Saturday, December 23, 2017

ජේසු කුහක සදාචාරවාදයට එරෙහිව...

http://www.bevscountrycottage.com/images/loveoneanother.jpg
මම ලියන දෙවෙනි නත්තල් කළාපයෙන්, ජේසු තමන්ගෙ අනුගාමිකයන්ගෙන් අපේක්ෂා කළ චර්යාව මොන විදිහද කියල කතා කිරිම සුුදුසුයි කියල හිතුණ. බෛබලයෙ අලුත් ගිවිසුමේ පළවෙනි පොත් හතරෙන් විස්තර කෙරෙන එතුමාගෙ ජීවිත කතාවෙන් එතුමා දේශනා කරපු සාරය යම් තරමකට දැකගන්න පුළුවන්. මම එයින් යම් කොටසක් විස්තර කරන්න හිතුව.

ජේසුතුමා, සමාජයෙ යහපත් යැයි සම්මත වුනු දේවල තිබුණු කුහක පැත්ත වඩා සියුම් විදිහට දැකලා, ඒ දේවල් වඩා හොඳ පැත්තට හරවන්න දේශනා කළ බවත්, ඒ වගෙම ආදර්ශයෙන් පෙන්නපු බවත් පෙනෙන්න තියෙනව.

මම මෙතනදි උපුටා දක්වන්නෙ අලුත් ගිවිසුමේ පළවෙනි පොත වෙන මතෙව් ගෙ සුභාරංචියෙන්. බෛබලයෙ තියෙන විදිහට මතෙව් කියන්නෙ ජේසු තුමාගෙ ගෝලයන් දොළහෙන් එක් අයෙක්. ඒ නිසා මතෙව්ගෙ පොතේ තියෙන විස්තර වඩාත් ඇත්තට සමීපයි කියල සළකන්න පුළුවන්.

ජේසු තුමා ආශ්‍රය කරන්න වඩාත් කැමති වුනේ සමාජයේ නරක යැයි සම්මත උදවිය. ඇයි ඒ?

9 ජේසුස් වහන්සේ එතැනින් යද්දී රේගු පොළේ හුන් මතෙව් නම් මිනිසෙකු දැක, ”මා අනුව එන්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය.
10 තවද, ජේසුස් වහන්සේ ඔහුගේ නිවෙසහි වැඩහුන් කල, බොහෝ අයකැමියෝ ද පව්කාරයෝ ද අවුත් උන් වහන්සේ සහ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ. 11 පරිසිවරු ඒ දැක, ”ඔබේ ඇදුරු තුමා අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කෑම කන්නේ මන්දැ”යි උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් ඇසූ හ. 12 උන් වහන්සේ ඒ අසා ඔවුන්ට කතා කොට, ”රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත. 13 ‘මම යාග පූජාවට නොව, දයාවට කැමැත්තෙමි’යි යන කීමේ අර්ථය ඔබ ගොස් තේරුම්ගන්න. මා ආයේ දමිටුන් නොව පවිටුන් කැඳවීමට ය”යි වදාළ සේක.
(මතෙව් 9: 9 - 13 / මාක් 2:13-17 / ලූක් 5:27-32)

පුතුන් දෙදෙනා පිළිබඳ උපමාව
28 තවදුරටත් ජේසුස් වහන්සේ කතා කරමින්, ”ඔබ මේ ගැන කුමක් සිතන්නහු ද? එක් මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ; ඔහු වැඩිමලා ළඟට ගොස්, ‘දරුවා යන්න; අද මිදි වත්තේ වැඩ කරන්නැ’යි කී ය. 29 ඔහු උත්තර දෙමින්, ‘නොයමි’යි කී ය. එහෙත්, පසුව පසුතැවිලි වී වැඩට ගියේ ය. 30 පියා දෙවැන්නා ළඟට ගොස් ඔහුටත් මුලින් කී දේ ම කී ය. ඔහු උත්තර දෙමින්, ‘ස්වාමීනි, යමි’යි කී ය, එහෙත් නොගියේ ය. 31 ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත ඉටු කෙළේ කවරෙක් දැ”යි ඇසූ සේක. ”වැඩිමලා”යි ඔව්හු කී හ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”සැබැවින් ම මම ඔබට කියමි, අයකැමියෝත්, වෙසඟනෝත් ඔබට පළමුවෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පැමිණෙති. 32 මන්ද, ජුවාම් ධර්මිෂ්ඨ මාර්ගය පෙන්වන පිණිස ඔබ වෙත ආවේ ය. ඔබ ඔහු විශ්වාස කෙළේ නැත. එහෙත්, අයකැමියෝත් වෙසඟනෝත් ඔහු විශ්වාස කළහ. ඔබ එය දැක ඉන්පසුව වත් ඔහු කෙරෙහි විශ්වාස කරන පිණිස පසුතැවී සිත් හරවා නොගත්තහු ය”යි වදාළ සේක.
(මතෙව් 21: 28-32)

ලෝකය වඩා යහපත් වෙන්නෙ, සමාජයට පේන්න යහපත් විදිහට ඉන්න මිනිස්සුන්ගෙන් නෙවෙයි. තමන්ගෙ වැරදි හැසිරීම් තේරුම් අරගෙන යහපත් අතට වෙනස් වෙන්න කැමැත්තක් ඇති කරගන්න මිනිස්සුන්ගෙන්. ජේසුතුමා ගොඩක්ම වැඩ කළේ අන්න ඒ පාර්ශවය වෙනුවෙන් කියල පේනව.

ජේසු තුමාගෙ ගෝළයන් අත් සෝදන් නැතුව ආහාර ගන්නව කියල, සමාජයෙ හොඳ යැයි සම්මත පාර්ශවය (පරිසි වරු) ඒක හෙලා දකින්න පටන් ගත්ත. ඒ අයට දුන්න උත්තරේ:

10 උන් වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කතා කොට, ”ඔබ සවන් දී හොඳින් තේරුම්ගන්න. 11 මිනිසා කෙලෙසනු ලැබීමට හේතු වන්නේ කටට ඇතුළු වන දේ නොව, කටින් නික්මෙන දේ ය”යි වදාළ සේක. 12 එවිට ශ්‍රාවකයෝ අවුත්, ”ඔබගේ ඒ කීම අසා, පරිසිවරුන් තදින් අමනාප වූ බව ඔබ වහන්සේ දන්නා සේක් දැ”යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ. 13 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ විසින් රෝපණය නොකරන ලද සියලු පැළෑටි උදුරා දමනු ලබන්නේ ය. 14 පරිසිවරුන්ගෙන් අපට කමක් නැත. ඔව්හු අන්ධයන්ගේ අන්ධ මාර්ගෝපදේශකයෝ ය. අන්ධයෙකු තව අන්ධයෙකුට මඟ පෙන්වන්නට ගියොත්, දෙදෙන ම වළක වැටෙනු ඇතැ”යි වදාළ සේක. 15 එවිට පේදුරු කතා කොට, ”මේ උපමාව අපට පහදා දුන මැනවැ”යි උන් වහන්සේට කී ය. 16 උන් වහන්සේ කතා කොට මෙසේ වදාළ සේක: ”ඔබට තවමත් තේරෙන්නේ නැද් ද? 17 කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද් ද? 18 එහෙත්, කටින් පිටවන දේ නික්මෙන්නේ සිතින් ය; මිනිසා කෙලෙසනු ලබන්නේ එයින් ය. 19 නපුරු චේතනා, මිනීමැරුම්, කාමරාග, සල්ලාලකම්, සොරකම්, බොරු සාක්ෂි සහ අපහාස නික්මෙන්නේ හදවතින් ය. 20 මිනිසා කෙලෙසනු ලබන්නේ මෙකී දේවලින්. එහෙත්, අත් නොසෝදා කෑමෙන් මිනිසා කෙලෙසනු නොලබන්නේ ය.”
(මතෙව් 15:10-20 / මාක් 7:14-23)

හැසිරීමෙන් සහ යහපත් යැයි සම්මත සිරිත් විරිත් වලින් මිනිහෙක් හරිද වැරදිද කියල විනිශ්චය කරනවට වඩා, එයා කියන කරන දේවල තියෙන අරමුණ සහ චේතනාව අනුව තේරුම් ගැනීම වැදගත්. ඒ වගේම, මිනිසෙක් කිළිටි වෙන්නෙ සිතෙන් සහ හදවතින් නික්මෙන දේ වලින්. එයා බාහිර සමාජයට පේන්න කරන කියන දේවලින් නෙවෙයි. 

ආගමක නාමයෙන් ව්‍යාපාර කරන උදවියට ජේසු තුමා සළකපු විදිහ මීළඟට... 

12 ජේසුස් වහන්සේ දේව මාලිගාවට ඇතුළු ව, එහි වෙළහෙළඳාම් කරමින් සිටි සියල්ලන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ මේස ද පරෙවි වෙළෙඳුන්ගේ ආසන ද පෙරළා දමා, 13 ” ‘මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහය කැ යි කියනු ලබන්නේ ය’යි ලියා ඇත. එහෙත්, ඔබ එය සොරුන්ගේ ගුහාවක් කරන්නහු ය”යි ඔවුන්ට වදාළ සේක.
(මතෙව් 21: 12-13 / මාක් 11:15-17 / ලූක් 19:45-48 / ජොහන් 2:13-22)

මෙයිට අදාළ කතාවක් අම්බලන්ගොඩයා කියල තිබුණ. ඒ දැකල මේ කොටස ආපහු මතක් උනා. දකින දකින බහුතරයක් සිද්ධස්ථාන වල, ආගමික සංකල්ප මුදල් හම්බ කිරීමේ මාර්ග බවට පත් කරගෙන තියෙන බව පේනව. ජොහාන් ගෙ සුභාරංචියෙ තියෙන විස්තරයෙ හැටියට ජේසු තුමා මෙතනදි ලණු වලින් තැනූ කසයක් භාවිත කළ බව කියවෙනව. ඒ කතාවෙ විශ්වසනීයත්වය ගැන මට සහතික වෙන්න බෑ. ඒත් තමන් අනුගමනය කරන ශාස්තෘවරයාගේ දර්ශනයට ඇති ලැදියාවකින් සිද්ධස්ථානයකට යන කෙනෙකුට, එහෙම කසයක් අරගෙන තලන්න හිතෙන් නැත්නම් තමයි පුදුම.  


මේ කොටස බෝනස්...

මම ගොඩක්ම දන්න දෙයක් තමයි (විශ්වාස කරන නෙවෙයි - අත්දැකීමෙන්ම දන්න) අපි අපේ යටිහිතට තේරුම් කරනව නම් යම් දෙයක් තමන්ට උවමනයි කියල, ඒ දේ ඉෂ්ට වෙනව කියන එක. මට ඕනෙනම් කාර් එකක් ගන්න, මම ඒ ගැන උදේ හවා හිතනව. කාර් එකේ නැගල ධාවනය කරන හැටි ගැන දවල් හීන දකිනව. එහෙම ටික දවසක් කරනකොට, මොකක් හරි පොටක් පෑදෙනව කාර් එකක් ගන්න. මම හිතෙන් මවාගත්ත විදිහෙම එකක්...

ඒ සංකල්පය ගැන ජේසුතුමා කියල තියෙන දේ මීළඟට. ඒක වඩාත්ම විස්තර වෙන්නෙ මාක් ගෙ සුභාරංචියෙ...

12 පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම ගිය කල උන් වහන්සේට බඩගිනි විය. 13 උන් වහන්සේ කොළ ඇති අත්තික්කා ගසක් දුර දී දැක, ඉන් යමක් ලැබේ දෝ යි සිතමින් එහි වැඩිය සේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් කිසිවක් සම්බ නො වී ය. ඒ අත්තික්කා වාරය නුවූ බැවිනි. 14 උන් වහන්සේ, ”මෙවක් පටන් සදහට ම කිසිවෙක් කිසි කලෙක තාගෙන් පල අනුභව නොකරත්වා”යි ගසට වදාළ සේක. එය උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඇසිණි.
(මාක් 11:12-14 / මතෙව් 21:18-19)

20 ඔව්හු පසු දා උදේ යද්දී, අත්තික්කා ගස; මුල පටන් වියළී තිබෙනු දුටුවෝ ය. 21 ඒ සිද්ධිය මතක් වී, පේදුරු කතා කරමින්, ”බලන්න ගුරුදේවයෙනි, ඔබ සාප කළ අත්තික්කා ගස වියළී තිබේ ය”යි කී ය. 22 ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: ”දෙවියන් වහන්සේ අදහාගන්න. 23 සැබැවින් ම මම ඔබට කියමි, කවරෙක් නමුත් මේ කන්දට, ‘ඉදිරීගොස්, මුහුදෙහි පතිත වේ වා’යි කියා, තමා කියන ඒ දේ සිදු වන්නේ ම යයි නිසැක සිතින් අදහන්නේ නම් එය සිදු වන්නේ ම ය. 24 එබැවින් මම ඔබට කියමි, ඔබ යාච්ඤාවෙන් අයැදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේ ම ය.
(මාක් 11:20-24 / මතෙව් 21:20-22)

පහුගිය නත්තල් කළාපය - මෝසෙස්ගේ දෙවියන් සහ ජේසුස්ගේ දෙවියන්

27 comments:

  1. සියලු ආගම් අතරින් බුද්ධාගම විශිෂ්ටයි. එකේ විවාදයක් නෑ. අන්‍ය ආගම් විවේචනය කිරීම එතරම් සුදුසු දෙයක් ලෙස මා දකින්නේ නෑ. මෙය මගේ පෞද්ගලික අදහසයි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. බුද්ධ දර්ශනය බිහිවුනේ ෂඩ් ශාස්තෘවරුන් බිහිවුණු, දර්ශනවාදයන් සොයා යාමට මිනිසුන් නැඹුරුවුණු සමාජයක...

      ක්‍රිස්තියානිය බිහිවුනේ, සාම්ප්‍රදායික සදාචාරවාදී යුදෙව් පූජකවරුන්ගෙන් මානසිකවත්, රෝමක පාලකයන්ගෙන් දේශපාලනිකවත් පීඩාවට පත්වුණු ජනතාවක් අතර...

      ඉස්ලාම් දහම බිහිවුනෙත් ඒ වගේම දේශපාලනිකව පෘඩාවට පත් කාන්තාරවාසී යුදෙව්වන් අතර...

      හින්දු දහම ක්‍රමිකව විකාශය වෙමින්, සමාජයේ පාලන බලය දරමින්, ස්තරායනය සහ සමාජයේ පැවැත්ම සහතික කරන දහමක්...

      ඔය විදිහට බැලුවහම, එක දර්ශනයක් තවත් එකක් එක්ක සසඳන්න බෑ. හැම එකකම දේශනා කරන හරය තේරුම්ගැනීමට යාම තමයි වඩා වැදගත්.

      Delete
  2. මට මේ බයිබලේ සිංහලේට පෙරලලා තියෙන හැටියෙං කියෝල තේරුං ගන්න අමාරුයි. බයිබලේ නැවත හරියාකාරව සිංහලට පෙරලපු එකක් කියවන්න ඕනා. මෙව්වයෙ තියෙන්නෙ සරල තේරුං බව නං තේරුං ගත්තා. ඊයෙ සයිබර වරිගෙ උණ්ඩියා සරල විදිහට ලියල තිබුණ ඒ වගේ. කොහොම නමුත් මෙව්වා ටිකක් කල්පනා කරල බැලුවං අපිට වුනත් තනියම හිතාගන්න පුළුවං.

    ReplyDelete
    Replies
    1. ඒක නෙමෙයි කාරණේ සුරං. බෛබලේ කියවන්න තියෙන කම්මැලිකම හරි අකමැත්ත හරි. නැත්තං, පූජාවලිය, උම්මමග්ග ජාතකේ වගේ පොත් වල භාෂාව කියවන්න පුළුවං අපිට ඇයි 1900 ගණං වල මුල් කාලෙ සිංහල කියවල තේරුං ගන්න බැරි?

      මෙන්න ලිංක් එක... ඔන්ලයින් කියවන්න.
      https://biblesinhala.wordpress.com

      කතෝලික සංස්කෘතිය හා වටාපිටාව තේරුංගන්න ටිකක් වෙලාව යයි. ඊටපස්සෙ ඉතිහාසය කියවනව වගේ කියවතෑකි.

      අනික, සරල තේරුං තමා තියෙන්නෙ. රෝමවරුන්ගෙන් පීඩාවට පත් වුණු යුදෙව් ජනතාවට දෙසපුවනෙ තියෙන්නෙ... (අලුත් ගිවිසුමේ)

      Delete
    2. මම අවුරුදු දොළහ වගේ වෙද්දී අලුත් ගිවිසුම සම්පුර්ණයෙන්ම වගේ කියවල ඉවර කරා.. පරණ ගිවිසුමත් සෑහෙන්න දුරට කියවල තියෙනවා.. මටනම් එහෙම තේරුම් ගන්න අමාරුවක් තිබ්බේ නෑ. සුරා ට්‍රයි කරලා බලපන්.. කියවන්න ගත්තම පට්ට ආසයි. දැන් කියවන්න කම්මැලි එක තමයි අවුල.

      Delete
    3. ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තිබ්බ, “බෛබලය සිංහලෙන්“ වගේ නමක් තියෙන. ෆෝන් එකට දාගත්තනං, බස් එකේදි කෝච්චියෙදි පන්තියෙදි ළඟම තියාගෙන කියවන්න පුළුවන්.

      Delete
  3. අර යම් දෙයක් ගැන බලාපොරොත්තුවෙන් හීන දැක දැක ඉන්නකොට ඒක සාර්ථක කරගන්න මගක් පෑදෙනව කියන කතාවනං බොහෝ දුරට ඇත්ත වෙනව.

    ReplyDelete
    Replies
    1. දුක් විඳල තමුං හීන දැකපු තැනට එන්න පුළුවන් වෙච්ච කෙනාට ඒක තේරෙනව. මං අත්දැකීමෙන් කියන්නෙ... ප්‍රසාත් එහෙමයි කියල හිතෙනව මේ කමෙන්ට් එකෙං.

      බයි ද වේ, කෝ නයා?

      Delete
    2. එයි ද වේ මම තාම බැටරි හොයනව.
      -னයා-

      Delete
    3. ඉඳපං මං ඊළඟට කඩේ යද්දි රිචාර්ජබල් ටෝච් එකක් අරං යන්නං.

      Delete
  4. බයිබලයේ සඳහන් වෙනවා ජේසුස් වහන්සේ අවසන් භෝජනයෙන් පසු දෙවියන් නැමදීමෙන් පසු අන්වෙසක් ගත් බව.
    එහිදී වුනේ අල්ලාහු.. ජේසුස්හු..ව ලෙස් ඇන්ජලීස් ගෙනයාම සහ ඒ වෙනුවට වෙනත් මිනිසෙක් මවා ජේසු සිටිතැන සිටවීමයි. රෝමානුවන් කුරුසයේ ඇණ ගැසුවේ එම වෙනත් පුද්ගලයායි.

    ReplyDelete
    Replies
    1. ජගත්... ජගත්... ජගත්...

      මෙන්න මතෙව් ගෙ සුභාරංචිය...

      අන්තිම රාත්‍රි භෝජනය
      (මාක් 14:22-26; ලූක් 22:14-20; 1 කොරි: 11:23-25)
      26 ඔවුන් කෑම කමින් සිටිය දී ජේසුස් වහන්සේ රොටි ගෙන ආශීර්වාදය පවසා ඒවා කඩා ශ්‍රාවකයන්ට දී, ”රැගෙන වළඳන්න, මේ මාගේ ශරීරය”යි වදාළ සේක. 27 උන් වහන්සේ කුසලානක් ද ගෙන තුති පුදා ඔවුන්ට දී, 28 ”ඔබ සියල්ලෝ ම මෙයින් පානය කරන්න. මෙය පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ. 29 මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහි දී මා ඔබ සමඟ අලුත් මිදියුස පානය කරන දවස එන තුරු මෙතැන් පටන් මේ මිදියුස තවත් නොබොන්නෙමි යි ඔබට කියමි”යි වදාළ සේක. 30 ඔව්හු ගීතයක් ගයා නිම කොට ඔලීව කන්දට නික්ම ගියහ.

      පේදුරුගේ අපලාපය ගැන කලින් කීම
      (මාක් 14:27-31; ලූක් 22:31-34; ජොහන් 13:36-38)
      31 තවද ජේසුස් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කොට, ”ඔබ හැම දෙන ම අද රාත්‍රියෙහි මා නිසා අධෛර්යයට පත් වන්නහු ය. මන්ද, ‘මම එඬේරාට පහර දෙන්නෙමි, එවිට රැළේ බැටළුවෝ විසුරුවනු ලබන්නෝ ය’යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා තිබේ. 32 ”එහෙත්, මම උත්ථාන කරනු ලැබූ පසු ඔබට පෙරටුව ගලීලයට යමි”යි වදාළ සේක. 33 පේදුරු උන් වහන්සේට උත්තර දෙමින්, ”අන් හැම දෙන ම ඔබ නිසා අධෛර්ය වුවත් මම නම් කවදාවත් අධෛර්ය නොවන්නෙමි”යි කී ය. 34 ජේසුස් වහන්සේ ද, ”සැබැවින් ම මම ඔබට කියමි, අද රෑ කුකුළා අඬලන්නට පෙර ඔබ මා හඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක. 35 පේදුරු, ”ඔබ සමඟ මැරෙන්න සිදුවුණත්, මම ඔබ නාඳුනමි යි කවදාවත් කියන්නේ නැතැ”යි උන් වහන්සේට කී ය. සියලු ශ්‍රාවකයෝ ද එසේ ම කී හ.

      ගෙත්සමෙනෙහි යාච්ඤාව
      (මාක් 14:32-42; ලූක් 22:39-46)
      36 එකල ජේසුස් වහන්සේ ඔවුන් හා සමඟ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණ, ”මා එතැනට ගොස් යාච්ඤා කරන අතර ඔබ මෙහි සිටින්නැ”යි සිය ශ්‍රාවකයන්ට වදාළ සේක. 37 උන් වහන්සේ පේදුරු ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනා ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ ශෝක වන්ටත්, සන්තාප වන්ටත් පටන්ගත් සේක. 38 එකල උන් වහන්සේ ඔවුන් අමතමින්, ”මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාන්විත ය. ඔබ මෙහි නැවතී මා සමඟ අවදි ව ඉන්නැ”යි වදාළ සේක. 39 උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, ”අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත්, මා කැමැති ලෙස නොව, ඔබ කැමැති ලෙස වේ වා”යි යාච්ඤා කළ සේක. 40 උන් වහන්සේ ශ්‍රාවකයන් වෙත අවුත් ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරුට කතා කොට, ”සැබැවින් ම මා සමඟ එක පැයක් වත් අවදි ව ඉන්න ඔබට බැරිවුණා ද? 41 ඔබ පරික්ෂාවට නොවැටෙන පිණිස අවදි ව සිට යාච්ඤා කරන්න. හිත නම් කැමැති ය; ගත නම් දුබල ය”යි වදාළ සේක. 42 උන් වහන්සේ නැවත දෙ වන වරටත් නික්ම ගොස්, ”අහෝ මාගේ පියාණෙනි, මා විසින් පානය නොකොට මේ කුසලාන පහ කළ නොහැකි නම්, ඔබගේ කැමැත්ත වේ වා”යි කියා යාච්ඤා කළ සේක. 43 උන් වහන්සේ නැවත ආ කල ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි. 44 යළිත් උන් වහන්සේ ඔවුන් හැර ගොස්, තුන් වන වරත් එම වචන කියා යාච්ඤා කළ සේක. 45 ඉන්පසු උන් වහන්සේ ශ්‍රාවකයන් වෙතට අවුත්, ”ඔබ තවමත් නිදාගෙන විඩා හරිමින් සිටින්නහු ද? මෙන්න, නියමිත මොහොත ළං වී ඇත; මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන් අතට පාවා දෙනු ලබන සේක. 46 නැඟිටින්න, අපි යමු. අන්න, මා පාවා දෙන්නා ඉතා ළඟ ය”යි වදාළ සේක.

      ජේසුස් වහන්සේ පාවා දීම
      (මාක් 14:43-50; ලූක් 22:47-53; ජොහන් 18:3-11)
      47 උන් වහන්සේ කතා කරද්දී, දොළොස් දෙනාගෙන් කෙනෙකු වන ජූදස් ද, ඔහු සමඟ නායක පූජකයන් හා ප්‍රජා මූලිකයන් වෙතින් යවන ලද කඩු මුගුරු ගත් මහත් ජනකායක් ද එහි පැමිණියහ. 48 උන් වහන්සේ පාවා දෙන්නා, ”මම යමෙකු සිඹිම් ද, ඔබ සොයන තැනැත්තා ඔහු ය; ඔහු අල්ලාගන්න” කියා ඔවුන්ට ලකුණක් දී තිබිණි. 49 එකෙණෙහි ම ඔහු ජේසුස් වහන්සේ වෙතට අවුත්, ”ගුරුදේවයෙනි, ඔබට සෙත් වේ!” කියා උන් වහන්සේ සිඹගත්තේ ය. 50 ජේසුස් වහන්සේ ද, ”මිත්‍රය, ඔබ කරන්න ආ දෙය කරන්නැ”යි ඔහුට වදාළ සේක. එවිට ඔව්හු අවුත්, ජේසුස් වහන්සේ අත්අඩංගුවට ගෙන, තදින් අල්ලාගත්හ.

      Delete
    2. මෙන්න මාර්ක්...

      අන්තිම රාත්‍රි භෝජනය
      (මතෙව් 26:26-30; ලූක් 22:14-20; 1 කොරි: 11:23-25)
      22 ඔවුන් ආහාර වළඳමින් සිටිය දී උන් වහන්සේ රොටි ගෙන, ආශීර්වාදය පවසා, ඒවා කඩා ඔවුන්ට දී, ”ගන්න, මේ මාගේ ශරීරය ය”යි වදාළ සේක. 23 උන් වහන්සේ කුසලානක් ද ගෙන, තුති පුදා, ඔවුන්ට දුන් සේක. සියල්ලෝම එයින් පානය කළහ. 24 තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම්-රුධිරය වේ. 25 සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි දී මම නැවත මිදියුස පානය කරන දිනය එන තෙක්, මම මේ මිදියුස යළිත් පානය නොකරන්නෙමි”යි වදාළ සේක. 26 ඔව්හු ගීතයක් ගයා ඔලීව කන්දට නික්ම ගියහ.

      පේදුරුගේ අපලාපය ගැන කලින් කීම
      (මතෙව් 26:31-35; ලූක් 22:31-34; ජොහන් 13:36-38)
      27 තවද, ජේසුස් වහන්සේ කතා කරමින්, ”ඔබ හැම දෙන ම පැකිළෙන්නහු ය; මන්ද, ‘මම එඬේරාට පහර දෙන්නෙමි. එවිට බැටළුවෝ විසුරුවනු ලබන්නෝ ය’යි ලියා තිබේ. 28 කෙසේ වුව ද උත්ථාන කරනු ලැබූ පසු, මම ඔබට පෙරටුව ගලීලයට යන්නෙමි”යි ඔවුන්ට වදාළ සේක. 29 පේදුරු කතා කොට, ”අන් හැම දෙනා ම අධෛර්යයට පත් වුණත්, මම නම් එසේ නොවන්නෙමි”යි උන් වහන්සේට කී ය. 30 ජේසුස් වහන්සේ ද, ”සැබැවින් ම මම ඔබට කියමි. අද ම, මේ රාත්‍රියේ දී ම කුකුළා දෙ වරක් හඬලන්න පෙර, මා හඳුනන්නේ නැතැ යි ඔබ තෙ වරක් කියන්නෙහි ය”යි ඔහුට වදාළ සේක. 31 එහෙත්, ඔහු ”මට ඔබ වහන්සේ සමඟ මැරෙන්න සිදු වුණත් ‘ඔබ නාඳුනමි’යි කියන්නේ ම නැතැ”යි තරයේ ම කියා සිටියේ ය. සෙසු සියල්ලෝ ද එසේ ම කී හ.

      ගෙත්සෙමනෙහි යාච්ඤාව
      (මතෙව් 26:36-46; ලූක් 22:39-46)
      32 ශ්‍රාවකයෝ ගෙත්සෙමන නම් වූ තැනට පැමිණියෝ ය. උන් වහන්සේ ද, ”මා යාච්ඤා කරන අතර, ඔබ මෙහි සිටින්නැ”යි ශ්‍රාවකයන්ට වදාළ සේක. 33 උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද කැඳවාගෙන ගිය සේක. ඉන්පසු උන් වහන්සේ අතිශයින් බියපත් වන්න ද ශෝක වන්න ද පටන් ගත් සේක. 34 උන් වහන්සේ ඔවුන් අමතා, ”මැරෙණ තරමට මාගේ සිත අතිශයින් ශෝකාකූල ය; මෙහි නැවතී අවදි ව සිටින්න” කියා, 35 මඳක් පෙරට ගොස් මුණින්තලා වී, හැකි නම්, ඒ පැය තමන් කෙරෙන් පහ ව යන ලෙස යාච්ඤා කරමින්, 36 ”අබ්බා, පියාණෙනි, ඔබට සියල්ලක් ම හැකි ය; මේ කුසලාන මා කෙරෙන් ඉවත් කළ මැනව; එහෙත් මාගේ කැමැත්ත නොව, ඔබගේ කැමැත්ත වේ වා”යි වදාළ සේක.
      37 පසුව උන් වහන්සේ අවුත්, ඔවුන් නිදා හිඳිනු දැක, පේදුරු අමතා, ”සීමොන් ඔබ නිදි ද? පැයක් වත් අවදි ව ඉන්න ඔබට නොහැකි වූයේ ද? 38 පරීක්ෂාවට නොවැටෙන පිණිස අවදි ව හිඳ යාච්ඤා කරන්න; හිත නම් කැමැතිය, එහෙත් ගත නම් දුබලය”යි වදාළ සේක.
      39 උන් වහන්සේ යළිත් ගොස් එම වචන ම පවසමින් යාච්ඤා කළ සේක. 40 ඉන්පසු නැවතත් හැරී අවුත් ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි. උන් වහන්සේට කුමන පිළිතුරක් දෙන්න දැ යි ඔව්හු නොදත්හ.
      41 උන් වහන්සේ තෙ වන වරත් අවුත් ඔවුන් අමතමින්, ”තවමත් නිදි ද? තවමත් විවේකයෙන් ද? ඉතින් ඇති; නියමිත මොහොත පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන්ගේ අත්වලට පාවා දෙනු ලබන සේක; 42 නැඟිටින්න; අපි යමු; මෙන්න මා පාවා දෙන්නා ළඟ ම ය”යි වදාළ සේක.

      ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබීම
      (මතෙව් 26:47-56; ලූක් 22:47-53; ජොහන් 18:3-12)
      43 ජේසුස් වහන්සේ කතා කරමින් සිටිය දී, දොළොස් දෙනාගෙන් කෙනෙකු වූ ජූදස් ද ඔහු කැටුව නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් විසින් එවන ලද සමූහයක් ද කඩු මුගුරු රැගෙන ආහ. 44 ”මම යමෙකු සිඹිම් ද ඒ ඔබ සොයන තැනැත්තා ය. ඔහු අල්ලා පරෙස්සමින් ගෙන යන්න” කියා උන් වහන්සේ පාවා දෙන්නා ඔවුන්ට ලකුණක් දී තිබිණි.
      45 ජූදස් අවුත් වහා ම උන් වහන්සේ වෙත ගොස්, ”රබ්බී” කියා උන් වහන්සේ සිඹගත්තේ ය. 46 ඔව්හු උන් වහන්සේ අල්ලාගෙන අත්අඩංගුවට ගත්හ.

      Delete
    3. මෙන්න ලූක්

      අන්තිම රාත්‍රි භෝජනය

      14 නියම වේලාව පැමිණි කල, උන් වහන්සේ කෑමට හිඳගත් සේක. ප්‍රේරිතයෝ ද උන් වහන්සේ සමඟ හිඳගත්හ. 15 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”මා වද විඳීමට පළමුවෙන්, මේ පාස්කු භෝජනය ඔබ සමඟ වළඳන්නට අතිශයින් ආශා වීමි. 16 ඒ මන්දැ යි මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දී එය මුදුන්පත් වනතුරු මම එය තවත් නොවළඳමි”යි වදාළ සේක. 17 උන් වහන්සේ කුසලානක් ගනිමින්, තුති පුදා, ”මෙ‍ය ගෙන ඔබ අතරෙහි බෙදාගන්න. 18 මන්ද, මම ඔබට කියමි, මෙ‍තැන් පටන්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මම මිදියුස පානය නො කරන්නෙමි”යි වදාළ සේක. 19 උන් වහන්සේ රොටි ගෙන තුති පුදා, ඒවා කඩා, ඔවුන්ට දී, ”ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මේ ය; මා සිහි කිරීම පිණිස මෙ‍ය කරන්නැ”යි වදාළ සේක. 20 එලෙස ම භෝජනයෙන් පසු කුසලාන දී, ”මේ කුසලාන ඔබ උදෙසා වගුරුවනු ලබන මාගේ රුධිරයෙන් කළ නව ගිවිසුම ය. 21 එහෙත්, දැන් මා පාවා දෙන්නාගේ අත මා ළඟින් ම මේසය මත තිබේ. 22 මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ නියමිත ගමන යන සේක් ම ය. එහෙත්, ඔහු පාවා දෙන ඒ මනුෂ්‍යයාට වන විපතක මහතැ”යි උන් වහන්සේ වදාළ සේක. 23 එවිට එය කරන්නට යන්නේ ඔවුන්ගෙන් කවරෙක් දැ යි ඔව්හු තම තමන් අතර විමසන්නට පටන්ගත්හ.

      ශ්‍රේෂ්ඨතම තැනැත්තා පිළිබඳ ප්‍රශ්නය
      24 තමන් අතරෙන් ශ්‍රේෂ්ඨතම ලෙස සැලකිය යුත්තේ කවරෙක් දැ යි ශ්‍රාවකයන් අතර විවාදයක් ඇති විය. 25 උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: ”විජාතීන්ගේ රජවරු වැසියන් කෙරෙහි අධිපති බලය පාන්නාහ; ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ ජාති හිතෛෂීහු යයි කියනු ලබති. 26 එහෙත් ඔබ අතර එය එසේ නොවේ. ඔබ අතර ශ්‍රේෂ්ඨ තැනැත්තා ඉතා සුළු තැනැත්තා මෙ‍න් ද නායකයා සේවකයා මෙ‍න් ද වේ වා; 27 වඩා උතුම් කවරේ ද, කෑමට හිඳින තැනැත්තා ද, නැතහොත් සේවකයා ද? කෑමට හිඳින තැනැත්තේ නොවේ ද? එහෙත්, මම නම්, ඔබ මැද සේවකයා මෙ‍න් වෙමි. 28 මාගේ පරීක්ෂාවල දී මා සමඟ සිටි අය ඔබ ම ය. 29 එබැවින් මාගේ පියාණන් වහන්සේ මට රාජ්‍යය පවරා දුන් සේ ම, 30 මාගේ රාජ්‍යයෙහි මාගේ මේසයේ දී කන බොන පිණිස ද සිහසුන් අරා ඉශ්රායෙල් ගො‍්ත්‍ර දොළොස කෙරෙහි විනිශ්චය කරන පිණිස ද වරය මමත් ඔබට පවරා දෙමි.”

      පේදුරුගේ අපලාපය ගැන කලින් කීම
      31 ”සීමොන්, සීමොන්, මෙ‍ය අසන්න. තිරිඟු පොළන්නාක් මෙ‍න් ඔබ සියලු දෙන පොළාලන්නට සාතන් අවසර ලබා ඇත. 32 එහෙත්, ඔබේ ඇදහිල්ල නොබිඳෙන පිණිස ඔබ උදෙසා මම යාච්ඤා කෙළෙමි. ඔබ යළිත් හැරුණු පසු, ඔබේ සහෝදරයන් ධෛර්යවත් කරන්නැ”යි වදාළ සේක. 33 ඔහු උත්තර දෙමින්, ”ස්වාමීනි, ඔබ හා සමඟ හිරේ යාමට හා මරණයට වුව ද මම සූදානම් ව සිටිමි”යි උන් වහන්සේට කී ය. 34 ජේසුස් වහන්සේ කතා කරමින්, ”පේදුරු, මම මෙ‍ය ඔබට කියමි, ඔබ මා නොදන්නා බව තුන් වරක් කියන තුරු, අද රෑ කුකුළා නොහඬළන්නේ ය”යි වදාළ සේක.

      පසුම්බිය, මල්ල සහ කඩුව
      35 උන් වහන්සේ ඔවුන්ට වදාරමින්, ”පසුම්බියක් වත්, මල්ලක් වත්, පා වහන් වත් නැති ව මා ඔබ යැවූ කල කිසිවක් හිඟ වී දැ”යි ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, ”නැතැ”යි කී හ. 36 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”එහෙත් දැන් පසුම්බියක් ඇති තැනැත්තා එය ගනී වා, එසේ ම මල්ලක් ද ගනී වා, කඩුවක් නැති තැනැත්තා තම සළුව විකුණා, කඩුවක් මිළ දී ගනී වා. 37 මම මෙ‍ය ඔබට කියමි, ‘උන් වහන්සේ අපරාධකරුවන් සමඟ ගණන් ගනු ලැබී ය’යි ලියා තිබෙන ඒ කීම මා තුළින් මුදුන් පත් විය යුතු ය; මා ගැන ලියා ඇති දෙය සම්පූර්ණ වන්නේ ම ය”යි වදාළ සේක. 38 ඔව්හු කතා කරමින්, ”ස්වාමීනි, බැලුව මැනව, කඩු දෙකක් මෙ‍හි ඇතැ”යි කී හ. උන් වහන්සේ ද: ”ඔය ඇති”යි වදාළ සේක.

      ඔලීව කන්දෙහි යාච්ඤාව
      39 එවිට ජේසුස් වහන්සේ පිටත් ව සිරිත් පරිදි ඔලීව කන්දට වැඩිය සේක; ශ්‍රාවකයෝ ද උන් වහන්සේ පසුපස්සේ ගියහ. 40 උන් වහන්සේ එහි පැමිණි පසු කතා කොට, ”ඔබ පරීක්ෂාවට නොවැටෙන ලෙස යාච්ඤා කරන්නැ”යි වදාළ සේක. 41 ගලක් ගසන තරම් දුරක් උන් වහන්සේ ඔවුන්ගෙන් ඈත් වී, දණින් හිඳ යාච්ඤා කරමින්, 42 ”පියාණෙනි, ඔබ කැමැති සේක් නම්, මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එහෙත්, මාගේ කැමැත්ත නොව ඔබේ කැමැත්ත වේ වා”යි වදාළ සේක. 43 එකල දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී, උන් වහන්සේ ශක්තිමත් කෙළේ ය. 44 උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙ‍න් බිම වැටිණි. 45 උන් වහන්සේ යාච්ඤා කරමින් සිට නැඟිට, ශ්‍රාවකයන් වෙත අවුත්, ඔවුන් ශෝකය නිසා නිඳා හිඳිනු දැක, 46 ”ඔබ නිඳා ඉන්නේ මන් ද? පරීක්ෂාවට නොවැටෙන පිණිස නැඟිට යාච්ඤා කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක.

      ජේසුස් වහන්සේ පාවා දීම
      47 උන් වහන්සේ මෙ‍වදන් පවසත් ම සමූහයක් පැමිණියහ. දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් වූ ජූදස් නමැත්තා ඔවුන්ට පෙරටුව අවුත්, ජේසුස් වහන්සේ සිඹින පිණිස උන් වහන්සේ වෙතට ළං විය. 48 ජේසුස් වහන්සේ ද ”ජූදස්, ඔබ සිඹීමකින් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන්නෙහි දැ”යි ඇසූ සේක.

      Delete
    4. ජගත් කියන කාරණේ සම්මත බෛබලේ ඇතුළෙ මට නම් පේන්නෑ...

      මට වැදගත් වෙන්නෙ චරිත කතාව වත්, ඉතිහාසය ප්‍රතිනිර්මාණයවත් නෙවෙයි. මේ මනුස්සයා මොනවද තමන්ගෙ අනුගාමිකයන්ට දේශනා කරල තියෙන්නෙ කියන එකයි. නැතුව, එයා ඇත්තටම කුරුසයෙ එල්ල පැය කීපයක් තුළ මැරුණද? ආපහු මරණින් නැගිට්ටද? නැත්තං කුමන්ත්‍රණයකින් මැරුණු බව පෙන්නලා, නැවත සුවපත් වුණාද? කියන ප්‍රශ්න මට වැදගත් නෑ.

      මට හිතෙන්නෙ, අනුගාමිකයන්ට තමන්ගෙ නායකයා නැති වුණහම, හිතහදාගන්නව “එයා මැරුණෙ නෑ... ආපහු අපි අතරට එනව“ කියල. පසුකාලීනව ජේසුගෙ ඉගැන්වීම් ආගමක් බවට පත් කරගත්ත රෝමක පාලනය, ඒ ආගම සංවිධානය කරන්න සුභාරංචි සහ අනික් පොත් සම්පාදනය කරද්දි අර විශ්වාසය එකතු කරන්න ඇති.

      Delete
  5. https://www.jw.org/si/ප්‍රකාශන/බයිබලය/bi12/පොත්/මතෙව්/17/
    ඕක වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. වෙලා තියෙන්නෙ ජගත්, ජේසු ඇවිත් හඳට ඇඟිල්ල දික් කරල පෙන්නුවහම අපි එයාගෙ ඇඟිල්ලෙ වෙනස්කම් ගැන කතා කරන එක...

      ඒ ගැන කතා කරනවනං, ඔයා උපුටන්නෙ අර උඩ කිව්ව විදිහට අවසාන භෝජනයට පස්සෙ වෙච්ච දෙයක් නෙවෙයි.

      Delete
  6. කාලෙකට පස්සේ යාලුවෙක් හම්බ උනා වගේ.. ජේසුස් වහන්සේ ගේ කියමන් වලින් මම කැමතිම එකක් තමයි උඹ උඩින්ම දාල තියෙන්නේ.. රෝගීන්ට මිස නිරෝගී උන්ට වෙදෙකුගෙන් වැඩක් නෑ කියන එක.. ඔය උපමා කතා බොහොමයකටත් ඒවා ඉදිරිපත් කරලා තියෙන රසවත් විලාසයත් නිසා මම බයිබලයට වගේම ජෙසුස්වහන්සේ ටත් බොහොම කැමතියි. ආ.. කාලයක් අපිත් ක්‍රිස්තියානි (පස්සේ කතෝලික)ත් වෙලා හිටියනේ.. ඒ ගැන දවසක ලියන්නොනි. :)

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කළණ... ජේසු ගෙ කාලය සහ සමකාලීන සමාජය එක්ක බලද්දි ජේසු උසස් චින්තකයෙක්, නිර්දය විවේචකයෙක් වගේම සානුකම්පිත මඟපෙන්වන්නෙක්. එයා කියපු කතා අදකාලෙත් සමහර ශුද්ධවන්තයැයි පෙන්වන ආගමිකයො කරකවල අතාරින සයිස්. ඉතිං හිතාගන්න පුලුවන්නෙ යුදෙව් පූජකවරු සහ පරිසිවරුන්ට වැදුණු පහර කොයිතරම්ද කියල.

      ඒක ගොඩක් වෙලාවට රෝමක පාලකයන්ට “බෙදා වෙන්කර පාලනය කිරීමට“ උපකාරී වෙන්නත් ඇති කියලත් සමහර වෙලාවට හිතෙනව...

      Delete
  7. ආගම්වල පොත් (බයිබලයේ ග්‍රන්ථ, ත්‍රිපිටකය සහ අනෙකුත් පොත්, කුරාණය, තල්මූඩ්, ටෝරා ) ඔක්කොම ලියවුනේ ශාස්තෘවරුන්ගෙන් පස්සෙ පූජකයින් විසින්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක එහෙමයි. ශාස්තෘවරයා පොත් ලිව්වෙ නෑනෙ. එයා දෙසපු දේවල් සම්පාදනය කරල, තමන්ට තේරෙන සහ තමන්ගෙ න්‍යායපත්‍රයට අනුකූල වෙන විදිහට පසුකාලීනව ලියුව දේවල්. එක කතෘ වරයෙකුත් නෑනෙ. බහුකතෘභාවයක් තමයි තියෙන්නෙ.

      Delete
  8. දැකපු කල් ...කොහෙඩ මෙචර කල් ගිහින් හිට්යෙ

    ReplyDelete
    Replies
    1. මගෙං ද අහන්නෙ? අනේ මගෙ කට!

      Delete
  9. මම නං බුද්ධාගමේ, ඒත් ඔය ගැනත් හොයල බලනව. ලඟදි බයිබලයත් කියවල බැලුව. Nice post

    ReplyDelete
    Replies
    1. මහත්මා ගාන්ධිත් බෛබලය ළඟම තියාගෙන කියවපු කෙනෙක්... ස්තූතියි

      Delete
  10. අඩො උබෙ දැනුම එල ද් බ්‍රා...
    උබ බුද්දගමෙ නෙද?
    ඒක අහව්වෙ මගෙ දැන ගනිම පිනිස...කොයි ආගම්ත් හොද ද්වල් කියලා ඩෙනවනම් හොදයි

    ReplyDelete
    Replies
    1. මම බෞද්ධ. බුද්ධාගමේ නෙමෙයි. ඒ කියන්නෙ මං ඒ “ආගම“ අදහන්නෑ. බුදුන්ගෙ දර්ශනය පිළිගන්නව. අපේ තාත්තත්, එයාගෙ තාත්තත්, මං වගේම බෞද්ධ. අපේ අම්මගෙ තාත්ත රෝමානු කතෝලික. ඉතිං මගෙ පුංචි කෙනෙක් ඉන්නව සිස්ටර් කෙනෙක්. එයා නොසෑහෙන්න වෑයම් කළා අපි පුංචි කාලෙ මාව “මිථ්‍යා දෘෂ්ඨියෙන් ගළවගෙන, එකම සැබෑ දෙවියන් වහන්සේට සමීප කරන්න“. ඒකෙන් මට ගොඩක් ජේසු ගැන කියවන්න පුළුවන් වුනා.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි