බඹර කැලේකියලා ලස්සන කැලෑවක් තිබුණා. ඒ කැලෑවේ තිබුණු ගල් ගුහාවක පුංචි වලස් පැටියෙක් ජීවත් වුණා. එයාගේ මූණයි, බඩ පැත්තයි රෝස පාට බූල්වලිනුත්, අනික් කොටස් රතු පාට බූල්වලිනුත් වැහිලා තිබුණා. එයාට හැමෝම කිව්වේ පැන්ඩිස් කියලයි.
දවසක් උදෑසන පැන්ඩිස් කම්මැළිකමට කැලේ මැදින් ඇවිදගෙන ගියා. එහෙම යනකොට එයා දැක්කා ගහක උස අත්තක තිබුණ මී වදයක්.
පැන්ඩිස්ට මී පැණි කන්න ආසා හිතුණා. එයා මී වදය කඩාගන්න උඩ පැන්නා. එයා කොයි තරම් උඩ පැන්නත් මී වදය කඩා ගන්න බැරි වුණා. අන්තිමේදී එයා දුවගෙන දුවගෙන ඇවිත් එයාට පුළුවන් තරම් වේගයෙන් උඩ පැන්නා. ඒ වාරයේ එයා ඔළුව පහතට හිටින්න බිම වැටුණා.
ඒක දැකපු මී මැස්සො කිවුවා, "අන්න බලන්න රතු පාට පුංචි ගහක්" කියලා.
එතකොටම ඉහළ අහසේ ඉඳන් වේගයෙන් පාත් වුණු උකුස්සෙක් මී වදය කඩාගෙන ඉගිල්ලුණා.
ඒක ඇහුණ පුංචි වලස් පැටියට දුක හිතුණා. "ඔයාල භය වෙන්න එපා. මම මී වදය බේරගන්නම්." කියලා එයා උකුස්සගේ පස්සෙන් දුවන්න පටන් ගත්තා.
අතරමඟ දි එයාට හම්බවුණා, තවත් පුංචි වලස් පැටියෙක්. එයා සුදුම සුදුයි. එයාගේ නම පෝලාරිස්.
පැන්ඩිස් එයාට සිද්ධ වෙච්ච දේ කීවා. "මමත් එන්නම් මී වදය බේරගන්න" පෝලාරිස් එහෙම කියලා එයාගේ බයිසිකලයට නැග්ගා.
පැන්ඩිස්වත් පිටිපස්සෙන් නග්ගවගෙන, එයා වේගයෙන් බයිසිකලය පැද්දා.
ඒ වලස් පැටවු යන පාරේ, ගලක් උඩ ගහක් වැටිලා පල්ලමක් වගේ හැදිලා තිබුණා.
උකුස්සා දිහා බලාගෙන බයිසිකලය පැදපු පෝලාරිස් ඒක දැක්කේ නෑ. බයිසිකලය ගහ දිගේ වේගයෙන් ගිහින් උඩට විසි වුණා.
පෝලාරිස්ගේ ඔළුවට උඩින් ගිය පැන්ඩිස්, උකුස්සාගේ කකුළක එල්ලුණා.
ඒකට උකුස්සා භය වෙලා මී වදය අත ඇරලා උඩ ඉගිල්ලුණා. පැන්ඩිස් මී වදය අල්ලාගෙන බිමට වැටුණා.
බිම වැටෙන විට පැන්ඩිස්ට රිදුණා. ඒත් මී වදය බේරගත්ත සතුට ඊට වැඩියි.
පෝලාරිස් එතනට දුවගෙන ආවා.
"අපිට දැන් බඩ පිරෙන්න මී පැණි කන්න පුළුවන්" එයා කිව්වා.
ඒත් පැන්ඩිස් ඒකට කැමති වුණේ නෑ. "මම මී වදය බේරගන්නම් කියලා මී මැස්සන්ට කීවනේ. ඒ නිසා අපි මේ මී වදය ආපහු මී මැස්සන්ට ම ගිහින් දෙන්න ඕන."
ඊට පස්සේ පෝලාරිස් එක්ක පැන්ඩිස් මී වදය අරගෙන, මී මැස්සො හිටිය තැනට ආවා. වලස් පැටවු දෙන්නා මී වදය, ගහේ අතු දෙබළක පරිස්සමට තිබ්බා.
ඒ දෙන්නා කරපු උදවුවට, මී මැස්සන්ගේ රැජින ඒ දෙන්නට බඩ පිරෙන්න මී පැණි දුන්නා.
"ඔයාලා හරිම වීරයෝ. අපි හැමදාටම ඔයාලත් එක්ක යාළුයි" මී මැසි රැජින කීවා.
වීර පැන්ඩිස් සහ සූර පෝලාරිස් |
කතාව වගේම චිත්‍ර ටිකත් හරි අපූරුයි.
ReplyDeleteගොඩාාාක් ස්තූතියි. තව කතා තියෙනව, පැන්ඩිස් ගැන. මුන්දැ ලියන් නෑ, කම්මැලි කමට.
Deleteමම හිතුවෙ බඹරකැලේ තියෙන්නෙ බංගලාවක් කියල.
ReplyDeleteඒක ගල් ගුහාවක් කියල දැනගත්ත එකම වටිනව.
නෑ... ඒක ලාවට භංග වෙච්ච රජයේ නිල නිවාසයක්. ඉතිං බංගලාව කියන එක, එක අතකිං හරි.
Deleteහුටංබරස්ට කියහං චිත්‍ර ටික ලස්සනයි කියල னයෙක් කිවුවයි කියල.
ReplyDeleteහෑ...! නයෙක්? නයා කියන්නෙ කවුද? මොකද්ද ඒකෙ තේරුම?
Deleteස්තූතියි... හිකි හිකි හිකි..!
(හුටංබරස් කිව්වෙ)
හරි ලස්සන ලමා කතාව හා ඊටම ගැලපෙන චිත්‍ර ටික!
ReplyDeleteගොඩක් ස්තූතියි ලොකු අයියෙ. මගේ මේ වෑයම, හුටංබරස්ගෙ ලිවීමේ කම්මැලිකම නැති කරන්න.
Deleteෂා මරුනෙ.....ලස්සන කතාවක්....චිත්‍රත් එක්ක.. සිබිල් නැන්දගෙ හිස් තැන පුරවන්න පුළුවන් කෙනෙක් වෙයි කවදා හරි...මේවා ලොකු අයටත් මරු කතා ආතතියෙන්, පීඩනයෙන් ඉන්න වෙලාවට...
ReplyDelete(ඔලුව කහන ගමං) ඒ තරම් දුරදිග හිතුවෙ නෑ. ඉස්කෝලෙ පුස්තකාල වැඩසටහනකට මුන්දැ මේක ලිව්වෙ. පොතට එච්චර ලකුණු හම්බුණේ නං නෑ. ඇයි දන්නෑ. මං ඉතිං හිතුවා, මේක කවද හරි පොතක් ගහන්ඩ. මුන්දැ ඊට පස්සෙ කතා කීපයක් හැදුවා පැන්ඩිස් ගැන. එකක්වත් ලිව්වෙ නෑ.
Deleteබකුස් කිව්වා වගේ පොලිටික්ස් වෙන්නත් පුළුවන්..සමහර වෙලාවට ඉස්කෝල වලින් ළමයින්ගෙ හැකියාවන් උපන් ගෙයිම මරලා දානවා විවිධ හෙතු නිසා..දරුවට ඒවට අදහිරිය නොවී දිගටම ලියන්න, අඳින්න පොලබවන්න...
Deleteමට පේන විදිහට පොලිටික්ස්ටත් වඩා, ගුරුතුමීලා හුරු වෙච්ච ආකෘතියට වඩා වෙනස් කතාවක් වෙන්ඩ ඇති, මේක. මොට්ට කරලා, එක රාමුවකට කොටු කරන බලපෑමක් ඒකෙ තියෙනවා තමා. සමහරවිට බස්ස කියපු දේ මට නොතේරුණා වෙන්න පුළුවන්.
Deleteඅනික් පැන්ඩිස් කතාව දැන් ලියාගෙන යනව. ඒක කියෙව්වොත් මං කියපු දේ හරියට ම තේරෙයි. මොක ද, ඒකෙ තනිකර මැජිකල් රියැලිස්ම් ගතියක් පේන්න තියෙනව.
//මේක. මොට්ට කරලා, එක රාමුවකට කොටු කරන බලපෑමක්...//
Deleteඒව තමා ස්කූල් පොලිටික්ස්. වාරවසානෙ සංතෝෂම් බලාපොරොත්තුවීම . සිලෙක්ටිව් පේවරිසම්....ඒක වෙනම උප සංස්කෘතියක්.
ඒක ඇත්ත බස්... මෙහෙ ඉස්කෝලෙ ඒක ටිකකි විතර අඩුයි. නමුත් නෑ ම නෙමෙයි. ඔය තෑගි බලාපොරොත්තු වෙන එක එහෙම මෙහෙ නෑ. ටීචර් කෙලිම්ම කියනව තෑගි එවන්න ම එපා කියල. හැබැයි ෆේවරිස්ම් තියෙනව. විශේෂෙම්ම චෙස්වලට එහෙම අමුතු කුඩම්මගෙ සැලකිල්ලක් තියෙන්නෙ. හැබැයි, ඔ්ල් අයිලන්ඩ් ගිහිං දිනන්නෙත් චෙස් ටීම් එක විතරයි. අනික් උං දිනන මගුලක් නෑ. මේ ළඟ දි වර්ණ ප්‍රදානය තිබුණනෙ. ඒකෙදි සමහර ළමයින්ට කප් දුන්න, වෙස්ටන් බෑන්ඩ් එකේ සාමාජික, ප්‍රිෆෙක්ට් වීම වගේ දේවලට. චෙස් කොල්ලන්ට අන්තිමේ සහතිකයක් විතරයි දුන්නෙ.
Delete//පොතට එච්චර ලකුණු හම්බුණේ නං නෑ//
ReplyDeleteස්කූල් පොලිටික්ස් වෙන්ටෑ?
//මුන්දැ ඊට පස්සෙ කතා කීපයක් හැදුවා පැන්ඩිස් ගැන. එකක්වත් ලිව්වෙ නෑ//
හ්ම්.......කතාව සහ චිත්‍ර ලස්සනයි කියල බස්සෙකුත් කිව්වා කියල කියහං.
බස්ස මාම ගැන හුටංබරස් දන්නව. ගොඩක් ස්තූතියි කිව්ව. තව කතා පහක් ලියනව කියලත් කිව්ව. (ලියනකං ශුවර් නෑ හැබැයි.)
DeleteThis comment has been removed by the author.
Delete//ලියනකං ශුවර් නෑ //
Deleteහෙහ්, හෙහ් අප්පගෙ පුතංඩියා නෙව? ගුරුවරු කකුලෙන් අදිනවා නං , මෙහෙම හැදෙන ලමයින්ව අපි හරි උනන්දු කරවන්න ඕනෙ.
ඇත්ත. පොර උනන්දුයි. හැබැයි කරන්න දේවල් ගොඩක් තියෙනව දවසකට. චෙස්, පරිසර ළමා සමාජ, ශිෂ්‍යත්ව පංති, එලටියුෂන්... ඉතිං එක දේකට හිත යොදවලා දිගට කරන්න බාධයි. මං අර ඊ මේල් කරපු කාරණේට මං උනන්දු වුණේ වැඩියක් ම ඒ නිසා. මේකා වත් මං වැටිච්ච මොට්ට කමින් බේරගෙන පියාසර කරන්න ඉඩ දෙන්න.
Deleteඒ කාරණෙන් වැඩියම සෙත සැලසෙන්නෙ ජූනියර්ට. ඒකම මඳෑ.👌🙏💐
Deleteඒක ම තමයි, මාගේ මේ ව්‍යායාමය...!
Deleteඋල් කරන්න ඕනෑ නෑ ගහේ කටු
ReplyDeleteතවත් කතා අඳිමු පුතේ පුරා පිටු
නිවාඩු කාලෙත් ඇත පාසැල් පංතී
Deleteඑලකියුෂන්, ඒ මදිවට චෙසුත් ඇතී
පුතා ලියනකං හිටියොත් ඔබට කවි
මොල් ගහෙත් දලුලනු ඇත සැක නොමැති
දැන් දරුවන්ට වැඩ දාහකි කරන්නට
Deleteපැය විසිහතර මදි වාගෙයි ඔවුන්හට
ඒ අස්සේම මේ වගෙ දේ කරනවට
පුතේ මෙන්න, තුති මල් දෝතක් ඔබට!
මං දන්නෑනෙ ඒ්කට පිළිතුරට දෙයක්
Deleteමං ලිවීමට වඩා කෙරුවේ ඇඬීමක්
මහන්සි වෙන්න කම්මැලි වීම හේතුවක්
බොහොම ස්තූතියි මාමේ ඔයාට ටක් ටක්
හුටංබරස් හදපු කවියක් බව සළකන්න
හුටංබරස් පුතේ,
Deleteකවිය ගොඩක්
අගේ වැඩක්
ටක් ටක් ටක්
හිනා ගොඩක්!
කොල්ලා කවද හරි මාවත් පරදනවා
Deleteකියලා මටත් දැන් ඉඳලම තේරෙනවා
super
ReplyDeleteපොතක් ගහමු
මල් කොමා පුත් හුටන්බරස් ගෙන් ළමාලොවේ සගයින්ට
අනිවා... මේක නං කවද හරි ම ගහනව පොතකට.
Deleteඅඩේහ් හරිම ලස්සනයිනෙ..කතාව වගේම චිත්‍රත්.හුටංබරස් මරුනේ.මේ මල එයාට දෙන්න 🌺
ReplyDeleteමේ කමෙන්ට් සේරම මම එයාට පෙන්නනවා. ඔයාට ගොඩක් ආදරෙයි කියල කිව්වා, පුතා.
Deleteහුටංබරංට කියන්න බංචිත් කතාවයි චිත්‍ර ඔක්කෝමයි ලස්සනයි කිව්වා කියලා ...
ReplyDeleteස්තූතියි ටක් ටක්... (මූ නිදිට පිළිතුරු කවිය ලියපු වෙලාවෙ ඉඳං ඒක කිය කියා හිනා වෙනව)
Deleteහරිම ලස්සනයි කතාවවගේම සිතුවම්.ජය වේවා!!!පුතා❤️❤️
ReplyDeleteස්තූතියි නැන්දේ... (හුටංබරස් කිව්වෙ. මං ටයිප් කළේ)
Deleteඅඩේ.....
ReplyDeleteඅදනේ මේ පැත්තට ආවේ.....
ලස්සන කතාව, ඒවගේම පැන්ඩිස් පෝලාරිස් ජෝඩුව ඉන්න චිත්‍ර..... ලස්සනයි ඈ.....
ඔය නම් දෙක කොහෙන්ද හුටංබරස් හොයාගත්තේ ?
ගොඩක් ම ස්තූතියි. සෙල්ලම්බඩු කඩේක ඉඳලා පැන්ඩිස් අපේ ගෙදරට ආවට පස්සෙ, ඩ්‍රැකියානි එයාට ටෙඩී බෙයා කියන් නැතුව පැන්ඩෙක් කියල හඳුන්වන්න පටන් ගත්තා. ඒ අනුව හුටංබරස් ම එයාට පැන්ඩිස් කියල නම දාලා, ගෙදර හිටපු අනික් සාමාජිකයන්ටත් ඊට සමාන නම් දැම්මා. (හාවෙකුට හන්ඩිස් කිව්වා, බල්ලෙකුට බන්ඩිස් කිව්වා, ගෝරිල්ලෙක් වගේ ලොකු දුඹුරුපාට ටෙඩියෙකුට වන්ඩිස් කිව්වා, කිවි කුරුල්ලෙක් උන්නා - ඌට කින්ඩිස් කිව්වා.) ඊට පස්සෙ නුවරඑළියෙදි අපේ ඔපිස් එකේ නැන්දෙක් එයාට ගෙනත් දුන්නා බයිසිකල් පදින සුදුපාට ටෙඩියෙක්. එයා පෝල බෙයා කෙනෙක් කියලා, උන්දැට හුටං නම දැම්මා පෝලාරිස් කියලා. (ඒ පෝලාරිස් ගෙනත් දීපු නැන්දා සැරෙන් සැරේ හකුරු බෝල පැකට් ගෙනත් දෙන නිසා, ඒ නැන්දට නම දැම්මා හකුරු බෝල නැන්දා කියලා.)
Deleteඒක මරු.....
Deleteසූටික්කගෙ පින්තූරෙ ඇන්දා මේ විදිහට...
Deleteහරිම ලස්සනයි ඩ්‍රැකී....
ReplyDeleteජයවේවා !!!
ගොඩක් ස්තූතියි දුමී.
Deleteඅද කවි නෑ?
අර උඩහ ඔහෙ කොමෙන්ට් වල ගියල තියෙනව වගේ අර පංති, මේ පංති ගිහින් ලමයි හෙම්බත් වෙනව බොලං. ලඟදි මම හවසක බස් එකේ යද්දි අම්ම සීට් එකේම නින්ද ගියපු පුතාව ඇහැරවනව ඊලඟ නැවතුමෙන් බහින්න. කොල්ලට හොඳටම තෙහෙට්ටුවේ නින්ද ගිහින්. නැගිටින්නත් අදිමදි කලා!
ReplyDeleteමේ කතාව මරැ!
ReplyDeleteචිත්‍ර ටිකත් පංකාදුයි... හුටංබරස් චුට්ටට කියන්ට