Friday, April 4, 2014

ජිනීවා යෝජනා සහ යුධ ජයග්‍රහණ ආපසු හැරවීම

පරිකථා- 

එක් බමුණෙක් කැලයක් මැදින් යන කල කූඩුවෙක අසු ව සිටි දිවියකු දුටුවේය. දිවියා බැගෑ පත් ලෙස බමුණාට කථා කොට, “මිත්‍රය, මට මින් පිට ව යෑමට කරුණා කර මේ කූඩුවේ දොර අරින්නැ“ යි කීවේය.

“ඔබ අසත් පුරුෂයෙකි; කූඩුවේ දොර ඇරියොත් මා මරන්නට පුළුවනැ“යි බමුණා කීය.

“මිත්‍රය, බිය නො වන්න. මම කිසි විටෙක මට උපකාර කළ කෙනෙකුට අනතුරක් නොකරමි“යි දිවියා කීවේය.

දිවියාගේ වචනය විශ්වාස කළ බමුණා කූඩුවේ දොර ඇරියේය. දිවියා පිට වූ විගසම බමුණා මරා කන්නට සැරැසිණි. බමුණා පුදුමයට පත් ව, “ඔබට එළියට ඒමට උපකාර කළ මා මැරීම යුතු කමෙක් දැ“යි ඇසීය.

“මිනිසුන් හා සතුන් මරා කෑම මගේ සිරිතෙකි. ඒ නිසා ඔබ මැරීම අයුත්තෙක් නො වේ“යි දිවියා කීය.

“හොඳයි, ඔබේ කල්පනාවයි ඔය, අපි මේ ගැන වෙන කෙනෙකුගෙන් අසා බලමු. ඔහු කරන නියමයකට මම යටත් වෙමි“යි බමුණා කීවේය. මෙයට එකඟව දෙදෙන පිටත්ව ගියහ. අතර මඟ දී ඔවුනට හිවලකු මුණ ගැසිණ. බමුණා හා දිවියා ඔවුන්ගේ තොරතුරු හිවලාට කියා දුන්හ. හිවලා කථා කරමින්, “ඔබ දෙදෙනාගේ කථාවෙන් මට මෙය තේරුම් ගත නො හැක. පළමුව දිවියා කූඩුවේ උන් සැටි ද බමුණා දොර ඇරිය සැටි ද මට පෙන්වන්නට ඕනෑ“යි කීවේය. එය පෙන්වීමට දිවියා කූඩුව ඇතුළට විය. බමුණා දොර වැසුවේය. එවිට හිවලා බමුණාට කථා කොට, “මෝඩ බමුණ, අසත් පුරුෂයකුට හොඳක් කරන්නට ඔබට නුපුළුවනැ“යි කියා යන්නට ගියේය.
-------------------------------

http://24.media.tumblr.com/
tumblr_m61spub2WH1qlblyno1_500.jpg

පහුගිය මැතිවරණ වේදිකා වලදීත්, ආණ්ඩුවෙන් කරන ප්‍රකාශ වලිනුත්, ජාතික ප්‍රවෘත්ති වලිනුත් හෙළිදරව් වන භයානක සත්‍යයක් ඩ්‍රැකියා පැහැදිලි කිරීමට හිතුවෙමි.

මුළු ලෝකෙම ඉන්නේ මිනිස්සු දෙවර්ගයයි: (හරියට ලංකාවෙ ඉන්නේ මවු බිමට ආදරේ කෂ්ඨියයි, දේශද්‍රෝහී කෂ්ඨියයි වගේ) ලංකාවට සපෝට් කරන අයයි, කොටි හිතවාදීනුයි විතරකි.

ලංකාවේ හමුදා, විමුක්ති අරගලයක් කොරමින් හිටපු කොටි බර ගාණක් මරා දමා, මානුෂික මෙහෙයුමක් කර, ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ මුදවා ගත්තෝය. ඒ මානුෂික මෙහෙයුම අතර තුරේ සහ ඊට පස්සෙ උතුරෙ මිනිස්සුන්ව නොසෑහෙන්න මර්ධනය කරමින් ඉන්නෝය. සමහරු අතුරුදහන් ද වෙති. සමහරු අත්අඩංගුවට ගන්නේ කොටි හිතවාදීන් කියමිනි. දකුණේ පානීය ජල ප්‍රශ්නය, අර්ථසාධකේට කෙළවෙන්ඩ යනබව, ආදී දේශද්‍රෝහී සටන් පාට අරං පාරට බැහැපු උන්ට වෙඩිත් තිබ්බෙමු. උතුරෙ ඒ කියපු විමුක්ති අරගලය ට විසිල් ගහපු සහ උදව් කරපු ලෝකේ පුරා ඉන්නා කොටි හිතවාදී ටික මේ අවනඩුව එක්සත් ජාතීන් ගේ දොරකඩටම ගෙන ගියෝ ය.

දැන් ඔන්න එක්සත් ජාතීන් ගෙන් කෙනෙක් මේක ගැන හොයන්ඩ එන්නෝය. ඇවිදින්, අර පරණ කුමාරෝදයක තිබුණා වගේ, මේක කොහොමද උනේ, මට කරලා පෙන්නන්ඩය කියා කියන්නෝය.
කලින් කොටි හිටියෙ කොහොමද? හමුදාව හිටියෙ කොහොමද? රට තිබුණෙ කොහොමද? කියා අහලා, ඒ හැම එකක් ම කලින් තිබ්බ තත්ත්වෙට පත් කරන්නෝය. ඊට පස්සෙ ඔහොමම ඉඳපියව් කියා උන්නැහැ යන්නෝය.

ඕං ඔහොම ජාත්‍යන්තර පරීක්ෂණ කොරන්ඩ ගියොත් නං, අපි ලබාපු යුධ ජයග්‍රහණත්, මවුබිමේ සංවර්ධන කටයුතුත් ආපසු හැරෙනවාය. ඒ හින්දා එක්සත් ජාතීන්ට මේ රටට අඩිය ගහන්ට දෙන්ඩ හොඳ නැත.

මේ ක්‍රමේ ඇරුණහම, ආණ්ඩුව සහ හොරණෑ ජනමාධ්‍ය පුන පුනා කියනා මේ කතන්දරේ තේරුම්ගන්න පුළුවන් විදිහක් මට නං තේරෙන් නෑ ය.

30 comments:

  1. උඹ ඔය කියන්නේ ආණ්ඩුව අපිට පෙන්වන්නේ මේ වගේ දෙයක් කියලද ? නැත්නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න ආවොත් උන් අනිවා මෙහෙම කරයි කියලා උඹේ අදහසද ?

    මගේ අදහසනම් උන් ආවොත් අනිවා දිවියව කූඩුවට දානවා. ඒක හැමදාම වෙච්ච දේ. උන්ට ඔය තියෙන්නේ මානව හිමිකම් කඩවීමක් ගැන ඇති රුදාවක් නෙමේ. එහෙනම් මේ ලෝකේ කොච්චර මානව හිමිකම් කඩ වීම වෙනවද තව ? උන්ම කොච්චර කඩ කරනවද ? උන්ට තියෙන්නේ උන්ගේ බහට අවනත නොවීමේ තරහට පළි ගැනීමේ උවමනාව විතරයි. උන්ගේ ආයුධ වෙලාදාමට වෙච්ච සුළු හරි පාඩුවට වාඩුව ගැනීම විතරයි. නැත්නම් ලංකාවෙම 88/89 උන මානව හිමිකම් ගැන කෝ කතා ? ඒ මැරුනේ මිනිස්සු නෙමේද ? එහෙම නැත්නම් එකම වර්ගයේ සමහරු කියන හැටියට ගෝත්‍රයේ උන් මරා ගත්තට මානව හිමිකම් කඩවෙන්නෑ කියලා ඔය ප්‍රඥප්ති වල කොහේ හරි ලියලා තියනවද ??

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා ප්‍රශ්නය විස්තර කර දැක්වීමට...

      මට ඕනෙ වුනේ, හැබැයි පොඩි දෙයක් කියන්නයි. ආණ්ඩුව මේ කියන සමහර කතා වල තේරුමක් තියෙනවද කියන ප්‍රශ්නය මතු කරන්නයි. අයිටිඑන් එක වගේ මාධ්‍ය වලින් සමහර සටන් පාඨ ගෙඩි පිටින් මිනිස්සුන්ගෙ ඔළු වලට දානවා. ඒවා උස්සගෙන කෑ ගැහුවට ඒකෙ තේරුමක් තියෙනවද කියන එක වත් මිනිස්සු හොයන් නැති වෙයි කියන එකයි, මට පේන්නෙ ඒ මාධ්‍ය වල අදහස. ඒක හරියට ලංකාවෙ රසිකයො ගැන ටෙනිසන් කුරේලා හිතං ඉන්න විදිහ වගේ දෙයක්.

      Delete
  2. ආණ්ඩුවත් කාලෙන් කාලෙට පට්ට ගහන්න මොකක් හරි හොයා ගන්නව නෙ. ජිනීවා කේස් එකෙන් නම් වැඩ ගත්ත නෙ ඡන්දෙදි. තවත් දුවයි ඕක. අර උඩ කතාව මේකට ගලපපු හැටි නම් මරු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන... ජිනීවා කතන්දරේ ආණ්ඩුව යොදාගත්ත හැටි ගැන නං ලැජ්ජයි කතා කරන්න. මුං හිතං ඉන්නෙ සමහර විට හම්බන්තොට ගං කබරයො වගේ කියලා වෙන්නැති, ජාත්‍යන්තර සංවිධානත්.

      Delete
  3. ලංකාවේ හමුදා මානුෂික මෙහෙයුමෙන් හෝ වෙනත් මොන ආකාරයක මෙහෙයුම් වලින් හෝ උතුර අල්ලා ගත්තේ නැත. අලාගන්න එය වෙනත් කෙනෙකුගේ භූමියක් නොවුනි. තම ජාතියේ අයද, අන්‍ය ජාතීන් වලට අයත් ජනතාවද මරමින්, පෙළමින්, දරුණු පාලනයක් ඇතිකිරීමට උත්සාහ කල, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවා ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගන්නා, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දුර්දාන්ත පාලනයෙන් මුදාගත්තා පමණි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක මහත්තයා... මං ඒක නිවැරදි කළා.

      Delete
  4. ආණ්ඩුවත් කාලෙන් කාලෙට එක එක පද කියන එකේ ,මොනා කියන්නද කියලයි හිතුවේ

    ReplyDelete
    Replies
    1. මෙනාව කියන්නද ඉවෝන්, ඒත් මේ මොනවා කිව්වත් තේරෙන් නැති උන් ඉන්න බව ඡන්ද ප්‍රතිඵල වලින් ම වැටහෙනවනේ. ඉතින් මං දිගින් දිගටම කියනවා...

      Delete
  5. බොරුවට ආයුෂ නැත.

    ReplyDelete
    Replies
    1. ඒක අපිටත් වඩා හොඳට ආණ්ඩුව දන්නවා. ඒකනෙ කාලෙන් කාලෙට එක එක ආතල් දෙන්නෙ...

      Delete
  6. ඇඟ හිරිවැටෙනවා ඩ්‍රැකියො මේ කියන කතාව ඇහුවම.

    ReplyDelete
    Replies
    1. ඇග හිරි වැටෙනවා නේන්නං. දැන් ඉතින් එක්සත් ජාතීන් ඇවිත් මැරිච්ච කොටි ඔක්කොටම පණ දෙයි. ප්‍රභාකරනුත් වළෙං නැගිට්ටවලා, ඔළුවටට පැච් එකක් දායි. හදල තියෙන පාරවල්, පාළං, එයාපෝට් එක එහෙම, ඔක්කොම ගළවයි. මාර කෙළියක් වෙන්නෙ...

      Delete
  7. විකාර බං විකාර..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ දේශපාලනය එක වචනයකට ලඝු කළ දේශකයාට මගේ මෙව්වා එක...!

      Delete
  8. මැස්සෝ වහන්නේ කුණු වලට රට කුණු ගොඩක් කරලා තියෙන්නේ මේ ආණ්ඩුව කරවන වුන් තමයි.කොළඹ කුණු අයින් කරලා වැඩක් නැහැ රට ඇතුලේ කුණු ගොඩ ගහගෙන.හැබැයි මේ සම්මාජාති මේ කුණු ගොඩ අයින් කරවී කියලා හිතන්න එපා මේ ආණ්ඩුව.මොකද මේ ආණ්ඩුව තියෙන්නේත් ඔය මානව හිමිකම් කේස් එක නිසාම තමයි.එකෙන් තමයි මේ ආණ්ඩුව දේශප්‍රේමි රෙද්ද මහාගෙන තියෙන්නේ.නැතිනම් මුන් ඉන්නේ අමු නිර්වස්තරෙන්.

    ReplyDelete
    Replies
    1. මනෝජ් ගෙ විග්‍රහය සිරා. ඒක තව පැයක් විතර යනකං කල්පනා කළ යුතු එකකි. මානව හිමිකම් කේස් එකයි ආණ්ඩුවයි කියන්නෙත් එකම කාසියෙ දෙපැත්ත වගෙයි. මැකියාවෙලි සිහිපත් වේ....

      Delete
  9. ජිනීවා නැත්නං ආණ්ඩුව කරලත් ඉවරයි බං,කලින් කලට පලින් පල කිව්වහේ කාලෙන් කාලෙට කියන්න මොකක් හරි හොයාගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඕකට මරු නමක් කිව්වා අනුර කුමාර දිසානායක, පහුගිය ජනාධිපතිවරණය කාලෙදි. “එදා වේල කැම්පේන්“

      Delete
  10. ඡන්දෙට කලින් ඕක පුන පුනා කිව්වට දැන් සද්ද නැහැ නේද?

    කවද හරි වෙන්නෙ කොටි ආවෝ කිය කිය කෑගහපු ගොපල්ලට වෙච්ච කතාව..

    ReplyDelete
    Replies
    1. ගිය බ්‍රහස්පතින්දා මහින්ද රාජපස්ස අපේ රජතුමා මේ කතාව ආපහු කියලා තිබ්බා.

      වැඩේ මචං, කවද හරි වෙනකං බලං ඉන්න බැරි එකනෙ.

      Delete
    2. කියලා වැඩක් නැහැ සෑම්. දත්මිටි කැවෙනවා ගංකබර බයිලා වලට. අපේ සම හරක් ට තේරෙන්නේ නැහැ. චන්දෙට කලින් ඕක පුන පුනා කිව්වා නෙවෙයි, චන්දෙන් පස්සෙ ඔක පූනෑ කියලා තමයි ඔය ගස් බලූ දේශපාලුවෝ කිව්වේ.

      Delete
    3. ගංකබර බයිලා වලින් ප්‍රතිවිපාක විඳින්නෙ කවුද? අපි අපිමයි නේ?

      Delete
  11. මේ ආන්ඩුව හත්පොලේම ගාගෙන. ආන්ඩුව ගාගත්තට අපිට කමක් නැහැ. හැබැයි රාජ්‍යයක් හැටියට රටේ ජනතාවට අත්වෙන ඉරණමට වගකියන්න අද එකෙක් නැහැ. අද විදේශ සේවය බල්ලට ගිහින්. බල්ලෝ විදේශ සේවයට ඇවිත්. එවැනි වගකිමක් සහිත සේවයක් සජින් වාස් වැනි පඟර නැට්ටන්ගේ ග්‍රහණයට අහුවෙලා නන්නත්තාර වෙලා.

    ReplyDelete
    Replies
    1. විදේශ සේවය කියන්නෙ පැන්ෂන් ගිය කීකරු යුධ නිලධාරීන්ට සහ ඥාති සංග්‍රහයට වෙන් කෙරුණු වරප්‍රසාදයක් වෙච්ච රටේ, තව මොන කතාද බොස්? හම්බන්තොට උන්ට ගිල්වපු අග්ගලා දැන් මුළු රටටම ගිල්ලවනවා. පහුගිය මාර්තුවේ ඒ අග්ගලාම ජාත්‍යන්තරයටත් ගිල්ලවන්නයි හැදුවෙ.

      Delete
  12. ජිනීවා ලං වෙද්දි ඉතින් අපේ අයත් කියන්නේ එක එක ඒවනේ.. ඒකනේ ඉතින් තියෙන අවුල..

    ReplyDelete
    Replies
    1. එක එක කියවන දේවල් වල ප්‍රතිඵල?

      Delete
  13. මනුස්ස ජීවිත වල වටිනාකම තුට්‍ටුවට බැහැල, ඩ්‍රැකී. නීතිය , අවනීතිය වෙලා. .මේක අද ඊයෙ, මේ ආණ්ඩුව පටන්ගත්ත එකක් නූනත්, මෙයාලත් සාර්ථක ලෙස ඒකම කරගෙන යනවා,

    ReplyDelete
    Replies
    1. සාර්ථක ලෙස ඒකම කරගෙන යනවටත් අමතරව, නිර්ලජ්ජිත ලෙස ඒක එළිපිටම කරගෙන යනවා. චෞර රැජිණ වත් මෙහෙම කළේ නෑ.

      Delete
  14. මං ඔය මාතෘකාව ගැන කතා නොකරන්නෙ මගෙ ලේ උණුවෙන හින්දයි ඩ්‍රැකී. මං එහෙමම ඉන්නං..

    ReplyDelete
    Replies
    1. ලේ උණුවෙන අය කටපියාගෙන ඉන්න එකෙන් කාටද වාසි සරත් අයියා?

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි