''expr:dir='data:blog.languageDirection' xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr' ඩ්‍රැකීගේ අඩවිය: January 2014

Wednesday, January 22, 2014

ඒ කාලෙත් මෙහෙම තමා - ඇන්ටික් සඟරාවකින්

ඩ්‍රැකියාගේ දෙමාපියන්ගෙන් උරුම වෙච්ච පරණ ශ්‍රී සඟරාවකින් උපුටා ගත්ත නිර්මාණයක් මෙදා පාර හුදී ජන පහන් (ඉටිපන්දම් හරි කමක් නෑ) සංවේගය උදෙසා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ 1979 අවුරුද්දේ පළ වෙච්ච ශ්‍රී සඟරාවකින්, මේක කියවද්දි ඉතින් දැනුත් මෙහෙමම තමයි නේද කියලා හිතෙනවා.




සිරාගෙ කාමරෙන් ඇන්ටික් පත්තර කෑලි, ඇඩ් වගේ දේවල් කීප වතාවක්ම එළි දැක්වෙද්දි, ඩ්‍රැකියවත් කහන්න පටන් ගත්තා, පොඩි කාලෙදි කියවපු, (ඒකාලෙත් මෙව්වා ඇන්ටික් තමා) රසවිඳපු මේ වගේ කෑලි ටිකක් බ්ලොග් එකෙන් එළියට දාන්න ඕනෙයි කියලා. 

ඒ කාලෙ සඟරා, පත්තර වල තිබ්බ අකුරු ඉෆෙක්ට්, චිත්‍ර එහෙම පත්තර කන්තෝරුවෙ වැඩ කරපු අය විසින් ම අතින් ඇඳපු දේවල්. මේ ආටිකල් එකේ මාතෘකාව දාලා තියෙන්නෙත් ඒ වගේ ඉතා දක්ෂ විදිහට කරපු භාව ප්‍රකාශන කාටූන් එකකින්. ඇත්තටම හිතෙනවා, අද අපි බොහොම ලේසියෙන් කරන දේවල් එක්ක, අපේ කලින් පරම්පරාවෙ අය මොන තරම් අමාරුවෙන්, මොන තරම් තමන්ගෙ දක්ෂතාවයන් තියුණු කරගෙන කටයුතු කරලා තියෙනවද කියලා.

Tuesday, January 14, 2014

අද ඉපදෙන නැවුම් ලොවට හිරු දෙවියනි වරම් දෙන්න

හාත්පස පරිසරය, භූමි දර්ශනය සැතපුම් ගාණක් ඈතට... ඈතට දැකගන්නට පුළුවන් වන තැනකට අපට යාගන්න පුළුවන් වුනොත්, අපේ සාමාන්‍ය ජීවන රටාවත් එක්ක, ඒක අපිට අත්දකින්න ලැබෙන දුර්ලභ සිදුවීමක්...

බතලේගල කන්ද මුදුනෙ තියෙන ගල් ගුහාවක, සපත්තු, ජර්කින් දාගෙන සීතලේ ගැහි ගැහී නිදාගෙන හිටපු අපි, ඉර නැගෙන්න කලින් අවදි වෙලා, හාත්පස මීදුම් වළාකුළින් වැහිච්ච කඳු මුඳුන දැක්කහම හිතට ආව සංකීර්ණ හැඟීම් මාළාව තාමත් මතකයි. ටිකෙන් ටික ඉර නැගෙන්නට ගනිද්දි, ගස්වල කොළ, දළු, මල්, බිම, මහපොළොව, පින්නෙන් පෙඟුණු තණකොළ, ගල් කැට... මේ හැම දෙයක්ම දීප්තිමත් වෙන්නෙ හරියට හිරුගෙ ස්පර්ෂයෙන් ප්‍රබෝධමත් වෙමින් අවදි වෙන්නා වගෙයි.

ගල් කුළ වටා රොක්වෙලා තිබුණ මීදුම ටිකෙන් ටික, තැනින් තැනින් තුනී වේගෙන එද්දි, පහළ මිටියාවත දිහාට ඇගිල්ල දික්කරපු රංග, ‘ජෙන්ට්ල්මෙන්, ප්‍රොමිස් ලෑන්ඩ්..!‘ කිව්වෙ හරියට සීනායි කන්ද මුඳුනෙදි කිරියෙන් පැණියෙන් ඉතිරෙන ඊශ්‍රායෙල් - පලස්තීන භූමි භාගය මෝසස් ට පෙන්නුව දෙවියන් වහන්සේ වගෙයි. ඇත්තටම අළුයම ඒ වගේ දීප්තිමත්, උණුසුම් හිරු එළියෙන් පිබිදීගෙන එමින් තිබුණු පරිසරයක් කොහොමත් සශ්‍රීක සෞභාග්‍යයෙන් පිරුණු බිමක් හැටියටයි පෙනුනෙ.

බතලේගල කන්ද මුදුනෙ ඩ්‍රැකියයි, රංගයි. පින්තූරෙ ගත්තෙ අශෝක හෙවත් අපේ මාළුකාරයා

ඒ හැගීම් වල දියුණු අවස්ථාවක් ගිය අලුත් අවුරුද්දට ගමේ ගියපු වෙලේ අත්දකින්න ලැබුණා. උදෑසන හිරු එළියෙන් සීතල පහව යමින් සිරුරු උණුසුම් වේගෙන එද්දි, කොත්මලේ නදිය අරුණු හිරු එළියෙන් රිදී පාට වේගෙන එද්දි, පුරාණ භාරතීයයන් දියපාරවල් හැම තිස්සෙම සර්පයන්ට සමාන කළේ ඇයි කියන එක වැටහුණා. මිටියාවත හරහා හිනි රිදී ඉරක් වගේ වංගු ගැහෙමින් කොත්මලේ ඔය ගළාගෙන ආවෙ හරියටම දැවැන්ත දිළිසෙන සර්පයෙක් වගෙයි. දෙපැත්තෙ තිබුණු කඳු මුදුන්, දැවැන්ත, ඒත් කුඩාවට දිස්වුණු ගල් පර්වත, වනාන්තර, ගහ කොළ හැම දෙයක්ම හිමිදිරියෙ උදාවෙන හිරුත් එක්ක පිබිදෙන ගතියක් දකින්න තිබුණා.
කොත්මලේ නදිය ඉහළින් නැගගෙන එන හිරු

හිත් ඇතුලේ මොන ප්‍රශ්න, ගැටළු තියාගෙන අවදි වුණත්, ඒවගේ දර්ශනයකින් අපිට අපි කොච්චර කුඩා, නොවැදගත්, නැසෙන සුළු ජීවීන්ද... මේ හාත්පස පැතිරෙන ජීවය, සොබාදහමේ බලවේග මොනතරම් දීර්ඝකාලීනද කියන එක වැටහෙනවා.

අපි මේ කළාතුරකින් අත්දකින දේවල් අපේ මුතුන්මිත්තන්ගේ කාලයෙදිත් මේ විදිහටම තිබුණා. හිරු එළියෙන් නැහැවෙමින් ගහ කොළ, පොළොව, පස් - ගල් කැට, සතුන්, මේ හැම දෙයක්ම හිමිදිරියෙන් අවදි වෙලා, හිරු එළියෙන් උණුසුම් වෙලා, ජීවය ලබාගෙන, හවසට නින්දට වැටුණා. මේ චක්‍රය මේ විදිහටම, අපේ මුතුන් මිත්තන් ගස් මතින් බිමට බැස්ස කාලෙදිත්, දියුණු මානවයන් විදිහට ගම්මාන ඇති කරගත්ත කාලෙදිත් අද දක්වාත්, අපෙන් පසු තවත් කාලාන්තරයක් යනතුරුත්, දිගටම ක්‍රියාත්මක වෙනවා.
අපේ ජීවන රටාවත් එක්ක මේ දේවල් අපිට නැවුම් වුණත්, ඉතාම සරළ ජීවිත ගෙවූ අපේ මීමුත්තන් මේක කොයි විදිහට අත් දකින්න ඇත්ද?

අපේ ඉතිහාසය, ඒකියන්නෙ මානව ඉතිහාසය ගැන තොරතුරු අපට ලැබෙන්නෙ ඉන්දු ඉරානීය ජන කොටස් ගැන තියෙන තොරතුරු ඇසුරින්. ඒ ජන කොටසින් වයඹ දිගට සංක්‍රමණය වූ අය මෙසොපොටේමියාවත්, ගිණිකොණ දෙසට සංක්‍රමණය වූ අය ඉන්දු නිම්නයත් ජනාවාස කළා. ඉන්දු සංස්කෘතියෙන් ඉතිරි වෙලා තියෙන පැරණිම සාහිත්‍යය හැටියට සැළකෙන සෘග් වේදයේ බහුලවම දකින්න තියෙන්නෙ ස්වභාව ධර්මයේ බලවේග දේවත්වයෙන් සැළකීම සහ ඒවා ප්‍රශංසා කරන ගී පැබඳුම්. සූර්ය නමස්කාරය එයින් ප්‍රමුඛයි.
ඒ පුරාණ මිනිසුන්ට තමන්ගෙ ජීවිත, වටාපිටාව ගැන ලොකු බළපෑමක් කළ නියඟ, ගංවතුර, අකුණු, වැස්ස, ආදී දේ පාරභෞතික බලවේග විදියට පෙනෙන එක සාමාන්‍යයි. හැබැයි අනිත් ශිෂ්ඨාචාර වලට වඩා, භාරතීය ශිෂ්ඨාචාරයේ ඒ දේවල් සුන්දර විදිහට දැකපු බව වේද මන්ත්‍ර, යෝග වගේ දේවල් වලින් පේනවා. ඔවුන් කොයිතරම් ස්වභාව ධර්මය වර්ණනා කරනවාද කියනවා නම්, සෘග් වේදයේ තියෙන වර්ණනා, උපමා, අලංකාර ආදිය අද තියෙන සුන්දර ගී පැබඳුම් වලට වඩා සුන්දරයි කියන්න පුළුවන්.

ගහකොළ ආහාර නිපදවන්නෙ හිරු එළියෙන් කියලා, බටහිර විද්‍යාව අපිට උගන්වනවා. වේද සහ ආශ්‍රිත සාහිත්‍යය, අභිචාර වලින් අපේ මුතුන් මිත්තන්ට හුරු කරවලා තියෙනවා, හිරු තමයි පොළොව, ගොවිතැන සරු කරන්නෙ කියලා. සෑම පුරාණ ශිෂ්ඨාචාරයකම මහීකාන්තාව සහ හිරු දේවත්වයෙන් පුදලා තියෙනවා. ඇත්තට හිරු නොවන්නට අපට අව්ව වැස්ස කොහෙන් ලැබෙන්නද? ජල චක්‍රය ක්‍රියාත්මක කරවන්නෙ හිරුයි.පෘථිවියේ කාළගුණික, දේශගුණික විපර්යාස, සෘතු, ශාක පල දැරීම, භෝගවල අස්වනු චක්‍ර... මේ හැම දෙයක්ම පාලනය වන්නේ හිරු ලබා දෙන දායකත්වයෙන්. කොටින්ම මිහිමත ජීවය හටගත්තේම හිරු ගේ ශක්තියෙන් කියලා කියන්න පුළුවන්.

ඉතින් හිරුට කෘතවේදීත්වය දැක්වීම ඕනෙම සත්වයෙකුට කොයිතරම් ගැළපෙනවද? තෛපොංගල් කියන්නෙ ඒ වගේ හිරු දෙවියන්ට කෘතගුණ දැක්වීම වෙනුවෙන් පැවැත්වෙන ඉතාම පුරාණ චාරිත්‍රයක්. ඕනෙම සංස්කෘතියක ඕනෙම අංගයක, මානවයාගේ ජිවිතය පිළිබද ගැඹුරු සත්‍යයක් ගැබ්වෙලා තියෙන බව අවසානයේ අවබෝධ වෙනවා. ඒක හරියට, තාගෝර් ගෙ ‘ගෝරා‘ වගේ විශ්වීය මානවයෙක් බවට පත්වීමක් වගෙයි.

ප/ලි

(පෘථිවියට ජීවය පිට සක්වළකින් ආව බවටත් මතයක් තියෙනවා. ඒ ගැන මෙතන කතා කරන්න අදහස් කරන්නෙ නෑ. ඒ වගේ මතයකින් වෙන්නෙ මූලික ප්‍රශ්නය තව ටිකක් ඈතට ගෙනයාමයි කියන මතය තමා ඩ්‍රැකියත් දරන්නෙ.)

Monday, January 6, 2014

දෙව්දුරු අරණේ මුනිවරයා - ඛලීල් ජිබ්රාන්


‘‘....කෙත් බිමක් මැදින් ගළා ගිය පැහැදිලි දිය සහිත දිය පාරක ඉවුරෙහි තිබුණු කූඩුවක් මම දුටුවෙමි. ඒ කූඩුවෙහි යකඩ කූරු, නිපුණ අතකින් සාදන ලද ඒවා විය. කූඩුවෙහි එක් මුල්ලක කුරුල්ලකුගේ මළ සිරුරක් වැතිර තිබිණ. තවත් මුල්ලක දිය සිඳී ගිය බඳුනක් ද, ධාන්‍ය ඇට නොමැති තැටියක් ද විය.

‘‘නිහැඬියාවෙන්  මඬිනු ලැබ නැඟී සිටි මම, කුරුලූ මළ සිරුර තුළ ද, දිය පාරේ හඬ තුළ ද හදවත සොයා යන්නා වූද, හෘද සාක්ෂ්‍යය ඉල්ලා සිටින්නා වූ ද, දේශනයක් සැඟව තිබුණාක් මෙන් යටහත් පහත් ව සවන් දී හුන්නෙමි. මම කල්පනාවෙහි ගිළී කරුණු සළකා බැලූවෙමි. ගළා යන දිය පාරක් පසෙක තිබිය දී කුරුල්ලා පිපාසයෙන් මිය ගොස් ඇති බව ද, ජීවිතයෙහි ම තොටිල්ල වූ කෙත් බිම් මැද දී ඌ සාගින්නෙන් විනාශ වී ඇති බව ද මම තේරුම් ගත්තෙමි. ඒ, තමා ගේ භාණ්ඩාගාරය තුළ සිර වූ ධනවතෙකු තමා සතු රන් ගොඩවල් අතර දී මිය යන්නාක් මෙනි.

‘‘කූඩුව මිනිසකු ගේ වියළී ගියා වූ ඇට සැකිල්ලක් බවට ද, මළ කුරුල්ලා මිනිස් හදවතක් බවට ද පෙරැළී ඇති අයුරු මඳ වේලාවකට පසුව මම දුටුවෙමි.....’’
(ඛලීල් ජිබ්රාන් - කඳුළු බිඳක් හා සිනා බිඳක්’, පරිවර්තනය - ආනන්ද අමරසිරි, 2009, පිටුව 37)

මනුෂ්‍යයා සහ ස්වභාව ධර්මය පිළිබඳ ගැඹුරු දිව්‍යමය දර්ශනයක් සුරුබුහුටි සරළ බසකින් විශද කළ දාර්ශනික කවියෙකු ලෙස ඛලීල් ජිබ්රාන් වඩා ප‍්‍රකටය. ඔහුගේ භාෂාව මානව භාෂාවට පමණක් සීමා නොවීම ම, ඔහුගේ පෘථුල දැක්ම පිළිබිඹු කරයි. කාව්‍යකරණය, චිත‍්‍ර ශිල්පය, දෘෂ්‍ය කාව්‍ය හෙවත් නාට්‍ය, ආදී මාධ්‍ය රාශියක පැතිරී ගිය සන්නිවේදනයක් සිය ආධ්‍යාත්මික නිර්වහනය උදෙසා බුහුටි ලෙස හසුරවාගැනීමෙන් හෙතෙම ශාස්තෘවර සාහිත්‍යධරයෙක් ලෙස අසමසම බවක් හිමිකර ගත්තේ ය.


ඛලීල් ජිබ්රාන්ගේ සිතුවමක්

අමෙරිකානු සෞන්දර්යවාදය අතරින් ඉස්මතු වන මැදපෙරදිග සාමයික හා පාරිසරික රිද්මය ජිබ්රාන් ගේ දර්ශනය තුළ අනන්‍යව පවතින ගුණාංගය යි. බටහිර නූතනවාදී, ක‍්‍රිස්තියානි හුරු කලාව තුළින්, ලෙබනනයේ දේවදාර ගස් අතරින් හමන කඳුකර පවනේ සුසුම හා කළවම් වූ මිනිසුන් ගේ ආධ්‍යාත්මික ගැඹුර ඔහු වහනය කරයි. මැදපෙරදිග ට ආවේණික පරිසරය සහ ස්වභාව ධර්මයේ අංගෝපාංග අතරින්, මනුෂ්‍යයාගේ පාරභෞතික අපේක්ෂාවන් හා ආශාවන්, සංස්කෘතිය විසින් සළසන පහසුව මධ්‍යයේ හටගන්නා අපේක්ෂා භංගත්වය සහ ධනයේ හා සමාජ ස්තරායනයේ භෞතිකවාදී බලපෑම ඉක්මවා යන විශ්වීයත්වයක් කරා යොමු වූ දැක්මක්, ඔහුගේ දර්ශනයට වස්තු විෂය වෙයි. අමෙරිකාවේ වෙනුවට ඔහු ඉන්දියාවේ ජීවත් වූයේ නම්ඕෂෝ වැනි ශාස්තෘවරයෙකු හැටියට මීට වඩා වැඩි යුරෝපීය අවධානයකට ලක් වීමට ත්, ආසියාතිකයන් ගේ ඇදහිල්ලට එකතු වන තවත් දිව්‍යමය ආත්මයක මානුෂික පිළිබිඹුවක් බවට පත් වීමටත් ඉඩ තිබූ බව ඇතැමෙක් පවසති.

මූලික තොරතුරු


උපත - 1883 ජනවාරි මස 06 වන දින ඔටෝමන් සිරියාවේ (වර්තමාන ලෙබනනය) ලෙබනන් මුතාසාර්රිෆාතේ කඳු ප‍්‍රදේශයේ බ්ශාර්රි හි දී ජුබ්රාන් ඛලීල් ජුබ්රාන් නමින් උපත ලැබුවේ ය.
මිය ගියේ - 1931 අපේ‍්‍රල් 10 වන දින හෙවත් වයස අවුරුදු 48 දී අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ දී ය.
ක්ෂේත‍්‍රයන් - කාව්‍ය කරණය, චිත‍්‍ර ශිල්පය, මූර්ති ශිල්පය, ලේඛන කලාව, දර්ශනය, දේවධර්මය, දෘෂ්‍ය කලා.
ජාතිකත්වය - ලෙබනනීය-අමෙරිකානු.
කලා රීතීන් - කාව්‍ය, දෘෂ්ටාන්ත, කෙටිකතා.
ශාස්ත‍්‍රීය ව්‍යාපෘතීන් - මහ්ජාර් - නිව්යෝර්ක් හි ලේඛක ලීගය.
සුප‍්‍රකට කෘතීන් - මුනි’ (The Prophet)

ඛලීල් ජිබ්රාන් (1883.01.06 - 1931.04.10), ලෙබනනීය අමෙරිකානු කලාකරුවෙක්, කවියෙක් සහ ලේඛකයෙක් විය. ගැටවර අවධියේ දී ඔහු සිය පවුලේ අය සමඟ අමෙරිකා එක්සත් ජනපදය ට සංක‍්‍රමණය වූ අතර, එහිදී කලා අධ්‍යාපනය ලැබ, සිය සාහිත්‍ය කාර්යය ඇරඹීය. හෙතෙම 1923 දී ප‍්‍රකාශයට පත් කෙරුණු මුනිනම් ග‍්‍රන්ථය මඟින් ලොව පුරා ප‍්‍රකට නමක් හිමි කර ගත්තේ ය. මෝක්ෂීය ප‍්‍රබෝධාත්මක සාහිත්‍යය ට අයත් මුල්කාලීන උදාහරණයක් වූ එහි, ඉංග‍්‍රීසි කාව්‍යමය ගද්‍යයෙන් ලියැවුණු දර්ශනාත්මක රචනා මාලාවක් අඩංගු විය. ඒ කෙරෙහි නැඟුණු සීතල දෝෂ විචාරය ද නොතකා එම ග‍්‍රන්ථය හොඳින් අලෙවි වූ අතර, 1960 ගණන් වල විරෝධාකල්පිත සංස්කෘතිය තුළ අත්‍යන්තයෙන් ජනප‍්‍රිය වූයේ ය.  ඕනෑම කාලයක වැඩිම අලෙවියක් හිමිකරගත් තෙවැනි කවියා ජිබ්රාන් වෙයි. (පළමුවැනියා ෂේක්ස්පියර් වන අතර දෙවැනියා ලා ඕ-ත්සු ය.)

ලෙබනනයේ ජීවිතය


ජිබ්රාන්, බ්ශාර්රි නගරයේ දී (වර්තමාන උතුරු ලෙබනනයේ) මැරොනයිට් පූජකයෙකුගේ දුවකගේ කුසින් මෙළොවට බිහි විය. කමිලා නම් වූ ඔහුගේ මව, එවක තිස් හැවිරිදි වියේ පසු වූ අතර, ඔහුගේ පියා වූ ඛලීල් ඇයගේ තෙ වැනි සැමියා විය. පවුලේ පැවති දුගී බව නිසා ජිබ්රාන් හට ළමා අවධියේ දී ක‍්‍රමවත් අධ්‍යාපනයක් ලැබිය හැකි නොවීය. එහෙත් නිතරම ඔහු වෙත ආ පූජකවරුන් ඔහුට බයිබලය පිළිබඳව මෙන්ම, අරාබි හා සිරියානු භාෂාවන් ද උගැන්වූහ. ජිබ්රාන් ගේ පියා මුලින් ඇපොතිකරි වරයෙක් ලෙස වැඩ කළත්, සූදුවෙන් ණයගැති වීම නිසා, පසුව ඔටෝමන් වරුන් විසින් පත් කරන ලද ප‍්‍රාදේශීය පරිපාලකයෙකූ යටතේ වැඩකරන්නට පටන් ගත්තේ ය.

1891 දී පමණ මෙම පරිපාලකයා පිළිබඳව කුපිත වූ ජනතාවගෙන් නැඟුණු පැමිණිලි රාශිය නිසා, ඔහු ඉවත් කරුණු අතර, ඔහුගේ කාර්ය මණ්ඩලය පරීක්ෂණයට ලක් කෙරුණි. ජිබ්රාන් ගේ පියා මුදල් අයථා අපහරණය පිළිබඳව චෝදනා මත සිරභාරයට පත් විය. ඒ අතර, බලාධිකාරීන් විසින් ඔහුගේ පවුලේ දේපල රාජසන්තක කරන ලදි. සිය නිවස අහිමි වූ කමිලා ජිබ්රාන් කලින් අමෙරිකා එක්සත් ජනපදය ට සංක‍්‍රමණය වූ සිය සොහොයුරා අනුගමනය කරන්නට තීරණය කළා ය.  1894 දී ජිබ්රාන් ගේ පියා නිදහස් කෙරුණ ද, කමිලා සිය තීරණයේ නොසැලී සිටි අතර, 1895 ජූනි මස 25 දින ඇය ඛලීල්, ඔහුගේ නැගණියන් වූ මරියානා හා සුල්තානා සහ ඔහුගේ වැඩිමහල් අඩ සොහොයුරා වූ පීටර් (භූත්‍රොස්) ද කැටිව නිව් යෝර්ක් බලා පිටත් වූවා ය.

අමෙරිකා එක්සත් ජනපදයේ දී


ජිබ්රාන් පවුල බොස්ටන් හි සවුත් එන්ඞ් ප‍්‍රදේශයේ පදිංචි වූහ. එම ප‍්‍රදේශය එවක අමෙරිකා එක්සත් ජනපදයේ වූ දෙවැනි විශාලතම සිරියානු/ලෙබනන සමාජය විය. පාසැලේ දී සිදු වූ අත්වැරැද්දක් හේතුවෙන් ඔහු ලියාපදිංචි කෙරුණේ කඃලීල් ජිබ්රාන් නමිනි.

ඔහුගේ මව ගෙයින් ගෙට යමින් සුළු සුළු මැහුම්, රේන්ද සහ ලිනන් විකිණීමට පටන් ගත්තා ය. ජිබ්රාන් 1895 සැප්තැම්බර් මස 30 දින සිට පාසැල් යාම ඇරඹීය. පාසැලේ නිලධාරීහු, ඉංග‍්‍රීසි උගැන්ම සඳහා ඔහු විශේෂ පංතියකට ඇතුළත් කළහ. ජිබ්රාන්, අසළ පිහිටි සමාජ සුභසාධක මධ්‍යස්ථානයක පැවති කලා ශාස්ත‍්‍රාලයකට ද ඇතූළත් වුණි. එහි ගුරුවරුන් හරහා ඔහුට බොස්ටන් හි පුරෝගාමී කලාකරුවෙකු, ඡායාරූප ශිල්පියෙකු හා ග‍්‍රන්ථ ප‍්‍රකාශකයෙකු වූ ෆ්‍රෙඞ් හොලන්ඞ් ඩේ හඳුනාගත හැකි විය. ඔහු ජිබ්රාන් ගේ නිර්මාණශීලී උත්සාහයන් දිරිමත් කරමින්, සහයෝගය දැක්වූයේ ය. එක් ප‍්‍රකාශක වරයෙක් 1898 දී ජිබ්රාන් ගේ චිත‍්‍ර කිහිපයක්, පොත් කවර සඳහා යොදා ගත්තේ ය.


ජිබ්රාන් ගේ මවට ත් අයියාට ත් උවමනා වූයේ, ඔහු ආකර්ෂණය ව සිටි බටහිර සෞන්දර්යාත්මක සංස්කෘතිය පමණක් ම නොව සිය පාරම්පරික සංස්කෘතිය ද වඩ වඩා උකහා ගැනීම කෙරෙහි යොමු කරවීමට ය. එහෙයින් පහළොස් හැවිරිදි වියේ දී ඔහු බේරූට් හි මැරොනයිට් වරුන් විසින් පවත්වාගෙන ගිය ප‍්‍රාරම්භක හා උසස් අධ්‍යාපන ආයතනයේ උගැන්ම සඳහා සිය මව්බිම කරා නැවත පැමිණියේ ය. එහි දී ඔහු සගයෙකු සමඟ සාහිත්‍ය සඟරාවක් ආරම්භ කළ අතර, පසුව විද්‍යාලයේ කවියාහැටියට ද තෝරාගනු ලැබී ය. වසර කිහිපයක් එම විද්‍යාලයේ ගත කළ හෙතෙම ආපසු 1902 මැයි දහ වන දින එළිස් අයිලන්ඩ් හරහා බොස්ටන් වෙත ආයේ ය. ඔහු ගේ පැමිණීමට සති දෙකකට පෙර දහ හතර හැවිරිදි වියේ පසු වූ ඔහුගේ නැගණිය වූ සුල්තානා ක්ෂය රෝගය නිසා මිය ගියා ය. ඊළඟ වසරේ දී ඔහුගේ සොහොයුරා වූ පීටර් එම රෝගයෙන් ම ද, ඔවුන්ගේ මව පිළිකා රෝගයෙන් ද මිය ගිය හ. මරියානා ඇඳුම් මසන්නෙකුගේ සාප්පුවක වැඩට ගොස් තමන්ගේ ත්, ජිබ්රාන් ගේ ත්, නඩත්තුව සළසා ගන්නට පටන් ගත්තා ය.

කලාව සහ කවිය


ජිබ්රාන් තම පළමුවැනි චිත‍්‍ර ප‍්‍රදර්ශනය 1904 දී බොස්ටන් හි ඩේ ගේ කලාගාරයේ දී පැවැත්වී ය. මෙම ප‍්‍රදර්ශනයේ දී ඔහු ට තමන්ට වසර දහයකින් ජ්‍යෙෂ්ඨ විද්‍යාලයාධිපතිනියක වූ මේරි එළිසබෙත් හැස්කල් හමු විය. ඉන් හටගත් මිත‍්‍රත්වය ජිබ්රාන් ගේ ජීවිත කාලය පුරාම පැවතිණ. හැස්කල්, ජිබ්රාන් ගේ පෞද්ගලික ජීවිතය මෙන්ම ඔහුගේ කලා ජීවිතය කෙරෙහි ද බලපෑමක් ඇති කළා ය. 1908 දී හෙතෙම  ඕගස්ට් රෝඩින් සමඟ වසර දෙකක් කලාව හැදෑරීම පිණිස පැරිසිය ට ගියේ ය. ඔහුට සිය යව්දිව් මිතුරා සහ හවුල්කරු බවට පත් වූ යෝසෙෆ් හොවයෙක් හමු වූයේ එහිදී ය.

ජිබ්රාන් ගේ හිතවතෙකු වූ ජුලියට් තොම්සන්, ඔහු පිළිබඳ වෘතාන්ත කිහිපයක් වාර්තා කරයි. බාබි ආගමික සංවිධානයක් වූ බාහා ඉ ෆේත් හි නායකයා වූ අබ්දුල් බාහා 1911 - 1912 දී පමණ එක්සත් ජනපදය ට පැමිණි අවස්ථාවක ජිබ්රාන් ඔහු හමු වූ බව ඉන් එක කි. ලෙබනනයෙන් පැමිණි මේ මිනිසා: ඛලීල් ජිබ්රාන්’ නම් කෘතියේ දී බාබරා යංග් පවසන පරිදි, විද්ධ චිත‍්‍රය දෙකක් සඳහා අබ්දුල් බාහා පෙනී සිටීමට පැමිණීමට කලින් දින රාත‍්‍රියෙහි ජිබ්රාන් හට නින්ද ගියේ ද නැත. ජේසු නම් මනුෂ්‍ය පුත‍්‍රයා’ (Jesus the Son of Man) ලියන ලද කාලය පුරා ජිබ්රාන් අබ්දුල් බාහා පිළිබඳව සිතමින් සිටි බව තොම්සන් වාර්තා කරයි. වසර ගණනකට පසු බාහා ගේ මරණයෙන් පසුව ඔහු පිළිබඳව නිපැයුනු චිත‍්‍රපටයක් දැකීමෙන්, ඛලීල් ජිබ්රාන් කඳුළු සහිතව ඔහු ගේ උත්කෘෂ්ට භාවය පිළිබඳව කතා කළ අතර, එම සන්ධ්‍යා කාලය හඬමින් ගත කළේ ය.

ජිබ්රාන් ගේ මුල් කාලීන රචනා අරාබි බසින් කෙරුණ ද, 1918 ට පසුව පළවූ බොහෝ කෘති ඉංග‍්‍රීසියෙන් පළකෙරුණි. 1918 දී ඇල්ෆ‍්‍රඞ් ඒ. නොෆ් ප‍්‍රකාශක ආයතනය මඟින් පළ කෙරුණු ඔහුගේ පළමු පොත උමතු මිනිසා’ (The Madman) ය. එය ආප්ත වචන සහ දෘෂ්ටාන්ත ඇතුළත් ව බයිබලීය යතියකින් ගැදි හා පැදි අතර ශෛලියකින් ලියැවුණු පොත් පිංචක් විය. එසේම ඔහු නිව් යෝර්ක් පන්හිඳ ලීගය’ (Newyork Pen League) හෙවත් සාංක‍්‍රමණික කවියෝහි සාමාජිකයෙක් ද වූයේ ය. එහි සමකාලීන සාමාජිකයන් අතර, ලෙබනනීය අමෙරිකානු රචකයන් වූ අමීන් රිහානි, එළියා අබු මාදි සහ මිඛායිල් නයිමි ද වූහ. නයිමි, ජිබ්රාන් ගේ කිට්ටු මිතුරෙකු මෙන් ම, ගෞරවයට පත් අරාබි සාහිත්‍යධරයෙක් ද විය. ඔහුගෙන් පැවතෙන්නන් ජිබ්රාන් විසින් තමන්ගේ ම දරුවන් ලෙස සැළකන ලද අතර, ඔහුගේ බෑණෙකු වූ සමීර් ගේ ඥාණ පියා වූයේ ද, ජිබ්රාන් ය. 

ඛලීල් ජිබ්රාන් ගේ බොහෝ ලියවිලි, විශේෂයෙන් ම ආධ්‍යාත්මික පේ‍්‍රමය පිළිබඳව ලියැවුණු දේ ක‍්‍රිස්තියානි සමය සමඟ බද්ධ වෙයි. ඔහු ගේ කවිවල විශේෂ ලක්ෂණ වන්නේ ආකෘතික භාෂාවක් භාවිත වීම සහ ජීවිතය පිළිබඥ තේමාවන් හි අන්තර් දෘෂ්ඨිය හෙළීමේදී ආධ්‍යාත්මික වදන් භාවිතා කිරීම යි. ජිබ්රාන් ගේ වඩාත් ප‍්‍රකට ම කෘතිය වන්නේ පද්‍යමය රචනා විසි හයක් ඇතුළත් වූ මුනිය. එය 1960 ගණන් වල අමෙරිකානු ප‍්‍රති සංස්කෘතිය සහ නව යුගය ව්‍යාපාරයන් සමඟින් විශේෂ ජනප‍්‍රියතාවකට පත් විය. මුනි’ 1923 පළමු වර ප‍්‍රකාශයට පත් කෙරුණා ට පසුව නැවත ප‍්‍රකාශයට පත් කෙරුණේ නැත. සිංහල ද ඇතුළුව භාෂා 40කට ත් වඩා ගණනකට පරිවර්තනය කරන ලද මෙය, විසි වන සියවසේ අමෙරිකාවේ හොඳම අලෙවියක් ඇති පොත් අතරට එක් විය.

ඉංග‍්‍රීසි භාෂක සමාජයේ ප‍්‍රකට වූ ඔහුගේ හොඳම කියමනක් වන්නේ, ‘වැලි සහ පෙණ බිඳු’ (Sand and Foam - 1926) හි ඇතුළත් වන මා පවසන දෙයින් අඩක් අරුත්සුන් ය. එහෙත් ඒ මා පවසන්නේ අනෙක් අඩ ඔබ වෙත සම්පේ‍්‍රෂණය වීම උදෙසා ය.යන්න යි. මෙම වැකිය 1968 දී ජෝන් ලෙනන් විසින් මඳක් වෙනස් කොට සිය ගායක කණ්ඩායමේ ගීතයක් වන ජූලියාහි යොදාගෙන තිබේ.

දේශපාලනික චින්තනය


ඛලීල් ජිබ්රාන්, අරාබි බස සිරියාවේ ජාතික භාෂාවක් කරන ලෙසත්, සියළුම පාසැල් මට්ටම් වල විෂය මාළාවන් ට ඇතුළත් කරන ලෙසත් බළ කළ බව පැවසේ. 1911 - 12 අතර කාලයේ සාම ව්‍යාපාරය සඳහා අමෙරිකා එක්සත් ජනපදය ට පැමිණි අබ්දුල් බාහා හමුවූ විට ජිබ්රාන්, සාමය පිළිබඳ ඔහු ගේ අදහස් අගය කළ නමුත්, සිය ජාතිය වැනි ළදරු ජාතිකත්වයන් ඔටෝමන් පාලනයෙන් නිදහස් විය යුතු බවට තර්ක කෙළේ ය. ඔහු සිය සුප‍්‍රකට කවියක් වූ සානුකම්ප්‍ය ජාතිය’ (Pity the Nation) ලියන ලද්දේ මෙම කාලයේ දී ය. එය ජිබ්රාන් ගේ මරණින් පසුව පළ වූ මුනිවරයා ගේ උද්‍යානය’ (Garden of the Prophet) ග‍්‍රන්ථයට ඇතුළත් විය.

පළමු වන ලෝක යුද්ධයේ දී සිරියාවෙන් ඔටෝමන් වරුන් පළවා හරිද්දී, ‘සිරියාව නිදහස් කරනු’ (Free Syria) නම්  දළ සටහන මඟින් ජිබ්රාන් පළකළ ප‍්‍රමෝදවත් අදහස් අල්-සායිහ් පුවත්පතේ විශේෂ විජයග‍්‍රහණ කළාපයේ මුල් පිටුවේ පළ වූ බව කියැවේ. ඔහුගේ ලියවිලි අතර තවමත් පවතින නාට්‍ය ලූහු පිටපතක, ජාතික නිදහස හා අභිවෘද්ධිය පිළිබඳව සිය ඉමහත් අපේක්ෂාවන් ඔහු පළ කර තිබේ. ඛලීල් හාවි ට අනුව, මෙම නාට්‍යය මඟින්, ලෙබනනීය සහ අරාබි ජාතිකත්වයන් ගෙන් වෙන් වූ සිරියානු ජාතිකත්වයක් පිළිබඳ සිය ඇදහීම ජිබ්රාන් පළ කරන අතර, එවැනි මෑත කාලයක දී පවා ඔහු ගේ මනස තුළ ජාත්‍යන්තරවාදය සහ ජාතිකවාදය සමතැන් ගෙන පැවති බව පැහැදිළි වෙයි.

මරණය සහ ඔහු ඉතිරි කොට ගිය දේ


‘‘.... සියලූ පිරිස් විසිර ගිය පසුත්, ඈ මුහුදු තීරයේ පවුර මත හුදෙකළාව සිටගෙන ඔහු ගේ මේ වදන් සිය හද තුළින් සිහි කළාය;

තව ඇසිල්ලකි, සුළඟ මත්තේ මොහොතක් තුළ ලබන විවේකයකි. වෙනත් ස්ත‍්‍රියක විසින් මා බිහි කරනු ඇති’.... ’’
(‘මුනි’, පරිවර්තනය - සුගුණපාල සමරසේකර, 1995, අවසන් පේළි දෙක)

ඛලීල් ජිබ්රාන් 1931 අපේ‍්‍රල් මස 10 වන දින නිව් යෝර්ක් හිදී මිය ගියේ ය. ඔහුගේ මරණය ට හේතු වශයෙන් නිගමනය කෙරුණේ අක්මාවේ සිරෝසිස් තත්ත්වය සහ ක්ෂය රෝගය යි. මරණය ට පොරොතුව තමා ලෙබනනයේ භූමදාන කරනු ලැබීමට ඇති අපේක්ෂාව ඔහු ප‍්‍රකාශ කර තිබුණි. මෙය 1932 දී ඉටු කරන ලදි. ඔහුගේ නැගණිය වූ මරියානා සහ මේරි හැස්කල් ලෙබනනයේ මාර් සාර්කිස් ආරාමය මිලට ගත් අතර, එතැන් සිට එය ජිබ්රාන් කෞතුකාගාරය බවට පත් කෙරුණි. ජිබ්රාන් ගේ සොහොනේ ලියා ඇත්තේ, ‘මගේ සොහොන මත මා දැකීමට කැමති වචන වන්නේ: මම ද, ඔබ සේ ම ජීවමාන ය, මම ඔබේ පසෙකින් සිටිමි. දෑස් පියාගෙන හාත්පස බලන්න, ඔබ ඉදිරියේ මා සිටිනු දැකගත හැකි වනු ඇත.යන වැකි පෙළ යි.



ලෙබනනයේ බ්ශාර්රි නගරයේ ජිබ්රාන් අවසන් නින්දේ සැතපෙන ස්ථානය හා ඛලීල් ජිබ්රාන් කෞතුකාගාරය


වොෂින්ටන් ඞී. සී. හි ඛලීල් ජිබ්රාන් ස්මාරකය

ජිබ්රාන් සිය අවසන් කැමැත්තෙන් තම කලාගාරය මේරි හැස්කල් හට පැවරී ය. එහිදී ඇය ට හමු වූයේ ඇය විසින් වසර විසි තුනක් පුරා ලියන ලද ලිපි ය. මුලින් ඇය ඒවායෙහි අඩංගු දැඩි ළෙංගතු බව නිසා පුළුස්සා දමන්නට අදහස් කළත්, එහි ඇති ඓතිහාසික අගය හේතුවෙන් පසුව එම ලිපි ආරක්ෂා කළා ය. ඇය 1964 දී මිය යන්නට පෙර, එම ලිපි තමන් හට ජිබ්රාන් ගෙන් ලැබුණු ලියුම් එකතුව ද සමඟ චැපල් හිල් හි උතුරු කැරොලයිනා විශ්ව විද්‍යාලයේ පුස්තකාලය ට පරිත්‍යාග කළා ය. ලිපි හය සියයකට ත් වැඩි එම එකතුවෙන් උකහා ගන්නා ලද කොටස්, 1972 දී ආදරණීය කවියා’ (Beloved Prohet) යන ග‍්‍රන්ථයේ පළ කෙරුණි.

මේරි හැස්කල් මිනිස් (ඇය 1923 දී ජේකබ් ෆලොරන්ස් මිනිස් හා විවාහ විය) ජිබ්රාන් ගේ මුල් කලා කෘති සියයකට ආසන්න ප‍්‍රමාණයක් ඇතුළත් වූ ඇගේ පෞද්ගලික එකතුව 1950 දී ජෝර්ජියා, සැවැන්නා හි ටෙල්ෆෙයාර් කලා කෞතුකාගාරය ට පරිත්‍යාග කළා ය. එය අමෙරිකා එක්සත් ජනපදයේ ඇති විශාලතම ජිබ්රාන් ගේ දෘෂ්‍ය කලා එකතුව යි. එහි, සංකේතනවාදයේ බලපෑම ප‍්‍රකට කරවන පරිදි, කවියාගේ පැදි වල ඇතුළත් ශෛලියම දැකිය හැකි වන තෙල් සායම් සිතුවම් පහක් ද, ගණනය කළ නොහැකි කඩදාසි සිතුවම් ද ඇතුළත් වෙයි. අමෙරිකාවේ ඔහුගේ ග‍්‍රන්ථ වල අනාගත කර්තෘභාගය, ‘යහපත් අරමුණු උදෙසා භාවිත කෙරෙනු පිණිසසිය මව් නගරය වන බ්ශාර්රි වෙත පවරා තිබේ. එහෙත්, එය බෙදාහැරීම වසර ගණනාවක් තිස්සේ මතභේදයට හා සැහැසිකම්වලට පදනම් වූ කරුණක් විය. අවසානයේ ලෙබනන රජය එහි භාරකාරත්වය පවරා ගත්තේ ය.


ඛලීල් ජිබ්රාන් ගේ විශ්වීය දර්ශනයේ එක් පැතිකඩක් පහත ගැදි කාව්‍යයෙන් පැහැදිළි වෙයි.

‘‘.... ‘අප අඳින ඇඳුම් වියා දෙන ලද්දේ උතුරු සුළඟ විසිනැයි ඔබ සමහරෙකු කියන්නට පුළුවන.

ඔව්, උතුරු සුළඟ විසිනැයි මම කියමි.

එහෙත් ඔහුගේ වියන යන්ත‍්‍රය වූයේ ලජ්ජාව ය; ඔහු නූල් කොට ගත්තේ නෙළා සිනිඳු කරන ලද කාය ශක්තිය යි.

ඔහු ගේ කාරිය නිම වූ පසු ඔහු වනාන්තරයෙහි සිට සිනාසුණේ ය.

විනීත භාවය වූ කලී කිළිටි වූ මිනිසුන්ගේ ඇස්වලට නොපෙනී සිටිනු පිණිස ඉදිරියෙන් අල්ලාගැනීමට තිබෙන පළිහක් බව අමතක නොකරන්න.

ක්ළිෂ්ටයන් නැති වී ගිය පසු විනීත භාවය යනු බන්ධනයක් හා මනස කිළිටි කිරීමක් හැර වෙන කුමක් ද?

මහ පොළොව ඔබගේ නිරාවරණ දෙපතුල් වල ස්පර්ෂය ආනන්දයෙන් විඳ ගන්නා බවත්, සුළඟ ඔබගේ ඉස කෙස් සමඟ සෙල්ලම් කරන්නට පුල පුලා සිටින බවත්, අමතක නොකරන්න.... ’’

(‘මුනි’, පරිවර්තනය - සුගුණපාල සමරසේකර, 1995, පිටු 34/35)

ඛලීල් ජිබ්රාන් ගේ සිතුවමක්