''expr:dir='data:blog.languageDirection' xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr' ඩ්‍රැකීගේ අඩවිය: August 2013

Tuesday, August 27, 2013

අපේ රටේ ආර්ථිකේ අනාගතේ අනා ඇතේ !


ජේ. ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස කියන අපේ රටේ උන්න කීර්තිමත් දේශපාලකයන් දෙන්නා අපායට ගියේ එකට නෙවෙයි. ඒත් යමරජු කියන්නේ බොහොම සාධාරණ කෙනෙක් නෙ. (උන්නැහැට ධර්ම රාජ කියන්නෙ ඒකයි. මහා භාරතයෙ යුධිෂ්ඨිර යම රජු ගෙ පුතෙක් ය කියනවනෙ.) ඉතින් එයා ජේ ආර් ටයි ප්‍රේමදාසටයි දඬුවම් කළේ එකටයි. මොකද්ද ඒ දඬුවම?

දෙන්නට දුන්නා කඩල බේසමකුයි, රටකජු බේසමකුයි. ‘තොපි දෙන්නා දැනගන්න ඕනෙ ලංකාවෙ අසරණ මිනිස්සු කොහොමද එදා වේල හම්බකරගන්නෙ කොහොමද කියලා. ඉතිං ඔය බේසම් දෙක ගෙනිහිං විකුණගෙන වරෙව්‘ කියලා යමරජ්ජුරුවො මේ දෙන්නට අණකළා.

ඉතිං ඕං අපේ තකට තක පාලකයො දෙන්නත්, අර බේසම් දෙක උස්සගෙන මිනිස් ලෝකෙට ආවා. අතර මගදි ජේ ආර් උන්නැහැට පුළුවන් වුනා, බිම වැටිල තිබ්බ රුපිල් දහයක් අහුලගන්න.

පොට් එකට ඇවිල්ලා දෙන්න බිස්නස් එක පටන් ගත්තා. කොහොමද? මුලින්ම ජේ ආර් ප්‍රේමදාසගෙන් රුපියල් දහයක රටකජු කනවා, පස්සෙ ප්‍රේමදාස ජේ ආර් ගෙන් රුපියල් දහයක කඩල කනවා. ආයෙ ජේ ආර් ප්‍රේමදාසගෙන් රුපියල් දහයක රටකජු කනවා, ඊට පස්සෙ ප්‍රේමදාස ජේ ආර් ගෙන් රුපියල් දහයක කඩල කනවා. ඔහොම ඔහොම බිස්නස් එක ඉවර කරගෙන, දෙන්නම යමරජ්ජුරුවන්ට ගිහිං දුන්නලු රුපියල් දහය, ‘ඕං අපේ දවසෙ ආදායම‘ කියල.

යමරජුජ්රුවො කිව්වලු, ‘තොපි දෙන්න මිනිස් ලෝකෙ ඉන්න කාලෙත් කොළේ ඕකම තමා‘ කියලා.

ලංකාවෙ ආර්ථිකය ගැන අපේ මාගල් මුදියන්සේ නොහොත් සහන් සිරා විග්‍රහයක් කරලා තියෙනවා. මේ වගේ සරළ එකක් නෙවෙයි, ඒත් අපේ රට මුහුණ දීලා තියෙන සැබෑ අනතුර මොකද්ද කියලා හොඳින් ම තේරුම් ගන්න පුළුවන් සරළ, විස්තරාත්මක පෝස්ටුවක්. මෙතනින් ගිහින් බැලුවෑකි.

ඉතින් අපි තවත් මේ කාබාසිනියා පවුලට අපේ රට කාලා විනාශ කරන්න ඉඩ දෙමින් ඒ අය අපිට දෙන තාවකාලික ආතල් විඳිමින් ගොන් රැළක් සේ කල් අරිමුද? අපිට තීරණය කරන්න කාලය....


Saturday, August 24, 2013

රුහිරෙන් පුදමි - 6 වන කොටස

මෙතෙක් කතාව


බැස යන හිරු ගේ ළා රත් පැහැ රැස් දහරින් පැහැපත් වූ වළාකුළු සැඳෑ අහස පුරා පැතිර තිබුණි.

සුවදායක මඳ සුළඟක් ශාන්තව හැමීය.

අනන්තය තෙක් දිවෙන්නා සේ පෙනුණු දිගු පාර අද්දර වූ, කනුවෙහි සවිකර තිබූ බස් නැවතුම සලකුණු කළ තහඩුව කිරි කිරි හඬින් සෙලවෙමින් පැවතුණි. පාර අද්දරට වෙන්නට තනා තිබූ දිළිඳු තේ කඩයේ ඉදිරිපස වූ බංකුව මත එකම එක හුදෙකලා මඟියෙක් විය. ඔහු සිහින් තරුණයෙක්..... ඔහුගේ වමතෙහි ඇඟිලි අතර ලිහිල්ව රැඳී තිබූ සිරැගට්ටුවේ අගින් දුම් රැල්ලක් නිකුත්ව, තරුණයාගේ දුබල පෙනුමැති සිරුර වටා දැවටීයයි.
සැහැල්ලූවෙන් සිගරැට්ටුව දෙතොලග රඳවා දුම්රැල්ලක් ඉරූ හෙතෙම, එය ප‍්‍රාශ්වාසයත් සමඟ පිටකරමින් පාරේ ඈත අන්තය වෙත දෑස් රැඳවීය.




තරමක වේලාවක් තිස්සේ, ඔහුගේ දසුනට ලක් වෙමින්, සුදට හුරු ළා..... නිල් ගවුමකින් හා ශිර්ෂාවරණයකින් සැරසීගත් කුඩා කන්‍යා සොයුරියක් පාර දිගේ සන්සුන් ගමනින් පානඟා ආවාය. අනන්ත කාල අවකාශයක් සේ පෙනුණු දිගු වේලාවක් තිස්සේ ඈ තමන් දෙසට පිය මනිනු ඔහු බලා සිටියේය.

තරුණයාගේ බැල්මෙහි වූයේ ආලස්‍යය මුසු විවේකී ගතියකි. ඔහුගේ පිළිවෙලකට නොවූ කෙහෙරැළි සිහින් සුළඟට හසු වී තිබුණි. හෙතෙම ඇඳ සිටි අඳුරු පැහැ කමිසයේ බොත්තම් සියල්ල පියවා, දිගු අත් අගින් දෙතුන් විටක් පමණක් නවා තිබුණේ හිරු එළියට ඇති බියක් නිසාදැයි කෙනෙකුට සිතිය හැකි විය.

කන්‍යා සොයුරිය ඔහු වෙත ආවාය. සිගරැට්ටුව වෙත ඒකාත්මිකව සිටි තරුණයා, ඈ දෙස පැහැදිලිව බැලූවේ නැත. ඔහුගේ සුදුමැළි ගිළුණු කම්මුල් හා තද කළු පැහැ කෙස්, ඇයට පෙනුනේ ද යන්තමිනි. කරේ තිබූ කුඩා අත්බෑගය අතට ගනිමින් ඇය බංකුවේ වම් කෙළවරේ වාඩි වී, දෙපා ළංකර ගත්තාය.

සිසිල් සුළං දහරක් මඟියන් දෙදෙනාගේ සිරුරු නහවමින් ගළා බැස්සේය. තරුණයා බංකුව මත තබාගෙන සිටි වමතෙහි වූ සිගරැට්ටුව ඔසවත්ම, එහි තුඩග වූ සිගරැට්ටුවේම හැඩය රඳවාගත් දිගු අළු දල්ල සැලිණ. හෙතෙම සිගරැට්ටුව දෙතොළ රඳවා ඉහළට ඇද්දේය. යන්තම් සෙළවුනු අළු දල්ල දුහුවිලි මෙන් මෘදුව කඩා හැළිණ.

තරුණයා කන්‍යා සොයුරිය වෙත හැරුණේය.

‘‘සිස්ට.....’’

ඈ ඔහු වෙත හැරුණාය. ප‍්‍රශ්නාංකයක් මතුව තිබූ ඇගේ දුඹුරුවන් දෙනෙතෙහි තෙත් ගතියක් විය.

‘‘වෙලාව කීයද?’’

කන්‍යා සොයුරිය වමත ඔසවා කුඩා අත් ඔරළෝසුව දෙස බැලූවාය.

‘‘හයයි කාලයි’’

‘‘තෑන්ක්ස්’’ ඔහු නැවත සිගරැට්ටුව සමඟ තනිවිය.

‘‘මේ’’

ඇගේ සිහින් කටහඬින්, වරදක් කළ එකෙකු මෙන් ඔහු තිගැස්සිණ.

‘‘දැන් බස් එකක් උඩහට ගියාද?’’

‘‘නෑ’’ ඔහු පිළිතුරු දුනි. ‘‘පැය බාගෙකට විතර..... තවම බස් එකක් ගියෙ නෑ’’

‘‘එහෙනම්, දැන් එයි නේද?’’

‘‘ඔව්. අපි බලමු.’’

නැවත තරුණයා සිගරැට්ටුව එසවීය. නමුත් එය දෙතොළට තබා නොගෙන, ඔහු කන්‍යා සොයුරිය දෙස බැලූවේය. ඈ දෙස ඔහු පළමුවරට බැලූවේ එවේලේ යැයි කිව හැක. ඈ, සිහින්, ළාබාල තරුණියක බව ඔහු දුටුවේය. ඇගේ ශීර්ෂාවරණයෙන් මිදී, මඳ සුළඟට හසු වූ කියඹු රොදක් සෙමෙන් සැළෙමින් තිබිණ.

‘‘මේ දුම ඔයාට කරදරයි නේද?’’ ඔහු සිගරැට්ටුව පසෙකට හරවාගනිමින් ඇසීය. ඇගේ කල්පනාබර මුහුණ, සිනාරැල්ලකින් මොහොතකට එළිවිය. තරුණයා ඈ දෙස බැලූවේ සුමුදු ලෙසිනි.

‘‘මම ඔයාව කීප සැරයක් දැකලා තියෙනවා.’’ ඔහු සෙමෙන් කීය. ‘‘ඒ හැම සැරේකම මීට වඩා ගොඩක් වෙනස්.....’’

ඈ සියුම් දුක්මුසු සිනාවක් පෑවාය.

‘‘මම මළගෙදරක ඉඳන් එන්නෙ.’’ මුමුණන්නාසේ වූ ඇගේ කටහඬින් ඔහු තිගැස්සිණ. ‘‘.....මට හිටිය එකම යාළුවා..... ඉගෙනගන්න කාලෙ ඉඳන්.....’’ ඈ දිගු හුස්මක් හෙළුවාය.

තරුණයා අඩක් පමණ ඉතිරිව තිබූ සිගරැට්ටුව විසි කළේය.

‘‘.....මම නොවීෂියේට් එකට ගියාට පස්සෙත් ..... මට එයාගෙ කිසිම රහසක්වත් තිබුණෙ නෑ.....’’
ඇගේ සියුමැළි දෙතොල් වෙව්ලීය. දිගු ඇසිපිය අග වූ කඳුළු බිඳු හිරුගේ අන්තිම රැස් දහරට හසුව ළා රත් පැහැයෙන් දිළිසුණි.

‘‘මෙහෙම දෙයක්..... දරාගන්න බෑ..... ඒ තරම් අහිංසක කෙල්ලෙකුට.....’’

කන්‍යා සොයුරියගේ දිගු සුසුම්, තරුණයාගේ හදවත ගැඹුරට කිඳාබසින්නා සේ විය. විශේෂයෙන්..... තමන් වගකිව යුතු වන විට..... මෙවැනි වදන් පිට නොවන පරිදි ඈ දෑතින් වැළඳගන්නට ඔහුට සිතුණි. ඔහු සෙමෙන් අත දිගු කොට, බංකුව මත වූ ඇගේ අත අල්ලාගති. තෙත් ලේන්සුව ගුළි වී තිබූ ඇගේ අත සෙමෙන් දිගහැරිණි. ඇගේ සිහින් ඇඟිලි හා පැටළි ගිය ඔහුගේ සැලෙන ඇඟිලි..... කණගාටුව ප‍්‍රකාශ කරන වචන දහසකටවත්, හදවතක පිරුනු සන්තාපය බෙදාගැනීමෙහි ඊට වඩා හැකියාවක් නොවීය.

නිසල, නිහඬ මිනිත්තු කිපයක් ගතව ගියේය. උනුසුම් හෘදයංගම බව පිරුණු මිනිත්තු කීපයක්..... ඒ අතර මඳ අඳුර හාත්පස මීදුමක් සේ පැතිර ගියේය. පාර දිගට විදුලි කණු වල වූ ලාම්පු, එකිනෙක දැල්වෙන්නට ගති.
හුදෙකලා මඟීන් දෙදෙන බංකුව මතින් නැගිට ගත්හ. බසයක සේයාවක්වත් ඇත්දැයි තරුණයා විපරම් කළේය.

‘‘මම දන්නෙ නෑ ඔයාගෙ නමවත්.....’’ කන්‍යා සොයුරිය තෙපළාය. ඇගේ කොපුල් දිගේ පෙරුණු කඳුළු බිඳු නිකට දෙපස රැඳී තිබිණ. ‘‘මම සිස්ටර් නිර්මලී. ඔයා.....?’’

‘‘මම ශාම්.....’’ තරුණයා කීවේය.

‘‘ශාම්.....’’ ඈ සෙමෙන් පුනරුච්ඡාරණය කළාය.

දෙදෙනා හෙමින් සීරුවේ මඟට බටහ. කන්‍යා සොයුරියගේ අතැඟිලි අතර, ඇගේ කඳුළින් පෙඟුණු ලේන්සුව මත තෙරපී, තරුණයාගේ ඇඟිලි තවමත් රැඳී තිබිණ.

-----------------------------------------

මළානික සඳ එළියෙන් ලා සුදකට හැරුණු තුනී මීදුම් පටළය මැදින් දෙදෙනා පියනඟා ආහ. තරුණයාගේ අතැඟළි හා වෙළුණු කන්‍යා සොයුරිය ගේ සිහින් අතැඟළි..... සඳ රැසින් නැහැවුණු ගස් වැල් වල ඡායාවන්, දුබල සුදුමැළි අවතාර මෙන් හිස් ඔසවා, අතු පතර විදහාගෙන නැඟී සිටියහ. මඳ හෝ සෙළවීමක් නොවූ සීතල වාතස්කන්ධය එකතැනම ගල් ගැසී.....

සවිමත් යකඩ ගේට්ටුව සීතල වාතයෙන් තෙත්ව පැවතිණ. දෙදෙන එතැනින් නැවතුණහ. තරුණයා ගේට්ටුවේ ඉහළ වූ කුරුසිය දෙස බැලූවේ එක්වරකි.

‘‘මම..... යන්නම්’’ ශාම් ඇගේ අතැඟිළි මුදුව අත්හළේය. ඇගේ සුරතෙහි ගුළි වූ තෙත් ලේන්සුව මත ඔහුගේ උණුසුම තවමත් රැඳී තිබිණ.

කන්‍යා සොයුරිය හිස ඔසවා ඔහු දෙස, බැලූවාය. දයාන්විත ඒ මුහුණ දෙස.....

ඈ ගේට්ටුව විවර කරගෙන ඇතුල් වූවාය. ගේට්ටුව වසමින් ඈ නැවත ඔහු දෙස බලද්දී, ඔහු ආපසු හැරී පියවර කිහිපයක් ගොස් තිබිණ.

‘‘ශාම්.....,’’ ඈ කොඳුළාය.

තරුණයා සාක්කුවෙන් රතු පැහැ පැකට්ටුවක් එළියට අදිමින් ආපසු හැරිණ. ඇගේ හදවත පිරී තිබිණ. ඔහු එය ඇගේ දෑසින් දිටීය. තම සිතට නැඟුණු අපූර්ව තෘප්තිකර හැඟීම ඔහු මවිත කරවීය.

ශාම් ආපසු හැරිණ. සක්කුවෙන් ගත් පැකැට්ටුවෙන්, සිගරැට්ටුවක් ගෙන මුවග රඳවාගත් ඔහු, අනෙක් සාක්කුවෙන් ගත් ලයිටරයකින් එය දල්වා ගති.

කන්‍යා සොයුරිය බරාඳය වෙත පිය නැඟුවාය. එහි පිරුණු අඳුරේ සිට තමා දෙස බලා සිටින රුව ඇගේ නෙත ගැටිණ.

‘‘බොහොම හොඳයි නේද සිස්ටර් කෙනෙක් එන වෙලාව.....?’’ ඒ රව සෙමෙන් කීවේය. එම ස්වරයේ වූ වියළි බව, නිර්මලී ගිළී සිටි සුවදායක මානසිකත්වයෙන් ඇය අවදි කරවූයේය.

‘‘මළ ගේ ඉවර වුනේ දැන්ද.....?’’

‘‘නෑ සිස්ටර්..... පාරෙ බස් තිබුණෙ නෑ’’

‘‘ආ..... එකක්වත්.....?’’

නිර්මලී වෘද්ධ කන්‍යා සොයුරිය අසළින් බරාඳයට ගොඩ වූවා ය.

‘‘කවුද එතකොට අර ඉළංදාරියා?’’

කුඩා කන්‍යා සොයුරිය බිම බලා ගත්තාය.

‘‘කතා කරනවා..... ඒ රැකවල් දේවදූතයෙක්ද?’’

නිර්මලී ඇතුළට දිව ගියාය. ඇයට තවත් ඒ අකාරුණික මුහුණ දෙස බැලීමට හැකියාවක් නොවීය.
තම කුටියට දිව ගිය ඈ නිල ඇඳුම පිටින් ඇඳෙහි වැටුණාය. ඇගේ සුරතේ ගුළි වී තිබූ ලේන්සුව තව තවත් තෙත් වන්නට විය.

ඇගේ කුටියේ දොර විදැහී විවර විය. ඈ ඒ දෙස හිස ඔසවා නොබැලූවද, ඒ කුමක්දැයි ඈ පුරුද්දෙන් දැන සිටියාය.

‘‘මම දැනං හිටියා  ඕක.....’’වෘද්ධ කන්‍යා සොයුරියගේ හඬ. ‘‘..... තමුසෙ කවදාවත් හොඳ සිස්ටර් කෙනෙක් වෙන්නෙ නෑ.’’

නිර්මලී ඉකි ගසමින් හඬන්නට වූවාය. ඇගේ දෑතින් වැසුණු මුහුණ කඳුළින් නැහැවෙන්නට විය.
දොර මහ හඬක් නඟමින් වැසී ගියේය.

තරුණ කන්‍යා සොයුරිය ඇඳ ඉහ ඉද්දර වූ මරිය මවු තුමියගේ කුඩා සුරුවම ඉදිරිපිට බිම දණින් වැටුණාය, දරාගත නොහැකිව..... ඇගේ කුඩා දෙවුර ගැහෙන්නට ගති.

ඇගේ දෑස් කඳුලින් තෙත්වී බොඳ වී තිබිණ. ඇගේ මතකය ඈතට දිව ගියේ නිරායාසයෙනි,

දීප්තිමත් හිරු රැසින් නැහැවුණු තණ පිටියක කුඩා දැරියන් රැසක් කෑකෝ ගසමින් වර්ණවත් විශාල බෝලයක් පසුපස දිව ගියහ. ඒ දසුනේ කෙළවරක වූ දැවැන්ත ගසක සෙවණ යට, ලොකු පොතක් උකුලේ දිගහැරගත් කුඩා දැරියක් තණපත් මත වාඩි වී සිටියාය. ඇගේ පිවිතුරු ළා වන් ගවුමත්, දිගු කෙහෙරැළිත්සිහින් සුළඟින් රැළි නැඟිණ. ඇගේ උකුළේ වූ ලොකු පොතෙහි පෙරැළී තිබූ පිටු දෙකෙහි වූයේ සාන්ත මරියා ගොරෙත්ති ගේ ජීවිත කතාවය.

සිඟිත්තියගේ මනස නව ජීවයකින් පුරවාලූ, සාන්තුවරියගේ පිවිතුරු චරිත කතාව කියවා අවසන් කළ ඈ, පිටු කිහිපයක් ආපසු පෙරළා එහි ඇඳ තිබූ ඇගේ රූපය දෙස බැලූවාය. එහි, සාන්තුවරියට වූයේ ළදැරියකගේ බඳු මුහුණකි. ළය මත වූ ඇගේ සියුමැලි දෑත් අතර සුදුවන් ලිලීමල් පොකුරක් විය. සාන්තුවරියගේ නිර්මල හිස ඉහළට..... ස්වර්ගය දෙසට එසවී තිබිණ.



දරා ගත නොහැකි ඉකියකින් කන්‍යා සොයුරියගේ සිහින් සිරුර නොනැවත ගැහෙන්නට විය.

 ----------------------------------------------------

සැඳෑවේ ඇති වන මඳ අඳුර, එයට හැකි උපරිම කාන්තියෙන් බැබළිණ. තැන තැන නැඟී සිටි ගස්වල අතු පතර රජැයූ තද අඳුර අතර කොළ මතු පිට වූ දිස්නය කැපී පෙනුණේ ය.

සියල්ලම..... දීප්තිමත් සැඳෑවක් මැවීය.

විකුම් සිගරැට්ටුවක් දල්වා ගති. නිසල වාතයේ, ගිණි සිළුව ගිණිකූරේ සිට කෙළින් ඉහළ නැඟිණ.

දෙදෙනා සිටියේ තණ පිටිය මැද වූ ලී බංකුව මත ය. දින කිහිපයකට කලින් සිදු වූ සිදු වීමත්, ගොම්මං වේලාවත් විසින් ඔවුන් ගේ සිත් තුළ අමුතුම ගුප්ත බවක් ඇති කළේය.

දෙදෙනාම බලා සිටියේ අඩක් විවර ලී ගේට්ටු අතරින් ඇතුල් වන අඳුරුවන් රුව දෙස ය.

විකුම් වමත ඔසවා ඔරලෝසුව දෙස බැලීය.


‘‘හයයි..... හරියටම.’’

Saturday, August 17, 2013

රුහිරෙන් පුදමි - 5 කොටස

මෙතෙක් කතාව

3 කොටස
4 කොටස



තණපිටියේ පින්නෙන් පෙඟුණු ලී ගේට්ටු ඇයී විවරව තිබිණ. කුඩා කුරුල්ලන්ගේ සිහින් කෑගෑම හදිසියකින් නැවතී, ගැහැණුන් දෙ දෙනෙකු ගේ නොපැහැදිළි විළාපයක් නැඟී ආයේය. රැස්ව සිටි කිහිප දෙනාගේ මුණු මුණුව ගුප්ත බවක් දැනවී. මිහිදුමින් වැසුණු තණ පිටිය අසළට දෙමිතුරන් ළඟා වූවා පමණි.

මාර්ගය ඉරා දමන්නට මෙන් වේගයෙන් ඇදී ආ මෝටර් සයිකල් දෙකක් ගළක් ගැසුවාක් මෙන් නතර විය. දඩි බිඩි ගා ඒවායින් බැස්සේ පොලිස් කාරයන් සිව් දෙනෙකි. රැස්ව සිටි මිනිසුන් එළවා දමමින් ඔවුහු තණ පිටියට කඩා වැදුණහ. බොරළු කැට හා තණපත් මත ඔවුන්ගේ නොසැළකිලිමත් බර සපත්තු අඩි වැරෙන් පතිත විය.

දිගු තණ ගස් පඳුරු අතර තරුණියගේ දුබල සිරුර වැතිරී තිබිණ. සුදුමැළි බවින් අළු පැහැයට හැරී..... දඬුවක් මෙන් දරදඬුව ගොස්..... තණ පඳුරු මුල් අතර පැතිර තිබූ තුනී මීදුම අතරින් ඇගේ සුදුපැහැ තෙත් ඇඳුම දිස්නය දුනි. ඇගේ හිසකෙස් තෙත් තණපත් අතර විසිරී ගොසිනි. ජීවයෙන් තොර දෑස් මවිතයෙන් මෙන් පුළුල්ව විදැහී..... යන්තම් විවර වූ සුදුම සුදු වියළි දෙතොල්..... ගිළී ගිය දෙකොපුල්..... දැකිය හැකි වූයේ එපමණකි.

‘‘යනව අහකට..... අපට මෙතන වැඩ තියෙනවා.....’’ හිස් උරපටි දැරූ පොලිස් නිලධාරියෙක් විකුම් ගේ උරහිසින් අල්ලා තල්ලූ කළේය. කොහුලණු කැරලි අතින් ගත් පොලිස් කාරයන් සිව්දෙන විසින් ඔවුන් තවත් පස්සට තල්ලූ කෙරිණ.

ලහිලහියේ මළ සිරුර හතර කොණ යාකොට කොහුලණු අදින ලදි.

විකුම් කිසිවක් ගණන් නොගෙන විමසිලිමත් නෙතින් වට පිට බැලීය. ඔහුගේ මුහුණ එක්වරම වෙනස් විය. බංකුවක් අසළ තණගොල්ලේ කිසිදු ඇසකට හසු නොවූ යමක්..... ඔහු වහා එතැනට ඇවිද ගියේය. එහි වූයේ තරමක් විශාල, තැන තැන තෙමුණු, කඩදාසි කවරයකි.

‘‘අකිල .....’’

හනි හනික ඒ වෙත ගිය අකිල, තම මිතුරාගේ අතෙහි වූ කවරය දිටීය. එහි උඩින් විවර වී, පිවිතුරු පිච්ච මල් රැසක් එළියට පැන තිබිණ.

‘‘මල් දෙක තුනක් ගනිං..... අපිට මෙතන මේක බලන්න වෙලාව මදි.’’

අකිල අතට අසුවූ මල් කීපයක් සහිත දිග නටු දෙක තුනක් ඇද ගත්තේය.

‘‘හ්ම්..... ඔහොම හිටපං’’ විකුම් කවරය රැගෙන පොලිස් කාරයන් වෙත ගියේය. සෙස්සන්ගෙන් මඳක් ඈත්ව සිටි, නිලයටම දිරා ගිය බවක් පෙනුනු පොලිස්කාරයෙකුට ඔහු ළං විය.

‘‘රාළහාමි,’’

පොලිස්කාරයා ඉවතට හැරුණි.

‘‘කොන්ස්ටබල්’’ විකුම් මඳ සිනාවක් පාමින් නැවත ඇමතීය.

පොලිස්කාරයා බොර පැහැ දෑසින් රවා බැලීය.

‘‘ඇයි?’’

විකුම් තම අතෙහි වූ දෙය දිගු කළේය. ‘‘මේ මල්, අතන.....’’

‘‘ගිහිං දෙනව තමුසෙගෙ ගෑණිට.’’

විකුම් කවරය බිම අතහැරියේය. කුපිත වීමෙන් ඇති වන ශාන්ත නිහඬ බවින් යුතුව ඔහු ආපසු හැරිණ.

‘‘පිස්සු යක්කු..... රාජකාරි අස්සෙ මුන් එනව අපිවත් පිස්සු වට්ටන්ඩ.’’

එක්වනම, රැස්ව සිටි මිනිසුන්ගේ මුණු මුණුව නැවතිණ. අස්වාභාවික නිහඬතාවයක් පැතිර ගියේය. එකතැනම ඝන වූ මීදුම ඉරාගෙන කළුවන් රුවක් සෙමෙන් තණපිටිය තුළට ඇදී එන්නට විය. අඳුරු පසුබිම තුළ ඔහුගේ සුදුමැළි හැඟීම් රහිත මුහුණ කැපී පෙණින. දිගු සැරයටියට වාරු වෙමින් ඉදිරියට පියනගා ආ අමුත්තාගේ කළුවන් දිග පිට කබායේ කොනක්, මඳ සුළඟට හසුවී විකුම් ගේ මුහුණ ළඟින් ඇදී ගියේය. ඉන් නැඟුනේ තෙත්, පස් ගතියෙන් යුත්, ජීවයෙන් තොර පාංශුමය සුවඳකි.

‘‘මොනවා..... ආයෙත්.....?’’ අකිලගේ කෙඳුරුම් හඬ පවා අවට නිසලතාව බිඳීමට එඩිතර නොවීය.

ඒ මායාකාරී මිනිසා කෙළින්ම පොලිස් කාරයන් වෙත පිය නැගීය. ඔහුගේ දෙපයේ වූ කළු කැන්වස් සපත්තු ගැටී, කුඩා මල් සහිත පැළෑටි මත වූ පිනි කැට දිළිසුම් දෙමින් විසිරිණ. හාත්පස රජැයූ ගුප්ත බව අතරින්..... නිකටේ සිට දෙපතුළ දක්වා කළුවෙන් වැසුණු ඒ රුව, තවමත් කෝපයෙන් පසුවූ කොස්තාපල් වරයා වෙත සමීප විය. කොස්තාපල්වරයා ඔහු පිළිගත්තේ ක්ෂණිකව මවාගත් උණුසුම් බවකිනි. එය ඔහුට හුරු පුරුදු වෙස්මාරුවක් වූ බව පෙනිණ. දෙදෙන, කොහුළණු කොටුව තුළට, පොලිස් පරීක්ෂකවරුන් අතරට ගියහ.

ගුප්ත බවින් පිරුණු, නිහඬ, මිනිත්තු කිහිපයක් පුරා කළු ලෝගුධරයා ගේ නිදහස් පිරික්සුමට තරුණියගේ සිරුර ලක් විය. ඉන්පසුව ඒ මිනිසාගේ ඇසට හසු වූයේ මල් රැසක් දොට්ට පැන තිබූ කඩදාසි කවරයයි. කළුවන් දැඩි අත්වැසුමින් වැසුනු අතින් ඔහු එය අහුලාගති.

පාර බදුගත්තාක් මෙන් ඉතා වේගයෙන් ඇදී ආ පොලිස් බයික් එකක් ගේට්ටුව අසළ නතර විය. හඬ නඟා බයික් එක රේස් කරමින් එහි ඉදිරිපස සිටියේ කාකි කළිසමකින් සහ සුදු වේස්ට් එකකින් යුත් තරුණයෙකි. ඔහුගේ දකුණත ඇක්සිලරේටරය මත නොඉවසිලිමත්ව පසුවිය.

තොප්පිය සහිත හිස අතකින් බදාගත් තරු තුනේ ඉන්ස්පෙක්ටර්වරයෙකු එහි පසුපස අසුනින් බිමට බැස්සේය. තමන් ආ අධික වේගය නිසා ගැහෙන දෙපයින් යුතුව ඔහු තණපිටියට ඇතුල් වීමට පෙර කළු වස්ත‍්‍රධාරියා කොහුළණු කොටුවෙන් මෑත් විය.හෙතෙම හනි හනික පිරිස අතරට වැදී මුසු වී ගියේය. මිනිස්සු ඔහුගේ කබායේ කොණක්වත් ස්පර්ෂ නොවීමට මෙන් ඈත් මෑත් වී ඉඩ දුන්හ.

‘‘අකිල,’’ විකුම් අඳුරු මිනිසා දෙස බලාගත්වනම ඇමතීය. ‘‘..... මේ සිද්ධිවලට අරූගෙ මොකක් හරි සම්බන්ධකමක් තියෙනවා. අපේ කාමර ඇවිස්සුවෙත් ඌම වෙන්ඩ  ඕනෙ.’’

‘‘..........’’

‘‘මචං,..... උඹ මෙතන ඉඳං වැදගත් වෙන හැම දෙයක්ම බලාගනිං. මම ඌව ෆලෝ කරන්නම්.’’ විකුම් සෙනඟ අතරට වැදිණ.

කළුපැහැ කබායේ කොන් නැවුම් වාතයේ රැළි නැඟෙමින් අද්භූත මිනිසා පසුපසින් ඇදී ගියේ ය. පින්නෙන් තෙත් බරි වී තිබූ තනපත් මත හදිසි අඩි තබමින් විකුම් ඔහු ළුහුබැඳී.....

දෑතින් මිනිසුන් ඈත් මෑත් කරමින් ඔහු ලී ගේට්ටු අසළටම ආයේය. පාර මත වූ අළුවන් මිහිදුම් තිරය අතර මීටර් දහයක් පමණ දුරින් බොඳවී සැළෙන කළු පැහැ ඡායාවක් ඔහුට මඟ පෙන්වීය.

විකුම් තෙත් වාතස්කන්ධයේ සීතල නොතකා ඒ දෙසට දිව ගියේය. අවට වූ අස්වාභාවික නිහඬතාව මැද පාර මත වදින සෙරෙප්පු අඩි බොල් හඬක් නංවා දෝංකාර දිණ.

කළුවන් රුව ආපසු හැරිණ. ඒ මායාකාරී මිනිසා සර්පයෙකුගේ මෙන් ඉවසිලිමත් ආලස්‍යයකින් පාරේ මීදුම තුළ නතර විය. සැරයටියට බර වී..... ඔහු  ඕනෑකමින්, තමා වෙත දිව එන තරුණයා දෙස බලා සිටියේ ය. මීදුම් තිරය අතර තරුණයා වෙත යොමු වූ මළමිනියක බඳු හැඟීම් රහිත මුහුණ..... විදැහුණු කළුවන් දෑස්..... සර්පයෙකුගේ බඳු නිසල ඉරියව්ව.....

විකුම් උස් කළුවන් රුව වෙත ළඟාවත්ම ඔහුගේ චිත්ත ශක්තිය සිඳී යන්නට විය. ගමනේ වේගයත්, සිත තුළ වූ නිරවුල් ශක්තිමත් බවත්, තවදුරටත් පැවතුණේ නැත. එය හරියටම..... අබිරහස ඔහු නොව තමන් බවට..... ඔහුගෙන් පළා යා යුත්තේ තමන් බවට..... එවැනි හැඟීමක් විය.

ගොදුර පළා යන විට ළුහුබඳින්නා ශක්තිමත්ය. නමුත් ගොදුර පලා නොයයි නම්.....? නැවතී තමා එනතුරු බලා සිටියි නම්.....?

මඳ සිනාවක් වැනි යමක් කළු වස්ත‍්‍රධාරියාගේ ගොරෝසු දෙතොල් අතර පැන නැංගේය. අවසන් පියවර කිහිපය සෙමෙන් පිය නැගූ විකුම්, ඔහුගෙන් පියවර පහක පමණ ඈතින් නැවතිණ. හාත්පස මීදුම තුළ මරණය බඳු සීතලක් පැතිර ගියේය. අවට රජැයූ නිහඬතාවයේ යම්කිසි බියකරු බවක් විය. උදෑසනකට උචිත නොවූ, අප‍්‍රාණික, බර, තෙත් ගතියක්.....

‘‘තමුසෙ කවුද?’’

අඳුරු අමුත්තාගේ නිසල මුහුණේ සිනහවක් ඇදී ගියේය.

‘‘ම්..... මම ඔයිට වැඩි දෙයක් බලාපොරොත්තු වුනා..... මට ෂර්මන් කියන්න.’’

‘‘ෂර්මන්.....?’’

‘‘ඔව්. අපි මෙහෙම ගම්මු.’’ අද්භූත මිනිසා ගේ ස්වරය ලිහිල් බවට හැරිණ. ඔහු වදනින් වදන, පැහැදිලිව උසුරුවන්නට වූයේය.

‘‘අපි දෙගොල්ලොම..... එක පොදු සතුරෙකුට විරුද්ධවයි ඉන්නෙ.’’

Monday, August 12, 2013

රුහිරෙන් පුදමි - 4 වන කොටස

මෙතෙක් කතාව


දොරට තට්ටු කිරීම විකුම් යම්තාක් දුරකට බලාපොරොත්තුව සිටියේ ය. දොර ඉදිරිපිට වූයේ අකිල වීම ඔහුට පුදුමයක් වූයේ නැත.

‘‘වරෙං ඇතුළට.....,’’

අකිල හාත්පස විමසිල්ලෙන් බැලීය. ‘‘අපේ ගෙදර නම් උඩු යටිකුරු කරලා’’

‘‘ඒ උඹේ ගෙදර කවුරුත් නැති හින්දා.’’ විකුම් ඇඳ මත වාඩි විය. ‘‘මෙහෙ අපේ බෝඩිමේ ආන්ටි හිටපු හින්දා වැඩිය කළබල කරලා නෑ.

‘‘මතුපිටින් එකපාරට ම පේන්න නැතත්, මේ කාමරෙත් කවුදෝ සෝදිසි කරලා තියෙනවා. මේසෙ උඩ තිබුණු පොත් ටික, කලින් තිබුණු පිළිවෙලට නැහැ. ඇඳුම් ටිකත් අවුස්සසලා..... පොත් රාක්කෙත් හදිස්සියෙ අවුස්සලා තියෙනවා.

‘‘කළිසම් සාක්කු ඇදලා තිබුණු නිසා මම මුලින්ම හිතුවෙ, ආන්ටිගෙ වැඩක් කියලා..... ඒත් ඒ මනුස්සයා මේ ගැන මොකුත්ම දන්නෙ නෑ.

‘‘වැදගත්ම දේ.....’’ විකුම් කටහඬ බාල කළේය. ‘‘කොන්වන්ට් එකෙන් ගෙනාපු රෝස නැටියි, මිනීමල් කොළෙයි බෑග් එක පිටින්ම අතුරුදහන්.....’’

----------------------------------------

උදෑසන වුවද, හාත්පස වූයේ මන්දාලෝකයකි. වලාබර අහස නිසා පරිසරය පුරා සෞම්‍ය බවක් පිරී තිබිණ. මඳ සුළඟේ පවා සුවදායක බවක් විය.

පාර අයිනේ වූ දැවැන්ත මැයි මාර ගසේ සිහිල යට කුඩා තරුණියක වූවාය. පොත් කිහිපයක් හා කුඩයක් ඇගේ සුරතට හා ළයට තුරුළුව තිබිණ. ඇඳ සිටි සැහැල්ලූ ගවුමින් හා ගෙතූ එකම කොණ්ඩ කරළින් ඇයට චාම්, සරළ බවක් එක් විය. විල්ලූද පෙනුමැති කුඩා පාවහන් සඟලක් ඇගේ පතුල් ආවරණය කළේ ය.

පාරේ අනෙක් පැත්තේ අයින දිගේ තරුණයෙක් සෙමෙන් පියනඟා ආයේය. මාරගසට මුහුණලා, අනෙක් පැත්තේ වූ කුඩා කඩයේ, ඉදිරිපස බංකුව මත කිහිප දෙනෙක් ආගිය කතා කියමින් පසුවූහ. තරුණයා කඩයට ගොඩවී, කවුන්ටරය වෙත ගොස්, යමක් මිළදී ගනු තරුණිය බලා සිටියාය. මිළදී ගත් දෙය කළිසමේ සාක්කුවට දමා ගන්නා ගමන් හැරුනු ඔහුගේ දෑසට ඇගේ බැල්ම හසු වූයෙන්, ඇගේ දෑස සැණින් බිමට හැරවිණ. තරුණයාගේ දෑසේ සුහද සිනාවක් වූ බව ඈ ඇස්කොණින් දුටුවාය.

තරුණයා බංකුවේ කෙළවරක සැහැල්ලූවෙන් වාඩි විය. ඔහුගේ දෑස් තවමත් තරුණිය දෙස එල්ල වී තිබිණ. ඇය නැවත හිස ඔසවද්දී, තමා වෙත යොමුවූ තරුණයාගේ දැස් තෙත් අයිස් කැට මෙන් දිළිසෙණු දුටුවාය.

ඇය එක්වරම බිම බලාගත්තේ නැත.  තම දෑස් පාර සිසාරා යැවූ ඈ බසයක් එන්නේදැයි බැලීමට මෙන් පාරේ කෙළවර දෙස බැලූවාය. ඔහු තවමත් තමා දෙස බලා සිටින බව නොදුටුවද, ඈ දැන සිටියාය.

ඊළඟ වාරයේ ඈ ඔහු දෙස බලන විට, තරුණයාගේ දෑසේ කෙතරම් මෘදු බවක් වූයේද යත්, තරුණිය හැඟීමකින් තොරව මිනිත්තු කීපයක් පුරා ඔහු දෙස බලා සිටියාය.

තරුණයාගේ කෘෂ සිරුර, සුදුමැළි හම, ගිළුණු කම්මුල් හා තද කළු පෑ කෙස්, ඈ තුළ ඇති කළේ ගුප්ත කොහොල් හැඟීමකි. බසය ළඟටම එනතුරු ඈ හට දැනුනේ නැත. ඇය කඩිමුඩියේ බසයට නඟිද්දී, බසයට අත දිගු කළ තරුණයාද, පාර පැන දිව ආයේය.

-----------------------------------------------

ළා අඳුරක් දේවස්ථානයේ මුළු වල සිට මැදට විසිරී විත් තිබිණ. ශාලාවේ ආසන පේළි අතර සිටගත් පිරිස එකම සිහින් හඬින් ගායනා කරමින් උන්හ. හරියටම පාළු..... නිහඬ තැනිතලාවක කුඩා උල්පතකින් නැගෙන සිහින් මරුමුරුවක් සේ..... ඉතා සුමට වූ..... ගීතිකා පද..... ඉදිරිපස පේළි වල සිටි කන්‍යා සොයුරියන් ගේ සිහින් හඬින් නැඟී, දේවස්ථානයේ දැවැන්ත බිත්ති මත රැව් නැංවීය. සැබැවින්ම එය ඉතා සරු..... උත්කර්ෂවත් මොහොතක්.....

එය එසේ ඇගේ හදට දැනින..... ගීතිකාවේ පද, එකිනෙක රැළි මෙන් වර නැඟෙද්දී..... රැල්ලෙන් රැල්ලට..... කෙමෙන් කෙමෙන් යොවුන් කන්‍යා සොයුරිය ගීතිකාවේ විභූතිමත් නින්නාදයේ පරමෝත්කර්ෂය දෙසට නැඟී ගියාය. ආනන්දයෙන් පියවී ගිය දෑසින්.....

සියුම් ස්ත‍්‍රී කටහඬවලින් වාතස්කන්ධය පිරී ගති. හරියටම..... සුරංගනා කතාවක බඳු කුමක්දෝ යමක් එතුළ විය.

අතිශය ශාන්ත ස්වප්නයක් බඳු වූ ගීතිකාව..... ඉතාම සරළ ලෙස අවසානය වෙත ළඟා විය..... ස්ථායී කොටස දෙවරක් ගැයී..... මෘදු ලෙසින්.....

නිහඬතාව මධ්‍යයේ දේශක මව්තුමියගේ හඬ නින්නාද වී, බොල් වතස්කන්ධයේ රැව් නැඟී ආයේ ය. සෙමෙන්..... කුඩා කන්‍යා සොයුරිය තම ආසනය වෙත නැඹුරු වූවා.....

‘‘.....දෙවියන් වහන්සේ අපට දුක් කරදර පමුණුවන විට හෝ ආත්ම පරිත්‍යාගයන් කිරීමට සලසන විට හෝ, අප දේව අභිමතයට අවනත විය යුතුය. දේව අභිමතය ඉෂ්ට කළ යුත්තේ එය අපගේ යහපත සඳහා පවතින නිසාය.....’’

කුඩා දෑත් ළය මත ගුළි කරගත් වනම..... තවමත් ගීතිකාවේ චමත්කාරයට ඒකාත්මිකව සිටි යොවුන් කන්‍යා සොයුරියගේ දෙතොල් කොන්, සිනා රැල්ලකින් නැවිණ. ඈ වහාම සිනහව යටපත් කර ගනිමින්, බිය පත් දෑසින් ඈ අසළම සිටි වෘද්ධ කන්‍යා සොයුරිය දෙස බැලූවාය.

--------------------------------------------------------- 

අකිල දොර ඇරියේ කැමැත්තකින් නොවේ. මෙතෙක් ගිළී සිටි නින්දෙන් හදිසියේ අවදි කරවනු ලැබ ඇතිවන නුරුස්නා හැඟීමෙන් සහ බමන ගතියකින් ඔහුගේ හිස පිරී තිබිණ.

‘‘ආරංචි නැද්ද.....?’’ දොර ඉදිරිපස වූ විකුම් ගේ හදිසි ස්වරය.

‘‘මොකද්ද?’’ අකිල නැවත තම සරම හරිගස්සා ඇඳගත්තේය.

‘‘වරෙං යන්ඩ. ඉක්මණට ෂර්ට් එකක් දාගනිං.’’

‘‘කොහෙද?’’

‘‘විස්තර යන ගමන් කියන්නම්. දැන් ඉක්මන්කරපං.’’

අකිල ආපසු හැරිණ. කළිසමක් ඇඳ, කමිසයක් ඇඟට දමා ගනිමින් ම ඔහු ආපසු ආයේය.
දෙමිතුරෝ හණික මඟට බටහ.

එය මීදුමින් පිරුණු, තෙත්ම තෙත් උදෑසනක් විය. පාර දෙපස මල් වැටවල් පින්නෙන් බර වී, කඩා හැළී තිබිණ. ඇසට නොපෙනී සැඟවුණු කුඩා කුරුල්ලෝ හදිසියකින් මෙන් කෑගැසූහ.

‘‘උඹ මොකද හිතන්නෙ..... නෙල්කගෙ සිද්ධිය ගැන.....?’’ විකුම් සිගරැට්ටුවක් මුවෙහි රුවා ගෙන, ගිණි කූරක් ගැසීමට නැවතිණ.

අකිල සැණින් ඔහු වෙත හැරිණ, විස්මයාර්ථ නෙතින්.

‘‘ටිකක් හිතපං.....,’’ විකුම් නැවත ගමන් ඇරඹීය. ‘‘මුළු ඇඟම සුදුමැළි වෙලා.....’’

‘‘හුඟක් ලේ ගිහිල්ලා.....’’

‘‘ඔව්..... නමුත් උඹ හිතුවද..... කොහොමද, කොහෙටද ඒ ලේ ගියෙ කියලා.....?’’

‘‘කොහොමද?’’

‘‘එදා ලොකු සිස්ටර් මාත් එකක් කිව්වා.....’’

‘‘මොකද්ද?’’

‘‘නෙල්කගෙ තුවාලයක් තිබුණලූ.....එයාගෙ තොල් දෙක වගේම..... සුදුමැළි වෙලා, තුවාල ගැටි ඉදිමිලා..... එයාගෙ බෙල්ලෙ.’’

‘‘මොනවා?’’

‘‘ඔව්.....’’ විකුම් ගේ ස්වරය පහත් විය. ‘‘හිතන්න පුළුවන්ද මොකක් නිසාද කියලා..... ඒ විදිහට තුවාල වුනේ?’’

‘‘..........?’’

‘‘අකිල.....’’ තත්පර කීපයකට පසු විකුම් කටහඬ අවදි කළේය. ‘‘අපට ඇහැට පේන දේට, කණට ඇහෙන දේට එහා ලෝකයක් තියෙනවා මචං. අපට වටහගන්න බැරි..... අපි දන්න දේවලට අනුව විශ්වාස කරන්න බැරි..... අබිරහස් දේවල්, මේ ලෝකෙ හැම කාලෙකම තිබිලා තියෙනවා.’’

‘‘විකුම්?’’

‘‘උඹ දන්නවද.....? පැම්පාස් තණබිම් වල ඉන්නවා වැම්පයර් වවුල්ලූ, උන් රෑට නිදාගෙන ඉන්න සත්තුන්ගෙ උණුසුමට ඇදිලා ඇවිත්, දත් වලින් උන්ගෙ නහර හිල් කරලා, ලේ උරා බොනවා..... හිස් වෙනකල්.....’’

අකිල එක්වරම නැවතී, විකුම්ගේ අත තදින් අල්ලාගත්තේය. ‘‘උඹ කියන්නෙ ඒ වගේ වවුල්ලූ ගැනද? .....මෙහෙ?’’

‘‘මං එහෙම කියන්නෙ නෑ. පේන හැටියට තත්ත්වෙ ඊට වඩා වෙනස්. කොහොම හරි..... අපට මේ ගැන හොයා බලන්න තවත් ටිකක් පහසු වෙලා තියෙනවා.’’

‘‘ඒ කොහොමද?’’


‘‘තවත් මේ ගමේම කෙල්ලෙක්ගෙ බොඩි එකක් අද උදේ හොයාගෙන....., පාළු පිට්ටනියෙ තිබිලා.....’’