Thursday, October 2, 2014

කාලෙකින් ගජබින්නාලංකාරයේ තවත් දිගහැරුමක්

පහුගිය දවස් වල ඌවේ පැවතුණු, ලෝකෙ ලොකුම පළාත් සභා මැතිවරණය කියන්නෙ ඉතිං අපේ ගජබින්න කැළේ යන සෘතු විපරියාසයකි. ඒ නිසා ඩ්‍රැකියා ලියන එක තාවකාලිකව අඩු විය. පශ්චාත් මැතිවරණ බේගලුත් ඉවර වීගෙන යන අවස්ථාවේ, අපේ බාප්පාගේ පුතා සම්බන්ධ මහා ගජබින්නයක් ඇද බාන්නට හිතුවෙමි ය.

http://www.tumblr.com/photo/1280/fyeahhowtotrainyourdragon
/1577019891/1/tumblr_lbwjp09LBy1qbbz9i


බාප්පා හරි හරි වැඩ කරන සූර මිනිහෙක් බව රට පුරා ප්‍රසිද්ධ කාරණයකි. ඒක ආරංචි වුණ මරඳගහමුල යකඩයා කියන ඒ වගේම සූර වැඩ කරන මනුස්සයෙක්, ඒ කතාවල ඇත්ත නැත්ත බලාගන්න කියලා, දවසක් අපේ තාත්තලාගේ මහගෙදර හොයාගෙන ආවා. යකඩයා ආවෙ තනියම නෙමෙයි. තොටළඟ කුසුමපාල කියලා මහ චණ්ඩි මිනිහෙකුත් එක්කයි. එ් අය එනකොට බාප්පා ගෙදර හිටියේ නෑ. ඒ වෙනකොට බාප්පා පොළට ගිහිං. වත්තෙ වගා කරපු බුලක් බුලත් කඩාගෙන, කරත්ත දෙකක් පුරවලා, ඒ කරත්ත දෙක පුවක් කඳක දෙපැත්තෙ එල්ලලා ඒ කරත්ත කද කර තියාගෙන තමා බාප්පා පොළට යන්නෙ.

ඉතිං මරඳගහමුල යකඩයා එද්දි ගෙදර හිටියෙ අපේ මලයා විතරයි.

යකඩයයි, කුසුමපාලයි මලයගෙන්, "කෝ ගුණරත්න ?" කියලා ඇහුවා. (ගුණරත්න තමා බාප්පගෙ නම)

මලය කිව්වා ගත් කටටම, "තාත්තා ගිහිං පොල් මුරේ කඩවන්න" කියලා.

"කොහෙද, වත්ත පහළද?" යකඩයා ඇහුවා.

"නෑ. අපේ අනිත් ඉඩමෙ." මල්ලි කිව්වා "අම්මට දෑවැද්දට හම්බුන ඉඩමෙ"

"ගොඩක් දුරද?"

"ඒ ඉඩම තියෙන්නෙ අහසෙ..."

යකඩයගෙ ඇස් උඩ ගියා. "ඈ...? අහසෙ?"

"ඔව්..." මල්ලි වගේ වගක් නැතුව කියනවා. "තාත්තා මිදුලට බැහැලා හූවක් කියලා ඒ හූවෙ නැගලා ගියා උදෙම්ම. ආයි හවස මං මිදුලට බැහැලා හූවක් කිව්වහම, තාත්තා ඒකෙ පොල් ටිකත් පටවගෙන ආපහු එනවා..."

ඒ කතාවට බය වුණ යකඩයා වට පිට බලද්දි, තොටළඟ කුසුමපාල පණ බයේ සෑහෙන දුරක් දුවලත් ඉවරයි. යකඩයත් ඒ පස්සෙන් ඔරේ රන් එකක් දුන්නා...

බාප්පා දවල් වෙද්දි හිස් කරත්ත කදත් අරං ගෙදර ආවා, බුලත් ටික ඔක්කොම විකුණගෙන. ඇවිත් තේ කහට එකක් එහෙම බීලා ඉස්තෝප්පුවෙ වැල් ඇ‍ඳේ වාඩි වුනා විතරයි, පොඩි එකා උදේ වෙච්ච සිද්ධිය අකුරක් නෑර උන්දැට කිව්වා. ඒ කතාව අහපුවාම බාප්පා හරියට කළකිරුණා තමන්ගෙ පුතා ගැන.

"යකෝ, උඹ මගෙ පුතා වෙච්චි, තොට බැරි උනාද බොල ඔයිට වඩා හොඳ ලොකු බොරුවක් කියන්න?"

කියලා බාප්පා මල්ලිවත් අතකින් අල්ලගෙන ඇ‍දගෙන ගියා ගෙදර වතුර බොන ළිඳ ගාවට. "නෑ, මේක ගැඹුර මදි..." කියපු බාප්පා ළි‍ඳේ ලණුවත් අරගෙන, ඉඩෝරෙට වෙලේ කපපු ළිඳටම අරූව ඇදගෙන ගියා.

ළිඳ ගාවට ගිහිං, ලණුවෙ කොණක් මල්‍ලිගෙ ඉණේ ගැටගහලා, ටිකෙන් ටික ළිඳට බැස්සුවා. සෑහෙන දුරක් යටට ගියාට පස්සෙ මල්ලි කෑගහනවා, "තාත්තෙ තාත්තෙ මහ ලූලෙක්! මහ ලූලෙක්...!!" කියලා.

"ඕකව අල්ලගනිය හයියෙන්...!" කියපු බාප්පා ලණුව ආපහු උඩට අදින්න ගත්තා.

උඩට අරං බලනකොට ඇති ලූලෙක් නෑ...

"කෝ බොල ලූලා ?" බාප්පා සැරෙන් ඇහුවා.

"මට මාර බඩගින්නක් තිබ්බෙ..." මල්ලි කිව්වා. "...ඉතිං ඒ ගින්නෙන් පුච්චගෙන ලූලව ළි‍ඳේදිම කෑවා."

ඒ අතරෙ අර යකඩයයි, කුසුමපාලයි එළෝ මෙළෝ නැතුව දුවද්දි, වෙලක් හම්බුනා. ඒ වෙලේ මැද්දෙ මී හරක් බාන් දාසයක් ගැටගහගෙන සිරිපැරකුමා වගේ ගොවියෙක් තනියම සී සානවා. අර යෝදයො දෙන්නා දුවන වේගෙට ගොවියට කරගන්න දෙයක් නෑ. පොර අර හරක් බාන් දාසයම ඉණේ තිබ්බ මඩිස්සලේ ඔබාගෙන මහ නියරට ගොඩ වුණා.

අර චන්ඩි දෙන්නා වෙලෙන් එහාට ගියාට පස්සෙ අර ගොයියා මඩිස්සලේ අරල බලද්දි, හරක් නැට්ටක්වත් ඉතුරු වෙලා තිබ්බෙ නෑ, හිටියෙ එකම එක තඩි කිනිතුල්ලෙක් විතරයි මඩිස්සලේ ඇතුලෙ. ඒ කිනිතුල්ලා අර හරක් තිස් දෙන්නම කාලා ඒ ටිකට.

වැඩිපුර බලපු ලිපි