මම 18 ට වැඩි දුම්පානය කරන්නෙක් වී සිටියෙමි - I was a smoker above 18

http://timwilsondentistry.com/wp-content/
uploads/2012/03/mouth-and-cigarette-300x234.jpg
දුම්බීම ගැන ලියන්න හිතාගෙන උන්නෙ කාලෙක ඉඳං. මෙන්ඩ පහුගිය ටිකේම දාල තිබ්බ කමෙන්ට් කීපයක් සහ රසිකලොජිස්ට් ගෙ මේ පෝස්ටුව ඒ කාර්යය ඉක්මන් කරවන්න දායක උනා.

මං සිගරැට් බොන්න පටන් ගත්තෙ ඒ ලෙවල් ලියලා ඉවර වුනාටත් පස්සෙයි. ඒ වෙනකොටත් අපේ ඉස්කෝ‍ලෙ සගයො කීපදෙනෙක් ම අරක්කු සහ සිගරැට් පාවිච්චිය පටන් අරං ඉවරයි. ඒත් මට ගමේ තිබුණ ප්‍රතිරූපය එක්ක මම ටිකක් විතර පරක්කු වුනා ඒ දේවලට.

අපේ තාත්තා තමයි මගෙ හිතේ උන්න ලොකුම ප්‍රතිරූපය. එයා අනුව යමින් මම ඇන්ටික් දේවලට සහ ඉතිහාසයට ලොල් බව වර්ධනය කරගත්තා. ඒ වගේම පොත් කියවීම සහ පොත් එකතු කිරීම පටන් ගත්තා, කාටුන්, මුද්දර, පරණ කාසි, පරණ හින්දි සිංදු එකතු කිරීම ත් තාත්තගෙන් මට ලැබුණු උරුමයක්. වෙන එකක් තියා මම රැවුළ කපන්නෙත් තාත්තා පාවිච්චි කරපු විදිහෙ බ්ලේඩ් තල දාන පරණ මොඩල් රේසරෙන්. තාත්තගෙ පරණ බයිසිකලේ මම මේළඟදි ආපහු අළුතෙන් පේන්ට් කරවලා හදලා ගත්තා පදින්න.

අපි දන්න දා ඉඳං තාත්තා සිගරැට් බොනවා. මට මතක ඇති කාලෙ, බ්‍රිස්ටල් එකක් රුපියල් දෙකයි. තාත්ත සිගරැට් එක උරවලා, නහයෙන් දුං යවන හැටි, දුම් වළලු යවන හැටි එහෙම අපි පොඩි කාලෙ අපිට හරිම වීර වැඩක්.

තාත්තා හෘද රෝගියෙක් වුනේ 1998 දි. ඒ මම සිගරැට් බොන්න පටන් ගත්ත අවුරුද්ද. තාත්තා ගේ රෝගි බවට හේතු කීපයක් තිබුණා. තරුණ කාලෙ ඉඳං බර වැඩ කිරීම, විශ්‍රාම ගත්තට පස්සෙත් බර වැඩ කිරීම, ඒ වගේම දුම් පානය. දුම් පානය නිසා එයාගෙ රුධිර නාල වල පීඩනය වැඩි වෙන ගතියක් ආව බව තමා මට ඩොක්ටර් මාමා කිව්ව දෙයින් තේරුණේ.

සිගරුට් බොන්න පටන් ගන්න මට තිබුණු පෙළඹීම් මෙන්න මේවයි.

1. මගෙ ලෝකයේ වීරයන් දුම් බීම.
ෂර්ලොක් හෝම්ස්,
සයිමන් නවගත්තෙගම,
ක්ලින්ට් ඊස්ට්වුඩ්,
ප්‍රිඩේටර් ෆිල්ම් එකේ ආන‍ොල්ඩ් ආදී අය.

http://d2vrsup6vl2y4n.cloudfront.net/
wp-content/uploads/2015/04/cowboy.jpg

http://www.cigartime.ru/sites/
default/files/images/20142503020304.jpg
ප්‍රිඩේටර් ෆිල්ම් එකේ ආනෝල්ඩ්
2. දුම් බීමෙන් අපට ලැබෙන බවට පොදුවේ පිළිගැනෙන දේවල්.
සීතල දවස් වල අභ්‍යන්තරික උණුසුම් බවක් ඇති වන බව,
මිතුරන් අතර ෆිට් එකක් ඇතිවන බව,
වැඩිහිටියෙක් ය යන පිළිගැනීම ලැබෙන බව,
නිර්මාණ කාර්යයෙදි මනසට උත්තේජනයක් ලැබෙන බව
අපේක්ෂා භංගත්වයකදි මානසික සහනයක් ලැබෙන බව

3. තාත්ත වගේ වෙන්න ඕනෙ වීම. (උරුමය සොයා යාම)

මගෙ අත්දැකීම් වලින් මම ලියන්නෙ. ඉහළ දෙවෙනි කරුණ යටතේ විස්තර කෙරෙන දේවල් ඇත්තටම මට ලැබිල තියෙනවද?

සිගරැට් එකෙන් අපට දැනෙන තරමක උණුසුමක් ශරීරයට ලැබෙන්නෙ නෑ. ඊට හොඳයි ගිණි තපින එක.

මගෙ යාළුවො අතරෙ ඉන්නවා දුම් නොබොන යාළුවොත්. උං අර දුම් බොන්නො වගේම හෙණ ෆිට් එකේ ඉන්නවා.

දුම් බොන්නෙක් හැටියට ගමේ හංවඩු ගැහුණම ලැබෙන්නෙ වැඩිහිටියන්ට ලැබෙන ගෞරවේ නෙවෙයි. "ඌ යකාට ගිහිං", "ඌත් ඉවරයි", "කුඩුත් ගහනවද දන්නෑ" වගේ ආකල්ප.

මගෙ නිර්මාණ වලදි දුම්වැටිය සපෝට් එකක් දීලා තියෙනව තමයි. නමුත් මෑතකදි මට තේරුණ විදිහට ඒක මගෙම මනසෙ ශක්තිය මත මගෙ මනසින් ලැබෙන තල්ලුව. මොකද, මේ දවස් වල මම කතාවක් ලියනවා. (අඟහරුවාගේ ඉල්ලීම) ඒකට දුම්වැටිය අවශ්‍ය වුනේ නෑ. ඒ කාලෙ සිගරැට් එක නිසා ලැබුණු උත්තේජනය දැන් සිගරැට් එක නැතුව මම ලබනවා, හුදෙක්ම නිර්මාණ කාර්යයක් කරනවා යන හැඟීම විතරයි මට ඕනෙ.

අපේක්ෂා භංගත්වයකදි දුම්වැටියකින් හෝ අරක්කු වලින් මට ලැබිල තියෙන්නෙ තව තවත් මාව පසුගාමී කරන එක විතරයි.

සිගරැට් / සුරුට්ටු / පොදුවේ දුම්වැටි අපේ වීරයන් අතට දීලා තියෙන්නෙ කවුද?

සයිමන් නවගත්තෙගම මයෙ හිතේ කැම්පස් යන කාලෙ ඉඳන්ම බොහිමියානු ජීවිතයක් ගත කළ කෙනෙක්. මයෙ හිතේ ඒක එයාට බටහිර හිපි සංස්කෘතියෙන් ලැබුණු ආභාෂය...

ෂර්ලොක් හෝම්ස් පයිප්ප බොන එක ගොඩක් ග්ලෝරිෆයි කරනවා මම දැකල තියෙනවා ෆිල්ම් කීපයක, පොත් පිටකවර වල සහ චිත්‍රකථාවල. ඒ ව‍ගේම සිනමා කර්මාන්තය ගොඩක් ම තැන් වල දුම්වැටි ප්‍රදර්ශනය කරනවා, ඒකෙන් කතාවෙ ප්ලොට් එකට කිසිම පෝෂණයක් ලැබෙන්නෙ නැතුවම. ඒ කියන්නෙ කතාවට හාණියක් වෙන්නෙ නෑ, ඒ දුම්වැටි රූප ඉවත් කළා කියලා. අමද්‍යප ව්‍යාපාර නම් කියන්නෙ, ඒ කොටස් සිනමා ටෙලි නිර්මාණ වලට ඔබ්බවන්නෙ දුම්වැටි කර්මාන්තය විසින්ම, මුදල් ගෙවීමක් ද සහිතවයි. (ප්‍රවේගය චිත්‍රපටිය මම බලල නෑ ඒ වුනත් ඒකෙ කටවුට් වල ජැක්සන් සුරුට්ටුවක් අතේ තිය‍ාගෙන ඉන්න රූපය, ඒ චිත්‍රපටියෙ එක ජවණිකාවකවත් නෑ කියල ආරංචියි.)

මට කියන්න ඕනෙ උනේ, අපිව දුම්පානයට පොළඹවන ආකල්ප සහ පරමාදර්ශ සමාජ ගත කරන්නෙ දුම්වැටි කර්මාන්තය විසින්මයි.

දුම්වැටි වලින් අපේ ශරීරයට වෙන දීර්ඝකාලීන හාණීය ගැන මම මෙතන කතා කරන්නෙ නෑ. ඒ ගැන කියවන අයට මේ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. කොහොමත්, දුම් බොන උදවිය ඒ හාණිය ගැන යම් තාක් දුරකට හෝ දැනුවත්.

මගෙ ජීවිතේ වැදගත්ම අවස්ථා එකක්වත් දකින්න මගෙ තාත්තට බැරි උනා.

මම ගේ හදද්දි, තාත්තා ගොඩක් මට බැකප් එක දුන්නා. ඒත්, ගේ හදල පදිංචි වෙන්න කළින්, තාත්තගෙ මළගෙදර කළේ මම අළුතෙන් හදපු ගෙදර.
මම ඩිග්‍රිය ගත්තා. මම ගෙදර කම්ප්ලීට් කළා. මම බැන්දා. මම රජයේ සේවයෙ උසස් වීමක් ලබා ගත්තා. මම පියෙක් උනා. මේ කිසිම දෙයක් දකින්න තාත්තට බැරි උනා. තාත්තා මියයද්දි අපේ ගෙදර එකම අවුල් ජාලයක්. මම බාගෙට හදපු ගෙයක් තියාගෙන, ඒක ඉවර කරගන්නෙ කොහොමද කියලා කල්පනා කරනවා. ඒකට සපෝට් එකක් විදිහට ඉඩමෙන්කොටසක් විකුණන්න තාත්තා මහන්සි ගත්තා. ඒක හරි ගියෙත් තාත්තා මැරිලා අවුරුද්දකට පස්සෙ. අපි කඩේට ණය වෙවී කෑවෙ බීවෙ. ඒ ණය ගෙව්වෙ තාත්ත මළාට පස්සෙ. කොටිම්ම අපි මිනිස්සු විදිහට කොන්ද කෙළින් තියාගෙන ගමේ ජීවත් වෙන හැටි තාත්තට දකින් බැරි උනා.

මේ සේරම - තාත්තා සිගරැට් බීපු නිසා.

ඒ නිසා මම මේක කියවන මගෙ සහෝදරයින්ගෙන් ඉල්ලන්නෙ එකම දෙයයි.

"තමන්ගෙ දරුවන්ගෙ අනාගතේ දකින්න. ඒ අයට උවමනා වෙලාවෙ ළඟින් ඉන්න ඕනෙ නම් - සිගරැට් බොන්න එපා... සිගරැට් එකෙන් අපිට ලැබෙන්නෙ සොච්චමයි. ඒ වෙනුවෙන් අපි කැපකරන දේවල් ඒකට සම කරන්න බෑ."

ගමයගෙ මන්තරේ... ලංකාවෙ ජනකතාවකි.

එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් උඩ අඩි අටක් දහයක් විතර උස දෙබළක හදාගත්ත පැලක ඉඳං තමා මෙයා හේන බලාගත්තෙ.

හැබැයි, මෙයා ‘ගෙදර උන්දැට බයේ හේනට යන - ඌරට බයේ පැලෙං බිමට ‍නොබහින’ විදිහෙ මනුස්සයෙක්. ඉතිං එයා කරන්නෙ, වේලාසන රෑට කාලා කොස් කොළ නැටි පේන නොපේන ගානට කළුවර වැටීගෙන එනකොට හේනට යනවා. පැල උඩට නගිනවා. සත්තු වටිං ගොඩිං හේනට එද්දි පැල උඩ ඉඳං කෑ කෝ ගහනවා. සත්තුත් ඒ ගෝසාව ගණං නොගෙන හිතූ මනාපෙ හේනෙ බව බෝග විනාස කරලා දාලා යනවා. ඉතිං අන්තිමේ රැකුණ හේනක් නෑ.

ගෙදර බව බෝග අහේම හිංදා, නිතරම වාගේ මේ ගමයා තමුංගෙ ගෙදර ඇත්තගෙං ආඩපාලි අහනවා. උන්නැහැත් එක එක කෙම් ජාති කරනවා හේන සත්තුංගෙන් බේර ගන්න.

ඔහොම ගිහිං මෙයාට දවසක් හම්බුනා එක මන්තරයක්. හේනට ගිහිං මන්තරේ මතුරලා, ගිණි ගොඩක් ගහල තිබ්බහම, පහුවදා එළි වෙනකල් සත්තු එන්නෙ නෑ. ඒ වගේම, ඒ මන්තරේ මතුරල තියෙද්දි කාට හරි “තෝ උඩුකුරුඤ්ඤං...” කිව්වොත්, උන්දැ එතනම මැරෙනවා.

ඉතිං දැන් ගමයා හරි සතුටින්. එයාට කරන්න තියෙන්නෙ, හේනට ගිහිං මන්තරේ මතුරලා, ගිණි ගොඩක් ගහලා. රෑ එළිවෙනකල් නිදාගන්න එකයි. මන්තරේ බලේට හේන නිකම්ම රැකුණා.

දවසක් මේ ගමයා හේනට ගිහිං, පැළට ගොඩවෙලා, ඒකෙ දිගාවෙලා, මේ මන්තරේ නිසා තමුන්ට වෙච්ච වාසිය ගැන කල්පනා කර කර ඉද්දි ඉබේටම නින්ද ගියා. එදා රෑ හරක් රංචුවක් ඇවිත් හේන එහෙම පිටිම්ම පාළු කළා.

උදේ ඇහැරිලා පැල උඩ ඉඳං බලනකොට තමා ගමයට මතක් උනේ කලිං දා හවස මන්තරේ මතුරන්න අමතක උන බව. හොර හරක් රැළ හේන පාළු කළා මදිවට, හේනෙ කොණක ලැගලා තාම වමාරගෙන කකා ඉන්නවා. ගමයට උං රැළ මරං කන්න කේන්තියි. එයා පැල උඩ ඉඳංම මන්තරේ මතුරළා, “තොපි උඩුකුරුඤ්ඤං...”  කිව්වා. කිව්වා විතරයි, හරක් රැළ එතනම වැටිලා මැරුණා.

ඒ හරක් රැළ ගමේ පෝසත් මිනිහෙකුටයි අයිති. එදා රෑ හරක් ටික මඩුවට ආවෙ නැති නිසා උං හොයන්න කියලා, පෝසතා පිටත් උනා. හරක් ගෙ අඩි පාර දිගේ හොයාගෙන හොයාගෙන ගියපු උන්දැ, අර ගමයගෙ හේනට ආවා. ඇවිත් බලනකොට හරක් රැළම මැරිලා. ගමය තාම ඉන්නව ගහ උඩ පැලේ. පෝසතා ඇහුවා ගමයගෙං “මොකද මයෙ හරක් රැළට උනේ...?” කියලා.

කුමාරොදය - හතර වන ප්‍රමාණය කියවීම් පොතෙන්

ගමයගෙ කේන්තිය තාම නිවිල තිබුණෙ නෑ. “මගෙ හරක්...” කිව්වහම ඒ කේන්තිය තවත් වැඩි උනා. ගමය ගත් කටටම කිව්වා, “උඹේ ද හරක්? එහෙනං උඹත් උඩුකුරුඤ්ඤං...” කියලා. පෝසතා එතනම මළා.

ඒ පෝසතා හොයාගෙන, පෝසතාගෙ පුතයි ගමේ ආරච්චි මහත්තයයි ගියා. ඒ උදවිය හේනට එනකොට ගමයා පැලෙං බැහැලා. ආරච්චි රාළ දැක්කා වෙලා තියෙන අලකලංචිය. උන්නැහැ ගමයගෙං ඇහුවා, “මොකද මෙතන උනේ?” කියලා.

“උනේද? හඃ උනේ නේ?” ගමය ගෙ කේන්තිය තවත් වැඩි උනා. “තොපි දෙන්නත් උඩුකුරුඤ්ඤං...” එහෙම කියාගෙන ගමය ගෙදර යන්න පිටත් උනා.

ගෙදර ඇවිත් වෙච්ච සිද්ධිය අකුරක් නෑර ගමයා කිව්වා ගම හාමිනේට. ගම හාමිනේ ඒක ඇහුව විතරයි වැළහින්න වගේ අඬා වැළපෙන්න ගත්තා, “අයියෝ, මොකද්ද මේ ඔයා කරගෙන තියෙන්නේ? දැං ඉතිං අපි මේ ගමේ වසන්නෙ කොහොමද?...” ආදී දේවල් කිය කියා. ගමයට ඉහිළුං නැතුව ගියා. ඔක්කොටම වඩා වැඩියි කණක් ඇහිලා වසන්න බැරි කම. ගමය ගත් කටටම කිව්වා, “කටවහගං. නැත්තං තෝත් උඩුකුරුඤ්ඤං” කියලා.

ඒක කිව්ව විතරයි, වැස්සක් පායලා පායලා වැස්සා ‍වගේ ගම හාමිනේගෙ කට වැහුණා. කට වැහුණෙ නිකම්ම නෙමෙයි, ගමහාමිනේ මළා.

ගමයට හරිම කේන්තියි. ඒ වගේම බඩගින්නත් නැගගෙන එනවා. එයා බැලුව කුස්සියට ගිහිං මොනවද කන්න තියෙන්නෙ කියලා. මොකවත් නෑ. ඒ ගමන එයා උයන්න ගත්තා. හාල් ටිකක් හෝදල අරං, මුට්ටියක දාලා, වතුර දාලා, ලිප උඩිං තිබ්බා. තියලා, ලිපට දර දාලා ගින්දර ඇවිලුවා. ගිණි දැල්ල ටිකක් එහෙ මෙහෙ එකෙල මෙකෙල වෙවී තිබිලා, නිවෙන්න වගේ ගියා. ගමයා පාත් වෙලා හූස් ගාලා ලිපට පිම්බා. තිබුණු ගින්දර ටිකත් නිමිල ගියා. ගමයට දැන් හොඳටම කේන්තියි. ඒ පාර ගමයට වැඩිදුර හිතන් නැතුව කියවුණා, “අනේ දෙයියනේ, මාත් උඩුකුරුඤ්ඤං...”

ගමයත් ලිප ගාව මැරිලා වැටුණා.

ඩ්‍රැක්‍යුලාගේ වැටීම Dracula's Fall - Historical Figure of Dracula Part - 3

මෙතෙක් කොටස්
1 කොටස
2 කොටස

සමහර තුර්කි මූලාශ‍්‍ර වල වෙනත් ආකාරයකින් සඳහන් වූවද, අනෙක් සමකාලීන වංශ කථා සෑම එකක්ම පාහේ පවසන්නේ, 1462 සංග‍්‍රාමයෙන් සුල්තාන් වරයා පැරදුනු බවයි. අවසානයේ තුර්කි හමුදා කෙතරම් වේගයකින් පසුබැස්සා ද කියතොත්, 1462 ජූලි 11 වන විට සුල්තාන් වරයා ඒඩි‍්‍රයානාපොලිස් වෙත අවුත් තිබිණ. බයිසැන්ටියානු ඉතිහාසඥ කැල්කොකොන්දිල් ට අනුව, ව්ලාඩ් ගේ බාල සහෝදරයා වූ රාඩු, ඔටෝමන් වරුන් විසින් ටර්ගොවිස්ට් අගනුවර රඳවා ගොස් තිබුණි. ව්ලාඩ් ට එරෙහි පිරිස් රැුස් කර ගැනීමත්, ඔවුන් මඟින් අවසානයේ දී ව්ලාඩ් බලයෙන් පහ කොට වලාචියා හි රූකඩ පාළකයා බවට පත් වීමත් රාඩු වෙතින් අපේක්ෂා කෙරුණි.

කඩවසම් රාඩු
https://upload.wikimedia.org/wikipedia/
commons/thumb/e/e2/Radu_cel_Frumos
_of_Wallachia_2.png/220px-Radu
_cel_Frumos_of_Wallachia_2.png

රාඩු සහ ඔහුගේ ජැනිසරි සේනාවෙන් දෙවන මෙහ්මඩ් සුල්තාන් වරයා අපේක්ෂා කළේ  ඕනෑම දෙයක් කැප කර ඔටෝමන් අධිරාජ්‍යය ජයග‍්‍රහණය කරා ගෙනයාමයි. රාඩු සහ ඔහුගේ දරුණු ජැනිසරි බළ ඇණි වෙත, වෙඩි බෙහෙත් සහ ඩිනාර් සැපයීම සුල්තාන් වරයා විසින් අනවරතව පවත්වාගන්නා ලදි. එහෙයින් ඔවුන් හට ව්ලාඩ් ගේ බල ප‍්‍රදේශය තුළට කාවැදීම පහසු විය. අවසානයේ, මනාව සන්නද්ධ ව සිටි තම බළඇණි සමඟින් රාඩු, ව්ලාඩ් ගේ සුප‍්‍රකට රක්ෂස්ථානයක් වූ පොයිනරි බළකොටුව වටළන්නට සමත් විය. එහිදී ඉතා දුෂ්කර ජයක් අත් කර ගත් රාඩු, මෙහ්මඩ් විසින් වලාචියා හි බේ වරයා හෙවත් ප‍්‍රාදේශීය පාලකයා බවට පත් කරන ලදි.

පොයිනරි හිදී ව්ලාඩ් පරාජය වීමට එක් හේතුවක් වූයේ, ව්ලාඩ් විසින් බලතල කප්පාදු කරන ලද බෝයර් වරු, තම මුල් ආස්ථානයන් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රාඩු සමඟ එකතු වීමය. එසේම, ඔවුන් හංගේරියානු රැකවරණයට වඩා, නැගී එන ඔටෝමන් අධිරාජ්‍යයේ රැකවරණය යටතේ සිටීම හොඳයැයි අදහස් කරන්නටද ඇත. එසේම, බෝයර් වරුන්ගේ පවුල් සැඟවී සිටි ස්ථාන (බොහෝවිට ස්නැගෝව් අවට වන රොද වල) තම ඔත්තුකාරයන් සහ පාවාදෙන්නන් මඟින් හෙළිදරව් කරගත් රාඩු, ඔවුන් මඟින් බෝයර් වරුන් තම පාර්ශ්වයට එක් කර ගැනීමට තර්ජනාත්මක බළපෑම් කරන ලද බව ද කියැවේ.

1462 සැප්තැම්බර් 8 වන විටත් ව්ලාඩ් තවත් යුධ ජයග‍්‍රහණ තුනක් අත් කරගෙන සිටියේය. එහෙත්, 1462 දී ඔටෝමන් වරු ව්ලාඩ් ට‍්‍රාන්සිල්වේනියාවට පළවා හරින්නට සමත් වූහ. එහිදී ඔහුගේ බිරිඳ ඔටෝමන් වරුන්ට අසුවනවාට වඩා මරණය උතුමැයි සළකා, ව්ලාඩ් ගේ බළකොටු මාළිගයේ කුළුණක සිටි ආර්ගස් නදියට පැන දිවි නසා ගත් බව සඳහන් වේ. ඩ‍්‍රැක්‍යුලා රහස් මඟකින් ට‍්‍රාන්සිල්වේනියානු කඳුකරයට පළා ගියේ ය.

දිගින් දිගට පැවතුණු යුද්ධ ව්‍යාපාරය විසින් ඔහු සතු අරමුදල් හින්දවා තිබුණි. එහෙයින් තවදුරටත් ඔහුගේ අගම්පඩි හමුදාවට වැටුප් ගෙවිය නොහැකි තත්ත්වයක් උදාවිය. ව්ලාඩ් සිය පැරණි යුධ සගයා වූ මැතියස් කෝවිනස් ගේ ආධාර අපේක්ෂාවෙන් හංගේරියාවට ගියේය. එහිදී ආධාර වෙනුවට ඔහුට ලැබුණේ අත්අඩංගුවට ගෙන, රාජද්‍රෝහී චෝදනා මත අන්තර් භෞම බන්ධනාගාරයට දැමීමයි. පාප් වහන්සේගෙන් තෙවන කුරුස යුද්ධය සඳහා ලැබුණු මුදල් තම පෞද්ගලික පරිහරණයට වියදම් කර සිටි කෝවිනස්, යුද්ධයකට පැටළීමට අදහස් කළේ නැත. ඔටෝමන් වරුන් සමඟ සාමයට එකඟ වන බවට ව්ලාඩ් ගෙන් ලිපියක් ලියවා ගත් ඔහු, එම ලිපිය මඟින් පාප් වහන්සේ වෙත යුද්ධය අතහැර දැමීමට හේතු දක්වා සිය අගනුවරම රැඳින.

පොඩු ද‘ම්බොවිෂේ පාළම අසළ ඔරේෂියා හි බළකොටුවෙහි ව්ලාඩ් සිර ගත කරන ලදි. ඉන් පසු බුඩා නගරය අසළ විසිග‍්‍රෑඩ් වෙත ගෙන යන ලදුව එහි වසර 10 ක් ගත කරන්නට ඔහුට සිදු විය. එයින් පසු ඔහු බුඩා හි සිර කර තබන ලදි.

ව්ලාඩ් සිරගතව සිටි කාලසීමාව විවාදාපන්නය. එය 1462 සිට 1474 දක්වා බව රුසියානු අත්පිටපත් මූලාශ‍්‍ර අනුව සළකාගත හැක. බුඩා හි රාජ්‍යතාන්ත‍්‍රික ලිපි ගනු දෙනු හැදෑරීමේදී එය ඊට වඩා කෙටි කාලයක් බව පෙනේ. මෙම කාලය තුළ කෙමෙන් කෙමෙන් ව්ලාඩ්, මැතියාස් කෝවිනස් ගේ හිතවත් බව දිනාගන්නට සමත් වූ බව පෙනී යන්නේ, අවසානයේ ව්ලාඩ්, මැතියාස් කෝවිනස් ගේ පවුලේ සාමාජිකාවක (කෝවිනස් ගේ සහෝදරියකැයි ද සමහර තැන් වල සඳහන් වේ.) ආවාහ කරගැනීමට සමත් වීමෙනි. එම යුවළට දරුවන් දෙදෙනෙකු ලැබුණි. 1476 දී ඩ‍්‍රැක්‍යුලා වලාචියාහි සිහසුනට නැවත පත් වන විට ඔවුන්ගේ වැඩුමල් දරුවාගේ වයස අවුරුදු 10 ක් විය.

ව්ලාඩ් සිය සිර ජීවිතයේදී පවා තම පැරණි පුරුදු අත් නොහළ බව රුසියානු මූලාශ‍්‍ර වල සඳහන් වේ. ඔහු බොහෝ විට කුරුල්ලන් සහ මීයන් අල්ලාගෙන ඔවුන් වධයට පත් කිරීමටත්, අඟ පසඟ සිඳීමටත් පුරුදු ව සිටියේය. සමහර සතුන් ගේ හිස් කැපූ ඔහු තවත් සමහර සතුන්ගේ ඇ‍ඟ‍ෙහි තාර ගා, පිහාටු අළවා අතහැරියේ ය. නමුත් බොහොමයක් සතුන් ට ඔහු කළේ කුඩා උල් වල උල තැබීමය.

රාඩු අනුගමනය කළ ඔටෝමන් ලැදි පාලන ප‍්‍රතිපත්තිය ව්ලාඩ් හට නැවත නැගිටීමට උපකාරී විය. එසේම, ඩැන්‍යුබ් නදියෙන් උතුරෙහි පිහිටි ප‍්‍රදේශයන් කෙරෙහි ඔටෝමන් අධිරාජ්‍යයෙන් එල්ල වූ පීඩනය වැඩි වත්ම, මෝල්දාවියාවේ වොයිවෝඩ් වරයා මෙන්ම ව්ලාඩ් ගේ ඥාතියෙකු ද වූ මහා ස්ටෙෆන්, තම පෞද්ගලික අභිප‍්‍රායන් ද මුල් කරගෙන, ව්ලාඩ් ගේ නිදහස වෙනුවෙන් මැදිහත් විය.

ඒ අතර, ව්ලාඩ් 1475 දී  ඕතඩොක්ස් නිකායෙන් රෝමානු කතෝලික දහම වෙත මාරු විය. එය ද මැතියාස් කෝවිනස් සතුටු කිරීමට කරන ලද්දක් ලෙස පෙනේ.

1475 දී රාඩු හදිසියේ මිය යාමෙන් පසු 1476 නොවැම්බර් 26 දින තෙවන ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා හංගේරියානු ආධාර ඇතිව සිය තෙවන පාලන කාලය ප‍්‍රකාශ කළේය. ට‍්‍රාන්සිල්වේනියාවේ ස්ටෙෆන් බේතරි කුමාරයාගේ සහ ව්ලාඩ් ගේ ඒකාබද්ධ හමුදා වලාචියාව ආක‍්‍රමණය කළහ. ඒ වන විට රාඩුගේ ඇවෑමෙන් වලාචියාව පාලනය කළේ ඩැනෙස්ටි පරම්පරාවේ මහළු බැසරැබ් ය. ව්ලාඩ් ගේ හමුදා හමුවේ, බැසරැබ් සිය හමුදාද සමඟ පළාගියේ ය. එහෙත් ව්ලාඩ් සිය සිහසුන නැවත අල්ලාගෙන නොබෝ දිනකින්ම ස්ටෙෆන් බේතරී සමඟ ව්ලාඩ් ගේ හමුදාවෙන් බහුතරයක්ද  ආපසු ට‍්‍රාන්සිල්වේනියාවට ගියහ. ඩ‍්‍රැක්‍යුලා නැවත සිය බළ සේනා සකස් කර ගන්නට මත්තෙන් ඔටෝමන් හමුදා වලාචියාවට ඇතුල් වූහ. ඔවුනට මුහුණ දීමට ව්ලාඩ් හට සිදු වූයේ හාර දහසකට ත් අඩු සේනාවක් සමඟිනි.

ව්ලාඩ් ගේ තෙවන පාලන සමය මාස දෙකකින් අවසන් වූයේ ඔටෝමන් වරුන් සමඟ පැවති සටනකදී ඔහු ඝාතනය වීමෙනි. ඔහුගේ මරණය සිදුවූයේ කවදාදැයි නිශ්චිත නැතත්, ඒ 1476 දෙසැම්බර් මස අග දිනක යැයි සැළකේ. කෙසේ වෙතත් 1477 ජනවාරි 10 වන විට ඔහු මියගිය බව ප‍්‍රසිද්ධ වී තිබුණි. ඔහු මිය ගිය ස්ථානය ද නිශ්චිත නැත. එය බුකාරෙස්ට් සිට ග්‍යුර්ග්‍යු දක්වා වැටී ඇති මාර්ගයේ යම් තැනකදී සිදු වූ බව පිළිගැනේ. ඔහුගේ මරණය සිදුවූ ආකාරය ගැන මත කිහිපයක් වේ. සමහරුන් වාර්තා කර ඇත්තේ ඩ‍්‍රැක්‍යුලාගේ පාර්ශ්වය ජයග‍්‍රහණයට ඉතාම ආසන්නව සිටි අවස්ථාවේ ද්‍රෝහී වලාචියානු බෝයර් වරුන් ඔහු ඝාතනය කළ බවයි. තවත් මූලාශ‍්‍ර වලට අනුව, ව්ලාඩ් සිය පාක්ෂික මෝල්දාවියානු අංගාරක්ෂක භටයන් තමන් වටා සිටියදීම, පරාජය වී වැටුණු බවය. ජයග‍්‍රාහී ව්ලාඩ් තමන්ගේම සේනාවේ අය විසින් වැරදීමකින් එල්ල කළ පහරකින් මිය ගිය බව තවත් අය කියති.

ව්ලාඩ් ගේ මළසිරුරෙන් වෙන් කරන ලද හිස ජයග‍්‍රහණයේ ස්මාරකයක් ලෙස කොන්ස්තන්තිනෝපලයට ගෙන යන ලද අතර, එහිදී මෙහ්මඩ් ගේ අණ පරිදි එය උලක ගසා ප‍්‍රදර්ශනය කරවා ඇත. ව්ලාඩ් ගේ ප‍්‍රතිවාදියා වූ බැසරැබ් ලයෝටා විසින් ව්ලාඩ් ගේ සිරුර ගෞරවාචාරයෙන් තොරව මිහිදන් කරන ලදි. ඔහු මිහිදන් කරන ලද්දේ, ව්ලාඩ් විසින් 1461 දී ආරම්භ කරන ලද කොමානා තාපසාරාමයේ බව සැළකේ. මෙකී කොමානා ආශ‍්‍රමය පසුකාලීනව විනාශ කෙරුණු අතර, 1589 දී නටඹුන් මතින් නැවත ගොඩනගන ලදි.

ව්ලාඩ් භූමදාන කර ඇත්තේ බුකාරස්ට් නගරයට නුදුරු ස්නැගෝව් හි දූපතක පිහිටි ආශ‍්‍රමයක බව කියැවෙන කිසිදු ලිඛිත සාධකයකින් ඔප්පු නොවූ ජනශ‍්‍රැතියක් 19 වන සියවසේදී රුමේනියානු ඉතිහාසඥයන් හෙළිදරව් කරගත්හ. මෙම ආරාමයේ නිර්මාපකයා ද ව්ලාඩ් බව ට කැන්ටකුසිනෝ වංශකතාවේ වන සඳහන මීට සාක්ෂියක් වන බව ඔවුන්ගේ මතය විය. නමුත්, 1855 තරම් ඈතකදී ඇලෙක්සැන්ඩෘ ඔබොබෙස්ක්‍යු විසින් මෙම ආශ‍්‍රමය 1438 ට ද කලින් සිට පවතින බව පෙන්වා දී ඇත. 1933 ජූනි මාසයේදී ඞීනූ වී රොසෙට්ටි විසින් මෙම ස්ථානය කැණීම් කරන ලදි. එයින් ස්නැගෝව් ආශ‍්‍රමය 14 වන සියවසේ අගභාගයේදී ඉදි කරන ලද්දක් බව තහවුරු විය. මෙම ආශ‍්‍රමයේ පල්ලියේ ඇති ව්ලාඩ් ගේ යැයි විශ්වාස කෙරෙන නමක් කොටා නැති සොහොන් කොතට යටින් සැබැවින්ම සොහොනක් නෙමැති බව ද එහිදී අනාවරණය විය. රොසෙට්ටි 1933 දී පැවසූ අන්දමට, ‘‘ව්ලාඩ් ගේ සොහොන යැයි කියන සොහොන් කොතට යටින් සොහොන් ගැබක් තිබුණේ නැත. තිබුණේ අශ්ව ඇටකටු සහ හනු කොටස් රාශියක් පමණි.’’ ව්ලාඩ් ගේ මරණයේ වසර 500 සංවත්සරය වෙනුවෙන් ලිපි මාළාවක් ලියූ මාධ්‍යවේදියෙකු වන සිමියොන් සැවේන්‍යු, මෙම පල්ලියේ වෙනත් ස්ථානයක තිබූ නමක් රහිත සොහොන් කොතක් පිළිබඳව ප‍්‍රසිද්ධ කළේය. කෙසේ වෙතත් බහුතරයක් රුමේනියානු ඉතිහාසඥයෝ විශ්වාස කරන්නේ ව්ලාඩ් ගේ සොහොන කොමානා ආශ‍්‍රමයේ පවතින බවය.

ඔහු ඉතිරි කර ගිය දේ.

ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා ජීවත්ව සිටියදී පවා, ඔහු වධ දීමෙන් හා මැරීමෙන් පරපීඩක සතුටක් ලැබූ කුරිරු පාලකයෙකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව සිටියේ ය. ජීවත්ව සිටි කාලයේදී, අඳින ලද සමහර ගුප්ත-සිතුවම් වල කෲර පාලකයන් හෝ වධකයන් ගේ රුව ලෙස ව්ලාඩ් ගේ රූපය ඇඳ ඇත. ඔහුගේ මරණින් පසු ඔහුගේ කෲර ක‍්‍රියාවන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන ලද පත‍්‍රිකා, 1480 සිට 1560 ගණන් වෙනතෙක්ම ජර්මනියේ ද, සාර් රජවරු යටතේ රුසියාවේ මඳ වශයෙන් ද, නැවත නැවත පළ කෙරී තිබේ.

https://upload.wikimedia.org/wikipedia/
commons/thumb/9/9c/Jezus_pred
_Pilatom.jpg/371px-Jezus_pred_Pilatom.jpg
ජේසුස් වහන්සේ විනිශ්චය කරන පොන්ටියස් පිලාත් ලෙස ව්ලාඩ් ගේ රුව ඇතුළත් වූ සිතුවමක්. (1463) ල්‍යුබ්ලියානා ජාතික කෞතුකාගාරයෙනි.

ව්ලාඩ් විසින් මරා දැමුණු ගණන 40,000 සිට 100,000 දක්වා වෙතැයි සැළකේ. එය, සියවස් හතරක් තිස්සේ යුරෝපයේ සිදුවූ මායාකාරියන් සංහාරය කිරීමේ ව්‍යාපාරයන් හි ඝාතනයන් මුළු එකතුවට සමාන සංඛ්‍යාවකි. ජර්මානු කතා වල සඳහන් වන පරිදි, ඔහුගේ අනින් මිය ගිය ගණන අඩුම වශයෙන් 80,000 ක් වත් වන අතර, ඒ ඔහු සහමුළින්ම ගිණිතබ්බවා විනාශ කරන ලද ගම්මාන සහ බළකොටු වල සිටියවුන් ගණනට අමතරවය.
https://upload.wikimedia.org/
wikipedia/commons/e/eb/Tepest.jpg
1470 - 1480 කාලයේ අඳින ලද ශාන්ත ඇන්ඩෘ කුරුසියේ ඇණ ගැස්වීම සිතුවමක ඒජීයස් නම් රෝමක ආණ්ඩුකාරවරයා ලෙස ව්ලාඩ් ගේ රූපය ඇඳ ඇති ආකාරය
වියානාහි බෙල්වඩියර් චිත‍්‍රාගාරයෙන්

වධ දී මරාදැමීමට ඔහු ඉතාම ප‍්‍රිය කළ ක‍්‍රමය වූයේ උල තැබීමයි. ව්ලාඩ් එළිමහනේ ආහාර ගනිමින් සිටින අතර, පසුබිමෙන් මිනිසුන් රාශියක් උලතබන ලද උල් ද, වධකයන් මිනිසුන් කපා දමන ආකාරය ද, දැක්වෙන 15 වන සියවසේ අග භාගයටත්, 16 වන සියවසේ මුල් කාලයටත් අයත් වන ජර්මානු ලී කැටයම් කිහිපයක් වේ. ආක‍්‍රමණික ඔටෝමන් හමුදාවන්, ඩැන්‍යුබ් නදී තීරයේ වූ දහස් ගණනක් උලතබන ලද මිනිසුන් දැක බියපත්ව ආපිට හැරුණු බව වාර්තා වී තිබේ. එසේම 1462 දී ව්ලාඩ්ගේ අගනුවර වූ ටර්ගොවිස්ට් හි ප‍්‍රාකාරයෙන් පිටත උල තබන ලද මළ සිරුරු 20,000 දුටු, මනෝවිද්‍යාත්මක යුධ ප‍්‍රයාණයන්හි දක්ෂයෙකු වූ දෙවන මෙහ්මඩ් සුල්තාන් වරයා රෝගග‍්‍රස්තව ආපිට කොන්ස්තන්තිනෝපලයට හැරී ගියේය.

https://upload.wikimedia.org/
wikipedia/commons/4/43/Impaled.gif
ව්ලාඩ් එළිමහනේ ආහාර ගනිමින් සිටින අතර, පසුබිමෙන් මිනිසුන් රාශියක් උලතබන ලද උල් ද, වධකයන් මිනිසුන් කපා දමන ආකාරය ද, දැක්වෙන 1499 දී කෙරුණු ජර්මානු ලී කැටයමක්

ව්ලාඩ් ගේ කෲරත්වය ගැන පැවති ප‍්‍රවාද, මැතියාස් කෝවිනස් විසින් සිය දේශපාලනික උවමනාවන් මත අතිශයෝක්තියෙන් පතුරුවාහරින ලද ඒවා බව ද සැළකේ. ඔටෝමන් වරුන්ට එරෙහිව යුද වදිනු පිණිස යුරෝපයේ පැවති බහුතරයක් කතෝලික රාජ්‍යයන් වෙතින් අරමුදල් ලැබූ කෝවිනස්, 1462 දී තුර්කියට එරෙහි ව්ලාඩ් ගේ සටනට ආධාර නොකළේය. එය සාධාරණීකරණය කිරීමේ අරමුණින් ව්ලාඩ් ගේ කෲරත්වය හා විශ්වාස කළ නොහැකි බව සනාථ කිරීමට විවිධ ප‍්‍රවාද පතුරුවා හළ බව සැළකේ. මැතියාස් අග්නිදිග ට‍්‍රාන්සිල්වේනියාවේ අයබදු සිය ප‍්‍රයෝජනයට ගත් අතර, ව්ලාඩ් ලීවාසේ පෙනෙන පරිදි 1942 නොවැම්බර් 07 දිනැති ව්‍යාජ රාජද්‍රෝහී ලිපි සකස් කළ බව ද කියැවේ.

ජර්මානු ජනතාව ඩ‍්‍රැක්‍යුලා ගැන දැනගත්තේ 15 වන සියවසේ මුල් භාගයේදී කියවන්නන් අතර සංසරණය වූ අත් පිටපත් මඟිනි. එයින් මුල්ම අත්පිටපත ලියැවී ඇත්තේ ව්ලාඩ් අත්අඩංගුවට පත්වීමටත් පෙර හෙවත් 1462 දී යැයි සැළකේ. එය පසු කාලයකදී ජර්මනියේදී මුද්‍රණය කෙරුණු අතර, සමකාලීනව හොඳ අලෙවියක් ද ඊට ලැබිණ. මුල් පිටපතට යම් යම් වෙනස් කිරීම් සහ එකතු කිරීම් ද සහිතව වරින් වර සංස්කරණය කෙරී ඇත.

අත්පිටපත් සහ පත‍්‍රිකා වලට අමතරව, ව්ලාඩ් ගේ කතාවේ ජර්මානු අනුවාදය මයිකල් බිහයිම් ගේ ‘‘වොන් අයිනෙම් වුට්රිච් ඩර් හයිස් ට‍්‍රැකල් වයිඩා වොන් ඩර් වලාචි’’ හෙවත්, වලාචියාහි ඩ‍්‍රැක්‍යුලා නම් උමතු මිනිසාගේ කතාව යන කාව්‍යයට ද ඇතුළත් විය. 1463 ශීත සෘතුවේ දී මෙම කාව්‍යය ලියා, තෙවැනි ෆෙඩි‍්‍රක් ශුද්ධවූ රෝම අධිරාජයාගේ රාජ සභාවේදී ගායනා කරන ලදි.

මෙකී මයිකල් බිහයිම් ගේ කාව්‍යයට අමතරව, ව්ලාඩ් ගේ කතා ඇතුළත් අත්පිටපත් 4 ක් ද, පත‍්‍රිකා 13 ක් ද ලියැවී ඇත. දැනට ඇති අත්පිටපත් සියල්ල 15 වන සියවසේ අග කාර්තුවේ සිට 1500 වසර දක්වා කාල පරාසයකට අයත් වන අතර, පත‍්‍රිකා 1488 සිට 1559-1568 කාලයට අයත් වේ.

මෙම පත‍්‍රිකා වලින් අටක් 1501 ට කලින් කෙරුණු ආදී කාලීන මුද්‍රිතයන් ය. ව්ලාඩ් පිළිබඳ ජර්මානු කතා 46 ක වන අතර, අත් පිටපත්වල හෝ පත‍්‍රිකාවල හෝ, බිහයිම් ගේ කාව්‍යයේ හෝ එම කතා සියල්ලම අන්තර්ගත නොවේ. ඒ සියල්ල ආරම්භ වන්නේ පැරණි පාලකයා වූ ජෝන් හුනියඩි, ව්ලාඩ් ගේ පියා මැරවීමෙන් සහ ව්ලාඩ් හා ඔහුගේ සොහොවුරා සිය පැරණි ආගම ප‍්‍රතික්ෂේප කර ක‍්‍රිස්තියානි ඇදහිල්ල ආරක්ෂා කර පෝෂණය කිරීමට දිව්රුම් දීමෙනි. ඉන් පසු එළැඹෙන සිද්ධීන්වල අනුපිළිවෙල එක් එක් අත්පිටපත් සහ පත‍්‍රිකාවන්හි වෙනස් වෙනස් අන්දමට නිරූපණය වේ.

ව්ලාඩ් ගේ කතාවේ රුසියානු හෙවත් ස්ලාව් අනුවාදය හැඳින්වෙන්නේ ස්කැසනී ඔ ඩ‍්‍රැකුලේ වෝවොඩෙ හෙවත් හමුදා නායක ඩ‍්‍රැක්‍යුලා ගේ කතාව ලෙසිනි. එය ලියැවුණ බවට සැළකෙන්නේ 1481 - 1486 අතර කාලයේදීය. දැනට මෙහි ඉතිරිව ඇත්තේ, 15 - 18 සියවස් අතර කෙරුණු අනු අත්පිටපත් අතරින් විසි දෙකක් පමණි. ඩ‍්‍රැක්‍යුලා පිළිබඳ රුසියානු කතා පුවත් කාලක‍්‍රමාණුගත හෙවත් කාල අනුපිළිවෙලට සඳහන් නොවන අතර, එම අත් පිටපත් එකක් වත් සම්පූර්ණ ද නැත. ඒවා සැකසී ඇත්තේ ව්ලාඩ් පිළිබඳ ජනප‍්‍රවාද වල එන ඓතිහාසික මෙන්ම සාහිත්‍යමය වෘතාන්ත ද එකතු කිරීමෙනි. මෙම කතා ආරම්භ වන්නේ කෙටි හැඳින්වීමක් ද සහිතව, ඔටෝමන් දූතයන් ගේ හිස් වලට තලප්පා තබා ඇණ ගැස්වීමේ සිදුවීමෙනි. අවසන් වන්නේ ව්ලාඩ් ගේ මරණයෙන් සහ ඔහුගේ පවුලේ විස්තර වලිනි.

ඩ‍්‍රැක්‍යුලා පිළිබඳ රුසියානු කතාන්තර 19 ක් වන අතර, එයින් දහයක් ජර්මානු කතා හා සමාන වෙයි. එහෙත්, ඔහු පිළිබඳව රුසියානු ජනතාව හෙළා ඇති දෘෂ්ටි කෝණය ජර්මානුවන්ට වඩා වෙනස් ය. රුසියානු කතා වල ඔහු ශ්‍රේෂ්ඨ පාලකයෙක්, නිර්භීත රණශූරයෙක් සහ සාධාරණ රජෙක් ලෙස නිරූපණය වේ. ඔහුගේ ක‍්‍රෑරකම්, අයෝමය පාලකයෙකුගේ ක‍්‍රියාවන් ලෙස සාධාරණීකරණය කර තිබේ. කතා දහ නවයෙන් ම අතිශයෝක්තියට නඟන ලද ප‍්‍රචණ්ඩත්වය නිරූපණය වන්නේ හතරක පමණි. මෙයින් සමහර ප‍්‍රවාද පසුකාලීනව බිහිසුණු ඉවාන් රජු හට ආරෝපණය කර ඇති බව ද පෙනේ.

ව්ලාඩ් ඩ‍්‍රැක්‍යුලා වටා ඇති ජනප‍්‍රවාද

ව්ලාඩ් ගේ චරිතය වටා ගෙතී ඇති සුප‍්‍රකට වෘත්තාන්ත නවයක් වේ.

මෙම ලිපිය දිග වැඩි වන බැවින් එම වෘත්තාන්ත මීළඟ කොටසින් බලාපොරොත්තු වන්න.

මූලාශ්‍ර - 

විකිපීඩියා

අලි ප්‍රහේලිකා අංක - 3 පිළිතුරු සහ ජයග්‍රාහකයෝ...

මීට කලින් පළ කෙරුණ සත්තු ප්‍රහේලිකා අංක 3 ට උත්තර දීම වෙනුවෙන් මෙන්ඩා සහ ප්‍රසන්න ප්‍රමුඛව සොහොයුරු කමෙන්ට් කරුවන් දක්වපු ඉමහත් උද්යෝගය ඉතා ඕනෑකමින් අගය කරන අතර, ඒ උදවිය නිසා මේ බ්ලොග් එකේ මෙතෙක් වැටුණු වැඩිම කමෙන්ට් ප්‍රමාණය වාර්තා වුණ බව හදපිරි ආතලයෙන් යුක්තව වාර්තා කරමි.

කලින් පෝස්ටුවේ පොරොන්දු වූ පරිදි ඒ ඒ පුරස්න වලටත් ඒ ඒ උත්තර පහතින් දක්වා ඇත.

මෙන්ඩයි සඳුවයි පොඩි මෙන්ඩයි
http://images.stockfreeimages.com/
593/sfi/free_5933272.jpg

1. ප්‍රශ්නය

ඒ ප්‍රශ්නයේ ඉන්නේ ගිරව් ය. උං කවුරු නමුත් කියන කියන දේ ම ඒ විදිහටම කියනවා මිසක් ඒකෙ ඇත්ත නැත්ත හොයන්නේ නැත.

නිවැරදි උත්තර දුන්නේ -

විදානෙ සහ රාජ්

2. ප්‍රශ්නය

කොකා උදේ පිට් එකේ පියාඹලා ආවට, අාපහු යන්නේ මහ දවල් ගිණී අව්වේය. "තමන් හිසට තම අතමය සෙවනැල්ල" කියා ඌ එක තට්ටක් හිසට උඩිං අල්ලාගෙන පියාඹයි. උදේ තටු දෙකෙන්ම පියාඹද්දී පැය දෙකක් ගියාට, දවල් එක තට්ටකින් පියාඹද්දී කාර්යක්ෂමතාවය බාගෙට බහියි. එ් නිසා පැය හතරක් ගතවෙයි.

නිවැරදි උත්තර දුන්නේ -

ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස් විතරයි

3. ප්‍රශ්නය

කොකා අහස ග‍ොරවනවාට හෙණ බයය. අකුණක් ගහද්දී ඌ දෑතේ ඇඟිලි කණේ ගහගනියි. එතකොට පියාඹන්න බැරිවී එළකිරි වගේ පහතට වැටෙන්නේය.

මේකටත් නිවැරදි උත්තර දුන්නේ -

ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස් විතරයි

4. ප්‍රශ්නය

පනු පුතා මොන්ටිසෝරි වයසේය. ඌ ගණන් කරන්නට දන්නේ නැත.

නිවැරදි උත්තර දුන්නේ - මෙන්ඩා ය සමහර විට ඌ පනුපුතා ගැන අනිත් උදවියට වඩා දන්නවා ඇති ය.

5. ප්‍රශ්නය

පනු පුතා ශිෂ්‍යත්වෙ පාස් බැවින් දැන් ගණන් කරන්නට දන්නවාය. ඌ හතරයි කියා ඇත්තේ බොරුවට ය.

කාටවත් නිවැරදි උත්තර දෙන්න පුළුවං වී නැත.

6. ප්‍රශ්නය

සත්තු කන දේ අනුව උන්ට නම් තියන්නේ නැත. උදාහරණ ලෙස, "අඹ බොන මෙන්ඩා", "පාං කන ප්‍රසන්න" ආදී ලෙස නම් තැබීමක් සිද්ධ නොවේ. ඒ නිසා මේ පනුවාගේ නම "පනුවා" ය.

ඒකටත් කවුරුවත් නිවැරදි උත්තර දුන්නේ නැත.

7. ප්‍රශ්නය

මුහුද මැද්දේ ලවණ ගතිය වැඩි නිසා යකඩ බල්ලා කන්නේ මළකඩය.

නිවැරදි උත්තර දුන්නේ -

මෙන්ඩා, විදානෙ, "වල්" මදාවියා, ඩබ්ලිව්. මනෝජ් නිශ්ශංක ඩයස්,  රාජ් සහ කුරුට්ටා

8. ප්‍රශ්නය

ජෙට් එකේ එක තට්ටක් උඩ කිලෝ හැත්තෑවක් බර වොෂිං මැෂීන් එක තබා, අනික් තට්ට උඩට කිලෝ හැත්තෑවක් බර මිනිහා නැග්ග විට දෙකෙළවර ස්කන්ධය සමබර වී, ස්කන්ධ දෙකේ මධ්‍යන්‍යය ජෙට් එකේ ගුරුත්ව කේන්ද්‍රයට සමපාත වේ. මිනිහාට අතක් දික්කර, වොෂිං මැෂින් එක අල්ලා ගත හැකි අතර, අනික් අතින් ජෙට් එක පාලනය කළ හැකිය.

කාටවත් නං මේකට නිවැරදි උත්තරේ දෙන්න පුළුවං උනේ නෑ.

9. ප්‍රශ්නය

හරකා තාප්පයට උඩිං බලන්නේ තාප්පයකට යටින් බලන්නට නොහැකි නිසාය.

නිවැරදි උත්තර දුන්නේ -

මහේෂ් රත්නායක, අවංක වඩුරියං සහ කුරුට්ටා

10. ප්‍රශ්නය

6 ප්‍රශ්නයේ සඳහන් වන, පොළොව මැද්දේ වසන පනුවා ඇමරිකන් කා‍රයො දාපු ගල් ඔක්කොම කාලා ය.

නිවැරදි උත්තර දුන්නේ -

බ්‍රාධිපති මෙන්ඩා, ප්‍රසන්න ගුරුන්නාන්සෙ, අවංක (මොකට කියනවද ඒ ගැන) ආරි, විදානෙ, රාජ්, මදාවියා සහ ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස්

(තව දෙකයි. ඔහෙම යං)

11. ප්‍රශ්නය

8 ප්‍රශ්නයේ පරිදි ජෙට් එකේ පටවගෙන ගිය වොෂිං මැෂින් එක කෙල්ලගේ ඔළුවට වැටිලා කෙල්ල එතනම ඔන් ද ස්පොට් වී චකබ්ලාස් වෙලා ඇත.

නිවැරදි උත්තර දුන්නේ මෙන්ඩා විතරයි (දාපිය පහක් මයෙ බොක්කෝ...)

12. ප්‍රශ්නය

සිරිපාදේ ගියේ සීයයි තාත්තයි පුතයි ය. සීයත් තාත්තත් තාත්තලා දෙන්නා වන අතර, තාත්තත් පුතත් පුත්තු දෙන්නාය.

නිවැරදි උත්තර දුන්නේ -

විචාරක මාමා, මහේෂ් රත්නායක, අවංක ආරියා, විදානෙ, ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්. මනෝජ් නිශ්ශංක ඩයස් සමඟින් ආදර බර කුරුට්ටා තුමා.

ඒ අනුව අපේ පොරවල් දී ඇති නිවැරදි පිළිතුරු මේ විදිහය...

ප්‍රසන්න - 1/12
විචාරක - 1/12
මදාවියා - 2/12
මහේෂ් රත්නායක - 2/12
මෙන්ඩා - 3/12
රාජ් - 3/12
කුරුටු - 3/12
අවංක 4රියං - 3/12
විදානෙ - 4/12
ඩබ්ලිව් මනෝජ් නිශ්ශංක ඩයස් - 5/12

ඒ අනුව මගේ කර්ණ රසායන ගායන ඇසීමේ වාසනාව කිසිවෙකුටත් හිමි නොවන අතර. බ්ලොග් එකට පැමිණි සියළුම දෙනාට කහට කෝප්පයක් සහ "හකුරු" යන සාඩම්බර නම දරන හුඹස් මැටි කෑල්ලක් බැගින් තෑගි හිමිවෙනවා ඇත.

ප/ලි

ඩ්‍රැක්‍යුලාගේ ඉතිහාස කතාවේ අවසාන කොටස මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න...

සාතිශය සංවේගය...

සිනමාවේ පරමාදර්ශී පෞරුෂයන් කීපයක්ම සමඟිනි, මා ගැටවර විය පසු කළේ. ඒ අතර, මුලින්ම මාගේ මනසට ඇතුලු වූයේ El Cid හි චාල්ටන් හෙස්ටන් ය. එම චිත්‍රප...

ගොඩක්ම කියවපු ලිපි