Saturday, September 25, 2021

අවසානයක් නොවේ - 41

 40 කොටස...

1989 මැයි මස එක් දිනක...

ලෙෆ්ටිනන්ට් මිත්‍ර උඩුගම නතර වී ආපසු හැරී බැලුවේ අප්‍රසාදය මුසු වූ බැල්මෙනි. 

"මම කලින් ම කිව්වා, මිලිටරි සෙල්ලම එක්ක අපට අපේ වැඩේ සාර්ථක කරගන්න බැරි බව..." ඔහු පහත් හඬින් කීවේ ය.

මඳ අඳුර හාත්පස හෙවුණු දැවැන්ත පළතුරු ගස් වල අතු පතර සිට පහතට පැතිරෙමින් පැවතුණි. සිය කැදලි කරා යුහු යුහුව පියාසර කරන කුරුල්ලන් ගේ කළබලය හිස්වලට ඉහළින් ඉඳ හිට නැඟුනි. වඳුරු රංචුවක කළ කෝළහාලයක් ඈතින් ඇසෙන්නට වූයේ එකවරම ය.

"ඒ කතාව මම මීට කලින් ඇහුවෙ 71 කැරැල්ල වෙලාවෙදි." ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් සමන් ගලගොඩ තම සගයාට සමච්ඡල් කළේ ය. 

"බයවෙන්න එපා. තාරා හරි ඇවිදින් අන්තිමේ අපි බේරගනියි. තව ටික දුරයි, යං යං...!" කැප්ටන් අමරේන්ද්‍ර , මිත්‍ර ගේ උරහිසට තට්ටු කර දිරි ගැන්වීය.

"නුඹලට බරක් පතළක් නෑ." මිත්‍ර මැසිවිලි කීවේ ය. "එක අතකට තාරා කියපු දේ හරි. අපට මේක ඒ කාලෙදි ම විනාශ කරල දාන්න තිබුණෙ, ‌ඉතිහාසගත වටිනාකම මොකක් වුණත්..."

"මේක විනාශ කරල දාන්න, මේක අපේ දෙයක් ද මිත්‍ර?" අමරේන්ද්‍ර විමසූයේ නොරිස්සුමකිනි. "මේක අයිති ලෝකයට. සුදුසු පුද්ගලයන්ට උරුම කර දෙන්න, ආරක්ෂා කරන එක අපේ යුතුකම"

උරහිස් ගස්සා සිය නො එකඟතාව පළ කළ මිත්‍ර ඉදිරිය බලා පය ඉක්මන් කළේ ය.

දිවා ගුහාවේ බිහි දොර තිබුණේ ඔවුන්ට පියවර විස්සක් පමණ නොදුරින් එළිමහන් ‌කොටසක ය. බැස යමින් පැවති මළාණික රත් පැහැ හිරු රැස් හා අඩ අඳුර මැද එහි විවරය දිස් වුණේ දැවැන්ත සිංහ මුඛයක් ලෙසිනි. 

තමන් පැමිණි දිශාවට විරුද්ධ පැත්තෙන් කැළෑව මැදින් තවත් කවුරුන්දෝ පැමිණෙමින් සිටි බවට සළකුණු ඉදිරියෙන් ම ගිය මිත්‍ර දුටුවේ ය. වමතේ දබරැඟිල්ල හා මැදැඟිල්ල වී හැඩයට සකසා, සිය දෑස් වෙත යොමු කොට, නැවතත් ඉදිරිපසට යොමු කරමින් ඔහු සිය සගයන්ට සංඥා කළේ ය. මිත්‍ර සිය දකුණු උරහිසේ වූ ඒකේ 47 තුවක්කුව දකුණතට ගනිද්දී අනෙක් දෙදෙනා ද විමසිලිමත් වූ හ.

අත් ඉහළට ඔසවාගත් දෙ දෙනෙක් කැළෑවේ ප්‍රති විරුද්ධ පැත්තෙන්, එළිමහන් බිමට පිවිසිය හ. ඒ අඳුරුවන් සමැති උස් තරුණයෙක් හා බර්ගර් පෙනුමක් ඇති ආරෝහ පරිණාහ දේහ ධාරියෙක් බව හමුදා භටයෝ දුට හ.

තුවක්කු පහතට දැමූ මිත්‍ර ඔවුන් ඉදිරියට පිය නැගුවේ උනන්දුවෙනි. "ටිරෙල් ඕඩින්සනුත් දැන් රෝ ඔත්තුසේවයට ද වැඩ?" ඔහු රුද්‍ර වෙත යන්තමින් බලමින් ඇසී ය.

"රෝ එකේ වැඩ නුඹලට තව මාස දෙක තුනකින් බලා ගන්න පුළුවන් වෙයි." අඳුරුවන් තරුණයා සෙමෙන් කීය. "ආ වැඩේ කෙළවරක් කරමු දැන්..."

පස් දෙනා ගුහාවට ඇතුළු වූයේ සීරුවෙනි. නායකත්වය දුන් ජ්‍යෙෂ්ඨයා වූ කැප්ටන් අමරේන්ද්‍ර ඉදිරියෙන් යමින්...

ගුහා අභ්‍යන්තරයට යත්ම, ගෞතම නම් පුරාණ දාර්ශනිකයා මැවූ ඉන්ද්‍රජාලම අනුව නැඟුනු ධර්ම දේශනාවේ හඬ කෙමෙන් කෙමෙන් ඇසෙන්නට පටන් ගත්තේ ය. ඊට පසුබිම් වෙමින් දියත්තක් කැළඹෙන හඬක් වරක් හෝ දෙවරක් ඇසුණු බව මිත්‍ර ට දැනුණි. රම්බෝ පිහියක් සිය කෙණ්ඩාවේ ගැට ගසා තිබුණු පටි තද කරගනු වස් ඔහු මඳක් පමා විය. ඊට සියවස් තුනකට පමණ පෙර ලෝකී විසින් මවන ලද සෙවනැලි පිටපත, ගුහාවේ බිත්තියක අඳුරු මුල්ලක සිට එළියට ආවේ ද ඒ මො‌හොත‌ේ ය. ඒ වන විට ද, රුද්‍ර, ඉන්ද්‍ර, ටිරෙල් සහ සුමන අමෘත උල්පත තිබුණු අභ්‍යන්තර ගුහාවට ඇතුළු වෙමින් සිටියහ.

ගුහාවේ මැද වූ උල්පත අසළ දණ ගසාගත් දළ කුමාර, ඔහු අසළින් ම බොඩි බෑගයක බහා තිබූ රූමත් තරුණියකගේ ප්‍රාණය නිරුද්ධ සිරුර, සහ ඔවුන් අසළ සිටගෙන සිටි පැරණි නෝර්ඩික් අද්මිරාල් වරයා...

"තොපේ රහස් ඔත්තු සේවය ප්‍රමාද වැඩියි!" දළ කුමාර ගුගුළේ ය. "මගෙ පණ ගියත්, මගෙ ගිරි දේවි ආපහු නැගිටිනවා."

එකෙණෙහි ම රුද්‍ර හා ටිරෙල් කපා හෙළූ කඳන් මෙන් බිම පතිත විය. ඔවුන් වැටුණේ මිත්‍ර නිල බලා දුන් මුෂ්ටි ප්‍රහාර දෙකකින් බව ඉන්ද්‍ර හා සුමන හට තේරුම් යන පමාවෙන්, ඩ්‍රේක් ඔවුන් අසළ ය...

සිය පැති අවිය වූ 9mm ස්වයංක්‍රීය පිස්තෝලය ඇදගත් සුමන එය එල්ල කරන්නට පමා නොවී, එයින් ඩ්‍රේක් ගේ හිසට පහර දුන්නේ ය. ඇසිල්ලකින් හිස ඇල කොට එම පහර වළක්වාගත් නෝර්ඩිකයාගේ මිට මෙළවූ සුරත වේගයෙන් තම නාසය වෙත ඇදී එනු ගලෙගාඩගේ දෑසට ලක් වීමත්, එම මුෂ්ටිය සමඟ ඇදී ආ සුළං රැල්ල ඔහුගේ ඇසිපිය මත වැටීමත් සිදු වූයේ එක්වරම ය. මුෂ්ටි පහර වැළැක්වීමට කාලය මඳ වූයෙන් එය සිය නිකට කොණක වැදෙන්නට ඉඩ හැරි සුමන, එම පහරත් සමඟ සිය හිස මඳක් පිටුපසට යාමට ඉඩ දී, දකුණු පසට පිටුපසට නැවී වම් පය සිය හිසට සමාන්තරව ඔසවා වැරෙන් පහරක් එල්ල කළේ ය. එය අපේක්ෂා නොකළ ද, ඩ්‍රේක් හට පසෙකට පැන එයින් බේරෙන්නට හැකි වූයේ, රීරි යකාගෙන් ලැබී තිබූ අමානුෂික ශක්තිය හා වේගය උපකාරයෙනි.

ඒ අතර, මිත්‍ර හා දළ කුමාර එක්ව කැප්ටන් අමරේන්ද්‍ර අඩපණ කොට බිම වැතිරවා තිබූ බව සුමන ඇස් කොණකින් දුටුවේ ය. ඒ අවසරයෙන් අඩියක් පමණ උඩපැන ඩ්‍රේක් දුන් සමනළ පා පහරින් සුමන ගේ සමබරතාව බිඳී, විසිවී ගොස් උල්පතට වැටුණේ ය.

තප්පර කිහිපයක් යන තුරු ඇසුණේ, ජයග්‍රාහකයන් ගේ හුස්ම පිටකිරීමේ ශබ්දය පමණකි. මිත්‍ර කෙමෙන් කෙමෙන් අප්‍රාණික ව වැටෙණු, කැප්ටන් අමරේන්ද්‍ර ගේ අඩවන් දෑසට ලක් විය. මිත්‍ර වැටෙද්දී ඔහුගේ සිරුරින් ඉහළට නැඟුනු රැස් දහරක් මිනිස් රූපයකට හැරෙන්නට පටන් ගත්තේ ය. ගුහාවේ අඳුරු බිත්තියක සිට ඒ දෙසට ඇදී ආ සෙවනැල්ලක් ද ඊට මුසු ‌වෙමින්, සමච්ඡල් සහගත සිනාවකින් සැරසුණු ලෝකී ගේ මුහුණ හා ශරීරය නැවත නිර්මාණය විය. 

උල්පත වෙත හැරුණු ලෝකී ගේ දෑසට ලක් වුණේ එහි වැටී සිටි අලුත උපන් බිළිඳෙකි. ගිරි දේවිය කෙමෙන් කෙමෙන් ප්‍රාණවත් වන ආකාරය බලා සිටි දළ කුමාරට අත වැනූ ලෝකී, උල්පත වෙත නැඹුරු වත් ම, ඔහුගේ හිස ට අකුණු දහසක් එක විට වැදුණාක් මෙන් බලැති මිටි පහරක් වැදුණේ ය. එකෙණෙහි ම නෝර්ඩික් දුෂ්ට දෙවියා මැරී වැටුණේ ය. සිය අතෙහි වූ මිටිය නැවතත් ටිරෙල් අසළට විසි කර දැමූ ඇඩම් උල්පතෙහි වූ අමා දිය දෝතින් රැගෙන බීවේ ය. 

දළ කුමාරත්, ගිරි දේවියත්, නැවත ඔවුනොවුන් හමුවීමෙන් ප්‍රමුදිතව සිටියදී, උල්පතට වැටී උන් ළදරුවා මෘදුව වඩා ගත් නෝර්ඩික් වැම්පයරයා ගුහාවෙන් පිටව ගියේ ය.

*    *    *

ඉන්දිරා පල්ලියේ සිට නිවසට ඇවිදගෙන ආවේ බිමට බරවූ හිසිනි. ෆයර්මවුන්ට් නගරයේ වැසියන්ට, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නමට බැරවූ තවත් එක් පොලිස් නිලධරයෙකුගේ මරණයක් වූව ද, ඇගේ සැමියා ‌ගේ වියෝව තවමත් පපුවට ඇණුනු කටුවක් සෙයින් වේදනා දෙමින් පැවතිණ. 

අබලන්ව දෙපසට පැද්දෙමින්, ඩක ඩක ගාමින් ඇදී ගිය බර බාගයක් විසින් ගුරු පාරේ නොමඳ ව පැවති දුහුවිල්ල ඇවිස්සී ය. උඩුකය නිරුවත් කොල්ලන් තුන් දෙනෙක් ගේ පාවහන් රහිත පතුල් පාරේ ගැටෙන හඬින්, ඉන්දිරා පාරේ අයිනට ම තල්ලු විය. මළ හිරු ගේ අවසන් රැස් දහර ද ගිළී ගිය ඉක්බිති, හාත්පස මඳින් මඳ අඳුර පැතිර යමින්...

පැරණි ගේට්ටු පියන් විවර කර, සිය ගෙවත්තට ඇතුල් වූ ඉන්දිරා, නිවසේ එළිපත තිබූ පොදිය දැක විමසිලිමත් විය. "ඔබ අසල ඇති පාර්සලය බෝම්බයක් විය හැකියි!" නිතර දෙවේලේ රූපවාහිනියේ හා රේඩියෝවේ පළ කෙරුණු දැන්වීම් නිසා ඈ බියපත් වූවා ය. 

එකෙණෙහි ඇගේ දෙසවණට ඇසුණේ කුඩා ළදරුවෙකු ගේ දුර්වල කෙඳිරියකි. අතෙහි වූ යාඥා පොත හා අත් බෑගය බිම තැබූ ඈ කුඩා පොදිය ප්‍රවේසමින් වඩාගත්තා ය. ඔතා තිබූ මෘදු රෙදි කඩ මෑත් කර බැලූ ඈ උදා වෙමින් පැවති පුර හඳේ එළියෙන් දුටුවේ සුරතල් දරුවෙකු ගේ මුහුණකි.

"ශාම්..." ඇගේ මියගිය සැමියා ඇමතූ සුරතල් නම එය විය. "ඔයා ආයෙමත් මා ළඟට ආවද?" 

කුඩා දරුවා දත් නැති කුඩා රෝස පැහැ විදුරු මස් පෙන්වා, සිනා සෙන්නාක් මෙන් සිඟිති දෙත‌ොල් සකස් කර ගත්තේ ය. 



*    *    *

තව කොටසක්...

31 comments:

  1. හොටකුමාර ආපු නැති නිසාද කොහෙද වෙන කවුරුවත් ඇවිල්ලත් නෑ තාම

    ReplyDelete
    Replies
    1. හෙහ්, මොකෑ නැත්තෙ? හැබැයි තාම කියව්වෙ නෑ. ඇහැරුනාම එන්නං.

      Delete
    2. https://en.m.wikipedia.org/wiki/Homicidal_sleepwalking

      Delete
    3. ඈහ්... මේ කොටසට හොට කුමාරය ගාව ගන්ඩ අමතක උනා...

      Delete
    4. අවුලක් නෑ, අර ලී රූකඩේ කැමති නෑ මට පාට් එකක් දෙනවට.😒

      Delete
    5. ලී රූකඩේ ගෙ අදහස මට ගොඩක් වටියි මේ කොටහ ගැන...

      Delete
    6. ඌට මඤ්ඤංලු මේ කොටහ කියෝලා. මිත්‍ර රම්බො පිහියක් ගත්තලු. සුමන AK47ක් ගත්තලු. ලෝකි shoulder-launched SAM missile එකක් ගැහුවලු. ඉන්දිරා ගාන්ධි බදුල්ලෙ උන්නලු. යකඩෝ මාර්වල් පරාදයිනෙ.

      Delete
    7. මේ කොටස අවුල් ද කියාං. අවුල් හාදෙය මොකුත් කියන්නෑ.

      Delete
    8. එහෙම මුකුත් කියන්න මට තේරෙන්නෑ බොලං. මම බෝගෙ කලින් කතාව කියෙවුවෙ නෑ නෙව. ඉතිං මට මුකුත් තේරෙන් නෑ. මේ කතාව උනත් මම එහෙන් මෙහෙන් කියෙවුවට හරියට මුල ඉඳන් ෆලෝ කලේ නෑ නෙව.

      Delete
    9. යකඩො, ලිස්සීමත් බෝවෙන්න පටං ගෙන නෙ. (ජසට් කිඩිං බව කරුණාවෙන් සලකන්න)

      එනිවේ, කෑම වට්ටෝරුවලට පිං ඈ...

      Delete
  2. තාම කියෙව්වෙ නෑ. තව කමෙන්ට් වැටුනාම, එකෙක්ගෙ දෙන්නෙක්ගෙ පස්ස හපන්න එන්නම්.😂

    ReplyDelete
    Replies
    1. ආපහු එද්දි බලාගෙන, නිල් සායං මුට්ටියක් තිබුණ පිළිකන්නෙ...

      Delete
    2. ආං කස්ටිය තට්ටස්ගෙ පෝස්ට් එකේ. ගිහින් බලහං.

      Delete
    3. මං ඒක ෆේස් බුක් දැම්ම. පරණ උදවිය එහෙ රොක් වෙලා.

      Delete
    4. මේ ඩ්‍රැකියො, කොහොමද බං ඔය ෆේස්බුක් එකේ පෝස්ට් හොයා ගන්නෙ? මං කියන්නෙ, බ්ලොග් වල නං සින්ඩි තියනවා, අපේ බ්ලොග් රෝල තියෙනවා අලුතින් වැටෙන පෝස්ට් හොයා ගන්න. මං කියන්නෙ අපි අපේ බ්ලොග් වලත් තමන්ගෙ ෆේස්බුක් ලින්ක් එක හොඳට පේන තැනක දාන්න ඕනෙ කියලයි.

      Delete
    5. නෑ... ඇත්ත. ඒක ම තමයි බ්ලොග්වල තියෙන හොඳේ.

      මෙන්න ෆේස්බුක් ලිංක් එක

      ෆේස්බුක් හොඳයි අපේ බ්ලොග් ප්‍රවර්ධනය කරන්න ප්‍රචාරක මාධ්‍යයක් විදිහට. ඒ ඇරෙන්න ලියා සංරක්ෂණය කරන්න නං සත පහක් වටින්නෑ.

      Delete
  3. පංච තන්තරේ මොකක්ද මෙය එක්ක
    වැඩ-කිඩ හැටකි, පැටලිලි ඇත කප්පරක
    ලිහාගන්න ඕනෑ නං චරිත ටික
    කියවන්නට වෙනව මුළ හිට දිගට එක

    ReplyDelete
    Replies
    1. මගේ මොලේ ගැට ගැහෙන්න පෙර යන්තම්
      කෙළවර දැකිය යුතු වෙයි මේ කතන්දරේ
      පරණ කතාවේ මුල වෙත ගැට ගැහුවා
      තව තියෙන්නෙ පොඩි කොටසයි ලියවෙන්න

      Delete
  4. මධුර සටන් ජවනිකා.. ඇඟ කිලිපොලන ගීත..
    ලෝකිව නිකංම මරල දැම්ම නේ..
    ඔකා ඒම මරන්න පුලුවන් එකෙක් නෙවෙයි .
    හෙන ෆන් කැරැක්ටර් එකක් අනික. දුෂ්ටයි කියන්නත් බෑ දෙයියො ඔක්කම හැත්ත එක වගේනේ..
    දුෂ්ට කමයි හොඳයි කියන්නෙ ගහට පොත්ත වගේ..

    ReplyDelete
    Replies
    1. ඔව්. ලෝකී පහුගිය කොටසකත් මැරුණා. මෙතනත් මැරුණා. පොඩ්ඩක් ඒ වචනෙ හදන්න තියෙනව. තව ඉස්සරහට මොකක් වෙයිද දන්නෑ.

      දුෂ්ටත්වය කියන්නෙ ලේබලයක් නේ මහේෂ්...

      Delete
    2. කෝමත් මේක ඔරිජිනලි ලියැවෙන තැන නැවත එඩිඩ් වෙවී ඇති නේ..
      දවසක පොතක් විදිහට එළියට එන බලාපොරොත්තු එක්ක.
      ඒ නිසා බ්ලොග් එකේ වරක් දාන ඒව නැවත හදන්න එපා. 😃
      එතකොට පුලුවන් කවදහරි මාකටින් කරනකොට ඉන්වර්ට් කරල දාන්න

      "බ්ලොග් අඩවියේ නොපළ කොටස්ද සමඟ" කියලා 😃😃

      Delete
    3. දැනට නං මල්ලි ඔරිජිනල් ලියන්නෙත් මෙතන ම තමා. නමුත් ආපහු දවසක එඩිට් කරනව, තව කීප දෙනෙක්ගෙ සහයෝගයත් එක්ක. අර මාකටිං අදහස මරු... ඒකෙන් පොත් විතරක් කියවන උදවිය බ්ලොග් ගැන දැන ගන්නෙවත් නැතැයි.

      Delete
  5. දැන් මටත් හිතෙන්න අරන් තියෙන්නේ මේ ඉන්න අතමය මොකක් සෙද්දක් කරන්න ආව එකක් කියල. මේ ඩ්රකීයාව තියන්න වටින්නේ නැහැ,.

    ReplyDelete
    Replies
    1. ඈ...? අදහස හොඳයි, පොඩ්ඩක් පැහැදිලි මදි.

      Delete
    2. මේ ඉන්න ආත්මය , මොකක් හරි කරන්න ආව එකක්

      Delete
  6. ආ පෝස්ට් එක කියෙව්වා. හොඳයි, ඒත් ඉවර කරන්න හදිස්සි වෙන්න එපා. ප්ලොට් ට්විස්ට් එකක් දෙකක් දැම්මට කාරි නෑ.😊

    ReplyDelete
    Replies
    1. හදිසියක් නෙමෙයි බස්... කලිං කතාවෙ අවසානෙ ඉතුරු උන ප්‍රශ්න දෙක තුනට පිළිතුරු විදිහට මේක ලිව්වෙ. අදාළ කොටස් ලියල ඉවර වේගෙන එන්නෙ. අද කොටසින් මේ කතාව පරණ කතාවෙ මුලට ඈඳුවා. ඒකෙ අග කොටසෙ ඉඳන් මේ කතාවෙ මුල් කොටස් දෙක සම්බන්ධ කරන්න තියෙනව. පරණ කතාවෙ අග වෙන් කෙරුණු දෙන්නව ආපහු එකතු කරන්නත් අදහසක් තියෙනව. මේ පෝස්ට් එකට යටින් පරණ කතාවෙ අග තියෙනව. බස් බලල තියෙනවද ඒක?

      පස්සෙ පුළුවන් ඇඩමගෙ වික්‍රම විදිහට කෙටි කෙටි කොටස් ලියන්න.

      Delete
    2. හොඳා, හොඳා... පූර්වාපර සන්ධි ගලපලා තමයි දිග කතාවක් ඉවර කරන්ඩ ඕනි!

      Delete
    3. එහෙනං එහෙනං. නමුත් මේකෙ ගැළපිල්ලයි කියන්න තියෙන දේවලුයි ලියල ඉවර කරන්න පුළුවන් වෙයිද දන්නෑ මේ ජීවිත කාලෙ තුළ.

      Delete
  7. ිනියමයි ඔහොම යමු... වෙන කියන්න දෙයක් නෑ අගෙයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අසංග. අඩුපාඩු මොනවහරි කිව්වනං තමයි මට තව දාහක් විතර වටින්නෙ...

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි