රොසෙට්ටා පාෂාණය - අවසාන කොටස


පළමු කොටසින්...

රොසෙට්ටා පාෂාණය, ඊජිප්තුවේ පාලකයා ව සිටි පස්වැනි ටොලමි රජුගේ නමින්, ක‍්‍රි. පූ. 196 දී මෙම්ෆිස් හිදී නිකුත් කරන ලද රාජකීය නියෝගයක් සටහන් කරන ලද රළු ආගනේය පාෂාණ පුවරුව කි. මෙම නියෝගය පිටපත් තුනකින් සටහන් කර තිබේ. ඒ, සෙල් පුවරුවේ ඉහළ කොටස පෞරාණික ඊජිප්තු රූපාක්ෂර හෙවත් හයිරෝරේඛනයෙන් (හයිරොග්ලිපික් / hieroglyphic) ද, මැද කොටස ඊජිප්තු ව්‍යවහාර අක්ෂර මාලාවෙන් (demotic) ද, පහළ කොටස පුරාණ ග‍්‍රීක භාෂාවෙන් ද, වශයෙනි. මෙම පිටපත් තුනෙහි ම අඩංගු වන්නේ එකම පෙළ වූ බැවින් (යම් සුළු වෙනස්කම් සහිතව), ඊජිප්තු හයිරෝරේඛනය පිළිබඳ නව ලෝකය දැනුවත් වීමට මූලික සාධකය වූයේ රොසෙට්ටා පාෂාණය යි.

මෙම පුවරු ලිපිය මුලින් දේවස්ථානයක් තුළ ප‍්‍රදර්ශනය කෙරෙන්නට ඇතත්, මුල් ක‍්‍රිස්තියානි අවධියේ හෝ මධ්‍යකාලීන යුගයේ දී එතැනින් ඉවත් කරන ලදුව, පසුකාලීනව නයිල් ඩෙල්ටාවේ පිහිටි රෂීඞ් (රොසෙට්ටා) නම් නගරය ආසන්නයේ ජූලියන් බළකොටුව ඉදිකිරීමේ දී යොදාගෙන තිබේ. නැපෝලියන් බොනපාර්ට් යටතේ දියත් කෙරුනු ඊජිප්තු යුධ ප‍්‍රයාණයේ දී, එක් ප‍්‍රංශ සොල්දාදුවෙකු විසින් 1799 දී මෙය නැවත සොයාගන්නා ලදි. මෑතකාලීනව සොයාගන්නා ලද මුල්ම පෞරාණික ද්විභාෂක ලියවිල්ල වීම නිසා ත්, එතෙක් පරිවර්තනය කිරීමට අපොහොසත් ව පැවති පුරාණ ඊජිප්තු භාෂාව කියවීමට එයින් ලැබිය හැකි අත්වැල නිසා ත්, රොසෙට්ටා පාෂාණය ලොව පුරා ජනයා ගේ මහත් සැළකිල්ල ඇද ගත්තේ ය. නොබෝ කලකින්, එහි ස්පර්ෂ සටහන් සහ හුණු බදාමයෙන් ගන්නා ලද අච්චු පිටපත් යුරෝපයේ කෞතුකාගාර සහ අධ්‍යයනය කරන්නන් අතර පැතිරෙන්නට විය. මේ අතර, 1801 දී බි‍්‍රතාන්‍ය හමුදා විසින් ප‍්‍රංශ වරුන් ඊජිප්තුවේ දී පරාජය කරන ලද අතර, ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ දී ප‍්‍රංශ හමුදා යටත් වීම අනුව මෙම පාෂාණය බි‍්‍රතාන්‍ය අයිතියට පත් විය. එය ලන්ඩනයට ප‍්‍රවාහනය කරන ලදුව, 1802 සිට බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ මහජන ප‍්‍රදර්ශනයට තබා තිබේ. මෙය එම කෞතුකාගාරයේ ඇති වැඩිම පිරිසක් විසින් නරඹන ලද අයිතමය යි.

මෙම පාෂාණය, නැවත සොයාගත් දින සිට ම විවිධාකාර දේශාභිමානීන්ගේ විරෝධතාවන් ට කේන්ද්‍ර වී තිබේ. මේ අතර, නැපෝලියානු යුධ ප‍්‍රයාණ කාලයේ දී ප‍්‍රංශයේ සිට බි‍්‍රතාන්‍යය ට හිමිකාරීත්වය මාරු වීම, අභිලේඛනය කියවීමේ දී යං සහ ෂැම්පෝලියන් ඉටුකළ මෙහෙවරේ සාපේක්ෂ වටිනාකම, සහ 2003 සිට පාෂාණය නැවත ඊජිප්තුවට ලබාදෙන ලෙස කෙරෙන ඉල්ලීම්, ප‍්‍රධාන වෙයි.

1803 දී මෙහි ග‍්‍රීක පෙළ මුලින් ම සම්පූර්ණ වශයෙන් පරිවර්තනය කරන ලදුව, එහි සඳහන් වන රාජකීය නියෝගය පිළිබඳ අධ්‍යයනයන් ඇරඹිය හැකි විය. ඊජිප්තු පෙළෙහි පරිවර්තනය, ශෝං-ෆ‍්‍රාංස්වා ෂැම්පෝලියන් (Jean-François Champollion) විසින් පැරිසියේ දී ප‍්‍රකාශයට පත් කෙරුණේ ඉන් වසර 20 කට පසු හෙවත් 1822 දී ය. විද්වතුන් හට අනෙකුත් පැරණි ඊජිප්තු අභිලේඛන සහ සාහිත්‍යය නිසැක වශයෙන් කියවීමට ඊටත් වඩා වැඩි කාලයක් ගත විය. මෙහි පරිවර්තන කාර්යයේ ප‍්‍රධාන පියවරයන් වූයේ,

1. පාෂාණයේ සඳහන් වන්නේ එකම පෙළෙහි වෙනස් අනුවාදයන් තුනක් බව හඳුනා ගැනීම (1799),
2. ඊජිප්තු ව්‍යවහාර බසින් සටහන් ලිපියෙහි විදේශීය නම් ලිවීම සඳහා ශබ්ද විද්‍යාත්මක සංකේත (Phonetic Characters) භාවිතා කර ඇති බව සොයාගැනීම (1802),
3. හයිරෝරේඛිත පෙළෙහි ද එවැනි ම භාවිතයක් ඇති බව සහ එහි ඊජිප්තු ව්‍යවහාර බසින් වූ පෙළ සමඟ පැතිර පවත්නා සමානකම් ඇති බව සොයාගැනීම (තෝමස් යං (Thomas Young) 1814),
4. විදේශීය නම් වලට අමතරව ස්වදේශික ඊජිප්තු වචන සඳහා ද ශබ්ද විද්‍යාත්මක සංකේත භාවිතා කර ඇති බව සොයාගැනීම (ෂැම්පෝලියන් 1822-1824) ආදිය යි.

මෙකී රාජකීය නියෝගය ම සටහන් වූ කැඞී ගිය අසම්පූර්ණ පිටපත් දෙකක් ද පසුව සොයාගෙන ඇති අතර, ඊට සමාන ඊජිප්තු ද්විභාෂික සහ ත්‍රෛභාෂික අභිලේඛන කිහිපයක් ද මේ වන විට ප‍්‍රසිද්ධ කර තිබේ. ඒ අතර, තරමක් පැරණි ටොලමියානු රාජකීය නියෝගයන් දෙකක් ද (ක‍්‍රි. පූ. 238 දී නිකුත් කෙරුණු කැනෝපස් හි රාජකීය නියෝගය සහ ක‍්‍රි. පූ 218 දී පමණ සිවුවන ටොලමි රජු විසින් නිකුත් කරන ලද මෙම්ෆිස් හි රාජකීය නියෝගය) වේ. එහෙයින් රොසෙට්ටා පාෂාණය අසමසම පුරාවස්තුවක් නොවූව ද, පුරාණ ඊජිප්තු සාහිත්‍යය සහ ශිෂ්ඨාචාරය තේරුම් ගැනීමේ යතුර වීමෙන් හිමිකරගත් වැදගත්කම අහෝසි නොවේ.  ඕනෑම තාක්ෂණයක නව දැනුම සොයා යාමේදී අත්‍යවශ්‍ය වන සාධකයන් හැඳින්වීමේදී ‘රොසෙට්ටා පාෂාණය’ යන පදය පර්යාය පදයක් ලෙස ඉංග‍්‍රීසියේ දී භාවිතා කෙරෙන තාක් දුරට මෙම පුරාකෘතිය ප‍්‍රචලිත වී තිබේ.

දෙවන කොටස...

පසුකාලීන කටයුතු

එයින් පසුව රොසෙට්ටා පාෂාණය පිළිබඳ කටයුතු යොමු වූයේ පිටපත් තුන ම එකිනෙක සැසඳීමෙන් ලියවිල්ල සහ එහි අන්තර්ගතය පූර්ණ වශයෙන් තේරුම් ගැනීම කෙරෙහි ය. 1824 දී ප‍්‍රාචීණ ශාස්ත‍්‍රඥයෙකු වූ අන්තුවාං-ශෝං ලෙත්‍රෝන් (Antoine-Jean Letronne), ෂැම්පෝලියන් ගේ කටයුතු සඳහා ග‍්‍රීක පිටපතේ නව වාච්‍යාර්ථ පරිවර්තනයක් සැකසීමට පොරොන්දු විය. ඒ වෙනුවෙන් ෂැම්පෝලියන් පිටපත් තුනෙහි වෙනස්කම් දක්වන ස්ථාන සියල්ල පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට එකඟ විය. 1832 දී සිදු වූ ෂැම්පෝලියන් ගේ හදිසි මරණයෙන් පසු මෙම විශ්ලේෂණයේ කෙටුම්පත් සොයාගත නොහැකි විය. එහෙයින් ලෙත්‍රෝන් ගේ කාර්යය ද අත්හිටුවිණි. 1838 දී ෂැම්පෝලියන් ගේ හිටපු ශිෂ්‍යයෙකු සහ සහායකයෙකු වූ ෆ‍්‍රාංස්වා සැල්වොලිනි (François Salvolini) ගේ මරණයේ දී මෙකී කෙටුම්පත හා තවත් නැතිවූ කෙටුම්පත් ගණනාවක් ඔහුගේ ලියවිලි අතර තිබී හමු විය. (රොසෙට්ටා පාෂාණය පිළිබඳව 1837 දී සැල්වොලිනි විසින් එළිදක්වන ලද ප‍්‍රකාශනය බුද්ධිමය දේපොළ සොරකමක් බව එයින් හෙළි විය.) අවසානයේ ලෙත්‍රෝන් ග‍්‍රීක පිටපත ට කරන ලද විවරණය අවසන් කළ අතර, එහි ප‍්‍රංශ පරිවර්තනය 1841 දී එළිදැක්වුණි. 1850 ගණන් වල මුල් කාලයේ දී ජර්මන් ජාතික ඊජිප්තුවේදීන් දෙදෙනෙකු වූ හයින්රිච් බ‍්‍රග්ෂ් (Heinrich Brugsch) සහ මැක්ස් ඌල්මන් (Max Uhlemann) රොසෙට්ටා පාෂාණයේ අඩංගු ඊජිප්තු ව්‍යවහාරික සහ හයිරෝරේඛිත පිටපත් පදනම් කරගෙන සංශෝධිත ලතින් පරිවර්තනයක් සකස් කළ හ. පළමු ඉංග‍්‍රීසි පරිවර්තනය පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ දර්ශන සහ ගණිත සමාජයේ (Philomathean Society) සාමාජිකයන් තිදෙනෙකු විසින් එළිදැක්වුනේ මීටත් පසුව 1858 දී ය.

පාෂාණයේ ඇතුළත් පිටපත් තුනෙන්, අනෙක් භාෂා දෙකට හරවන ලද මුල් පිටපත කුමක්දැයි යන ගැටළුව සෑහෙන කළක් තිස්සේ මතභේදයට තුඩු දුන්නකි. ටොලමියානු රාජවංශයේ රාජ්‍ය භාෂාව වූයේ ග‍්‍රීක බස හෙයින්, ග‍්‍රීක පිටපත මුල් එක බව ඔප්පු කිරීමට ලෙත්‍රෝන් 1841 දී උත්සාහ කෙළේ ය. මෑත කාලීන ලේඛකයන් අතරින් ජෝන් රේ (John Ray) පවසන්නේ, ‘‘පාෂාණයේ වැදගත්ම පිටපත හයිරෝරේඛිතය යි. ඒවා සටහන් කෙරුනේ දෙවියන් හට කියවීමටත්, ඔවුන්ගේ පූජක සංහතිය ගැන දැනගැනීමට ත් ය.’’ යනුවෙනි. (Philippe Derchain) සහ හේයින්ස් හොසෙෆ් තිසන් (Heinz Josef Thissen) මෙම පිටපත් තුන ම එක විට ම රචනා කරන්නට ඇති බවට තර්ක කරන අතර, ස්ටෙෆන් කර්ක් (Stephen Quirke) මෙම ලේඛනය ‘‘ඉතා වැදගත් ලේඛන සම්ප‍්‍රදායයන් තුනක දුරවබෝධ සුසංයෝගයක්’’ ලෙස දකියි. රිචර්ඞ් පාකින්සන් (Richard Parkinson) හයිරෝරේඛිත පිටපත, පෞරාණික ආකෘතියේ සිට පූජකයින් දෛනිකව භාවිත කළ ව්‍යවහාරික භාෂාවේ රටාවට සමීප රටාවක් වෙත විටින් විට අයාළේ යන ස්වභාවයක් අතරින් පතර දක්වන බව පෙන්වා දෙයි. විශේෂයෙන් ම රොසෙට්ටා පාෂාණයෙන්, විද්වතුන් නිවැරදි හා තථ්‍ය සුචියක් මිසර හයිරෝරේඛනය උදෙසා අපේක්ෂා කළ නමුත්, පිටපත් තුන වචනයෙන් වචනය ට සැසඳිය නොහැකි වීම ම, මෙම අභිලේඛනය කියවීම කලින් අපේක්ෂා කළාට වඩා ඉතා දුෂ්කර වීමට හේතුවයි.

රොසෙට්ටා පාෂාණය ඇසුරින් නැංවුණු විරෝධතා

සැල්වෝනි ගේ පළහිලව්වටත් කලින් සිට ම, පුරෝගාමීත්වය හා බුද්ධිමය දේපළ සොරකම පිළිබඳ මතවාද රොසෙට්ටා පාෂාණය කියවීමේ කතාව පුරා මතුවී තිබේ. 1822 දී ෂැම්පෝලියන් ගේ ‘ඩාසියේ මහතාට යැවූ ලිපියේ’ තොමස් යං ගේ කටයුතු පිළිබඳව දන්වා ඇත. එහෙත්, ‘‘ප‍්‍රතිපත්ති විරහිත’’ ෂැම්පෝලියන් එම දැනුම සොරකම් කර ඇති බව සමහර බි‍්‍රතාන්‍ය ගුණ දෝෂ විචාරකයන්ගේ මතය විය. උදාහරණයක් ලෙස බි‍්‍රටැනිකා විශ්ව කෝෂයේ (1819 දී යං ගේ ‘ඊජිප්තුව’ ලිපිය පළ කෙරුණු) උප සංස්කාරක වරයෙකු වූ ජේම්ස් බ‍්‍රවුන් (James Browne) 1823 දී එඩින්බරෝ ශාස්ත‍්‍රීය සඟරාව ට (Edinburgh Review) නිර්නාමිකව සපයන ලද ශාස්ත‍්‍රීය ලිපි මාළාවකින් යං ගේ කටයුතු ඉහළින් වර්ණනා කරමින් ඉහත චෝදනාව එල්ළ කෙළේ ය. මෙම ලිපි ජූලියස් ක්ලැපෝර්ත් (Julius Klaproth) විසින් ප‍්‍රංශ බසට පෙරළා අනතුරුව 1827 දී එයින් පොතක් ප‍්‍රකාශයට පත් කරන ලදි. 1823 දී යං විසින් ම එළි දක්වන ලද කෘතියේ තමන් විසින් කරන ලද මෙහෙවර නැවත තරයේ කියා තිබේ. 1829 දී සහ 1832 දී සිදු වූ යං සහ ෂැම්පෝලියන් ගේ අකල් මරණයන් ගෙන් මෙම මතභේදයන් නිමා වූයේ නැත. 1904 දී ප‍්‍රකාශයට පත් කෙරුණු, බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ භාරකරු ව සිටි ඊ. ඒ. වෝලිස් බජ් (E. A. Wallis Budge) පාෂාණය ගැන කරන ලද ප‍්‍රාමාණික අධ්‍යයනයන් තුළින් ෂැම්පෝලියන් ගේ දායකත්වයට විසංසන්දනාත්මක ලෙස යං ගේ කටයුතු විශේෂයෙන් බර කොට සඳහන් කර තිබුණි. 1970 ගණන් වල මුල් භාගයේ දී ප‍්‍රංශ ජාතික නරඹන්නන්, යාබද තොරතුරු පැනලයන් වල පිහිටුවා තිබුණු ෂැම්පෝලියන් ගේ විද්ධ චිත‍්‍රය යං ගේ එකට වඩා කුඩා බව ට පැමිණිලි කළ අතර, ඉංග‍්‍රීසි ජාතික නරඹන්නෝ එහි ප‍්‍රතිවිරුද්ධ අදහස නිවැරදි යැයි පැමිණිලි කළහ. එහෙත් චිත‍්‍ර දෙකම සත්‍ය වශයෙන් ම සමාන ප‍්‍රමාණ වලින් යුක්ත විය.

ෂැම්පෝලියන්
https://i.ytimg.com/vi/xlyE0x1KP6Q/hqdefault.jpg
තෝමස් යං
https://upload.wikimedia.org/
wikipedia/commons/thumb/d/df/
LifeOfThomasYoung1855PeacockG.jpg
/240px-LifeOfThomasYoung1855PeacockG.jpg
ඊජිප්තුව වෙතට දේශප‍්‍රත්‍යාවර්තනය උදෙසා ඉල්ලීම් 

2003 ජූලි මාසයේ පැවති බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ 250 වන සංවත්සරය අවස්ථාවේ දී ඊජිප්තුව ප‍්‍රථම වරට රොසෙට්ටා පාෂාණය නැවත ලබාදෙන ලෙස ඉල්ලීමක් කෙළේ ය. පුරාවස්තු පිළිබඳ ඊජිප්තු උත්තරීතර සභාවේ ප‍්‍රධානී සාහි හවාස් (Zahi Hawass) වාර්තාකරුවන් වෙත අදහස් දක්වමින්, මෙම පුවරු ලිපිය සියරටට ලබාදෙන ලෙස මහත් උද්යෝගයෙන් ඉල්ලා සිටියේ ය. (‘‘බි‍්‍රතාන්‍යයට තමන් සිහිපත් කරනු ලැබීමට අවශ්‍ය නම්, සිය කීර්තිය නැවත ප‍්‍රකෘතිමත් කර ගැනීමට අවශ්‍ය නම්, ඔවුන් රොසෙට්ටා පාෂාණය ස්වේච්ඡුාවෙන් ම ආපසු දිය යුතු යි. මන්ද යත්, එය අපේ ඊජිප්තු අනන්‍යතාවයේ සංකේතය යි.’’ (Edwardes and Milner (2003))& වසර දෙකකට පසුව පැරිසියේ දී ඔහු ඊජිප්තු සංස්කෘතික උරුමයට අයත් වන පුරාවස්තු ලැයිස්තුවක් ඉදිරිපත් කරමින්, එම යෝජනාව නැවත ඉදිරිපත් කෙළේ ය. එම ලැයිස්තුව ට අයත් වූ ඉතා වැදගත් අයිතම අතර, රොසෙට්ටා පාෂාණය ට අමතරව, බර්ලින් හි ඊජිප්තු කෞතුකාගාරයේ තැන්පත් කර ඇති නෙෆර්ටිටි ගේ උඩුකය ප‍්‍රතිමාව ද, ජර්මනියේ ම හිල්ඩෂයිම් (Hildesheim) හි රෝමර් සහ පෙලිසියස් කෞතුකාගාරයේ (Roemer-und-Pelizaeus-Museum) ඇති මහා පිරමිඩයේ නිර්මාණශිල්පී හෙමියුනු (Hemiunu) ගේ ප‍්‍රතිමාව ද, පැරිසියේ ලූව්ර කෞතුකාගාරයේ ඇති දෙන්දෙරා දේවස්ථානයේ ග‍්‍රහ චක‍්‍ර කැටයම (Dendara Temple Zodiac) ද, බොස්ටන් හි ලලිත කලා කෞතුකාගාරයේ ඇති ඇන්ක්හ්හෆ් (Ankhhaf) ගේ උඩුකය ප‍්‍රතිමාව ද, විය. (Antiquities wish list" (2005)) 2005 දී බ්‍රිතාන්‍ය කෞතුකාගාරය මෙම පුවරු ලිපියේ තථ්‍ය පරිමාණයේ අනුරුවක් ඊජිප්තුවට ලබා දුන්නේ ය. මෙය පාෂාණය මුලින්ම හමු වූ ස්ථානයට ආසන්නයේ නවීකරණය කරන ලද රාෂිඞ් කෞතුකාගාරයේ පළමුවෙන් ම ප‍්‍රදර්ශනයට තබන ලදි. 2005 නොවැම්බරයේ දී හවාස්, සිය මුල් ඉල්ලීම දිගටම පවත්වාගෙන යන අතර, රොසෙට්ටා පාෂාණය තුන් මසකට ණයට දෙන ලෙස යෝජනා කෙළේ ය. 2009 දෙසැම්බරයේ දී ඔහු, 2013 දී පැවැත්වෙන ගීසා හි මහා ඊජිප්තු කෞතුකාගාරය විවෘත කිරීමේ උත්සවය සඳහා බි‍්‍රතාන්‍ය කෞතුකාගාරය රොසෙට්ටා පාෂාණය තෙ මසකට දෙන්නේ නම්, සිය පළමු ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නා බව කියා සිටියේ ය.

ජෝන් රේ අනුව, ‘‘පාෂාණය රොසෙට්ටා හි පැවති කාලයට වඩා වැඩි කාලයක් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ පැවතුනේ යැයි කීමට හැකි දිනයක් එළඹෙනු ඇත.’’ රොසෙට්ටා පාෂාණය වැනි ජාත්‍යන්තර මට්ටමේ සංස්කෘතික සුවිශේෂතාවයෙන් යුත් වස්තූන් සියරටට නැවත ලබා දීම පිළිබඳව ජාතික කෞතුකාගාර අතරින් ම දැඩි විරෝධතා මතු වී තිබේ. එල්ජින් කිරිගරුඬ කැටයම උදෙසා ග‍්‍රීසියෙන් පුන පුනා කෙරුණු ඉල්ලීම් හා සමානව අනෙකුත් ලොව පුරා කෞතුකාගාර වෙතට ද ඉදිරිපත් කෙරුණු ආයාචනා සම්බන්ධයෙන්, ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ කෞතුකාගාර 30 කට වැඩි ගණනක් ඒකාබද්ධව ප‍්‍රකාශයක් නිකුත් කරන ලදි. බි‍්‍රතාන්‍ය කෞතුකාගාරය, ලූව්ර කෞතුකාගාරය, බර්ලින් හි පර්ගැමොන් කෞතුකාගාරය සහ නිව්යෝක් හි මෙට්‍රොපොලිටන් කෞතුකාගාරය ද මෙම සමූහයට ඇතුළත් විය. එම ප‍්‍රකාශයේ ඇතුළත් වූ කරුණු අතර, ‘මුල් කාලයේ දී අත්කරගත් වස්තූන් එම මුල් යුගයේ අගනාකම් සහ වෙනස් වෙනස් සංවේදීතාවයන් පිළිබිඹු වන පරිදි ප‍්‍රදර්ශනය කෙරිය යුතු ය.’ සහ ‘කෞතුකාගාරයන් සේවය කරන්නේ එක් ජාතියක පුරවැසියන් හට නොව, සියළුම ජාතීන්ට අයත් මිනිසුන් වෙනුවෙනි’ යන වගන්ති ඇතුළත් වේ.

ඉංග‍්‍රීසි භාෂාව තුළ සංකේතමය භාවිතය

රොසෙට්ටා පාෂාණය යන පදය, කේතනය කරන ලද රහස්‍ය තොරතුරු කියවා තේරුම්ගැනීමේ යතුර සංකේතනය කිරීමට (විශේෂයෙන් වඩා විශාල සමස්තය තේරුම් ගැනීමට හෝඩුවාවක් ලෙස කුඩා එහෙත් නියෝජනාත්මක නියැදියක් හඳුනාගත් විට) යොදා ගැනේ. (Oxford English dictionary (1989) s.v. "Rosetta stone") ඔක්ස්ෆර්ඞ් ඉංග‍්‍රීසි ශබ්දකෝෂය ට අනුව, මුල් වරට මෙම පදය රූපකයක් ලෙස භාවිතා කිරීම දක්නට ලැබෙන්නේ බ්‍රිටැනිකා විශවකෝෂයේ 1902 සංස්කරණයේ ග්ලූකෝස් හි රසායනික විශ්ලේෂණය ට අදාළව ය. මෙම වාක්‍යාංශය, බොහෝ දුරට වාච්‍යාර්ථයෙන් භාවිතා කිරීම ජනප‍්‍රිය සාහිත්‍යයට පිවිසීම, 1933 දී එච්. ජී. වෙල්ස් (H. G. Wells) ගේ ‘අනාගත දේ වල හැඩය’ (The Shape of Things to Come) නම් නවකථාවේ දක්නට ලැබේ. එහි කථානායකයා, අත් අකුරින් සහ යතුරු ලියනයෙන් සකසන ලදුව, විසිරී ගිය ලියවිල්ලක් තේරුම්ගැනීමට පාදක වන ලඝු ලිඛිත අත්පිටපතක් සොයා ගනී. සමහරවිට, විද්‍යාත්මක සාහිත්‍යය තුළ මෙම පදයේ වැදගත් ම සහ ඉතා ම ප‍්‍රකට භාවිතය, නොබෙල් ත්‍යාගලාභී තියඩෝර් ඩබ්ලිව්. හාන්ෂ් (Theodor W. Hänsch) විසින් 1979 දී සයන්ටිෆික් ඇමෙරිකන් සඟරාවට ලියන ලද වර්ණාවලීක්ෂණය පිළිබඳ ලිපියේ දක්නට ලැබේ. එහි ඔහු ‘‘හයිඩ‍්‍රජන් පරමාණුවේ වර්ණාවලිය නූතන භෞතික විද්‍යාවේ රොසෙට්ටා පාෂාණය බවට ඔප්පු වේ. මන්ද යත්, මෙම රේඛා මාදිළිය තේරුම්ගත් විට වඩා වැඩිමනත් යමක් ද තේරුම් ගත හැකි බැවිණි.’’ යි පවසයි.

එතැන් සිට මෙම පදය අනෙක් සන්දර්භයන් තුළ ද පුළුල්ව භාවිතා වන්නට පටන් ගත්තේ ය. උදාහරණයක් ලෙස, මනුෂ්‍ය ස්වේතාණු තුළ ඇති ප‍්‍රතිදේහ ජනකයේ මූලික ජාන සමූහය සම්පූර්ණයෙන් හඳුනාගැනීම ‘ප‍්‍රතිශක්ති විද්‍යාවේ රොසෙට්ටා පාෂාණය’ ලෙස හැඳින්වේ. ඇරබිඩොප්සිස් තලියානා (Arabidopsis thaliana) නම් සපුෂ්ප පැළෑටිය ට ‘සපුෂ්ප අවධියේ රොසෙට්ටා පාෂාණය’ යැයි කියනු ලැබේ. සුපර්නෝවා තත්ත්වයක් සම්බන්ධව සොයාගන්නා ලද ගැමා කිරණ පිපුරුමක් (Gamma ray burst (GRB)), ‘ගැමා කිරණ පිපුරුම් වල ප‍්‍රභවය අවබෝධ කරගැනීමේ රොසෙට්ටා පාෂාණය‘ ලෙස හඳුන්වන ලදි. ඩොප්ලර් එකෝකාඩියොග‍්‍රැෆි (Doppler echocardiography) තාක්ෂණය මනුෂ්‍ය හදවතේ වම් කෝෂිකාව, විවිධාකාරයේ වින්‍යස්ත දුෂ්කෘතීන් නිසා පිරී යාමෙන් ඇති වන සංකීර්ණ ක‍්‍රියාවලිය තේරුම්ගැනීමට උත්සාහ කරන චිකිත්සකයන් සඳහා රොසෙට්ටා පාෂාණයකැ යි කියනු ලැබේ.

එසේම, මෙම නාමය විවිධාකර භාෂා පරිවර්තක මෘදුකාංග තුළ භාවිතා වීමට ද පටන් ගෙන ඇත. ‘රොසෙට්ටා ස්ටෝන්’ යනු, ඇමරිකා එක්සත් ජනපදයේ, වර්ජිනියා හි ආර්ලිංටන් ජනපදයේ මූලස්ථානය පිහිටා ඇති, සී/ස රොසෙට්ටා ස්ටෝන් ආයතනයෙන් ප‍්‍රකාශයට පත් කරන ලද භාෂා උගැන්වීමේ මෘදුකාංගයක සන්නම යි. x86 මධ්‍ය සැකසුම් ඒකකයක් භාවිතා කරන ඇපල් පරිගණක පද්ධතියක් තුළ ක‍්‍රියාත්මක වීම සඳහා, PowerPC මධ්‍ය සැකසුම් ඒකකයක ට මෘදුකාංග සම්පාදනය වීම පහසු කරන ‘සැහැල්ලූ ක‍්‍රියාකාරී පරිවර්තකය’ ("lightweight dynamic translator") රොසෙට්ටා නමින් හැඳින්වේ. ලෝන්ච්පෑඞ් ව්‍යාපෘතියේ (Launchpad project) කොටසක් ලෙස පවත්වාගෙන යන, කැනොනිකල් (Canonical) අංශයෙන් සංවර්ධනය කර, පවත්වාගෙන යන, මෘදුකාංග ප‍්‍රාදේශීයව හැඩගැස්වීමට භාවිතා කෙරෙන අන්තර්ජාලමය භාෂා පරිවර්තක මෙවළමක් ද මෙම නමින් නම් කර ඇත. ඊට සමාන ලෙස, ප්‍රෝටීන් ආකෘතීන් පිළිබඳ පුරෝකථනය (හෝ පරිවර්තනය) කිරීමේ සංගණන ව්‍යාපෘතියක් ද ‘රොසෙට්ටා ඇට් හෝම්’ (Rosetta@home) යැයි හැඳින්වේ. ‘රොසෙට්ටා ව්‍යාපෘතිය’ (The Rosetta Project) ක‍්‍රි. ව. 2000 සිට 12000 දක්වා පවත්වාගෙන යාමට අපේක්ෂිත, භාෂා විශේෂඥයන් සහ ස්වභාෂකයන් එක් කොට සංවර්ධනය කරන භාෂා 1,500 ක අර්ථාන්විත සමීක්ෂණයක් සහ ස්ථාවර ලේඛන සංරක්ෂිතයක් සඳහා යොදා ඇති නම යි. 67පී/චර්යුමෝව්-ගෙරාසිමෙන්කෝ (67P/Churyumov-Gerasimenko) නම් ධූමකේතුව අධ්‍යයනය කිරීමේ දස අවුරුදු ප‍්‍රයාණයක යොදවා ඇති රොසෙට්ටා අභ්‍යවකාශ යානය, එම අධ්‍යයනයන් තුළින් ධූමකේතුවේ සංයුතිය නිර්ණය කරගැනීමෙන් සූර්ය ග‍්‍රහ මණ්ඩලයේ ප‍්‍රභවය පිළිබඳ කරුණු හෙළිකරනු ඇතැයි අපේක්ෂිත ය.

12 comments:

  1. වැදගත් තොරතුරු ටිකක්

    ReplyDelete
    Replies
    1. අපි අකුරක් ලිව්වත් ඒකත් වැදගත් දෙයක්ගැන තමා ඉතිං...

      Delete
  2. னයාට බාල බැට්‍රි කෑලි දාපු ටෝච්එකෙන් ගහල னයා ඒකෙන් පන්දමක් හදාගත්ත එකට රොසෙට්ටා පාෂාණ්දමකැයි කියනු ලැබේ

    ReplyDelete
    Replies
    1. ඒ ටෝච් එකෙං ඔලුව පැලෙන්ඩ පාරක් කාපු නයිහාමිට, පට-පට නයියා යැයි කියනු ලැබේ

      Delete
  3. අද னයා විතරද කොමෙන්ට් දාන්න ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. පාලුගෙයි වළංගොඩේ නයෙක්...

      Delete
  4. ඊජිප්තු ශිෂ්ටාචාරය තේරුම් ගැනීමේ යතුර වීමෙන් හිමිකරගත් වැදගත් කම නම් අහෝසි වෙන්නේ නැහැ තමයි නේද?
    මෙය මට ද ඉතා ප්‍රිය වූ විෂයයක්.

    ReplyDelete
    Replies
    1. ඔය වගේම තමයි නේද දෙවුන්දර දේවාලය අසල තියෙන ත්‍රෛභාෂික සෙල්ලිපිය? මම වැඩි විස්තරයක් දන්නෑ...

      Delete
  5. වැදගත් ලිපියක්... බොලාගේ ඔය නයි..චෝට් කතාව තාම මම හොයනවා...

    ReplyDelete
    Replies
    1. னයා ගොඩක් දුර ඉඳං එන්නෙ.

      https://drackey.blogspot.com/2016/03/blog-post.html?showComment=1456823073815#c5091178827361611692

      Delete
  6. කෝ මේ දැතිහුලහට னයා ගහලද?

    ReplyDelete
    Replies
    1. නයා ගහල බේත් ඔරුවත් පැදලයි ආවෙ - එගොඩ මෙගොඩ

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

හුදෙක් ආතල් එක සඳහා පමණි

ඩ්‍රැකියා වෙසක් කළාපය ලිය ලියා ඉන්න අතරෙ, හිතේ පොදි ගැහී තෙරපි තෙරපී තිබූ ආතල් කතා වස්තු ටිකක් පොසොන් කළාපයට කලින් එළියට දාන්න ම ඕනෙ කියලා හ...

ගොඩක්ම කියවපු ලිපි