Saturday, October 28, 2023

වේතාල කථා - 1 තරඞ්ගය (ශනිදා දහයට!)


1

සියලු සැපතට නිවෙස් වූ දඹදිව්තෙලෙහි ගෝදාවරී නම් ගඟක් වෙයි. සිහිල්දියකඳින් පිරිපුන් කවයි පාඨිනාදී (කාවයි, පෙටි ආදී) මත්ස්‍යසමූහයාට කෙළිමඬලක් වූ, හංසසාරසාදී (හංස සේරු ආදී)  ජලචර පක්ෂීන්ට ‌ක්ෂේමභූමියක් වූ, නොයෙක් සියගණන් නෞකාවන්ගේ යෑම්ඊමෙන් අවකාශරහිත වූ, නිතර දිය කෙළනා තරුණමිනිසුන් විසින් නංවනලද රළපෙළින් හා දුටුදුටුවන් කැලුම්යොතින් බැඳ තමන් වෙත අදින මිණිරුවනින් ගැවසුනු වැලිතලාවන්ගෙන් ද සිත්කලු ඒ ගඟ ඉවුරෙහි ප්‍රතිෂ්ඨාන නම් ජනපදයක් වෙයි.

ඒ ජනපදයෙහි වික්‍රමයෙන් ශක්‍රයා පැරදවූ වික්‍රමසෙන නම් නරපතියෙක් වී ය. හෙතෙම ඉතා ගුණවත් ය. ධනවත් ය. රටවැසියන්ට පියෙකු වැන්න. රාජනීති නො ඉක්මවා රට රැකියේ රටවැසියාගේ අභිවෘද්ධියට හෙතු වන සියල්ල ම නො පිරිහෙලා කෙළේ ය. මල නො තළා රොන් ගන්නා බමරා මෙන් රටවැසියන් නො පෙළා අයබදු ගත්තේ ය. එතුමා පියෙකු මෙන් සැලකූ රටවැස්සෝ ද රටෙහි දියුණුව හා ආරක්ෂාවත් සඳහා වියදම් කිරීමට අයබදු, කිසි කෙඳිරීමක් නැති ව, නො මසුරුව ම, ගෙවූහ. මෙසේ දෙ පක්ෂයෙහි සමගියෙන් ඒ රට නොයෙක් අතින් දියුණු වී ය. තමන් රැකුමෙන් තුටු වූ මිහිකත තුමානන්ට ආකරයෙන් රුවන් ද, වනයෙන් ඇතුන් ද, වෙලින් අස්වැන්න ද සතතයෙන් දුන්නා ය.

ඒ රජතුමන් දැහැමින් රාජ්‍යය කරණ කල්හි එතුමාගේ ත්‍යාගගුණය හා වීරභාවයත් අසා ප්‍රසන්ன වූ එක්තරා තවුසෙක් දින පතා එතුමා වෙත පැමිණ විසිතුරු ලෙස මැටියෙන් කළ දඹගෙඩිය බැගින් දී යන්නේ ය. රජතෙමේ දඹ ‌පිළිගෙන භාණ්ඩාගාරිකයාට දෙයි. භාණ්ඩාගාරාධ්‍යක්ෂ තෙමේ ද ඒ දඹ ගෙන ගොස් කෙළිබඩු රැස් කරණ ගබඩාවෙහි තබයි. මෙසේ දොළොස් වසක් ගත වි ය. රජතෙමේ එක් දිනෙක්හි වත් 'කවර හෙයින් මේ මැටිමුවා දඹ පිළිගන්වන්නෙහි දැ?' යි තවුසා නො විචාළේ ය.

තෙළෙස්වනවසෙහි එක්දවසෙක්හි රජතෙමේ තවුසා විසින් පරිත්‍යාග කළ මෘන්මය ඵලය, හදිසියෙන් එහි පැමිණි, කෙළිවඳුරෙකුට දුන්නේ ය. වඳුරා 'සැබෑ ගෙඩියකැ'යි සිතා එය මුව තුළ බහා සැපී ය. එකෙණෙහි තවුසාගේ නොහොත් රජහුගේ භාග්‍යයෙන් දෝ කැලුම්කඳු විහිදුවමින් බබලන මහඟුමිණිරුවනක් එයින් බිම වැටුනේ ය.

රජතෙමේ මැණික ගත්තේ ය. භාණ්ඩාගාරිකයා ගෙන්වා 'පෙර දුන් ඵල කොහි දැ?'යි විචාළේ ය. භාණ්ඩාගාරික තෙමේ සියලු ඵලයන් රජු ඉදිරියට ගෙණායේ ය. රජ ඵලයන් පැළවී ය. එක් එක් ඵලයෙක්හි මිණි රුවනක් වි ය. රජතෙමේ රුවන්රැස බලා පුදුමයට හා ප්‍රීතියටත් පැමිණියේ දෙවෙනිදින තවුසා පැමිණෙන තෙක් නො ඉවසිල්ලෙන් බලා උන්නේ ය.

එදින ද පෙර මෙන් තවුස්තෙම මැටිමුවා ඵලයක් ගෙණ රජු වෙත එළඹියේ ය. රජ ඵල පිළිගැන්වීමෙහි යුහුසුලු වූ තවුසා නැවැත්වී ය. දින පතා ඵලයන් දීමෙහි අදහස විචාළේ ය:- "වහන්ස, ඔබට මෙතරම් මිණිරුවන් කොයින් ද? කවරහෙයින් ඒ අගනාරුවන් මැටියෙන් වසා දැමූසේක් ද? මෙතරම් අගනා මිණිරුවන් කුමක් නිසා දින පතා මට දුන් සේක් ද? මගෙන් කුමක් කැමති වන සේක් ද? දැන් මම ඔබගෙන් නය ගැතියෙක් වෙමි. නයින් නිදහස් නො වී ඇසිල්ලකුදු සිටීම මට රුචි නො වේ. එහෙයින් වහා කියන්න: ඔබට මම කුමක් දෙම් ද? කුමක් කරම් ද? ඔබගේ බලාපොරොත්තුව පවසන තෙක් අද මම ඔබගේ මේ ඵලය නො ගන්නෙමි."

තවුසා අභිප්‍රෙතාර්ථය රහසින් රජුට දැන්වී ය: "මහා වීර රජතුමනි, මම මන්ත්‍රශාස්ත්‍රයෙහි කෙළවරට පැමිණියෙක් මි. මේ පොළොවෙහි සැඟවී තිබෙන නිධාන මම දනිමි. එහෙයින් මට ධනයෙන් අඩුබවක් නැත.ඊට වඩා ශ්‍රෙෂ්ඨස්ථානාන්තරයක් මම බලාපොරොත්තු වන්නෙමි. අතිශ්‍රෙෂ්ඨ වීරවරයකුගේ සහායත්වය ඊට අවශ්‍ය ය. වර්තමාන ලොකයෙහි ඔබ වැනි වීරයෙක් කොතැනක වත් නැත්තේ ය. තුටුපඬුරු නො ගෙණ ම ඔබ මට පිහිට වනබව මම දනිමි. එහෙත් අනුන්ගෙන් නිකම් උපකාර ගැන්ම මා වැනියෙකුට තරම් නො වේ. එහෙයින් දොළොස්වසක් මුළුල්ලෙහි ඔබට මේ මිණිරුවන් පරිත්‍යාග කෙළෙමි. මගේ භාග්‍යය කවදා උදා වන්නේ දැ යි මම නො දනිමි. භාග්‍යය උදා ‌නුවූ කල්හි, කොතරම් වීරයන්ගේ උපකාර ලැබුවත් මවිසින් බලපොරොත්තු වන කාර්යය සිද්ධ නො වේ. මගේ භාග්‍යය විපාක දෙන්නට ආසන්න වූ කල්හි මැටියෙන් වැසූ මිණිරුවන් ඔබට ප්‍රකට වන බව සලකා මම එසේ කෙළෙමි. මැටියෙන් වසා ඔබට දුන් මිණිරුවන් ප්‍රකට වූයේ මගේ භාගයය උදා වූ හෙයින. එහෙයින් අපෙක්ෂිතාර්ථය ආරම්භ කිරීමට දැන් සුදුසු කාලය යි. ඊට ඔබ මට සහාය විය යුතු යි."

2

රජ තවුසාගේ ඉල්ලීම පිළිගත්තේ ය.තමන්ගෙන් කවර උපකාරයක් බලාපොරොත්තු වන්නේ දැයි යි විචාළේ ය. කවරක් වුවත් නො වළහා වහා කරණබවට ගිවිස්සේ ය.

තවුසා රජ්ජුරුවන්ගේ උදාරගුණයෙන් පහන් වූයේ "උතුමානෙනි, එසේ නම් එන අමාවක් පොහෝදින රැයෙහි මෙනුවර මහසොහොනෙහි දකුණුදිග මහනුගගස යට මම සිටිමි. ඔබතුමා තනි ව ම එහි පැමිණිය යුතු යි. ඔබ පැමිණිකල්හි මට අවශ්‍ය උපකාරය කියන්නෙමි" යි කියා රජුගෙන් ගිවිසුම් ගෙණ පිටත් ව ගියේ ය.

නියම කළ දින රැයෙහි වීරක්‍රියා කිරීමෙහි අධික ආශා ඇති රජතෙම නිල්වත් හැඳ කඩුව හා දුනුහී ද ගෙණ හුදකළා ව ම මහසොහොනට ගියේ ය. නුගය සොයමින් ඔබ මොබ ඇවිද්දේ ය. මහනුගගහ දැක එවෙත පැමිණියේ මතුරු දපමින් (මන්ත්‍ර ජප කරමින්) හුන් තවුසා දුටුවේ ය. "තවුසානන් වහන්ස, මේ මම යි. ඔබ වදාළ ලෙස ආයෙමි. කුමක් කරම් ද? කියනු මැනැවැ"යි විචාළේ ය.

"ස්වාගතයි! (යහපත් පැමිණීමකි. (welcome)) රජතුමනි, මෙයින් දකුණු දෙස ඇට්ටේරිය ගසක් ඇත. මළසිරුරක් එහි එල්ලෙයි. ඒ මළසිරුර මෙහි ගෙණ එනු මැනව. මට උවමනා උපකාරය මෙ පමණ"යි යනු තවුසාගේ බස් වි ය.

රජ තවුසා කී ලෙස ගස මුලට ගියේ මලකඳ දැක්කේ එය ගසින් බාන්නට ගසට නැඟෙන්නට වන. සියගණන් බිහිසුණු අවතාරයෝ භයානක ශබ්ද කරමින් රජුගේ ක්‍රියාව වළක්වන්නට උත්සාහ කළහ. ඇතැම් අමනුෂ්‍යයෙක් සිහවෙස් ගෙණ මහත් සේ නාද කරමින් රජුගේ හිස මතට පැන්නේ ය. දෙකොපුල් පළාගෙණ නිකුත් වූ දික් දළ ඇති, ගිනිගුළි වැනි පිටතට නෙරාගිය ඇස්ගුළිවලින් රෞද්‍ර වූ මුඛයෙන් දුටුවන් උමතු කරවන තරම් විකෘත වූ, ඒ අමාවක්දිනෙහි මහරැයට ද වඩා කලු වූ ලොමින් වැසී ගිය මහකලුගතින් හා ගතට නො සරි ලන නොදික් අත් පයින් ද යුත් රකුසෝ වහසිබස් බෙණෙමින් රජු හා පොරට ආහ. ඇතැම් අමනුෂ්‍යකෙනෙක් ගිනි ගෙණ දිලියෙන අවි ලෙලවමින්, සර්‍පයන් වැනි දික් දිව් බැහැර කර සොලවමින් කුලු වැනි මහකන්පෙති දෙපිට ගසමින්, මහ කලුனයින් වැනි හිසකෙහෙයෙන් මුව වසමින්, කුළුගෙවල් වැනි හිස් වනමින් "තාගේ හදවත ඇද කම්හ. තා ගිල දමම්හ. පරසක්වළ ගසම්හ. තා ගත අපගේ කඩුවෙන් පෙති ගසම්හ. තා අපගේ හියොවුර කරම්හ. සිටුව. නො පලව" යනාදී තර්ජනවචන කියමින් රජු‌ වෙත ලං වූහ. මෙසේ නො සිතිය හැකි නො කිය හැකි තරම් වියරු වෙස් ගෙණ වියරුබස් කියකියා සියගණන් භූතයෝ රජු බිය ගන්වන්නට උත්සාහ කළහ.

රජුගේ සිත ඔවුන්ට බිය වීමට තරම් දුර්‍වල නො වී ය. රජ බිය වන සුල්ලෙක් වූයේ නම්, මන්ත්‍රවිද්‍යාවෙහි පරතෙරට පත් ඒ තවුසා දොළොස් අවුරුද්දක් ධනය දේ ද? බිය යනු කුමක් දැ යි රජ නො දත්තේ ය. බිය නැතියන්ට යකුන් රකුසන් ගෙන් උවදුරක් නොවනබව තවුසා මෙන් ම රජ ද දත්තේ ය. රජතෙමේ සියලු රකුසන් තණ පතක් පමණකුදු නො සැලකුවේ ය. සිය අසිපත වනමින් අමනුෂ්‍යයන් පැලවී ය. කලින් ම තවුසා උගන්වනලද ආරක්ෂා මන්ත්‍ර ජප කරමින් ගසට නැංගේ මළසිරුර බැඳි රැහැන කැපී ය.

මළසිරුර බිම වැටින. ඒ මළසිරුරක අයුරු නො පෙන්වීය. බිම වැටුනු කෙණෙහි ම දිවි ඇතියෙකු මෙන් කෑ ගාන්නට වන. රජ වහා ගසින් බැස්සේ ය. තමන් වෙත දිව ආ අමනුෂ්‍යයන් පලවා හැරියේ ය. කෑ ගානා මළකඳ වෙත ගොස් එය එක් අතකින් පිරිමදිමින් අනික් අතින් උතුරුසළුව ගෙණ පවන් සලමින් ගසින් වැටීමෙන් වූ වේදනාව පහ කරන්නට මෘදුවචනයන්ගෙන් කථාව පටන් ගත.

එකෙණෙහි ම මළසිරුර කොක්හඬ ලා සිනා සී අහසට පැන පෙර මෙන් ගසෙහි එල්ලෙන්නට වන. වීර වූ රජ ද පෙර මෙන් අමනුෂ්‍යයන් පලවමින් ගසට නැග රැහැන කපා එය බිම දැමී ය. මළසිරුර "මා මරණවෝ!" යි බෙරිහන් දෙමින් පොළොවෙහි වැටුනේ ය. රජ ද රැහැන අල්ලා ගෙණ ගසින් පැන සිරුර එසෙව්වේ ය. එවිට එය නැවත ද සිනාසෙන්නට පටන් ගත.

රජතෙමේ ඒ මළසිරුර වෙතාලයෙකු (මිනීකුණුවලට අරක් ගෙණ සිටිතැයි කියන භූතයා) විසින් අධිගෘහිත ය යි සලකා "කුමට සිනා සෙහි ද? මගෙන් තට අද මිදීමෙක් නැත. මා සමග එව"යි කියා එය කර තබා ගෙණ තූෂ්ණීම්භූත ව වහවහා තවුසා වෙත එන්නට වන.

2 තරඞ්ගය...

*    *    *

අපේ සහෘද බ්ලොග් රචිකාවියක් වන නිලක්ෂි බණ්ඩාර වරක්, වේතාල කතා ගැන ලියා තිබුණා. ඒක කියවද්දි මතක් වුණේ, මම පොඩි කාලේ නිතර කියවන්න පුරුදු වෙලා හිටපු පොතක් තිබුණා, වැලිවිටියේ සෝරත හිමියන්ගේ "කථාතරංගිණිය" නමින්. පසුකාලීනව තමයි දැනගන්න ලැබුණේ, ඒක කථාසරිත්සාගරය කියන මහා ග්‍රන්ථයේ කොටසක් කියන වග. 

කථාසරිත්සාගරය ලියූ හැටිත් තවත් අපූරු කතාවක්. මෙන්න මෙතන තියෙනවා ඒ කතාව. ඉතින් අදින් පටන් ගෙන, සතියකට වරක් කථාතරංගිණියේ කොටස් සියල්ල මේ බ්ලොග් එකේ පළ කරන්න හිතා ගත්තා. මීළඟ කොටස මීළඟ සතියේ බලාපොරොත්තු වන්න.

මේක වැලිවිටියේ සොර්ත හාමුදුරුවන්ගේ පරණ සිංහල භාෂාවෙන් තියෙන්නේ. පොතේ තියෙන පද බෙදීම, විරාම  සහ න ණ ල ළ භේදය ඒ විදිහට ම මෙතනත් ටයිප් කරලා තියෙන්නෙ. ඒ වගේ ම අමාරු වචන හැටියට මට හිතුණු වචනවලට, පොතේ පාද සටහන්වල යොදලා තිබුණු තේරුම් මම ඒ ඒ තැන්වල වරහන් ඇතුළෙ යොදලා තියෙනවා.

ගැළපෙන පින්තූරයක් හොයද්දි දැක්කෙ, මේ කතා ටික ටීවී සීරීස් එකක් විදිහට 1985 ප්‍රතිනිර්මාණය කර තිබෙන බව. 

41 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආතර්ටත් ස්වාගතයි

      Delete
    2. ආතරය හයිකෝට් ගෙන්නගන්න තමයි ඔය හදන්නෙ.

      Delete
  2. කවුරුහරි තෑන්ක් යූ කිව්වාම යූ ආර් ස්වාගතයි කිව්වෑකිද?

    ReplyDelete
    Replies
    1. "යුෂ්මතා ස්වාගතයි" කියමු...

      Delete
  3. එච්චරද කෝ ඉතිරි ටික..
    රජ්ජුරුවො තවුස ගාවට ගියාම මොකද වුණේ..
    ඊළඟ හෙනහුරාද වෙනකං ඉන්නෝනද ඒ්කට

    ReplyDelete
    Replies
    1. ඉතිරි ටික දෙඤ්ඤං වෙලාව ආවම... පෂ්ට මිස්ටරි කතාවක් තියෙන්නෙ ඊ ළඟට.

      Delete
  4. ම්ම්.... අපූරුයි වේතාල කතාව. ස්තූතිය ඩ්‍රැකී.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්ස්තූතියි දුමී. හොඳ කොටස් තව ඉදිරියට...

      Delete
  5. නිවාඩු පාඩුවෙ කියවන්නම්!

    ReplyDelete
    Replies
    1. නිවාඩුවේ කියවන්න හිටියොත් පාඩුවේ!

      Delete
  6. Harima apooruyi!Ithiri kotasath ikmanata danna.

    ReplyDelete
  7. අඩේ මේක ඇරබියන් නයිට්ස් මාදිලියෙ පට්ට කතාවක් නෙව?
    වවුලානං ස්වාගතඃ!

    ReplyDelete
    Replies
    1. මේක පට්ට නේන්නං. කුඩු ගැහුව වගේ කියෙව්වෙ ඒ කාලෙ. මේක පොත් කබඩ් එකේ හොයල හොයල, මල්ලිට කියල සමයවර්ධන, ගුණසේන ආදී තැන්වලත් හෙව්ව. අන්තිමේ කබඩ් එකේ මුල ම හරියෙ තිබිල හම්බුණා.

      Delete
  8. හරිම Praසන්னයි අර මැටි මුවා.

    ReplyDelete
  9. අර පිස්සු රජා මිනියකටවත් පාඩුවෙ ඉන්න දීල නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔ්කට කියන්නෙ ප්‍රසෝ "ශවකාමය"

      Delete
  10. තවුසා බර්මියුඩාවෙද

    ReplyDelete
    Replies
    1. වෙන්ඩත් පුළුවං. ඇයි, ඒ පැත්තෙ යන්ඩවත් ද?

      Delete
  11. බාගයක් කියවල මොලේ කොලොප්පං වෙලා නවත්තල ආයෙ කියවල ඉවර කලේ මේ දැන්.🤗

    ReplyDelete
    Replies
    1. කෙලමලියයි... ඒ මොකද, භාෂාව අවුල් ද?

      Delete
    2. නෑ අනේ බොහොම සංයමයෙන් ලියපු භාෂාව ක් නොවැ.පුරුදු නෑනේ එව්ව.😀

      Delete
    3. ඒකනෙ... පරණ සිංහල.

      Delete
  12. මට පොඩ්ඩක් අවුල්. මේක ඔයා ලියපු කතාවක්ද නැත්නම් අර හාමුදුරුවන්ගේ කතා සරිත් සාගරයෙන් ගත් එකක්ද? ආ දෙවෙනි ලින්ක් එක යන්නත් පලවෙනි එකට

    ReplyDelete
    Replies
    1. කතාසරිත්සාගර කියන සංස්කෘත ග්‍රන්ථයේ කොටසක් සෝරත හාමුදුරුවන් සිංහලට පරිවර්තනය කළා කථාතරංගිණිය නමින්. ඒ පොතේ පළවෙනි පරිච්ඡේදය තමයි මේ.

      අර ලිංක් එක දාද්දි මං පිස්සුවක් කෙලලා කියල පේනව. ඒක පෙන්නුවට ස්තූතියි

      Delete
  13. ඉස්සර ඔය කියන්නේ සුද්දා බෝම්බ දාන්නත් කලින් අපි ඉස්කෝලේ යනකොට (ඔව් බං අපි ගියා තමයි!) පොත්සාප්පු වලයි අපේ ඉස්කෝල වලටයි ගෙන්ල්ලයි විකුණුවා පොතක්; පොතක් කිව්වාට පොඩි සඟරාවක් වගේ එකක් "හඳ මාමා" හරි "අම්බිලි මාමා" කියලා හරි!
    ආන්න ඒකෙන් තමයි මම නං ඔය "වේතාල" කියන නම මුලින්ම දැක්කේ!
    ජය වේවා. මම ඉන්නේ අගනුවරින් ඈත Teepee යේ! ඒකයි ප්‍රථිචාර පරක්කු උනේ!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ජය වේවා!
      වේතාලය කියල කියනව හිමිදිරි පාන්දරටත් නේ? මේ කතා සෙට් එක මරු ඈ. තව ඉදිරියට බලන්ඩකො. පෙරදිග සාහිත්‍යයේ තිබුණු රහස් පරීක්ෂක මාදිලියේ කතා.

      Delete
    2. නෑ නෑ මේ කථාවම තමයි ඒ සඟරාවල තිබුනේ. ඔය වීර ව්ක්‍රමාන්විත වික්කරේ ඒකේ හිටියා මට මතකයි!

      Delete
    3. අම්බිලි මාමා නේද සඟරාවේ නම? ඉන්දියන් සඟරාවක්- සිංහල මුද්‍රණයකුත් ආවා.

      ළඟදී ගොඩගේ එකෙන් 'වේතාල කතා' නමින් පොතක් පිටවෙලා තිබුනා. අනුවාදය ර.මු.කි. මුදියන්සේ මහතායි!

      Delete
    4. වික්‍රමසෙන රජුගෙ සීන් එක හින්දු සාහිත්‍යයෙ මාර ජනප්‍රියයි කියල පේනව, vikram betal කියල යූටියුබ් එකේ ගැහුවම. ඇරත් ඒ කතා ටික මාර රසවත්. ඒ නිසා වෙන්ඩැති සඟරාවටත් ගත්තෙ.

      නිදි,
      ගොඩගේ පොත ගැන තමයි නිලක්ෂි බණ්ඩාරත් ලියල තිබුණෙ.

      Delete
  14. 'රජ තවුසා කී ලෙස ගස මුලට ගියේ මලකඳ දැක්කේ එය ගසින් බාන්නට' තෙක් කියැවූ පසු බියෙන් ත්‍රස්තව ඉතිරිය කියවාගතනොහී සිටිමි.ඕඩියෝ වර්ගයේ හඬපටයක්වත් මෙයට ලිංක් කළානම් වරදක් සිදුවේද?
    නොඑසේනම් හිරු උදාවූ පසු මෙය බලමැයි මාහටම සපථ කරගත්තෙමි.

    ReplyDelete
    Replies
    1. ටෙක්ස්ට් එක කොපි කරන් ගුගල් ට්‍රාන්ස් එකට දාල ස්පිකර් බටන් එක ක්ලික් කරන්න. පෝන් එකෙන් නම් ගුගල් ඇසිසටන්ට්ට කියල කියවගන්ට

      Delete
    2. හැට්ටර්,
      ඉදින් තොප ආපිට පෙරළා අවුත් ‌කියෙව්වෙහු?

      නමියො,
      හෑ... බොලං එහෙමත් කොරන්ඩැහැකිද? අපේ කාලෙනං ඔව්ව තිබුන්නෑ අපෙ හාන්දුරුවනේ...

      Delete
  15. //රටවැසියන්ට පියෙකු වැන්න// දඹදිවට විතරය😁. අපිටත් හිටිය එහෙව් කෙනෙක්. පස්සෙ පියා ඇරිය අපට නප්පියං වෙන්ට

    ReplyDelete
    Replies
    1. මගෙං දවසක්, කුඩු ගහල ආතල් එකේ හිටපු පොරක් ඇහුවා, "තාත්ත කියන්නෙයි පියා කියන්නෙයි එක ද ?" කියලා. මං කිව්වා, "ඒ දෙක දෙකක්. හැබැයි තාත්තගෙ නම පියසේන හරි පියදාස හරි නං ඔය දෙක එකක්" කියලා.

      Delete
  16. එල එල .. මේ සිංහල කියන්න අමාරු තරමට දැන් කම්මැලි වෙලා .. ඒ වුනාට කියෙව්වා

    ReplyDelete
    Replies
    1. ඇත්ත පැත්තා. කම්මැලියි තමයි. ඒත් කියවද්දි අහුවෙන්නෙ, උපමා උපමේය, අලංකාර භාවිතය මාර ලස්සනයි ඈ...

      Delete
  17. පංච තන්ත්‍රයේ කතාවස්තුවක භාශා විලාශය මතකාරූඪ කරවන විශිෂ්ඨ ලියැවිල්ලක් ඩ්‍රැකී. නිවාඩු පාඩුවේ කොටස් 3 ම කියවන්න මම මතක තියාගන්නවා.

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!