Tuesday, July 12, 2016

හතර බීරි කතා - ජන කතා ඇසුරිනි

පහුගිය දාක (ඒ කියන්නෙ අවුරුදු පහ හයකටත් කලින් දාක) අපි (අශෝක හෙවත් අර දේවාරූඪයෙන් ටීවී හදන පොර සහ රංග වික්‍රමසිංහ සමඟ මම) දොම්පෙ ගියා. අපි ගියෙ කේන්දර බලන කෙනෙක්වත් හම්බවෙන්ඩයි. පොරගෙ ගෙදර තියෙන ඉසව්ව ගැන හරි මතකයක් නොතිබුණ නිසා අපි පාරෙ ගිය පොරක්ගෙං පාර ඇහුව. උන්දැ අපිට කියපු පාර හරියටම අනුගමනය කරපු අපි, ඒ කියපු කියපු හන්දි වලිං කියපු කියපු පැත්තට හැරි හැරී, කියපු කියපු මඟ සළකුණු ෆලෝ කරගෙන කරගෙන ගිහිං අන්තිමේ නතර වුනේ,....

අරූ ගෙං පාර අහන්න නතර කරපු තැනමයි.

“දොම්පෙට යන පාර කියල ජන කතාවක් තියෙන්නෙ නිකං නෙමෙයි...“ කියල අශෝක කිව්ව.

නොදන්නා කවුරු හරි ඉන්නවනං, මෙන්න ඒ කතාව.

දවසක් එක මනුස්සයෙක් දොම්පෙට යන්න පිටත් උනා. ඒ දවස්වල ගමන බොහෝ විට පයිං. ගොඩක් දුර නං තවලමක් එක්ක යන්න පුළුවං, ඒත් පයිම්ම තමා.

ඔහෙම යද්දි මේ මනුස්සයට පාර වැරදුනා කියල හිතුන. ඉතිං එයා ඉස්සෙල්ලම හම්බෙන මනුස්සයගෙං පාර අහනව කියල හිතාගෙන ඉස්සරහට ගියා.

ඔහොම යනකොට එයාට හම්බුනා හේනක්. ඒකෙ සරුවට වැවිල තිබ්බ බතල ගාළක් ළඟ උන්න ගොයියෙක්. අර මනුස්සයත් ගොයිය ගාවට ගිහිං,

“ආයිබෝං! දොම්පෙට යන පාර පොඩ්ඩක් මට කියනවද?...“ කියල ඇහුව.

“ආ... බතල ද? හොඳට බැහැල තමා තියෙන්නෙ. හාරල දෙඤ්ඤං. කොච්චරක් විතර ගන්ඩද?“ ගොයිය ඇහුව.

“බතලෙයක් නෙමෙයි ආයිබෝං. දොම්පෙ දොම්පෙ...“

“හරි හරි ඉතිං. හාරල දෙඤ්ඤං. එච්චර වෙලාවක් යන්නෑ. හාරපුව නෑ. නරක් වෙයි කියල හෑරුවෙ නැත්තෙ...“

මේ යකා නං බීරෙක් කියල හිතාගත්ත මගිය, වට පිට බලද්දි දැක්ක ගොයියගෙ මහගෙයි, එයාගෙ දුවයි එනව ගොයියට තේ අරං.

එක්කො මං මහගෙ ගෙං අහගන්නව කියල හිතාගෙන පොර ඉස්සරහට ගිහිං ගම මහගෙ ගෙං ඇහුව දොම්පෙට යන පාර.

“මං හොඳ ගල්ලැහැ පැදුරක් නං වියල ඉවර කළා විතරයි.“ මහගෙ ගත් කටටම උත්තර දුන්න. “...සායං දාන්න විතරයි තියෙන්නෙ...“

දෝනියන්දැ අත කටිං වහගෙන හිනාවෙලා අහක බලා ගත්ත.

මේ උන්නංදැත් බීරියි කියල හිතපු මගිය, දුවට කිට්ටු වෙලා අහනව,

“...මේ නංගි ඔයාවත් කියනවද දොම්පෙට යන පාර?“

“අනේ මංද අයිය, මං දන්නෑ තාත්ත මොනව කියයිද කියල. අපේ නං අමනාපයක් නෑ...“ නගා ඇදල පැදල එහෙම කියල හේනෙ පැළට දුවල ගියා.


-----------------------------

මේ වගේම හතරබීරි කතාවක් බුරුම ජනකතා අතරෙ තියෙනව. ඒක නං ඔරිමජිනල් හතර බීරි කතාවක්. එහෙම කිව්වෙ හතර දෙනෙක්ම ඉන්න නිසා...

බුරුමෙ පන්සලක ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරු කෙනෙක්ට කිව්ව,

“ගමට ගිහිං දුංකොළ කෑල්ලක ඉල්ලං එන්ඩ උන්නාන්සෙ...“ කියල.

පොඩි හාමුදුරුවංගෙ කණ පොඩ්ඩක් ඇහෙන්නෑ. එයාට ඇහුනෙ, ගමට ගිහිං වෑඤ්ජනයක් ඉල්ලං එන්ඩ කියල කිව්ව වගෙයි.

ඉතිං උන්නාන්සෙ ගමට ගියා. ගිහිං පාර අයිනෙම තිබුණ, අත්යන්ත්‍ර රෙදි වියන වැඩපොළක් එක්ක ගෙයක්. එතන ගෑල්ළමේකුත් උන්න. පොඩිනම අර ගෑල්ළමෙයට කිට්ටු වෙලා කිව්ව,

“පිංවතිය, පන්සලේ දවල් දානෙට මාළුවක් පූජා කරන්ඩෙයි කියල ලොකු හාමුදුරුවො කියනව...“ කියල.

ගෑල්ළමෙයගෙත් කණ හොඳටම ඇහෙන්නෑ. එයා හිතුවෙ එයාගෙ රෙදි වැඩපොළ සල්ලිවලට ගන්ඩ අහනව කියල.

“රෙදි වැඩපොළ රන්කාසි සීයයි...“ එයා රෙදිවැඩපොළට අත දික්කරල කිව්ව.

“හරි හරි ඕකට කෑගහන්ඩ ඕනෙය? “ පොඩි හාමුදුරුවො කිව්ව. “පිංවතියට වැඩ නං මංම ගිහිං ගන්නං“

පොඩිනම ගෙදර කුස්සියට ගිහිං උයල තිබ්බ වෑඤ්ජනයක් හට්ටිය පිටිම්ම අරං ගියා.

කෙල්ලට හරි ප්‍රශ්නෙ මේක. එයා ගිහිං අම්මට කිව්ව,

“අම්මෙ හරි වැඩේ නෙ. අද පන්සලේ පොඩි හාමුදුරුවො ඇවිත් මගෙ රෙදි වැඩපොළ සල්ලිවලට ගන්ඩ අැහුව. මං ඒකෙ ගාණ කිව්ව විතරයි උන්නාන්සෙ කුස්සියට වැඩල හට්ටියක් උස්සගෙන වැඩ්ඩ...“

අම්මට කේන්ති ගියා.

“උඹට තව වයස තියෙනව මගුල් ගැන හිතන්ඩ. ඒක කල වයස ආවම තාත්තයි මායි තීරණය කරන්නං. උඹ උඹේ වැඩක් කරගෙන ඉඳපං...“ අම්මත් බීරියි.

කෙල්ලට බැණල බැණල අම්ම ගියා තාත්ත ගාවට, වාර්තාකරණය උදෙසා. කෙල්ලගෙ තාත්තා රස්සාවට කරන්නෙ බටපොතු වියන එක. ගිහිං අම්ම කියනව තාත්තට,

“බලන්ඩකො ඒයි. අපේ දුවට දැම්මම මගුල් විසේ ඉහට ගහලනෙ. දැං කාලෙ හැදෙන එව්වො නං...“

තාත්ත හිනා වුනා.

“ඉතිං තමුසෙටම නෙ වැරදිල තියෙන්නෙ...“ තාත්ත කිව්ව. “...වට්ටියක්නං රවුං, බටපොතු පෙට්ටියක් නං හතරැස්...“

තාත්තත් බීරියි.

------------------------------------

බීරි කතාවක් නොවුනත්, හස්ත මුදා සංවාදයක් ගැන සෙන් කතාවක් තියෙනව, ඒකත් මතක් වෙච්ච වෙලේ ලියා දාන්න හිතුනෙමි.

එක්තරා පන්සලක ලොකු හාමුදුරු කෙනෙකුත් පොඩි හාමුදුරු කෙනෙකුත් හිටියා. ඒ පොඩි හාමුදුරුවන්ගෙ එක ඇහැක් අන්ධයි.

ඒ පන්සලේ නියමයක් තියෙනව, ඒ පන්සලේ කවුරු හරි ආගන්තුක හාමුදුරු කෙනෙක් නවාතැන් ගන්ඩ එනවනං, එයා ඒ පන්සලේ හාමුදුරු කෙනෙක් එක්ක වාද කරල දිනන්න ඕනෙයි කියල.

ඔන්න දවසක් එහෙම ආගන්තුක හාමුදුරු කෙනෙක් ඇවිදිං නවාතැන් ඉල්ලුව. එයාට අර ඉහත නීතිය පැහැදිලි කරල දුන්න ලොකු හාමුදුරුවො, වාද කිරීම පොඩි හාමුදුරුවන්ට භාර දුන්න.

ලේසියෙන් දිනන්න හිතාගෙන පොඩිහාමුදුරුවො ආගන්තුක නමට කිව්ව, මේ වාදය කෙරෙන්නෙ හස්ත මුද්‍රාව‍ෙන්ය කියල.

එහෙම එකඟ වෙලා දෙන්නම වාද කරන සාලාවට ගියා.

ටිකකින් අර ආගන්තුක හාමුදුරුවො තමංගෙ ගමන් මල්ලත් අරං ලොකු නම මුණගැහ‍ෙන්ඩ ඇවිත්, වැඳල යන්ඩ පිටත් වුනා.

“මං පරාදයි.“ එයා කිව්ව. “ඔබතුමන්ගෙ ගෝල නම හරිම දක්ෂයෙක්.“

“කොහොමද වාදය සිද්ධ වුනේ?“ ලොකු හාමුදුරුවො ඇහුව.

“මෙහෙමයි.

“ඔන්න මම එක ඇඟිල්ලක් එයාට දික්කළා. ඒකෙන් මම අදහස් කළේ අපි හැමෝගෙම ශාස්තෘවරයාණන් වන බුදුන් වහන්සෙ.

“එතකොට පොඩි නම ඇඟලි දෙකක් දික් කළා. එකෙන් එයා අදහස් කළා බුදුන් සහ සද්ධර්මය.

“එතකොට මම ඇඟිලි තුනක් දික් කළා. එකෙන් මම අදහස් කළා බුදුන්, දහම් සහ සංඝයා වහන්සේ.

“එතකොට පොඩි නම, ඒ තුනම එකට සම්බන්ධ, වෙන්කළ නොහැකි කාරණා බව කියාපන්න, අත මිටමොළවලා දික්කළා...“

කියල ආගන්තුක හාමුදුරුවො යන්න ගියා.

එතකොටම එතනට හයි හයියෙං වැඩමකළා පොඩි නම.

“හඃ... කෝ අරූ...?“ උන්නාන්සෙ කේන්තියෙන් ඇහුවා.

“පොඩ්ඩක් ඉන්ඩ පොඩ්ඩක් ඉන්ඩ...“ ලොකු හාමුදුරුවො ගෝලයව සන්සුන් කළා. “...මොකද උනේ?“

“මොකද උනේ තමයි...!“ පොඩි නම වාඩිවෙලා කියන්ඩ ගත්ත.

“ඔන්න අර හාදය වාදය පටංගන්ඩ, මට තියෙන්නෙ එක ඇහැයි කියන්ඩ එක ඇඟිල්ලක් දික් කළා.

“මට යකා නැග්ග. ඒත් මං ඉවසුව. ඉවසගෙන මං, කමක්නෑ ඔහේට ඇස් දෙකක් තියෙනවනෙ කියන්ඩ මං ඇඟිලි දෙකක් දික් කළා.

“ඒ ගමන මූ, අපි දෙන්නටම තියෙන්නෙ ඇස් තුනයි කියන්ඩ ඇඟිලි තුනක් දික්කළා කියනවකො...!

“මට මළ පැනල, උගෙ හොම්බට අනින්ඩ අත මිටමො‍ළෝල ගත්ත විතරයි, ඌ  පැනල දිව්ව...“

ප/ලි

තවමත් මගේ ඉන්ටර්නෙට්ටුව හරියාකාරව වැඩ නොකරන හෙයින් (අමාත්‍යාංශයේ අයිසීටී ඔපිසර තැනද මාගේ පරිගණකය පරීක්ෂා කර බැලුවාය. ඇයටත් මගේ නිල ජල පහසුකම හදා දෙන්නට බැරි විය.) මගේ බොක්කේ ෆිට් උදවියගේ බ්ලොග් කියවීම අම්බානක මිස් උනේය. ඒ ගැන මට මං ගැනම දුකය.


වැඩිපුර බලපු ලිපි