අද උදේ (මේක ලීවේ 18 වෙනිදා සෙනසුරාදා) මමත්, බිරිඳත්, පුතාත් අවදි වුණේ එක ම වෙලාවක. නිවාඩු දවසත් නිසා, අපි ටිකක් කතා කරමින් හිටියා ඇඳට වෙලා. අපි පොඩි කාලෙ දි වගේ ම, පුතාට හරිම ආසයි ළඟ ළඟ ම එන නත්තල ගැන. ඉතින් එතනදි අපි අතර කතා බහට ලක් වුණේ නත්තල් දිනය හෙවත් දෙසැම්බර් 25 ජේසු ගේ උපන් දිනය නොවන බව.
එතන දී මම කිව්වේ බයිබලයේ සුභාරංචිවල සඳහන් වන විදිහට ජේසු තුමාගේ උපත ගැන දේව දූතයෝ ගිහින් එළිමහනේ බැටළුවන් බලාගනිමින් හිටපු එඬේරුන්ට කියුවා කියා තිබෙන සඳහන. එහෙම එළිමහනේ ඉන්න බෑ දෙසැම්බර් මැද හරියේ තිබෙන අති දුෂ්කර සීතලත් එක්ක.
එතකොට පුතා මට තවත් කරුණක් පෙන්නුවා. ඒ තමයි ඒ දුෂ්කර සීතල නිසා ජේසු බබා නිකම්ම රෙදි කඩක ඔතලා ගව ඔරුවක තිබ්බා නම්, සීතලේ මියයන්නට ඉඩ තිබුණු බව.
දිගින් දිගට ම කතා කරද්දී මම පුතාට ජේසු තුමා දේශනා කළ උපමා කතා කීපයක් කීවා. පහතින් ලියා තියෙන්නේ ඒවා.
නැතිවූ බැටළුවා:
ඔබට බැටළුවන් සීයක් සිටියා යැයි හිතන්න. එයින් එක බැටළුවෙක් නැති වුණා නම්, ඔබ අනික් බැටළුවන් අනූ නම දෙනා ම පිට්ටනියේ ඉදිද්දී, අත හැර දමා, නැතිවූ බැටළුවා සොයනවා නේද? ඌ හමු වූ විට ඔබ අතිශයින් ම සතුටට පත් වෙනවා නේද?
අන්න ඒ වගේ, යහපත් මිනිසුන් අනූ නම දෙනෙකුට වඩා, නොමග ගිහින් සිට, ආපසු යහ මඟට හැරුණු එක් මිනිසෙක් උතුම්.
ණය කාරයෝ:
එක් අධිපතියෙක් ට කාසි දහසක් ණය වී සිටි සේවකයෙක් සිටියා. අධිපතියා ඔහුට ණය ගෙවන ලෙස කී වෙලාවේ, ඔහු අත මුදල් තිබුණේ නැහැ. ඉතින් ඔහු බැගෑපත් වෙලා, ණය ගෙවන්නට තවත් කාලය ඉල්ලා සිටියා. එවිට අධිපතියා ඔහු ගැන අනුකම්පා කර, ණය මුදලෙන් ඔහු නිදහස් කළා.
ඒ සේවකයා ට කාසි සීයක් ණය වූ තවත් සේවකයෙක් සිටියා. පළමුවැන්නා අනෙකාට ඒ ණය ගෙවන්නට බල කළා. ඒ වෙලාවේ දෙවැන්නා අතත් මුදල් තිබුණේ නැහැ. ඉතින් ඔහුත් සමාව ඉල්ලා, ණය ගෙවන්නට තවත් කාලය ඉල්ලා සිටියා.
නමුත් පළමුවැනි සේවකයා දෙවැන්නා ගැන අනුකම්පා කළේ නැහැ. ඔහු ණය ගෙවන තුරු සිර කළා.
මේ සිදුවීම අනෙක් අය විසින් අධිපතියාට සැළ වුණා. ඒ අධිපතියා පළමුවැනි සේවකයා ගෙන්වා මෙසේ කීවා.
"මම නුඹට අනුකම්පා කළා වගේ ම, නුඹත් අනෙකාට අනුකම්පා කරන්නට තිබුණා නේද? දැන් නුඹ මා හට ගෙවන්නට ඇති කාසි දහස ගෙවන තුරු මමත් නුඹ සිර භාරයට ගනිමි"
අපි වරදකට පසුතැවෙමින් සමාව අපේක්ෂා කරනවා නම්, අපට අනෙක් අය කරන වැරදි ගැනත් අපි සමාව දිය යුතුයි.
මේක විශේෂයෙන් ලීවේ මගේ ඉතා හිතවත් මිත්‍රයෙක් සහ සහෘදයෙක් වන අසංග රණසිංහ ආරච්චිට මගේ කලින් පෝස්ට් එකෙන් කරපු විහිලුවට යම්කිසි සිත් රිදීමක් වුණා නම්, මට සමාව දීමට ආදර්ශයක් වශයෙන්...
ටැලන්ට්:
හාම්පුතෙක් තමන්ගේ වෙළෙඳාම් කටයුතුවලට විදේශයකට ගියා. ඒ යන්න කලින් ඔහු තමන්ගේ සේවකයන් තුන්දෙනාට කතා කොට, ඔවුන්ට ටැලන්ට් (රන්කාසි විශේෂයක්) එක බැගින් දුන්නා.
කාලයකට පසු ආපිට ආ හාම්පුතා, සේවකයන් තුන්දෙනා කැඳවා, තමන් දුන් ටැලන්ට්වලට කළේ කුමක්දැයි ඇසුවා.
පළමුවෙනි සේවකයා, තමන් ඒ ටැලන්ට් කාසියෙන් කා බී විනෝද වුණු බව කීවා.
දෙවෙනි සේවකයා හනික මිදුලට දුව ගොස්, ගළක් යට ප්‍රවේසමෙන් තබා තිබූ ටැලන්ට් කාසිය රැගෙන ඇවිත් හාම්පුතා ට පෙන්නුවා.
තුන්වෙනි සේවකයා, තමන්ට දුන් ටැලන්ට් එකෙන් වෙළඳාමක් පටන් ගෙන දියුණු කර, එයින් උපයාගත් ටැලන්ට් මල්ලක් හාම්පුතාට දුන්නා.
මේ ලෝකයේ මිනිස්සුත් ඔය තුන් විදිහට අයත්. තමන්ට සහජයෙන් ලැබෙන කුසලතා නාස්ති කර විනාශ කරගන්නා අයත්, ඒ කුසලතාවන් හංගාගෙන තබාගෙන ඉන්නා අයත්, කුසලතාවන් ක්‍රියාවේ යොදවා දියුණු කරගන්නා අයත් වශයෙන්.
උපමා කතා තුනක් ලියන්නට ඉඳගත්තත්, බෝනස් හැටියට පහත කතාවත් කියවන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ, මේ උපමා කතා ලියද්දී මතක් වුණු විහිලු කතාවකුත් ලියා තියන්නට හිතුණු නිසා.
අකීකරු පුත්‍රයා:
එක් පොහොසත් මිනිසෙකුට අකීකරු පුතෙක් උන්නා. ඔහු තමන්ගේ පියාගේ ගොවිපළේ වැඩ කරනවා වෙනුවට, සල්ලි ටිකකුත් අරන් වෙනත් ප්‍රදේශයකට පැන ගියා.
තමන් ගෙනා සල්ලි ඉවර වෙන තුරු කා බී විනෝද වුණු ඔහු, මුදල් ඉවර වුණු පසු වෙනත් මිනිසෙකු ගේ ගොවිපොළක වැඩට ගියා.
ඔය අතර දුර්භික්ෂයක් ඇති වුණා. අර පුත්‍රයාට කන්නට සුදුසු දෙයක් ලබා ගන්න බැරි වුණා. ඔහුට කන්නට ලැබුණේ ඔහු වැඩ කළ ගොවිපොලේ ඌරන්ට කන්නට දමන ආහාර.
ටික දවසක් ගත වෙද්දී ඔහු කල්පනා කළා, තමන්ගේ පියා ළඟ සිටිය කාලයේ හොඳින් කන්න බොන්න ලැබුණා. නමුත් පියාට අකීකරු වී පැනලා ඇවිත් සේවකයෙක් හැටියට සත්ත්ව ආහාර කමින් දුක් විඳිනවා. ඊට වඩා හොඳයි ආපසු පියා ළඟට ගිහින් සමාව ඉල්ලන එක.
එහෙම හිතා ඔහු ආපහු පියා ළඟට ගියා. ගිහින් කීවා, "තාත්තේ, මට සේවකයෙක් හැටියට සළකන්න. මම ඔබට විරුද්ධ වුණු නිසා..." කියා.
නමුත් තාත්තා ඔහු දැකලා ඉතා ම සතුටට පත් වුණා. ඔහු අනික් මිනිස්සුන්ට කෑ ගසා කීවා, "මෙන්න, මම මැරුණා කියා හිතාගෙන හිටි පුතා ආපිට ඇවිත්. මෙයා පිළිගන්න උත්සවයක් පවත්වමු. මම භෝජන සංග්‍රහයකට කියා තර කළ වස්සා දැන් මරන්න."
ඒ ඇසුණු ඔහුගේ වැඩිමල් පුතා අමනාපයෙන් තාත්තා ගෙන් මෙහෙ ම ඇහුවා. "තාත්තේ, මම ඔබට අකීකරු නොවී, ඉතා ම කීකරු විදිහට වැඩ කරනවා. නමුත් මේ අකීකරු වෙලා පැනලා ගිය මල්ලි ආපසු ආවම ඔබ ඔහු පිළිගන්න හරකෙකුත් මරලා උත්සව පවත්වනවා..."
තාත්තා කීවා, "ඔව් පුතේ. හොඳ මිනිසුන් දාහකට වඩා, නරකට හැරී සිට, වැරදි තේරුම් ගෙන පසුතැවිලි වී ආපිට හොඳ අතට හැරෙන එක පවුකාරයෙක් උතුම්..."
ඔය කතාව ඉස්කෝලෙ දී කියා දුන්නු ටීචර් කෙනෙක් ඇහුවා "අකීකරු පුතා ආපහු ගෙදර ආ එක ගැන අමනාප වෙන්නේ කවුද?" කියලා.
එක ගෑණු ළමයෙක් අත උස්සගෙන නැඟිටලා කීවා...
"ටීච ටීච... තරකළ වස්සා" කියලා.
ඔබ සැමට සාමය සහ සමාදානය උදාවන සුභ නත්තලක් වේවා!
සාමය සමාදානය සහජීවනය
ReplyDeleteමේ කාලයේ වැඩියෙන් ඕනෑ වේය
හිත් තුළ වැඩී වැඩි-වැඩියෙන් තෙතමනය
දුකඳුර දුරුව පැතිරේවා තුටු එළිය!
ඩ්‍රැකී, ඔයාගේ post එක කියවද්දී හිතුනු දේ කවියක් කළා. ඒ එක්කම හිතුණා ඒ කවිය fb එකට ඔබන්න. එහෙම හැඟීමක් ජනිත කෙරෙව්වාට ස්තුතියි!
Deleteසාමය සමාදානය සහජීවනය
Deleteවාගෙම සමානත්වය වැනි සංකල්ප
මේ මිහිපිට දි හමුවන දේ නොවන වග
අපහට පසක් වී සෑහෙන කල් ය මිත
එනමුත් ඒවා ගැන අපි තුළ ඇති ඇල්ම
නොනැසී තියෙයි සිහිනය මෙන් හැම දාම
ජෝන් ලෙනන් කිව්වා සේ අපි හීන
දකිමු, දකින අය අප විතරක් ම නොවේ
ෆේස් බුක් දාපු කමෙන්ට් එක ම මෙතනත් දාන්නං...
Deleteඔව්ව කවි ද? මෙව්වනෙ කවි...
http://yanhella.blogspot.com/2016/02/blog-post.html
ආදම් කල පාපය නිසා මිනිසා සහ දෙවි අතර සමාදානය නැතිවුනා.
Deleteයොෂුවා මෙසායා වහන්සේ තමයි තම ජීවිතය සමාදාන බිලිපූජාව විදියට පූජාකරලා දෙවි එක්ක සමාදානය ඇතිකලේ. යෙෂුවාට සාමයේ කුමරු කියන්නේ ඒකයි.
හ්ම්ම්... මම අදහස් කළේ හිතේ සමාදානය. පොඩ්ඩක් සැනසිල්ලෙ ජීවත් වෙන්න ලැබීම ගැන. ස්තූතියි තියරිටිකල් එකතු කිරීමට ජගත්.
Deleteසාමය සතුට පිරි නත්තල් සමයක් වේවා!
ReplyDeleteඑසේ ම වේවා සාහිත්‍ය සොයා යන්නාණනි...
Deleteහෙහ්. හෙහ්.. හෙහ්... මැරි ක්‍රිස්ට් මස්
ReplyDeleteආාා... තර වුණු னයිහාමි...
Deleteප්‍රීති"මත්" නත්තලක් වේවා!
නත්තල මිත්‍යා දෘෂ්ඨික සැනකෙලියක්.
ReplyDeleteදෙසැම්බරයේ මොකක් හරි උත්සවයක් තියන්න ඕනෙනම් හනුකා මංගල්‍යය සමරන්න.
මිත්‍යා දෘෂ්ඨිය කියන දේ එකිනෙකාගේ ආගම් පිළිබඳ විශ්වාසයන්ට සාපේක්ෂයි නේ ජගත්...
Deleteඔන්න මාත් හැමෝට්ටම හදපිරි මෙව්ව එකෙන්... සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා හිටං. හලේලූයා!
ReplyDeleteඔබටත් එසේම වේවා! නත්තල් කැංගරුවන්ගෙන් ප්‍රවේසම් වන්න...
Deletehttps://www.youtube.com/watch?v=Gvr0YNJwE0c&t=81s
https://sithuviliralabinduma.blogspot.com/2022/12/blog-post_25.html
ReplyDeleteඅඩෝ... ඒක පට්ට!
Deleteකෙටි උනත් බොහෝදේ සිතන්නට පොළඹවන ලිපියක් ඩ්‍රැකී . බොහොම ස්තූතියි. සුභ නත්තලක් සහ වාසනාවන්ත සුභ නව වසරක් පතනවා.
ReplyDeleteගොඩක් ස්තූතියි චමින්ද මහතා... ඔබටත් එසේ ම වේවා!
Deleteබෙත්ලෙහෙම් වලට ඔය කියනතරම් සීතල නෑ.. අඩුම තරමෙ යුරෝපයේ තරම් නෑ.. මම හිතන්නෙ එළියෙ ඉන්න බැරි කමක් නෑ... ගූගල් කියන විදිහට අද 8C.
ReplyDeleteඩ්‍රැකියටත්, පවුලේ සැමටත් සුබම සුබ නත්තලක් වේවා !
සෙල්සියස් අංශක 8 ක දි තියා මෙහෙ සෙල්සියස් අංශක 12 දිත් එළියෙ ඉන්න බෑ ජර්සි දාගෙන උනත්. මං හිතන් නෑ ඉස්සර බැටළු එඬේරු එළිමහනෙ හිටියා කියලා ශීත සෘතුවෙ. දෙසැම්බර් 25 පරණ රෝම දෙවියෙක් වුණු මිත්‍ර ගෙ උපන් දිනය. පස්සෙ පස්සෙ රෝමානු කතෝලික ආගමේ ආධිපත්‍යයෙන් යටපත් කෙරුණා.
Deletehttps://drackey.blogspot.com/2020/12/blog-post_24.html
++++++++++++++++
ReplyDeleteඔබටත් ප්‍රීතිමත් වැටක් වේවා!
Deleteඅද තමයි ජර්මනියේ නත්තල සමරලා ගෙදර ආවේ , සුභ නත්තලක් හැමෝටම. (අදේවවාදියෙකු වශයෙන් මෙසේ සුභ පැතීම ගැන සමාවන්න - බුකියේ බැනුම් අහල ඇති වෙලා. අදේවවාදී නිරගමිකයෝ නත්තල සමරන්නේ ඇයි කියල අහල. 😁 😆 😅
ReplyDeleteඅනිත් පැත්තට නේ ලියවුනේ. අදේව වාදීන්ට බුකියේ ඇත්තෝ බනින එක ගැන ලීවේ මට පෞද්ගලිකව නෙමේ )--++++=++++++ ප්‍රදීප් ගේ වැට
Deleteජර්මනියෙ නත්තල කිව්වම හිතට ආවෙ, පේගන් ගොතික් මූලිකාංග සහිත සාම්ප්‍රදායික නත්තලක් ගැන. ඒ අදහස වැරදියි ද?
Deleteමම දන්න විදිහට, බුදුන් සහ ජේසු තමයි අපි දන්න හොඳ ම අදේවවාදියො. (ජේසු ඇත්තට ම හිටිය නං)
මොකද්ද අර ප්‍රදීප්ගෙ වැට ට දාල තියෙන මොඩිෆිකේෂන්? වැටට විදුලිය දීල ද?