ලොව පුරා ජනකථා අතරින් - ලෝකෙ දිගම කතාව...


සිරා ගේ ආරාධනයෙන්, 
මෙන්ඩා ගේ මග පෙන්වීමෙන්, 
අපේ තාත්තාගේ මුල් ගල් තැබීමෙන් 
මේ කැටගරිය ආරම්භ වන්නේය...

මීට කලින් කණ්ණඩ ජනකතාවක් පෝස්ට් කළා. ඒක මේ කැටගරියේ මුල්ම කතාව විය යුතුයි. ඒත් මේ කැටගරිය ආරම්භ කරන අද, මුලින්ම කියන්නට යන්නේ ලෝකයේ තියෙන දිගම කතාවයි. 

ලෝකෙ දිගම කතාව කිව්වම, මා ළඟ තියෙන්නෙ චීන කතාවක් සහ අප්‍රිකානු කතාවක්. ඕං ඉස්සෙල්ලම චීන කතාව...

චීනෙ හිටියා අධිරාජයෙක්. එතුමා හරිම ආසයි කතන්දර අහන්න. එතුමා කලින් අහලා නැති කතාවක් කියන්නට පුළුවන් වුනු කතන්දර කාරයන්ට එතුමා බොහොම ඉහළින් සැළකුවා.

දවසක් අධිරාජයට හිතුනා ලෝකෙ තියෙන දිගම කතන්දරය අහන්නට. ඉතින් කරපු වැඩේ, චීනය පුරාම අණබෙරයක් යැවුවා, ලෝකෙ දිගම කතාව කියන්න පුළුවන් තැනැත්තාට ඇතෙක් ගෙ බරට රත්තරන් දෙනවාය කියලා.

ඉතින් කතන්දර කාරයො රජමාළිගාවෙ පිරුණා. අධිරාජයා එක එක්කෙනා බැගින් ගෙන්නුවා කතන්දර අහන්නට. එක් කෙනෙක් එදා උදේ පටන් ගත්ත කතාව ඉවර කළේ පහුවදා පාන්දර. ඒ තරමට දිගයි කතාව. නමුත් අධිරාජයාට ඒ කතාව දිග මදි.

තවත් කෙනෙක් දවස් දෙකක් තුනක් ගත්තා කතන්දරය කියන්න. ඒත් අධිරාජයාට දිග මදි වුනා. සමහරු සතියක්, සති දෙකක් විතර කතා කිව්වා.

අධිරාජයා සෑහීමකට පත් නොවෙන තැන කතන්දර කාරයන් මාළිගාවට එන එකත් ටිකෙන් ටික අඩු වුනා. ඒත් දවසක් එක කතන්දර කාරයෙක් ඇවිත්, කතාවක් කියන්න පටන් ගත්තා.

".. ඔන්න එක්තරා කාලයක චීනයේ හිටියා මහා ඉඩම් හිමි ගොවියෙක්..." එයා කතාව පටන් ගත්තා. රජතුමා ඔහු ඉදිරියේ වාඩි වෙලා ඔළුව වන වනා කතාව අහනවා. "..එ් ගොවියාට තිබුණු ඉඩම් චීන මහා ප්‍රාකාරයේ සිට කහ මුහුද දක්වාම පැතිරී තිබුණා. එක පැත්තකින් ධාන්‍ය අස්වනු නෙළාගෙන අනෙක් පැත්තට යනවිට මුලින් අස්වනු නෙළූ පැත්තේ ආයෙත් අස්වනු පැහිලා. ඒ වගේම එයාගෙ අටු කොටු ම තිබුණා අක්කර ගණානාවක. 

ඔහුට හිටියා බොහොම දක්ෂ, ශූර වීර සහ නැණවත් පුතුන් තුන් දෙනෙක්. වැඩිමල් පුතා අශ්වයන් දමනයට විශේෂයෙන් දක්ෂයි. මද්දුම පුතා ගණිත ශාස්ත්‍රයට දක්ෂයි. බාල පුතා ප්‍ර‍ායෝගික බුද්ධිමතෙක්.

ඔන්න දවසක් වී කුරුල්ලෙක් ඇවිත් අර ගොවියාගේ එක අටුවකින් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා. මුර කාරයො මේක දැක්කා. ඒත් ඉතින් මේ පොහොසත් ගොවියාගේ අටු කොටු කොයිතරම් පිරී තිබුණාද කිව්වොත්, ඔවුන් මේ එක වී ඇටයක් අඩුවීම ගැන මොනවත් ම කළේ නෑ.

https://public.dm2301.livefilestore.com
/y3pNgp52DGKzk3cDVHJDIwuahm4-
Zjsh1LVOPtuvyy1N3TAoQeOFTl7
u34zFv_8UOjmz3TPS2KdQ7IsKWhYaa_
tbaaZmr-XtKJes8qBv3OHsDU/
Gela%20Kalu%20Vikurulla%20-2.jpg?rdrts=112611686

ඔන්න ඒ වී කුරුල්ලා ඊළඟ දවසෙත් ඇවිදින් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා.

ඊළඟ දවසෙත් අර වී කුරුල්ලා තවත් වීඇටයක් අරගෙන ගියා..."

"ඉතින්?" අධිරාජයා ඇහුවා.

"...ඊ ළඟ ද‍වසෙත් අර වී කුරුල්ලාම ඇවිත් තවත් වී ඇටයක් අරගෙන පියාඹලා ගියා."

"හරි ඉතින් ඊට පස්සෙ?" අධිරාජයා නොඉවසිල්ලෙන් ඇහුවා.

"...ඊ ළඟ දවසෙත් වි කුරුල්ලා ඇවිත්..."

"හරි හරි... වී කුරුල්ලා ගියාට පස්සෙ මොකද වුනේ කියනවකො." අධිරාජයා කිව්වා.

"... එහෙම කිව්වට රජතුමනි, මේ පොහොසතාගෙ වී අටු ම තියෙනවනෙ අක්කර ගාණක්. මේ වගේ වී ඇටෙන් ඇටේ අඩුවෙලා, වී වල අඩුව පොහොසතාට දැනෙන්න සෑහෙන කාලයක් ගතවෙනවනෙ. වී කුරුල්ලගේ මී මුනුපුරන්ගේ කාලයට එනතුරු මේ විදිහට වී ඇටෙන් ඇටේ අරං යන්න වෙනවා. එයින් පස්සෙ තමයි මේ ගොවියාගේ පුත්තු තුන්දෙනාගෙ වික්‍රමාන්විත ක්‍රියා වලට ඉඩ ලැබෙන්නෙ. ඒ නිසා ඉවසා වදාරන්න හොඳා..."

‍අධිරාජයා එකඟ වුනා.

"... ඔන්න ඉතින් අනික් දවසෙත් වී කුරුල්ලා තව වී ඇටයක් අරගෙන ගියා."

"ඇති ඇති..." අධිරාජයා කතාව නැවැත්තුවා. "මට දැන් ඔය මූසල වී කුරුල්ලන්වත් පේන්න බැරුව යනවා මේ කතාව නිසා. මොහුට හොඳින් සළකා. තෑගි භෝග දී පිටත් කරනු. ඒ වගේම - මගේ අණබෙරය නැවැත්වීමට අණ කරනු..." අධිරාජයා මහ ඇමතිට කිව්වා.

---------------------------------

ඔන්න එහෙනම් අප්‍රිකානු කතාව...

කලින් කතාවෙ චීන අධිරාජයා වගේම, අප්‍රිකානු රජෙකුටත් ආසා හිතුනා ලෝකේ දිගම කතාව අහන්න. ඉතින් එයත් කරපු වැඩේ තමන්ගෙ රාජ්‍යය පුරා අණබෙරයක් යැව්වා.

කලින් වගේම එක එක දිගැති කතා අරන් කතන්දර කාරයො මාළිගාවෙ පිරුණා. එක එක දිග කතා අහන්න ලැබුණට රජාට ඒ කතා වල දිග මදි වුනා. ඉතින් අර කතන්දර කාරයන්ට සිද්ධ වුනේ තෑගි භෝග ලබන්න නෙවෙයි. දංගෙඩියට යන්න. අන්තිමේ එක කතන්දර කාරයෙක් ඇවිත් රජ්ජුරුවො කවදාවත් අහලා නැති විදිහේ කතාවක් කිව්වා.

"ඔන්න අප්‍රිකාවෙ හිටියා උබන්බාවු කියලා මිනි‍හ‍ෙක්. එයාට කවදාවත් ම බඩ පිරෙන්න කන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මොකද, ‍කොච්චර කෑවත් එයාගෙ බඩ පිරුණෙ නැති නිසා.

http://ahfesl.free.fr/Images/
Basil_Cartoon_LNW_11.10.10.jpg

"මේ රටේ මහ රජාටවත් බෑ මගෙ බඩ පිරෙන්න කන්න දෙන්න" දවසක් උබන්බාවු කඩමණ්ඩියෙදි කිව්වා.

මේ කතාව කටින් කට ගිහින් රජමාළිගාවටත් ආරංචි උනා. රජතුමාට බොහොම කේන්ති ගියා. එයා කරපු දේ, උබන්බාවු රජ මාළිගාවට ගෙන්නුවා. 

"ඇත්තද බොල, මටවත් තොගෙ බඩ පුරවන්න බැරිය කියන්නෙ?" රජතුමා ඇහුවා. 

"එහෙමයි..." උබන්බාවු බය පක්ෂපාත කමින් උත්තර දුන්නා.

හොඳටම කේන්ති ගියපු රජතුමා, රට පුරා අණබෙරයක් යැව්වා, රටේ හැම මිනිහෙක්ම මොනවා හරි කෑමක් රජමාළිගාවට එවන්න ඕනෙය කියලා.

රජතුමාගෙ කෝපයට බයේ, රටවැසියො තමන්ට කන්න තිබුණ දේ පවා රජ මාළිගාවට එව්වා. ඒ විදිහට රජමාළිගාවෙ මිදුලෙ එකතු වුනා,

හරක් මස් කරත්ත 700
පරිප්පු කල්දේරම් පුරවපු කරත්ත 500
අල කරත්ත 600
බෝංචි කරත්ත 500
මාළු කරත්ත 800
උෟරු මස් කරත්ත 400
කුකුල් මස් කරත්ත 500
කරවල කරත්ත 500
අච්චාරු කරත්ත 200
පපඩම් කරත්ත 200
චිලි පේස්ට් කරත්ත 1 යි

රජ අණ විදිහට රජමාළිගාවෙ මිදුලෙ මේසයක් පුටුවක් තියලා උබන්බාවු ව ඉන්දෙව්වා. සේවකයන්ට කිව්වා අර කරත්ත වලින් කෑම වර්ග අරං උබන්බාවුට බෙදලා දෙන්න කියලා.

ඔන්න ඉතිං උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

ඔහෙම කිය කියා ඉද්දි රෑ වුනා. කතන්දර කාරයා හෙටත් උදෙන්ම එන්නම් කියලා රජතුමාට වැඳලා පිටත් වුනා.

පහුවදා පාන්දරින්ම කතන්දර කාරයා ආවා. රජතුමාත් කතාවෙ ඉතුරු ටික අහන්න ඉඳගත්තා.

"ඉතින් රජතුමනි, උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

"හරි හරි ඉතින් කියනවකො ඉතුරු ටික!" රජතුමා කිව්වා.

"ඉතින් රජතුමනි, උබන්බාවු අර එකතු වෙච්ච කෑම වලින් කරත්ත10 ක් වත් තාම කාලා ඉවර නෑනෙ. ඒ ටික ඉවර වුනාම තමා හොඳම හරිය තියෙන්නෙ." 

රජතුමා ඔළුව වැනුවා.

"ඉතින් රජතුමනි, උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

රජතුමාත් සෑහෙන වෙලාවක් ඉවසගෙන හිටියා. මොකද එයාගෙ අණනෙ, ලෝකෙ ලොකුම කතාව කියන එක.

"... කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..." කිය කියා ඉඳලා අර කතන්දර කාරයා රෑ වෙනකල්ම කිය කියා ඉඳලා, රෑ වුනහම ගෙදර ගියා.

පහුවදා කතන්දර කාරයා මාළිගාවට ඇවිත් රජතුමා ඉස්සරහ ඉඳගෙන ආයෙම කතාව පටන් ගත්තා.

"ඉතින් රජතුමනි, උබන්බාවු කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා, කනවා..."

රජතුමාට හොඳට හිනා ගියා. "හරි හරි..." කියලා රජතුමා කතාව නැවැත්තුවා. හිනා වෙලා හිනාවෙලා අන්තිමේ රජතුමා කතන්දර කාරයට තෑගි බෝග ගොඩක් දීලා පිටත් කළා.

ප/ලි

අටු කොටු වලින් වී ඇටේ ඇටේ හොරකම් කරන වී කුරුල්ලනුත්, උබන්බාවුත්, මහරජ වරුත්, ඇතෙක් බරට රත්තරන් පොරොන්දු වෙලා නිකං තෑගි වලින් ශේප් වෙන අධිරාජයොත්, අණබෙර කාරයනුත්, සියල්ල දැනට ජීවත් ව සිටින හෝ මියගිය, කිසිම දේශපාලනඥය‍ෙකුට, අගවිනිසොරෙකුට හෝ මාධ්‍ය කා‍රයෙකුට හෝ දක්වන කිසිම සමානත්වයක් කතා කතුවරයන් වන ජනප්‍රවාද කාරයන් අදහස් නොකරන බව තරයේ මතක් කර සිටිමි.

ඉඳුවර දෙනෙත්... ජනකවියේ එන සුන්දර ලලනාවන්, කාලිදාසගේ මරණය, සායිබාබා සහ සිසිර කුමාර මාණික්කආරච්චි...

අද උදේ වැඩට එද්දිං අපිට ඉස්සර කරපු ත්‍රී වීල් එකක පිටිපස්සෙ ගහලා තිබුණා "ඉඳුවර දෙනෙත්" කියලා. ඒක දැකපුවාම මගෙ හිතට ආව මතක ටිකෙන් තව බ්ලොග් පෝස්ටුවක් කොටාගන්න පුළුවං කියලා හිතුණා.

"ඉඳුවර දෙනෙත්" කියන එකේ උපමාවයි උපමේයයි දෙකම තියෙනවා නේද? මං ඇහුවා ඩ්‍රැකියානිගෙන්, අර ත්‍රීවීල් එක පෙන්නලා.
"මානෙල් මල් වගේ ඇස්..."

http://2.bp.blogspot.com/-TltTumGW7YI/
UZAjcl8WHzI/AAAAAAAABE4/
MEQ7LUO5W64/s1600/Lost-In-Her-Eyes-66813.jpg

"සමහර විට ඒ ත්‍රීවීල් කාරයගෙ දරුවට දාපු නම වෙන්නැති." ඩ්‍රැකියානි කිව්වා.

"ඒක ගෑණු ළමයෙකුට නම් ගැළපෙනවා. හැබැයි නමේ හැටියට නම් පුතෙක් වගේ." මං කිව්වා. "ඔය වගන්තිය දැක්කහම මට මතක් උනේ... ඔයා දන්නවද කාලිදාස මැරුණ විදිහ?"

"කාලිදාස මැරිලා ගොඩක් කල්නෙ. අපි පාර දිහා බලාගෙන යමු නේද පරිස්සමට?" ඩ්‍රැකියානි කොහොමත් කතන්දර අහන්න එච්චර මනාපයක් නෑ.

පරණ කතන්දර වල බහුලවම තියෙන උපමාවක් තමා ගෑල්ලමේකුගෙ ඇස්දෙක හරියට මානෙල් පොහොට්ටු වගෙයි කියන එක. ඒ කාලෙ ආකර්ෂණය තියෙන්න ඇත්තෙ නිල් පාට ඇස්වලට වෙන්නැති. ඒ වගේම ගෝමර සහිත හම ලස්සනයි කියලා සම්මතයකුත් තිබුණ නෙව. අද කාලෙ නම් ගෑල්ලමයි අළුහං දුරු කරන්න බේත් නොසෑහෙන්න හොයනව.

වෙලක මහිම බල මාවී පැසීලා
පැලක මහිම බල බටකොළ හොයාලා
මලක මහිම බල අතු අග පිපීලා
ලියක මහිම බල ගෝමර ඉසීලා

මේක රාජාධිරාජසිංහ රජ්ජුරුවො කියපු කවියක් ලු.

මං පැංචා කාළෙ ඒ කියන්නෙ තුනේ පන්තියෙදි විතර, සිංහල ටීචර් අපිට කිව්වා ජනකවි ලියාගෙන එන්න කියලා. ඒකට පරණ සඟරා පෙරළද්දි මට හම්බුනේ නැතැයි "ජනකවිය තුළින් මතුවන කාන්තාව සහ ආදරය" කියලා ලිපියක්. මාත් ඉතිං ඒකෙ තිබ්බ කවි ඔක්කොම ලියාගෙන ගියා. ඒකෙ තිබ්බ කවියක් තමා ඔය උඩින් තියෙන්නෙ. ඒ වගේ තව කවියක් මට මතකයි එදා පන්ති‍ය‍ෙදි මං පොත පෙරළගෙන සද්ද නගා එහෙම කිව්වා‍.

රාමතේ මොටද මඟපෙරලුමක්  නැතී
මාවතේ මොටද යන එන අතක් නැතී
හාමතේ මොටද මිනිහෙක් සතෙක් නැතී
ජීවිතේ මොටද නෑනා කෙනෙක් නැතී
(කියපු එකාගේ සහමුල රෙදිත් නැතී)

මදැයි මානෙල් වගේ ඇස් ගැන කියන්න අැවිත් නෑනෙක් ගාවින් නතර උනා...

මාත් ඉතිං ඩ්‍රැකියානි කියාපු කතාව ගණන් නොගෙන කාලිදාසගෙ කතාව කියාගෙන ආවා දිගටම.

කාලිදාස ලංකාවෙ කුමාරදාස කියලා රජකෙනෙක් එක්ක තදබල මිතුරුකමක් පැවැත්තුවා කියලා තමා කතාවෙ තියෙන්නෙ. හොඳ කවියෙක් වෙච්ච කුමාරදාස රජතුමා තමයි ජානකීහරණය ලිව්වයි කියන්නෙ, රාමායණය ඇසුරින්. ලංකා ඉතිහාසයෙ හැබැයි කුමාරදාස කියලා රජකෙනෙක් නෑ. උගත්තු නම් කියන්නෙ කුමාරධාතුසේන රජතුමා තමා මේ කියන කුමාරදාස රජතුමා කියලා.

සැරයක් කාලිදාස ලංකාවෙ ඇවිත් තියෙනවා තමන්ගෙ යාළුවා හම්බවෙන්න. ඒ ආ ගමන එයාගෙ අන්තිම ගමන වෙලා තියෙන්නෙ මෙහෙමයි.

කුමාරදාස රජ්ජුරුවො ජනපදකල්‍යාණියක් හම්බවෙන්න ගිහින් එයා එක්ක පුරුෂකෘත්‍යය කරලා (ඒ වචනෙ අල්ලගත්තෙ උම්මග්ග ජාතකයෙන්.) ඇළවෙලා ඉන්න ගමන් බිත්‍තියෙ කවි පද දෙකක් ලිව්වාලු.

"පුෂ්පේ පුෂ්පෝත්පත්තිහ්
ශ්‍රෑයතේ නච දෘෂ්‍යතෙ..." කියලා. ඒකෙ තේරුම තමා,

"මලකින් මලක් උපදියි
ඒ බවක් අහලවත් දැකලාවත් නැත..."
මේ කවිය රජතුමාගෙ හිතේ පහළ වෙන්න ඇත්තෙ ජනපදකල්‍යාණිගෙ සුන්දර රූපය දැකලා වෙන්න ඇති.

කවියට යටින් රජතුමා මෙහෙමත් ලිව්වලු.
"මෙහි අනිත් පද දෙක සාර්ථකව ගළපන්නාට කහවණු දහසක් දෙමි. මීට කුමාරදාස රජු."

පස්සෙ දවසක කාලිදාසත් ඔය ජනපදකල්‍යාණි ගාවට ගිය වෙලාවක, මේ කවිපද දෙක දැකලා, ඊට යටින් මෙහෙම ලිව්වලු.

"...බාලේ තව මුඛ්‍යාම්භෝජෙ
නේත්‍රෙ ඉන්දීවර ද්වයම්"

ඒකෙ තේරුම තමා,
"තරුණිය, ඔබේ මුහුණ නම් නෙළුමෙහි
නෙත් නම් මානෙල් මල් දෙකක් වේ..." ඒකෙන් අර රජතුමා අදහස් කරපු කාරණය පැහැදිලි වෙනවා.

https://sweetmfkhan.files.wordpress.com
/2014/02/devdas-dilip-kumar.jpg
ජනපදකල්‍යාණි හිතුවලු මේ යකාට මොකටද කහවණු දාහක් දිනාගන්න දෙන්නෙ, මංම ‍ඒ තෑග්ග ගන්නවා කියලා. කාලිදාස මත් වෙලා හරි මහන්සි වෙලා හරි නින්දට වැටුණට පස්සෙ උන්දැව මරලා හංගලා, රජ්ජුරුවන්ට කවිය ඉදිරිපත් කළා ලු.

රජ්ජුරුවන්ට එකපාරටම තේරුණාලු කාලිදාසගෙ තමයි මේ කවිපද දෙක කියලා. පොර ජනපදකළ්‍යාණිට දඬුවම් කරලා, කාලිදාසගෙ දේහය හොයාගෙන, රජ්‍ය ගෞරව ඇතුව ආදාහණය කළාලු. ආදාහණය කරද්දි, තමන්ගෙ ශෝකය දරාගන්න බැරුව කුමාරදාස රජ්ජුරුවොත් අර චිතකයටම පැනලා දිවිනහගත්තයි කියනවා.

මට මතක හැටියට සිසිර කුමාර මාණික්ක ආරච්චිගෙ පොතක තිබුණා, "ඉංදියාවෙ ඉඳං ලංකාවට ඇවිත් ගණිකා නිවාසෙකට රිංගලා මරලා දාපු කාලිදාස කවියා..." වගේ කියමනක්. මතක් වුනාට එකතු කළේ. උන්නැහැ මාර විදිහට නිදහස් චින්තනයකින් ලියපු කෙනෙක්. සැරයක් මතකයි, සායිබාබගෙ පතුරු ඇරලා තිබුණා. ඒ පරිච්ඡේදෙ මෙහෙමත් තිබුණා.

//"අටවක දා සායිබාබාගේ ඇඟට තදින් උණ ගැනේ. මන්ද එතුමා එදින රන් ශිවලිංගයක් වමාරන හෙයිනි." කියා අහවල් පොතේ තිබුණේය. ඒක නම් ශිවාගම්කාරයෙකුට හරිම ජොලියක් එන කතාවකි. සායි බාබා, විෂ්ණුගේ දහ වන අවතාරය හෙවත් කල්කි අවතාරය බවත් මේ පොතේම තිබේ. "එතකොට අපේ ශිව දෙයියංගේ අහවල් එක තොපේ විෂ්ණූ දෙයියංගේ කටේ නේද?" කියා ශිවාගම් කාරයෙකුට අහන්නට පුළුවං ය. එක දෙයියෙකුගේ කුණුහරුප කාරණාව තව දෙයියෙක් ගෙ කටේ තිබීම...//

තවත් පොතක උන්නැහැ වදන් කවිපොතේ කවියක් අන්තිම පදේ වෙනස් කර සඳහන් කර තිබුණා.

"සිද්ද කිහිරැලි සමන් බොක්සැල් - විභීෂණ සිව් වරම් රජ නිති
සිද්ද මහබඹු ශක්‍ර ඉසිවර - කතරගම දෙවියනුත් සිත රුති
සිද්ද පත්තිනි දොළහ දෙවියෝ - භද්‍රකාලී දේවි ගණපති
සිද්ද සිරිලක මෙහැම දෙවියෝ - කරන මඟුලක් කරනු යහපති"

මං මීට කලින් කාලිදාස ගැන කතාවක් ලිව්වා. ඒ පාර තවත් ‍ඒ වගේ කතා තියෙනවනම් දාන්න කියා කීපදෙනෙක් කියලා තිබ්බා. ඔන්න පොරොන්දු ඉටුකරන සංවර්ධන ලොතරැයිය වගේ (කොපිරයිට් - රවි) තවත් සංස්කෘත කවි කතාවක් ලිව්වා එහෙනං...



බාප්පගෙ කතන්දර - 3 කොටස...

නරියා ලබු ඇටේ හිටෙව්වෙ ලිප් බොක්කෙ. ඌ ඒකට වතුර දැම්මෙ නෑ. චූ කළා විතරයි. ඉතිං යූරියා ගතියටයි, ලිපේ තිබ්බ අළු වලටයි, ඒ ලබු ඇටේ හොඳ සරුවට වැවිලා මහ බර සාර වැලක් හැදුනා. නරියා ඒ ලබු වැල දිගේ උඩට නැගලා යෝධයෙක්ගෙ මාළිගාවකට ගියා. 

“එතන උගෙ ආච්චි හිටියා...!” (බාප්පගෙ කතාව අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන පුංචි මැද්දට පැන්නා.)

(ඔන්න ඔහොමයි කලින් කතාව නතර උනේ... අද එතැන් සිට. කලින් කොටස් දැකපු නැති උදවියට ලිංක් එක පහළින්.)

1. කොටස
2. කොටස

බාප්පත් නැවැත්තුවෙ නෑ කතාව. පුංචි‍ගෙ කමෙන්ට් එකෙන්ම ආයෙ පටං ගත්තා.

ඒ මාළිගාවෙ උගෙ ආච්චි හිටියා. නරියා ඒ ආච්චිව එළවලා දාලා, ආච්චිගෙ ඇඳුම් ඇඳගෙන නිදන කාමරේට වෙලා හිටියා රතු හැට්ටකාරි එනකල්. ඒ වුනාට ආවෙ යෝධයා. නරියෙක් ගෑණු ඇඳුම් ඇඳගෙන ඉන්නවා දැකලා, ඌට පිස්සු කියලා හිතලා, යෝධයා ඌට ගහල එළෙව්වා. නරියා මාළිගාවෙන් එළියට දුවද්දි නිල් සායම් බාල්දියකට වැටුණා.

http://www.styrorail.ca/images/bluefox.jpg

නරියගෙ මුළු ඇඟම නිල්පාට උනා. ඌ ඒපාර ආපහු කැළේට ගිහිං සත්තුන්ට කිව්වා මාව එව්වෙ විෂ්ණු දෙයියො කියලා. මේ කැළේ ඉන්න අහිංසක සත්තු මරාගෙන කන කොටියව එළවලා දාන්න මාව එව්වෙ කිව්වා. සත්තු ටික මේ නිල් නරියව තමන්ගෙ රජකමට පත් කර ගත්තා. නරියා කැළේ හැම වැදගත් වැඩකටම දාගත්තෙ නරි. සේනාපති කමට විතරක් වයසක පහේ කළවැද්දෙක්ව වළහෙක්ව දාගත්තා. මේ වළහා ගිහිං අර කොටියව මරළා දැම්මා. ඒ ගමන නිල් නරියයි අනිත් නරියි කියන්න ගත්තා අන්න විෂ්ණු දෙයියො එවපු අපේ මහරජතුමා ගෙ නායකත්වයෙන් කොටියව මරලා දැම්මයි කියලා.

දවසක් නිල් නරියා හොඳටම බීලා, තමන්ගෙ අතවැසි උෟරෙකුට තමන්ගෙ බල පරාක්‍රමය පෙන්නන්න හිතා ගත්තා. නරියයි ඌරයි යන පාරෙ හම්බවෙච්ච හැම එකාගෙන්ම අහන්න ගත්තා මේ කැළේ මහරජා කවුද කියලා.

ඉස්සෙල්ලම හම්බුනේ කටහැකර උරුලෑවෙක්. උගෙන් නරියා ඇහුවා, "ඈ බොල... කවුද මේ කැළේ මහරජා?"

"ඔබ තුමා, ඔබතුමා..."උරුලෑවා ‍පාරෙං ෂේප් උනා.

ඊළඟට හංසයෙකුයි අලියෙකුයි එකට හම්බුනා. නරියා උංගෙනුත් අර ප්‍රශ්නෙම ඇහුවා. "ඔබතුමා අපිට රජෙක්...!!!" කියන්න හංසයා කට අරිද්දිම, අලියා නරියව හොඬවැලෙන් උස්සලා වීසි කොළා.

හංසයා ක‍ැළේ රජ උනා. අලියා මහ ඇමති උනා. කළවැද්දට නාකි වළහට වෙල්විදානෙ කම දුන්නා. නිල් නරියා ඇරෙන්න අනිත් නරි සෙට්එකටයි උරුලෑවටයි ඇමතිකම් උප ඇමතිකම් දුන්නා.

රජකම බැරිනං මට ඇමතිකම හරි දියව්. ඒත් බැරි නං රජවාස‍ලේ සේවක කමක් හරි දියව් කිය කියා නිල් නරියා හූ කියන්න ගත්තා. කැළේ හිටිය අනිත් සත්තු ටිකට නරියන්ව කොච්චර එපා උනාද කියතොත්, උං නරි එකෙක් නොතියා කැළෙන් එළවලා දැම්මා.

ඔය අතරෙ මහඇමති  අලිය හම්බවෙන්න අන්ධයො සෙට් එකක් ආවා. උං එක එකා අලියව අතගාලා බලලා අලියා මේ වගෙයි, නෑ අලියා මේ වගෙයි කියන්න ගත්තා.

අලි කකුල් අතගාපු එකෙක් කිව්වා වංගෙඩියක් වගෙයි කියලා.
අලියගෙ කණ අතගාලා තව‍ එකෙක් කිව්වා කුල්ලක් වගෙයි කියලා.
තව එකෙක් උගෙ වලිගෙ අල්ලලා කිව්වා කොස්සක් වගෙයි කියලා.
තව ත් අන්ධයෙක් උගෙ බඩ හරිය අල්ලලා කිව්වා බැරල් එකක් වගෙයි කියලා,
අලියා හෙල්ලක් වගේනෙ, දළ දෙක අහුවෙච්ච අන්ධයෙක් කිව්වා.
නෑ මූ ලොකු වතුර බටයක් වගෙයි කිව්වා තව එකෙක්, උගෙ හොඬවැල අල්ලගෙන.

http://inquiry111westminster.wikispaces.com
/file/view/blindmenandelephant.jpg/
163983601/blindmenandelephant.jpg
ඊටපස්සෙ ඔය අන්ධයො ටික කැඳහැලියක් උයන්න පටන් ගත්තා. ලොකු වතුර මුට්ටියක් ලිපේ තියලා, ඒකට එක එකා හාල් මිට ගානෙ දාන්න පොරොන්දු වුනා. මුට්ටිය හොඳට නටාගෙන එද්දි, අන්ධයො ටික හාල් දාන්න අතපත ගගා ගිහිං, මුට්ටියෙ හැප්පිලා මුට්ටිය පෙරළිලා බිඳුනා. අන්ධයො ටික උණු වතුරට හොඳටම පිච්චුනා.

ඔය අතරෙ රයිගමයා ගම්මිරිස් කොළ වගයක් කදක පුරවාගෙන වෙළඳාමෙ ගියා ගම්පොළ දිහාවට. ගම්පොළයා කිතුල් ඇට වගයක් කදක පුරවාගෙන රයිගම දිහාට වෙළඳාමෙ ගියා.

ඉතිරි කොටස ළඟදීම...

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රප...

ගොඩක්ම කියවපු ලිපි