40 කොටස...
1989 මැයි මස එක් දිනක...
ලෙෆ්ටිනන්ට් මිත්‍ර උඩුගම නතර වී ආපසු හැරී බැලුවේ අප්‍රසාදය මුසු වූ බැල්මෙනි.
"මම කලින් ම කිව්වා, මිලිටරි සෙල්ලම එක්ක අපට අපේ වැඩේ සාර්ථක කරගන්න බැරි බව..." ඔහු පහත් හඬින් කීවේ ය.
මඳ අඳුර හාත්පස හෙවුණු දැවැන්ත පළතුරු ගස් වල අතු පතර සිට පහතට පැතිරෙමින් පැවතුණි. සිය කැදලි කරා යුහු යුහුව පියාසර කරන කුරුල්ලන් ගේ කළබලය හිස්වලට ඉහළින් ඉඳ හිට නැඟුනි. වඳුරු රංචුවක කළ කෝළහාලයක් ඈතින් ඇසෙන්නට වූයේ එකවරම ය.
"ඒ කතාව මම මීට කලින් ඇහුවෙ 71 කැරැල්ල වෙලාවෙදි." ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් සමන් ගලගොඩ තම සගයාට සමච්ඡල් කළේ ය.
"බයවෙන්න එපා. තාරා හරි ඇවිදින් අන්තිමේ අපි බේරගනියි. තව ටික දුරයි, යං යං...!" කැප්ටන් අමරේන්ද්‍ර , මිත්‍ර ගේ උරහිසට තට්ටු කර දිරි ගැන්වීය.
"නුඹලට බරක් පතළක් නෑ." මිත්‍ර මැසිවිලි කීවේ ය. "එක අතකට තාරා කියපු දේ හරි. අපට මේක ඒ කාලෙදි ම විනාශ කරල දාන්න තිබුණෙ, ඉතිහාසගත වටිනාකම මොකක් වුණත්..."
"මේක විනාශ කරල දාන්න, මේක අපේ දෙයක් ද මිත්‍ර?" අමරේන්ද්‍ර විමසූයේ නොරිස්සුමකිනි. "මේක අයිති ලෝකයට. සුදුසු පුද්ගලයන්ට උරුම කර දෙන්න, ආරක්ෂා කරන එක අපේ යුතුකම"
උරහිස් ගස්සා සිය නො එකඟතාව පළ කළ මිත්‍ර ඉදිරිය බලා පය ඉක්මන් කළේ ය.
දිවා ගුහාවේ බිහි දොර තිබුණේ ඔවුන්ට පියවර විස්සක් පමණ නොදුරින් එළිමහන් කොටසක ය. බැස යමින් පැවති මළාණික රත් පැහැ හිරු රැස් හා අඩ අඳුර මැද එහි විවරය දිස් වුණේ දැවැන්ත සිංහ මුඛයක් ලෙසිනි.
තමන් පැමිණි දිශාවට විරුද්ධ පැත්තෙන් කැළෑව මැදින් තවත් කවුරුන්දෝ පැමිණෙමින් සිටි බවට සළකුණු ඉදිරියෙන් ම ගිය මිත්‍ර දුටුවේ ය. වමතේ දබරැඟිල්ල හා මැදැඟිල්ල වී හැඩයට සකසා, සිය දෑස් වෙත යොමු කොට, නැවතත් ඉදිරිපසට යොමු කරමින් ඔහු සිය සගයන්ට සංඥා කළේ ය. මිත්‍ර සිය දකුණු උරහිසේ වූ ඒකේ 47 තුවක්කුව දකුණතට ගනිද්දී අනෙක් දෙදෙනා ද විමසිලිමත් වූ හ.
අත් ඉහළට ඔසවාගත් දෙ දෙනෙක් කැළෑවේ ප්‍රති විරුද්ධ පැත්තෙන්, එළිමහන් බිමට පිවිසිය හ. ඒ අඳුරුවන් සමැති උස් තරුණයෙක් හා බර්ගර් පෙනුමක් ඇති ආරෝහ පරිණාහ දේහ ධාරියෙක් බව හමුදා භටයෝ දුට හ.
තුවක්කු පහතට දැමූ මිත්‍ර ඔවුන් ඉදිරියට පිය නැගුවේ උනන්දුවෙනි. "ටිරෙල් ඕඩින්සනුත් දැන් රෝ ඔත්තුසේවයට ද වැඩ?" ඔහු රුද්‍ර වෙත යන්තමින් බලමින් ඇසී ය.
"රෝ එකේ වැඩ නුඹලට තව මාස දෙක තුනකින් බලා ගන්න පුළුවන් වෙයි." අඳුරුවන් තරුණයා සෙමෙන් කීය. "ආ වැඩේ කෙළවරක් කරමු දැන්..."
පස් දෙනා ගුහාවට ඇතුළු වූයේ සීරුවෙනි. නායකත්වය දුන් ජ්‍යෙෂ්ඨයා වූ කැප්ටන් අමරේන්ද්‍ර ඉදිරියෙන් යමින්...
ගුහා අභ්‍යන්තරයට යත්ම, ගෞතම නම් පුරාණ දාර්ශනිකයා මැවූ ඉන්ද්‍රජාලම අනුව නැඟුනු ධර්ම දේශනාවේ හඬ කෙමෙන් කෙමෙන් ඇසෙන්නට පටන් ගත්තේ ය. ඊට පසුබිම් වෙමින් දියත්තක් කැළඹෙන හඬක් වරක් හෝ දෙවරක් ඇසුණු බව මිත්‍ර ට දැනුණි. රම්බෝ පිහියක් සිය කෙණ්ඩාවේ ගැට ගසා තිබුණු පටි තද කරගනු වස් ඔහු මඳක් පමා විය. ඊට සියවස් තුනකට පමණ පෙර ලෝකී විසින් මවන ලද සෙවනැලි පිටපත, ගුහාවේ බිත්තියක අඳුරු මුල්ලක සිට එළියට ආවේ ද ඒ මොහොතේ ය. ඒ වන විට ද, රුද්‍ර, ඉන්ද්‍ර, ටිරෙල් සහ සුමන අමෘත උල්පත තිබුණු අභ්‍යන්තර ගුහාවට ඇතුළු වෙමින් සිටියහ.
ගුහාවේ මැද වූ උල්පත අසළ දණ ගසාගත් දළ කුමාර, ඔහු අසළින් ම බොඩි බෑගයක බහා තිබූ රූමත් තරුණියකගේ ප්‍රාණය නිරුද්ධ සිරුර, සහ ඔවුන් අසළ සිටගෙන සිටි පැරණි නෝර්ඩික් අද්මිරාල් වරයා...
"තොපේ රහස් ඔත්තු සේවය ප්‍රමාද වැඩියි!" දළ කුමාර ගුගුළේ ය. "මගෙ පණ ගියත්, මගෙ ගිරි දේවි ආපහු නැගිටිනවා."
එකෙණෙහි ම රුද්‍ර හා ටිරෙල් කපා හෙළූ කඳන් මෙන් බිම පතිත විය. ඔවුන් වැටුණේ මිත්‍ර නිල බලා දුන් මුෂ්ටි ප්‍රහාර දෙකකින් බව ඉන්ද්‍ර හා සුමන හට තේරුම් යන පමාවෙන්, ඩ්‍රේක් ඔවුන් අසළ ය...
සිය පැති අවිය වූ 9mm ස්වයංක්‍රීය පිස්තෝලය ඇදගත් සුමන එය එල්ල කරන්නට පමා නොවී, එයින් ඩ්‍රේක් ගේ හිසට පහර දුන්නේ ය. ඇසිල්ලකින් හිස ඇල කොට එම පහර වළක්වාගත් නෝර්ඩිකයාගේ මිට මෙළවූ සුරත වේගයෙන් තම නාසය වෙත ඇදී එනු ගලෙගාඩගේ දෑසට ලක් වීමත්, එම මුෂ්ටිය සමඟ ඇදී ආ සුළං රැල්ල ඔහුගේ ඇසිපිය මත වැටීමත් සිදු වූයේ එක්වරම ය. මුෂ්ටි පහර වැළැක්වීමට කාලය මඳ වූයෙන් එය සිය නිකට කොණක වැදෙන්නට ඉඩ හැරි සුමන, එම පහරත් සමඟ සිය හිස මඳක් පිටුපසට යාමට ඉඩ දී, දකුණු පසට පිටුපසට නැවී වම් පය සිය හිසට සමාන්තරව ඔසවා වැරෙන් පහරක් එල්ල කළේ ය. එය අපේක්ෂා නොකළ ද, ඩ්‍රේක් හට පසෙකට පැන එයින් බේරෙන්නට හැකි වූයේ, රීරි යකාගෙන් ලැබී තිබූ අමානුෂික ශක්තිය හා වේගය උපකාරයෙනි.
ඒ අතර, මිත්‍ර හා දළ කුමාර එක්ව කැප්ටන් අමරේන්ද්‍ර අඩපණ කොට බිම වැතිරවා තිබූ බව සුමන ඇස් කොණකින් දුටුවේ ය. ඒ අවසරයෙන් අඩියක් පමණ උඩපැන ඩ්‍රේක් දුන් සමනළ පා පහරින් සුමන ගේ සමබරතාව බිඳී, විසිවී ගොස් උල්පතට වැටුණේ ය.
තප්පර කිහිපයක් යන තුරු ඇසුණේ, ජයග්‍රාහකයන් ගේ හුස්ම පිටකිරීමේ ශබ්දය පමණකි. මිත්‍ර කෙමෙන් කෙමෙන් අප්‍රාණික ව වැටෙණු, කැප්ටන් අමරේන්ද්‍ර ගේ අඩවන් දෑසට ලක් විය. මිත්‍ර වැටෙද්දී ඔහුගේ සිරුරින් ඉහළට නැඟුනු රැස් දහරක් මිනිස් රූපයකට හැරෙන්නට පටන් ගත්තේ ය. ගුහාවේ අඳුරු බිත්තියක සිට ඒ දෙසට ඇදී ආ සෙවනැල්ලක් ද ඊට මුසු වෙමින්, සමච්ඡල් සහගත සිනාවකින් සැරසුණු ලෝකී ගේ මුහුණ හා ශරීරය නැවත නිර්මාණය විය.
උල්පත වෙත හැරුණු ලෝකී ගේ දෑසට ලක් වුණේ එහි වැටී සිටි අලුත උපන් බිළිඳෙකි. ගිරි දේවිය කෙමෙන් කෙමෙන් ප්‍රාණවත් වන ආකාරය බලා සිටි දළ කුමාරට අත වැනූ ලෝකී, උල්පත වෙත නැඹුරු වත් ම, ඔහුගේ හිස ට අකුණු දහසක් එක විට වැදුණාක් මෙන් බලැති මිටි පහරක් වැදුණේ ය. එකෙණෙහි ම නෝර්ඩික් දුෂ්ට දෙවියා මැරී වැටුණේ ය. සිය අතෙහි වූ මිටිය නැවතත් ටිරෙල් අසළට විසි කර දැමූ ඇඩම් උල්පතෙහි වූ අමා දිය දෝතින් රැගෙන බීවේ ය.
දළ කුමාරත්, ගිරි දේවියත්, නැවත ඔවුනොවුන් හමුවීමෙන් ප්‍රමුදිතව සිටියදී, උල්පතට වැටී උන් ළදරුවා මෘදුව වඩා ගත් නෝර්ඩික් වැම්පයරයා ගුහාවෙන් පිටව ගියේ ය.
* * *
ඉන්දිරා පල්ලියේ සිට නිවසට ඇවිදගෙන ආවේ බිමට බරවූ හිසිනි. ෆයර්මවුන්ට් නගරයේ වැසියන්ට, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නමට බැරවූ තවත් එක් පොලිස් නිලධරයෙකුගේ මරණයක් වූව ද, ඇගේ සැමියා ගේ වියෝව තවමත් පපුවට ඇණුනු කටුවක් සෙයින් වේදනා දෙමින් පැවතිණ.
අබලන්ව දෙපසට පැද්දෙමින්, ඩක ඩක ගාමින් ඇදී ගිය බර බාගයක් විසින් ගුරු පාරේ නොමඳ ව පැවති දුහුවිල්ල ඇවිස්සී ය. උඩුකය නිරුවත් කොල්ලන් තුන් දෙනෙක් ගේ පාවහන් රහිත පතුල් පාරේ ගැටෙන හඬින්, ඉන්දිරා පාරේ අයිනට ම තල්ලු විය. මළ හිරු ගේ අවසන් රැස් දහර ද ගිළී ගිය ඉක්බිති, හාත්පස මඳින් මඳ අඳුර පැතිර යමින්...
පැරණි ගේට්ටු පියන් විවර කර, සිය ගෙවත්තට ඇතුල් වූ ඉන්දිරා, නිවසේ එළිපත තිබූ පොදිය දැක විමසිලිමත් විය. "ඔබ අසල ඇති පාර්සලය බෝම්බයක් විය හැකියි!" නිතර දෙවේලේ රූපවාහිනියේ හා රේඩියෝවේ පළ කෙරුණු දැන්වීම් නිසා ඈ බියපත් වූවා ය.
එකෙණෙහි ඇගේ දෙසවණට ඇසුණේ කුඩා ළදරුවෙකු ගේ දුර්වල කෙඳිරියකි. අතෙහි වූ යාඥා පොත හා අත් බෑගය බිම තැබූ ඈ කුඩා පොදිය ප්‍රවේසමින් වඩාගත්තා ය. ඔතා තිබූ මෘදු රෙදි කඩ මෑත් කර බැලූ ඈ උදා වෙමින් පැවති පුර හඳේ එළියෙන් දුටුවේ සුරතල් දරුවෙකු ගේ මුහුණකි.
"ශාම්..." ඇගේ මියගිය සැමියා ඇමතූ සුරතල් නම එය විය. "ඔයා ආයෙමත් මා ළඟට ආවද?"
කුඩා දරුවා දත් නැති කුඩා රෝස පැහැ විදුරු මස් පෙන්වා, සිනා සෙන්නාක් මෙන් සිඟිති දෙතොල් සකස් කර ගත්තේ ය.
* * *
තව කොටසක්...