Monday, June 3, 2019

ගේම් කාරයන්ගේ (යහ) පාලනය

ඉතිහාසය නැවත නැවතත් සිදුවන බව දැන සිටියත් මේතරම් ළඟ ළඟ එය රිපීට් වනු මා මීට පෙර දැක නැත. එසේ වී ඇත්තේ පාලකයෝ පුරවැසියන්
ගේ ඔළුගෙඩි මනා ලෙස සකස් කරගෙන ඇති නිසා සහ ඒ බව පාලකයන් හොඳින්ම දන්නා නිසාය.

2015 මහ මැතිවරණය සඳහා වියදම්  කිරීම පිණිස මහබැංකු බැඳුම්කර මගඩිය ක්‍රියාත්මක කරන ලදි. එයට සෘජුව වගකිවයුතු අර්ජුන් මහේන්ද්‍රන්,  අර්ජුන් ඇලෝසියස්, එවක මහබැංකුව අයත්වූ අමාත්‍යාංශයේ ඇමතිවරයා වූ රනිල් වික්‍රමසිංහ, අර්ජුන් ඇලෝසියස් ගෙන් මුදල් ආධාර ලබා ගත් දේශපාලනඥයන් යන සියලු දෙනා අඩු වැඩි වශයෙන් වරදකරුවන් විය යුතු විය.

එහෙත් අවසානයේ ප්‍රවාහය ගලා ගියේ රවි කරුණානායක මතිනි. එයින් ජනතා විරෝධය සමනය කෙරුණේය. අර්ජුන් මහේන්ද්‍රන් නිවීහැනේ විදේශගතව වසන අතර ඉන්ටපෝල් හෝ වෙනත් මඟකින් ඔහු අල්ලාගෙන ජාවාරම් කළ මහජන මුදල් පියවාගැනීම ගැන කාටවත් වගක් නැත.

පසුගිය පාස්කුවේදී මිනිසුන් තුන්සියයක් පමණ මැස්සන් මෙන් මරා දමන ලදි. කඩා බිඳදමන ලද පවුල්වල සාමාජිකයන් හුදෙකලා කර දැමුණි.


බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරකයන් වගකිව යුතු බව නිසැකය. එසේම ආරක්ෂක ඇමැතිවරයා ද, ආරක්ෂක මණ්ඩලය ද, වගකීමෙන් නිදහස් නොවේ. ඒත් 'ටසිරිලංකාවේ බුද්ධි අංශය කලින් දැනුම් දුන්නද ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයා ඒ ගැන දන්නේ නැත. අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයට කැඳවා නැත. ආරක්ෂක මණ්‌ඩලය පෙබරවාරියෙන් පසු රැස්වී නැත. කලින් දැනසිටියත් මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙතැයි ආරක්ෂක ලේකම් සිතා නැත. මහජන මුදලින් නඩත්තුවන "ප්‍රභූන්" ආරක්ෂා කිරීම විතරක් ප්‍රමාණවත්යැයි පොලිස්පති සිතා ඇත.

තමන්ට වාර්තා කළ බවට බුද්ධි අංශ කියන්නේ බොරුනම් ජනාධිපතිවරයා ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතුය. ජාතික ආපදාවලදී නිල මාර්ග වලින් පමණක් කටයුතු කළ නොහැක. හරීන් ප්‍රනාන්දු ගේ පියා දැනසිටියේයැයි කියන ආරංචිය අගමැතිවරයා හා ජනාධිපතිවරයා නොදැන සිටියේනම් ඒක ඒ දෙදෙනාගේ පරිපාලනමය අසමත් කමය. රටක් නොව කුඩා කාර්යාලයක් පාලනය කිරීමට පවා අනියම් සන්නිවේදන ජාලයක් ගොඩනගා ගැනීම අවශ්‍ය වේ.

මේ සියලුදෙනා අත්වල ගාගත් ලේ ජනතාවට පෙනෙන නමුත්, එය අමතක කරවා 2020 දී බලයට ඒමට නම් ජනතාවට කුඩා, අතට අහුවෙන සතුරෙකු ලබා දී ආතල් එකක් දිය යුතුය.


වෛද්‍ය ෂාපි, හිස්බුල්ලා, අසාද් සාලි සහ බදුර්දීන් යනු ඒ අතට අහුවෙන සතුරාය. මේ උදවියට එරෙහිව චෝදනා බොරුදැයි මා දන්නේ නැත. චෝදනා ගැන පරීක්ෂණ පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම කළයුතු වේ.

ඒත් ඒ සමගම මරණවලට සෘජුව වගකිවයුතු පාලකයන් වන්දි ගෙවිය යුතුය. උන්ගේ මගඩි නාටකයට විසිල් ගහන අපි කරන්නේ ඕනෑම බලුවැඩක් කර තමන්ගේ පැවැත්ම රැක ගන්නට තැත් කරන, සැබෑ මහජන නියෝජිතයන් නොවන තක්කඩි රැළගේ පැවැත්ම තවත් තහවුරු කරන එකය.


11 comments:

  1. කියවද්දී හිනාවෙලා හැඬුවා. අනේ ඩ්රැකී, ඒකෙ අනෙක් පැත්ත කරන්න ලැබෙනවා නම්!

    ReplyDelete
    Replies
    1. අපේ කියවීම ම තියෙන තවත් අය ඉන්නවා වුණත්, තාවකාලික ආතල් එක රසවිඳින "මොලේ කළඳක් නැති මිනිසත්කමින් පිරිපුන් යාලුවන්ගේ" හඬ තමයි වැඩිපුර නැගෙන්නේ. රටක් හරි මගට ගන්න ඒකාධිපතියෙක් එනකම් බලා සිටීම වෙනුවට, මහජනතාව ඒ වෙනස කිරීමයි කළයුත්තෙ. අපි පුරුදු වෙලා ඉන්නෙ කවුරුහරි පහල වෙලා රට හදල දෙනකම් බලා ඉන්න.

      Delete
  2. නාටකය බලන් ඉන්න ගමන් උන් කරන හෑම තක්කඩි කමටම හොරකමටම හු කියනවා ඈරෙන්න නලුවො වෙනස් කරන පෑලෑනක් අපිට නෑති එකයි පුරස්නෙ

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මාත් කියන්නෙ. අපි අන්තිමේ අරාබි වසන්තය වගේ තැනකට තල්ලු වෙයිද කියලත් හිතෙනව...

      Delete
  3. මටනම් සතු‍ටු අපිට බඩ අල්ලගෙන හිනාවෙන්න කතා ලියන උබම මේ වගේ හරබර ලිපිත් ලියන්න තරම් උබගේ තියන හැකියාව

    ReplyDelete
    Replies
    1. මෙතන හර බරයක් නං නෑ මයෙ හිතේ. වැඩේ යන විදිහ බලං ඉන්ඩම බැරි තැන, කෝච්චියෙ යන ගමං ෆෝන් එකෙන් මේක ලියල පබ්ලිෂ් කළේ... එච්චරට අප්‍රසන්නයි මුංගෙ තක්කඩිකම් බලාගෙන ඉන්න ගියාම.

      Delete
  4. අර යටින් දාල තියන කාටුන් එක තමා මම නම් වෙන්න ඕනෙයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව කියන කී දෙනෙක්නම් ඉන්නවද මාර්ස් මේ ලංකාවෙ? ඒත් කෝ ප්‍රතිඵල? ඡන්දයක් එද්දි අපි හැමෝම හිතනව මේ තක්කඩියන්ගෙන් කෙනෙක් අපේ රට බේරගනියි කියල...

      Delete
  5. මේ රටට වැඩියෙන්ම කැමති මෙහෙ දේශපාලකයො.
    මෙහෙ තරම් වගකීම අඩු, අයිතිවාසිකම් වැඩි, පහසුකම් වැඩි, බලය වැඩි, දඬුවම් අඩු රටක් දේශපාලකයෙකුට හොයාගන්න පුලුවන්ද? මේක උන්ටම හැදුණු රටක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත. එක අතකට මේ කිසිම දෙයක් මහජනතාව ඓතිහාසිකව දිනාගත්ත දේවල් නෙවෙයි වීමත් ඒකට හේතු වෙන්න ඇති. අපි තාම ඉන්නෙ වැඩවසම් අදහස්වල. අපිට අපේ රට හදාගන්න බෑ. කවුරු හරි ආකාසයෙන් පාත් වෙලා මේක හදන්න ඕනෙ. එක්කො වෙලේ ඇවිදින, වක්කඩෙන් වතුර බොන මහින්ද. එක්කො යුද්ධෙ මෙහෙයවපු ෆොන්සේකා. එක්කො අර ලී ක්වාන් යූ වගේ මේ රට හමුදා පාලනයක් වගේ තද පාලනයකින් විනය ගරුක කරයි කියල බලාපොරොත්තු වෙන ගෝඨාභය.

      අපිට විනයගරුක වෙන්න බෑ. ඒකත් ගෝඨාභය ඇවිත් හදන්න ඕනෙ...

      තාත්තගෙන් පුතාට, දුවට පාලනය යනවනම් තමයි හරි. වෙන කෙනෙකුට හෙණ අමාරුයි. ඒක ඉස්සර ඉඳන්ම තිබුණනෙ. ඩී ඇස් ගෙන් ඩඩ්ලිටම යන්න ඕනෙ. එයිට වඩා දක්ෂ, පළපුරුදු කොතලාවල, බණ්ඩාරනායක වගේ උදවිය හිටියට හරියන්නෑ. බණ්ඩාරනායකගෙන් එයාගෙ වයිෆ්ට යන්න ඕනෙ. ෆීලික්ස් වගේ වෙන අය හරියන්නෑ. චන්ද්‍රිකාගෙන් අනුරට දෙන්න සෑහෙන ට්‍රයි එකක් දුන්නා. ප්‍රේමදාස ගෙ පුතා ගැනත් සමහර වහල් යූඇන්පී කාරයො ළඟ තියෙන්නෙ ඒ වගේ අදහසක්.

      දියුණු ඡන්දදායකයන් බිහිවෙනතාක් මේ ක්‍රමය වෙනස් වෙන්නෙ නෑ. කූඹි උන්ගෙ සාමූහික ශක්තිය ගැන දැනගන්න තාක්කල් තණකොළපෙත්තො උන්ව පාලනය කළා වගේ තමයි...

      Delete
  6. දැන්නම් හොදටම ඇති වගේ බලන් හිටියා.. තම්න්ගෙ හෙංචයියෝ අක්කර ගනං කැලෑ කපන් යනකන් ඇස් පියාගෙන ඉඳලා, වනාන්තර රකින්න වඩු මඩු වහන්න යන අමන, තකතීරු දේශපාලුවන්ගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ..

    මේකෙ වැඩේ, ආත්ම ගරුත්වයක් තියන කිසිම එකෙක් මේ වැඩේට අත ගහන්න කැමති නෑ.. ඉතිං අර ලජ්ජා බයක්, හිරිකිතයක් නැති අමන රැලම ඉතිරි වෙනවා තෝරා ගැනීමේ විකල්ප හැටියට..

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

හුදෙක් ආතල් එක සඳහා පමණි

ඩ්‍රැකියා වෙසක් කළාපය ලිය ලියා ඉන්න අතරෙ, හිතේ පොදි ගැහී තෙරපි තෙරපී තිබූ ආතල් කතා වස්තු ටිකක් පොසොන් කළාපයට කලින් එළියට දාන්න ම ඕනෙ කියලා හ...