Monday, May 20, 2019

වෙසක් කළාපය - වසලයෙකුගේ ලක්ෂණ (වසල සූත්‍රය ඇසුරින්)

බුදු හාමුදුරුවෝ සැවැත් නුවර ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා තැනවූ විහාරයේ වාසය කරන කාලයක, දවසක් උදේ වරුවේ උන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වැඩියා. එදා අග්ගික භාරද්වාජ නම් බමුණා, ගේ ඉදිරිපිට යාග ගින්නක් සකස් කරගෙන හිටියා. බුදු හාමුදුරුවන් තමන්ගේ ගේ දිහාට එන බව දුටු අග්ගික භාරද්වාජ,

"තට්ටයා ඔතනම නවතිණු. මහණා ඔතනම නවතිණු. වසලයා ඔතනම නවතිණු!" කියා කීවා.

https://live.staticflickr.com/7755/27472073185_f6f990c25b_b.jpg

ඒ ඇසූ බුදු හාමුදුරුවෝ, "බමුණ, ඔබ වසලයෙක් කරන දේ අනුව වසලයෙක් වෙන්කර අඳුනාගන්න දන්නවාද?" කියා ඇසුවා.

"මම දන්නෙ නෑ. ඔබ දන්නවානම් මට කියන්න" බමුණා කිව්වා.

"එහෙනම් අහගන්න..." කියා බුදු හාමුදුරුවෝ ඔහුට වසල සූත්‍රය දේශනා කළා.

කෙනෙක් නිතරම කේන්ති ගන්නවානම්,
වෛර බඳිනවානම්,
අනුන්ගේ ගුණ නසන පාපී ගති ඇත්නම්,
සම්‍යක් දෘෂ්ඨියෙන් ඈත් ව සිටිනවා නම්,
කපටි ප්‍රයෝග කරනවා නම්,

සතුන්ගේ සහ පක්ෂීන්ගේ පණ නසන්නේ නම්,
සත්ත්වයින් ගැන දයාවක් නැත්නම්,

ගම්මාන විනාශ කරන්නේනම්,
ගම්මාන වටළාගන්නේනම්,
ගම්මාන කොල්ලකන හොරෙක් කියා ප්‍රසිද්ධ වන්නේනම්,

ගමක හෝ කැලෑවක හෝ අනුන් සතු දෙයක් හෙර සිතකින් ගන්නේ නම්,

ඒකාන්තයෙන්ම ණයක් ගෙන, එය ඉල්ලන විට මම ඔබට ණය නැතැයි ප්‍රතික්ෂේප කරනවානම්,

පාරේ යන අය මරා ඔවුන්ගේ සුළු හෝ වස්තුව පැහැර ගන්නවානම්,

තමන් නිසා හෝ
අනුන් නිසා හෝ
ධනය නිසා හෝ
බොරු සාක්ෂි දෙනවානම්,

නෑයෙකු ගේ හෝ යාළුවෙකුගේ භාර්යාවක්
බලහත්කාරයෙන් හෝ ඒ ගැහැණියගේත් කැමැත්තෙන්
අනාචාරයට පොළඹවා ගන්නේනම්

බොහෝ ධනය ඇතිවත්
මහළුවූ දෙමාපියන් පෝෂණය නොකරන්නේනම්

දෙමාපියන්ට හෝ බෑණාට හෝ ලේලියට
හිංසා කරනවානම්
වචනයෙන් ක්‍රෝධ කරනවානම්

නොදන්නා යමක් ඇසූ විට අහිතකර දෙයක්ම කියනවානම්
ඇත්ත නැත්ත කර උත්තර දෙනවානම්

පව් කරමින්, කවුරුවත් ඒක දැනගන්නවාට අකමැතිනම්
අනුන්ට නොදැනෙන්නට කරන ළාමක ක්‍රියා ඇත්නම්

වෙනත් ගෙදරකට ගොස් රසවත් ආහාර වළඳා
ඒ අය තමන්ගේ ගෙදරට ආවිට සංග්‍රහ නොකරන්නේනම්

බමුණෙකු හෝ මහණෙකු හෝ වෙනත් යාචකයෙකු
තමන්ගේ ගෙට ආ විට බොරු කියා රවටන්නේනම්

බමුණෙකු හෝ මහණෙකු කෑම කන වෙලාවේ තමන්ගේ ගෙට ආ විට
බැණ වදිනවානම්
කිසිවක් දෙන්නේ නැත්නම්

මෙ ලෝකයේ යමෙක් මෝඩකමින්
කවුරු හරි දෙයක් ලැබෙනවාට කැමැත්තෙන් තමන් වෙත ආ විට
දුෂ්ඨ කතා කියන්නේනම්

මානය නිසා පිරිහීමෙන්
තමන් උසස් කියා ද, අනික් අය පහත් කියා ද සළකන්නේනම්

ලෝකයේ සත්ත්වයින්ට කෝප කරන්නේනම්
තද මසුරෙක් නම්
නැති ගුණ ඇති බව පෙන්වන්නේනම්
ලැජ්ජා නැති පවට බය නැති කෙනෙක්නම්

බුදුන්ටත්, එතුමාගේ ශ්‍රාවකයන්ටත්,
පාරිබ්‍රාජකයන්ටත්, ගිහියන්ටත්
පිරිහෙලා කතා කරන්නේනම්

මේ අය වසලයෝ වෙති

කෙනෙක් රහත් නොවී රහත් බව අඟවන්නේනම්
ඔහු පළමුවෙනි මහ සොරා වෙයි
වසලයින්ගේත් අධමයා වෙයි

උපතින් කෙනෙක් වසලයෙක් නොවේ
උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙක්ද නොවේ
කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ ඔහුගේ ක්‍රියාවන් අනුවයි

මගේ දේශනය මේ උපමාවෙන්ද තේරුම් ගන්න
කෑම සඳහා බලු මස් උයන (සැඩොල්?) සෝපාක හෙවත් මාතංග නමින් ප්‍රසිද්ධ වූ කෙනෙක් සිටියා

ඒ මාතංග, හීන කුළයේ උපන් කෙනෙකුට ඉතා දුර්ලභ වූ කෙතරම් උසස් යසසකට පැමිණියාද කියතොත්
එතුමාට උපස්ථාන කරන්න ක්ෂිත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝද පැමිණියා

එතුමා බුදුන් ආදී අය ගේ පාරේ යමින් කාමරාගය නැති කොට අවසානයේ බ්‍රහ්ම ලෝකයේ උපන්නා

හීන කුලයේ ඉපදීම එතුමා බ්‍රහ්ම ලෝකයේ ඉපදීම වළක්වන්න සමත් වුණේ නෑ

වේද ඉගෙනීම උපතින් හිමි කරගත්, වේදයම පිළිසරණය කොටගත් බ්‍රාහ්මණයෝ නිතර පව් කම් කරනවා දකින්න පුළුවන්

ඔවුන් මේ ජීවිතයේදී සමාජයෙන් ගැරහීමට ලක් වෙනවා
පරලොවදී දුකට පත් වෙනවා.
ඉහළ කුළයක ඉපදීම ඔවුන්ට මෙලොව ගර්හාවෙන් හෝ පරලොව දුගතියෙන් හෝ ගළවාගැනීමට සමත් වෙන්නේ නෑ

උපතින් කෙනෙක් වසලයෙක් නොවේ
උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙක්ද නොවේ
කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ ඔහුගේ ක්‍රියාවන් අනුවයි

මෙසේ බුදුහාමුදුරුවෝ දේශනා කළාට පස්සේ අග්ගික භාරද්වාජ,

"ගෞතමයන් වහන්ස, බොහෝම මනහරයි. යටිකුරු කර තිබුණු දෙයක් උඩුකුරු කරලා පෙන්වනවා සේ, වසා තිබූ දෙයක් ඇර පෙන්වනවා සේ, මං මුළා වූ කෙනෙකුට පාර පෙන්වනවා සේ, ඇස් ඇති අයට පෙනේවා කියා අඳුරේ පානක් අල්ලාගෙන ඉන්නා සේ, ඔබ නොයෙක් ආකාරයෙන් ධර්මය කියාදුන්නා. මම ඔබත්, ඔබේ ධර්මයත්, ඔබගේ ශ්‍රාවකයනුත් සරණ යනවා. අද පටන් දිවි ඇති තෙක් ඔබ සරණ ගිය උපාසකයෙක් වෙනවා" කියා කීවා.

මගේ එකතු කිරීම

වසල සූත්‍රය ඇසුරින් සිසිර කුමාර මාණික්ක ආරච්චි ලියපු, ඒ. ජේ. කරීම් ගායනා කරපු ගීතය මේ...



භාරද්වාජ වරු දෙන්නෙක් මට මතක හැටියට ඉන්නවා. "අග්ගික" කියන්නෙ අග්නියක් සම්බන්ධ නිසා වෙන්න ඕනෙ. අනික් කෙනා තමයි බුදු හාමුදුරුවන්ට දානෙට ආරාධනා කරලා කට රිදෙන තුරු බැණපු "අක්කෝසක" හෙවත් ආක්‍රෝෂක... මට හිතෙනව මේ දෙන්නා වෙන වෙනම අඳුනගන්න නමට මුලින් ක්‍රියා විශේෂණයක් දාල වෙන්නැති කියල.

අනික තමයි, සිංහල බෞද්ධයන් සහ බුද්ධාගමේ ආරක්ෂකයන් විදිහට පෙනී සිටින උදවිය කොයි තරම් නම් බුදුන් වදාළ ධර්මයේ හැටියට වසල වැඩ කරනවාද කියන එක...

මූලාශ්‍ර
https://www.thripitakaya.org/sutta/index/21126
https://suttacentral.net/snp1.7/si/zoysa

ත්‍රිපිටකය සම්පූර්ණයෙන් කියවන්න ආස අයට මෙන්න
https://thripitaka.org/

Friday, May 10, 2019

අංගුලිමාල ගැන - වෙසක් කළාපය

අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්...

බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා ඉදිකරවා පූජා කළ ආරාමයේ වාසය කළා.

ඒ කාලයේ ප්‍රශන්නජිත් කොසොල් රජු ගේ පාලනයට යටත් වුණු කොසොල් ජනපදයේ රෞද්‍ර වූ, ලේ තැවරුණු අත් ඇති, මැරීමෙහි සහ විනාශ කිරීමෙහි යෙදුණු, ප්‍රාණීන් ගැන කරුණාවක් නැති අංගුලිමාල නම් හොරෙක් වාසය කළා. ඔහු නිසා ගම්, නියම්ගම්, ජනපද පාලුවට ගියා. ඔහු මිනිසුන් මරා ඔවුන්ගේ ඇඟිලිවලින් බැඳපු මාලයක් දැරුවා. (මට පොඩි කාලෙ ඉඳන් තිබුණු ප්‍රශ්නයක් තමයි, දවස් කීපයක් යද්දි ඔය ඇඟිලි කුණු වෙනව නේද? එතකොට ඔය මනුස්සයට ලෙඩ හැදෙන්නැද්ද? කියන කාරණා)


ඉතින් දවසක් බුදු හාමුදුරුවෝ හවස් කාලයේ අංගුලිමාල කියන හොරා ඉන්න ප්‍රදේශයට වැඩම කරන්නට ඒ දෙසට තියෙන පාරෙ ගමන් කළා. එතුමා දැකපු ගොපල්ලෝ, සතුන් බලන්නෝ, ගොවියෝ, මගියෝ ආදී අය අංගුලිමාල ගේ රෞද්‍රකම ගැන කියලා, එතුමා වළක්වන්නට තැත් කළා. "මේ පාරෙ යනවනම්, දහදෙනෙක්, විසි දෙනෙක්, තිස් දෙනෙක්, හතළිස් දෙනෙක්, පණස් දෙනෙක් ආදී වශයෙන් කණ්ඩායම් විදිහටයි මිනිස්සු යන්නේ. ඒත් අංගුලිමාලගෙන් බේරුණු කෙනෙක් මේ වන තෙක් හිටියෙ නෑ" කියලත් කිව්වා. ඒත් බුදු හාමුදුරුවෝ ඔවුන්ට උත්තර නොදී දිගටම ගමන් කළා.

අංගුලිමාල දුරදීම බුදු හාමුදුරුවන් දැක්කා. "සාමාන්‍යයෙන් මේ පාරෙ මිනිස්සු යන්නෙ කණ්ඩායම් විදිහට. පණහක් ආවත් මගෙන් විනාශ වුණා මිසක් බේරුණු කෙනෙක් නෑ. ඒත් මේ මහණා තනියම එන්නෙ. මොකක් නමුත් බලවත් කමක් නිසා. මම මේ මහණා මරණවා" කියා අංගුලිමාල හිතුවා.

ඉතින් අංගුලිමාල කඩුවත්, පළිහත් අරගෙන, දුන්න ඇද ගෙන බුදු හාමුදුරුවන් පස්සෙ ලුහු බැන්දා. සාමාන්‍ය ගමන් විලාසයෙන් යන බුදු හාමුදුරුවන් ට, පුළුවන් තරම් වීර්යයෙන්, ශක්තියෙන් එළවන අංගුලිමාල ට කිට්ටු වෙන් බැරි වන විදිහේ සෘධියක් බුදු හාමුදුරුවෝ පෑවා.

"පුදුමයි. මම මීට කලින් දුවන ඇතෙක්, අශ්වයෙක්, රථයක් වුණත් එළවාගෙන ගිහින් අල්ල ගන්නවා. දුවන මුවෙක් උනත් මට අල්ලගන්න පුළුවන්. ඒත් මේ සාමාන්‍ය ගමනින් යන මහණා අල්ල ගන්න බෑ." අංගුලිමාල පුදුම වුණා.

"මහණ, සිටු!" අංගුලිමාල නැවතිලා, කෑගැහුවා.

"අංගුලිමාල, මම නැවතුණා. නුඹත් නවතින්න" බුදු හාමුදුරුවෝ කිව්වා.

"මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයා ඇත්ත කතා කරනවලු. ඒත් මේ ශ්‍රමණයා යන ගමන්ම, "මම නැවතුණා. නුඹත් නවතින්න" කියනවා. මම මේක අහන්න ඕනෙ..." කියා අංගුලිමාලට හිතුණා.

"ඔබ යමින් සිට, මම නැවතුණා කියනවා. නැවතුණු මට නවතින්න කියනවා. ඔබ නැවතුණා කියන්නෙත්, මම නැවතුනේ නැතැයි කියන්නෙත් කොහොමද?" කියා අංගුලිමාල ඇහුවා.

"අංගුලිමාල, මම හැම විටම කිසිම සතෙකුට හිංසා නොකර සිටිමි. ඔබ සතුන්ට හිංසා කරමින් සිටියි. ඒ කාරණයෙන්, මම නැවතිලා, ඔබ නැවතිලා නෑ..." බුදු හාමුදුරුවෝ වදාළා.

"මේ ශ්‍රමණයා ඒකාන්තයෙන්ම මට කරුණවෙන් මේ කැළෑවට වැඩියේ. මටත් සෑහෙන කාලයකින් ධර්මය ගැබ්වුණු කියමනක් අසා, අකුසල් දුරු කරන්න ලැබුණා..." මෙහෙම හිතලා අංගුලිමාල නම් හොරා ආයුධ ගැඹුරු වළකට දාලා, බුදු හාමුදුරුවන්ට වැන්දා. ඒ ගමන්ම "මා පැවිදි කරන්න" කියලා ඉල්ලුවා.

බුදුහාමුදුරුවෝ එයාට, "මහණ, මෙසේ එන්න" කියා පැවිදි කළා. (ඒහි භික්ඛු භාවයෙන්... මෙහෙම මහණ වෙන්න නම් ගිය ආත්ම වල පිරිකර පූජා කරල තියෙන්න ඕනෙලු කියලා බාහිය දාරුවීරිය කතාවෙදි කියනවා... (කොහොමද මාකටින්?))

ඉන්පසු අංගුලිමාල හාමුදුරුවෝ බුදු හාමුදුරුවන් පසුපසින් සැවැත් නුවරට වැඩියා.

එදා ප්‍රශන්නජිත් කෝසල රජතුමාගෙ මාළිගාවේ දොරටුව ළඟ නගර වැසියෝ එකතු වෙලා උද්ඝෝෂණයක් කළා, අංගුලිමාල නම් හොරාගෙන් ජනපදය බේරා දෙන්න කියලා. ඒක ඇහුණු රජතුමා පන්සීයක් අශ්වාරෝහකයන් අරගෙන රථයකින් පිටත් වෙලා, ජේතවනාරාමයට ආවා. ඇවිත් රථයෙන් බැහැලා පා ගමනින් ඇවිත් බුදු හාමුදුරුවන් බැහැ දැක්කා.

"මොකද මහරජ, මගධ රටේ බිම්බිසාර රජු හෝ, විශාලාවේ ලිච්ඡවි රජ දරුවන් හෝ වෙනත්  සතුරු රජ කෙනෙක් කිපිලා ද?" කියා බුදු හාමුදුරුවෝ ඇහුවා. (මම බෞද්ධ සාහිත්‍යයේ කීප විටක්ම දැකලා තියෙනවා ඔය විදිහට උත්තරය දැන දැන, ප්‍රශ්න අහන අවස්ථා)

"හාමුදුරුවනේ, සතුරු රජ කෙනෙක් නෙවෙයි, මගේ ජනපදයේ රෞද්‍ර, අංගුලිමාල නම් ඝාතකයෙක් ඉන්නවා. මම ඔහු වළක්වන්න යන්නෙ" රජතුමා කිව්වා.

"මහරජ, ඔය කියන අංගුලිමාල: කොණ්ඩය, රැවුළ කපලා, කසාවත ඇඳලා, ගිහි ගෙයින් නික්මිලා, පැවිදි වෙලා, සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, බොරු කීමෙන් වැළකිලා, දවසට එක වේලක් අනුභව කරලා, බ්‍රහ්මචාරී වෙලා, සිල්වත් වෙලා, යහපත් වෙලා ඉන්නවා දැක්කොත් ඔබ මොකද ඔහුට කරන්නේ?" බුදු හාමුදුරුවෝ ඇහුවා.

"එහෙනම් මම එතුමාට වඳිනවා. මම ඉන්න ආසනයෙන් නැගිටිනවා, ආසන පණවනවා. පිරිකර පූජා කරනවා. ධාර්මික විදිහට එතුමාට ආරක්ෂාව සපයනවා." කෝසල රජු කිව්වා "ඒත් හාමුදුරුවනේ, ඒ වගේ දුස්සීල, ළාමක මනුස්සයෙක් ඔය කියන විදිහේ සංවරයක් ඇති කරගන්නෙ කොහොමද?"

ඒ ගමන බුදුහාමුදුරුවෝ ඒ අසළ තැනක වැඩ හිටපු අංගුලිමාල තෙරුන්ට අත දික් කරලා, "මහරජ, මේ ඉන්නේ ඒ අංගුලිමාල" කියා පෙන්නුවා. ඒ දැකපු රජතුමාට, බය හිතුණා. තැති ගැනුනා, ලොමු ඩැහැගැන්මක් ඇති වුණා. ඒක දැකපු බුදු හාමුදුරුවෝ, "මහරජ බය වෙන්න එපා." කිව්වා. ඒ වචන වලින් බය නැතිවුණු රජතුමා, අංගුලිමාල තෙරුන් ළඟට ගියා.

"හාමුදුරුවනේ, ඔබ වහන්සේ අංගුලිමාල හාමුදුරුවොද?" රජතුමා ඇහුවා.

"මහරජ, ඔව්" එතුමා කිව්වා.

"ඔබවහන්සේ ගේ පියා ගේ ගෝත්‍රය මොකක්ද, මව් ගේ ගෝත්‍රය මොකක්ද?" (මේ ප්‍රශ්නය හරියට කෝසල රජතුමාට බුදු හාමුදුරුවන්ගේ වචනය විශ්වාස කරන්න බැරි වෙලා ඇහුවා වගෙයි.)

"මහරජ, මගේ පියා ගර්ග ගෝත්‍රයේ. මව් මන්තානී නම් බැමිණිය."

"එසේනම්, ඔබ වහන්සේ ශාසනයේ ඇලී වාසය කරත්වා. මම ඔබට සිව්පසයෙන් පිදීමට උනන්දුව ඇති කරන්නම්" රජතුමා කිව්වා.

අංගුලිමාල තෙරුන් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වගේම තුන් සිවුර පමණක් දරන හාමුදුරු නමක් වූ නිසා, "මහරජ, ඒක අවශ්‍ය නෑ. මට තුන් සිවුර සම්පූර්ණයි." කිව්වා.

ප්‍රශන්නජිත් කෝසල රජතුමා බුදු හාමුදුරුවන් ළඟට ආවා. ඇවිත් වැඳලා, "හාමුදුරුවනේ, පුදුමයි. ඔබ වහන්සේ දමනය කළ නොහැකි අය දමනය කරනවා. සංසිඳුවන්න බැරි අය සංසිඳුවනවා. කෙලෙස් නිවා නැති අය නිවනවා.

"අපි දඬු මුගුරුවලින්, ආයුධවලින් උත්සාහ කරලා දමනය කරන්න අපොහොසත් වෙනවා. ඒ උදවියම ඔබ වහන්සේ දණ්ඩෙන්, ආයුධවලින් තොරව දමනය කරනවා."

මෙහෙම කියලා රජතුමා බුදු හාමුදුරුවන්ට වැඳලා ආපහු ගියා.

දවසක් අංගුලිමාල හාමුදුරුවෝ පිඬුසිඟා වැඩියා. ඒ ගිය එක් ගෙදරක ගර්භයේ හරහට පිහිටපු දරුවෙක් බිහි කරන්න වේදනා විඳින ස්ත්‍රියක් දුටුවා. පිඬු සිඟා යාමේ කටයුත්ත ඉවර වුණාට පස්සේ එතුමා බුදු හාමුදුරුවන් ළඟට වැඩියා.

"ස්වාමීනී, මම සැවැත් නුවර පිඬු සිඟා යද්දි, දරු ගැබ හරහට පිහිටීමෙන් වේදනා විඳින එක්තරා ස්ත්‍රියක් දුටුවා." අංගුලිමාල තෙරුන් කිව්වා.

"එහෙනම් ඔබ එතනට ආපහු යන්න. ගිහින් ඒ ස්ත්‍රියට, "නැගණිය, මම උපන්දා සිට සතෙකුගේ ජීවිතය දැන දැන හාණි කළ බවක් නොදනිමි. ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!" කියා කියන්න." බුදු හාමුරුවෝ වදාළා. (ඒකත් අර උඩ කිව්වා වගේ දැන දැන වෙන දෙයක් කියන අවස්ථාවක්. මම හිතන්නේ පසු කාලයකදී බණකතා කාරයන් එකතු කරපු දෙබස් වෙන්නත් පුළුවන්. නැත්නම් දැනට අවුරුදු දෙදාස් හයසීයකට විතර කලින් ඉන්දියාවේ කතා කරපු විලාසය වෙන්නත් පුළුවන්...)

"ස්වාමීනී, මම එහෙම කිව්වොත් ඒක බොරුවක් වෙනවා." අංගුලිමාල හාමුදුරුවෝ කිව්වා.

"අංගුලිමාල, එහෙනම් ඔබ ගිහින් මෙහෙම කියන්න. "නැගණිය, මම ආර්ය ජාතියේ උපන් දා පටන් දැන දැන සතෙකු ජීවයෙන් තොර කළ බව නොදනිමි ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!" කියා කියන්න." බුදු හාමුරුවෝ වදාළා."

ඒ අනුව අංගුලිමාල තෙරුන් ඒ ගෙදරට වැඩම කරලා, ඒ ස්ත්‍රියට, "නැගණිය, මම ආර්ය ජාතියේ උපන් දා පටන් දැන දැන සතෙකු ජීවයෙන් තොර කළ බව නොදනිමි ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!" කියා වදාළා. එයින් ඒ ස්ත්‍රිය සුවපත් වුණා. දරු ගැබත් සුවපත් වුණා.

ඉන්පසු අංගුලිමාල තෙරුන්, තනිවම, විවේකීව, කෙළෙස් නැතිකිරීමේ වීර්යයෙන්, තමන් ගැන ආලය අත්හැර වාසය කරමින්, කෙටි කාලයකින්ම රහත් බව ලබාගත්තා.

ඉන්පසු දවසක, අංගුලිමාල රහතන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වඩිද්දී, වෙනපැත්තකට ගහපු ගලක්, දණ්ඩක්, කැටකැබිලිති, එතුමාගේ ඇඟේ වැදුණා. ඉතින් එතුමා හිස පැළිලා, ගලන ලෙයින් නැහැවිලා, පාත්‍රය කැඩිලා, සිවුරු විසිරිලා ගිහින් බුදු හාමුදුරුවන් ළඟට වැඩියා. බුදු හාමුදුරුවෝ අංගුලිමාල රහතන් වහන්සේ ඈතදීම දැකලා, "බමුණ, ඉවසන්න. කර්මයක විපාකය නිසා අවුරුදු ගණන්, අවුරුදු සිය දහස් ගණන්, නරකාදියේ පැසෙමින් ඉන්න වෙනවා. නමුත් ඔබ ඒ විපාකය මේ ආත්මයේදීම විඳිනවා." කියා වදාළා.

එවිට අංගුලිමාල රහතන් වහන්සේ නිවන් දුටු තැනැත්තෙක් විදිහට තමන්ගේ සතුට ප්‍රකාශ කරන්න මේ විදිහට කිව්වා...

1. කලින් ප්‍රමාද වූ කෙනෙක් පසුව අප්‍රමාද වෙනවා නම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

2. කෙනෙක් කලින් අකුසල කර්ම කරලා, ඉන්පසු කරන කුසල් කර්මවලින් ඒවා වසා දමන්නේ නම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

3. තරුණ මහණෙක් බුදුන්ගේ ශාසනයේ වීර්යයෙන් යුක්තව වාසය කරනවානම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

4. මගේ සතුරෝ ධර්මානුකූල කතා අසත්වා, මගේ සතුරෝ බුදුන්ගේ ශාසනයේ වීර්යයෙන් යුක්තව වාසය කරත්වා, මගේ සතුරෝ ධාර්මික සත්පුරුෂයන් ආශ්‍රය කරත්වා.

5. මගේ සතුරෝ: ඉවසීම ප්‍රකාශ කරන, මෛත්‍රියට ප්‍රශංසා කරන අයගේ ධර්මය නියම කාලයේදී අසා, ඒ ධර්මයට අනුව කටයුතු කරත්වා.

6. ඔවුන් මට හිංසා නොකරත්වා, වෙනත් අයටත් හිංසා නොකරත්වා, නිවණ අවබෝධ කරගෙන කෙළස් රහිත හා සහිත සත්ත්වයන් ආරක්ෂා කරත්වා.

7. දිය මං තනන්නෝ තමන්ට උවමනා තැනට දිය බැස යාමට සළස්වති. ඊ වඩුවෝ දඬුවල ඇද අරිති. වඩුවෝ යතු ගා දඬු ඇද අරිති. එසේම නුවණැත්තෝ තමන් දමනය කරගනිති.

8. සමහරු දණ්ඩෙන්, හෙණ්ඩුවෙන්, කසයෙන් හෝ සැමිටියෙන් දමනය කරති. අටලෝ දහමින් කම්පා නොවන සර්වඥයන් වහන්සේ දණ්ඩක් හෝ ආයුධයක් නැතිව මා දමනය කළ සේක.

9. මීට කලින් මට "අහිංසක" යැයි නමක් තිබුණා. අද මම ඒ නම සත්‍ය වශයෙන් දරණවා. මම කිසිවෙකුටත් හිංසා කරන්නේ නෑ. මීට පෙර මම අංගුලිමාල කියා ප්‍රසිද්ධ වූ හොරෙක් වී සිටියා. කාම ආදී මහ වතුරෙන් ගහගෙන ගිය මම බුදුන්ගේ මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තා.

10. මීට පෙර අංගුලිමාල කියා ප්‍රසිද්ධවී ලේ තැවරුණු අත් ඇති තැනැත්තෙක් වූ මා අද ගමන් කරන මාර්ගය බලන්න. මම භවයට ඇති ආශාව අත් ඇරියා.

11. දුගතියට පත් කරන එවැනි අකුසල කර්ම රාශියක් කරමින් ඉඳලා, කුසල් මාර්ගයට මම පැමිණියා. දැන් මම භුකිත් විඳින දේට ණයක් නෑ.

12. නුවණ නැති බාල ජනයා ප්‍රමාද වී වාසය කරති. නුවණැත්තෝ අප්‍රමාදව (එළඹ සිටි සිහියෙන් කටයුතු කරමින්) වාසය කරති.

13. ප්‍රමාද නොවන්න. පස්කම් සැපයට ඇලී නොසිටින්න. අප්‍රමාදව නුවණින් දකින තැනැත්තා සුවපත් වේ.

14. බුදුවරුන් දෙසා වදාළ ධර්මයන් අතරින් උත්තම ධර්මයට මම පැමිණියෙමි.

15. මම බුදුන් වහන්සේ අනුශාසනය කරන ලද ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි.



ආශ්‍රිත මූලාශ්‍ර...
https://dahamsithum.wordpress.com/2012/09/14/86-අංගුලිමාල-සූත්‍රය/

Monday, April 22, 2019

රුහිරෙන් පුදමි - 2 කොටස




තම ඉඟ වටා අතක් වෙළෙනු දැනී යුවතිය කිළිපොලා ගියා ය. ඇගේ මුවින් පිටවන්නට ගිය විළාපය ලත් තැනම නැවතුණි. ඒ, ඈ ඔහු හඳුනාගත් හෙයිනි.

තරුණිය දිගු හුස්මක් හෙළා ඔහුට තුරුළු වූවා ය. ඔහු  සිහින් තරුණයෙක් විය. කළුවන් කෙස් හා සිහින් නාසය ඔහුගේ ගිළුණු කම්මුල් වලට අමුතු පෙනුමක් ගෙන දුන්න ද, කැපී පෙණුනු සුදුමැළි බව තරම් කිසිවක් අමුතු නොවීය.

“ඔයා තව තප්පරයක් පරක්කු උනා නම්..........“ ඈ කොඳුළා ය. තරුණයා තම වමතින් ඈ තමා වෙත තද කර ගති.

ඇයි?....... ඔයා බය වුනාද?“ ඔහුගේ දිගු සුදුමැලි ඇඟිලි ඇගේ නිකට තුඩ ස්පර්ෂ කළේය. යුවතිය හිස ඔසවා, අඩවන් දෑසින් ඔහු දෙස බැලූවාය. ඇගේ දෑසේ වූයේ සුරතල් දොස්පවරනසුළු බැල්මකි.

අඩවන් ව තිබූ ඇගේ දෑස් වලට ඉහළින් සිපගත් තරුණයා, සෙමෙන් තම දෑතම ඇගේ සිරුර වටා යවා, ඈ තමන් වෙත තවත් තෙරපා ගති. “ශාම්“ යි කොඳුරමින් තරුණිය ඔහුට තුරුළු වූවාය. ඔහුගේ උණුසුම් සුසුම් තම මුහුණ මත වැටෙද්දී, ඈ දෑස් පියාගත්තා ය.

ඇගේ දෑත් ඔහුගේ ගෙළ වටා එතුනේ නිරායාසයෙනි. ඈ ඇඳ සිටි ජර්සියට යටින් ඇගේ ස්ත‍්‍රී උණුසුම ශාම් වෙත තෙරපී ගියේ ය. ඔහු තම සුරතේ ඇඟිලි තුඩු වලින් ඇගේ දෙකොපුල් මෘදුව පිරිමැද්දේ ය. ඉතා සියුම් කිළිපොලායාමක් ඇගේ මුහුණේ සම තුළින් දිව ගියේ ය. තරුණියගේ දෙතොල් සෙමෙන් විවර විය.

නෙල්කා.......“ සෙමෙන් කොඳුරමින් ශාම් ඇගේ මුහුණට සෙමෙන් පහත් විය.

ම්ම්ම්.......“

ඔහුගේ ඇස් වල වූ අමුතු කාන්තිය තරුණියගේ පියවුණු දෑසට නොපෙණුනි. ඔහුගේ දෙතොල් ඇගේ සැළෙන තෙත් දෙතොල් මත සෙමෙන් පතිත වී මෘදුව තෙරපී ගියේ ය.

------------------------------------------------------------------------ 

මළාණික හිරු රැස් රැස්ව සිටි කුඩා පිරිස මත වැටී තිබිණ. හාත්පස පැතිර තිබුණේ ගුප්ත නිසලතාවකි. මඳ අඳුර ශෝකී බවක් පරිසරයට එක් කළේ ය. පොද වැස්ස හඬක් නොනගා තණපත් මත සෙමෙන් පතිත විය. මඳ සුළඟක් පවා හැමුවේ නැත. පැවති නිහැඬියාවට බාධා කිරීමට කිසිවක් එඩිතර නොවීය.

කොකෝගස් දෙකක සෙවණ යට කුඩා පිරිස රැස්ව සිටියහ. දැරියන්, කන්‍යාසොයුරියන්....... ඔවුන් මැද වූ දිගැති නැවුම් පස් කන්ද මත ඉටිපන්දම් කිහිපයක් දැල්වෙමින් තිබිණ. සිහින් ඉකිබිඳුම් හා තද කරගත් සුසුම්....... එකිනෙකා සෙමෙන් කුරුසිය ලකුණු කළහ, හිස....... බර වූ හදවත....... සහ ඉකියෙන් ගැහෙන දෙඋරහිස් හරහා.

සෙමෙන් එකිනෙකා ආපසු ඒමට හැරුණහ. අවසන් වරටද තම හිතවතියගේ විවේකස්ථානය දෙස බැලූ ඔවුහු ආපසු පියනගන්නට වූහ.

අවසන එතැන ඉතිරි වූයේ දෙදෙනෙක් පමණි. මළාණිකව ගිය තරුණයන්....... ඔවුනතරින් වඩා දුබල සේ පෙනුණු තැනැත්තා සෙමෙන් සෙමෙන් කොකෝගස් දෙක යටට ආයේය. දණින් වැටිණ ඔහු එතැන....... කුඩා පස් කන්ද මතට නැඹුරු වූ ඔහුගේ උරහිස් වෙව්ලීය. ඔහුගේ දෑතේ ඇඟිලි ඔහුගේ ම හිසකෙස් අතරින් රිංගා ගියේ ය.

හමා ආ මඳ සුළඟට හසුව කොකෝ ගස් වල අතු, පත්, දළු සෙමෙන් සැළිණ. පස් කන්ද මත වූ ඉටි පන්දම් වල දැල්ල, හුදෙකළා තරුණයාගේ හිසකෙස්, සුළඟට හසුව සැළෙන්නට විය.

කොකෝ ගස් යට වූ මඳ අඳුර සෙමෙන් සෙමෙන් තරුණයා ගිළගති. කුඩා පස්කන්ද මත වූ ඉටිපන්දම් වල දැල්ල දීප්තිමත් අඳුර තුළ දිස් වූ අතර, ඒ අසළ වූ වෙව්ලන අඳුරු ඡායාවක් පමණක් බවට ඔහු පත් විය. අනෙකා ඔහු වෙත පියනගා ආයේ ය. ඔහු ගේ පියවර තණපත් මත තැබෙන හඬ ශෝකාතුරයාට බාධාවක් වූයේ නැත.

අකිල.......“

තරුණයාට එය ඇසුණ වගක් නොපෙනින.

ඔහු අකිල ගේ ගැහෙන දෙවුර මත අත් තැබීය. අකිල සෙමෙන් නැගී සිටියේ ය. තවතවත් බිමට නැඹුරු වූ හිස....... අවුල් වූ හිසකෙස්....... දෙතුන් දිනක් පැරණි රැවුළු....... ගිළී ගිය දෑසින් ගළා ගිය කඳුළු බිඳු ඔහුගේ දෙකොපුල් මත රැඳී තිබිණ.

දෙදෙනා සෙමෙන් ආපසු එන්නට වූහ. ගේට්ටුවෙන් ඔබ්බට....... දෙපස හෙවුණු උස ගස් වලින් අඳුරු වූ පාළු පටු පාර දිගේ.......

---------------------------------------------------------------------

දින කීපයකට පසුව, හිරු ප‍්‍රචණ්ඩව බැබළෙමින් තිබිණ. කැකෑරෙන අව්ව යට, තාර පාර උණු වන්නට මෙන් රත්ව, තබන අඩියක් පාසා සෙරෙප්පු අඩියට ඇළවෙයි.

අපිළිවෙලට ඇඳගත් අවුල් වූ කෙසින් යුතු තරුණයෙක් වේගවත් ගමනින් තාර පාර දිගේ ඉදිරියට යමින් සිටියේ ය. නළල දිගේ ගළා එන උණු දහදිය බිඳු ඔහුගේ ඇසිපිය මතට වැටී දෑස් දවයි. අව්වෙන් පිච්චෙන දෙකොපුල්....... නළල දෙපස වූ නහර උණු වූ ලෙයින් පිරී ගැහෙයි.

අකිල දිගටම ඇවිද ගියේ ය. ගිණියම් හිරු යට....... අවසන, පාර අද්දර වූ ගොඩනැගිල්ලක් ඉදිරිපිට අව්ව යට ඔහු නැවතිණ. හිස එසවූ ඔහු, සුරතින් ඇස් මුවා කරගනිමින් එහි නාම පුවරුව දෙස හොඳින් බැලීය.

පැද්දෙන කෙටි දොරවල් විවර කරගනිමින් ඇතුල් වූ අකිල හාත්පස වූ මේස මතින් සිසාරා යන බැල්මක් හෙළීය. ඒ බැල්මට, කෙළින්ම ඈත මේසයක වාඩි වී, දොර දෙස යොමු වූ බැල්මෙන් සිටි, හුදෙකළා මිනිසෙකු  හසු විය. ඔහු කෙළින්ම ඒ වෙත ගියේ ය.

අකිල !“ අඩක් හිස් වූ බියර් බෝතලයක් ළඟ වාඩි වී සිටි මිනිසා විස්මයාර්ථ රාවයක් නැංවීය.

ඉඳගනින්,“

විකුම්, මම උඹේ රූම් එකට ගියා. එතනින් කිව්ව උඹ මෙහෙ ආව කියලා.“ අකිල පුටුවක් ඇද වාඩිවෙමින් කීය.

ඉතින්....... තව බියර් එකක් ගෙන්නන්නද?“

“.............“

ඉතින්....... එහෙනං කතාකරමු....... මට කියපං මොකද මේ හදිස්සියෙ උඹ මාව හොයාගෙන ආවෙ කියලා.......“

තවත් බෝතලයක් සහ වීදුරුවක් ගෙන්වාගත් විකුම්, තම මිතුරා වෙනුවෙන් එය පිරවීය.

උඹට ආරංචි ඇති ළඟදි වෙච්ච සිද්ධිය.“ අකිල තෙපළේය. විකුම් දෑස් දල්වාගෙන ඔහු දෙස බලා සිටියේ ය.

අකිල බියර් වීදුරුව එක්වනම අතට ගෙන උගුරු කීපයක් බීවේය, වේගයෙන්....... තිත්ත රස අතරින් උගුර අභ්‍යන්තරයට දැනෙන්නට වූ උණුසුමින් ඔහු තරමක් පිබිදුනි.

විකුම් සිගරැට්ටුවක් ගෙන දල්වා ගති.

අකිල ඉවත බලා ගත්තේ ය.

“ඉතිං....... ඒක ස්වාභාවික මරණයක් නෙමෙයි.......“ ඔහු දිගු වේලාවකට පසු කටහඬ අවදි කළේ ය.

විකුම් වීදුරු දෙක නැවත පිරවීය, නිහඬවම.......

“මට හොයාගන්ඩ  ඕනෙ.......“ අකිල කතා කරන්නට විය. “මගෙ ....... මගෙ අහිංසක කෙල්ලව මරල දාපු එකා.......“ ඔහුගේ කටහඬ එතැනදී බිඳිණ.

වීදුරුව වෙත ඔහු අත දිගු කළේ ය. තදින් එය ග‍්‍රහණය කළ ඔහු.......

වචන ප‍්‍රමාණවත් නොවන....... වචන අවශ්‍ය නොවන මිනිත්තු කීපයක් ගත වී ගියේ ය. ඒ කාලය තුළ බියර් බෝතලය සෙමෙන් සෙමෙන් හිස් විය.

බිත්තියේ අඳුරු කොණක වූ බිත්ති ඔරළෝසුවේ ටික්....... ටික් හඬ සෙමෙන් නැඟී ආවේ ය. අඳුරට හුරු මඳ එළියක් හාත්පස පැතිර තිබිණ.

හරි....... අපි හොයාගම්මු.“ විකුම් නැඟිටිමින්, සිය දකුණත මේසය හරහා දිගු කළේ ය. එය ග‍්‍රහණය කළ අකිලට සිය මිතුරාගේ ගෝරෝසු හමට යටින් වූ උණුසුම දැණින. ඔහු තම ග‍්‍රහණය තවත් දැඩි කළේය.

Friday, April 19, 2019

අවසානයක් නොවේ - තුන්වෙනි කොටස

පළමුවෙනි කොටස
දෙවෙනි කොටස

--------------------------------

තානාපතිවරයා වශයෙන් සිංහලේ රජු හමුවීමට ලැනරෝල් කැඳවාගෙන යන පෙරහැරේ අවසාන දර්ශනයද නොපෙනී යන තුරු අද්මිරාල් ෆර්නැන්ඩස්කි රැළි ගැස්වුණු ඇසිපිය අතරින්  බලා සිටියේය. පාරාදීසයක් යැයි මේ දූපත හැඳින්වූ ජෝන් මැන්ඩෙවිල් ගැන ඔහු සිහිපත් කළේ කෝපයෙනි. තබන තබන පියවරක් ගානේ, පාවහන් විනිවිද දෙපා දවන රත් වූ වැල්ල, පෙනෙන තෙක්මානයේ පැතිරි කටුසහිත ළැහැබ්, සර්පයන්, නරි සහ කුඩා උරගයින් බහුල වූ පරිසරය...

"කූඩාරම්වල රෑ ගත කිරීම අනතුරුදායක වෙන්න පුළුවන්. බෝට්ටුවලට යමු..." නෞකා කණ්ඩායමේ නායක ද ලාහේ ගේ දෙවැනි නිලධාරියා උස් හඬින් කීය. ඒ අනුව ආපහු හැරුණු පිරිස ලහි ලහියේ වෙරළට දිව ගියහ. කණ්ඩායමේ පසුපසින් අඩි කිහිපයක් දිව ගිය ෆර්නැන්ඩස්කිගේ අතෙහි වූ දුරදක්නය ගිළිහිණ. ඔහු සිය අතවැසියන් කිහිප දෙනා සමඟ පමා වෙද්දි පළමුවැනි බෝට්ටුව දියත් විය.

සිය ස්වාමියාගේ දුරදක්නය අහුලාගත් කැබින් බෝයි ටිරෙල් හිස ඔසවනවාත් සමඟම දුටුවේ කුකුළෙකු තරම් වූ වර්ණවත් පක්ෂියෙකි. "මෙන්න අද්මිරාල් අපට කදිම රාත්‍රී භෝජනයක්..." කියමින් ඔහු ඉණෙහි වූ පිහිය ඇද පක්ෂියා වෙත දමා ගැසීය. බැස යන හිරු කිරණින් රත් පැහැයට දිළිසුම් දුන් පිහි තලය වට කිහිපයක් කැරකෙමින් ඉගිළී ගොස් කුරුල්ලාගේ බඳෙහි ඇණින. එසැණින් ඌ ඉගිලුනේය.

ටිරෙල් සෙසු සියල්ල අමතක කර දමා ඇසිල්ලකින් කුරුල්ලා ඉගිළුනු දිශාවට දිව ගියේය. මොහොතින් ඔහු වන ලැහැබ විසින් ගිළ ගැණුනි.

"අද්මිරාල්ගෙ දුරදක්නය..." ෆස්ට් මේට් රොල්ෆ් කෑගැසීය. ඒ කෑගැසීම අනුව බෝට්ටුවේ සිට වෙරළ දෙස බැලූ ද ලාහේ දුටුවේ ෆර්නැන්ඩස්කි සිය ස්කැන්ඩිනේවියානු සහචරයන් තිදෙනෙකු ද සමඟ වන රොද දෙසට දිව යන අන්දම ය. වෙරළේ ඇණතබාගෙන විට හපමින් සිටි ස්වදේශික රාජපුරුෂයෝ ඉතා අලස ලෙස ඒ දෙස බලා සිටියහ.

"එක බෝට්ටුවක් වෙරළේ තියෙද්දි අනික් අය නැවට යමු..." ද ලාහේ ගේ නියෝගය, දෙවන නිලධාරියා වෙරළට ඇසෙන සේ ප්‍රතිරාවය කළේය.

-----------------------------------

ෆර්නැන්ඩස්කි සිය සහචරයන් ද සමඟ එක හුස්මට දිවූ දිවිල්ල නතර වූයේ යාර පන්සීයක් පමණ වන ලැහැබ තුළට ආ පසුවය. "දැන් ටිකක් වෙහෙස නිවාගන්න අතරෙ... නැවතිල්ලේ යමු ඉස්සරහට..." අද්මිරාල් කීය.

"අපි යන දිසාව..." දෙකකුලින් එල්ලාගෙන සිටි වලිකුකුළා බිම තැබූ ටිරෙල්, සිය කබායේ ඇතුල් පැත්තේ රහස් සාක්කුවෙන් තුනීවට රෝල් කරන ලද පාච්මන්ට් කැබැල්ලක් එළියට ඇද්දේ ය. එය ප්‍රවේසමෙන් දිගහැරිය විට, යම් යම් මඟ සළකුණු ද සහිත රළු සිතියමක් වැනි සටහනක් බව දැකිය හැකි විය. ටිරෙල් එය අසළ වූ ගල් තලාව මත ඇතිරීය. ෆර්නැන්ඩස්කි සිය කබා සාක්කුවෙන් ගත්තේ සම් බැම්මෙන් බඳින ලද සටහන් පොතකි. එය දිගහැර, එහි සටහන් ද සිතියමේ සළකුණු ද සසඳමින් මඳ වේලාවක් ගත කළ ඔහු සිතියම නැවත අකුළා ටිරෙල් වෙත දික් කළේ ය. පොත නැවත සාක්කුවට රුවාගෙන, කළිසමේ සාක්කුවෙන් ගත් මාලිමාවක් ද රිදී කැටයම් සහිත පිස්තෝලයද දෑතට ගෙන ඉස්සර වුණේ ය.

"මයිල එකසිය හැත්තෑවක් විතර දකුණු - නිරිත දිසාවට යන්න තියෙන්නෙ... පුළුවන් තරම් ජනාවාස මඟ හරින්න වෙනව. ඒ වගේම මේ කැළෑවල වනචාරී මිනිස්සුත් ඉන්නව. කිසිම විදිහකින් අපි ගැන කිසිම ඔත්තුවක්, කිසිම පැත්තකට යන්න දෙන්න එපා. කාව හරි දැක්කොත් මරන්න වෙනවා." ෆර්නැන්ඩස්කි කිසිම හැඟීමකින් තොරව සහචරයන්ට කීවේය. ඉදිරියෙන් ගිය ටිරෙල් ද, කුඩා ලී පීප්ප තුනක් කර තබාගෙන පසු පසින් ගිය අනික් තුන් දෙනාද නිහඬවම අද්මිරාල්ගේ නියෝගය භාර ගත්හ.

යුරෝපීයයෝ පස් දෙනා වැඩි කළබලයක් හෝ ශබ්දයක් නොමැතිව වැටුණු ගස් කඳන්, ගල්ගෙඩි, දියපාරවල් පසුකරමින් ගමන් ගත්හ. තබන පියවරක් පියවරක් පාසා දැඩි අවධානයෙන් හාත්පස නිරීක්ෂණය කරමින් වුවද ඔවුහු ප්‍රමාණවත් වේගයක් පවත්වාගත්හ.

----------------------------------------

තරමක දියපහරක හඬ ඇසෙන මානයේ දැවැන්ත ගසක් මුල, නාවුකයෝ පස්දෙනා මේ නාඳුනන දූපතේ වියළි කළාපීය වනාන්තරය තුළ ගත කරන සිය පළමු රැය ගත කරන්නට වාඩි ලා ගත්හ. කුසගින්න නිවාගන්නට තිබුණේ ගිනිමැළයෙන් පළහාගත් වලිකුකුළා ද රත්පැහැ රම් ද පමණකි. අද්මිරාල් සිය පිරිසට රාත්‍රී මුරය බෙදා දුන්නේය. ඒ අනුව සිවුදෙනෙක් නිදන අතර එකෙක් පැය දෙකක් නිදිවරාගෙන වාඩිය ආරක්ෂා කළ යුතුව තිබුණි. අවසාන ජාමය වන අළුයම අද්මිරාල් තමන් වෙත පවරා ගත්තේ ය.

ඉඳහිට ඈතින් ඇසෙන්නට වූ හූ හඬ, දියපහරේ හඬ යටපත් කරන්නට තරම් වූ රෑහි හඬ අතරින්, ජීවිතය උදෙසා විළාප දෙන මුවෙකු හෝ ගෝණෙකුගේ හඬ වරක් හෝ දෙකක් නැඟී ආවේ ය. දියපාර වෙත යන විවිධ සතුන්ගේ විවිධ අඩි ශබ්දවල නිරන්තර සර සරය... ළඟින්ම වගේ එක්වරක් ඇසී යළිත් කෙතරම් සියුම්ව කන්දීගෙන සිටියත් නෑසෙන සියුම් අඩි ශබ්ද...

http://www.unclesamgear.com/wp-content/uploads/2017/10/
Hands-tree-spooky-e1508254437225.jpg

--------------------------------------------

අද්මිරාල් අවදි වූයේ එකවරම ය. කණ ළඟින්ම වාගේ යමෙකුගේ සිහින් කෙඳිරියක් ඇසෙනු ඔහුට සිහිනයකින් වාගේ මතක තිබුණි. අවට පඳුරු වල පින්නෙන් පෙඟුණු මල් මත ද, තණපත් මත ද හිරු එළිය යන්තමින් තැවරෙමින් පැවතුණි.

"රෝ...ල්...ෆ්...!" ෆර්නැන්ඩස්කි ගේ බැරෑඬි කටහඬින් එතෙක් හාත්පසින් ඇසෙමින් තිබූ රෑහි හඬ මොහොතකට නිහඬ විය. නිදාසිටි තුන් දෙනා තිගැස්සී අවදි වූහ.

"කොහෙද මේ බල්ලා ගියේ? හොයපල්ලා..." තමන් ළඟම සිටි තරබාරු රොස්කෝ ගේ උරහිසින් අල්ලා ඉදිරියට තල්ලු කරමින් ෆර්නැන්ඩස්කි කෑ ගැසීය. "මම කිව්ව ඌට පාන්දර මාව ඇහැරවන්න කියලා..."

"මම රොල්ෆ් ඇහැරවලා, මුරය බාර දීලා නිදාගනිද්දි," නීල්සන් සිය නායකයාට අත දිගු කර පෙන්වමින් කීය. "රෝල්ෆ් මස්කිට් තුවක්කුවත් ඔඩොක්කුවෙ තියාගෙන අර ගල උඩ වාඩි වුනා..."

සිව් දෙනාම නීල්සන් පෙන්වූ ගල හා ඒ අවට සියුම්ව පරීක්ෂා කළද, කිසිදු හෝඩුවාවක් සොයාගන්නට ලැබුණේ නැත. රොල්ෆ් පුරුදු වී සිටි පරිදි සපා ඉවත දමන ලද දුම්කොළ හප කීපයක්, ඒ අවට වූ අතර ඔහු ගේ පයට පෑගුණු තණපත් හා පඳුරු පොඩි වී තිබිණ.

විලෝපිකයෙකු විසින් ඇදගෙන ගිය පාරක් හෝ, ලේ සළකුණක් හෝ, අඩුම ගානේ ගලෙහි සිට රොල්ෆ් නැගිට ගිය අඩි සළකුණක් හෝ දක්නට නොවීය.

සෑහෙන කාලයකට කලින් පුරුදුව සිටි නමුත් මේ වන විට අවඥාවෙන් අත්හැර දමා සිටින පුරුද්දක් වූ කුරුසිය සළකුණු කිරීමට රොස්කෝ ගේ දකුණත යොමු වූයේ නිතැතිනි. "ඉන් නොමෙනි පාට්රි එ' ෆිලි ස්පිරිටුස් සෑන්ක්ටි..." කොඳුරමින් ඔහුගේ දෑස් ඉහළට එසවුණේ ළමා වියේදී පුරුදු වී තිබූ ආකාරයට ය. එසැණින් ඔහුගේ සිරුර එක් මොහොතකට ගල් ගැසුණි.

"අද්මිරාල්..."  කොඳුරමින් රොස්කෝ සිය වෙවුලන සුරත, පිරිසට පිටුපසින් වූ දැවැන්ත ගසේ ඉහළ අතු පරතට දික් කර පෙන්වීය. ඔහු අනුව ඉහළ බැලූ නාවුකයන් හට දැකගත හැකිවූයේ ලොමු දැහැගැන්වෙන දසුනකි.

අතුරුදන් වූ සගයා සිටියේයැයි නීල්සන් පෙන්වූ ගලට කෙලින්ම අඩි පහළ‍ොවක් පමණ ඉහළින් ගසෙහි එල්ලෙමින් තිබුණේ රොල්ෆ්ගේ සිරුර ය. එය ගෙළට දැමූ වරපටකින් ගසෙහි අත්තක එල්ලා තිබුණි. ඔහුගේ කමිසය සහ පිට කබාය ඉදිරිපසින් ඉරා දමා තිබූ අතර, පපුව හරහා තියුණු තුඩකින් සූරා, අකුරු පහක්  සටහන් කර තිබුණි.
VOLTE

මිනිත්තුවක් දෙකක් නිසොල්මනේ යන්තම් පැද්දෙමින් තිබූ රොල්ෆ්ගේ දේහය එක්වරම, වරපටේ සිට පහළට ගිණි ඇවිලී ගියේය. මුළු සිරුරම එකම ගිනිමැළයක් වන්නට ගත වූයේ තප්පර කීපයකි... එසැණින් දැවී ගිය වරපට සිඳී, ගිණිගත් මළසිරුර නාවුකයන් සිවුදෙනා මැදට වැටුණි.

Friday, March 22, 2019

තක්කඩියන් ගැන ජනකතා...

ඕං එක කාලෙක උන්නා ලොකු අප්පු කියල තරුණයෙක්. ඒ කාලෙ ගම්වලට ගමේ නූපදින බඩු මුට්ටු  ලැබෙන්නෙ ගොඩක්ම තවලම්වලින්. තවලම් කියන්නෙ කරත්ත කීපයක්. මොනව හරි සුකුරුත්තං බඩු වර්ග පටවගෙන ගමින් ගමට යන වෙළෙන්දො තමයි තවලම් වල ගියෙ. මාස කීපයක් ගතවෙන ගමනක් ඒක. කරත්තෙම හරි අම්බලම්වල හරි නිදාගනිමින්, තම තමන්ම උයාගෙන කමින් ඒ ඒ තැන්වලින් එක එක දේවල් තොග වශයෙන් මිලදි ගනිමින්, තව ප්‍රදේශවලදි ඒවා විකුණමින් යන ගමනක්...

ගම්වල ගොඩක් ගම්මු ඔය තවලම්වලට ණයයි. ඒ වගේම අර ලොකු අප්පුත් ඒ ගමට එන තවලමකට ණය වෙලා උන්නා.

දවසක් එයට ආරංචි උනා අල්ලපු ගමට අර තවලම ඇවිත් කියලා. ඉතින් හොඳටම විශ්වාසයි පහුවදා තමන්ගෙ ගමටත් එන වග.

ලොකු අප්පු කරපු දේ, පහුවදා උදේ එයාගෙ අක්ක කෙනෙකුට කිව්වා වී බිස්සට වෙලා හැංගිලා ඉන්න කියලා. ඒ කරලා අර වෙළෙන්දො එනකොට තරමක පොල්ලක් තියාගෙන පිහියකින් සුද්ද කරමින් හිටියා.

වෙළෙන්දො ටික ලොකු අප්පුගෙ ගෙදරටම ඇවිත් ලොකු අප්පුගෙ අතින් අල්ලගත්තා.

"අපිට ගනුදෙනුවක් තියෙනව නේද ඉළන්දාරියා...?" එක වෙළෙන්දෙක් කිව්වා.

"පොඩ්ඩක් අතාරින්ඩ මුදලාලි, මේ පොඩි වැඩක් කරන්න යන්නෙ" ලොකු අප්පු කියලා, අරයගෙ අත ගසල දැම්මා. ඒ කරලා, පිලේ වාඩිවෙලා විටක් කකා හිටපු ආච්චි අම්මව අල්ලගෙන, අර පොල්ලෙන් තට්ටුකරලා වී බිස්සට දැම්මා.

ඊටපස්සෙ ලොකු අප්පු අර මුදලාලිල දිහාවට හැරුණා.

"විටක් හෙම කාල ඉමු නේද?" කියලා බුලත් තට්ටුවත් දික් කළා. පොඩි වෙලාවක් ආගිය කතා කතා කරලා එහෙම,

"දැන් එළියට එන්ඩ" කියලා ලොකු අප්පු වී බිස්ස දිහාවට කෑගැහුවා. එතකොට අර උදෙම්ම වී බිස්සට රිංග ගත්ත අක්කා හිනා වෙවී එළියට ආවා.

http://www.rhythmworld.lk/sites/5767b275470afbedb00002c8/
content_entry5768fe40470afbbc39000021/5863726d470afb462806d821
/files/27.12.2016.jpg?1482912365

ඒක දැකපු මුදලාලිලට ණය අමතක උනා. ඒ ගොල්ලන්ට ඕනෙ උනා ලොකු අප්පුගෙන් අර තිරිහන් පොල්ල ඉල්ල ගන්න. ලොකු අප්පු කැමති උනේම නෑ ඒක දෙන්න. පස්සෙ පස්සෙ ඒ මුදලාලිලගෙ පෙරැත්තෙ නිසා බේරෙන්නම බැරි තැන, මුදලාලිලා ගාව තිබුණු ඔක්කොම සල්ලි ටික අරගෙන පොල්ල දෙන්න ලොකු අප්පු කැමති වුනා.

බොහොම සතුටින් තමන්ගෙ ගමට ගියපු වෙළෙන්දො අතට අහුවුණ තරම් වයසක ගෑණු පිරිමි හැම එකාටම පොල්ලෙන් තඩිබාලා වී බිහි වලට ඇදලා දැම්මා. සමහරු අර පොල්ලෙ මැජික් එකේ සැරට වී බිස්ස ඇතුළෙම මළා. ඒත් එක්කෙනෙක් වත් තරුණ උනේ නෑ.

මුදලාලිලට හරිම තරහයි ලොකු අප්පු කරපු කැත වැඩේ ගැන. ඒ ගොල්ල කරපු දේ, චණ්ඩියෙකුත් එක්කරගෙන ගිහින් ලොකු අප්පු අල්ලලා, හොඳටම ගහලා, අතපය බැඳලා, ලොකු ගෝණියකට දාලා, කට බැඳලා උස්සගෙන ගියා ගඟට දාන්න. ඒ යන අතරෙ චණ්ඩියට රා බොන්න ඕනෙ උනා. ඒ ගමන ගෝණිය පාර අයිනෙ ගහක් යට තියලා, ඒ ගොල්ල ගියා රා බොන්න.

ඔය අතරෙ රෙදි මුදලාලි කෙනෙක් රෙදි පොට්ටනි දෙකකුත් අරං ඔය පාරෙන් යන්න ආවා. එයාගෙ අඩි සද්දෙ ඇහිලා ලොකු අප්පු කෑ ගහන්න ගත්තා.

"මට යන්ඩ දීපියව්...! මාව ලෙහපියව්...!! මට බෑ රජ වෙන්න...!!!"

රෙදි මුදලාලිට පුදුම හිතුණා මේ කෑ ගැහිල්ලට. එයා හණි හණිකට ලොකු අප්පු ගාවට ඇවිත් "මොකද කෑගහන්නෙ?" කියලා ඇහුවා.

"මේ බලනවකො. රජතුමාට පිස්සු හැදිලා. එයාගෙ දුව ගොවියෙකුට බන්දලා දීලා රජකම දෙන්ඩ හදනව. මම බෑ කිව්වා. ඒක අහන්නැතුව මාව ගෝණියකට දාගෙන යනව රාජ පුරුසයො..."

ඉතිං සුළු දෙයක්නෙ. මේ මෝඩයට රජ වෙන්න බැරිනම් මම රජ වෙන්නම් කියල හිතපු රෙදි වෙළෙන්දා, ගෝණියෙ කට ලෙහලා ලොකු අප්පුව එළියට ගත්තා. ඊට පස්සෙ එයා ගෝණියට බැහැලා ලොකු අප්පුට කිව්වා කට ගැට ගහන්න කියලා. ලොකු අප්පුත් අඬ අඬා ගෝණියෙ කට ගැට ගැහුවා. ඒ කරලා රෙදි පොට්ටනිත් අරං ගඟ පහලට ගියා.

ගඟ පහලට ගියපු ලොකු අප්පු, එක රෙදි පොට්ටනියක් ගඟ අයිනෙ තිබුණු ගහක අත්තක එල්ලුවා. ඔය අතරෙ රාබීල ආපහු ඇවිත්, අර ගෝණිය ගඟට විසි කරපු මුදලාලිල ටික ගඟ දිගේ පහළට ආවා. ඒ එනකොට ලොකු අප්පුව දැක්කා. කට්ටිය එකතු වෙලා ගඟට දාපු මිනිහා, පොඩ්ඩක්වත් තෙමිලත් නැතුව, පොට්ටනියකුත් අතේ තියං ඉන්නව දැක්කම මුදලාලිලට හරි පුදුමයි.

"උඹ කොහොමද බේරුණේ?" මුදලාලිල ඇහුවා.

"මම බේරුණේ නෑ. මේ ගඟේ පතුලෙන් නාගලෝකෙට පාරක් තියෙනව. ගෝණියකට බැහැලා ගඟට වැටුණම කෙලින්ම යන්නෙ නාගලෝකෙ. තමුසෙල මාව ගඟට දාපුහාම මමත් නාගලෝකෙට ගියා. එහෙ රෙදි ඕසෙට... මම රෙදි පොට්ටනි දෙකක් ගැට ගහගත්තා. ඒත් එහෙ උදවිය මට එක පොට්ටනියයි ගේන්න දුන්නෙ. බොරු නං අර බලන්ඩකො අනික් රෙදි පොට්ටනිය ගං පතුලෙ තියෙන හැටි..." කියල ලොකු අප්පු අත දික් කරල පෙන්නුවා.

ගහේ එල්ලපු රෙදි පොට්ටනියෙ ඡායාව ගඟේ වතුරට වැටිලා. ඒක දැකපු මුදලාලිලා ටික පොරේ ලොකු අප්පුට ඒ අයවත් ගඟට දාන්න කියලා. ගෝණි දෙක තුනකුත් ගෙනත් දුන්නා.

ලොකු අප්පු බෑ කිව්වා. "තමුසෙලා මාව මරන්නනෙ හැදුවෙ. මට බෑ තමුසෙලා පෝසත් කරන්න..."

ඊට පස්සෙ මුදලාලිලා ඒ වැඩේට සල්ලි දෙන්න ඇහුවා. පැයක් විතර පෙරැත්ත කරල කරලා අන්තිමේ ලොකු අප්පු එකඟ වුනා. අර මුදලාලිලාගෙන් සල්ලි අරගෙන එකා එකාව ගෝණිවලට දාලා ගඟට තල්ලු කළා.

--------------------------------------------------------
පොඩි මෙන්ඩා සහ ලොකු මෙන්ඩා වෙනුවෙනි...

කලින් ලියපු කතා
---------------------
අමනදීපේ කතාවක්...
ලෝකෙ දිගම කතාව...
ගමයගෙ මන්තරේ...
පුදුම සතා
හොඳම කම්මැලියා
හතර බීරි කතා
ලෝකෙට ලොක්කා
මෞඉගෙ කතා පළවෙනි කොටස
මෞඉගෙ කතා දෙවෙනි කොටස
මෞඉගෙ සරුංගලේ
මෞඉගෙ කතා අවසාන කොටස

Sunday, March 10, 2019

බඩු පෙට්ටියක කොළඹට ගිය ගමනක්


බ්‍රහ්ම මූර්තියෙන් හෙවත් මහා බ්‍රහ්මයා අවදි වෙන වෙලාවෙන් හෙවත් පාන්දර හතරට පමණ මම අවදි උනෙමි. ගෙදර කරුවලය. භූමිතෙල් කඳුලක් ගේ හරියේ නැත.ඉරානයේ සිදුවී ඇති තෙල් අර්බුදයෙන් අහිංසක මට සිදුවී ඇති මේ හිරිහැරය ඇමෙරිකාවටත් නොපෙනෙන්නේ අපේ ගෙදරට ටෙලිවිෂන් සවිකර නොමැති නිසාය. කරුවලේම අවදි වූ මා කරුවලේම මුහුණ කට සෝදාගෙන කරුවලේම ඇද පැළඳ ගත්තේ කන්තෝරු යෑම සඳහා පහයි විස්සේ පුංචි කෝච්චිය ඇල්ලීමටය.

මා නිවසින් පිටත් වන්නට සූදානම් වන විටම අවදි වූ මගේ බිරිඳ කුණු කෙළ පිටින්ම මට තොත්තුවක් දුන්නාය. කවදාවත් නැතුව අද සිදු වූ ඒ අප්‍රසන්න ජනක සිදුවීම මොකක්දෝ මහා අකරතැබ්බයකට මුල පුරන්නක් බව මට ඉවෙන් මෙන් දැනුණි.

ඈත තියාම මා එනු දුටු ස්ටේෂන් මාස්ටර් නලාව පිම්බේය. ගාඩ් කොඩිය වැනුවේය. කිසිම දවසක වෙලාවට පිටත් නොවන පුංචි කෝච්චිය වෙලාවටත් කලින් පිටත් කර ඔවුන් පරණ කෝන්තර පිරිමහන්නට සූදානම් උවත් මම දුවගෙන ගොස් දුම්රිය මැදිරියක එල්ලුනෙමි.

"හා! හා! මේක බඩු පෙට්ටියක්" ස්ටේෂන් මාස්ටර් ඉදිරියට පැන ඊර්ෂ්‍යා සහගතව මා පසෙකට ඇද දැමූ නමුදු නැවතත් දුවගෙන ගිය මා එම මැදිරියට ගොඩ වෙද්දී එක් කාන්තාවක් උපේක්ෂා සහගතව මා දෙස බලා සිටියාය. එය කාන්තා මැදිරියකි.

"දැන් මෙහෙම ඉඳල අනිත් ස්ටේෂන් එකේදී වෙන එකකට යන්නං" අපේ ගෙදර උන්දෑගෙ හැටි දන්නා මම ඇය ඉදිරියේ දෙකට තුනට නැමී අහිංසක බැගෑපත් විලාශයෙන් කිව්වෙමි.

"මෙහාට ඇතුලට වෙන්න කාටවත් පෙනෙයි. දැන් කාන්තා පෙට්ටිවල ගියහම රුපියල් දෙසීයක් දඩ ගහනවලු. අනිත් එක ගෑනුන්ගෙන් ඔයාට බේරෙන්න බැරිවෙයි."

මගේ හොඳ වෙලාවට එම මැදිරියටම හිටියේ ඇය පමණි. ඊළඟ දුම්රිය පලේදී ගොඩවන ගෑණු අම්මණ්ඩිලාට මා අසු වුවහොත් ඉරානයේ විප්ලවීය ශිෂ්‍යන්ට 'ෂා' අසුවූවාටත් වඩා දරුණු තත්ත්වයකට මට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

"දැන් මම මොකද කරන්නේ?"

ඇමරිකාවේ සිටින 'ෂා' බය නැති උනත් බඩු පෙට්ටියේ සිටින අහිංසක මට කිසිවෙකුගේ රැකවරණයක් නොමැති නිසා දැනට මගේ එකම ගැලවුම්කාරිය වන ඇගෙන් විමසුවෙමි.

"අනේ මම දන්නේ නෑ..." ජිමී කාටර් මෙන් ඇය සුසුමක් හෙලුවාය.

"මම මේ සීට් එක යට හැංගෙන්නද?"

"එපා. එහෙම හිටියම පේනවා."

"එහෙනං කක්කුස්සිය ඇතුලට යන්නද?"

"චී. ඒක ඇතුලෙ ගඳේ බෑ..."

"අනේ ඉක්මන් කරල මට බේරෙන්න විදියක් කියන්නකො. අනිත් ස්ටේෂන් එකේ කෝච්චිය නවත්වනව..."  අයවැය ලේඛනය කියන්න ඔන්න මෙන්න කියා තිබියදී ඇතිවූ පපුවේ ගැස්ම නැවතත් ඇතිවිය.

"මම කියන්නම් වැඩක්. ඔයාගේ බෙල් එකයි, කමිසෙයයි මම ඇඳ ගන්නම්. මගේ සාරිය ඔයා ඇඳගන්න."

"නියම වැඩේ. ඔය වගේ මොලේ තියෙන අයට මම හරි ආසයි. "

"ඔයා බැඳලද...?" ඇය මගෙන් ඇසුවාය.

"නෑ" මම සුපුරුදු බොරුව කීවේ කිසිම පැටලීමක් නැතුවය.

ඇය ආදර බැල්මක් මා වෙත හෙලුවාය. මම ද එයට ප්‍රතිචාර  දැක්වූවේ එහෙම නැතුව හොඳනැති නිසාය.

මම ඉක්මන්කර මගේ ඇඳුම් ගලවා ඇයට දුන්නෙමි. ඇය ඒවා ඇඳගෙන මට සාරිය ඇන්දුවාය. මා කොණ්ඩය දිගට වවා තිබුණු නිසා ඇය කරදරයක් නැතුව අලුත් මාදිලියේ කොණ්ඩා මෝස්තරයක් දැම්මාය. දැන් අපේ අම්මාටවත් මා හඳුනා ගත නොහැකි බව මට විශ්වාසය. "ඔයා සාරියට හරි හැඩයි අනේ." තොලට තොල තියා ඇගේ දෙතොලේ තිබූ 'ලිප්ස්ටික්' මගේ දෙතොලේ තවරන ගමන් ඇය කීවාය.

"ඔයත් බෙල් එකට හරි හැඩයි අනේ." වෙන කියන්න දෙයක් නැති නිසා මම කිව්වෙමි.

"දැන් ඔයා කෙල්ලෙක් වගේමයි. කාටවත් හොයන්න බෑ."

"ඒ වුනාට මේව නෑනේ" මම තවත් අඩුවත් පෙන්නුම් කළෙමි.

"අපෝ! ඒවා නැති ගෑණු ළමයි ඕන තරම් ඉන්නේ. ඒක ගණං ගන්න එපා. පපුව ටිකක් ඉස්සරහට දාල ඉන්නකො"

හදිසියේම දුම්රිය නතර විය. ගෑණු රොත්තක්ම අප සිටි මැදිරියට ගොඩවන විට මම ප්‍රාණ ඇපකරුවෙකු මෙන් ගැහෙන්නට උනෙමි.

"හලෝ ඩල්සි අද අළුත් යාළුවෙක් හොයාගෙන වගේ." කාන්තාවක් මා දෙස බලා සිනාසී මගේ ළඟින්ම වාඩි විය.

"ඔව්. මේ අපේ ගෙවල් කිට්ටුව කෙනෙක්." ඩල්සි මා ළඟට කර ගත්තාය.

"ඔයා අද නිවුස් ඇහුවද? බෙංගාල බොක්කේ සුළි සුළඟක් කියන්නේ." කාන්තාවක් කතා පෙට්ටිය ඇරියාය.

"ඔයා ඔහොම කියනව. අපේ එක්කෙනා ඇමෙරිකාවේ ගිහින් ඉන්න දවස්වල එහෙත් තිබුණලු සුළි සුළඟක්. අනූනමයෙන් එයා බේරිලා තියෙන්නෙ. කාටර් අඳුනන හින්ද." සූවස් ඇලේ සොරොව්වක් ඇරුණේය.

"ඊයෙ පොල් ගෙඩියක් රුපියල් හයයිලුනේ...?"

"ඔව් අනේ. අපේ එක්කෙනා පොල් බෑයක් ගෙනල්ල රෑට උයල තියෙන්නේ."

"මුන්ට හෙණ ගහන්න ඕනෙ මේ කරන අපරාද වලට."

දැන් දුම්රියේ සද්දය ඇහෙන්නේ නැත. ගෑණුන්ගේ කටවල් එකකට එකක් නොපරදින ආකාරයෙන් ක්‍රියා කරයි. ඊළඟ දුම්රිය පලේදී දුම්රිය නැවතුනි. තවත් ගෑණු රොත්තක්ම එම මැදිරියට ගොඩවිය. දැන් මගේ බිය ක්‍රමයෙන් තුනි වී ගොස්ය. එහෙත් මා තවම ඔවුන් හා කතාවට ගියේ නැත. සිංහ හම පොරවා ගත් කොටලුවා කෑ ගැසීමෙන් කොටලුවෙකු බව දැනගත් කතාවක් මා අසා තිබේ. කතා කරන්නට ගොස් මා පිරිමියෙකු බව ඔවුන් දැනගත්තොත් මටද ප්‍රාණ ඇපකරුවෙකු වෙන්නට වැඩි වෙලාවක් ගත වන්නේ නැත.

"ඔයා දන්නවාද අනේ වැඩක්? මිස් බුරියානි ඊයෙ රෑ කොල්ලෙක් එක්ක පැනල ගිහිල්ලනේ."

මිස් ලිප්ස්ටික් හයයි තිහටත් කලින් අලුත්ම ප්‍රවෘත්තිය ප්‍රචාරය කළාය.

"කවුද අනේ බුරියානි කියන්නේ?"

"අර බුරිය පේන්න සාරිය අදින එක්කෙනා ඔයාට මතක නැද්ද? අපේ කෝච්චියේ ගිය කොල්ලෙක් එක්කමයි පැනල ගිහින් තියෙන්නේ"

"ඒ දවස්වල මේකේ පිරිමින්ට යන්න තහනම් කරල තිබුණෙ නෑනෙ."

"ඒක නේන්නං අනේ. බුරියානිගේ  වාසනාවට ඒකි ඉස්සර උනා."

"අපිට තාමත් මොකුත් කර ගන්න බැරි උනානේ."

"බලන්ඩකො අනේ; මේකෙ පිරිමි ගියහම ආණ්ඩුවේ එවුන්ටයි අමාරු."

"බැඳපු එවුන් තමයි අනේ ඔය නීති ඔක්කොම ගේන්නේ."

"හෙට ඉඳල පිරිමි යන පෙට්ටියක යං අනේ."

"නෑ අපි මේ කාන්තාවන්ට පමණයි" කියන එක මකමු."

"නෑ අනේ හිස්ව තියෙන විට පිරිමින්ටත් යා හැකිය කියල යටින් ලියමු."

ගෑණුන්ගේ ගම්මැදි හැලි, කන්දොස්කිරියාවල්, දුක් අ‍ඳෝනා, දහසකුත් එකක් ප්‍රාර්ථනා සෝ සුසුම් මැද්දේ පුංචි කෝච්චිය මරදානට ළඟා විය.

මගේ බෙල් කළිසමයි, කමිසයයි ඇඳගත් ඩල්සි මරදානෙන් බැස 'චෙරියෝ' කියයාගෙන යන්නට ගියාය. අනිත් ගැහැණුන් සියළු දෙනාම පිටකොටුවෙන් බැස ගියේ මා තුට්ටුවකටවත් ගණන් නොගෙනය.

----------------

උපුටා ගැනීම - සුනන්ද කෝදාගොඩ ගේ 'විනෝද රසාංග' නම් පොතෙනි.
මුද්‍රණය ලස්සන මුද්‍රණ ශිල්පියෝ සහ ප්‍රකාශකයෝ,
183 ඒ, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය,
දුරකථන 572297
ප්‍රථම මුද්‍රණය 1984 දෙසැම්බර්

(කොහොමද ජනක රත්නායකගෙ සෙක්සි කාටුන් එක විතරක්)

හුදෙක් ආතල් එක සඳහා පමණි

ඩ්‍රැකියා වෙසක් කළාපය ලිය ලියා ඉන්න අතරෙ, හිතේ පොදි ගැහී තෙරපි තෙරපී තිබූ ආතල් කතා වස්තු ටිකක් පොසොන් කළාපයට කලින් එළියට දාන්න ම ඕනෙ කියලා හ...