Wednesday, December 18, 2019

විකුම්ගෙ වික්‍රම - ගජබින්න නං නෙවෙයි ම නෙවෙයි :)

මගෙ කිට්ටුවර යාළුවො දන්නවා, මට රාජ්‍ය සේවයෙදි හම්බුණු හොඳම යාළුවන් කීපදෙනාගෙන් කෙනෙක්, එහෙමත් නැත්තම් එක් කුසේ නූපන් සහෝදරයෙක් තමයි විකුම් ජයසිංහ කියන්නෙ... අද කියන්න යන්නෙ විකුම් ගෙ එක්තරා වික්‍රමයක්. ඕං එහෙනං අහගන්ඩ කියෝගන්ඩ.

විකුම් ජයසිංහ මහතා එකවර දුර ඇමතුම් තුනකට පිළිතුරු දෙමින්...

විකුම් ඉතාම ආසාවෙන් ජර්මන් ටෙක් එකේ මෝටර් මිකෑනික් ඉගෙන ගනිමින් ඉද්දි, එයාගෙ අම්මාගෙ බලපෑමට රජයේ සේවයට එකතු වුණේ. ඉතිං විකුමගෙ ලේවල දුවන්නෙ පෙට්‍රල් - ඩීසල්... හදවත වෙනුවට තියෙන්නෙ ෆියුල් පොම්පයක්, නාඩි වැටෙන්නෙ හෙඩ් එකේ වෑල්වල රිද්මයට. කොටිම්ම කිව්වොත් මෝට මිකෑනික් ලෝකයක්...

ඒ වගේම මේ මනුස්සයා මේ තාක් කාලෙකට හම්බකළේ මිනිස්සු... සල්ලි නෙවෙයි. ඕනෙම වෙලාවක ඕනෙම කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් තමන්ගෙ සෞඛ්‍ය තත්ත්වය පවා කැප කරගෙන ඒක කරල දෙන්ඩ උපරිම කැපවීම කරනවා. ඒ වගේම එයාට ඉතාම හොඳ සහ ඕනෙම ක්ෂේත්‍රයකට අයිති යාලුවො සෙට් එකක් ඉන්නව.

ඉතිං ඔය කියපු යාලුවො සෙට් එකෙන් එකෙක් තමයි මාලුවා හෙවත් කුමාර. පොර කරන්නෙ ඇක්වේරියම් බිස්නස් එක. 

ඔය කුමාරගෙ එක ෂොප් එකකදි මම දැක්කා රුපියල් පහක් විතර සයිස් ඉබ්බො ජාතියක්. උන් මාලු ටැංකියක හදන්න පුළුවන්. ඔය ඉබ්බන්ගෙ පොටෝ එකක් ගහගෙන ගිහිං අපේ ඔපිස් එකේ වැඩකරපු අයිය කෙනෙකුට පෙන්නපුහාම, එයා උන්ගෙ නම "ලබි ඉබ්බා" බව අපිට කියා දුන්නා.

https://i.ytimg.com/vi/oGTg4OTZXSY/maxresdefault.jpg

ඉතිං එකපාරක් ඔය කුමාරගෙ ට්‍රින්කො පැත්තෙ තිබුණ ෂොප් එකක් වහලා බඩු ටික දාගෙන එන්න, විකුමා ලොරියක් අරං ත්‍රිකුණාමලේ ගියා... ඒ යද්දි හරියටම හබරණ කැලේ හරියෙදි ලොරියෙ පිටිපස්සෙ රෝදෙක පැච් එකක් ගියා.

ඉතිං මොකදැයි කරන්නෙ... විකුමා ලොරිය අයින් කරල නවත්තලා, වීල් බ්‍රෂ් එක අරන් රෝදෙ ඇණ බුරුල් කළා. ඒ කල්ලා හිටං ජැක්එක ගහන්ඩ බැලුවා. ගහන්ඩ බෑ... ඇයි කියලා බලනකොට, ලොරියෙ ජැක් එක ගෙනත් නෑ...


https://c8.alamy.com/comp/2A3P0RX/young-mechanic-changing-tire-character-2A3P0RX.jpg
දැං මොකදැයි කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි වඳින්ඩ ගිය දේවාලෙ කුපාඩි කපුවෙක් උන්නා වගේ එයාකන්ඩිෂන් කරලා තිබුණා වගේ, තනි අලියෙක් ඒ පැත්තට කඩාගෙන බිඳගෙන එනව දැක්කෙ...

ඔන්න ඉතිං ඈත වලිගය රිටක් මෙන් කෙලින් කරගෙන පැයට හැටේ / අසූවෙ විතර වේගයෙන් දුවගෙන එන අලියා ය - මෑත තව පොඩ්ඩෙන් සුළුදිය පහවෙන සයිස් එකේ සිටිනා විකුම් ජයසිංහයන්ය. ඈත එබු එබූ පයින් මිහිකත සනහ සනහා දුවනගෙන එන අලියා ය - මෑත අත ගැසූ, ගැසූ වැඩේ කෙළවී සිටින විකුමා ය. ඈත හොඬයෙන් ගස් අතු කඩා උඩ විසිකරමින් ගුගුරවාගෙන දුවගෙන එන අලියාය - මෑත රෝදයේ නට් එකක් හණි හණික ගළවන විකුමාය... ඈත, ඈත කිව්වට දැන් ළඟ ළඟම දුවගෙන එන අලියාය - මෑත, එක නට් එකකුයි විල් බ්‍රෂ් එකයි අරං යාන්තමින් තඩි ගහකට මුවා වුණ විකුමාය...

අලියා දුවගෙන ආව වේගයට බ්‍රේක් ගහගන්ඩ බැරුව විකුමා මුවාවෙච්ච ගහේ හැප්පිලා තමයි නතර වුණේ. ඒ ආව වේගෙට උගෙ දළක් ගහ පසා කරගෙන ඇවිත් විකුමගෙ පැත්තෙන් අඩි තුනක් විතර එලියට ආව. අපේ යාලුවා බේරුනේ කෙස්ගහෙන්... පොර ඉක්මණිටම අර නට් එක දලේ තුඩට දාලා වීල් බ්‍රෂ් එකෙන් පොට දොළහක් කැරකුවා. ඒ නට් එකත් ඇත් දලේ පොට කපාගෙන ගිහිං හයි වුණා. 

විකුමගෙ සිරිතක් තමයි ඕනෙම වාහනයක් දෙවෙනි පාර පේන්ට් කරද්දි, ඇණේ දක්වා ගළවලා, ඇණ සහ නට් සියල්ල නිකල් බාත් දාන එක. ඒ නිකල් බාත් එකේ කොලිටිය නිසා තමයි ඇත් දළේ පොට කපාගෙන යන්ඩ තරම් නට් එක ශක්තිමත් වුණේ.

ඉතිං අලියත් මොකද වුණේ කියල හිතාගන්ඩ බැරිවෙලා, අඤ්ඤකොරෝෂණයට ලක්වෙලා ඉද්දි, විකුමා "දිරි...!" කිව්වා. අලියත් වැඩිදුර හිතන්නැතුව කණට ඇහුණු වොයිස් කමාන්ඩ් එකට අනුව ඉස්සරහ කකුල නවල ඉස්සුවා, ඇත්ගොව්වෙක් උන්නනං උන්දැට පිටට නගින්න. ඒ කකුල තිබුණෙ ලොරියෙ බඳට තෙරපිලා නිසා, ලොරියත් සෑහෙන තරම ඉස්සුණා.

විකුම් සුටුස් ගාල, රෝදෙ අනිත් නට් හතර ගළවල, ස්පෙයා වීල් එක දාගෙන, ඒකට ඇණ හතරක් විතරක් හයිකරගෙන, මෙහෙම බලලා මෙහෙම බලන පරක්කුවට ඔක්කොම උපකරණ ටිකයි ගළවපු රෝදෙයි ලොරියෙ පිටිපස්සට පටවගෙන, ලොරියට නැගගත්තා. 

විකුම් "පුරු...!" කිව්වා විතරයි අලියා අර උස්සගෙන හිටිය කකුල හිමිහිට බිමින් තිබ්බා. ඒත් එක්කම ලොරියත් බිමට පාත් වුණා. විකුමා දෙයියන්ට පිං දීගෙන ආපහු ගමන පටං ගත්තා.

ඔහොම පැය කාලක් යන්ඩ හම්බුණේ නෑ, ලොරියෙ පිටිපස්සෙන් සෑහෙනතරම ඈතින් කුඤ්චනාදයක් ඇහුණා. විකුම් සයිට් කණ්නාඩියෙන් බලද්දි අර අලියා... ඌ හොඬවැලත් උස්සගෙන සැළකියයුතු වේගයකින් එනව. 

ලොරිය යන්ඩ පුළුවන් හතළිහට - හැටට වගේ උපරිම වේගෙකට විතරයි. අලියා බොහොම සුවසේ අසූවට විතර දුවගෙන එනව. උගෙ දළේ ගහට තියල නට් එකක් දැම්මට ඌට කන්ඩ කේන්ති ඇති. විකුම්ව අහුවුණොත් හොඬෙන් අල්ලල පොළොවෙ ගහල ඒ උඩ ලම්බාඩා නටන්ඩ තරම් ආවේගයකින් අලියා එන බව විකුමට පෙනුනා. 

විකුමත් මොකද කළේ... බොහොම ඉස්සර දවසක් රයිනෝසිරස් කෙනෙක් අපේ අන්දිරිස් කිත්තගෙ තිරික්කලේ පස්සෙන් පන්නගෙන ආව වෙලාවක උන්දැ කරපු දේම තමයි. ඉස්සරහ හතරමං හන්දියෙන් වමට සිග්නල් දාලා දකුණට හැරෙව්වා. අලියත් අර පරණ කතාවෙ රයිනෝසිරස් වගේ සිග්නල්එක බලාගෙන වමට හැරිලා සෑහෙන දුරක් දුවලයි නතර වුණේ. ඒ තරමට වේගෙන් ඌ එළවගෙන ඇවිත්. මොකෝ, ඌට ABS බ්‍රේක් තියෙනවයැ? 

අලියා වමට දුවනවා සයිට් කණ්නාඩියෙන් දැකපු විකුම් යාන්තම් සැනසුම් සුසුමක් හෙලුවා. ඊට පස්සෙ ගමනට ලොකු බාධාවක් වුනේ නෑ. ඒත් හබරණ හන්දියට කිට්ටු වෙලා කඩමණ්ඩියෙ නතර කළාට පස්සෙ තමයි ආපහු අපේ යාලුවට දෙවෙනි කුඤ්චනාදය ඇහුනෙ. ඒ කඩමණ්ඩිය පිටිපස්සෙන්. කොහෙ ගියත් ඕනෙම වාහනයක් හබරණ හන්දියෙ කඩමණ්ඩිය හරහා යන බව දන්න අලියා ෂෝට් කට් එකකින් ඇවිත් හැංගිලා ඉඳලා.

ඌ බොහොම තේජාන්විතව කඩ පේළිය පිටිපස්සෙ ඉඳලා ඉස්සරහට ආවා. විකුම්ට කරකියාගන්න දෙයක් නෑ. පොර බිමට පාත්වෙලා වැලි අහුරක් ගත්තා. හීනි වැලි මිටකට ඉතිපිසෝ ගාතාව හත් වරක් මතුරලා ඒක හරියටම අලියගෙ ඇස් දෙකට ගැහුවහම අලියට ටික වෙලාවකට පේන් නැතුව යනව. ඒක කෙමක්...

විකුම් වෙවුලන කටහඬින් ඉතිපිසෝ ගාතාව කියද්දි අලියා ළඟටම ආවා. ඇවිත් හොඬ වැල ඉස්සුවා. උස්සලා ආපහු පාතට ගන්න ගමං ඒකෙන් අල්ලගෙන හිටපු යමක් විකුමගෙ දෙපා මුලට අතෑරියා. අතෑරලා ආපහු හැරිලා කැලේට ගියා. 

කඩේ හිටපු හැමෙ කෙනෙක්ගෙම ඇස් විකුම් දිහාට යොමුවෙලා තියෙද්දි විකුමා බැලුවෙ අර අලියා දාල ගියපු දේ මොකද්ද කියලා. එතන තිබුණෙ විකුමගෙ වීල් බ්‍රෂ් එකයි ඇත් දලේට හයි කරපු නට් එකයි. ලොරියෙ රෝදෙ මාරු කරලා, ආපහු උපකරණ ටික ලොරියට දාගද්දි වීල් බ්‍රෂ් එක අමතක වෙලා ඇවිත්. අලියා ඒකෙන් අර නට් එක ගළවගෙන ඒක ආපහු දෙන්ඩ තමයි මෙච්චර දුරක් පස්සෙන් එළවගෙන ඇවිත් තියෙන්නෙ. බලන්ඩ අලියගෙ තියෙන හැදියාව විතරක්...!


කලිං ලියපු ගජබින්න වලට පටුනක්.

33 comments:

  1. අන්තිම ටිකනම් බොරුවක් අතින් දාල කියලා තේරෙනවා....මොකද මතුරලා වැලි ගහන්න ඕනි නෑ..වැලි කොහොම ගැහුවත් ටික වෙලාවකට පේන්නේ නැති වෙන්න ගන්නවා....

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙ තමුන්නැහැ මට වඩා ගොඩක් මන්තර සාස්තර ගැන දන්නව... ගුප්එත විද්‍යා විශාරදයෙක්, නැත්තං විශ්ව ශක්තිය තියෙන කෙනෙක්...

      Delete
    2. රාවණා ටෙක්නොලොජි එකෙන් ගැහුවනම් අලියව අඟහරු ලෝකෙට ටෙලිපෝර්ට් කරන්න පුලුවන්. විශ්ව ශක්තියෙන් පුලුවන් හිමාලයට විතරයි

      Delete
    3. අලියා රිවස්ටර්න් හරහ ගියානං අප්සැට් යනව... මතකද ඒක?

      Delete
  2. ගජබින්නාලන්කාරේ කතන්දර කියවූවේ අදමයි. පරණ ඒවා කිහිපයක්ම එක දිගට කියවූවා. හරිම රසවත් කියවන්නට ආසා හිතෙනවා.කතා සියල්ලම කියවලා පසුව comments ගැන කල්පනා කරන්නම්. පැරණි කතා අද සිටින සමහර අය විස්වාස කරනවාත් ඇති !

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං ඔය පරණ කතා කුමාරොදය වගේ පොත්වලත් තියෙන්නෙ. ලබුගෙඩියෙ යාගය එහෙම තනිකරම ගජබින්නයක්නෙ...

      Delete
  3. රනිල් අය්යා නෙවෙයිද අලියගෙ දලේට නට් එකක් දාල තියෙන්නෙ ? ඌට මේ ආත්මෙට ගලවගන්න දෙන එකක් නෑ

    සරත් ල0කාප්‍රිය

    ReplyDelete
    Replies
    1. රනිල් අයිය දාල තියෙන්නෙ ස්ප්‍රිං වොෂර් එකක් එක්ක. ඒකයි ගළවගන්ඩ බැරි. ඇත්තට මුං නං මහ පුදුමාකාර දේශපාලකයො ටිකක්.

      Delete
  4. උඹත් එක්ක බැරි ඕත තමා. අලියෙක්ට වීල් බ්‍රෂ් එකක් පාවිච්චි කරන්න තේරෙන්නෑ. ඒක හෙන පට්ට බොරුවක්. තවුසෙගේ සේරම ඇත්ත බොරු වෙලා ගියා ඒකෙන්.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී කවදාවත් බොරු කියනව වෙන්න බෑනෙ. රයිනෝසිරස්ලා අං මදින්නෙ වීල් බ්‍රෂ්වලින්නෙ,.ඉතින් අලිත් පාවිච්චි කරනව ඇති.

      Wheel Brush -
      https://procarreviews.com/best-wheel-brush/

      Wheel Brace -
      https://www.supercheapauto.com.au/shop-by-category/tools-and-storage/garage-equipment/jacks-stands-and-braces/wheel-braces

      Delete
    2. හප්පට...! වීල් බ්රේස් ද එතකොට හරි නම? ඔය වගේ තව වචනයක් තමයි වයර් හනස්ස...

      තත්සම අනුවර්තන...

      හතර විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ...

      Delete
    3. දේශකයො,

      දන්නැද්ද මිහිපිට දැනට තියෙන ලොකුම මොළේ තියෙන්නෙ අලියට. ඌට බලං ඉඳල යමක් ඉගෙන ගන්න තරම් මොළයක් තියෙනව. තවුසෙ ඔව්ව ගැන වැඩිය හිතන් නැතුව රොකට් එකක් ගැන මොනව හරි ලියාගෙන ඉන්නව ෂේප් එකේ...

      Delete
    4. ආන් හරි වචනෙ. මොනා උනත් ගුණයහපත් අලියෙක්. නැත්තං ඕව ටික ගෙනත් දෙයි ඈ..

      Delete
  5. මට නං එකම එක තැනයි අවිශ්වාස හිතුණේ. ඔච්චරට අලි භාෂාව දන්නා අලියා මොකද 'ටිකක් හිටු!' කියලා විකුම්ට නොකිව්වේ?

    ReplyDelete
    Replies
    1. අලින්ට කතා කරන්ඩ පුලුවනෑ? මේ මොනව අහනවද මංදා...

      Delete
  6. වීල් බ්‍රස් මොකටද? රෝදවල කට්ට මදින්නද? අපිනං ඒකට ගන්නෙ පොල් ලෙල්ලක්.
    අර අලියට අං තිබුණද? උට තිබ්බෙ ඒක නාඩාර්ට දීලා පොල් අතු මිටියක් ගන්න. මං හිතන්නෙ ඕකා වෙන්ටැ ගොං අලියා කියන එකා.

    ReplyDelete
    Replies
    1. හරි හරි ඕකෙ නියම නම වීල් බ්‍රේස් කියල උඩ ප්‍රා ජේ කියා දුන්නා.

      අපි නං පොල් ලෙල්ලකිංවත් රෝද සුද්ද කරන්නෑ... ඇඟ රිදෙන වැඩ ඔව්වා.

      අලියට අං තිබුණ කියල මං කියල තියෙන්නෙ කොහෙද? ඔහොම අදහස් පහල වෙනව දියතලාවෙ සීතල පාලු පරිසරය වර්ණවත් වෙන්න තණමල්විල මල් ඔතල ගැහුවම. කොහෙද මං කට කැඩෙනකං කියනව චූටි මැණිකෙට මේ ගෝතයට කණට දෙකක් ගහල හදාගන්ඩය කියල. ඒ අම්මණ්ඩිත් මට නොරොක් වෙනව මිස මූට දෙන්ඩ තියෙන බේත දෙන්නෑ.

      ගොං අලියා...? හැක් හැක් හැක් ඒක මරු නම...

      Delete
  7. ඇක්වේරියම් ගැන ලියන්නෙ ඊලඟ එකෙන්ද. දැන් කට්ටිය හබරණ තේ බොනවා ඇති.මට හිත ගියේ අර ඉබ්බට.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ නෑ... කතාව ඉවරයි. අරූ ඇක්වේරියම් එකට ගිහිං ඒකෙ බඩුත් පටෝගෙන මාලු කුමාරගෙ ගෙදරින් බෑවා. එච්චරයි...

      අර ඉබ්බගෙ නම ලබි ඉබ්බා. ඇත්තටම ඌ ලස්සනයි. දැන් කාලෙ ඕනෙම ඇක්වේරියම් එකකිං ගන්න පුළුවන්. බය නැතුව ගිහිං නම කියලම ඉල්ලන්න.

      Delete
    2. වැරදිලාවත් ඉබි ලබ්බා කියල කියවුනොත් වෙනිං එකක් දෙයිද?

      Delete
    3. අපිට තමා කට වැරදුණොත්. ගෑණු පරාණවලට කවදාවත් වරදින්නෑනෙ... කට වැරදුනහම ඒකත් කටින් ගහලම ජයගන්න හැකියාව ඒ උදවියට සහජයෙන්ම ලැබිල තියෙනව.

      Delete
    4. අනේ අර අං ගොලියා අර කෙහෙල්මලක් අරගෙන දුවගෙන ආවෙ ඌට පරණ පුස්ලෝඩමක් ගෙන්න තිබුණෙ නැද්ද? එක්කො ටෝච් එකක්. නෙද්දකින් අං ගොලියා.

      Delete
    5. ඕකට සුරංගට බැණල වැඩක් තියෙනවෑ...? අනික හැමතිස්සෙම කතන්දර ක්‍රොස්ඕවර් කරන්න ඇහැක?

      Delete
  8. හුහ්...! කෝ මේ නයා? කොහෙ මකබෑවෙලාද?

    ReplyDelete
    Replies
    1. බෝතලේට දැම්මා. දැං පටවන්නයි තියෙන්නෙ.

      Delete
    2. ඕකව පටවන්ඩ තියෙන්නෙ බකමාලන්තෙට... අපට කණක් ඇහිල ඉන්ඩ.

      Delete
  9. අලියට නුවන තියනවාය කීවාට ව්‍යවසායකත්වය ගැන කිසිම අදහසක් තිබිල නෑ, ඒහෙම වුනානම් වීල් බ්‍රෂ් ඒක ආපහු නොදී ජංගම ආපදා සේවයක් දාගන්නවා සිකුරුයි.

    ReplyDelete
    Replies
    1. අලින්ට පුලුවන් පවතින රැල්ල එක්ක යන්ඩ මිසක් අලුතින් දෙයක් හිතල, පටං ගෙන ජයගන්ඩ නෙමෙයි. ඒකයි ඔය. අනික හබරණ කැලේ කියන්නෙ ගම්බද නෙ. තවම අලියගෙ ගැමි ගතිය ගිහිං නෑ.

      Delete
  10. මෙහෙම ගජබින්න ලියන්න් පුළුවන් ඔබතුමාට විතරයි. හබරණ අලි ගැන ඔබතුමා මතක් කර එක හොඳයි. මටත් කථාවක් මතක් වුණා. ඉදිරි තෝස්ටුවක බලමු. හැබැයි ගජබින්නයක් නෙවෙයි.

    විචාරක දි්‍යණිය

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි. මේ වගේ ගජබින්න මට මතකයි මාරයා එක පාරක් ලියල තිබ්බා. තව හිටියා චන්දන හෙවත් කෙබරාධිපති.

      ඔයාගෙ කතාව කියවන්න බලං ඉන්නව. පුළුවන් ඉක්මණට ලියන්න.

      Delete
  11. ත්‍රී වීලර් එකක මෙහෙම තිබුණා,
    ලේ වලින් දුවන හදවත් වලින් නපුරුකම් කළාට ඔයිල් වලින් දුවන ඉංජිං එහෙම නැහැ Bro...

    ReplyDelete
  12. මා විධායක ජනාධිපති ධූරයට පත්වූ වහාම

    රචකයාත් ගජබින්නාලංකාරයත් ජාතික වස්තූන් බවට නම්කරන අතර ගම් මට්ටමින් බිම් මට්ටමින් අම්මට සිරි ලංකාද්වීපය තුල වන සියලූම පාසැල් විෂය මාලාවන්ට ගජබාන්නාලංකාරය ඇතුලත් කරනබවට මේ ගල් පැලෙන බින්න ප‍්‍රකාෂය සාක්ශියක්ම වේවා

    ReplyDelete
  13. චීස් වුණත් රස වැඩි වෙන්නේ පරණ වෙන තරමට වගෙයි!

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි