Wednesday, October 25, 2017

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපේක්ෂා කළ යුතු දේවල් - ඩ්‍රැකියාවෙලී විග්‍රහයක්

http://res.cloudinary.com/www-virgin-com/virgin-com-prod
/sites/virgin.com/files/Articles/Getty/getty_darwin_evolution.jpg

ලංකාවෙ දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැනට දහනම පාරක් සංශෝධනය කරල තියෙන්නෙ, ඒකෙ ඔරිජිනල් ෆෝම් එක රටේ පාලකයන්ට හරි යන්නැති හින්දනෙ. ඉස්සෙල්ලම බලමු මොකද්ද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නෙ කියල...

රටක් පාලනය වෙන මූලික නීතිය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒකෙන් තමයි කියන්නෙ:

01.  නීති හදන්නෙ කොහොමද?
02. නීති ක්‍රියාත්මක කරන්නෙ කවුද / කොහොමද?
03. නීති කඩන අය ගැන යුක්තිය පසිඳලන්නෙ කොහොමද?
04. රට පාලනය කරන්නෙ කවුද / කොහොමද?
05. රට ගැන තීරණ ගන්නෙ කවුද / කොහොමද?

වගේ රටක පාලනයට පදනම් වෙන සියලු කාරණා.

ලංකාවෙ දැං තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ මේ දේවල් ගැන තියෙන්නෙ මොනවද කියල බැලුවොත්, අපිට තව මොනවද ඕනෙ කියල හිතාගන්ඩ පුලුවන් වෙයි. මං පහළ කියන දේවල් කියන්නෙ බොහොම මතුපිටිං. මොකද, විස්තරාත්මකව කියන්ඩ ගියොත් එක එක කාරණා ගැන වෙන වෙනම පෝස්ට්  වැලක් ලියන්ඩ වෙන නිසා. උදාහරණයක් විදිහට, අපිට 78 ව්‍යවස්ථාවෙන් සහතික කරල තියෙන මූලික අයිතිවාසිකම් ගැන කිව්වොත් එක එකක් විස්තර කරන්ඩ පුළුවන් වෙන වෙනම පෝස්ට් එක බැගින් ලියල. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ගැන විතරක් පෝස්ට් දහයක් විතර ලියන්ඩ වෙනව.

හරි... ඕං පටං ගත්ත. (ඇති යාන්තං)

ශ්‍රී ලංකාව පාලනය කරන්නෙ ඡන්ද බලය හිමි මහජනතාව. ඕකට කියන්නෙ පරමාධිපත්‍යය. (නූතන ජාතික රාජ්‍යයක අංග තමයි, 1. භූමිය 2. ජනතාව 3. පරමාධිපත්‍යය) ජනතාව මේ රට පාලනය කරන්නෙ ඔවුන්ගෙ නියෝජිතයන් මගින්. මහජන නියෝජිතයන් කලින් කලට මහජනතාව විසින් පත් කෙරෙනව. (ඕක බහුතරයක් මහජනතාව හරියට දන්නෑ. දන්නවනං තමුංගෙ රාජකාරිය කරන්ඩ පත්කරල යවන, අපේ බදු මුදල් වලිං පඩි ගෙවන උංට දෙයියන්ඩ වගේ සළකන්ඩ ඕන් නෑනෙ.)

ඒ මහජන නියෝජිතයො රැළට කියනව පාර්ලිමේන්තුව කියල. ඒකට කියනව ව්‍යවස්ථාදායකය කියල. ඒ කියන්නෙ ඒ අය තමා නීති හදන්නෙ. එතන බෙදිම් තියෙනවනෙ, පක්ෂ විදිහට. ඒ පක්ෂ  වලින් සරළ බහුතරය හෙවත් 50% ට වැඩි එකතුවකට ආණ්ඩුවක් පිහිටුවන්ඩ පුළුවං. ඒ කියන්නෙ පාර්ලිමේන්තුවෙ තීරණ ගන්නෙ ඒ අය. ඒ වගේම හදන නීති ක්‍රියාත්මක කරන්නෙ ඒ අය. (ඒ ගැන මතුවට...)

පාර්ලිමේන්තුවට තියෙන බලතල...

1. රටේ මුදල් පාලනය
වෙන වැඩකට නිතියෙන් වෙන් නොකළ මුදල් වලට කියනව ඒකාබද්ධ අරමුදල කියල. ඒකට එන ආදායම් නියම කරන්නෙ, ඒකෙන් වියදම් කරන්ඩ මුල් අනුමැතිය දෙන්නෙ පාර්ලිමේන්තුව. (අයවැය සම්මත කිරිමෙන්, අතුරු සම්මත ගිණුම් සහ පරිපූරක යෝජනා අනුමත කිරීමෙන්, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ කෝප් කමිටුවෙන්, විගණකාධිපති මඟින් ආදී වශයෙන්)

2. නීති සම්පාදනය

3. ඊට අමතරව විශ්වාසභංග නැත්තං දොෂාභියෝග ආදිය ගෙනත් විධායකයෙ සහ අධිකරණයෙ සාමාජිකයො අයිං කරන්ඩ පුලුවං.

4. පාර්ලිමේන්තුවෙ එක එක කාරකසභා මගින් කරන එක එක කාර්යයන් තියෙනව. (උදාහරණයක් විදිහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් තමයි එක එක ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කරන්ඩ ජනාධිපතිට නම් නිර්දේශ කරන්නෙ)

පාරිලිමේන්තු සාමාජිකයෙක්ට අවුරුදු පහක් උන්නහම පෙන්ෂන් එක හම්බෙනව.

සමහර රටවල ව්‍යවස්ථාදයකය මණ්ඩල දෙකයි. එංගලන්තෙ, ඉන්දියාවෙ එහෙම ඒ වගේ දෙකක් තියෙනව. එකක් ජනතාවගෙ ඡන්දෙං පත්වෙන අතරෙ, සමාජයෙ ඉන්න සම්භාවණීය පුද්ගලයන්ගෙං හෝ රදළයන්ගෙන් සැදුනු තව මණ්ඩලයක් තියෙනව. (මට පේන විදිහට ලංකාවටත් එහෙම ක්‍රමයක් හඳුන්වාදෙන්ඩ රනිල්ගෙ අදහසක් තියෙන බවට බළලෙක් මල්ලෙං එබිකං කරනව. කලිනුත් තිබුණ එහෙම එකක් සෙනෙට් සභාව කියල. 47 සෝල්බරි ව්‍යවස්ථාවෙ එහ‍ෙම...)

ලංකාවෙ තියෙන්නෙ ජනාධිපති සහ කැබිනට් ක්‍රමයක් නෙ. ඕකට කියනව විධායකය කියල. විධායකයෙන් කරන්නෙ අර පාර්ලිමේන්තුවෙන් හදන නීති ක්‍රියාත්මක කරන එක. ඒක ජනාධිපති කරනව. ඒ වගේම අගමැති සහ කැබිනට් මණ්ඩලය කරනව. ගොඩක් අවස්ථා වල කැබිනට් මණ්ඩලයට ඇතුළත් නැති ඇමති වරුත් ඉන්නව. (දැං ඉන්නෙ රාජ්‍ය ඇමති වරු... ඒ වගේ) කැබිනට් මණ්ඩලයට සීමාවක් නෑ. ඒ වගේම ස්ථාවර විධායකය විදිහට වැඩකරන රාජ්‍ය සේවයත් නීති ක්‍රියාත්මක කරනව. රට පාලනය කරන්නෙ ඔය උදවිය.

ලංකාවෙ ජනාධිපති තනතුර හැදුවෙ ස්ත්‍රීපුරුෂ භේදය වෙනස් කරන්ඩ විතරක් බැරි - අනික් හැමදේම පුළුවං විදිහෙ බලවත් කමක් දීල. ඒ ජනාධිපති පත්කරන්නෙත් ජනතාව සෘජු ඡන්දෙං. (සමහර රටවල එහෙම සෘජු ඡන්දෙන් පත්වෙන්නෑ. වෙන ක්‍රමයක් තියෙනව) එතකොට, එතනත් ජනතාවගේ පාලන බලය තමයි ජනාධිපතිට අවුරුදු පහකට (19 වෙනි සංශෝධනයෙන් පහක් කළා) උන්දැට දෙන්නෙ.

ජනාධිපතිට තියෙන බලතල...

එයා කැබිනට් මණ්ඩලයෙ ප්‍රධානියා.

එයා තමයි අගමැති පත් කරන්නෙ (පාර්ලිමේන්තුවෙ බහුතරයකගෙ විශ්වාසය දිනාගන්න කෙනාව තමයි එහෙම පත්කරන්නෙ)

එයා ආණ්ඩුවෙ ප්‍රධානියා

එයා ත්‍රිවිධ හමුදාවෙ සේනාධිනායකය

එයා ඇමතිවරු පත් කරන්නෙ (අගමැතිගෙ උපදෙස් විමසා)

එයා අමාත්‍යාංශ ලේකම් වරු පත් කරන්නෙ

එයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කරන්නෙ. (නිලබලයෙන් තුන්දෙනයි, ඒ තුන්දෙනා, ජනාධිපති සහ පාර්ලිමේන්තුවෙ අනික් පක්ෂ නම්කරන හත් දෙනයි)

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ නිර්දේශ මත ස්වාධින කොමිෂන් සභා වලට සාමාජිකයන් පත්කරන්නෙත් එයාමයි.

පාර්ලිමේන්තුවක් පත් වෙලා අවුරුදු හතරකට පස්සෙ එයාට ඕනෙ වෙලාවක ඒක විසුරුවාහැරල මහමැතිවරණෙයක් තියන්ඩ පුළුවං

පාරිලිමේන්තුව විසුරුවා තියෙන විට ක්‍රම දෙකකට රටේ ඒකාබද්ධ අරමුදලෙ සල්ලි වියදම් කරන්ඩ පුළුවං

යුද්ධය - සාමය ප්‍රකාශයට පත් කරන්ඩ, හිරකාරයන්ට සමාව දෙන්ඩ පුළුවං

ජනාධිපති තනතුරේ ඉන්නකල් කරන ඕනෙම අලුගුත්තේරු වැඩකට නඩු දාන්ඩ බෑ.
ගෙදර ගියාම පෙන්ෂන් එක, නිල නිවාසයක්, සහ අනික් වරප්‍රසාද (ස්කොඩ් එක වගේ) හම්බෙනව මැරෙනකං ඒ වගේම මළාට පස්සෙ කලත්‍රයට පෙන්ෂන් එක ලැබෙනව එයා මැරෙනකං.

රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද ලැබෙනව (පිටරට වලදි එහෙම මේක හරි ආෂික්)

තව තියෙනව...

කැබිනට් මණ්ඩලයට තියෙන බලතල...

හැම නීතියක්ම අලුතින් පිහිටුවද්දි හරි, තියෙන නිතියක් සංශෝධනය කරද්දි හරි, පාර්ලිමේන්තුවට කෙලිම්ම ඉදිරිපත් කරන්ඩ බෑ. කලිං කැබිනට් මණ්ඩලේ අනුමැතිය ඕනෙ.

මේ අය තමයි අමාත්‍යාංශ වල විෂයපථය පාලනය කරන්නෙ.

රාජ්‍ය සේවය ගැන ප්‍රතිපත්තිමය තිරණ ගන්නෙ මේ අය. (17 වන සංශෝධනයෙන් මේ බලය රාජ්‍ය සේවා කොමිසමට දිල තිබුණ. 18 න් ආපහු කැබිනට් මණ්ඩලේට ගත්ත. 19න් ආපහු දුන්නෑ.) මේකෙ එක සරළ තේරුමක් තමයි, රාජ්‍ය සේවයෙ තිරණාත්මක පුටු වලට යන්ඩ නං දේශපාලන හයියක් ඕනෙ කියන එක. අනික තමයි, රාජ්‍ය සේවයෙ හැම කෙනෙක්ම කන්ඩ ඕනෙ මොන වෙලාවටද, වැඩට එන්ඩ යන්ඩ ඕනෙ මොනවෙලාවටද වගේ දේවල් වල ඉඳල, රාජ්‍ය සේවය මෙහෙයවන හැම නීති රීති රෙගුළාසියක්ම ගැන තීරණ ගන්නෙ මේ අය.

රජයෙ විශාල පරිමාණයෙ වැඩ, සැපයීම්, සේවා සපයාගැනීම් ගැන තීරණගන්නෙ කැබිනට් එක පත්කරන ප්‍රසම්පාදන මණ්ඩලය

රාජ්‍ය සේවයට තියෙන බලතල?

එකයි තියෙන්නෙ. තමන්ට පැවරිල තියෙන තනතුරේ ස්වභාවය අනුව තමංගෙ පරාසයෙ පාලනය සහ කටයුතු ඉටු කිරීම.

මේ අයට පෙන්ෂන් එක හම්බෙන්නෙ වයස 55 හෝ 60 සම්පූර්ණ කළහමයි.

රාජ්‍ය සේවයෙ පත්කිරීම්, මාරු කිරීම්, උසස්කිරීම්, අස්කිරීම්, විනය පාලනය කරන්නෙ රාජ්‍ය සේවා කොමිසම. ඒක පත් කරන්නෙ ජනාධිපති - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ නිර්දේශ අරගෙන.

තව අංශයක් තමයි, නීති කඩවෙනවද කියල බලල දඬුවම් නියම කිරීම සහ චර්යාවන් නිවැරදි කරන්ඩ තියෙන ආයතන. ඒකට කියනව අධිකරණය කියල.

ලංකාවෙ ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය. 

ඒක අභියාචනා ගැන තීරණ දෙන්ඩ තියෙන ඉහළම එක

මූලික අයිතිවාසිකම් කඩවිම ගැන නඩු ගොනු කරන්ඩ පුළුවං එතන

ඊට අමතරව ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සැක සහිත තැන් තියෙනව නං ඒක ගැන තේරුම් සපයන එකත් එක රාජකාරියක්

අනික තමයි ඡන්ද පෙස්සම් විභාග කරල, අවුරුදු දහයකට විතර පස්සෙ ඒ ඡන්දෙ වැරදියට තියල තියෙන්නෙ කියල තීන්දුව දෙන එක.

ඊට පහලිං තියෙනව අභියාචනාධිකරණය

ඒකෙ අනික් අධිකරණ කටයුතු වලට වඩා විශේෂයකට තියෙන්නෙ රිට් ආඥා නිකුත් කරන එකයි

රජයෙ නිලධාරියෙක් රාජකාරිය පැහැර හරිනවනං
ඉහළ තනතුරකට සුදුසුකම් නැතුව කෙනෙක් පත් වෙලා ඉන්නවනං
කාව හරි නීතියට පිටිං හංගගෙන ඉන්නවනං
මොකක් හරි අහිතකර ක්‍රියාවක් තහනම් කරවගන්ඩ ඕන්නං
කවුරු හරි දෙන නීති විරෝධී තීන්දුවක් අහෝසි කරගන්ඩ ඕන්නං
       මේ වගේ කාරණා වලදි අභියාචනාධිකරණයට පැමිණිලි කරල රිට් ආඥාවක් ගන්ඩ පුළුවං

ඊට පහලිං පළාත්බද මහාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණ ආදිය තියෙනව.

ඔය ටික තමා ලංකාවෙ පාලන ව්‍යුහය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවං සළසල තියෙන.

ලංකාවෙ තව තියෙනව පළාත් සභා

13 වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මේක ඇති කළේ. ඒ අනුව කාර්යයන් ලැයිස්තු තුනක් තියෙනව. එක ලැයිස්තුවක් (සංවෘත ලැයිස්තුව) රජයට අයිතියි. අනික පළාත් සභා වලට අයිතියි. අන්තිම එක (සමගාමී ලැයිස්තුව) දෙකටම අයිතියි. ඒ අන්තිම එකේ කාර්යයක් ගැන රජය නීතියක් හදනවනං පළාත් සභා ඔක්කොටම ඉදිරිපත් කරල අනුමත කරව ගන්ඩ ඕනෙ. පළාත් සභාවක් නීතියක් හදනවනං රජයට ඉදිරිපත් කරල අනුමැතිය ගන්ඩ ඕනෙ.

පළාතෙ ප්‍රධානිය ආණ්ඩුකාරය. එයා පත් කරන්නෙ ජනාධිපති. එතනිං පළාතෙ පාලනය ජනාධිපති අතේ රඳව ගන්නව. ඒකෙ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන පළාත් මහලේකම් පත් කරන්නෙත් ජනාධිපති. පළාතෙ රාජ්‍ය සේවය පාලනය වෙන්නෙ පළාත් රාජ්‍ය සේවා කොමිසමෙං. ඒක පත් කරන්නෙ ආණ්ඩුකාරය. පළාත් සභාව විසුරුවන්ඩ ආණ්ඩුකාරයට බලය තියෙනව. ඔය විදිහට පළාත් සභාවල ඉහළ කොටස තනිකර දේශපාලනයට යටත්.

පළාත් සභාවෙ අැමතිවරු (මහ ඇමතිත් එක්ක) පහයි. (ලොකු හයියක්)

ඔයිට අමතරව තියෙනව පළාත් පාලන ආයතන. එව්වයෙ ඉන්නෙ පළාත් රාජ්‍ය සේවයෙ උදවිය, මහජන නියෝජිතයො සහ මහජන නියෝජිතයන් අතිරං තෝරගත්ත සභාපතිවරු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙනව මූලික අයිතිවාසිකම්:

1. සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස
2. වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත්  නොවී සිටිමේ නිදහස
3. නීතිය පසිඳලීම සහ ක‍්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ වීම සහ ජනවර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවීම
4. අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් සහ දඬුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම
5. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය
6. සාමකාමීව රැස්වීමේ නිදහස
7. තමන් කැමති සමාගමකට, සමිතියකට, දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට බැඳීමේ සහ එහි කටයුතු කිරීමේ නිදහස
8. වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහස
9. ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ, වැඩි දියුණු කිරීමේ සහ ස්වකීය භාෂාව භාවිත කිරීමේ නිදහස
10. නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහස
11. ශ‍්‍රී ලංකාව තුළ යාම් ඊම් නිදහස, අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස සහ ශ‍්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහස
12. තොරතුරු වෙත ප‍්‍රවේශ වීමේ අයිතිවාසිකම

මූලික අයිතිවාසිකම් වලට සීමා තියෙනව. 1, 2, 3, 4, 12 හැර අනික් එව්ව භුක්ති විඳිද්දි, ජනවාර්ගික සහජීවනයට සහ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට හාණි නොවන විදිහට, අධිකරණයට අපහාස නොවන විදිහට භුක්ති විඳිය යුතුයි.

අනික මේ අයිතිවාසිකම් ලැබෙන්නෙ ලංකාවෙ පුරවැසියන්ට විතරයි.

මූලික අයිතිවාසිකම් කඩ වෙද්දි හෝ වෙන්ඩ ආසන්න මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණයෙ නඩුවක් දාන්ඩ හරි මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කරන්ඩ හරි පුලුවං. (එච්චරයි ඉතිං... ඒ පැමිණිලි වලට වෙන දේවල් කියල නෑ. ඒක ශක්තිමත් කරන්ඩ ඕනෙ අලුත් සංශෝධනයකදි.)

විගණකාධිපති ගැන, ස්වාධීන කොමිෂන් සභා ගැන කියනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තව පරිච්ඡේද කිපයකිං.

අපේ අයියල ලොකුවටම අල්ලගෙන ඉන්න දේවල් කිපයකුත් මේකෙ තියෙනව.

1. ඒකීය බව

ඒකීයයි කියන්නෙ පාලන බලය බෙදා හැරල නෑ. රජය යටතෙ තියෙන්නෙ කියන එකයි. ලංකාව ප්‍රායෝගිකව බැලුවොත් දැනටමත් යම් පමණකට ඒකීය නෑ. මොකද සමහර බලතල දැනටමත් පළාත් සභා වලින් ක්‍රියාත්මක කෙරෙනව.

ඕකෙ විරුද්ධාර්ථය තමයි සන්ධිය බව (ඉංග්‍රීසි වචනෙ ෆෙඩරල්. මේ වචනෙ ඇහෙන්ඩ කියන්ඩවත් හොඳ නෑ - රට කෑලි වලට කැඩෙනව.) සන්ධීය කියන්නෙ ප්‍රාදේශීය පාලන ඒකක තියෙනව. මධ්‍යම රජයකුත් තියෙනව. ඒ දෙකෙම්ම රටේ පාලනය කෙරෙනව. උදාහරණ තමයි ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල් (ඉන්දියාව 1947 ඉඳං සන්ධීයයි. මේ කියන විදිහට ඒක 1950 විතර වෙද්දි කැලි කෑලි වලට කැඩිල තියෙන්ඩ ඕනෙ.)

2. බුද්ධාගමට ප්‍රමුඛත්වය දිල සුරක්ෂිත කරල පෝෂණය කරන බව

ඕක නං මයෙ හිතේ 1818 ගිවිසුමට දාපු වගන්තියක්. මගෙ පෞද්ගලික මතය නං රාජ්‍යයක් එක ආගමකට ප්‍රමුඛතාවය දීම වැරදියි. රජය එක්කෝ රටේ පවතින හැම ආගමක්ම ආරක්ෂා කළ යුතුයි. නැත්තං එකක්වත් පෝෂණය නොකළ යුතුයි. මොකද කිසිම ආගමකට පවතින්ඩ රාජ්‍ය අනුග්‍රහය ඕන් නෑ. ඕනෙ භක්තිමත් අනුගාමිකයොයි, සිල්වත් පූජකයොයි විතරයි.

ඊට අමතරව ජාතික කොඩියයි, ජාතික ගීයයි, දිස්ත්‍රික්ක විසිපහයි, රටේ පුරවැසියංගෙ ප්‍රමුඛතා ලැයිස්තුවයි එහෙමත් මේකෙ සඳහන් වෙනව.

------------------------------------

හරි... දැං අපි බලමු මොනවද මේකෙ සංශෝධනය වෙනවනං හොඳ - ඒ කියන්නෙ රටේ යහපැවැත්මට සහ හොඳ රාජ්‍ය කළමනාකරණයක් ඇති කරගන්ඩ ඕනෙ මොනවද?

1. මැතිවරණ ක්‍රමය

දැං තියෙන්නෙ අපේක්ෂකයො රැළක් එකිනෙකා විශාල ප්‍රදේශයක් ආවරණය කරන ක්‍රමයක්. (මහමැතිවරණෙකදි දිස්ත්‍රික්කයක් ආවරණය කරන්ඩ වෙනව එක්කෙනෙකුට.) එතකොට ඡන්දෙට ඉදිරිපත් වෙන්ඩ පුළුවං ඔය විශාල ප්‍රදේශයටම වියදම් කරන්ඩ පුළුවං අයට විතරයි. එතකොට සමාජයෙ සම්මානනීය පුරවැසියො නෙමෙයි ඉදිරිපත් වෙන්නෙ, හොඳටම සල්ලි හම්බකරගත්තු මනුස්සයෙක්. ඒ කියන්නෙ එයා පත් උනාටපස්සෙ බලන්නෙ සමාජයෙ සම්භාවනීය විදිහට ඉන්ඩ නෙමෙයි, වියදං කරපු සල්ලි වගේ කීප ගුණයක් උපය ගන්න මාර්ගය.

ඒ නිසා මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්ඩ ඕනෙ.

ඒක ආපහු තිබුණු කේවල ක්‍රමයට යනවනං හොඳයි. එතකොට එක ආසනේකට එකයි පත්වෙන්නෙ. ඒකෙං සුළු පක්ෂවලට හම්බ කරගන්ඩ රස්සාවක් නැතුව යනව. (මුං බහුතරයක් නං පාර්ලිමේන්තුවට ආවත් වැඩක් නෑ. කරන වැඩක් නැති නිසා.) අනික සුලු ජනවර්ග නියෝජනයට ඉඩක් නැතුව යයි කියලත් පේනව.

2. ජනාධිපති ක්‍රමය

අපි හරිම බයයි නෙ ජනාධිපති නැති කරනවට. හැබැයි 94 ඉඳං ජනාධිපති තනතුරට ඉල්ලපු හැම එක්කෙනාම කිව්වෙ මං බලයට ඇවිත් ඕක නැති කරනවය කියලයි. අනික 78 වෙනකං තිබ්බෙ කැබිනට් ක්‍රමය. ඒ කාලෙ තමයි පළවෙනි ජවිපෙ කැරැල්ල ආවෙ. කැබිනට් කියල ඒකට මූණ දෙන්ඩ බැරි උනාද? අනික ජනාධිපති ක්‍රමය තිබ්බ කියල සිවිල් යුද්ධය මගඇරගන්ඩ අපිට පුළුවං උනාද? නෑනෙ. ඒක අවුරුදු 30ක් ඇදුණනෙ. අනික, ඉන්දියාවෙ තියෙන්නෙ කැබිනට් ක්‍රමය. එංගලන්තෙ තියෙන්නෙත් කැබිනට් ක්‍රමය. එව්වට මොකද වෙලා තියෙන්නෙ? ඔය යහතිං තියෙන්නෙ.

කොහොමත් බලතල මහ රාසියක් එක පුද්ගලයෙකුට දෙන්ඩ හොඳ නෑ. ප්ලේටෝ කියල තියෙන්නෙ මට මතක විදිහට “බලය දූෂණය කරයි“ කියල. උඩ මං පෙන්නල තියෙනව, හමුදාවට අණ දෙන්ඩ, මුදල් පාලනය කරන්ඩ, නිති හදන ආයතනය විසුරුවන්ඩ, හැමතැනම ඉන්න ප්‍රධානීන් පත් කරන්ඩ ආදී වශයෙන් ජනාධිපතිට ලැබිල තියෙන බලතල වැඩියි.

අනික තමයි එයා කාටවත් වගකියන්නෑ. අගමැති පාර්ලිමේන්තුවට වගකියනව. කැබිනට් මණ්ඩලයත් එහෙමයි. කොමිෂන් සභාත් පාර්ලිමේන්තුවට වගකියන්ඩ ඕනෙ. ජනාධිපති කාටවත් වගකියන්නෑ. (දුවටයි ආර්යාවටයි ඇරෙන්ඩ)

වැඩිය හොඳයි පාර්ලිමේන්තුවට වගකියන විධායක ක්‍රමයක්. කැබිනට් ක්‍රමය හොඳා.

3. රාජ්‍ය සේවය

රාජ්‍ය සේවයෙ ප්‍රතිපත්තිමය තීරණ ගන්න බලය කැබිනට් මන්ඩලයට දෙන්ඩ ඕනෙ නෑ.

දැං ඉන්න ඇමති වරු අතරෙ ඒ ලෙවල්වත් නැති අය පවා ඉන්නව. පැහැදිලිවම ඒ අයට රට දියුණු කරන පරමාර්ථයට වඩා තියෙන්නෙ දේපළ අත්පත් කරගැනීම, හම්බ කරගැනීම වගේ පරමාර්ථ.

ඒත් රාජ්‍ය සේවයෙ ඉහළ නිලධාරීන් එන්නෙ එක්කො අවුරුදු දහයක පළපුරුද්දෙන්, නැත්නං උපාධියෙන්, නැත්තං දෙකම ඕනෙ. ඒ අය කටයුතු කළයුතු විදිහ ගැන තීරණ ගන්ඩ ඒ අය අතරින්ම කිර්තියක් අත්කරගන්න අයගෙන් සැදුණු කොමිෂන් සභාවකට පුළුවන්.

අනික තමයි අමාත්‍යාංශ ලේකම් වරු.

ඒ අය ජනාධිපති පත්කරන්නෙ. අනික ඇමති මාරු වෙනකොට ලේකමුත් මාරු වෙනව. එහෙම උනාම, ඇමතිට ජනාධිපතිට ගැති අය තමයි ඒ තනතුරු වලට පත්වෙන්නෙ. එහෙම ඕන් නෑ. 78 ට කලිං හිටිය වගේ ස්ථිර ලේකම් වරු පත් කළ යුතුයි. එතකොට කෙලිං වැඩ කරන්ඩ පුළුවන් නිලධාරින්ට ඒ තැන්වලට එන්ඩ පුළුවන් වෙනව.

තව ලියන්ඩ තියෙනව. ඒ ටික අනික් කොටසින් ලියන්නම්...

21 comments:

  1. විධායක ජනාධිපති ක්‍රමයේ වැදගත්කම තමයි
    ලංකාවේ සියළුම ජනවර්ග වල, ආගම්වල, ප්‍රදේශවල අයට එක මිනිහෙක් තම නායකයා ලෙස පත්කරගන්න හැකිවීම.
    දෙමළ ජාති වාදීන් මොකක් හරි බොරුවක් කියලා ජනාධිපතිවරන මඟ හරින්නේ ඒකයි.
    ජනාධිපති අධිකරනයට වගකිවයුතු අයෙක් වියයුතුයි.

    2.මැතිවරණ ක්‍රමය ගැන අපේ අදහස මෙයයි.
    http://katha32.blogspot.com/2015/06/20.html

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අදහස් දැක්වීමට. “ෂඃ මරු පෝස්ටුව“ කියල දාන මිත්‍රශීලී අදහස් වලට වඩා මේ වගේ සංවාදශීලී අදහස් මේ බ්ලොග් එක වගේම මගෙ මනසත්, කියවන්නනුත් පෝෂණය කරනව.

      මම කල්පනා කළේ, හැම ජනවර්ගයක්ම, හැම ආගමක්ම, හැම ප්‍රදේශයක්ම ඉතිං ඔය පත්කරගන්න නායකයට ඇත්තටම නියෝජනය කරන්ඩ පුලුවන්ද? එහෙම වෙන්නෑනෙ. සරළ බහුතරය තමයි එයා පත්කරන්නෙ. පත් උනාට පස්සෙ එයා තමන්ට ඡන්දය දීපු අයගෙ අදහස්වත් නියෝජනය නොකරන්ඩ ඉඩ තියෙනව ඔය තරම් බලවත් තනතුරක් උනහම. එයිට හොඳයිනෙ ප්‍රායෝගිකයිනෙ හැම ජනකොටසක්ම නියෝජනය වෙන පාර්ලිමේන්තු ක්‍රමය.

      තනි නායකයෙක් ඕනෙ වෙන්නෙ රාජාන්ඩුවාදින්ට හරි ඒකාධිපතිවාදයට අවනත අයට හරි විතරයි. එයිට හොඳයි සැබෑ විදිහට ජනතාව නියෝජනය කරන නියෝජිතයන් මඟින් පාලනය වෙන එක.

      රාජ්‍ය නායකයෙක් සිටිය යුතුයි. එහෙම නැති ආණ්ඩුක්‍රම ලෝකෙ නෑ. ඒත් ඒ තනි නායකයා බලසම්පන්න විය යුතු නෑ. එංගලන්තෙ රැජිණ හොඳම උදාහරණයක්.

      මැතිවරණ ක්‍රමය ගැන ඔබගෙ අදහස මම කියවන්න එන්නම්. ගොඩක් විට මගෙ අදහසුත් එයින් පෝෂණය වෙයි කියල හිතනව.

      Delete
  2. කොමිස් ගැහිල්ල සහ සල්ලි හේදිල්ල නීති ගත කලයුතුයි.. රාජ්ජ ආයතන හා රාජ්ජ දේපල පත්වෙන දෙස්පාලකයින්ගෙ පුද්ගලික දේපල වගෙ තියාගෙන පවුලෙ අයට බුක්ති විඳින්නයි කැමති කෙනෙකුට විකුනන්නයි ටෙන්ඩර් වලින් කොමිස් ගහන්නයි ඇති අයිතිය වියවස්තාවෙන් සහතික වෙන්ඩ ඕනෑ.ජරාව කෑමට බුද්දාගමට වගේම පෝෂණය කරල ආරක්ශා කරන බවට වියවස්තාවෙ සහතිකයක් දෙන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඈ...? දැනට ඔය එව්ව නීතිගත වෙලා නැද්ද? එහෙම නැත්තං මොකටද අලුත් ව්‍යවස්ථාවක්?

      Delete
  3. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 13 වන සංශෝධනය හා විධායක ජනාධිපතිතනතුර තමයි වෙනසකට බඳුන් විය යුතුයි යන මතයේ තමයි බොහෝ දෙනෙක් සිටින්නේ. අපේ රටේ ජනාධිපති තනතුර ඇතිකරන්න උදාහරණ සපයා ගත්තේ ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. ඔහු කිසිවෙකුටත් යටත් නොවන තනතුරක් නමුත් ඇමරිකානු ජනාධිපතිවරයා එරට සෙනෙට් මණ්ඩලයට වග කියනවා මෙන්ම ඔහුට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. නමුත් ඒවායේ ප්‍රයෝගිකත්වය බොහොම වෙනස් සෙනෙට් මණ්ඩලයේ බොහෝ විට සිටින්නේ ජනාධිපතිට පක්ෂපාතී අයවලුන්. බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාට එරෙහිව පමණක් නඩුවක් ඇසුණා.
    ඉතින් ඔබ කියන කරුණු පරම සත්‍යයි. නීතියට කාලයට අනුව වෙනස් වියයුතුයි එය මූලික සිද්ධාන්තයක් ඉතින් ඒ නිසා රටේ මූලික නිතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සැබෑ ලෙසම වෙනස් වියයුතුයි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනක් ඉන්න මතය වෙන්නෙ, තම තමං කැමති දේශපාලන කණ්ඩායම තමංගෙ ඔළුවට ඇතුල් කරන අදහස මිසක්, හරි දැක්මක නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරි, වෙන ඕනෙම පණතක් හරි කියවල තේරුම් ගන්න එක මහලොකු අමාරු දෙයක් නෙමෙයි. ඒත් වෙන්නෙ, දේශපාලකයො පාක්ෂිකයන්ට පාට කණ්නාඩියක් දානව. ඊට පස්සෙ මොන දේ ආවත් පේන්නෙ අර පාටට.

      අද කාලෙ හැම දේශපාලකයෙක්ම කරන්නෙ මැතිවරණ ඉළක්ක කරගත්ත දේශපාලනයක් මිසක, රටේ සැබෑ යහපතට අවශ්‍ය කටයුතු නෙවෙයි. හොඳ ව්‍යවස්ථාවක් හැදුවොත් සමහර කුඩා දේශපාලන කණ්ඩායම් වලට සටන්පාඨ අහිමි වෙනව. ඒ වගේම තමංගෙ බඩරස්සාව අහිමි වීමේ අවදානමක් අැති වෙනව. බලයේ ඉන්නෙ කන්ඩායම් දෙකත්, එකක් අනිකෙ හොඳ යෝජනා වලට විරුද්ධ වෙනව, මොකද එව්ව හරියට ක්‍රියාත්මක උනොත් ඒ පක්ෂයෙ ඡන්ද පදනමට වාසි නිසා. බලය අහිමි අය, ආන්ඩුවෙ ඵලදායී යෝජනාවලට කොහොම හරි විරුද්ධ වෙලා, තේ කෝප්පෙ කිඹුල්ලු පෙන්නල තමංගෙ ඡන්ද ගොඩ වැඩි කරගන්ඩ හදනව.

      එක කාලෙක ඡන්ද දිනල දුන්නෙ කඳුලු. තව කාලෙක යුධ ජයග්‍රහණය. ඊට පස්සෙ බය (විදුලි පුටුව, රට බෙදෙනව, මුස්ලිම් ව්‍යාප්තවාදය... ඔය ඕනෙ එකක්)

      කාලීන වෙනස්කම් අවශ්‍යයි තමයි. ඒත් බලන්ඩ එංගලන්තෙ ව්‍යවස්ථාව. ඒක ලිඛිත නෑ. ඒත් මේ දක්වා ඒක වෙනස් වෙලත් නෑ. ඒ නිසා අවශ්‍ය වෙන්නෙ, ආණ්ඩුක්‍රම සංශෝධන වලටත් වඩා, සබුද්ධික ඡන්දදායකයන් සහ ආකල්ප සහිත දේශපාලකයන්.

      එක්කෙනක් කියල තිබුණ, ආණ්ඩුවක් අලුතෙන් පත් කරගන්නවට වඩා අපට අවශ්‍ය වෙලා තියෙන්නෙ ජනතාවක් අලුතෙන් පත්කරගන්ඩයි කියල.

      Delete
  4. හැම එහෙකටම වගේ මේ වගේ ඩ්‍රැකියාවෙලී විග්‍රහ තියෙනවනම් සාමාන්‍ය මිනිස්සුන්ට මේවා මෙච්චර මැජික් වෙන්නේ නෑ..

    උබේ මහන්සිය එළකිරි..

    ReplyDelete
    Replies
    1. ෙගාඩක් ස්තූතියි කළණ... වැඩේ තියෙන්නෙ මෙයිට වඩා විස්තරාත්මකව ලියන්ඩ මොකුත් කියවන්ඩ වෙලාවක් ලැබෙන්නෑ. මේකත් ලියන්නෙ මහ රෑ... ඊයෙ මේක ලියල පෝස්ට් කරන අව්අස්සෙ, තව පොඩ්ඩෙං ඩ්‍රැකියානි මාව ඩිවෝස් කරනව...

      Delete
  5. හා හා ඒක කරගාන එපා මොකද ඔබතුමා රටේ ප්‍රශ්න විසදුවට වැඩක් නා ගෙදර ප්‍රශ්ණ නම්. විචාරකතුමා නිදාගත්තේ පාන්දර 1.00 එක වෙනම කතාවක් එතකොට අපේ අම්ම හොඳ නින්දක් නිදියලා. එයා නිදියනකොට මෙයා ඇහැරිලා ශිප්ට් එකට තමයි වැඩ කරේ මොකද දෙන්නම පෙන්ෂන් හින්දා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඔය වගේ කතාවක් ඩ්‍රැකියානිත් කිව්ව...

      Delete
  6. අගේ ඇති පැහැදිලි කිරීමක්.

    ReplyDelete
    Replies
    1. ඇයි, අද னයා ගහන්නැද්ද?

      Delete
    2. //2. වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොවී සිටිමේ නිදහස//

      බොලා னයාට ටෝච් එකෙන් ගහපු නිසා ඌ නඩුවක් ෆයිල් කරන්න යන්නෙ.

      Delete
    3. අැයි ඒ්ක විතරක්? මේකත් කඩවෙලා
      /11. ශ‍්‍රී ලංකාව තුළ යාම් ඊම් නිදහස, අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස සහ ශ‍්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහස/

      Delete
  7. මේක 8 වසරෙ පෙලපොතට ඇතුලත් කරන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම හොඳ අදහසක්. මටත් කීයක් හරි ලැබෙයිනෙ...

      Delete
  8. Will comment properly after the next part.

    ReplyDelete
  9. පැහැදිලියි... ඉස්දූදියි...

    ReplyDelete
    Replies
    1. ස්ස්ස්සූදියි... දියි...යි...යි (ඉකෝ එක)

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

බඩු පෙට්ටියක කොළඹට ගිය ගමනක්

බ්‍රහ්ම මූර්තියෙන් හෙවත් මහා බ්‍රහ්මයා අවදි වෙන වෙලාවෙන් හෙවත් පාන්දර හතරට පමණ මම අවදි උනෙමි. ගෙදර කරුවලය. භූමිතෙල් කඳුලක් ගේ හරියේ නැත.ඉ...