Monday, July 1, 2013

රුහිරෙන් පුදමි - ඩ්‍රැකියා ලියන නවකථාව - 1 කොටස


එය කදිම උදෑසනක් නොවීය.

නෙල්කා ගේ කාමරයේ දොර අසළ තේ කෝප්පයක් අතැති මෙහෙකාරියක් විය.

“ටක් ටක් ටක්........“

පිළිතුරක් නැත.

නෙල්කා...“

එහෙත් පිළිතුරක් නැත.

ටක් ටක් ටක් ටක් ටක් .....“

මොකද ? මොකද මේ ?“ කොරිඩෝරය ඔස්සේ ඇදී ආ නේවාසිකාගාර පාළිකාව දොර අසළ නැවතුණා ය.

නෑ සිස්ටර්, මේ.... මම මේ නෙල්කා තේ වලට ආවෙ නැති නිසා බලන්න ආවා. ඒත්.... කිසිම හාහූවක් නෑ.“

වෙනද බෙල් එකට නැගිටිනවනෙ.“

.............“

මොනව වෙලාද මේ කෙල්ලට? ........... මේ දොර අරින්න පුළුවන්ද බලමු“

දොර යතුරුලා නොතිබුණි. ක්ර්ර්ර්රීරීස්ස් හඬින් දොර සෙමෙන් විවර විය.

කන්‍යාසොයුරිය පසුපසින්  කාමරයට ඇතුල් වූ මෙහෙකාරියට අමුත්තක් දැනිණ.

උදෑසනකට උචිත නොවූ අස්වාභාවික සීතලක් කාමරය පුරා පැතිර තිබිණ. කාමරයේ වූ එකම ජනේලයේ සුදු පැහැ තිරය මඳ සුළඟින් සෙමෙන් සැළෙමින් පැවතුනි. නෙල්කා ගේ ඇඳෙහි වූ ඇතිරිලි පවා වෙනදාට වඩා සුදුමැළි යැයි මෙහෙකාරියට හැඟුණි.

පැකිළෙන පියවරින් කන්‍යාසොයුරිය ඇඳ අසළට ගියා ය.

නෙල්කා...“

.............“

එක් රැල්ලකුදු නොවූ සුදුමැළි පොරවණයෙන් තරුණියගේ නාසය තෙක් වැසී තිබිණ. ඇගේ දිගු ඇසිපිය දෙකොපුල් මත පතිතව තිබුණේ යාන්තමිනි. මුහුණ පුරා වූයේ කිරිගරුඬ ප‍්‍රතිමාවක බඳු නිර්මල බව මුසු වූ පෙනුමකි.

ඇ දෙසට දිගු වූ  පාළිකාවගේ සැළෙන ඇඟිලි, පොරවණය ග‍්‍රහණය කළේ ය. ඉන් සෙමෙන් සෙමෙන් පොරවණය මෑත් කෙරුණි.

මහ හඬක් නඟමින් කෝප්පය මෙහෙකාරියගේ අතින් ගිළිහී බිම වැටිණ. උදෑසන ශාන්ත නිසංසල බව බිඳුණේ ගැහැණුන් දෙදෙනෙකු යටිගිරියෙන් නැඟූ විළාපයකිනි. එතෙක් අවට නැඟෙමින් තිබූ සිහින් හඬවල් එක්වනම නැවතිණ. සුළඟ පවා වික්ෂිප්තව නිසල වූ සේ ය.

කනා සොයුරියගේ හදවත ඇයටම දරාගත නොහෙන තරම් වේගවත්ව ගැහෙන්නට විය. අක‍්‍රිය වූ ගතින් යුත් ඇයට වත්, මෙහෙකාරියට වත්, තම පළල්ව විදැහී ගිය ඇස් නෙල්කාගේ මුහුණින් ඉවත් කරගත නොහැකි ලෙස දැණින.

ළා අළු පැහැයට හැරෙන්නට තරම් සුදුමැළිව තිබූ නෙල්කාගේ මුහුණ ශාන්ත විය. යම්තාක් දුරකට හෝ සාමාන්‍ය දෙයක් ලෙස පෙණුනේ එය පමණි. ඇගේ ගෙළ රතු හා සුදු රෝස මල් වලින් වසා තිබිණ. ළය මත ඇඟිලි බැඳී තිබූ දෑතෙහිද වූයේ සුදු රෝස මල් කිණිති රාශියකි. එම රෝස පෙති සමහරක් මත ඇගේම රුධිර බිඳිති, පිණි බිඳු සේ විසිරී, වියළී තිබිණ. බැලීමට නොහැකි තරම් වූයේ ඇගේ දෙතොළ ය.

භයානක ලෙස සුදුමැළිව තිබූ ඇගේ දෙතොල් වියළී ඉරී ගොස් තිබිණ.

------------------------------------------------------------------------------------

අන්ධකාරය....... හාත්පස මිදී තිබුණි. එය අමාවක රාත‍්‍රිය විය. සමස්ත පරිසරයම නිසලව වැතිර සිටියේ ය. එක් දෙයක් හැරෙන්නට........

අඳුර අතරින් තද ඡායා ඇතිකළ ගස් අතු තම ඇඟිලි තුඩු පඬු පැහැ පරණ ගොඩනැගිල්ලක් දෙසට දිගු කරගෙන සිටියේ ය. ඉතා දුරින් ඔරළෝසුවක අපැහැදිළි ලෝහමය රාවයක් නැගෙන්නට විය. එම හඬ වියැකී යනවාත් සමඟම ගොඩනැගිල්ලේ බිම් මහළේ එක් ජනේලයක් සෙමෙන් විවර වන්නට ගති. ඒ කන්‍යාරාමයේ නේවාසිකාගාරය විය. විවර වූ ජනේලය තුළින් එක් අඳුරු පොදියක් එළියට පැන සිටගත්තේ ය.

එය දෙගිඩියාවෙන් මෙන් මඳක් නතර වී සිටියේ ය. එහි හැඩයෙන් ඒ ස්ත‍්‍රියක වූ බව පෙනිණ. දිගු හුස්මක් හෙළූ ඈ සෙමෙන් ඉදිරියට ආවා ය. එක් බොරළු කැටයක් පෙරළෙන හඬක් හෝ නොනැඟුණි.

ස්ත‍්‍රිය තවත් ඉදිරියට ආවා ය. මිදුල පසුකර ගෙවත්තේ ගස් අතරට...... ගස් යට වූ තද අඳුරට පිවිසුණු ඈ මඳක් පැකිළෙමින් නැවතුණා ය.

අඳුර තුළ ඇගේ ඇඳුමේ වූ සුදු පැහැය සෑහෙන තරම් පැහැදිළිව දිස් විය. ඈ ඇඳ සිටියේ දුහුල් රාත‍්‍රී ඇඳුමක් සහ ජර්සියක් පමණි. දෑත් ළය මත බැඳ ගනිමින් ඈ අවට පැතිර තිබූ ලේ කැටි ගැසෙන සීතලෙන් ආරක්ෂා වීමට තැත් කළා ය. ඇගේ කුඩා නවයොවුන් සිරුර ගැහෙමින් පැවතිණ.

යුවතිය ගේ සුරතේ වූ යමකින් මළාණික එළිය තීරුවක් විහිදෙන්නට විය. යක්ෂයාගේ ¥තයින් මුදාහැරෙන හෝරාවක, ඝන අන්ධකාරයේ අනාරක්ෂිත වූ ඇයට තිබූ එකම ආරක්ෂාව ඒ කුඩා විදුලි පන්දම විය.

ඈ හනි හනික ගස් අතරින් පියමං කර ගියා ය. අඳුර අතරින් බොඳ වී පෙනෙන කිළිටි සුදු පැහැ තාප්පය සුදු මැළි අවතාරයක් සේ ඈ ඉදිරිපිට නැඟී සිටියේ ය.

ඈ තවත් සිතිවිලි වලට ඉඩ නොදී ඒ වෙත ගියා ය. තාප්පය අයිනේ වූ අතුපතර ගැවසි විශාල ගස අසළට ආ ඈ, ගස මුළ වූ ඝන අඳුර විසින් ගිළගනු ලැබුවා ය. මොහොතකින් සර සර ශබ්දයක් සමඟ ගසේ අතු සෙමෙන් සෙළවෙන්නට විය. යුවතියගේ ඇඳුමේ වූ සුදු පැහැය ගසේ අත්තක් මත දැකිය හැකි විය.

තරුණිය තවත් නොසිතා තාප්පයෙන් අනෙක් පසට විහිදුණු අත්තක් දිගේ ඇදුණා ය. එහි සිට ඈ තාප්පයෙන් අනෙක් පැත්තට පැන්නා ය.

බිම වැටුණු යුවතිය සෙමෙන් නැඟී සිටියා ය, තැන තැන විසිර තිබූ සුදුමැළි සොහොන් කොත් දෙස නොබලා සිටීමට තැත් කරමින්...... බකමූණෙකුගේ මූසල රාවයක් හාත්පස පැතිර යත්ම ඇගේ ලේ සීතල වී ගියේ ය.

දෑස් පියාගත් ඈ ‘නමෝ මරිය‘ යාඥාව වචනයෙන් වචනය සිහින් හඬින් කොඳුරන්නට වූයේ ඇගේ ම කටහඬින් බියපත් වෙමිනි. යාඥාවෙන් මඳක් දිරිමත් වූ යුවතිය තම දෙනෙතට අවට දර්ශනය දැකීමට ඉඩ නොදීමට තැත් කරමින් ඉදිරියට ඇදුනා ය. වල් පඳුරු මත වූ පින්නෙන් පෙඟුණු ගවුම නිසා ඇගේ දෙපා අයිස් බඳු සීතලෙන් හිරි වැටිණ.

ඈ නතර වූයේ විශාල අලිපේර ගස මුලට ආ පසු ය. නියමිත ස්ථානය වූයේ එතැන ය. ඉතින් ....... ඇත්තේ බලා සිටීම පමණි.

පළාතම නිහඬතාවයේ ගිළී තිබිණ. අන්තයක් නොමැති වූ භයංකර නිහඬතාව. ඝනාන්ධකාරය මැද තනිවූ තරුණියට, තනිවීම තරම් සුරක්ෂිත බවක් තවත් නොවී ය. තමන් අවට කිසිවකුත්ඇති බවක් නොපෙණුන ද, නොඇසුණ ද, එය සහතික කරගැනීමට නොහැකි බව භයංකර තත්ත්වයකි.

තම හදවත වේගයෙන් ගැහෙන හඬ ඇයට ඇසෙන්නා බඳු විය. ඈ දෑස් විදහාගෙන හාත්පස කෙරෙහි තියුණු අවධානයකින් පසුවූවා ය.

අඳුර අතරින් යාන්තමට පෙනී නොපෙනී යන ඡායා ....... යාන්තමින් ඇසුණාක් මෙන් දැනී නැවත කෙසේවත් නොඇසෙන සියුම් ශබ්ද.......

තරුණිය සෙමෙන් සෙමෙන් අලිපේර ගසේ දැවැන්ත කඳට පිටදී හේත්තු වූවාය.

සරස්“

හඬ නැඟුනේ ඈ පිටුපසිනි. ඈ එක්වරම තිගැස්සුණා ය. ඇගේ හදගැස්ම ඇයට ම ඇසෙන්නා සේ විය. විසල් දෑස් විදහා ගත් ඈ පෙන්ටෝර්ච් එළිය ඒ දෙසට යොමු කළා ය. එහි වූයේ ගසෙන් වැටුණු වියළි කොළයකි. ඇගෙන් සුස්මක් පිටවූයේ නිරායාසයෙනි. නමුත් ....... එය සැනසුම් සුසුමක් වූයේ ඒ මොහොතට පමණි.

හුදෙක් ආතල් එක සඳහා පමණි

ඩ්‍රැකියා වෙසක් කළාපය ලිය ලියා ඉන්න අතරෙ, හිතේ පොදි ගැහී තෙරපි තෙරපී තිබූ ආතල් කතා වස්තු ටිකක් පොසොන් කළාපයට කලින් එළියට දාන්න ම ඕනෙ කියලා හ...