''expr:dir='data:blog.languageDirection' xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr' ඩ්‍රැකීගේ අඩවිය: January 2013

Wednesday, January 9, 2013

මුල් (roots)

පළවෙනි පෝස්ට් එක හැටියට මගේ මුල්, ඒ කියන්නෙ වැල ගිය මුල ගිය තැන් ගැන කතා කරන්න හිතුවා. “අපට මොකෝ මුගෙ වැල යි මුලයි කොහෙ ගියත්...“ කියල කවුරු හරි කියන්න පුළුවන්. ඒ වුණත් ගොඩක් අය ඉතිහාසයට හරි ආසයි.

මගෙ තාත්තා අපෙන් සමු ගෙන දැනට අවුරුදු දෙකක් විතර. බාප්පා නැති වුනේ 1998 දී විතර කියලයි මතක. ඒ දෙන්නා ම තරුණ කාලෙ කරපු දේවල් අහං ඉන්න අපි හරි ආසයි. ඒ අතරින් දවසක් තාත්තා අපේ මී මුත්තාගෙ ඉඳන් අපි ඉන්න ගමේ අපේ ඉතිහාසය මට කිව්වෙ මේ විදිහට;

දකුණෙ තියෙන යාත්‍රාමුල්ල කියන ගමෙන් ආව ටික දෙනෙක් අපේ ගම අවට පදිංචි වෙලා තියෙනව, මේ අය අතරින් අන්දිරිස් අප්පු කියන තරුණයා තමයි, අපේ මී මුත්තා. එයාගෙ පුතෙක් වුණු යාත්‍රාමුල්ලගේ සුවාරිස් අප්පු හෙවත් තාත්තලා කියන විදියට “සුවාතා“ ගමේ වැදගත් තැනක් තිබුණු වඩු බාස් කෙනෙක් ලු. එයා හිටියෙ පළවෙනි ලෝක යුද්ධෙ කාලෙ කියලා අපේ බාප්පා කියනව. එයාගෙ කාලෙට අයිති දම්වැල තියෙන ඔරළෝසුවක්, නැමි පනාවක් ආදී දේවල් මහගෙදර තිබුණ කියල තාත්තා දවසක් කිව්වා. දැවැන්ත පෙට්ටගමක්, කෑලි තුනේ කැටයම් අල්මාරියක්, එහෙම අපේ මහගෙදර තිබුණ. අපේ මහගෙදර ත් 1990 ගණන් වල කඩාගෙන වැටෙනකොට අවුරුදු එකසිය හැත්තෑවකට එහා පරණයි කියලා ගමේ වැඩිහිටියො කිව්වා. ඒක තනිකර ම වෑවරණ කෝටු වලින් වරිච්චි ගහපු අඩි 80 යි 60 විතර දිග පළල සොල්දර ගෙයක්. ඉස්සරහ තිබුණු මහ කණු  රවුම් කබොක් ගල් වලින් හදලා තිබුණෙ. 

සුවාත ගේ පුතෙක් වුණු යාත්‍රාමුල්ලගේ විලියොං සිඤ්ඤෝ වෙළ‍ඳාම්, ගොවිතැන වගේ එක එක දේවල් කරපු කවි මඩු පවත්වපු, හොඳට බීපු කාපු කෙනෙක් කියල තමයි, තාත්තාගෙයි බාප්පාගෙයි කතා වලින් මගෙ හිතේ මැවුණු චිත්‍රය අනුව කියන්න පුළුවන්. ඕනෙම දෙයක් ගැන නිදහසේ හිතන්න පුළුවන් කෙනෙක් වුණු විලියොං ආතා, පුත්තු තුන් දෙනෙකුත්, දූවරු පස් දෙනෙකුත් බිහි කරලා, අපේ තාත්තාට අවුරුදු දාසයක් විතර කාලෙ දි පරළොව ගියා. එයාගෙ ලොකු දුවත්, මද්දුම පුතා වුණු මගෙ තාත්ත ත්, පවුලේ බර කරට ගන්න ඉගෙනීම නැවැත්තුවා. ඒ දෙන්නා තමයි අනිත් සහෝදරයින් ගෙ අධ්‍යාපනයට උර දුන්නෙ.

ඒ අතරේ තාත්තයි බාප්පයි කන්තලේ මහ කැළේ ගස් කපපු හැටි, තාත්තා ගම්පහ සමූපකාර ෂෙඩ් එක මුරකරන්න ගිය හැටි, ගැන කතා අපි පොඩි කාලෙ දි අහල තියෙනව. අන්තිමේ ලොකු නැන්දා එයා වැඩ කරපු ශ්‍රී ලංකා විදේශ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙ (දැන් ටෙලිකොම් එකේ කොටසක්) පියන් තනතුරකට  තාත්තා ව පත් කළා. ඊට පස්සෙ තමයි තාත්තට විවාහය ගැන හිතන්න පුළුවන් වුනේ.

අපේ අම්මගෙ මුල් බිම වුණේ නුවර කන්දෙ කුඹුර. ඒත්, අම්මගෙ පප්පයි මමීයි හිටියෙ කරගහමුණ. (අපි ඒ අයට කියන්නෙ සීය පප්පයි ආච්චි මමීයි.) ආච්චි මමී ගුරුපත්වීමක් ලබලා කුරුණෑගල ගියාම, සීය පප්පත් එහෙ ගිහින් ඒජන්ත ගාව ලියන්න පත්වීමක් හදා ගත්තා. ඒ දෙන්නා බැන්දෙ එහෙදි.

තාත්තා වනිතා විත්ති පත්තරේ දැම්ම මංගල යෝජනාවක් අනුව අම්මා එයාව අඳුනගත්තෙ. ලියුම් දෙක තුනකට පස්සෙ තාත්තා තනියම කුරුණෑගලින් හැතැම්ම හයක් එහා අම්මගෙ මහ ගෙදර හොයාගෙන ගිහින් කෙළින්ම සීය පප්පට කතා කළා. ඊට පස්සෙ සීය පප්පා ආවා අපේ ගම් පළාත බලන්න. අපේ බාප්පා එයාව එක්කරගෙන ගිහින් වත්ත පහළ වෙල් යාය පෙන්නලා කිව්වලු, “අර ලියදි, එකක් නෑ සේපාලගෙ !“ කියලා. (සේපාල තමයි තාත්තගෙ නම). මහප්පා ගේ හදන්න ගෙනාව ගඩොල් ගොඩ පෙන්නලා “සේපාල ට ගෙයක් හදන්න ගෙනාපු ගඩොල්“ කිව්වලු. ඊට පස්සෙ කිව්වලු “හොඳ රා පොළක් තියෙනවා, යං“ කියලා.

කොහොම හරි සීය පප්පගෙ බලවත් විරෝධය නොතකා, අම්මා තාත්තත් එක්ක විවාහ වුණා. නපුරු නැන්දම්මා කෙනෙක් ට මුහුණ දීලා, දහදුක් විඳලා ගෙයක් හදාගෙන පදිංචි වෙන කොට දෙන්නගෙ විවාහයට අවුරුදු හයක්. ඒ වෙනකොට මම අම්මගෙ කුසේ.

උපදින කොට රාත්තල් 4 ක් විතර වුණු මගෙන් අම්මලට හරි කරදර තිබුණා. මට මතකයි මට අවුරුදු හතර වෙනතුරු ම නිතර ලෙඩ වෙනවා, බස් පහසුකම් ඒ තරම් නැති ඒ කාලේ මාව වඩාගෙන අම්මා ඇවිදලා තියෙන දුර අනන්තයි. දවසක් තාත්තයි එයාගෙ යාළුවෙක් වුණු සමරසේකර මාමයි මාව වඩාගෙන ගියා ඒ පැත්තෙ තියෙන හෙට්ටිකන්දෙ ගෙඩි වෙදමහත්තයා ගාවට. පැය කීපයක් තිස්සෙ මාරුවෙන් මාරුවට මාව වඩාගෙන ඒ දෙන්නා ගිය හැටි මට තාම මැවිලා පේනවා.

මම ශිෂ්‍යත්වෙ පාස් වෙලා අපේ සෙන්ට්‍රල් එකට යද්දි ත් අම්මා මාව බස් එකට ගොඩ කරන්න කිලෝමීටරයක් විතර දුර පයින් එනවා මට මතකයි. මම ඒ ලෙවල් කරද්දි තාත්තා පැන්ෂන් අරන්. ඒත් එයා නිකම් හිටියෙ නෑ, කුළී වැඩක් හරි කරලා අපේ පන්ති වියදම් පියෙව්වා. ගොඩක් වෙලාවට අපි උදේට පාන් කාලා ඉස්කොලෙ යනවා. අම්මයි තාත්තයි දවල්ට රොටියක් පුච්චන් කාළා, අපි එනකොට බත් උයලා තියනවා. අපිට කියනවා ඒ ගොල්ලො බත් කෑවයි කියලා. ඒ ලෙවල් වලින් පස්සෙ මම තාත්තට බරක් නොවී මගෙ වියදම් හොයාගත්තා. ඒකට මම බෝඩ් ඇන්දා, එම්බීබීඑස් හෙවත් මේසන් බාස්ට බදාම සැපයීම කළා, රෙප් ලා පස්සෙ ගියා, රු. 750/- පඩියට පරිගණක උපදේශනය කියන සාඩම්බර රස්සාව අවුරුදු එකහමාරක් ම කළා.

මට හරිහමන් රස්සාවක් හොයාගන්න, කටයුත්තක් කරල දෙන්න තාත්තා ගොඩක් මහන්සි වුණා. ඒ දෙන්නව සතුටු කරන්න මට ඒ තරම් දෙයක් කරන්න ලැබුණෙ නෑ. මම ඩිග්‍රිය පාස් වෙද්දි තාත්තා අපිව දාල ගිහින්. මට සතුටු වෙන්න පුළුවන් එකම දේ, එයා මගේ අනාගතය දැක්ක බව හිතන එක විතරයි.

අද “මම“ කියන පුද්ගලයා හැදුණේ ඔය කියපු මුල් වලින් ලැබුණු පෝෂණයෙන්. අපේ අතීතය, මුතුන් මිත්තන් සහ විශේෂයෙන් ම අම්මයි තාත්තයි අද මම සිහිපත් කරන්නෙ හිතේ තෙරපෙන ණයගැති හැඟීමකින්.

පින්තූරෙ උපුටා ගත්තෙ - http://www.imagesofceylon.com/people/p17-full.jpg ලින්ක් එකෙන්. කොපිරයිට්, පාලින්ද සිල්වා මහතා.