇති වෙනවා.

ඇ) ඒ වගේම, දැන් හොඳ වුනත් අනාගතයේ දවසක අර වගේ කරදර වෙන්න ඉඩ තියෙන බව පේනවා. මේ නිසා කෝපයක් ඇති වෙනවා. (අපේ දරුවන්ටවත් මේ මිනිහා සැනසිල්ලෙ මේ රටේ ජීවත් වෙන්න දෙන්නෙ නෑනෙ කියලා හිතෙනවා)

ඔන්න ඔය විදිහට මුලින්ම කියපු කාරණා තුන, ඊට පස්සෙ කියපු විදිහට කාල රාමු තුනට අදාළ කරගත්තම කාරණා 9 ක් වෙනවා.

කළ යුතු දේ

කෝපය ගැන කළ යුතු දේවල් 5 ක් බුදුන් වහන්සේ විස්තර කරනවා.

1. මෛත්‍රී කරන්න

තමන් ගැන සිතන මිතුරු සිතින්ම අනිත් මිනිහා ගැනත් කල්පනා කරන්න. අපෙන් වැරැද්දක් උනාම හිතන දේවල් අනිත් කෙනා ගැනත් හිතන්න. (‘වැරදියි තමයි ඉතින්. ඒ වුනාට ඒක මහලොකු දෙයක් යැ. හරිගස්සන්න කරන්න ඕනෙ දේනෙ දැන් ඉතින් හිතන්න ඕනෙ.‘ වගේ දෙයක් තමයි ඩ්‍රැකියා වැරද්දක් කළාම ඩ්‍රැකියටම හිතෙන දේ.)

2. කරුණාවන්ත වෙන්න

කෙනෙක් නරකක් කරන විට ඒ මිනිහා ගැන කම්පා වෙලා, එයාට ඒකෙන් මිදෙන්න පිළියමක් කරන්න ඕනෙ වෙන හැඟීම තමයි කරුණාව. (උදා: එයාට මාව දකිනකොට කේන්තිය වැඩි වෙනවනම්, මම එයාට නොපෙනී ඉන්නව)

3. උපේක්ෂාසහගත වෙන්න

කෙනෙක් ගැන හෝ දෙයක් ගැන කැමතිවත්, අකමැතිවත් නොවී මැදහත්ව සිතන්න.

4. සිහිනොකර, මෙනෙහි නොකර ඉන්න

දෙයක් වුනහම මතකේ තියාගන්න එපා, ඒන නිතර නිතර මතක් කරන්නත් එපා.

5. කර්මයේ ස්වයංක්‍රීය බව ගැන සිතන්න

කෙනෙක් කළ කී නරක දේවලින් එයාට ඇති වෙන්නෙ නරක කර්මයක්. ඒක ගැන තමනුත් නරක දෙයක් කළොත්, කිව්වොත්, හිතුවොත්, තමන්ටත් ඇති වෙන්නෙ නරක කර්මයක් මයි. එහෙම නැතුව ඒ ගැන තමන් හොඳ දෙයක් කළොත්, (මෛත්‍රිය කිරීම වගේ දෙයක්) තමන්ට යහපත් කර්මයක් ඇති වෙනවා. ඒ ගැන මෙනෙහි කිරීමෙන් බුද්ධිමත්ව වැඩ කරන්න පුළුවන් වෙනවා.

මේ තමයි, කෝපය ඇති වීම සහ නැතිකිරීම ගැන බුදුන්ගේ විග්‍රහය.

මේ වගේ දර්ශනයකින් දේශපාලනය කරපු, මම දකින එකම කෙනා මහත්මා ගාන්ධි තුමා ය. අපේ ධර්මපාල තුමා ඒ වගේ වුනානම් අපේ රට මෙයිට වඩා මනසින්, තාක්ෂණයෙන් සහ අනික් හැම අතින්මත් දියුණු වෙන්න  තිබුණාය යන්න ඩ්‍රැකියාගේ විශ්වාසයයි.

තවත් වෙසක් කළාපයකින් බුදු වදනක් රැගෙන එනතෙක් ඔබගෙන් සමුගන්නා මම, සත්ගුණවත් ඩ්‍රැකී උපාසක.

බුදුන්ගේ දර්ශනයේ පෘථුල බවත් අපේ කුදු බවත් නිරූපණය කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් යුක්තව පින්තූරය ඉස්සුවේ : http://dhammamedicine.net/wp-content/uploads/2011/05/budusuwanda3.jpg

ප/ලි
වෙසක් වෙච්ච එකේ, ගාථාවක් ගැන ආතල් කතාවක් ලියන්න හිත කොනේ නලිය නලියා තිබෙයි. ඒ වුනාට ඒක ගැන තවම තීරණයක් ගන්න බැරිවුනෙමි. දවසක් ඩ්‍රැකියා ගැටයා කාලේ අවුරුදු උත්සවයක ඇඬීමේ තරඟයකදී, තාත්තා අසනීප වී, ආයෙත් සනීප වීම ගැන අඬා, එතන හිටපු පප්පලාගෙන් හොඳටම ලුණු ඇඹුල් ඇතුව අහගත්තෙමු. ඒ නිසා දෙවන වටේ දී ඩ්‍රැකියා ඇඬුවේ පටිච්චසමුප්පාදය ගැනය. ඒ මොකකට ඇඬුවත්, එයින් පළවෙනි තැන ගෙන ලබා ගත් තෑග්ග තවමත් ඩ්‍රැකියාගේ වීදුරු කබඩ් එකේ තිබේ. ඉතින් වෙසක් කළාපය අතරේ අර ගාථා ධර්ම ගැන කතාවත් පෝස්ට් කිරීමට ඉඩ ඇතැයි ස්වාධීන නිරීක්ෂකයෝ පවසති.

21 comments:

  1. මේ තරම් ධර්මය දන්න පිංවතනේ අර තරම් ගජබින්න දෙසාබන්නේ....

    ReplyDelete
    Replies
    1. මමත් බුදුන්ගෙ ධර්මය තවම අධ්‍යයනය කරනවා. ඉතින් ගජබින්න ගැන බුදුන් වහන්සේ කියල තියෙන්නෙ මොනවද කියලා මම තවම දන්නෙ නෑ. (දේසපාලුවො වගේ ම මමත් බබෙකි.)

      Delete
  2. තමන්ටත්, තමන්ගෙ හිතවතුන්ටත් අනර්ථයක් කරන එක ඉවසා සිටියත්, ඒ අනර්ථකාරී තැනැත්තා ගැන අනිත් අය ගුණ ගායනා කරනවා නම්, (අපිව බේරගත්තෙ මෙයා ය, මෙයා අපේ ගැළවුම්කාරයා ය, තව තවත් කල් වැජඹෙන්න වාසනා කරන්න ඕනෙ ය කියලා) ඒක ඉවසන්න බෑ, ඒක තමයි තුන්වැනි හේතුව. මම හිතන්නේ මේක තමා ගොඩක් අය‍ට පේන්න බැරි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ගොඩක් අයට අයිටීඑන් පේන්න බැරි.

      Delete
  3. මචන් උබ සැහෙන්න දෙයක් දන්නවනේ බන්..සිරාවට... නියම ලිපියක් මචන් ....අනික් ඒවත් කියවන්නම් ..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් වෙල්කම් මගියා, මම ඒතරම් දෙයක් දන්නෑ බං, මාත් හොයමින් ඉගෙනගන්නවා.

      Delete
  4. පින්වත...මේ වෙසක් මාසය තුල ඔබ කර ගන්නා සියලු පුණ්‍ය කර්මයන්...ඔබට නිවන් අවබෝධය පිණිස හේතු වේවා !

    ReplyDelete
    Replies
    1. එහෙනං, සිරා උපාසකත් ඉන්න දීපංකරේ ඉඳං, එකත්පස්ව මේ පැත්තට වැඳගත්තනං, පින් අනුමෝදන් වෙන්න.

      Delete
  5. ඉතාම හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි, ඉස්තූතියි...

      Delete
  6. දිගටම ලියපන් ඩ්‍රැකියෝ. තෝරාගෙන තියන සූත්‍රය හරියටම ගැලපෙන එකක්

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා. ස්තූතියි.

      Delete
  7. එල එල ඩ්‍රැකියා.. නියම පෝස්ටුවක්.. දිගටම ලියපන් සහෝ.. ජය ශ්‍රී..

    ReplyDelete
  8. ඩ්‍රැකියා , මේවා ලියන එවුන් හිටියට කියවන්න හිතෙන විදිහට ලියන එකයි වැදගත්, උඹට ඒ ශක්‍යතාව තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා. මම ගොඩක් මහන්සි වෙනවා ලියන්න.

      Delete
  9. ඩ්‍රැකී .. මම බෞද්ධයෙක් උනාට උපතින්, බුදු දහම ඉගෙන ගන්න පටන් ගත්තෙ විදේශගත උනාට පස්සෙයි.. ඒ විදේශික හිමිවරුන්ටත් විද්වතුන්ටත් පින්සිදුවෙන්නයි. ඒ මොකද අපේ රටේ පූජා ක්‍රම මිස දහමට මුල්තැන නොදෙන නිසා අවස්ථා සීමිතවයි තිබුණේ.. මේ දව්ස්වල මජ්ජිම නිකයෙ සූත්‍ර ඉන්ග්‍රීසියට පරිවර්තනය කල අමෙරිකන් ජාතික බෝධි හාමුදුරුවන්ගෙ සූත්‍ර පාඩම් දවස ගානෙ අහනවා සීඩී එකකින් හැමදාම අලුතින් දකින හැම දහම් පදයක් පාසාම මම බිම දණ ඔබ නලල තබා ලෝකයේ උපන් උසස්ම විද්වතානන්ට හදවතින් නමස්කාර කරනව...ඒ හැම වතාව්කදිම ... උඹලා බුදු පිලිමෙට බිම නලල තියල වඳින්නේ ඇයි කියලා මගෙන් විදේශිකයෙක් ඇහුවා. මම කිවුවා පොලොව මට්ටමෙන් පහලට ගිහින් වඳින්න ආසා උනත් ඒකට ඉඩක් නැති නිසා කියල මම කිවුවා.

    ReplyDelete
    Replies
    1. බුද්ධ දර්ශනය කියවනකොට තමයි සරත් අයියා, බුදුන් කියන්නෙ, අර සැමැන්‍ය හාමුදුරුවරු වගේ අපාය පෙන්නලා බය කරලා මිනිස්සු හරි මඟ යවන්න ට්‍රයි කරන ආගමික ශාස්තෘවරයෙක් නෙවෙයි, දාර්ශනිකයෙක් ය කියලා තේරෙන්නෙ. මගේ උත්සාහය ඒක ඉස්මතු කරන්නයි.
      ස්තූතියි අදහස් දැක්වීමට.

      Delete
  10. බොහොම හොඳයී ඩ්‍රැකි. මේවා ලියන එක ඉතාම වැදගත්.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි