Tuesday, October 31, 2017

බෙදුම්වාදය - ඩ්‍රැකියාවෙලී විග්‍රහයක්



http://www.salem-news.com/stimg/april252014/tamil-elam-logo.jpg
එක ආණ්ඩුවක් ඇති රටක් ඇතුලත තවත් රජයක් ඇති කරගන්න හිතෙන්නෙ ඒ රජයෙන් තමන්ගෙ අයිතිවාසිකම් රැකලා දෙන්නෙ නැත්නම්, එහෙම නැත්තං තමංගෙ අවශ්‍යතා ඉෂ්ට කරගන්ඩ බැරිනං, එහෙමත් නැත්තං තමන්ගෙ දක්ෂතාවලට සාධාරණ අවස්ථා ලැබෙන්නැත්තං. එහෙම නැතුව රටකින් කෑල්ලක් කඩාගෙන තමංගෙම පාලනයක් ඇති කරගන්න මිනිස්සු පෙළඹෙන්නෑ. මොකද, මහ ආණ්ඩුව අන්තිමේ හමුදා බලය හරි යොදවලා බෙදුම්වාදය පරාජය කරනව. එතකොට වෙනම රාජ්‍යයක් ඉල්ලන කණ්ඩායමේ ජීවිත තමයි අවදානමට ලක් වෙන්නෙ. කවුද කැමති තමංගෙ ජීවිත, තමංගෙ ළමයිංගෙ ජීවිත ඒ වගේ අවදානමකට ලක්කරන්න. අනික තමයි ස්වයං පාලනයක් කියන්නෙ, වෙනම ආණ්ඩුක්‍රමයක්, වෙනම පාර්ලිමේන්තුවක්, වෙනම පොලිසියක්, වෙනම රාජ්‍ය සේවයක්, වෙනම හමුදා, වෙනම දෙපාර්තමේන්තු - අමාත්‍යාංශ... පවතින රජයකින් වැඩ කෙරෙනවනං කාටවත් ඕනෙ කරන් නෑ ඔය විදිහෙ ආයතනික ව්‍යුහයක් ඇති කරගෙන වෙනම පාලනයක බරක් කරට ගන්න.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙනම රාජ්‍යයක් ඇති කරන්න පුළුවන් ව්‍යවස්ථා ඇති කරන්නෙ නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවටත් වෙනම රාජ්‍යයක් ඇති කිරීමට කෙලින්ම හෝ අන්‍යාකාරයකින් අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවටත් ජනාධිපති ධූරයට, අගමැති තනතුරට, පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට සහ  රාජ්‍ය සේවයට පත් වන හැම කෙනෙක්ම දිවුරුම් දිය යුතු බව දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 32, 53, 61, 107, 157, 161 සහ 165  ව්‍යවස්ථාවලින් ප්‍රකාශ වෙනව. එහෙම දිවුරුම් දීලා පත්වෙන උදවිය එයිට පිටිං වැඩ කරනවනං ඒ ගැන නඩු පවරන්න පුළුවං.

අනික තමයි රටක් දෙකට කැඩීමෙන් දේශපාලනඥයන්ට ඇති වාසිය. ලංකාවෙ බහුතර ඡන්දෙන් පත්වුණු ජනාධිපතිටත්, කොළඹ දිස්ත්‍රික්කයෙ බහුතර මනාපෙන් පත්වුණු අගමැතිටත්, උතුරු නැගෙනහිර පළාත් ස්වයං පාලන ප්‍රදේශයක්තු කිරීම හෝ දේශනා කිරීම නොකරන බවට බවට පත්වීමෙන් ලැබෙන වාසියක් නෑ. සල්ලිද? මයෙ හිතේ ඔයිට වඩා පෞද්ගලික ආර්ථික වාසි තියෙනව ඔය පෝට් සිටි වගේ ප්‍රොජෙක්ට් වලින්. එහෙම එක්තරා ප්‍රදේශයකට ස්වයං පාලන අයිතිය ලබා දීල, මේ අය ඒ පළාත් වල ජනාධිපති / අගමැති වෙන්නද? බෑනෙ.

තේ කෝප්පයෙ කිඹුලා වෙන ෆෙඩරල් ක්‍රමය තමයි අනික් කාරණේ. දැනට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙනව මේ රට ඒකීය රටක් කියල. ඒකීය රටක් කියන්නෙ එක රජයක් යටතට පාලන බලතල සියල්ල එක් රැස් වුණු ක්‍රමයක්. ඒකට කියනව මධ්‍යගත පාලනය කියල. ඒකෙ විරුද්ධාර්ථය තමයි විමධ්‍යගත පාලනය. 87දි පළාත් සභා ගෙනල්ල දැනටමත් අපේ රට යම් දුරකට විමධ්‍යගත පාලනයක් ඇති රටක් බවට පත් වෙලා අවසන්.

විමධ්‍යගත පාලනය කියන්නෙ, මධ්‍යම රජයක් තියෙනව, ප්‍රාන්ත හෝ වෙනත් ක්‍රමයක ප්‍රාදේශීය ඒකක වලටත් පාලන බලතල තියෙනව. ඔය බලතල නිශ්චිතව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් මධ්‍යම රජයටත්, ප්‍රාදේශීය පාලන ඒකකවලටත් වෙන් කරල දීල තියෙනව. මෙහෙ පළාත් සභාවල ප්‍රධාන පරිපාලකයා වන ආණ්ඩුකාරයා පත් කරන්නෙ ජනාධිපති. එහෙම පළාත් සභාවෙ බලතල මධ්‍යම ආණ්ඩුවට වක්‍රව යටත් කරල තියෙනව.

යම්කිසි ප්‍රාදේශීය පාලන ඒකකයකට ස්වයං පාලන ඒකකයක් වශයෙන් ප්‍රකාශයට පත් වෙන්න ඕනෙ නම්, ඒක යෝජනාවක් විදිහට ප්‍රාන්ත ආණ්ඩුවට (හෝ ලංකාවෙ විදිහට නං පළාත් සභාවට) ඉදිරිපත් කරල සම්මත කරගන්න ඕනෙ. ඒ යෝජනාව සම්මත උනහම ඒ ගැන මධ්‍යම රජයටත් ජාත්‍යන්තරයටත් දන්වන්න වෙනව. එතකොට මධ්‍යම රජය මොකද කරන්නෙ කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් වෙලා තියෙනව. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 154 ව්‍යවස්ථාවෙ හැටියට එහෙම වෙලාවක පළාත් සභාවක බලතල, පාර්ලිමේන්තුවෙ යෝජනා සම්මතයක් මඟින් ජනාධිපතිවරයාට පවරා ගන්න හෝ පාර්ලිමේන්තුවට පවරා දෙන්න පුළුවන්. ස්පාඤ්ඤයෙ මේ ළඟදි සිදු වුණු මේ සමාන අවස්ථාවෙදි, ස්පාඤ්ඤ රජයට හමුදා බලය යොදවන්න පවා අවසර තිබුණා. ඒ විදිහට ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවට ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙනවනම් ප්‍රාන්ත ආණ්ඩු (හරි මෙහෙ විදිහට නම් පළාත් සභා) වල බලය මධ්‍යම ආණ්ඩුවෙන් පාලනය වෙන හැටි, එතන බෙදුම්වාදයට නීතිමය ඉඩක් නෑ. ඒ නිසා ෆෙඩරල් කියන වචනෙ අර එක කාලෙක ජිනීවා කියන වචනෙ වගේ බය කරන්න යොදාගත්තට ෆෙඩරල් කියන වචනෙ විතරකින් රටක් බෙදෙන් නෑ.

තව දෙයක් තමයි, සිංහලෙන් “ඒකීය රාජ්‍යය“ කියල තියෙන තැන දෙමළෙන් “ඔරුමිත්ත නාඩු“ කියල තියෙනවලු කියන ප්‍රශ්නෙ. ඒ දෙමළ වචන දෙකේ තේරුම “ඒකීය රාජ්‍ය්‍යක්“ ම තමයි කියන එකයි මගෙ වැටහීම. ඔච්චර ඒක ප්‍රශ්නයක් වෙනවනම්, “සිංහල සහ දෙමළ පෙළ අතර තේරුම් වල වෙනසක් පවතින විට සියලු පරිවර්තන අභිබවා සිංහල පෙළ බල පැවැත්වෙන“ බව ඕනෙම නීතියක අර්ථ නිරූපණවල සඳහන් කරන බව මතක් කරගන්න එක හොඳයි. එතකොට දෙමළ වචන වලට බය වෙන්න ඕනෙත් නෑ.

අනික, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මොන විදිහ තිබුණත්, සන්නද්ධ අරගලයකින් ආණ්ඩුවක් පරාජය කරල වෙනම ආණ්ඩුවක් හෝ කීපයක් පිහිටුවාගන්න පුරවැසියන්ට හෝ ජාත්‍යන්තර බලවේගවලට පුළුවන්. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය ද ෆෙඩරල් ද කියන වෙනස අදාළ වෙන් නෑ. වඩා වැදගත් වෙන්නෙ රටේ පුරවැසියන්ගෙන් කොටසක් ඒ වගේ අරගලයකට තල්ලු කරන හෝ පොළඹවන සාධක රටේ පාලනයෙන් සහ සමාජ වාතාවරණයෙන් ඉවත් කරල, හැම රටවැසියෙකුටම සමාන අයිතිවාසිකම් සහ අවස්ථා ලැබෙන තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන එකයි.


අනික් අතට, කාට හරි වෙන් වෙලා යන්ඩ ඕන්නං, ඒ අයට යන්ඩ දෙන් නැතුව අල්ල ගෙන ඉඳීමෙ තේරුම මොකද්ද කියන එකත් මට ගැටළුවක්.



හරිනම් මේ දේවල් ජනතාවට පැහැදිලි කරන්න ඕනෙ ආණ්ඩුව මිසක්, අපි නෙවෙයි. අපිට ඒ වැඩෙත් කරන්න වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුවෙ ඉන්නෙත් තමංගෙ ඡන්ද පදනම සහ පෞද්ගලික වාසිය විතරක් තකන බිස්නස්කාරයො හින්දයි. ඒ නිසා කොහොමත් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන මැතිවරණ ක්‍රමය ඇතුළු බොහොමයක් විධිවිධාන වෙනස් කිරීම උවමනයි.

Wednesday, October 25, 2017

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කළ යුතු දේවල් - ඩ්‍රැකියාවෙලී විග්‍රහයක්

http://res.cloudinary.com/www-virgin-com/virgin-com-prod
/sites/virgin.com/files/Articles/Getty/getty_darwin_evolution.jpg

ලංකාවෙ දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනට දහනම පාරක් සංශෝධනය කරල තියෙන්නෙ, ඒකෙ ඔරිජිනල් ෆෝම් එක රටේ පාලකයන්ට හරි යන්නැති හින්දනෙ. ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නෙ කියල...

රටක් පාලනය වෙන මූලික නීතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒකෙන් තමයි කියන්නෙ:

01.  නීති හදන්නෙ කොහොමද?
02. නීති ක්‍රියාත්මක කරන්නෙ කවුද / කොහොමද?
03. නීති කඩන අය ගැන යුක්තිය පසිඳලන්නෙ කොහොමද?
04. රට පාලනය කරන්නෙ කවුද / කොහොමද?
05. රට ගැන තීරණ ගන්නෙ කවුද / කොහොමද?

වගේ රටක පාලනයට පදනම් වෙන සියලු කාරණා.

ලංකාවෙ දැං තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ මේ දේවල් ගැන තියෙන්නෙ මොනවද කියල බැලුවොත්, අපිට තව මොනවද ඕනෙ කියල හිතාගන්ඩ පුලුවන් වෙයි. මං පහළ කියන දේවල් කියන්නෙ බොහොම මතුපිටිං. මොකද, විස්තරාත්මකව කියන්ඩ ගියොත් එක එක කාරණා ගැන වෙන වෙනම පෝස්ට්  වැලක් ලියන්ඩ වෙන නිසා. උදාහරණයක් විදිහට, අපිට 78 ව්‍යවස්ථාවෙන් සහතික කරල තියෙන මූලික අයිතිවාසිකම් ගැන කිව්වොත් එක එකක් විස්තර කරන්ඩ පුළුවන් වෙන වෙනම පෝස්ට් එක බැගින් ලියල. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ගැන විතරක් පෝස්ට් දහයක් විතර ලියන්ඩ වෙනව.

හරි... ඕං පටං ගත්ත. (ඇති යාන්තං)

ශ්‍රී ලංකාව පාලනය කරන්නෙ ඡන්ද බලය හිමි මහජනතාව. ඕකට කියන්නෙ පරමාධිපත්‍යය. (නූතන ජාතික රාජ්‍යයක අංග තමයි, 1. භූමිය 2. ජනතාව 3. පරමාධිපත්‍යය) ජනතාව මේ රට පාලනය කරන්නෙ ඔවුන්ගෙ නියෝජිතයන් මගින්. මහජන නියෝජිතයන් කලින් කලට මහජනතාව විසින් පත් කෙරෙනව. (ඕක බහුතරයක් මහජනතාව හරියට දන්නෑ. දන්නවනං තමුංගෙ රාජකාරිය කරන්ඩ පත්කරල යවන, අපේ බදු මුදල් වලිං පඩි ගෙවන උංට දෙයියන්ඩ වගේ සළකන්ඩ ඕන් නෑනෙ.)

ඒ මහජන නියෝජිතයො රැළට කියනව පාර්ලිමේන්තුව කියල. ඒකට කියනව ව්‍යවස්ථාදායකය කියල. ඒ කියන්නෙ ඒ අය තමා නීති හදන්නෙ. එතන බෙදිම් තියෙනවනෙ, පක්ෂ විදිහට. ඒ පක්ෂ  වලින් සරළ බහුතරය හෙවත් 50% ට වැඩි එකතුවකට ආණ්ඩුවක් පිහිටුවන්ඩ පුළුවං. ඒ කියන්නෙ පාර්ලිමේන්තුවෙ තීරණ ගන්නෙ ඒ අය. ඒ වගේම හදන නීති ක්‍රියාත්මක කරන්නෙ ඒ අය. (ඒ ගැන මතුවට...)

පාර්ලිමේන්තුවට තියෙන බලතල...

1. රටේ මුදල් පාලනය
වෙන වැඩකට නිතියෙන් වෙන් නොකළ මුදල් වලට කියනව ඒකාබද්ධ අරමුදල කියල. ඒකට එන ආදායම් නියම කරන්නෙ, ඒකෙන් වියදම් කරන්ඩ මුල් අනුමැතිය දෙන්නෙ පාර්ලිමේන්තුව. (අයවැය සම්මත කිරිමෙන්, අතුරු සම්මත ගිණුම් සහ පරිපූරක යෝජනා අනුමත කිරීමෙන්, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ කෝප් කමිටුවෙන්, විගණකාධිපති මඟින් ආදී වශයෙන්)

2. නීති සම්පාදනය

3. ඊට අමතරව විශ්වාසභංග නැත්තං දොෂාභියෝග ආදිය ගෙනත් විධායකයෙ සහ අධිකරණයෙ සාමාජිකයො අයිං කරන්ඩ පුලුවං.

4. පාර්ලිමේන්තුවෙ එක එක කාරකසභා මගින් කරන එක එක කාර්යයන් තියෙනව. (උදාහරණයක් විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් තමයි එක එක ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කරන්ඩ ජනාධිපතිට නම් නිර්දේශ කරන්නෙ)

පාරිලිමේන්තු සාමාජිකයෙක්ට අවුරුදු පහක් උන්නහම පෙන්ෂන් එක හම්බෙනව.

සමහර රටවල ව්‍යවස්ථාදයකය මණ්ඩල දෙකයි. එංගලන්තෙ, ඉන්දියාවෙ එහෙම ඒ වගේ දෙකක් තියෙනව. එකක් ජනතාවගෙ ඡන්දෙං පත්වෙන අතරෙ, සමාජයෙ ඉන්න සම්භාවණීය පුද්ගලයන්ගෙං හෝ රදළයන්ගෙන් සැදුනු තව මණ්ඩලයක් තියෙනව. (මට පේන විදිහට ලංකාවටත් එහෙම ක්‍රමයක් හඳුන්වාදෙන්ඩ රනිල්ගෙ අදහසක් තියෙන බවට බළලෙක් මල්ලෙං එබිකං කරනව. කලිනුත් තිබුණ එහෙම එකක් සෙනෙට් සභාව කියල. 47 සෝල්බරි ව්‍යවස්ථාවෙ එහ‍ෙම...)

ලංකාවෙ තියෙන්නෙ ජනාධිපති සහ කැබිනට් ක්‍රමයක් නෙ. ඕකට කියනව විධායකය කියල. විධායකයෙන් කරන්නෙ අර පාර්ලිමේන්තුවෙන් හදන නීති ක්‍රියාත්මක කරන එක. ඒක ජනාධිපති කරනව. ඒ වගේම අගමැති සහ කැබිනට් මණ්ඩලය කරනව. ගොඩක් අවස්ථා වල කැබිනට් මණ්ඩලයට ඇතුළත් නැති ඇමති වරුත් ඉන්නව. (දැං ඉන්නෙ රාජ්‍ය ඇමති වරු... ඒ වගේ) කැබිනට් මණ්ඩලයට සීමාවක් නෑ. ඒ වගේම ස්ථාවර විධායකය විදිහට වැඩකරන රාජ්‍ය සේවයත් නීති ක්‍රියාත්මක කරනව. රට පාලනය කරන්නෙ ඔය උදවිය.

ලංකාවෙ ජනාධිපති තනතුර හැදුවෙ ස්ත්‍රීපුරුෂ භේදය වෙනස් කරන්ඩ විතරක් බැරි - අනික් හැමදේම පුළුවං විදිහෙ බලවත් කමක් දීල. ඒ ජනාධිපති පත්කරන්නෙත් ජනතාව සෘජු ඡන්දෙං. (සමහර රටවල එහෙම සෘජු ඡන්දෙන් පත්වෙන්නෑ. වෙන ක්‍රමයක් තියෙනව) එතකොට, එතනත් ජනතාවගේ පාලන බලය තමයි ජනාධිපතිට අවුරුදු පහකට (19 වෙනි සංශෝධනයෙන් පහක් කළා) උන්දැට දෙන්නෙ.

ජනාධිපතිට තියෙන බලතල...

එයා කැබිනට් මණ්ඩලයෙ ප්‍රධානියා.

එයා තමයි අගමැති පත් කරන්නෙ (පාර්ලිමේන්තුවෙ බහුතරයකගෙ විශ්වාසය දිනාගන්න කෙනාව තමයි එහෙම පත්කරන්නෙ)

එයා ආණ්ඩුවෙ ප්‍රධානියා

එයා ත්‍රිවිධ හමුදාවෙ සේනාධිනායකය

එයා ඇමතිවරු පත් කරන්නෙ (අගමැතිගෙ උපදෙස් විමසා)

එයා අමාත්‍යාංශ ලේකම් වරු පත් කරන්නෙ

එයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කරන්නෙ. (නිලබලයෙන් තුන්දෙනයි, ඒ තුන්දෙනා, ජනාධිපති සහ පාර්ලිමේන්තුවෙ අනික් පක්ෂ නම්කරන හත් දෙනයි)

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ නිර්දේශ මත ස්වාධින කොමිෂන් සභා වලට සාමාජිකයන් පත්කරන්නෙත් එයාමයි.

පාර්ලිමේන්තුවක් පත් වෙලා අවුරුදු හතරකට පස්සෙ එයාට ඕනෙ වෙලාවක ඒක විසුරුවාහැරල මහමැතිවරණෙයක් තියන්ඩ පුළුවං

පාරිලිමේන්තුව විසුරුවා තියෙන විට ක්‍රම දෙකකට රටේ ඒකාබද්ධ අරමුදලෙ සල්ලි වියදම් කරන්ඩ පුළුවං

යුද්ධය - සාමය ප්‍රකාශයට පත් කරන්ඩ, හිරකාරයන්ට සමාව දෙන්ඩ පුළුවං

ජනාධිපති තනතුරේ ඉන්නකල් කරන ඕනෙම අලුගුත්තේරු වැඩකට නඩු දාන්ඩ බෑ.
ගෙදර ගියාම පෙන්ෂන් එක, නිල නිවාසයක්, සහ අනික් වරප්‍රසාද (ස්කොඩ් එක වගේ) හම්බෙනව මැරෙනකං ඒ වගේම මළාට පස්සෙ කලත්‍රයට පෙන්ෂන් එක ලැබෙනව එයා මැරෙනකං.

රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද ලැබෙනව (පිටරට වලදි එහෙම මේක හරි ආෂික්)

තව තියෙනව...

කැබිනට් මණ්ඩලයට තියෙන බලතල...

හැම නීතියක්ම අලුතින් පිහිටුවද්දි හරි, තියෙන නිතියක් සංශෝධනය කරද්දි හරි, පාර්ලිමේන්තුවට කෙලිම්ම ඉදිරිපත් කරන්ඩ බෑ. කලිං කැබිනට් මණ්ඩලේ අනුමැතිය ඕනෙ.

මේ අය තමයි අමාත්‍යාංශ වල විෂයපථය පාලනය කරන්නෙ.

රාජ්‍ය සේවය ගැන ප්‍රතිපත්තිමය තිරණ ගන්නෙ මේ අය. (17 වන සංශෝධනයෙන් මේ බලය රාජ්‍ය සේවා කොමිසමට දිල තිබුණ. 18 න් ආපහු කැබිනට් මණ්ඩලේට ගත්ත. 19න් ආපහු දුන්නෑ.) මේකෙ එක සරළ තේරුමක් තමයි, රාජ්‍ය සේවයෙ තිරණාත්මක පුටු වලට යන්ඩ නං දේශපාලන හයියක් ඕනෙ කියන එක. අනික තමයි, රාජ්‍ය සේවයෙ හැම කෙනෙක්ම කන්ඩ ඕනෙ මොන වෙලාවටද, වැඩට එන්ඩ යන්ඩ ඕනෙ මොනවෙලාවටද වගේ දේවල් වල ඉඳල, රාජ්‍ය සේවය මෙහෙයවන හැම නීති රීති රෙගුළාසියක්ම ගැන තීරණ ගන්නෙ මේ අය.

රජයෙ විශාල පරිමාණයෙ වැඩ, සැපයීම්, සේවා සපයාගැනීම් ගැන තීරණගන්නෙ කැබිනට් එක පත්කරන ප්‍රසම්පාදන මණ්ඩලය

රාජ්‍ය සේවයට තියෙන බලතල?

එකයි තියෙන්නෙ. තමන්ට පැවරිල තියෙන තනතුරේ ස්වභාවය අනුව තමංගෙ පරාසයෙ පාලනය සහ කටයුතු ඉටු කිරීම.

මේ අයට පෙන්ෂන් එක හම්බෙන්නෙ වයස 55 හෝ 60 සම්පූර්ණ කළහමයි.

රාජ්‍ය සේවයෙ පත්කිරීම්, මාරු කිරීම්, උසස්කිරීම්, අස්කිරීම්, විනය පාලනය කරන්නෙ රාජ්‍ය සේවා කොමිසම. ඒක පත් කරන්නෙ ජනාධිපති - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ නිර්දේශ අරගෙන.

තව අංශයක් තමයි, නීති කඩවෙනවද කියල බලල දඬුවම් නියම කිරීම සහ චර්යාවන් නිවැරදි කරන්ඩ තියෙන ආයතන. ඒකට කියනව අධිකරණය කියල.

ලංකාවෙ ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය. 

ඒක අභියාචනා ගැන තීරණ දෙන්ඩ තියෙන ඉහළම එක

මූලික අයිතිවාසිකම් කඩවිම ගැන නඩු ගොනු කරන්ඩ පුළුවං එතන

ඊට අමතරව ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සැක සහිත තැන් තියෙනව නං ඒක ගැන තේරුම් සපයන එකත් එක රාජකාරියක්

අනික තමයි ඡන්ද පෙස්සම් විභාග කරල, අවුරුදු දහයකට විතර පස්සෙ ඒ ඡන්දෙ වැරදියට තියල තියෙන්නෙ කියල තීන්දුව දෙන එක.

ඊට පහලිං තියෙනව අභියාචනාධිකරණය

ඒකෙ අනික් අධිකරණ කටයුතු වලට වඩා විශේෂයකට තියෙන්නෙ රිට් ආඥා නිකුත් කරන එකයි

රජයෙ නිලධාරියෙක් රාජකාරිය පැහැර හරිනවනං
ඉහළ තනතුරකට සුදුසුකම් නැතුව කෙනෙක් පත් වෙලා ඉන්නවනං
කාව හරි නීතියට පිටිං හංගගෙන ඉන්නවනං
මොකක් හරි අහිතකර ක්‍රියාවක් තහනම් කරවගන්ඩ ඕන්නං
කවුරු හරි දෙන නීති විරෝධී තීන්දුවක් අහෝසි කරගන්ඩ ඕන්නං
       මේ වගේ කාරණා වලදි අභියාචනාධිකරණයට පැමිණිලි කරල රිට් ආඥාවක් ගන්ඩ පුළුවං

ඊට පහලිං පළාත්බද මහාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණ ආදිය තියෙනව.

ඔය ටික තමා ලංකාවෙ පාලන ව්‍යුහය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවං සළසල තියෙන.

ලංකාවෙ තව තියෙනව පළාත් සභා

13 වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේක ඇති කළේ. ඒ අනුව කාර්යයන් ලැයිස්තු තුනක් තියෙනව. එක ලැයිස්තුවක් (සංවෘත ලැයිස්තුව) රජයට අයිතියි. අනික පළාත් සභා වලට අයිතියි. අන්තිම එක (සමගාමී ලැයිස්තුව) දෙකටම අයිතියි. ඒ අන්තිම එකේ කාර්යයක් ගැන රජය නීතියක් හදනවනං පළාත් සභා ඔක්කොටම ඉදිරිපත් කරල අනුමත කරව ගන්ඩ ඕනෙ. පළාත් සභාවක් නීතියක් හදනවනං රජයට ඉදිරිපත් කරල අනුමැතිය ගන්ඩ ඕනෙ.

පළාතෙ ප්‍රධානිය ආණ්ඩුකාරය. එයා පත් කරන්නෙ ජනාධිපති. එතනිං පළාතෙ පාලනය ජනාධිපති අතේ රඳව ගන්නව. ඒකෙ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන පළාත් මහලේකම් පත් කරන්නෙත් ජනාධිපති. පළාතෙ රාජ්‍ය සේවය පාලනය වෙන්නෙ පළාත් රාජ්‍ය සේවා කොමිසමෙං. ඒක පත් කරන්නෙ ආණ්ඩුකාරය. පළාත් සභාව විසුරුවන්ඩ ආණ්ඩුකාරයට බලය තියෙනව. ඔය විදිහට පළාත් සභාවල ඉහළ කොටස තනිකර දේශපාලනයට යටත්.

පළාත් සභාවෙ අැමතිවරු (මහ ඇමතිත් එක්ක) පහයි. (ලොකු හයියක්)

ඔයිට අමතරව තියෙනව පළාත් පාලන ආයතන. එව්වයෙ ඉන්නෙ පළාත් රාජ්‍ය සේවයෙ උදවිය, මහජන නියෝජිතයො සහ මහජන නියෝජිතයන් අතිරං තෝරගත්ත සභාපතිවරු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙනව මූලික අයිතිවාසිකම්:

1. සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස
2. වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත්  නොවී සිටිමේ නිදහස
3. නීතිය පසිඳලීම සහ ක‍්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ වීම සහ ජනවර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවීම
4. අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම
5. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය
6. සාමකාමීව රැස්වීමේ නිදහස
7. තමන් කැමති සමාගමකට, සමිතියකට, දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට බැඳීමේ සහ එහි කටයුතු කිරීමේ නිදහස
8. වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහස
9. ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ, වැඩි දියුණු කිරීමේ සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස
10. නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස
11. ශ‍්‍රී ලංකාව තුළ යාම් ඊම් නිදහස, අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස සහ ශ‍්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහස
12. තොරතුරු වෙත ප‍්‍රවේශ වීමේ අයිතිවාසිකම

මූලික අයිතිවාසිකම් වලට සීමා තියෙනව. 1, 2, 3, 4, 12 හැර අනික් එව්ව භුක්ති විඳිද්දි, ජනවාර්ගික සහජීවනයට සහ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට හාණි නොවන විදිහට, අධිකරණයට අපහාස නොවන විදිහට භුක්ති විඳිය යුතුයි.

අනික මේ අයිතිවාසිකම් ලැබෙන්නෙ ලංකාවෙ පුරවැසියන්ට විතරයි.

මූලික අයිතිවාසිකම් කඩ වෙද්දි හෝ වෙන්ඩ ආසන්න මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණයෙ නඩුවක් දාන්ඩ හරි මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරන්ඩ හරි පුලුවං. (එච්චරයි ඉතිං... ඒ පැමිණිලි වලට වෙන දේවල් කියල නෑ. ඒක ශක්තිමත් කරන්ඩ ඕනෙ අලුත් සංශෝධනයකදි.)

විගණකාධිපති ගැන, ස්වාධීන කොමිෂන් සභා ගැන කියනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තව පරිච්ඡේද කිපයකිං.

අපේ අයියල ලොකුවටම අල්ලගෙන ඉන්න දේවල් කිපයකුත් මේකෙ තියෙනව.

1. ඒකීය බව

ඒකීයයි කියන්නෙ පාලන බලය බෙදා හැරල නෑ. රජය යටතෙ තියෙන්නෙ කියන එකයි. ලංකාව ප්‍රායෝගිකව බැලුවොත් දැනටමත් යම් පමණකට ඒකීය නෑ. මොකද සමහර බලතල දැනටමත් පළාත් සභා වලින් ක්‍රියාත්මක කෙරෙනව.

ඕකෙ විරුද්ධාර්ථය තමයි සන්ධිය බව (ඉංග්‍රීසි වචනෙ ෆෙඩරල්. මේ වචනෙ ඇහෙන්ඩ කියන්ඩවත් හොඳ නෑ - රට කෑලි වලට කැඩෙනව.) සන්ධීය කියන්නෙ ප්‍රාදේශීය පාලන ඒකක තියෙනව. මධ්‍යම රජයකුත් තියෙනව. ඒ දෙකෙම්ම රටේ පාලනය කෙරෙනව. උදාහරණ තමයි ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල් (ඉන්දියාව 1947 ඉඳං සන්ධීයයි. මේ කියන විදිහට ඒක 1950 විතර වෙද්දි කැලි කෑලි වලට කැඩිල තියෙන්ඩ ඕනෙ.)

2. බුද්ධාගමට ප්‍රමුඛත්වය දිල සුරක්ෂිත කරල පෝෂණය කරන බව

ඕක නං මයෙ හිතේ 1818 ගිවිසුමට දාපු වගන්තියක්. මගෙ පෞද්ගලික මතය නං රාජ්‍යයක් එක ආගමකට ප්‍රමුඛතාවය දීම වැරදියි. රජය එක්කෝ රටේ පවතින හැම ආගමක්ම ආරක්ෂා කළ යුතුයි. නැත්තං එකක්වත් පෝෂණය නොකළ යුතුයි. මොකද කිසිම ආගමකට පවතින්ඩ රාජ්‍ය අනුග්‍රහය ඕන් නෑ. ඕනෙ භක්තිමත් අනුගාමිකයොයි, සිල්වත් පූජකයොයි විතරයි.

ඊට අමතරව ජාතික කොඩියයි, ජාතික ගීයයි, දිස්ත්‍රික්ක විසිපහයි, රටේ පුරවැසියංගෙ ප්‍රමුඛතා ලැයිස්තුවයි එහෙමත් මේකෙ සඳහන් වෙනව.

------------------------------------

හරි... දැං අපි බලමු මොනවද මේකෙ සංශෝධනය වෙනවනං හොඳ - ඒ කියන්නෙ රටේ යහපැවැත්මට සහ හොඳ රාජ්‍ය කළමනාකරණයක් ඇති කරගන්ඩ ඕනෙ මොනවද?

1. මැතිවරණ ක්‍රමය

දැං තියෙන්නෙ අපේක්ෂකයො රැළක් එකිනෙකා විශාල ප්‍රදේශයක් ආවරණය කරන ක්‍රමයක්. (මහමැතිවරණෙකදි දිස්ත්‍රික්කයක් ආවරණය කරන්ඩ වෙනව එක්කෙනෙකුට.) එතකොට ඡන්දෙට ඉදිරිපත් වෙන්ඩ පුළුවං ඔය විශාල ප්‍රදේශයටම වියදම් කරන්ඩ පුළුවං අයට විතරයි. එතකොට සමාජයෙ සම්මානනීය පුරවැසියො නෙමෙයි ඉදිරිපත් වෙන්නෙ, හොඳටම සල්ලි හම්බකරගත්තු මනුස්සයෙක්. ඒ කියන්නෙ එයා පත් උනාටපස්සෙ බලන්නෙ සමාජයෙ සම්භාවනීය විදිහට ඉන්ඩ නෙමෙයි, වියදං කරපු සල්ලි වගේ කීප ගුණයක් උපය ගන්න මාර්ගය.

ඒ නිසා මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්ඩ ඕනෙ.

ඒක ආපහු තිබුණු කේවල ක්‍රමයට යනවනං හොඳයි. එතකොට එක ආසනේකට එකයි පත්වෙන්නෙ. ඒකෙං සුළු පක්ෂවලට හම්බ කරගන්ඩ රස්සාවක් නැතුව යනව. (මුං බහුතරයක් නං පාර්ලිමේන්තුවට ආවත් වැඩක් නෑ. කරන වැඩක් නැති නිසා.) අනික සුලු ජනවර්ග නියෝජනයට ඉඩක් නැතුව යයි කියලත් පේනව.

2. ජනාධිපති ක්‍රමය

අපි හරිම බයයි නෙ ජනාධිපති නැති කරනවට. හැබැයි 94 ඉඳං ජනාධිපති තනතුරට ඉල්ලපු හැම එක්කෙනාම කිව්වෙ මං බලයට ඇවිත් ඕක නැති කරනවය කියලයි. අනික 78 වෙනකං තිබ්බෙ කැබිනට් ක්‍රමය. ඒ කාලෙ තමයි පළවෙනි ජවිපෙ කැරැල්ල ආවෙ. කැබිනට් කියල ඒකට මූණ දෙන්ඩ බැරි උනාද? අනික ජනාධිපති ක්‍රමය තිබ්බ කියල සිවිල් යුද්ධය මගඇරගන්ඩ අපිට පුළුවං උනාද? නෑනෙ. ඒක අවුරුදු 30ක් ඇදුණනෙ. අනික, ඉන්දියාවෙ තියෙන්නෙ කැබිනට් ක්‍රමය. එංගලන්තෙ තියෙන්නෙත් කැබිනට් ක්‍රමය. එව්වට මොකද වෙලා තියෙන්නෙ? ඔය යහතිං තියෙන්නෙ.

කොහොමත් බලතල මහ රාසියක් එක පුද්ගලයෙකුට දෙන්ඩ හොඳ නෑ. ප්ලේටෝ කියල තියෙන්නෙ මට මතක විදිහට “බලය දූෂණය කරයි“ කියල. උඩ මං පෙන්නල තියෙනව, හමුදාවට අණ දෙන්ඩ, මුදල් පාලනය කරන්ඩ, නිති හදන ආයතනය විසුරුවන්ඩ, හැමතැනම ඉන්න ප්‍රධානීන් පත් කරන්ඩ ආදී වශයෙන් ජනාධිපතිට ලැබිල තියෙන බලතල වැඩියි.

අනික තමයි එයා කාටවත් වගකියන්නෑ. අගමැති පාර්ලිමේන්තුවට වගකියනව. කැබිනට් මණ්ඩලයත් එහෙමයි. කොමිෂන් සභාත් පාර්ලිමේන්තුවට වගකියන්ඩ ඕනෙ. ජනාධිපති කාටවත් වගකියන්නෑ. (දුවටයි ආර්යාවටයි ඇරෙන්ඩ)

වැඩිය හොඳයි පාර්ලිමේන්තුවට වගකියන විධායක ක්‍රමයක්. කැබිනට් ක්‍රමය හොඳා.

3. රාජ්‍ය සේවය

රාජ්‍ය සේවයෙ ප්‍රතිපත්තිමය තීරණ ගන්න බලය කැබිනට් මන්ඩලයට දෙන්ඩ ඕනෙ නෑ.

දැං ඉන්න ඇමති වරු අතරෙ ඒ ලෙවල්වත් නැති අය පවා ඉන්නව. පැහැදිලිවම ඒ අයට රට දියුණු කරන පරමාර්ථයට වඩා තියෙන්නෙ දේපළ අත්පත් කරගැනීම, හම්බ කරගැනීම වගේ පරමාර්ථ.

ඒත් රාජ්‍ය සේවයෙ ඉහළ නිලධාරීන් එන්නෙ එක්කො අවුරුදු දහයක පළපුරුද්දෙන්, නැත්නං උපාධියෙන්, නැත්තං දෙකම ඕනෙ. ඒ අය කටයුතු කළයුතු විදිහ ගැන තීරණ ගන්ඩ ඒ අය අතරින්ම කිර්තියක් අත්කරගන්න අයගෙන් සැදුණු කොමිෂන් සභාවකට පුළුවන්.

අනික තමයි අමාත්‍යාංශ ලේකම් වරු.

ඒ අය ජනාධිපති පත්කරන්නෙ. අනික ඇමති මාරු වෙනකොට ලේකමුත් මාරු වෙනව. එහෙම උනාම, ඇමතිට ජනාධිපතිට ගැති අය තමයි ඒ තනතුරු වලට පත්වෙන්නෙ. එහෙම ඕන් නෑ. 78 ට කලිං හිටිය වගේ ස්ථිර ලේකම් වරු පත් කළ යුතුයි. එතකොට කෙලිං වැඩ කරන්ඩ පුළුවන් නිලධාරින්ට ඒ තැන්වලට එන්ඩ පුළුවන් වෙනව.

තව ලියන්ඩ තියෙනව. ඒ ටික අනික් කොටසින් ලියන්නම්...

Saturday, October 21, 2017

මෞයි ගැන කතා - පොලිනීසියානු / මඕරි ජනකතා

මෞයි කියන්නෙ, පොලිනීසියානු ආදීතම ගවේෂකයෙක් හෝ ගවේෂකයන් කණ්ඩායමක් හෝ එහෙමත් නැත්නම් කලින් කලට බිහිවුණු ගවේෂකයන් ගැන පුරාවෘත්ත එකතු වෙලා හැදුණු චරිතයක් කියල හිතන්න පුළුවන්. මෙයා මොආනා චිත්‍රපටියෙ ඩ්වේන් (ද රොක්) ජොන්සන් ගෙ හඬකැවීම සමඟින් පෙනීහිටිනව. ඒකෙ පින්තූරයක් තමයි පහළ තියෙන්නෙ.

https://jonnegroni.com/wp-content/uploads/2017/02/772619.jpg?w=798
අද මං කියන්න යන්නෙ මෙන්න මෙතනිං මෞයි ගැන කියවන්න ලැබුණු කතා ටිකක්.

මෞයි ගෙ උපත

මෞයි එයාගෙ දෙමාපියන් වුනු මකෙයටුටාරා සහ ටරන්ගා ට ලැබුණු පස්වෙනි දරුවා. එයා උපදිනකොට ගොඩක්ම අවවර්ධිත දරුවෙක්. ඒකියන්නෙ අඩු මාසෙන් උපන් දරුවෙක්. එයා ජීවත් කරවන්න පුළුවන් වෙයි කියල කවුරුවත් හිතුවෙ නෑ. ඒ නිසා එයාගෙ අම්මා, ටරන්ගා තමන්ගෙ කෙස්ගස් කීපයකින් මේ දරුවව ගැටගහල, මුහුදට දැම්ම.

https://img00.deviantart.net/1cb0/i/2017/100/a/9/
tattoo_maui_adobe_animate_moana_cosplay_by_
pikkolapungu-db5b5pl.jpg

මේ සිදුවීම නිසා තමයි මෞයි ගෙ සම්පූර්ණ නම වන මෞයි-ටිකිටිකි-අ-ටරන්ගා (මෞයි-ටරන්ගාගෙ මුදුනෙ ගැටය) කියන නම එයාට ලැබුණෙ. මැරන්න තිබුණා උනත්, මෞයි මැරුණෙ නෑ. මුහුදේ දෙවිවරු එයාව මුහුදු පැළෑටි වලින් එතුවා. රංගි හෙවත් අහසේ දෙවියන් මෞයි ගෙ ළදරුවිය ගතවනතුරු බලා හදා ගත්ත. ඒ විදිහට මෞයි අර්ධ දෙවියෙක් වුනා.

වැඩුණු ළමයෙක් විදිහට මෞයි ආපහු එයාගෙ පවුල වෙත ආව. එයා දැකපු අම්මා හොඳටම කලබල වුනා. මෞයි ගෙ මායාකාරී දක්ෂකම්, ඒ කියන්නෙ එයාට පුළුවන් කම තිබුණා එක එක වෙනස් ස්වරූප වලට හැරෙන්න, ඒවා දැකපු පවුලෙ අය පුදුම වුනා. 

සහෝදරයො ටික මෞයි පිළිගන්න කැමති උනේ නෑ. ඒත් එතන හිටපු වැඩිමල්ම කෙනා කිව්වා, “මිත්‍රශීලී වාතාවරණයකදි අපේ ආරවුල් මිත්‍රශීලීව විසඳගත යුතුයි. සටනකදි අපේ තුවාල වලට පිළියම් යොදන්න වෙන්නෙ භීෂණයෙන්ම තමයි. මේක අපේ යහපතට හේතු වෙනව. අපි කෑම හොයන්න ඕනෙ අනික් අයටත් කවන්නයි. අපි දේපළ රැස්කරන්න ඕනෙ අනික් අයටත් දෙන්නයි. ඒ විදිහට කිරීමෙන් අපි අනික් අයගෙ යහපත සළසනවා.“

හිරු ඇල්ලීම

මෞයි ට දෙමාපියන්ගෙන් ලැබුණු සැළකිලි නිසා එයාගෙ අනික් සහෝදරයන් හතර දෙනා එච්චර හිත හොඳකින් නෙවෙයි හිටියෙ. ඒත් මෞයි ඒ අය පොළඹවාගත්ත තමුන් ට උදව් කරන්න එක වීරකමක් කරන්න. ඒ වීරකම තමයි, ටමනුයිටෙරා හෙවත් හිරු, අහස හරහා යන වේගය අඩු කරල, දිවාකාලය දික් කරගන්න එක. එතකොට සහෝදරයන්ට තමංගෙ දිනපතා කෑම හොයාගන්න ප්‍රමාණවත් කාලයක් ලැබෙනව.

මෞයි ඉස්සෙල්ලම එයාට දෙවිවරු කියාදීපු ශිල්පයක් වන, හණ ලණු ඇඹරීම අයියලට කියා දුන්න. ඒ අය දවස් පහක් තිස්සෙ දැවැන්ත ලණු තොගයක් ගෙතුවා.

ඊට පස්සෙ සහෝදරයො පස්දෙනා ගියා හිරු නැගෙන තැන හොයාගෙන. පොළොවෙ කෙළවරක තිබුණු වළකින් තමයි හිරු උදෙම්ම එළියට එන්නෙ.(පොලිනීසියානු විශ්වාසය)  එතන වලෙ වටේ කූඩාරම් හදාගත්ත සහෝදරයො පස්දෙනා, වතුර ඉහළ මැටි අනල පොඩි තාප්පයකුත් හදාගත්ත කූඩාරම් හිරු රස්නෙන් බේරගන්න. ඊට පස්සෙ ගෙනියපු හණ ලනු වලිං තොන්ඩුවක් හදල වල කට මැදට වෙන්න අටවලා තිබ්බ. ඉරගෙ ඔලුවයි උරිස් දෙකයි තොණ්ඩුවෙන් උඩට ආව ගමං මෞයි සංඥා කළා අයියලට, ලණුව අදින්න කියල. වළ ගාව රැකල හිටපු මෞයිගෙ සහෝදරයො හතර දෙනා හිරුට යන්න නොදී රඳවගත්ත. මෞයි අතේ තිබුණ, එයාගෙ ආච්චිගෙ හණු ඇටය. ඒක තමයි එයා ආයුධයක් විදිහට පාවිච්ච කළේ. ඒකෙන් එයා හිරු ට හොඳටම පහර දුන්න. මෞයිගෙ කෙළවරක් නැති බැට දීම් වලින් හොඳටම දුර්වල වුණු හිරු මෞයිට පොරොන්දු වුනා එතැන් පටන් අහස දිගේ කලින්ට වඩා හෙමින් යන්න. කොහොමත්, ඒ කාපු පාරවල් වල හැටියට එයාට යන්න පුළුවන් වුනේ බඩගාගෙන තමයි කියලයි කියන්නෙ.

https://img00.deviantart.net/1cb0/i/2017/100/a/9/
tattoo_maui_adobe_animate_moana_cosplay_by_
pikkolapungu-db5b5pl.jpg

මෞයි ගෙ මාලු ඇල්ලීම

මෞයි හරිම දක්ෂයි මාලු අල්ලන්න. එයා හැමදාම ඔරුව පිරෙන්න මාලු අල්ලනව. ඒත් එයාගෙ සහෝදරයන්ට ඒ අයගෙ පවුල් වල කෑමට ඇතිවෙන්න වත් මාලු අල්ලන්න පුළුවන් වුනේ නෑ. ඒනිසා ඒ අය මෞයිව මගහැරල මාලු බාන්න යන්න පිටත් වෙන්න උත්සාහ කළා.

ඒත් නෑනල ටික මෞයිට කිව්වා ඒ අයට ඇති වෙන්න මාලු ලැබෙන් නැති බව. ඉතිං දවසක් මෞයි පොරොන්දු වුනා “ඔයාලට නරක් වෙනකල්වත් කාල ඉවර කරන්න බැරි තරම් ලොකු මාලු තොගයක් මං අල්ලල දෙන්නං“ කියල. එහෙම කියල එයා අර කියපු හණූ ඇටයෙ පතුරක් තුඩට හිටින්න බිලී කොක්කක් හදාගත්ත. ඒකත් අර එයා සහෝදරයන්ගෙ ඔරුවෙ පතුලෙ දාල තියෙන පැදුරු යට හැංගුනා.

ඉතිං වෙනද වගේම සහෝදරයව මගඇරල අයියල ටික ඔරුව දියත් කළා. දියඹට ගියාට පස්සෙ තමයි දන්නෙ මල්ලිත් ඔරුවෙම ඉන්නව කියල.  ඒත් දැං කරන්න දෙයක් නෑනෙ හිස් අතිං ආපහු වෙරළට යන්න බෑ. අයියල ටික ගොඩක් මහන්සි වෙලා මාලු ටිකක් අල්ලගත්තට පස්සෙ මෞයි යෝජනා කළා ගොඩබිම පේන්නැති තරම් ඈතට යමු කියල. එහෙම ගිහිං එයා ඔරුවෙ දාගෙන එන්න පුළුවන් තරමට මාලු තොගයක් අල්ලල දෙන්නං කියල කිව්ව.

එහෙම ගිහිං මෞයි ඔරුව පිරිල ඉතිරිල යන්න මාලු ඇල්ලුව. ඊටපස්සෙ එයා එයාගෙ නහයට ගහගෙන, නහයෙන් ආපු ලේ බිලීකොක්කෙ තවරලා මුහුදට දැම්ම. ඒ පාර බිලී යොත බොහොම තදින් ඇදුන. ඒ යොත කොච්චර තදින් ඇද්දද කියනවනං, ඔරුව පෙරළෙන්නම වගේ ගියා. කොහොමහරි මෞයි ඇදල ඇදල උඩට ඇදල ගත්ත මහා විසාල මාලුවෙක්. ඒකා පූජනීය මාලුවෙක් බව සළකපු මෞයි, ආපහු ගොඩබිමට ගියා පූජකයෙක් එක්කරන් එන්න. කරන්න ඕනෙ යාග හෝම ටික කරලම මාලුව කපමු කියල සහෝදරයින්ට කිව්ව, මං එනකං මාලුව කපන්න එපා කියල.

ඒත් මෞයි එනකල් හිටියෙ නෑ අයියල ටික. තම තමංගෙ කොටස් වෙන්කරගන්න ඒ අය මාලුවව කැපුව. ඒකෙන් මාලුවා වේදනාවෙන් ඇඹරිලා ගියා.

නවසීලන්ත දූපත් වලින් උතුරු දූපතට මඕරි වරු කියන්නෙ ටෙ ඉකා අ මෞයි හෙවත් මෞයි ගෙ මාලුවා කියල. අයියලා මාලුවා කපද්දි ඇඹරුනු නිසා යි කියනව ඒ දූපතේ කඳු නිම්න ඇති උනේ. මල්ලි කියපු දේ අයියල ඇහුවනම් උතුරු දූපත තැනිතලාවක් විදිහට මිනිස්සුන්ට ගමනාගමනයට පහසු තැනක් වෙන්න තිබුණ කියල කියනව.

http://donnadowney.typepad.com/.a/6a00d83451929069e2019101c3320b970c-800wi
අකුරු පැහැදිලි නෑ. පින්තූරය මත ක්ලික්
කරලා විශාල කරගත්තනම් හරි

මඕරි වරු කියන විදිහට දකුණු දූපත තමයි මෞයි ගෙ ඔරුව. ඒනිසා ඒ දූපතට කියන සාමාන්‍ය මඕරි නම වුනු ටෙ වයිපෞනමු ට අමතරව, ටෙ වක-අ-මෞයි හෙවත් මෞයි ගෙ ඔරුව කියන නම භාවිත වෙනව. පහළ තියෙන ස්ටුවර්ට් දූපත, ඔරුවෙ නැංගුරම් ගල. මැද හරියෙ දකුණු අත පැත්තෙ තියෙන බෑන්ක්ස් අර්ධද්වීපය තමයි මාලුවව අදිද්දි මෞයි පය ගහපු තැන. උතුරු දූපතේ මැද හරියෙ දකුණු වෙරළෙ තියෙන හෝකී බොක්ක සැළකෙන්නෙ ටෙ මටාවු අ මෞයි හෙවත් මෞයිගෙ බිලීකොක්ක කියලයි.

https://img00.deviantart.net/1cb0/i/2017/100/a/9/
tattoo_maui_adobe_animate_moana_cosplay_by_
pikkolapungu-db5b5pl.jpg

මෞයි ගින්දර හොයාගත්ත හැටි සහ මරණය පරාද කරන්න ගිය හැටි ගැන මීළඟ කොටසකින් ලියන්නම්...

මූලාශ්‍ර:
https://en.wikipedia.org/wiki/M%C4%81ui_(M%C4%81ori_mythology)
http://www.maori.info/maori_history.htm
http://eng.mataurangamaori.tki.org.nz/Support-materials/Te-Reo-Maori/Maori-Myths-Legends-and-Contemporary-Stories/How-Maui-slowed-the-sun

Saturday, October 14, 2017

අන්දිරිස් කිත්තා, පරංගි සහ ගමට නමක්

https://ewedit.files.wordpress.com/2015/01/hobbit-the-desolation-of-smaug.jpg?w=612

අපේ කිත්තා අන්දිරිස් අප්පු ය. උන්දැගෙ වික්‍රම ගැන මෙයිට කලිං පෝස්ටු දෙකක ලියා ඇත.


අද මං කියන්ට යන්නේ අන්දිරිස් කිත්තා උපං ගම වූ බෙන්තර යාත්‍රාමුල්ලේ සිට ගම්පහ ගණේමුල්ලේ කටුවාලමුල්ලට ආ හැටි ය. (මේක මං වැඩ්ඩ වගේ ලියන්ඩ ඉඳගත්තට, ඉවර වෙනකං මොනව ලියවෙයිද මොන විදිහට ඉවර වෙයිද කියා හිතාගන්ට බැරි ය.)

අනද කිත්ත, වඩු පරම්පරාවකිං පැවතෙන්නෙක් කියල තමා මං හිතං ඉන්නෙ. මොකද, මේ ගමේ පරණ මිනිස්සු අන්දිරිස් කිත්තයි එයාගෙ පුතා වුන සුවාතයි දෙන්නම වඩු වැඩ කරපු බව කියන නිසා. ඒ වගේම සුදික ස්ථිර කළා යාත්‍රාමුල්ලෙ තාම ඉන්නව කියල අර ශ්‍රී මහ බෝධිය එක්ක ලංකාවට ආව වඩු පරම්පරාවක්.

කොහොමිං හරි අන්දිරිස් කිත්ත කොල්ල කාලෙ පරංගි හමුදාවෙ සිවිල් අංශෙ වැඩ කළා නෙව. මයෙ හිතේ ඒකෙත් වඩු වැඩ තමා කරන්ඩ ඇත්තෙ. ඔය ලස්කිරිඤ්ඤ හමුදාවෙ හෙල්ල වල මිට ගහන්ඩ, අත් පොරෝ වල මිට හදන්ඩ, ඒ වගේ වැඩ වෙන්ඩැති. ඉතිං එක සැරෙයක් ඔය පරංගි හමුදාවක් උඩරට අල්ලන්ඩ යද්දි අන්දිරිස් කිත්තත් ඒ එක්ක ඇවිත් තියෙනව. 

අන්දිරිස් කිත්ත ආවට මොකද යටි හිතිං පරංගිංගෙ ක්‍රියා කළාපය ගැන එච්චර හොඳිං නෙමේ හිටියෙ. යන යන තැන, දකින දකින දේ කොල්ලකන්ඩයි, දකින දකින ගෑණු දැරිවියන්ට හදි කරන්ඩයි, හවස කඳවුරු ගහගෙන බීල නටන්ඩයි පුරුදු වෙච්ච පරංගි, ස්වදේශිකයන්ට සැළකුවෙ තමංගෙ අතපල්ලෙං වැටිච්ච ගානට.

ඉතිං කොළඹ කොටුවෙ ඉඳං ඇවිදින්, කැළණි ගඟෙං එගොඩ වෙන්න ආව පරංගි හමුදාව, ගඟෙං එගොඩ වෙන්න නං ගඟ නිදාගන්ඩ ඕනෙ නිසා රෑ වෙනකං ගං ඉවුරෙ වාඩි ලාගත්ත. මොකද, ගඟක් උනත් නිදාගන්නෙ රෑටනෙ.

ඔය අතරෙ අන්දිරිස් කිත්තට පුළුවං උනා චීස් කෑල්ලකුයි කේජු කෑල්ලකුයි හයි කරපු උගුලක් මාර්ගෙන් තඩි මීයෙක් අල්ලගන්ඩ.

https://thumb9.shutterstock.com/display_pic_with_logo/
1058333/178340966/stock-vector-vector-illustration-of-a-rat-is-trying-to-
steal-a-piece-of-cheese-178340966.jpg
අන්දිරිස් කිත්ත ඔය මීයගෙ නැට්ටෙ ගිණිකූරක් ගැටගැහුව. ගැටගහල, තඩි චීස් කුට්ටියක් විසික් කළා පරංගි වෙඩිබෙහෙත් තියල තිබ්බ කූඩාරම ඇතුළට. මීයව අතෑරපු ගමං ඌ දිව්වෙ වෙඩි බෙහෙත් කූඩාරමට. ඌ දුවද්දි ගිණිකූර බිම ඇතිල්ලිල ගිණි ගත්ත. තප්පර ගාණකිං වෙඩිබෙහෙත් කූඩාරමයි ඒ ළඟ හිටපු පරංගි හෙණ සෙට්එකකුයි කෑලි කෑලි...

කිත්ත ඒ වෙනකොට හිමිං සැරේ ගඟ හරහ පීනල ගිහිං එගොඩ උනා. එගොඩ වෙලා බැලින්නං,පරංගි හමුදාවෙ කපිතානුයි අනික් නිලකාරයො ටිකයි එගොඩ. අර කූඩාරම පුපුරද්දි ඒකෙ පීඩනේට එගොඩට විසික් වෙලා. ඒ එකෙක් දැකල තිබ්බ අන්දිරිස් කිත්ත චීස් කුට්ටියක් වෙඩිබේත් කූඩාරම දිහාට විසිකරනව. ඌ ඒක කිව්ව විතරයි, පරංගි රැළම අන්දිරිස් කිත්ත පස්සෙං පන්නන්ඩ ගත්ත බල්ලො රැළ වගේ.

අන්දිරිස් ආතත් ලේ පිපාසෙං වියරු වැටිච්ච පරංගි හමුදාවම පසු නොබලා දුවන්ඩ සැළැස්සුව, හරිම ලේසියෙන් - ඉස්සෙල්ල එයා දිව්ව. පරංගි හමුදාව එයා පස්සෙං දිව්ව.

ඔහොම දුවගෙන දුවගෙන යද්දි පංසලක චෛත්‍යයකට හුනු ගාන්ඩ හුණු වැරටි වගෙයක් ගෙනියන කට්ටියක් හම්බුනා. අන්දිරිස් කිත්ත දුවගෙන ආව වේගෙට අර මිනිස්සුංගෙ ඇඟේ හැප්පුනා හරියට කාලතුවක්කු උණ්ඩෙයක් වගේ. හැප්පිල අන්දිරිස් කිත්ත වැටුණ. අර උදවියගෙ හුණු වැරටි ගෝණි ටිකත් සීසීකඩ.

කිත්තගෙ අතේ තිබ්බ දුන්නක්. ඒත් එයා ගාව තිබුණෙ එක ඊතලෙයයි. එයා කල්පනා කරල බැලුව මොකද කරන්නෙ කියල. අර පරංගි ටික එකා පස්සෙ එකා වත් ආවනං, එක ඊතලෙං මුලු හමුදාවම බණ්ඩක්ක කරල් ඉරට්ටෙ ඇමුණුව වගේ අමුණගන්ඩ තිබුණ. ඒත් එහෙම නෙමෙයිනෙ ලේ පිපාසිත හමුදාව ආවෙ. ඉතිං කිත්ත ඊතලේ මෑනුව එයාට යන්ඩ ඕනෙ පැත්තට. මානල විද්ද. විද්ද ගමං උඩ පැනල ඊතලේ එල්ලුනා.

ඔන්න ඊතලේ එල්ලිල අන්දිරිස් කිත්ත උඩිං යනව. ඒ දිහා බලාගෙන උඩ බලාගෙන ආව පරංගි හමුදාව අර බිම වැටිල තිබ්බ හුණු වැරටි ටික පාගගෙන දිව්ව. ඒ ගොල්ලංගෙ දිවිල්ලෙ සැරට අර පෑගුණු හුණු ඔක්කොම පිටි වගේ වෙනකං කුඩු උනා. එහෙම හුණු පිටි වෙච්ච තැන තමයි මේ දක්වාම හැඳින්වෙන්නෙ, හුණුපිටිය කියල.

අන්දිරිස් කිත්තගෙ විදමනේ සැර කොච්චර ද කියනවනං, එයා සෑහෙන දුරක් උඩිං ගියා. එයාගෙ පස්සෙං උඩ බලාගෙන එලෝගෙන ආව හමුදාවත් ඒ එක්කම දුවනව. අතරමගදි හරක් බලාගත්ත එඬේරෙක් බයවෙලා මුල්ලක හැංගුනා. එතනට තවමත් කියන්නෙ එඬේරමුල්ල කියල. තව තැනකදි අර පරංගි රැළ දැකපු සීය කෙනෙක් කිව්ව එයාගෙ මුණුපුරාට, “යකෝ! ඒරොප්පෙවත් නැතුව ඇති මෙහෙම යක්කු වගේ හැසිරෙන පරංගි“ කියල. ඒ කියපු තැන “ඒරොප්පෙ“ කියල නම වැටිල, පස්සෙ භාවිතාවෙන් හොරපෙ බවට පත් වෙලා තියෙනව.ඔහොම ගිහිං රාගම ත් පහුවෙලා තමයි කිත්ත විදපු ඊතලේ කිත්තත් එක්කම බිම වැටුණෙ. ඒ වැටුනෙත් මනුස්සයෙක් රාගම පොලට වෙළඳං කරන්ඩ අරං ගියපු කදක් උඩට. ඒ කදේ පුරෝල තිබුණෙ නාරං. අර මනුස්සයට එක පාරම කියවුනා, “අයියෝ! මගෙ නාරං ගොඩම පාලුයි!“ කියල. එදා ඉඳං ඒ හරියට කියන්නෙ නාරංගොඩපාළුව කියල.

කිත්ත කිව්ව නාරං වෙළන්දට, “මයෙ පස්සෙං එනව ටුවරිස්ල වගෙයක්. මං ඒගොල්ලංගෙ ගයිඩ්. ඒගොල්ලො තමුසෙගෙ අලාබෙ ගෙවයි“ කියල. ඒහෙම කියල කිත්ත ළඟම තිබ්බ හෙණ උස පුවක් ගහකට නැග්ග.

පරංගි ටික එතෙන්ට එන්ඩ වැඩි වෙලාවක් ගියෙ නෑ. අර වෙළ‍ෙන්ද පරංගි හමුදාවෙං ගේම ඉල්ලුව. “ගෙවනවල මගෙ නාරංගොඩේ පාඩුව. තමුසෙලගෙ ගයිඩ් තමා මේ නාරංගොඩ පාලු කළේ“ කියල.

පරංගි ටික එකා එක ගානෙ ටොකු ඇනල අර වෙළ‍ෙන්දව උස්සල වීසි කළා. වෙළෙන්ද කැරකි කැරකි ගිහිං වැටුන හාඩ්වෙයා එහෙකට. ඒ හාඩ්වෙයා එකෙත් එයා වැටුනෙ එස්ලෝන් බට ගොඩක් උඩට. බට ඔක්කොම කීතු කීතු උනා අර  වැටිච්ච වැටිල්ලට. එදා ඉඳං ඒ හරියට කියන්නෙ බටවල පාළුව කියල.

ඊටපස්සෙ පරංගි එකා එකා නගින්ඩ ගත් අර පුවක්ගහට අන්දිරිස් ආතව අල්ලගන්ඩ. ඔහෙම දෙසීයක් විතර නැගගෙන නැගගෙන එද්දි පුවක් ගහ බිමට ඇලවෙන්ඩ ගත්ත. ඒ ගමන බිම ඉඳං මූව අල්ලගන්ඩ ලේසියි කියල හිතපු පරංගි ටික එකපාරටම බිමට පැන්න. උන්ටික බිමට පැන්න විතරයි අර පුවක්ගහ එකපාරටම කෙලිං උනා. ඒ වේගෙට අන්දිරිස් කිත්ත ට අත-අතෑරිල ටොයිංංංංංං ගාගෙන උඩිං ගිහිං වැටුන ලියද්දකට. ඒ ලියද්දෙ අයිනෙ තිබුණ විසාල කැන්ද ගහක්.

අනද කිත්තට කලන්තෙ වගේ ආව වේගෙට උන්දැ එහෙම්ම ටික වෙලාවක් වැටිල උන්න. ඉඳල යන්තං නැගිටල ලියද්දෙං නියරට ගොඩ වෙලා, වක්කඩෙං මඩ ටික හෝදගත්ත. එතෙන්ට ආව ඇතෙක් අන්දිරිස් කිත්තට දණ ගහල වැන්ද. කිත්ත ඇහුව “ඇයි?“ කියල. ඇතා කියනව, එහෙමලු රොබට් නොක්ස් ලියල තියෙන්නෙ. ඕනෙම ගොයියෙක් මඩ හෝදගත්තහම රජකමට හොඳයිලු මේ රටේ.

“මේ... පිස්සු නැතුව පුලුවන්නං මාව අර පරංගි රැළගෙං බේරගනිං“ කිව්වහම ඇතා කිත්තවත් පිටේ තියාගෙන දුවන්ඩ ගත්ත. (සමහරු නං කියනව කිත්ත ඇතාගෙ නැට්ටෙ එල්ලුනා, ඇතා ඉගිල්ලුනා කියලත්.) ඇතයි කිත්තයි පස්සෙං දුවං ආව පරංගි හමුදාව නිසා ලියද්දෙ තිබ්බ සරුසාර ගොයං වගාව එහ‍ෙම පිටිම්ම පාලු උනා. එදා ඉඳං තමයි ඒ ගමට කැන්දලියද්දපාලුව කියල කියන්නෙ.

ඇතා අනද කිත්තව අරං දුවගෙන දුවගෙන ගිහිං මහවිසාල ගඟක් ගාව නතර උනා.පරංගි හමුදාවත් හති ඇර ඇර දුවගෙන දුවගෙන ඇවිත් අනද කිත්තට කිට්ටු උනා විතරයි, හතර වටින් පැන්න සිංහල හමුදාවට කොටු උනා. ඔන්න ඔය “කොටු වුන මුල්ල“ කියන නම තමයි දැන් “කටුවාලමුල්ල“ කියල ව්‍යවහාරයත් එක්ක වෙනස් වෙලා තියෙන්නෙ. (ඒක නං ඇත්තම කියමනක්. විදේශික හමුදාවක් ස්වදේශික හමුදාවකට කොටුවුන නිසා මේ ගමට ඔය නම ව්‍යවහාර වෙන බව තමයි පැරැන්නො කියන්නෙ)

ඉතිං විසාල හමුදාවක් කොටුකරල අල්ලගන්ඩ අවස්ථාව සැලැස්සුවට රජතුමා අනද කිත්තට ඒ භූමිය නීන්දෙ පවරල දුන්න. රජතුමා පවරල දුන්නට, ඒ ඉඩමෙ අරක්ගෙන හිටපු ගොරක යකා ඒකට කැමති උනේ නෑ.

- ඒත් ඒක වෙනම ලියන්ඩ ඕනෙ කතාවක්...

බයි ද වේ, පරංගි හමුදාව අල්ලගෙන යන අතරමග, කඩවතට කිට්ටුව, සූරියමල් විකුණ විකුණ ආව සමසමාජ තරුණයො කණ්ඩායමක් පරංගින්ටත් සූරියමල් විකුණන්ඩ කතා කළා. රජ්ජුරුවන්ගෙ අතට අහුවෙලා හිරකාරෙයො වෙච්ච එකටයි, අනද කිත්තගෙ මාලු කන්ඩ බැරි වෙච්ච එකටයි කේන්තියෙ හිටපු පරංගි ටික අර සූරියමල් ටික උදුරගෙන පොළොවෙ ගැහුව. පොළොවෙ ගහල ඒක උඩ නටල, සුන්නද්දූලි කරල දැම්ම.

ආං එතන තමයි දැං සූරියපාලුව කියල කියන්නෙ.

කාට හරි මේ නම් ගම් ගැන සැකයක් තියේ නං ගූගල් මැප් එකෙං බලන්ඩ පුළුවං කැළණියෙ ඉඳං රාගමටත්, රාගම ඉඳං කැන්දලියද්දපාලුවටත් තියෙන ග්‍රාම නාම ටික. එතකොට අනද කිත්ත මොනවගේ දිවිල්ලක් දුවල ඇද්ද කියලත් හිතාගන්ඩ පුළුවං වෙයි.

කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

වැඩිපුර බලපු ලිපි