''expr:dir='data:blog.languageDirection' xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr' ඩ්‍රැකීගේ අඩවිය: May 2013

Friday, May 31, 2013

ශ්‍රී ලාංකික මාධ්‍ය භාවිතය , එහි විකාශය හා වත්මන් තත්වය . වෙනසක් අවශ්‍යද ? ඒ කුමක්ද ?Who should have a TV Channel ?

නිහඬ සහන් හඩ අවදි කරළා. අපි බලා හිටපු ලේ කකියන මාතෘකාවක් ගැන පුපුරා හැළෙන පෝස්ටුවක් දාලා තියෙනවා.

 මේක කාලීන අවශ්‍යතාවයක් කියලා ඩ්‍රැකියා දකිනවා. ඒ නිසා ගෝණි නැතුව ( මේ වචනේ ඩ්‍රැකිය අහුලගත්තෙ මාතලංගෙන්) ඩ්‍රැකියා මේ ගැන පබ්ලිසිටියක් දෙනවා.




//          ඩිරෙක්ටර් බෝර්ඩ් දාල , ශෙයාර් හෝල්ඩර් අත්සන් කරලා , රේටින්ග්ස් අප්රූව් කරන් , මාර්කටින් අප්රූව් අරන් , ඇමතිගෙන් අහලා , මුදලාලිගෙන් අහලා කරද්දී මේ මොනවත් අප්රූව් වෙන්නේ නැහැ..උන්ට ඕනේ සල්ලි... මේකෙන් කීයක් එනවද සහ රේටින්ග් කොහොමද කියන දේ විතරයි එතැනදී වැදගත්..


        වෙන එකක් තියා චැනල් බ්‍රේක් ඩවුන් එකක් ගියත් අපිට නිව්ස් බාර් එකක් දාන්න බැහැ..ඒකටත් කොහෙවත් ඉන්න අය අප්රූව් කරන්න ඕනේ..මේ දවස් වල රස්නේ නිසා රෑට ඉන්දියන් චැනල් පේනවා අපේ ගොඩක් චැනල් උඩ.( ඒක වෙන්නේ අයනගෝලයේ පරිවාර ස්තර වල ඝනත්වය වෙනස් වීම නිසා..ඔතොකොට රේඩියෝ ට්‍රාන්ස්මිෂන් කරන්න බැහැ ටාර්ගට් ඒරියා එකට.ට්‍රාන්ස්මිෂන් ජෑම් වෙනවා . ඒක වෙනම මාතෘකාවක්. )

           මේ වෙනුවෙන් කරන්න පුළුවන් තාක්ෂණික දේවල් ගැන පැහැදිළි කිරීමක් වත් දාන්න ඉඩක් නැහැ පවතින ක්‍රමය එක්ක..ඒකට අප්රූව් අරන් එද්දී ඍතු මාරු වෙලා...ලබන අවුරුද්දෙත් මේකම වෙද්දී පුද්ගලයෝ මාරු වෙලා..එක කෝල් එකෙන් අවශ්‍ය තීරණයක් හරි විදිහට අරන් වැඩක් කරන්න පුළුවන් තත්වය මග හැරිලා..වටේ යන්න ඕනේ මේ වගේ දේකට පවා..

කොටිම්ම මගේ චැනල් එකේ මට add එකක් දාන්න කොහෙවත් ඉන්න උන්ගෙන් මට පර්මිෂන් ගන්න වෙලා..ඔතොකොට මම කව්ද මේකේ ...?//

//ඉස්සර ජාතික රූපවාහිනිය තුල මොන තරම් හොඳ වැඩසටහන් ගියාද ...? සෙනසුරාදා , ඉරිදා වෙනකම් ඉන්නේ හොඳට ඔලුව පුරවා ගන්න දැනුමෙන්..සිරාවටම ලෝකය ගැන දැනගත්තේ ඉරිදා සෙනසුරාදට..( පුද්ගලිකව මට පුංචි කාලේ ඉඳන්ම සැටලයිට් තිබ්බා ගෙදර..ඒත් ඒවට වඩා මමත් බැලුවේ ලෝකල් ප්‍රෝග්‍රෑම් ) එක පාරට වක්කඩ කැඩුවා වගේ ලෝකෙම බක්කවල් ආවේ නැහැ සහ දුන්නේ නැහැ ඒ කාලේ..වැදගත් මොළයක් ඇති , විචක්ෂණ ශීලී මනුස්සයෙක් තමයි ඒ හැම දෙයක්ම මෙහෙයවෙව්වේ.. අද කෝ ඒවා ..?//


//             එක එක හාල් කෑලි අරන් පුලුවන්ද රටක ඔලු හදන්න...? දෙයක් කෙළින් කතා කරන්න එක නිවේදකයෙක් අද ඉන්නවද ..? හරි පොයින්ට් එකට ඕන දෙයක් ලෝස් නැතුව ටෝක් කරන්න පුළුවන් එකෙක් අද ඉන්නවද ...? හරවත් සාකච්චා ජන මාධ්‍ය තුළින් මතු වෙද්දියි මිනිස්සු ඇහැරෙන්නේ..නිදාගෙන ඉන්න පොඩි එකා ඇහැරවලා " අන්න බලපන් ප්‍රෝග්‍රෑම් " කියලා කොල්ලව කූද්දන් එන්නේ ඔතොකොට ... දේශපාලනය වේවා , තාක්ෂනය වේවා , නීතිය වේවා , සමාජ කරුණු වේවා මිනිස්සුන්ගේ ඔලුවලට ඔබන්න නම් හොඳ දැනුමක් තියෙන මිනිස්සු ඉන්න ඕනේ ජන මාධ්‍ය ආයතනවල.. ඉස්සර හිටපු නිවේදකයෝ කතා කරද්දී අපි කට ඇරන් කොච්චර බලා ඉන්නවද ...? අද කෝ ඒ මිනිස්සු ...? නාලිකා ප්‍රධානීන් කෝ ...? ඇයි ඒ වගේ අයව ගන්නේ නැත්තේ...? අරන් හරි හමන් ගමනක් යන්නේ නැත්තේ ඇයි ...?//


ටීවී චැනල් එකක් කරන්නේ කොහොමද, ඒකෙ අපි නොදකින ඇතුළාන්තය, කොයි විදිහටද පරමාදර්ශී සේවයක් සපයන්නේ... ආදී කරුණු ගැන සහන්ගේ පෝස්ටුවේ ඉතුරු හරිය කියවන්න මෙතනින් යන්න.


මේ ගැන හිරු ගේ අදහසින් කොටසක්:


//මට පේන්න බැරි වැඩසටහන් ජාතියක් තමයි ඔය නුග සෙවණ ජාතියේ ඒවා... ඒවා කරන උන් හිතං ඉන්නේ ගෙවල් වල ඉන්න ගෑණු උය උය, මහ මහ, කේක් හද, ළමයි හද හද, බල බල ඉන්න ඕනේ කියලා... කාලීන දේශපාලනය ගැන එහෙම වැඩසටහනක් කරන්න උන්ට බෑ... ඉස්සර අපේ අම්මලගේ ගෙවල් වල ගෑණුන්ට මොන දේශපාලනේද කිය කිය හිටිය තැනම තමයි අපේ මේ වැඩසටහන් කරන උනුත් ඉන්නේ... දේශපාලන, කාලීන වැඩසටහන් දාන්නේ රෑ 11ට... ඒ වෙලාවට මොන ටීවීද... පිරිමින්ට නම් පුළුවන් කකුල් උඩ තියන් බලං ඉන්න... පාන්දර නැගිටලා, උයලා, බත් ගෙඩිය බැඳලා දෙනවානේ වැඩට යන්න.. මුන්ට ගෑණුන්ව මතක් වෙන්නේ කතිරෙ ගහගහන්න ඕනේ උනාම විතරයි... //

Thursday, May 30, 2013

සැබෑ බෞද්ධයෙක් කියන්නේ කාටද (අවසාන කොටස) - ඩ්‍රැකියාගේ වෙසක් කළාපය 5 කොටස

පසුගිය වෙසක් කළාප ලිපි දෙකෙන්ම පොරොන්දු වුණ විදිහට, බුදුන් වහන්සේ ට අනුව, නියම බෞද්ධයෙක් පවත්වාගන්නා සදිසාවන් ගැන විස්තර මේ ලිපියෙන් කියා ඉවර කරනවා. කලින් ලිපි කියවන්න බැරි වුනු අය වෙනුවෙන් පහළ ලිංක් ටික තියෙනවා:

1. කේන්තිය ගැන පළවෙනි ලිපිය,
2. කේන්තිය ගැන දෙවෙනි ලිපිය,
3. බෞද්ධයෙක් කියන්නෙ කාටද පළවෙනි ලිපිය,
4. බෞද්ධයෙක් කියන්නෙ කාටද දෙවෙනි ලිපිය.

ඉතින් බුදුන් වහන්සේ සිඟාලක ගෘහපතිට දේශනා කළ විදිහට, බෞද්ධයෙක් පවත්වාගන්නා සදිසාවන්:

1. මව්පියන් (නැගෙනහිර දිශාව)
2. ගුරුවරු (දකුණු දිශාව)
3. අඹුදරුවන් (බටහිර දිශාව)
4. මිතුරන් (උතුරු දිශාව)
5. සේවක කම්කරු (යට දිශාව)
6. මහණ දාර්ශනික අය (උඩ දිශාව)


මේ පාර්ශව වෙනුවෙන් කළ යුතු යුතුකම් බුදුන් වහන්සේ විස්තර කරනවා,

1. මවුපියන්ට දරුවන්ගෙන් :
    (අ)  මවුපියන් පෝෂණය කිරීම,
    (ආ) මවුපියන්ගේ කටයුතු ඉටුකරදීම,
    (ඇ) පවුලේ පරම්පරාව, ගෞරවය ආරක්ෂා වන පරිදි ඉදිරියට පවත්වාගැනීම,
    (ඈ) මවුපියන්ගේ වස්තුව ආරක්ෂා කිරීම,
    (ඉ)  මිය ගිය මවුපියන් නමින් පින් අනුමෝදන් කරවීම,
             යුතුකම් සහ උපස්ථාන ලෙස ඉටු කෙරෙනවා.

    දරුවන් ට මවුපියන්ගෙන්:
    (අ)  අයහපත් දෙයින් වැළැක්වීම,
    (ආ) යහපත් දෙයට යොමු කිරීම,
    (ඇ) ශිල්ප ශාස්ත්‍ර ලබා දීම,
    (ඈ) සුදුසු සහකාරයෙක් ලබාගැනීමට සහය වීම,
    (ඉ) සුදුසු කාලයේ දායාද පවරා දීම.
             ලැබෙනවා.


2. ගුරුවරුන්ට ගෝලයන්ගෙන් :
    (අ)  ගෞරව කිරීම,
    (ආ) උපස්ථාන කටයුතු කිරීම,
    (ඇ) ගුරුන්ගේ වචන අසා පිළිපැදීම,
    (ඈ) වත්පිළිවෙත් ඉටුකිරීම,
    (ඉ)  ශිල්ප ඉගෙනගැනීම,
             යන යුතුකම් කෙරෙනවා. (මේ දේශනාව කරන කාලයේ ගෝළයන් ගුරුවරුන් ළඟ නතර වෙලා මෙහෙවර කරමින් ඉගෙන ගත්ත කාලයක්. ඒ අනුවයි මේ යුතුකම් සඳහන් වෙන්නෙ. අදට ඔබින විදිහට තේරුම් ගැනීම අපේ යුතුකම)

    ගෝළයන් ට ගුරුවරුන්ගෙන්:
    (අ)  හොඳින් හික්මවීම,
    (ආ) හොඳින් ඉගැන්වීම,
    (ඇ) තමන් සතු සියළුම ශිල්ප ශාස්ත්‍ර සහ ධර්මය කියා දීම,
    (ඈ) තමා සාමාජිකයෙකු වන සමාජයේ සමාජගත කිරීම,
    (ඉ) දිශාවන් ආරක්ෂා කරවීම.
             යන දේ ලැබෙනවා.

3. සැමියා බිරිඳට:
    (අ)  නිසි ගෞරවය ලබාදීම,
    (ආ) අවමන් නොකිරීම,
    (ඇ) අන් ගැහැණුන් අඹුවන් ලෙස ඇසුරු නොකිරීම,
    (ඈ) පහසුකම් ධනය සැපයීම,
    (ඉ)  සුදුසු ඇඳුම් පැළඳුම් සපයාදීම
               මඟින් සළකනවා.

    බිරිඳ සැමියාට:
    (අ)  හොඳින් කටයුතු කළමනාකරණය කිරීම,
    (ආ) සැමියාගේ සෙසු හිත මිතුරන්ට සංග්‍රහ කිරීම,
    (ඇ) සොර සැමියන් ඇසුරු නොකිරීම,
    (ඈ) සැමියාගේ වස්තුව ආරක්ෂා කිරීම සහ අපතේ නොයැවීම,
    (ඉ)  කටයුතු වල දක්ෂව අනලස්ව යෙදීම,
                යන දේ ඉටුකරනවා.

4. මිතුරන් ට අපි:
    (අ)  දීමෙන්,
    (ආ) ප්‍රිය වචනයෙන්,
    (ඇ) යහපත් කටයුතු සැළැස්වීමෙන්,
    (ඈ) සමානාත්මතාවයෙන්,
    (ඉ)  නොරැවටීමෙන්,
               සළකන එකයි නියම මිතුරුකම.

    එහෙම මිතුරන් අපිට:
    (අ)  සිහි කල්පනාව අඩුවෙන් කටයුතු කරන අය ආරක්ෂා කරනවා,
    (ආ) එහෙම අයගෙ වස්තුව ආරක්ෂා කරනවා,
    (ඇ) බයක්, අවදානමක් ආවහම පිහිට වෙනවා,
    (ඈ) විපතක් ආවොත් අතහරින්නෙ නෑ,
    (ඉ)  අපේ අනිත් හිතවතුන්ටත් සළකනවා.

5. සේවක කම්කරුවන්ට හාම්පුතුන් :
    (අ)  ශක්ති ධාරිතාවය අනුව වැඩ නියම කිරීමෙන්,
    (ආ) කෑම / වැටුප් නිසිආකාරව දීමෙන්,
    (ඇ) ලෙඩ දුක් වලදි උපස්ථාන කිරීමෙන් / පිහිට වීමෙන්,
    (ඈ) විටින් විට අමුතු සංග්‍රහ කිරීමෙන් සිත් සතුටු කිරීමෙන්,
    (ඉ)  සුදුසු කාලයට සුදුසු දේ දීමෙන්,
              සළකනවා.

    සේවකයන් හාම්පුතුන්ට :
     (අ)  පළමුවෙන්ම අවදිවීමෙන්,
     (ආ) සියල්ලන්ට පසුව නින්දට යාමෙන්,
     (ඇ) දුන් දේ විතරක් ගැනීමෙන්,
     (ඈ) හොඳින් කර්මාන්ත කිරීමෙන්,
     (ඉ)  හාම්පුතාගෙ කීර්තිය පැතිරවීමෙන්
             සළකනවා.
            (අවුරුදු දෙදාස් පන්සීයකට විතර කලින් හිටපු සේවකයන් වාසය කළේ හාම්පුතාගෙ ගෙදර නැත්නම් වැඩපොළේ බව මේකෙන් පේනවා. ඒ නිසා මේ කරුණු අදට අදාළ විදිහට තේරුම් ගැනීම අපේ වගකීම)

6. මහණ දාර්ශනිකයන්ට :
     (අ)  මෛත්‍රී සහගත ක්‍රියා වලින්,
     (ආ) මෛත්‍රී සහගත වචන වලින්,
     (ඇ) මෛත්‍රී සහගත සිතුවිලි වලින්,
     (ඈ) දොරවල් නොවැසීමෙන්,
     (ඉ)  ආහාර පාන ආදිය පූජා කිරීමෙන්,
            සැළකිය යුතුයි.

    මහණ දාර්ශනිකයන් ශ්‍රාවකයන්ට :
     (අ)  අයහපත් කටයුතු වලින් වැළැක්වීම,
     (ආ) යහපත් සිතින් අනුකම්පා කිරීමෙන්,
     (ඇ) කලින් අහල නැති ධර්මය කියා දීමෙන්,
     (ඈ) අසා ඇති ධර්මය පිරිසිදු කර දීමෙන්,
     (ඉ)  සුගතියට මග පෙන්වීමෙන්,
               සංග්‍රහ කරනවා.

නුවණැති, හික්මීමක් ඇති, මෘදු ගති ඇති, වැටහෙන නුවණ ඇති, නම්‍ය ශීලී, තද ගති නැති, නොපසුබට වීර්යය ඇති, අලස නැති, විපත් වලින් කම්පා නොවන, නිකැළැල් චරිතයක් ඇති තැනැත්තා සැපවත් ජීවිතයක් ගත කරනවා.

සංග්‍රහ කිරීමට බර, මිතුරන් උපයාගන්නා, මිතුරන්ගේ වචන වලට නම්‍ය ශීලී, මසුරුකම අත්හැරිය, නැවත නැවත හික්මීම ඇතිකරගන්නා තැනැත්තා කීර්තිමත් වෙනවා.

දීම, ප්‍රිය වචන කීම, අනුන්ගේ වැඩ පිණිස කටයුතු කිරීම. තමන් හා අනුන් සමව සැළකීම කියන සතර සංග්‍රහ වස්තු, ලෝකයේ පැවැත්මට හරියට කරත්තයට කඩ ඇණය වගේ අත්‍යවශ්‍යයි.

මේවා ඉටු නොකරන මව් පියන්ට, ඒ දේවල් දරුවන්ගෙන්වත් බලාපොරොත්තු වෙන්න බෑ.

මේ පෝස්ටුවත් එක්ක ඩ්‍රැකියාගේ වෙසක් කළාපය අවසන් කරන්නයි බලාපොරොත්තුව. මෙතෙක් කල් මෙහෙ පැමිණ, ඩ්‍රැකියාව දිරිමත් කරපු පිංවතුන් සියළු දෙනාට ඩ්‍රැකියා හිස නමා ආචාර කරනවා.

ප/ලි
කොටියෙක්, නෝවේ ජිනීවා එන්ජීඕ කාරයෙක්, ඩයස්පෝරාවෙක්, බෙදුම්වාදියෙක් හැටියට හංවඩු ගහනු ලැබූවාවූ ද, මානව හිතවාදියෙක්, ප්‍රජාතන්ත්‍රවාදියෙක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ ද, අභාවප්‍රාප්ත දොස්තර ජයලත් ජයවර්ධන මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු !

Tuesday, May 28, 2013

අපිට පිස්සු ඕයි !


අපිට පිස්සු ඕයි

ලසන්තට වෙඩිතිබ්බා ඕයි
එක්නැලිගොඩ අතුරුදහන් ඕයි
(එක්නැලිගොඩ විදේශ ගත වුනා කිව්වෙ කවුද ඕයි
දැන් අගවිනිසුරු එයාද ඕයි)
ලලිත්, කූහන් කියන්නෙ කවුද ඕයි
බාලචන්ද්‍රන් මැරුවද ඕයි
හරක් මරණ එක නම් හෙණ වැරදියි ඕයි

හලාල් ගියා ඕයි
ලයිට් බිලක් ආව ඕයි
21 වැඩ වර්ජනයක් තිබ්බද ඕයි
දැන් මොකුත් මතක නෑ ඕයි

හාරත ලක්ෂ්මන් මැරයෙක්ද ඕයි
එයා මැරුවෙ කවුද ඕයි
සැකකරුවට ඇප දුන්නද ඕයි
හාස්කමින් හොඳ වුනාද ඕයි
(ස්කෑනර් එකක් පුපුරලා දරුවෙක් මළෙත් එහෙදිමද  ඕයි)
මට ඔය මොකුත් මතක නෑ ඕයි

අධිකරණය යටපත් වෙලාද ඕයි
මානව හිමිකම් කියන්නෙ මොනවද ඕයි
සම්බාධක පණවයිද ඕයි
පොදුරාජ්‍ය මණ්ඩලේ මෙහෙ ගෙනෙයිද ඕයි

ලැම්බෝගිනි අඩුවුනාද ඕයි
නයිට් රේස් තිබ්බද ඕයි
තාරුණ්‍යයට හෙටක් අරමුදල් කෝ ඕයි
ලංවිම පාඩුයිද ඕයි

කොටකෙතන ඝාතකයා කොහෙද ඕයි
සිංගප්පුරු පැන්නෙ කොහොමද ඕයි
පොල්ගෙඩි අටට මොකද උනේ ඕයි

හාමුදුරුවන්ගෙ දේහය කොළඹ තියන් අවසන් කටයුතු කරමු ඕයි
පෙළපාලිත් යමු ඕයි
මස් කඩ වලටත් ගහමු ඕයි
ඕකද රටේ තියෙන ප්‍රශ්නෙ ඕයි
සෝම හාමුදුරුවොත් මෙහෙම විකුණං කෑවද ඕයි

මාවිල් ආරු වීරයා අතනද මෙතනද දැං කොතනද ඕයි
යුද්ධෙ දිනපු මාධ්‍ය වීරයා කෝ ඕයි
තරප්පු කඩං වැටුනෙ ඇයි ඕයි
ලෝකෙ හොඳම හමුදාපති කවුද ඕයි
ප්‍රභාකරන්ට නැව් අරං දීපු කේපී කෝ ඕයි
ඝාතන කරපු කරුණා - පිල්ලෙයාන්, කොටි නෙවෙයි ඕයි
උතුරෙ සංවර්ධන කරන කේපීගෙ එන්ජීඕ එක හොඳයි ඕයි
නිව්මාන් පදනම නාකයි ඕයි
උං එක්ක එකතු උන යූඑන්පී, ජේවීපී ත්‍රස්තවාදියො ඕයි
ලයිට් බිලට විරුද්ධ වෙලා රට බෙදනව ඕයි
පාක්‍යසෝති නඩේ දැං කෝ ඕයි

යුද්දෙට ගිය වියදම දැං නෑ ඕයි
ජාතිය ගොඩනගන්ඩයි බදු ගහන්නෙ ඕයි
දිනූ නිදහස රැකගන්ඩ ඕනෙ ඕයි
විපක්‍ෂෙ හරි නරකයි ඕයි

උතුරෙ ඡන්දෙ තියන්ඩ හොඳ නෑ ඕයි
එතකොට ආයෙ ඊළමක් හැදෙනව ඕයි
ඒ කියන්නෙ ඊළම හැදෙන්නෙ ව්‍යවස්ථාවෙන්මයි ඕයි
ඒක වෙනස් කරන්ඩත් බෑ ඕයි
ජනාධිපති ධූරයෙ වාර ගාන නං වෙනස් කළෑකි ඕයි
ස්වාධීන කොමිෂනුත් වෙනස් කළෑකි ඕයි

පාරවල් හදනව ඕයි
වරායයි එයාපෝට් එකයි සිනමා ගම්මානෙයි හැදුව ඕයි
කුළුණු, හෝටල් හදනව ඕයි
මිනිස්සු මහපාරෙ ඕයි
කන්ඩ නෑ ඕයි
ඉඩම් වලින් එළවනව ඕයි
ඒත් අපිට ආතල් ඕයි

මේ ඔක්කොම වෙන රටේ
ඉන්නෙ සංවේදී පළපුරුදු ජනමූල නායකයෙක් ඕයි
උගන්ඩාව, බුරුමෙ වගේ හාල්පාරු රටවල් අපේ යාළුවො ඕයි
නලාකාරයො කලාකාරයො කඩේයන්නෑ ඕයි
උන් කරන්නෙ පුරවැසි යුතුකම් ඕයි

දැං නං සිරාවටම පිස්සු ඕයි
අපිට විතරද පිස්සු ඕයි
????????????????????????????????????????????

Thursday, May 23, 2013

බෞද්ධයෙක් කියන්නේ කාටද (තවදුරටත්...) - ඩ්‍රැකියාගේ වෙසක් කළාපය 4 කොටස


වෙසක් කළාපයෙ පසුගිය කොටසින්, බුදුන් වහන්සේ සිඟාලක ගෘහපතිට දේශනා කළ විදිහට බෞද්ධයෙක් ගේ ලක්ෂණ කතා කළා. ඒ පෝස්ටුවෙ අන්තිමට පොරොන්දු වුණු විදිහට මිතුරන් සහ සදිසාවන් ගැන අද කතා කරමු.

මිතුරු වෙසින් එන මේ 4 දෙනා ගැන පරිස්සම් වෙන්න:

1. තමන්ට යමක් ලබාගන්න විතරක් මිතුරුකම් දක්වන අය,

මෙයා හිස් අතින් ඇවිත් අපෙන් යමක් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. පොඩි දෙයක් දීලා, ලොකු දෙයක් ගන්න බලනවා. අවදානමක් ඇති වෙලාවට තමන්ගෙ කටයුතු විතරක් බලාගන්නවා. තමන්ගෙ ප්‍රයෝජනය විතරයි සළකන්නෙ.

2. වචනයෙන් විතරක් සළකන අය,

මෙයා, ‘කලින් කියන්න එපෑ උදව් කරන්න තිබ්බනෙ‘, ‘හරි හරි ආයෙ දවසක මෙහෙම උනොත් කියන්න අනිවාර්යයෙන් උදව් කරන්නම්‘ කියනවා. ඒත් දැන් උදව්වක් ඉල්ලුවහම, එයාට වෙලා තියෙන කරදර ගැන කිය කියා මගහරිනවා.

3. ඉදිරිපිටදි ස්තූති කරන, රැවටිළි කතා කියන අය,

මෙයා අපි කරන වැරදි ත් අනුමත කරනවා, හොඳ දේවලුත් වර්ණනා කරනවා, අපි ඉදිරිපිටදි අපේ හොඳ කියලා, නැති තැන අපේ වැරදි ගියනවා.

4. වැරදි වැඩ වලට මිතුරු වෙන අය.

මත්ද්‍රව්‍ය වලට, රස්තියාදුවට, සූදුවට, නැටුම්පොළවල් වල වල බහින්න තමයි මේ අය යාළු වෙන්නෙ. මේ වැරදි ගැන කලින් පෝස්ටුවෙ විස්තර වෙනවා.

නියම මිතුරන් 4 දෙනෙක් ඉන්නවා:

1. උපකාර කරන,

වෙරි වෙලා වැටිලා ඉන්න යාළුවා, ආරක්ෂා කරනවා, එයාගෙ ධනය ආරක්ෂා කර දෙනවා, යාළුවට අවදානමක් ආවහම උපකාර කරනවා, මොකක් හරි කටයුත්තක් තියෙන කොට දෙගුණයකින් විතර වස්තුව ලබා දෙනවා.

2. සැප දුක දෙකේම සමානව පවතින,

මෙයා තමන්ගෙ රහස් යාළුවට කියනවා, යාළුවගෙ රහස් පිටකරන්නෙ නෑ, යාළුවට විපතක් වුනොත් අත් හරින්නෙත් නෑ, යාළුවා වෙනුවෙන් ජීවිතය පවා කැප කරනවා.

3. හිතකර වැඩ වලට උනන්දු කරන,

මෙයා, යාළුවා පවු කිරීමෙන් වළක්වනවා, හොඳ වැඩ වලට යොමුකරනවා, අහල නැති දේවල් ගැන දැනුවත් කරනවා, සුගතියට පත්වෙන ක්‍රම හොයා දෙනවා.

4. අනුකම්පාකරන.

මෙයා, යාළුවාගේ පිරිහීම ගැන දුක් වෙනවා, දියුණු වෙනව නම් සතුටු වෙනවා, කවුරුහරි යාළුවගෙ වැරදි කියනවනම් වළක්වනවා, හොඳ කියන අය දිරිමත් කරනවා.

නුවණින් මේ මිතුරන් හතර කොටස හඳුනාගන්නා තැනැත්තා, මවක් දරුවා ඇසුරු කරනවා වගේ මේ මිතුරන් ඇසුරු කරනවා.

හික්මීමෙන් සහ නුවණින් යුක්ත තැනැත්තා, මලින් රොන් ගන්නා බඹරෙක් වගේ අනුන් ට පීඩා නොකර වස්තුව රැස්කරන්නට සමත්.

මෙහෙම රැස් කරන වස්තුව හතර කොටසකට බෙදන්න කියලා බුදුන් වහන්සේ කියනවා:

1. කොටසක් පරිභෝජනයට,
2. කොටස් දෙකක් ආයෝජනයට,
3. කොටසක් අනාගත අවදානම් වෙනුවෙන් සුරැකුම් විදිහට.

බෞද්ධයෙක් යුතුකම් ඉටු කළ යුතු සදිසාවන් :

1. මව්පියන් (නැගෙනහිර දිශාව)
2. ගුරුවරු (දකුණු දිශාව)
3. අඹු දරුවන් (බටහිර දිශාව)
4. මිතුරන් (උතුරු දිශාව)
5. සේවකයන් කම්කරුවන් (යට දිශාව)
6. මහණුන්, දාර්ශනිකයන් (උඩ දිශාව)

මේ සදිසාවන් ගැන විස්තර මීළඟ පෝස්ටුවෙන් කතා කරන්න වෙන හැඩයි. ඩ්‍රැකියා වැඩකරන කාර්යාලය වහන වෙලාව ළඟයි. මී ළඟ පෝස්ටුව කියවන්න ලැබෙන්නෙ වෙසක් පෝයෙන් පස්සෙ. එතෙක් ඩ්‍රැකියාගෙ බණ අහන්න ආව සියළු දෙනාටම ත්, දන්නා නොදන්නා ලෝක වාසී සියලු දෙනාටමත් ප්‍රීතිමත් සුභ වෙසක් මංගල්‍යයක් වේවා !!!

පින්තූරය ගත්තේ : http://3.bp.blogspot.com/-S6Rx052SH2w/UEVAx2dCWKI/AAAAAAAAAt8/nnor-FY8Ahc/s1600/z_pic350-vis+(1).jpg

Wednesday, May 22, 2013

බෞද්ධයෙක් කියන්නේ කවුද? - ඩ්‍රැකියාගේ වෙසක් කළාපය 3 කොටස


බුදුන් සරණ යන කෙනෙක් ළඟ ඇති ගුණාංග ගැන බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රෙය් දේශනා කරනවා.

බුදුන් ගේ අදහස අනුව, බෞද්ධයෙක් කියන්නේ,

1. ආත්මය කිළිටි කරන කරුණු 4 කින් ඈත් වුණු,
2. කරුණු 4 ක් නිසා කරන පවු වලින් වැළකුණු,
3. වස්තු විනාශයට හේතු 6 කින් වැළකුණු,
4. සදිසාවන් මනාව පවත්වාගන්නා, තැනැත්තෙක්.

1. ආත්මය කිළිටි කරන කරුණු:
    (අ)  පණ නැසීම,
    (ආ) සොරකම,
    (ඇ) අනිසි කාම සේවනය,
    (ඈ) බොරුකීම සහ කිරීම.

2. පවු කිරීමට මුල් වන කරුණු:

    (අ)  පක්ෂග්‍රාහී බව,
    (ආ) ද්වේෂය හෙවත් තරහබව,
    (ඇ) බය,
    (ඈ) මුළාව.

3. වස්තු විනාශයට හේතු:

    (අ)  මත්ද්‍රව්‍ය,
    (ආ) අවේලාවේ රස්තියාදුව,
    (ඇ) නැටුම් පොළවල හැසිරීම හෙවත් වල බැසීම,
    (ඈ) සූදුව,
    (ඉ)  නරක මිතුරන් ඇසුර,
    (ඊ)  කම්මැලි බව.

     (අ) මත්ද්‍රව්‍ය වල ප්‍රතිවිපාක:
          1) ධනය නැතිවීම,
          2) කෝළහාල වල පැටළීම,
          3) රෝග පීඩා,
          4) අපකීර්තිය,
          5) ලැජ්ජාව නැතිවීම,
          6) නුවණ දුර්වල වීම.


     (ආ) රස්තියාදුවේ ප්‍රතිවිපාක:
          1) තමනුත්, තමන්ගෙ අඹුදරුවොත්, තමන්ගෙ ධනයත් අනාරක්ෂිත වීම,
          2) අපරාධ වලට සැකයට ලක් වීම,
          3) නැති කතා (පද) ඇති වීම,
          4) බොහෝ දුක් හිරිහැර වලට ලක් වීම.


     (ඈ) සූදුවේ ප්‍රතිවිපාක:
          1) දිනුව කෙනා වෛරයට ලක්වීම,
          2) පැරදුන කෙනා දුකට පත් වීම,
          3) ඇස්පනාපිට වස්තුව නැතිවීම,
          4) තමන්ගෙ අදහස් ගැන අනුන් ගේ පිළිගැනීම නැතිවීම,
          5) අසල්වැසියන්ගේ නින්දාවට ලක්වීම,
          6) ගැහැනියෙකුට කන්න අඳින්න දෙන්න බැරි වීම යන සාධකය මත කෙල්ලගෙ දෙමාපියන්ගෙන් ප්‍රතික්ෂේප වීම.


නරක මිතුරන් ඇසුරු කිරීමෙන්: සූදු කාරයන්, සල්ලාලයන්, බේබද්දන්, කපටින්, වංචාකාරයන්, සාහසිකයන් ඇසුරට වැටෙයි.

කම්මැලිකම කියන්නේ, ‘දැන් හරි සීතලයි, රස්නෙයි, දැන් හවස් වුනා වැඩියි, තාම උදේ වැඩියි, දැන් බඩගිනියි, දැන් කෑවා විතරයි‘ වගේ හේතු කියමින් වැඩ නොකර ඉඳීමයි. ඒ වගේ මිනිහෙක්ට ලබා ගත යුතු දේවල් ලැබෙන්නෙත් නෑ, ඒ වගේම තියෙන දේවලුත් නැති වෙනවා.

ඉර පායනතුරු නිදාගැනීම, අනුන් තම පණ වගේ රකින ගැහැණුන් ආශ්‍රය, තරහ බැඳගැනීම, අයහපත් ප්‍රතිඵල ඇති දේ කිරීම, සහ තද මසුරුකම නිසා මිනිසුන් විනාශ වෙනවා. ඒ වගේම  නරක මිතුරන් ආශ්‍රය, ළාමක වැඩ කිරීම, සූදුව, නුසුදුසු තැන් වල ඉඳීම, යහපත අයහපත දන්නා ‍ඥාණවන්තයින් ඇසුරු නොකිරීම, වතුර වගේ සුරා බීම, දවල් නිදාගැනීම, රෑට අවදි නොවීම නිසා ඔවුන්ගේ ධනයත්, කීර්තියත් පිරිහෙනවා.

සීතලද රස්නෙයිද කියා නොබලා උත්සාහයෙන් වැඩ කරන තැනැත්තා පිරිහේනනේ නෑ.

සිඟාලක ගෘහපතිට දේශනා කරපු මේ සූත්‍රයේ ඉතිරි තොටස ඊළඟ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙනවා. එයින්, පාප මිතුරන්, කළණ මිතුරන්, සදිසා රක්ෂණය වගේ දේවල් විස්තර කෙරනවා. අද ලිපියෙන් කියවෙන්නේ බෞද්ධයෙක් නම් එයා තුළ තිබිය යුතු ලක්ෂණ.

(එක කාලයක් බුදු පිළිම වලින් රැස් විහිදෙනහැටි බලන්න ගාල කඩාගෙන දුවපු අපේ කෂ්ටියකට, ඒක වෙන හැටි විද්‍යාත්මකව පහදන්න ගියපු ඩ්‍රැකියට, එක ගෑණු කෙනෙක් ගෙ හොඳ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වුනා. එයා ඇහුවා, ‘ඔයා බෞද්ධයෙක් ද?‘  කියලා.)

බෞද්ධයෙක් කියලා කියාගන්න ගමන් අපි මේ දේවල් ඇතිකරගන්න ඕනෙ අතරම, බෞද්ධයින් වෙනුවෙන් බල සේනා හදාගත්ත අය සහ අපෙන් වැඳුම් පිදුම් ලබාගන්නා හාමුදුරුවරු තුළ මේ කියන ලක්ෂණ තියෙනවද කියලා විමසන එකත් අපේ වගකීම. චීවරයට වඳින්න කැමති අය මරදානේ මාලිගාකන්ද පාර දිගට පෙරළි පෙරළි වැන්දට ඩ්‍රැකියා මොකුත් කියන්නේ නැත.

ප/ලි
සූත්‍ර පිටකය අමු සිංහලෙන් අධ්‍යයනය කරන්න හොඳ බ්ලොග් එකක් http://dahamsithum.wordpress.com
පින්තූරය ණයට ගත්තේ : http://sinhalabuddhist.com/wp-content/uploads/2012/02/Meditation-hands1-550x364.jpg

ප/ප/ලි
වෙසක් කියලා ගජබින්න සහ ආතල් ඉස්ටෝරි නොකීම පවු නේද? කවුද කැමති ගාථා ධර්මයන්ට ඩ්‍රැකියා ගේ නව අර්ථකථනයන් අසා අපා මාර්ගය හෙළි පෙහෙළි කරගන්න? මේ ගැන දක්වන අදහස් අනුව මීළඟ පෝස්ටු පළ කෙරෙන බව කරුණාවෙන් සළකන්න

Friday, May 17, 2013

කෝපය ගැන බුදුන්ගේ අදහස් - ඩ්‍රැකියාගේ වෙසක් කළාපය 2

ඩ්‍රැකියා පටන් ගත්ත වෙසක් කළාපයෙ පළවෙනි ලිපිය ගැන ගොඩක් දෙනා අදහස් දක්වලා තිබ්බා. ඉතින් ඩ්‍රැකියා කල්පනා කළා දූතීය ආඝාත පටිවිනය සූත්‍රයේ පළවෙනි කොටස වන ආඝාත පටිවිනය සූත්‍රය ඇසුරින් කෝපය ගැන ම තවදුරටත් කතා කරන්න.

කලින් ඩ්‍රැකියා කතා කරපු කරුණු සැරියුත් හාමුදුරුවන්ගේ අදහස් (බුදුන් ගේ අනුමැතියට යටත්ව) වුනාට, ආඝාත පටිවිනය සූත්‍රයේ සඳහන් වෙන්නෙ කෙළින්ම බුදුන් වහන්සේ ගේ ම දේශනයක්. බුදුන් කෝපය ගැන කියන්නෙ මේ විදිහෙ අදහසක් සරළව ගත්තොත්.


කෝපය ඇති වන ආකාර

කෝපය ඇතිවන හේතු සහ ආකාර 9 ක් ගැන බුදුන් වහන්සේ කියනවා. ඒක සරළව ගත්තොත්, ප්‍රධාන හේතු තුනක්, කාල වශයෙන් තුන් ආකාරයකින් තියෙනවා.

1. කෙනෙක් තමන්ට කරදර හිරිහැර කරනවා නම්. ඒ කියන්නෙ අනර්ථයක් කරනවා නම්, ඒක එක හේතුවක්,

2. කෙනෙක් තමන්ගෙ ළඟ හිතවතුන්ට, නෑයන්ට අනර්ථයක් කරනවා නම්, ඒක දෙවැනි හේතුව,

3. තමන්ටත්, තමන්ගෙ හිතවතුන්ටත් අනර්ථයක් කරන එක ඉවසා සිටියත්, ඒ අනර්ථකාරී තැනැත්තා ගැන අනිත් අය ගුණ ගායනා කරනවා නම්, (අපිව බේරගත්තෙ මෙයා ය, මෙයා අපේ ගැළවුම්කාරයා ය, තව තවත් කල් වැජඹෙන්න වාසනා කරන්න ඕනෙ ය කියලා) ඒක ඉවසන්න බෑ, ඒක තමයි තුන්වැනි හේතුව. 

අ) අපි සමහරු ඉන්නවා, අතීතයේ වෙච්ච දේවල් ගැන කෝපයෙන්. නිතරම සිහියට එන්නෙ ඉස්සර කාලෙක වෙච්ච අනර්ථයක් ගැන.

ආ) ඒ වගේම දැන්, මේ මොහොතෙ කෙනෙකුගෙන් සිද්ධ වෙන කරදර, හිරිහැර ගැන කෝපය ඇති වෙනවා.

ඇ) ඒ වගේම, දැන් හොඳ වුනත් අනාගතයේ දවසක අර වගේ කරදර වෙන්න ඉඩ තියෙන බව පේනවා. මේ නිසා කෝපයක් ඇති වෙනවා. (අපේ දරුවන්ටවත් මේ මිනිහා සැනසිල්ලෙ මේ රටේ ජීවත් වෙන්න දෙන්නෙ නෑනෙ කියලා හිතෙනවා)

ඔන්න ඔය විදිහට මුලින්ම කියපු කාරණා තුන, ඊට පස්සෙ කියපු විදිහට කාල රාමු තුනට අදාළ කරගත්තම කාරණා 9 ක් වෙනවා.

කළ යුතු දේ

කෝපය ගැන කළ යුතු දේවල් 5 ක් බුදුන් වහන්සේ විස්තර කරනවා.

1. මෛත්‍රී කරන්න

තමන් ගැන සිතන මිතුරු සිතින්ම අනිත් මිනිහා ගැනත් කල්පනා කරන්න. අපෙන් වැරැද්දක් උනාම හිතන දේවල් අනිත් කෙනා ගැනත් හිතන්න. (‘වැරදියි තමයි ඉතින්. ඒ වුනාට ඒක මහලොකු දෙයක් යැ. හරිගස්සන්න කරන්න ඕනෙ දේනෙ දැන් ඉතින් හිතන්න ඕනෙ.‘ වගේ දෙයක් තමයි ඩ්‍රැකියා වැරද්දක් කළාම ඩ්‍රැකියටම හිතෙන දේ.)

2. කරුණාවන්ත වෙන්න

කෙනෙක් නරකක් කරන විට ඒ මිනිහා ගැන කම්පා වෙලා, එයාට ඒකෙන් මිදෙන්න පිළියමක් කරන්න ඕනෙ වෙන හැඟීම තමයි කරුණාව. (උදා: එයාට මාව දකිනකොට කේන්තිය වැඩි වෙනවනම්, මම එයාට නොපෙනී ඉන්නව)

3. උපේක්ෂාසහගත වෙන්න

කෙනෙක් ගැන හෝ දෙයක් ගැන කැමතිවත්, අකමැතිවත් නොවී මැදහත්ව සිතන්න.

4. සිහිනොකර, මෙනෙහි නොකර ඉන්න

දෙයක් වුනහම මතකේ තියාගන්න එපා, ඒන නිතර නිතර මතක් කරන්නත් එපා.

5. කර්මයේ ස්වයංක්‍රීය බව ගැන සිතන්න

කෙනෙක් කළ කී නරක දේවලින් එයාට ඇති වෙන්නෙ නරක කර්මයක්. ඒක ගැන තමනුත් නරක දෙයක් කළොත්, කිව්වොත්, හිතුවොත්, තමන්ටත් ඇති වෙන්නෙ නරක කර්මයක් මයි. එහෙම නැතුව ඒ ගැන තමන් හොඳ දෙයක් කළොත්, (මෛත්‍රිය කිරීම වගේ දෙයක්) තමන්ට යහපත් කර්මයක් ඇති වෙනවා. ඒ ගැන මෙනෙහි කිරීමෙන් බුද්ධිමත්ව වැඩ කරන්න පුළුවන් වෙනවා.

මේ තමයි, කෝපය ඇති වීම සහ නැතිකිරීම ගැන බුදුන්ගේ විග්‍රහය.

මේ වගේ දර්ශනයකින් දේශපාලනය කරපු, මම දකින එකම කෙනා මහත්මා ගාන්ධි තුමා ය. අපේ ධර්මපාල තුමා ඒ වගේ වුනානම් අපේ රට මෙයිට වඩා මනසින්, තාක්ෂණයෙන් සහ අනික් හැම අතින්මත් දියුණු වෙන්න  තිබුණාය යන්න ඩ්‍රැකියාගේ විශ්වාසයයි.

තවත් වෙසක් කළාපයකින් බුදු වදනක් රැගෙන එනතෙක් ඔබගෙන් සමුගන්නා මම, සත්ගුණවත් ඩ්‍රැකී උපාසක.

බුදුන්ගේ දර්ශනයේ පෘථුල බවත් අපේ කුදු බවත් නිරූපණය කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් යුක්තව පින්තූරය ඉස්සුවේ : http://dhammamedicine.net/wp-content/uploads/2011/05/budusuwanda3.jpg

ප/ලි
වෙසක් වෙච්ච එකේ, ගාථාවක් ගැන ආතල් කතාවක් ලියන්න හිත කොනේ නලිය නලියා තිබෙයි. ඒ වුනාට ඒක ගැන තවම තීරණයක් ගන්න බැරිවුනෙමි. දවසක් ඩ්‍රැකියා ගැටයා කාලේ අවුරුදු උත්සවයක ඇඬීමේ තරඟයකදී, තාත්තා අසනීප වී, ආයෙත් සනීප වීම ගැන අඬා, එතන හිටපු පප්පලාගෙන් හොඳටම ලුණු ඇඹුල් ඇතුව අහගත්තෙමු. ඒ නිසා දෙවන වටේ දී ඩ්‍රැකියා ඇඬුවේ පටිච්චසමුප්පාදය ගැනය. ඒ මොකකට ඇඬුවත්, එයින් පළවෙනි තැන ගෙන ලබා ගත් තෑග්ග තවමත් ඩ්‍රැකියාගේ වීදුරු කබඩ් එකේ තිබේ. ඉතින් වෙසක් කළාපය අතරේ අර ගාථා ධර්ම ගැන කතාවත් පෝස්ට් කිරීමට ඉඩ ඇතැයි ස්වාධීන නිරීක්ෂකයෝ පවසති.

Thursday, May 16, 2013

මැතිණිගෙ කාලෙ දවසක්...


නිසල සහන් ලිව්ව උපාලි මෝටර් රථ ගැන පොස්ටුව දැකලා ඩ්‍රැකියගෙ ලේ කකියන්න ගත්තා. වෙසක් කළාපයෙ ලියන්න හිටිය ආඝාත පටිවිනය ගැන පෝස්ටුව ටිකකට කල් දාලා, ඩ්‍රැකියගෙ ශෛලියෙන් ලියන්න හිතුණා බොහෝම පරණ ආතල් කතාවක්, ඒ හැටියෙන්ම. මේ පරණ කතාවෙන් හෙළි වෙනවා, සිරිමාවෝ ආර්. ඩයස් බණ්ඩාරනායක කියන අපේ ජනතා මාතාවගේ පාලන කාලයේ ජන ජීවිතයේ එක් පැතිකඩක්. කියවලා හිනාවෙන්නද අඬන්නද කියලා මට හිතාගන්න බෑ හැබැයි.

ඕං දවසක් කුකුල් ෆාම් එකකට පරීක්ෂකයෙක් පැන්නලු. උන්නැහැ අයිතිකාරයවත් එක්කරගෙන අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කළාලු සෞඛ්‍යාරක්ෂිත බව, සත්තුන්ට තියෙන පහසුකම් ආදී සකල මනාවම. ආසාවට දඩයක් ගහගන්න එක පොයින්ට් එකක්වත් උන්දැට හොයාගන්න බැරි වුණාලු.

අන්තිමේ බැරිම තැන උන්නැහැ ඇහුවලු, ‘කුකුල්ලුන්ට මොනවද සාමාන්‍යෙන් කන්න එහෙම දාන්නෙ? ‘ කියලා. අයිතිකාරයා කිව්වලු, ‘ළග බේකරියෙන් ගන්නවා පරණ පාන් එහෙම...‘

කියල කට ගන්න වත් හම්බුන්නෑ, ‘හහ්. තමුසෙ අධිරාජ්‍ය වාදයට උදව් කරනව නේද? කුකුල්ලුන්ටත් දෙන්නෙ පාන් ඈ? ඇමරිකන් පාං පිටි කවපු කුකුල්ලුද තමුසෙ ජනතාවට කන්න දෙන්නෙ?‘ කියල ගැහුවලු ටොම්බ දඩයක්.

ටික කාලයක් ගෙවිලා ගිහිං, සියරට දේ ජනතාවට ප්‍රමාණවත් වෙන්න සපයන්න අමාරු කාලෙ, (ඉතින් පරීක්ෂක වරුත් හම්බකරගෙන කන්න එපැයි) ආයෙත් වතාවක් පරීක්ෂකය පැන්නලු අර ෆාම් එකටම.

කලින් වගේම අස්සක් මුල්ලක් නෑර චෙක් කොරලා, උන්නැහැ ඇහුවලු කලින් ප්‍රශ්නෙම. අයිතිකාරයට මතකයිනෙ කලින් දුන්න උත්තරෙන් කාපු පරිප්පුව, එයා කිව්වලු. ‘වෙන මොනවද ඉතින්, සියරට දේනේ, මම දෙන්නෙ හාලුයි වී යි‘ කියලා.

‘හා එහෙමද? මෙච්චර මේ මිනිස්සුන්ට හාල් දෙන්නෙත් සළාකෙට. හාල් ප්‍රවාහනය කරන්නත් සීමා කරල තියෙන්නෙ. සතියකට වේල් කීපයයි බත් කන්න පුළුවන්. තමුසෙ මෙතන කුකුල්ලුන්ට දාන්නෙත් හාල් නේද?‘ කියලා ආයි පාරක් ගැහුවලු පත සයිස් දඩයක්.

ඕං ඉතින් තව ටික කාලයක් ගෙවිල ගියයි කියමුකො. ආයෙ දවසක් ආවලු ඔය කියන පරීක්ෂකයා, ඒ ෆාම් එකටම. කලින් වගේම චෙක් කොරළා, කොරළා, ඇහුවලු සුපුරුදු ප්‍රශ්නෙ. අයිතිකාරයට මලම පැන්නලු. ඌ කිව්වලු,

‘මං දන්නෑ මහත්තෙය. මම හැමදැම උදේට කුකුළෙකුට රුපියල් පහ ගානෙ දෙනවා. උන් කොහේ ගිහිං මොනව කාල එනවද කියල මම හොයන්නෑ. මට මොකටද උන්ගෙ පෞද්ගලික කාරණා ? අපේ මැඩමුත් බලන්නෑනෙ අපි කන්නෙ මොනවද? කොහොමද කියලා‘ කියල.

ඔන්න ඔහොමයි අපේ මැතිණිගෙ කාලෙ ජන ජීවිතය.

පින්තූරය ඉස්සුවෙ : http://srilog.com/jpc/uploads/2011/09/bandranaike-mrs-b.jpg

ප/ලි
කලින් සැරේක මම මාතලන් අයියගෙ කමෙන්ට් එකකට පිළිතුරු හැටියට කිව්ව වගේ, මගේ ආතල් කතා හැම එකක්ම දේශපාලනිකයි. මේකෙ නම් තියෙන දේශපාලනය එළියට පේනවනෙ. අනිත් කතා වලත් තියෙන දේශපාලනික පැත්ත විග්‍රහ කරන්න පුළුවන්නම්, කමෙන්ට් වලට විවෘතයි.

Monday, May 13, 2013

තරහ ඇති වුණ විට වළක්වාගන්නේ කොහොමද - ඩ්‍රැකියාගේ වෙසක් කළාපය

වෙසක් මාසය උදා වුණා. අපි පොඩි සන්දියෙ, අවුරුදු කාලෙ හිතේ පිරිලා තියෙන සතුටු හැඟීම වෙනස් වෙලා වෙසක් මාසය එනකොට අමුතුම ප්‍රබෝධයක් දැනෙනවා. ඒ කාලේ ටීවී චැනල්, රේඩියෝ චැනල් අපේ සංස්කෘතිකාංග අයිති කරගෙන මාකට් කරන සිරිතක් තිබුණෙ නෑ. කඩවල් වල තිබුණෙත් බකට්, සව්කොළ, කොඩි, වෙස්මූණු විතරයි. දැන් වගේ රෙඩිමේඩ් වෙසක් තිබ්බෙ නෑ. ඉතින් පොඩි ඩ්‍රැකියටත් ඉවසුමක් නෑ. උණබට කපනවා, වෙසක් කූඩු හදනවා, අයියත් එක්ක තරඟෙට වෙසක් කූඩු අලවලා සරසනවා, ඒකාලෙ අපේ ගමෙන් බාගෙකට ලයිට් තිබ්බෙ නෑ.ඒක ලක්ෂරි පහසුකමක්. ඉතින් වෙසක් කූඩුවෙ භූමිතෙල් පානක් එල්ලනවා. සමහර වෙලාවල, ඒකෙන්ම වෙසක් කූඩුව ගිණිගන්නවා. දන්සැල් වඳින්න යන්නෙ කොල්ලො රංචුව පිටින්මයි. බීම දන්සැළකින් වීදුරු දහයක්වත් බොන්න පුළුවන් වෙච්ච අපේ සිරිබෝ අයියා තමයි දන්සැල් සබ්ජෙක්ට් එක ගැන වීරයා වුනේ. දන්සැල් වැදලා ගෙදර ඇවිත් පාට පාටින් චූ කළා කියලා සිරිබෝවා කිව්වා දවසක්.

වෙසක් අසිරිය මතක් කරගෙන ඩ්‍රැකියා පටන් ගත්තා වෙසක් කළාපයක්. ඒක පුළු පුළුවන් විදිහට අප්ඩේට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්ඉස්සෙල්ලාම අපි පටන් ගම්මු මොකක් හරි වැඩක් ඇති දේකින්. බුද්ධ දර්ශනයෙන් ඩ්‍රැකියට වැඩක් තියෙනම දේ තමයි, ඇන්ගර් මැනේජ්මන්ට් හෙවත් කෝපය කලමනාකරණය කිරීම.  මොකද මිසිස් ඩ්‍රැකී දකින විදිහට ඩ්‍රැකියගෙ තියෙන එකම නරක දේ තමයි කේන්ති යන එක. (කෝපයෙ මොනවද කළමනාකරණය කරන්න තියෙන්නෙ? ඒක වළක්වගන්නනෙ තියෙන්නෙ. ඔන්න ඉතින් මළ පනිනවා.) සූත්‍ර පිටකයෙ තියෙන දුතිය ආඝාත පටිවිනය සූත්‍රයෙ, සැරියුත් හාමුදුරුවො විස්තර කරනවා කෙනෙක් ගැන කේන්ති ගියාම කරන්න ඕනෙ දේවල් ගැන.

(සූත්‍ර පිටකය තියෙන්නෙ සජ්ඣායනා කරලා සෙත සළසගන්න නෙවෙයි. ඒ වුණාට අපේ බෞද්ධයින් කරන්නෙම ඒකනේ. සූත්‍ර පිටකයෙ තියෙන්නෙ බුදුන් වහන්සේ ගේ දර්ශනය. අපි කරන්න ඕනෙ වෙන්නෙ ඒක හදාරලා, බුද්ධ දර්ශනය තේරුම් අරං, ජීවිතය දියුණු කරගන්න එකයි.)

දුතිය ආඝාත පටිවිනය සූත්‍රයෙන් මම උපුටාගත්ත දේ:

පාංශුකූලික හාමුදුරු කෙනෙක් පාරක යද්දි, දකිනවා දිරාගිය රෙදි කෑල්ලක්. ඒ දැකලා, ඒ හාමුදුරුවො ඒක එක පයකින් පාගගෙන, අනිත් පයින් දිගහැරලා බලනවා, වැඩකට ගන්න පුළුවන් පොඩි කොටසක්වත් තියෙයිද කියලා.

ඒ වගේ, ඔන්න කෙනෙක් ඉන්නවා, එයා  ගෙ හැසීරීම අන්තිම නරකයි. වචන වලින් හරිම ගුණවත්. එයාගෙ ක්‍රියාව ගැන කේන්ති ආවොත්, කමක් නෑ අඩුගානේ එයාගෙ වචන හරි හොඳයිනේ කියලා තරහ නිවාගන්න පුළුවන්.

ගමනක් යද්දි වෙහෙසින් හෙම්බත් වුණු තිබහෙන් දිව ගිළෙන්න එන වෙලාවක දකින්න ලැබෙනවා, දිය සෙවෙළ, පෙඳ, පාසි, පෙණ පිරිච්ච පොකුණක්. ඒත් තිබහ නිසාම අර මනුස්සයා, අතින් පෙණ, පාසි ඈත් මෑත් කරලා, වතුර බොනවා.

ඒ වගේ, කෙනෙක් ගේ වචන අන්තිම නරකයි. විශ්වාස කරන්න බැරි පොරොන්දුත් දෙනවා. ඒ වුනාට අනිත් අයට හරියට උදව් කරනවා. මඟ හරින්නෙ නෑ. ක්‍රියාවෙන් අන්තිම හොඳයි. ඒ වගේ කෙනෙක් ගැන කේන්ති ගිය වෙලාවක, එයාගෙ වචන ගැන නොහිතා, ක්‍රියාව ගැන හිතලා තරහ නිවාගන්න පුළුවන්.

කලින් කිව්වා වගේම හෙම්බත් වුණ, තිබහෙන් පෙළුණු කෙනෙක් දකිනවා, ගව කුරයකින් හෑරුණු වළක දිය පොදක් තියෙනවා. එයා හිතනවා, මම මේකෙන් හරි දිය බිව්වෙ නැත්නම් මම කළන්තෙ දායි. මේකෙ දිය අතින් ගන්න ගියොත් මඩ වෙනවා. ඒ නිසා තිරිසනෙක් වගේ හතරපයින් වැටිලා කට තියලා වත් බොන්න ඕනෙ කියලා.

ඒ වගේ, කෙනෙක් කරන්නෙත් අන්තිම පහත් වැඩ. කියන්නෙත් ඊට අන්ත දේවල්. හැබැයි ඉඳ හිට හරි එයාට යහපත් දේවල් ගැන හිතෙනවා. එහෙම කෙනෙක් ගැන තරහක් ඇති වුණොත් අර ඉඳ හිට හරි එයාගෙ හිතේ ඇති වෙන හොඳ ගැන හිතලා කේන්තිය නිවාගන්න පුළුවන්.

ආබාධිත කෙනෙක්, ලෙඩ වෙලා, දුර ගමනක් යනවා. එයාට යන්න තියෙන දුරත් වැඩියි. ආපහු ගෙදර යන්න තියෙන දුරත් වැඩියි. හොඳ කෑමක් බීමක් ලැබෙන්නෙත් නෑ, බෙහෙතක්, උපස්ථානයක් ලැබෙන්නෙත් නෑ. කවුරුවත් එයාට යන්න උපකාර කරන්නෙත් නෑ. ඒ වගේ කෙනෙක් දැක්කම හිතෙනවා, ‘අනේ මේ මනුස්සයා, එයාට හොඳ කෑම ටිකක්, බෙහෙත් ටිකක් ලැබෙනවා නම්, එයාට උපස්ථානය කරන්න කෙනෙක් ඉන්නවනම්, එයාව උස්සගෙන අරන් යන්න කෙනෙක් ඉන්නවනම්‘ කියලා. මේ මනුස්සයට අනතුරක් වෙනවට අපේ තියෙන මානුෂිකබව නිසා අපි කැමති නෑ.

ඒ වගේ, කෙනෙක් ගෙ වචනත් අන්තිම නරකයි. ගතිගුණත් අන්තිම නරකයි. මිනිහා හොඳ දෙයක් ගැන ඉඳ හිටවත් හිතන්නෙත් නෑ. එහෙම වෙන්නෙ එයා ට හොඳ ආශ්‍රයක් ලැබිලා නැති නිසා වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ගැන අපි අනුකම්පාවෙන් බැලුවොත්, කරුණාව ම දක්වන්න පුළුවන්.

පිරිසිදු සීතල වතුර පිරුණු, ගස් සෙවණින් වට වුණු පොකුණකට ගමන් වෙහෙසින් මිරිකුණු, තිබහෙන් කළන්ත වෙන්න යන කෙනෙක් එනවා. එයාට හොඳට වතුර බීලා, නාලා, ගස් සෙවණේ විවේක ගන්න පුළුවන් වෙනවා.

ඒ වගේ, හොඳ වචන කතා කරන, ගුණවත්, හොඳ දේවල් ගැන හිතන කෙනෙක් ඉන්නවානම්, එයා ගේ හොඳ වචන, හොඳ ක්‍රියා, හොඳ සංකල්පනා ගැනම තමයි අපේ හිත යොමුවෙන්නෙ. මොන හේතුවකට හරි එයා ගැන තරහක් ඇති වුණත්, ඒක නිවෙනවා.

කේන්තිය, ද්වේෂය, අපේ හිත ලෙඩ කරවනවා. ඒකෙන් විනාශ වෙන්නෙ අපේ මනසෙ තියෙන සැනසිල්ලයි. ඉතින් ඒ ගැන හොයද්දි මට බුද්ධ දර්ශනයෙන් හම්බවුණු තියරිය තමයි මේ. කොච්චර ගැඹුරුද, කොච්චර සරළද?

වෙසක් කළාපයේ තවත් ලිපියකින් හමුවෙමු. එතෙක් ඔබෙන් සමුගන්නා මම, සත්ගුණවත් ඩ්‍රැකී උපාසක.

පින්තූරය ණයට ගත්තෙ (ආපහු දෙන්න බලාගෙන) : http://farm1.staticflickr.com/15/68831676_8276fd4252_z.jpg?zz=1
ප/ලි 
මේ ගැන හොයද්දි මට http://amadamvila.net කියලා සයිට් එකක් හම්බවුණා.
වෙසක් උනාට බේගලයක් ඇදබාන්නෙ නැතුව හරිම අමාරුයි. නිකං කෑවෙ නෑ වගේ.

Friday, May 10, 2013

මිහින්තලා පුවරු ලිපි



(මේ ලිපියත් සඟරාවක පළ වූවකි. ලියූ ශෛලියෙන් කියවන්නාට ඇති වන ගැහැට ගැන තරහ අවසර...)



ලක්දිව ප‍්‍රාග් බෞද්ධ සමාජය පිළිබඳ යම් පමණක අවබෝධයක් ඓතිහාසික මූලාශ‍්‍ර ඇසුරු කිරීමෙන් ලැබිය හැක. මහාවංශයේ සඳහන් වන පණ්ඩුකාභය රජතුමාගේ අනුරාධපුර සැළසුම මේ සම්බන්ධ පැහැදිළි හෝඩුවාවක් සපයයි. ඒ අනුව, වෛශ‍්‍රවණ, මාලධී ආදී යක්ෂයන් හට පුද පූජා පැවැත්වීම ද, ඒ ආශ‍්‍රිත වෘක්ෂ වන්දනාවද, තාපසයන්, නිඝන්ඨයන්, සිඟා ඇවිදින ශ‍්‍රමණයන්, ආජීවකයන්, බ‍්‍රාහ්මණයන් මෙන්ම ශිවාගමය පිළිබඳව අනුමාන කළ හැකි සූතිකාගාරයක් පිළිබඳ සඳහනක් ද දැකගත හැක. එසේම සමාජ ස්තරායනය පදනම් වූ ශ‍්‍රම විභජනයක් එවක පවතින්නට ද ඉඩ ඇත. චණ්ඩාලයන්, අනගාරික පැවිද්දන් සහ ප‍්‍රභූ ජනයා ගේ පරිභෝජනයත්, නියම්ගම් වල පැවති නිෂ්පාදන හුවමාරුවත් සඳහා සෑහෙන අතිරික්තයක් නිපැයූ ගොවියන් ඇතුළත් වූ මධ්‍යම පංතියක් පවතින්නට ඇති බව සළකා ගත හැක්කේ, ඒ පිළිබඳව වක‍්‍රව සඳහන් වන කරුණු මගිනි. පණ්ඩුකාභය රජ විසින් අභය වාපිය ඉදිකරවන ලද්දේ හුදෙක් නගරාලංකරණය පිණිස ම නොව කෘෂිකර්මාන්තය උදෙසා ද විය යුතුය. එතුමා මුලින්ම ස්වර්ණපාලි කුමරිය හමුවන අවස්ථාවේ වප්මඟුලකට සහභාගී වී සිටි ඇගේ පියා ට ඇඹුල ගෙන යමින් සිටියා ය. එයින් පෙනෙන පරිදි ගොවිතැන රාජකීය මැදිහත් වීමෙන් උසස් බවට පමුණුවා ප‍්‍රවර්ධනය කර පැවති බව පැහැදිළිය.


මුලින් චණ්ඩ බව හේතුවෙන් ප‍්‍රකට ව සිටි, කළාපයේ ඉතාම බලවත් අධිරාජ්‍යයාගේ මැදිහත්වීමෙන් සහ දිවයිනේ මූලික රජතුමාගේ අනුග‍්‍රහයෙන් බුද්ධ දර්ශනය, ආගමක් සහ ශික්ෂණයක් ලෙස ලක්දිව ස්ථාපිත වූ පසු, මෙරට සංස්කෘතියේ කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදු වූ බව පොදු පිළිගැනීම යි. සාම්ප‍්‍රදායික ඇදහීම් හා අභිචාර වලින් වෙනස් වෙමින් බුද්ධාගමේ පැවති ගැඹුරු දර්ශනය, අවිහිංසාව, අල්පේච්ඡතාව සහ ලෝකෝත්තර නිවීම කෙරෙහි යොමු වීම වැනි හේතු ද, එම මහා සම්ප‍්‍රදාය මෙරටට හඳුන්වා දීමේ දී මිහිඳු හිමියන් ලක්දිව පැවති සංස්කෘතියට හුරු වන පරිදි සිදු කළ අනුවර්තනයන් ද නිසා ඉතා කෙටි කලක් ඇතුළත බුද්ධාගමය දිවයින තුළ තහවුරු විය. ප‍්‍රභූ ජනයාගේ ප‍්‍රමුඛත්වයෙන් බොහෝ දෙනා පැවිදි බිමට එළඹීම හේතුවෙන් සමකාලීනව ඉතා කෙටි කාලයක් තුළ සෑහෙන තරමක භික්ෂු ගහණයක් ලක්දිව ඇතිවූ බව සාහිත්‍ය මූලාශ‍්‍ර විමර්ශනය කිරීමෙන් සැළකිය හැක.


ජනතාව වෙනුවෙන් ආධ්‍යාත්මික සහ අධ්‍යාපනික සේවා සැපයූ මහා සංඝයා වහන්සේ ගේ අවශ්‍යතා පාලකයන් සහ සාමාන්‍ය වැසියන් අතින් නොපැකිළ ඉටු වූ බව වංශකථා වල දැක්වෙන පූජා විස්තර මෙන්ම, වඩා සජීවී සහ අතිශයෝක්තියෙන් අඩු ප‍්‍රකාශ ලෙස සැළකිය හැකි සෙල් ලිපි වලින් ද තහවුරු වේ. මහාවිහාරයෙන් සහ සෑගිරිය හෙවත් මිහින්තලා ආරාමයෙන් ඇරඹි විශාල ආරාම සංකීර්ණ වල නඩත්තුව සඳහා විශාල වතු, වනාන්තර සහ කුඹුරු සහිත ගම්මාන රජවරුන් විසින් එකී විහාර වෙත පූජා කරන ලදි. භික්ෂූන් වහන්සේ හට මුදල් පාලනය සහ ආශ‍්‍රිත කටයුතු අකැප වූ හෙයින් මෙම නින්දගම් පරිපාලනය විධිමත්ව මෙන්ම විනිවිද භාවයෙන් ඉටු කිරීමේ සංවිධාන ව්‍යුහයක් සකස් කිරීම අවශ්‍යතාවයක් විය. මෙවැනි සංවිධාන ක‍්‍රමයක් පිළිබඳ දැනට ඇති හොඳම සාධක වලින් එකක් ලෙස ක‍්‍රි. ව. 10 වන සියවසට අයත් වන මිහින්තලා පුවරු ලිපි සැළකිය හැක. සිවු වන මිහිඳු රජතුමා (ක‍්‍රි. ව. 955  972) විසින් කරවන ලද මෙම අභිලේඛනය මිහින්තලා ආරාමයේ දාගෙය ලෙස හඳුනාගෙන ඇති නටඹුන් ගොඩනැගිල්ලේ ප‍්‍රවේශ දොරටුව දෙපස පිහිටුවා තිබේ.


මිහින්තලා පුවරු ලිපි වල අන්තර්ගතය


1 ලිපිය

සිරිබර ක්ෂිත‍්‍රිය කුළයට කොතක් වැනි ඔක්කාක රජ පරපුරෙන් පැවතෙන ක්ෂිත‍්‍රිය උත්තම වූ අභය සළමෙවන් මහරජ හට, එම කුළයෙන් සංජාතවූ දේවී නම් අප‍්‍රධාන බිසෝ රැජින කුසයෙහි ඉපිද, ඈපා මහයා සිරි විඳ, පිළිවෙල සේ රජ වී, තම සිරියෙන් ලක්දිව පහදවමින් සිටි සිරිසඟබෝ අභය මහරජහු, තමා සේසත් නැඟූ සොළොස්වන අවුරුද්දෙහි වප් මස පුර පක්ෂයේ දසවක දවස, සෑගිරි වෙහෙරෙහි ද, අභයගිරි වෙහෙරෙහි ද වසන මහ භික්ෂු සංඝ හිමිවරුන් මහ සන්නිපාත රැස් කරවා, තමාගේ සොහොයුරු රජ විසින් සෑගිරි වෙහෙරේ පෙර තැබූ සිරිතින් ද, අභයගිරි වෙහෙරේ සිරිතින් ද, (සංඝයා වහන්සේ) කැමති කරවා ගෙන, මේ වෙහෙරට මේ සිරිත් තිබීම වටීයැයි සුදුස්සන් සමඟ සසඳා, මේ වෙහෙරේ වසන භික්ෂු සංඝ හිමිවරුන්ට ද, නිලධාරීන්ට ද, දාසයන්ට ද, කළයුතු දේ ද, ලැබිය යුතු හා දියයුතු ආකාරය ද, විචාරණයෙන් එක සමාන කොට මේ සිරිත් තැබූහ.


මේ වෙහෙරෙහි වසන භික්ෂු සංඝ හිමියන් විසින්, බාල පැසුළු යාමයෙහි (ඉතා උදෑසනින්) නැඟිට, චතුර් ආරක්ෂා මෙනෙහි කොට, දැහැටි කිස නිමවා, සිඛකරණියේ කියා ඇති පරිදි සිවුරු හැඳ පෙරෙව, ඇතුල් වෙහෙරේ ලහබත් ගෙයට පැමිණ, මෙත් පිරිත් සජ්ඣායනා කර, බැහැරව, කැඳ බත් ගත යුතු ය. ගිළන් වීමෙන් ලහබත් ගෙයට යා නොහෙන හිමිවරුන් ට වෙදුන් කියූ කල (ආහාර) කොටස දිය යුතු ය. මේ වෙහෙර වසමින් විනය පිටකය උගන්නා භික්ෂු සංඝ හිමියන් ට වස්ත‍්‍රයෙන් හා ආහාරයෙන් කොටස් පහක් ද, සූත‍්‍රාන්ත පිටකය උගන්නා භික්ෂු සංඝ හිමියන් ට කොටස් හතක් ද, අභිධර්ම පිටකය උගන්නා භික්ෂු සංඝ හිමියන් ට කොටස් දොළහක් ද දිය යුතු අතර, දායකයන් තීරණය කොට සංඝයාහට දීමට සැළසූ ප‍්‍රත්‍ය නොපිරිහෙළා දිය යුතු ය.


මේ වෙහෙරට අයත් තාක් ආවාසයට බැඳුණු ගම් බිම්, මෙහිම දැකුම් දී, නිබඳව වාසය කොට වළඳත් මිස, (මෙම විහාරයට) ආබද්ධ (වෙනත්) ආවාස හා එක්කාසු වී නොවැළඳිය යුතුය. සංඝ සමඟියෙන්, නිලධාරීන් හට විධාන දෙතොත් හෝ තර්ජනය කරතොත් මිස, පෞද්ගලිකව නොවැදෑරිය යුතු ය. මේ වෙහෙරේ වසන භික්ෂු සංඝ හිමියන් ඇතුල් වෙහෙරට බැඳි තාක් තැන්හි කුඹුරු, අරඹ (වතු) ආදිය කවර ආකාරයකින් හෝ භුක්ති නොවිඳිය යුතුය. තම නෑදෑ හිතවතුන් (ප‍්‍රති බද්ධ) විසින් ඇතුල් වෙහෙර ආබද්ධ තාක් තැන් හි නායක කම් කිරීමට නොදිය යුතුය. මෙම සිරිත් ඉක්මවූ හිමිවරුන් මේ වෙහෙරෙහි නොවිසිය යුතු ය.


වෙහෙර බලන හිමියන් ද, වෙහෙර පරිපාලන නිලධාරියා ද, නියමු ජ්‍යෙෂ්ඨයා ද, අයකැමියා ද, පරීක්ෂක නිලධාරියා ද, වෙහෙර ලේකම් ද, කරඬු ලේකම් ද, කරඬු අතසන් කරන්නා ද, ඇතුලත්ව මෙතුවක් දෙනා අභයගිරි විහාරයෙහි මූලායතන දෙකෙන් කටයුතු සම්පාදනයට පැමිණි සංඝයා වහන්සේ සමඟ ඇතුල් වෙහෙරෙහි සිට කටයුතු කොට, අභ්‍යන්තර - බාහිර අය වැය ආදී කටයුතු කළ යුතු ය. අභ්‍යන්තර - බාහිර අයවැයෙහි නියුක්ත නිලධාරීන් නැසූ දෙයක් ප‍්‍රතිපූර්ණය කිරීම සඳහා, නිසි ගෙහිමියන්ගෙන් ඇප ගෙන, ප‍්‍රධාන නිලධාරීන් සමඟ තැබිය යුතු ය.


මේ වෙහෙර වසන හිමිවරුන්ගේ නෑ හිතවතුන් සිටිතහොත්, සේවයේ නොතැබිය යුතු ය. සේවයෙන් ඉවත් කළ යුතු නිලධාරීන්, (ඔවුන් ගේ භාරයේ පැවති) ලේඛන උපකරණ ආදිය ගෙන ඉවත් කළ යුතු ය. මුද්‍රා තබන කරඬු, ප‍්‍රධාන නිලධාරීන් සහ නිලධාරීන් ගේ මුද්‍රාවෙන් මුද්‍රා තබා, දාගෙහි නිලධාරීන් ඉදිරිපිට දී දාගෙහි තැබිය යුතු ය. මේ වෙහෙරෙහි නියුක්ත නිලධාරීන් අතරින් වෙහෙරේ කටයුත්තක් සඳහා වෙනත් තැනකට ගිය කෙනෙකුන් මිස, ස්ථානයේ සිටි නිලධාරීන් ගෙන්, දන්වැට තබන තැන ද, සහල් ගන්නා තැන ද, පෙරවරු කැඳ බත් සාදන තැන ද, තුන් දෙනෙකුගෙන් නොඅඩුව පසෙක සිටිය යුතු ය. ඇතුල් වෙහෙරේ දාගෙය ට සම්බන්ධ කවර වස්තුවක් වත්, පිරුළට (තාවකාලිකව ණය ට) නොදිය යුතු ය. නිලධාරීන් විකුණා ද නොගත යුතු ය. මෙහෙයට බැඳුණු මිනිසුන් ගෙන්, නිලධාරීන් තමන්ට මෙහෙ නොගත යුතු ය. වෙනත් තැනක මෙහෙයට නොදිය යුතු ය.


කණ්ඨක මහ සෑයෙහි නව කර්මාන්තයන්ට දම්ගමුවෙන් දුන් පෑළ, ඇතුල් වෙහෙරේ නිලධාරීන් බලාගෙන, දාගැබේ නව කර්මාන්ත කරවිය යුතු ය. කිරිභන්ඩ  පවු දාගැබෙහි ආරක්ෂාවට, ඇල්ගමුවෙන් දුන් දෙ කිරිය දී ආරක්ෂා කරවිය යුතු ය. දාගැබෙහි ද, මඟුල් මහ සල් පිළිමගෙහි ද, මහබෝධිගෘහයේ ද, නයින්දේ ද, මිණි නාල් දෙව් දුවගේ ගෙහි ද, කණ්ඨක මහ සෑයේ ද, කිරිභන්ඩ පවු දාගැබෙහි ද, පර්වතය මත සහ පහළ ඇතුල් වෙහෙර සම්බන්ධ දාගැබ්හි ද, යන මේතාක් තැන් වල පූජා වෘත්තිය ද, ඇතුල් වෙහෙරින් රන් කළං එක් සියයක් ද, වී දස යාළක් ද, යන මේ තාක් ගෙන, අවුරුදු පතා මේ වෙහෙරෙහි දාගැබ් ආදී සෑම තැන්හි ම නව කර්මාන්ත කරවිය යුතු ය.


දාගෙයට ත්, පිළිමගෙයට ත්, අයත් ගුත’, කරන්ද යන දෙගම්හි, දුම් මල් (හෝ දුම්මල) සපයන්නන් ගේ ගෘහ බද්ද කුඩා බද්දක් කර, පෙරළිකාරයන්ගේ බැළය වෙහෙරට ගත යුතු ය. කිරිභන්ඩ පවුවෙහි ගස් ගැසියෙන් (ගස් වැල්) තුනෙන් එකක් ද, මෙහි සඟ්වැල්ලෙහි (එනම් ගමෙහි) ගෙවල් කුළිය ද, මූණු වැව ද, ළිහිණිය පවුවෙහි ඉහළ පහළ වැව් දෙක ද, මෙහි සඟ්වැල්ල ද, පහනෑවිල්ල වටා බිම ද, පොරොදෙනි පොකුණ වටා බිම ද, මේ තාක් තැන් හි ලැබීම්, වෙහෙරට ගත යුතු ය. වෙහෙරේ දාසයන් හා නිලධාරීන් හැර, වෙහෙර භූමියේ වසන ගෙහිමියන් ගෙන්, බිම් කුළිය නිසි සේ වෙහෙර ට ගත යුතු ය. කසාවත් ගත් වේෂයට අනුරූප නොවන, ක‍්‍රය - වික‍්‍රය ආදී කටයුතු කරන්නවුන් ට ද, පණීවා (ප‍්‍රාණඝාත) කරන්නවුන් ට ද, පර්වත සීමාවේ විසිය නොදිය යුතු ය. වෙහෙර සඳහා මිස දැකුම්කළු වස්තු නිලධාරීන් නොගත යුතු ය. මේ වෙහෙරට ආබද්ධ තාක් ගම් බිම්, කාර්යයන් හි බැඳ තැබීමට සළසනු මිස, බද්දට නොදිය යුතු ය.


තුන් දිනකට වරක් ලැබෙන නිවාඩුව මිස, පොහොය, මඟුල් ආදී සෙසු නිවාඩු නොගත යුතු ය. නිලධාරීන්, වෙහෙර දාසයන් (තමන් ට) ජීවිකාව පිණිස දුන්නාක් මිස, ඇතුල් වෙහෙරට ආබද්ධ තාක් තැන් වල උකස් / ප‍්‍රවේණි / බදු කොට කුඹුරු, රුප්පා (වතු) ආදිය නොවැළඳිය යුතු ය. වෙහෙරේ කටයුත්තකට ගිය නිලධාරීන්, ශස්‍යකාරයන් දෙන පෙර සිරිත් බිළි සහල් මිස, බැහැරින් වැටුප් නොගත යුතු ය. ගෙහිමියන් ගෙන් පඬුරු නොගත යුතු ය. මොවුන් ගෙන් හීළෑ ගොනුන් ගෙන, නිලධාරීන් තමන් සඳහා ගොවිකම් නොකරවිය යුතු ය. ශස්‍යකාරයන් පරපුරෙන් පවතින බදු කුඹුරු, පවත්වාගත නොහැකි වුව හොත් මිස, (ඔවුන්ගෙන්) ලබා නොගත යුතු ය. වතු පෙත් වලට වැද නීති විරෝධී දේ නොකළ යුතු ය. ගස් කොළ නොකැපිය යුතු ය. මේ වෙහෙරට අයත් තාක් ගම් බිම් වල තල, මී ආදී පල ඇති රුක්, නිලධාරීන් එකතුව දුනහොත් මිස කැපිය නොදිය යුතු ය.


ගෙහිමියන් කළ වරදක් ඇතොත් ගම් සිරිත් පරිදි දඩ ප‍්‍රමාණ කොට, ප‍්‍රමාණ කළ දඩය මැන සළකුණු කර, වට ප‍්‍රමාණය සොළොස් රියන් ද, ගැඹුර රියනක් ද වූ කැබැල්ල බැගින් ගෙන වැව් මෙහෙ කරවිය යුතු ය. (වැව් මෙහෙය) නොකරතොත්, ප‍්‍රමාණ කළ දඩය ගත යුතු ය. වෙහෙරට අයත් තාක් ගම් බිම් හි ලාභයන්, ජීවිකා කොට දුන්නාක් මිස ඉතිරි තාක් තැන් සම්බන්ධයෙන් නිලධාරීන් සමඟ ප‍්‍රත්‍යක්ෂ වන සෙයින් අය කළ තාක් පඤ්චිකා පොතෙහි ලියවිය යුතු ය. මහපාක වෘත්තියට ද, වැටුප් ගෙවීමට ද, නව කර්මාන්තයන් ට ද, දවස් පතා වැය වූ තාක් පඤ්චිකා පොතෙහි ලියවා, ප‍්‍රධාන නිලධාරීන් එකතු වී අත්සන් කර, සන් තැබිය යුත්තන්ගේ මුද්‍රාවෙන් පිහිටුවා, මුද්‍රා තබන කරඬුවෙහි තබා, මාසයක් මාසයක් පතා ම අත් පොත් ඉවත ලා, එක් අත් පොතක් කොට, අවුරුද්දකට ඇති අත් පොත් දොළොසින්, අවුරුදු අවසානයේ ලේකම් පොත කරවා, සංඝයා මැද දන්වා නිමා කළ යුතු ය. මේ සිරිත් ඉක්මවූ නිලධාරීන් ගේ ගෙය දඩයට ගෙන, සේවයෙන් හැරිය යුතු ය.


2 ලිපිය

විහාරය බලන හිමියන් ට දවස් පතා සහල් එක් නැළියක් ද, වස්සාන බණ ට රන් කළඳක් සහ සතර අකක් ද, පවාරණ බණෙහි දී ද මෙතෙක් ම ද, නියාමක දෙටුවෙකු හට ජීවිකාව පිණිස පස් කිරියක් ද, දවස් පතා සහල් එක් නැළියක් ද, අවුරුද්දකට සුදුකම් (හුණු ගෑම) සහ මල් මිල ට පසළොස් කළඳක් ද, අයකැමියා ද, වෙහෙරේ ලියන්නා ද, කරඬු ලියන්නා ද, කරඬු අත්සන් තබන්නා ද, පරීක්ෂක නිලධාරියා ද, (යන අයගෙන්) එක් අයෙකුට පස් කිරියක් බැගින් ද, පිරිවහන වෘත්තියේ නිලධාරියෙක් හට එක් කිරි දෙපෑළක් ද, සහල් මනා දෙක හමාරක් ද, සරසන්නෙකු ට දෙපෑළක් ද, සහල් මනා එකහමාරක් ද, මඟුල් දෙටුවෙකු (ජ්‍යෙෂ්ඨ උත්සව සංවිධායක) හට එක් කිරියක් ද, දමියෙන් (එනම් ගමෙන්) කොටසක් ද, අවුරුද්දකට සුදු කම් හා මල් මිල ට කළං තුනයි දෙ අකක් ද, පහන් වැටි නිලධාරියෙකු හට එක් කිරියක් ද, දමියෙන් කොටසක් ද, මහ බෝ සතුටු මංගලයෙහි පිළි සඳහා එක් කළඳක් ද, මැටි පාත‍්‍ර කරුවෙකුට එක් පාදයක් ද, සහල් දෙ පතක් ද, (වෙහෙරින්) පිට මෙහෙකරුවෙක් හට ද, රජගෙයි උපන් නිලධාරියෙකු හට ද, එක් අයෙකු ට එක් කිරි දෙපාදයක් බැගින් ද, එක් අයෙකු ට මනා දෙක හමාර බැගින් සහල් ද, සොළී බෙරවායෙකු ට දෙපාදයක් ද, සහල් මනා එකහමාරකුත් දෙ පතක් ද, පධානඝර පරිපාලකයෙක් හට දෙපාදයක් ද, දමියෙන් කොටසක් ද, රතන සූත‍්‍ර මහබෝ මංගලයෙහි පිළි සඳහා එක් කළඳක් ද, පර්වත පරිපාලකයෙකු හට දෙ පාදයක් ද, දමියෙන් කොටසක් ද, ඇළ නායකයෙකු (ජල සම්පාදක නායක) හට දෙපාදයක් ද, සහල් මනා එකහමාරකුත් පතක් ද, ජලසම්පාදකයින් එකොළොස් දෙනෙකු හට එක් අයෙකුට දෙපාදය බැගින් ද, දමියෙන් කොටස බැගින් ද, කුළීි කරුවන් සතර දෙනෙකු හට එක් අයෙකු ට මනා එක හමාරක් බැගින් සහල් ද, එක් අයෙකු ට ජීවිකාව පිණිස දෙපාදය බැගින් ද (දිය යුතු ය.)


මේ වෙහෙරෙහි භික්ෂු සංඝ හිමියන් ට වැඩිමහලූ පිළිවෙලින් සිවුරු සකස් කොට, එක් අයෙකුට ලද්දාවූ (මිළ) සිවුරු සාදන නිලධාරීන් බෙදා ගත යුතු ද (වන අතර), වෙහෙරේ අත්සන් කරන දෙදෙනෙකු හට එක් අයෙකුට දෙපාදය බැගින් ද, සහල් මනා එක හමාරකුත් පතක් බැගින් ද, කෝෂ්ටාගාර ආරක්ෂක නායකයෙකු හට දෙපාදයක් ද, සහල් මනා එක හමාරකුත්් දෙ පතක් ද, කෝෂ්ටාගාර ආරක්ෂකයෙකු හට දෙපාදයක් ද, සහල් මනා එක හමාරක් ද, දෙටු මව ට පාදයක් ද, සහල් මනා එක හමාරකුත් දෙ පතක් ද, බත් ගෙයි ලැදියට (බත් ගෙය භාර ස්ත‍්‍රියක් විය හැකි බව විමලකිත්ති හිමියන් ගේ අදහස යි) පාදයක් ද, සහල් මනා එක හමාරකුත් දෙපතක් ද, දාසීන් හට විධාන කරන ස්ත‍්‍රියක් හට දෙපාදයක් ද, පිරිවර දාසීන් විසි හතර දෙනෙක් හට එක් අයෙකුට පාදය බැගින් ද, අවුරුද්දකට පිළි කාරයන් හට එක් අයෙකුට කළඳ බැගින් ද, සඟ් වැල්ලෙහි උපන් නිලධාරියෙකු හට කිරියක් ද, සහල් අඩ මනාවක් ද, පිසින (උයන) සේවකයන් දොළොස් දෙනෙකු හට එක් අයෙකුට තළොල ගමින් (එනම් ගම) කිරියකුත් දෙ පාදයක් ද, සේවක දෙටුවෙකු හට සහල් මනා එක හමාරකුත් පතක් ද, දර ගෙනවුත් බත් පිසින සේවකයෙකු හට සහල් මනා තුන හමාරක් ද, නො පිස, දර සපයන සේවකයෙකු හට ද, ගමන් මුරය ගිය සේවකයෙකු හට ද, එක් අයෙකු හට සහල් මනා දෙක හමාරක් බැගින් ද, ගෙනා දර වලින් බත් පිසින සේවකයෙකු හට සහල් මනා එක හමාරක් ද, පහයේ වසන දෙටුවෙකු හට දෙපාදයක් ද, සහල් මනා එක හමාරකුත් පතක් ද, පහයේ වසන එකොළොසක ට එක් අයෙකු හට දෙ පාදය බැගින් ද, එක් අයෙකු හට සහල් මනා එක හමාරක් ද, දවස් පතා යලා පහක් සපයන කුඹලූන් පස් දෙනෙකු හට එක් අයෙකු ට කිරිය බැගින් ද, මාසයක් මාසයක් පාසා පාත‍්‍රා දහයක් සහ කළ දහයක් සපයන පාත‍්‍රා කුඹලෙකු හට කිරි දෙකක් ද, සහල් මනා දෙක හමාරක් ද, මසකට පෙරහන් කඩක් සපයන පෙරහන් සාදන්නියක ට කිරියකුත් දෙපාදයක් ද, වෙදෙකු හට දෙතිසෑ හේනෙන් නින්ද ගම් (වශයෙන්) පෑළක් ද, දමියෙන් කොටසක් ද, කූඬළු වෙදෙකු හට (කූඬැල්ලන් යොදවා ලේ හරවන) දෙපාදයක් ද, දමියෙන් කොටසක් ද, මඩොව්වෙකු හට (කෂාය සාදන්නෙකු විය හැක) කිරියකුත් දෙ පාදයක් ද, දමියෙන් කොටසක් ද, නැකැතියෙකු හට කිරි දෙකක් ද, දමියෙන් කොටසක් ද, කරණෑමියෙකු හට කිරියක් ද, දමියෙන් කොටසක් ද, දාගෙයි අත්සන් කරන්නෙකු හට ද, ගණ දෙටුවෙකු හට ද, කරඬු ලියන්නෙකු හට ද, වාර දෙටු (වාරයකට අනුව වෙහෙර ආරක්ෂා කරන ප‍්‍රධානීන්) තුන් දෙනෙකු හට ද, (යන) මොවුන්ට ජීවිකාව පිණිස කරන්දෑගම ද, වරින් වර දුම් මල් සපයන්නෙකු හට දමියෙන් කොටස් හතරක් ද, දාගෙහි (පහන්) වැටි හා තෙල් සඳහා මෙම ගමින් පෑළක් ද, දාගෙහි සුදු මල් ගෙනෙන මල් කරුවන් දෙදෙනෙකු හට මෙම ගමින් දෙ කිරියක් ද, දමියෙන් එක බැගින් කොටස් ද, මසකට එක සිය විස්ස බැගින් මල් දෙන මහනෙල් ගොවියෙකු හට සපු ගමින් දෙ කිරියක් ද, සිත්තරෙකුට දෙ කිරියක් ද, දාගෙය රකිනා රට ලද්දෙකු හට සහල් එක නැළියක් ද, මහ බුදු ගෙහි දුම් මල් සපයන්නන්ට ද, බණ වදාරණ දැහැමියන් ට ද, දැහැමි ආචාර්යයන් ට ද, යන සය දෙනෙකු හට, (යන) මොවුන්ට ගුතෑගම ද, මහ බුදු ගෙහි මල් කරුවන් හට මෙගමින් දෙපාදයක් ද, දමියෙන් කොටසක් ද, මේ ගමෙහි දුම් මල් සපයන්නෙකුට දමියෙන් කොටස් දෙකක් ද, කර්මාන්ත භාරකරුවන් ට අයෙකු ට දෙපාදය බැගින් ද, එක් අයෙකුට මනා එක හමාරකුත් දෙපතක් බැගින් සහල් ද, දාගෙහි බුද්ධ අභිෂේකයට තෙල් ගන්නා එක් බඳුනක් ද, දිය පෙරහන එක් වස්ත‍්‍රයක් ද, පිළිමගෙහි ද මේ තාක්ම ද, (තැබිය යුතු ය)


කාර්මිකයන් (සම්බන්ධ) ලේකම් (තනතුර) දරන්නෙකු ට කිරියකුත් දෙපාදයක් ද, සහල් මනා දෙක හමාරක් ද, වඩු මහ ඇදුරෙකු හට බොඩ වෙහෙර නම් හේන ද, වඩු ඇදුරන් දෙ දෙනෙකුට ද, සීරු (කැටයම්) වඩු අට දෙනෙකු හට ද, උළු වඩුවන් දෙ දෙනෙකු ට ද, (යන) මොවුන්ට වඩු දෙවෑගම ද, ලී වඩු දෙ දෙනෙකු හට එක් අයෙකුට කිරිය බැගින් ද, මණිකාර මහ ඇදුරු දෙදෙනෙකු හට එක් අයෙකු ට තුන් කිරිය බැගින් ද, කඹුරන් (ලෝකුරු) දෙ දෙනෙකු හට, අයෙකු ට කිරියක් බැගින් ද, හුණු පුළුස්සන්නන්ට හුණු බොල් දෙවෑගම ද, ගැල් කරු සය දෙනෙකු (වන) මොවුනට දුනුගම ද, නවකම් වල නියුතු කැබළි ගමක දෙටුවෙකු හට කිරියක් ද, සහල් මනා එක හමාරකුත් පතක් ද, කැබළි ගම් වල දොළොස් දෙනෙකු හට සහල් මනා එක හමාර බැගින් ද, මොවුනට ජීවිකාව පිණිස දෙපාදය බැගින් ද,


නවගුණ මහ සෑයෙහි ද, නැටෙවිය මහ සෑයෙහි ද, ඈමබුලූ මහ දාගැබෙ හි ද, සෑ ගොවුවන් (දාගැබ් ආරක්ෂකයන්) තුන් දෙනෙකු හට, අයෙකු ට දෙ පාදය බැගින් ද, මේ වෙහෙරේ උඩුගල ට, යටිගල ට (පර්වතය උඩ සහ පහළ) ද, ඇත්වෙහෙරට ද ප‍්‍රති බද්ධ දාගැබ් ආදිය ඇමැද, පිරිසිදු කර රකින්නන් ට දමියෙන් එක බැගින් කොටස් ද, දාගෙහි ද, පිළිමගෙහි ද, බත් ගෙහි ද, (යන තැන් වල) මෙහෙ කරන මිනිසුන් පිණිස, පිළී ද, පොරෝණා කවච ද, හිස් වැසුම් ද, අපුල්ලන රදවුන් දෙ දෙනෙක් ද, (දී) මොවුනට මඟුලව (ගමෙහි) තුන් කිරියක් ද,


මේ වෙහෙරට බද තාක් ගම් බිම් හි මාර්ග බද්ද ද, කුළී බද්ද ද, මෙලාට්සි නම් බද්ද ද, මේ වෙහෙරට ම නින්ද කොට ගත යුතු ය. මගතොට අයාළේ යන්නන් නොවදනා ලෙස ද කළ යුතු ය. කණැවැවෙහි දිය වදනා තාක් තැන් වල, පෙර දෙමළ (පාලන) කාලයේ දිය බද්ද මේ වෙහෙරට ම ගත යුතු ය. මේ වෙහෙරට ආබද්ධ තාක් ගම් බිම් කවර පරියායකින් හෝ උකස් කිරීමට හෝ ප‍්‍රවේණි කොට හෝ නොදිය යුතු ය. (එසේ) ගත්තවුන්ගේ රන් (මුදල්) අහිමි කොට වෙහෙරට ම නැවත ගත යුතු ය. දුන්නවුන් දේශයෙන් යැවිය යුතු ය. (පිටුවහල් කළ යුතු ය) මේ නියමයෙන් තැබූ මේ සිරිත් නොඉක්මවා පැවැත්විය යුතු ය.


විමර්ශනය


මිහින්තලා ලිපි වල සඳහන් වන්නේ නීති මාලාවක් නොව සිරිතක් ලෙස පැවතීම අපේක්ෂා කෙරුණු විධි විධාන පෙළකි. මෙය පුරාණ ලක්දිව පැවති නීති ක‍්‍රමයේ පැවති සාර්ථක ලක්ෂණයක් ලෙස දැක්විය හැක. මූලික වශයෙන් මෙම ලිපි වල අන්තර්ගත වන ආරාමික පරිපාලන ක‍්‍රමයෙහි පැවතුනු සංවිධිත බව සැළකිය යුත්තකි. එහි ඇති මූලික ලක්ෂණ වන්නේ,


1. මෙම සිරිත මහා සංඝ සන්නිපාතයකදී සම්මත කෙරුණක් වීම,

2. විහාර පරිපාලනය පිළිබඳ කටයුතු පැවිදි පාර්ශ්වයෙන් ද, ඔවුන්ගේ නෑයන්ගෙන් ද වෙන් වූ කරුණක් වීම,

3. කිහිප දෙනෙක් එක්ව කටයුතු කිරීම සහ අධීක්ෂණය මඟින් විනිවිද භාවය පවත්වා ගැනීම,

4. සඟ සතු දෙය අයථා ලෙස හෝ ලාභ ලැබෙන පරිදි හෝ තම තමන්ගේ ප‍්‍රයෝජනයට හෝ නොයෙදවීම සහ නිලධාරීන් අත්ලස් ගැනීම වැළැක්වීම,

5. ආරාමයට අයත් සිද්ධස්ථාන වල පූජා කර්ම, අළුත්වැඩියා කිරීම් සහ වාර්ෂිකව හුණු ගෑම සඳහා ප‍්‍රතිපාදන සහ විධි විධාන සළසා තිබීම, ආදිය යි.


මීට අමතර වශයෙන් පහත සඳහන් අමතර කරුණු මෙම අභිලේඛනයෙන් උකහා ගත හැකි වේ.


1. විහාරගම් වල නිවාස වලින් බද්දක් ද, ඉඩම් වලින් බිම් කුළියක් ද අය කර ඇති බව,

2. යමෙකුගෙන් අය කළ යුතු බද්ද වෙනුවට වැව් කර්මාන්ත කරවීමෙන්, වාරි කර්මාන්තය ප‍්‍රවර්ධනය කර ඇති බව මෙන්ම එම වැඩ කොටස ද ඉතා නිශ්චිත ලෙස දක්වා ඇති බව,

3. විවිධ සංකීර්ණ කාර්යයන් සඳහා නිලධාරීන් සහ වෘත්තිකයන් රැසක් නියම කර ඇති බව සහ ඔවුන් සියල්ලටම රාජකාරි ක‍්‍රමය වැනි ක‍්‍රමයකින් ජීවිකාව සළසන ලද බව,


මෙකී නිලධාරීන් පහත පරිදි වර්ග කළ හැක,


පරිපාලකයන් සහ ලේකම් වරු හෙවත් ලියන්නන්

නකා බලන හිමියන්, වෙහෙර් පිරිවහනුවා, නියම් ජෙටු, ආ කැමියා, පසක් කැමියා, වෙහෙර් ලෙයා, කරඬ් ලෙයා, කරඬු අත්සමු, මඟුල් ජෙටු, පියන්ගල් පෙරෙවැළි, පවු පෙරෙවැළි, ඇළිනාවා, වෙහෙර් අත්සම්, කොට රැකිනාවා, දාගේ අත්සම, කම්තැන් ලෙදරු


වෘත්තිකයන්

වෙහෙර් දසුන්, කැමියන්, කම්තැන්, පිරිවහනු වත කැමි, සිවුර් සාහන කැමියන්, කොට රැකි, ජෙට් මවු, මිඩි වැජෑර්ම, වට් මිඩි, පහා වැසි ජෙට, පහා වැසි, කමස්සමක්, වඩු මහ ඇදුරු, ඇදුර වඩු, සිර් වඩු, උළු වඩු, කටු වඩු, මිණිර් මහා ඇදුර්, කම්බුර්, සුනුබොළ්නා, ගැල්ලන්, කම්නවෑමැ කැබිළි ජෙට, සෑගොවු, ගණ ජෙටු, වර්ජෙටු, දාගෙ රක්නා රට්ලදු, අපුලන රදවුන්



බත්ගෙයි වෘත්තිකයන්

බත්ගෙ ලැදි, පිසන සලයින්, සලා ජෙට, දර්නගා බත්පක් සලයා, නොපිසැ දර් නැගූ සලයා, ගමන් වර් ගිය සලයා, නැගූ දරැ බත් පක් සලයා


පූජා කටයුතු සඳහා භාණ්ඩ හා සේවා සපයන්නන්

වත්සිකා කැමි, මැටි පතක්, පිරි මස්සක්, ඔල්කැමි, පිළි වර, කුම්බල්, පාකුම්බලක්, පැරැහැන්දියක්, වෙද, පුහුඬා වෙද, මඩොවුවා, නැකැතියා, නැවියා, මල් වර, මහනෙල් ගෙවු, සිත්තර, දුම්මලස්සම්


මීට අමතරව මිහින්තලා පර්වතයේ පැවති ස්ථාන සහ අවට ගම්මාන රැසක නම් මෙම පුවරු ලිපි වල සඳහන් වේ. ආරාමයට අයත් ස්ථාන ලෙස දාගෙය, කතු මහ සෑය, කිරිබඬ්පවුව, මඟුල් මහ සල පිළිම ගෙය, මහ බෝගෙය, නයින්ද, මිණිනාල් දෙව් දුන් ගෙය, පියන් ගල, මහ බුදුන් ගෙය, නවගුණ මහ සෑය, නැටෙවිය මහ සෑය, ඈමබලූ මහ දාගැබ, දැක්විය හැක. එසේ ම, සෑම මහා විහාරයකම පැවති බවට සාධක හමුවන රෝහල පිළිබඳව ද මෙහි සුළුවෙන් නමුත් සඳහන් වේ. ආරාමයට ආබද්ධ ගම්මාන ලෙස, දම්ගමිය, ඇළ්ගමිය, ගුත, කරන්ද / කරන්දෑගම, සඟ්වැල්ල, මණූවෑසර, ළිහිණිය පවුව, පහනෑවිල්ල, පොරෝදෙණි පොකුණ, දමිය, තළොලගම, සපුගමිය, වඩු දෙවෑගම, සුණුබොල් දෙවෑගම, දුනුගම, මඟුලව, දෙතිසෑ සෙණ, බොඞ් වෙහෙර සෙණ, කණැවැව ආදිය මෙම අභිලේඛනයෙන් සපයා ගත හැකි ස්ථාන වේ.


මෙහි සඳහන් කරුණු වලින් සපයා ගත හැකි බාහිර සමාජමය තොරතුරු අතර මිණුම් ක‍්‍රම සහ බදු පිළිබඳ තොරතුරු වේ. භූමි වපසරිය පිළිබඳ මිණුම් අතර, කිරිය, පෑළ සහ පාදය පිළිබඳව සඳහන් වන අතර අස්වැන්න පිළිබඳ මිණුම් ලෙස පෑළ, මනාව සහ පත සඳහන් වේ. මුදල් හෝ රන් පිළිබඳ මිණුම් අතර කළන්ද සහ අක මෙම ලිපි වල සඳහන් වෙයි. ගෙදඞ්, බිම් සොවය්, මග්ගිව, පියගිව, කුළී සහ මෙලාට්ස මෙම අභිලේඛනයේ සඳහන් බදු ය.


ලබා දෙන ආහාර හා වස්ත‍්‍ර කොටස් මඟින්, ශිෂ්‍ය භික්ෂූන් අතර සමහර විෂයයන් උගෙනීම ධෛර්යවත් කර ඇති බව පළමු ලිපියෙන් පෙනේ. ඒ අනුව, විනය පිටකයට වඩා සූත‍්‍ර පිටකය ද, ඒ දෙකටම වඩා අභිධර්මය ද උගැනීම ප‍්‍රවර්ධනය කර තිබේ. එසේම, සොම්නස් මහබො මඟුල’, වසන් බණ’, රුවන් සුත් මහබො මඟුල’, බුද්බිසොව යන ආගමික උත්සව පිළිබඳවද මෙම අභිලේඛනයේ සඳහන් වේ. බුද්ධාභිෂේකය හෙවත් බුදු පිළිම අභිෂේක කිරීම මහායානික පිළිවෙත කි.


පළමුවන ධර්ම සංගායනාවෙන් පසුව විනයධර උපාලි රහතන් වහන්සේ ගේ ශිෂ්‍ය පරපුරෙන් ථෙරවාදයත්, ධර්ම භාණ්ඩාගාරික අනඳ තෙරුන්ගේ ශිෂ්‍ය පරපුරෙන් මහායානයත් පැවතෙනු බව පිළිගැනෙන මතය කි. අභයගිරි විහාරය බලවත් වෙද්දී, මිහින්තලා ආරාමය ද තවත් විහාර රැසක් සමඟ අභයගිරි වෙහෙරට අයත් වූ අතර, මිහින්තලා පුවරු ලිපි පිහිටුවන ලද්දේ අභයගිරි විහාරයේ භික්ෂූන් වහන්සේලාගේ ද සම්මතයෙන් වීම ඊට නිදසුණකි. සමහර විට, විනය පිටකය හදාරන භික්ෂූන් හට අඩුම සළාකයත්, අභිධර්මය හදාරන සංඝයා හට එමෙන් දෙගුණයකට වැඩි සළාකයකුත් ලබා දෙන ලෙස නියම කර ඇත්තේ ඉහත කරුණ හේතු කොටගෙන වන්නට ඉඩ තිබේ.


පැරණි ආරාම පරිපාලනයේ පැවති විනිවිද භාවය, ගණ සාමග‍්‍රිය මෙන්ම, මූල්‍ය සහ පිරිස් පාලනය සංඝයා වහන්සේ හට අකැප වූ බව සහ ඊට අනුරූපව පණවා තිබූ පරිපාලනමය විධිවිධාන මෙම අභිලේඛනයේ පැහැදිළිව දක්වා තිබේ. එසේ ම අනුරාධපුර රාජ්‍ය පාලනයේ අවසාන සමයේ දී මෙවැනි නීති සංග‍්‍රහයක් පැණවීමට තුඩු දුන් අන්දමේ වාතාවරණයක් පැවතුණ බව ද අනුමාන කිරීමට ඉඩ තිබේ. කෙසේ වෙතත්, එවක සෑගිරි ආරාම සංකීර්ණයේ පරිපාලනය, ශ‍්‍රම විභජනය සහ වේතන - ජීවිකාව පැහැදිළි ලෙස නියම කර පැවති ආකාරය මෙන්ම, ආගමික සංස්ථාව මූලික කොටගෙන එවක සමාජ ක‍්‍රමයේ යම් පැතිකඩක් ද මිහින්තලා පුවරු ලිපි වලින් උකහා ගත හැක.