''expr:dir='data:blog.languageDirection' xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr' ඩ්‍රැකීගේ අඩවිය: July 2014

Wednesday, July 16, 2014

බාප්පගේ සත්ත්ව පාලනය - ඉවරයක් නැති ගජබින්නාලංකාරයෙන්

බ්ලොගර් මුත්තා මට එවලා තිබ්බා කවියක්...

අනේ ඩ්‍රැකි මල්ලේ
උඹටත් බ්ලොගක් ඇත්තේ
මොකදැයි කරන්නේ
පොස්ට් නැතිවී වේලියන්නේ...

කියලා.

ඒක දැකපු ගමං මටත් බ්ලොගක් තියෙන බව මතක් වු‍නා.

ඕං ඉතිං කාලෙකිං බාප්පගෙ තවත් කතාවක් ‍අරගෙන මේං මං ආවා.

මේ කියන්නෙ බාප්පලා කන්තලේ ගස් කැපිල්ලට පස්සෙ, කන්තලේ වගා කිරීමටත් පස්සෙ, ආපහු ගමට ඇවිත් ගෙදර වත්ත පිටියෙ වගා කරගෙන දැහැමෙන් සෙමෙන් අඩියක් පුඩියක් ගහගෙන හිටිය කාලෙ. ඩ්‍රැකියගෙ බාප්පගෙ හොඳම යාලුවෙක් තමා මහත්තයා මාමා. මහත්තයා මාමාට තිබුණෙ පර්චස් දහයයි ඉඩම. හැබැයි එයා ඒකෙ හැදුවා හරක්, එළුවො, කුකුළො, ගිණි කුකුල්ලු, තාරාවො... ආදී සත්තු වර්ග ගණනාවක්. බාප්පටත් එකසැරයක් දුන්නා එළු පැටියෙක්.

http://bzupages.net/attachments/
12217d1262042203-goat-funny-animal-picture-4-.jpg

බාප්පා ඉතිං හරි ආදරෙන් මේ එළු පැටියව හදාගත්තා. ඒ කාලෙ බාප්පා ධනාත්මක චින්තනය ගැන මාර උනන්දුවකින් හිටියෙ. ධනාත්මක චින්තනය අඩංගු වුණු දේශන පටිගත කරපු කැසට් එහෙම ගෙනත් බාප්පා අහනවා. ඉතිං එළු පැටියටත් පොඩි කාලෙ ඉඳන්ම උදේ හවස අහන්න ලැබුණෙ එව්වා. අන්තිමේ බාප්පා ධනාත්මක චින්තනය අත්ඇරියා. එළුවා අත්ඇරියෙ නෑ. ඌ අනිත් එලුවො වගේ "බෑ... බෑ..." කියන්නෙ නැතුව "හා... හා..." කියන්න පටන් ගත්තා.

මේක දැකපු බාප්පට මාර අදහසක් ආවා. එලුවගෙ උපන්ගෙයි පුරුද්ද අත් අරින්න පුළුවන් වුනා නං, වෙන සත්තුත් එහෙම පුරුදු කරන්න පුළුවන් වෙයි නේද කියලා. එයාගෙ ඊළඟ ඉළක්කය උනේ මාලුවෙක් ගොඩබිමට පුරුදු කරන එක.

ඉතිං බාප්පා දැළක් දාලා අල්ලගත්තා හුංග පැටියෙක්. (මාදු ග‍ඟෙන් නෙමෙයි, වත්ත පහළ ඇළෙන්) ඇති කරනවත් වෙලා, ටිකක් සැර වැර තියෙන සතෙක් ඇති කරන්න එපැයි? මුලින්ම බාප්පා, හුංගව දවසකට තප්පර දෙකක් වතුරෙන් පිට තිබ්බා. සතියක් විතර යනකොට හුංගා ඒකට හොඳටම පුරුදු වුනා. ඊට පස්සෙ ඒක තප්පර හතර, තප්පර හය, තප්පර අට... ඔය විදියට ටිකෙන් ටික වැඩි කරලා, මාසයක් විතර යනකොට හුංගා ගොඩබිමට හොඳටම හුරු වුනා. මාස දෙකක් විතර යද්දි ඌට පැයක් දෙකක් ගොඩබිම ඉන්න පුළුවන්. ඒ එක්කම බාප්පා හුංගව දම්වැලට පුරුදු කළා. මාස හයක් විතර යද්දි බාප්පා හුංගව දම්වැලෙන් ගැටගහගෙන කඩමණ්ඩිය පැත්තෙ එහෙම යන එන එක කාටත් පුරුදු දර්ශනයක් වුනා.

ශෝකදායක සිද්ධියක් වුනේ ඔය අතරෙදියි. දවසක් බාප්පා අඩියකුත් ගහලා වෙලෙන් පැනලා එනවා, පුරුදු පරිදි හුංගවත් දම්වැලෙන් ගැටගහගෙන. දෙන්නම වැනි වැනී ඒදණ්ඩෙන් එගොඩ වෙනකොටම, මාලුවා ලිස්සලා වැටුනා වතුරට. අනේ ඌට හොඳටම වතුර පෙවිලා, හුස්ම හිරවෙලා, බාප්පා දම්වැලෙන් ඇදලා ගොඩ ගනිද්දිත්, හුංගා මැරිලා.