බක් පෝදා සුහද හමුවට මම ආවේ නැතක් බාධක මැද. ලොකු ම බාධාව තිබුණේ රාජකාරිවලින්. පළාත්පාලන ආයතනවල සභාවන් විසුරුවා හැරුණේ මාර්තු 19. එතෙක් ගරු සභිකයන්, ගරු නගරාධිපති සහ ගරු සභාපතිවරුන් වෙත පැවරී තිබුණු තීරණ ගැනීම සභා ලේකම්වරුන්ට සහ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වෙත පැවරුණා. එයින් අපේ කාර්යාලයටත් රාජකාරිවල බැරෑරුම්කම සහ ප්‍රමාණය වැඩි වුණා.
ඒත් එක්ක ම මාර්තු 31 මම තවත් තනතුරක වැඩ භාරගත්තා. දැන් ඉතින් කාර්යාල දෙකක වැඩ කරන්න සිද්ද වෙලා තියෙනවා.
කාර්යබහුල වීම මත අපේ අසංගගේ සහ මඤ්ජුලගේ දුරකථන ඇමතුම්වලට උත්තර දෙන්නත් මට බොහෝ වෙලාවට පුළුවන්කමක් තිබුණෙ නෑ.
කොහොමින් හරි, අපෙ උන්දැයි පුතණ්ඩියයි මායි ඇඳගෙන පහළට එද්දි තමයි මට සුරංග කෝල් කළේ.
"අපි නං මෙහෙන් පිටත් උනා. ඔහෙ තත්ත්වෙ මොක ද?"
"මං දැනුයි නැගිට්ටෙ මල්ලි." මං කිව්වා. එතන ඉඳං වැල නොකැඩී සුරංගයා බැණපු තරම, ඒ වචන නැවකට පැටෙව්වනං, කෙලිම්ම වරායෙන් දියත් කරද්දි ම නැව මූදු පතුළට ගිළෙනව. ඒ තරම් බර වචන...
"නයියා දාගත්ත ද?" යන්තම් බැණුම් වැස්ස තුනී වෙද්දි මං ඇහුවා. (ප්‍රසන්නව රත්නපුරෙන් ගන්නම් කියලා සුරංග කලින් දවසෙ මට කිව්වා.)
"ආ ඔව්. පටෝලා තියෙන්නෙ" ඒක අහපු ගමන මට කැස්ස ඉස්මොල්ලෙ ගියා.
කොහොමිං හරි අපි තුන් කට්ටුව පාර අයිනෙ ටීපීයට යනකොට, සුරංගලාගේ සොටියත්, අසංගලාගේ ඇල්ටෙත් එතන ය. සුපුරුදු පරිදි රවි අයියා ආවේ ඊට කලින් දවසේ ය. ආචාර සමාචාර කර ආගිය කතා කතා කළෑයින් පස්සේ මං අපේ උන්දැත්, පුංචිරාලත් එක්කරගෙන තට්ටයාගේ කැළණි ගඟ පෙන්නන්නට ගියෙමි ය. ටික වෙලාවකින් නමියා දියෙස් බ්‍රෑන්ඩ් ලැවරියා පිඟානත් අරගෙන ඇස්වහක් කටවහක් නෑ සීදේවි ගුණ යහපත් ඉළංදාරියා අපටත් ලැවරියා බෙදන්නට ගඟ ගාවට ම පල්ලං බැස්සේ ය.
වත්සලා, එයාගෙ නංගි සහ චූටි වත්සල පැංචා |
නයි හාමි, චූටි මැණිකෙ සහ සුරංග |
ගෘහ මූලික වීරසිංහ |
තිලකසිත අයියා අභය මුද්‍රාව සහිතව |
අසංගලා සහ නමියා |
ලැවරියා කා උඩහට එද්දී වත්සලා කෝ විජේරත්නත්, අපේ ප්‍රධාන ආරාධිතයාවිය වූ ශාන්ති දිසානායක ලේඛිකාවත් එතනට සැපත් වෙලා ය. අපේ තිලකසිත අයියා ආවෙත් ඒ වෙලාවෙම වගේ ය.
උදේ කෑම වැරදී තිබුණු උදවියට තට්ටයියා සිය දෑතින් උයා තිබූ බත් කන්නට තිබුණා. වැඩි වෙලාවක් මිඩංගු නොකර අවශ්‍ය අඩුම කුඩුම (එව්වා අඩු සහ කුඩු වෙන්නෙ ආපහු එද්දි) තට්ටයියගෙ කහපාට සිංගල් කැබ් එකට පටවාගෙන, අපේ නඩයේ උදවියත් පටවාගෙන කැලේ මැද ටීපියට යන්නට පිටත් උණා.
කොහොම හරි අණ්ඩක් කඩා ගන්නෙ නැතුව සිංගල් කැබ් එකේ පිටිපස්සෙ ඉඳගෙන ගියපු අපි, කැලේ මැද ටීපියෙන් බැහැලත් පැයක් තරම යන තුරු ඒ මේ අත ගැස්සි ගැස්සි උන්නෙ.
මද්‍යප උදවිය මද්‍යපාන සහ ධූමායනයත්, අනික් උදවිය වත්සලා, චූටිමැණිකෙ (සුරංග ගෙ නෝනා පොඩ්ඩ) සහ අවශේෂ අඟනුන් හදා දුන්න තේ පානයත් කරමින් සුහද කතාවකට යොමු වුණා. ආන්න ඒ වෙලාවෙදි තමයි මට පසක් වුණේ ශාන්ති දිසානායක නම් ලේඛිකාව කොයි තරම් සරළ, නිහතමානී සහ අව්‍යාජ තැනැත්තියක් ද යන වග.රටේ දේශපාලන තත්ත්වය, සමාජ ගැටළු ආදී දේ ගැන අපට එකග වෙන්න පුළුවන් වුණු තැන් ගොඩක් තිබුණා.
නමියාගේ සිට වත්සලාගේ පුතා දක්වා විවිධ වයස්වල දරුවන්ටත් නිදහසේ ස්වභාවිකත්වය සහ පරිසරය රසවිඳින්න අවස්ථාව ලැබුණු අතර, ඩ්‍රැකියානිගේ පයේ ඇඟිල්ලක් රසවිඳින්න කූඬැල්ලෙකුටත් අවස්ථාව ලැබිලා තිබුණා.
ටීපිය අසළින් ගළාගෙන යන දොළ පාර හරිම නිස්කාන්සුයි. ඒ වගේ ම නිදහසේ ගිළිලා ඉන්න හැකි විදිහට ගල්වලින් වටවුණු පොකුණු වගේ කොටස් කිපයකුත් තිබුණා. ශාන්ති අක්කලා, අසංගලා, වත්සලාලා සහ සුරංගලා මේ දොළ පාරට බැහැගෙන "නානවා" කියා යමක් කරන්නට පටන් ගත්තා. ඒ වචනෙ තේරුම උපන්තේකට අහලා නොතිබුණු මාත්, ප්‍රසන්නත් ගොඩට වෙලා උන්නේ, නොදන්නා දේට ගොහිං වරිගෙ නැහෙයි යන සාධාරණ බයෙන්.
පස්සෙන් පහු තට්ටයියගේ බල කිරීම මත අපේ හුටංබරස් ආදිපාදතුමාටත් දොළ පාරට බහින්න අවස්ථාව ලැබුණා.
අපි ඔක්කොම දොළෙන් ගොඩට ආවත්, සුරංග, චූටිමැණිකෙ සහ වත්සලාගේ නංගි නෙවෙයි ගොඩට ආවේ. ඒ තුන් දෙනා ට වෙලා තිබුණේ අනිකක්... මොකද්ද, දොළේ බැහැගෙන පොඩ්ඩක් ඇඟ අතුල්ලමින් ඉන්නවිට දැනට අවුරුදු දහයකට විතර උඩදි ඇඳපු ඇඳුම් මතු වෙන්න පටන් ගෙන. ඉතින් ඒ එකිනෙක ඇඳුම්වල විස්තර කතා කරමින් ඉද්දි ඒ අයට වෙලාව යනව දැනුනේ නෑ.
වරක් ඩ්‍රැකියානි දොළ අයිනට ගිහින් ඇවිත් මට කිව්වා, කොහෙන්දෝ ගහගෙන ආව මළ සිරුරක් දොළේ පාවෙනව කියලා. මං ගිහුං බලද්දි යන්තං "ඒ අපේ සුරංග මල්ලිනෙ" බව අඳුනගන්න පුළුවන් වුණා.
අන්තිමේ ඩ්‍රැකියානි තමයි මටත් මතක් කරලා දුන්නේ, මේ උදවිය නාන විදිහට තට්ටයියට ලොකු වතුර බිලක් ගෙවන්ඩ සිද්ධ වෙන විත්තිය. ඒක මතක් කළහම ඔන්න යන්තං සුරංගලා දොළෙන් ගොඩට ආවා. ඒ එද්දි, ඒ තුන් දෙනා කොයිතරම් කුණු අතුල්ලලා ද කියතොත්, සුරංගගෙ රැවුළත් සුදු වෙලා තිබුණා.
මං ගොහිං අපේ පුංචිරාළ ගෙ ඇඟ පිහලා ඇඳුං අන්දවගෙන එද්දි සුදුපාට ප්‍රාඩෝ එකක් පිඹගෙන ටීපී වාඩිය පැත්තට ආවා. ඒකෙ ආවේ ප්‍රාජේ සහ ඉයන් ය. ඉයන් ට ටුබැකෝ නිෂ්පාදන එක්ක පුදුම තරහක් තියෙන බව මම දැක්කේ එදා ය. එහෙම උනත් ඩ්‍රැකියානි ට නං ඉයන් ගැන ඇත්තේ ලොකු පැහැදීමකි. ඒ මේ හේතුවටය...
ඉයන් මාමා ට එදා කන්නාඩි කුට්ටම අමතක වෙලා ඇවිදින් ය. ඉතින් එයා හිතාගෙන ඉඳලා තියෙන්නේ ඩ්‍රැකියානි මගේ දුව කියලා ය. ඒක කියාපු වෙලේ ඉඳන් ඩ්‍රැකියානිගේ ඉහේ මලක් පිපුණේ ය.
එදා දවල් කෑමත් පංකාදු පහය. මොලොක් වෙන්නට මිරිසට උයා තිබුණු චිකන්, මියනදලුත් කොස්ඇටත් දාලා හදා තිබුණු කෙහෙම්මලක්, නයිමිරිස් දාලා හදපු කොස්, යන විශේෂාංගවලට අමතරව, බැදපු කොච්චි, බැදපු මිරිස්, බැදපු පපඩම්, සමඟින් පරිප්පුත් බෝංචිත් එක්ක බත් (ඔව් බතුත් තිබුණා) බඩ පැලෙන්නට කන්නට තිබුණේ ය.
අන්තිම හරියේ දී, ගෙට්ටුවට ආව උදවියට සිහිවටනයක් විදිහට ශාන්ති අක්කාගේ පොතක්, ශාන්ති අක්කාගේ අත්සනත් එක්ක ලබා දුන්නා. ඒ අවස්ථාව පොටෝ ගැහුවේ අපේ ප්‍රවීණ සිරිසඟබෝ ස්ටයිල් ඡායාරූප ශිල්පී නමියා. නමුත් ඒක නමියාට විඩින් විඩේ මතක් කරන්න සිද්ධ වීම තමයි අවුල. ඉතින් මටත් රවි අයියටත්, පොටෝ ගහන්නට උවමනා වෙලාවෙ දි "ගහපිය !" කියමින් නමියගේ පිටට තට්ටු කරන්නට සිද්ධ උනා. නමියා පහුවදාම කැඩුං බිඳුං වෙදෙක් ගාව ඇඩ්මිට් උනා කියලා ආරංචියි.
පතෑංංං ඡායාරූප ශිල්පියෝ |
ඔය ගේමෙ දි, කැමති ම පොත් දහය කියන්න කියලා නමියට අවස්ථාව ලැබුණා. ඒ හොර තක්කඩියා කළේ, එක වසරේ ඉඳං දහය වසර දක්වා සිංහල කියවීම් පොත්වල නම් කියාපු එක.
ජිරාෆ් කෑ ගහන හැටි කරන්න අසංගගෙ පුතාට ලැබුණා, මාළුවෙක් කෑ ගහන හැටි කරන්න අසංගට ලැබුණා. නයෙක්ට ටෝච් එකෙන් ගහන්න වත්සලාට ලැබුණා, වත්සලාගෙන් ගුටි කන්න ප්‍රසන්නට ලැබුණා.
ඒ ටිකත් ඉවර වෙලා, පරක්කුත් වෙන හින්දා ආපහු එන්න හැරුණා. කහ පාට සිංගල් කැබ් එක හරවා ගනිද්දි වැරදිලා, කෑම මේසයත් එළාගෙන, බත් වලින් මල් වෙඩිල්ලකුත් පත්තු කරගෙන, රවි අයියවත් පෙරලාගෙන යන්නට ගිය වාහනේ තට්ටයගෙ දක්සතාව හෝ එහෙමත් නැත්නම්, ලක් බයි චාන්ස් එක නිසා යන්තම් නතර කරගන්න පුළුවන් වුණා.
නමුත් ඒ විදිහෙ ආරම්භයකුත් එක්ක ආපු නිසා, කැලේ මැද ඉඳන් මහ පාර අයිනට එද්දි අපේ බහුතරයකට තප්පරෙන් තප්පරේ දෙවියන් සිහිපත් වුණා. බලන්ඩ ඒක ම කොයිතරම් ලොකු පිනක් ද කියලා.
කොහොමින් හරි අපි දරු පවුලුත් එක්ක ඉතා ම සුන්දර සහ අමතක නොවන දවසක් ගත කළා. වියදම ගියෙත් උදේ සහ දවල් කෑම බීමට විතරයි. විසේසෙන් ම කියන්ට උවමනයි, තිලකසිරි අයියා ඉතාම හිතවත් සහ සුන්දර මනුස්සයෙක් බව මම තේරුම් ගත්තෙ එදා. ඒ වගේ ම අපේ ගෙට්ටුවට ඇවිත්, අපිත් එක්ක 100%ක් ම මුහු වෙලා අපට ගෞරවයක් ලබා දුන්න ශාන්ති අක්කටත් ගොඩක් ස්තූතියි. ඒ වගේම මධ්‍යපාන ගඳ, දුම්කොළ ගඳ වගේ ම අවුවෙ දඟලලා අපේ හඩු ගඳ ඉවසගෙන අපි ළඟ උන්න එක මත් ලොකු දෙයක්. (එයා ළඟදි ම බ්ලොග් එකක් ලියන්න පටන් ගන්නව කිව්වා.) ඒ වගේ ම ගෙට්ටුවේ සංවිධානය කිරීමේ මහ මොලකරු (මොල සහ තට්ටකරු) ටත්, ස්වයංව පත්වුණු ගරු භාණ්ඩාගාරික රවි අයියටත් ස්තූතියි... නුඹලා ගේ ප්‍රයත්නය සහ වෙහෙස නොතිබෙන්නට වැඩේ අල සහ දෙල් බවට පත් වෙන්නට ඉඩ තිබුණා. ඉතාාාම සාර්ථකයි වැඩේ. මට කෝටි තිහක ලොතරැයිය ඇදුණහම මීළඟ ගෙට්ටුව සීතල නත්තලේ නුවරඑළියේ දී පවත්වන්නට අධිෂ්ඨාණ කරගෙන ඉන්න බවත් අවසාන වශයෙන් දැනුම් දෙනවා.
වැඩිදුර කියවීමට...
ඒ කොස් කොත්තුවක් නෙමෙයිද?
ReplyDeleteහෑ...! 🤔
Deleteකොත්මලේ පැත්තෙ කොස් උයනව ඔය විදිහට. ඒව කාල තමයි දුටුගැමුණුටත් හරි ගියෙ.
Wild cook book කියන කරාව කොල්ලෙක් කරන වීඩියෝ බලනවද?
Deleteකොස් කොත්තුව උයන විදිය දාපම්කෝ තව පෝස්ට් එකකින් විස්තර ඇතුව
Deleteජගත්,
Deleteඅදමයි ඇහුවෙ. ඒක පට්ට.
කමියා,
ආයි මොට ද මං කියන්නෙ. මෙන්න මෙතන හුරතලේට හුරතලේ කියා දෙනව. https://www.youtube.com/watch?v=vsctu95uWwA
https://www.youtube.com/@SeehumMansala
Deleteස්තූතියි. මාත් පටං ගන්න ඉන්නෙ චැනල් එකක්
Deleteආයෙත් මැව්න. සිද්දිය... ලස්සන දවසක් ඈ
ReplyDeleteඉෂ්ෂ්තූතියිඊඊඊ
Deleteඅපූරුයි... හාස්‍යය එක්ක අපේ ඔළු ගෙඩියට අනින ටොක්ක මරු... රිදුමද මිහිරියි නොවැ.. එ් කදිම දවස ගැන කදිම විවරණයක්... අාදරෙයි ඩ්‍රැකියානනි..
ReplyDeleteඈ... මං මේක දෙතුං වතාවක් ආපහු කියෙව්වා, මං කාට ද ටොක්කක් ඇණල තියෙන්නේ කියලා.
Deleteකොහොම වෙතත්, ස්තූතියි. අගය කිරීමටත්, ආදරයටත් දෙකට ම.
("ඩ්‍රැකියානනි" කියන වචනෙ මට එක පාරට ම කියවුණේ "ඩ්‍රැකියානි" කියලා.)
ඔක්කොම් කියවගෙන ගියා එක හුස්මට. නිකම් අපි එතන් හිටිය වගේ...🤣🤣 අයිය පවු ඉතිං මේ දවස්වල..තව් අවුරුද්දක් දෙකක්ම වැඩ බලන්න වෙයිද මංද මේ විදිහට...
ReplyDeleteඅයිය පවු තමා. වැඩ බැලීම කොහොමටත්, මං ඇදේට අඩියක් තියන තුරු හෝ පූර්ණකාලීන කෙනෙක් පත් කරන තුරු කියන දෙකෙන් මුලින් ම උදා වෙන අවස්ථාව වෙන තුරු කරන්න වෙනවා.
Deleteබ්ලොග් ගෙට්ටුවෙන් පසුව ඒ ගැන කියවාපු පලවෙනි පෝස්ටුව. ආපහු ඒ ගමන ගියා වගේ දැනුනා. ඒක නෙවෙයි ගිරිදේවී බ්ලොග් එක ඉක්මනින් හදල දීපන්.
ReplyDeleteහදල දුන්නා. උද උදේ ම උනන්දුවෙන් ලියන්න පටං ගත්තා ශාන්ති අක්කා.
Deleteලින්ක් එක එවහන් මටත්..
Deleteමේ තියෙන්නෙ...
Deletehttps://giridevee.blogspot.com
විනෝදයි විනෝදයි... ඉයන්ට පෙනුනා හරි. තිලකසිරි අයියව මීට කලින් එකම එක පාරක් හමු වුනා.මම නඳ වෙන්න බීල හිටියෙ. බොහොම ඉවසීමෙන් කතා බහ කරපු මහත්මයෙක්.
ReplyDeleteකෝටි තිහ ඇදුනත් නැතත් ආයෙ වතාවක් බංගලාවට බඩ ගාල වදයක් දෙන්න කුප්ප අදහසක් හිතේ නලියන බව කියල තියන්න උවමනායි..
වැදගත් බ්ලොග් ගෙට්ටුවට ජයවේවා..!!
(ගස්ලබ්බා)
ඩ්‍රැකියානි: මෙයාගෙත් ඇස් පේන්නෙ නෑ.
Deleteමං: ඇයි? "ඉයන්ට පෙනුනා හරි." කියල කියපු නිසා ද?
ඩ්‍රැකියානි: නෑ. "බංගලාව" කියල ලියල තියෙන්නෙ.
මං: ඔ්ක විසන්ධි කරල තේරුම් ගන්න ඔ්නෙ. "භංග + ලාව" ඒ කියන්නෙ, පොඩ්ඩක් භංග වෙලා තියෙනව කියන එක.
නමියගෙ පෝස්ට් එල කියවල මේ ආවෙ. ආයෙ මොනවද, නියමෙට විස්තරේ ලියල තියෙන්නෙ.🙏👌😊
ReplyDeleteගෙට්ටුවෙදි බස්සවත්, බුරතීනෝවත් මතක් කළා ප්‍රා ජේ.
Deleteඔහේගෙයි තට්ටයගෙයි සුරංගෙයි අප්‍රතිහද දයිරය හින්ද තමයි මට ඕකට එන්න හම්බඋනේ.
ReplyDeleteමොනව උනත් ඒ හමුවීම, පැමිණි උදවිය හරිම සුන්දරයි. මම හිතාගෙන හිටියෙ නෑ ඉයන් කියන්නෙ ඔය වගේ හයේ හතරෙ ඩෑල් එකක් කියල. හැක්..
එකක් නං හරියට හරි. තවුසෙ මේ ගෙට්ටුවකට ගෙන්න ගන්ඩ මං අප්‍රතිහත ධෛර්යයක් දැරුවා තමයි.
Deleteඇත්ත. සුන්දරයි හමුවීම. එක ම නාඩිය තියෙන උදවිය එක්ක වරුවක් ගත කිරීම පට්ට අත්දැකීමක්.
ඉයන්ට හයේ හතරෙ විශේෂණය වගේ ම හැටේ පණහෙ විශේෂණයත් අදාළයි.
තට්ටය මහත්තැං මේ වෙනකලුත් ගඟ සුද්ද කරනවයි කියල ආරංචියි.
ReplyDeleteවත්සලා නෝනව දාගෙන ඇවිල්ල සුරංගෙ සොටියෙ ෂොක්ස් බැස්සයි කියලත් රාවයක් ගියා.
මතක ඇතුව ඊගාව පාර එනකොටවත් බොගේ අර ටෝච් කෑල්ල අරං වරෙං.
කෑලි හයේ ටෝච් එක තිවුනා... නෝනා හිටිය හින්දා පෙන්නුවේ නෑ
Deleteඅපරාදෙ.
Deleteප්‍රසා,
Deleteතට්ටහාමි දහ අතේ කල්පනා කරනව, වතුර බිල ගෙවාගන්නෙ කොහොම ද කියලා. වෙලාවට නමියා මේ පාර ටැප් එක කැඩුවෙ නෑ.
ඇනෝ,
කවුද අප්පා මේ කතා කියන්නෙ?
ප්‍රසෝ,
එවෙලෙ කිව්වනං, අර වොෂ් රූම් එක පිටිපස්සෙ පරණ ලන්තෑරුම් දෙකක් තිබුණ. ඒ එකකින් ගහන්ඩ තිබුණා.
ආං එහෙම කියනකොට මතක් වුණා කතාවක්.
මං අර ඔපිස් කතා පෝස්ට් එකේ ලියල තියෙනව නෙ විමලසේන කියල තීෆ් එකවුන්ටන් කෙනෙක් ගැන. උන්දැ නිතර ම කියන දෙයක් තමයි, "මම ඩිෆෙන්ස් එකේ ඉන්න කාලෙ (ඒ කියන්නෙ ආරක්ෂක අමාත්‍යාංශෙ) ඔය වගේ සිද්ධි කීපයක් උනා, එයින් එකක් දැන් කියන්නං" කියන පාඨය. දවසක් මෙයා එයාගෙ ඔෆිස් එකට දාල හිටපු පියන් කොල්ලට හොඳට ම බැන්නා. ඌ එලියට ආවට පස්සෙ මගෙ යාළුවෙක් වුණු වසන්ත නාවලගේ කියනව, "ලොක්කා මූට බැන්නා, "මං ඩිෆෙන්ස් එකේ ඉන්න කාලෙ මට කකුල් හතරක් තිබුණ. මං එයින් දෙකක් මෙහෙට එද්දි ගෙනාව. මං උඹට එයින් එකකින් ගහනව දැං" කියල".
//ගරු නගරාධිපති සහ ගරු සභාපතිවරුන් වෙත පැවරී තිබුණු තීරණ ගැනීම සභා ලේකම්වරුන්ට සහ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වෙත පැවරුණා//
ReplyDeleteආයෙ මොනවද ඉතිං මේ දවස්වල අලකොමා ඉන්නෙ කෝටි තිහ ඇදුන වගේ තමයි ඉඳගෙන.
චන්දේ එනකොට අලකොමා තව අලවතු දෙකක්වත් අරගෙන තියේවි.
Deleteආයෙ මොනවද.
Deleteප්‍රසෝ.
Deleteඔහොම 2017 - 18 කාලෙ කටයුතු කරපු උදවිය හින්දා අපට මූලික විමර්ශන කරන්ඩ වෙලා තියෙනව ඉහටත් උඩින්. එයිට වඩා හොඳයි හිඟා කනව ග්‍රෙගරි වැව ගාව.
ඇනෝ,
ආයි මෙනවද ඉතිං? කෙලිම්ම අලවතුගොඩ.
ප්‍රසෝ,
ආයෙ ඉතිං තව ටෝච් පාරක් කන්ඩ තමයි. ටෝච් එක තවුසෙ ගාව තියෙන එකේ මං මොකට ද මහන්සි වෙන්නෙ. උඹ ම ගහ ගනිං පතෑංංං ගාලා.
නුවර එළියේ සංවිදාන කරනකල් ඉන්න ඌනේ නෑ , අපි මේ ටිප් එකක් යනගමන් ආවේ කියල ඇවිත් යනවා... හෙහ් හේ...
ReplyDeleteආාා ඒකනං මොකද්ද මෙයා. මේ වෙනකොටත් සරත් ලංකාප්‍රිය, ගස්ලබ්බ, ලොකුපුතා, නිදි, දමිත් ගුණවර්ධන ආදී කීප දෙනෙක් ම ඇවිත් ගියා. කවුරු ආවත් මෙහෙ තියෙන්නෙ ප්ලේන්ටී තමයි.
Deleteමේවානෙව බාම් විස්තරාත්මක පෝස්ට්. අර එකෙක් ලියල මෙලව රහක් නෑ 😂🙈
ReplyDeleteඒ ගැන නං මොනව කියනවද? අපරාදෙ ඌට නාන්ඩ දීපු වතුර ටිකවත්...
Deleteසුරංගගේ මළ සිරුරු පාවුන එක හරි කියමුකෝ... පහුව කොහොමෙයි යකෝ ඌ ගොඩට ආවේ
ReplyDeleteඋබ ප්‍රශ්න අහනව වැඩියි... පතෑං! 👊
Deleteමොනවා උනත් අපිට නොකියා අපිව හලලා කරන ගෙට්ටු වලට මම ලයික් දාන්නේ නෑ.. ආ.. ලයික් නෙවෙයි කොමෙන්ට්..
ReplyDeleteහා හා... බොට බුලත් විතරයි එව්වෙ නැත්තෙ. දැං මගුලක් කතා කරනව!
Deleteදුකක් වගේම සතුටකුත් දැනෙනවා. දුක බ්ලොග් හිතවතුන් එක්ක එකතු වෙන්න බැරිකම . සතුට බ්ලොග් ලියන හිතවතුන්ගේ එකමුතුව. සාමයෙන්, සමගියෙන් දිගු දුරකට සුබ පැතුම් .
ReplyDeleteස්තූතියි ස්තූතියි. ලංකාවට ආ වෙලාවක සුහද හමුවක් දා ගම්මු.
Deleteරුපියල් සත නිසා නේද මේ දුක කියලා හිතෙනකොට වාවන්නේ නෑ ලේ බොන එකෝ... මැරෙන්න කලින් කරන්න තියෙන වැඩ ලිස්ට් එකෙන් එකක් තමා ලංකාවේ බ්ලොග් ලෙජන්ඩ්ලා ටික හමුවෙන එක... කවදාහරි ඒ අහම්බය සිද්ද වේවි කියලා බලන් ඉන්නවා ඉතින්... ගිරිදේවී බ්ලොග් එකේ ලින්ක් එක දාහන් මට බුක්මාර්ක් කරගන්න..
ReplyDeleteඔව්වනං මොනවද? ලංකාවට එනවනෙ විඩෙං විඩේ... ඒ ආපු වෙලාවකට ගෙට්ටුවක් දා ගම්මු.
Deleteබයි ද වේ, බ්ලොග් ලෙජන්ඩ් කියල ජාතියක් නෑ. එහෙම හිතාගෙන ඉන්න උං නං ටිකක් ඉන්නව. අපි ඒ අතරෙ නෑ.
නොගියත් කතන්දරය කියවන තුරු ගිය බව ගිය බව බව නොදැන උනත් ගියා වගෙ සතුටක්. කොහොම හරි ටික දෙනෙක් හරි එකතු උනා කියල දැකීම..
ReplyDeleteසරත්
ඒකනෙ සරත් අයියා... මේ වැඩ කන්දරාව අස්සෙ කියන්න අමතක වුණානෙ. අපි මීළඟ ගෙට්ටුව මේ අඩුපාඩුත් හදාගෙන කරමු.
Deleteතට්ටයා මහතාගේ ගේ බ්ලොග් ගෙට්ටුවට සතුටුයි. මට අවංකව හිතුන දේ නම් (ප්‍රා ජේ ඕනෑ කමින්ම වැඩේ වහන්ට යාම නිසා මාට්ටු වීමෙන් 😁) , ට්‍රයි කරලා ට්‍රයි කරලා වුනේ නැති නිසා, ඔන්නොහෙ අපි ගෙට්ටුවක් කරලා අනිත් එවුන්ට කියමු යන ආකාරයෙන් කෙරුවක් බවයි.😀 කට්ටිය එකතු වෙලා ෆන් එකක් ගත්තා නම් එච්චරයි. බීලා ඉවර වෙලා රවියා යහතින් ගිය නිසා වඩාත් හොඳයි 😄
ReplyDeleteඇත්ත. බ්ලොග් ගෙට්ටුව කියපු ගමං, ඒකට අයිතිකාරයො ටිකක් සෙට් උනා, කුණුහබ්බ වපුරගෙන. බබලතෙකුට හරි, ටිකක් හැදිච්ච විදිහකට සමාජ ප්‍රතිරූපයක් හදාගත්ත කෙනෙක්ට හරි වසන්ඩ බැරි තත්ත්වයක් ඇති වුණා. ඒකෙ අවසාන ප්‍රතිඵලයක් තමයි මේ ගෙට්ටුව...
Deleteඉතා රසවත් ලිපියක්!
ReplyDeleteමේ ලියන්නේ බත් මුට්ටිය ලිපේ තියලා ඇවිත්! (රොස් වෙන්න කලිං බා ගන්නෝන!)
සත්තකින්ම ඔබත් රවි අයියාත් කල උදව් නොවන්නට මේ කිසිවක් සාර්ථක වන්නේ නෑ. ඒ වගේම දුර බැහැර නොබලා මෙහි ආ මිතුරන් මෙන්ම උන්ගේ ඇබෑනිවරියන්ටත් ස්තූතියි!
මම මේ ගැන පෝස්ට් එකක් ලියමින්!
ඒ නිසා වැඩිය ලියන්නේ නෑ. ඒකට ලියන්න තියෙන වචන පොඩ්ඩ මෙතනම ලියවෙයි කියලා!
ජය වේවා!
බලාගෙන ඉන්නව තට්ට විස්තරේ කියවන්ඩ. මං නං මොනව ද කළේ ලොකු අයියෙ? ආව එකයි, කාඩ් ටික හදපු එකයි, විතරයි... සයිට් එකේ තණකොළ කපලා, අතුපතුගාලා, කෑම ඔ්ඩර් කරලා, වාහනේ එලවලා... මතුපිටින් නොපෙනෙන කොයිතරං දේ තිබුණ ද, කරන්න?
Deleteඉරිසියයි වගේම සතුටුයි ... මම හිතන්නේ දැන් ඔය තට්ට අයියගේ පොට් එක ඔපිසියල් බ්ලොග් හමු පොට් එක විදියට නම් කළා නම් හරි .. ආතල් තැනක් වගේ .. රවීයගේ ෂෝට් නෝට් එක කියෙව්වා .. දැන් ඉතිරි ටිකට යනවා
ReplyDeleteඇත්ත පැත්තා. තැන මරු. මෙරට ආ වෙලාවක සෙට් වෙමු!
Deleteගෙට් එක නම්.... මොකක් උනා ද ඒකට කියල මම තාම හිතනවා.
ReplyDeleteඒක තමයි. මං ඇත්තට ම මේ ගෙට්ටුවට අඟහරුවට කතා කරන්න උන්නෙ. වැඩ වැඩිකමට කිිසිකෙනෙකුට කතා කරන්ඩ බැරි උනා.
Deleteශා... මරුනේ .. තනියම හිනා වෙවී කියෙව්වා. තව ඩින්ගෙන් අපේ ගෙදර මහත්තයා කලබල වෙනවා මට මොකක් හරි ලෙඩක් වැලදිගෙන එනවා වත් ද කියලා..
ReplyDelete