''expr:dir='data:blog.languageDirection' xmlns='http://www.w3.org/1999/xhtml' xmlns:b='http://www.google.com/2005/gml/b' xmlns:data='http://www.google.com/2005/gml/data' xmlns:expr='http://www.google.com/2005/gml/expr' ඩ්‍රැකීගේ අඩවිය: February 2016

Thursday, February 25, 2016

සාගරයක් මැද - අමන රටක් ඇත... (සිසිර කුමාර මානික්ක ආරච්චිගේ තවත් පොතක්)

මෙන්න ආයෙමත් සිසිර කුමාර මානික්ක ආරච්චි‍ ගෙ පොතක් ඉදිරිපත් කරනවා.

මේ පොතේ නොයෙකුත් පරිච්ඡේද අතරින් මම මෙතන ඉදිරිපත් කරන්නෙ "ලෝකෙන් උතුම් රටේ කැතකම්" කියන පරිච්ඡේදයයි. මෙයිට වඩා හොඳ කියමන් අනික් පර්ච්ඡේද වල දැකගන්නට මේ පොත බාගත කරගන්නා හුදී ජනයාට පුළුවන් වනවා ඇත. විශේෂයෙන්ම දෙවි දේවතාවුන් අදහන බහුද්දයන්ට රෙද්ද පල්ලෙන් යන්නට බැට දී ඇති මුල් පරිච්ඡේදය විශේෂ ය. ඉන් පස්සේ "කැතම සතා" වන ධනේශ්වර සමාජවාදී දේශපාලුවා ගැන ලියා ඇති කොටස නොම්බර එක ය.

මේ පොත අපේ තාත්තා මිළදී ගත් රිසිට් එක මෙන්න මුලිම්ම.



මෙන්න එහෙනං ‍ලෝකෙං උතුං රටේ කැතකං...
































මේ පොත ඕනෑම කෙනෙකුට මෙතනින් බාගන්න හැකියාව ඇත.

-----------------------------

මේ කියන්නට යන්නේ එක් අතුරු කතාවකි. මේ කතාව කියන කල් කට කහන බැවින් ද,  මේ කතාව එක් පෝස්ට් එකක් වශයෙන් පළකරන්නට බැරි හෙයින්ද මෙතන ඔබා දක්වන බව සළකන්ට ය.

රැවුල් කොට සහිත හුරතල් මූණක් ඇති, මහත්තයෙක් දවසක්දා මාටිං මාමාගේ ගෙට ගොඩවිය.

“අපි සාලෙ බලමු...“ මහත්තයා මාටිං මාමාට කීවේය.

“ඒ මොකටද? කොහෙං ආපු ගොබිලෙක්ද ඕයි තමුසෙ අපේ මේ සාලෙ බලන්ට...? “

“මං අඳුනන් නැද්ද මාමෙ?“ හුරතල් මූණා මහතා ඇහුවේය. “මං අහවල් දිසාසේකර. අර ටෙලි නාට්ටිය වල එහෙම ඉන්නෙ. මං මේ පොඩි ගතමනාවක් උපයගන්ඩ ගෙවල් වලට ගිහිං ඒ ගෙවල් වල එක එක කොටස් වලට ලකුණු දෙනවා...“

“ආං එහෙම කියන්ඩ.“ මාටිං මාමා (ට) එ්කත් පස් විය. “එතකොට ඔය ලකුණු වලිං අපිට මොකද්ද ලැබෙන්නෙ?“

“ඒක මාමෙ, මේං මේ නොම්බරේට කතා කරල අහගන්ඩ“ හුරතල් මූණා වැසිකිලියක් මුද්‍රණය කර තිබූ කාඩ් එකක් දුන්නේය. “දැං බලමු සාලෙ...“

මාමා හුරතල් මූණා සාලෙට එක්කරං ගියේ ය. හුරතල් මූණා සාලෙ කනප්පුව උඩිං ලොකුවට දහයෙ ඉළක්කමක් ලියා තිබුණු කාඩ් එකක් හිටෙව්වේය.

“දැං බලමු කුස්සිය...“ මාටිං මාමා ඒකටත් අර මහත්තෙයාව එක්කරං ගියේය. කුස්සියෙ හිරමනේ උඩත් අර විදිහෙම දහයෙ කාඩ් එකක් තියවුනේ ය.

“දැං යං වැසිකිළියට...“

“මොන කිළීයට?“ මාටිං මාමා ඔළුව කසමින් අැහුවේය.

“අර කක්ක දාන තැන...“ හුරතල් මූණා හුරතලේට කීවේය.

“ආ... එහෙම කියන්ඩෙපැයි. මෙච්චර වෙලා කතා කර කර උන්නෙ. ඕක කලිම්ම කිව්වනං ඉවරයි නෙව.“ මාටිං මාමා හුරතල් මූණා මහතා පිළිකන්නට එක්කරං ගියේය.

“ආං අර පේනව නේද...“ මාටිං මාමා අත දික්කර පෙන්වීය. “ආං අර හරියෙං ලන්දට මුවාවෙලා පාත් වෙන්ඩ මහත්තයො. පොඩි ළමයෝ.... පොඩි ළමයෝ... මේ මහත්තෙයට වතුර බාල්දියක් ලන්දට ගිහිං දීපිය...“

Wednesday, February 17, 2016

කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ කතා මාලාව - අංක 1 - පුදුම සතා

කැකිල්ලේ රජ, මහදැනමුත්තා, ගමරාළලාගේ කතා ආදිය අපේ ඓතිහාසික රජවරුන් සමච්ඡලයට ලක් කිරීම, කුඩා දරුවන්ගේ සිත් වලට කාවැද්දීම සඳහා මිෂනාරී පාසල් වලදී ගෙතූ කතා වන්නට පුළුවන් ය. එහෙයින් කියවීම සහ තමංගේ ළමයින්ට කියාදීම ඉතා ප්‍රවේසමෙන් කළ යුත්තකි.

කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කතා ඇතුළත් ළමා පොතක් මට උරුම උනේ අපේ අම්මාගේ අම්මාගෙනි. එයින් මගේ හිතට තදින්ම ඇල්ලූ කතාව මුලිම්ම පළකරන්නට අදහස් කරමි.

එක්තරා කාලයක, එක්තරා රටක කැකිල්ලේ රජ නම් රජකෙනෙක් සිටියා. කැකිල්ල කියන්නේ පඹ වැල් මෙන් ගාලට හැදෙන ගණ සැර වැල් ජාතියක් යැයි ඉහත පොතේම සඳහන් වෙනවා. ඒ කැකිල්ල ගාලක පැටළුන කෙනෙකුට ලේසියෙන් ගැලවෙන්නට බැරිය. තව තවත් පැටළි පැටළී අවුල් ජාලාව මැදටම යන්නට සිද්ධ වන්නේය. ඒ නිසා, මෝඩකම් පිට මෝඩකම් කරමින් සියල්ල අවුල් කරගන්නා රජාට කැකිල්ළේ රජු කියා නම් කර ඇති බව තිබුණේ ද ඒ පොතේම ය.

හොඳයි ඔන්න එහෙනං කතාව.

http://www.strangepersons.com/images/content/163066.JPG

දවසක්  කුණාටුවකට අහුවුන වෙළෙඳ නැවක් මේ රටට සේන්දු වුනා. ඔය නැවේ හිටපු ඔටුවෙක් කොහොමින් හරි ගොඩබිමට ඇවිත්, බල්ලන්ට, මිනිස්සුන්ට, වන සත්තුන්ට බයේ රට මැදටම ආවා. මේ ඔටුවා දැකපු මිනිස්සු මේ මොන සතෙක්දැයි පුදුම වුනා. කොහොමින් කොහොමින් හරි මේ සතා ගැන රජවාසළටත් ආරංචි වුනා. ඉතිං රජ්ජුරුවොත් දෝළාවෙන් පිටත් වුනා මේ සතා බලන්ඩ.

රජතුමා යනකොට, සතා එක තැනක උලා කකා ඉන්නව. කොහොම සතෙක්ද කියල දන්නැති නිසා මිනිස්සු ඌව අල්ලන්ඩ ළං වෙන්ඩ බයයි. රජතුමා දෝළාවෙන් බැහැල, එතුමට හදල තිබුණ ආසනයක ඉඳගත්ත. එතනට ළං වුන මහඅධිකාරම රජතුමාගෙන් බොහෝම යටහත් පහත්ව ඉල්ලා සිටිය, “මේ සතා මොකෙද්දැයි කියල මේ අසරණ නුනුවණ මිනිස්සුන්ට තෝරා දෙන්ඩ“ ය කියල.

රජතුමා අර සතා දිහා හොඳට බැලුවා. බලල එකපාරටම රජතුමාට කඳුළු ආව ඇස් දෙකට. එයිට ටික වෙලාවකට පස්සෙ රජතුමා හොඳටම හිනා වෙන්න පටං ගත්තා.

දැන් නං මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නෙ මේ සතු මොකාද කියන එක නෙවේ. රජතුමා ඇඬුවෙ ඇයි, ඊට පස්සෙ හිනා වුනේ ඇයි කියන එක තමා ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ ය. ඉතිං එක එකා කසු කුසු ගගා, පරණ සමාජයෙ ධූරාවලියෙ අනුපිළිවෙලට ප්‍රශ්නෙ ඇවිත් මහ අධිකාරම ළඟටම ආවා ය. මහාධිකාරමත් රජ්ජුරුවන්ට ළං වෙලා, රජතුමාගෙන් බොහොම යටහත් පහත්ව කිව්වා, “මේ සතා මොකෙද්දැයි අපට පසුව කියා දෙනු මැනවි. ඊට කලින් ඔබතුමා ඇඬුවේ ඇයිද, හිනාවුනේ ඇයිද කියන කාරණේ මේ අසරණ මිනිස්සුන්ට කියා දෙන්ඩ“ ය කියලා.

“බොලව්...“ රජතුමා උත්තර දෙන්ඩ පටං ගත්තා. “අනේ තොපි වගේ ගොං රැළක්. තොපි මොකෙක් හරි සතෙක් දැක්කහම ඒකත් තෝරල දෙන්ටය කිය කියා මා ගාවටමයි එන්නෙ. මං නැති කාලෙක තොපිට පිහිට වෙන්ඩ ඉන්නෙ කවුද කියලා මට තොපි ගැන බොහොම දුකයි. ඒකයි මට කඳුළු ආවෙ.“

“එතකොට හිනාවුනේ?“ මහාධිකාරම ආයෙමත් පාත් වෙලා පහත් හඬින් ඇහුවා.

“තොපිට තියා මටවත් මේ සතා අඳුරගන්ඩ බෑ බොලව්. මාත් උපන්තේකට මෙහෙම සතෙක් දැකල නෑ. ඒක මතක් වෙලා පස්සෙ මටම හිනා ගියා“ කැකිල්ලෙ රජතුමා මහ හයියෙං හිනාවෙලා, කියල දැම්මා.

ප/ලි
ඊට පස්සෙ රජා ඔටුවටයි මහ අධිකාරමටයි මඩුවලිගෙං ගහන්ඩ නියම කළා ද කියා ඒ පොතේ තිබුනෙ නැත.

මීට කලිං ලියන ලද ජන කථා මෙන්න.


Monday, February 8, 2016

ලබ්බෙ මගුල

මේ වගන්තිය බාගදා මට මේ පෝස්ටුව අන්තිමට කියා දක්වන්නට බැරි වෙන්නට පුළුවන. එහෙයින්, මුලිම්ම:

මේ පෝස්ටුවේ කියවෙන වෙඩිමේ බැඳපු දෙදෙනාට සුභ මගුලක් වේවා!
කිරි පැණි සේ එකට වාසය කරන්නට හැකි වේවා!!
සාලිය - අශෝකමාලා, රෝමියෝ - ජුලියට්, ඩ්‍රැකියා - ඩ්‍රැකියානි වාගේ ඉතිහාසගත ප්‍රේමයකින් දිවි ගෙවන්නට හැකිවේවා!!!

කියා ප්‍රාර්ථනා කරන්නේ හදවතිම්මය...

එකෝමත් එක දවසක මට නොදන්නා නම්බරේකිං කෝල් එකක් ආවේය. ඒ ආවේ මේ සම්මජ්ජාතියෙ මං අහලා නැති විදිහේ පණිවිඩයක්ය. බ්ලොග් ලෝකයේ පණ දෙන්ට ඉන්නා මිත්තරයන් කිසිම කෙනෙක් මේ දක්වා, තමුං  දැකලා අහලා නැති අන්තර්ජංජාල යාළුවන්ට වෙඩිං කියන රටක් මං අහලා තිබ්බේ නැත. ඒත් මේ ආව පණිවුඩෙං කියැවුනේ අපේ ආදරබර ගස්ලබ්බ ලියන අකලංකලංකලං කොළු ගැටයා යුවතිපතියෙක් වන්නට යන බවය.

ඒකත් හොඳ ප්‍රවණතාවයකි. මං කිව්වේ කොල්ලන් බඳින එක ගැන නෙවේය. බ්ලොග් ලියන එකෙක් බඳිනකොට අනික් බ්ලොග් ලියන උන්ට ආරාධනා කරන එකය. ගස්ලබු ගැටයා කියන හැටියත්, ඒක හරියට ගෙට්ටුගෙදර් එකක් වාගේ එකක් වන්නට ඉඩ ඇති නිසාය.

ඉතිං ලබ්බා කතා කරපු වෙලාවේ සිට තොරතෝංචියක් නැතුව මට කෝල් දිදී, තමංගෙ මුළු සේසතම මොබිටෙල් කොම්පැනියට වියදං කරපු මනෝමන්දිරයා වෙඩිමට යන උං පෙළගස්සවන්නට ඇප කැපවී උනන්දු වී වැඩ කළේය. උගේ උනන්දුව නිසාම අපේ ගමනට මාත්, මනෝමන්දිරයාත්, අටමාත්, කසුනාත් යන බරපතළ නඩය එකතු උනේය.

ගස්ලබ්බාට බදාදා දිනයක වෙඩිං කොරන්නට නැකැත් හදාදුන් ජ්‍යෝතීර්වේදියාණන් වෙත, රජයේ සේවකයන්ට බදාදා දින හෙවත් මහජන දිනයේ නිවාඩු දාන්නට බැරි බවට නිකුත් කර ඇති චක්‍රලේඛය ලැ‍බී නැතුවාට කිසි සැකයක් නැත. මා වෙනුවට වැඩ ආවරණය කරන්නට හිටි එකාටත්, එදාටම උසාවි යන්නට සිද්ධ වී තිබුණේ "බීමත්ව අන්තරායදායක ලෙස රියපැදවීම" ගැන වග උත්තර බඳින්නටය. එහෙයින් යන්ටම බැරි තත්ත්වයක් උදාවී තිබුණත්, මං බෙල්ල කඩාගෙන හරි එද් උදේ රැයින් බස්එකේ නැගගෙන ගනේමුල්ල ධූමරථපොළට ළඟාවුනෙමිය.

එතන ඉඳං සීසන් එක ගන්ට පෝළිමේ ඉන්නා විට බොහොම අහිංසක සුනීත විනීත ස්වරයකින් එනවුන්ස් කෙරුනේ ඇ‍ඟේ මයිල් ඉස්මයිල් වෙන වගවාසගමකි.

"කරුකාරුමික දෝෂයක් හේතුවෙන් අද දින සියළුම දුම්රියන් නියමිත වේලාවටම ධාවනය වන බව මඟීන් කරුණාවෙන් සළකන්න..."

ඉතිං බඩු සුවර් නිසා කෝකටත් මං නැගගත්ත ‍කෝච්චියෙන් ගොහිං රාගම ස්ටේෂමෙන් බැසගත්තෙමිය. ඉන් පසු මං මනොවාට කෝල් කළෙමිය. ආකාස කසුන් කොටුවෙං දුම්රියට නඟින බැවින් ඌට උදව් වීමට මනොවා බස් එකේ නැඟී, (සතියේ දවසක - කාර්යාල වෙලාව තුළ - කඩවත සිට කොටුවට - බස් එකෙන්) කොටුව යන ගමන් යැයි දැනගන්නට ලැබුණේය. පස්සේ ඒ ගමනේ ආදීනව දැනී, ඌ බස් එකෙන් බැස ආපහු යන බස් එහෙකට නැගී පොල්ගහවෙල බලා යන බවද ඊට පැයකට විතර පසු  මනොවා ම අප්ඩේට් කළේ ය. පරංගියා කෝට්ටේ රජවාසල ට එක්කරගෙන ගියේ ද මනොවාගේම පරම්පරාවේ කිරි අත්තෙක් ලු ය.

මං රාගම සිට අටමාට කතා කරන විට ඌ ඇ‍ඳෙං නැගිට්ටවන්නට අටමී ගහපු වතුර බාල්දියේ සද්දයද ටැලිපෝනයෙන් ඇහුනේය.

කොහොමින් හරි නැගගන්නට බැරි වෙතැයි, මනොවා අම්බානක බයෙන් සිටි ආකාස කසුවා, කෝච්චියද හොයාගෙන, නැගගෙන, උන්දෑ නැගගත් පෙට්ටිය මොකද්දැයි මට ද ටැලිපෝනයෙන් දැනුවත් කළේය. ඒ කෝච්චිය රාගමට එන්නට විනාඩි විස්සකට විතර කලිං අටමා ද රාගමට ආවේ ය.

අපි ඒ පරිදි පොල්ගහවෙල ස්ටේසමට සැටමෝල් උනෙමුය. කැමා ද එතනට ඇවිත් හිටියේය. ඊටපසු අපට තිබුණේ එතනිං මල්පිටිය හංදියට ගොහිං විචාරක මාමාට කෝල් එකක් දීම පමණිය.

මල්පිටිය හංදියට යන තුරු කැමාගෙන් බේරිමක් නැත. ඒ වෙඩිමෙං පසු උන්ගේ ගම බලාගෙන එන්නට යන්න අපට ආරාධනා කරන නිසාය. කැමා කියන විදිහට, පැය දෙකෙන් දෙකට තියෙනා තට්ටු ලොරියක හෝ බක්කි කරත්තයක නැගී හැතැම්ම බාගයක් ගිය තැන ඇති වැලක එල්ලී පැද්දී ගොහිං සංගිලි පාළමකින්ද එගොඩ වී කන්දක් නැග්ග පසු උන්ගේ ගමට ළඟා විය හැක. උන්ගේ මිදුලේ ඇති පුවක් ගහේ කරටියට නැගගත්තොත්, පුවක් වලු අස්සෙන් මුළු වයඹ පළාතම බලා ගත හැක ලු ය.

මල්පිටිය හංදියට ගිහිං විචා මාමාට කෝල් කර පැයක් යන්නට මත්තෙන්, T55 යුද්ධ ටැංකියක් පිඹගෙන ආවේය. එයිං එළීයට ඔලුව දැමු විචා මාමා "නැගපල්ලා වියකල් එක පාරෙ නතර කරං ඉන්න අමාරුයි" කිව්වේය.

රජයේ උසස් නිලතල දරණ උදවියට, පැන්ෂන් යන විට තමන් පාවිච්චි කළ වාහනය සුළු ගාණක් ගෙවා ගෙදර ගෙනයා හැකිය. විචා මාමා යුද්ධ ටැංකිය අරං ඇත්තේ එහෙමය. ඒ විදිහටම මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩකළ උන්දැගේ මස්සිනෙක් ගල් රෝලක් ගෙදර ගෙනිහිං තිබුණේය.

"අපරාදෙ ගල්රෝලක් ගෙනිච්චෙ" කතාව කියමින් විචා මාමා අපට කීවේය. "බැකෝ එකක් ගෙනිච්චනං කුළීයට දෙන්න තිබ්බ. අන්තිමේ අපේ මහගෙදර වත්තෙ තිබ්බ, උල්කාපාතයක් වැටිල හැදිච්ච වළක් වහන්න අර ගල්රෝල ඒ වලට දැම්ම..."

කතා කරමින්ම විචා මාමා මල්පිටිය හන්දියෙන් මහපාරට යුද්ධ ටැංකිය දමා ගයනුකිත්තානුසාරී හැරවුමක් කළේය. (ඒකට යූ ටර්න් එකක් යැයි කියන්නට බැරිය)

අපි වෙඩිං හෝල් එකට එන අතර මග වෙන වෙන සිද්ධී සිද්ධ වුනේ නැත. උනත් ඒ ගැන කියන්නට ගොහිං මේ පෝස්ටුව දික් කරගන්නට බැරිය.

ලබ්බා ඉතා අසරණ ආකාරයෙනුත්, අභීනව ලබුපතිනිය ජයග්‍රාහී ආකාරයෙනුත් ඉන්නා හැටි අපට සැලියුට් හෝල් එකට ආ විට දැකගන්නට හැකි විය. ඒ හෝල් එක තිබුණේ දැවැන්ත ‍ පොල් වත්තක් ඇතුලේය. ඒක කොච්චර දැවැන්තද කියතොත්, සිරිමාවෝ ගේ රජයෙන් වතු ජනසතු කරද්දී ඒ වත්ත බේරාගෙන තියෙ‍න්නේ වත්තේ අයිතිකාරයා අල්මාරිය දාලා අස්සේ හංගගෙනය. ඒ හෝල් එකේ පැත්තකින් වැවක් තිබුණේය. ඒකේ රැල්ලත් ගහනවාය. වැව පුරා නෙළුං පිපී තිබුණ අතර, ඒ නෙළුං නෙලන ගැටිස්සියන් දහ දෙනෙක් විතර ඔරු වල නැ‍ගී නෙලුං කවි කියමින් සිටියෝය. ගස්ලබ්බාට දෑවැද්දට ලැබෙන අලි දෙන්නා ඒ ගෝල් එකේ කණු දෙහෙක ගැට ගසා සිටියෝය.

අපි හත් අට දෙනා (මම, අටං, ආකාස කසුන්, මනෝ, කැමා සහ විචා) ඒ වැව අයිනේ තිබුන කොටසේ ඈඳිගත්තෙමු. එහෙයින් අපට වෙඩිං කේක් වෙනුවට දුන් දැවැන්ත චොකලට් එකත්, කරපු වල්කම් වෙනුවෙන් දෙන වෙල්කම් ඩ්‍රින්ක් එකත් මගෑරුනේය. ඒ උනාට ටිකකිං පීප්ප හතරක් පෙරලාගෙන පෙරලාගෙන ආව වේටර් ලා හතරදෙනෙක් අපිට වෙනම වෙල්කම් ඩ්‍රින්ක් එකක් දෙන්නට පටං ගත්තෝය. පීප්ප වල තිබුණේ කිතුල් රා, බ්‍රැන්ඩි, විස්කි සහ පොල් අරක්කු ය. බයිට් වලට සෙක්සි පෝක්, ගෝන මාලු, මුව මස්, කචල් ෆිෂ් ඩෙවල්, සහ බැදපු කකුළුවන් තිබුණේය.

මේ පිංතූරෙ මගෙ ෆෝන් එකෙං කැමා ගත්තට, මෙතන දැම්මෙ විචාරක මාම
 එයාගෙ බ්ලොග් එකේ පළ කරපු තැනිං උස්සලා බව කරුණාවෙන් සළකන්න ය
දෙවෙනි පාර අපි බාර් එක වෙත ගිහිං එන අතරෙ අටමාට බෝතලේක මූඩියක් පෑගුණේය. ඒ උනාට ඌ හෙන හොඳය. අටමා කසුන් ගේ සියලු වගකීම් කරට ගත් අතර, කන්නට බත්පතක් ද කොත ගසා බෙදා දී, ඉන්පසු ආපහු ගිහිං හැම ජාතියකම ඩෙසට් වලිං පීරිසියක් පුරෝගෙන විත් කසුවා ගාවින් තියා, ඊට ඇඟල්ලක් වත් ගැහුවොත් අපිට කරනා දේත් කීවේය. ඒ කියපු වචන, මේ වගේ තැනකවත් කියන්නට බැරි තරං සුනීත විනීතය. වෙන එකක් තියා අර වැවේ හිටපු ගැටිස්සියන්ට කසුනා වෙනුවට ටෝක් ද කළේ අටමා ම ය.

අන්තිමේ සියල්ල හමාර වී ලබු යුවළ පිටත් වුනු පසුව අපි හතර දෙනා (මම, කසුවා, අටං, මනෝ) පොතුහැර ඉස්ටේසම වෙත ගෙනත් දැම්මේ විචාමාමා තනියම ය. ඒ තරං උන්දැ හෙන ෆිට් ය. ගෝන මස් හා වල් ඌරු මස් හැර වෙන කිසිම දෙයක් නොකන වෙජිටේරියන් ය.

පොතුහැර හැර ඉන්නා විට රේල් බස් දෙකක් එකට ඈඳුන මොකද්දෝ එකක් ආවේය. ඒකට නැගගෙන ඉන්නා විට අටමා ෆුට්බෝඩ් එකට බැස කැමාට ගෙදරට කියන නම කියා කෑගැසුවේය.

"ඒයි මෝඩයා මෙහෙ වරෙං..."

ඉතිං කැමා ගෙත්, වෙන්ට කැමී ගෙත් රෙදි නැත. අටමගෙත් නැත. එ් උනාට ඌට වගේ වගක් නැත.

කැමාත්, වෙන්ට කැමීත් දුවගෙන ඇවිත් අපි හිටපු බස් එකටම නැග්ගෝය. වෙන්ට කැමී ට ඇහෙන්නට අටමා, මගේ බෙල්ල මිරිකා තර්ජනය කර, ලස්සන වගන්තියක් කියවා ගත්තේය.

"මේ වගේ අහිංසක, හුරතල්, සුකුමාල, සුවිනීත, සාන්ත දාන්ත, කෙල්ලෙක් - මේ වගේ ගටිකන මූණක් ඇති, මල් පොන්නයෙකුට ගැළපෙන් නෑ"

ඉතිං අපි හැමෝගෙම රෙදි නැත. කැමාට පොන්නයෙක් කිව්වත් කමක් නැත. ඒකට එකතු කරපු මල් මල් විශේෂණය තමා ය හරි නැත්තේ.

අටමාගේ අදහස නම්, නර්ස් කෙනෙක් කවදාවත් හරි හමං මිනිහෙක් බඳින්නේ නැති බවය. ඌ ඊට උදාහරණ විදිහට දක්වපු නම් ලැයිස්තුව මෙතන කිව්වොත් මට අනිවා, ගෙට්ටුවකදී බඩ කට පුරා කන්නට ලැබෙනවා සහතික ය.

පොල්ගහවෙලිං අපි හරිහමං කෝච්චියකට නැග්ගෙමු ය.  එතෙන්දී අටමා දුවගෙන ගොහිං වතුර බෝතලයක් අරං ආවේය. ඒකත් අපි හතර දෙනා උගුරු දෙක දෙක බීවාට පසු, ඉවර වුනේය. උගේ කරුමෙට ඌ ගිය කඩේ සිගරැට් තිබී නැත. ඉතිං ඌ හෙන අමාරුවෙං ඇඹරි ඇඹරී යන්තම් ගණේමුල්ලට ආවේය. ගනේමුල්ලෙං මං බහිද්දී ඌ මගේ බෙල්ල බදාගෙන තව පොඩ්ඩෙං තොත්තුවකුත් දී කඩේකට දුවගොස් සිගරැට් දෙකක් ගෙනත් දෙන ලෙස ඉල්ලුවේය.

මාත් ඉතිං ගමේ අවුරුදු උත්සවේ මීටර් සීය දුවනාකාරයෙන් දුවගෙන ගොහිං සිගරැට් දෙකක් අරං ආපහු හැරෙනකොට, කෝච්චිය අද්දලාය. එතනම ඉඳං අටමාට කෝල් කළ විට,

"දැං ඉතිං මොනව කරන්නද, උඹ ඕක ගෙදර ගෙනිහිං ඩ්‍රැකියානිගෙං ගුටි කාපන්" යැයි අටමා මට කීවේය.

මට හෙන දුකය. ඒ,

අටමා පොල්ගහවෙල ඉඳං ම සිගරැට්ටුවක් නැතුව දුකසේ ඇවිදිං, මගේ හෝම් ටවුමෙන් ඌට සිගරැට් අරං දෙන්න බැරි වීම නිසා නෙවේය.

අර සිගරැට් දෙක ගෙදර ගෙනිහිං ගුටි කන්නට වෙන නිසාත් නෙවේය.

එයිං බේරෙන්න ඒ සිගරැට් දෙක විසික්කා කරන්න වෙන නිසාත් නෙවේය.

ගනේමුල්ලෙං මං බහිද්දී අටමාගේ ලයිටරය ඉල්ලාගෙන බහින්න බැරිවීම නිසාය.

ඉතිං බස් එකේ ගෙදර යන ගමං බස් එකේ ජනේලෙං සිංගරැට් දෙක විසික් කරපු මං, ඒ විසික් කරපු තැන බස් එකේ ජනේලේ තීන්ත නියපොත්තෙං හූරා මාක් කළේ, පහුවදා වැඩට එන ගමං එතනිම්ම අහුල ගන්නට හිතාගෙන ය.