ඩ්‍රැකියගෙ අඩවියෙ නිතර සැරිසරන්නෝ

මැතිණිගෙ කාලෙ දවසක්...


නිසල සහන් ලිව්ව උපාලි මෝටර් රථ ගැන පොස්ටුව දැකලා ඩ්‍රැකියගෙ ලේ කකියන්න ගත්තා. වෙසක් කළාපයෙ ලියන්න හිටිය ආඝාත පටිවිනය ගැන පෝස්ටුව ටිකකට කල් දාලා, ඩ්‍රැකියගෙ ශෛලියෙන් ලියන්න හිතුණා බොහෝම පරණ ආතල් කතාවක්, ඒ හැටියෙන්ම. මේ පරණ කතාවෙන් හෙළි වෙනවා, සිරිමාවෝ ආර්. ඩයස් බණ්ඩාරනායක කියන අපේ ජනතා මාතාවගේ පාලන කාලයේ ජන ජීවිතයේ එක් පැතිකඩක්. කියවලා හිනාවෙන්නද අඬන්නද කියලා මට හිතාගන්න බෑ හැබැයි.

ඕං දවසක් කුකුල් ෆාම් එකකට පරීක්ෂකයෙක් පැන්නලු. උන්නැහැ අයිතිකාරයවත් එක්කරගෙන අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කළාලු සෞඛ්‍යාරක්ෂිත බව, සත්තුන්ට තියෙන පහසුකම් ආදී සකල මනාවම. ආසාවට දඩයක් ගහගන්න එක පොයින්ට් එකක්වත් උන්දැට හොයාගන්න බැරි වුණාලු.

අන්තිමේ බැරිම තැන උන්නැහැ ඇහුවලු, ‘කුකුල්ලුන්ට මොනවද සාමාන්‍යෙන් කන්න එහෙම දාන්නෙ? ‘ කියලා. අයිතිකාරයා කිව්වලු, ‘ළග බේකරියෙන් ගන්නවා පරණ පාන් එහෙම...‘

කියල කට ගන්න වත් හම්බුන්නෑ, ‘හහ්. තමුසෙ අධිරාජ්‍ය වාදයට උදව් කරනව නේද? කුකුල්ලුන්ටත් දෙන්නෙ පාන් ඈ? ඇමරිකන් පාං පිටි කවපු කුකුල්ලුද තමුසෙ ජනතාවට කන්න දෙන්නෙ?‘ කියල ගැහුවලු ටොම්බ දඩයක්.

ටික කාලයක් ගෙවිලා ගිහිං, සියරට දේ ජනතාවට ප්‍රමාණවත් වෙන්න සපයන්න අමාරු කාලෙ, (ඉතින් පරීක්ෂක වරුත් හම්බකරගෙන කන්න එපැයි) ආයෙත් වතාවක් පරීක්ෂකය පැන්නලු අර ෆාම් එකටම.

කලින් වගේම අස්සක් මුල්ලක් නෑර චෙක් කොරලා, උන්නැහැ ඇහුවලු කලින් ප්‍රශ්නෙම. අයිතිකාරයට මතකයිනෙ කලින් දුන්න උත්තරෙන් කාපු පරිප්පුව, එයා කිව්වලු. ‘වෙන මොනවද ඉතින්, සියරට දේනේ, මම දෙන්නෙ හාලුයි වී යි‘ කියලා.

‘හා එහෙමද? මෙච්චර මේ මිනිස්සුන්ට හාල් දෙන්නෙත් සළාකෙට. හාල් ප්‍රවාහනය කරන්නත් සීමා කරල තියෙන්නෙ. සතියකට වේල් කීපයයි බත් කන්න පුළුවන්. තමුසෙ මෙතන කුකුල්ලුන්ට දාන්නෙත් හාල් නේද?‘ කියලා ආයි පාරක් ගැහුවලු පත සයිස් දඩයක්.

ඕං ඉතින් තව ටික කාලයක් ගෙවිල ගියයි කියමුකො. ආයෙ දවසක් ආවලු ඔය කියන පරීක්ෂකයා, ඒ ෆාම් එකටම. කලින් වගේම චෙක් කොරළා, කොරළා, ඇහුවලු සුපුරුදු ප්‍රශ්නෙ. අයිතිකාරයට මලම පැන්නලු. ඌ කිව්වලු,

‘මං දන්නෑ මහත්තෙය. මම හැමදැම උදේට කුකුළෙකුට රුපියල් පහ ගානෙ දෙනවා. උන් කොහේ ගිහිං මොනව කාල එනවද කියල මම හොයන්නෑ. මට මොකටද උන්ගෙ පෞද්ගලික කාරණා ? අපේ මැඩමුත් බලන්නෑනෙ අපි කන්නෙ මොනවද? කොහොමද කියලා‘ කියල.

ඔන්න ඔහොමයි අපේ මැතිණිගෙ කාලෙ ජන ජීවිතය.

පින්තූරය ඉස්සුවෙ : http://srilog.com/jpc/uploads/2011/09/bandranaike-mrs-b.jpg

ප/ලි
කලින් සැරේක මම මාතලන් අයියගෙ කමෙන්ට් එකකට පිළිතුරු හැටියට කිව්ව වගේ, මගේ ආතල් කතා හැම එකක්ම දේශපාලනිකයි. මේකෙ නම් තියෙන දේශපාලනය එළියට පේනවනෙ. අනිත් කතා වලත් තියෙන දේශපාලනික පැත්ත විග්‍රහ කරන්න පුළුවන්නම්, කමෙන්ට් වලට විවෘතයි.

Comments

  1. ගැළපෙනම කතාව draky...මට දුක රුපියල් 5 වට්ට ගත්ත කුකුල්ලු ගැන...

    ReplyDelete
    Replies
    1. ඒ කුකුල්ලුන්ගෙ පුරුද්ද ආරෙට ගිහින් තමයි දැන් ඉන්න කුකුල්ලු නිතරම බිම පහුරු ගගා හොයන්නෙ, රුපියල් පහ.

      Delete
  2. දේශපාලනයට පැත්තකින් තිබ්බත් ඔය ඉතින් මිනිස්සුන් ෙග හැටි ෙන්....

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ඒ තත්ත්වෙට පත්වෙන්න බලපාන්නෙත් රටේ තියෙන පාලන ක්‍රමයනේ නගා.

      Delete
  3. දැන් කාලෙ ඔය කුකුල් කො‍ටුවට ගියානං ඌව අරං යන්නෙ පාංපිටි තරස්තවාදෙට උදවු කලා කියලනෙ..

    ReplyDelete
    Replies
    1. ඉස්සර දේවල්, ගොඩක් පොලිෂ් කර එළිපිට හිරිකිත නොමැතිව දැන් පාවිච්චි කරමින් තිබේ.

      Delete
  4. ඩ්‍රැකී,
    ගාමිණී ෆොන්සේකාගේ සාගරයක් මැද ෆිල්ම් එක බලලා තියනවද?
    මම දන්න කාලයක් මේ. ඒ දිනවල අපි ඉස්කෝලෙ යන්න පැය 2 විතර පයින් යනවා. ලඟදි මම වාහනයකින් ඒ දුර ගිහින් බැලුවා. දෙයි හාමුදුරුවනේ කිලෝ මීටරම 6 විතර. හිතන්න උදේ හවා.

    පාන් පෝලිම ගැන නම් මාතලන්ගේ ලිපි වලදි ලියා ඇතිනෙ.

    අනෙක් කොයිවත් එහෙම තමයි. ලෝකෙ නියම පැත්තට යනකොට අපි ගියේ උඩුගම් බලා. ඒකෙන් වුනේ සමාජයට කවදාවත් හදාගන්න බැරි තරම් විනාශයක්. යැංකි ඩිකී ට වුනත් උහුලගන්න බැරි බලයක් ආවේ ඒ කරපු වරදි නිසා. අමිර්තලිංගම් විපක්ෂ නායකයා වෙනවා. ඇයි මිනිස්සුන්ට ඒ තරම් එපා වෙලා. මේවගේ සෘජු ප්‍රතිඵල තිස් අවුරුදු යුද්ධය. ඇතිනේද විදෙව්වා.
    ඉදිරියවත් බේර ගන්න මෙහෙම ලියන එක නම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. මට සාගරයක් මැද බලන්න ලැබුනෙ නෑනෙ වෙද මාමෙ.

      වෙද මාමගෙ විග්‍රහය හරි. ඩ්‍රැකියට නම් ජීවන අත්දැකීමක් තිබ්බෙ නෑ මැතිණිගෙ ආණ්ඩුව ගැන. ඩ්‍රැකිය ඉපදුනේ ඩිකීගෙ ජනාධිපති පාලන කාලෙ. මේ දේවල් ගැන ජීවන අත්දැකීම් තියෙන අයගෙ ලයිව් කතා වලින් අපි හැමෝටම ඉගෙනගන්න පුළුවන්. මොකද නිල වශයෙන් උගන්නන ඉතිහාසයෙ, ඇමරිකන් කුමන්ත්‍රණ වලින් මවු බිම බේරගත්ත වීරයො ගැනනෙ කියවෙන්නෙ.

      Delete
  5. මටත් මේ අඩනවද,හිනාවෙනවද කියලා හිතා ගන්න බැ බන් මේක දැක්කම...
    උබම කියපන්කො අපි මොකක්ද කරන්න ඕන කියලා...

    ReplyDelete
    Replies
    1. කරන්න ඕනෙ දේ, දැන් නම් කරන්න ඔනෙ මැතිණිගෙ ආණ්ඩුව ගැන නෙමෙයි මනෝජ්.

      Delete
  6. රුපියල් පහට මොනව කන්න ඇතිද බොලං අර කුකුල්ලු...

    ReplyDelete
    Replies
    1. හැත්තෑ ගණන් වල සිරා, පාන් රාත්තලකුත් රුපියල් දෙකක් විතර.

      Delete
  7. ම්හු.... කියන්න දෙයක් හිතෙන්නේ නෑ බං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට මොකක් හරි කියනු මැණවි රජෝ. නැත්නම් අපි මේ රාජාණ්ඩුව අහෝසි කරනවා ඕං.

      Delete
  8. මේ කතාවේ වෙන වර්ෂන් එකක් අහලා තිබබා. ඒත් මේක නම් නියමයි

    ReplyDelete
    Replies
    1. අනිත් වර්ෂන් එකත් දාපං බ්ලොග් එකේ. මම අහලත් නෑ ඒක.

      Delete
  9. කුකුල් කෑම මොනවද බන්. මම ඇස් දෙකට දැකලා තියෙනවා. පොලීසිය එනකොට මලු පාරේ තියලා දුවන මිනිස්සු. ගංජා මලු, කසිප්පු මලු නෙමෙයි. හාල් මලු. ගමේ කුඹුරෙන් කෝච්චියේ එවන හාල් මලු කීප වතාවක්ම නැති උනා. ඒ පාර සීයා හාල් එවන එක නවත්තලා දැම්මා. අර එකෙක් කියලා තිබුනා වගේ ගෙදරකට යනකොට අරගෙන යන්නෙ පාන් ගෙඩි දෙකක්, පත්තර කරදහි වල ඔතලා ගෝනී ලණුවලින් බැඳලා.

    අයිස්ක්‍රීම්, කුකුළු මස් කියන්නේ අධි සුඛෝපභෝගී කෑම...

    ReplyDelete
    Replies
    1. මම දන්නෙත් අම්මයි තාත්තයි කියන දේවල් තමා මාතලං අයියා. ඒ කියන දේවල් ඇහුනම හිතෙනවා, මුං කොයිතරම් පසුගාමී තැනකට ලංකාව ඇදං ගියාද කියලා. ප්‍රගතිශීලී වැඩ පටං ගත්තු සේනක බිබිලෙ, උපාලි වගේ අයට වෙච්ච දේත් අපි දන්නවනෙ.

      Delete
  10. මැතිනියගේ nephew කෙනෙක් වෙච්චි ෆීලික්ස් ඩයස් බණ්ඩාරණායකගෙ වයිෆ් ලක්ෂ්මිගෙ මහේස්ත්‍රාත් නංගිගෙ මහත්තයා ලංකාවේ දැවැන්ත කුකුල් ෆාම් ව්‍යාපාරිකයෙක් වූවා. මම සුළු කලක් ඔහුගේ ඇසිස්ටන්ට් හැටියට සේවය කළා. ඉතින් මැතිනියගේ කාලයේ රජයට විරුද්ධව චෝදනාවක් ගේන්න අවශ්‍ය වුනාම කුකුල් ෆාම් එක ඇද ගැනීම සාමාන්‍ය සිරිතක්. කුකුලන්ට කන්නට කිරිපිටි දෙනවා කියා බොරු චෝදනාවක් පත්තරවල පවා ගියා. ඒ කාලයේ දී ත් පැවති ඥාතිවාදයෙන් එම ව්‍යාපාරයට ලැබි අනුග්‍රහය සුළුපට නොවේ. එහි සාර්ථකත්වය දේශපාලන ව්‍යවසාකයත්වයයි.

    ReplyDelete
    Replies
    1. අරුණි අක්කව සාදරයෙන් මගෙ අඩවියට පිළිගන්නවා. ඔය ඉතිහාසය මම දැනගෙන හිටියෙ නෑ. ස්තූතියි දැනුවත් කිරීමට.

      Delete
  11. මචං ඩ්‍රැකී.. මේ පෝස්ට් එකෙන් උඹ අදහස් කරන්න ගිය දේ නම් ගොඩක් වටිනවා.. මාත් අහලා තියනවා ඔය සියරට දේ - සිරි සැප දේ කියන සංකල්පෙ නිසා ගිය අවුල්.. කතාව නම් නියමයි.. ෆාම් එක අයිතිකාරයා අන්තිමට දෙන ටෝක තමා එල..

    අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි බං.. මේකිත් අපේ රට කෑවා මේකිගෙ දුවත් අපේ රට නැත්තටම නැති කලා.. අනේ මුන්ගෙ අම්මලට #%$$#@% ඕනෙ මෙහෙම උන්ව බිහි කලාට..

    ReplyDelete
    Replies
    1. මම බොහොම පොඩි දෙයක් මචං කරන්නෙ. දේශපාලනය ජනතාව අතරට ගෙනියන්න යාංහෑලි යොදාගන්න පුළුවන්. ඒත් කෙළින් කියනවා තරම් ලොකු සේවයක් මේකෙන් කරන්න බෑ. මුන්ගෙ අම්මලට නම් #%$$#@% ඕනෙ තමයි. පරණ දේවල් ගැන කරන්න පුළුවන් දේට වඩා, දැන් ඉන්න උන්ගෙ අම්මලටයි #%$$#@% ඕනෙ මේ දැන් ම.

      Delete
  12. ඔය යුගය ගැන විස්තර මගේ සමීපතමයින් කියනවා මං අහල තියනවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් දාමුකො පෝස්ට් එකක් අපිටත් කියවන්න.

      Delete

Post a Comment

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ගොඩක්ම කියවපු ලිපි

ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

ඒක්තරා අැත්ත කතාවක්...

හැම දෙවියනේ පුළුවන්නං රකෝ රකෝ ! - මගේ පුස්තකාලයෙන්...

මෝසෙස් ගේ දෙවියන් සහ ජේසුස් ගේ දෙවියන්...

ගජබින්නාලංකාරය 15 වන කොටස...

හොඳම කම්මැලියා - කැකිල්ලේ කතා...

සාගරයක් මැද - අමන රටක් ඇත... (සිසිර කුමාර මානික්ක ආරච්චිගේ තවත් පොතක්)

ගමයගෙ මන්තරේ... ලංකාවෙ ජනකතාවකි.

කාලිදාස ගෙ කතාවක්

ඩ්‍රැක්‍යුලාගෙන් පසු - Dracula the Historical Figure - Final Part

ලියපු කතා...

Show more