Thursday, May 30, 2013

සැබෑ බෞද්ධයෙක් කියන්නේ කාටද (අවසාන කොටස) - ඩ්‍රැකියාගේ වෙසක් කළාපය 5 කොටස

පසුගිය වෙසක් කළාප ලිපි දෙකෙන්ම පොරොන්දු වුණ විදිහට, බුදුන් වහන්සේ ට අනුව, නියම බෞද්ධයෙක් පවත්වාගන්නා සදිසාවන් ගැන විස්තර මේ ලිපියෙන් කියා ඉවර කරනවා. කලින් ලිපි කියවන්න බැරි වුනු අය වෙනුවෙන් පහළ ලිංක් ටික තියෙනවා:

1. කේන්තිය ගැන පළවෙනි ලිපිය,
2. කේන්තිය ගැන දෙවෙනි ලිපිය,
3. බෞද්ධයෙක් කියන්නෙ කාටද පළවෙනි ලිපිය,
4. බෞද්ධයෙක් කියන්නෙ කාටද දෙවෙනි ලිපිය.

ඉතින් බුදුන් වහන්සේ සිඟාලක ගෘහපතිට දේශනා කළ විදිහට, බෞද්ධයෙක් පවත්වාගන්නා සදිසාවන්:

1. මව්පියන් (නැගෙනහිර දිශාව)
2. ගුරුවරු (දකුණු දිශාව)
3. අඹුදරුවන් (බටහිර දිශාව)
4. මිතුරන් (උතුරු දිශාව)
5. සේවක කම්කරු (යට දිශාව)
6. මහණ දාර්ශනික අය (උඩ දිශාව)


මේ පාර්ශව වෙනුවෙන් කළ යුතු යුතුකම් බුදුන් වහන්සේ විස්තර කරනවා,

1. මවුපියන්ට දරුවන්ගෙන් :
    (අ)  මවුපියන් පෝෂණය කිරීම,
    (ආ) මවුපියන්ගේ කටයුතු ඉටුකරදීම,
    (ඇ) පවුලේ පරම්පරාව, ගෞරවය ආරක්ෂා වන පරිදි ඉදිරියට පවත්වාගැනීම,
    (ඈ) මවුපියන්ගේ වස්තුව ආරක්ෂා කිරීම,
    (ඉ)  මිය ගිය මවුපියන් නමින් පින් අනුමෝදන් කරවීම,
             යුතුකම් සහ උපස්ථාන ලෙස ඉටු කෙරෙනවා.

    දරුවන් ට මවුපියන්ගෙන්:
    (අ)  අයහපත් දෙයින් වැළැක්වීම,
    (ආ) යහපත් දෙයට යොමු කිරීම,
    (ඇ) ශිල්ප ශාස්ත්‍ර ලබා දීම,
    (ඈ) සුදුසු සහකාරයෙක් ලබාගැනීමට සහය වීම,
    (ඉ) සුදුසු කාලයේ දායාද පවරා දීම.
             ලැබෙනවා.


2. ගුරුවරුන්ට ගෝලයන්ගෙන් :
    (අ)  ගෞරව කිරීම,
    (ආ) උපස්ථාන කටයුතු කිරීම,
    (ඇ) ගුරුන්ගේ වචන අසා පිළිපැදීම,
    (ඈ) වත්පිළිවෙත් ඉටුකිරීම,
    (ඉ)  ශිල්ප ඉගෙනගැනීම,
             යන යුතුකම් කෙරෙනවා. (මේ දේශනාව කරන කාලයේ ගෝළයන් ගුරුවරුන් ළඟ නතර වෙලා මෙහෙවර කරමින් ඉගෙන ගත්ත කාලයක්. ඒ අනුවයි මේ යුතුකම් සඳහන් වෙන්නෙ. අදට ඔබින විදිහට තේරුම් ගැනීම අපේ යුතුකම)

    ගෝළයන් ට ගුරුවරුන්ගෙන්:
    (අ)  හොඳින් හික්මවීම,
    (ආ) හොඳින් ඉගැන්වීම,
    (ඇ) තමන් සතු සියළුම ශිල්ප ශාස්ත්‍ර සහ ධර්මය කියා දීම,
    (ඈ) තමා සාමාජිකයෙකු වන සමාජයේ සමාජගත කිරීම,
    (ඉ) දිශාවන් ආරක්ෂා කරවීම.
             යන දේ ලැබෙනවා.

3. සැමියා බිරිඳට:
    (අ)  නිසි ගෞරවය ලබාදීම,
    (ආ) අවමන් නොකිරීම,
    (ඇ) අන් ගැහැණුන් අඹුවන් ලෙස ඇසුරු නොකිරීම,
    (ඈ) පහසුකම් ධනය සැපයීම,
    (ඉ)  සුදුසු ඇඳුම් පැළඳුම් සපයාදීම
               මඟින් සළකනවා.

    බිරිඳ සැමියාට:
    (අ)  හොඳින් කටයුතු කළමනාකරණය කිරීම,
    (ආ) සැමියාගේ සෙසු හිත මිතුරන්ට සංග්‍රහ කිරීම,
    (ඇ) සොර සැමියන් ඇසුරු නොකිරීම,
    (ඈ) සැමියාගේ වස්තුව ආරක්ෂා කිරීම සහ අපතේ නොයැවීම,
    (ඉ)  කටයුතු වල දක්ෂව අනලස්ව යෙදීම,
                යන දේ ඉටුකරනවා.

4. මිතුරන් ට අපි:
    (අ)  දීමෙන්,
    (ආ) ප්‍රිය වචනයෙන්,
    (ඇ) යහපත් කටයුතු සැළැස්වීමෙන්,
    (ඈ) සමානාත්මතාවයෙන්,
    (ඉ)  නොරැවටීමෙන්,
               සළකන එකයි නියම මිතුරුකම.

    එහෙම මිතුරන් අපිට:
    (අ)  සිහි කල්පනාව අඩුවෙන් කටයුතු කරන අය ආරක්ෂා කරනවා,
    (ආ) එහෙම අයගෙ වස්තුව ආරක්ෂා කරනවා,
    (ඇ) බයක්, අවදානමක් ආවහම පිහිට වෙනවා,
    (ඈ) විපතක් ආවොත් අතහරින්නෙ නෑ,
    (ඉ)  අපේ අනිත් හිතවතුන්ටත් සළකනවා.

5. සේවක කම්කරුවන්ට හාම්පුතුන් :
    (අ)  ශක්ති ධාරිතාවය අනුව වැඩ නියම කිරීමෙන්,
    (ආ) කෑම / වැටුප් නිසිආකාරව දීමෙන්,
    (ඇ) ලෙඩ දුක් වලදි උපස්ථාන කිරීමෙන් / පිහිට වීමෙන්,
    (ඈ) විටින් විට අමුතු සංග්‍රහ කිරීමෙන් සිත් සතුටු කිරීමෙන්,
    (ඉ)  සුදුසු කාලයට සුදුසු දේ දීමෙන්,
              සළකනවා.

    සේවකයන් හාම්පුතුන්ට :
     (අ)  පළමුවෙන්ම අවදිවීමෙන්,
     (ආ) සියල්ලන්ට පසුව නින්දට යාමෙන්,
     (ඇ) දුන් දේ විතරක් ගැනීමෙන්,
     (ඈ) හොඳින් කර්මාන්ත කිරීමෙන්,
     (ඉ)  හාම්පුතාගෙ කීර්තිය පැතිරවීමෙන්
             සළකනවා.
            (අවුරුදු දෙදාස් පන්සීයකට විතර කලින් හිටපු සේවකයන් වාසය කළේ හාම්පුතාගෙ ගෙදර නැත්නම් වැඩපොළේ බව මේකෙන් පේනවා. ඒ නිසා මේ කරුණු අදට අදාළ විදිහට තේරුම් ගැනීම අපේ වගකීම)

6. මහණ දාර්ශනිකයන්ට :
     (අ)  මෛත්‍රී සහගත ක්‍රියා වලින්,
     (ආ) මෛත්‍රී සහගත වචන වලින්,
     (ඇ) මෛත්‍රී සහගත සිතුවිලි වලින්,
     (ඈ) දොරවල් නොවැසීමෙන්,
     (ඉ)  ආහාර පාන ආදිය පූජා කිරීමෙන්,
            සැළකිය යුතුයි.

    මහණ දාර්ශනිකයන් ශ්‍රාවකයන්ට :
     (අ)  අයහපත් කටයුතු වලින් වැළැක්වීම,
     (ආ) යහපත් සිතින් අනුකම්පා කිරීමෙන්,
     (ඇ) කලින් අහල නැති ධර්මය කියා දීමෙන්,
     (ඈ) අසා ඇති ධර්මය පිරිසිදු කර දීමෙන්,
     (ඉ)  සුගතියට මග පෙන්වීමෙන්,
               සංග්‍රහ කරනවා.

නුවණැති, හික්මීමක් ඇති, මෘදු ගති ඇති, වැටහෙන නුවණ ඇති, නම්‍ය ශීලී, තද ගති නැති, නොපසුබට වීර්යය ඇති, අලස නැති, විපත් වලින් කම්පා නොවන, නිකැළැල් චරිතයක් ඇති තැනැත්තා සැපවත් ජීවිතයක් ගත කරනවා.

සංග්‍රහ කිරීමට බර, මිතුරන් උපයාගන්නා, මිතුරන්ගේ වචන වලට නම්‍ය ශීලී, මසුරුකම අත්හැරිය, නැවත නැවත හික්මීම ඇතිකරගන්නා තැනැත්තා කීර්තිමත් වෙනවා.

දීම, ප්‍රිය වචන කීම, අනුන්ගේ වැඩ පිණිස කටයුතු කිරීම. තමන් හා අනුන් සමව සැළකීම කියන සතර සංග්‍රහ වස්තු, ලෝකයේ පැවැත්මට හරියට කරත්තයට කඩ ඇණය වගේ අත්‍යවශ්‍යයි.

මේවා ඉටු නොකරන මව් පියන්ට, ඒ දේවල් දරුවන්ගෙන්වත් බලාපොරොත්තු වෙන්න බෑ.

මේ පෝස්ටුවත් එක්ක ඩ්‍රැකියාගේ වෙසක් කළාපය අවසන් කරන්නයි බලාපොරොත්තුව. මෙතෙක් කල් මෙහෙ පැමිණ, ඩ්‍රැකියාව දිරිමත් කරපු පිංවතුන් සියළු දෙනාට ඩ්‍රැකියා හිස නමා ආචාර කරනවා.

ප/ලි
කොටියෙක්, නෝවේ ජිනීවා එන්ජීඕ කාරයෙක්, ඩයස්පෝරාවෙක්, බෙදුම්වාදියෙක් හැටියට හංවඩු ගහනු ලැබූවාවූ ද, මානව හිතවාදියෙක්, ප්‍රජාතන්ත්‍රවාදියෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ ද, අභාවප්‍රාප්ත දොස්තර ජයලත් ජයවර්ධන මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු !

24 comments:

  1. ලොකු දෙයක් වෙසක් කලාපේ කුජීත වෙච්චි එක. දැං ඉතිං ගජබින්නාලංකාරයක් වත් ඉක්මනට දාහං..

    ReplyDelete
    Replies
    1. හිටපිය ඊළඟට පොසොන් කළාපයක් එන්නෙ.

      Delete
  2. ඩ්‍රැකියා මහන්සි වෙලා කරපු උත්සහාය ගොඩක් වටිනවා ඈ. පොසොන් එකටත් මොනවා හරි කරමු.

    ReplyDelete
    Replies
    1. කොම්මු, කොම්මු. ස්තූතියි දිරිගැන්වීමට.

      Delete
  3. මේ දේවල් නොකිරීම තමයි ප්‍රශ්නෙට මුල වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවොත් මේ දේවල් ගැන අපිව දැනුවත් නොකර, සිවුර කරේ තියං ජනතාව කුපික කර කර තප්පුලන එකේ. අපිටමයි මේවා හොයා ගන්න වෙන්නෙ.

      Delete
  4. ඩ්‍රැකී මේ දේශනාවට හේතු උන කතාවත් වැදගත්.. තාත්තා කී විදිහට පුතා සදිශා වන්දනය කරනවා උදෙන්ම ග‍ඟෙන් නාල පිරිසිදු වෙලා. ඒක දැකලා බුදු හාමුදුරුවො හිනාවෙන්නේවත් අපහාස කරන්නෙවත් නෑ. උන්වහන්සෙ කියන්නෙ ඒක බොහොම හොඳයි අපිත් එහෙම පිරිසිදුවෙනවා හැබැයි අපි පිරිසිදු කරන්නෙ හිත.. අපිත් එහෙම සදිශා වන්දනා කරනවා අපි කරන්නෙ මෙහෙමයි කියලා. කවදාවත් උන්වහන්සේ වෙනත් ඇදහීමක් නින්දාවට භාජනය කලේ නෑ. තම දහම දේශනාකලෙ කිසිවෙකුගෙ හිත් නොරිදවා. අද බුදු දහම පතුරුවන්න යන්නෙ එහෙමද ? හිංසාවෙන් පීඩාවෙන් බලහත්කාරකමෙන් නේද ?

    ReplyDelete
    Replies
    1. සරත් මතුකරන දේ හරිම වැදගත්. බුදුන් ඒ විදිහට, ආගමික මතවාද අතරෙ සහනශීලීව හැසිරුනු අවස්ථා එමටයි. ඒකනෙ සැරියුත්, මුගලන් දෙනම සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත අතඇරල එනකොටත්, එයාට කියලා අවසර අරං එන්න කියලා හරවලා යවන්නෙ.
      අද බලහත්කාරකම් කරන ගණයි බුදු හාමුදුරුවන්ගෙ අයිතිකාරයො වෙලා තියෙන එක යි, ෆේස්බුක් වීරයො ටික තමන්ට බෞද්ධයො කියාගන්න එකයි තමයි අර්බුධය.

      Delete
  5. හිතට ගන්නවනම් වටින ලිපි පෙළක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කිරීමට.
      (කාටද හිතට ගන්න කිව්වෙ, රුවන්ටද?) :-D

      Delete
  6. ඉතා අගෙයි ඩ්‍රැකී. දොස්තර ජයලත් මහතාට නිවන් සුව පතා හරියන්නේ නෑ අපි මෙහෙම කියමු ස්වර්ගයේ දොර ඇරේවා කියලා.. ඒ මහතා කතෝලික බැතිමතෙක්.

    ReplyDelete
    Replies
    1. මට ඒක අමතක උනා. ඒ හින්දා, ‘විවිධ මිනිස්සු කණ්ඩායම් විවිධ අයුරින් විශ්වාස කරන මෝක්ෂයන් සියල්ලම අන්තිමේ බලනකොට එකයි‘ කියලා පොර ටෝක් එකක් දෙන්නම්.

      Delete
  7. බොහොම වටින සටහනක්.

    ReplyDelete
  8. මම ඩ්‍රැකියගෙ වෙසක් කලාපෙ ඔක්කොම වගේ කියෙව්වා. නමුත් කමෙන්ට් කරන්න නොගියේ මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි වුන නිසයි.

    දැන් උඹ කස කසානේ හිටියේ ගජබින්නයක් අතාරින්න. පොසින් කළාපේ පටං ගන්න කලින් ඇරියස් එක්කම අතෑරපං එකක් දෙකක්.

    ReplyDelete
    Replies
    1. එළකිරිස් වගේ දෙන්නම් ගජබින්න.

      Delete
    2. බන කියල පිං කරන ගමං බින්න ඇදබලා පවුත් කරනවා. එතකොට මනුස්ස ලෝකෙම ඉන්න පුලුවං වෙයිද ?

      Delete
    3. දෙකම බැලන්ස් එකේ කොරලා බලනවා. මනුස්ස ලෝකෙ තමයි ඉතිං ආතල් නේ?

      Delete
  9. දොස්තර ජයලත්ට මෝක්ෂ සුවය පතමි.

    ReplyDelete
    Replies
    1. අපි ව්හ්වාස කරන ඕනෙම මෝක්ෂයක් මම හිතන්නෙ එකයි. කැත විදිහට නම කළු කර ඇති වටිනා මිනිහෙක්ව සමරන එකයි මම කළේ. (මට අමතක උනා එයා කතෝලික කියලා.)

      Delete
  10. ලිපි පෙලම කියෙව්වා ඉතාම අගනා ලිපි පෙළක් එත් කට්ටිය මේවා කියෙව්වා වගේම ජීවිතේට එකතු කරගත්තොත් හොදයි.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මොරබ්බා, ස්තූතියි

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි