රුහිරෙන් පුදමි - 2 කොටස

මෙතෙක් කතාව
කන්‍යාරාමයේ නේවාසිකාගාර කාමරයේ ඇඳ මත නෙල්කා මියගොස් සිටිනු හමුවෙයි. ඇගේ සිරුර රෝස මල් වලින් සරසා තිබෙයි. 
ඊට පෙර දින රාත්‍රියේ ඇය කිසිවෙකු හමුවීම සඳහා කන්‍යාරාමයට යාබද සොහොන්බිම වෙත යයි.

එතැන් සිට.....


තම ඉඟ වටා අතක් වෙළෙනු දැනී යුවතිය කිළිපොලා ගියා ය. ඇගේ මුවින් පිටවන්නට ගිය විළාපය ලත් තැනම නැවතුණි. ඒ, ඈ ඔහු හඳුනාගත් හෙයිනි.

තරුණිය දිගු හුස්මක් හෙළා ඔහුට තුරුළු වූවා ය. ඔහු  සිහින් තරුණයෙක් විය. කළුවන් කෙස් හා සිහින් නාසය ඔහුගේ ගිළුණු කම්මුල් වලට අමුතු පෙනුමක් ගෙන දුන්න ද, කැපී පෙණුනු සුදුමැළි බව තරම් කිසිවක් අමුතු නොවීය.

“ඔයා තව තප්පරයක් පරක්කු උනා නම්..........“ ඈ කොඳුළා ය. තරුණයා තම වමතින් ඈ තමා වෙත තද කර ගති.

ඇයි?....... ඔයා බය වුනාද?“ ඔහුගේ දිගු සුදුමැලි ඇඟිලි ඇගේ නිකට තුඩ ස්පර්ෂ කළේය. යුවතිය හිස ඔසවා, අඩවන් දෑසින් ඔහු දෙස බැලූවාය. ඇගේ දෑසේ වූයේ සුරතල් දොස්පවරනසුළු බැල්මකි.

අඩවන් ව තිබූ ඇගේ දෑස් වලට ඉහළින් සිපගත් තරුණයා, සෙමෙන් තම දෑතම ඇගේ සිරුර වටා යවා, ඈ තමන් වෙත තවත් තෙරපා ගති. “ශාම්“ යි කොඳුරමින් තරුණිය ඔහුට තුරුළු වූවාය. ඔහුගේ උණුසුම් සුසුම් තම මුහුණ මත වැටෙද්දී, ඈ දෑස් පියාගත්තා ය.

ඇගේ දෑත් ඔහුගේ ගෙළ වටා එතුනේ නිරායාසයෙනි. ඈ ඇඳ සිටි ජර්සියට යටින් ඇගේ ස්ත‍්‍රී උණුසුම ශාම් වෙත තෙරපී ගියේ ය. ඔහු තම සුරතේ ඇඟිලි තුඩු වලින් ඇගේ දෙකොපුල් මෘදුව පිරිමැද්දේ ය. ඉතා සියුම් කිළිපොලායාමක් ඇගේ මුහුණේ සම තුළින් දිව ගියේ ය. තරුණියගේ දෙතොල් සෙමෙන් විවර විය.

නෙල්කා.......“ සෙමෙන් කොඳුරමින් ශාම් ඇගේ මුහුණට සෙමෙන් පහත් විය.

ම්ම්ම්.......“

ඔහුගේ ඇස් වල වූ අමුතු කාන්තිය තරුණියගේ පියවුණු දෑසට නොපෙණුනි. ඔහුගේ දෙතොල් ඇගේ සැළෙන තෙත් දෙතොල් මත සෙමෙන් පතිත වී මෘදුව තෙරපී ගියේ ය.

------------------------------------------------------------------------ 

මළාණික හිරු රැස් රැස්ව සිටි කුඩා පිරිස මත වැටී තිබිණ. හාත්පස පැතිර තිබුණේ ගුප්ත නිසලතාවකි. මඳ අඳුර ශෝකී බවක් පරිසරයට එක් කළේ ය. පොද වැස්ස හඬක් නොනගා තණපත් මත සෙමෙන් පතිත විය. මඳ සුළඟක් පවා හැමුවේ නැත. පැවති නිහැඬියාවට බාධා කිරීමට කිසිවක් එඩිතර නොවීය.

කොකෝගස් දෙකක සෙවණ යට කුඩා පිරිස රැස්ව සිටියහ. දැරියන්, කන්‍යාසොයුරියන්....... ඔවුන් මැද වූ දිගැති නැවුම් පස් කන්ද මත ඉටිපන්දම් කිහිපයක් දැල්වෙමින් තිබිණ. සිහින් ඉකිබිඳුම් හා තද කරගත් සුසුම්....... එකිනෙකා සෙමෙන් කුරුසිය ලකුණු කළහ, හිස....... බර වූ හදවත....... සහ ඉකියෙන් ගැහෙන දෙඋරහිස් හරහා.

සෙමෙන් එකිනෙකා ආපසු ඒමට හැරුණහ. අවසන් වරටද තම හිතවතියගේ විවේකස්ථානය දෙස බැලූ ඔවුහු ආපසු පියනගන්නට වූහ.

අවසන එතැන ඉතිරි වූයේ දෙදෙනෙක් පමණි. මළාණිකව ගිය තරුණයන්....... ඔවුනතරින් වඩා දුබල සේ පෙනුණු තැනැත්තා සෙමෙන් සෙමෙන් කොකෝගස් දෙක යටට ආයේය. දණින් වැටිණ ඔහු එතැන....... කුඩා පස් කන්ද මතට නැඹුරු වූ ඔහුගේ උරහිස් වෙව්ලීය. ඔහුගේ දෑතේ ඇඟිලි ඔහුගේ ම හිසකෙස් අතරින් රිංගා ගියේ ය.

හමා ආ මඳ සුළඟට හසුව කොකෝ ගස් වල අතු, පත්, දළු සෙමෙන් සැළිණ. පස් කන්ද මත වූ ඉටි පන්දම් වල දැල්ල, හුදෙකළා තරුණයාගේ හිසකෙස්, සුළඟට හසුව සැළෙන්නට විය.

කොකෝ ගස් යට වූ මඳ අඳුර සෙමෙන් සෙමෙන් තරුණයා ගිළගති. කුඩා පස්කන්ද මත වූ ඉටිපන්දම් වල දැල්ල දීප්තිමත් අඳුර තුළ දිස් වූ අතර, ඒ අසළ වූ වෙව්ලන අඳුරු ඡායාවක් පමණක් බවට ඔහු පත් විය. අනෙකා ඔහු වෙත පියනගා ආයේ ය. ඔහු ගේ පියවර තණපත් මත තැබෙන හඬ ශෝකාතුරයාට බාධාවක් වූයේ නැත.

අකිල.......“

තරුණයාට එය ඇසුණ වගක් නොපෙනින.

ඔහු අකිල ගේ ගැහෙන දෙවුර මත අත් තැබීය. අකිල සෙමෙන් නැගී සිටියේ ය. තවතවත් බිමට නැඹුරු වූ හිස....... අවුල් වූ හිසකෙස්....... දෙතුන් දිනක් පැරණි රැවුළු....... ගිළී ගිය දෑසින් ගළා ගිය කඳුළු බිඳු ඔහුගේ දෙකොපුල් මත රැඳී තිබිණ.

දෙදෙනා සෙමෙන් ආපසු එන්නට වූහ. ගේට්ටුවෙන් ඔබ්බට....... දෙපස හෙවුණු උස ගස් වලින් අඳුරු වූ පාළු පටු පාර දිගේ.......

---------------------------------------------------------------------

දින කීපයකට පසුව, හිරු ප‍්‍රචණ්ඩව බැබළෙමින් තිබිණ. කැකෑරෙන අව්ව යට, තාර පාර උණු වන්නට මෙන් රත්ව, තබන අඩියක් පාසා සෙරෙප්පු අඩියට ඇළවෙයි.

අපිළිවෙලට ඇඳගත් අවුල් වූ කෙසින් යුතු තරුණයෙක් වේගවත් ගමනින් තාර පාර දිගේ ඉදිරියට යමින් සිටියේ ය. නළල දිගේ ගළා එන උණු දහදිය බිඳු ඔහුගේ ඇසිපිය මතට වැටී දෑස් දවයි. අව්වෙන් පිච්චෙන දෙකොපුල්....... නළල දෙපස වූ නහර උණු වූ ලෙයින් පිරී ගැහෙයි.

අකිල දිගටම ඇවිද ගියේ ය. ගිණියම් හිරු යට....... අවසන, පාර අද්දර වූ ගොඩනැගිල්ලක් ඉදිරිපිට අව්ව යට ඔහු නැවතිණ. හිස එසවූ ඔහු, සුරතින් ඇස් මුවා කරගනිමින් එහි නාම පුවරුව දෙස හොඳින් බැලීය.

පැද්දෙන කෙටි දොරවල් විවර කරගනිමින් ඇතුල් වූ අකිල හාත්පස වූ මේස මතින් සිසාරා යන බැල්මක් හෙළීය. ඒ බැල්මට, කෙළින්ම ඈත මේසයක වාඩි වී, දොර දෙස යොමු වූ බැල්මෙන් සිටි, හුදෙකළා මිනිසෙකු  හසු විය. ඔහු කෙළින්ම ඒ වෙත ගියේ ය.

අකිල !“ අඩක් හිස් වූ බියර් බෝතලයක් ළඟ වාඩි වී සිටි මිනිසා විස්මයාර්ථ රාවයක් නැංවීය.

ඉඳගනින්,“

විකුම්, මම උඹේ රූම් එකට ගියා. එතනින් කිව්ව උඹ මෙහෙ ආව කියලා.“ අකිල පුටුවක් ඇද වාඩිවෙමින් කීය.

ඉතින්....... තව බියර් එකක් ගෙන්නන්නද?“

“.............“

ඉතින්....... එහෙනං කතාකරමු....... මට කියපං මොකද මේ හදිස්සියෙ උඹ මාව හොයාගෙන ආවෙ කියලා.......“

තවත් බෝතලයක් සහ වීදුරුවක් ගෙන්වාගත් විකුම්, තම මිතුරා වෙනුවෙන් එය පිරවීය.

උඹට ආරංචි ඇති ළඟදි වෙච්ච සිද්ධිය.“ අකිල තෙපළේය. විකුම් දෑස් දල්වාගෙන ඔහු දෙස බලා සිටියේ ය.

අකිල බියර් වීදුරුව එක්වනම අතට ගෙන උගුරු කීපයක් බීවේය, වේගයෙන්....... තිත්ත රස අතරින් උගුර අභ්‍යන්තරයට දැනෙන්නට වූ උණුසුමින් ඔහු තරමක් පිබිදුනි.

විකුම් සිගරැට්ටුවක් ගෙන දල්වා ගති.

අකිල ඉවත බලා ගත්තේ ය.

“ඉතිං....... ඒක ස්වාභාවික මරණයක් නෙමෙයි.......“ ඔහු දිගු වේලාවකට පසු කටහඬ අවදි කළේ ය.

විකුම් වීදුරු දෙක නැවත පිරවීය, නිහඬවම.......

“මට හොයාගන්ඩ  ඕනෙ.......“ අකිල කතා කරන්නට විය. “මගෙ ....... මගෙ අහිංසක කෙල්ලව මරල දාපු එකා.......“ ඔහුගේ කටහඬ එතැනදී බිඳිණ.

වීදුරුව වෙත ඔහු අත දිගු කළේ ය. තදින් එය ග‍්‍රහණය කළ ඔහු.......

වචන ප‍්‍රමාණවත් නොවන....... වචන අවශ්‍ය නොවන මිනිත්තු කීපයක් ගත වී ගියේ ය. ඒ කාලය තුළ බියර් බෝතලය සෙමෙන් සෙමෙන් හිස් විය.

බිත්තියේ අඳුරු කොණක වූ බිත්ති ඔරළෝසුවේ ටික්....... ටික් හඬ සෙමෙන් නැඟී ආවේ ය. අඳුරට හුරු මඳ එළියක් හාත්පස පැතිර තිබිණ.

හරි....... අපි හොයාගම්මු.“ විකුම් නැඟිටිමින්, සිය දකුණත මේසය හරහා දිගු කළේ ය. එය ග‍්‍රහණය කළ අකිලට සිය මිතුරාගේ ගෝරෝසු හමට යටින් වූ උණුසුම දැණින. ඔහු තම ග‍්‍රහණය තවත් දැඩි කළේය.

තව කොටසක් ඉදිරි පෝස්ටුවකින් ......

රුහිරෙන් පුදමි - ඩ්‍රැකියා ලියන නවකථාව - 1 කොටස


එය කදිම උදෑසනක් නොවීය.

නෙල්කා ගේ කාමරයේ දොර අසළ තේ කෝප්පයක් අතැති මෙහෙකාරියක් විය.

“ටක් ටක් ටක්........“

පිළිතුරක් නැත.

නෙල්කා...“

එහෙත් පිළිතුරක් නැත.

ටක් ටක් ටක් ටක් ටක් .....“

මොකද ? මොකද මේ ?“ කොරිඩෝරය ඔස්සේ ඇදී ආ නේවාසිකාගාර පාළිකාව දොර අසළ නැවතුණා ය.

නෑ සිස්ටර්, මේ.... මම මේ නෙල්කා තේ වලට ආවෙ නැති නිසා බලන්න ආවා. ඒත්.... කිසිම හාහූවක් නෑ.“

වෙනද බෙල් එකට නැගිටිනවනෙ.“

.............“

මොනව වෙලාද මේ කෙල්ලට? ........... මේ දොර අරින්න පුළුවන්ද බලමු“

දොර යතුරුලා නොතිබුණි. ක්ර්ර්ර්රීරීස්ස් හඬින් දොර සෙමෙන් විවර විය.

කන්‍යාසොයුරිය පසුපසින්  කාමරයට ඇතුල් වූ මෙහෙකාරියට අමුත්තක් දැනිණ.

උදෑසනකට උචිත නොවූ අස්වාභාවික සීතලක් කාමරය පුරා පැතිර තිබිණ. කාමරයේ වූ එකම ජනේලයේ සුදු පැහැ තිරය මඳ සුළඟින් සෙමෙන් සැළෙමින් පැවතුනි. නෙල්කා ගේ ඇඳෙහි වූ ඇතිරිලි පවා වෙනදාට වඩා සුදුමැළි යැයි මෙහෙකාරියට හැඟුණි.

පැකිළෙන පියවරින් කන්‍යාසොයුරිය ඇඳ අසළට ගියා ය.

නෙල්කා...“

.............“

එක් රැල්ලකුදු නොවූ සුදුමැළි පොරවණයෙන් තරුණියගේ නාසය තෙක් වැසී තිබිණ. ඇගේ දිගු ඇසිපිය දෙකොපුල් මත පතිතව තිබුණේ යාන්තමිනි. මුහුණ පුරා වූයේ කිරිගරුඬ ප‍්‍රතිමාවක බඳු නිර්මල බව මුසු වූ පෙනුමකි.

ඇ දෙසට දිගු වූ  පාළිකාවගේ සැළෙන ඇඟිලි, පොරවණය ග‍්‍රහණය කළේ ය. ඉන් සෙමෙන් සෙමෙන් පොරවණය මෑත් කෙරුණි.

මහ හඬක් නඟමින් කෝප්පය මෙහෙකාරියගේ අතින් ගිළිහී බිම වැටිණ. උදෑසන ශාන්ත නිසංසල බව බිඳුණේ ගැහැණුන් දෙදෙනෙකු යටිගිරියෙන් නැඟූ විළාපයකිනි. එතෙක් අවට නැඟෙමින් තිබූ සිහින් හඬවල් එක්වනම නැවතිණ. සුළඟ පවා වික්ෂිප්තව නිසල වූ සේ ය.

කනා සොයුරියගේ හදවත ඇයටම දරාගත නොහෙන තරම් වේගවත්ව ගැහෙන්නට විය. අක‍්‍රිය වූ ගතින් යුත් ඇයට වත්, මෙහෙකාරියට වත්, තම පළල්ව විදැහී ගිය ඇස් නෙල්කාගේ මුහුණින් ඉවත් කරගත නොහැකි ලෙස දැණින.

ළා අළු පැහැයට හැරෙන්නට තරම් සුදුමැළිව තිබූ නෙල්කාගේ මුහුණ ශාන්ත විය. යම්තාක් දුරකට හෝ සාමාන්‍ය දෙයක් ලෙස පෙණුනේ එය පමණි. ඇගේ ගෙළ රතු හා සුදු රෝස මල් වලින් වසා තිබිණ. ළය මත ඇඟිලි බැඳී තිබූ දෑතෙහිද වූයේ සුදු රෝස මල් කිණිති රාශියකි. එම රෝස පෙති සමහරක් මත ඇගේම රුධිර බිඳිති, පිණි බිඳු සේ විසිරී, වියළී තිබිණ. බැලීමට නොහැකි තරම් වූයේ ඇගේ දෙතොළ ය.

භයානක ලෙස සුදුමැළිව තිබූ ඇගේ දෙතොල් වියළී ඉරී ගොස් තිබිණ.

------------------------------------------------------------------------------------

අන්ධකාරය....... හාත්පස මිදී තිබුණි. එය අමාවක රාත‍්‍රිය විය. සමස්ත පරිසරයම නිසලව වැතිර සිටියේ ය. එක් දෙයක් හැරෙන්නට........

අඳුර අතරින් තද ඡායා ඇතිකළ ගස් අතු තම ඇඟිලි තුඩු පඬු පැහැ පරණ ගොඩනැගිල්ලක් දෙසට දිගු කරගෙන සිටියේ ය. ඉතා දුරින් ඔරළෝසුවක අපැහැදිළි ලෝහමය රාවයක් නැගෙන්නට විය. එම හඬ වියැකී යනවාත් සමඟම ගොඩනැගිල්ලේ බිම් මහළේ එක් ජනේලයක් සෙමෙන් විවර වන්නට ගති. ඒ කන්‍යාරාමයේ නේවාසිකාගාරය විය. විවර වූ ජනේලය තුළින් එක් අඳුරු පොදියක් එළියට පැන සිටගත්තේ ය.

එය දෙගිඩියාවෙන් මෙන් මඳක් නතර වී සිටියේ ය. එහි හැඩයෙන් ඒ ස්ත‍්‍රියක වූ බව පෙනිණ. දිගු හුස්මක් හෙළූ ඈ සෙමෙන් ඉදිරියට ආවා ය. එක් බොරළු කැටයක් පෙරළෙන හඬක් හෝ නොනැඟුණි.

ස්ත‍්‍රිය තවත් ඉදිරියට ආවා ය. මිදුල පසුකර ගෙවත්තේ ගස් අතරට...... ගස් යට වූ තද අඳුරට පිවිසුණු ඈ මඳක් පැකිළෙමින් නැවතුණා ය.

අඳුර තුළ ඇගේ ඇඳුමේ වූ සුදු පැහැය සෑහෙන තරම් පැහැදිළිව දිස් විය. ඈ ඇඳ සිටියේ දුහුල් රාත‍්‍රී ඇඳුමක් සහ ජර්සියක් පමණි. දෑත් ළය මත බැඳ ගනිමින් ඈ අවට පැතිර තිබූ ලේ කැටි ගැසෙන සීතලෙන් ආරක්ෂා වීමට තැත් කළා ය. ඇගේ කුඩා නවයොවුන් සිරුර ගැහෙමින් පැවතිණ.

යුවතිය ගේ සුරතේ වූ යමකින් මළාණික එළිය තීරුවක් විහිදෙන්නට විය. යක්ෂයාගේ ¥තයින් මුදාහැරෙන හෝරාවක, ඝන අන්ධකාරයේ අනාරක්ෂිත වූ ඇයට තිබූ එකම ආරක්ෂාව ඒ කුඩා විදුලි පන්දම විය.

ඈ හනි හනික ගස් අතරින් පියමං කර ගියා ය. අඳුර අතරින් බොඳ වී පෙනෙන කිළිටි සුදු පැහැ තාප්පය සුදු මැළි අවතාරයක් සේ ඈ ඉදිරිපිට නැඟී සිටියේ ය.

ඈ තවත් සිතිවිලි වලට ඉඩ නොදී ඒ වෙත ගියා ය. තාප්පය අයිනේ වූ අතුපතර ගැවසි විශාල ගස අසළට ආ ඈ, ගස මුළ වූ ඝන අඳුර විසින් ගිළගනු ලැබුවා ය. මොහොතකින් සර සර ශබ්දයක් සමඟ ගසේ අතු සෙමෙන් සෙළවෙන්නට විය. යුවතියගේ ඇඳුමේ වූ සුදු පැහැය ගසේ අත්තක් මත දැකිය හැකි විය.

තරුණිය තවත් නොසිතා තාප්පයෙන් අනෙක් පසට විහිදුණු අත්තක් දිගේ ඇදුණා ය. එහි සිට ඈ තාප්පයෙන් අනෙක් පැත්තට පැන්නා ය.

බිම වැටුණු යුවතිය සෙමෙන් නැඟී සිටියා ය, තැන තැන විසිර තිබූ සුදුමැළි සොහොන් කොත් දෙස නොබලා සිටීමට තැත් කරමින්...... බකමූණෙකුගේ මූසල රාවයක් හාත්පස පැතිර යත්ම ඇගේ ලේ සීතල වී ගියේ ය.

දෑස් පියාගත් ඈ ‘නමෝ මරිය‘ යාඥාව වචනයෙන් වචනය සිහින් හඬින් කොඳුරන්නට වූයේ ඇගේ ම කටහඬින් බියපත් වෙමිනි. යාඥාවෙන් මඳක් දිරිමත් වූ යුවතිය තම දෙනෙතට අවට දර්ශනය දැකීමට ඉඩ නොදීමට තැත් කරමින් ඉදිරියට ඇදුනා ය. වල් පඳුරු මත වූ පින්නෙන් පෙඟුණු ගවුම නිසා ඇගේ දෙපා අයිස් බඳු සීතලෙන් හිරි වැටිණ.

ඈ නතර වූයේ විශාල අලිපේර ගස මුලට ආ පසු ය. නියමිත ස්ථානය වූයේ එතැන ය. ඉතින් ....... ඇත්තේ බලා සිටීම පමණි.

පළාතම නිහඬතාවයේ ගිළී තිබිණ. අන්තයක් නොමැති වූ භයංකර නිහඬතාව. ඝනාන්ධකාරය මැද තනිවූ තරුණියට, තනිවීම තරම් සුරක්ෂිත බවක් තවත් නොවී ය. තමන් අවට කිසිවකුත්ඇති බවක් නොපෙණුන ද, නොඇසුණ ද, එය සහතික කරගැනීමට නොහැකි බව භයංකර තත්ත්වයකි.

තම හදවත වේගයෙන් ගැහෙන හඬ ඇයට ඇසෙන්නා බඳු විය. ඈ දෑස් විදහාගෙන හාත්පස කෙරෙහි තියුණු අවධානයකින් පසුවූවා ය.

අඳුර අතරින් යාන්තමට පෙනී නොපෙනී යන ඡායා ....... යාන්තමින් ඇසුණාක් මෙන් දැනී නැවත කෙසේවත් නොඇසෙන සියුම් ශබ්ද.......

තරුණිය සෙමෙන් සෙමෙන් අලිපේර ගසේ දැවැන්ත කඳට පිටදී හේත්තු වූවාය.

සරස්“

හඬ නැඟුනේ ඈ පිටුපසිනි. ඈ එක්වරම තිගැස්සුණා ය. ඇගේ හදගැස්ම ඇයට ම ඇසෙන්නා සේ විය. විසල් දෑස් විදහා ගත් ඈ පෙන්ටෝර්ච් එළිය ඒ දෙසට යොමු කළා ය. එහි වූයේ ගසෙන් වැටුණු වියළි කොළයකි. ඇගෙන් සුස්මක් පිටවූයේ නිරායාසයෙනි. නමුත් ....... එය සැනසුම් සුසුමක් වූයේ ඒ මොහොතට පමණි.

ඉතිරි කොටස තව පෝස්ටුවකින්

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රප...

ගොඩක්ම කියවපු ලිපි