Sunday, February 27, 2022

රත්තරන් ඔරලෝසුව


ඉස්කෝලේ මහත්මයාගේ නම බාඩ් ය. ඔහුගේ මල්ලී ඇන්ඩර්ස් විය. අයියා මල්ලී ගැන ද, මල්ලි අයියා ගැන ද ලොකුවට සිතූහ. දෙදෙනා ම යුද හමුදාවට බැඳුනේ කට මයි. ජීවත් වූයේ එක නගරයේ මයි. යුද සමය ගෙව්වේත් එකට මයි. එක ම බළ ඇණියට අයත් ව සිටි ඔවුහු දෙදෙනා ම කෝපරල් නිලයට ද උසස් වීම් ලැබූහ. යුද සේවාව අවසානයේ ගමට පැමිණි ඔවුන් යස ඉලන්දාරි දෙදෙනෙකු ලෙස මිනිස්සු හැඳින්වූහ.

ටික කලකට පසු ඔවුන්ගේ පියා මළේය. පියා විශාල බූදලයක් ඉතිරි කර තිබුණු බැවින් එය බෙදා වෙන් කර ගැනීම අපහසු විය. මේ කටයුත්ත නිසා සිත් බිඳීමක් ඇති නොවන්නට වග බලා ගත් ඔවුහු එම දේපළ වෙන්දේසියේ විකුණන්නටත්, තම තමන් කැමති දේපළක් වෙන්දේසියේදී මිල දී ගන්නටත්, වෙන්දේසියෙන් ලැබෙන මුදල සම ව බෙදා ගන්නටත් කතිකා කර ගත්හ. එය එපරිද්දෙන් ම සිදු විය.

මුළු පළාතේ ම මහත් ප්‍රසිද්ධියට පත් වූ ලොකු රන් ඔර්ලෝසුව ඔවුන්ගේ පියා සතු ව තිබිණි. ඒ පළාතේ මිනිසුන් දැක ඇති එක ම රත්තරන් ඔරලෝසුව ද එය විය. මේ ඔර්ලෝසුව වෙන්දේසියෙන් ගැනීමට සල්ලිකාරයෝ බොහෝ දෙනෙක් ඉදිරිපත් වූහ. එහෙත් අයිය මලෝ දෙදෙනා ඔර්ලෝසුව ඉල්ලා තරක් කරන්නට වූ විට අන් අය පසු බා සිටියහ. එය තමාට ගන්නට ඇන්ඩර්ස් ඉඩ දෙතියි බාඩ් සිතුවේය. බාඩ් එසේ කරනු ඇතැයි ඇන්ඩර්ස් කල්පනා කළේය. දෙදෙනා ම මිල නංවමින් එය ඉල්ලූහ; අනෙකා පරදවන අටියෙන් මිල නැංවූහ; එසේ ඉල්ලමින් අනෙකාගේ මුහුණට රකුසු බැලුම් හෙළූහ. ඔර්ලෝසුවේ මිල ඩොලර් විස්සට නැංග අවස්ථාවේ බාඩ් සිතුවේ මල්ලී මෙසේ කිරීම ගුණේ නැති වැඩක් ලෙසය. බාඩ් එසේ සිතා ඩොලර් තිහ දක්වා ගණන උස්සා ඔර්ලෝසුව ඉල්ලීය. "මම මල්ලීට කොයිතරම් උදවු පදවු කර තිබෙනවාද? ඒ සියල්ලම මල්ලී අමතක කළා නේද? ඒ ඇරත් අයියාකමට වත් සැලකිල්ලක් තියෙන්න ඕනෑ නේද?" බාඩ් සිතුවේය.

ඔරලෝසුවේ මිල ඩොලර් තිහ ඉක්මවා ගියේය. ඇන්ඩර්ස් පසුබට වූයේ නැත. බාඩ් එක පිම්මට ඉල්ලීම ඩොලර් හතළිහ කළේ මල්ලීගේ මුහුණ වත් නොබලා මයි. වෙන්දේසි කාමරයේ දැන් ඇත්තේ නිහඬ බවකි. වෙන්දේසි කාරයා පමණක් නැවතිල්ලේ ඉල්ලුම ප්‍රතිරාවය කෙළේය. ඩොලර් හතළිහට මිල උස්සන්නට බාඩ් ට පුළුවන් නම් තමාට බැරි ඇයි දැයි ඇන්ඩර්ස් සිතුවේය. බාඩ් ඔර්ලෝසුවට මෙතරම් ගිජු නම් එය කෙසේ හෝ ගත යුතු යැයි සිතූ ඇන්ඩර්ස් ගණන තවත් උස්සා ඉල්ලුවේය. උපන්තේකට මෙහෙ ම නව නින්දාවක් කවදා වත් වුණේ නැතැයි බාඩ් සිතීය. බාඩ් ඩොලර් පනහට ගණන් ඉස්සුවේ හීන් හඬිනි. එතැන පිරී සිටි මිනිසුන් ඉදිරියේදී මේ අයුරින් මදි පුංචිකම් කිරීමට ඉඩ නොතබමියි තමාට ම කියා ගත් ඇන්ඩර්ස් ගණන තව ඉස්සුවේය. බාඩ් හයියෙන් සිනාසුණේය.

"ඩොලර් සීයයි. අයිය මලෝ කමත් හැඳි ගෑවිලා ගියදෙන්." බාඩ් කාමරයෙන් පිටවී ගියේය.

ටික වේලාකට පසු ඔහු අශ්වයාගේ සෑදලය සකස් කරමින් සිටියදී මිනිහෙක් එළියට පැමිණියේය.

"ඔරලෝසුව ඔබටයි, ඇන්ඩර්ස් ඒක අතහැරියා." මේ ආරංචිය ඇසූ කෙණෙහි දැඩි දුක් වේදනාවක් ඔහු පුරා පැතිරී ගියේය. ඔහු සිහි කළේ ඔරලෝසුව ගැන නොවේ. මල්ලීය. 

සෑදලය සකස් වී තිබුණ නමුත් අසු පිට නගිම් දෝ, නොනගිම් දෝ යන කුකුසෙන් යුතුව ඔහු අසු මත අත තබා ගෙන කල්පනා කෙළේය. වෙන්දේසි පොළෙන් පිටතට ආ බොහෝ දෙනා අතර ඇන්ඩර්ස් ද විය. ගමන් ඇරඹීමට සූදානම් ව සිටි බාඩ් ගේ සිතෙහි පෙරළෙන සිතුවිලි මොනවා දැයි නොදත් ඇන්ඩර්ස් අසු පිට නගිමින් සිටි බාඩ්ට මෙසේ කීයේය. 

"ඔරලෝසුව අරගෙන උඹ හැදියන් බාඩ්, මේ මල්ලී උඹේ පස්සේ උපෝපන් ජාති ඒවිය කියලා හිතන්න එපා; උඹේ ගෙදර පස් පාගන්න එන්නේ මම නොවෙයි."

"හිතන්න එපා මමත් උඹේ එළිපත්ත පනින්න ඒවිය කියල," බාඩ් පිළිතුරු දුන්නේය. ඔහු අසුපිටට නගින විට ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබිණි.

එදා සිට දෙදෙනාගෙන් එකෙක් වත්, තම පියා හා එකට ජීවත් වුණු ගෙට අඩිය නොතැබුවේය.

වැඩි කලක් නොගොස් ම ඇන්ඩර්ස් ගොවි පවුලකින් විවාහයක් කරගත්තේය. බාඩ්ට ඒ මගුල කීවේ නැත. බාඩ් ඒ සඳහා පල්ලියට ගියේත් නැත. විවාහ වුණු පළමු වැනි අවූරුද්දේ ම ඇන්ඩර්ස්ට සිටි එක ම එළදෙන නැති වූවාය. තමාගේ ගෙට උතුරු දෙසින් වූ කණුපළේ ම එළදෙන මැරී සිටි නමුත්, ඇය කෙසේ මැරුණා ද යන්න කිසිවෙකුටත් තේරුම් කර දිය නොහැකි විය. තවත් කරදර රාශියක් එක පිට එක කඩා වැටිණ. මේ හැම කරදරයකට ම වඩා ඉසිලිය නොහැකි නස්පැත්තිය වූයේ ශීත සෘතුවේ රැයෙක ඔහුගේ ධාන්‍ය බිස්ස මුළුමණින් ම පිළිස්සී විනාශ වී යෑමයි. "කාල ඇඳලා හොඳින් ඉන්නවාට අකමැති එකෙක් මේවා කරලා තියෙන්නේ" යි කියා ඇන්ඩර්ස් මුළු රැය ම ඇඬුවේය. ඔහු දුප්පතෙක් විය. වැඩ කිරීමේ ආශාව මුළුමණින් ම ඔහු කෙරෙන් තුරන් විය.

ගින්න හටගත් දිනට පසු දා සවස බාඩ් මල්ලීගේ ගෙදරට ගියේය. ඇඳේ වැතිර සිටි ඇන්ඩර්ස් බාඩ් දුටු සැණින් ඔහු වෙත කඩා පැන්නේය.

"උඹට මෙතැන තියෙන වැඩේ මොකක් ද?" ඔහු මුර ගෑයේය. ඔහු මුර ගෑම එපමණකින් නවත්වා, අයියා දෙස රවා බැලුවේය.

බාඩ් පිළිතුරක් දී ගත නොහැකි ව ටික  වේලාවක් බලා සිටියේය.

"ඇන්ඩර්ස්, උඹට දැන් අපල පාටයි. උඹට ටිකක් උදවු කරන්න මම කැමතියි."

"උඹේ ළපැලියාව මිසක් ඊට වැඩියෙන් මට නරකක් වෙලා නෑ. මට යකා වැහෙන්න ඉස්සෙල්ලා මෙතැනින් පලයන්."

"මල්ලී, එහෙම කියන එක වැරදියි; මට හරිම දුකයි."

"බාඩ්, පලයන් යන්න; නැත්නම් අප දෙන්නාට ම දෙයියන්ගෙ පිහිටයි."

බාඩ් පියවරක් පස්සට ගියේය.

"උඹට ඔරලෝසුව ඕනෑ නම් ඒක ගනින්." බාඩ් කීවේ වෙවුලන දෙතොලිනි.

"බා...ඩ්, පලයන් යන්න." ඇන්ඩර්ස් ගිරිය යටින් කෑ ගසද්දී බාඩ් එතැන සිටීමට නොකැමැත්තෙන් පිටවී ගියේය.

මල්ලීට විඳින්නට වූ අලාභහානි හා දුක් ගැහැට ඇසූ විට බාඩ් ගේ සිතේ කම්පාවක් ඇති වුව ද සිය ආඩම්බර සිත, ඔහුට පිහිට වීමට ඉඩ නොදුන්නේය. පල්ලියට යෑමට ඔහුට දැඩි ආශාවක් ඇති විය. හොඳ වැඩ ගණනක් කිරීමට දෙවියන් ඉදිරියේදී පොරොන්දු වූ නමුත්, ඒවා ක්‍රියාවට නැගීමට තරම් ශක්තියක් ඔහු තුළ තිබුණේ නැත. ඉඳ හිට මල්ලිගේ ගෙදර පෙනෙන තෙක් මානයට ගිය විට, ගෙතුළ සිට එළියට එන්නෙකු හෝ, අමුත්තෙකු හෝ ඔහු සුටුවේය. නැත්නම් ඇන්ඩර්ස් දර පළමින් සිටිනු දුටුවේය. එමෙසේ මල්ලී හමුවීම වැළකී ගියේය.

ශීත සෘතුවේ එක් ඉරු දිනක බාඩ් නැවතත් පල්ලියට ගියේය. එදා ඇන්ඩර්ස් ද එහි පැමිණ සිටිනු බාඩ් දුටුවේය. ඔහු සුදුමැලි වී. කෙට්ටු වී සිටියේය. ඔහු ඇඳගෙන සිටියේ අණ්ඩ දැමූ පරණ ඇඳුමකි.

යාච්ඤාව පැවැත්වෙන මුළු කාලය තුළ ම ඇන්ඩර්ස් දෙව් ගැතිතුමා දෙස ම බලාගෙන සිටියේය. ඔවුන්ගේ බාල කාලය බාඩ්ගේ සිතට නැගුණේය. ඇන්ඩර්ස් මෘදු ගුණ ඇති කෙනෙකු බව ඔහුට සිහිවිණි.

කුමකින් කුමක් වුවත්, මල්ලී සමග ඇති අමනාපකම් දුරු කරගන්නා බවට දෙවියන් ඉදිරියේ ඔහු පොරොන්දු විය. වයින් බොන විට මේ හැඟීම ඔහුගේ සිරුර පුරා පැතිරී ගියේය. මල්ලී වෙත ගොස් ඔහු ළඟින් හිඳ ගැනීමට අදහස් කළ ද, ඊටත් බාධා ඇති විය. ඇන්ඩර්ස් හිස එසවූයේ නැත. දේව ‌මෙහෙයෙන් පසු ව ද, මල්ලී අවට බැතිමතුන් සිටි බැවින් ඔහු ළඟට යාමට නොහැකි විය. ඇන්ඩර්ස්ගේ භාර්යාව ද ඔහු සමග වූවාය. බාඩ් ඈ දැන හඳුනා ගෙන සිටියේ නැත. අන්තිමේ දී ඔහු තීරණය කෙළේ, මල්ලීගේ ගෙදරට ගොස් නිවී සැනසිල්ලේ කතාබහ කිරීමටයි.

සවස් වරුවේ ඔහු ගෙදරින් පිටත් විය; මල්ලීගේ ගෙදර ළඟට ම ගොස් රැඳී, ගෙතුළ කෙරෙන කතාබහට කන් දී ගෙන සිටියේය; මල්ලීගේ භාර්යාව තමාගේ නම සඳහන් කරනු බාඩ් ට ඇසුණේය.

"අයියා උදේ වරුවේ දේව මෙහෙයට ගොහින් හිටියා. එයා ඔබ ගැන සිතූ බවට සැකයක් නැහැ." ඕ කීවාය.

"නෑ, එයා හිතන්නේ මං ගැන නොවෙයි. තමා ගැන ම පමණයි." ඇන්ඩර්ස් පිළිතුරු දුන්නේය.

බොහෝ වෙලාවක් යන තුරු ගෙදර අය නිහඬ ව සිටියහ. ඒ සීතල රාත්‍රියක් වුව ද, බාඩ්ගේ  ඇඟෙහි ඩහදිය බිංදු මතුවිය. ඇන්ඩර්ස් ගේ භාර්යාව කේතලයක වතුර උණු කරමින් සිටියාය. ලිපේ දර පුපුරන හඬ ඇසිණ. විටින් විට දරුවෙක් හැඬුවේය. ඇන්ඩර්ස් ඔහු නැළෙව්වේය.

යළිත් භාර්යාව කතා කළාය.

"ඔබ පිළිගන්නේ නැති වුණාට, දෙන්නා ම උනුන් ගැන හිතනවා..."

"අපි වෙන දෙයක් ගැන කතා කරමු." ඇන්ඩර්ස් කීය.

මඳ වේලාවකට පසු ඇන්ඩර්ස් එළියට යෑමට නැගිට්ටේය. බාඩ් දර මඩුවේ සැඟවුණේය. දර අහුරක් ගැනීමට ඇන්ඩර්ස් දර මඩුවට පැමිණීයේය. සැඟවී සිටි තැන සිට බාඩ් තම මල්ලී පැහැදිලිව ම දුටුවේය. පසුගිය ඉරු දින ඇඳ සිටි වැරහැලි ඉවත් කොට ඔහු පරණ මිලිටරි ඇඳුම් ලා ගෙන සිටිනු ඔහු දුටුවේය. සහෝදරයන් කලින් පොරොන්දු වී සිටියේ ඒ නිල ඇඳුම් නොඇඳ, දරුවන්ට උරුම කර දීමටයි.

ඇන්ඩර්ස්ගේ සවිබල ඇති සිරුර හොඳට ම වැහැරී ගොස් තිබිණ. ඇන්ඩර්ස් දර මිටි තිබෙන තැනට ගිය ද, නැමී ඒවා ඇහිඳගන්නේ නැතිව, දර ගොඩකට හේත්තු වී, තරු බබළන අහස දෙස මඳ වේලාවක් බලා සිටියේය. ඉක්බිති ඔහු දිග සුසුමක් හෙළා, "අනේ, අනේ, දෙයියනේ"යි කීය.

මේ වචන බාඩ්ට දිවි හිමියෙන් ම අමතක නොවිණි.

මල්ලී සමග දෙඩීමට බාඩ්ට  වුවමනා විය. එවිට මල්ලී කහිනු ඇසුණේය. ඒ නිසා බාඩ් පසුබා සිටියේය. මල්ලී දර කෝටු ගෙන යන විට, ඒවායේ අග්ගිස් බාඩ්ගේ මුහුණේ ගෑවෙන නොගෑවෙන තරමට ළං විය.

බාඩ් විනාඩි දහයක් පමණ හිටි තැන ම ගල්ගැසී සිටියේය. දැඩි සිත් තැවුලෙන් පෙළෙන අතර ම සීතලෙන් වෙවුලන්නට පටන් ගත්තේ නැත්නම්, ඔහු කොතරම් වේලාවක් එතැන රැඳී සිටිනු ඇද්දැයි කිව නොහැකිය. බාඩ් එතැනින් පිට වී එළියට ආ නමුත්, මල්ලී හමුවීමට පැකුළුණේය. ඒ නිසා ඔහු වෙන උපායක් ගැන කල්පනා කෙළ‌ේය.

මඳක් ඈතින් තිබුණු අළු ගොඩකින් ගිණි අඟුරු කැට කිහිපයක් අහුලා ගෙන, ඔහු ගිනි හුළක් දල්වා ගත්තේය. ඔහු තම මල්ලී හිමිදිරි පාන්දර අවුත් ලන්තෑරුම එල්ලන ඇණය ඒ හුළු ඵළියෙන් බලා ගත්තේය. ඉන්පසු බාඩ් රත්රන් ඔරලෝසුව ගෙන, එය ඇණයේ එල්ලා, හුළු එළිය නිවා දමා ගෙදර ගියේය.

සිතේ තිබුණු බරින් නිදහස් වීම නිසා ලැබූ සැනසිල්ලෙන් උදම් වුණු ඔහු හිම මත දිව්වේ තරුණයෙකු මෙනි.

පසු දින ඔහුට දැකගන්නට ලැබුණේ මල්ලීගේ පිදුරු මඩුව ගින්නෙන් දැවී ගොස් ඇති බවයි. පෙර දින තමා විසින් දල්වනු ලැබූ ගිනි හුළින් විසිරී ගිය ගිනි පුපුරුවලින් මේ ගින්න හට ගන්නට ඇතැයි ඔහුට සිතිණි.

මේ සිද්ධියෙන් බාඩ්ගේ සිත බලවත් කැළඹීමකට පත්විය. බාඩ් දවස මුළුල්ලේ ම ලෙඩෙකු මෙන්, දේව ගීතිකා ගයන්නට විය. ගෙදර සිටි අය කල්පනා කෙළේ, ඔහු තුළ කිසි යම් අමුත්තක් හටගෙන ඇති බවයි. හැන්දෑ වරුවේ බාඩ් ගෙදරින් පිට ව ගියේය.

ඔහු සඳ බබළන රාත්‍රී කාලයේ මල්ලීගේ පිදුරු මඩුවට ගොස් දැවී ගිය තැන අවුස්සා බලා පිළිස්සුණු ඔරලෝසුව  සොයා ගත්තේය. එය උණුවී රත්තරන් ගුළියක් බවට පෙරළී තිබිණි.

ඔහු එදා මල්ලී ළඟට ගියේ මේ රත්තරන් ගුළිය ඇතේ ඇතිවය. සිදු වුණු සියල්ල පැහැදිළි කොට දී සාමයක් ඇති කර ගැනීමට ඔහුට අවශ්‍ය විය.

ඔහු එදා පිදුරු මඩුව හාරමින් සිටි බව කුඩා දැරියක් කීවාය. නැටුමක් බැලීමට යන ළමයි කිහිප දෙනෙක්, බාඩ් තම මල්ලීගේ නිවස දෙසට ඉකුත් ඉරු දින යනු දුටු බව කීහ. ඔහුගේ ගෙදර සිටි අය කීවේ සඳු දින ඔහු අස්වාභාවික ලෙස හැසුරුණු බවයි. මේ කරුණු නිලධාරීන්ට සැළ කරනු ලැබු කල්හි, ගින්න පිළිබඳ ව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු පිළියෙල කෙරිණි. බාඩ් වරදකරුවෙකු බව ඔප්පු කිරීමට කිසිවෙකු සමත් නොවූව ද ඔහු කෙරේ එල්ල වුණු සැකය ඉවත් කිරීම අපහසු විය. එහෙයින් මල්ලී වෙත යෑම නම් නොකළ හැක්කකි. පිදුරු මඩුව දැවී ගිය වේලාවේ, ඇන්ඩර්ස්ගේ සිත සෝවුරා වෙත දිව ගියේය. පසු දා සවස ඔහු සුදුමැලි මුහුණින් යුතු ව තම ගෙට පැමිණි කල්හි ඇන්ඩර්ස් මෙසේ සිතුවේය;

"ඔහු කණගාටුවට පත් වී සිටින බව පේනවා. ඒ වුණාට මේ වාගේ ලොකු වරදකට සමාව දෙන්න බැහැ. ගින්න හටගත්ත දවසේ බාඩ් අපේ ගෙදර පැත්තට එනවා මිනිස්සු දැක තියෙනවා. පරීක්ෂණයේදී නම් කිසිවක් ‌එළි වුණේ නැහැ. ඒ වුණාට මම හිතන්නේ ගේ ගිනි තිව්වේ අයියා කියලයි." එහෙත් පරීක්ෂණය පැවැත්වූ දින අයියා ගැන සැක කරනවා දැයි ඇන්ඩර්ස්ගෙන් ඇසූ විට ඔහු කීවේ නැත කියාය.

ඉන්පසු ඇන්ඩර්ස් බීමට ඇබ්බැහි විය. ඔහු ක්‍රමයෙන් පිරිහී ගියේය. බාඩ් බීමට ඇබ්බැහි නොවුුුණු නමුත්, ඔහු ද හඳුනා ගැනීමට අමාරු තරම් වෙනස් විය.

එක් සැන්දෑ වරුවක දුප්පත් ස්ත්‍රියක් බාඩ් හමුවීමට පැමිණියා ය. ඒ මල්ලීගේ භාර්යාවයි.

"අනේ කරුණාකරලා අපේ ගෙදර යන්න එන්න." ඕ කීවාය.

ඔහු සුදුමැලි විය. ඈ පැමිණියේ කවර අදහසක් ඇතිව දැයි ඔහු තේරුම් ගත්තේය. වහා ම ඇඳුම් දා ගත් බාඩ්, ඈ පසුපස ගමන් ගත්තේය. ඔහු වචනයක් වත් කතා කළේ නැත. ‍

හිමෙන් වැසී තිබුණු පාර සොයා ගැනීම අපහසු විය. ඇන්ඩර්ස්ගේ ගෙදර කවුළුවෙන් පෙනෙන, සැලෙන පහන් සිළුව දෙස බලාගෙන ඔවුහු ගමන් කළහ.

මල්ලීගේ ගෙදරට පැමිණි ඔහුට ලොකු දුගඳක් දැනුණේය. ඔවුහු ගෙට ඇතුල් වූහ. ලිප ළඟ සිටි දරුවෙක් අඟුරු කෑල්ලක් විකමින් සිටියේය. ඔහුගේ මුහුණේ දැළි ගෑවී තිබුණේය. උඩ බලා සිනාසෙන විට ඔහුගේ දත් දෙ ‌පෙළ දිලිසිණ.

රෙදි වැරහැලි පොරවාගෙන, ඇඳේ වැතිරී සිටි ඇන්ඩර්ස් ගේ මුහුණ සුදුමැලි වී තිබිණි. ඔහු දැන් හොඳට ම කෙට්ටුය. ඇස් කෙවෙනි තුළ ගිලී ගොසිනි. මල්ලී දුටු බාඩ් ගේ දෙදණ වෙවුලා ගියේය. ඔහු ඇඳ පාමුළ හිඳගෙන ඉකි බිඳිමින් හඬන්නට විය.

ඇන්ඩර්ස් අයියා දෙස බලා මුවින් නොබැණ සිටියේය.

"ඔයා පොඩ්ඩක් එළියට යනවා ද?" ඇන්ඩර්ස් සිහින් හඬින් භාර්යාවට කීය.

"නෑ, නෑ, යන්න ඕනැ නැහැ." බාඩ් කීය.

ඉක්බිති දෙ සොහොවුරෝ කතා බහ කරන්නට වූහ. ඔරලෝසුව වෙන්දේසි කළ දින සිට, අවුරුදු කීපයක් තිස්සේ වුණු සියලු ම දේ ගැන ඔවුහු සාකච්ඡා කළහ.

බාඩ් තමා ළඟ තිබූ රත්රන් ගුළියක් ගෙන මල්ලීට පෙන්වීය.

"මල්ලී, පසුගිය අවුරුදු කීපය තුළ එක දවසක් වත් මම සතුටින් සිටියේ නැහැ."

ඇන්ඩර්ස් වැඩි යමක් කතා නොකෙළේය. මල්ලී ඔත්පලව සිටි කාල‌ය තුළ දී බාඩ් මල්ලීගේ ඇඳ ළඟින් සෙලවුණේ නැත.

"මට දැන් හොඳටම සනීපයි. අපිට දැන් එකට ජීවත් වෙන්න පුළුවනි... මින් පස්සේ අපි කවදා වත් වෙන් වන්නේ නැහැ." යි දිනක් ඇන්ඩර්ස් කීවේය.

එදින රෑ ඇන්ඩර්ස් මළේය.

බාඩ් තම මල්ලීගේ භාර්යාවත්, දරුවාත් කැඳවාගෙන ගොස් ඔවුන් හොඳින් රැක බලා ගත්තේය.

බාඩ් මල්ලීත් සමග කතා බහ කළ දේ ගම රට පුරා ම පැතිරී ගියේය. ගමේ ගොඩේ සියලු දෙනා ම බාඩ්ට ගරු බුහුමන් කරන්නට වූහ. ඔවුන් බාඩ් ට සැලකුවේ දිගු කලක් කණගාටුවෙන් සිට චිත්ත සමාධිය ලබා ගත් කෙනෙකුට සලකන පරිද්දෙනි. නැත්නම් බොහෝ කලක් බැහැර ව සිට ගෙදරට පැමිණි නෑයෙකුට සලකන ලෙසිනි. සියල්ලන්ගෙන් ම ලැබුණු සුහදතාව නිසා ඔහුගේ චිත්ත ශක්තිය වර්ධනය විය.

බාඩ් ගුරුවරයෙකු ලෙස සේවය කරන්නට පටන් ගත්තේය. ඔහු ළමයින් තුළ තහවුරු කිරීමට උත්සාහ ගත්තේ කරුණාව දැක්වීමේ අගයයි.

බ්යෝර්න්ස්ටියන් බියෝර්න්සන් (1832 - 1910) ලියූ "සහෝදරයෝ" කෙටිකතාවෙනි.














(උපුටා ගැනීම, පාසල් කියවීම් පොතකින්...)

 

16 comments:

  1. වතුරට වැඩිය උකු මොනවද කියනවද
    වැඩියම වටින දේ මොනවද කියනවද
    මිනිහා දුවන්නේ මොනවා පස්සෙන්ද
    ආදරයට වැඩිය දේකුත් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. වතුරට වැඩිය උකු වොඩ්කා නේද?
      ටිකිලා කියල වෙන කවුරුත් කිව්වාද?
      වැඩියම වටින්නේ ඩොලරය වත්ද?
      ආදරය නැතත් ගෑස් ලැබුනොත් මදිද?

      Delete
    2. නිදි,
      මුකබාණා මට කලියෙන් ඇවිත් ඇත
      මං දෙන උත්තරේ උන්දෑ ලියා ඇත
      ආදරයට වඩා කිසිවක් අගේ නැත
      ඒක නැතුව සමාජයක් තිබෙනු නැත

      බකුස්,
      වොඩ්කා ටිකිලා වාගේ උකු වෙන නැද්ද
      වීවා මයිලො යෝගට් ඩ්‍රින්ක් හොඳ මදිද
      ඩොලර් කෝටියක් තිබුණත් වැඩක් වෙද
      ඩීසල් ගෑස් ගන්ඩම නැති කලක් අද

      ප්‍රා,
      මාර්ස්

      Delete
  2. හ්ම්....කනගාටුදායක කතාවක්. පලකලාට ස්තූතියි.

    ReplyDelete
  3. මදෑ මැරෙන්න කලිං හරි දෙන්න එක්කහු උනා.

    ReplyDelete
    Replies
    1. ඔව්... මටත් මතක් උනේ මගෙ අයියව. මේ පාර කොළඹ ගිය වෙලේ ගියා බලන්ඩ.

      Delete
  4. මගේ එක කුස උපන් එකම සොයුරා (අයියා) ගිය සතියේ මැරුනා! මේ කථාව වගේ ලියන්නට බොහෝ දේ ඇත. පසුව ලියන්නම්!

    ReplyDelete
    Replies
    1. ලිව්වහම කියවන්ඩ බලං ඉන්නව. සමහර දේවල් තියෙනව අපි ලියන, ඒවයිං හිතේ ගැඹුරෙ ලොක් කරලා වළලලා තියෙන දුක්මුසු මතක එළියට එනව.

      Delete
  5. "මල්ලී, පසුගිය අවුරුදු කීපය තුළ එක දවසක් වත් මම සතුටින් සිටියේ නැහැ." භෞතික දේ පසුපස විතරක් පන්නන අයගේ ජීවිතය සාරාංශ කල වාක්‍යය.

    ReplyDelete
    Replies
    1. මට හිතෙනව, එතනදි වුණේ රත්තරන් ඔරලෝසුවට තියෙන ආසාවටත් වඩා, "මල්ලි මට ගන්ඩ ඉඩ දෙයි, අයිය මට ගන්ඩ ඉඩදෙයි" කියන අපේක්ෂාවට පහර වැදීම, දෙන්නට දෙන්න ගැන තිබුණු ළෙංගතුබව අඩුවුණා කියන හැඟීම සහ මමත්වයට වැදුණු පහර නිසා අකමැත්තෙන් විරසකයක් ඇති වුණා කියල.

      Delete
    2. ඔවු ඒක ඇත්ත, අපි හොඳ දෙයක් කරන්න හදන සමහරවෙලාවට අපේ ego එක ඇවිල්ල මොකක් හරි ඔලුවට දාලා ඒක නවත්තනවා. 'ආසයි, බයයි' තත්වෙට ඇවිල්ල අපි ජීවිතේ සමහර දේ නැතිකරගන්න විදිහ ගැන යම් උදාහරණයක් මේ කතාව.

      Delete
  6. අන්ජුලා රාජපක්‍ෂ, නිටා ප්‍රනාන්‍දු, වසන්ති චතුරාණි සහෝදරියෝ විදියට හිටිය ටෙලි නාට්‍යය මොකක්ද?

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!