Tuesday, March 6, 2018

ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා


ඉස්කෝලෙ මහත්තුරු ගැන මුල් ලිපි වලට ලිංක් පහතින්...

ඉස්කෝලෙ මහත්තුරු සහ තවත් කතා
ඉස්කෝලෙ මහත්තුරු සහ කයිකතන්දර
ඉස්කෝලෙ මහත්තුරු සහ බටගම

ඉස්කෝලෙ මහත්තයෙක් උන්නලු ගිරිගෝරිස් කියල. උන්නැහැ ගැන ලියවුණු "සුරගුරු විදුහල්පති" වගෙ නමක් සහිත පරණ පොතක තිබුණ කතාවක් තමා මේ කියන්ඩ යන්නෙ.

දවසක් පාඨශාලා පරීක්ෂක ඔය කියන ඉස්කෝලෙ මහත්තැන්ගෙ ඉස්කෝලෙට ඇවිදින් පරීක්ෂා කරන්ඩ. අන්තිමේ ඉස්කෝලෙ ලොග් පොත පෙරළල බැලුවලු. ඒකෙ එක පිටුවක තියෙනවලු මෙහෙම:

"නෝනා මහත්මයා මැරුණෙමි. පාඨශාලාව දින තුනක් වසා තබන්නට සිදු විය."

"මේ මොකද්ද ඉස්කෝලෙ මහත්තය මේ ලියල තියෙන්නෙ?" පාඨශාලා පරීක්ෂක ඇහුවලු. "මොකද මේ? ව්‍යාකරණ මරල ලියල තියෙන්න්‍ෙ? ඔහේ වගේ දැන උගත් කෙනෙක්...?"

"නෑ සර්..." ඉස්කෝලෙ මහත්තය කිව්වලු. "මැරුණෙ මගෙ නෝනා. මම එයට හරිම ආදරෙයි. එයා මගෙ පණ වගේ උන්නෙ. ඉතිං එයා මැරුණම, මට දැනුනෙ හරියට මං මළා වගේ. ඒ හැඟීමෙන්මයි ඔය ලොග් සටහන ලිව්වෙ..."

ඕක කියනකොට මතක් උනේ චීන කතාවක්...

චීනෙ එක පෝසත් ගෙදරක පොඩි දරුවට අකුරු කියදෙන්ඩ දවස ගානෙ ගෙදරට එන ගුරුභවතෙක් උන්නා. උන්නැහැ කොච්චර මහන්සි වෙලා ඉගැන්නුවත් අර දරුව නෙවෙයි එක චුට්ටක්වත් දියුණුවක් පෙන්නුවෙ.

"අනේ මං දන්නෑ මොනව වෙලාද කියල..." අර ගුරුවරය නිතරම කියන්න පුරුදු වෙලා හිටිය. "...මම මයි මගෙ පුතාටත් අකුරු උගන්නන්නෙ. එයා මෙයිටත් වඩා පොඩියි. ඒත් ඔය අපූරුවට අකුරු කියන්නෙ..."

මේ නරිවාදම අහල අහල ඇති වෙලා හිටපු පෝසත් ගෙදර උදවිය දවසක් කිව්ව, "හොඳයි ඔච්චර දක්සයි කියන තමුසෙගෙ පුතාව එක්කරං එනවකො හෙට"

එතකොට තමයි ගුරුවරයට තරු පෙනුනෙ. උන්දැ හනි හනිකට ආපහු ගෙදර ගියා. ගිහිං පුතාව අල්ලගෙන, වදෙන් පොරෙන් කොල්ලට අකුරු තුනක් කටපාඩං කෙරෙව්ව. 

පරණ චීන හෝඩියෙ හැටියට, එක අකුරකිං සම්පූර්ණ වචනෙයක්ම කියවෙනව. එහෙම අකුරු තුනක් තමයි අර පොඩි එකාට පාඩං කෙරෙව්වෙ. "බත්" "ඇඳ" සහ "තාත්තා" ඒ අකුරු තුන...

ඉතිං පහුවදා පොඩි පුතාවත් එක්කරගෙන ගිහිං අර ගුරුවරයා, පෝසත් ගෙදර ඔක්කොම ඉස්සරහපිට පුතාට පළවෙනි අකුර ඇඳල පෙන්නුව.

කොහෙ? පොඩ්ඩට අමුතු තැනකට ආවම, කට්ටිය වටකරගත්තම අකුරු මතක නැතුව ගියා.

දෙතුං පාරක් අහල අහල බැරිම තැන ගුරුවරය කියනව, "ඇයි පුතේ... කියන්ඩකො. ඔයා දන්නවනෙ මේ අකුර... අර අපි හැමදාම කන්නෙ මෙව්වනෙ..."

"බජිරී...." කොල්ල උත්තර දුන්න.

කමක් නෑ කියල ගුරුවරය දෙවෙනි අකුරත් ඇඳල පෙන්නුව. ඒකටත් අර සන්තෑසියම තමා. පොඩ්ඩට මතක නෑ. ඒ ගමන ගුරුවරය කියනව,

"ඇයි පුතේ අපි දෙන්න නිදාගන්නෙ මේකෙනෙ..."

"පැදුර..." කොල්ල උත්තර දුන්න.

ගුරුවරයට දැං පොළොව පළාගෙන යන්ඩ හිතයි. ඒත් කමක් නෑ කියල තුං වෙනි අකුරත් ඇඳල පෙන්නුව...

ඒකත් පුතාට මතක නෑ කියහල්ලකො ඉතිං... කලිං දුන්න උත්තර වලට ගෙදර මිනිස්සු බඩ අල්ලං හිනාවෙනව. ඒ අවුඅස්සෙ කොහෙ මතක් වෙන්ඩද අකුරු?

ගුරුවරය කියනව, "ඇයි පුතේ අම්ම ගාව නිදාගන්නෙ කවුද? ඒක නෙ මේ අකුරෙන් කියවෙන්නෙ..."

"බාප්පා..." පුතණ්ඩියගෙ අන්තිම උත්තරේ.

චීන කතා මතක් කරපු එකේ, චීන කතාවක් ඇසුරින් රජයෙ ඉහළ නිලධාරියෙකුට ගහපු මඩක් සඳහන් නොකර යන්ඩ හිතෙන්නෙම නෑ. (අපිත් ඉතිං...)

මම එක්තරා අමාත්‍යාංශෙකට ඇවිත් දවසක් දෙකක් යද්දිම දැකපු දෙයක් තමයි, එක නිලධාරියෙක් නිතරම කියනව, 

"මම මාස පහක් හිටියනෙ ජපානෙ. ජපානෙ මෙහෙ වගේ නෙවෙයි. එහෙ  හරිම..." ඔය විදිහට ජපානෙ විස්තර.

අමාත්‍යාංශ ලේකම් ගෙ සංකල්පයක් අනුව සතියකට වරක් දෙකක් ලන්ච් ටයිම් එකේ "ලන්ච් ටයිම් ටෝක්ස්" කියල පැයක දේශනයක් පවත්වන්ඩ පටං ගත්ත. ඒකෙ අරමුණ වුනේ කාර්යමණ්ඩලය විවිධාකාර දැනුමින් ආකල්ප වලින් සංවර්ධනය කරන එක.

එක දවසක් ලන්ච් ටයිම් ටෝක් එක බර ගත්ත අර නිලධාරියා, "මම ජපානෙ හිටපු අවදියේ..." යන මැයෙන් දේශනයක් දුන්න ඇට්ටි හැලෙන්ඩ.

දවසක්දා පොර අමාතයාංශ ලේකම් එක්ක ඩියුටියකට ගිහිං රෑ වෙලා එද්දි, ලේකම්ගෙ කාර් එකේ... ලේකම් කාර්එකේ ජනේලෙන් දැකපු හඳ පෙන්නල කිව්වලු, 

"හරි ලස්සනයි නේද හඳ?" කියල.

අරයත් පැනපු ගම කිව්වලු,

"මෙහෙ මොන හඳක්ද? මොනවද මෙහෙ හඳ කියල බලන්න තියෙන්නෙ? මම ජපානෙ ඉද්දි තමයි ලස්සනම හඳ දැක්කෙ." කියල.

ලේකම්ට මල පැනල අරූට කණ පැලෙන්ඩ දුන්නලු. දීල කිව්වලු, "මෝඩෙයො...! කොහෙටත් පායන්නෙ එක හඳනෙ. පෘථිවියටම තියෙන්නෙ එක හඳයි."

අරුත් ඇරියෙ නෑලු. කියනවලු,

"මේක මොන කණේපාරක්ද? මම ජපානෙ ඉද්දි කෑව කණේපාරවල්නෙ බලන්ඩ ඕනෙ. මෙව්ව මොනවද? නිකං මදුරුවෙක් වැහුව වගේ..."

කියන්ඩ ආවෙ ඉස්කොලෙ මහත්තුරු ගැනනෙ. ඉතිං කියන්ඩම ඕනෙ පරණ කතාවක් තියෙව. මේක මග පරණ ලිපි තුනේදිම ලියන්ඩ ඉඳල මග ඇරුණු එකක්. ගොඩක් දෙනා මේ කතාව අහල ඇති පොඩි කාලෙදි.

ඉස්කෝලෙ මහත්තුරු ඇන්දෙ රෙද්දයි බැනියමයි නෙව. ඉංග්‍රීසි කතාකරන්ඩ පුළුවන් උදවිය තමයි ඒ සන්දියෙදි කලිසං ඇන්දෙ. අර ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා මහත්තෙයගෙ එක කතාවක තියෙනව, භගලවතී ඉස්කෝලෙ හාමිනේ කලිසමක් ගහක එල්ලලා ඒකට උදේ හවා වඳිනවලු තමන්ට කලිසං අඳින මහත්තයෙක් ලැබෙන්ඩ ප්‍රාර්ථනා කරල...

ඉතිං ඔය රෙද්ද අඳින ඉස්කෝලෙ මහත්තයෙක් දවසක්දා ඉස්කෝලෙදි අමුඩෙ ගැන උගන්නල තියෙනව. එයා ළමයිට කියාදුන්නලු අමුඩෙ ගහන්නෙ මෙහෙමයි කියල. උන්ට තේරෙන්නෑලු කියන විදිහ. ඒ ගමන කළු ලෑල්ලෙ ඇඳලත් පෙන්නුවලු. ඒත් නෑලු. බැරිම තැන මොකද කරන්නෙ කියල කල්පනා කරද්දි එයාට මතක් උනාලු එයා රෙද්දට යටිං අමුඩෙ අඳිනවනෙ කියල. ඒ ගමන උන්දැ රෙද්ද උස්සල පෙන්නුවලු "මේං බලාපල්ල මේක තමයි අමුඩෙ" කියල.

ඒක දැකපු ගෑල්ලමයි සමහරක් "චීක්" කියල අහක බලාගත්තලු. එතකොටලු ඉස්කෝලෙ මහත්තෙයට මතක් උන් යකඩො අද උදේ මං හදිස්සියට අමුඩෙ ඇන්දෙ නෑනෙ කියල.

පොඩි කොල්ලො ටික එකහඬින් කිව්වලු, "ලොකු සෑර්... ඔයි වගේ චූටි චූටි එව්ව අපි ගාවත් තියෙනව... කියල.

දවසක් ඉස්කෝලෙ මහත්තයෙක් පන්තියෙදි ගණිත ගැටළුවක් ඉදිරිපත් කළාලු...

"ෆිල්ම් එක හවස හයයි තිහට පටංගන්නව නං, මගෙ මල්ලි හිල්මන් කාර් එකක් එළවනව නං, ගෙදර මිදුලෙ තියෙන පොල්ගහ අඩි හැටපහක් උස නං, මගෙ වයස කීයද?"


ළමයි හොල්මං වෙලා ගියාලු ප්‍රශ්නෙට. හූම් සද්දෙයක් නැතුව විනාඩි පහක් විතර ගියාලු.


"හතළිස් හතරයි" අන්තිම පේළියෙ කොල්ලෙක් අන්තිමේ දි අත උස්සල උත්තර දුන්නලු.


"හරියට හරි." ඉස්කෝලෙ මහත්තෙය සන්තෝසෙ වැඩිකමට පුටුවෙනුත් නැගිටල කිව්වලු. "දැං මේ අනිත් අයටත් ඉගන ගන්ඩ, කියන්ඩ බලන්ඩ ඔයා උත්තරේ ගත්ත විදිහ..."


"මේකනෙ සර්... " කොල්ල කියනවලු. “අපේ අයිය කෙනෙක් ඉන්නව. පොරට වයස විසි දෙකයි. බාගෙට පිස්සු.“


ඔය වගේ එක භෞතික විද්‍යා ගුරුවරයෙක් පන්තියෙදි ඇහුව සෝක් ප්‍රශ්නයක්: 

බිල්ඩිමක් තියෙනව. ඒකෙ වහලෙටම නගින්න ඉණිමගකුත් තියෙනව. වායු පීඩන මානයක ආධාරයෙන් බිල්ඩිමේ උස හොයාගන්නෙ කොහොමද?

එක ළමයෙක් අත ඉස්සුව. 

“වායු පීඩන මානය බිල්ඩිමේ වහලෙ මට්ටමෙන් බිමට අතාරිනව.“ ගුරුවරයගෙ ඇස් උඩගියා. “ඒක බිමට වැටෙන්ඩ යන කාලය බලල, ඒකට S= 1/2 at^2 සූත්‍රය දාල ගන්නව උස“ 

“එච්චරද තියෙන්නෙ? “ ගුරුවරය කේන්තියෙන් ඇහුව.

“නෑ සර්. තව තියෙනව.“ අරූ කියාගෙන ගියා.

“වායු පීඩන මානය අතේ තියාගෙන ඉණිමග දිගේ නගිනව. ඒ නගින ගමං බිල්ඩිමේ බිත්තියට වායු පීඩන මානය තිය තියා ඒකෙං උස මැනගෙන මැනගෙන යනව. අන්තිමේ කියන්ඩ පුළුවං බිල්ඩිම වායු පිඩන මාන මෙච්චරක් උසයි කියල. ඒක වායු පීඩන මානයෙ උසින් වැඩිකළොත් මෙට්රික් අගයක් ගන්ඩ පුළුවං.

“නැත්තං, දිග නූලක් අරගෙන වායු පීඩන මානය ගැටගහනව ඒකෙ. ඒ කල්ල හිටං, බිල්ඩිමේ වහලෙ උඩ ඉඳං ඒක බිමට පාත් කරනව. වායු පීඩන මානෙ බිමට ආව හැටියෙ, නූලෙ දිග මැනල, ඒකට වායු පීඩන මානෙ උස එකතු කරනව.

“නැත්තං, හොඳට අවුව වැටෙන දවසක වායු පීඩන මානෙ බිම තියල, ඒකෙ හෙවනැල්ලෙ දිග මනිනව. ඒක එක්ක වායු පීඩන මානෙ උසට අනුපාතයක් හදාගන්නව. ඊටපස්සෙ බිල්ඩිමේ හෙවනැල්ල මැනල, අර අනුපාතෙං වැඩිකරනව.

“නැත්තං, නූලක වායු පීඩන මානෙ ගැටගහල, ඒක බිම් මට්ටමේදි පද්දනව, අවලම්බයක් වශයෙන්. ඒකෙන් බිම් මට්ටමේ ගුරුත්වජ ත්වරණය ගණනය කරගන්නව. ඊටපස්සෙ බිල්ඩිමේ වහලෙ මට්ටමේදි අර හදාගත්ත අවලම්බය පද්දනව. ඒකෙන් හොයාගන්නව එතනදි ගුරුත්වජ ත්වරණය. ඒ දෙකේ අන්තරය අනුසාරයෙන් බිල්ඩිමේ උස ගණනය කරනව. සූත්‍රය g = GM/r^2.

“ඒත් නැත්තං ලේසිම වැඩේ, ඔය වායු පීඩන මානය අරගෙන යනව බිල්ඩිමේ සිකුරිටිය ගාවට. ගිහිං එයාට කියනව, “මේ බිල්ඩිමේ උස මට හරියටම හොයල කිව්වොත් මම මේ වායු පීඩන මානෙ තමුසෙට දෙනව...“

වැඩිපුර බලපු ලිපි