Tuesday, June 17, 2014

බෞද්ධයිනි අවදිවව්! - (2014 පොසොන් කළාපය 2 කොටස)

http://dhammamedicine.net/wp-content/uploads/2011/04/malak-vee.jpg

මේ පෝස්ටුව සාකච්ඡා කරන්නේ කාලීන ප්‍රශ්නයක් ගැනයි.

බුදුන් වහන්සේ සමඟ වාද කිරීමට, නිඝණ්ඨනාථ පුත්‍ර හෙවත් මහාවීරගේ ප්‍රධාන දායකයෙක් වූ උපාලි ගෘහපති පැමිණීම ගැන,  සූත්‍ර පිටකයේ, මඣ්ඣිම නිකායේ, මඣ්ඣිම පන්නාසකයේ, උපාලි සූත්‍රයේ සඳහන් වෙනවා. අවසානයේ බුදුන් දේශනා කළ ධර්මය තේරුම් ගෙන උපාලි ගෘහපති තෙරුවන් සරණ යාමට තීරණය කරනවා. ඒ බව බුදුන්ට දැන්වූ විට එතුමා ඔහුට කියන්නේ, "සිතා බලා කටයුතු කරන්න. ඒක ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ට මැනවි" යන්නයි.

ඒ ප්‍රකාශයෙන් උපාලි ගෘහපති තව තවත් බුදුන් ගැන පැහැදීමක් ඇති කර ගන්නවා. ඔහු කියනවා, "වෙනත් ශාස්තෘවරයෙක් නම්, මාවැනි ප්‍රසිද්ධ පුද්ගලයෙක් තමන්ගේ දායකයෙක් වූවා නම්, ඒ ගැන නගරය පුරා ප්‍රචාරය කරවනවා. එහෙත් බුදුන් වහන්සේ කීවේ සිතා බලා කටයුතු කරන්න කියායි. එනිසා මම වඩාත්ම උන් වහන්සේ ගැන පැහැදුනා" කියා.

එවිට බුදුන් වහන්සේ ඔහුට මෙසේ කියනවා, "ඔබගේ ගෙදර මෙතෙක් කල් නිඝණ්ඨ ශ්‍රාවකයන්ට නිරන්ත‍රයෙන් දන් දුන් තැනක්. එය දිගටම එසේම කරගෙන යාම වඩා සුදුසු බව මගේ හැඟීමයි."

-----------------------------------

සංඝයා වහන්සේ ගේ ගුණ:

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,

උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
යදිදං චත්තාරි පුරිසයුගානි
අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ,
ආහුණෙය්‍යෝ,පාහුණෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ,
අංජලිකරණීයෝ ,අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.


මේ ගාථාවෙ තේරුම හොයාගෙන යද්දි මට හම්බ වුණා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ‍පොතක් මෙන්න මේ සයිට් එකෙන්. (මෙතනින් බාගත කරගන්න පුළුවන්)  උන්වහන්සේ පැහැදිලි කර දෙන ආකාරයට තේරුම මෙන්න මේකයි:

නිවණට පමුණුවන යහපත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝයා,
කෙළින්ම නිවණට යොමු වූ සෘජු මාර්ගයට පිළිපන් භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝයා,
අධි ශීල, අධි චිත්ත, අධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපත්තිය පුරන ශ්‍රාවක සංඝයා,
සියළු සත්ත්වයන් කෙරේ මෛත්‍රියෙන් කටයුතු කරන නිසා ගුණවතුන්ට මෙන් සැළකීමට සුදුසු ශ්‍රාවක සංඝයා,
සරණ යා යුතු යුග පුරුෂයන් වෙති,
අට විධ පුරුෂයන් වෙති (සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ගඵල වලට පිළිපන් සහ මාර්ගඵල ලබා ඇති වශයෙන්)
එසේවූ භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝයා:
දන් සකස් කර කොතරම් දුරකට හෝ ගෙන ගොස් පිළිගැන්වීමට සුදුසුය, වෙනත් ආගන්තුකයෙක් වෙනුවෙන් වෙන් කළ දෙයක් වුවත් දානයක් ලෙස පිළිගැන්වීම සුදුසුය, පරලොව අරමුණු කරගෙන දන් දීමට සුදුසුය,
දෝත් නඟා වැඳීමට සුදුසුය, මේ ලෝකයේ ඇති උත්තම වූ පින් කෙතකි, (පින් වර්ධනය කරවා ගැනීම පිණිස කුසල් ක්‍රියා වැපිරීමට සුදුසුය)

බෞද්ධයන්ගේ වැඳුම් ලැබීමට සුදුසු වූ සංඝයා වහන්සේ ඉහත ගාථාවේ සඳහන් ලක්ෂණ වලින් යුක්තයි.

අන් ආගම් ගැන බුදුන් දැරූ සහනශීලී සහ සුහද ශීලී පිළිවෙත ගැන මුලින් කියූ කතාව උදාහරණයක් ලෙස ගොඩක් තැන් වල දැක්වෙනවා.

ඒ වගේම, සංඝයා යැයි කියාගන්නා ප්‍රචණ්ඩකාරීන් පහුගියදා අලුත්ගමදී කරපු ආවේගශීලී ප්‍රචණ්ඩකාරී කතා, සහ හැසිරීම් බොහෝ අන්තර්ජාල පුවත් අඩවි වලින් දැකගන්න පුළුවන්.

සැබෑ බෞද්ධයින් මොකද්ද කරන්න ඕනෙ?

1. බුදුන් අනුගමනය කරනවාද?
2. නැත්නම් (ගෝඨාභයගේ කොන්ත්‍රාත් මත ජනතාව භේද කරන) බොදුබලුසේනාව අනුගමනය කරනවාද?

Wednesday, June 4, 2014

නව අරහාදී බුදුගුණ මෙනවාද? - 2014 පොසොන් කළාපය ඇරඹේ

පසුගිය මාසයේ වෙසක් කළාපය කරන්න හිටියත්, විවිධාකාර දේවල් නිසා ලියන්න බැරි වුණා. ඒ අඩුව මැකෙන්නත් එක්ක පොසොන් කළාපය කොහොම හරි කරනවා කියන අධිෂ්ඨානයෙන්, අකුරු කරන්න වාඩි වුණා.

පොසොන් කළාපයෙන් මේ පාර නව අරහාදී බුදුගුණ ගැන මේ දවස් ටිකේම හිතේ එකතු වුණ අදහස්, ගවේෂණයක් විදිහට එළියට දාන්න හිතුනා.

ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්මසාරථී සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවා තී

මේ පාලි පාඨයෙන් දැක්වෙන බුදුගුණ මේ මේ යැයි පැහැදිලි කරගැනීම තමා මේ ලිපියෙන් අරමුණු කරගන්නෙ.

මේ පාලි පාඨයේ තියෙන බුදුගුණ මොනවද?
  1. අරහං
  2. සම්මා සම්බුද්ධ
  3. විජ්ජාචරණ සම්පන්න
  4. සුගත
  5. ලෝකවිදු
  6. අනුත්තර පුරිසධම්මසාරථි
  7. සත්තා දේවමනුස්සානං
  8. බුද්ධ
  9. භගවා

බුදුන් වහන්සේ පසිඳුරන්ගෙන් ලැබෙන රූප, ශබ්ද, ගඳ/සුවඳ, රස, ස්පර්ෂ ආදී දෙය කෙරෙහි ඇලීමකින් තොරවූ තත්ත්වයට පත්වුණ තැනැත්තෙකි. මනසින් ඇතිවන අරමුණු කෙරෙහි ඇලීමකින් තොර තත්ත්වයට පත් වුණු තැනැත්තෙකි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොර වූ තැනැත්තෙකි. මේ ගුණය අරහං යනුවෙන් හැඳින්වේ.

සසර ගමන නැවැත්වීමට මාර්ගය තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් බව, සම්මා සම්බුද්ධ යන වචනයෙන් හැඳින්වේ.

ලෝකය පිළිබඳ සියලු විද්‍යාවන් අවබෝධ කරගෙන, ඒ අනුව හැසිරුණු බව විජ්ජාචරණ සම්පන්න යන පදයෙන් හැඳින්වේ. (මේක හරියට මෙට්රික්ස් එකේ කෝඩ් එක නියෝ විසින් අවබෝධ කරගැනීම වගේ දෙයක්ය යන්න මගේ හැඟීමයි. ලෝකයේ නියම තත්ත්වය සහ ස්වරූපය අවබෝධ කරගත් අයෙකුට, ගුරුත්වාකර්ෂණය, ආලෝකයේ වේගය වගේ භෞතික ලෝකය මෙහෙයවෙන නීතීන් තමන්ට අවශ්‍ය පරිදි නැවීමට හැකි වේ. ඒ අනුව පෘතග්ජනයන්ට ප්‍රාතිහාර්ය හෝ මැජික් ලෙස දැනෙන දේවල් පවා කරන්නට හැකියාව ලැබෙනු ඇත.)

චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට මධ්‍යම ප්‍රතිපදාවට එළඹුණු බුදුන් වහන්සේ, මූලික මාර්ගයන් අටක් (ආර්ය අෂ්ටාංගික මාර්ගය) ඔස්සේ කටයුතු කළ සේක. එසේ නියම මගට පිවිසී, ඒ මාර්ගයේ ගමන් කළ නිසා සුගත යන නමින් හැඳින්වේ.

අපට පියවි ඇසට පෙනෙන ලෝකයත්, එසේ නොපෙනෙන අනෙක් ලෝකත් යන සියලු ලෝකයන් පිළිබඳව දැනසිටි නිසා ලෝකවිදු යන පදයෙන් බුදුන් වහන්සේ හැඳින්වේ. මෙතැනදී බොහෝ දෙනා සතර අපාය, සදෙව් ලෝක, බ්‍රහ්ම ලෝක, ප්‍රේත ලෝක ආදිය අදහස් කරති. ඒ ලෝක සියල්ල මිහිපිටම පවතින දේවල්ය යනු මාගේ අදහසයි.  (සරත් ලංකාප්‍රිය වරක් කියා තිබුණා වගේ, අපට ඇසට නොපෙනෙන කොතරම් ජීවීන් මේ මිහිපිට සිටිනවාද? අපගේ ක්‍රියාවක් ක්‍රියාවක් පාසා ඒ ජීවීන් හිරිහැර විඳිති.)

කිසිවෙකුටත් මෙල්ල කළ නොහැකි, පරාජය කළ නොහැකි බොහෝ දෙනාගේ දළදඬු බව - තම මෛත්‍රී, කරුණා, උපේක්ඛා ගති ගුණ වලින් සහ දර්ශනය මඟින් මොලොක් කර, තමන් වෙත මිතුරු කර ගැනීමටත්, තම අරමුණ සහ තම දර්ශනය වෙත යොමු කරවා ගැනීමටත් බුදුන් වහන්සේ සතු වූ හැකියාව අනුත්තර පුරිසධම්මසාරථි නම් පදයෙන් හැඳින්වේ.

බුදුන් වහන්සේ සියලු දේව මනුෂ්‍යයන්ගේ ශාස්තෘන් ලෙස හැඳින්වෙන බව සත්තා දේවමනුස්සානං යන පදයෙන් දැක්වේ.

තමන් වහන්සේ අවබෝධ කරගත් දර්ශනය පැහැදිළි ලෙස, තේරුම් සහිතව, විස්තරාත්මකව දේශනා කර ඇති බව, බුද්ධ යන වචනයෙන් අදහස් වේ. ඇත්තටම සූත්‍ර පිටකය සහ අභිධර්මය යන කොටස් වලින් බුදුන් තම මාර්ගය කොයිතරම් සවිස්තරාත්මකව සහ ගැඹුරින් පැහැදිළි කර තියෙනවාද යන්න ගැන හොඳ අදහසක් ලබා ගන්නට හැක.

බුදුන් වහන්සේගේ ජීවිතය දෙස බලන විට එතුමා මෙතෙක් බිඳ හෙළන්නට නොහැකි දර්ශනයක් බිහිකළ දාර්ශනිකයෙක් සහ ශාස්තෘ වරයෙක් බවට පත්වන්නට හැකිවූ මහා භාග්‍යවන්තයෙක් බව පෙනේ. මෙය භගවා යන පදයෙන් හැඳින්වේ.

http://www.travel-pictures-gallery.com/images/sri-lanka/polonnaruwa/polonnaruwa-0013.jpg


බුදුන් වඳින්නට යොදාගන්නා මේ සරළ පාලි පාඨයෙන් පවා බුදුන් ගැන සහ උන්වහන්සේගේ දර්ශනය ගැන හොඳ අවබෝධයක් ගන්න හැකියාව ඇත.

ප/ලි

මට තේරුම්ගන්නට නොහැකි එකම දෙය වන්නේ, මෙම පාඨය පුනරුච්ඡාරණය කරමින් බුදුන්ගේ මේ මේ ගතිගුණ වල බලයෙන් මට යහපතක් වේවා, මගේ ග්‍රහ අපල දුරුවේවා කියමින් කවි හදාගෙන ගායනා කරන තක්කඩියන්ගේ අරමුණ මොකද්ද යන්නයි. සෑම දවසකම රේඩියෝ චැනල් වලින් මේ දේවල් ප්‍රචාරය කරන්නේ ඇයි?

ඉහත ප්‍රශ්නය නැඟූ විට මට ලැබෙන සුලභම උත්තරය වන්නේ මම බෞද්ධයෙක් නෙවේය යන්නයි. බෞද්ධයෙක් කියන්නේ කාටද? මෙයින් වන්නේ ප්‍රශ්නය තව තවත් දිග්ගැස්සෙන එක පමණකි.

බුදුන් වහන්සේ “කිං කරිස්සන්ති තාරකා“ (තාරකා මොනවා කරන්නද?) කියා එක් තැනක දේශනා කර ඇති බව මා දැක තිබේ. උන්වහන්සේ ගේ දේශනා අනුව මා අවබෝධ කර ඇත්තේ:
  1. මනස සියලු ධර්මයන්ට මූලික වන්නේය, පෙරටු කොට යන්නේය,
  2. අප්‍රමාදව ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් සසර දුක කෙටි කරගැනීම බෞද්ධයාගේ අරමුණයි, 
          ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන්නේ:

                                I.            යහපත් වචන,
                              II.            යහපත් කර්මාන්ත,
                            III.            යහපත් ජීවන ක්‍රමය,
                            IV.            යහපත් වෑයම,
                              V.            යහපත් සිහිය,
                            VI.            යහපත් සමාධිය (සිතේ එකඟ බව)
                          VII.            යහපත් දැකීම,
                        VIII.            යහපත් සංකල්ප,

ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන මෙතැන දීර්ඝ ලෙස විස්තර කළ යුතු වුනත්, මේ ඊට වේලාව හෝ තැන හෝ නොවේ. එසේ කර ඇති පැහැදිලි විස්තරයක් මෙතැනින් කියවන්න පුළුවන්.

ඉතින් බෞද්ධයන් කළ යුත්තේ මගඩිකාර රේඩියෝ මුදලාලිලාගේ තක්කඩිකම් පස්සේ යාමද / බුදුන්ගේ සරණ හෙවත් බුදුන් ගේ මාර්ගයේ (ටෙලිෆෝන් එකෙන් කතා කරලා අන්තිමට කියන බුස්සරණ නෙමෙයි) යාමද?

වැඩිපුර බලපු ලිපි