බාප්පගේ පතෝලේ - ගජබින්නාලංකාරය ඉවර නෑ...

ඩ්‍රැකියා හෙණම සත්‍යවාදියෙකි. ඌ කට ඇරියොත් කියන්නේ පට්ටපල් හෙණම ඇත්තකි. අපේ සමාජයෙන් ඈත් වී යන ජනශ්‍රැතියේ අංගයක් ලෙස හඳුනාගත හැකි ගජබින්න එකතු කිරීමට ඩ්‍රැකියා හිතුවේ කෞතුක දේට තියෙන ආසාවට සහ ඒවායේ ඇති දේශපාලනමය වටිනාකම නිසාය. ගජබින්නාලංකාරයේ කලින් කොටස් මේ ලිංකුවෙන් ගිහිං බලාගත හැක.

මේං ගජබින්නාලංකාරයේ කතා සැට් එක

අද අපි කියවන්නට යන්නේ ඩ්‍රැකියාගේ සුප්‍රකට බාප්පා කන්තලේ ගොවි රජාව සිටි කාලයේ (ඒක නං සිරාවටම ඇත්තය) සිදු වුණු ගල් පැලෙන බේගලයකි ඇත්තම ඇත්ත කතාවකි.

බාප්පා කොච්චර මහන්සි වෙන, කොච්චර අත්ගුණයක් තිබ්බ, කොච්චර සාර්ථක ගොවියෙක්ද කියනවනං, උන්දැගෙ හේනක හැදුණා මහ විසාල වට්ටක්ක ගෙඩියක්. ඒක පැහීගෙන එද්දි තමා, කන්තලේ දිසාපති තුමා මැරුණෙ. ඉතිං ඒ අවමඟුලට ආව කෂ්ඨිය කොච්චරක්ද කියනවනං, ඒ අවමඟුලෙ මළ බතට ගන්න වට්ටක්ක හොයන්නම සෑහෙන පිරිසක් කන්තලේ හේන් හොයාගෙන ආවා.

බාප්පා කොහොමත් මේ විසාල වට්ටක්කෙ කොහොමද මං පොළට අරං යන්නෙ කිය කියා කල්පනා කර කර උන්න වෙලාව. උන්දැත් අර දිසාපති උන්නැහැගෙ අවමඟලට බොහොම කැමැත්තෙන් මේ වට්ටක්කෙ දෙන්න පොරොන්දු වුණා.

ඉතිං අර මිනිස්සු ගස් අදින කඹ, බණ්ඩි කියත්, බර කරත්ත, ආදී දේවල් අරගෙන බාප්පගෙ හේනට ඇවිදින් අර විසාල වට්ටක්ක ගෙඩියෙන් බාගෙයක් විතර කපාගෙන යන්න ගියා. ඒ වැඩේ නිසාම කන්තලේ මහ පාරෙ ඉඳන් බාප්පගෙ හේනට හොඳ කරත්ත පාරකුත් කපන්න සිද්ධ වෙලා තියෙනවා.

එදා, ඒ කියන්නෙ දිසාපති ගෙ මළ ගේ දවසෙ හවස මහ අනෝරා වැස්සකුත් වැස්සයි කියනවා. ඉතිං බාප්පා පහුවදා උදෙන්ම හේනට ගියාලු අර වට්ටක්කෙ ඉතුරු කොටහ කොහොම හරි පොළට ගෙනිහිං විකුණගන්න හිතාගෙන.

ඒ යනකොට ඈත තියාම බාප්පට ඇහෙනවලු, ‘ජබු... ජුබු‘ කියලා සද්දයක්. තව ටිකක් ළඟට යනකොට තමයි සිද්ධිය දැකල තියෙන්නෙ.

වට්ටක්ක බෑවෙ වතුර පිරිලා, අලි රංචුවක් ඒකෙ බැහැගෙන දිය කෙළිනවා තමා බාප්පට දකින්න හම්බවෙලා තියෙන්නෙ. ඒ වෙනකොටත් අලි දෙන්නෙක් ගැඹුරු දියේ ගිළිලා මැරිලා, උඩ පාවෙනවලු...

අදටත් කන්තලේ ‘අලි වට්ටක්ක හේන‘ කියලා ඒ ප්‍රදේශය හඳුන්වනවා.

----------------------------------------

තව දවසක් බාප්පා හේනෙ පැල්කොටේ නිදාගෙන ඉද්දි, හීනෙන් වගේ දැනුනලු තමන්ගෙ ඔළුව කවුරු හරි උස්සන්න හදනවා. ඒත් එක්කම ‘බර බර බර බර‘ ගාලා බාහෝම හෙමිහිට සද්දයකුත් ඇහෙනවලු.

බාප්පා ඇහැරිලා බලනකොටයි දන්නෙ, හේනෙ හිටෝපු කිරි අල ගස් බොහොම සාරෙට හැදිලා, ඒවයෙ අල බහින සද්දෙ තමා අර ඇහිලා තියෙන්නෙ. පැල් කොටේ ගාව හැදිච්ච කිරි අල ගහක එක අලයක් පැලට යටින්  බැහැගෙන බැහැගෙන ඇවිත් උඩට මතුවෙලා එනවා, හරියටම බාප්පා නිදාගෙන හිටපු තැනට යටින්. ඒ අලේ  තමයි බාප්පගෙ ඔළුව උඩට උස්සගෙන මතු වෙලා තියෙන්නෙ.

----------------------------------------

http://www.silumina.lk/2011/04/17/ab1104174.jpg

බාප්පගෙ හේනෙ පතෝල මැස්සකුත් තිබුණයි කියනවනෙ. ඒකෙ හැදිච්ච එක පතෝල කරලක් කොච්චර ලොකුද කියනවනං, පොළට අරං ගියේ බාප්පයි ලප සාන්ති මාමයි තව කීප දෙනෙකුයි එකතු වෙලා කරේ තියාගෙන පාර දිගේ. (අර කලිං කතාවෙ කිව්ව කරත්ත පාර දිගේ)

ඔහොම කට්ටිය පතෝලෙ අරං යනකොට, ඉස්සරහින් ආවලු ටැක්ටරයක්. දැං මොකද කරන්නෙ, පාරෙන් අයින් වෙලා ඉඩ දෙන්න හැටියකුත් නෑ, පතෝල කරල පාරෙන් එකයි.

බාප්ප කරපු වැඩේ, කට්ටිය ඔක්කොම එකතු වෙලා පතෝල කරල පාර දිගේ බිම තිබ්බලු. තියලා, ඒකෙ අගිස්සයි නැට්ටයි කපලා, ටැක්ටරේ යැව්වලු පතෝල කරල මැද්දෙන්.

කාලිදාස ජාමෙ බේරගත්ත හැටි

කාලිදාස ගැන මුල්ම කතාව ආටිකල්ස් බ්ලොගේ තිබ්බා දැක්කා. ඒ දැකලා සංස්කෘත සාහිත්‍ය ප්‍රේමී ඩ්‍රැකියට කසන්න ගත්තා. ඉතිං මේ කොට කතාව දාන්න හිතුනා බ්ලොගේ පාළුව යන්නත් එක්කම.


කාලිදාස කවියා සේවය කළේ භෝජ රජතුමාගෙ රාජ සභාවෙයි. ඒ රාජ සභාවෙ හිටිය කවියන් හැමෝටම වඩා දක්ෂතා පෙන්නපු නිසා රාජ සභාවෙ හිටිය ගොඩක් දෙනා කාලිදාසට හිත යටින් නුරුස්සන ගතියක් තිබ්බා. දවසක් අනිත් කවියො සෙට් එකක් එකතු වෙලා කාලිදාසට සිරා මඩක් ගහන්න කල්පනා කළා. ඒකට ඒ කෂ්ඨිය හොයාගත්තා මෙලෝ හසරක් දන්නැති මෝඩ බමුණෙක්ව. එයාට සල්ලිත් දීලා, ගෝළයො කියන්න පුළුවන් ළමයි ගොඩකුත් සෙට් කරලා, අගනුවරට එව්වා. එයාට කියන්න කිව්වා මම තමයි කාලිදාසගෙත් ගුරු තුමා කියලා.

ඉතින් අර අහිංසක බමුණත් ලණුව කාලා, අගනුවරට ආවා. දවසකින් විතර කාලිදාසටත් ආරංචි වුණා එයාගෙ ගුරුවරයා ‍කියාගත්ත කෙනෙක් ඇවිත් ඉන්නවයි කියලා. කාලිදාස ගියා එයාව බලන්න. ගියාම තමයි දැනගත්තෙ මේ ජීවිතේටවත් දැකපු නැති බොරු ගුරුතුමෙක් කියලා.

කාලිදාස එතන හිටිය ගෝළයින්ට කිව්වලු, මට මගෙ ගුරුතුමත් එක්ක ප්‍රයිවට් එකේ කතා කරන්න ඕනෙ කියලා. ගෝළයො ටික එහෙට මෙහෙට උනාට පස්සෙ, කාලිදාස ඇහුවලු මොකද්ද මේ කරන වැඩේ තෙරුම කියලා. ගුරුතුමත් කිව්වලු, 'අනේ මන්දා මහත්තයෝ, මේ කට්ටිය මට ගෙවනවා, මාත් ඉතින් කියන විදිහට කරනවා' කියලා.

කාලිදාස කිව්වලු, 'හොඳා කමක් නෑ. ඔයාට සමහර විට රාජසභාවටත් ගෙන්නයි. එතෙන්දි ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න යන්නෙ නැතුව මට අත දික් කරන්න. මං උත්තර දෙන්නම්' කියලා.

ඒ කිව්වා වගේම පහුවදා අර ගුරුතුමාව රාජසභාවට කැ‍‍ඳෙව්වලු. කියන්න එපැයි, භෝජ රජතුමා බොහොම සම්භාව්‍ය, උගත්, විචාර ශීලී රජෙක්. ගුරුතුමා යනකොට රාජසභාවෙ පොඩි පහේ විවාදයක්ලු. රජතුමත් අර ගුරුතුමා ආව ගමන් විවාදයට මාතෘකා වෙච්ච ප්‍රශ්නෙ එයාගෙන් ඇහුවලු.

'රාවණා' කියලා ලියද්දි, සමහරු මුර්ධජ 'ණ' කාරයත්, සමහරු දන්තජ 'න' කාරයත් යොදනවා. හරි අකුර මොකද්ද? කියලා. (මං එතන හිටියනං නලීන් දිහාට අත දික් කරනවා)

ගුරුතුමාට එකපාරටම 'මොකද්ද මේ ගිණිගෙඩිය' කියලා කල්පනා වෙලා, දුන්නලු කැරකිලා යන්න උත්තරයක්. පොර කිව්වලු, '‍ඔය දෙකම වැරදියි. රාභණ කියන එකයි හරි' කියලා. ඊට පස්සෙ මතක් වුනාලු කාලිදාසට අත දික් කරන්න.

කාලිදාසත් නැගිට්ට ගමං කිව්වලු,

භකාරහ් කුම්භකර්ණෙච
භකාරෂ්ඨ විභීෂණෙ
තයෝර් ජ්‍යෙෂ්ඨ කුලශ්‍රේෂ්ඨ
භකාරං කිං න විද්‍යන්තෙ

කියලා.

කාලා වරෙංකො. මොකද්ද මේ ‍ශ්ලෝකෙ තේරුම?

'කුම්භකර්ණට 'භ' යන්නක් ඇත
විභීෂණටක් 'භ' යන්නක් ඇත
‍ඒ දෙන්නාටම වැඩිමල්, ගෙදර ලොක්කට
'භ' යන්නක් නැතිවෙන්නෙ කොහොමද?

ඕං ඔහොමයි කාලිදාසගෙ ස්ථානෝචිත ප්‍රඥාව.

මට නං මේ කතාව, අපේ දේශපාලනයෙ මූලික හරය එක්ක සෑහෙන සම්බන්ධයක් ‍තියෙන බව පේනවා.

ප/ලි

ඩ්‍රැකියා මේ ටිකේ ගෙදර වැඩ නිසා හිර වෙලා හිටියා. ඩ්‍රැකියා දිගටම ලියාවි. මේ පැත්ත අත නොහැර එන හැමෝටම ඩ්‍රැකියාගේ ප්‍රණාමය!

21 බීච් පාටියට බෙල්ල කඩාගෙන හරි එන්නයි අදහස. ජීවිතේට දැකපු නැති ඩ්‍රැකියාගේ හෘදයංගම යාළුවන්ගෙන් වැඩි දෙනෙක් එදාට අඳුනගන්න පුළුවන් වේවි කියලා හිතනවා.

දෙව්දුරු අරණේ මුනිවරයා - ඛලීල් ජිබ්රාන්

‘‘.... කෙත් බිමක් මැදින් ගළා ගිය පැහැදිලි දිය සහිත දිය පාරක ඉවුරෙහි තිබුණු කූඩුවක් මම දුටුවෙමි. ඒ කූඩුවෙහි යකඩ කූරු , නිපුණ අතකින් සාදන...

ගොඩක්ම කියවපු ලිපි