Thursday, January 22, 2015

බාප්පගේ කතන්දර

පෙරවදන:

අපේ බාප්පා, එයාගෙ දුවයි පුතයි පොඩි කාලේ ඒ අයට නින්ද යනතුරු කතා කියන්නට පුරුදු වෙලා හිටියා කියා කිව්වේ, අපේ පුංචිඅම්මා මේ ළඟදි අපේ ගෙදර ආව වෙලාවකදියි. බාප්පා කතා කියපු ශෛලිය එයාටම ආවේණික එකක්. ඇට්ටර පොඩිඋං සෑහෙන වෙලාවක් ඇහැරගෙන හිටපු නිසා බාප්පා කියන කතා හරිම දිග වුනා කියලා පුංචිඅම්මා කියනවා. ඒ කතා හරියටම මෙන්න මේ වගෙයි ලු:

ඔන්න එකෝමත් එක රටක හිටියා නරියෙකුයි, කොකෙකුයි. ඒ දෙන්නා හරි යාළුයි ලු ඉතිං. දවසක් නරියා කොකාට රෑ කෑමට ආරාධනා කළා. කොකා නරියගෙ ගෙදර ගියාම, නරියා සුප් හදලා තැටි පිඟන් වලට දාලා මේසෙට තියලා තිබුණ. කොකාට තැටි පිඟානෙන් බොන්න බෑනෙ, ඌට තියෙන්නෙ දිග හොටයක් නිසා. ඉතිං නරියා කොකාට විහිළු කර කර සුප් එක බිව්වා. කොකා බඩගින්නෙ ආපහු ගෙදර ගියා.

තව දවසක් කොකා නරියට ආරාධනා කළා දවල් කෑමට. නරියත් දවසම බඩගින්නෙ ඉඳලා කොකාගෙ පාටියට ගියා. එදා කොකා තව කොක්කු ගොඩකටත් ආරාධනා කරලා තිබුණ. එදා කොකා සුප් දුන්නෙ උස ජෝගු වලට. නරියා සෑහෙන්න උත්සාහ කළා ජෝගුවට හොම්බ ඔබාගන්න. ඒත් බැරි උනා. ඌ ට්‍රයි කරන හැටි බලාගෙන හිටිය කොක්කු උඩ පැන පැන හිනා වුනා. නරියා හොඳටම ලැජ්ජා වෙලා කොකාගෙ මූණවත් බලන් නැතුව යන්න ගියා.

http://s1.hubimg.com/u/1159708_f248.jpg

ඔහොම කේන්තියෙන් බඩගින්නෙන් යන නරියා දැක්කා මිදි පොකුරක්. හැබැයි ඒක තිබුණෙ උස ගහක. නරියා ඒක කඩාගන්න කියලා උඩපැන්නා. කීපවතාවක්ම උඩපැනලත් ඒක කඩාගන්න බැරිවුනා. ඒ ගමන නරියා ගමරාලගෙ ගෙදර ගිහිං ඉණිමගක් ගෙනත් ගහට හේත්තු කරලා, ඒක දිගේ ගිහිං මිදි පොකුර කඩාගත්තා. ඒ වුනාට කාලා බලපුවාම ඒක තිත්තම තිත්තයි. ඒ ගමන නරියා මිදි වලට බැණ බැණ, ඉණිමඟ උස්සලා විසිකළා. ඉණිමඟ විසිකරද්දි, ඒකෙ දැවටිලා තිබුණු ලොකු කොහොල්ලෑ ගුළියක් නරියගේ අතේ ඇලවුනා.

http://fc02.deviantart.net/fs70/f/2012/076/7/5/
the_fox_and_the_grapes_by_bicapop-d4t1fkn.jpg

නරියා ඒ කොහොල්ලෑ ගුළියෙන් කොහොල්ලෑ බබෙක් හදලා පාර අයිනේ තිබ්බා. තියලා, නරියා හැංගුනා. ඒ පාර දිගේ ආපු හාවෙක්, මේ කොහොල්ලෑ බබා දැකලා, ඒකට රැවටුනා. හාවා කොහොල්ලෑ බබා ට කතා කරලා, “ඔයාගෙ නම මොකද්ද ?” කියලා ඇහුවා. කොහොල්ලෑ බබා ට කතා කරන්න බෑනෙ. ඉතිං හාවට කේන්ති ගියා. හාවා කොහොල්ලැ බබාට පාරක් ගැහුවා. ඒ අත කොහොල්ලෑ බබාගෙ ඇලවුනා. ඊටපස්සෙ හාවා අනිත් අතින් ගැහුවා. ඒකත් ඇලවුනා. ඊටපස්සෙ හාවා පයින් ගැහුවා. ඒ කකුලත් ඇලවුනා. අනිත් කකුලෙනුත් ගැහුවා, ඒකත් ඇලවුනා.

ඒ ගමන නරියා හැංගුනු තැන ඉඳන් එළියට පැන්නා. හාවා බය වෙච්ච ගමන, පැනලා දිව්වා, ඌ දාගෙන හිටපු සපත්තු දෙකයි අත්මේස් දෙකයි කොහොල්ලෑ බබාගෙ ඇ‍ඟේ ඉතුරු වුනා.

http://www.donmangan.com/wp-content/
uploads/2010/09/RabbitFox001.jpg

නරියට කේන්තියි කොහොල්ලෑ බබාව කටු පිටින්ම කන්න තරම්. ඒ ගමන ඌ වතුර ටිකක්වත් බොන්න කියලා හිතාගෙන ගඟට ගියා. ගං ඉවුරෙ හිටියා ඉබ්බෙක්. නරියා පැනපු ගමං ඌව අල්ල ගත්තා. ඉබ්බත් කටුව ඇතුලට ඔළුවයි අත පය හතරයි ඇදල ගත්තා. නරියා ඉබ්බගෙ කටුව කඩා ගන්න සෑහෙන්න මහන්සි වුනා. ඒ වුනාට හරි ගියෙ නෑ. ඉබ්බා කටුව ඇතුලෙ ඉඳං නරියට කිව්වා,

“මගෙ කටුව හයිය වෙලා තියෙන්නෙ මං ගොඩ ඉන්න නිසා වේලිලා. මාව වතුරට දැම්මොත් නං පෙ‍ඟෙයි...” කියලා.

නරියත් ඉබ්බව අරං ගිහිං ගංඉවුරෙ වතුරෙ ඔබලා, එක කකුලක් ඉබ්බගෙ පිට උඩින් තියාගත්තා. ඒ ගමන ඉබ්බා කියනවා,

“ඔය කකුල තියං ඉන්න තැන පෙ‍ඟෙන් නෑනෙ, ටිකක් බුරුල් කළානං...” කියලා.

නරියා කකුල ටිකක් බුරුල් කළා විතරයි, ඉබ්බා රුයිං... ගාලා දිය යටිං පීනලා ගිහිං ගඟේ එහා ගොඩට පැනගත්තා.

මේ අතරෙ කොහොල්ලෑ බබාගෙ සිද්ධියෙන් බය වෙච්ච හාවා දුවගෙන දුවගෙන ගිහිං නතර වුනේ ගං ඉවුරෙ. ග‍ඟේ හිටිය කිඹුල් පතයා කට ඇරගෙන කඩං පැන්නහම තමා හාවට හරි හමං සිහියක් ආවෙ.

“ග‍ඟේ ඉන්න කිඹුල්ලු ගාණට වඩා කැලේ හාවො ගාන වැඩියි. ඒ නිසා තමුසෙට මාව කන්න ටිකක් අමාරු වෙයි...” හාවා කිව්වා. (“එහෙම එකක් කියන්න මොළේ තිබ්බ හාවා ඇයි තාත්තෙ කොහොල්ලෑ බබාට රැවටුනේ?” ඒ අතරෙ පුතාගෙන් බාප්පට අතුරු ප්‍රශ්නයක්... “කෑ නොගහ කතාව අහගෙන ඉන්නවකො.” බාප්පාගෙන් පිළිතුරු ප්‍රහාරයක්, නොමිලේ ලැබෙන ටොක්කක්ද සමඟ...)

කිඹුලට කේන්ති ගියා. “නෑ මං පෙන්නන්නං කොච්චර කිඹුල්ලු මේ ග‍ඟේ ඉන්නවද කියලා” කිඹුලා රුස් ගාලා පීනලා ගිහිං, ග‍ඟේ හිටපු ඔක්කොම කිඹුල්ලු ටික එකතු කරගෙන ආවා. ග‍ඟේ එහා ඉවුරෙ ඉඳං මෙහා ඉවුර වෙනකල් කිඹුල්ලු පිරිලා.

“අපි ගණං කරලා බලමු” කියලා හාවා එකයි... දෙකයි...  කිය කියා ගණං කරන ගමං කිඹුල්ලුන්ගෙ පිටවල් උඩින් පැන පැන ගිහිං එගොඩටම පැන ගත්තා.

“කිඹුලන් වැඩි වුනත් එකයි - හාවන් වැඩි වුනත් එකයි
මට ඕනෑ වුනේ එකයි - එගොඩට පැන ගන්න එකයි...” කියලා කවියකුත් කියලා හාවා යන්න යනකොට, නරියගෙන් බේරිලා එගොඩට පැනගත්ත ඉබ්බා හම්බවුනා.

හාවා දාපු පොර ටෝක් එකට කේන්ති ගියපු කිඹුල්ලු ටික හාවව කන්න කියලා හිතාගෙන පස්සෙන් එළවගෙන එනවා දැන්...

හාවා මේක දැක්කා. දැකලා ඉබ්බට කියනවා. “අපි ‍දුවමුද රේස් එකක්?” කියලා. ඉබ්බත් කැමති වුනා.

“එකයි, දෙකයි, තුනයි” කියලා හාවා දුවගෙන දුවගෙන ගියා. ඉබ්බා පුරුදු වේගෙන් ගාටන්න පටන් ගත්තා. කිඹුල්ලුන්ට ළං වෙන්නවත් බැරි තරම් දුර දුවපු හාවා ගහක් යට නැවතිලා හති අරින්න පටන් ගත්තා. හාවට එහෙම්මම නින්ද ගියා.

ඒ ගහ යටම අනිත් පැත්තෙ හිටියා තොප්පි වෙළෙන්දෙකුත් නිදාගෙන. ගහ උඩ හිටිය වඳුරො රැළක් ගහෙන් බැහැලා ඇවිත් ඒ තොප්පි වෙළෙන්දගෙ තොප්පි ඔක්කොම දාගෙන ආපහු ගහට නැග්ගා. තොප්පි වෙළන්දා ඇහැරලා බලනකොට තමන්ගෙ තොප්පි ටික දාගෙන ගහ උඩ ඉන්න වඳුරො ටික දැක්කා. එයා එක එක දේවල් කළා අර තොප්පි ටික ගන්න. ඒත් වඳුරො එයා කරන කරන දේවල් ම කර කර ගහ උඩටම වෙලා හිටියා. බැරිම තැන තොප්පි වෙළෙන්දා තමන් දාගෙන හිටිය තොප්පිය ගළවලා එයාගෙ තොප්පි පෙට්ටියට විසික් කළා. ඒ ගමන වඳුරොත් උන් දාගෙන හිටිය තොප්පි ගළවලා තොප්පි පෙට්ටියට දැම්මා. වෙළෙන්දා ඒ පෙට්ටියත් අරං ආපහු යන්න පිටත් උනහම, වඳුරොත් ඇවිත් එයාගෙන් තොප්පි පෙට්ටිය උදුරලා ඇරං ඒක ඔළුව උඩ තියාගෙන යන්න පටන් ගත්තා.

මේ කළබලේට හාවට ඇහැරිලා බලන කොට, ඉබ්බා හිමින් හිමින් ගිහිං දිණුම් කනුවටම ළං වෙලා.

දිනුම් කණුව ගාව හිටිය කොක්කු දෙන්නෙක් කෝට්ටක් ඉබ්බට දික් කරලා, ඒකෙ මැදින් හපාගන්න කිව්වා. ඊට පස්සෙ උන් දෙන්නා කෝට්ට දෙපැත්තෙන් හොටෙන් අල්ලගෙන පියාඹන්න පටන් ගත්තා. ඔහොම ටික දුරක් යද්දි, වෙල් යායක සෙල්ලං කර කර හිටිය කොල්ලො රංචුවක් ඔය සිද්ධිය දැකලා, හූ කියන්න පටන් ගත්තා. ඉබ්බට හරි කේන්තියි. ඒත් ඌ වැටෙයි කියලා බයේ සද්ද නැතුව හිටියා.

http://i.ytimg.com/vi/nd4BXnLaIgM/hqdefault.jpg

කොක්කුන්ට හරි සතුටුයි ඉබ්බා කට ඇරියෙ නැති එකට. ඉතින් එක කොකෙක් “උඹ නං මාර ඉබ්බෙක් තමා” කිව්වා. ඒ ගමන උගෙ කටින් කෝටුව අත ඇරුනා. “ඕක අල්ලගනිං යකෝ...!” අනිත් කොකා කිව්වා. ඒගමන උගෙ කටිනුත් කෝට්ට අත ඇරුනා.

ඉබ්බා කෝට්ටත් කටින් හපාගෙනම පහළට වැටෙද්දි, කොක්කු දෙන්නා වේගෙන් පහළට පියාඹලා ඇවිත් ආපහු කෝට්ට අල්ලගත්තා. “ටැංකිව් මචං...” ඉබ්බා කිව්වෙ එච්චරයි, උගෙ කටින් කෝට්ට අත ඇරිලා බිමට වැටුනා.


ඉතිරි කොටස ඊළඟ පෝස්ට් එකකින් බලාපොරොත්තු වෙන්න...

Tuesday, January 13, 2015

පරණ (ඇන්ටික්) කාටුන් ටිකක්

පහුගිය ජනාධිපතිවරණය, 77 මහ මැතිවරණයට සමාන කරලා තිබුණා දැක්කා. ඒ මැතිණිගෙ පාලනයෙන් මහත් පීඩනයකට පත්වී සිටි ජනතාව ඒ පාලනය වෙනස් කරන්නට පාරට බැහැපු අවස්ථාවක්. ඩ්‍රැකියාගේ දිවංගත තාත්තා එකතු කරපු කාටුන් ටිකකින් ඒ ගැන මතකය අලුත් කරන්නට හිතුණා.

මේ මැතිණිගෙ පාලනය තිබුණු කාලය... (රිවිරැස පත්තරේ)


මහ මැතිවරණයට ඉදිරිපත් වෙද්දී දෙපාර්ශවයට කියන්න තිබුණු දේවල්...


කලින් මහ මැතිවරණය එක්ක සංසන්දනයක්...


මහ මැතිවරණයෙදි චන්දදාසට කියන්න තිබුණු දේවල්...






මහ මැතිවරණය ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා දිනුවට පස්සෙ...



ජයවර්ධන ආණ්ඩුවට චන්දදාස ඉදිරිපත් කරපු අභියෝගය...


ජේ. ආර්. ජයවර්ධන මහතා ගෙනාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චන්දදාස දැක්ක හැටි...


ප/ලි

ඉහතින් දැක්වූ කාටූන් ටික අපේ නව ආණ්ඩුව පත්වීමත් එක්ක සමාන කිරීමක් මම අදහස් නොකරමි. මෛත්‍රීපාලනය විසින් මේ අවසන් කරන්නට හදන්නේ, ඉහත දැක්වූ විදිහට ආරම්භ කරපු පාලන තන්ත්‍රයයි.

පින්තූර උඩ ක්ලික් කිරීමෙන් ලොකු ප්‍රමාණයේ පින්තූරය බාගත හැකි වේවි.

Tuesday, January 6, 2015

ජනාධිපතිවරණය ආශ්‍රිත ඩ්‍රැකියාවෙලී විග්‍රහය

මේ අතිශයින් දේශපාලනයයි...


(ඡායාරූපය උපුටාගතතේ: http://www.sinhayanews.com/sites/default/files/styles/grid-32/public/article_media/%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20-%20%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF_2.jpg?itok=UP6oinhx)

ලංකාවේ විධායක පාලකයා පත් කර ගැනීමට ජනතාවට තවත් වාරයක් උදාවී ඇත. මේ, ජනතා පරමාධිපත්‍යය ප්‍රායෝගික ලෙස භාවිතා කෙරෙන ප්‍රධානතම අවස්ථාවයි.

ජනතා පරමාධිපත්‍යය කියන්නේ සරළවම තමන්, තමන් විසින්ම පාලනය කිරීමයි. මහා ජනගහනයකට රැස්වී තම පාලනය ගැන තීරණ ගැනීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් වන නිසා තමන් පාලනය සඳහා තමන්ගේ නියෝජිතයන් පත් කරගෙන, ඔවුන් මඟින් තමන් පාලනය කරවා ගැනීම බවට, නූතන ජාතික රාජ්‍ය වල පරමාධිපත්‍යය පරිණාමය වී තිබේ.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටක රාජ්‍ය පාලනය ක්‍රියාත්මක වෙන්නේ, ප්‍රධාන ආයතන තුනකිනි: (ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය) එයින් විධායකය කොටස් දෙකකට බෙදෙයි.

1. දේශපාලනික විධායකය (ලංකාවේ නම් ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය),

2. ස්ථාවර විධායකය හෙවත් රාජ්‍ය සේවය.

රටක පාලනය සඳහා පිහිටුවා ඇති කුඩා සහ විශාල රාජ්‍ය ආයතන සියල්ල, දේශපාලන විධායකයෙන් ස්වාධීනව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කාරියකි.

ලංකාවේ අමාත්‍යාංශ ලේකම් වරු පත් කරන්නේ ජනාධිපති විසිනි. (17 වන සංශෝධනය පරිදි එය සිදුවුනේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මතය. 18 වන සංශෝධනයෙන් මේක “පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ විමසා” කියා සංශෝධනය කරන ලදි. එයින්, ජනාධිපතිවරයාට කැමති ඕනෑම කෙනෙක් අමාත්‍යාංශ ලේකම් විදිහට පත් කළ හැක. )

දෙපාර්තමේන්තු ප්‍රධානයන් පත් කරන්නේ කැබිනට් මණ්ඩලය විසිනි. (කැබිනට් ම්ණ්ඩලය පත්කරන්නේ ජනාධිපති විසින් වන අතර, ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ද වෙයි)

විගණකාධිපති පත් කරන්නේ ජනාධිපති විසිනි.

මෙකී නියමයන්ගෙන් රාජ්‍ය සේවය පරාධීන කර ඇති අතර, ජනාධිපතිවරයාට කැමති පරිදි නැටවිය හැකි රාජ්‍ය ආයතන රැසක් බිහිකර තිබේ.

කොමිෂන් සභා (මැතිවරණ, ජාතික පොලිස්, රාජ්‍ය සේවා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන, ශ්‍රී ලංකා මානව හිමිකම්, මුදල්, සීමා නිර්ණය) පත් කරන්නේ ජනාධිපති විසිනි.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති හැර සාමාජිකයන් පත් කරන්නේ ජනාධිපති විසිනි. එහි සභාපති වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු නිල බලයෙන් වන අතර, අගවිනිසුරු පත් කරන්නේ ජනාධිපති විසිනි. ඊට අමතරව, නීතිපති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයන්, අභියාචනාධිකරණ විනිසුරු වරයන් පත්කරන්නේ ද ජනාධිපතිවරයා ය.

පොලිස්පති පත්කරන්නේද ජනාධිපති විසිනි.

ඇමතිවරුන්ට නොව ජනාධිපතිවරයාට පක්ෂපාතී අමාත්‍යාංශ ලේකම් වරු, කැබිනට් මණ්ඩලයට පක්ෂපාතී දෙපාර්තමේන්තු ප්‍රධානයන්, ජනාධිපති ගේ පළිගැනීමට බියෙන් කටයුතු කරන අධිකරණය, රූකඩ පොලිස්පති සහ පොලිස්පතිටත් ඉහළින් සිටින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්, ආදී රාජ්‍ය නිලධාරීන් අද ශ්‍රී ලංකාවේ පාලනය කෙරෙහි බලපා ඇති අන්දම අපි අත්දකිමු. එසේම අභ්‍යන්තර පාලන ක්‍රමයක් වශයෙන් සියලුම ආයතන එකිනෙකින් ස්වාධීනව කටයුතු කිරීමේ න්‍යාය වෙනුවට, සියලුම ආයතන එක් පුද්ගලයෙකුගේ විධානයට යටත් වී ඇත.

නිතර දෙවේලේ අපගේ සවන් පුරවන ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලින් මව්බිම බේරාගැනීමට විධිමත් සැළසුමක් නැත. ලංකාවේ විදේශ සේවය ශූර රාජ්‍යතාන්ත්‍රිකයන් හිඟ, නෑදෑයන්, ගජමිතුරන් හා වීදි සටන්කරුවන්ගෙන් පුරවා ඇති තත්ත්වයක පවතී. ජිනීවා යෝජනා වලට මුහුණ දෙන්නේ, අපේ රට අස්ථාවර කරන්නට බටහිර රටවල් බලා සිටින බවට කෑගැසීමෙනි.

චීනය තම තෙල් සැපයුම සඳහා මුහුදු සේද මාර්ගයක් තනා ගනිමින් සිටී. තම රාජ්‍යය තුළ පවතින තෙල් නිධි අනාගතයට ඉතිරිකරගන්නා චීනය, සිය රටේ පාරිසරික තත්ත්වයන් මනාව පවත්වාගැනීමට ගල් අඟුරු භාවිතය සීමා කරමින් සිටී. ඒ අනුව, තම රටෙන් ඉවත් කරන ගල් අඟුරු බලාගාර තුන්වැනි ලෝකයේ රටවලට ණය ආධාර වශයෙන් ලබා දීමත්, සිය ගල් අඟුරු ඒ සඳහා විකිණීමත් සිදු කරයි. තම දේශයේ පිහිටි තෙල් නිධි භාවිතා කරනවා වෙනුවට, සූඩානයෙන් තෙල් ආනයනය කිරීමට පෙළඹී සිටින චීනයට ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ, ඒ සඳහා භාවිතා කරන මුහුදු මාර්ගය ආරක්ෂිතව පවත්වාගැනීමයි. (විශේෂයෙන් සෝලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂාව සළසාගැනීම) ඒ සඳහා හැකිතාක් ගොඩබිමට ආසන්නයෙන් යාත්‍රා කිරීම සඳහා ඔවුන් අලුත් වරායන් ඉදි කිරීමට, ආශ්‍රිත රාජ්‍යයන්ට ණය ආධාර දෙති. (එම වරායන් සහ, අගනුවර සිට එම වරාය තෙක් මාර්ග පහසුකම් ඇති කරවීමට) මෙය ඔුවන් හඳුන්වන්නේ මුතු වැල (string of pearls) ලෙසිනි.

http://upload.wikimedia.org/wikipedia/commons/9/94
/China%E2%80%99s_Critical_Sea_Lines_of_Communication.png

http://www.china-briefing.com/news/wp-content/uploads/2009/03/string-of-pearls1.jpg

චීනය හම්බන්තොට වරාය ඉදිකිරීමට ආධාර දුන් පසුව, මෑතකදී චීන සබ්මැරින ලංකාවේ වෙරළ තීරයට එවීම, ඉන්දියාවේ කණස්සල්ලට හේතු වී තිබේ. ජාත්‍යන්තර මුහුදු නීති උල්ලංඝනය කරන ලංකාවේ ධජය සහිත චීන ධීවර යාත්‍රා නිසා යුරෝපයේ මත්ස්‍ය වෙළෙඳපොළ ලංකාවට අහිමි වී වැඩි කලක් ගතවී නැත.

රටේ මානව අයිතිවාසිකම් ඇත්තේ පාලකයන්හට හා ඔවුන්ගේ දරුවන්ට පමණකි. නීතිය ක්‍රියාත්මක වන්නේ පාලකයන්ට ගෑවී නැති සුළු අපරාධකරුවන්ට පමණකි. බොහෝවිට අපරාධ විසඳන්නේ සැකකරුවන් ආයුධ පෙන්වීමට එක්ක යෑමෙනි. මොවුන් නියම අපරාධකරුමදැයි තීන්දු කළ යුත්තේ අධිකරණය මඟිනි. ඇතැම් විට අහිංසක මිනිසුන් මෙසේ මරා දැමෙන අවස්ථාද විය හැක. ජනතා උද්ඝෝෂණ, කැරළි මර්ධන හමුදාව යොදවා මර්ධනය කරනු ලැබේ. (පානීය ජල ප්‍රශ්නය විසඳූයේ උද්ඝෝෂණයට සම්බන්ධ වී පවා නොසිටි බාල වයස්කාරයන් තිදෙනෙකු හමුදා වෙඩි පහරින් ඝාතනය වීමෙනි. උතුරේ මානුෂීය මෙහෙයුම් කළේද මේ හමුදාවම නේදැයි සාධාරණ ප්‍රශ්නයක් ද මෙහිදී මතු වේ.)

රටේ අයවැයෙන් විශාලම කොටස වෙන් වී ඇත්තේ ජනාධිපතිවරයා, ඔහු යටතේ ඇති අමාත්‍යාංශ හා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා යටතේ ඇති අමාත්‍යාංශයටය. බැසිල් රාජපක්ෂ ඇමතිවරයා යටතේ ඇති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් සිදු වන්නේ පහත සඳහන් ක්‍රියාකාරකම් ය:

1. ගෙවතු සඳහා බීජ වර්ග, පැල වර්ග, සතුන් බෙදාදීම, (මෙම කටයුත්ත සඳහා විශාල වශයෙන් වාර්තා කැඳවනු ලැබේ. මෙම බීජ වර්ග පැල වර්ග 100% ක් සාර්ථක ලෙස පැළ වී ඇති බව, සතුන් 100% ක්ම ජීවත් වන බව, ආදී වශයෙන් මාසිකව ලිඛිත වාර්තා කැඳවනු ලැබේ.)

2. සුළු කර්මාන්ත කරුවන් ලෙස හඳුනාගෙන ඇති, මැහුම් කටයුතු කරන ගෘහණියන්, වඩු කාර්මිකයන් ආදී අයට මිලෙන් බාගයක් අයකර උපකරණ ලබා දීම,

3. මෑත කාලීන මැතිවරණය දෙකේදී සමෘද්ධි ලාභීන්හට රු. 2,500.00 ක දීමනාවක් ගෙවීම,

4. පොළී රහිත ණය හා සහනාධාර ණය ලබා දීම, ආදී වශයෙනි.

මෙම කටයුතු ප්‍රායෝගිකව රටේ නිෂ්පාදිතය වැඩි නොකරයි (වැය කරන මුදලට සාපේක්ෂව). එසේම මෙම කටයුතු වලදී යොදාගන්නා පත්‍රිකා, පැකැට්ටු, පොත් ආදී දේ ඉහළ ප්‍රමිතියකින් (විශාල මුදලක් වැය කොට) මුද්‍රණය කර ඇති අතර, එය පැහැදිලිවම මෙම ආණ්ඩුවේ ප්‍රචාරණ වැඩපිළිවෙලක් බව පෙනේ.

මෙම පාලන ක්‍රමය වෙනස් කිරීම අවශ්‍ය කාරණයකි.

බොහෝ රටවැසියන් ගේ ඔළු වලට ඔබ්බවා ඇති විශ්වාසයන් කිහිපයක්:

1. රනිල් ගේ කොටි මිතුරු ගිවිසුම

2001 – 2002 රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් පාලනය කළ සමයේ, මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය පිහිටුවා තිබූ (අනවශ්‍ය තරම්) මාර්ග බාධක බොහොමයක් ඉවත් කර, කොටි සංවිධානය සමඟ සාම ගිවිසුමක් අත්සන් කළේය. එම ගිවිසුමෙන් කොටියාට රටෙන් කොටසක් ලියා දීමක් සිදු වූයේ නැත. සැබැවින්ම වූයේ:

1. දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුව තාවකාලිකව නතර වීම,

2. සාම සාකච්ඡා සඳහා කියා කොටි නායකයන් විවිධ රටවලට රැගෙන ගොස්, රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ඉඳුම් හිටුම් ලබා දීමෙන් ඔවුන්ගේ සිත් වලට “යුද්ධයෙන් එහා ගිය සුඛෝපභෝගී ලොවක් ඇති” බව හඳුන්වාදීම,

3. කොටි සංවිධානයේ දර්ශනයේ ඇති ප්‍රායෝගික නොවන හා දුෂ්කර තැන් හඳුනාගැනීමට ඉඩ සැළසීම, ආදියයි.

දැන් දේශප්‍රේමියෙකු බවට වෙස් පෙරළී ඇති කරුණා අම්මාන් කොටි සංවිධානය කඩා ගෙන ගියේ මෙහි ප්‍රතිඵල වශයෙනි. යුද්ධය නැගෙනහිරින් ආරම්භ කළ පසු ජයග්‍රහණය කරා යාමට කරුණාගේ මෙම කඩාගෙන යාම ඉවහල් විය.

2. යලි පුබුදමු ශ්‍රීලංකා (Regaining Sri Lanka) මඟින් රට බටහිරට විකිණීමට කුමන්ත්‍රණය කළ බව

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ මෙම සැළසුම රටෙහි රාජ්‍ය ආයතන නව ක්‍රමවේදයන්ට අනුව කළමණාකරණය කරවීමේ සැළසුමකි. එය ක්‍රියාත්මක වූවා නම් දැනට යථාර්ථයක්ව පවතින රාජ්‍ය ආයතන වල අකාර්යක්ෂමතාව, හා පාරිභෝගික අතෘප්තිමත්භාවය බොහෝදුරට සමනය වන්නට ඉඩ තිබුණි. (වැඩිවිස්තර සඳහා ලිංකුව)

3. රනිල් රාජ්‍ය සේවය පුළුල් නොකළ බව

ඇත්ත නම්, ඒ වන විටද රාජ්‍ය සේවය අවශ්‍ය පමණට වඩා විස්තාරණය කර තිබූ බවයි. ඒ වන විට දිනකට පැය 7 විනාඩි 45 ක සේවා කාලයක් තුළ එක් රාජ්‍ය සේවකයෙක් ඉටු කළේ සාමාන්‍ය වශයෙන් දිනකට පැය දෙකක තුනක පමණ වැඩ ප්‍රමාණයකි.

රාජ්‍ය සේවය පුළුල් කිරීමෙන් වන හාණිය ට හොඳම උදාහරණය වන්නේ මෑතදී පත්වීම් ලද සංවර්ධන නිලධාරීන්ය. මොවුන් ගෙන් ලබාගන්නා නිශ්චිත සේවයක් නැත. සතියකට දිනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන මොවුන්, එහිදී කළ යුත්තේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ කෙරෙන ක්‍රියාකාරකම් වල ප්‍රගතිය පිළිබඳව රැස්වීම් වලට සහභාගී වීම සහ ආයතන පරිශ්‍රයේ තැන් තැන් වල රැස්වී කතා කරමින් සිටීමයි. අනෙක් දින වල ඔවුන් ක්ෂේත්‍රයට ගොස්, (බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ආරම්භ කළ අසාර්ථක මුදල් නාස්තියක් වන) ඇට වර්ග, පැල වර්ග හා සත්ත්ව පැටවුන් බෙදාදීම, කොන්ක්‍රීට් පාරවල් ඉදිකිරීම් නිරීක්ෂණය කිරීම වැනි කටයුතු ඉටු කළ යුතුය.

සෑම රාජ්‍ය ආයතනයකම පාහේ, උපාධිධාරී ක්‍රමය යටතේ (දේශපාලන ලැයිස්තු අනුව) බඳවා ගත් අය, ලිපිකාර ආශ්‍රිත සේවාවන් වල යොදවා ඇති අතර, එය විභාග සමත්වීමෙන් රැකියාව ලබාගත් ලිපිකාර සමාන්තර ශ්‍රේණිවල නිලධාරීන්ගේ අතෘප්තියට හේතු වී ඇත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණය ජයගතහොත්, තවත් ලක්ෂ එකහමාරක් රාජ්‍ය සේවයට බඳවාගැනීමට පොරොන්දු වෙයි. මෙය රාජ්‍ය සේවය තවත් අගාධයට ඇද දැමීමකි.

කළ යුත්තේ රටේ රැකියා වියුක්තිය අඩු කිරීම සඳහා රැකියා උත්පාදනය වන ආර්ථිකයක් බිහිකිරීම මිස, සහනාධාර දීම හෝ රාජ්‍ය අංශය ට අධික ලෙස බඳවාගැනීම නොවේ.

4. බෙදුම්වාදය

බෙදුම්වාදය යනු, රටේ වැසියන් පිරිසක් එම රටෙන් වෙන් වී වෙනම රාජ්‍ය පාලනයක් ඇති කර ගැනීමට උත්සාහ කිරීමයි.

මේ ‍රටේ වෙසෙන නැගෙනහිර මුස්ලිම් මිනිසුන් හෝ උතුරේ ද්‍රවිඪ මිනිසුන්, වෙනම රාජ්‍යයක් උදෙසා සටන් බිමට බැසීමට (තම ජීවිත නැතිවීමට ඉඩ ඇති බව දැන දැනම) පෙළඹෙන්නේ ඇයි? පවතින රාජ්‍ය තන්ත්‍රය යටතේ තමන් හට විශාල පීඩනයක් එල්ල වන්නේ නම් පමණකි. කළ යුත්තේ ඔවුන්ට සාමාන්‍ය මිනිසුන් ලෙස ජීවත්වන්නට ඉඩ සැළසීමයි.

උතුරේ ජනතාව පාරම්පරිකව ජීවත් වූ බිම් කොටස් අක්කර ගණන් යටකරගත් හමුදා කඳවුරු එක්කෝ ඉවත් කළ යුතුය. නැතහොත් ජනතාවට විකල්ප බිම් කොටස් දිය යුතුය. ඔවුන්හට රෝහල්, පාසැල් ආදී ජීවත්වීමට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුය. තවමත් අවතැන් කඳවුරු වලට ගාල්කොට ඇති ජනතාව එයින් නිදහස් කොට සිය ජීවිකාව කරගෙන ජීවත් වීමට ඉඩ සැළසිය යුතුය. ඔවුන්ගේ ධීවර කටයුතු ඉටු කරගැනීමේදී නාවික හමුදාවෙන් එල්ල වන බාධා නැති කළ යුතුය.

තැන් තැන්වල හමුදා කඳවුරු පිහිටුවීම තුළින් රට වැසියන්ගේ බෙදුම්වාදය සමනය කළ නොහැක. හමුදා නිලධාරීන් නිතර ගැවසෙන පරිසරයක මිනිසුන්ගේ ජීවිත තිරිසනුන්ටත් අන්තය.

උතුරු නැගෙනහිර තරමක් විශාල වශයෙන් ද වෙනත් ප්‍රදේශ වල සුළු ව‍ශයෙන් ද පුරවැසියන් අතුරුදහන් කරවන තත්ත්වයක් පවතී. මේවා ගැන පොලිස් පරීක්ෂණ නොමැත.

නූතන ජාතික රාජ්‍යයක ස්ථාවරත්වය ඇති වන්නේ රටේ ජනතාව සමජාතියක් බවට පත් කිරීමෙනි. එම සමාජයේ සුළු ජතියක් කියා දෙයක් නොමැත. සංස්කෘතික සම්මිශ්‍රණයක් පවතී. එහෙයින් අපි ඇති කරගත යුත්තේ තම ජාතිකත්වය හෝ කුළය හෝ ස්ත්‍රී පුරුෂ භාවය හෝ ආගම මත වෙනසකට ලක් නොවන (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙම අයිතිය තහවුරු කර ඇත.) සම අයිතිවාසිකම් ලබා දෙන සමාජයකි. සුළු ජාතිකත්වයන් මහා ජාතියට වඩා ඉගෙනීමෙහි දක්ෂයන් වන බැවින් ‍ඔවුන හට වෙනම ලකුණු පරාසයක් ලබා දීම වැනි ක්‍රියා මාර්ග වලින් ආරම්භ වූ ජනවාර්ගික අරගලය යුධමය වශයෙන් පරාජය කළා පමණි. එයින් තුවාල වූ මිනිස් සිත් සුවපත් කළ හැක්කේ සම අයිතීන් ලබා දෙමින්, නිදහසේ ජීවත් වීමට ඉඩ සැළසීමෙනි.

http://www.srilankanewsinternational.com/wp-content
/uploads/2013/02/jaffna_soldier.jpg

ඡන්දයක් තියෙන්නේ රටක පාලනය සහ ආර්ථික කළමණාකරණය ක්‍රියාත්මක කරවීමට මිසක් කළගුණ සැළකීම වැනි සදාචාරාත්මක කාරණා වලට නොවේ. (ජනතාව, යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයාට කළගුණ සැළකූ නමුත්, එම යුද්ධය අවසන් කිරීමට හමුදා මෙහෙයවූ සෙන්පතියාට රාජ්‍ය නායකයා කළගුණ සැළකුවේ නැත.) අවශ්‍ය වන්නේ පහත සඳහන් කරුණු ගැන අවධානය යොමු කිරීමය:

අපේ රට ජාත්‍යන්තරය ඉදිරියේ සුරක්ෂිත කිරීමට, ශූර රාජ්‍යතාන්ත්‍රිකයන් ගෙන පිරුණු විදේශ සේවයක්, (දැනට සිටින හමුදා නිලධාරීන් හා දේශපාලකයන්ගේ පවුලේ උදවිය වෙනුවට)
රාජ්‍ය දේපළ හා රාජ්‍ය සේවකයන් පෞද්ගලික කටයුතු වලට යොදා ‍ගැනීම වළක්වා, ගෞරවණීය තත්ත්වයකින් ස්වාධීනව ජනතාවට සේවය ඉටු කිරීමට ඉඩ සැළසෙන තත්ත්වයක්,
නීතියේ පාලනය ඉදිරියේ පාලකයන් හා ජනතාව සමව සැළකෙන තත්ත්වයක්,
රාජ්‍ය සේවය හා රාජ්‍ය ආයතන ප්‍රති ව්‍යුහගත කිරීමෙන් කාර්යක්ෂම කරවීම,
රටේ පොදු පහසුකම් නූතන තාක්ෂණයෙන් දියුණු කිරීම, (අධිවේගී මාර්ග වලට වඩා, දුම්රිය හා බස්රිය පහසුකම් ආදී වශයෙන්)
රටේ නිෂ්පාදිතය වැඩි කිරීමේ සැළසුම්,
නූතන තාක්ෂණය යොදාගන්නා කර්මාන්ත බිහිකිරීම හා රැකියා උත්පාදනය,
රටේ පාරම්පරික කර්මාන්ත වන කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, ලුණු ලේවා ආදිය ප්‍රවර්ධනය කිරීමේ උපක්‍රම,
රැකියා සඳහා යොමු වූ උසස් අධ්‍යාපනයක්,
සංවර්ධනයේ ප්‍රතිඵල ජනතාව අතර සාධාරණව බෙදි යමින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යාම.


රටක පාලකයන් ගෙන් බලාපොරොත්තු විය යුත්තේ මෙයයි. මේ සඳහා අඩිතාලමක් වශයෙන් මාගේ පෞද්ගලික විශ්වාසය අනුව මාගේ ඡන්දය මෛත්‍රීපාල සිරිසේන වෙත පළ කරන අතර, ඔහු සමඟ රට පාලනය කරන්නට බලාපොරොත්තු වන නියම ලිබරල් ප්‍රජාතාන්ත්‍රිකයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආර්ථික සැළසුම් ක්‍රියාත්මක කරවීමේ ඉඩකඩ සැළසීම යහපත් බව මම විශ්වාස කරමි.

වැඩිපුර බලපු ලිපි