Thursday, October 13, 2016

ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර

ඉස්කෝලෙ මහත්තුරු ගැන මගෙ මුල් ලිපියෙන් ඉස්කෝලෙ මහත්තුරු කියන සමාජ පංතිය බිහිවීම ගැන පසුබිම එක්ක, අපේ ගමේ උන්න ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් අය ගැන රස කතා ටිකක් කියන්න පුළුවං උනා.

මේ ලිපියෙන් මං අහල මතක තියෙන ඉස්කෝලෙ මහත්තුරු කතා සහ වෙනත් කතා ටිකක් කියන්න තමයි හදන්නෙ. ඕං එහෙනං අහගන්ට...

දවසක් ඉස්කෝලෙ මහත්තේක් මගදි හම්බු වෙච්ච අපේ මේ අටම වගේ කෙනෙක්  හොඳට බොන කන පොරක්, ආගිය කතා කතා කරල, ඇහුවලු,

ඉස්කෝලෙ මහත්තෙය, යංද පොඩි අඩියක් ගහන්ඩ?” කියල.

ඉස්කෝලෙ මහත්තෙය කාරණා කාරණා සහිතව උන්නැහැට තේරුං කරල දුන්නලු ඒ ගැන.

උන්නැහැ, කාරණා තුනක් මත මම ඔය යෝජනාවට බෑ කියනව...

එක. මම ගුරුවරයෙක්. මගෙන් ඉගෙන ගත්ත ළමයි බොහොමයක් දෙනා මේ සමාජයෙ ඉන්නව. මං බිව්වොත් ඒක ඒ අයට කරන අගෞරවයක්. ඒ වගේම මගෙ කීර්තියට ලොකු හාණියක්. ඒ වගේම සමාජයට වැරදි ආදර්ශයක්.

දෙක. මම ලොකු මහත්වෙච්ච දරුවො තුන් දෙනෙක්ගෙ තාත්ත. මං කරන දුරාචාර දේවල් වලින් ඒ අයට සමාජයට මූණ දෙන්ඩ බැරුව යනව.

තුන තමයි...

“...උන්නැහැට කිව්වට මොකද, මං දැනටමත්  ටිකක් බීලයි ඉන්නෙ. තව බිව්වොත් මට ගෙදර යන්ඩ බැරුව යනව. කාණුපල්ලෙ තමා ඉන්ඩ වෙන්නෙ...”


කන බොන එක ගැන කතා කරද්දි මට වෙන කතාවක් මතක් උනා.

ඔය අටම වගේ හොඳට කන බොන පොරක් ගියාලු දවසක් (ඔය කියන්නෙ ග්‍රාමසේකර මහත්තුරු එන්ඩ කලිං ආරච්චි, ගම්මුලාදෑණි වරු ගම පාලනය කරන කාලෙ) ආරච්චි මහත්තයෙක් මුණගැහෙන්ඩ. ගිහිං මිදුලෙ ඉන්නවලු ආරච්චි එළියට එනකං, උගුරු පාද පාද.

සාමාන්‍යයෙං වැදගත් උදවිය ගාවදි සාමාන්‍ය හුදී ජනයා උස් හඬිං කතා කරන් නෑනෙ. කොහෙ හරි ගිහිං ගෙදර කවුද?” වගේ දේවල් අහනව වෙනුවට කරන්නෙ ටිකක් උස් හඬිං උගුර පාදන එකයි. ඔහොම සිද්ධියක් රොමාගෙ වාසනාව පොතේ තිබුණ මට මතකයි. නෝරා හාමු රොමාව එක්කරගෙන ඇවිත්, දිසානායක වලව්වෙ මහත්තෙයගෙ කාමරේ දොර ගාව තියල, “ඔය දොරට ගහපිය.” කියල යනව යන්ඩ. දොරට තට්ටු කරන්ඩ අකමැති කමට රොමා වරක් දෙකක් කහිනව. එතකොට වලව්වෙ මහත්තෙය කියනව ඇතුළට වරෙං.” කියල.

ඒ වගේ අටම අර මනුස්සය උගුර පාදනව ඇහිච්ච ආරච්චි මහත්තෙය කවි පදේකුත් කියාගෙන එළියට එන්ඩ ආවලු.

කන දෑ අඳින දෑ...” කියාගෙන.

අර මනුස්සයත් ගත් කටටම කිව්වලු,

බොන දෑ විතර හොඳ දෑ...?” කියල.

ඒ ගමන ආරච්චි ඇහුවලු, (තාම එළියට ඇවිත් නෑ.)

කවුද ඒ උන්දෑ...?” කියල.

එතකොට අරූ කියනවලු,

මොකද, හිරයක් දෙන්ටවත් දෑ?” කියල.

ඕං එතකොට තමයි ආරච්චි මහත්තෙය එළියට ආවෙ. ඇවිත් අරූ දිහා බලල ඇහුවලු කවියෙම්ම,
දෙන්නගෙ කවි සංවාදෙ කෙලිම්ම දානව මගෙ විස්තර නැතුව. ආරච්චි මහත්තෙය රතු පාටයි, අනික් මනුස්සය නිල් පාටයි. (ඒ පාට සංකල්පය උපුට ගත්තෙ සුරං‍ගගෙං)

තා කොයිබ මිනිසා?”
නායිමන නම් පියසා
ආවේ මක් නිසා?”
ආමි සමිඳුන් දකිනු පිණිසා...”

මේ කතාවෙං මට තව කතාවක් මතක් උනා බරණ ගණිතය ගැන. ගොඩක් අය මේක නං අහල ඇති.

දවසක් බරණ ගණිතය ගිහිං ඔය වගේ මුලාදෑණියෙක් හම්බ වෙන්ඩ. ඒ යනකොට මුලාදෑණිය යාළුවො ටිකක් එක්ක මිදුලෙ මේසයක් තියාගෙන, රා කළගෙඩියක් හිස් කරනව. ඒ අය කිව්වලු, බරණ ගණිතය කවියට ප්‍රසිද්ධ හින්දා, “අපි ගැනත් කයියක් කියහංකියල. උන්දැ ගත් කටටම, නැකැත් සාස්තරෙත් අල්ලල කිව්වලු මේ කවිය.

පෙර රැස නගා පළහා අන්තිම රාසී
නොමරැස සිටි ගහන් දස එක්වන රාසී
යුග රැස වන් දනෝ එකතුව කර පෑසී
පහ රැස ලෙසින් සතුටින් බස් දෙති වාසී

මේ කවිය රාශි චක්‍රය යොදාගෙන කියල තියෙන්නෙ. තේරුම කියන්ඩ පුළුවං හපනෙකුට මං දෙනව මේ රටේ හොයාගන්ඩ නැති දෙයක්.

තව පාරක් ඔය බරණ ගණිතය ගමනක් යද්දි හවස් වෙලා, අම්මන කියන ගමේදි. එදා රෑට නවතින්ඩ ගියාලු පන්සලට. පන්සලේ හාමුදුරුවො එයාට කාමරයක් දුන්නලු. ඒ කාමරේ තිබ්බෙ මේසයක් විතරයි. හාමුදුරුවො ගණිතයට තරයේම කිව්වලු වේලාසන දොර ජනෙල් වහගෙන නිදාගන්ඩ කියල. ඒ කියපු විදිහටම උන්දැත් දොර ජනෙල් වහගෙන මේසෙ උඩට නැගල නිදාගත්තලු.

වේලාසන නිදාගෙන පුරුදු නැති හින්ද ගණිතයට නින්ද ගිහිං නෑ. ඉතිං ඕනෙ එකක් කියල, නැගිටල ජනේලෙ ඇරල බැලුවහම හරිම කෞතුක සිදුවීමක් තමයි දකින්ඩ ලැබිල තියෙන්නෙ.

ඉතිං ඒක මතක තියාගෙන ඉඳලා, පහුවදා යන ගමං කඩමණ්ඩියෙදි මෙන්න මේ කවිය කියාගෙන ගියාලු.

බක්මස මුදුනේ සයනය කරලා මඳක් නැගිට බැලු කල ඉවතා
නවම් මසක් සුරතින් අරගෙන සකි බිනරක් එනවා දැක දෙනෙතා
වෙසක් මසට සරි එකෙක් ඇවිල්ලා බිනරේ අල්ලාගෙන දුවතා
අසන්න මහතුනි අම්මන ගමදී පොසොන් මසක් සිදුවී කියතා

මේ කවිය කලිං එකටත් වඩා ඇඩ්වාන්ස්ඩ්.

කවි ගැන කියනකොට... මට මතකයි කලිං ඉස්කෝළෙ මහත්තුරු ගැන පෝස්ටුවෙ කෙනෙක් කමෙන්ට් එකක් දාල තිබ්බ අර ඒ දණ්ඩකිං හතර දෙනෙක් එ‍ගොඩ වෙච්ච කවිය. අපේ තාත්ත තමයි මට ඔය කවිය ඉස්සෙල්ලම කියා දුන්නෙ. මෙහෙමයි ඒ කතාව:

දවසක් යාළුවො හතර දෙනෙක් ගමනක් යනවලු. එයිං එක යාළුවෙක් කකුලක් කොර ඇන ඇන තමයි යන්නෙ. මගදි ඒ දණ්ඩක් තිබිල. අර හතර දෙනා එකා පස්සෙ එකා එගොඩ වෙද්දි අර කකුලක ආබාධයක් තිබ්බ හාදෙය ඒ දණ්ඩෙං ගඟට වැටිල. ඒ ගමන අනික් තුං දෙනා කොහොම හරි මෙයාව ආපහු ගොඩට අරං ආපහු ගමන පටං ගත්තලු.

ඔහොම යන ගමං එකෙක් පටං ගත්තලු කවියක් කියන්ඩ.

ඒ දණ්ඩෙං කොටා...”

තව එකෙක් කියනවලු,

යන කලටා...”

තුං වෙනියත් පදෙයක් සම්පූර්ණ කළාලු,

වැටුණි ගඟටා...”

අර ආබාධිතයට එකපාරටම කියවුනාලු,

හුටා...” කියල.

අපේ තාත්ත මං පොඩිකාලෙ කියපු තව එකක් අමතක වෙන්ඩ කලිං මෙතනම දානව.

ඔන්න ගමක හිටියලු පොරක්. එයා හෙණ සංස්කෘත පාලි පණ්ඩිතය කියල පෙන්නගෙන හිටපු කෙනෙක්ලු ඉතිං. එයාගෙ රංගනය ට ගමේ හැමෝම යන යන තැන එයාට ප්‍රමුඛත්වය දුන්න.

ඒ වගේ පණ්ඩිතයෙක් තමයි අපේ ගමේ අපි පොඩි කාලෙ හිටිය සාන්ති මාම. නිකටෙ තිබ්බ තඩි ලපයක් නිසා ගමේ උදවිය පොරට ලප සාන්ති කියන්නෙ. අපේ බාප්ප පොර ගෙ නමට තේරවිල්ලක් හදල තිබ්බ. “ඉන්දිරා ගාන්ධිගෙ මැරිච්ච පුතා” (ඒකාලෙ රජීව් ගාන්ධි තමයි ඉන්දියාවෙ අගමැති) තේරවිල්ල විසඳන්නෙ මෙහෙමයි. ඉන්දිරා ගාන්ධිගෙ මැරිච්ච පුතා - සන්ජේ ගාන්ධි. සාන්ජේ ගාන්ධි - අනිප්පැත්ත ගැහුවම ගංජ සාන්ති. තාත්ත දවසක් කියනව, සාන්ති මාම පණ්ඩිත විශාරද පලප්ප සේන කියන ගෞරව නාමය ලබා ගත්ත කෙනෙක් ලු. එහෙම කියල මේ කතාව කිව්ව.

දවසක් සාන්ති මාමගෙ අම්ම, එයාට කවුරුත් කිව්වෙ අයියම්ම. (අර ගෝවින්දයි කරිෂ්මයි උන්න ෆිල්ම් එකක තිබ්බ ඔය  අයියම්මගෙ නම ඇතුළත් සිංදුවක්. “අයියම්මා අයියම්මා - ක්‍යා කර්තාහේකියල.) අයියම්ම දවසක් සාන්ති මාමට බණිනව කටකමිසිරියාවක් නැතුව. සාන්ති මාම එයාට ඉංග්‍රීසියෙං දෙකයි කිව්වෙ, කට වැහුණ.

ෂටප් !”
ගෙටවුට්!”

ඔතන හිටිය කෙනෙක් සාන්ති මාමගෙං ඇහුවලු මොකද්ද ඒ කිව්වෙ කියල. සාන්ති මාම කිව්වලු,

ෂටප් කියන්නෙ කටවහපං - ගෙටවුට් කියන්නෙ ගෙට පළෙයං

ඔන්න ඉතිං අර කලිං පටං ගත්තු සංස්කෘත පණ්ඩිතයගෙ කතාව. පොර හැමදාම හවසට නාල කරල, තේ එකක් කාරිය බීල, ගමේ එක තැනක තිබුණ ගහක් යටට ගිහිං එතන තිබ්බ ආසනයක් උඩ වාඩිවෙලා සැඳෑ සුවය විඳිමිං අළස කල්පනාවක ගිළී ඉන්න පුරුදු වෙලා හිටියලු.

දවසක් එයා එතනට යනකොට, අඳුනන්නැති ටිකක් උස මහත පොරක් එයාගෙ ආසනේ වාඩිවෙලා බොහොම සැපපහසුවට හරි බරි ගැහිල ඉන්නවලු. පණ්ඩිතයට ටිකක් බයත් හිතුනලු. ඉතිං පොර කිව්වලු මේ ශ්ලෝකය...

රුක්ඛමූලේ මහා හබ්භා - ඌ කෙරේ මා භය කෙරේ
ඌ මේකට සාධු කිව්වොත් - ඌට නං මං භය නොවේ
(මේක ලිව්වෙ තාත්ත කියපු විදිහ මට මතක තිබ්බ හැටියටයි)

ඕක ඇහිච්ච ගමං අර උසමහත පොර නැගිටල සාධුකාර‍යක් දුන්නලු. ඒ ගමන අරූ ගිහිං උගෙ බෙල්ලෙං අල්ලල තල්ලු කරල ආසනේ ඉඳ ගත්තලු.                                                                                                                                                                                                                                           
පරණ සමාජයෙ තිබුණ එක ලක්ෂණයක් තමයි, කතාවකට කවියක් එකතු කරන එක. ඒක ඔය කුඹුරෙ, කමතෙ, අත්තම් වලදි කෑම කන වෙලාවෙ විවේක ගන්න හදාගත්ත රසවත් ක්‍රමයක් කියල හිතෙනව. ඔව්වට තමා කයි කතන්දරකියල කියන්නෙ. බොරළැස්ගමුවෙ ජී. එච්. පෙරේරා පොතකුත් ලියල තියෙනව ඔය කයි කතන්දර සෑහෙන ප්‍රමාණයක් එකතු කරල. ඒකෙ නමත් කයිකතන්දර මයි.

ඒ වගේ කයිකතන්දරයක් මට මතකයි එක පොතක හරි පත්තරේක හරි තිබිල කියෙව්ව,

ගමක හිටියලු කැවුං බදින්ඩ දක්ෂ ගෑණු කෙනෙක්. එයා හැබැයි ඊට වඩා දක්ෂයිලු හොරා කන්ඩ. ඉතිං ගෙදර කට්ටිය කරපු දේ, කැවුං බදින්ඩ ගෙනා පැණි මුට්ටියෙ ඉතුරු ටික ඇඳ යට හැංගුවලු මෙයා කයි කියල. මෙයා කැවුං බැද බැද ඉද්දි ගෙදර කට්ටිය පොඩ්ඩක් එහා මෙහා වෙනකං ඉඳල, මේ ගෑණු කෙනා ඇඳ යටට අත දාල, මුට්ටියක් හොයාගෙන, ඒකට අත දාල දෙපාරක්ම අරං කටේ දාගත්තලු. ගෙදර හාමිනේ එනකොට ඉන්නවලු, යකා මූණෙ දැලිගාගත්ත වගේ කට වටේට කලුපාට ගාගෙන.

වෙලා තියෙන්නෙ, ඇඳ යට තාර මුට්ටියකුත් තිබිල. හෙර ට මුට්ටි දෙක පැටලිලා, කාල තියෙන්නෙ තාර. ඒකට හදපු කවිය තමයි,

රට රට වල හොරකම් කර අත නෑර
පටළවමින් දෙවිටක් කාපිය තාර
තිට වැහුණද මහසෝනගෙ අවතාර
මොට කෑවද පර වේසියෙ කලු තාර

කලිං හුටා කවිය වගේ කීප දෙනෙක් එකතු වෙලා හදපු තව කවියක් තමා අර ආප්ප කන්ඩ ගිය හතර දෙනාගෙ කවිය. කවිය විතරක් මෙතන දැම්මත් ඇති කියල හිතෙනව. මේ කවියත් එක්කෙනෙක් එක පදේ ගානෙ දාල හදපු කවියක්.

ආප්ප ගොඩක් මේසය මත තියෙන්නා
පැණි ටිකකුත් ‍ඒ අසළම තියෙන්නා
මැස්සො රැළක් ඒ වට කරකැවෙන්නා
ගොං තිදෙනෙක් ඒකට කවි කියන්නා

ඇයි තව දවසක් තල මලක් බලන්ඩ ගියපු යාළුවො දෙන්නෙකුත් කවියක් හැදුවලු ඔය වගේ, හැමෝම තල මල් ගැන කවි හදන එකේ අපි දෙන්නත් එකක් හදමු කියල. කොහොම හරි මහන්සි වෙලා පද දෙකක් ගැටගහගත්තලු.

එගොඩ ගොඩේ තල මලකුත් පිපිජ්ජා
මෙගොඩ ගොඩේ තල මලකුත් පිපිජ්ජා

ඊළඟ පද දෙක හදාගන්ඩ දෙන්නත් එක්ක කොච්චර මහන්සි උනත් බැරි වුනාලු. ඒ ගමන ප්‍රසිද්ධ කවියෙක් හොයාගෙන ගියාලු ඉතුරු පද දෙක පුරවගන්ඩ.

කවියා ඇහුවලු දෙන්නගෙ නම් දෙක. එකෙක් කල්ලු අජ්ජා, අනික පිල්ලු අජ්ජා. ඒ ගමන කවියා ඉතුරු පද දෙක ලේසියෙන්ම පිරෙව්වලු:

එක පදයක් කිව්වේ කල්ලු අජ්ජා
අනික් පදේ කිව්වේ පිල්ලු අජ්ජා
කියල.


ඉස්කෝලෙ මහත්තුරුංගෙ කතා කියල ඉවර කරන්ඩ බැරි වෙයි වගේ මේ යන විදිහට. ඉතුරු ටික ඊළඟ කොටසින් දාන්නං...

වැඩිපුර බලපු ලිපි