සංගීතය මිය ගිය දිනයක් - මන්නා ඩේ ගේ අභාවය

http://st1.bollywoodlife.com/wp-content/uploads/2013/10/Manna-de-241013.jpg

පණහේ දශකයේ සිට අසූව දශකය දක්වා හින්දි රිදී තිරය සංගීත රසයෙන් පුරවාලූ මන්නා ඩේ (1919 - 2013) පසුගිය ඔක්තෝබර් 24 දින අප අතරින් සදහටම වියෝ වූ පුවත සැළවිය. ඔහු 1942 සිට මේ දක්වා ගීත හාර දහසකට වඩා ගායනා කර තිබේ.  1971 දී ඉන්දීය රජය විසින් පිදෙන පද්ම ශ‍්‍රී සම්මානයෙන් ද, 2005 දී පද්ම භූෂන් සම්මානයෙන් ද, 2007 දී දාදාසහීබ් පල්කේ සම්මානයෙන්ද ඔහු පුද ලැබූ අතර, රබීන්ද්‍ර භාරතී විශ්වවිද්‍යාලයෙන් 2004 දී ද, ජාදායිපූර් විශ්වවිද්‍යාලයෙන් 2008 දී ද පිරිනැමුණු ඞී. ලිට්. ආචාර්ය උපාධි දෙකකින් ද ඔහුගේ දීර්ඝ කාලීන මෙහෙවර අගයනු ලැබිණ. හෘත් අකරණිය හේතුවෙන් නාරායන හෘදයාලයේදී ඔක්තෝබර් 24 දින පෙරවරු 3.51 ට ඔහු මිය යන විට මන්නා ඩේ අනූ හතර වන වියේ පසු විය.

හින්දි සහ බෙංගාලි භාෂාවලින් ප‍්‍රධාන කොටම ගායනා කළ මන්නා ඩේ ඊට අමතරව තවත් ඉන්දීය භාෂා කීපයකින්ම ගීත ගායනා කොට ඇත. ඔහුගේ සංගීත දිවියේ ස්වර්ණමය අවධිය වූයේ 1953 - 1976 කාලයයි.

ළමා විය

මන්නා ඩේ, පූර්ණ චන්ද්‍ර ඩේ සහ මහාමායා යුවළට දාව 1919 මැයි මස 1 දින උපත ලැබීය. ඔහු ගේ මුල් නම වූයේ ප්‍රබෝද් චන්ද්‍ර ඩේ ය. සිය දෙමාපියන් හැරුණු කොට ඔහුගේ ජීවිතයට වැඩිම බලපෑමක් එල්ල කළේ, බාප්පා වූ සංගීතාචාර්ය ක‍්‍රිෂ්ණ චන්ද්‍ර ඩේ ය. කුඩා කණිෂ්ඨ විද්‍යාලයක් වූ ඉන්දු බාබුර් පාඨශාලාවෙන් මුල් අධ්‍යාපනය ලද හෙතෙම, 1929 සිටම පාසැල් වේදිකාවේ ගායකයෙකු ලෙස සිය හැකියාවන් දැක්වූයේය. ගැටවර වියට එළඹෙන විට කැපි පෙනෙන උස් මහත් සිරුරකින් හෙබියා වූ ඔහු, උසස් අධ්‍යාපනය සඳහා ස්කොට්ලන්ත දේවස්ථානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාලයටත්, පසුව ස්කොට්ලන්ත දේවස්ථාන විද්‍යාලයටත් ඇතුල් විය. එහිදී ඔහු රෙස්ලින් සහ බොක්සිං ක‍්‍රීඩාවෙහි දක්ෂතා දැක්වීය. විද්‍යාසාගර් උසස් විද්‍යාලයෙන් මන්නා ඩේ සිය විද්‍යාල ජීවිතය අවසන් කළේය.

මන්නා ඩේ සංගීතය හැදෑරුවේ ක‍්‍රිෂ්ණ චන්ද්‍ර ඩේ සහ පසුව උස්තාද් දාබිර් ඛාන් වෙතිනි. මෙම කාලයේදී ම පිට පිට වසර තුනක් තිස්සේ ඔහු වෙනස් වෙනස් සංගීත ශෛලි තුනක් යටතේ, අන්තර් විද්‍යාලයීය ගායනා තරඟවලදී පළමු තැන අත් කර ගැනීමට සමත් විය.

හින්දි රිදී තිරයේ මන්නා ඩේ ගේ මෙහෙවර

1942 දී ක‍්‍රිෂ්ණ චන්ද්‍ර ඩේ සමඟ බොම්බායට අවතීර්ණ වූ මන්නා ඩේ, සිය බාප්පා යටතේ ද, ඉන් පසුව කීර්තිමත් සංගීතඥ සචින් දේව් බර්මන් යටතේ ද සහායක සංගීත අධ්‍යක්ෂ වරයෙක් වශයෙන් වැඩ කිරීමට පටන් ගත්තේය. ඉන් පසු තවත් සංගීතඥයන් සමඟ ද වැඩ කළ හෙතෙම පසු කාලීනව ස්වාධීනව සංගීත ක්ෂේත‍්‍රයෙහි කටයුතු කිරීමට පටන් ගත්තේය. මෙසේ හින්දි සිනමාවේ ස්වාධීන සංගීත අධ්‍යක්ෂ වරයෙකු ලෙස වැඩ කරමින්ම ඔහු උස්තාද් අමන් අලි ඛාන් සහ උස්තාද් අබ්දුල් රහ්මන් ඛාන් යටතේ හින්දුස්ථානි සම්භාව්‍ය සංගීතය හැදෑරීම ද දිගටම කරගෙන ගියේ ය.

මන්නා ඩේ 1942 දී තිරගතවූ ‘තමන්නා’ හින්දි සිනමා පටයෙන් මුල් වරට සිනමා පසුබිම් ගායනයට අවතීර්ණ විය. එහි ක‍්‍රිෂ්ණ චන්ද්‍ර ඩේ ගේ සංගීතයට ඔහු සුරයියා සමඟ ගැයූ ‘ජාගෝ ආයී ඌෂා පොන්චී භෝලේ ජාගෝ’ නම් යුග ගීතය, ඉතාමත් කෙටි කලකින් ජනප‍්‍රිය විය. 1944 දී කාදම්බරී චිත‍්‍රපටය සඳහා ඔහු ගැයූ ‘ ඕ පේ‍්‍රම් දිවානී සම්භල් කේ චල්නා’ (සංගීතය අනිල් බිස්වාස්), 1946 දී දූර් චලේ චිත‍්‍රපටය සඳහා ගැයූ ‘දිල් චුරානේ කි ලියේ’ (සංගීතය ජෆාර් ඛුර්ෂිඞ්) ගීත මෙන්ම, 1946 කමලා චිත‍්‍රපටය සඳහා අමීරා බාහී සමඟ ගැයූ ‘ඒ දුනියා ජරා සුනේ’ සහ 1947 දී චල්තේ චල්තේ චිත‍්‍රපටය සඳහා මීනා කපූර් සමඟ ගැයූ ‘ආජ් බොර් ආයී’ වැනි යුග ගීත එම වර්ෂ වල ගීත දර්ශකයන්හි පළමු ස්ථානයට ළඟා වූ ගීත විය. 1945-47 කාලයේ රාජ්කුමාරී සමඟ මන්නා ඩේ ගැයූ යුග ගී ඉතා ජනප‍්‍රිය විය. ඒ අතර 1945 වික‍්‍රමාදිත්‍ය චිත‍්‍රපටයට ගැයූ ‘හේ ගගන් මෙ බාදල් තේරේ’, 1946 ඉන්සාෆ් චිත‍්‍රපටයේ ‘ආවොජී මෝරේ’, ගීත් ගෝවින්ද් චිත‍්‍රපටයට පන්ඩිත් ඉන්ද්‍රා සංගීතවත් කළ ‘කිත් හෝ නන්දො කුමාර්’, ‘වෝර් සාඛී ආජ් ලාජ්’, ‘අප්නේ හී රන්ග්’, ‘ලාලිත් ලබන්ග් ලතා’ යනාදී ගීත වේ. ඔහු පළමු වරට 1950 දී තිරගත වූ මාෂල් සිනමා පටයේ සචින් දේව් බර්මන් සංගීතවත් කළ ‘ඌපර් ගගන් විශාල්’ සහ ‘දුනියා කේ ලෝගෝ’ ගීත ගායනා කරමින් ඒ දැවැන්ත සංගීතඥයා සමඟ සම්බන්ධතාවය ඇතිකර ගත්තේය. ඒ ගීත රචනා වූයේ කවි ප‍්‍රදීප් අතිනි. 1952 දී අමර් භූපාලි නමින් සහ එකම කතා වස්තුවකින් හෙබි බෙංගාලි සහ මරාටි චිත‍්‍රපට දෙකෙහි මන්නා ඩේ පසුබිම් ගීත ගායනා කළේ ය. මෙයින් පසු ඔහු බෙංගාලි සහ මරාටි සිනමාවේ ද ප‍්‍රමුඛ පසුබිම් ගායකයෙකු බවට පත් විය.

http://static.ibnlive.in.com/pix/slideshow/10-2013/manna-dey-19192013/manna-13-june-9.jpg
මන්නා ඩේ, මොහොමඞ් රාෆි සහ තලාත් මෙහෙමුද්

1947න් පසු මන්නා ඩේ ගේ හඬ, අනිල් බිස්වාස්, ශංකර් රා ඕ ව්‍යාස්, එස්. කේ. පාල්, එස්. ඞී. බර්මන්, ඛේම් චාන්ද් ප‍්‍රකාශ්, මොහොමඞ් සාෆි යන සංගීතඥයන් ගේ සංගීතය සමඟ බහුල වශයෙන් හින්දි රිදී තිරයේ ඇසෙන්නට ලැබුණි. අනිල් බිස්වාස් සමඟ මන්නා ඩේ වැඩ කළේ ඉතා සුළු චිත‍්‍රපට ගණනක වුවත්, ඒවායේ ගීත රසිකයන්ගේ හදේ ගැඹුරට කාවැදුණු නිර්මාණ බවට පත් විය. ගජ්රේ (1948), හම් භි ඉන්සාන් හේ (1948), දෝ සිතාරේ (1951), හම් දර්ද් (1953), මහත්මා කබීර් (1954), ජාසූස් (1957) සහ පර්දේසී (1957) එවැනි චිත‍්‍රපට වේ. 1940-61 කාලයේ සුපිරි තරුවක් වූ ශම්ෂාඞ් බෙගම් සමඟ ඔහු මුලින්ම ගායනා කළේ 1949 දී එස්. කේ. පාල් සංගීතවත් කළ ගර්ල්ස් ස්කූල් චිත‍්‍රපටයේ ‘පූලෝන් කා ස්වප්නා’ ගීතයයි. එවක නැගී එන ගායිකාවක් වූ ලතා මංගේෂ්කර් සමඟ ඔහු ගැයූ පළමු යුග ගීතය වූයේ වසන්ත් දේසායි සංගීතය සැපයූ නරසිංහ අවතාර් (1949) චිත‍්‍රපටයේ ‘ලපට් කෙ පොට් පහනේ බික්රාල්’ ය. එසේම පන්නාලාල් ඝෝෂ් සංගීතය අධ්‍යක්ෂණය කළ ආන්දෝලන් (1951) සිනමා පටය සඳහා ඔහු මුල් වරට කිෂෝර් කුමාර් සමඟ ‘සුබහෝ කී පහෙලි කිරන්’ ගීතය ගැයුවේය. ගීතා රෝයි (පසුව ගීතා දත්) සමඟ ඔහුට මුලින්ම ගැයීමට අවස්ථාව ලැබුණේ 1949 දී ෂංකර් රාඕ ව්‍යාස් සංගීතවත් කළ රාම් විවාහ් චිත‍්‍රපටයේ ‘දෝන්යෝ දෝන්යෝ හේ අයෝද් පුරි’ ගීතයයි. 1951 තිරගත වූ ඝන්ත්ශාලා සංගීතය සැපයූ ජංගල් කා ජාන්වර් සිනමා පටයේ ‘හේ යේ හේන්’ ගීතය මන්නා ඬේ උමාදේවි (ටුන් ටුන්) සමඟ ගැයූ මුල්ම යුග ගීතය වූ අතර, එවක ආන්දෝලනයට ලක් වූ ගායිකාවක් වූ ආශා භෝස්ලේ සමඟ ඔහුගේ මුල්ම ගීතය වූ ‘ ඕ රාත් ගයී ෆිර් දින් ආයා’ ගීතය 1953 දී තිරගත වූ බූට් පොලිෂ් චිත‍්‍රපටයට ඇතුළත් විය.

1948 - 1954 කාලයේ මන්නා ඩේ සිය ප‍්‍රවීණත්වය මනාව පිළිබිඹු කළේ සම්භාව්‍ය සංගීතය පමණක් නොව, සම්භාව්‍ය සහ පොප් ශෛලින් මුසු වූ සංගීතය පාදක වූ සිනමා ගීත ඇසුරින් මෙන්ම, සම්භාව්‍ය සංගීත ප‍්‍රසංග ද පැවැත්වීම මඟිනි. බටහිර සංගීතය සමඟ ඔහු කළ පර්යේෂණ තුලින් පැන නැඟුණු අමතක නොවන සුළු මධුර ස්වර නිර්මාණයන් නිසා 1955 සිට ඔහුට සිනමා ක්ෂේත‍්‍රයේ පැවති ඉල්ලූම වැඩි විය. 1953 සිට ඔහු සිනමා පට සඳහා මියුරු ගසල් ගී පවා ගායනා කරන්නට ගති. 1951 ශ‍්‍රී ගණේෂ් සහ විස්වාමිත‍්‍ර යන චිත‍්‍රපට දෙකෙහි ඛේම්චාන්ද් ප‍්‍රකාශ් සමඟ සංගීතය අධ්‍යක්ෂණය කරමින්, හින්දි සිනමාවේ සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙසද කටයුතු කරන්නට පටන් ගත්තේය.

1954 වන විට මන්නා ඩේ බොහෝ ඉන්දීය භාෂාවන්ගෙන් එළි දැක්වුණු සිනමා කර්මාන්තය තුළ සුප‍්‍රකට චරිතයක් විය. 1953 දී දෝ භිගා සමීන් චිත‍්‍රපටය එළි දැක්වීමෙන් පසු ඔහු ජාතික තලයේ ජනප‍්‍රියත්වයක් හිමිකර ගත්තේය. එහි සලීල් චෞද්රි ගේ සංගීතයට ඔහු ගැයූ ගී දෙකක් ඉතා ඉහළ ජනප‍්‍රසාදයට ලක් විය. 1953 සිට 92 දක්වා මන්නා ඩේ සමඟ වැඩ කළ සලීල් චෞද්රි ඔහු ලවා බෙංගාලි සහ මලයාලම් චිත‍්‍රපට ගීත පවා ගායනා කරවීය. ශංකර් - ජායිකිශන් සංගීතඥයන් ද, හින්දි සිනමාවේ දැවැන්ත නිෂ්පාදකවරයෙකු වූ රාජ් කපූර් ද සමඟ මන්නා ඩේ මුලින්ම සම්බන්ධ වූයේ ආවාරා සිනමා පටයෙනි. එහෙත් එම සංයෝගය වඩාත් ජනප‍්‍රිය වූයේ 1954 තිරගත වූ බූට් පොලිෂ් චිත‍්‍රපටයෙනි. එතැන් සිට 1971 වසර දක්වා පැවති මෙම ත‍්‍රිත්වයේ සංයෝජනය, ඇතැම් විට ආදායම් වාර්තා අතින් චිත‍්‍රපට අසාර්ථක වූවත් සංගීතය අතින් රසිකයන්ගේ හදවත් තුළ සදා රැඳෙන තරමේ සාර්ථකත්වයක් අත්කර ගති. මේ අතර ශ‍්‍රී 420, චෝරී චෝරී, මේරා නාම් ජෝකර් යනාදී සිනමා නිර්මාණ වෙති. සී. රාමචන්ද්‍ර මුල් වරට 1955 දී ඉන්සානියාත් නම් චිත‍්‍රපටය සඳහා මන්නා ඩේ ගේ හඬ යොදාගත් අතර, ඉන්පසු 1960 ගණන් දක්වා ඔහුගේ ගායනා තලාක් (1959), නව්රාන්, පයිඝම්, ස්ත‍්‍රී (1961), වීර් භීම්සේන් ආදී තම චිත‍්‍රපට ආලෝකවත් කිරීමට යොදාගත්තේය. 1956 දී ඔහු නව ගායක පරපුරක් සමඟ ගායනා කරන්නට පටන් ගති. ඒ අතර, සුභා මල්හෝත‍්‍රා, බිනාතා චැටර්ජී, සබීතා බැනර්ජී සහ මීනා කපූර් වූහ.

1954 තිරගත වූ මහා පූජා සිනමා පටයෙන් මන්නා ඩේ ස්වාධීන සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කිරීම ඇරඹීය. 1953 සිට 55 දක්වා හින්දි ගී 83 ක් ගැයූ ඔහුගේ ජනප‍්‍රියතාව කෙතෙක් ඉහළ ගියේ ද යත්, 1956 දී ඔහු ගීත 45 ක් ද, 1957 දී ගීත 95ක් ද, 1958 දී ගීත 64 ක් ද පටිගත කර තිබිණ. හින්දි සිනමා ක්ෂේත‍්‍රයේ ඔහුගේ උච්ඡතම අවධිය ලෙස සැළකෙන 1953 - 1969 කාලයේ ඔහු ගීත 758 ක් පටිගත කර ඇති අතර, ඉන් 631 ක් ම 1957-1969 අතර කාලයේ ගැයුණු ඒවා වේ. 1954 - 1968 කාලය තුළ නෞෂාද්, කේ. දත්ත, වසන්ත් පවර් සහ රාම්, වසන්ත් දේසායි, රවි, එස්. කේ. පාල්, අවිනාශ් ව්‍යාස්, එස්. එන්. ත‍්‍රිපති, සන්මුක් බාබු, නිසර් බස්මි, හසන්ලාල් භගත‍්‍රම්, බී. එන්. බාලි, සුශන්තා බැනර්ජී,  ඕ. පී. නයියාර්, ජී. රාමනාදන්, ටී. ජී. ලිංගප්පා, නිර්මල් කුමාර්, ගුලාම් මොහොමඞ්, බිපින් දත්තා, රබීන් බැනර්ජී, රොෂාන්, සපන් ජග්මෝහන් යනාදී අනෙකුත් සංගීතඥයන් සමඟද ඔහු වැඩ කර තිබේ.

නව පරපුරේ සංගීතඥයන් වූ කල්‍යාන්ජී - ආනන්ද්ජී මන්නා ඬේ සමඟ ගීත පටිගත කිරිම ඇරඹුවේ 1958 දී වන අතර, ලක්ෂ්මිකාන්ත් - ප්‍යාරෙලාල් 1964 සිට ඔහු සමඟ වැඩ කළහ. රාහුල් දේව් බර්මන් මන්නා ඬේ ලවා ගැයවූ ‘ආවෝ ට්විස්ට් කරේ’ සහ ‘ප්‍යාර් කර්තා ජා’ යන බටහිර ආරේ ගීත 1965 දී ඉමහත් ජනප‍්‍රියත්වයට පත් විය. එහෙත් 1955 - 69 කාලය තුළ වාණිජමය වශයෙන් සාර්ථක වූ සිනමා පට තුළ එක දිගටම ජනප‍්‍රිය වූ ගීත සඳහා ඔහුට සංගීතය සැපයූවෝ, එස්. ඞී. බර්මන්, සී. රාමචන්ද්‍ර, අවිනාශ් ව්‍යාස්, වසන්ත් දේසායි, අනිල් බිස්වාස්, සලීල් චෞද්රි සහ ශංකර් ජායිකිෂන් ය. වසන්ත් දේසායි සංගීතවත් කළ ‘ලපක් ජපක් තු ආ රේ’ (බූට් පොලිෂ් - 1954), ‘තූ ප්‍යාර් කා සාගර් හේ’ (සීමා - 1955 - සිංහල ගීතය - ශ්‍රී පා වඳිමු මුණි ගේ - ගායනය සිසිර සේනාරත්න), ‘යේ කහානී හේ දියේ  ඕර් ටූෆාන් කී’ (දියා  ඕර් ටූෆාන් - 1956), ගීත ද, ‘හම්දුම් සේ ගයේ’ (මන්සිල් - 1960), ‘ආයේ මෙරේ ප්‍යාර් වටන්’ (කාබුලිවාලා - 1961), ‘ලාගා චුනරි මේ දාග්’ (දිල් හි තෝ හේ - 1963), වැනි ගීතද, සම්භාව්‍ය ගීත වූ ‘සුර් නා සාජේ’ (බසන්ත් බහාර් - 1956), ‘කෝන් ආයා මෙරේ මාන්’ (දේක් කබීරා රෝයා - 1957), ‘පූචෝ නා කේසේ මේ රේන්’ (මෙරි සූරත් තෙරි ආකේන් - 1963), ‘ජනක් ජනක් තොරෙ බාජේ පායලියා’ (මෙරෙ හසූර් - 1965), යනාදියද, ජනගී ආරෙන් ගැයුණු ‘කිසි චිල්මන් සේ’ (බාත් ඒක් රාත් කි - 1962), ‘එ මෙරී සොහ්රා ජබීන්’ (වක්ත් - 1965), ‘චලත් මුසාෆිර් මෝ ලියා’ (තීස්රී කසම් - 1967), ‘ආවෝ ආවෝ සාවරියා’ ආදී ගීත ද, ලතා මංගේෂකර් සමඟ ගැයූ ‘මස්තී බරා යේ සමා’ (පර්වාරිෂ් - 1958), ‘නේන් මිලේ චේන් කහා’ (බසන්ත් බහාර් - 1956), ‘කෙහ්දෝ ජී කෙහ්දෝ චූපාවෝනා ප්‍යාර්’ (කිස්මත් කා කේල් - 1956), ‘තුම් ගගන් කෙ චන්ද්‍රමා’ (සාතී සාවිත‍්‍රී - 1964), ‘දිල් කී ගිරා’ (රාත්  ඕර් දින් - 1966), ‘චුනරි සම්භල් ගොරී’ (බහාරෝ කේ සප්නේ - 1967) වැනි යුග ගීතද ඒ ඒ අවුරුදු වල ඉතා පනප‍්‍රිය විය. සම්භාව්‍ය සංගීතය පදනම් වූ කේවල හා යුග ගීත ජනප‍්‍රිය තලයට රැගෙන ඒම පිළිබඳව ස්තූතිය හිමි විය යුත්තන්ගෙන් කෙනෙකි, මන්නා ඩේ. හොඳම උදාහරණයක් වන, 1959 දී චාචා සින්ද්බාද් සිනමා පටය සඳහා ඔහු ලතා සමඟ ගැයූ ‘ප‍්‍රීතම් දරස් දික්හෝ’ ගීතය ලාලිත් රාගය මුල්කොට ගත්තකි. එතෙක් හින්දි සිනමාවේ දුෂ්ඨ චරිතයන්ට පණදුන් ප‍්‍රාන් වෙනුවෙන් උප්කාර් (1967) චිත‍්‍රපටයට කළ්‍යාන්ජී ආනන්ද්ජී ගේ සංගීතයට ඔහු ගැයූ ‘කසමේ වාදේ ප්‍යාර්’ ගීතය ඉමහත් වෙනසක් ඇති කළ සන්ධිස්ථානයක් විය. එම ගීතයෙන් මන්නා ඩේ ජනාදරයට පත් වූවා මෙන්ම, ප‍්‍රාන්, වීර චරිත රඟපෑමට ඉන් පෙළඹවීමක්ද ඇති විය.

සිනමාවේ දී රාජ් කපූර් ගේ නිත්‍ය හඬ මුකේෂ් වූවත්, ජනප‍්‍රිය වූ චිත‍්‍රපට කිහිපයකම මන්නා ඩේ ඔහු වෙනුවෙන් ගයා තිබේ. ශ‍්‍රී 420 (මුඞ් මුඞ් කේ නා දේක්, ප්‍යාර් හුවා ඉක්රාර් හුවා), චෝරී චෝරී (යේ රාත් බීගී බීගී, ජහා මේ ජාතී, ආජා සනම්), පර්වාරිෂ් (මස්ති බහා හේ සමා), දිල් හි තෝ හේ (ලගා චුනරි මේ දාග්), මේරා නාම් ජෝකර් (ඒ භායි සරා දේක් කෙ චලෝ) සහ කල් ආජ්  ඕර් කල් (ඒක් පාවෝ චල් රහා හේ - 1971) වැනි සිනමා පට මෙයට උදාහරණ වෙති. ආර්. ඞී. බර්මන් මන්නා ඩේ සමඟ 1965 සිට දිගටම බොහෝ ජනප‍්‍රිය වූ ගීත පටිගත කළේය. භූත් බංගලා, ගෝම්තී කෙ කිනාරේ, චාන්දන් කා පල්නා, බහාරෝ කේ සප්නේ, පඩෝසන්, වැනි චිත‍්‍රපට වලට ඒ ගීත ඇතුළත් විය. 1950 සිට 1969 දක්වා වූ බොහෝ සිනමා පට වල බාල්රාජ් සාහ්නි සඳහා ද, 1660 - 75 කාලය තුළ මෙහ්මුඞ් සහ අනූපම් කුමාර් සඳහා ද ඔහු ගීත ගායනා කළේය.

http://media-cache-ec0.pinimg.com/236x/57/a8/d2/57a8d2dc71a661b81dcbf2893042ef32.jpg
ශ‍්‍රී 420 චිත‍්‍රපටයේ ඇතුළත් වූ ‘ප්‍යාර් හුවා ඉක්රාර් හුවා’ ගීතයේ දර්ශනයක්

1956 න් පසු නැගී ආ නව පරපුරේ ගායිකාවන් අතරින් සුමන් කළ්‍යාන්පුර්, මන්නා ඩේ සමඟ ගැයූ යුග ගී බොහෝ ජනප‍්‍රිය විය. ඔවුන් දෙදෙනා මුලින්ම ගැයූවේ බී. එන්. බාලි සංගීතවත් කළ මායා නග්රි (1957) චිත‍්‍රපටයේ එන ‘පේ‍්‍රම් බඩා බල්වාන් ජගත්’ ය. එතැන් සිට ඔවුන් දෙදෙනා ගයා ඇති ගීත 45 ක් පමණ වන ප‍්‍රමාණය අතරින්, ඉතාමත් ජනප‍්‍රිය වූ ගීත වන්නේ, ‘තුම් ජෝ ආවෝ’ (සාකී රොබින් - 1962 - සංගීතය රොබින් බැනර්ජී), ‘දිල් සේ ජෝ බාත්’ (සී. රාමචන්ද්‍ර සංගීතවත් කළ අල් හිලාල් - 1958), දත්තාරාම් වාද්කාර් සංගීතවත් කළ ‘නා ජානේ කහා’ (සින්දගී  ඕර් ක්වාබ් - 1963), ‘යේ දින් කේ කුෂී කේ’ (ජබ් සේ තුම්හේ දේකා හේ - 1963) සහ ‘බීගී හවෝ මේ’ (ශ‍්‍රීමන් සත්‍යවාදී - 1960), ‘ආන්ක් මේ ශෝකී’ (බාබුල් සංගීතය සැපයූ රෙශ්මී රූමල් - 1960), ‘ආවෝ හිල්මි කේ නාචෝ රේ’ (ශංකර් - ජායිකිෂන් සංගීතවත් කළ ජානේ අන්ජානේ - 1970) සහ ලක්ෂ්මිකාන්ත් - ප්‍යාරෙලාල් ගේ සංගීතයට ගැයුනු ‘දිල් තෝ දිල් හේ පූල් භි’ (දෆා 302 - 1975) යන ගීතය.

මන්නා ඩේ සමඟ ගැයූ තවත් ඉතා ජනප‍්‍රිය ගායකයෙකු වූයේ මොහොමඞ් රාෆි ය. රාෆි ඔහු සමඟ ගීත 101ක් ගායනා කර ඇති අතර, ඉන් 58 ක් යුග ගීත වේ. ඒ අතර, ‘ඉෂ්ක් ඉෂ්ක්’ (බර්සාත් කි රාත්), ‘තු හේ මේරා පේ‍්‍රම් දේව්තා’ (කල්පනා), ‘මමා  ඕ මාම’ (පර්වාරිෂ්), ‘දුනියා කේ ලියේ’ (මාන් ගයේ උස්තාද් - 1981), ‘මේ හූ තෙරා පේ‍්‍රම්  ඕර් තූ හෝ මෙරි ප‍්‍රාන්’ (රාහු කේතු - 1979), ‘හින්දුස්ථාන් කි කසම්’ (හින්දුස්ථාන් කි කසම් 1973), ‘හම් තෝ තෙරේ හේ දීවානී’ (ජෝහාර් මෙහ්මූද් ඉන් හොං කොං), ‘බඩෙ මිය දීවානේ’ (ෂාගිර්ද්), ‘යේ දෝ දිවානේ දිල් කේ’ (ජොහාර් මෙහ්මූද් ඉන් ගෝවා), ‘අගර් දිල් දිල් සේ’ (ශෝලා  ඕර් ෂබ්නම් - 1961) ආදී ගීත ඉතා ජනප‍්‍රිය විය.

1953 - 82 කාලය තුළ ආශා බෝස්ලේ සමඟ මන්නා ඩේ හින්දි ගී 160 ක් පමණ පටිගත කර තිබේ. ඔවුන් එකට ගැයූ අවසන් ගීතය වූයේ තෙරි මාන්ග් සිතාරෝ සේ බාර් දූන් විය. මෙම දෙපළගේ ජනප‍්‍රිය ගීත අතර, ‘යේ හවා යේ නදී කා’ (ඝර් සංසාර් - 1958), ‘තූ චුපී හේ කහා’ (නව්රාන් - 1959), ‘ජෝදී හමාරී ජාමේගී’ (ඖලාද් - 1968), ‘සාන්ජ් දලී දිල් කී ලගී’ (කාලා බසාර් - 1960), ‘ආයේ කාශ් චල්තේ මිල්තේ’ (මන්සිල් - 1960), ‘නා තෝහ් කර්වාන් කී තාලාෂ් හේ’ (බර්සාත් කී රාත් - 1960), ‘ජානේ නා දූන්ගා’ (දදීමා - 1966), ‘රේ මාන් සූර් මේ ගා’ (ලාල් පත්ථර් - 1971), ‘සින්දගී හේ කේල්’ (සීතා  ඕර් ගීතා - 1972) සහ ‘පයිසා දෞලත්’ (ධර්කන් - 1972) වේ.

මන්නා ඩේ ගීතා දත් සමඟ 1949 - 64 කාලයේ යුග ගී 27 ක් පමණ ගායනා කර තිබේ. ඉන් ජනප‍්‍රිය වූ ගීත අතර, සම්භාව්‍ය සංගීතයට මෙන්ම, ට්විස්ට් නැටුම් රිද්මය, රොක් ඇන්ඞ් රෝල්, චාචා වැනි ශෛලීන් සහිත සංගීතයට ගැයුනු ගීතද වේ. ඒ අතර, ‘ආන් මිලෝ’ (දේව්දාස්), ‘ ඕ මාස්ටර් සුනෝ ඒක් බාත්’ (අග‍්‍රා රෝඞ් - 1975), ‘කරෝ නා පෙරේ ගලී කේ මෙරේ’ (සුධින් දාස්ගුප්ත සංගීතවත් කළ බෙංගාලි සිනමා පටයක් වූ ගලී තෙකේ රාජ්පත් - 1959), ‘නයා නයා චාන්ද් හේ ජී’ (එස්. එන්. ත‍්‍රිපති සංගීතවත් කළ ඛුදා කා බන්දා - 1957) ප‍්‍රකට ය. එස්. එන්. ත‍්‍රිපති ගේ සංගීතයට 1961 දී පියා මිලන් කී ආකාස් චිත‍්‍රපටය සඳහා ඔහු ගැයූ ‘පික්නික් මේ ටික් ටික්’ ගීතයේ යෝඞ්ල් කිරීම දැකිය හැකි වූ අතර, කිෂෝර් ගේ ශෛලියේ උච්ඡ ස්වරයෙන් ගැයීමද දැකිය හැකි විය.

ලතා මංගේෂ්කාර් සමඟ ඔහු හින්දි යුග ගී 103 ක් පමණ ගැයූ අතර, ඉන් ‘තෙරෙ බිනා ආග් යේ චාන්ද්නී’ (ආවාරා), ‘යේ රාත් බීගී බීගී’ සහ ‘ආජා සනම් මධුර් චාන්ද්නී මෙ’ (චෝරී චෝරී), ‘ප්‍යාර් හුවා ඉක්රාර් හුවා’ (ශ‍්‍රී 420), ‘වෝ චාන්ද් මුස්කායේ’ (අක්හ්රි දාවෝ - 1958), ‘රිතු ආයේ’ සහ ‘දිල් කි ගිරා කෝල් දෝ’ (රාත්  ඕර් දින් - 1966), ‘ආයා අබ්දුල්ලා ආයා’ (ජුවාරි - 1968), ‘සෝච් කේ යේ ගගන් ජුමේ’ (ජ්‍යෝති - 1969) සහ ‘මේ බුඞ්ඩෝ ලම්බෝ ලම්බෝ’ (බුඞ්ඩා මිල් ගයා - 1971) අදටත් ඉතාමත් ජනප‍්‍රිය ගීත වේ.

1968 වන තුරුම කිෂෝර් කුමාර් සහ මන්නා ඩේ පටිගත කර ඇත්තේ ගීත 6 ක් පමණක් වුවද, ඒ සියල්ල ම ජනප‍්‍රසාදය ඉහළින්ම දිනාගත් නිර්මාණ විය. ඔවුන්ගේ පළමු ගීය ‘සුබහෝ කි පහේලී කිරන්’ (ආන්දෝලන් - 1951) වූ අතර ‘තුභි පියා චිකාරා හූ’ සහ තූ ජාම් ලියේ ජා (බේවකූෆ් - 1960), ‘බාබු සමජ්හෝ ඉශාරේ’ (චල්තී කා නාම් ගාඞී - 1958) යන ගීත තුන සංගීතවත් කරන ලද්දේ එස්. ඞී. බර්මන් විසිනි. ‘බහෙතා පානී බහෙතා ජායේ’ (ධාකේ කේ මලමාල්) සී රාමචන්ද්‍ර විසින් ද, ‘ජොයෝ ජොයෝ මෙරෙ ලාල්’ (1952) එස්. කේ. පාල් විසින් ද, සංගීතවත් විය. 1968 දී ආර්. ඞී බර්මන් විසින් මෙම ගායකයන් දෙදෙනා පඩෝසන් චිත‍්‍රපටය සඳහා එක්තැන් කිරීම, කැපී පෙනුනු අවස්ථාවක් විය. එහි සංගීත ගුරුවරයා සහ පෙම්වතා තරුණියගේ සිත දිනා ගැනීම පිණිස පවත්වන ගායනා තරඟය සඳහා යොදාගත්, මොවුන්ගේ දීර්ඝ යුග ගීතය වූ ‘එක් චතුර් නාර්’ මතකයේ නොමැකෙන නිර්මාණයකි. කිෂෝර් කුමාර් මෙම ගීතය පටිගත කරන අවස්ථාවේදී ම තවත් කොටස් එකතු කරමින් වැඩි දියුණු කළ බව කියැවෙන අතර, ඔහු සම්භාව්‍ය සංගීතය උගත් ගායකයෙකු නොවූ බැවින්, මන්නා ඩේ මෙම ගීතය ඉතා හොඳින් ගායනා කර පෙන්වීමට සිතා ආත්මීයව මෙම ගීතයට සමවැදී ගායනා කළ බවත්, තිර රචනයට අනුව ඔහු කිෂෝර් කුමාර් විසින් පරදවන ලද අවස්ථාවේ ඒ පිළිබඳ සිත් තැවුලට පත් වුණු බවත් කියැවේ. 1951 - 1987 කාලය තුළ මන්නා ඩේ කිෂෝර් කුමාර් සමඟ ගීත 31 ක් පටිගත කර ඇත. 1969 දී ආරාධනා චිත‍්‍රපටයෙන් පසු කිෂෝර් කුමාර් ගේ ජනප‍්‍රියතාවය ඉහළ ගිය අතර, එය මුකේෂ්, රාෆි සහ මන්නා ඩේ හට එතෙක් පැවති ඉල්ලූම වෙත බලපෑවේ ය. ‘තුජෙ සූරජ් කහූන් යා චන්දා’ (ඒක් පූල් දෝ මාලි - 1969), එස්. ඞී. බර්මන් සංගීතවත් කළ ‘මිත්වා මිත්වා පියා මේනේ කියා’ (උස් පාර් - 1974) සහ බොබී චිත‍්‍රපටය සඳහා ශෛලේන්ද්‍ර සිං සමඟ ගැයූ ‘නා මාඟෝ සෝනා චාන්දී’ වැනි ගීත ද ඒ ඒ වර්ෂ වල ඉහළම ජනප‍්‍රියතාවයට පත් විය. සිනමා පටයකට ඇතුළත් නොවූ ‘සාවන් කී රිම් ජීම් මේ’ ගීතයද රේඩියෝව හරහා ජනප‍්‍රිය වූවකි.

1971 දී රාජේශ් ඛන්නා සිනමාපට වල තමන් වෙනුවෙන් මන්නා ඩේ ගේ හඬ යොදාගන්නට සංගීත අධ්‍යක්ෂ වරුන් හට අවසර දීමත් සමඟ මන්නා ඩේ නැවතත් කාර්ය බහුල පසුබිම් ගායකයෙකු බවට පත් විය. රාජේශ් ඛන්නා සඳහා මන්නා ඩේ ගැයූ ගීත අතර, ‘සින්දගී කේසී හේ පහේලී’ (සලීල් චෞද්රි සංගීතවත් කළ ආනන්ද් - 1971), ‘තුම් බින් ජීවන්’ සහ ‘බෝර් ආයේ ගයා අන්ධේරා’ (බාවාර්චි - 1972), ‘නදියා චලේ රේ’, ‘හස්නේ කී චා නේ කිත්නා මුජේ’ (අවිෂ්කාර් - 1973) සහ ‘ගෝරී තොරී පේජනියා’ (මෙහ්බූබා - 1976) ප‍්‍රකට ය. 2012 දී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් මන්නා ඩේ රාජේශ් ඛන්නා පිළිබඳව මෙසේ කීය. ‘‘ඔහු සංගීතය රූපයට නඟන ආකාරයට මම ඉතාමත් කැමතියි. චිත‍්‍රපට ගීතයක සාර්ථකත්වය රඳාපවතින්නේ එය නළුවා විසින් රූපමයව ගොඩ නඟන ආකාරය මතයි. ඒ ගැන ඔහු නම් අංක එකේ හැකියාවක් ඇත්තෙක්. ඒ පිළිබඳව මා ඔහුට සදා ණයගැතියි.’’

1970 - 83 කාලය තුළ ඔහු හින්දි සිනමාව සඳහා ගීත 503 ක් පමණ පටිගත කර තිබේ. ඉන් පසුව ඔහු ලැබෙන ගීත තෝරා බේරා ගායනා කරන්නටත්, හින්දි භාෂාවෙන් මෙතෙක් කරන ලද කාර්ය ප‍්‍රමාණය සීමා කරන්නටත් පටන් ගත්තේය.

කිෂෝර් - මන්නා ඩේ සංයෝජනය 1972 සිට තවත් ජනප‍්‍රිය වූ අතර, ඒ කාලයේ ඉතා ජනප‍්‍රිය වූ ගීත අතර, ඔවුන් දෙපළ ගැයූ ‘මෙරෙ ප්‍යාලේ මේ’ (ආමීර් ගරීබ් - 1974), ‘ඉස් ඉෂ්ක් මේ හර්’ (මිස්ටර් රොමියෝ - 1974), ‘යේ දෝස්තී’ (ශෝලේ - 1975), ‘දුනියා මේ ජීනේ’ (නෞක්රී), ‘කමල් හේ’ (කාර්ස්), ‘පූල් චාහියේ නා’ (ප්‍යාස් - 1982) යන ගීත ද විය. ඔවුන් අවසන් වරට ගැයූ යැග ගීතය වූයේ ‘තූහි මෙරා සප්නා’ (මක්කර් - 1986) ය. ආනන්ද් සහ අනාදත්තා චිත‍්‍රපට සඳහා සලීල් චෞද්රීගේ සංගීතයට මන්නා ඩේ ගැයූ ගිත ද ඉතා ජනප‍්‍රිය වූ අතර, රාෆි - කිෂෝර් - මන්නා ඩේ ත‍්‍රිත්වය ගැයූ ගීතද ඉහළ ජනප‍්‍රසාදයට ලක් විය. මේ ත‍්‍රිත්වය එක්ව ගැයූ ගී අතර, ‘තුජ්මේ ඉෂ්වාර්’, ‘අල්ලා තුජ්මේ’ (නන්හා ෆරිශ්ටා - 1969) සහ ‘බන්ද් මුතී’ (චල්තී කා නාම් සින්දගී - 1981) ප‍්‍රකටය. කිෂෝර් - මන්නා ඩේ - ආශා තුන්කට්ටුවේ සංයෝජනයක්ද දක්නට ලැබුණු අතර, ‘ඛාන් චාචා’ (දිල් දීවානා - 1974), ‘ආ කිත්නී සුන්දර් ජගා’ (චාන්දී සෝනා), ඊට හොඳම උදාහරණ වේ. එම ගීත දෙකම සංගීතවත් කළේ ආශා ගේ සැමියා වූ ආර්. ඞී. බර්මන් වීම ද විශේෂත්වයකි.

සලීල් චෞද්රිගේ ඉන්දීය සහ බටහිර මුසු සංගීතයට, සංගත් චිත‍්‍රපටය සඳහා ලතා සහ මන්නා ඩේ පටිගත කළ ‘කාන්හා බෝලේ නා’ සහ ‘බල්මා මෝරා ආන්චාර්’ යන ගීත එවක භාරතීය සංගීතයේ සුවිශේෂ සංධිස්ථානයක් සනිටුහන් කළේය. හෝලි උත්සවය පිළිබඳ ප‍්‍රකට ගීතයක් වූ ‘නීලා පීලා හාරා ගුලාබි’ 1976 තිරගත වූ ආප් බේටේ චිත‍්‍රපටය සඳහා ගයන ලද්දේ ද ලතා සහ මන්නා ඩේ විසිනි. 1974 මන්නා ඩේ - ලතා - කිෂෝර් ත‍්‍රිත්වය මනෝරන්ජන් චිත‍්‍රපටය සඳහා ‘ගොයකෙචු නාචේ’ නම් සුප‍්‍රකට ගීතය ගායනා කළහ.

1971 - 86 කාලය තුළ මන්නා ඩේ ගැයූ ගී දිගින් දිගටම ජනප‍්‍රිය විය. ඒ අතර, ‘දුල්හන් බනුගී’ (රාම්ලක්ෂ්මන් සංගීතවත් කළ වෝ ජෝ හසීනා - 1983 චිත‍්‍රපටයට ලතා සමඟ), ‘ආකෝන් කා සලාම් ලෝ’ (සම්රාත් සිනමා පටය සඳහා ලතා සහ රාෆි සමඟ), ‘දිල්වාලේ දිල්වාලේ’ (ක‍්‍රාන්ති - 1981), ‘යාරී හේ ඉමාන්’ (සන්ජීර්), ‘යේ දුනියා හේ උසි කෝ’ (1979 සුරක්ෂා චිත‍්‍රපටය සඳහා කිෂෝර් සහ උෂා සමඟ), ‘තුම් බෙසහරා හෝ තෝ කිසි’ (අනුරෝද් - 1977), ‘ජෝ ලිඛා ගයා හේ’ (උමර් කේඞ් - 1975) යන ගීත ද විය. ලතා සමඟ සිනමාව ස=හා මන්නා ඬේ ගැයූ අවසන් ගීතය වූයේ රාජේශ් රෝෂන් ගේ සංගීතයට මක්කර් (1986) චිත‍්‍රපටය සඳහා ගැයුනු ‘සබ් කෝ දියා සබ් පා ලියා’ ය.

70 දශකයේ අග භාගයේ සිට 1990 දක්වා මන්නා ඩේ, ලක්ෂ්මිකාන්ත් - ප්‍යාරෙලාල්, කල්‍යාන්ජී - ආනන්ද්ජී, පංචම්, බප්පි ලහිරි, රාම් ලක්ෂ්මන්, සොනික්  ඕමි, එස්. රාජේස්වරී රා ඕ, රවි, රාජේශ් රෝෂන් යන සංගීතඥයන් සමඟ දිගටම වැඩ කළේය. එහෙත් 1976 සිට කේවල ගීත ගැයීමට ඔහුට ලැබුණු අවස්ථා අඩු වූ අතර, එයිනුදු වීරයා සඳහා ගැයුණු ගීත ඉතාමත් විරල විය.

ඔහු 1961 දී රබීන්ද්‍ර සුධා ගීත ඇල්බමය සඳහා ‘බෝහේ නිරොන්තාරෝ අනන්තෝ ආනන්දධාරා’ ගීතය ගැයූ අතර, එතැන් සිට 2002 දක්වා රබීන්ද්‍රනාත් තාගෝර් විසින් සංගීතවත් කෙරුණු හින්දි ගීත 14 ක් ගායනා කොට තිබේ.

මන්නා ඩේ හින්දි වෘත්තාන්ත කිහිපයක තේමා ගීතද ගයා තිබේ. ඒ අතර ‘හම් හින්දුස්ථානි’ (1986), ‘ඛාරී ඛාරී’ (1984), ‘ආස්මාන් සේ ඌන්චා’ (1977) සහ ‘ආවෝ ජූමේ ගායේ’ (2001) වන අතර, මේ හතරේම සංගීතය නිර්මානය වූයේ බර්මා මලික් විසිනි.

ඔහු ඌෂා ඛන්නා සමඟ ගැයූ පළමු යුග ගීය කළ්‍යාන්ජී - ආනන්ද්ජී සංගීතවත් කළ හායෙ මෙරා දිල් (1968) චිත‍්‍රපටයට ඇතුල් වූ ‘ජානෙමන් ජානෙමන් තුම් දින් රාත්’ විය. එස්. ජානකී සමඟ පළමු ගීතය වූ ‘ඉත්නා මන්තා තූ මේරා’ ඇතුළත් වූයේ, ආෂික් සී. අයි. ඞී. (1973) චිත‍්‍රපටයට යි. ‘ජොයි හෝ ගංගා මයියා කී’ (ගංගා කී ගෝඞ් මේ - 1980) ගීතය පී. සුශීලා සමඟ ගැයූ පළමු ගීය වූ අතර, වානි ජයිරාම් සමඟ ගැයූ මුල්ම ගීය ‘රතයියා බාබා, රජනියා බාබා’ (රත්නා දාකූ - 1972) වේ. වානි ජයිරාම් සමඟ ගැයූ තවත් ජනප‍්‍රිය ගි අතර ජයිදේව් සංගීතය අධ්‍යක්ෂණය කළ පරිනයි (1974) චිත‍්‍රපටය සඳහා ගැයූ ‘මිත්වා මෝරේ මන් මිත්වා’ විශේෂය. ඔහු සංගීතඥයෙකු මෙන්ම ගායකයෙකු ද වන හේමන්ත් කුමාර් (හේමන්ත මුඛර්ජී) සමඟද බෙංගාලි සිනමා පට සඳහා ගීත ගායනා කර තිබේ. එසේම නාචිකේත ඝෝෂ් සහ සිධින් දාස්ගුප්තා වැනි අනෙකුත් බෙංගාලි සංගීතඥයන් සමඟද වැඩ කළේය. ඔහු සංඛ්‍යබෙලා සිනමා පටයට ලතා මංගේෂ්කර් සමඟ ගැයූ ‘කේ ප්‍රෝතොම් කච්චේ ඒසේචි’ ඊට උදාහරණයකි. ඔහු ‘රබීන්ද්‍ර සංගීත්’ ප‍්‍රසංග වලට ද ඉතා උනන්දුවෙන් සහභාගී වූ අතර, ඔහු 2012 වන තුරු පටිගත කර ඇති ගීත ගණන 4000 ද ඉක්මවයි.

1992 සිට මන්නා ඩේ හින්දි සිනමා ගීත ගායනය ප‍්‍රතික්ෂේප කළ අතර, ඊට හේතුව වශයෙන් ඔහු දැක්වූයේ, උසස් තත්ත්වයේ සංගීතයක් නොමැති වීම සහ නළුවන් සතු ගීත නිරූපණයේ දක්ෂතාවය හීන වීමයි. එහෙත් ඔහු දිගටම බෙංගාලි චිත‍්‍රපට සඳහා ගීත ගායනා කළ අතර, විවිධ භාෂා වලින් භජන් සහ ගසල් ගී ගායනා කළේය. ඒ අතරම ඔහු 1992 සිට 2012 දක්වාම සජීවී ප‍්‍රසංග පැවැත්වීම කෙරෙහි ද අවධානය යොමු කළේය. ඔහුගේ අවසන් සජීවී ප‍්‍රසංගය පැවැත්වුණේ 2012 දී මුම්බායි හිදී ය. ඔහු පටිගත කළ අවසන් හින්දි සිනමා ගීය වූ ‘දුනියාවාලෝ කී නහී කුච් භී ඛබර්’ ඇතූළත් වූයේ ශමීර් තන්දන් සංගීතවත් කළ උමර් (2006) චිත‍්‍රපටයට ය. කවිතා ක‍්‍රිෂ්ණමූර්ති සමඟ සෝනු නිගම් එහි ඔහු සමඟ යුග ගායනා කළෝය.

2011 දී මන්නා ඩේ හට ෆිල්ම් ෆෙයාර් ජීවිත කාලය පුරා ගෙවුනු සංගීත දිවියේ මස්තක ප‍්‍රාප්තිය සැමරීමේ සම්මානය (Filmfare Lifetime Achievement Award) පුදන ලදි. ඔහු සමඟ, යුගයේ සුප‍්‍රකට සංගීතකරුවන් සෑම දෙනාම පාහේ ගීත ගායනා කර ඇත. ඒ අතර, මුකේෂ්, මොහොමඞ් රාෆි, කිෂෝර් කුමාර්, ලතා මංගේෂ්කර්, ආශා භෝස්ලේ, මහේන්ද්‍ර කපූර්, තලාත් මෙහෙමුද්, අමිත් කුමාර්, ශෛලේන්ද්‍ර සිං, ශාර්ධා රාජන් අයියෙන්ගර්, ආර්තී මුඛර්ජී, චන්ද්‍රානි මුඛර්ජී, අනුරාදා පෞද්වාල්, හේම්ලතා, මිනූ පුරුෂෝත්තම්, භූපින්දර් සිං, කේ. ජේ. යේසුදාස්, සුරේෂ් වාද්කර්, කවිතා ක‍්‍රිෂ්ණමූර්ති, අලිකා යාග්නික්, අන්තරා චෞද්රි, ප‍්‍රීති සාගර්, දිල්රාජ් කෞර්, යුනුස් ෆස්මි, ජාස්පාල් සිං, අන්වර්, මන්හර් උදාස්, ජෝගින්දර් සහ මුබාරක් බෙගම් වෙති. ඔහු 1940 සිට 2005 වන තුරු ඉන්දීය සිනමාවේ සිටි සෑම පරම්පරාවකම ගායක ගායිකාවන් සමඟ ගීත ගායනා කොට ඇතැයි කීම වඩා නිවැරදි වේ. 1942 දී ක‍්‍රිෂ්ණ චන්ද්‍ර ඩේ ගෙන් පටන් ගෙන, 2006 දී ශමීර් තන්දන් ගෙන් අවසන් වන තුරු මන්නා ඩේ සිය සංගීත දිවිය පුරා හින්දි සිනමාවේ සංගීතඥයන් 102 කට අධික සංඛ්‍යාවක් සමඟ වැඩ කර තිබේ. ඕනෑම ශෛලියක ගීත ගායනා කිරිමේ සහජ හැකියාවක් ද, පුළුල් සංගීත දැනුමක්ද මන්නා ඩේ සතුව තිබූ බවට, දශක හයක් පුරා විහිදුනු දිගුකාලීන ඔහුගේ සංගීත දිවිය සාක්ෂි සපයයි. ගෞරව උපාධි දෙකකින් ද, විවිධ සම්මාන 21 කින්ද ඔහුගේ සංගීත ක්ෂේත‍්‍රයේ යුග මෙහෙවර ඇගයීමට ලක් වී ඇත.

පෞද්ගලික තොරතුරු

මන්නා ඩේ 1953 දෙසැම්බර් මස 18 දින කේරළ වාසිනියක වූ සුලෝචනා කුමරන් ආවහ කරගත් අතර, ඔවුන් දෙපළට දූවරුන් දෙදෙනෙක් සිටිති. ඉන් වැඩිමල් ශුරෝමා 1956 ඔක්තෝබර් 19 දින උපන් අතර, බාල දියණිය වන සුමිතා උපන්නේ 1958 ජූනි 20 දිනය. සුලෝචනා 2012 ජනවාරි 18 දින බෙංගලූරු හිදී මියයන විට පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටියාය. මන්නා ඩේ ද වසර පණහකටත් වඩා කාලයක් ගත කළ මුම්බායි නගරය අත්හැර, සිය දිවියේ අවසන් කාලය ගත කළේ බෙංගලූරු හි කල්‍යාන් නගර් හිය.

මන්නා ඩේ ‘ජීබොනර් ජල්සාඝෝරේ’ නමින් බෙංගාලි බසින් ලියූ ස්වයං චරිතාපදානය ආනන්ද ප‍්‍රකාශකයෝ විසින් 2005 දී ප‍්‍රකාශයට පත් කෙරුණි. එය ඉංග‍්‍රීසි, හින්දි සහ මරාති භාෂා වලට ද පෙරැළී තිබේ. 2008 දී ඔහුගේ දිවිය පිළිබඳ වාර්තාමය වැඩසටහනක් ‘ජීබොනර් ජල්සාඝෝරේ’ නමින් ම එලි දැක්වුණි. රබීන්ද්‍ර භාරති විශ්වවිද්‍යාලයේ සහාය ද ඇතිව මන්නා ඩේ සංගීත් ඇකඩමිය විසින් ඔහුගේ සම්පූර්ණ සංගීතාවලියක් ද සකස් කෙරෙමින් පවතී.

මන්නා ඩේ ගේ මරණය සැළවූ විගස මේ ලිපියේ කතුවරයාගේ මතකයට නැගුණේ ඇමරිකානු ගායක ජෝන් ඩෙන්වර් ගේ ‘ඇමරිකන් පයි’ නම් ගීතයේ පදයකි. - ‘සංගීතය මිය ගිය දිනය’ (The day the music died) - මන්නා ඩේ ගේ අභාවයෙන් ඇති වූ අඩුව පිළිබඳ සඳහන් කිරීමට ඊටත් වඩා සුදුසු සඳහනක් ඇතැයි නොවැටහේ.

www.wikipedia.org ඇසුරිනි

35 comments:

  1. ඩ්‍රැකියා මේ ලිපියට සැහෙන වෙහෙසක් ගෙන තිබෙනවා ඔබ. මේ නොමියෙන හඬක්. ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්. මේක ලිව්වෙ අපේ පත්තරේට. ලියල ඉවර වෙලා ප්‍රධාන කතෘට කතා කළහම දැනගත්තෙ පත්තරේ ටික කාලෙකට බ්‍රේක් වෙලා කියලා. :-) ඉතිං බ්ලොග් එකේ එල්ලුවා.

      Delete
  2. මේ ලිපියෙන් තමයි මම විස්තර දැන ගත්තේ. අහල වත් තිබුණෙ නෑ කලින්. කාලෙකින් නේද ඩ්‍රැකී බ්ලොග් එක පැත්තෙ ආවෙ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනි.

      අයියෝ, මන්නා ඩේ ගේ ‘එ මෙරී සොහ්රා ජභී‘ හරි ‘තූ ප්‍යාර් කා සාගර් හේ‘ හරි ඇහුවනම් මගෙ ලිපිය නිකං ම නිකං පිදුරු ගොඩක් කියල හිතෙයි...

      කාලෙකින් නම් තමා. වැඩගොඩයී...

      Delete
  3. නියමයි මේ ලිපිය ද්රකි....... මහන්සිය අගේ කරනවා... මේකේ මාතෘකාවට මන්නා ඩේ කියන නමත් ඇතුළු කරන්න.. ගූගල් හරහා එන අයට ඒක පහසුවක් ද්රකි..මේ සින්දුව එක්ක මට තවත් කතාවක් මතක් උනා ..පුංචි කාලේ හැමදාම වුනු කතාවක් ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන්. කාලෙකින්...

      පුංචි කාලෙ හැමදාම වුණ දේ පොඩ්ඩක් කියන්න පුළුවන්ද? අපේ ගෙදර පිළිවෙලක් වෙච්ච ගමං අර අලි පැටියගෙ කතාවත් මං දාන්නං

      Delete
  4. නොදන්නා අය‍ට කරුණු සම්භාරක් එකතු කොට ඉතා මහන්සියෙන් ලියපු සුපිරි ලිපියක් නොදැන හිටපු කරුණු රාශියක් දැනගන්න ලැබුන.
    ස්තුතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙංජි අයියා... වැඩිය මහන්සි වුනේ නෑ. විකියෙන් අරං පරිවර්තනය කළා.

      Delete
  5. පිස්සු හැදෙනවානේ මේකේ දිග දැක්කම. දකින්නත් ආසයි දැන්

    ReplyDelete
    Replies
    1. වෙල්කම් පූමා... කාලෙකින්...

      Delete
  6. මාර විස්තර ටිකක්නෙ තියෙන්නෙ. අගනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න අයියා... වෙල්කම්...

      Delete
  7. ඔබ මා මගේ තාරුණ්‍යයේ උපරිමාන්තය වෙත නැවත රැගෙන ගියා මේ ලිපිය තුලින්. මන්නා ඩේ එදා අපි නැරඹු මේ ලිපියේ සඳහන් බොහොමයක් චිත්‍රපටිවල අපේ වීරයන්ගේ පසුබිම් ගායකයා වුනා. ඔහුගේ හඬ අතිශයින් මනමෝහනීයයි. මේ අයගෙන් ආදර්ශය ගැනීම කෙසේ වෙතත් මොහුන්ව පහත ලෙස අනුකරණය කිරීම තමයි අද සිදුවන්නේ. හොඳ ලිපියක් බොහොම ස්තුතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. අයියෝ විචාරක, වෙල්කම් ටු මයි වර්ල්ඩ්... වෙන නම් වචන නෑ...

      Delete
  8. තව ලස්සන කථාවක් තියෙනවා...අපේ බෙග් මාස්ටර් බුද්ධාං සරණං ගච්චාමි ගීතය ඉන්දියාවෙ පටිගත කරනකොට ඒ ගීතය හරියට ගායනා කරගන්න බැරි වුනොත් මන්නාඩේ ලවා තමයි ගායනා කරගන්න ඉදලා තියෙන්නෙ චිත්‍රපටි නිෂ්පාදකයා...ශබ්දාගාරයේ බෙග් මාස්ටර් ගිතය ගායනා කරනකොට ඊට එපිටින් ඒ හඩ අහගෙන හිටිය එතුමා අහලා තියෙනවා මේ කවුද කොහෙන්ද කියලා...එතකොට මේ ලංකාවෙ කෙනෙක් කිව්වාම කිව්වලු වෙන්න බෑ...මේ හඩ ඉන්දියානු හඩක් කියලා....ඇත්ත කථාව බෙග් මාස්ටර් ඉන්දියාවෙ ඉපදිලා ලංකාවෙ සම්මාන පුරවැසි කම ගත්ත කෙනෙක්...

    එදා මන්නාඩේ ට දෙවැනි නොවැන්න ගීතය ගායනා කරලා...ලංකාවෙ නම තිබ්බ බෙග් මාස්ටර් තමයි ලංකාවෙ මම දකින මන්නාඩේ...ඒ තරම් ඉහළ හඩකින් ගායනය ලෙහෙසි පහසු නෑ...

    ReplyDelete
    Replies
    1. රූපවාහිනියට බෙග් මාස්ටර්ගෙ පුතා ඉෂාක් බෙග් වැඩසටහනකට ආපු වෙලාවක තමයි මේ විස්තරේ කිව්වෙ.

      Delete
    2. මම මේ විස්තරය දැනං හිටියෙ නෑ සිරා...

      ඒ වුනාට දන්නවද බුද්ධං සරණං ගච්ඡාමි ගීතයෙ ඔරිජිනල් හින්දි එක කිව්වෙ මන්නා ඩේ ම නේ...

      Delete
    3. ඒ නිසාම තමයි එදත් එයාව සූදානම් කරගෙන ඉදලා තියෙන්නෙ...කවුරුත් හිතලා තියෙන්නෙ ඉහළින් ගැයෙන කොටස් බෙග් මාස්ටර් නා ගනී කියලා...හැබැයි ඉෂාක් කියපු විදියට පළවෙනි උත්සාහයේදීම වැඩේ ගොඩ ගියාලු...

      Delete
    4. ඒකනේ සිරා, අපිට අපේ දේ වටිනාකම දැනෙන්නෙ හරි අඩුවෙන්.

      අනික දැන් ඒ වගේ දක්ෂතා තියෙන අය හරි අඩුවෙන් දකින්න ලැබෙන්නෙ. එහෙම නැත්නම් ඒ අයට ඉස්මතු වෙන්න තියෙන ඉඩ හරි අඩුයි.

      Delete
  9. ‘තූ ප්‍යාර් කා සාගර් හේ‘ කියන්නේ කොච්චර ලස්සන සිංදුවක්ද? වටිනා ලිපියක් ඩ්‍රැකී...අපේ තාත්තාගේ ෆේවරිට්ම සිංදුව.

    කොහෙදෝ සැඟවී සිටියේ?

    ReplyDelete
    Replies
    1. සිරාවටම මගෙත් ෆේවරිට්ම සින්දුවක් තමයි ඒක. ස්තූතියි අරූ...

      මෙච්චර දවසක් කම්පියුටර් එකත් ගළවලා තිබුණෙ, ගෙදර හදනවා, ලබ්බෙ කානිවල් එක වගේ...

      Delete
  10. හරි අපූරු ලිපියකුත් එක්ක ඩ්රැකී කාලෙකින් ඇවිත් තියෙන්නෙ.කෙහෙද මෙච්චර කල් ගිහින් හිටියේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපයියා... දැන් ඉතින් දිගටම එන්න බලනවා. හරියට වැඩ, ස්තූතියි අත නොහැර දිගටම මේ පැත්තෙ එන එක ගැන.

      Delete
  11. රුහිරෙන් පුදමි 14 කෝ ?????

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ බං දැක්කෙ නැද්ද? ඔක්තෝබර් 06 වෙනිද නෙ දැම්මෙ.

      Delete
  12. ද්‍රකී සෑහෙන මහන්සි වී තිබෙනවා. ඇත්තෙන්ම ස්තුතියි මිත්‍රයා, සමහර කරුණු කිසිදිනෙක අසාවත් නැති දේවල්. ඔබේ පැමිණීම සීමාවී තිබුනේ මොකද ..?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවෝන්, කාලෙකින් එන්න පූලුවන් උනේ. ගේ හදන වැඩ නිසා මුළු ගේ ම ලබ්බෙ කානිවල් එක වගේ. ලියන්න වෙලාව හරිම අඩුයි.

      ස්තූතියි ඉවෝන්, අගය කිරීම වටිනවා...

      Delete
  13. ඩ්‍රැකි මම දැනගෙන නොහිටපු විස්තර ටිකක් දැනගත්තා.. ස්තුතියි උඹේ මහන්සිය අපතේ ගියේ නැහැ පත්තර ලොක්කා විකාර කරාට...

    ReplyDelete
    Replies
    1. ටැංකිව් දේශකයා. ටැංකිව්...

      Delete
  14. වටිනා කරුණු ටිකක්........ස්තුතියි...

    එතකොට මන්නාඩේ ගෙ දූවරු දැන් සිංදු කියනවද?

    ReplyDelete
    Replies
    1. ඒක මට පේන්නෙ ලංකාවට ආවේණික දෙයක් නේද?...

      Delete
  15. වටිනා ලිපියක්...ගී දෙකතුනකට ලින්ක් තිබුනා නම් තවත් අගෙයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බින්දි. වෙල්කම්...

      ඔයාගෙ අදහස ගොඩක් වටිනවා. කාලය වැය කරන්න පුළුවන් වෙච්ච ගමන් ලින්ක් ටිකක් එකතු කරන්නම්.

      Delete
  16. ස්ටාර් ප්ලස් නාලිකාවෙන් ඉන්දියාව පුරා සමීක්ෂනයකින් පස්සෙ...ඉන්දියන් සිනමාවේ රන්වන් කටහඩ (Golden Vice of Indian Cinema) තේරැව...සම්මානය හම්බුනේ නැසීගිය අපි කවුරැත් ආදරේ මොහොමඩ් රාෆිට..හැබැයි අවසාන නිර්දේශ නම් තුන අතරෙ මන්නාඩේගෙ නමත් තිබුණ...ඔය උඩින් සිරා කිව්ව කථාව හරියටම හරි මමත් ඔය වැඩසටහන බැලුව...

    ReplyDelete
    Replies
    1. අඩේ ජෙම්, වෙල්කම්...

      ස්තූතියි එකතු කිරීමට. මේ වගේ දේවලින් මේ පෝස්ටුව පෝෂණය වෙනවා.

      මාත් කැමතිම ගායකයා අනිවාර්යයෙන්ම මොහොමඩ් රාෆි තමයි. එයාගෙ කටහ‍‍ඬේ මාර හෘදයංගම ගතියක් තියෙන්නෙ. මන්නාඩේ, මහේන්ද්‍ර කපූර්, තලාත් මෙහෙමුද් ඊලඟට.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

ලබ්බෙ මගුල

මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම: මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගු...

ගොඩක්ම කියවපු ලිපි