Sunday, February 19, 2023

ප්‍රේමය සහ කයිකතන්දර

බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාගේ කයිකතන්දර පොතෙන් මෙවර අපි අරගෙන එන්නේ, ස්ත්‍රිය, සහ ප්‍රේමය ඇසුරු කරගත් කයිකතන්දර කීපයක්. 

ගමක පෙම්වතුන් දෙන්නෙක් උන්නා.  කාලෙකදි කොල්ලා වෙන ගමක තරුණියක් කැන්දගෙන ආවා. හදවත බිඳුණු ගෑණු ළමයත් ටික කාලයක් දුකින් ගත කරලා, වෙන ගමකට දීග ගියා.

ටික කාලෙකට පස්සෙ අර තරුණයා දුර ගමනක් ගියා. ඒ යද්දි, අතරමග දි රෑ වුණ නිසා නවාතැන් ගන්න ගෙදරකට ගොඩ වුණා. එතකොට තමයි දැක්කෙ, කලින් යාළු වෙලා හිටිය ගෑණු ළමය දීග ගියපු ගෙදර කියලා.

ඒ ගෙදර පිරිමියා උන්නෙ නෑ. ඉතින් අර ගෑණු ළමයත් වෙනස් කමක් පෙන්නන්නෙ නැතුව, කන්න බොන්නත් දීලා, ඉස්සර ගෙවල්වල තිබුණ නෙව උස් පිල, අන්න ඒ පිල පිටට පැදුරක් එලලා කොට්ටෙකුත් දීලා, ‌ගේ ඇතුළට ගිහිං දොර වහගත්තා.

මේ වැඩේට හිත රිදුණ අර තරුණයා සෑහෙන වෙලාවක් කල්පනා කර කර උන්නා. අන්තිමේ ගේ ඇතුළට ඇහෙන්න මෙන්න මෙහෙම කවියක් කීවා:

ආදි අපි දෙන්න දිය පිට මලක් වගේ
දැන්දි අපි දෙන්න දිවි දුටු මුවන් වගේ
ගොඩ නුපුරුදු - දිය නුපුරුදු සතුන් වගේ
උඹලගෙ සෙනේ හුණු නැති බුලත් විට වගේ

ඒක ඇහුණ ගෑණු ළමයා කීවා:

ආදි අපි දෙන්න දෙන්න ම තමුන්නේ
දැන්දි අපි දෙන්න දෙන්න ම අනුන්නේ
නොදැන නොවෙයි පිළ පිට පැදුර දුන්නේ
යතුර දෙන්ට මේ ගෙයි දොර අනුන්නේ


*    *    *

එක මනුස්සයෙක් බිරිඳක් කැන්දගෙන ආවා. ටික දවසක් යද්දි මේ කාන්තාවට බොහොම අමාරු ලෙඩක් හැදුණා. ටික දවසක් බෙහෙත් කරලා, යකැදුරුකනුත් කරලා, හොඳක් වෙන්නෙ ම නැති තැන, බිරිඳගෙ සරීරයත් වැහැරිලා ගිය තැන, අර මනුස්සයා, තමන්‌ගෙ බිරිඳ ආපහු ගෙදර ගිහින් ඇරලුවා.

තමංගෙ ගෙදර, අම්ම තාත්තගෙ සාත්තුවටයි, වෙද හෙද කමටයි ටික කාලෙකින් ම අර කාන්තාව සනීප වෙලා, හිටියා වගේ ම ලස්සන උනා. ඊට පස්සෙ වෙන දීගෙක ගියා.

දවසක් ඒ කාන්තාව තමුංගෙ අලුත් සැමියත් එක්ක නෑ ගමනක් යන ගමං, වෙලක් මැදින් ගියා. ඒ කුඹුරේ සී සාමින් හිටියා, ඇගේ පරණ සැමියා. එයා මේ කාන්තාව දැකලා මෙහෙම කිව්වා:


උදක් උදාරම් ගන රන් ලිය ගෙ හැටී
කදක් අරන් මේ වෙල දිගෙ යනෙන හැටී
ඇදක් නැතුව ඇගෙ වරලස කෙළින් සිටී
එදත් මෙහෙම වුණි නම් එක් වෙන්ට සිටී

ඒක ඇහුණු කාන්තාව කීවා:

පුන් සඳ ගැබ තුලේ රිවි නැද්ද එළි වෙලා
බිම් තැනි තලාවේ දිය නැද්ද බොර වෙලා
මන් ඇර වෙන ගෑණු ලොව නැද්ද ලෙඩ වෙලා
පුන් සඳටත් කැළලක් නැද්ද සිදු වෙලා

තමන්ගෙ ආත්මාර්ථකාමී කම නිසා ‌කෙළවීම ගැන තරහෙන් හිටි පිරිමියා ට හිතුණා, තමන් සී සාමින් හිටිය පාරත් වැරදුණාමේ ගැහැණිය දැක්ක නිසා කියලා. එයා තවත් කවියක් කීවා තරහෙන්:

ඕවිට හරහ යන්නේ මඟ පෙනීලා
පෑවිට සෙනේ විය දස අත මුදාලා
කීමට තරහ වුනේ ද මෙ නුඹ පාලා
හීවිට වැරදුනේ හැතිරිය පෙනීලා

ඒකට පිළිතුරු විදිහට කාන්තාව කීවා මෙහෙම:

එදා ඉසලු තලපත තද වැස්සේයා
එදා කළ කතා අවුරුදු ලස්සේයො
නෙතින් එන කඳුළු දඩ මඩ අස්සේයා
ඉතින් හිමි නොඑමි නුඹ පිටිපස්සේයා

*    *    *

තවත් වරක්, මනමාලියක් කැන්දාගෙන එනව තරුණයෙක්. මනමාලිත්, මඟුලට අන්දවපු තැලි පිළි පිටින්. ඒ අතරමඟදි නොගැඹුරු ගඟකින් එගොඩ වෙන්න තිබුණා. 

ඉතින් කට්ටිය ගඟට බැහැලා මඟක් දුර එද්දි, මනමාලි දැක්කා මනමාලයගෙ කකුල් දෙකේ ම වණවෙලා තිබුණු තුවාල. ඒක දැකලා පිළිකුල් හිතුණු ඒ තරුණිය ආපහු හැරිලා යන්න ගියා.

එයා ව නවත්ත ගන්න ගොඩක් මහන්සි වුණු තරුණයා අන්තිමේ ගඟ මැද ඉඳං මෙහෙ ම කිව්වා:

සද්ද මිණි ගිගිරි කොඩි බැඳ ආ එතනා
සිද්ද වුණු දෙයක් නැත ඇවිදින් මෙතනා
බැද්ද තනි මගයි බැසලා නොය එතනා
රෙද්ද මගේ දීලා පලයන් එතනා

ඒක ඇහුණු එතනා, මඟුල් පෝරුව මත මනමාලයා තමන්ට අන්දවපු රෙද්ද ගළවලා මේ කවිය කියමින් ගඟ මැද උන්න මනමාලයා දිහාවට විසි කළා.

සුද්ද දෙමවුපිය දෙන්නා තැනු සන්දා
ඉද්ද අත ගගා වෑයම් කළ සන්දා
බැද්ද කොළ කඩා අඳිතත් නැති සන්දා
රෙද්ද උඹේ ඕනෑ නම් ඕන් ඉඳා

*    *    *

ලෝක යුද්ධ කාලේ, රටේ තැන් තැන්වල වැඩ පොළවල් තිබුණා. ඒවයෙ වැඩ කරන්න පිට පළාත්වලින් තරුණයො ඇවිදින් නතර වෙලා උන්නා.

අරනෝලිස් හෙවත් අරා, එහෙම එක ගමක තිබුණු වැඩ පොළක වැඩ කළා. ඔය වැඩපොළ ගාව තිබුණා කෝපි කඩයක්. ඒ කෝපි කඩේ උන්නා ලස්සන තරුණියක්.

ඔය කියන කඩේට හවස් අතේ ගිහින් බුලත් විටක් හපලා, කෝපි එකක් බොන්න වැඩපොළේ තරුණයො පුරුදු වෙලා උන්නා. අර තරුණියගෙ හිත ගියේ ඔය කොල්ලො අතරින් අරා ට.

ඒත් ඉතින් ගෑණු ළමයි තමන්ගෙ කැමැත්ත කෙලින් ප්‍රකාශ කරන්නෙ නෑනෙ. ඉතින් අරාට ඒක තේරුණේ නෑ. මිනිහා ටික කාලෙකින් ඔය වැඩපොළෙන් අස්වෙලා ගමට ගියා.

ඉතින් අර ගෑණු ළමයට හරි ම දුකයි. ඒත් අරා හොයාගෙන යන්න පුළුවනෑ. ටික කාලයක් දුකෙන් ගත කරලා, දුක දරාගන්න ම බැරි තැන එයා කවියක් ලියලා, අරා ට ලියුමක් යැවුවා. මේ තියෙන්නෙ ඒ කවිය:

බුලත් විටක් කන්න පහුගිය දවස්වල ඉඳ හිටලා මෙහෙ ආව ගිය අරෝ
මට නම් උඹ නොදැක ඉන්ට බැරෝ
නිවාඩුවක් නැත්නම් නිවාඩුවක් අරගෙනවත් මෙහෙ ඇවිත් යන්ට වරෝ
නැත්නම් මා මැරෝ

ඒ ලියුමෙ පාතින් ලියලා තිබුණා, පද දෙකක් කොට උනේ, අනික් පද දෙක දිග වුණ නිසා ය කියලා.

*    *    *

රංචාගොඩ පුංචි මහත්තයා ඉහළ යැයි සම්මත කුළයක තරුණයෙක්. එයා රදා පවුලක තරුණියකට ආදරය කළා.  එයාගෙ වැඩිහිටියෝ මොන විදිහට උත්සාහ කළත් මේ සම්බන්ධය කඩා දමන්න බැරි උනා. අන්තිමේ වැඩිහිටියො ටික එකතු වෙලා, බලි යාගයක් කරන්න ලෑස්ති කළා.

බලිය පටන් ගන්න ලෑස්ති වෙලා ආතුරයා හොයන කොට, එයා අර පෙම්වතියගෙ ගෙදර බව දැනගන්න ලැබුණා. ඉතින් පණිවිඩ කාරයෙක් යැව්වා එයාව එක්කරගෙන එන්න. 

රංචාගොඩ පුංචි මහත්තයා කවියක් ලියලා අර පණිවිඩ කාරයා අතේ මහගෙදරට එව්වා.

නුසුපුදිලී ළතඹුරුවන් පැහැය දිලී
පැ කොඳදලී ඇගෙ ගහනත දෙමට මලී
ලු කළහෙළී අඳුරටවන් සඳසෙ දිලී
මෙ සළු කෙලී ඇරලා මට කුමන බලී

මේ කවිය කියවලා බලපු එයාගෙ වැඩිහිටියො, අහල එව්වා, "අම්මප උඹට කිළුටු නැද්ද ඔය රදා ගෙදර ලගින එක?" කියලා. ඒකටත් පුංචි මහත්තයා තව කවියක් ලියල එව්වා...

උවනත් සපිරි සඳ වරලස හේම කුළ
කොඳ දත් කැකුළු තුඟු පියයුරු හේම කළ
ලොබ සිත් වඩන දුටු සළු ලිය නාඳු ගළ‍
සිඹිතත් කිළුටු නැත සුසිලිටු නබී මුළ


48 comments:

  1. කවි පද බඳීන්ට ඇහැක් කෙල්ලෙක්නම් මේ කපේදි එපා ඕන්... 😂

    ReplyDelete
    Replies
    1. බොට කයි පහ පහ බැඳ ගන්නට
      කෙල්ලෙක් සෙට් වේවා!

      Delete
  2. බස්තුමාගෙ අඹතලේ කතා මතක්වුනා

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නවා 🤣

      වෙල මැද්දේ ගුරු පාරේ දුටු කලට
      හාගන්නට කුඹුරක් දුන්නා යලට
      ඇයි උලමෝ, මොනවාවත් අඩුද මට?
      ලිස්සල ගියේ ඇයි, නගුලක් නැත්ද බොට?

      Delete
    2. නාන ළිඳ ළඟදි පෙන්නුව ඇසිල්ලට
      උණුවී වැටුණි බඹසර සුළු ඇඟිල්ලට
      ලිස්සා යන්ට බැරි මතකය මකන්නට
      බස්සා පලා ගියෙ හිමකරෙ තපින්නට

      Delete
    3. "වින්ටර් වන්ඩලන්ඩ්" යැයි සමහරු කියතී
      ලිස්සති, වැටෙති තව කෙලි සෙල්ලං කරතී
      කොට්ටා පොර ලිස්සන ගස් මෙහි නොමැතී
      හිම කුණාට එනකොට අපි ගිනි තපිතී

      Delete
    4. බකුසා ඇනෝ ඇවිදිල්ල ද අනෙ මන්දා
      රකුසා වගේ උතුරට සීතල හන්දා
      වනසා සිසිර සෘතුව දියකර උන්දා
      බඩසා ගිනි නිවමුව වසන්තය කැන්දා

      Delete
    5. ලොග් වෙන්න කම්මැලියි බාං! ඔන්න ඔහේ ඇදලා ඇරියා 😂😉🤣

      Delete
    6. අනේ බකුසො... ‌ඔන්ලයින් ගෙන්නගත්ත අටං පහුරක් ගැන හරි ලියකො අපට කමෙන්ට් කරන්ඩ.

      Delete
    7. ලිව්වා.
      https://frozenlazyowl.blogspot.com
      මගෙ බ්ලොග් එකේ අවුලක් නිසා, අමතර ප්‍රොපයිල් එකෙන් ලිව්වෙ. බොගෙ බ්ලොග්‍ රෝලෙ අප්ඩේට් නොවෙන්නෙ, ඒක නිසා වෙන්ටෑ?

      Delete
    8. මම ඒත් බැලුවා " WTF?" කියන්න හරි උදැහැනැක්කෙම එන එකා නැත්තෙ ඇයි කියලත්. ඒත් පස්සෙ හිතුනා, චන්ද වැඩ නිසා බිසී ඇති කියලා.

      Delete
    9. හැබෑට, වට් ද එෆ් ඒ ලියල තියෙන්නෙ? කියවන්ඩ ගත්තා. කියවල ම කමෙන්ට් කරන්නං.

      බයි ද වේ, දිගට ම ලියන එක නං පංකාදුයි.

      Delete
  3. Replies
    1. ඕක මහ අමාරු දෙයක්යැ? අකුරු දෙකයි කියන්ට තියෙන්නෙ.

      වග!

      ඕං කිව්වා.

      Delete
  4. Replies
    1. ගොඩාක් ස්තූතියි. පොතෙන් බලාගෙන ලියන්ඩත් සති එක හමාරක් ගියා.

      Delete
  5. චීස් පරණ වෙන තරමට රහ වැඩිලු
    මී පැණි පරණ වෙන තරමට ගුණ වැඩිලු
    මෙහෙව් කතාවල රහ ගුණ 'අමර'යිලු
    ඩ්‍රැකී බිසී නිසා මේවා ලියනවලු!

    ReplyDelete
    Replies
    1. වයින් උනත් පරණවෙන තරමට හොඳයි කියල තමයි කියන්නෙ.
      ඩ්‍රැකිය මේ දවස්වල අල නිවාසේ ඉන්නෙ හොඳට වයින් වෙලාලු.

      Delete
    2. බිසී කමේ වග ඔහේට කියනව නං
      මොකොවත් කොරගන්ට නෑ ඉස්පාසුව නං
      ඊටත් වඩා ගෙට්ටුවකැයි කියා නැටුං
      නටනා පරණ අය දැක්කම තූ නොදකිං

      Delete
  6. මේ කවි පැණ හා කවි පිළිතුරු කියන එක දැන් නිකම් අරුමයක් උනාට අපේ ගම්වල හැත්තෑව අග, අසූව වගේ කාලේ වෙනකම් සජීවීව මෙහෙම කවි සංවාද තිබුණා කියල අහලා තියෙනව. අපේ කාලේ වෙනකොට ඒවා හිටිවන කවි මඩු ගානට දියුණු (හෝ ඊට ප්‍රතිවිරුද්ධ) වෙලා තිබුණේ. ඉස්සර අපේ ආච්චිලා උයල පිහලා ගෙදර වැඩ ඉවර කරලා ළමයින්ට කන්ඩ බොන්ඩ දීලා හවස හත වගේ කලුවර වැටෙන වෙලාවට බුලත් හෙප්පුවත් අරන් පිළේ වාඩි වෙනවලු. ගමේ හැමෝම වගේ තම තමන්ගේ පිළිවල. කොටසක් කවි කියන්ට කොටසක් අහන්න. පහුවෙනිදට ගඟේදි, වෙලේදි මේවයේ ගුණාගුන ඕපදූප ටික කන්ටිනියු වෙනවාලු. දැන් ෆේස්බුක් වට්සැප් වගේම වෙන්න ඇති. එකම දේ වපසරිය ගමට සීමා වෙලා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඇත්ත. මට මැවිල පේනව ඔය කියන හරිය.

      ඔය වගේම තමයි පැල්කවි කීමත්. පද හතර ට සීමා නොවෙන කවි නෙ සවුදං විදිහට රැප් කරල කියන්නෙත්.

      වැඩේ තියෙන්නෙ, මුනස්සයා ශිෂ්ඨාචාරයෙන් දියුණු වෙන්න වෙන්න, ඔය වගේ රසවින්දනයට තියෙන ඉස්පාසුව අඩු වෙනව. අපේ අාච්චිලා, අපේ තාත්තලා ට හීල් හෙවනෙ වාඩිවෙලා අලස කල්පනාවක ගැලිලා ඉන්ඩ, පොතක් පතක් කියවන්ඩ, බංකුවට තට්ටු කර කර සිංදුවක් මුමුණන්ඩ තිබුණු විවේක කාලය අපට නෑනෙව.

      Delete
    2. අම්මප බං.. මොන ජීවිතයක්ද මේ කියල හිතෙනව වෙලාවකට.. ඒ කියල ආපස්සට යන්නයැ! 😢😭

      Delete
    3. ඒක ලෝක ස්වභාවය කමියා. පොඩ්ඩක් හිතන්ඩ, දඩයක්කාර යුගයේ ඉඳලා, කෘෂිකාර්මික යුගයට එද්දි මානවයන්ට ඔය දේ ම තමයි උනේ. වැඩ වැඩි වුණා. අපිත් එහෙමයි. අප පරිභෝජනය කරන දේ වැඩි වෙන තරමට, කාර්යබහුලබව වැඩි වෙනව. අපේ ළමයින්ටත් එහෙමයි. අප ඉස්කෝලෙ යන කාලෙ කරපු නැති ක්‍රියාකාරකම් කොච්චරක් නං මේ ළමයි කරනව ද දැන්?

      Delete
  7. ඔහේ මොනවටද ප්‍රේමය ට කතන්දර හදන්න ගියේ.

    අනික දෙකක් දිග වෙලා දෙකක් කොට උනේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මං හදන කතන්දර බොට මොකට ද? පතෑංංං!

      මාත් කල්පනා කළේ, එකක් දික් වෙලා දෙකක් රවුං වෙනව මිසක්, ඔය කියන හරුපෙ කොහොම ද උනේ කියල.

      Delete
  8. නිල් දිගු වරල් කුසුමන් බැඳ ගොතාලා
    පුල් රතු උපුල් මල් සවනට සදාලා
    ඇල් ගෙවි කල් කියන ලිය ගී අසාලා
    ලොල් හැර ගියේ
    කුමරිඳු මන පිනාලා
    -දුනුවිල නිලමේ

    ReplyDelete
    Replies
    1. දුනුවිල නිළමේ නෙවෙද, අර බහිරව කන්දෙ බිලිදුන්න කුමාරිහාමිව බේර ගත්තෙ?

      ඔය වගෙ රදළ තරුණයො ගැමි තරුණියන්ට කියාපු කවිත් තිබුණා අර පොතේ... හිටින්ඩ දුවල ගිහිං එකක් අරගෙන එන්ඩ...

      ආාා මේ තියෙන්නෙ.

      නිලඹේ ගමට සරිලන විලසින් සුරඹේ
      තුටුඹේ රැක සිටින රූ සිරියෙන් සුලඹේ
      නිතඹේ පොපි දෙවන සලෙලුන් වඩන ලොබේ
      නිතඹේ එය වෙයි ද නොම ලැබ පහස නුඹේ

      මේක ඇහුණු තරුණිය කියපු කවිය,

      නිස්ස ලෙස නුඹට මහ වාසල අස්ස
      තොස්ස ඇත මෙ මට මගෙ කුටුඹය කිස්ස
      විස්ස නො පිරි තරුණියකගෙ මෙවිලස්ස
      දස්ස කමක් වද බැලුවේ පිටිපස්ස

      Delete
    2. ඔව්නේ , මේ කවි දෙකත් මරු

      Delete
    3. හ්ම්ම්... පේන විදිහට කයිකතන්දර ලිපි මාලාව ලේසියෙන් ඉවර වෙන එකක් නෑ.

      Delete
    4. අඩේ ඩ්‍රැකියො ඒ කවි දෙක නං මසුරං බොලේ! යාන්තං සුරුංගාරය තියෙන කොට තමා ගතිය. නිකං මොටද බොරු කියන්නෙ , අතීත සදාචාරය ගැන කියනවා නං, ඒ කාලෙ හිටි රදළයො වල් බාවලා. ඒත් හොඳට කවි කියල තියනවා.

      Delete
    5. වල් කමට තමා ලස්සන ම කවි කියවෙන්නෙ...

      Delete
    6. කෙල්ලගෙ රිප්ලයි එක පට්ට :)))

      Delete
    7. හ්ම්ම්... කෙල්ලො කොහොමත් පිරිමි ලොකු කං මායීං කරන් නෑනෙ. උන් දන්නව තුරුම්පු තියෙන්නෙ උං ගාව කියල.

      Delete
  9. කන්න හිතුනොත් තලගොයි, මසුත් අර හොඳයිලු
    බොන්න හිතුනොත් ඕඩි කොලොනුත් සැපයිලු
    කවි ලියන්න ද්‍රකියා නම් හොරයි ලු
    උස්සන් ගෙනත් පත බෑ හැටි අගේලූ 😉

    ReplyDelete
    Replies
    1. උස්සන් ගෙනත් පත බෑවේ කවුද අනේ
      බොන්නත් වතුර විතරයි දැන් තියෙන්නේ
      කන්නත් පිදුරු පුන්නක්කුයි ඉතුරු වුණේ
      කන්නත් ලණුය හැම පැත්තෙම පෙනෙන්නේ

      Delete
    2. උස්සන් ගෙනත් පත බෑවේ ද්‍රකියානේ
      කන්නන් වාලේ ලණු කෑවේද්‍රකියානේ
      පුන්නකු කා බුදියෑවේ ද්‍රකියානේ
      චන්දේ දීලා වහ කෑවේ මුළු රටනේ

      Delete
    3. ලණු කෑමත් හොඳයි රට තොට අවබෝධයට
      පත බෑමත් හොඳයි කොන්දේ රුදාවට
      පුන්නක්කුත් හොඳයි බහුතර ජහ මනයාට
      වහ කෑමත් හොඳයි මේ රට යන අතට

      Delete
  10. හිතවත් අභීත,ඕනෙයා ඇතුළු පිරිස වෙත.

    ඔබ සමූහය විසින් පවත්වන්නට යෙදුනු බ්ලොග් හමුව සඳහා අවශ්‍ය ප්‍රචාරණය ලබාදීමට අපගේ සින්ඩිය මැදිහත් වන්නේ මහත්වූ සතුටකින් සහ අපේක්ෂාවකින්ය.

    එහෙත් මේ වන විට කණ්ඩායම් දෙකක් විසින් සුහද හමු දෙකක් පවත්වන්නට උත්සාහ කරණ අයුරක් අපට පෙනී යයි. එය එක්තරා අයුරකින් සාධණීය තත්වයකි.

    කරුණාකර මෙම බ්ලොග් හමු පැවැත්වෙන දිනයන් හා ස්ථානයක් පිළිබඳව අපව දැණුවත් කරණ්නේ නම් එය අපට බ්ලොග් 1250ක් අතර බෙදා හැරිය හැක.

    ඒ පිළිබඳව කිසියම් එකඟතාවයක් ඇතිවූ විගස අපව දැනුවත් කරණ්න.

    මෙම උත්සව සඳහා අප මැදිහත්වන්නේ හුදෙක් ප්‍රචාරණයෙන් පමනි. එබැවින් එම උත්සව පැවැත්වෙන දිනයන් හෝ ආකාරය පිළිබඳව අප කණ්ඩායම වගකීමෙන් ඉවත්ව කටයුතු කරණ බවද සැලකිල්ලට ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

    බ්ලොග් හමු ද්විත්වයටම ජය වේවා!
    කරුණාකර මෙය අදාල පාර්ශව වෙත යොමුකරණ්න!

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් ඒක අදාළ වට්සැප් ගෲප් එකට දැම්මා. මොකද කියනවනං, අභීත ඔ්නෙයා ආදී උදවිය දැන් බ්ලොග් පැත්ත පළාතෙ එන් නෑ.

      Delete
  11. ලස්සන කථා සහ කවි එකතුවක් . මේවගේ කථා තව ලියන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි. වෙනදා වගේ ම ඔබේ අගය කිරීම මට මහත් දිරියක්.

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!