පවතින සමාජ ක්‍රමයේ හෝ පාලන තන්ත්‍රයේ ඇත්ත ස්වරූපය දකින්නත් යම් කිසි ලැබීමක් තිබෙන්න ඕනේ කියා සිතෙනවා. බහුතරයක් මනුෂ්‍යයන්ට තමන් සමාජක්‍රමය විසින් හැඩගස්වා තිබෙන තරමේ හැටියට, ඒක තුළ තිබෙන දැති රෝද කරකැවෙන බලවේගයන් සහ අරමුණු පේන්නෙ නැතුව යනවා. ඒ වගේ ම තමන් අයිති සමාජය තමයි ලෝකෙන් ම උතුම් ම ක්‍රමය කියන ස්වෝත්තමවාදී අදහසත් ළමා කාලයේ සිට ම ගිල්ලවන බවකුත් පේන්න තියෙනවා.
නමුත් තමන් අයත් සමාජයේ සහ පාලන තන්ත්‍රයේ අප්සට් බව හෙවත්, අර්බුධයට යාම දකින සුළු ප්‍රතිශතය, තමන් දකින දේ අනික් අයට පැහැදිලි කර දීම තම යුතුකම ලෙස සළකමින්, යම් යම් ආකාරවලින් තම සහෝදර ජනතාව දැනුවත් කරන්න උත්සාහ කරනවා. ඒ අය පළ කරන අදහස් විප්ලවීය අදහස් විදිහට පේන්නෙ, පවතින සමාජක්‍රමය විවේචනය කිරීම සහ එහි අර්බුධය විග්‍රහ කිරීමත්, වඩා යහපත් සමාජ ක්‍රමයක් මේ ආකාරයේ විය යුතු යැයි ඇදහීමත් නිසා. කලින් කලට මතුවන එවැනි උදවිය සමාජයට මතක හිටින යමක් ප්‍රකාශ කරලා, සමාජය යම් තරමකින් වෙනස් කරලා තිබෙන බවත් පේනවා. බුදුන්, සොක්‍රටීස්, ජේසු, කොන්ෆියුසියස් ආදී පුද්ගලයන් මේ විදිහේ විප්ලවකාරීන් හැටියට හඳුනාගන්න පුළුවන්.
මෙවැනි ප්‍රකාශන සංගීත ශිල්පීන් සහ පද්‍ය රචකයන් අතින් කෙරෙනකොට, වඩා තහවුරු ලෙස සමාජය ඇතුළට ඒ අදහස් කාවද්දන්න හැකියාවක් ලැබෙනවා. වික්ටර් හාරා, බොබ් මාලේ වැනි ජාත්‍යන්තර සංගීත ශිල්පීන් වගේ ම ලංකාව තුළත් එවැනි ම කර්ත්‍රව්‍යයක් සිදු කළ කලා කරුවන් අපට දකින්න පුළුවන්.
මේ මම ඉහතින් සඳහන් කරපු, සමාජ තන්ත්‍රයට අනුගත වීමෙන් මස්තිෂ්ක නිර්වින්දනය වීමේ අර්බුධය ගැන තැනුණු එක් නිර්මාණයක්.
අපට ඇහෙන්නේ නෑ
දෝංකාර දී කැසට් පටයකින්
ගී හඬ පැතිරෙනවා
කිට්ටු වෙවී කණ කොකා හඬනවා
අපට ඇහෙන්නේ නෑ
නිලංකාර වී දෑසම
විතකින් රහමෙර උතුරනවා
බැලූ බැලූ තැන උත්සවයක සිරි
විලාසිතාවන් ඇස පිණවනවා
තිරේ පිටුපසින් නූල් ඇදෙද්දී
රූකඩ සෙල්ලම ජයට නටනවා
උස්සාපන් අත - අපි උස්සනවා
ගහපන් කරණම් - අපිත් ගහනවා
ඇඳිවත නොදැනි ම ගිළිහී ගිය දෙන්
ගහන පදේකට අපිත් නටනවා
ඈත ඉඳන් කණකොකා හඩනවා
අපට ඇහෙන්නේ නෑ
දෝංකාර දී කැසට් පටයකින්
ගී හඬ පැතිරෙනවා
කිට්ටු වෙවී කණ කොකා හඬනවා
අපට ඇහෙන්නේ නෑ
නිලංකාර වී දෑසම
විතකින් රහමෙර උතුරනවා
සිංදු ඇහෙනවා පිරිත් ඇහෙනවා
වෙලාවකට මේ දෙක පැටළෙනවා
බුද්ධාලම්බන ප්‍රීතිය උතුරා
සාදු කිය කියා අපිත් නටනවා
බෝ මළුවේ බයිලා ලෙලදෙනවා
බාර් එකේ මුණි වදන් ඇහෙනවා
පුවත් නොදැන අපි බමන මතින්
වග වළසුන් කොටි සමග නටනවා
අපට ඇහෙන්නේ නෑ
දෝංකාර දී කැසට් පටයකින්
ගී හඬ පැතිරෙනවා
කිට්ටු වෙවී කණ කොකා හඬනවා
අපට ඇහෙන්නේ නෑ
නිලංකාර වී දෑසම
විතකින් රහමෙර උතුරනවා
පද රචනය - උපාලි අත්තනායක
සංගීතය - රංජිත් යාපා ද අල්විස්
ජවිපෙ විසින් නිර්මාණය කෙරුණු විමුක්ති ගී මට දැනෙන හැටියට ලංකාවේ බිහි කෙරුණු පළමු නූතන විරෝධාකල්ප ගී. ඊට පෙර වෙල්ලස්සේ කැරැල්ල ආශ්‍රිතව තැනුණු කවි ගැනත් මතක් කිරීම වටී...
අපේ රටේ භීෂණ සමය එක්ක විරෝධාකල්ප ගී රැල්ලක් ද නිර්මාණය වුණා. එයින් ප්‍රකට ම වුණේ නන්දා මාලනීගේ පවන සහ කපුගේ ගේ කම්පන. මේ මට දැනුණු හොඳ ම නිර්මාණයක්, නන්දා සහ සුනිල් ආරියරත්න සංයෝගයෙන් තැනුණු...
හෙලන්න පුතුනේ හෙලන්න ලේ කඳ...
කකියන දඬු කුරුසේ...
වාවා ගන්නම් මගෙ හද ඉකිබිඳ
මිරිකා කඳුළු ඇසේ...
“ඔවුන් මගේ පුත්‍රයාට කටු ඔටුනු පලන්දා
කස පහර දී මුහුණට කෙළ ගසා
කුරුස ගසේ තබා ඇණගසලා…”
ගලවා සළුපිලි අධර්මයේ
පෙන්වූයේ පුත නුඹමයැ නිරුවත
පාලක ඝාතක ජඩයන්ගේ...
පාහර පූජක ගවයන්ගේ...
“ඔහු කළ මහා පාප කර්මය එයයි..
අධර්මයේ නිරුවත අයුක්තියේ නිරුවත
පෙන්වා දීමයි..”
ඉපදී පොඩි ගව මඩුවේ
මාළිග මන්දිර මණ්ඩප පුපුරා නැගූ කෙසර හඬ
අයෝමයයි පුතුනේ...
අභීත මැයි පුතුනේ...
“මං දුක් වෙන්නේ නැහැ පුතේ නුඹ ගැන...”
සෙබළුනි මන්ද විරාමය හෙල්ලට
අනිව් අනිව් මගෙ පුතුගේ ඇලයට
සෙළවෙන්නේ පුතු සිරුරේ ලේ පමණයි...
සැඟවෙන්නේ මා පුතු පණ නළ පමණයි...
“කිසා ගෝතමිය සිද්ධාර්ථට කියූ
නිබ්බුත පදමැයි පුතේ මේ අහිංසක මරියා
කුරුස ගහ යට අඬ අඬා කියන්නේ...”
නිබ්බුතා නූන සා මාතා...
නිබ්බුතා නූන සෝ පිතා...
නිබ්බුතා නූන සා නාරී..
යස්සායං ඊදිසෝ පතී...
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - ස්ටැන්ලි පීරිස්.
මේ මා කැමති ම තවත් ගීයක්...
අළුගෝසුවනේ එල්ලාපන්..
අළුගෝසුවනේ එල්ලාපන්
කටු ඉඹුලේ අප එල්ලාපන්
යුක්තිය උදෙසා.. කෑමොර දීමයි
යුත්තිය උදෙසා කෑමොර දීමයි
දඟගෙයි ලෑමට අප සැම කළ පව
මුකවාඩම් බැඳ එකෙකු නසන කල
දනිවු සුවහසක් තව උපදින බව
වරදට එරෙහිව.. අවි ඔසවන්නේ
වරදට එරෙහිව අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිට කොඳු බිඳ ගත් ඔල මොල නිවටුන්
අළුගෝසුවනේ එල්ලාපන්..
අළුගෝසුවනේ එල්ලාපන්..
කටු ඉඹුලේ අප එල්ලාපන්..
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: ගුණදාස කපුගේ
ගායනය - විජය කුමාරණතුංග
රටට වෙලා තියෙන දේ ගැන මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ මේ ගීයත්, නන්දා මාලනියගේ පවන ඇල්බම් එකෙන්...
ලේකිරි දුන් උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ...
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ...
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ...
උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත්...
මගෙ රජදරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්...
තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැතී...
ගේ දොර කණ කර උකසට තියලා වළඳත් විකුණා ගෙන බුදිතී...
උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී...
මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරතී...
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනී...
මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේසොර මුළුවෙන් මා ගළවනු මැනවී…
පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය:- ස්ටැන්ලි පීරිස්
ඒ වාගේ ම විය යුතු දේ ගැන, ජයතිලක බණ්ඩාරයන්ගේ මේ ගීයත් අමතක කරන්ඩ ම බැරි නිර්මාණයක්...
ජනතාවට අන්තිමේ දි ජය අත් වෙනවා.
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා
මොහොමඩ් එර්ෂාඩ් කලක් බංග්ලාදේශේ
මහ ලොකු ජාතියෙන් නේද කෙරුවේ වාසේ
අන් අයගෙන කුලියට ලියවාගෙන ගැදි පැදි
චින්තන උල්පතක් වාගෙ පෙනුණා කලකදි
ගහගෙන තම කයිවාරුව තම පුර වරුණේ
යුග පුරුෂය පහල වුණා කියලය පෙනුණේ
ධර්මය රැක ගන්න පහළ වුණු ලෙස පෙන්නා
මර්දනයෙන් බොරුවෙන් රජ කරගෙන උන්නා
එක්සත්වී මහජන බලවේගය නැග්ගා
තක්කඩි ඒ පාලකයා හිරගෙයි ලැග්ගා
ජනතාවට අන්තිමේදි ජය අත්වෙනවා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා
සයිස් දමාගෙන හිටියා පකිස්ථානෙට
මිනීමරු පාලන ගඳ පිහිටුවා වටපිටේ
තනි මතයට රජ කරගෙන හිටියෙ ඒ රටේ
එක් දවසක් හක් අහසට නැගල යනකොට
ඩොග් ගෑවා කෑලි තමයි වැටුණෙ පොළවට
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා
සාර්ථකද කටයුතු අන්තිමට එයාගේ
ඉරාන ජන මතය නැගුණි ගම්බිම් පාසා
පරාණ කූඩුව අරගෙන පැන දිවූවා ෂා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා
දැඩි මහජන මතය හමුවෙ කෙළින් හිටියද
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා
පෑ පිස්සුව ඇල්ලුවෙ නෑ එරට වැසියට
පෙන්නාගෙන බොරු සාධාරණය තමුන්නේ
ඡන්ද මගඩි වලිනුයි ඔහු බලයෙහි උන්නේ
තම රූපය මහජනයා හමුවෙ ඇටෙව්වා
සමනල ගල වැනි මහ උස ගලක කෙටෙව්වා
අරන් මහා ජන මුදලින් විදුලි බල එලී
තොරන් බැදන් රට පුරාම කෙළියෙ සැණකෙළී
ගඳ ගහද්දි මාකොස්ගේ මිනීමරුකම
ළඳ සෝබන මොඩ් බඩුවක් වුණා රටටම
ජනමතයක් මුලු පිලිපීනයේ මතුවුණා
හොනලොලුවට යන්නට මාකොස්ට සිදුවුණා
මොන විදියෙන් හරි දුෂ්ඨයො තොළොංජි වෙනවා
මේ බොස්ටත් ඒ පාඩම ගන්න බැරි වුණේ
සෙනේවන්තයෝම රටේ බලයට එත්වා
අනේ වනේ වන හතුරොත් ජීවත්වෙත්වා
ගීත රචනය: සිරිලාල් කොඩිකාර
සංගිතය : විශාරද ගුණදාස කපුගේ
* * *
විරෝධාකල්ප ගී ගැන අපේ සහෘදයෙකු වන දයානන්ද රත්නායකයන්ගේ සටහන මෙතැනින්...