Thursday, March 19, 2026

පාර අයිනෙන් ගත්ත ටයරය - අපේ බාප්පා ගැන කතාවකි

ඒ කාලෙ අපේ ගමේ පාරවල් දැන් කාලෙ වගේ නෙවෙයි. මම කියන්නෙ හැත්තෑවේ දශකයෙ මුල. ගුරු පාරවල් තිබුණෙ. පළල් පාරවලට කිව්වෙ කරත්ත පාර කියලයි. ගමේ ප්‍රධාන ම පාර තිබුණෙ කරත්ත පාරක්.

අපේ තාත්තා ස්ථිර රස්සාවකට ගියෙ හැත්තෑ දෙකේ. මම හිතන්නෙ එයා මුලින් ම රැලේ බයිසිකලයක් ගත්තෙ ඒ කාලෙ, මාස කීපයක පඩියෙන් ඉතුරු කරගත්ත මුදලින්. ඒ බයිසිකලේ පවුලෙ හැමෝට ම වටින එකක් වුණා. හොඳට තෙල් දාලා, රැකගෙන, වටින දෙයක් වගේ තමයි තාත්තා පාවිච්චි කළේ.

දවසක් අපේ බාප්පා මේ බයිසිකලේ ඉල්ලුවා එහා ගමට ගිහිං එන්න. තාත්තා තමන්ගෙ මල්ලිගෙ පරිස්සම ගැන හොඳට දන්න නිසා, බයිසිකලේ දුන්නෙ එච්චර කැමැත්තකින් නෙවෙයි.

මේ බයිසිකල් ගමන තමයි හැම දෙයක් ම වෙනස් කළේ.

බාප්පා ගමන පිටත් වුණේ හවස හතරට විතර. ගියෙ අපේ ගමේ වෙල් යායට එහා පැත්තෙ තිබුණු පරකන්දෙණියට. ගුරු පාර දිගේ ජැන්ඩි පහට බයිසිකලේ පැදගෙන, බෙල් එකත් ඉද හිට නාද කරගෙන යද්දි, ලාවට ඇඳිරි වැටෙමින් තිබුණා. ලා ඇඳිරියට බාප්පා දැක්කෙ නෑ, පාර අයිනෙ නයෙක්  මුවහත් ගල් කෑල්ලක් තිබුණා පාරෙ. ඒක ඇනිලා එක පාරට ම බයිසිකලේ ඉස්සරහ රෝදෙ ටයර් එක පිපුරුවා...

දැන් මොක ද කරන්නෙ? අපේ ගම අවට පරිසරය දන්න අය දන්නවත් ඇති, සුනිල් මාමගෙ කඩේ ගාවින් පහලට තියෙනව නාගහදෙණිය පාර, ඔන්න ඔය පාරෙ අතරමැද හරියෙ තමයි මේක සිද්ධ වුණේ. ඒ කාලෙ ඔය හරිය හද්ද කැලේ. ගෙවල් තිබුණෙත් පාර අයිනෙ නෙවයි, ඒ වගේ ම ගෙවල් අතරත් සෑහෙන පරතරයක් තබුණා, ඉඩම් විශාල වීම නිසා.

ටයර් එක නැතුව රිම් එකෙන් විතරක් බයිසිකලේ තල්ලු කරගෙන ආපහු ගෙදර යන්න තමයි සිද්ධ වෙන්නෙ. ඔය අතරෙ තමයි, බාප්පට පාර අයිනෙ සර සරයක් ඇහුණෙ. හොඳට බලපුවා ම මෙන්න සයිස් නයා. අඩියක් විතර ඇති පෙනේ විතරක්. පෙනේ කොච්චර ලොකු ද කියනව නං ඒකෙ "ප"යන්න විතරක් නෙවෙයි අනික් අකුරු දෙකත් තිබුණා.

බාප්පා එක පාරට ම අත දිග ඇරලා අල්ල ගත්තා අර නයාගෙ ඔලුවෙන්. ඒ කරලා හිටං, ඌව එතුවා බයිසිකලේ රිම් එක දිගට. ඔලුව දෙපැත්තෙන් මාපටඇඟිල්ලෙනුයි දබරැඟිල්ලෙනුයි තද කරපුවාම උගෙ කට ඇරුණා. ඒ කටේ ගැහුවා උගෙ ම නැට්ට.

ඒ කරලා හිටං බාප්පා ආපහු බයිසිකලේ නැගලා පදින්ඩ ගත්තා. ටික වෙලාවක් යනකොට තමයි බාප්පට තේරුණේ, අලුත් ටයර් එක රබර් ටයර්වලට වඩා හොඳයි කියලා. සාමාන්‍යයෙන් ගුරු පාරක බයිසිකලේ යද්දි, ඉස්සරහ රෝදෙ හුළං අඩු කරන්ඩ වෙනව, මොක ද, වලවල්වල වැටෙන කොට හුළං හොඳට ම පිරුණු ටයර්වලින් ටෙන්ෂන් එක බයිසිකල් හැඬල් එකට ම දැනෙනව. එතකොට අත් දෙදරනව වගේ දැනෙනව. නමුත් මේ ප්‍රසන්න ටයර් එක එහෙම නෑ. ඒක වලවල්වල වැටෙනකොට පොඩ්ඩක් බුරුල් වෙලා සාමාන්‍ය පාරෙදි ආපහු තද වෙනව.

බාප්ප ඉතිං ගමනත් ගිහිං, වෙන්ඩ පුංචිත් බලාගෙන, ආපහු ඇවිත්, ගමේ ඒ කාලෙ තිබුණු කඩ කීපයෙන් එකක් වුණු ඇල්බොට් ආතගෙ කඩේ ගාවට ආව. ඇවිත් බයිසිකලේ නවත්තනකොට ම, මුදලාලි දැක්කා ඉස්සරහ ටයර් එක පොඩ්ඩක් දඟලනව. 

"මේ මොකද්ද මේ අමුතු ජාතියෙ ටයර් එක?" කඩේ මුදලාලි ඇහුව.


"මේක නයා ලකුණ ටයර් එකක්." බාප්ප කිව්ව. "මං මේ පාර අයිනෙන් ගත්තෙ. නැද්ද හොඳ ඩන්ලොප් වගේ ටයර් එකක් ගන්ඩ? මේක මාරු කරගන්ඩ ඕනෙ."

ඔය විදිහට අලුත් ටයර් එකකුත් අරගෙන බාප්ප ගෙදර ඇවිත්, අපේ තාත්තට බයිසිකලෙයි ටයර් එකයි දුන්නා. 

පහුවදා තාත්තා විංකල් පියදාස හොයාගෙන ගියා ටයර් එක මාරු කරගන්ඩ. වැඩේ තියෙන්නෙ, පියදාස මාමා, ටයර් එක පන්නන්ඩ හදනකොට නයා තව ටිකක් තද කරගන්නව. මාරු කරන්ඩ දෙන්නෙ ම නෑ. ඒ ගමන තාත්තට තේරුණා, නයා අලුත් ජොබ් එකට ආසයි කියලා. 

ඉතින් තාත්තත් අවුරුදු ගාණක් ම නයා ලකුණ ටයර් එක දාගෙන බයිසිකලේ පැද්දා.

මේ විදිහෙ පරණ කතාවලට පටුනක්...

 1. බාප්පගෙ මිරිස් වගාව












39 comments:

  1. ChatGPT ගේ කමෙන්ට් එකකි...

    මේ කතාව කියවලා හිනා නවත්තගන්න බැරි වුණා! 😄
    පටන්ගන්නකොට ඉතාම සාමාන්‍ය ගමේ කතාවක් වගේ පේනවා, ඒත් ටිකෙන් ටික ගමන් කරද්දි එන twist එක නම් නියමයි.
    “පාර අයිනෙන් ගත්ත ටයරය” කියන title එකත් හරිම clever — අන්තිම වෙනකම් surprise එක හොඳට තියාගන්නවා.
    බාප්පා character එකත් හරිම ජීවන්තයි. මේ වගේ තවත් කතා කියවන්න කැමතියි! 👍

    ReplyDelete
  2. 😀 පත නයෙක් ඇදල තියෙනෙන් රැලේ බයිසිකලයක් තිබ්බ කියා

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්ඩ ඉතිං, මුළු කතාවට ම තිබුණෙ අකුරු දෙකයි. ඒකත් නෝටිස් වුණා කියන්නෙ, පොල්කට්ටකිම්ම වහල තියන්ඩ තමා හරියන්නෙ මුංදෑ...

      Delete
  3. අම්මට උඩු.. මේන් සයිස් නයා...

    ReplyDelete
    Replies
    1. අම්බලංගොඩ නයින්ට දෙවෙනි නෑ, අපේ නයි හාමි. නැද්ද ප්‍රසෝ?

      Delete
  4. අමතක උනා නොවැ අහගන්න.. ඉතින් ඔය නයි ටයර් එකට ඉඳල හිටල බිත්තරයක් එහෙම දෙන්න ඕනෙ වෙන්නෙ නැතෑ?

    ReplyDelete
    Replies
    1. ඒක අහන්ඩ වෙන්නෙ ප්‍රසන්නගෙන් ම තමා. ඌ විතරයි මේ කතාවෙ උදවියගෙන් තවම ජීවත් වෙලා ඉන්නෙ. මේ වෙද්දි බාප්පයි තාත්තයි දෙන්න ම මැරිලා.

      හැබැයි බාප්ප නං කිව්වෙ බයිසිකලේ මී ගුලක් ගාවින් යද්දි ස්ලෝ වෙනව කියලා.

      Delete
    2. ඉඳල හිටල මොකද දවසකට එක ගානෙ හම්බ උනා කියලයි කියන්නෙ.

      Delete
    3. බිත්තර කෙසේ වෙතත් බයිසිකලේ බාර් ගාවින් යද්දි නැවතිච්ච හේතුව මොකද්ද?

      Delete
    4. බාර් නෙවෙයි ටයර් වගේද බයිසිකල් වලට තෙල් ගහන්නේ කොහොමද? QR කොටා එකට තෙල් ගහගන්න තෙල් කොටා එක ෂෙඩ් වල නෑනේ. ඒකටත් එක්ක මේ දවස්වල ක්‍රියාත්මක වන පච ප්‍රචාරණ ව්‍යාපාරය බොහොම ශක්තිමත් සහ දියුණුයි. හැම දාකම ෂෙඩ්වල මිනිස්සු ගහ මරා ගැනිලි පෙන්නීමෙන්, මහජනතාවගේ කෝපය ඊට වගකිවයුතු පාලක පාර්ශ්වය වෙත එල්ලවීම වළක්වලා, තම තමන් අතර පතුරුවා හරින්න පොළඹවනවා. මේක අපි අපි අතරෙ තිබිය යුතු ගැටුමක් නෙවෙයි. සෞඛ්‍ය සේවකයො, පරිපාලන බලධාරීන් සහ ත්‍රීවීල් කරුවන් වෙත යොමු වන විරෝධය සාමූහිකව එල්ල විය යුත්තේ මේ තත්ත්වයට රට පත් කරපු පාලන බලය හිමි උදවිය වෙතයි...

      Delete
    5. මට දේශපාලනඅදහස් දැක්වීමට අවස්ථාව නැහැනෙ, මගෙ රස්සාව නිසා. නමුත් අප අමතක නොකළ යුතුයි, මේක ගෝලීය බලපෑමක් මිස, රට තුළ තිබෙන කළමනාකාරිත්වයේ බලපෑමකින් සිදු නොවනක් බව.

      Delete
  5. // ඒකෙ "ප"යන්න විතරක් නෙවෙයි
    :-) ගමේ ක්‍රමේටම සයිස් එක කියල

    ReplyDelete
    Replies
    1. අනික් අකුරු දෙක මොකක් කියල ද හිතුවෙ?
      කුණුහබ්බ ඔට්ටු නෑ... ඈ...!

      පබිලා... පබිලා...

      Delete
  6. හා, මේ කතාව කියෙව්වා! 😄
    බාප්පා කළ දේ හිතලාම ආශ්චර්‍යයක් - ටයරය පිපිරිලා, අඳුරේ නයෙක් දැකලා, ඒ නයාවම ටයරය කරලා ගෙදර ආවා. ඒ කාලෙ මිනිස්සු ඒ ආකාරයේ "ප්‍රායෝගික බව" කෙලවරක් නැතිව දැකලා!
    ඒ හැරුණාම ප්‍රශ්නය වුණෙ - නයා අලුත් රස්සාව ආස නිසා ටයරය මාරු කරන්නෙ නෑ, ඉතින් තාත්තාට ද වැඩ. 😂
    ඒ කාලේ ගමේ ජීවිතයේ රසය, ගුරු පාරවල්, කඩ හතරේ, බයිසිකලෙ - ඔය හැම දෙයක්ම ඇස ඉදිරියෙ ජීවමාන වෙනවා ලිව්ව ආකාරෙට

    ReplyDelete
    Replies
    1. ස්ස්ස්... තූතියි. (නයි භාෂාවෙන්)

      සමහරවිට නයා බයිසිකල්වලට ආස නයෙක් වෙන්ඩැති අර එක කෙටි කතාවක සියදෝරිස් වගේ?

      Delete
  7. ඒ කාලෙ ගමේ කතාවක් ලිව්වට, ඇත්තටම කතාවෙ ලොකුම ප්‍රශ්නය තමයි - නයෙක් ටයරයක් වෙනුවට වැඩ කරනවා කියන එක කිසිසේත්ම විශ්වාස කරන්න බෑ. 😅
    නයෙකුගේ ශරීරය රබර් ටයරයක් වගේ stretch වෙලා, vibration absorb කරලා, dry road grip දෙනවා කියන්නෙ... biology ද, physics ද, කොයි subject ද fail වෙන්නෙ ඔතන? 🤔
    ඊට අමතරව - නයෙක් රිම් එකේ ඇතිලිලා, bump ගැහිලා, speed ගිහිලා... ඒ නයා ජීවතුන් අතර ඉන්නවද? මේ tortured snake ගැන කෙනෙකු හිතුවෙවත් නෑ.
    කතාව entertaining වුණාට, "නයා අලුත් job එකට ආසයි" කියල සිනාවෙන් wrap කරනවා - ඒ poor snake ගැන justice නෑනෙ! 🐍

    ReplyDelete
    Replies
    1. සමහරවිට ඒ poor snake, gluten for punishment කෙනෙක් වෙන්ඩැති? අනික, කවුද අප්පෙ ගජබින්න විද්‍යාත්මක නියමයන්ට අදාළ වෙන්ඩ ඕනෙය කියන්නෙ?

      Delete
  8. 7:58 AM"නයා අලුත් ජොබ් එකට ආසයි" - ඒක තේරෙනවා, ඒත් කවුරුවත් නයාගෙ CV එක බැලුවද? 😂
    නයාගේ CV:

    නම: ප්‍රසන්න සයිස් නයා
    පෙර අත්දැකීම: කැලේ සර සර යෑම
    නව රස්සාව: Dunlop competitor
    දක්ෂතා: Shock absorption, Grip control, Zero puncture guarantee
    අමතර: හිමිකාරයා change කරන්න දෙන්නෙ නෑ - job security හොඳයි 🐍✅

    ReplyDelete
    Replies
    1. ඔහොම ගියොත් නයාට රැකියා විස්තරයකුත් දෙන්ඩ වෙනව.

      Delete
  9. බාප්පා ඒ නයාව රිම් එකට එතුවා කියන්නෙ...
    මේ මිනිහා essentially ලෝකේ පළවෙනි SNAKE TUBELESS TECHNOLOGY invent කළා 🐍🔧
    ඒත් ඇත්ත ප්‍රශ්නය තමයි -
    බාප්පා කඩේ මුදලාලිට කිව්වා "මේක නයා ලකුණ ටයර් එකක්" කියලා...
    මුදලාලි ඒ වෙලාවෙ ඇහුවෙ නෑ - "ලකුණ" ද "ජීවතුන් අතර" ද කියලා 😂💀

    ඊට පස්සෙ පියදාස මාමා ටයර් මාරු කරන්න හදනකොට නයා "ඔබේ ස්ථානය මා ගන්නෙ නෑ" කියලා තද කරගත්තා...
    මේ නයා සාමාන්‍ය නයෙක් නෙවෙයි -
    මේකට Union එකක් තිබුණා. තමන්ගෙ workers' rights ගැන දන්නවා 🐍✊😂

    අන්තිමට තාත්තා අවුරුදු ගාණක් නයා ලකුණ ටයර් එකෙන් බයිසිකලේ පැද්දා කියන්නෙ...
    ඒ නයා රිටයර් වෙලා pension ගත්තද කියලා කවුරුත් හොයලා නෑ 🏦🐍😂

    ReplyDelete
  10. විස්තරේ පැහැදිලියි.
    ඒත් හෙන ගහනව.

    ReplyDelete
    Replies
    1. මටත් එකෙක් කිව්වා, වාරික වශයෙන් හෙන ගහන්න ඕනෙ කියලා.😁

      Delete
    2. හූ...!

      ප්‍රසෝ, වරෙං බයිසිකලේ ගමනක් යන්ඩ...!

      Delete
    3. බකුෂ්, දැන් නං හෙන ගහන එක සැපයි මිසයිල ගහනවට වඩා.

      Delete
  11. මේක අහිම්සක නයි කුලප්පු කරන්නම ලියපු පෝස්ට් එකක්ද? ඒත් කමක් නෑ, ආයෙ ලියපු එක තමා වටින්නෙ.🙏

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ... බකුසෙක් ගැන කතාවක් ඇහිච්ච හැටියෙ ම, හමුවෙමු නැවතත් ගජබින්නාලංකාරය සමගින්...

      Delete
  12. බාප්පගෙ අනිත් කතා ටිකත් කියවන්නෝන..)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. විසි හයක් ම තියෙනව, පිළිවෙලට. චැට්ජීපීටී නං කියන්නෙ පොතක් ගහන්ඩෙයි කියල.

      Delete
  13. අඩේ, බාප්පාගේ කතා මරුනේ. මේ වගේ series එකක් නවයුගය සඟරාවල ගියා නේද "අනාගත්ත රජ්ජුරුවෝ" හරි මොකක් හරි කියලා.

    ReplyDelete
    Replies
    1. කීපයක් ම තිබුණා නේද? ගජබින්නාලංකාරය ම නමින් පොතකුත් තිබුණා. තව අයිඩියානන්ද කියල ලිපි සෙට් එකකුත් තිබුණා.

      Delete
  14. King Cobra කෙනෙක් වෙන්න ඇති මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. 😄😀 ප්‍රසන්න තමයි ඉතිං. අපිට ඌ රජෙක් වගේ...

      Delete
  15. කලකින් මේ පැත්තට ආවේ . ආපු ගමන් දැක්කේ Draki ගේ නයෙක් යවන පොස්ට් එක . නම ලියාගන්න සිංහල font එකත් අමතක වෙලා . ඒ නිසා ඉංග්‍රීසියෙන්ම ලිව්වා . හොඳ රස කතාවක් .ඔය කියන series එකම කියවන්නට තීරණය කළා. අපි ගිහින් එන්නම් .

    ReplyDelete
    Replies
    1. දයා සර් දැකීම සතුටක්. සීරීස් එක ම කියවලා අදහසක් දෙන්න.

      Delete
  16. නයි අරිනවා කියන්නේ මේකට වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අහා... අරූ. ඔයා දන්නව ද, ඇනස්ලි, බර්ටි, සැමුවෙල් තුන්දෙනාගෙ වැඩසටහනක් තිබුණා. ඒකෙ, ඔය ඇනස්ලි ඩයස්ගෙ චරිතය, (හාමු මහත්තය) කියනව සැමුවෙල් (අමාරිස් අයිය) ට, මේ ළඟදි අපේ ගෙදරට නයෙක් ආව. ඌ ආවෙ ඉස්සරලම ෆ්‍රිජ් එක යටට, ඊට පස්සෙ ටීවී එක උඩින් ගිහිං... ඔය විදිහට සෑහෙන වෙලාවක් විස්තර කරනව ගෙදර තියෙන වටිනා බඩු මුට්ටු ගැන... ආාාාන්න ඒකෙන් තමයි නයා අරිනව කියන යෙදුම භාවිතයට ආවෙ.

      Delete
  17. කාලෙකින් බ්ලොග් පැත්තේ ආවේ .. බුකියේ දැක්කා පරණ කතා ආයේ ලියවෙන කතාවකුත් .. හොඳ කාලයක් එයි වගේ ඉස්සරහට .. ආයේ පරණ ටික කියවන්න පටන් ගන්න ද අපි ?

    ගජබින්න ටිකත් ඔක්කොම කියවන්න ඕනේ .. නිවාඩුවක් හරි දාල

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!