Wednesday, June 9, 2021

නුවරඑළියෙ ආවෙමු - ගජබින්න නෙවෙයි

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-vJvcZHBIqF4vUMO-5j6tMUw6owUaRu0gVUKNFDSYXQny8exemzd2EFTXCSVSE9QQCNPN0e2Yco2uqZZvRUJ_S1AgH8pFfmAI-9oMDIsIm0dwcLBXOGw1ty2YYjT6zRRVmxteQCQK4Avw/w1200-h630-p-k-no-nu/DSC04092.JPG

ඒ ලෙවල් කරන කාලෙදි අනාගතය ගැන ඉළක්ක කරන්න පටං ගත්තෙමුය. ඒ් ඉළක්කවලින් ඒකක් තමයි නුවරඑළියෙ ජීවත් වෙන එකය. මක් නිසාද යත්, ඒ් කාලේ දැනගෙන හිටපු ෆැන්ටසි ම පළාත නුවරඑළිය වීමය. අපි නිකං මෙහෙ මල්වැටක් දැක්කත් ඒකත් මාර සුන්දර ය.

ඉතිං අපි මෙහෙ ආවා ය. බලන්ට යන්ට නං සෑහෙන තැන් ඇත. ඒ උනාට කොවිඩ් නිසා යන්ඩ බෑ ය. අපි ඇවිත් දවස් ගාණකිං මෙහෙ වස්සාන සෘතුව ආරම්භ විය. චුරු චුරු වැස්ස එක්ක මහ සැරේට හුළඟ ය. එයිට කලිං "යාස්" සුළි කුණාටුවත් ආවෙමු. ඒ් සුළි කුණාටුවට අපේ නිල නිවාසයේ වහළෙ ගළෝගෙන ගිහිං, දැං මේ නිල නිවාසෙ තියෙන්නෙ උඩහ ගෙදර වහළය ය. මේ පළාතෙ ඔය විදිහට වස්සාන කාලෙට ගෙවල්වල වහළ හුවමාරු වෙන එක සාමාන්‍ය දෙයකි. ඒ නිසා හැම ගෙදරකම වහළෙ හදන්නෙ එකම දිග පළලට ය.

මෙහෙ හුළඟ කොයිතරං සැරද කිව්වොත්, අව්ව වැටෙන්නෙ නැත. මෙහෙට පායන ඉරු රැස් හුළඟට ගහගෙන ගිහිං පායන්නේ පේරාදෙණිය දිහාට ය. සමහර දවස්වල ගිණිගත්හේන දිහාටත් නුවරඑළියට වැටෙන්න නියමිත අව්ව වැටෙයි. වැස්ස ගැනත් කියන්ඩ වෙන්නේ ඒ් ටිකමය. හොඳ වෙලාවට දියතලාව පැත්තට වැටෙන වැස්ස හුළඟේ ඇවිත් ග්‍රෙගරි වැවට වැටෙන්නේ ය. නැත්තං ඒ්කත් හිඳෙනවා ය.

නිල නිවාසයේ ගිණි උදුනක් ද ඇත. මේ වැස්ස කාලේ සීතල කොයි තරං ද කිව්වොත්, ඒකට අතට අහුවෙන අහුවෙන තරමෙ දර දාලා ගිණි තිබ්බෙමු. ඊට පස්සෙ එකතු වෙන කාඩ්බෝඩ්, පොලිතින්, පත්තර, පොල්කටු යනාදියත් ගිණි තිබ්බෙමු. දැන් ගිණි තියන්නේ මල් පාත්ති වල තියෙන ගඩොල් ය. ගිණි උදුනේ ඉතා විශිෂ්ඨ වෙන්ටිලේෂණයට පිං සිද්ද වෙන්ඩ ගඩොල් කැට, උලු කැට, දිරාපු යකඩ කෑලි, තහඩු කෑලි, පරණ හට්ටි මුටිට්, පරණ බැට්‍රි, පරණ ෆ්‍රිජ්, පරණ වොෂින් මැෂින්, කැඩිච්ච බයිසිකල්... පවා ගිණි ගන්නේය.

හතර වටෙන් ම කොරෝනා ලෙඩ්ඩුත් වාර්තා වෙන්නේ ය. වාතයෙන් පවා බෝවෙන ලෙඩක් වෙච්ච කල, වැස්සත් එක්ක හමන තද සුළඟ හිංදා, අපි එළකිරි වගේ ඉන්නෙමු. ඒ කියන්නේ එළකිරි බෝතලේට දාලා තියෙනවා වගේ, අපි ගේ ඇතුලට වෙලා ම ඉන්නෙමු ය. කොරෝනා වයිරසය අපේ ඔලුවලට උඩිං හුළඟේ ගහගෙන යන හැටි අපේ උන්දා හෙවත් ආදර බර ඩ්‍රැකියානිය මේ ළඟකදි දවසක් දැක්කෙමු. පස්සෙ බැලු කොට ඒ් රඹුටං ගෙඩි වගෙයකි. උඩහ ගෙදර පොඩ්ඩා කෑමට ගෙනත් තියාගෙන උන්න රඹුටං වගෙයක් ඒ්වා දාලා තිබ්බ මල්ලෙං එළියට ගන්න කොටම හුළඟට අහු වෙලා ය. පස්සෙ අපට දුක හිතී ගෙදර අයිස් පෙට්ටියේ තිබ්බ ඇපල්, පෙයාස්, බ්ලූ බෙරි, මල්බෙරි, බිලැක් කරන්ට්, ප්‍රත්‍යාවර්ත කරන්ට්, ආදී ගෙඩි ටිකක් දීලා පොඩි එකාගේ හිත හැදුවෙමු.

අයිස් පෙට්ටිය කිව්වාට, මෙහෙ ගෙවල්වල අනික් පළාත්වල වගේ ෆ්‍රිජ් එක කියා එකක් නැත. කොහොමත් මෙහෙ තියෙන සීතලට එළවලු නරක් වෙන්නේ නැත. තියෙන්නේ රස්නෙ පෙට්ටිය කියා එකකි. තද ශීතලෙන් එළවලු බේරා ගන්නට ඒක උපකාරී වෙන්නේ ය.

මෙහෙ තියෙන ස්ට්‍රෝබෙරි හරි ලකේ ය. දුසිමකට තුනක් විතර අල්ලන තරං ලොකුයි ය. ඒවගෙ තියෙන රතුපාට වගේ පාටක් මං නං මීට කලිං දැක නැත. කොයි තරං තද රතුද කියතොත්, ඒ්ක නිල් පාටට හුරු රතකි. මෙහෙ මිදුලේ තියෙන එක පඳුරෙන් දවසකට ස්ට්‍රෝබොරි දාහක් විතර කඩා ගන්නවාය. ආපු දවස්වල අපට ඒක හරි ඉහළ කෑමක් වුනාට, (ඒ් දවස්වල ස්ට්‍රෝබෙරි කාල බඩේ ඉඩ තිබුණොත් විතරක් බත් කන්නෙමු.) දැන් නං ගෙදර මිදුලට එන බල්ලන්ට ගහන්නෙත් ස්ට්‍රෝබෙරිවලිනි. 

අල්ලපු ගෙදර පොන්ඩ් එකක් ඇත. ඒකෙ මාලු පොඩ්ඩක් හරි බලාගන්නට පුළුවං මහ දවල්ට විතරය. ඒ් තරමට මෙහෙ වතුර සීතලය. ඒ ගෙදර ඉන්නා අයියා මාලුන්ට ජර්සි අන්දවා ඇත. ඒ උනාට ඒ ඇට්ටර මාලු උන්ගේ ජර්සි නිතරම තෙමාගන්නවා ය. ඉතිං අර අල්ලපු ගෙදර උදවියට මාලුංගේ ජර්සි මාරු කරනවා ඇරෙන්ඩ වෙන වැඩක් නැත. ඒ් වැඩේට වෙනම කුළියක් ගෙවා මිනිස්සු කීපදෙනෙක් තියාගෙන ඉන්නවා ය.

වතුරෙ සීතල කියන්නේ, පොඩ්ඩක් හරි ටැප් එකක් ඇරලා කෝප්පෙකට වතුර ගන්ඩ පුළුවං වන්නේ කුස්සියේ දී විතරය. අනික් හැම තැනම ටැප් එක ඇරියහම එන්නේ අයිස් කැට ය. පොල්තෙල් ඊට හතයි ය. මෙහෙ කඩවල පොල්තෙල් විකුණන්නේ කුට්ටි වශයෙනි. අපි ගිහිං ‌පොල්තෙල් කිලෝවක් ඉල්ලුවහම, මුදලාලි නූලෙං සබන් කැටේ කපනවා වගේ, පොල් තෙල් කුට්ටියක් කපා, කිරා, කඩදාසියක ඔතා, ගෝණි ලණුවෙන් බැඳලා දෙන්නෙමු.

කියන්නට නං දේ එමට ය. ලියාගන්නට වෙලාවක් ඇත්තේ ම නැත. එහෙං කොරෝනා මර්දන කටයුතු ය, වැක්සිනේෂන් ය, පළාත්පාලන ආයතන වල රාජකාරි අත්‍යවශ්‍ය සේවා කර ඇත්තෙමු. තව අසයින්මන්ට් දෙකක් මේ මාසය තුල ලියන්නට ද ඇත්තෙමු. ඒ් අස්සේ විභාගෙට පාඩං කොරන්නට ද ඇත්තෙමු. එහෙයින් මෙතනිං නවතිනවා ය.

මේ ටික ලිව්වෙත් කලිං පෝස්ටුවේ අගට සරත් ලංකාප්‍රිය අයියා දාපු කමෙන්ට් එකට ඇපෙන් බේරෙන්නට ය. එහෙනං ටටා වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

67 comments:

  1. ඔව් බාන්, අතරින් පතර ලියලා, ගජබින්නාලංකාරයටත් සාධාරණයක් ඉෂ්ඨ කොරාපිය.

    පොල්තෙල් කිරලා ගන්න කතාව, හෝර්ටන් තැන්නේ "අල බංගලාවේදී" අත්විඳ ඇත. දුප්පත් බස්සොන්ට සරකිට් බංගලාවත්, ගිණි උඳුන්වත් තිබ්බේ නැතිය. ලිප ගාවට ගිණිතපින්න ගිය කලට, උයන අප්පුවා ලිප උඩ වාඩුවී ගිණි තපිමින් සිටියෝය. හෝර්ටන් තැන්නේ ඉබේ වැවෙන දඩු රතුපාට "වැල් ගොටුකොල" සම්බෝල, තෙල් දාපු සැමන් සමඟ කෑවෙමි. දැන් මෙහේ "ගොටුකොල" ලක්ෂරි නිසා, ඒ වෙනුවට කේල් කනවාය. වාරෙට ස්ට්‍රෝබෙරි ඇත, ගහන්න බල්ලෝ නං නැත.

    ReplyDelete
    Replies
    1. ඇයි බාං ඔච්චර ස්ට්‍රෝබෙරි තියන එකේ, ලොකු ජෑම් බෝතලයක් හදපන්කො, අවුරුද්දම කන්න.

      Delete
    2. පොල්තෙල් කිරලා විකිණීම කොහෙත් තියෙන දෙයක්. කුට්ටි කපලා විකිණීම තියෙන්නෙ සීතල පළාත්වල විතරයි.

      හෝර්ටන් තැන්නේ රැයක් ගත කිරීම මගේ තවත් එක ෆැන්ටසි සිහිනයක්. මට ම.කයි ගඟ දිගේ ගියපු ජැක්සන් දවසක් කෑම්ප් ගහගෙන ගත කළා හෝටන් තැන්නෙ. ඇල බංගලාව පැත්තෙ යන්න දාගත්තා "ටු ඩූ ලැයිස්තුව" ට.

      මෙහෙ මගෙ සිකුරිටි මල්ලි ඇත්තටම ස්ට්‍රෝබෙරි ජෑම් හදනව. සිට්‍රික් ඇස්ඩ්වත් දාන්නැතුව. සීනියි ස්ට්‍රෝබෙරියි විතරයි... (ඒක නං ඇත්තක් ඈ)

      Delete
  2. ධීවරයින්ගෙන් අම්බානකට කන්න වෙන සයිස් එකක් ආව හින්දා හතරමායිමේ මුහුදක් නැති ධීවරයින් බේතකටවත් හොයන්න නැති නුවර එළියට පැන ගත්තේ ඇයි කියලා දැන් තමයි තේරුනේ

    ReplyDelete
    Replies
    1. එතකොට මෙයාද අර බෝට්ටු ටිකට ගිනි තිබ්බෙ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මෙයාගේ උපදෙස් අහලා ධිවරයින් වැලේ වැල් නැතිව ගිහින් වැල්ලේ වැලි කැවිලා එළොව පොල් පෙනිලා උන්ම තමයි බොට්ටු ටික ගිනි තියාගත්තේ.

      Delete
    4. වෙසක් එකට අටපට්ටං, ප්ලේන් ආදිය පත්තු කරන වෙලා, නැවක් පත්තුකරන්ඩ තමයි අදහස් කරල තියෙන්නෙ

      Delete
  3. නුවරඑලියෙ මාඩ්‍ය ප්‍රකාසක.

    ReplyDelete
    Replies
    1. තව ඕනෙද මාධ්‍ය ප්‍රකාශ?

      Delete
  4. තද හීතලට අසුවී ගල් වෙන්න එපා
    බෙරි වළඳලා බැරි-බැරි වෙන්නටත් එපා
    උදුනට අත-පයත් දැමුමට හිතනු එපා
    අමතක නොවේවා, ලීමෙහි තියෙන සැපා

    ReplyDelete
    Replies
    1. තද හීතලට අසුවී ගල් නොවන්නෙමි
      බෙරි කාලා බැරි බැරියා නොවන්නෙමි
      උඳුනට අත-පයත් දැමුමට නොහිතන්මි
      ලීමෙහි තියෙන සැප අමතක නොවන්නෙමි

      (කොහොමද ඒක?)

      Delete
    2. හොඳ හින්දා නේද දැම්මේ?

      Delete
    3. කම්මැලි පිළීතුරු කවි. ඒක හරියට අර පිළීතුරු ගීයක් තිබුණේ... “මම එනව බලා - පැල්පතට වෙලා - ඔබ හිටියා උදේ - මම කොහෙද ගියේ“ වගේ

      Delete
  5. මේකේ උක්ත ආඛ්‍යාත සම්බන්දෙ ගුරුලුගෝමීහු දැක්කොත් උන්නාන්සේ සියබස්ලකර පොත ඇඟිල්ලේ කෙල ගගා මකන්නෙමු

    ReplyDelete
    Replies
    1. කුරුලුගොයි නං මේ තාක් දවසකට මම මෙහෙ දැක්කේ නැති අතර, මම එන්න කලින් මෙහෙ රජකරගෙන උන්නු සහකාර කොමසාරිස්තුමා ගෙන් අහා බලා වාර්තා කරන්නට සටහන් කරගත්තෙමු ය.

      Delete
  6. මේකේ උක්ත ආඛ්‍යාත සම්බන්දෙ ගුරුලුගෝමීහු දැක්කොත් උන්නාන්සේ සියබස්ලකර පොත ඇඟිල්ලේ කෙල ගගා මකන්නෙමු

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලොවට සාදරයෙන් පිළිගනිමු.
      මට අපේ රෙමි අංකල්ගේ ව්‍යාකරණානුකූල කතාබස් මතක් උනා.
      ජයවේවා!
      Myself Hattor

      Delete
    2. ඩබොල් කොමෙන්ට් දාන්නෙ අපේ කම්මලේගෙ නෑයෙක්ද දන්නෑ මෙයා.

      Delete
    3. ඔවු, ඔය උඩ කොමෙන්ට් එක දැම්මෙත් னයා ම තමයි.

      Delete
    4. ඔබ නිරෝශන හු,

      සමීර එක්ක නුවරඑළිය ටවුමම පීරා බැලූ නමුත් සියබස්ලැකර් ටිං එකක් ගන්ඩ ාහඩ්වෙයාර් එකක් ලැබුණේ නැත. ඒ නිසා චයිනිස් ලැකර් ගත්තෙමු ය.

      னයෝ,
      අහක යන ටෝච් පාරවල් නොකනු!

      Delete
  7. උදේ පාන්දර ඔය ගෙරි හීතලේ හාවො මරන්ඩ ගියාම අහක්කවෙලා අයිස් කූරක් පිටඋනා කියනවා හෙම නෙවේ ලොකු සර්.
    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. එහෙමත් වුණූ අවස්ථා නැතුවා නෙවෙයි. ලා කහපාට වෙවැලක් වගේ අයිස් කූරක් හැදෙනව.
      ජයවේවා හැට්ටර් සෑර්!

      Delete
  8. උඹට කියන්ඩ මල්ලි මේ ලඟදි අපෙ පවුලම හම්බතොට ගියෙමි,. මාතර පහු කොරනකොට සීතල වැඩිකමට වාහනේ පෑට්ටෝල් ගල් උනාය. යාන්තම් පෑට්ටෝල් ටෑන්කියට යටින් ගිණිගොඩක් ගහලා ඒක හදාගෙන හම්බා ආමි කියමුකො.පිදුරුතලාගල කන්දට ලන් වෙනකොටම ඈන්ජින් ඔයිල් ගල් උනාය. ඈන්ජිම හිට්ටාය. ලේවායෙන් ලුණු ටිකක් ඇන්ජිමට ඔබලා ඒකත් හදාගෙන ගැහි ගැහි සිරීපාදෙ නෑගලා වෑන්දාය. හිටි ගමන් සිරී පාදෙ කන්ද නාය ගියාය. බැලින්නම් ඒක විකුණන්න බැරි වෙච්ච වට්ටක්කා කන්දක්ය !

    උඹට ඉස්තුතියි පරණ යාළුවෙකුගෙ ඉල්ලීම ඉටු කලාට
    සරත් ලන්කාප්‍රිය

    ReplyDelete
    Replies
    1. හලෝ සරත් බයියා!

      Delete
    2. අපිටත් ඉස්සර හිටිය සරත් ලංකාප්‍රිය කියල බ්ලොග් ලියන යාලුවෙක්.

      Delete
    3. මේ ඒකාම තමයි පඳුර මාරු උනා විතරයි.මොන බ්ලොග්ද දැන් ? ඔක්කොම බොලොක් තමයි. පෑතුම්ගෙ පෑදුරත් නතරවෙලා.ඩ්‍රැකියා ඒකත් හයිජැක් කලානෙ.
      සරත්

      Delete
    4. කොහොමද සරත් අයියගෙ අයිඩියා? ආයෙ ලියනවනං පංකාදු පහයි. එකම එක සැරයක් මුණගැහී කතා කරමින් ආපු එක ජීවිතේට අමතක වෙන්නෑ. ඇත්තට අපි වගේ එක පාට කුරුල්ලො ආපහු මුණගැහෙන්නෙ මේ වගේ වේදිකාවක විතරයි ගොඩක් දුරට. ඒ නිසා නොලියන එක මහ අඩුවක්.

      Delete
    5. දැන් ලන්කාන්ඩුවට වැඩනෙ. ඉතින් පැදුරු වගේ ලියන්න තියෙනවා. හොම්බෙන් යන්න වැඩත් .. ඉතින් මොන බ්ලොග්ද ?
      සරත්

      Delete
    6. ලංකාණ්ඩුවට වැඩ නං, මේ පැත්තෙ ආ දවසක එන්ඩ, බඩ්ඩිංගක් කාලා, දවසක් දෙකක් ගත කරලා යන්ඩ බැරුවය...

      Delete
  9. රෑට රෑට ටැප් එක අහලින් ලාම්පුවක් පත්තු කොරලා තියන්ඩය. පහුවදා උදේට උගුරත් එක්ක දෙරි ගැහිලා යන තරමට උණු වතුර ගන්ඩ පුලුවන්‍ ය. අපි ඔයිට වඩා හීතල ඇන්ටාක්ටිකාවේ දඩයමේ යන කාලෙත් කරේ එහෙමය. එතකොට ඔය වහලවල් පියෑඹීම නවත්තන්ඩ ලග තියෙන තැරි දාර ගස් දෙක තුනක් වහළේ උඩට වැටෙන විදිහට කපා දාන්ඩය. හුළං අල්ලන්ඩ සිලි සිලි බෑක් දාහක් දෙදාහක් ඉතර ඉස්සරහා රෙදි වැලේ හුළං මූනත පැත්තට එල්ලන්ටය. ඔය ස්ට්‍රෝබෙරි අපේ පැත්තේ කොච්චර තියෙනවාද කියනවානං අපි පොඩි ස්ට්‍ර්‍රෝබෙරි උණ බට වෙඩිලි නොහොත් හුචස් කූරු හදන්නටත්, ලොකු ගෙඩි අව්වේ වේලා කරුකුට්ටන් වූ පසු ලිපේ ගිනි අවුලුවන්නට ඔට්ටපාලු වෙනුවටත් ගන්නෙමුය. බොලාත් කරලා බලන්ටය. රෑට හීතල උහුලා ගන්ටම බැරි උනොත් අර වියාපු පුටු දෙක තුනක් ගිනි දෙවියාට පූජා කොට මේ මන්ත්‍රය හත් වරක් ජප කරන්ටය. නිර්වස්තරෙන් ඉදගෙන දහවරක් ජප කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලැබේ. අත්දුටුවයි සත්තයි!!
    මන්ත්‍රය:-
    හුහ් හුහ් දරන්වාලේ ගන්ත වාලේ බන්ත වාලේ ඒස්වා හ:

    ReplyDelete
    Replies
    1. ලාම්පු පත්තු කරන්ඩ බැරි ය. බූමිතෙල් සීතලට අයිස් වගේ මිදිලා ය. ඒක රත් කරගන්ඩ වෙන්නෙ ලිපට දාලා වෙමු. මුලිම්ම ඇන්ටාර්ටිකාවෙ දඩයමේ ගියෙ අපේ අන්දිරිස් අත්තා ය. එහෙ සීත කාලෙ කියන වචන හීතලට ගල් වෙන නිසා ඇහෙන්නෙ නැත. තැරිදාර ගස් තියෙන නමුත්, රජගෙදර ඉඩමේ තියෙන නිසා කපලා සුදු වෑන් එකේ යන්ඩ බෑ ය. සිලි සිලි බෑක් නැති හිංදා බ්‍රවුන්පේපර් බෑක් එල්ලුවෙමු. ඒවෑ එකතු වුනේ හුළං නෙවෙයි, පින්න ය. පස්සෙ ඒ බ්‍රවුන් පේපර් වලිං පින්න මල් හැදුවෙමු ය. උණ බට තුවක්කුවලට දාන්ඩ තරං පොඩි ස්ට්‍රෝෙබරි මෙහෙ නෑ ය. කාලතුවක්කුවලට නං දාන්ඩ ඇහැකි ය. පොඩි ම එව්වා කාල තුවක්කු වලටත් ඊට පස්සෙ ලොකු එව්වා බාග තුවක්කු වලටත් දාන්ඩ පුළුවං ය. සම්පූර්ණ එකේ තුවක්කු හම්බුණෙෘත් ඒවටත් දාන්ඩ හැකි ස්ට්‍රෝෙබරි තියෙනවා ය. ඒවා දුසිමකට අල්ලන්නෙත් එකක් විතර ය. වියාපු පුටු ගිනි තියන්ඩ බෑ ය. මකුණො මැරුණොත් පව් සිද්ද වෙන නිසා ය. අපි මේ දවස්වල නිර්වස්තරෙන් ඉන්නෙත් ජර්සියක් දාගෙන ය. ජර්සිය කිල්ලට අහුවුණු නිසා ද කොහෙද මන්තරේ වැඩ කොලේ නෑතිබව කණගාටුවෙන් දන්වමු ය.

      Delete
  10. අපි පොඩි කාලේ නිවාඩුවට නුවරඑළියේ ලොකු නැන්දලා ගෙදර ගියෙමුය. ඒ ගියාමත් ඔය වගේමුය. ඒවා මතක් වී හිනා ගියෙමුය. දැන්නං ලොකු නැන්දලා නුවරඑළියේ නැති හන්දා ඊළඟ නිවාඩුවට ඩ්‍රැකියා බලන්ට එන්නෙමුය.

    ReplyDelete
    Replies
    1. අඩේහ් ය. බුරා මෙහෙ එනවනං ඉතසිතිං ම පිළීගන්නවා ය. අපේ ලොකු කොල්ලගේ ප්‍රියතම පොත “රත්තරන් යතුර හෙවත් බුරතීනෝ ගේ හපං කම්“ වෙන්නෙමු.

      Delete
  11. ගජබින්නයක් නෙමේ කියල උඩින්ම දාල තියෙන හින්ද මං නම් හිතන්නේ නුවර එලිය දැන් ඔහොම ඇති. හෙට අනිද්දට පෝර්ති වලට කිව්වොත් රෑට රෑට ගෑනු ළමයින්ගේ ගෙවල් අස්සට රිංගල ලේ බොන වවුලෙක් නුවර එළියෙන් හම්බ උනා කියල මම නම් ඒත් විස්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. මා කෙරහි අදහාගන්නා තැනැත්තේ, සදාකාලික (මළ නොමළ) ජීවිතයට පත් වන්නේ ය...

      වවුල් සයිස් ජර්සි නැති හිංදා දැනට බේරිලා ඉන්නවා. ඇමසෝන් එකෙත් නෑ.

      Delete
  12. කොහෙද බං ඔය නුවර එළිය තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. දන්නෑ බං. මීදුම ඒ තරං...

      Delete
  13. මිනිස්සුංගෙ අයිස් කෝල්ඩ් බ්ලඩ් තියෙන හින්ද සෑහෙන්න අමාරු ඇති නේද ජීවිතේ ගටගහගන්න.

    ReplyDelete
    Replies
    1. අම්මපා මිනිහා දැන් සෑහෙන්න ඇදිලා පැදිලා ගිහින් කෙට්ටු වෙලා. දැන් ජීවිතේ දුවාගන්නේ ස්ටොබෙරි යුෂ වලින් .

      Delete
    2. னයෝ, බෝ හිතුවද උරගයංට වගේ මිනිස්සුන්ටත් කෝල්ඩ් බ්ලඩ් කියල? මෙහෙ මිනිස්සුංගෙ තියෙන්නෙ ඇල්කොහොල් බ්ලඩ්. බිව්වට පස්සෙ පහුවදා හවස නැගිට ගන්ඩ බෑ.

      Delete
    3. අසංග, නෑ. මේ දවස්වල හොබියක් විදිහට මහත කූඩැල්ලො එකතු කරනව. බ්ලෙන්ඩරේට දාල හදනව බ්ලඩ් ෂේක්... කොහොමද ඒක?

      Delete
  14. ඉස්සර කාලේ නම් ඔය සීතල මකා ගන්න නුවර එළියට යවන "බඩු" වල ඇල්කොහොල් ප්‍රතිශතය 3-5% අතර ප්‍රමාණයක් වැඩි කරලයි තිබුනේ. දැන් ඉස්සර තරම් සීතල නැති නිසාද කොහෙද, ලංකාවටම එක හැන්දෙන් බෙදනවා.

    ReplyDelete
    Replies
    1. මාත් ඔය කතාව අහල තියෙනව. ඒත් ඉතිං සීතලයි කියල ඇල්කොහොල් ප්‍රතිශතය වැඩි කරන්න ඕනෙ කියල මට හිතෙන්නෑ. එයිට වඩා ක්‍රම තියෙනව සීතල සහ සෞන්දර්යය විඳින්න.

      Delete
    2. ගල් හරියන්නෑ මෙහෙට. කිතුල් රා හොඳා.

      Delete
  15. අඩේහ් ලියලා.මං මේ සතෙන් සතේ එකතු කරනවා නුවරඑළියෙන් ඉඩමක් අරන් ජීවිතේ මැදකාලෙදි යහපත් ආකාරයට ජීවත්වෙන්න.ඔහේ ලොකට් කියලා පළතුරක් ඇත ඕසෙට.බෙරීස් වලට වඩා රහයි.

    ReplyDelete
    Replies
    1. ලොකට් තාම කන්න ලැබුණෙ නෑ. මේ එන්නෙ වැහි කාලෙ. පලදාව සෑහෙන්න අඩුයි හැම දේකම.

      නුවරඑළියෙන් ඉඩමක් ගෙයක් ගන්නව කියන්නෙ ආයෝජනයක්. සීසන් කාලෙදි සෑහෙන ගාණක් හම්බ කරන්න පුළුවන්. හැමෝම වගේ කරන්නෙ ඒක. ජීවත් වෙන්න හොඳයි මෙයිට වඩා සීතල අඩු සෞම්‍ය පළාතක ගෙයක් හදන එක. නුවරට ආසන්නව බැරිනං නුවර පාරට වත් ආසන්නව... මොකද, පහසුකම් ටිකක් අඩුයි මෙහෙ.

      Delete
    2. ඉහත කමෙන්ටුව මා විසින් දමන ලද්දක් බවත් මගේ නුවරඑළි සිහිනය අල ගෙඩියක් මෙන් සරුසාර වෙන්නත් මංම ප්‍රාර්ථනා කරන්නේය.

      Delete
    3. කොරෝනා වසංගතය මිහිමතින් තුරන් වෙනකොටවත්, අපේ රටේ පිරිමි ගහණය අඩුවී, කසාද දෙකක් කොරගන්නට නීති සම්පාදනය වීමෙන් අනතුරුව සුජියාගේ නුවරඑළියෙ සිහිනය සැබෑ කරදෙන්ට ‌උත්සාහ කරන්නට තිබුණෙමි ය.

      Delete
  16. එක පචයක් මෙතැන නැති බවත් සියල්ල අමූලික ඇත්ත බවත් පෙනේ
    කොමෙන්ටු සේරටම හපං ආතල් යැ

    ReplyDelete
    Replies
    1. අඩෙහ්! ශෘංගාර ඩිලා... කොහොමද කාලෙකිං?

      Delete
  17. Replies
    1. අඩෙහ්! තඩි ගුඩි බොෂ්! ගලෝෂ් ගලෝෂ්...

      Delete
  18. මේකනම් "අපට විශල ශබ්ධයක් ඇහුනා" කියනවටත් වඩා වැඩි ගජ බින්නයක් තමා..

    ReplyDelete
    Replies
    1. අපිට මෙහෙ විශාල ශබ්ද නිතරම ඇහෙනව. මේ ළඟදි ගෝනෙකුත් ආව අපිව බලල යන්න.

      Delete
    2. අනේ ආයෙ ආවොත් මතක් කලැයි කියහං. අල බංගලාවෙ හිටපු, ලිස්සන බස්සා කිව්වාම දැණ ගනීවි, මහිතේ? බාගදා ඒ මෙයාලගෙ කිරි-කිත්තල වෙන්නත් බැරි නෑ.🤔

      Delete
    3. දන්නව ඇති තමයි, ගෝනෙක් කිව්වට ගෝනියක් ආවෙ. ගෑණු සතෙක්

      Delete
    4. ඔහොම කිව්වට පිළිගන්න බෑ.. අන්න ගෝනව ලොකු වතුර බෝතලේකට දාලා පෙන්නුවනම්.....

      Delete
    5. ගෝනෙක් නෙමෙයි ගෝනියක් ගෝනියක්. ඒ්ක අපි කුස්සියෙ බිමට එළුව.

      Delete
  19. නුවර ඒලියේ ජීවත්වෙන ඒක මටත් තිබුන ෆැන්ටසියක්
    තාමත් ආසයි

    ReplyDelete
    Replies
    1. හ්ම්... කවද්ද ටූලෝං ගැලියෙන් පැන්නෙ?

      ආ වෙලාවක එන්න, අපි සාදරයෙන් පිළිගන්නව.

      Delete
  20. අම්මෝ..මටනම්...නුවර එලිය එපාය..පස්ස හොදන්න වතුර එකක් දාපු ගමන් කැගහගෙන නැගිට්ටෙනවාය...

    ReplyDelete
  21. හෝටන්තැන්නට ගිය පාසල් සවාරියකුත් මතක් වන්නෙමුය. ඩ්‍රැකී ඔබගේ භාෂා හැකියාවත් හරි අගේ වන්නෙමි. තවත් මෙවන් සත්‍යය ගජබින්නයක් ඇද බානා ලෙස ඇරයුම් කරන්නෙමුය..

    ReplyDelete

කියවලා ඔයගොල්ලන් දෙන අදහස් මට මාර හයියක්...!

වැඩිපුර බලපු ලිපි