ඩ්‍රැකියට ඇයි ඩ්‍රැකී කියන්නෙ? - ඩ්‍රැකියාගේ නවකතාවට පෙරවදනක්


මේ දවස් වල ඩ්‍රැකී බොහොම කාර්ය බහුල වුනා. ඒකට හේතුව ඩ්‍රැකියා අන්තර්ජංජාලයේ සැරිසරන්නේ වැඩපොළේ දී වීමයි. ළඟදිම ස්ථානමාරුවක් ලබා අලුත් ඔෆිසියකට යන්න පුල පුලා සිටින ඩ්‍රැකියා, ඉඩ ලැබුණු වෙලාවේ කොටලා, ෂෙඩූල් (ඇමරිකන් විදියට ස්කෙජූල්) කරලා දාපු පෝස්ට් කීපයක් තමා මින් පස්සේ හුදී ජනයට කියවන්න ලැබෙනවා ඇත්තෙ. ඒ නිසා, ඩ්‍රැකියා මහත් සේ අගය කරන ප්‍රතිචාර හෙවත් කොමෙන්ටු වලට පිළිතුරු ප්‍රමාද වෙන්න පුළුවන්. මේ බ්ලොග පටන්ගනිද්දිම ඩ්‍රැකියා පොරාන්දු වුන විදිහට ඩ්‍රැකියා පරක්කු වෙලා හරි හැම කොමෙන්ටුවකටම උත්තර බඳිනවා. ඒ නිසා කමෙන්ට් දාන උදවිය ඊට පහළින් තියෙන ඊමේල් සබ්ස්ක්‍රයිබ් මෙව්වා එකත් කොටනවා නම් පිළිතුරු ඊමේල් එකටම ගෙන්න ගන්න පුළුවන් වෙයි.

බ්ලොගට හා හා පුරා කියලා ආපු වෙලාවේ කීපදෙනෙක්ම මතු කරපු ප්‍රශ්නයක් තමා ඇයි මූ මෙහෙම නමක් දාගෙන ඉන්නෙ කියන එක. ඒකට පිළිතුරු ඉදිරියෙදි දෙඤ්ඤං කියලා ඩ්‍රැකියා කිව්වෙ, මග අරින්න හිතාගෙන නෙවෙයි. ඒක දිග කතාවක් නිසා.

ඒලෙවල් කරපු කාලේ ගොඩක් දෙනාට වගේම ඩ්‍රැකියටත් මාර ෆැන්ටසි බහුල කාලයක් උනා. කොමස් කරපු ඩ්‍රැකියා පාඩං කොළේ ගොඩක්ම ආට්ස් කරපු උං එක්ක. එකට පාඩං කරපු උන් වුන, රංග (next), සෝබන (ලීලසේන, බීන්, (කාලෙන් කාලෙට ප්‍රසිද්ධ වුනු හැම විකට නළුවෙක්ගෙම නම උගෙ කාඩ් එක වුනා)), ආසිරි (හර්කියුලිස්), ඉන්දික (නින්දිත, ශාන්ත ෆෝකා), මුදිත (රෝයල් රෝස්), දීපාල් (මහතුවා), අවන්ත, රනිල් (ආමර් වීදියෙ ගල් බෝරා), සම්මාන (බනියා), සාගල සහ ලංකා වගේම, (වරහන් ඇතුලෙ තියෙන්නෙ කෙනෙක්ට අනුමාන කරන්න පුළුවං විදිහටම උන්ගෙ කාඩ්) අපි පාඩං කරන තැනට ඇවිත් අපිත් එක්ක වල බැහැපු ඉන්ද්‍රජිත් (කේපී), සේනක (සෙල්ලං සේනක), සංජේ, ධර්මෙ, සම්පත් (යකා මහත්තයා), කිත්සිරි අයියා ආදී කෂ්ටිය එක්ක අපි ගත කළ කාලය මාර සුන්දරයි, ත්‍රාසජනකයි. පන්සල් වත්තෙ කුරුම්බ කැඩීමත්, මහරෑ ගිහින් ඒඑස්පි කෙනෙක්ගෙ වත්තෙන් මඤ්ඤොක්කා ගළවං ඇවිත් පුච්චං කෑමත්, මල්, සිගරැට් ආදී උත්තේජකත්, තමයි ඒ කාලෙන් පස්සෙ මතකේ ඉතුරු වුන දේවල්. ඒ ලෙවල් වලින් පස්සෙත් රස්සාවල් නිසා එක එකා හැළෙන තුරු ම මේ වල සෙට්එක සෙට් වීම දිගටම පැවතුණා. දැන් නම් ඉතින් ඉඳහිට කෝල් එකක්, බස් එකක කෝච්චියක හම්බවීමක්, මළගෙදරක යාමක් වගේ අවස්ථාවක තමා සෙට් වීමට ඉඩක් ලැබෙන්නෙ.

ඒ ලෙවල් කාලෙ අපේ සෙට් එකේ සාගල, ආසිරි වගේ අය කවි ලිව්වා. සාගලයගෙ කවි රාවයෙත් පළ කළා. ආසිරිය නං කවි ලිව්වෙ කෙල්ලට තමා. ‘සළඉවුර‘ කියලා කලා සංසදයක් පිහිටුවාගෙන අපි බුක්මාක් එකක් විකුණලා සම්මන්ත්‍රණයක් පැවැත්තුවා. ඒකට රෑ නිදිමරාගෙන බුක්මාක් හදන්නයි, පෝස්ටර් අඳින්නයි, ගම්පහ ටවුමෙ පෝස්ටර් අලවන්නයි අපි කාපු කට්ටවල් මාර අත්දැකීම් තමා ඕං. ඩ්‍රැකියගෙ තව යාලුවෙක් වුනු අශෝක (මාලුකාරයා) ගෙ අදහසක් අනුව ඩ්‍රැකියා රහස්පරීක්ෂක කතා ලියන්න පෙළඹුනා. ඒ ගැන මාර අධ්‍යයනයක් කරළා, ඒ සාහිත්‍යයෙ තියෙන ලිවීමේ තාක්ෂණය එහෙමත් හොයාගත්තා. ඒ අතරේ ඩ්‍රැකියට මාර ෆැන්ටසියක් තිබුණා වැම්පයර් කතා ගැන. ඩ්‍රැක්‍යුලා කියන්නෙ ඇත්තටම කවුද? මේ ගැන ඩ්‍රැකියා හොයාගත්ත දේවල් ගොඩයි. උගේ බ්ලොග් එකේ පසුබිමට දාලා තියෙන්නෙත් ඒ ඓතිහාසික ඩ්‍රැක්‍යුලා සිටුවරයාගෙ මන්දිරයේ ෆොටෝ එකක්. ඩ්‍රැකියා මාර විදිහට රස විඳපු විඩියෝ එකක් තමා පහළ තියෙන්නෙ.


ඩ්‍රැකියා දවසක් පාන්දරක දැකපු හීනයක් නිමිති කරගෙන කතාවක් ලියන්න පටන් ගත්තා. මේ කතාව සාගලයගෙ තල්ලුවෙන් ‘පාරාදීසය‘ (විශාලතම යොවුන් මාසිකය) සඟරාවෙ පළකරන්න ගත්තා. ඒත් අතරමගදි පාරාදීසය කඩංවැටුනා. (ඒත් ඩ්‍රැකියා කතාව කම්ප්ලීට් කරලා, ඒකාලෙ තිබ්බ පෙන්ටියම් කම්පියුටරෙන් ටයිප් කරලා, 3 1/2 ඩිස්කට් එකක සේව් කරලා, කියවන්න කියලා රංගට දුන්නා. ඌ සඟරාවේ ගිය කතාව කියවලා මේකෙන් ෆිල්ම් එකක් කරමු මචං කියාගෙන තමා හිටියෙ. ඒ අතරෙ ඩ්‍රැකියගෙ කම්පියුටරේ වික්කා. අලුත් එකක් හදාගන්න සෑහෙන කාලයක් ගිය අතරෙ ඩිස්කට් ටික සෑහෙන්න සවුත්තු වෙලා ගියා. ඒ විදිහට මේ කතාවෙ ඩිජිටල් පිටපත නැතිවුණා.) මේ කතාව කියවපු ඩ්‍රැකියගෙ යාළුවො ඌට තිබුනු මේ ෆැන්ටසිය නිමිතිකරගෙන මේ කාඩ් එක ඩ්‍රැකියට රෙජිස්ටර් කොළා. අන්න එහෙමයි මේ අහිංසක, සාන්ත දාන්ත කොළුවට ඩ්‍රැකී කියන නම වැටුණෙ. ඩ්‍රැකියත් ඒකට හරිම මනාප උනා. ඉතිං උගේ තිබ්බ පුටාර් එකේ හිටං ඒ නම ස්ටිකර් එකකින් අකුරු කපලා ගහගත්තා. ඊමේල් එක හැදුවෙත් ඩ්‍රැකී කියන නමිං. ඒ ලෙවල් කරලා, කොම්පියුටරුත් පරතෙරට ඉගෙන ගෙන, අවුරුදු එකහමාරක් රුපියල් 750/- මාසික පඩියට එල්බිඑස් එකේ හාල්ගරලා, පස්සෙ ඩ්‍රැකියා දාගත්තා බෝඩ් අඳින ව්‍යාපාරයක්. ඒකට දාපු නම තමා ‘ඩ්‍රැකී ආට්ස් කැබින්‘.

අර කලින් කිව්ව කතාව මේ ළඟදි ඩ්‍රැකියට ආපහු මතක් උනේ සයිලන්ට් සහන්ගෙ ‘අද්මිරාල් ෆර්නැන්ඩස්කි ගේ කතාව‘ කියවද්දි. ඉතිං ගෙදර ගිහිං පරණ සඟරා මිටිය අරගෙන ඒ කතාව කියවද්දි, ඩ්‍රැකියට හිතුණා, ‘අඩේ මං ඒ කාලෙ මාර ලිවිල්ලක්නෙ ලියල තියෙන්නෙ‘ කියලා. ඉතිං ළාබාල කමට කතාවට ඇතුළත් කරලා තිබ්බ ගොං පාට් කීපයක් අහක් කරලා, වැඩි වෙනස්කමක් නොකර, ඒ කතාව බ්ලොග් එකේ එල්ලන්න ඕනෙ කියලා ඩ්‍රැකියා හිතුවා. මීළඟ පෝස්ටුවෙන් ඒ කතාව ඩ්‍රැකියා ඉදිරිපත් කරනවා. අපේ කෂ්ටිය කියවලා එකතු කරන අදහස් එහෙම ඩ්‍රැකියට මාර විදිහට වටිනවා.

ඇත් පියසටහනේ උපමාව - ඩ්‍රැකියාගේ පොසොන් කළාපය - 2 කොටස

පොසොන් කළාපය පටන් ගත්තට පස්සේ මාර විදිහේ කාර්ය බහුල බවකට ඩ්‍රැකියා පත්වුණා. ඉතින් ඩ්‍රැකියාගේ පළවෙනිම පොසොන් කළාපය පෝස්ටු දෙකකට විතරක් සීමා වෙන බව තමා පේන්නෙ.

චුල්ල හත්ථිපදෝපම සූත්‍රයේ පිලෝතිකා පාරිව්‍රාජකයා සහ ජාණුස්සෝණි බමුණා අතර ඇති වූ කතාවත්, ඒකට පැහැදිලා බමුණා බුදුන් හමු වූ ආකාරයත් පොසොන් කළාපයේ මුල් ලිපියෙන් සඳහන් වුණා. අද එතැන් සිට...



බුදුන් වහන්සේ ජාණුස්සෝණි බමුණාට කියනවා: ‘ඇත් පියසටහනේ උපමාව එතනින් නවතින්නෙ නෑ. තව විස්තර තියෙනවා‘ කියලා.

බුදුන් කියනවා: ඇතුන් වසන කැළෑවක් ආශ්‍රිතව වාසය කරන දක්ෂ මිනිහෙක් කැළේට ගිය වෙලාවක දකිනවා, දිගිනුත්, පළලිනුත් වැඩි ඇතෙකුගේ පිය සටහනක්. ඒකෙන් පමණක් එයා ‘මේ විශාල ඇතෙක්‘ කියා නිගමනය කරන්නේ නෑ. මොකද, පතුල් මහත් වුනත්, උසින් අඩු වාමනිකා කියන ඇතින්නියොත් කැළෑවෙ ඉන්න නිසා. එයා ඒ පසුපස තවත් දුරට යනවා. එතකොට දකිනවා, ගස් වල රියන් හතක් අටක් උසින් පිට අතුළ්ලපු පාරවල්. ඒකෙනුත් එයා ‘විශාල ඇතෙක්‘ කියලා නිගමනය කරන්න හදිසි වෙන්නෙ නෑ. මොකද, උස මහත වුනත් දළ උසින් පහතින් තියෙන උච්චා කාළාරිකා කියන ඇතින්නියොත් ඉන්නවා. තවත් දුර යනකොට එයා දකිනවා, උස් ගස් වල දළ පාරවල් වැදිලා තියෙනවා. ඒත් එයා හදිසි වෙන්නෙ නෑ නිගමනයකට එන්න. මොකද, පතුල් මහත වුනත් පාද හීනි උස උච්චා කණේරුකා කියන ඇතින්නියොත් ඉන්න නිසා. අන්තිමේ එයා දකිනවා, ගහක් මුල හරි, එළිමහනේ හරි, ඇවිදින හරි, හිටගෙන හරි, ලැග ඉන්න හරි විශාල ඇතෙක්. අන්න එතකොට එයා නිසැකව නිගමනය කරනවා, මෙන්න විශාල ඇතෙක් කියලා.

ඒ වගේ,
බුද්ධත්වයට පත් වෙලා, ලෝකයත් සත්ත්වයාත් මනාව අවබෝධ කරගෙන, ධර්මය දේශනා කරමින්, නිවන් මග එළිදක්වා ඇති විටක,

කෙනෙක් මේ ධර්මය අහලා, බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගන්නවා. එයා හිතනවා, ‘ගිහිගෙයි විසීම බාධා සහිතයි, රාගය වැනි කෙළස් වලට ඉඩ ලැබෙනවා. පැවිදි වීම යහපත්‘ එයා සම්පත්, නෑදෑ හිතවතුන් අතහැර පැවිදි වෙනවා.

පැවිදි වුනු කෙනා ශික්ෂාපද ඇසුරු කරමින්,

1. සතුන් මැරීම අතහරිනවා, ආයුධ අතහරිනවා, ලජ්ජාව සහ දයාව ඇත්තෙක් වෙනවා, සියලු සත්ත්වයන් ගැන අනුකම්පාවෙන් යුක්ත වෙනවා.

2. නුදුන් දේ ගැනීමෙන් වළකිනවා, සොර නැති පිරිසිදු සිතින් යුක්ත වෙනවා.

3. අයහපත් හැසිරීමෙන් ඉවත් වෙනවා, ලිංගික සංසර්ගය අත්හරිනවා.

4. බොරුව අත්හරිනවා, සත්‍යය ගැළපීමෙන්, ස්ථිර වචන ඇති වීමෙන්, ලෝකය රවටන්නෙක් බවට පත් නොවී වාසය කරනවා.

5. කේළම් කීමෙන් වළකිනවා, මිනිසුන් භේද කිරීමට වචන යොදාගැනීමෙන් වළකිනවා, භේද වූ අය සමඟි කරනවා, සමඟියට කැමති වෙනවා, සමඟිවූ අය දැක සතුටු වෙනවා, සමඟි කරන වචන භාවිතා කරනවා.

6. රළු බස් කීමෙන් වළකිනවා, නිදොස්, කණට සුවදායක, ළගන්නාසුළු, උසස්, බොහෝ දෙනා ගේ සිත් ගන්නා, වචන කියනවා.

7. හිස් බස් කීම අතහැරලා, කාලීන, අර්ථයක් ඇති, ධර්මයක් / විනයක් සම්බන්ධ, හදවතේ තැන්පත් කරගත යුතු කරුණු සහිත දේ කතා කරනවා.

8. බීජ (හට ගැනීමට පෙර තත්ත්වය) සහ භූත (හට ගත් දේ) නැසිමෙන් වළකිනවා.

9. රාත්‍රී භෝජනයෙන් වළකිනවා.

10. නැටීම්, ගැයීම්, විකට දර්ශන, මල් පැළඳීම, සුවඳ විළවුන්, සිරුරේ අඩු තැන් පිරවීම් සහ සැරසීමෙන් වළකිනවා.

11. උස් සහ මහා ආසන වලින් දුරු වෙනවා.

12. රන්, රිදී, මිළ මුදල් පිළිගැනීමෙන් වළකිනවා.

13. අමු ධාන්‍ය, අමු මස් පිළිගැනීමෙන් වළකිනවා.

14. ස්ත්‍රීන්, තරුණියන්, මෙහෙකරුවන්, එළු බැටළු ආදී සතුන්, කුකුළන් ඌරන්, ඇත් අස් ගව වෙළඹුන්, පිළිගැනීමෙන් වළකිනවා.

15. ගිහියන්ගේ පණිවුඩ පිළිගැනීමෙන්, හසුන් ආදිය ගෙන් ගෙට ගෙන යාමෙන් වළකිනවා.

16. වෙළෙඳ ගනුදෙනු වලින් වළකිනවා.

17. හොර තරාදියෙන් කිරීම, රවටා බඩු විකිණීම, හොර මිනුම් ආදියෙන් වළකිනවා.

18. අල්ලස් ගැනීම, රැවටීම, සමාන දේ දක්වා මවාපෑම, වංචා ප්‍රයෝග වලින් වළකිනවා.

19. අත පය කැපීම්, මැරීම, විළංගු ලෑම, බැඳීම, මං පැහැරීම, ගම් කොල්ලකෑම, සාහසික ක්‍රියා ආදියෙන් වළකිනවා.

ඔහු තමන්ගේ සිරුරේ පරිහරණයට ප්‍රමාණවත් සිවුරෙන්, කුසට ප්‍රමාණවත් වූ පිණ්ඩපාතයෙන්, සැහීමට පත් වෙනවා. යන තැනක පාත්‍රා සිවුරු පමණක් අරගෙන යනවා. හරියට ලිහිණියෙක් පියාසර කරද්දී උගේ පියාපත් වල බර පමණක් දරාගෙන යනවා වගේ. මෙසේ උසස් ශීලයෙන් යුක්ත වී, තමන්ගේ සිතේ ඇති වන සුවය විඳින්නට සමත් වෙනවා.

ඔහු ඇසින් දකිනා රූප අනුව, ස්ත්‍රියක් පුරුෂයෙක් කියා නිමිත්තක් සිතේ ඇති කර ගන්නේ නෑ. අත පය ආදී අවයවය වල ස්වරූපය සතට ගන්නේ නෑ. එසේ ඇස සංවර කොටගෙන වාසය කරනවා. කණින් ශබ්ද අසා, නාසයෙන් සුවඳ ලබා, දිවෙන් රසය ලබා, කයින් ස්පර්ෂ කර, සිතෙන් ධර්මතා විඳ, ඒ පිළිබඳ නිමිති ඇති කර ගන්නේ නෑ. මනස සංවර බවට පමුණුවාගන්නවා.  මෙසේ ඉන්ද්‍රියන් සංවර කර ගෙන, කෙළෙස් වල නොඇලුනු නොකිළිටි බවේ සුවය විඳින්නට සමත් වෙනවා.

ඔහු මොන දෙයක් කරද්දී වුනත් මනාව දැනගෙන කරන තැනැත්තෙක් වෙනවා. ඉදිරියට යද්දී, ආපසු ඒමේදී, ඉදිරිය බලද්දී, ආපසු බලද්දී, අත් පහ දිග අරිද්දී, අකුළද්දී, කෑමේදී, බීමේදී, රස විඳීමේ දී, මළ මුත්‍රා පහකිරීමේදී, යද්දී, එද්දී, නිදා ගැනීමේදී, නිදි වැරීමේදී, කතා කිරීමේ දී, නිහඬව සිටීමේදී, ඒ දේවල් ගැන මනාව දැනුවත් ව ඒ දේවල් සිදු කරනවා.

මේ වාගේ කෙනෙක්, ජනතාව නොගැවසෙන ආරණ්‍ය, ගස් මුල්, පර්වත, කඳු, ගුහා, සොහොන්, වන ලැහැබ්, පිදුරු කුටි වැනි තැනක් වාසස්ථානය කරගන්නවා.

ඔහු දිවා ආහාරයෙන් පසු සවස් කාලයේ පළක් බැඳගෙන, කය සෘජුව තබාගෙන, සිහිය කර්මස්ථානයට එල්ල කොටගෙන ගත කරනවා. ලෝකය පිළිබඳ දැඩි ආශාව දුරු කරගෙන, සිත පිරිසිදුව තබා ගන්නවා. අන් අය ගැන ඇති ද්වේෂය ට එළඹීමෙන් වැළකී, කිසිවෙකු කෙරෙහි විරුද්ධවාදයක් සිතේ නැති කරගන්නවා. සියලුම පණ ඇති දේ ගැන අනුකම්පාවෙන් හිතවත් කමින් යුක්තව සිත පිරිසිදුව තබා ගන්නවා. අලස බව සහ එළඹ සිටි සිහියක් නොමැති කම දුරු කරනවා. කළ හොඳ නරක ගැන තැවෙමින් නොසන්සුන් සිතින් පසුවීම වළක්වාගෙන සිත පිරිසිදුව තබා ගන්නවා. කුසල් අකුසල් ආදී දේ මොනවාදැයි සැක හැර දැනගන්නා මේ තැනැත්තා පිරිසිදු සිතකින් සිටිනවා.

මේ විදිහට මේ තැනැත්තා, ඇලීමෙන් වෙන්වී, කුසල් අකුසල් මොනවාදැයි මනාව දැනගෙන, විතර්ක සහිත විචාර සහිත විවේකී බුද්ධියෙන් ඇති වුනු ප්‍රීතිය සහ සුවය ඇතිව පළමු ධ්‍යානයට පත් වෙනවා. නමුත්, උතුම් ශ්‍රාවකයා මේ පමණකින් 
බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.

මහණ වුනු තැනැත්තා, සිතේ තර්කයන් විචාරයන් සන්හිඳිලා, අධ්‍යාත්මයේ පැහැදීමත්, සිතේ ඒකාග්‍රතාවයත්, ඇති විතර්ක, විචාර නැති සමාධියෙන් ඇති වුණු ප්‍රීතිය සහ සුවය සහිත දෙවන ධ්‍යානයට එළඹෙනවා. නමුත් උතුම් ශ්‍රාවකයා මේ පමණකින් 
බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.

මහණ වූ තැනැත්තා, ප්‍රීතිය ඉක්මවූ උපේක්ෂාව ට පත් වෙලා, සිහි ඇති, උසස් නුවණක් ඇති තුන්වෙනි ධ්‍යානයට පත් වෙනවා. මෙසේ වුනත්, උතුම් ශ්‍රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.

මහණ වු තැනැත්තා, සතුටත්, දුකත් දෙකම නැත් කරලා, අපේක්ෂාවත් සිහියත් පිරිසිදුව ඇති සතර වන ධ්‍යානයට පැමිණෙනවා. එහෙත් උතුම් ශ්‍රාවකයා මේ පමණකිනුත්බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.

මහණ වූ තැනැත්තා මේ විදිහට පිරිසිදු, කෙළෙස් පහ කළ, නොසැළෙන සිතක් ඇති තත්ත්වයට පත් වූ පසු, පෙර භවයන් ගැන සිහි කරනවා. එහෙම පෙර භවයන් වල තමන් මේ නමින්, මේ තැන් වල, මේ ආහාර ගනිමින්, මේ තරම් කල් ජීවත් වුනා යැයි දැනගන්නට හැකි තත්ත්වයට පත් වෙනවා. නමුත් උතුම් ශ්‍රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.

මේ විදිහට පිරිසිදු, කෙළෙස් පහ කළ, නොසැළෙන සිතක් ඇති තත්ත්වයට පත් වූ මහණ වූ තැනැත්තා, අනෙක් සත්වයන්ගේ ඉදිරි භවයන් ගැන සිහි කරනවා. එහෙම මේ මේ සත්ත්වයින් කර්මය සහ අනික් නියාමයන් අනුව  මේ නමින්, මේ තැන් වල, උපදිනවායැයි දැනගන්නට හැකි තත්ත්වයට පත් වෙනවා. නමුත් උතුම් ශ්‍රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.

ඉන්පසු මේ තැනැත්තා, දුක, දුකට හේතුව, දුක නැති කළ හැකි බව, දුක නැති කිරීමේ මාර්ගය, යන දේවල් මනාව අවබෝධ කරගන්නවා. භවආස්‍රව ( සංසාරය පුරාවටම සිතේ පැලපදියම් වෙමින් පැසවමින් තිබෙන දේවල් (අයිලාස් ට ස්තූතියි)), ආස්‍රවයටහේතුව, ආස්‍රව නැති කළ හැකි බව, ආස්‍රව නැති කිරීමේ මාර්ගය හොඳින් අවබෝධ කරගන්නවා. නමුත් උතුම් ශ්‍රාවකයා මේ පමණකිනුත් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.

මෙසේ දියුණු සිතක් ඇති තැනැත්තා ආස්‍රවයෙන් මිදෙනවා. එසේ මිදුණු බවත් අවබෝධ වෙනවා. ඉන්පසු තවත් අර්හත් මාර්ගයේ කළ යුත්තක් නැති බව දැනගන්නවා. මේ තත්ත්වයේදී උතුම් ශ්‍රාවකයා  බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියා මනාව අවබෝධ කරගන්නවා. මෙයින් තමයි ඇතෙකුගේ පිය සටහනේ උපමාව අවසන් වන්නේ.

ඩ්‍රැකියා මේ සුත්‍රය අධ්‍යයනය කළේ මේ පෝස්ටුව ලියන ගමන්මයි. මේ සූත්‍රයෙන් බුදු සසුනේ මූලික පරමාර්ථය පැහැදිලි වෙනවා. බුදුන්ගේ ධර්මයේ මූලික පරමාර්ථය වන්නේ ලෝකෝත්තර විමුක්තිය ට එළඹීමයි. ඒ නිසා සසුනේ පැවිදි වෙන තැනැත්තෙක් සෘජුවම අරමුණු කරගත යුත්තේ අර්හත් භාවයයි කියලා මේ සූත්‍රයෙන් කියවෙනවා. මිහිඳු හාමුදුරුවො මේක දේශනා කරන්න කලින් දේවානම්පියතිස්ස රජුගේ අයිකිව් චෙක් කිරීම සාධාරණ බව පේනවා. මොකද, මේ සූත්‍රය මනාව අවබෝධ කරගන්න විවේකී මනසක් සහ තීක්ෂණ බවක් අවශ්‍ය බව පේන නිසා. ඒ වගේම, මේ රටේ තමන් නියෝජනය කරන ශාසනය පිහිටුවන්න ශක්තිමත් අත්තිවාරමක් සැපයෙන දේශනාවක් නිසා මේ සූත්‍රයම තොරාගන්න ඇති බවත් පැහැදිලියි. 

මේ පෝස්ටුවෙන් ඩ්‍රැකියාගේ 2013 පොසොන් කළාපය අවසන් කිරිමට සිද්ධ විම ගැන කණගාටුයි. ආයෙත් ඊළඟ අවුරුද්දේ තවත් බණවාරයකින් හමුවෙන තුරු ඩ්‍රැකියා නවතිනවා.

පින්තූරය ණයට ගත්තේ : http://www.lakehouse.lk/budusarana/2008/06/18/z_p18-Mihindu.jpg

ධම්මස්සවණ කාලෝ.... ඩ්‍රැකියාගේ පොසොන් කළාපය ආරම්භ වෙයි


මහින්දාගමනය ලංකාවේ ජනතාවට වැදගත් වෙන්නෙ ඇයි?

ඩ්‍රැකියා දකින්නෙ මේ විදිහට.

මිහිඳු රහතන් වහන්සේ ත්, සමකාලීනව ඊට පස්සෙ ආව සංඝයා වහන්සේලා ත් සමඟ දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුදහම ලංකාවේ රාජ්‍ය ආගම බවට පත් කිරීම නිසා, ලාංකීය ජනතාවගෙ දාර්ශනික සහ ආධ්‍යාත්මික පැත්ත බුද්ධ දර්ශනය සමඟ හැඩ ගැසීම,

ඊට කලින් ලංකාවෙ බුදු දහම තිබුණද? මහාවංශය ප්‍රමුඛ ලිඛිත මූලාශ්‍ර වල හැටියට නං බුදුන් ලංකාවට තුන් වරක් වැඩම කරලා, ලංකාවෙ මුල්ම චෛත්‍ය වන ගිරිහඬු සෑය සහ මහියංගන චෛත්‍යය ඉදි වෙලා, සිරිපතුල පිහිටුවලා, ආදී වශයෙන් බුද්ධාගම ලංකාවෙ තහවුරු වෙන්න ගොඩක් වැඩ කටයුතු කෙරිලා තියෙනවා. ඒ විතරයැ, පෙර බුදුවරුන් තුන් නමත් ලංකාවට වැඩම කරලා තියෙනවාලු.

ආසියාතික වෙනත් බෞද්ධ රටවලත් මේ වගේම මූලාශ්‍ර වල තියෙනවා බුදුන් තමන්ගෙ රටට වැඩම කළ බව සහ ඒ ආශ්‍රිත කටයුතු ගැන. ඒත් බුද්ධ චරිතය හැටියට අපි ඉගෙන ගන්නා කතා වල ඒ කිසිම දෙයක් ගැන විශේෂයෙන් සඳහන් වෙන්නේ නෑ. මෑත කාලෙදි රාවණා පාක්ෂිකයන්ගෙන් නොසෑහෙන්න බැණුම් අහපු සහ ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට තම ජීවිතය කැප කරමින් සේවය කළ මහාචාර්ය පරණවිතාන ත් කිව්වනේ බුදුන් ලංකාවට වැඩි බවට පුරාවිද්‍යාත්මක සාධක නෑ කියලා. ඒ නිසා, මේ කාරණාව විවාදයට ලක් කළ යුතු දෙයක් හැටියට ඩ්‍රැකියා දකිනවා.

නැවතත් මාතෘකාවට

මහින්දාගමනයත් එක්ක ලංකාවට ලැබුණු සංස්කෘතිකමය දායාද

සමහරු කියන විදිහට අක්ෂර මාළාව, ගොඩනැගිලි ඉදිකිරීම්, ආදී වශයෙන් හැම දෙයක්ම අපිට ලැබුණෙ මහින්දාගමනයෙන් කියලා කියනවා. ඒ අනුව මහාවංශයෙ කියන විජය ඉඳන් දේවානම්පියතිස්ස රජු දක්වාම රජවරු පාලනය කරලා තියෙන්නෙ බොහොම ප්‍රාථමික සංස්කෘතියක් සහිත රටක්. ගෙයක් දොරක් හදාගන්න දන්නැති, ලියන්න කියන්න දන් නැති රජෙක් හැබැයි ධර්මාශෝක රජු සමඟ ලියුම් හුවමාරුත් කරගෙන තියෙනවා.

(මහාවංශයෙ කියන විදිහට ධර්මාශෝක රජු කොච්චර පිංවන්තද කියනවානම්, සයංජාත ඇල් වී ගිරවු කපාගෙන ඇවිත් එයාගෙ අටු කොටු පුරවනවා. මීයො ඒ වී ඇට සුද්ධ කරනවා. පාඨලීපුත්‍රය අවට මැරෙන්න ඉන්න මුවො, මොනරු ආදී සත්තු ඒ රජුගේ කුස්සිය ළඟට ඇවිත් මැරෙනවා, මේං මාව කාපං කියලා.)

ඩ්‍රැකියාගේ අදහස මහින්දාගමනයෙන් අපිට මෙලෝ කජ්ජක් ලැබුණෙ නැත කියන එක නොවෙයි. මෙ වෑයම, ඓතිහාසික මූලාශ්‍ර වල තාර බර ඇරළා හැදෑරිය යුතුයි මිස, සියල්ල සත්‍යයි කියා ගෙඩි පිටින් ගිළ දැමිය යුතු නොවේ යන අදහස මතු කිරීමයි.

මධ්‍යස්ථව බැලීමේදී මහින්දාගමනයෙන්, 

1. බුදු දහම
2. බුදු දහමේ එන දාන සීල සමානාත්මතා ආදී යහපත් සංකල්ප බහුලව සමාජගතවීම
3. වන්දනා ක්‍රම ආදී අභිචාර සහ බැඳුනු සංස්කෘතිය
4. බෞද්ධ ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණය (ලංකාවට හුරු විදිහට අනුවර්තනය කර)
5. රජවරු ධාර්මික වීමට පෙළඹවීම

ලංකාවට ලැබුණා කියන එක පැහැදිළියි.

ඩ්‍රැකියාට මාර ප්‍රශ්නයක් වෙලා තිබුනේ ඔය මොනවත් නොවෙයි. මිහිඳු රහතන් වහන්සේ ලංකාවට වැඩලා, දේවානම්පියතිස්ස රජු ගේ අයිකිව් ත් චෙක් කරළා, ඉස්සෙල්ලාම දේශනා කරපු චුල්ල හත්ථිපදෝපම සූත්‍රයේ මොනවද තිබුණේ කියන එකයි. ඒකට ඩ්‍රැකියා පරිශීලනය කළ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මුල් කොටස (විතරක් නෙවෙයි සම්පූර්ණ ත්‍රිපිටකය ම වුනත්) මෙතනින් ගිහිං බාගන්න පුළුවං.

ඉතිං ඩ්‍රැකී උපාසක තමන්ගේ මුල්ම පොසොන් කළාපයේ මුල්ම කොටසින් දෙසන්න ලෑස්ති වෙන්නේ, වාර්තාගත හැටියට ලංකාවෙ රජෙකුට මුලින්ම දේශනා කරන ලද සූත්‍රය සරළ සිංහලෙන්.

චුල්ල හත්ථිපදෝපම හෙවත් ඇතෙකුගේ පාද සටහනේ උපමාව ආශ්‍රිත සුළු සූත්‍රයේ මුලින් ම සඳහන් වෙන්නේ, පිලෝතිකා නම් පාරිව්‍රාජකයෙක්, තමන් බුදුන් ගැන පැහැදීමට හේතු වූ කරුණු හතරක් ගැන ජාණුස්සොණි නම් බ්‍රාහ්මණයා හට පැහැදිලි කරන ආකාරයයි.

පිලෝතිකා පාරිව්‍රාජකයා කියනවා, ‘ඇතුන් ඉන්න කැළෑවක් ආශ්‍රිතව ඉන්න දක්ෂ මිනිහෙක්, කැළෑවට ඇතුල් වෙලා දකිනවා, දිගිනුත් වැඩි, පළලිනුත් වැඩි ඇත් පිය සහටනක්. එයින් එයා නිගමනය කරනවා, මේ නම් විශාල ඇතෙක් කියලා. අන්න ඒ වගේ බුදුන් වහන්සේ ගැන කරුණු හතරක් දැකපු මම නිගමනය කරනවා, බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය, යන වග‘ කියලා. 

මොනවද මේ කියන කරුණු හතර?

1. 
සියුම් බුද්ධියක් ඇති, තර්ක ශාස්ත්‍රයේ කෙළ පැමිණි අන් මත බිඳීමට දක්ෂ ක්ෂිත්‍රියයෝ සමහරු කල්පනා කරනවා, බුදුන් හමුවුනොත් මම මේ ප්‍රශ්නය අහනවා, එතකොට මෙහෙම උත්තර දුන්නොත් මම බුදුන් මෙහෙම වාදියෙක්ය කියනවා, ඒ නැතුව මේ විදිහට උත්තර දුන්නොත් මම බුදුන් එහෙම වාදියෙක් ය කියනවා, කියා හිතාගෙන, බුදුන් අසළ ගමකට වැඩිය වෙලාවක උන් වහන්සේ හමු වෙනවා.

එතකොට බුදුන් වහන්සේ දැහැමි කතාවෙන් කරුණු පැහැදිලි කරලා, ඒ තැනැත්තා ගේ දැනුම තවත් තියුණු කරලා, ඒ තැනැත්තා සතුටු කරනවා. එතකොට ඒ පණ්ඩිත මනුස්සයා කලින් කරන්න හිතාගෙන ආව වැඩේ, කරලා වැඩක් නැති තත්ත්වයට පත් වෙනවා. අන්තිමෙ එයත් බුදුන් ගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා.

2. ඉහත කාරණය ම බ්‍රාහ්මණ පණ්ඩිතයන් සම්බන්ධයෙන් ද අදාළ වෙනවා,
3. ගෘහපතියන් සම්බන්ධයෙන් ද අදාළ වෙනවා,
4. ශ්‍රමණ දාර්ශනිකයන් සම්බන්ධයෙන් ද අදාළ වෙනවා.

මේ හතර වර්ගය, බුදුන් ළඟ මහණ වෙලා, උපසපන් වෙලා, ජනතාවගෙන් ඈත්ව කෙළෙස් තවලා, අන්තිමේ තමන් මහණ වීමෙන් ලබා ගැනීමට අරමුණු කළ අර්ථය ලබාගන්නවා. ඒ අය කියනවා, ‘අපි තව පොඩ්ඩෙන් විනාසයි. කලින් අපි රහත් නොවී රහතුන් කියා හිතාගෙන හිටියා. දැන් අපි රහත් බවට පත් වෙලා.‘ කියලා.

මේ ඇසූ ජාණුස්සෝණි බමුණා, බුදුන් ගැන පැහැදිලා, බුදුන් වැඩ වාසය කළ ජේතවනාරාමයට ඇවිත් බුදුන් හමුවෙලා, පිලෝතිකා පාරිව්‍රාජකයා සමග ඇති වුණු සල්ලාපය බුදුන් එක්ක කියනවා. එතකොට බුදුන් වහන්සේ කියනවා: ‘ඇත් පියසටහනේ උපමාව එතනින් නවතින්නෙ නෑ. තව විස්තර තියෙනවා‘ කියලා.

සූත්‍රයේ ඉතිරි කොටසේ බුදුන් සවිස්තරාත්මකව කියනවා, බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය, යන වග නිශ්චිතවම නිගමනය කරන්නේ කොහොමද කියන එක. පෝස්ටුව දිග වැඩි වෙන නිසා ඩ්‍රැකියා ඒක පොසොන් කළාපයේ ඉදිරි කොටසක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.

පින්තූරය ණයට ගත්තේ : http://www.lankapuvath.lk/sinhala/images/stories/newstext/General/SS/Latest/Poson_02.jpg

හුදෙක් ආතල් එක සඳහා පමණි

ඩ්‍රැකියා වෙසක් කළාපය ලිය ලියා ඉන්න අතරෙ, හිතේ පොදි ගැහී තෙරපි තෙරපී තිබූ ආතල් කතා වස්තු ටිකක් පොසොන් කළාපයට කලින් එළියට දාන්න ම ඕනෙ කියලා හිතුනෙමි.

ඕං ඒ කාලේ, ඒ කියන්නේ අපේ තාත්තලා කොලු ගැටවු සන්දියේ පොසොන් නාට්‍යයක් පෙන්නුවා අපේ ගමේ. ඒකත් අභාවයට ගිය ගැමි රසාංගයකි. ඩ්‍රැකියා හෝඩියේ ඉන්න සන්දියේ තමා අපේ ගමේ පෙන්නුව අන්තිම නාට්‍යය පෙන්නුවේ. ඒවයෙ ඉතිං රඟපාන්නේ ගමෙ ම තරුණ කාණ්ඩෙ සාමාජිකයොනෙ ඉතිං. වේදිකාවට ගාම්භීර විදිහට සම්ප්‍රාප්ත වෙන නළුවන්ට, කොච්චර කලින් කටපාඩම් කළත් දෙබස් අමතක වෙනවනේ, ඒකට තිරෙන් පිටිපස්සෙ දෙබස් පොත තියාගෙන හිමින් හිමින් දෙබස් කියවන්න ප්‍රොම්ටර් කෙනෙකුත් යොදා ගන්නව ගොඩක් වෙලාවට. ඔහොම එක නාට්‍යයක, මහා ඇලෙක්සැන්ඩර් හෙවත් අලිසන්දිරි රජ්ජුරුවො වේදිකාව වටේ නටාගෙන එද්දි, රජ ඇදුමට යටින් සරම එළියට පැනලා. ඉතින් ප්‍රොම්ටරුත් පොතේ තියෙන සංදුව හිමින් කියන ගමන් ‘ඔන්න ඕයි සරම පේනවා‘ කියලා කියපි. අලිසන්දිරි රජ්ජුරුවොත් මහ හඬින් කියනවලු සිංදුව,

‘ගම්බිර තෙදැති කුන්ස්තන්තීනු පුරේ - කුන්ස්තන්තීනු පුරේ
පුර වර්ධන කරන ඔන්න ඕයි සරම පේනවා....‘

කියලා.

(අපේ මහරජවරු ප්‍රොම්ටර් මගින් දෙමළ රැස්වීම් අමතනකොටත් මේ වගේ දේවල් වුනා කියලා ආරංචි උනා පහුගිය කාලෙදි)

ඉතිං පොසොන් නාට්‍යය ගැන කියන්න ගිහිං වෙන කතාවක් නෙ කිව්වෙ. මහින්දාගමනය පෙන්නුව නාට්‍යයක මිහිඳු හාමුදුරුවන්ට හිටිය නළුවටත් අර වගේම දෙබස් අමතක වෙලා ඇහුවලු,

‘මහරජ, මේ අඹ ගස කුමක්ද?‘ කියලා

තිස්ස රජුත් ඒකට ගැළපෙන්න කිව්වලු,

‘මට පේන්නෙ හාමුදුරුවනේ කරුත කොළොම්බන් වගෙයි‘ කියලා.


අපි පොඩි කාලේ මාර ආතල් දෙයක් තමයි ගාථා වලට කොමිටල් තේරුම් සපයන එක. පහළ තියෙන්නෙ ඒ වගේ ගාථා දෙකක්.

දවසක් ශක්‍රයාට කුරුම්බයක් බොන්න හිතුනලු. (ඔය අපේ මහරජාටත් හිටපු ගමන් තෝසෙ කන්න හිතෙන්නෙ, ඒ වගේ) ඉතින් ගියාලු ශක්‍රයගෙ හැම දහජරා වැඩක් ම කවර් කරගෙන ඉන්න යකෙක් භාරව ඉන්න පොල්වත්තකට. ගිහිං ඌට කිව්වලු උවමනාව. යකත් ශක්‍රයාව එක්කරං ගියාලු කුරුම්බ ගහක් ගාවට. එතෙන්දි ශක්‍රයාට ආස හිතුනලු, තමන්ම ගහට නැගල කුරුම්බෙ කඩාගන්න. ඉතින් උන්දැත් නැග්ගලු ගහට. යකා වට පිට බල බලා ඉද්දි දැක්කලු, කවුදෝ මනුස්සයෙක් ඈත එනවා. මිනිහා දැක්කොත් ශක්‍රයගෙ කාඩ් කුඩු නෙ. ඉතිං යකා කිව්වලු,

‘බහූ දේවා මනුස්සාච‘ කියලා. ඒකෙ තේරුම 

‘(ගහෙං) බහු දෙයියනේ, මනුස්සයෙක් එනවා‘ කියන එකයි.

ශක්‍රයා ගහේ ඉඳං ම කියනවලු,

‘මං ගලානී අචින්තයුං‘ කියලා. ඒකෙ තේරුම

‘මං බලාගන්නං අතිං පයිං‘ කියන එකයි.

යකා තවදුරටත් බලද්දි, මේ එන්නෙ හැරමිටියකුත් ඇන ඇන කොරෙක්. ඉතිං කොහෙ ගහන්ඩද ඌට? යකා කිව්වලු, 

‘ආකංකමානං සොත්තානං‘ කියලා. ඒකෙ තේරුම

‘අනුමානයක් නෑ මේ සොත්තියෙක්‘ කියන එකයි. 

ඒ ගමන කළබල වෙච්ච ශක්‍රයා කිව්වලු, 

‘බෘහී මං ගල මුත්තමං‘ කියලා. ඒකෙ තේරුම

‘මං බෘස් ගාලා බහින්නං, උඹ ගලට මුවා වෙයං‘ කියන එකයි.

ඒ වගේ මේ ගාථාවෙ නං නිධාන කතාවක් නෑ. තියෙන්නෙ ගාථාවෙ තේරුම විතරයි:

මධුවා මඤ්ඤති බාලෝ       - (බාලයා මධුසමයේදී මඤ්ඤං කෙළ ගනී)
යාච පාපං න පච්චති           - (ඒක පච්චම පච්ච පාපයක් වෙයි)
යදාච පච්චති පාපං             - (යම් දවසක පච්ච පාපයක් නොවීමට නම්)
අථ බාලෝ දුක්ඛං නිගච්ඡති - (බාලයා දුකසේ අත පාවිච්චි කළ යුතුයි)

දඹදිව පුරාණ සතර කුළ වලට අයත් අය ගේ අහවල් කෙරුවාව ගැන සඳහන් වෙන ශ්ලෝකයක් ඩ්‍රැකියාට මතක් වුනේ මේ පෝස්ටුව ඉවර කරන්න යද්දි. අන්තිම වශයෙන් ඒකත් ලියා දානවා, ඔක්කොම වස් දොස් යන්නත් එක්ක.

බ්‍රාහ්මණස්‍ය මුඛමාසිද්       - (බමුණෝ මාසෙ මැදදි මුඛයේ කොරනවා)
බාහු රාජණයහ් කෘතහ්       - (රජවරුන්ගේ කෘත්‍යය නම් බාහුවේ (අතේ) හරි කිරීමයි)
ඌරු තදස්‍ය යද් වෛශ්‍යාම් - (වෛශ්‍යයන්ට තද වුනාම ඌරෙක් උනත් කමක් නෑ)
පද්‍යාම් ශුද්‍රො අජායත         - (ශුද්‍රෙයකුට පද්මයක් වැනි සහකාරියක් ලැබුණත් වැඩක් නෑ අජම තමයි)

පින්තූරෙ ඉස්සුවේ : http://www.lakehouse.lk/budusarana/2009/06/07/z_p24-tissa.jp

අන්දිරිස් ආතගෙ මුහුදු වික්‍රම - ගජබින්නාලංකාරයේ හය වැනි කොටස

ඩ්‍රැකියා ගජබින්නාලංකාරය පටන්ගත්තේ උගේ බාප්පා ගෙන්. එහෙත් ලිවීම දිගින් දිගට යද්දී හිට් වුනේ ඩ්‍රැකියාගේ තාත්තාගේ ත්, තාත්තාගේ ත්, තාත්තා වූ සුවාරිස් අප්පු හෙවත් සුවාත යි. මේ හත්මුතු පරම්පරාව ගැන ඩ්‍රැකියා තමන්ගේ මුල්ම පෝස්ටුව වූ මුල් කියන ලිපියෙන් විස්තරාත්මකව ලියා තියෙනවා. ගජබින්නාලංකාරයේ හයවැනි කොටසින් ඩ්‍රැකියා සුවාතාගේ ත් තාත්තා වූ අන්දිරිස් ආතගෙ වික්‍රමයක් මුල් වරට එළිදක්වන්නට බලාපොරොත්තු වෙනවා.

අන්දිරිස් අප්පු ආතා දකුණේ ගොයියෙක්. උන්දෑ කොල්ලා කාලේ, තව කොලු රෑනක් එක්ක ඉංග්‍රීසි දේශ ගවේෂණ කණ්ඩායමකට බැඳිලා මුහුදු ගියා. උන්දැලා ගියපු තැන්, වෙච්ච සංගෙදි ආදී කරුණු ගැන විස්තර තිබුණාවෙකො. ඒ කාලේ දේශ ගවේෂණයත් හරියට මුහුදු කොල්ල කාරයන්ගෙ කතා වගේම හරි ත්‍රාසජනකයි. (ඩ්‍රැකියත් මොන වැඩේ කරන්න ගියත් ඒක ත්‍රාසජනක අත්දැකීමක් බවට පත් කරගන්නෙ, මේ හත් මුතු පරම්පරාවෙ ආභාසය නිසාය කියලා විචාරකයෝ පවසති.)

අන්දිරිස් ආත ගියපු නැව අනිත් නැව් කණ්ඩායමෙන් වෙන් වුනේ ඕස්ට්‍රේලියාව හරියෙදි අහු වුණු තද කුණාටුවක් නිසයි. කුණාටුවට අහුවෙච්ච නැව අබලන් වුණා විතරක් නෙවෙයි, හැරුණු අතේ ගහගෙන ගිහිං අන්තිමේ දිහාව හොයාගන්න බැරි තරම් ඈතට පාවෙලා ගියා. නැවේ කප්පිත්තට අහස බැලුවහම පෙනුනෙ තමන් දැකල පුරුදු තාරකා රටා නෙවෙයි. නැව පාවෙලා යන අතකට යනවා මිසක, රුවල් වලින් වත් සුක්කානමෙන් වත් මෙහෙයවන්න පුළුවන්කමක් තිබිලා නෑ, කුණාටුවෙන් ඒක ඒ තරමට අබලන් වෙලා තිබ්බෙ. ඉතින් නැව පාවෙලා යන අතකට යන්න දීලා බලං ඉන්න එක තමයි උනේ.

ඔහොම පාවෙලා පාවෙලා ගිය නැව දකුණටම ගිහිං ඇන්ටාර්ටිකාවටම ගියා. තවත් පාවෙන්න බැරි විදිහට අයිස් කුට්ටි වලට මැදි වෙලා නැව නතර වුනා විතරයි, මහා හිම කුණාටුවකුත් එක්කම ඇන්ටාර්ටිකාවෙ ශීත සෘතුව පටන් ගත්තා. නැවේ හිටිය ඔක්කොම කට්ටිය මහතට පේන්න ගත්තයි කියනව, මොකද සීතලෙන් බේරෙන්න ඇඳුම් විස්සක් විතර එක පිට එක ඇඳලා.


අන්දිරිස් ආතත් ඇඳුම් බර තොගයක් ඇඳගෙන කැබින් එකෙන් එළියට එද්දි, කැප්ටන් හම්බ වුනාලු. අන්දිරිස් ආතත් කැප්ටන් එක්ක කිව්වලු,

‘මාර සීතලක් නේද?‘ කියලා.

ඒත් ආතගෙ කට හෙල්ලෙනව මිසක් හඬක් පිටවුනේ නැහැලු. අඩු ගානෙ ආතට වත් ඇහුන් නෑ උන්දැ කියපු දේ. ඒ ගමන උගුර එහෙම හොඳට පාදලා ආත ආයෙම ඇහුවලු

මාර සීතලක් නේද කැප්ටන් ?‘ කියලා.

කොහෙද? කිසි සද්දයක් නෑලු.

ආතත් මොකද්ද වෙන්නෙ කියලා කල්පනා කර කර කැප්ටන් එක්කම ගියාලු නැවේ ඩොක් එකට. ඩොක් එකේ කොණක කට්ටියක් ගිණිගොඩක් ගහගෙන ගිණි තපිනවලු. ඒ අය කතා කරන දේවල් යාන්තමට ඇහෙනවලු, බොහොම හිමින්. කැප්ටනුයි, ආතයි ත් ඒ පැත්තට යද්දි හිමින් හිමින් කැප්ටන් මොනවාදෝ ආතට කියනව ‘අන්දිරිස්, අන්දිරිස්..‘ කිය කියා. ගිණි ගොඩට ළං වෙනකොට ටික ටික පැහැදිලි වෙනවලු. ආතට එතකොට තමයි වෙච්ච දේ පැහැදිළි වෙලා තියෙන්නෙ. එළියෙ සීතල කොච්චර ද කියනවනං, කටින් පිටවෙන වචන සීතලට ගල් වෙලා. ගිණි ගොඩක් ළඟදි විතරයි යන්තතම් හරි කතා කරන්න පුළුවං.

ඔය විදිහට කතා නැතුව නැවත් අයිස් අතරෙ හිරවෙලා, මාස තුනක් විතර කට්ටිය දුක් වින්දලු. සීතලට ගල් වෙච්ච ගල් මාළු කකා, තිබහට අයිස් කැට හප හපා... ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ගිණි තපින්න දර හොයාගන්න එකයි. මුලින්ම කැඩිච්ච බිඳිච්ච පුටු මේස, ඊට පස්සෙ කුඹ ගස්, ඊටත් පස්සෙ ඩොක් එකේ වටේ ලෑලි, ආදී වශයෙන් අතට අහුවෙන හැම දෙයක්ම දාලා ගිණිගොඩවල් පත්තු කරගන්න සිද්ධ වුනාලු. (ලංකාවෙ ආර්ථික ක්‍රමය මේකට සමාන කිරීම දේශද්‍රෝහියෙකුට මිසක් වෙන කෙනෙකුට කරන්න බැරි දෙයක්)

මාස තුනක් විතර ගත වුනාට පස්සෙ දවසක් ගල් මාලු කාල කාලම ඇති වෙලා හිටිය අන්දිරිස් ආතා, තුවක්කුවකුත් අරං නැවෙන් එළියට ආවලු දඩයමේ. අයිස් කැට උඩින් පැන පැන ටිකක් ඉස්සරහට එද්දි, හිම වළහෙක් අමාරුවෙන් කෙඳිරිගාන සද්දයක් ආතට ඇහුනලු. ඒ අතට ටික දුරක් යද්දි, අන්දිරිස් ආතට හමුබවුනේ හිම වළහෙක්ගෙ හැඩේ තියෙන තියෙන මොකද්දෝ එකක්. ටිකෙන් ටික ළං වෙලා බලද්දි, මාසෙකට විතර කලින් මැරිච්ච හිම වළහෙක් අයිස් වලින් වැහිලා ගිහිං පොඩි ගොඩැල්ලකුත් හැදිල. ඒත් තාම හිම වළහා කෙඳිරි ගාන සද්දෙ එතනිං එනවලු. ආතට තේරුනාලු මොකද මේ වෙලා තියෙන්නෙ කියලා. හිම වළහා සීතලට අහු වෙලා කෙඳිරි ගෑවට, ඒ සද්ද ඔක්කොම එවෙලෙම සිතලට ගල් ගැහිලා. දැන් ටිකෙන් ටික සීතල අඩුවෙලා යද්දි අර සද්ද ඔක්කොම ටිකෙන් ටික අයිස් ගතිය අඩු වෙලා ගිහිං ඇහෙන්න ගන්නවා.

අන්දිරිස් ආතා එවෙලෙම නැවට ගියාලු. එතකොට නැව සද්ද වලින් පිරිලලු. නැවේ හිටපු ඔක්කොම කට්ටිය එක සැරේ අමු තිත්ත කුණුහරපෙන් කැප්ටන්ට බණිනවලු. ඒත් එකෙක්ගෙවත් කට හෙල්ලෙන් නෑලු. ඔක්කොම ඉන්නවලු නිකං දෙහි කෑව වගේ මූණ හදාගෙන. කැප්ටන් කණේ ඇඟිලි ගහගෙන ඉන්නවලු, බැණුං අහන්න බැරුව. සීත සෘතුවෙ සීතලේට ඇහෙන්නැති බව දැනගත්ත කෂ්ඨිය හිතේ හැටියට කැප්ටන්ගෙ පතුරු යන්න, අම්මා විතරක් නෙවෙයි ආච්චි අම්මවත් මතක් කරමින් බැණලා තිබ්බ බැණිලි, සීතල අඩුවෙලා යද්දි එකපාරටම ඇහෙන්න අරගෙන.

ප/ලි
(ඔන්න ඔය වගේ තමයි අපේ දේශපාලනයත්, කෝච්චි වල, බස්වල, හම්බවෙන හැම තැනකම ආණ්ඩුවට බණින මිනිස්සු එමට. ඒත් ඇන්ටාර්ටිකාවෙ සිත කාලෙ වගේ ඒ බැණිලි වල කිසිම ප්‍රතිඵලයක් නැති බව තමා දැනට පේන්නෙ. ලංකාව වෙළාගත්ත මේ දේශපාලනික සීත කාලය ඉක්මණින් දුරු වේවා කියා ඩ්‍රැකියා ඉති සිතින් ප්‍රාර්ථනා කරන්නෙමුය.)

පින්තූරය ඉස්සුවේ : http://blogs.rmg.co.uk/collections/assets_c/2008/08/Bhc4239-thumb-1133x768.jpg

ඉර හඳ පල්ලා බොරු නෙවේ... ගජබින්නාලංකාරයේ පස් වන අදියර


මේ ගජබින්නය එකතු කළේ සරුබීජ ලියන අපේ පර්යේෂක මහත්තයා. පන්සලක ඉන්න ඇබිත්තයෙක් තමා මේ ගජබින්නයෙ නිර්මාතෘ. මොඩිෆයි කළ ස්ටෝරියේ අයිතිය පරම සත්‍යවාදී ඩ්‍රැකියා සතුයි.

ඉර හඳ හැදුනෙ කොහොමද කියන එක විවිධ ආගම් වල සහ ජනශ්‍රැතියේ විවිධාකාරයේ කතා මඟින් පැහැදිළි කරනවා. ඒ වුනාට ඇත්තම ඇත්ත සිද්ධිය තමයි මේක.

ඕං අපේ සුවාතා දවසක් දඩයමේ ගිහිං නොසෑහෙන්න රෑ බෝ වෙලා, හිස් අතින්ම ගෙදර ආවා. එනකොටම, ටෝච් එකකුත් පත්තු කරං මග බලාන හිටිය සුවාච්චි උන්දැගෙ ඇඟට ගොඩ වුණා.

‘කොහෙද මිනිහො රෑ බෝවෙනකල් ඇවිදින්නෙ?...‘ යනාදී වශයෙන් උන්දෑ කෑගහන්න පටන් ගත්තා.

සුවාතා ඒකාලෙ හොඳ ගිණි විසික් වෙන පෙනුමක් ඇති ගජ ඉළන්දාරියා නෙව, කවුරු හරි සුවාච්චිට කේළමක් කියලා තියෙනවා සුවාතට වෙන වෙන ස්පෙයා වීල් තියෙනවා කියලා. ඒකයි මේ ගෝරියට හේතුව.

ආච්චිගෙ බැණිල්ලට හොඳටම මල පැන්න සුවාතත් උන්දැගෙ මී මුණුපුරා වන ඩ්‍රැකියා වගේ ම, බොරුවට කෑගහ ගහ ඉන් නැතුව කෙළින්ම ඇක්ෂන් එකක් ගත්තා. අංගම්, කරාටේ ආදී අඩි දැනං හිටිය ආතා, උඩ පැනලා ගැහුවා වම් පයින් සුවාච්චිගෙ මූණ ළඟින් යන්න බටර්ෆ්ලයි කික් එකක්. (කොච්චර කළත් සුවාච්චිට ආදරෙයි නෙව. වදින්න ගැහුවෙ නෑ. බයකරන්නයි ගැහුවෙ)


ආච්චි බයවෙච්චි පාර, අත උස්සලා කවර් කරන්න හැදුවා. ඒ පාර, සුවාතගෙ කික් එක වැදුනෙ ආච්චිගෙ අතේ තිබ්බ ටෝච් එකට. කික් එකේ සැර කොච්චර ද කියනවනං, ටෝච් එක කැරකි කැරකි උඩ ගිහිං පොළොවෙ ගුරුත්වයෙනුත් එහාට ගියා. ඒ ටෝච් එක තමයි ඕං අපි ඉර කියලා හඳුන්වන්නෙ.

ආච්චිට මළ පැන්න පාර ගෙට පැන්නා. අතට අහුවුනේ සුවාතට කෑමට හදල තිබ්බ රොටිය. ඒකෙන්ම දමල ගැහුවා සුවාතට. සුවාත ඒ රොටි පාර කවර් කරන්න ආයෙත් පයිං කික් එකක් දුන්නා. හිතුවට වඩා ඒ පාරත් සැර වුනා. මොකද බඩගින්නෙ හිටිය මනුස්සයනෙ. රොටියත් කැරකි කැරකි උඩ ගියා.

උඩ ගිය රොටිය කැරකෙන කොට ටෝච් එකේ (ඉරේ) එළිය වැදිලා, පොළොවට රොටිය පේනවා. ඒකට තමයි අපේ උදවිය හඳ කියලා කියන්නෙ. රොටිය කැරකෙද්දි, රොටියයි ටෝච් එකයි අතරින් පොළොව පිහිටන විදිහට ආවහම මිනිස්සු කියනවා චන්ද්‍රග්‍රහණයක් කියලා. රොටියට ටෝච් එක මුවා වෙනකොට කියනවා සූර්යග්‍රහණයක් කියලා.

හමුවෙමු ගජබින්නාලංකාරයේ තවත් ආදර්ශවත් කතාවක් සමඟින් පොසොන් පෝයට කළින් (ඊට කලින් යමක් කොටාගන්න පුළුවන් උනොත්. මොකද ගජබින්නයක් ලියන්න ගන්නකොටම හෙණ ගහ ගහ වහින්න ගන්නවනෙ. ඩ්‍රැකියත් ඉතින් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට හරියට නියම දිනේට බිල් ගෙවනවා. උන්දැල අහනවනෙ ඊළඟ කුණාටුවට සුවාතගෙ නම දාන්නද කියලා. ඩ්‍රැකියා තාම උත්තරයක් දුන්නෙ නෑ)

ගජබින්නාලංකාරයේ මීට කලින් කොටස් වලට ලිංක්:

1. කොටස - මිරිස් වගාව
2. කොටස - ළිඳක කතාව
3. කොටස - අලි මාලය
4. කොටස - සුවාතගේ දඩයම් ශිල්පය

ප/ලි
මේ එළිදරව් කිරීම කලින් කරන්න හැටියක් තිබ්බෙ නෑ. මොකද හඳට ගියාය කියන නීල් ආම්ස්ට්‍රෝං උන්නැහැ ලැජ්ජාවට පත්වෙයි කියලා. ගිය අවුරුද්දෙ උන්නැහැ කළුරිය කළා. ඩ්‍රැකියත් ගියා කිරිල්ලවල ආම්ස්ට්‍රොං කොන්ක්‍රීට් වැඩපොළේ තිබුණ උන්නැහැගෙ මළගෙදර.

ඒකාලේ ගම්පහ හිටියා චක් කියලා නොතාරිස් කෙනෙක්. එයත් සුවාතගෙන් තමයි මාෂල් ආට්ස් ඉගෙනගත්තෙ. පස්සෙ එයාගෙ පුතෙක් ඇමරිකාවෙ ජනාවාස ඉදි කරන්න ගියා. එයාගෙන් පැවත එන නොතාරිස් පරම්පරාවෙ කෙනෙක් තමා ඔය චක් නොරිස් කියලා රැවුළෙක් ඉන්නෙ. කාලයක් යනකොට පරම්පරා නම පොඩ්ඩක් කොට වෙලා තියෙනවා.

පින්තූර ඉස්සුවෙ:
1. http://fc09.deviantart.net/fs37/f/2008/254/f/5/Earth_sun_and_moon_by_DeCORinASON.jpg
2. http://fc05.deviantart.net/fs70/i/2011/342/2/7/ac___butterfly_kick_by_leahhimura24-d4ijatc.jpg

දෙව්දුරු අරණේ මුනිවරයා - ඛලීල් ජිබ්රාන්

‘‘.... කෙත් බිමක් මැදින් ගළා ගිය පැහැදිලි දිය සහිත දිය පාරක ඉවුරෙහි තිබුණු කූඩුවක් මම දුටුවෙමි. ඒ කූඩුවෙහි යකඩ කූරු , නිපුණ අතකින් සාදන...

ගොඩක්ම කියවපු ලිපි