මිහින්තලා පුවරු ලිපි



(මේ ලිපියත් සඟරාවක පළ වූවකි. ලියූ ශෛලියෙන් කියවන්නාට ඇති වන ගැහැට ගැන තරහ අවසර...)



ලක්දිව ප‍්‍රාග් බෞද්ධ සමාජය පිළිබඳ යම් පමණක අවබෝධයක් ඓතිහාසික මූලාශ‍්‍ර ඇසුරු කිරීමෙන් ලැබිය හැක. මහාවංශයේ සඳහන් වන පණ්ඩුකාභය රජතුමාගේ අනුරාධපුර සැළසුම මේ සම්බන්ධ පැහැදිළි හෝඩුවාවක් සපයයි. ඒ අනුව, වෛශ‍්‍රවණ, මාලධී ආදී යක්ෂයන් හට පුද පූජා පැවැත්වීම ද, ඒ ආශ‍්‍රිත වෘක්ෂ වන්දනාවද, තාපසයන්, නිඝන්ඨයන්, සිඟා ඇවිදින ශ‍්‍රමණයන්, ආජීවකයන්, බ‍්‍රාහ්මණයන් මෙන්ම ශිවාගමය පිළිබඳව අනුමාන කළ හැකි සූතිකාගාරයක් පිළිබඳ සඳහනක් ද දැකගත හැක. එසේම සමාජ ස්තරායනය පදනම් වූ ශ‍්‍රම විභජනයක් එවක පවතින්නට ද ඉඩ ඇත. චණ්ඩාලයන්, අනගාරික පැවිද්දන් සහ ප‍්‍රභූ ජනයා ගේ පරිභෝජනයත්, නියම්ගම් වල පැවති නිෂ්පාදන හුවමාරුවත් සඳහා සෑහෙන අතිරික්තයක් නිපැයූ ගොවියන් ඇතුළත් වූ මධ්‍යම පංතියක් පවතින්නට ඇති බව සළකා ගත හැක්කේ, ඒ පිළිබඳව වක‍්‍රව සඳහන් වන කරුණු මගිනි. පණ්ඩුකාභය රජ විසින් අභය වාපිය ඉදිකරවන ලද්දේ හුදෙක් නගරාලංකරණය පිණිස ම නොව කෘෂිකර්මාන්තය උදෙසා ද විය යුතුය. එතුමා මුලින්ම ස්වර්ණපාලි කුමරිය හමුවන අවස්ථාවේ වප්මඟුලකට සහභාගී වී සිටි ඇගේ පියා ට ඇඹුල ගෙන යමින් සිටියා ය. එයින් පෙනෙන පරිදි ගොවිතැන රාජකීය මැදිහත් වීමෙන් උසස් බවට පමුණුවා ප‍්‍රවර්ධනය කර පැවති බව පැහැදිළිය.


මුලින් චණ්ඩ බව හේතුවෙන් ප‍්‍රකට ව සිටි, කළාපයේ ඉතාම බලවත් අධිරාජ්‍යයාගේ මැදිහත්වීමෙන් සහ දිවයිනේ මූලික රජතුමාගේ අනුග‍්‍රහයෙන් බුද්ධ දර්ශනය, ආගමක් සහ ශික්ෂණයක් ලෙස ලක්දිව ස්ථාපිත වූ පසු, මෙරට සංස්කෘතියේ කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදු වූ බව පොදු පිළිගැනීම යි. සාම්ප‍්‍රදායික ඇදහීම් හා අභිචාර වලින් වෙනස් වෙමින් බුද්ධාගමේ පැවති ගැඹුරු දර්ශනය, අවිහිංසාව, අල්පේච්ඡතාව සහ ලෝකෝත්තර නිවීම කෙරෙහි යොමු වීම වැනි හේතු ද, එම මහා සම්ප‍්‍රදාය මෙරටට හඳුන්වා දීමේ දී මිහිඳු හිමියන් ලක්දිව පැවති සංස්කෘතියට හුරු වන පරිදි සිදු කළ අනුවර්තනයන් ද නිසා ඉතා කෙටි කලක් ඇතුළත බුද්ධාගමය දිවයින තුළ තහවුරු විය. ප‍්‍රභූ ජනයාගේ ප‍්‍රමුඛත්වයෙන් බොහෝ දෙනා පැවිදි බිමට එළඹීම හේතුවෙන් සමකාලීනව ඉතා කෙටි කාලයක් තුළ සෑහෙන තරමක භික්ෂු ගහණයක් ලක්දිව ඇතිවූ බව සාහිත්‍ය මූලාශ‍්‍ර විමර්ශනය කිරීමෙන් සැළකිය හැක.


ජනතාව වෙනුවෙන් ආධ්‍යාත්මික සහ අධ්‍යාපනික සේවා සැපයූ මහා සංඝයා වහන්සේ ගේ අවශ්‍යතා පාලකයන් සහ සාමාන්‍ය වැසියන් අතින් නොපැකිළ ඉටු වූ බව වංශකථා වල දැක්වෙන පූජා විස්තර මෙන්ම, වඩා සජීවී සහ අතිශයෝක්තියෙන් අඩු ප‍්‍රකාශ ලෙස සැළකිය හැකි සෙල් ලිපි වලින් ද තහවුරු වේ. මහාවිහාරයෙන් සහ සෑගිරිය හෙවත් මිහින්තලා ආරාමයෙන් ඇරඹි විශාල ආරාම සංකීර්ණ වල නඩත්තුව සඳහා විශාල වතු, වනාන්තර සහ කුඹුරු සහිත ගම්මාන රජවරුන් විසින් එකී විහාර වෙත පූජා කරන ලදි. භික්ෂූන් වහන්සේ හට මුදල් පාලනය සහ ආශ‍්‍රිත කටයුතු අකැප වූ හෙයින් මෙම නින්දගම් පරිපාලනය විධිමත්ව මෙන්ම විනිවිද භාවයෙන් ඉටු කිරීමේ සංවිධාන ව්‍යුහයක් සකස් කිරීම අවශ්‍යතාවයක් විය. මෙවැනි සංවිධාන ක‍්‍රමයක් පිළිබඳ දැනට ඇති හොඳම සාධක වලින් එකක් ලෙස ක‍්‍රි. ව. 10 වන සියවසට අයත් වන මිහින්තලා පුවරු ලිපි සැළකිය හැක. සිවු වන මිහිඳු රජතුමා (ක‍්‍රි. ව. 955  972) විසින් කරවන ලද මෙම අභිලේඛනය මිහින්තලා ආරාමයේ දාගෙය ලෙස හඳුනාගෙන ඇති නටඹුන් ගොඩනැගිල්ලේ ප‍්‍රවේශ දොරටුව දෙපස පිහිටුවා තිබේ.


මිහින්තලා පුවරු ලිපි වල අන්තර්ගතය


1 ලිපිය

සිරිබර ක්ෂිත‍්‍රිය කුළයට කොතක් වැනි ඔක්කාක රජ පරපුරෙන් පැවතෙන ක්ෂිත‍්‍රිය උත්තම වූ අභය සළමෙවන් මහරජ හට, එම කුළයෙන් සංජාතවූ දේවී නම් අප‍්‍රධාන බිසෝ රැජින කුසයෙහි ඉපිද, ඈපා මහයා සිරි විඳ, පිළිවෙල සේ රජ වී, තම සිරියෙන් ලක්දිව පහදවමින් සිටි සිරිසඟබෝ අභය මහරජහු, තමා සේසත් නැඟූ සොළොස්වන අවුරුද්දෙහි වප් මස පුර පක්ෂයේ දසවක දවස, සෑගිරි වෙහෙරෙහි ද, අභයගිරි වෙහෙරෙහි ද වසන මහ භික්ෂු සංඝ හිමිවරුන් මහ සන්නිපාත රැස් කරවා, තමාගේ සොහොයුරු රජ විසින් සෑගිරි වෙහෙරේ පෙර තැබූ සිරිතින් ද, අභයගිරි වෙහෙරේ සිරිතින් ද, (සංඝයා වහන්සේ) කැමති කරවා ගෙන, මේ වෙහෙරට මේ සිරිත් තිබීම වටීයැයි සුදුස්සන් සමඟ සසඳා, මේ වෙහෙරේ වසන භික්ෂු සංඝ හිමිවරුන්ට ද, නිලධාරීන්ට ද, දාසයන්ට ද, කළයුතු දේ ද, ලැබිය යුතු හා දියයුතු ආකාරය ද, විචාරණයෙන් එක සමාන කොට මේ සිරිත් තැබූහ.


මේ වෙහෙරෙහි වසන භික්ෂු සංඝ හිමියන් විසින්, බාල පැසුළු යාමයෙහි (ඉතා උදෑසනින්) නැඟිට, චතුර් ආරක්ෂා මෙනෙහි කොට, දැහැටි කිස නිමවා, සිඛකරණියේ කියා ඇති පරිදි සිවුරු හැඳ පෙරෙව, ඇතුල් වෙහෙරේ ලහබත් ගෙයට පැමිණ, මෙත් පිරිත් සජ්ඣායනා කර, බැහැරව, කැඳ බත් ගත යුතු ය. ගිළන් වීමෙන් ලහබත් ගෙයට යා නොහෙන හිමිවරුන් ට වෙදුන් කියූ කල (ආහාර) කොටස දිය යුතු ය. මේ වෙහෙර වසමින් විනය පිටකය උගන්නා භික්ෂු සංඝ හිමියන් ට වස්ත‍්‍රයෙන් හා ආහාරයෙන් කොටස් පහක් ද, සූත‍්‍රාන්ත පිටකය උගන්නා භික්ෂු සංඝ හිමියන් ට කොටස් හතක් ද, අභිධර්ම පිටකය උගන්නා භික්ෂු සංඝ හිමියන් ට කොටස් දොළහක් ද දිය යුතු අතර, දායකයන් තීරණය කොට සංඝයාහට දීමට සැළසූ ප‍්‍රත්‍ය නොපිරිහෙළා දිය යුතු ය.


මේ වෙහෙරට අයත් තාක් ආවාසයට බැඳුණු ගම් බිම්, මෙහිම දැකුම් දී, නිබඳව වාසය කොට වළඳත් මිස, (මෙම විහාරයට) ආබද්ධ (වෙනත්) ආවාස හා එක්කාසු වී නොවැළඳිය යුතුය. සංඝ සමඟියෙන්, නිලධාරීන් හට විධාන දෙතොත් හෝ තර්ජනය කරතොත් මිස, පෞද්ගලිකව නොවැදෑරිය යුතු ය. මේ වෙහෙරේ වසන භික්ෂු සංඝ හිමියන් ඇතුල් වෙහෙරට බැඳි තාක් තැන්හි කුඹුරු, අරඹ (වතු) ආදිය කවර ආකාරයකින් හෝ භුක්ති නොවිඳිය යුතුය. තම නෑදෑ හිතවතුන් (ප‍්‍රති බද්ධ) විසින් ඇතුල් වෙහෙර ආබද්ධ තාක් තැන් හි නායක කම් කිරීමට නොදිය යුතුය. මෙම සිරිත් ඉක්මවූ හිමිවරුන් මේ වෙහෙරෙහි නොවිසිය යුතු ය.


වෙහෙර බලන හිමියන් ද, වෙහෙර පරිපාලන නිලධාරියා ද, නියමු ජ්‍යෙෂ්ඨයා ද, අයකැමියා ද, පරීක්ෂක නිලධාරියා ද, වෙහෙර ලේකම් ද, කරඬු ලේකම් ද, කරඬු අතසන් කරන්නා ද, ඇතුලත්ව මෙතුවක් දෙනා අභයගිරි විහාරයෙහි මූලායතන දෙකෙන් කටයුතු සම්පාදනයට පැමිණි සංඝයා වහන්සේ සමඟ ඇතුල් වෙහෙරෙහි සිට කටයුතු කොට, අභ්‍යන්තර - බාහිර අය වැය ආදී කටයුතු කළ යුතු ය. අභ්‍යන්තර - බාහිර අයවැයෙහි නියුක්ත නිලධාරීන් නැසූ දෙයක් ප‍්‍රතිපූර්ණය කිරීම සඳහා, නිසි ගෙහිමියන්ගෙන් ඇප ගෙන, ප‍්‍රධාන නිලධාරීන් සමඟ තැබිය යුතු ය.


මේ වෙහෙර වසන හිමිවරුන්ගේ නෑ හිතවතුන් සිටිතහොත්, සේවයේ නොතැබිය යුතු ය. සේවයෙන් ඉවත් කළ යුතු නිලධාරීන්, (ඔවුන් ගේ භාරයේ පැවති) ලේඛන උපකරණ ආදිය ගෙන ඉවත් කළ යුතු ය. මුද්‍රා තබන කරඬු, ප‍්‍රධාන නිලධාරීන් සහ නිලධාරීන් ගේ මුද්‍රාවෙන් මුද්‍රා තබා, දාගෙහි නිලධාරීන් ඉදිරිපිට දී දාගෙහි තැබිය යුතු ය. මේ වෙහෙරෙහි නියුක්ත නිලධාරීන් අතරින් වෙහෙරේ කටයුත්තක් සඳහා වෙනත් තැනකට ගිය කෙනෙකුන් මිස, ස්ථානයේ සිටි නිලධාරීන් ගෙන්, දන්වැට තබන තැන ද, සහල් ගන්නා තැන ද, පෙරවරු කැඳ බත් සාදන තැන ද, තුන් දෙනෙකුගෙන් නොඅඩුව පසෙක සිටිය යුතු ය. ඇතුල් වෙහෙරේ දාගෙය ට සම්බන්ධ කවර වස්තුවක් වත්, පිරුළට (තාවකාලිකව ණය ට) නොදිය යුතු ය. නිලධාරීන් විකුණා ද නොගත යුතු ය. මෙහෙයට බැඳුණු මිනිසුන් ගෙන්, නිලධාරීන් තමන්ට මෙහෙ නොගත යුතු ය. වෙනත් තැනක මෙහෙයට නොදිය යුතු ය.


කණ්ඨක මහ සෑයෙහි නව කර්මාන්තයන්ට දම්ගමුවෙන් දුන් පෑළ, ඇතුල් වෙහෙරේ නිලධාරීන් බලාගෙන, දාගැබේ නව කර්මාන්ත කරවිය යුතු ය. කිරිභන්ඩ  පවු දාගැබෙහි ආරක්ෂාවට, ඇල්ගමුවෙන් දුන් දෙ කිරිය දී ආරක්ෂා කරවිය යුතු ය. දාගැබෙහි ද, මඟුල් මහ සල් පිළිමගෙහි ද, මහබෝධිගෘහයේ ද, නයින්දේ ද, මිණි නාල් දෙව් දුවගේ ගෙහි ද, කණ්ඨක මහ සෑයේ ද, කිරිභන්ඩ පවු දාගැබෙහි ද, පර්වතය මත සහ පහළ ඇතුල් වෙහෙර සම්බන්ධ දාගැබ්හි ද, යන මේතාක් තැන් වල පූජා වෘත්තිය ද, ඇතුල් වෙහෙරින් රන් කළං එක් සියයක් ද, වී දස යාළක් ද, යන මේ තාක් ගෙන, අවුරුදු පතා මේ වෙහෙරෙහි දාගැබ් ආදී සෑම තැන්හි ම නව කර්මාන්ත කරවිය යුතු ය.


දාගෙයට ත්, පිළිමගෙයට ත්, අයත් ගුත’, කරන්ද යන දෙගම්හි, දුම් මල් (හෝ දුම්මල) සපයන්නන් ගේ ගෘහ බද්ද කුඩා බද්දක් කර, පෙරළිකාරයන්ගේ බැළය වෙහෙරට ගත යුතු ය. කිරිභන්ඩ පවුවෙහි ගස් ගැසියෙන් (ගස් වැල්) තුනෙන් එකක් ද, මෙහි සඟ්වැල්ලෙහි (එනම් ගමෙහි) ගෙවල් කුළිය ද, මූණු වැව ද, ළිහිණිය පවුවෙහි ඉහළ පහළ වැව් දෙක ද, මෙහි සඟ්වැල්ල ද, පහනෑවිල්ල වටා බිම ද, පොරොදෙනි පොකුණ වටා බිම ද, මේ තාක් තැන් හි ලැබීම්, වෙහෙරට ගත යුතු ය. වෙහෙරේ දාසයන් හා නිලධාරීන් හැර, වෙහෙර භූමියේ වසන ගෙහිමියන් ගෙන්, බිම් කුළිය නිසි සේ වෙහෙර ට ගත යුතු ය. කසාවත් ගත් වේෂයට අනුරූප නොවන, ක‍්‍රය - වික‍්‍රය ආදී කටයුතු කරන්නවුන් ට ද, පණීවා (ප‍්‍රාණඝාත) කරන්නවුන් ට ද, පර්වත සීමාවේ විසිය නොදිය යුතු ය. වෙහෙර සඳහා මිස දැකුම්කළු වස්තු නිලධාරීන් නොගත යුතු ය. මේ වෙහෙරට ආබද්ධ තාක් ගම් බිම්, කාර්යයන් හි බැඳ තැබීමට සළසනු මිස, බද්දට නොදිය යුතු ය.


තුන් දිනකට වරක් ලැබෙන නිවාඩුව මිස, පොහොය, මඟුල් ආදී සෙසු නිවාඩු නොගත යුතු ය. නිලධාරීන්, වෙහෙර දාසයන් (තමන් ට) ජීවිකාව පිණිස දුන්නාක් මිස, ඇතුල් වෙහෙරට ආබද්ධ තාක් තැන් වල උකස් / ප‍්‍රවේණි / බදු කොට කුඹුරු, රුප්පා (වතු) ආදිය නොවැළඳිය යුතු ය. වෙහෙරේ කටයුත්තකට ගිය නිලධාරීන්, ශස්‍යකාරයන් දෙන පෙර සිරිත් බිළි සහල් මිස, බැහැරින් වැටුප් නොගත යුතු ය. ගෙහිමියන් ගෙන් පඬුරු නොගත යුතු ය. මොවුන් ගෙන් හීළෑ ගොනුන් ගෙන, නිලධාරීන් තමන් සඳහා ගොවිකම් නොකරවිය යුතු ය. ශස්‍යකාරයන් පරපුරෙන් පවතින බදු කුඹුරු, පවත්වාගත නොහැකි වුව හොත් මිස, (ඔවුන්ගෙන්) ලබා නොගත යුතු ය. වතු පෙත් වලට වැද නීති විරෝධී දේ නොකළ යුතු ය. ගස් කොළ නොකැපිය යුතු ය. මේ වෙහෙරට අයත් තාක් ගම් බිම් වල තල, මී ආදී පල ඇති රුක්, නිලධාරීන් එකතුව දුනහොත් මිස කැපිය නොදිය යුතු ය.


ගෙහිමියන් කළ වරදක් ඇතොත් ගම් සිරිත් පරිදි දඩ ප‍්‍රමාණ කොට, ප‍්‍රමාණ කළ දඩය මැන සළකුණු කර, වට ප‍්‍රමාණය සොළොස් රියන් ද, ගැඹුර රියනක් ද වූ කැබැල්ල බැගින් ගෙන වැව් මෙහෙ කරවිය යුතු ය. (වැව් මෙහෙය) නොකරතොත්, ප‍්‍රමාණ කළ දඩය ගත යුතු ය. වෙහෙරට අයත් තාක් ගම් බිම් හි ලාභයන්, ජීවිකා කොට දුන්නාක් මිස ඉතිරි තාක් තැන් සම්බන්ධයෙන් නිලධාරීන් සමඟ ප‍්‍රත්‍යක්ෂ වන සෙයින් අය කළ තාක් පඤ්චිකා පොතෙහි ලියවිය යුතු ය. මහපාක වෘත්තියට ද, වැටුප් ගෙවීමට ද, නව කර්මාන්තයන් ට ද, දවස් පතා වැය වූ තාක් පඤ්චිකා පොතෙහි ලියවා, ප‍්‍රධාන නිලධාරීන් එකතු වී අත්සන් කර, සන් තැබිය යුත්තන්ගේ මුද්‍රාවෙන් පිහිටුවා, මුද්‍රා තබන කරඬුවෙහි තබා, මාසයක් මාසයක් පතා ම අත් පොත් ඉවත ලා, එක් අත් පොතක් කොට, අවුරුද්දකට ඇති අත් පොත් දොළොසින්, අවුරුදු අවසානයේ ලේකම් පොත කරවා, සංඝයා මැද දන්වා නිමා කළ යුතු ය. මේ සිරිත් ඉක්මවූ නිලධාරීන් ගේ ගෙය දඩයට ගෙන, සේවයෙන් හැරිය යුතු ය.


2 ලිපිය

විහාරය බලන හිමියන් ට දවස් පතා සහල් එක් නැළියක් ද, වස්සාන බණ ට රන් කළඳක් සහ සතර අකක් ද, පවාරණ බණෙහි දී ද මෙතෙක් ම ද, නියාමක දෙටුවෙකු හට ජීවිකාව පිණිස පස් කිරියක් ද, දවස් පතා සහල් එක් නැළියක් ද, අවුරුද්දකට සුදුකම් (හුණු ගෑම) සහ මල් මිල ට පසළොස් කළඳක් ද, අයකැමියා ද, වෙහෙරේ ලියන්නා ද, කරඬු ලියන්නා ද, කරඬු අත්සන් තබන්නා ද, පරීක්ෂක නිලධාරියා ද, (යන අයගෙන්) එක් අයෙකුට පස් කිරියක් බැගින් ද, පිරිවහන වෘත්තියේ නිලධාරියෙක් හට එක් කිරි දෙපෑළක් ද, සහල් මනා දෙක හමාරක් ද, සරසන්නෙකු ට දෙපෑළක් ද, සහල් මනා එකහමාරක් ද, මඟුල් දෙටුවෙකු (ජ්‍යෙෂ්ඨ උත්සව සංවිධායක) හට එක් කිරියක් ද, දමියෙන් (එනම් ගමෙන්) කොටසක් ද, අවුරුද්දකට සුදු කම් හා මල් මිල ට කළං තුනයි දෙ අකක් ද, පහන් වැටි නිලධාරියෙකු හට එක් කිරියක් ද, දමියෙන් කොටසක් ද, මහ බෝ සතුටු මංගලයෙහි පිළි සඳහා එක් කළඳක් ද, මැටි පාත‍්‍ර කරුවෙකුට එක් පාදයක් ද, සහල් දෙ පතක් ද, (වෙහෙරින්) පිට මෙහෙකරුවෙක් හට ද, රජගෙයි උපන් නිලධාරියෙකු හට ද, එක් අයෙකු ට එක් කිරි දෙපාදයක් බැගින් ද, එක් අයෙකු ට මනා දෙක හමාර බැගින් සහල් ද, සොළී බෙරවායෙකු ට දෙපාදයක් ද, සහල් මනා එකහමාරකුත් දෙ පතක් ද, පධානඝර පරිපාලකයෙක් හට දෙපාදයක් ද, දමියෙන් කොටසක් ද, රතන සූත‍්‍ර මහබෝ මංගලයෙහි පිළි සඳහා එක් කළඳක් ද, පර්වත පරිපාලකයෙකු හට දෙ පාදයක් ද, දමියෙන් කොටසක් ද, ඇළ නායකයෙකු (ජල සම්පාදක නායක) හට දෙපාදයක් ද, සහල් මනා එකහමාරකුත් පතක් ද, ජලසම්පාදකයින් එකොළොස් දෙනෙකු හට එක් අයෙකුට දෙපාදය බැගින් ද, දමියෙන් කොටස බැගින් ද, කුළීි කරුවන් සතර දෙනෙකු හට එක් අයෙකු ට මනා එක හමාරක් බැගින් සහල් ද, එක් අයෙකු ට ජීවිකාව පිණිස දෙපාදය බැගින් ද (දිය යුතු ය.)


මේ වෙහෙරෙහි භික්ෂු සංඝ හිමියන් ට වැඩිමහලූ පිළිවෙලින් සිවුරු සකස් කොට, එක් අයෙකුට ලද්දාවූ (මිළ) සිවුරු සාදන නිලධාරීන් බෙදා ගත යුතු ද (වන අතර), වෙහෙරේ අත්සන් කරන දෙදෙනෙකු හට එක් අයෙකුට දෙපාදය බැගින් ද, සහල් මනා එක හමාරකුත් පතක් බැගින් ද, කෝෂ්ටාගාර ආරක්ෂක නායකයෙකු හට දෙපාදයක් ද, සහල් මනා එක හමාරකුත්් දෙ පතක් ද, කෝෂ්ටාගාර ආරක්ෂකයෙකු හට දෙපාදයක් ද, සහල් මනා එක හමාරක් ද, දෙටු මව ට පාදයක් ද, සහල් මනා එක හමාරකුත් දෙ පතක් ද, බත් ගෙයි ලැදියට (බත් ගෙය භාර ස්ත‍්‍රියක් විය හැකි බව විමලකිත්ති හිමියන් ගේ අදහස යි) පාදයක් ද, සහල් මනා එක හමාරකුත් දෙපතක් ද, දාසීන් හට විධාන කරන ස්ත‍්‍රියක් හට දෙපාදයක් ද, පිරිවර දාසීන් විසි හතර දෙනෙක් හට එක් අයෙකුට පාදය බැගින් ද, අවුරුද්දකට පිළි කාරයන් හට එක් අයෙකුට කළඳ බැගින් ද, සඟ් වැල්ලෙහි උපන් නිලධාරියෙකු හට කිරියක් ද, සහල් අඩ මනාවක් ද, පිසින (උයන) සේවකයන් දොළොස් දෙනෙකු හට එක් අයෙකුට තළොල ගමින් (එනම් ගම) කිරියකුත් දෙ පාදයක් ද, සේවක දෙටුවෙකු හට සහල් මනා එක හමාරකුත් පතක් ද, දර ගෙනවුත් බත් පිසින සේවකයෙකු හට සහල් මනා තුන හමාරක් ද, නො පිස, දර සපයන සේවකයෙකු හට ද, ගමන් මුරය ගිය සේවකයෙකු හට ද, එක් අයෙකු හට සහල් මනා දෙක හමාරක් බැගින් ද, ගෙනා දර වලින් බත් පිසින සේවකයෙකු හට සහල් මනා එක හමාරක් ද, පහයේ වසන දෙටුවෙකු හට දෙපාදයක් ද, සහල් මනා එක හමාරකුත් පතක් ද, පහයේ වසන එකොළොසක ට එක් අයෙකු හට දෙ පාදය බැගින් ද, එක් අයෙකු හට සහල් මනා එක හමාරක් ද, දවස් පතා යලා පහක් සපයන කුඹලූන් පස් දෙනෙකු හට එක් අයෙකු ට කිරිය බැගින් ද, මාසයක් මාසයක් පාසා පාත‍්‍රා දහයක් සහ කළ දහයක් සපයන පාත‍්‍රා කුඹලෙකු හට කිරි දෙකක් ද, සහල් මනා දෙක හමාරක් ද, මසකට පෙරහන් කඩක් සපයන පෙරහන් සාදන්නියක ට කිරියකුත් දෙපාදයක් ද, වෙදෙකු හට දෙතිසෑ හේනෙන් නින්ද ගම් (වශයෙන්) පෑළක් ද, දමියෙන් කොටසක් ද, කූඬළු වෙදෙකු හට (කූඬැල්ලන් යොදවා ලේ හරවන) දෙපාදයක් ද, දමියෙන් කොටසක් ද, මඩොව්වෙකු හට (කෂාය සාදන්නෙකු විය හැක) කිරියකුත් දෙ පාදයක් ද, දමියෙන් කොටසක් ද, නැකැතියෙකු හට කිරි දෙකක් ද, දමියෙන් කොටසක් ද, කරණෑමියෙකු හට කිරියක් ද, දමියෙන් කොටසක් ද, දාගෙයි අත්සන් කරන්නෙකු හට ද, ගණ දෙටුවෙකු හට ද, කරඬු ලියන්නෙකු හට ද, වාර දෙටු (වාරයකට අනුව වෙහෙර ආරක්ෂා කරන ප‍්‍රධානීන්) තුන් දෙනෙකු හට ද, (යන) මොවුන්ට ජීවිකාව පිණිස කරන්දෑගම ද, වරින් වර දුම් මල් සපයන්නෙකු හට දමියෙන් කොටස් හතරක් ද, දාගෙහි (පහන්) වැටි හා තෙල් සඳහා මෙම ගමින් පෑළක් ද, දාගෙහි සුදු මල් ගෙනෙන මල් කරුවන් දෙදෙනෙකු හට මෙම ගමින් දෙ කිරියක් ද, දමියෙන් එක බැගින් කොටස් ද, මසකට එක සිය විස්ස බැගින් මල් දෙන මහනෙල් ගොවියෙකු හට සපු ගමින් දෙ කිරියක් ද, සිත්තරෙකුට දෙ කිරියක් ද, දාගෙය රකිනා රට ලද්දෙකු හට සහල් එක නැළියක් ද, මහ බුදු ගෙහි දුම් මල් සපයන්නන්ට ද, බණ වදාරණ දැහැමියන් ට ද, දැහැමි ආචාර්යයන් ට ද, යන සය දෙනෙකු හට, (යන) මොවුන්ට ගුතෑගම ද, මහ බුදු ගෙහි මල් කරුවන් හට මෙගමින් දෙපාදයක් ද, දමියෙන් කොටසක් ද, මේ ගමෙහි දුම් මල් සපයන්නෙකුට දමියෙන් කොටස් දෙකක් ද, කර්මාන්ත භාරකරුවන් ට අයෙකු ට දෙපාදය බැගින් ද, එක් අයෙකුට මනා එක හමාරකුත් දෙපතක් බැගින් සහල් ද, දාගෙහි බුද්ධ අභිෂේකයට තෙල් ගන්නා එක් බඳුනක් ද, දිය පෙරහන එක් වස්ත‍්‍රයක් ද, පිළිමගෙහි ද මේ තාක්ම ද, (තැබිය යුතු ය)


කාර්මිකයන් (සම්බන්ධ) ලේකම් (තනතුර) දරන්නෙකු ට කිරියකුත් දෙපාදයක් ද, සහල් මනා දෙක හමාරක් ද, වඩු මහ ඇදුරෙකු හට බොඩ වෙහෙර නම් හේන ද, වඩු ඇදුරන් දෙ දෙනෙකුට ද, සීරු (කැටයම්) වඩු අට දෙනෙකු හට ද, උළු වඩුවන් දෙ දෙනෙකු ට ද, (යන) මොවුන්ට වඩු දෙවෑගම ද, ලී වඩු දෙ දෙනෙකු හට එක් අයෙකුට කිරිය බැගින් ද, මණිකාර මහ ඇදුරු දෙදෙනෙකු හට එක් අයෙකු ට තුන් කිරිය බැගින් ද, කඹුරන් (ලෝකුරු) දෙ දෙනෙකු හට, අයෙකු ට කිරියක් බැගින් ද, හුණු පුළුස්සන්නන්ට හුණු බොල් දෙවෑගම ද, ගැල් කරු සය දෙනෙකු (වන) මොවුනට දුනුගම ද, නවකම් වල නියුතු කැබළි ගමක දෙටුවෙකු හට කිරියක් ද, සහල් මනා එක හමාරකුත් පතක් ද, කැබළි ගම් වල දොළොස් දෙනෙකු හට සහල් මනා එක හමාර බැගින් ද, මොවුනට ජීවිකාව පිණිස දෙපාදය බැගින් ද,


නවගුණ මහ සෑයෙහි ද, නැටෙවිය මහ සෑයෙහි ද, ඈමබුලූ මහ දාගැබෙ හි ද, සෑ ගොවුවන් (දාගැබ් ආරක්ෂකයන්) තුන් දෙනෙකු හට, අයෙකු ට දෙ පාදය බැගින් ද, මේ වෙහෙරේ උඩුගල ට, යටිගල ට (පර්වතය උඩ සහ පහළ) ද, ඇත්වෙහෙරට ද ප‍්‍රති බද්ධ දාගැබ් ආදිය ඇමැද, පිරිසිදු කර රකින්නන් ට දමියෙන් එක බැගින් කොටස් ද, දාගෙහි ද, පිළිමගෙහි ද, බත් ගෙහි ද, (යන තැන් වල) මෙහෙ කරන මිනිසුන් පිණිස, පිළී ද, පොරෝණා කවච ද, හිස් වැසුම් ද, අපුල්ලන රදවුන් දෙ දෙනෙක් ද, (දී) මොවුනට මඟුලව (ගමෙහි) තුන් කිරියක් ද,


මේ වෙහෙරට බද තාක් ගම් බිම් හි මාර්ග බද්ද ද, කුළී බද්ද ද, මෙලාට්සි නම් බද්ද ද, මේ වෙහෙරට ම නින්ද කොට ගත යුතු ය. මගතොට අයාළේ යන්නන් නොවදනා ලෙස ද කළ යුතු ය. කණැවැවෙහි දිය වදනා තාක් තැන් වල, පෙර දෙමළ (පාලන) කාලයේ දිය බද්ද මේ වෙහෙරට ම ගත යුතු ය. මේ වෙහෙරට ආබද්ධ තාක් ගම් බිම් කවර පරියායකින් හෝ උකස් කිරීමට හෝ ප‍්‍රවේණි කොට හෝ නොදිය යුතු ය. (එසේ) ගත්තවුන්ගේ රන් (මුදල්) අහිමි කොට වෙහෙරට ම නැවත ගත යුතු ය. දුන්නවුන් දේශයෙන් යැවිය යුතු ය. (පිටුවහල් කළ යුතු ය) මේ නියමයෙන් තැබූ මේ සිරිත් නොඉක්මවා පැවැත්විය යුතු ය.


විමර්ශනය


මිහින්තලා ලිපි වල සඳහන් වන්නේ නීති මාලාවක් නොව සිරිතක් ලෙස පැවතීම අපේක්ෂා කෙරුණු විධි විධාන පෙළකි. මෙය පුරාණ ලක්දිව පැවති නීති ක‍්‍රමයේ පැවති සාර්ථක ලක්ෂණයක් ලෙස දැක්විය හැක. මූලික වශයෙන් මෙම ලිපි වල අන්තර්ගත වන ආරාමික පරිපාලන ක‍්‍රමයෙහි පැවතුනු සංවිධිත බව සැළකිය යුත්තකි. එහි ඇති මූලික ලක්ෂණ වන්නේ,


1. මෙම සිරිත මහා සංඝ සන්නිපාතයකදී සම්මත කෙරුණක් වීම,

2. විහාර පරිපාලනය පිළිබඳ කටයුතු පැවිදි පාර්ශ්වයෙන් ද, ඔවුන්ගේ නෑයන්ගෙන් ද වෙන් වූ කරුණක් වීම,

3. කිහිප දෙනෙක් එක්ව කටයුතු කිරීම සහ අධීක්ෂණය මඟින් විනිවිද භාවය පවත්වා ගැනීම,

4. සඟ සතු දෙය අයථා ලෙස හෝ ලාභ ලැබෙන පරිදි හෝ තම තමන්ගේ ප‍්‍රයෝජනයට හෝ නොයෙදවීම සහ නිලධාරීන් අත්ලස් ගැනීම වැළැක්වීම,

5. ආරාමයට අයත් සිද්ධස්ථාන වල පූජා කර්ම, අළුත්වැඩියා කිරීම් සහ වාර්ෂිකව හුණු ගෑම සඳහා ප‍්‍රතිපාදන සහ විධි විධාන සළසා තිබීම, ආදිය යි.


මීට අමතර වශයෙන් පහත සඳහන් අමතර කරුණු මෙම අභිලේඛනයෙන් උකහා ගත හැකි වේ.


1. විහාරගම් වල නිවාස වලින් බද්දක් ද, ඉඩම් වලින් බිම් කුළියක් ද අය කර ඇති බව,

2. යමෙකුගෙන් අය කළ යුතු බද්ද වෙනුවට වැව් කර්මාන්ත කරවීමෙන්, වාරි කර්මාන්තය ප‍්‍රවර්ධනය කර ඇති බව මෙන්ම එම වැඩ කොටස ද ඉතා නිශ්චිත ලෙස දක්වා ඇති බව,

3. විවිධ සංකීර්ණ කාර්යයන් සඳහා නිලධාරීන් සහ වෘත්තිකයන් රැසක් නියම කර ඇති බව සහ ඔවුන් සියල්ලටම රාජකාරි ක‍්‍රමය වැනි ක‍්‍රමයකින් ජීවිකාව සළසන ලද බව,


මෙකී නිලධාරීන් පහත පරිදි වර්ග කළ හැක,


පරිපාලකයන් සහ ලේකම් වරු හෙවත් ලියන්නන්

නකා බලන හිමියන්, වෙහෙර් පිරිවහනුවා, නියම් ජෙටු, ආ කැමියා, පසක් කැමියා, වෙහෙර් ලෙයා, කරඬ් ලෙයා, කරඬු අත්සමු, මඟුල් ජෙටු, පියන්ගල් පෙරෙවැළි, පවු පෙරෙවැළි, ඇළිනාවා, වෙහෙර් අත්සම්, කොට රැකිනාවා, දාගේ අත්සම, කම්තැන් ලෙදරු


වෘත්තිකයන්

වෙහෙර් දසුන්, කැමියන්, කම්තැන්, පිරිවහනු වත කැමි, සිවුර් සාහන කැමියන්, කොට රැකි, ජෙට් මවු, මිඩි වැජෑර්ම, වට් මිඩි, පහා වැසි ජෙට, පහා වැසි, කමස්සමක්, වඩු මහ ඇදුරු, ඇදුර වඩු, සිර් වඩු, උළු වඩු, කටු වඩු, මිණිර් මහා ඇදුර්, කම්බුර්, සුනුබොළ්නා, ගැල්ලන්, කම්නවෑමැ කැබිළි ජෙට, සෑගොවු, ගණ ජෙටු, වර්ජෙටු, දාගෙ රක්නා රට්ලදු, අපුලන රදවුන්



බත්ගෙයි වෘත්තිකයන්

බත්ගෙ ලැදි, පිසන සලයින්, සලා ජෙට, දර්නගා බත්පක් සලයා, නොපිසැ දර් නැගූ සලයා, ගමන් වර් ගිය සලයා, නැගූ දරැ බත් පක් සලයා


පූජා කටයුතු සඳහා භාණ්ඩ හා සේවා සපයන්නන්

වත්සිකා කැමි, මැටි පතක්, පිරි මස්සක්, ඔල්කැමි, පිළි වර, කුම්බල්, පාකුම්බලක්, පැරැහැන්දියක්, වෙද, පුහුඬා වෙද, මඩොවුවා, නැකැතියා, නැවියා, මල් වර, මහනෙල් ගෙවු, සිත්තර, දුම්මලස්සම්


මීට අමතරව මිහින්තලා පර්වතයේ පැවති ස්ථාන සහ අවට ගම්මාන රැසක නම් මෙම පුවරු ලිපි වල සඳහන් වේ. ආරාමයට අයත් ස්ථාන ලෙස දාගෙය, කතු මහ සෑය, කිරිබඬ්පවුව, මඟුල් මහ සල පිළිම ගෙය, මහ බෝගෙය, නයින්ද, මිණිනාල් දෙව් දුන් ගෙය, පියන් ගල, මහ බුදුන් ගෙය, නවගුණ මහ සෑය, නැටෙවිය මහ සෑය, ඈමබලූ මහ දාගැබ, දැක්විය හැක. එසේ ම, සෑම මහා විහාරයකම පැවති බවට සාධක හමුවන රෝහල පිළිබඳව ද මෙහි සුළුවෙන් නමුත් සඳහන් වේ. ආරාමයට ආබද්ධ ගම්මාන ලෙස, දම්ගමිය, ඇළ්ගමිය, ගුත, කරන්ද / කරන්දෑගම, සඟ්වැල්ල, මණූවෑසර, ළිහිණිය පවුව, පහනෑවිල්ල, පොරෝදෙණි පොකුණ, දමිය, තළොලගම, සපුගමිය, වඩු දෙවෑගම, සුණුබොල් දෙවෑගම, දුනුගම, මඟුලව, දෙතිසෑ සෙණ, බොඞ් වෙහෙර සෙණ, කණැවැව ආදිය මෙම අභිලේඛනයෙන් සපයා ගත හැකි ස්ථාන වේ.


මෙහි සඳහන් කරුණු වලින් සපයා ගත හැකි බාහිර සමාජමය තොරතුරු අතර මිණුම් ක‍්‍රම සහ බදු පිළිබඳ තොරතුරු වේ. භූමි වපසරිය පිළිබඳ මිණුම් අතර, කිරිය, පෑළ සහ පාදය පිළිබඳව සඳහන් වන අතර අස්වැන්න පිළිබඳ මිණුම් ලෙස පෑළ, මනාව සහ පත සඳහන් වේ. මුදල් හෝ රන් පිළිබඳ මිණුම් අතර කළන්ද සහ අක මෙම ලිපි වල සඳහන් වෙයි. ගෙදඞ්, බිම් සොවය්, මග්ගිව, පියගිව, කුළී සහ මෙලාට්ස මෙම අභිලේඛනයේ සඳහන් බදු ය.


ලබා දෙන ආහාර හා වස්ත‍්‍ර කොටස් මඟින්, ශිෂ්‍ය භික්ෂූන් අතර සමහර විෂයයන් උගෙනීම ධෛර්යවත් කර ඇති බව පළමු ලිපියෙන් පෙනේ. ඒ අනුව, විනය පිටකයට වඩා සූත‍්‍ර පිටකය ද, ඒ දෙකටම වඩා අභිධර්මය ද උගැනීම ප‍්‍රවර්ධනය කර තිබේ. එසේම, සොම්නස් මහබො මඟුල’, වසන් බණ’, රුවන් සුත් මහබො මඟුල’, බුද්බිසොව යන ආගමික උත්සව පිළිබඳවද මෙම අභිලේඛනයේ සඳහන් වේ. බුද්ධාභිෂේකය හෙවත් බුදු පිළිම අභිෂේක කිරීම මහායානික පිළිවෙත කි.


පළමුවන ධර්ම සංගායනාවෙන් පසුව විනයධර උපාලි රහතන් වහන්සේ ගේ ශිෂ්‍ය පරපුරෙන් ථෙරවාදයත්, ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරුන්ගේ ශිෂ්‍ය පරපුරෙන් මහායානයත් පැවතෙනු බව පිළිගැනෙන මතය කි. අභයගිරි විහාරය බලවත් වෙද්දී, මිහින්තලා ආරාමය ද තවත් විහාර රැසක් සමඟ අභයගිරි වෙහෙරට අයත් වූ අතර, මිහින්තලා පුවරු ලිපි පිහිටුවන ලද්දේ අභයගිරි විහාරයේ භික්ෂූන් වහන්සේලාගේ ද සම්මතයෙන් වීම ඊට නිදසුණකි. සමහර විට, විනය පිටකය හදාරන භික්ෂූන් හට අඩුම සළාකයත්, අභිධර්මය හදාරන සංඝයා හට එමෙන් දෙගුණයකට වැඩි සළාකයකුත් ලබා දෙන ලෙස නියම කර ඇත්තේ ඉහත කරුණ හේතු කොටගෙන වන්නට ඉඩ තිබේ.


පැරණි ආරාම පරිපාලනයේ පැවති විනිවිද භාවය, ගණ සාමග‍්‍රිය මෙන්ම, මූල්‍ය සහ පිරිස් පාලනය සංඝයා වහන්සේ හට අකැප වූ බව සහ ඊට අනුරූපව පණවා තිබූ පරිපාලනමය විධිවිධාන මෙම අභිලේඛනයේ පැහැදිළිව දක්වා තිබේ. එසේ ම අනුරාධපුර රාජ්‍ය පාලනයේ අවසාන සමයේ දී මෙවැනි නීති සංග‍්‍රහයක් පැණවීමට තුඩු දුන් අන්දමේ වාතාවරණයක් පැවතුණ බව ද අනුමාන කිරීමට ඉඩ තිබේ. කෙසේ වෙතත්, එවක සෑගිරි ආරාම සංකීර්ණයේ පරිපාලනය, ශ‍්‍රම විභජනය සහ වේතන - ජීවිකාව පැහැදිළි ලෙස නියම කර පැවති ආකාරය මෙන්ම, ආගමික සංස්ථාව මූලික කොටගෙන එවක සමාජ ක‍්‍රමයේ යම් පැතිකඩක් ද මිහින්තලා පුවරු ලිපි වලින් උකහා ගත හැක.

9 comments:

  1. ඩ්‍රැකී , උඹේ ලිපිවල අන්තර්ගතය බොහොම සාරයි, ඇත්තටම මේ කරුණු අද බොහෝ දෙනෙකු අසාවත් නැති ඒවා,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං. මටත් මේ විස්තර ඕනෙ වෙලා ඉන්ටනෙට් එකේ හෙව්වට එච්චර දෙයක් සිංහලෙන් හම්බුන් නෑ. ඒකයි මේ ලිපි මම ආයෙ ඉන්ටනෙට් එකේ දාන්නෙ. ඉගෙනගන්න හොයන එකෙක්ට හරි හම්බවෙයිනෙ.

      Delete
  2. අනේ රත්තරන් අය්යේ ඔයාගේ මේ ලිපි කියෙව්වාම මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මොනවද කියලා මට හිතුනා අය්යේ. ඔයාලා හරිම ප්‍රවීණ උගත් අය. මම එහෙම නැහැ. මම තනිකරම බ්ලොක්කරණයට ආධුනිකයි අය්යේ. ඒ නිසා මම හා හා පුරා කියලා පටන් ගත්තු බ්ලොග් එකට දැන් ලිපි දාගෙන යනවා. මම දන්නේ නැහැ ඒවා හොඳයිද නරකයිද කියලා. අනේ අය්යේ මාව වරදවා වටහාගන්නේ නැතුව මට අනුකම්පා කරලා මගේ බ්ලොග් එකට ඇවිල්ලා ඒ ලිපි කියවලා හොඳ නරක ගැන කියලා අදහස් දාලා මාව දැනුවත් කරන්න මගේ සුදු අය්යේ. ඔයා එනකම් මේ නංගි මඟබලා ඉන්නවා මගේ රත්තරන් අය්යේ...

    ReplyDelete
  3. වටින ලිපියක්....

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඉස්තූතියි...

      Delete
  4. සමාවෙන්න අයියේ .. නිවාඩු පාඩුවේ කියවන්න ඕන නිසා ඉස්සුවා .. අවුලක්ම නැනේ .. පස්සේ ලියන්නම් මේ ගැන .. මගේ කැමතිම විෂයක් ... ජය හෝ

    ReplyDelete
    Replies
    1. ඕං සමා වුනා. කොහෙවත් පළ කරන්න එපා මචං, ඉස්සුවට කමක් නෑ.

      Delete
  5. හරිම අගෙයි...ඔබතුමා කරන් මෙහෙය අගය කරමි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ගයාෂි... තුමා කියන්ඩ එපා ඈ...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ලබ්බෙ මගුල

මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම: මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගු...

ගොඩක්ම කියවපු ලිපි