Wednesday, November 24, 2021

අරුම ගමන

I

දම්පිල්ලෑව තව මත් අලුත් පන්නයට වඩා පරණ පන්නයට සමාන පිටිසර ගමෙකි. සේතන් හාමි මුළු ගමේ ම වැඩි හිටියා ය. අනූ අවුරුද්දක් පමණ වයසැති සේතන් හාමි ගමේ කා ගේත් ආදරය දිනා ගත්තේ ය. ආ ගිය කො තැන දීත් ගැමියෝ ඔහු හරසරින් ම පිළිගත් හ. ගමේ කවුරුනුත් පාහේ ඔහු ඇමැතූයේ "සේතන් සීයා" කියා ය. 

වයස තරමට අබල දුබල නො වූ ඔහු ගේ කය කඳ දකින්නන් හට ඔහු තරුණ අවදියේ දී කළැයි ඔහු ම කියන සපන්කම්වලින් වැඩි හරියක් විශ්වාස කරන්නට අමාරුවෙක් නැති. කඩපිලට ගිය ද, අනෙක් තැනකට ගිය ද ඔහුට අසන්නන් ගෙන් හිඟයෙක් නො වී. ඔහු ගේ කතාවට කන් දීම මිස හරස් කැපීමක් කැරුණේ ඉතා කලාතුරෙකිනි. කියන කවර කතාවත් තමා ගේ අත්දැකීමක් ලෙස කීම ඔහු ගේ පුරුද්ද ය. ඒ හැම අත්දැකීමක් ම ඔහුට කන් දෙන්නන් ගේ මතක සීමාවෙන් එහා වීම ඔහුට ‌ලොකු වාසියෙකි.


දිනක් සේතන් හාමි, සවස් මානයේ සිරිත් පරිදි පුංචිනා ගේ කෝපි කඩේට එද්දී එහි වෙන දා නැති කලබල ගතියෙක් වී. නොඑක් තරාතිරමේ ගෑනු, පිරිමි, ළමයි තිස් දෙනෙක් පමණ එහි රැස් ව සිටිය හ. සේතන් හාමි විමැසිලිමත් ව වට පිට බලද්දී එහි වූ ගැට වරයෙක්, "සේතන් සීයේ, අද අප වන්දනාවේ යන්නයි. සීයාත් එනවා ද අප එක්ක යන්නටැ" යි කියමින් ඔහු ගේ කුකුස දුරු කෙළේ ය. "කොහි ද යන්නට කල්පනාව? මා නොගිය දිහාවෙක නම් බලමු; මටත් තව ම බැරි නෑ එහෙම ගමනක් බිමනක්" යනුයෙන් සේතන් හාමි කීයේ මේ සිංහලේ යා යුතු හැම තැනක ම තමා ගොස් ඇති බව අඟවමිනි. "අප පොළොන්නරු..........." යි පිරිසේ එකකු යමක් කියන්නට කට ගත්තා විතරයි සේතන් හාමි යළි දෙඩී ය.

"අපෝයි; පොළොන්නරු ද? ඉස්සර ඔය හිරියාලේ පළාතේ දුම්කොළ වේළීමේ ගියා ම අප උදේ ගිහින් හවස එනවා නොවැ? ගණන් කළොත් මගේ මේ ඉසේ කෙස් ගණනේ ගිහින් නැතෑ පොළොන්නරු. කලක් මා එහි කුඹුරු කෑල්ලකුත් වැඩ කළා.

එ හැම ගමනකට ම වඩා අගේ ඇති විදියකටත් මා වතාවක් නොමිලේ ම නිකම් ම පොළොන්නරු ගියා. එහෙම ගමනක් නම් මා බණ පොතේ වත් අහලා නෑ. දැන් මිනිසුන් නම් ඇහුවත් විස්වාස කරන්නේත් නැති, හරි වැඩක් ඒක."

"ආ එහෙ නම් ඒක බොහොම රහ කතාවක් වෙන්න ඇති. සේතන් සීයාත් ගුවනින් වත් ගියා දැ" යි කියමින් එහි වූවෙක් සේතන් හාමිට කතාවට පට පෑදී ය.

"ගුවනින් නම් තමා. ඒ වුණාට ඔය දැන් මිනිසුන් වාගේ දඬුමොනරෙන් නො වේ."

"හා, හරි, හරි, මා දන්නවා. සේතන් සීයා ඒ කාලේ හරි කුරුල්ලා නොවැ"යි කීයේ එහි වූ කටකාර ගැටවරයෙකි.

"මේ, ළමයි විහිළු කරන්න එපා. හා, සීයා කියන්න අපට ඒ කතාව. අපේ වාහනය එන්නත් තව ටිකක් පමයි. පුංචිනා හාමි, සේතන් සීයාට දමන්න හොඳට සැරට කෝපි කෝප්යක් මා ගණනේ. ඔන්න අපි සේරම නිස්සද්දයි. දැන් ඉතින් කියන්නැ"යි ආරාධනා කෙළේ මැදි වියේ ගැමියෙකි.

"හා, ඔන්න එහෙ නම් හරස් නො කපා අහ ගන්නවා. මට පමා නො වී යන්නත් ඕනෑ"

"නෑ, නෑ, හරස් කැපිලි නෑ. අහනවා ම පමණයි. සේතන් සීයා කියන්න."

සේතන් හාමි රැල් බුරුල් හැර, උගුර පාදා, දකුණ'තේ මාපටැඟිල්ලෙන් හා මැදැඟිල්ලෙන් හා රවුළ දෑතට පීරා හොඳට හරි ගැහී ඉඳ ගත්තේ ය.

පුංචිනා කඩිමුඩියේ පිළියෙල කළ කෝපි කෝප්පය මහ හරසරින් උන් දෑට පිළිගැන්වූ.

පළමු වන කෝපි උගුරේ රස විමසා පුංචිනා දෙස කරුණාවෙන් බලා තලුමරා හේ කතාව ඇරැඹී.

II

"මේක ළමයිනේ, අපේ විදානෙ මාමාත් ඉන්න කාලෙ වැඩක්.

ඔව්, මා සලෝ කාලෙටත් ඉස්සර.

දවසක් මාත් ගියා උන් දෑ ගේ ගොයම් කයියකට. ඒ කාලේ විදානෙ මාමා ගේ ගොයම් කයියක් කීවා ම හරියට මේ කාලේ මහ මඟුල් ගෙදරක් වාගෙයි. වැඩ කරන කාටත් හිතේ හැටියට කෑම, බීම, සැලකිලි. උන්දෑට හිතේ හැටියට දෙන්නටත් ඕනෑ තරම් තුබුණා නොවැ?

මට තව ම මතකයි එ දා උදේ ඇඹුලට ගෙනත් තුබුණු ඉඹුල් කිරිබත් ගෙඩියක් අද නම් තුන් දෙනෙකුට කා ලාත් ඉවර කරන්න බෑ. මාත් ගෙදරින් හිස් බඩ ම ගියේ. ඉඹුල් ගෙඩි දෙකකට වග කියලා අනෙක් අය එක්ක බැස්සා කුඹුරට. අපි ඔක්කෝම පිරිමි හතළිහයි ගොයම් කැපිල්ල්ලට; කොළ එකතු කරන්න අදින්න ගෑනු විස්සයි; කෑම් බීම් බුලත් ආදිය සපයන්න තව ගැටවරයෝ හත් අට දෙනෙක්. ඔක්කෝම හැත්තෑ පහක් විතර වුණා.

ඒ කාලේ ‌ගොයම් කැපිල්ලත් දැන් වගේ යැ?

කවි කියන අය ද, අඩි තාලමට කපන අය ද,

මාලක්කමින් කපන අය ද,

බලන්න හැඩ වැඩේ.

එපමණ යැ, පැයෙන් පැයට කපන තැනට ගෙනත් නොවැ තේ කෝපි කෑම බීම් අල්ලන්නේ. වැඩේ හැටි තමා. ඉර හැරිලා සිංහල පෑ බාගයක් යන්නත් ඉස්සර වෙලා විදානෙ මාමා ගේ දෑමුණක යාය ම කැපී හමාරයි.

වැඩේ හමාර වෙන්නත් කලින් ම ඇඹුලත් කමතට ම ආවා. හැම දෙන ම එ තැනින් ම ගඟට බැහැලා අත කට සෝදා ගෙන හිත බඩ පුරා ඇඹුල සප්පායම් වුණා. වැඩේ හමාරයි; පිරිස යන්න හැරුණා. මායි තව දෙතුන් දෙනෙකුයි නැවතිලා කමතට ඇද දමා තුබුණු ගොයම්, කොළ ගැහුවා.ඉර බහින්න ඔන්න මෙන්න කියන වේලාව වන විට ඒ වැඩෙත් හමාරයි; මාත් ගියා ගෙදර ගොංමං ‌වේලාවෙ.

ගෙදර ගියාට මගේ හිත එ දා මට ගෙදර ඉන්නට ඉඩ දෙන්නේ ම නෑ. දවල් ඇඹුලෙ බර එතෙකුත් ඇරිලා නෑ. ටික වේලාවක් නිහොල්මනේ ඉඳ ලා හොඳට පහේ ඇති ව විටක් සප්පායම් වුණා; තුවක්කුවට තරමක ඩෙිල්ලක් කොටා ගෙන-ඇයි ඉතින් දැන් කාලේ වගේ පතරොම් තුවක්කු යැ ඒ කාලේ අපට තුබුණේ-ගියා ගල්ලේ කැලේ පැත්තේ හාවුන් හේම පනීවි දැයි බලන්න.

ඒ වැඩේට කියා පූ තැන තමා අර හිඹුටු ගොල්ලේ තුබුණු මහ කහට ගහ. කහට ගහට නැඟලා හොඳ දෙබළෙක ඉඳ ගත්තා. පොඩි වැහි පොදකුත් ගහලා ගියා. හඳත්, පායා ආවා. "හොඳ පදම" කියා මට ඉබේ ම කියවුණා.

පැයක් හමාරක් ගියා. හාවකු තියා හා පුලුටක් වත් නෑ. වෙන දා නම් පැයක් යන කොට හා ගෙඩියන් දෙ දෙනෙකු වත් කහට ගහට නංවනවා. මෙ දා නෑ හෝඩුවාවක් වත්. මේ වන විට මගේ ඔළුව කැරකැවෙනවා වාගේ දැනුණා. බුලත් විට හිතුවාට වඩා සැරට වැදුණා. දිය තිබහා වාගේ දැනෙන්නටත් පටන් ගත්තා. කීප විටක් ම ගෙදර යන්නත් හිතුණා. ඒත් හිස් අතින් යන්නත් හිතට මඳි. මා තව ටිකක් පොරොත්තු වුණා.

අනේ ‌මෙහෙ ම ඉන්න අතරෙ දී මට පෙනෙන්න වුණා හොඳට හතර අතට වලු බර වුණු නාම්බං පොල් ගහක් ඇවිත් මේ කහට ගහේ ගැටෙනවා. මට පුදුමයි; මගේ මතට පෙනෙනවා ද? මට හීනයක් පෙනෙනවා ද කියා තෝරා බේරා ගන්න බැරි වුණා.

පොල් අතු, හඳ එළියේ දිලි දිලී හීන් හුළඟෙ සැලි සැලී මගේ ඇඟේ ගැටෙනවා. කොයි එක වුණත් කමක් නෑ කියා එක හිත් හිතා ගෙන තුවක්කුවත් ඇර ගෙන මා මාරු වුණා පොල් කරටියට. හොඳට හරි ගැහී ඉඳ ගෙන වෑවර ගෙඩියක් කඩා, ඉණේ තුබුණු දුනු පිහියෙන් ම ඇස්ස ගසා ගෙන බීවා. නිඳිමත ගතියයි, ඇල් සුළඟයි, ගහේ පැද්දිල්ලයි, අර මතයි ඔක්කෝ ම එකටඑකතු වෙලා මට නිකම් පවන් සලන්නා වාගේ දැනුණා. මට මතක් වුණා පන්සලේ ලොකු හාමුදුරුවන් දවසක් සවස පරණ කවි පොතක් කියවද්දී කීවා ඔන්න ඔය කොහේ දෝ තැනෙක ගහකට නැඟලා ඇල් සුළං විඳ විඳ රැයක් ගෙවන එක රජ සැප* විඳින්නා වාගේ කියා. මට කවිය මතක නෑ. ඒත් කතාව නම් ඇත්ත බව මටත් තේරුණා. රජ නො වී මා රජ සැප වින්දා පොල් කරටියේ.

හඳ එළියයි

ඇල් සුළඟයි

විටේ සැරයි

ඔළුවෙ බරයි

මා අමුතු ලොවකට ගෙන යනවා වාගේ දැනුණා. ඇසි පියවුණා මට දැනුණේ ම නෑ. පාන්දර කුරුලු අඬට තමා ඇහැ ඇරුණේ. අවදි වෙලා බලන කොට වටින් ගොඩින් එළි වේ ගෙන එනවා. බලන බලන පැත්තේ මහ අමුතු. අර කහට ගහත් නෑ; හිඹුටු ගොල්ලත් නෑ; කොටින් ම කියනවා නම් ගල්ලේ කැලේ පැත්තේ හැන්දෑවේ තුබුණු එකක් වත් නෑ.

කුරුලු අඬත් අමුතුයි;

වට පිට ගහ කොළත් අමුතුයි;

හුළඟත් අමුතුයි;

මේ කුමන විලම්බීතයක් ද කියා හොඳට ඇහැ පිහ දමා බැලුවා. ඔය තියෙන්නෙ මා ළඟ ම වට දහයක තරමේ මහ පලු ගහක්; අනෙක් අතින් ඊට කුඩා නැති වල් මිල්ල ගහක්.

කාට කියන්න ද?

දෙවියන් ගේ පිහිටයි.

මා ඉන්නේ මේ හද්දා වන්නි මූකළානෙක නොවැ?

කොයි දේ වුණත් මට නොවැ? කමෙක් නෑ කියා සිතමින් බැලුවා තුවක්කුව. කතරගම හාමුදුරුවන් ගෙ බැල්ම. තුවක්කුව පයට හිරවුණු ගමන් ම තියෙනවා.

තුවක්කුව අතට ගෙන

අර මා හිටි පොල් ගහින් බැස්සා.

බැස්සේ කොහෙට ද කියා ඇහුවා ම නොවැ වැඩේ.

වට හයක් තරම මහත බඹ ගණනක් දිග දැවැන්ත පිඹුරු තඩියකු ගේ පිටට නොවැ පා තිබ්බේ. ඒකා දැක්කා ම මගේ හතර හන්දි හිරි වැටුණා. මේ දැනුත් මතක් වෙද්දී ඇඟේ හී ගඩු පිපෙනවා.

හුළං පන්දුවක් වාගේ, ඒ මහ වනේ, බඹ ගණනක් ඈතට මා විසි කෙළේ කවර දෙවියා ද කියා මා තව ම වත් දන්නේ නෑ.

මා පණ බියේ වෙවුලුවාට අනේ ඒ පිඹුරු රජා මා දිහෑ බැලුවේ වත් නෑ. මහ ඉඩෝර කාලෙක මාඔය ගලන්නා වාගේ බොහෝ ම සාන්ත දාන්ත විදියට ඔහේ ඇදී ගියා.

III

පිඹුරා එක්ක ම මා ආ පොල් ගහත් යනවා. ඒකයි ලොකු ම පුදුමෙ. හිත තද කැ‌ර ගෙන මා ටිකක් ළං වෙලා බැලුවා. එත කොටයි වැඩේ හැටි තේරුණේ.

ඔන්න මේ පිඹුරා තරමක් පුංචි කාලේ ගිලපු ගෝණ තඩියකු ගේ අං පඳුරේ එක කරුවක් උගේ පිට හිල් කැර ගෙන උඩට ඇවිත්; මෙහෙම තියෙද්දී වේළී වැටුණු පොල් ගෙඩියක් ඒකේ ඇවිණී තිබී එ තැන පැළ වෙලා;

පිඹුරු කඳට මුල් ඇද ලා;

ලොකු වෙලා වැවිලා පීදිලා, දැන් මහ ගහක්.

පිඹුරාට මේක නිකම් කුළු මීමකු ගේ අඟේ පැටලුණු මකුළු දැලක් වාගෙ. ඇයි මූ ආඳාගල වාගේ නොවැ දිග මහත. ඉතින් අනේ පිඹූරා නොපෙනෙන දුරට ඇදෙන තුරු බලා සිටි මා උස ගහකට නැඟලා බැලුවා ගම්මානයක් පෙනෙ‌න හරියෙක තියෙනවා ද කියා.

ඈත කඩපෙළක ගෙවල් රැස මට පෙනුණ හරියට අහිගුණ්ඨික වාඩියක් වාගේ. ගිහින් බැහැ ලා ඒ අතට මූණ ලා කැලේ යටින් හීන් හීන් සැරේ මාත් ඇදුණා.

ගිහින් ගිහින් මතු වුණේ කො තැනින් ද? හරියට ම දෙමළ මහ සෑ මළුවෙන්. ඔව්, පොළොන්නරුවේ තමා.

කාට කියන්න ද?

මටත් බියයි; බියට වැඩියි පුදුමෙ; පුදුමෙට වැඩියි විළි ලජ්ජාව; ඇයි අම්මේ අර පරණ අඳුනන එකකු හේම බැරි වෙලාවත් හමු වුණා නම් ලජ්ජාවේ පණ යන වැඩේ. ඇයි මා තව මත් පෙර දා ගොයම් කයියට යද්දී ඇඳ ගෙන ගිය ඇඳුමෙන් නොවැ? කෝකටත් කියා, මළුවටත් ඇවිත් නිකම් යන එක මගෙ හිතට හරි නැති නිසා දෙමළ මහ සෑයට ඒ වේලාවේ මතක් වුණු ගාතා දෙක තුනක් කියා වැඳ, හීන් සීරුවේ කැලේට ම ආපසු ඇදුණා.

පෙර දා කෑ ඇඹුලේ රහත් දැන් ඉවරයි. කුස පණුවන් පෝය හේවිසිය පටන් ගන්නත් ළඟයි. මා වට පිට බැලුවා. අනේ, අයියනායක දෙවියන් ගේ පිහිටයි. බැලූ බැලූ අතින් එක එක ජාතියේ ගඩා ගෙඩි ඉබේට. ඕවා කකා මා කැලයේ ම ගත කළා මුළු දහවල් දවස ම, රෑ වුණා ම වත් යන විදියක් බලන්න හිතා ගෙන. ඉරත් බැහැ ගෙන යනවා. ඒත් හැම එකට ම එක වෙඩිල්ල නොවැ තියෙන්නෙ. ඒක ඉවර කැර ගෙන පුළුවනෑ. උහුලා ගෙන හිටියා ඔහේ පලයන් කියා. ඔයින් මෙයින් ඇඳිරි වුණා; මා තව මත් කැලේ මැද ම දහ දිවැස් බලනවා. ටික වේලාවක් කල්පනා කරමින් හිටිද්දී මට ඇහුණා කැලේ බිඳ ගෙන එන අඬක්. අඬින් ම දැනුණා වැඩේ. සූදානම් සැරීරේ කියා මා නැංගා ළඟ ම තුබුණ රූස්ස බුරුත ගහකට. නැඟලා අඬ ආ අත බැලුවා ම මට පෙනෙනවා හරියට පෙරහර වාගේ එනවා එක එක තරමේ අලි රංචුවක්. මොවුන් ඇවිත් එක තැනෙක හොඳට සංවර වෙලා ඉස්කෝල ළමයින් ගේ පඞ්ක්තියක් වාගේ කවයට හිටියා මූණ ඇතුළු අතට හරවා ගෙන, ඒ කවයට අහු වුණා උදැලු මිටක් තරම කඳ ඇති, බඹ එක හමාරක් තරම උස, අතු ටික හරියට වාත්තු කළා වාගේ එක මට්ටමට කුඩේ හැඩේට වැවුණු පොඩි ගහක්. මේ අලි රළ දණ නමා හොඬ දිග හැර බිම තමා ඔය පැළෑටියට වැන්දා. වටේ ඇවිද ඇවිද හරියට උපාසක පිරිසක් කැලැණි වෙහෙර වටේ පාන් පවත්වන්නා වාගේ, මේ ගහට ආචාර කළා පෑ බාගයක් පමණ. මේ වන්දනාව කැර ලා ඔවුන් ගියා ඈත පෙනුණු වෑපිට දෙසට.

මට මතක් වුණා, මේ අලි වැඳුම් කරන්නේ මදාරා ගහට බව. ආ ගමනින් වැඩක් ගන්න හිතා ගෙන මාත් ගියා අර පුදුම ගස ළගට. ළං වෙන කොට ම දැනුණා ගහේ රඟ. මේ ලෝකෙ ආයෙ තැනෙක එහෙම සුවඳක් මා අහලා නෑ මේ වයසට. මලුත් නැති ව මේ තරම් සුවඳ කොට, මල් වාරේ නම් කොහොමට ඇති ද කියා මට හිතුණා. ආසාවේ බැරිකමට ම ආරස්සාවටත් එක්ක කියා මිටි රියනක් තරම් දිග පොඩි කෑල්ලක්, දෙවියන් ගේ පිහිටයි කියා මාත් කපා ගත්තා. ඒකත් අතේ තියා ගෙන මා ආයේ කල්පනා වට වැටුණේ ආපසු ගෙදර යෑම ගැනයි; ඇයි අම්මේ අතේ තඹයක් නැති ව ගවු ගණනක් යන හැටි හිතමුකො; පාරේ බැහැලා හිඟා කකා එන්නයැ? වැඩක් පළක් කරන්න ඒ හදිසියේ හොයන එකත් ලේසි නෑ; ඒ කොයි එකටත් මිනිහකුට මූණ දෙන්න තරම් ඇඳුමක් බැඳුමක් වත් තුබුණයැ. මා නම දන්නා එක ම දෙවියකු වත් බඹකු වත් නෑර මතක් කළා. එ තෙක් සංසාරේ කළ තාක් හැම පින් ම ඒ ඇත්තන් ඇතුළු තිස් තුන් කෝටියක් දෙවියන්ට පවරා කැලේ ගිගුම් දී ගෙන යන්න"ආකසට්ඨාච භුම්මට්ඨා" ගාතාව තුන් සැරයක් කීවා.

අනේ ඇත්තට ඒ කියා කට ගන්න ලැබුණේ නෑ "තව ටිකකින් ආ හැටියට පල" කියා ඊට අවුරුදු ගණනකට ඉහත මළ අපේ ලොකු සීයා කියනවා ඇහුණා.

ඒ හඬ ඇහිලා වට පිට බලන මට පෙනුණෙ අර පොල් ගහ කැලේ අතරින් ඇදෙනවා. එ තැන ම තුබුණු වීර ගහට ‌බඩ ගාලා බලා හිටියා. ඔය එන්නේ පිඹුරු වාහනේ. මට ම පුදුමයි. ඇඳිරිය නිසා පිඹුරු කඳ හොඳට පෙනුණේ නෑ. ඇස් දෙක තමා බලන්න වැඩේ. ආයේ නෑ පසළොස්වක දාට පායා ගෙන එන හඳ වාගේ මදටිය පාට; තරමත් ඊට කුඩා නෑ; අමුත්තකට තුබුණෙ ළඟ ළඟ දෙකක් තිබීම විතරයි. ඉතින් අනේ දෙවියන් බුදුන් සිහි කැර ගෙන තුවක්කුවත් මිරිකා ගෙන බලා උන්නා. මේ ඇවිත් හිටියේ මා හිටි වීර ගහ ළඟ හරියට පුස් රතේ ආවා වගේ.

මාත් "නමෝ බුද්දාය" කියා ගෙන මාරු වුණා පොල් කරටියට. කවර දෙවියන් ගේ වුණත් අර කුරුම්බා බල බලා ඒ වේලාවේත් හිටියැකෑ පණ ඇති මිනිහකුට. මා කලින් දා වාගේ ම වෑවරයක් බීවා. අනේ ඒක බීවා විතරයි. හරියට නිදි බේතක් ගිල්ලා වාගේ මගේ ඇස් දෙක බර වුණා.

උදේ කපුටු අඬින් අවදි වෙද්දී මා උන් පොල් ගහ අර කහට ගහේ වදිනවා. කහට ගහින් බහින්නට පෙර ම මට පෙනුණ අපේ යාළුවන් එ දා මා හොයන්නට මුළු ගල්ලේ කැලේ ම පීරා තුබුණු බව. ගහින් බැස්සා විතරයි ආයේ වට පිට බැලුවේ නෑ මා හැල්මේ ම ගියා ගෙදර යන්න. පන්සල හරියේ යන කොට මට ඈත වෙලේ මහ නියර ඔස්‌සේ අපේ මායියයි නැන්දම්මයි බාගෙට මැරුණු ගණනට වැනි වැනී යනවා පෙනුණා. යන හැඩෙන් ම මා දැන ගත්තා එකත් එකට මේ දෙන්නා අංජනං එළියක් බලවන්න මේ වයිතාලේ ම පොඩි කපුරාල හම්බ වෙන්න යන බව. මා හූවක් කියා ලා මේ දෙන්නා නතර කළා; හූව ඇඳිනලා දෙන්නා ම හැරී බැලුවා. ඉර එක්ක ම හඳක් පායනවා වාගේ මට පෙනුණා."

සේතන් හාමි ඊළඟ වැකිය පටන් ගන්නට පෙර ම වන්දනා බසය එන අඬ ඇසිණි.

"හා, දැන් ඇති. අනෙක් හරිය ආයේ දාකැ"යි කියමින් සේතන් හාමි පුංචිනා ගේ කාටත් පොදු බලත් තටුව අතට ගත්තේ ය.

---------------------

* මයුර සන්දේශයේ ඒන

නඳව  සයුරු ළෙල එන රල සළු සලන්නේ

සොඳව  සුපිපි තුරු සේසත් සෙ      වන්නේ

රදව  ලබන සැප එතෙකින්     ලබන්නේ

රදව  මියුර සයුර සැ             මිරි පැන්නේ

යන කවිය සඳහා කියැවිණි.


හැත්තෑව දශක‌යේ භාවිත වුණු පස්වන ප්‍රමාණයේ කියවීම් පොතේ තිබූ මේ කතාව සොයා දීම සහ නිර්ලෝභීව එය අප සමඟ බෙදා ගැනීම ගැන ජයන්ති බෝප ගම්මන සහ සාරා ගුණසේකර දෙපළ ට මුළු හදවතින් ම ස්තූති කරමි.

66 comments:

  1. අම්මාපල්ල මෙව්වා මසුරන් රාළේ
    ගියා වගේමයි ආයෙත් ඉස්කෝලේ
    ඩ්රැකියට ඉල්ලමක් පෑදිල නෙවේද බොලේ
    ඉලක්කම 'එකෙන්' කියවෙයි එන තාලේ

    ReplyDelete
    Replies
    1. අරුම ගමන 1 කියලා පෙන්නුවට, පෝස්ට් එකේ හෙඩිමෙන් 1 හැලිලා. ප්‍රින්ටින් බිස්ටේක් එකක් වෙන්ටෑ?🤔😒😞

      Delete
    2. නෑ නෑ මේකෙ තව කොටසක් ඇත්තෙ නැත
      දෙක සහ තුන කොටස් පහලින් ලියා ඇත
      තව තව කතා,කවි මෙ පොතේ තවත් වෙත
      ඉඩ ලැබෙනා පරිදි දවසක ලියනු ඇත

      නරියො, ඔය තියෙන්නෙ පොතේ තිබුණ හැටියට, කතාව ලියල තියෙන්නෙ කොටස් තුනකට. කොටස් තුන ම රෝම ඉලක්කම් වලින් දක්වල තියෙනව

      Delete
    3. තව තව කතා, කවි මෙ පොතේ තවත් වෙත
      හිතුණා ඒව තව දවසක ලියනු ඇත
      අරුම ගමන 1 කියලත් යෙදී ඇත
      ඒකයි වල්ගෙ පෑගුනෙ මට සුහද මිත

      Delete
    4. වලිගය පෑගීම කාටත් පොදු දෙයකි
      තියෙනා උනන්දුව ඒකෙන් කැපී පෙනේ
      තව තව ලියන්නට දේ ඇත ඉදිරියට
      දුකට ලියන කවියට මොන අස්සර ද

      Delete
  2. ජයන්ත, සාරා දෙන්නටත් ස්තුතියක් නොකරම බෑ! ස්තුතියි!!
    බදාගෙන ඉන්නවා මිස බෙදාගන්න ගොඩක් අය අකමැති ලෝකෙකනේ අපි ඉන්නේ..අන්නේකයි එහෙම ස්තුතියක් කළේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ජයන්ති ෆේස් බුක් එකේ ඔය කතාව ගැන අහල තිබුණා. ඒක දැකලා සාරා පොත පොටෝ ගහල එවල. මං ඉල්ලුවාම ඒ දෙන්නම මට මේල් කළා.

      Delete
  3. තට්ට්යාගේ කොලමේත් මීට දෙවෙනි නැති පොළොන්නරු ගමනක විස්තර දාලා.
    https://thattayagekolama.blogspot.com/2021/11/224-1.html

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නං වඩා කිට්ටු මාරක කතාවකටයි. මාත් ගිහින් කොටලා ආවා.

      Delete
    2. යන්ඩෝනෙ කියවන්ඩ.

      Delete
  4. https://study.com/academy/lesson/what-is-a-tall-tale-definition-characteristics-examples.html

    ReplyDelete
    Replies
    1. හුම්ම්.. මටත් ඕනෙ එව්ව සංරක්ෂණය කරන්න

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මටත් ඔහොම එකක් හම්බ වෙලා දැම්මා. මෙතැනින් බලන්න පුළුවන්. https://sithuviliralabinduma.blogspot.com/2020/10/blog-post_63.html#more

    ReplyDelete
    Replies
    1. ආන්න එහෙම තමා බෙදා-හදා ගන්න ඕනෙ. ස්තූතියි.🙏👌😊

      Delete
    2. ලිට්සීකර්, දැක්ක ගමන්ම ගිහිං කියෙව්ව. ඉරු දෙවියන් පැරදවීම පොතේ තිබුණ බුරුම ජනකතාවක්. ඕකෙම තිබුණා පාරු කතා දෙකකුත්. තියෙනවනං ලියල දාන්න.

      ටොම්, ඇත්ත. ඒක දැක්කම තාත්ත දැක්ක වගේ දැනුන

      Delete
    3. මට ලැබුනේ අපි කියවපු සිංහල පොතක තිබිලා. පන්තිය හොයන්න බෑ අග,මුල නෑ.

      Delete
    4. හ්ම්ම්... මං ඒක දැනං උන්නෙ නෑ. හිරු දෙවියන් පැරදවීම කියල පොතක් තිබුණ ගුණසේන එකේ ගහපු. ඒකෙ ඔය කතාවත් එක්ක තවත් බුරුම ජනකතා ගොන්නක් තිබුණා...

      Delete
  7. මෙව්වා මසුරං වටින කතා බොලං. ජයන්ත, සාරා, ඩ්‍රැකී තුන්දෙනාටම මගේ කුක්කුර ආචාරය.🙏👌😊

    ReplyDelete
    Replies
    1. කුක්කුර කියන්නෙ කුකුළට නෙමෙයිද? එතකොට බෝ චිකන්ඩෝග් ද?

      Delete
  8. එක හුස්මට කියෙව්වා. නියමයි. පොත හම්බවුනාද? පොතේ තව කතා නැද්ද?
    මෙන්න මෙහෙම කතා මාලාවක් පටන් ගමුකො. මම හිතෙන්නෙ ඊ.ආර් එරත්ත මහත්තයගෙ "ජීව භාෂාව" පොත නිදි ගාව තියනවා. ඒකෙත්, නියම කතා සැට් එකක් තියනවා.

    ReplyDelete
    Replies
    1. මාගාවත් ඔය පොත තිබුනා වාගේ මතකයි!

      Delete
    2. කියවලා තියෙනවා විතරයි, මගේ ළඟ නෑනේ, ඒ පොත. දුප්පත් පවුලක ලොකුම එකා වෙලා ඉපදුනාම වෙන අවාසියක් ඒ. පාඩම් පොත් නංගිලාට, මල්ලිලාට දෙන්න වෙනවනේ.

      Delete
    3. පොත හම්බුණා. හම්මේ ඒකෙ තියෙන කවි කතා ගොඩ... සුබලයගෙ පිනත් තිබුණා. ඒක දැම්මොත් ඉතිං කොටස් දෙක තුනක් තියෙයි.

      ජීව භාෂාව වෙලාවක ‌හොයන්ඩ ඔ්නෙ.

      තට්ටස්,
      නැද්ද හොයාගන්ඩ?

      නිදිස්,
      ඒ අතිං හිතෙනව, පාසල් පොත් නොමිලේ දෙන්ඩ ගත්ත තීරණය කොයිතරම් යථාර්ථවාදී ද කියලා...

      Delete
    4. කියන්ඩ වදන් නෑ ඩ්රැකී. එක සිංහල පෙළ පොතක මුලටම නෙල්ලි කැලේ පාඩම කියවලා 'දිගාමඩුල්ලේ ආශ්චර්යය' පොතක් හොයා ගැන්ස විඳපු දුකක්...
      ප්‍රියන්ත- නෙවිල් ඇතුළු අපි නඩේ අවුරුදු තිහකට විතර ඉස්සර එක්ගල් ඔයට ගිය ගමන් ගියේ ඒ ඉසව්ව බලන්න. අපි කට්ටියටම ඒ තරමට ඒ පාඩම මතකේ තිබ්බා.

      ඒ වේම අපිව පිසූ වට්ටපු පාඩමක් 'එකම ලේ'. උපුටාගෙන තිබුනේ සෝමපාල රණතුංග මහත්තයා ලියපු 'ඇස්දෙක' පොතෙන්.

      Delete
    5. අන්න පොත්!... අපි පොඩි කාලෙ පිස්සුවෙන් වගේ කියවන්න යොමු කළේ ඔය පොත් තමයි...

      Delete
  9. ජයන්ති බෝපගම්මන සහ සාරා ගුණසේකර?? ඒ නම් කලින් අහලා නෑ නෙව? එයාලට පරණ පොත් කඩයක්වත් තියනවද?

    ReplyDelete
    Replies
    1. දෙන්න ම මං දැකල තියෙන්නෙ ෆේස් බුක් එකේ විතරයි බස්... හැබැයි මාර හෘදයංගම දෙන්නෙක් කියල තේරුණා, මං ඉල්ලපු පමාවෙන් පොත මේල් කරපු නිසා

      Delete
  10. පොතේ පිටකවරයට අනුව, තව බයිසිකලයක් සහ බහිරවයෙක් ගැන කතා ඇති බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් "බයිසිකලය" ගැන පාඩමකුත් "සුබලයාගේ පින" පාඩමේ රූපරාමුවකුත් ඒ තියෙන්නේ. සුබලායගේ එපා කරපු මිතුරන් තිදෙනාගේ නම් තාම මතකයි. එකෙක් "තුරු වෙළුමා" අනෙකා "ගල් වඩුවාද" කොහෙද. ඔඅය චිත්‍ර ඇඳලා තිබ්බේ සේමගේ මහතා වගෙයි මට මතක!

      Delete
    2. ඒ චිත්‍ර නං සෝමසිරි හේරත් මහත්තයාගේ වගේ නේද? සේමගේ මහත්තයා නං නෙවෙයි.

      Delete
    3. හරියටම හරි සෝමසිරි හේරත්! අනේ ටැපලුනා නොවැ!?

      Delete
    4. ගොඩාාාක් ස්තූතියි ඒ දුන්නු විස්තරේට තට්ටස් හා නිදි.

      නරියො,
      පස්සෙන් පහු දාන්නං අනික් කතා ටිකත්...

      Delete
  11. අනේ දෙයියනේ මමත් කියව තියෙනවා ඔය පොත! ඇත්තටම ඕක වෙන්න බැරි දෙයක් කියලා ඒකාලේ නිකමටවත් හිතුනේ නැති හැටි! (අම්මපා කියන්න අදටත් ඒක ගැන සැක නොසිතෙන පරිදි සිතන අපි!?) ඔය වාගේම "සුබලයාගේ පින!", තව හනමිටි අදහස් ගැන ලිපියක් තිබුනා සියාතු කියලා බුවෙක් ගැන! "අන්න අන්න සීගිරී -කන්ද පේනවා දුරින්
    වට්ටි වට්ටි මල් අරණ් - ඉන්නෙ ඇයිද දෙව් ලියන්" කියල සීගිරිය ගැන කවියක්.
    "චූටි කුරුල්ලනි චූටි කුරුල්ලනි කිචි බිචි ගා ඇයි ඉගිලෙන්නේ
    ඉක්මන් කරලා අත්තටු ගහලා කොහෙදෝ මේ ඉගිලී යන්නේ" කියා කවි පංතියක්.
    "මීටර සියය".
    "ගුවන් යානය"
    ඔය වගේ රසාලිප්ත පාඩම් රාශියක් ඒකාලේ පොත්වල තිබුනා මතකයි.
    තව තිබුනා ගීත නාට්‍යයක් "හිරු හෙට නො ආවොත්" කියලා.
    ඒකේ බකමූණා ඊට සතුට ප්‍රකාශ කර විට තව කුරුල්ලෙක් කියනවා
    "හිරු නාවොත් අපට තමා සේරම වැඩ වරදින්නේ" කියා.
    තව තිබුනා තාත්තා කෙනෙක්මියයන මොහොතේ තම අලස පුතුන් දෙදෙනාට; තම ඉඩමේ යට කොට තිබෙන නිධානයක් ගැන කියපු විරිදුවක්.
    "දරුවනි මා මිය ගිය කල
    අයිතිවන්න නැත දේපොල
    එහෙත් නිධානෙක සුල මුල
    සිහියට ආවා"
    "මගේ ගොවි පොලේ නුඹලා
    අඩියක් යට බිම කොටලා
    පස පෙරලා බලපල්ලා
    කියා ගොලු උනා"
    අන්තිමේ නිධානය සෙවීමට මුළු ගොවිපලේම පස පෙරළා බලන දෙසොහොයුරන් අවසානයේ එහි කිසිවක් දක්නට නොමැති බව නිසා එහි බව භෝග සිටුවයි. අස්වැන්න ලැබුනු පසු එය තම පියා පැවසූ නිධානය බව තේරුම් ගනී.
    තවත් ලස්සන කථාවක් මතක් උනා "තේ කෝප්පය!"
    "ආ! අර එන්නේ අබේ පාල මහත්තයත්! හොඳ උදැල්ලක් තෝරා තියන්න ඕනෑ!" මෙසේ තමාටම පැවසූ වෙද මහතා උදැල්ලක් ගෙන පොලොවට තද කර බැලීය!
    ඇත්තටම ඒවා මොන තරම් සුන්දර කථාද?
    (මේවා මතකයෙන් ලිව්වේ! වැරදි ඇතොත් නිවැරදි කරණු මැන!)

    ReplyDelete
    Replies
    1. අබේපාල මහත්තයගෙ තේ කෝප්පෙ ගැන කතාව අපේ පාඩං පොතකත් තිබුණා, අර මීටර් සීය ත් එක්ක ම.

      මට මතකයි, අපේ බාප්පයි එයාගෙ යාළුවොයි ඔය ගෙපල් කැපීම් වගේ සාමූහිත වැඩවලදි, තේ බොන ගමං හරි, බත් කාල ටිකක් ඉන්න ගමං හරි, ඔය වගේ පට්ට බේගල් කියනව, කටේ දිවේ නොගෑවි. මට මතක එක කතාවක් තමා, බාප්පලා කන්තලේ ගස් කපපු කාලෙ, තඩී වම්බටු ගහක් කපපු කතාව. දවසක් ම මහන්සි වෙලා කපලා, වාඩියට ගිහිං, පහුවෙනිදා එද්දි, කැපුං කට්ටෙ පවුලක් පදිංචි වෙලා උන්නලු. පස්සෙ ග්‍රාම සේකර එක්කරං ඇවිත් අනවසර පදිංචි කාරයො අයිං කරලලු ගහ කැපුවෙ...

      තව පොතක තිබුණා, තානායම් කාරයෙක්, නාකි ආච්චි කෙනෙක් ගෙං ඉඩමං උරුම කරගන්ඩ, ආච්චි ට බ්‍රැන්ඩි බොන්න පුරුදු කරපු හැටි ගැන, ගී ද මෝපසාං ගෙ කතාවක්.

      තව ලියම් ඔ' ප්ලැහටි ලියපු, කුරුලු පැටියෙක් දොරට වඩින කතාව, මාටින් රැට්ලර් ගෙයි බානි ගෙයි කතාව, මුල්ක් රාජ් ආනන්ද් ගෙ "මට අම්ම ඔ්නෙ" කතාව... එහෙම කවදාවත් අමතක වෙන්නැති කතා...

      Delete
  12. නියම සාහිත්‍ය රසවතුන් ඉන්නේ මෙතැනනේ. ලිපිය විතරක් නෙමෙයි comments ටිකත් ඉවරෙටම කියෙව්වා. මේ වගේ මසුරන් පොත් බෙදා හදා ගැනීම මහ පිනක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඇත්තට ම ඒ වගේ සාහිත්‍ය අපට සමීප කරපු කියවීම් පොත්වලින් අපිව විශ්ව සාහිත්‍යයට හුරු කිරීමකුත් වෙලා තියෙනව.

      Delete
  13. පොතේ පිටකවරය නං මල් හතයි පහන් දාහතරයි ඈ.

    ඒ කාලෙ පෙළපොත් වලත් අපට උගන්නලා තියෙන්නෙ කටේ දිවේ නොගෑවී පච කෙලින හැටි, පුරසාරං කෙලින හැටි තමා නේ?

    ReplyDelete
    Replies
    1. පිස්සු කෙළින්න එපා අප්පා! සුන්දර සිහිනයක හිටියෙ!

      Delete
    2. //කටේ දිවේ නොගෑවී පච කෙලින හැටි//

      හෑ එතකොට, මේ ඩ්‍රැකියාගෙ කිත්තා, අන්දිරිස් අත්තා බොරුද කිව්වෙ, හැබෑටම?🤔

      https://drackey.blogspot.com/2018/11/blog-post.html

      Delete
    3. බුරස්,
      මං ආසම දේ තමයි, ඉිරි කීපයකින් මතු කරන හැඟීම් සහ ඉරියව්...

      ගජබින්න කියන්නෙත් ජන සාහිත්‍යයක්, හොඳ ම උදාහරණ තමයි, ලබ්බෙ කානිවල් එක. ඔව්වා මිය යන්ඩ දෙන්ඩ හොඳ නෑ.

      තට්ටස්,
      දාන්ඩ පහක්!

      බස්,
      ඔය කතාවෙ එක වචනයක් නෑ(ර) බොරු!

      Delete
  14. Replies
    1. කවුද.................................................?

      Delete
  15. Lassana kathawa.Oya wagema katha gonnak thibunu pothak dasaka thuna hatharakata withara udadi kiyewwa mathakayi.Mama hithanne pothe nama"Manchosange charika" wageyi mathake hatiyata.

    ReplyDelete
    Replies
    1. මැංචෝසන් චාරිකා ඒ චිත්‍ර එක්කම කියවන්න දෙනවා ළඟදීම, නිදිගෙ පංච තන්තරේ අඩවියෙන්. සූදානං වෙන ගමන්!

      Delete
    2. http://www.mediafire.com/file/b1mb8rry351k117/Manchosan_Charika.zip/file

      එතකං ඉවසං ඉන්ඩ ම බැරි නං මෙතනිං පොත ඩවුන්ලෝඩ් කරගන්ඩ. (නිදි ගෙ කටේ පස් දැමීමේ ඒකායන පරමාර්ථයෙනි)

      Delete
    3. ආයේ මං මහන්සි වෙන්නේ මක්කටයි. මේ තියෙන්නේ දෙයියනේ, අපි අච්චු ගහපු පොතමයි ඔය. අග පිට කරය යටින් තියෙන්නේ පියසිරි ප්රින්ටින් සිස්ටම්ස් කියලත්.

      Delete
    4. බෑවේය. ඒත් නිදි ලියයි කියලා බලාගෙන හිටියෙ. වැටෙන කමෙන්ට් වල ආතල් එක ගන්න.🤔😉

      Delete
    5. මාත් බාගත්තා. මට ඒත් සැකයි කී දෙනෙක් බාගෙන කියවයිද කියලා. මං දන්නා තරම මදි අකුරු ලොකු කරගෙන පහසුවෙන් බලන්න. හොයා බලලම තීරණේ කරන්නන්කෝ....

      Delete
    6. ඊළඟ හිනා post එකෙන් ලොකු නිධානයක් ගැන ඔත්තුවක් දෙන්නයි හිතා ඉන්නේ.

      Delete
    7. // මං දන්නා තරම මදි අකුරු ලොකු කරගෙන පහසුවෙන් බලන්න//

      https://www.microsoft.com/en-ca/p/cover-comic-reader/9wzdncrfj9w7?activetab=pivot:overviewtab

      ඔන්න ඕක දාගෙන, රීඩින් මෝඩ් එක= පිටු දෙක. දාගත්තාම හොඳට පේනවා. ඒත්, "අනේ! මම නොදරුවා" නිදිට මේවා කියනවට වඩා හොඳයි. මයෙ හොට ගහේ උලා ගන්න එක.🤔

      Delete
    8. මං කැමතියි නිදි ගෙ පංචතන්තරේන ම මැන්චෝසන් චාරිකා කියවන්න. මොකද, නිදි ගෙ තියෙනව ලස්සන ඉදිරිපත් කිරීමේ ශෛලියක්.

      ඊට සමාන්තරව මං ලියන්නං මැන්චෝසන් ගෙ ෆිල්ම් එක ගැන.

      Delete
    9. ලියමු ලියමු! ප්‍රශංසාවට ස්තුතියි...

      24 වෙනිදා Pra Jay මහත්තයා දවසෙන් තුන්කාලක් වැය කරලා මං තුමාව ජාතික ලේඛනාගරයට් එක්ක ගිහින් ගෙනත් බැස්සුවා. එහෙ තියෙන තෝම්බු වාර්තා ගැන ඔයාට කෝල් කරලා කියනවයි කිව්වා.

      Delete
    10. මම කියෙව්වා ලේඛනාගාර චාරිකාව ගැන අජිත් ගෙ බ්ලොග් එකේ කමෙන්ට්වල.

      ප්‍රා මට කියනව කිව්වනං, මට ජාතික වැදගත්කමක් ඇති විස්තර වේනන ම ඔ්නෙ.

      මේ දවස්වල නං කිසිම නිදහසක් නෑ ඔලුවට. ඉතා ම ළඟ දි ඔය පැත්තෙන් බලං යන්න හිතං ඉන්නව. පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව විසඳගන්න මහන්සි වෙන...

      Delete
  16. මං මේ දවස්‌වල පොඩි ප්‍රශ්ණ ගොඩක ඉන්න බවත්, හුදී ජන බලුප් සංවේගය උදෙසා වේලාසන ලියාපු පෝස්ට් ටිකක් ඉදිරියෙදි පලකරන්ඩ පබිලිස් ට බාර දී ඇති බවත්, ඉතා ම ඉක්මනට කමෙන්ට්වලට උත්තර දෙන බවත් කරුණාවෙන් අලකන්ඩය...

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න පොඩි පට්ටම් වේවා, අල වේවා!

      Delete
    2. අල කන්ඩ තමයි නැතුව වෙන අලගෙදියකටද..
      එහෙම නොකර එන්ට ඕන කොමෙන්ට් වලට උත්තර දෙන්ට..

      Delete
    3. අපි නං ප්‍රශ්ණ නැත්නං, එව්වා තැපෑලෙන් ගෙන්න ගන්නවා. කලු සිකුරාදා ඩීල් එකකට කොටලා, මේ දැන් ලාවුලු කාපු රිලවා වගේ ඉන්නෙ.🤔😒

      Delete
    4. නිදි,
      එසේ ම වේවා!

      නමිය,
      ඔන්න ආව.

      බස්,
      මාත් ගෙන්න ගන්නව තැපෑලෙන්...
      ලාවුලු කෑවම රිලවට මොකද වෙන්නෙ?

      Delete
    5. //ලාවුලු කෑවම රිලවට මොකද වෙන්නෙ?//

      කලු සිකුරාදා, වැරදි ඩීල් එකට කොටපු, මූකලං බස්සා වගේ ඉන්නව විරව, විරව.😂

      Delete
    6. රිලව් ගැන ලස්සනම කතාව මට කිව්වේ 'ලංකාවේ එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්' රස්සාව අතහැරලා එංගලන්තයට ගිය අරවින්ද ඉන්ද්‍රසිංහ හිතවතා. 'බිමට xකපු රිලවා වගේ විරෝගෙන..' කියලා. අරවින්ද හා රයිකී- වාලුකා කුසුම පොතුත්, කණ්ඩා ගැනත් post දෙක තුනකුත් අවුරු දෙකකට කලින් ලිව්වා.

      Desert Rose, අරවින්ද හා රයිකී - පළමුවෙනි කොටස
      https://nidigepanchathanthare.blogspot.com/2019/08/desert-rose-reiki.html

      Delete
    7. බකුස්,
      ඒ ගැන දාමු පෝස්ට් එකක්? මොකද උනේ කියල කියවන්න හෙණට කුතුහලයි.

      නිදි,
      ඔව්ව වෙන්ඩැි වඳුරු කුණුහරුප කියන්නෙ, පලා රික වගේ...

      Delete
  17. කොහෙන් හොයා ගන්නවද මන්ද. අතීතයට ගියා

    ReplyDelete
    Replies
    1. When there's a will, there's a way කියල ගුරුළුගෝමී කියල තියෙනව....

      Delete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි