Showing posts with label බුද්ධ දර්ශනය. Show all posts
Showing posts with label බුද්ධ දර්ශනය. Show all posts

Monday, May 20, 2019

වෙසක් කළාපය - වසලයෙකුගේ ලක්ෂණ (වසල සූත්‍රය ඇසුරින්)

බුදු හාමුදුරුවෝ සැවැත් නුවර ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා තැනවූ විහාරයේ වාසය කරන කාලයක, දවසක් උදේ වරුවේ උන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වැඩියා. එදා අග්ගික භාරද්වාජ නම් බමුණා, ගේ ඉදිරිපිට යාග ගින්නක් සකස් කරගෙන හිටියා. බුදු හාමුදුරුවන් තමන්ගේ ගේ දිහාට එන බව දුටු අග්ගික භාරද්වාජ,

"තට්ටයා ඔතනම නවතිණු. මහණා ඔතනම නවතිණු. වසලයා ඔතනම නවතිණු!" කියා කීවා.

https://live.staticflickr.com/7755/27472073185_f6f990c25b_b.jpg

ඒ ඇසූ බුදු හාමුදුරුවෝ, "බමුණ, ඔබ වසලයෙක් කරන දේ අනුව වසලයෙක් වෙන්කර අඳුනාගන්න දන්නවාද?" කියා ඇසුවා.

"මම දන්නෙ නෑ. ඔබ දන්නවානම් මට කියන්න" බමුණා කිව්වා.

"එහෙනම් අහගන්න..." කියා බුදු හාමුදුරුවෝ ඔහුට වසල සූත්‍රය දේශනා කළා.

කෙනෙක් නිතරම කේන්ති ගන්නවානම්,
වෛර බඳිනවානම්,
අනුන්ගේ ගුණ නසන පාපී ගති ඇත්නම්,
සම්‍යක් දෘෂ්ඨියෙන් ඈත් ව සිටිනවා නම්,
කපටි ප්‍රයෝග කරනවා නම්,

සතුන්ගේ සහ පක්ෂීන්ගේ පණ නසන්නේ නම්,
සත්ත්වයින් ගැන දයාවක් නැත්නම්,

ගම්මාන විනාශ කරන්නේනම්,
ගම්මාන වටළාගන්නේනම්,
ගම්මාන කොල්ලකන හොරෙක් කියා ප්‍රසිද්ධ වන්නේනම්,

ගමක හෝ කැලෑවක හෝ අනුන් සතු දෙයක් හෙර සිතකින් ගන්නේ නම්,

ඒකාන්තයෙන්ම ණයක් ගෙන, එය ඉල්ලන විට මම ඔබට ණය නැතැයි ප්‍රතික්ෂේප කරනවානම්,

පාරේ යන අය මරා ඔවුන්ගේ සුළු හෝ වස්තුව පැහැර ගන්නවානම්,

තමන් නිසා හෝ
අනුන් නිසා හෝ
ධනය නිසා හෝ
බොරු සාක්ෂි දෙනවානම්,

නෑයෙකු ගේ හෝ යාළුවෙකුගේ භාර්යාවක්
බලහත්කාරයෙන් හෝ ඒ ගැහැණියගේත් කැමැත්තෙන්
අනාචාරයට පොළඹවා ගන්නේනම්

බොහෝ ධනය ඇතිවත්
මහළුවූ දෙමාපියන් පෝෂණය නොකරන්නේනම්

දෙමාපියන්ට හෝ බෑණාට හෝ ලේලියට
හිංසා කරනවානම්
වචනයෙන් ක්‍රෝධ කරනවානම්

නොදන්නා යමක් ඇසූ විට අහිතකර දෙයක්ම කියනවානම්
ඇත්ත නැත්ත කර උත්තර දෙනවානම්

පව් කරමින්, කවුරුවත් ඒක දැනගන්නවාට අකමැතිනම්
අනුන්ට නොදැනෙන්නට කරන ළාමක ක්‍රියා ඇත්නම්

වෙනත් ගෙදරකට ගොස් රසවත් ආහාර වළඳා
ඒ අය තමන්ගේ ගෙදරට ආවිට සංග්‍රහ නොකරන්නේනම්

බමුණෙකු හෝ මහණෙකු හෝ වෙනත් යාචකයෙකු
තමන්ගේ ගෙට ආ විට බොරු කියා රවටන්නේනම්

බමුණෙකු හෝ මහණෙකු කෑම කන වෙලාවේ තමන්ගේ ගෙට ආ විට
බැණ වදිනවානම්
කිසිවක් දෙන්නේ නැත්නම්

මෙ ලෝකයේ යමෙක් මෝඩකමින්
කවුරු හරි දෙයක් ලැබෙනවාට කැමැත්තෙන් තමන් වෙත ආ විට
දුෂ්ඨ කතා කියන්නේනම්

මානය නිසා පිරිහීමෙන්
තමන් උසස් කියා ද, අනික් අය පහත් කියා ද සළකන්නේනම්

ලෝකයේ සත්ත්වයින්ට කෝප කරන්නේනම්
තද මසුරෙක් නම්
නැති ගුණ ඇති බව පෙන්වන්නේනම්
ලැජ්ජා නැති පවට බය නැති කෙනෙක්නම්

බුදුන්ටත්, එතුමාගේ ශ්‍රාවකයන්ටත්,
පාරිබ්‍රාජකයන්ටත්, ගිහියන්ටත්
පිරිහෙලා කතා කරන්නේනම්

මේ අය වසලයෝ වෙති

කෙනෙක් රහත් නොවී රහත් බව අඟවන්නේනම්
ඔහු පළමුවෙනි මහ සොරා වෙයි
වසලයින්ගේත් අධමයා වෙයි

උපතින් කෙනෙක් වසලයෙක් නොවේ
උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙක්ද නොවේ
කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ ඔහුගේ ක්‍රියාවන් අනුවයි

මගේ දේශනය මේ උපමාවෙන්ද තේරුම් ගන්න
කෑම සඳහා බලු මස් උයන (සැඩොල්?) සෝපාක හෙවත් මාතංග නමින් ප්‍රසිද්ධ වූ කෙනෙක් සිටියා

ඒ මාතංග, හීන කුළයේ උපන් කෙනෙකුට ඉතා දුර්ලභ වූ කෙතරම් උසස් යසසකට පැමිණියාද කියතොත්
එතුමාට උපස්ථාන කරන්න ක්ෂිත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝද පැමිණියා

එතුමා බුදුන් ආදී අය ගේ පාරේ යමින් කාමරාගය නැති කොට අවසානයේ බ්‍රහ්ම ලෝකයේ උපන්නා

හීන කුලයේ ඉපදීම එතුමා බ්‍රහ්ම ලෝකයේ ඉපදීම වළක්වන්න සමත් වුණේ නෑ

වේද ඉගෙනීම උපතින් හිමි කරගත්, වේදයම පිළිසරණය කොටගත් බ්‍රාහ්මණයෝ නිතර පව් කම් කරනවා දකින්න පුළුවන්

ඔවුන් මේ ජීවිතයේදී සමාජයෙන් ගැරහීමට ලක් වෙනවා
පරලොවදී දුකට පත් වෙනවා.
ඉහළ කුළයක ඉපදීම ඔවුන්ට මෙලොව ගර්හාවෙන් හෝ පරලොව දුගතියෙන් හෝ ගළවාගැනීමට සමත් වෙන්නේ නෑ

උපතින් කෙනෙක් වසලයෙක් නොවේ
උපතින් කෙනෙක් බ්‍රාහ්මණයෙක්ද නොවේ
කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ ඔහුගේ ක්‍රියාවන් අනුවයි

මෙසේ බුදුහාමුදුරුවෝ දේශනා කළාට පස්සේ අග්ගික භාරද්වාජ,

"ගෞතමයන් වහන්ස, බොහෝම මනහරයි. යටිකුරු කර තිබුණු දෙයක් උඩුකුරු කරලා පෙන්වනවා සේ, වසා තිබූ දෙයක් ඇර පෙන්වනවා සේ, මං මුළා වූ කෙනෙකුට පාර පෙන්වනවා සේ, ඇස් ඇති අයට පෙනේවා කියා අඳුරේ පානක් අල්ලාගෙන ඉන්නා සේ, ඔබ නොයෙක් ආකාරයෙන් ධර්මය කියාදුන්නා. මම ඔබත්, ඔබේ ධර්මයත්, ඔබගේ ශ්‍රාවකයනුත් සරණ යනවා. අද පටන් දිවි ඇති තෙක් ඔබ සරණ ගිය උපාසකයෙක් වෙනවා" කියා කීවා.

මගේ එකතු කිරීම

වසල සූත්‍රය ඇසුරින් සිසිර කුමාර මාණික්ක ආරච්චි ලියපු, ඒ. ජේ. කරීම් ගායනා කරපු ගීතය මේ...



භාරද්වාජ වරු දෙන්නෙක් මට මතක හැටියට ඉන්නවා. "අග්ගික" කියන්නෙ අග්නියක් සම්බන්ධ නිසා වෙන්න ඕනෙ. අනික් කෙනා තමයි බුදු හාමුදුරුවන්ට දානෙට ආරාධනා කරලා කට රිදෙන තුරු බැණපු "අක්කෝසක" හෙවත් ආක්‍රෝෂක... මට හිතෙනව මේ දෙන්නා වෙන වෙනම අඳුනගන්න නමට මුලින් ක්‍රියා විශේෂණයක් දාල වෙන්නැති කියල.

අනික තමයි, සිංහල බෞද්ධයන් සහ බුද්ධාගමේ ආරක්ෂකයන් විදිහට පෙනී සිටින උදවිය කොයි තරම් නම් බුදුන් වදාළ ධර්මයේ හැටියට වසල වැඩ කරනවාද කියන එක...

මූලාශ්‍ර
https://www.thripitakaya.org/sutta/index/21126
https://suttacentral.net/snp1.7/si/zoysa

ත්‍රිපිටකය සම්පූර්ණයෙන් කියවන්න ආස අයට මෙන්න
https://thripitaka.org/

Friday, May 10, 2019

අංගුලිමාල ගැන - වෙසක් කළාපය

අංගුලිමාල සූත්‍රයෙ තියෙන්නෙ මොනවද? මේ පහළ තියෙන්නෙ ඒ සූත්‍රය මුල සිට සිංහලෙන්...

බුදු හාමුදුරුවෝ එක කාලයක සැවැත් නුවර ආසන්නයේ ජේතවන නම් උයනේ අනේපිඬු සිටුවරයා ඉදිකරවා පූජා කළ ආරාමයේ වාසය කළා.

ඒ කාලයේ ප්‍රශන්නජිත් කොසොල් රජු ගේ පාලනයට යටත් වුණු කොසොල් ජනපදයේ රෞද්‍ර වූ, ලේ තැවරුණු අත් ඇති, මැරීමෙහි සහ විනාශ කිරීමෙහි යෙදුණු, ප්‍රාණීන් ගැන කරුණාවක් නැති අංගුලිමාල නම් හොරෙක් වාසය කළා. ඔහු නිසා ගම්, නියම්ගම්, ජනපද පාලුවට ගියා. ඔහු මිනිසුන් මරා ඔවුන්ගේ ඇඟිලිවලින් බැඳපු මාලයක් දැරුවා. (මට පොඩි කාලෙ ඉඳන් තිබුණු ප්‍රශ්නයක් තමයි, දවස් කීපයක් යද්දි ඔය ඇඟිලි කුණු වෙනව නේද? එතකොට ඔය මනුස්සයට ලෙඩ හැදෙන්නැද්ද? කියන කාරණා)


ඉතින් දවසක් බුදු හාමුදුරුවෝ හවස් කාලයේ අංගුලිමාල කියන හොරා ඉන්න ප්‍රදේශයට වැඩම කරන්නට ඒ දෙසට තියෙන පාරෙ ගමන් කළා. එතුමා දැකපු ගොපල්ලෝ, සතුන් බලන්නෝ, ගොවියෝ, මගියෝ ආදී අය අංගුලිමාල ගේ රෞද්‍රකම ගැන කියලා, එතුමා වළක්වන්නට තැත් කළා. "මේ පාරෙ යනවනම්, දහදෙනෙක්, විසි දෙනෙක්, තිස් දෙනෙක්, හතළිස් දෙනෙක්, පණස් දෙනෙක් ආදී වශයෙන් කණ්ඩායම් විදිහටයි මිනිස්සු යන්නේ. ඒත් අංගුලිමාලගෙන් බේරුණු කෙනෙක් මේ වන තෙක් හිටියෙ නෑ" කියලත් කිව්වා. ඒත් බුදු හාමුදුරුවෝ ඔවුන්ට උත්තර නොදී දිගටම ගමන් කළා.

අංගුලිමාල දුරදීම බුදු හාමුදුරුවන් දැක්කා. "සාමාන්‍යයෙන් මේ පාරෙ මිනිස්සු යන්නෙ කණ්ඩායම් විදිහට. පණහක් ආවත් මගෙන් විනාශ වුණා මිසක් බේරුණු කෙනෙක් නෑ. ඒත් මේ මහණා තනියම එන්නෙ. මොකක් නමුත් බලවත් කමක් නිසා. මම මේ මහණා මරණවා" කියා අංගුලිමාල හිතුවා.

ඉතින් අංගුලිමාල කඩුවත්, පළිහත් අරගෙන, දුන්න ඇද ගෙන බුදු හාමුදුරුවන් පස්සෙ ලුහු බැන්දා. සාමාන්‍ය ගමන් විලාසයෙන් යන බුදු හාමුදුරුවන් ට, පුළුවන් තරම් වීර්යයෙන්, ශක්තියෙන් එළවන අංගුලිමාල ට කිට්ටු වෙන් බැරි වන විදිහේ සෘධියක් බුදු හාමුදුරුවෝ පෑවා.

"පුදුමයි. මම මීට කලින් දුවන ඇතෙක්, අශ්වයෙක්, රථයක් වුණත් එළවාගෙන ගිහින් අල්ල ගන්නවා. දුවන මුවෙක් උනත් මට අල්ලගන්න පුළුවන්. ඒත් මේ සාමාන්‍ය ගමනින් යන මහණා අල්ල ගන්න බෑ." අංගුලිමාල පුදුම වුණා.

"මහණ, සිටු!" අංගුලිමාල නැවතිලා, කෑගැහුවා.

"අංගුලිමාල, මම නැවතුණා. නුඹත් නවතින්න" බුදු හාමුදුරුවෝ කිව්වා.

"මේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයා ඇත්ත කතා කරනවලු. ඒත් මේ ශ්‍රමණයා යන ගමන්ම, "මම නැවතුණා. නුඹත් නවතින්න" කියනවා. මම මේක අහන්න ඕනෙ..." කියා අංගුලිමාලට හිතුණා.

"ඔබ යමින් සිට, මම නැවතුණා කියනවා. නැවතුණු මට නවතින්න කියනවා. ඔබ නැවතුණා කියන්නෙත්, මම නැවතුනේ නැතැයි කියන්නෙත් කොහොමද?" කියා අංගුලිමාල ඇහුවා.

"අංගුලිමාල, මම හැම විටම කිසිම සතෙකුට හිංසා නොකර සිටිමි. ඔබ සතුන්ට හිංසා කරමින් සිටියි. ඒ කාරණයෙන්, මම නැවතිලා, ඔබ නැවතිලා නෑ..." බුදු හාමුදුරුවෝ වදාළා.

"මේ ශ්‍රමණයා ඒකාන්තයෙන්ම මට කරුණවෙන් මේ කැළෑවට වැඩියේ. මටත් සෑහෙන කාලයකින් ධර්මය ගැබ්වුණු කියමනක් අසා, අකුසල් දුරු කරන්න ලැබුණා..." මෙහෙම හිතලා අංගුලිමාල නම් හොරා ආයුධ ගැඹුරු වළකට දාලා, බුදු හාමුදුරුවන්ට වැන්දා. ඒ ගමන්ම "මා පැවිදි කරන්න" කියලා ඉල්ලුවා.

බුදුහාමුදුරුවෝ එයාට, "මහණ, මෙසේ එන්න" කියා පැවිදි කළා. (ඒහි භික්ඛු භාවයෙන්... මෙහෙම මහණ වෙන්න නම් ගිය ආත්ම වල පිරිකර පූජා කරල තියෙන්න ඕනෙලු කියලා බාහිය දාරුවීරිය කතාවෙදි කියනවා... (කොහොමද මාකටින්?))

ඉන්පසු අංගුලිමාල හාමුදුරුවෝ බුදු හාමුදුරුවන් පසුපසින් සැවැත් නුවරට වැඩියා.

එදා ප්‍රශන්නජිත් කෝසල රජතුමාගෙ මාළිගාවේ දොරටුව ළඟ නගර වැසියෝ එකතු වෙලා උද්ඝෝෂණයක් කළා, අංගුලිමාල නම් හොරාගෙන් ජනපදය බේරා දෙන්න කියලා. ඒක ඇහුණු රජතුමා පන්සීයක් අශ්වාරෝහකයන් අරගෙන රථයකින් පිටත් වෙලා, ජේතවනාරාමයට ආවා. ඇවිත් රථයෙන් බැහැලා පා ගමනින් ඇවිත් බුදු හාමුදුරුවන් බැහැ දැක්කා.

"මොකද මහරජ, මගධ රටේ බිම්බිසාර රජු හෝ, විශාලාවේ ලිච්ඡවි රජ දරුවන් හෝ වෙනත්  සතුරු රජ කෙනෙක් කිපිලා ද?" කියා බුදු හාමුදුරුවෝ ඇහුවා. (මම බෞද්ධ සාහිත්‍යයේ කීප විටක්ම දැකලා තියෙනවා ඔය විදිහට උත්තරය දැන දැන, ප්‍රශ්න අහන අවස්ථා)

"හාමුදුරුවනේ, සතුරු රජ කෙනෙක් නෙවෙයි, මගේ ජනපදයේ රෞද්‍ර, අංගුලිමාල නම් ඝාතකයෙක් ඉන්නවා. මම ඔහු වළක්වන්න යන්නෙ" රජතුමා කිව්වා.

"මහරජ, ඔය කියන අංගුලිමාල: කොණ්ඩය, රැවුළ කපලා, කසාවත ඇඳලා, ගිහි ගෙයින් නික්මිලා, පැවිදි වෙලා, සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, බොරු කීමෙන් වැළකිලා, දවසට එක වේලක් අනුභව කරලා, බ්‍රහ්මචාරී වෙලා, සිල්වත් වෙලා, යහපත් වෙලා ඉන්නවා දැක්කොත් ඔබ මොකද ඔහුට කරන්නේ?" බුදු හාමුදුරුවෝ ඇහුවා.

"එහෙනම් මම එතුමාට වඳිනවා. මම ඉන්න ආසනයෙන් නැගිටිනවා, ආසන පණවනවා. පිරිකර පූජා කරනවා. ධාර්මික විදිහට එතුමාට ආරක්ෂාව සපයනවා." කෝසල රජු කිව්වා "ඒත් හාමුදුරුවනේ, ඒ වගේ දුස්සීල, ළාමක මනුස්සයෙක් ඔය කියන විදිහේ සංවරයක් ඇති කරගන්නෙ කොහොමද?"

ඒ ගමන බුදුහාමුදුරුවෝ ඒ අසළ තැනක වැඩ හිටපු අංගුලිමාල තෙරුන්ට අත දික් කරලා, "මහරජ, මේ ඉන්නේ ඒ අංගුලිමාල" කියා පෙන්නුවා. ඒ දැකපු රජතුමාට, බය හිතුණා. තැති ගැනුනා, ලොමු ඩැහැගැන්මක් ඇති වුණා. ඒක දැකපු බුදු හාමුදුරුවෝ, "මහරජ බය වෙන්න එපා." කිව්වා. ඒ වචන වලින් බය නැතිවුණු රජතුමා, අංගුලිමාල තෙරුන් ළඟට ගියා.

"හාමුදුරුවනේ, ඔබ වහන්සේ අංගුලිමාල හාමුදුරුවොද?" රජතුමා ඇහුවා.

"මහරජ, ඔව්" එතුමා කිව්වා.

"ඔබවහන්සේ ගේ පියා ගේ ගෝත්‍රය මොකක්ද, මව් ගේ ගෝත්‍රය මොකක්ද?" (මේ ප්‍රශ්නය හරියට කෝසල රජතුමාට බුදු හාමුදුරුවන්ගේ වචනය විශ්වාස කරන්න බැරි වෙලා ඇහුවා වගෙයි.)

"මහරජ, මගේ පියා ගර්ග ගෝත්‍රයේ. මව් මන්තානී නම් බැමිණිය."

"එසේනම්, ඔබ වහන්සේ ශාසනයේ ඇලී වාසය කරත්වා. මම ඔබට සිව්පසයෙන් පිදීමට උනන්දුව ඇති කරන්නම්" රජතුමා කිව්වා.

අංගුලිමාල තෙරුන් ආරණ්‍යක, පිණ්ඩපාතික, පාංශුකූලික වගේම තුන් සිවුර පමණක් දරන හාමුදුරු නමක් වූ නිසා, "මහරජ, ඒක අවශ්‍ය නෑ. මට තුන් සිවුර සම්පූර්ණයි." කිව්වා.

ප්‍රශන්නජිත් කෝසල රජතුමා බුදු හාමුදුරුවන් ළඟට ආවා. ඇවිත් වැඳලා, "හාමුදුරුවනේ, පුදුමයි. ඔබ වහන්සේ දමනය කළ නොහැකි අය දමනය කරනවා. සංසිඳුවන්න බැරි අය සංසිඳුවනවා. කෙලෙස් නිවා නැති අය නිවනවා.

"අපි දඬු මුගුරුවලින්, ආයුධවලින් උත්සාහ කරලා දමනය කරන්න අපොහොසත් වෙනවා. ඒ උදවියම ඔබ වහන්සේ දණ්ඩෙන්, ආයුධවලින් තොරව දමනය කරනවා."

මෙහෙම කියලා රජතුමා බුදු හාමුදුරුවන්ට වැඳලා ආපහු ගියා.

දවසක් අංගුලිමාල හාමුදුරුවෝ පිඬුසිඟා වැඩියා. ඒ ගිය එක් ගෙදරක ගර්භයේ හරහට පිහිටපු දරුවෙක් බිහි කරන්න වේදනා විඳින ස්ත්‍රියක් දුටුවා. පිඬු සිඟා යාමේ කටයුත්ත ඉවර වුණාට පස්සේ එතුමා බුදු හාමුදුරුවන් ළඟට වැඩියා.

"ස්වාමීනී, මම සැවැත් නුවර පිඬු සිඟා යද්දි, දරු ගැබ හරහට පිහිටීමෙන් වේදනා විඳින එක්තරා ස්ත්‍රියක් දුටුවා." අංගුලිමාල තෙරුන් කිව්වා.

"එහෙනම් ඔබ එතනට ආපහු යන්න. ගිහින් ඒ ස්ත්‍රියට, "නැගණිය, මම උපන්දා සිට සතෙකුගේ ජීවිතය දැන දැන හාණි කළ බවක් නොදනිමි. ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!" කියා කියන්න." බුදු හාමුරුවෝ වදාළා. (ඒකත් අර උඩ කිව්වා වගේ දැන දැන වෙන දෙයක් කියන අවස්ථාවක්. මම හිතන්නේ පසු කාලයකදී බණකතා කාරයන් එකතු කරපු දෙබස් වෙන්නත් පුළුවන්. නැත්නම් දැනට අවුරුදු දෙදාස් හයසීයකට විතර කලින් ඉන්දියාවේ කතා කරපු විලාසය වෙන්නත් පුළුවන්...)

"ස්වාමීනී, මම එහෙම කිව්වොත් ඒක බොරුවක් වෙනවා." අංගුලිමාල හාමුදුරුවෝ කිව්වා.

"අංගුලිමාල, එහෙනම් ඔබ ගිහින් මෙහෙම කියන්න. "නැගණිය, මම ආර්ය ජාතියේ උපන් දා පටන් දැන දැන සතෙකු ජීවයෙන් තොර කළ බව නොදනිමි ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!" කියා කියන්න." බුදු හාමුරුවෝ වදාළා."

ඒ අනුව අංගුලිමාල තෙරුන් ඒ ගෙදරට වැඩම කරලා, ඒ ස්ත්‍රියට, "නැගණිය, මම ආර්ය ජාතියේ උපන් දා පටන් දැන දැන සතෙකු ජීවයෙන් තොර කළ බව නොදනිමි ඒ සත්‍ය වචනය නිසා ඔබට සැපක් වේවා. දරු ගැබටත් සැපක් වේවා!" කියා වදාළා. එයින් ඒ ස්ත්‍රිය සුවපත් වුණා. දරු ගැබත් සුවපත් වුණා.

ඉන්පසු අංගුලිමාල තෙරුන්, තනිවම, විවේකීව, කෙළෙස් නැතිකිරීමේ වීර්යයෙන්, තමන් ගැන ආලය අත්හැර වාසය කරමින්, කෙටි කාලයකින්ම රහත් බව ලබාගත්තා.

ඉන්පසු දවසක, අංගුලිමාල රහතන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වඩිද්දී, වෙනපැත්තකට ගහපු ගලක්, දණ්ඩක්, කැටකැබිලිති, එතුමාගේ ඇඟේ වැදුණා. ඉතින් එතුමා හිස පැළිලා, ගලන ලෙයින් නැහැවිලා, පාත්‍රය කැඩිලා, සිවුරු විසිරිලා ගිහින් බුදු හාමුදුරුවන් ළඟට වැඩියා. බුදු හාමුදුරුවෝ අංගුලිමාල රහතන් වහන්සේ ඈතදීම දැකලා, "බමුණ, ඉවසන්න. කර්මයක විපාකය නිසා අවුරුදු ගණන්, අවුරුදු සිය දහස් ගණන්, නරකාදියේ පැසෙමින් ඉන්න වෙනවා. නමුත් ඔබ ඒ විපාකය මේ ආත්මයේදීම විඳිනවා." කියා වදාළා.

එවිට අංගුලිමාල රහතන් වහන්සේ නිවන් දුටු තැනැත්තෙක් විදිහට තමන්ගේ සතුට ප්‍රකාශ කරන්න මේ විදිහට කිව්වා...

1. කලින් ප්‍රමාද වූ කෙනෙක් පසුව අප්‍රමාද වෙනවා නම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

2. කෙනෙක් කලින් අකුසල කර්ම කරලා, ඉන්පසු කරන කුසල් කර්මවලින් ඒවා වසා දමන්නේ නම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

3. තරුණ මහණෙක් බුදුන්ගේ ශාසනයේ වීර්යයෙන් යුක්තව වාසය කරනවානම්, ඒ තැනැත්තා වළාකුළෙන් මිදුණු සඳ වගේ ලෝකය බබලවයි.

4. මගේ සතුරෝ ධර්මානුකූල කතා අසත්වා, මගේ සතුරෝ බුදුන්ගේ ශාසනයේ වීර්යයෙන් යුක්තව වාසය කරත්වා, මගේ සතුරෝ ධාර්මික සත්පුරුෂයන් ආශ්‍රය කරත්වා.

5. මගේ සතුරෝ: ඉවසීම ප්‍රකාශ කරන, මෛත්‍රියට ප්‍රශංසා කරන අයගේ ධර්මය නියම කාලයේදී අසා, ඒ ධර්මයට අනුව කටයුතු කරත්වා.

6. ඔවුන් මට හිංසා නොකරත්වා, වෙනත් අයටත් හිංසා නොකරත්වා, නිවණ අවබෝධ කරගෙන කෙළස් රහිත හා සහිත සත්ත්වයන් ආරක්ෂා කරත්වා.

7. දිය මං තනන්නෝ තමන්ට උවමනා තැනට දිය බැස යාමට සළස්වති. ඊ වඩුවෝ දඬුවල ඇද අරිති. වඩුවෝ යතු ගා දඬු ඇද අරිති. එසේම නුවණැත්තෝ තමන් දමනය කරගනිති.

8. සමහරු දණ්ඩෙන්, හෙණ්ඩුවෙන්, කසයෙන් හෝ සැමිටියෙන් දමනය කරති. අටලෝ දහමින් කම්පා නොවන සර්වඥයන් වහන්සේ දණ්ඩක් හෝ ආයුධයක් නැතිව මා දමනය කළ සේක.

9. මීට කලින් මට "අහිංසක" යැයි නමක් තිබුණා. අද මම ඒ නම සත්‍ය වශයෙන් දරණවා. මම කිසිවෙකුටත් හිංසා කරන්නේ නෑ. මීට පෙර මම අංගුලිමාල කියා ප්‍රසිද්ධ වූ හොරෙක් වී සිටියා. කාම ආදී මහ වතුරෙන් ගහගෙන ගිය මම බුදුන්ගේ මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තා.

10. මීට පෙර අංගුලිමාල කියා ප්‍රසිද්ධවී ලේ තැවරුණු අත් ඇති තැනැත්තෙක් වූ මා අද ගමන් කරන මාර්ගය බලන්න. මම භවයට ඇති ආශාව අත් ඇරියා.

11. දුගතියට පත් කරන එවැනි අකුසල කර්ම රාශියක් කරමින් ඉඳලා, කුසල් මාර්ගයට මම පැමිණියා. දැන් මම භුකිත් විඳින දේට ණයක් නෑ.

12. නුවණ නැති බාල ජනයා ප්‍රමාද වී වාසය කරති. නුවණැත්තෝ අප්‍රමාදව (එළඹ සිටි සිහියෙන් කටයුතු කරමින්) වාසය කරති.

13. ප්‍රමාද නොවන්න. පස්කම් සැපයට ඇලී නොසිටින්න. අප්‍රමාදව නුවණින් දකින තැනැත්තා සුවපත් වේ.

14. බුදුවරුන් දෙසා වදාළ ධර්මයන් අතරින් උත්තම ධර්මයට මම පැමිණියෙමි.

15. මම බුදුන් වහන්සේ අනුශාසනය කරන ලද ත්‍රිවිද්‍යාවන්ට පැමිණියෙමි.



ආශ්‍රිත මූලාශ්‍ර...
https://dahamsithum.wordpress.com/2012/09/14/86-අංගුලිමාල-සූත්‍රය/

Sunday, April 29, 2018

ඇතිවන උපද්‍රව සහ උපද්‍රව ඇතිවේයැයි ඇතිවන භය නැති කරගන්නේ කොහොමද? - 2018 වෙසක් කළාපයෙන්

ඇතිවන උපද්‍රව සහ උපද්‍රව ඇතිවේයැයි ඇතිවන භය නැති කරගන්න බුදුන් වහන්සේ ම ආයුධයක් සපයලා දිලා තියෙනව. මේපාර වෙසක් කළාපයෙන් සඳහන් කරන්නෙ ඒ ගැන. සිංහල බෞද්ධයන්ට මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතනව...

http://srilankabudhisttours.com/images/services/service-md-02.jpg
බුදුන් යටතේ පැවිදි වුණු භික්ෂූන් කණ්ඩායමක්, තමන්ට කමටහන් වඩන්න සුදුසු තැනක් එතුමාගෙන් විමසුවා. ආරණ්‍යයක, ගසක් මුල හෝ ශූන්‍යාගාරයක (මිනිසුන් ගැවසීම අඩු තැනක) සිට කමටහන් වැඩීම සුදුසුයි, එතුමා පිළිතුරු දුන්නා.

ඒ අනුව අර භික්ෂූන් පිටිසර ගමක් ආසන්නයේ තිබුණු වන රොදක් තෝරාගත්තා, තමන්ගේ වාසයට.

ඔය වනයේ සිටි රුක් දෙවිවරු (කතාවෙ තියෙන්නෙ රුක් දෙවිවරු කියල... සමහර විට වනයේ වාසය කරපු මනුෂ්‍යයන් විය හැකියි.) මේ භික්ෂූන් ගැවසීමෙන් තමන්ගෙ වැඩ වලට බාධා වෙන නිසා, ඔවුන් බය කර එළවාගන්නට එක එක දේවල් කළා. මළකඳන්, අමනුෂ්‍ය රූප ආදිය වනයේ තැන් තැන් වල පෙනෙන්නට සැළැස්සුවා. ඉවසන්න බැරි භයානක ශබ්ද, පිළිකුල් සහගත දුගඳ, වනයේ පැතිරෙව්වා.

මේවා ඉවසන්න බැරි වුනු හාමුදුරුවරු, ආපහු බුදුන් ළඟට ඇවිත්, තමන්ට වුනු උපද්‍රවය එතුමා එක්ක කතා කළා.

බුදුන් ඒ අයට කිව්වා: 

මෙන්න ඔබට ආයුධයක්... මේ විදිහෙ ගති පැවතුම් සහ සිතුවිලි ඇති කරගන්න...
යහපත (අර්ථය) සළසා ගන්නට කරන්නට ඇති දේ, මේ කියන කුසලතා අත්කර ගැනීමයි.
ඒ ශාන්ත පදය (නිවන) අත් කරගැනීමට නම්,
හැකියාව ඇති (දක්ෂ)
සෘජු හෙවත් අවංක, 
තව තවත් අවංක,
සුවච (ආලවක දමනයේදි බුදුන් භාවිත කළ හැකියාව), 
මෘදු සහ නිහතමානී  
ලද දෙයින් සතුටු වන, 
පහසුවෙන් රැකිය හැකි (අල්පේච්ඡ),
අල්ප වූ කටයුතු ඇති, 
සැහැල්ලු පැවතුම් ඇති
සන්සුන් ඉඳුරන් ඇති
ඥානවන්ත
සාහසික හෝ රළු නොවන (ප්‍රගල්භ නොවන)
කුලයට හෙවත් පවුල්වලට (දායකයන්ගේ පවුල්වලට) නොඇලුණු
අනෙක් නුවණැත්තන්ගේ ගැරහීමට ලක් විය හැකි අන්දමේ සමාචාරයක් සුළුවෙන් හෝ නැති
කායිකව මානසිකව සුවෙන් සිටින
බිය නැති
යන ගති ඇති කරගැනීම මැනවි...

සියලු සත්ත්වයෝ සුවපත් වේවා!
පණ ඇතියවුන් කොයි තරමක් සිටීද, ඒ තාක් දෙනා,
තැතිගැනීමක් ඇති හෝ
ස්ථාවර හෙවත් තැතිගැනීමක් නැති (රහතුන් වැනි) අය
කිසිවෙක් අවශේෂ නොවී
උස් හෝ මහත් හෝ මධ්‍යම ප්‍රමාණයේ හෝ කෙටි හෝ ඉතා සියුම් ප්‍රමාණයේ හෝ ස්ථූල හෝ වන සත්ත්වයන්,
ඇසට පෙනෙන හෝ නොපෙනෙන  හෝ
දුර හෝ නුදුරේ වසන
දැනට හටගෙන සිටින හෝ හටගන්නට සිටින හෝ, 
සියලු සත්ත්වයෝ සුවපත් වේවා!

එකෙක් තවෙකෙකුට වංචා නොකෙරේවා!
හෙළා නොදකීවා! (පහත් කොට සැළකීමක් නොකෙරේවා!)
කොතැනක හෝ සිටින කිසිවෙක් රෝෂය (කෝපය) ඇති කරගෙන
ගැටීමක් ඇති කරගන්නා අදහසින් 
එකෙක් අනෙකෙකු දුකට පත් වීම අරමුණු නොකිරීම මැනවි

පුතෙකු ඇති යම් මවක් තම පණ මෙන් එම පුතා ආරක්ෂා කරයිද,
ඒ ආකාරයෙන්ම සියලු සත්ත්වයන්ට
අපරිමිත (සීමාවක් නැති) මනසක් ඇති කරගන්න
ඉහළටද, පහළටද, තිරස් අතට ද බාධාවකින් තොරව
වෛරෙයන් තොරව, සතුරු බවකින් තොරව
සකල ලෝකය වෙත මෛත්‍රිය පතුරවා
සීමාවක් නැති මනසක් ඇති කරගන්න

සිටගෙන සිටින විටදී ද, යන එන විටදී ද, හිඳගෙන සිටින විටදී ද, සයනය කරන විටදී ද,
අවදියෙන් සිටින සෑම විටකම 
මෙසේ සිහිය අධිෂ්ඨාන කරගන්න
මෙසේ ජීවත් වීම උතුම් විහරණයක් යැයි කියනු ලැබේ

මම ය මාගේ ය යනුවෙන් ආත්මයක් ගැන දෘෂ්ඨියකට නොගොස්
සිල්වත් වන තැනැත්තා 
නිවැරදි ආකාරයෙන් දකියි
කාමයන්හි ඇලීම දුරු කරගනියි
නැවත මවු ගැබක සැතපීමක් ඔහුට නැත

මේ දේශනාව තිබුණෙ අපි කවුරුත් වගේ කටපාඩමින් දන්න සූත්‍රයක... ඒ තමයි කරණීය මෙත්ත සූත්‍රය.

මේ සූත්‍රය කියවල තේරුම්ගත්තහම තේරෙන එක දෙයක් තමයි, මම කලිනුත් කීපවිටක්ම කියල තියෙනව වගේ, මේ සූත්‍රයත් තේරුමක් නැතුව පාලි පෙළ සජ්ඣායනා කිරීමෙන් නෙවෙයි, තේරුම දැනගෙන ඒකෙ කියන විදිහට තමන්ගෙ ගති, පැවතුම් සහ ආකල්ප සකස් කරගැනීමෙන් බයක් නැතුව ඕනෑම තැනක ජීවත් වෙන්න පුළුවන් ය කියන ඒක

සිංහල බෞද්ධයන්ට පහුගිය කාලය පුරාමත් දැනටත් ලොකු බයක් ඇති වෙලා තියෙනව කියල පේනව ෆේස්බුක් ප්‍රධාන කොටගෙන සමාජය පුරා පැතිරී තියෙන මතවාද දකින කොට. බෞද්ධයන් වීම ගැන කාර් එකේ, වෑන් එකේ, ත්‍රී වීල් එකේ පිටිපස්සෙ ආඩම්බර වෙන උදවියට, වඩා හොඳයි බුදුන් දෙසා ඇති ක්‍රමවේද අනුගමනය කිරීම.
නැද්ද?

http://i.imgur.com/Y0oYJfS.jpg

ආශ්‍රිත තැන්:
http://bodudam.blogspot.com/2014/12/blog-post_18.html
bududhahama.blogspot.com/2012/08/blog-post_5912.html
https://www.facebook.com/methmaga/posts/1427046727309840:0

Tuesday, May 5, 2015

නැකැත් ගැන - 2015 වෙසක් කළාපයෙ දෙවෙනි ලිපිය

ජාතක කතා පොතේ දැක්වෙන 46 වන ජාතක කතාව වන නක්ඛත්ත ජාතකය මෙවර වෙසක් කළාපයෙන් ඉදිරිපත් කරනවා.

http://www.silumina.lk/2015/04/12/af15041214.jpg

බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරන කාලයක, එක් ආජීවකයෙක් පිළිබඳව මේ කතාව දේශනා කළා.

සැවැත්නුවර එක් ගෙදරක දියණියක්, අසළ ගමක එක් තරුණයෙකුට යෝජනා කරලා, කැන්දාගෙන යාමට දිනයකුත් නියම කර ගත්තා. මනමාලයාගේ පියා ඒ දිනයේ නැකැත් තියේද යන්න ගැන එක ආජීවකයෙකුගෙන් විමසුවා.

ඒ ආජීවකයා, 'මගෙන් අහන්නේ නැතිව තමන්ම දින නියම කරගෙන, දැන් මගෙන් නැකැත් අහනවා' යැයි සිතා කෝප වී, "ඒ දිනයේ කිසිම නැකැතක් නෑ. කිසිම සුභ කටයුත්තකට සුදුසු නැහැ. මොනවා හරි කළොත් මහා විනාශයක් තමයි වෙන්නේ" කියා අර තැනැත්තාව බයකළා.

ඉතින් මනමාලයාගේ පැත්තේ අය එදා මනමාලිය කැන්දාගෙන එන්නට ගියේ නෑ. නගරයේ, මනමාලියගේ ගෙදර උදවිය, මඟුල් ගෙදර ලෑස්ති කරලා, මනමාලයා එනතුරු බලා හිටියා. ඉතින් මනමාලයා ආවේ නැති නිසා, වෙනත් තරුණයෙක් සොයාගෙන, එයාට ඒ ලෑස්ති කරපු මඟුල් උත්සවයෙන්ම, මනමාලිය සරණපාවා දුන්නා. (මේ වගේ දේවල් අදටත් ඉන්දියාවෙ සිද්ධ වෙනවා.)

ගම්වැසි මනමාලයාගේ පිරිස වෙනත් දිනයක සැවැත් නුවර ඇවිත්, විවාහ උත්සවය කරමුයි කීවා. එවිට සැවැත් නුවර උදවිය, "නුඹලා දුෂ්ට මිනිස්සු, ලැජ්ජා නැති උදවිය, අපිට මඟුලට දින නියම කරලා, එදා ආවේ නෑ. අපිට ලැජ්ජා කළා. ඒ නිසා ආ මඟින්ම ආපසු යනු, අපේ දියණිය අපි වෙනත් තරුණයෙකුට දුන්නා" යි කීවා.

මේ කතාව භික්ෂූණ් වහන්සේ අතරටත් ආරංචි වී, දම් සභා මණ්ඩපයේදීත් කතාවට ලක් වුණා. බුදුන් වහන්සේ "මේ ආජීවකයා මීට පෙර ආත්මයකදිත්, මෙවැනිම දෙයක් කළා" යැයි කියා, නක්ඛත්ත ජාතකය දේශනා කළා.

ජාතක කතාවේදීත් සිද්ධ වුනේ ඉහතින් දක්වපු සිදුවීමට සමාන දෙයක්මයි. හැබැයි මනමාලි ගම්වැසි ගෙදරක, මනමාලයා නගරයේ ගෙදරක කෙනෙක්.

ඒ කතාවේ, අවසානයේ ගම්වැසියන් සහ නගර වැසියන් අතර අඬදබරය දුටු නුවනැති මිනිසෙක් ඔවුන්ට මෙසේ අවවාද කළා:

"නැකැත් බැලීමෙන් ඇති ප්‍රයෝජනය මොකද්ද? මනමාලිය කැන්දාගෙන යාම ම නැකැතක් වාගේ නේද?

නැකැත් බලමින් ඉන්නා බාලයාගේ කටයුතු ප්‍රමාද වෙනවා. බලාපොරෙත්තු වන දෙය ඉටුවෙනවා නම් එයම තමයි නැකැත. තාරකා කුමක් කරන්නද?"

නක්ඛත්ත පතිමානෙන්තං
අත්ථො බාල උපච්චගා
අත්ථො අත්ථස්ස නක්ඛත්තං
කිං කරිස්සන්ති තාරකා

Tuesday, April 28, 2015

ආරස්සාවට බුද්ධ දර්ශනය... 2015 වෙසක් කළාපය

https://lh3.googleusercontent.com/
-cko8ah6a_JQ/VDgb1pD3OCI/
AAAAAAAAAFw/fLk_LCrMJJI
/w426-h280/14%2B-%2B1

බෞද්ධයන්ගේ ආරක්ෂාවට යැයි කියමින් උදේ හවස රේඩියෝ චැනල් කීපයක ප්‍රචාරය කරන සූත්‍ර කීපයක් අතරින්, ධජග්ග සූත්‍රය මේ පාර වෙසක් කළාපයේ පළවෙනි ලිපියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍රය අඩංගු වෙන්නේ, සූත්‍ර පිටකයේ, සංයුක්ත නිකායේ, සගාථා වර්ගයේ, සක්ක සංයුක්තයේ, සුවීර වර්ගයේ, තුන්වෙනි සූත්‍රය හැටියටයි.

බුදුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුවරයා පූජා කළ ජේතවනාරාමයේ වැඩ සිටින කාලයක, භික්ෂූන් වහන්සේට මෙසේ දේශනා කළ සේක:

සුරයන් සහ අසුරයන් අතර යුද්ධයක් පැවතුණු කාලයක දී, ශක්‍ර දෙවියන්, තව්තිසාවේ අනෙක් දෙවියන් අමතා, මෙසේ කීවා,

"යුද්ධයේදී ඔබ කිසිවෙකුට බියක් ඇති වුනොත්, මාගේ (රථයේ ඇති) කොඩියේ අග බලන්න. (සමහර විට එයින් අදහස් කෙරුණේ, එතකොට, ශක්‍ර දෙවියනුත් අනෙක් දෙවියන් සමඟ යුධ පිටියේ ම සිටින බව දැකලා, දෙවියන් ධෛර්යවත් වීම වෙන්න පුළුවන්.) මාගේ කොඩියේ අග දුටු විට ඔබට ඇති වන බිය, තැති ගැන්ම හෝ ලොමුදැහැ ගැන්ම පහ වෙනු ඇති.

මගේ කොඩියේ අග නෙපෙනේ නම්, ප්‍රජාපතී දෙව්රජගේ කොඩියේ අග දෙස බලන්න. එයත් නොපෙනේ නම්, වරුණ දෙව් රජගේ කොඩියේ අග බලන්න. එයත් නොපෙනේ නම් ඊසාන දෙව් රජගේ කොඩියේ අග දෙස බලන්න. එම කොඩි දකින විට ඔබගේ බිය පහ වී යනු ඇති."

නමුත්, ශක්‍ර දෙවියන්ගේ හෝ, ප්‍රජාපති දෙවියන්ගේ හෝ, වරුණ දෙවියන්ගේ හෝ ඊසාන දෙවියන්ගේ හෝ කොඩි දිහා බැලීමෙන් බියක්, තැතිගැනීමක් හෝ ලොමුදැහැගැනීමක් පහ වෙන්නටත්, නොවෙන්නටත් ඉඩ තියෙනවා. (බියපත් වූ තැනැත්තාගේ මනසේ ස්වභාවය අනුව එසේ වන්නේයැයි මගේ පුද්ගලික අදහසයි) මක්නිසාද, ඒ දෙවි රජ වරු, රාගය, ද්වේෂය හෝ ‍මෝහය පහ කළ අය නොවේ. එසේම, ඒ දෙවි රජවරු පවා, බිය වනසුළුයි, තැති ගැනෙනසුළුයි, ත්‍රස්ත වනසුළුයි, පළා යනසුළුයි.

http://1.bp.blogspot.com/-iz5W0i4LDXU/
Tyj50NF-U8I/AAAAAAAAAvU/
xywYoJcs2P8/s1600/indra.jpg

මම ඔබට කියන්නේ, ඔබ ආරණ්‍යයකට (වනගත ප්‍රදේශයකට) හෝ ගසක් මුළකට හෝ ශූන්‍යාගාරයකට (සොහොන්පිටි සහ එවැනි ජනශූන්‍ය පාළු තැන්) වලට ගිය විට, බයක් තැති ගැනීමක්, ලොමුදැහැ ගැනීමක් ඇති වුනොත්, එවිට මා සිහිකරන්න. නැත්නම් මා දෙසා ඇති ධර්මය සිහිකරන්න, එසේත් නැත්නම්, මාගේ මාර්ගය අනුගමනය කරන සංඝයා වහන්සේ සිහිකරන්න. එවිට ඔබට ඇති වන බිය, තැතිගැනීම හෝ ලොමුදැහැගැන්ම පහ වී යාවි.

මක්නිසාද, අර්හත් වූ, සම්මා සම්බුද්ධ වූ (මේ බුදු ගුණ වල තේරුම ඕනෙ නම් මෙතන තියෙනවා.) බුදුන් කියන්නේ, රාගය, ද්වේෂය, මෝහය පහ කළ තැනැත්තෙක් වගේම, බිය නොවන, තැති නොගන්නා, කිසි දෙයකින් ත්‍රස්ත නොවන, පළා නොයන තැනැත්තෙක් වන නිසා.

මේ සූත්‍රයෙන් අපිට වටහා ගන්න පුළුවන් මොනවද:

1. අපට ඇතිවන බියට ස්ථිරසාර පිළියම වන්නේ බුදුන්, දහම්, සඟුන් සිහිපත් කිරීම පමණක් බව. 

ධර්මය සිහිපත් කිරීමෙන් මිසක්, ධර්මය ඇතුළත් පාලි පාඨ (තේරුම නොදැන) උච්ඡාරණය කිරීමෙන් හෝ අසා සිටීමෙන් හෝ, ඇහුනොත් ඇහුනාවේ කියා ඔහේ රේඩියෝ එක දාගෙන සිටීමෙන් හෝ බෞද්ධයන්ට බිය දුරු කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ.

2. අපට ඇතිවන බිය ට පිහිටක්, කිසි දෙවිකෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බැරි බව. 

ගොඩක් දෙවි වරු, ආභරණ පොරවාගෙන, අඹුවන් දරුවන් පිරිවරාගෙන, රාගයෙන් පිරුණු අය විදිහටයි නිරූපණය වෙන්නෙ. ඒ වගේම යුද්ධයට, නපුරු වැඩ වලට දක්ෂ නිසා ද්වේෂයෙනුත් අඩුවක් නෑ. ඒ වගේම මිනිස්සු පිහිට පතාගෙන යද්දි ඉල්ලන දේවලට ගාස්තු විදිහට අපි එක එක  දේවල් දෙන්න භාර වෙනවා. ඒ කියන්නෙ ඒ දෙවියන්ට තෘෂ්ණාවත් තියෙනවා. අපි භාර වෙන දේවල් ඔප්පු කරද්දි, දෙවියන්ව බොහොම පහත් විදිහට රවට්ටනවා. ඒ කියන්නෙ ‍ඒ දෙවි වරුන්ට මෝහයත් අඩු නැතිව තියෙනවා.

ඒ වගේ දෙවියන්ගෙන් අපිට ලැබෙන පිහිට ... ?

Tuesday, June 17, 2014

බෞද්ධයිනි අවදිවව්! - (2014 පොසොන් කළාපය 2 කොටස)

http://dhammamedicine.net/wp-content/uploads/2011/04/malak-vee.jpg

මේ පෝස්ටුව සාකච්ඡා කරන්නේ කාලීන ප්‍රශ්නයක් ගැනයි.

බුදුන් වහන්සේ සමඟ වාද කිරීමට, නිඝණ්ඨනාථ පුත්‍ර හෙවත් මහාවීරගේ ප්‍රධාන දායකයෙක් වූ උපාලි ගෘහපති පැමිණීම ගැන,  සූත්‍ර පිටකයේ, මඣ්ඣිම නිකායේ, මඣ්ඣිම පන්නාසකයේ, උපාලි සූත්‍රයේ සඳහන් වෙනවා. අවසානයේ බුදුන් දේශනා කළ ධර්මය තේරුම් ගෙන උපාලි ගෘහපති තෙරුවන් සරණ යාමට තීරණය කරනවා. ඒ බව බුදුන්ට දැන්වූ විට එතුමා ඔහුට කියන්නේ, "සිතා බලා කටයුතු කරන්න. ඒක ඔබ වැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ට මැනවි" යන්නයි.

ඒ ප්‍රකාශයෙන් උපාලි ගෘහපති තව තවත් බුදුන් ගැන පැහැදීමක් ඇති කර ගන්නවා. ඔහු කියනවා, "වෙනත් ශාස්තෘවරයෙක් නම්, මාවැනි ප්‍රසිද්ධ පුද්ගලයෙක් තමන්ගේ දායකයෙක් වූවා නම්, ඒ ගැන නගරය පුරා ප්‍රචාරය කරවනවා. එහෙත් බුදුන් වහන්සේ කීවේ සිතා බලා කටයුතු කරන්න කියායි. එනිසා මම වඩාත්ම උන් වහන්සේ ගැන පැහැදුනා" කියා.

එවිට බුදුන් වහන්සේ ඔහුට මෙසේ කියනවා, "ඔබගේ ගෙදර මෙතෙක් කල් නිඝණ්ඨ ශ්‍රාවකයන්ට නිරන්ත‍රයෙන් දන් දුන් තැනක්. එය දිගටම එසේම කරගෙන යාම වඩා සුදුසු බව මගේ හැඟීමයි."

-----------------------------------

සංඝයා වහන්සේ ගේ ගුණ:

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,

උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
යදිදං චත්තාරි පුරිසයුගානි
අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ,
ආහුණෙය්‍යෝ,පාහුණෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ,
අංජලිකරණීයෝ ,අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.


මේ ගාථාවෙ තේරුම හොයාගෙන යද්දි මට හම්බ වුණා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ ‍පොතක් මෙන්න මේ සයිට් එකෙන්. (මෙතනින් බාගත කරගන්න පුළුවන්)  උන්වහන්සේ පැහැදිලි කර දෙන ආකාරයට තේරුම මෙන්න මේකයි:

නිවණට පමුණුවන යහපත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝයා,
කෙළින්ම නිවණට යොමු වූ සෘජු මාර්ගයට පිළිපන් භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝයා,
අධි ශීල, අධි චිත්ත, අධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපත්තිය පුරන ශ්‍රාවක සංඝයා,
සියළු සත්ත්වයන් කෙරේ මෛත්‍රියෙන් කටයුතු කරන නිසා ගුණවතුන්ට මෙන් සැළකීමට සුදුසු ශ්‍රාවක සංඝයා,
සරණ යා යුතු යුග පුරුෂයන් වෙති,
අට විධ පුරුෂයන් වෙති (සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ගඵල වලට පිළිපන් සහ මාර්ගඵල ලබා ඇති වශයෙන්)
එසේවූ භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සංඝයා:
දන් සකස් කර කොතරම් දුරකට හෝ ගෙන ගොස් පිළිගැන්වීමට සුදුසුය, වෙනත් ආගන්තුකයෙක් වෙනුවෙන් වෙන් කළ දෙයක් වුවත් දානයක් ලෙස පිළිගැන්වීම සුදුසුය, පරලොව අරමුණු කරගෙන දන් දීමට සුදුසුය,
දෝත් නඟා වැඳීමට සුදුසුය, මේ ලෝකයේ ඇති උත්තම වූ පින් කෙතකි, (පින් වර්ධනය කරවා ගැනීම පිණිස කුසල් ක්‍රියා වැපිරීමට සුදුසුය)

බෞද්ධයන්ගේ වැඳුම් ලැබීමට සුදුසු වූ සංඝයා වහන්සේ ඉහත ගාථාවේ සඳහන් ලක්ෂණ වලින් යුක්තයි.

අන් ආගම් ගැන බුදුන් දැරූ සහනශීලී සහ සුහද ශීලී පිළිවෙත ගැන මුලින් කියූ කතාව උදාහරණයක් ලෙස ගොඩක් තැන් වල දැක්වෙනවා.

ඒ වගේම, සංඝයා යැයි කියාගන්නා ප්‍රචණ්ඩකාරීන් පහුගියදා අලුත්ගමදී කරපු ආවේගශීලී ප්‍රචණ්ඩකාරී කතා, සහ හැසිරීම් බොහෝ අන්තර්ජාල පුවත් අඩවි වලින් දැකගන්න පුළුවන්.

සැබෑ බෞද්ධයින් මොකද්ද කරන්න ඕනෙ?

1. බුදුන් අනුගමනය කරනවාද?
2. නැත්නම් (ගෝඨාභයගේ කොන්ත්‍රාත් මත ජනතාව භේද කරන) බොදුබලුසේනාව අනුගමනය කරනවාද?

Wednesday, June 4, 2014

නව අරහාදී බුදුගුණ මෙනවාද? - 2014 පොසොන් කළාපය ඇරඹේ

පසුගිය මාසයේ වෙසක් කළාපය කරන්න හිටියත්, විවිධාකාර දේවල් නිසා ලියන්න බැරි වුණා. ඒ අඩුව මැකෙන්නත් එක්ක පොසොන් කළාපය කොහොම හරි කරනවා කියන අධිෂ්ඨානයෙන්, අකුරු කරන්න වාඩි වුණා.

පොසොන් කළාපයෙන් මේ පාර නව අරහාදී බුදුගුණ ගැන මේ දවස් ටිකේම හිතේ එකතු වුණ අදහස්, ගවේෂණයක් විදිහට එළියට දාන්න හිතුනා.

ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්මසාරථී සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවා තී

මේ පාලි පාඨයෙන් දැක්වෙන බුදුගුණ මේ මේ යැයි පැහැදිලි කරගැනීම තමා මේ ලිපියෙන් අරමුණු කරගන්නෙ.

මේ පාලි පාඨයේ තියෙන බුදුගුණ මොනවද?
  1. අරහං
  2. සම්මා සම්බුද්ධ
  3. විජ්ජාචරණ සම්පන්න
  4. සුගත
  5. ලෝකවිදු
  6. අනුත්තර පුරිසධම්මසාරථි
  7. සත්තා දේවමනුස්සානං
  8. බුද්ධ
  9. භගවා

බුදුන් වහන්සේ පසිඳුරන්ගෙන් ලැබෙන රූප, ශබ්ද, ගඳ/සුවඳ, රස, ස්පර්ෂ ආදී දෙය කෙරෙහි ඇලීමකින් තොරවූ තත්ත්වයට පත්වුණ තැනැත්තෙකි. මනසින් ඇතිවන අරමුණු කෙරෙහි ඇලීමකින් තොර තත්ත්වයට පත් වුණු තැනැත්තෙකි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් තොර වූ තැනැත්තෙකි. මේ ගුණය අරහං යනුවෙන් හැඳින්වේ.

සසර ගමන නැවැත්වීමට මාර්ගය තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත් බව, සම්මා සම්බුද්ධ යන වචනයෙන් හැඳින්වේ.

ලෝකය පිළිබඳ සියලු විද්‍යාවන් අවබෝධ කරගෙන, ඒ අනුව හැසිරුණු බව විජ්ජාචරණ සම්පන්න යන පදයෙන් හැඳින්වේ. (මේක හරියට මෙට්රික්ස් එකේ කෝඩ් එක නියෝ විසින් අවබෝධ කරගැනීම වගේ දෙයක්ය යන්න මගේ හැඟීමයි. ලෝකයේ නියම තත්ත්වය සහ ස්වරූපය අවබෝධ කරගත් අයෙකුට, ගුරුත්වාකර්ෂණය, ආලෝකයේ වේගය වගේ භෞතික ලෝකය මෙහෙයවෙන නීතීන් තමන්ට අවශ්‍ය පරිදි නැවීමට හැකි වේ. ඒ අනුව පෘතග්ජනයන්ට ප්‍රාතිහාර්ය හෝ මැජික් ලෙස දැනෙන දේවල් පවා කරන්නට හැකියාව ලැබෙනු ඇත.)

චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට මධ්‍යම ප්‍රතිපදාවට එළඹුණු බුදුන් වහන්සේ, මූලික මාර්ගයන් අටක් (ආර්ය අෂ්ටාංගික මාර්ගය) ඔස්සේ කටයුතු කළ සේක. එසේ නියම මගට පිවිසී, ඒ මාර්ගයේ ගමන් කළ නිසා සුගත යන නමින් හැඳින්වේ.

අපට පියවි ඇසට පෙනෙන ලෝකයත්, එසේ නොපෙනෙන අනෙක් ලෝකත් යන සියලු ලෝකයන් පිළිබඳව දැනසිටි නිසා ලෝකවිදු යන පදයෙන් බුදුන් වහන්සේ හැඳින්වේ. මෙතැනදී බොහෝ දෙනා සතර අපාය, සදෙව් ලෝක, බ්‍රහ්ම ලෝක, ප්‍රේත ලෝක ආදිය අදහස් කරති. ඒ ලෝක සියල්ල මිහිපිටම පවතින දේවල්ය යනු මාගේ අදහසයි.  (සරත් ලංකාප්‍රිය වරක් කියා තිබුණා වගේ, අපට ඇසට නොපෙනෙන කොතරම් ජීවීන් මේ මිහිපිට සිටිනවාද? අපගේ ක්‍රියාවක් ක්‍රියාවක් පාසා ඒ ජීවීන් හිරිහැර විඳිති.)

කිසිවෙකුටත් මෙල්ල කළ නොහැකි, පරාජය කළ නොහැකි බොහෝ දෙනාගේ දළදඬු බව - තම මෛත්‍රී, කරුණා, උපේක්ඛා ගති ගුණ වලින් සහ දර්ශනය මඟින් මොලොක් කර, තමන් වෙත මිතුරු කර ගැනීමටත්, තම අරමුණ සහ තම දර්ශනය වෙත යොමු කරවා ගැනීමටත් බුදුන් වහන්සේ සතු වූ හැකියාව අනුත්තර පුරිසධම්මසාරථි නම් පදයෙන් හැඳින්වේ.

බුදුන් වහන්සේ සියලු දේව මනුෂ්‍යයන්ගේ ශාස්තෘන් ලෙස හැඳින්වෙන බව සත්තා දේවමනුස්සානං යන පදයෙන් දැක්වේ.

තමන් වහන්සේ අවබෝධ කරගත් දර්ශනය පැහැදිළි ලෙස, තේරුම් සහිතව, විස්තරාත්මකව දේශනා කර ඇති බව, බුද්ධ යන වචනයෙන් අදහස් වේ. ඇත්තටම සූත්‍ර පිටකය සහ අභිධර්මය යන කොටස් වලින් බුදුන් තම මාර්ගය කොයිතරම් සවිස්තරාත්මකව සහ ගැඹුරින් පැහැදිළි කර තියෙනවාද යන්න ගැන හොඳ අදහසක් ලබා ගන්නට හැක.

බුදුන් වහන්සේගේ ජීවිතය දෙස බලන විට එතුමා මෙතෙක් බිඳ හෙළන්නට නොහැකි දර්ශනයක් බිහිකළ දාර්ශනිකයෙක් සහ ශාස්තෘ වරයෙක් බවට පත්වන්නට හැකිවූ මහා භාග්‍යවන්තයෙක් බව පෙනේ. මෙය භගවා යන පදයෙන් හැඳින්වේ.

http://www.travel-pictures-gallery.com/images/sri-lanka/polonnaruwa/polonnaruwa-0013.jpg


බුදුන් වඳින්නට යොදාගන්නා මේ සරළ පාලි පාඨයෙන් පවා බුදුන් ගැන සහ උන්වහන්සේගේ දර්ශනය ගැන හොඳ අවබෝධයක් ගන්න හැකියාව ඇත.

ප/ලි

මට තේරුම්ගන්නට නොහැකි එකම දෙය වන්නේ, මෙම පාඨය පුනරුච්ඡාරණය කරමින් බුදුන්ගේ මේ මේ ගතිගුණ වල බලයෙන් මට යහපතක් වේවා, මගේ ග්‍රහ අපල දුරුවේවා කියමින් කවි හදාගෙන ගායනා කරන තක්කඩියන්ගේ අරමුණ මොකද්ද යන්නයි. සෑම දවසකම රේඩියෝ චැනල් වලින් මේ දේවල් ප්‍රචාරය කරන්නේ ඇයි?

ඉහත ප්‍රශ්නය නැඟූ විට මට ලැබෙන සුලභම උත්තරය වන්නේ මම බෞද්ධයෙක් නෙවේය යන්නයි. බෞද්ධයෙක් කියන්නේ කාටද? මෙයින් වන්නේ ප්‍රශ්නය තව තවත් දිග්ගැස්සෙන එක පමණකි.

බුදුන් වහන්සේ “කිං කරිස්සන්ති තාරකා“ (තාරකා මොනවා කරන්නද?) කියා එක් තැනක දේශනා කර ඇති බව මා දැක තිබේ. උන්වහන්සේ ගේ දේශනා අනුව මා අවබෝධ කර ඇත්තේ:
  1. මනස සියලු ධර්මයන්ට මූලික වන්නේය, පෙරටු කොට යන්නේය,
  2. අප්‍රමාදව ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් සසර දුක කෙටි කරගැනීම බෞද්ධයාගේ අරමුණයි, 
          ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන්නේ:

                                I.            යහපත් වචන,
                              II.            යහපත් කර්මාන්ත,
                            III.            යහපත් ජීවන ක්‍රමය,
                            IV.            යහපත් වෑයම,
                              V.            යහපත් සිහිය,
                            VI.            යහපත් සමාධිය (සිතේ එකඟ බව)
                          VII.            යහපත් දැකීම,
                        VIII.            යහපත් සංකල්ප,

ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන මෙතැන දීර්ඝ ලෙස විස්තර කළ යුතු වුනත්, මේ ඊට වේලාව හෝ තැන හෝ නොවේ. එසේ කර ඇති පැහැදිලි විස්තරයක් මෙතැනින් කියවන්න පුළුවන්.

ඉතින් බෞද්ධයන් කළ යුත්තේ මගඩිකාර රේඩියෝ මුදලාලිලාගේ තක්කඩිකම් පස්සේ යාමද / බුදුන්ගේ සරණ හෙවත් බුදුන් ගේ මාර්ගයේ (ටෙලිෆෝන් එකෙන් කතා කරලා අන්තිමට කියන බුස්සරණ නෙමෙයි) යාමද?

Wednesday, June 26, 2013

ඇත් පියසටහනේ උපමාව - ඩ්‍රැකියාගේ පොසොන් කළාපය - 2 කොටස

පොසොන් කළාපය පටන් ගත්තට පස්සේ මාර විදිහේ කාර්ය බහුල බවකට ඩ්‍රැකියා පත්වුණා. ඉතින් ඩ්‍රැකියාගේ පළවෙනිම පොසොන් කළාපය පෝස්ටු දෙකකට විතරක් සීමා වෙන බව තමා පේන්නෙ.

චුල්ල හත්ථිපදෝපම සූත්‍රයේ පිලෝතිකා පාරිව්‍රාජකයා සහ ජාණුස්සෝණි බමුණා අතර ඇති වූ කතාවත්, ඒකට පැහැදිලා බමුණා බුදුන් හමු වූ ආකාරයත් පොසොන් කළාපයේ මුල් ලිපියෙන් සඳහන් වුණා. අද එතැන් සිට...



බුදුන් වහන්සේ ජාණුස්සෝණි බමුණාට කියනවා: ‘ඇත් පියසටහනේ උපමාව එතනින් නවතින්නෙ නෑ. තව විස්තර තියෙනවා‘ කියලා.

බුදුන් කියනවා: ඇතුන් වසන කැළෑවක් ආශ්‍රිතව වාසය කරන දක්ෂ මිනිහෙක් කැළේට ගිය වෙලාවක දකිනවා, දිගිනුත්, පළලිනුත් වැඩි ඇතෙකුගේ පිය සටහනක්. ඒකෙන් පමණක් එයා ‘මේ විශාල ඇතෙක්‘ කියා නිගමනය කරන්නේ නෑ. මොකද, පතුල් මහත් වුනත්, උසින් අඩු වාමනිකා කියන ඇතින්නියොත් කැළෑවෙ ඉන්න නිසා. එයා ඒ පසුපස තවත් දුරට යනවා. එතකොට දකිනවා, ගස් වල රියන් හතක් අටක් උසින් පිට අතුළ්ලපු පාරවල්. ඒකෙනුත් එයා ‘විශාල ඇතෙක්‘ කියලා නිගමනය කරන්න හදිසි වෙන්නෙ නෑ. මොකද, උස මහත වුනත් දළ උසින් පහතින් තියෙන උච්චා කාළාරිකා කියන ඇතින්නියොත් ඉන්නවා. තවත් දුර යනකොට එයා දකිනවා, උස් ගස් වල දළ පාරවල් වැදිලා තියෙනවා. ඒත් එයා හදිසි වෙන්නෙ නෑ නිගමනයකට එන්න. මොකද, පතුල් මහත වුනත් පාද හීනි උස උච්චා කණේරුකා කියන ඇතින්නියොත් ඉන්න නිසා. අන්තිමේ එයා දකිනවා, ගහක් මුල හරි, එළිමහනේ හරි, ඇවිදින හරි, හිටගෙන හරි, ලැග ඉන්න හරි විශාල ඇතෙක්. අන්න එතකොට එයා නිසැකව නිගමනය කරනවා, මෙන්න විශාල ඇතෙක් කියලා.

ඒ වගේ,
බුද්ධත්වයට පත් වෙලා, ලෝකයත් සත්ත්වයාත් මනාව අවබෝධ කරගෙන, ධර්මය දේශනා කරමින්, නිවන් මග එළිදක්වා ඇති විටක,

කෙනෙක් මේ ධර්මය අහලා, බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගන්නවා. එයා හිතනවා, ‘ගිහිගෙයි විසීම බාධා සහිතයි, රාගය වැනි කෙළස් වලට ඉඩ ලැබෙනවා. පැවිදි වීම යහපත්‘ එයා සම්පත්, නෑදෑ හිතවතුන් අතහැර පැවිදි වෙනවා.

පැවිදි වුනු කෙනා ශික්ෂාපද ඇසුරු කරමින්,

1. සතුන් මැරීම අතහරිනවා, ආයුධ අතහරිනවා, ලජ්ජාව සහ දයාව ඇත්තෙක් වෙනවා, සියලු සත්ත්වයන් ගැන අනුකම්පාවෙන් යුක්ත වෙනවා.

2. නුදුන් දේ ගැනීමෙන් වළකිනවා, සොර නැති පිරිසිදු සිතින් යුක්ත වෙනවා.

3. අයහපත් හැසිරීමෙන් ඉවත් වෙනවා, ලිංගික සංසර්ගය අත්හරිනවා.

4. බොරුව අත්හරිනවා, සත්‍යය ගැළපීමෙන්, ස්ථිර වචන ඇති වීමෙන්, ලෝකය රවටන්නෙක් බවට පත් නොවී වාසය කරනවා.

5. කේළම් කීමෙන් වළකිනවා, මිනිසුන් භේද කිරීමට වචන යොදාගැනීමෙන් වළකිනවා, භේද වූ අය සමඟි කරනවා, සමඟියට කැමති වෙනවා, සමඟිවූ අය දැක සතුටු වෙනවා, සමඟි කරන වචන භාවිතා කරනවා.

6. රළු බස් කීමෙන් වළකිනවා, නිදොස්, කණට සුවදායක, ළගන්නාසුළු, උසස්, බොහෝ දෙනා ගේ සිත් ගන්නා, වචන කියනවා.

7. හිස් බස් කීම අතහැරලා, කාලීන, අර්ථයක් ඇති, ධර්මයක් / විනයක් සම්බන්ධ, හදවතේ තැන්පත් කරගත යුතු කරුණු සහිත දේ කතා කරනවා.

8. බීජ (හට ගැනීමට පෙර තත්ත්වය) සහ භූත (හට ගත් දේ) නැසිමෙන් වළකිනවා.

9. රාත්‍රී භෝජනයෙන් වළකිනවා.

10. නැටීම්, ගැයීම්, විකට දර්ශන, මල් පැළඳීම, සුවඳ විළවුන්, සිරුරේ අඩු තැන් පිරවීම් සහ සැරසීමෙන් වළකිනවා.

11. උස් සහ මහා ආසන වලින් දුරු වෙනවා.

12. රන්, රිදී, මිළ මුදල් පිළිගැනීමෙන් වළකිනවා.

13. අමු ධාන්‍ය, අමු මස් පිළිගැනීමෙන් වළකිනවා.

14. ස්ත්‍රීන්, තරුණියන්, මෙහෙකරුවන්, එළු බැටළු ආදී සතුන්, කුකුළන් ඌරන්, ඇත් අස් ගව වෙළඹුන්, පිළිගැනීමෙන් වළකිනවා.

15. ගිහියන්ගේ පණිවුඩ පිළිගැනීමෙන්, හසුන් ආදිය ගෙන් ගෙට ගෙන යාමෙන් වළකිනවා.

16. වෙළෙඳ ගනුදෙනු වලින් වළකිනවා.

17. හොර තරාදියෙන් කිරීම, රවටා බඩු විකිණීම, හොර මිනුම් ආදියෙන් වළකිනවා.

18. අල්ලස් ගැනීම, රැවටීම, සමාන දේ දක්වා මවාපෑම, වංචා ප්‍රයෝග වලින් වළකිනවා.

19. අත පය කැපීම්, මැරීම, විළංගු ලෑම, බැඳීම, මං පැහැරීම, ගම් කොල්ලකෑම, සාහසික ක්‍රියා ආදියෙන් වළකිනවා.

ඔහු තමන්ගේ සිරුරේ පරිහරණයට ප්‍රමාණවත් සිවුරෙන්, කුසට ප්‍රමාණවත් වූ පිණ්ඩපාතයෙන්, සැහීමට පත් වෙනවා. යන තැනක පාත්‍රා සිවුරු පමණක් අරගෙන යනවා. හරියට ලිහිණියෙක් පියාසර කරද්දී උගේ පියාපත් වල බර පමණක් දරාගෙන යනවා වගේ. මෙසේ උසස් ශීලයෙන් යුක්ත වී, තමන්ගේ සිතේ ඇති වන සුවය විඳින්නට සමත් වෙනවා.

ඔහු ඇසින් දකිනා රූප අනුව, ස්ත්‍රියක් පුරුෂයෙක් කියා නිමිත්තක් සිතේ ඇති කර ගන්නේ නෑ. අත පය ආදී අවයවය වල ස්වරූපය සතට ගන්නේ නෑ. එසේ ඇස සංවර කොටගෙන වාසය කරනවා. කණින් ශබ්ද අසා, නාසයෙන් සුවඳ ලබා, දිවෙන් රසය ලබා, කයින් ස්පර්ෂ කර, සිතෙන් ධර්මතා විඳ, ඒ පිළිබඳ නිමිති ඇති කර ගන්නේ නෑ. මනස සංවර බවට පමුණුවාගන්නවා.  මෙසේ ඉන්ද්‍රියන් සංවර කර ගෙන, කෙළෙස් වල නොඇලුනු නොකිළිටි බවේ සුවය විඳින්නට සමත් වෙනවා.

ඔහු මොන දෙයක් කරද්දී වුනත් මනාව දැනගෙන කරන තැනැත්තෙක් වෙනවා. ඉදිරියට යද්දී, ආපසු ඒමේදී, ඉදිරිය බලද්දී, ආපසු බලද්දී, අත් පහ දිග අරිද්දී, අකුළද්දී, කෑමේදී, බීමේදී, රස විඳීමේ දී, මළ මුත්‍රා පහකිරීමේදී, යද්දී, එද්දී, නිදා ගැනීමේදී, නිදි වැරීමේදී, කතා කිරීමේ දී, නිහඬව සිටීමේදී, ඒ දේවල් ගැන මනාව දැනුවත් ව ඒ දේවල් සිදු කරනවා.

මේ වාගේ කෙනෙක්, ජනතාව නොගැවසෙන ආරණ්‍ය, ගස් මුල්, පර්වත, කඳු, ගුහා, සොහොන්, වන ලැහැබ්, පිදුරු කුටි වැනි තැනක් වාසස්ථානය කරගන්නවා.

ඔහු දිවා ආහාරයෙන් පසු සවස් කාලයේ පළක් බැඳගෙන, කය සෘජුව තබාගෙන, සිහිය කර්මස්ථානයට එල්ල කොටගෙන ගත කරනවා. ලෝකය පිළිබඳ දැඩි ආශාව දුරු කරගෙන, සිත පිරිසිදුව තබා ගන්නවා. අන් අය ගැන ඇති ද්වේෂය ට එළඹීමෙන් වැළකී, කිසිවෙකු කෙරෙහි විරුද්ධවාදයක් සිතේ නැති කරගන්නවා. සියලුම පණ ඇති දේ ගැන අනුකම්පාවෙන් හිතවත් කමින් යුක්තව සිත පිරිසිදුව තබා ගන්නවා. අලස බව සහ එළඹ සිටි සිහියක් නොමැති කම දුරු කරනවා. කළ හොඳ නරක ගැන තැවෙමින් නොසන්සුන් සිතින් පසුවීම වළක්වාගෙන සිත පිරිසිදුව තබා ගන්නවා. කුසල් අකුසල් ආදී දේ මොනවාදැයි සැක හැර දැනගන්නා මේ තැනැත්තා පිරිසිදු සිතකින් සිටිනවා.

මේ විදිහට මේ තැනැත්තා, ඇලීමෙන් වෙන්වී, කුසල් අකුසල් මොනවාදැයි මනාව දැනගෙන, විතර්ක සහිත විචාර සහිත විවේකී බුද්ධියෙන් ඇති වුනු ප්‍රීතිය සහ සුවය ඇතිව පළමු ධ්‍යානයට පත් වෙනවා. නමුත්, උතුම් ශ්‍රාවකයා මේ පමණකින් 
බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.

මහණ වුනු තැනැත්තා, සිතේ තර්කයන් විචාරයන් සන්හිඳිලා, අධ්‍යාත්මයේ පැහැදීමත්, සිතේ ඒකාග්‍රතාවයත්, ඇති විතර්ක, විචාර නැති සමාධියෙන් ඇති වුණු ප්‍රීතිය සහ සුවය සහිත දෙවන ධ්‍යානයට එළඹෙනවා. නමුත් උතුම් ශ්‍රාවකයා මේ පමණකින් 
බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.

මහණ වූ තැනැත්තා, ප්‍රීතිය ඉක්මවූ උපේක්ෂාව ට පත් වෙලා, සිහි ඇති, උසස් නුවණක් ඇති තුන්වෙනි ධ්‍යානයට පත් වෙනවා. මෙසේ වුනත්, උතුම් ශ්‍රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.

මහණ වු තැනැත්තා, සතුටත්, දුකත් දෙකම නැත් කරලා, අපේක්ෂාවත් සිහියත් පිරිසිදුව ඇති සතර වන ධ්‍යානයට පැමිණෙනවා. එහෙත් උතුම් ශ්‍රාවකයා මේ පමණකිනුත්බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.

මහණ වූ තැනැත්තා මේ විදිහට පිරිසිදු, කෙළෙස් පහ කළ, නොසැළෙන සිතක් ඇති තත්ත්වයට පත් වූ පසු, පෙර භවයන් ගැන සිහි කරනවා. එහෙම පෙර භවයන් වල තමන් මේ නමින්, මේ තැන් වල, මේ ආහාර ගනිමින්, මේ තරම් කල් ජීවත් වුනා යැයි දැනගන්නට හැකි තත්ත්වයට පත් වෙනවා. නමුත් උතුම් ශ්‍රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.

මේ විදිහට පිරිසිදු, කෙළෙස් පහ කළ, නොසැළෙන සිතක් ඇති තත්ත්වයට පත් වූ මහණ වූ තැනැත්තා, අනෙක් සත්වයන්ගේ ඉදිරි භවයන් ගැන සිහි කරනවා. එහෙම මේ මේ සත්ත්වයින් කර්මය සහ අනික් නියාමයන් අනුව  මේ නමින්, මේ තැන් වල, උපදිනවායැයි දැනගන්නට හැකි තත්ත්වයට පත් වෙනවා. නමුත් උතුම් ශ්‍රාවකයා මේ පමණකින් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.

ඉන්පසු මේ තැනැත්තා, දුක, දුකට හේතුව, දුක නැති කළ හැකි බව, දුක නැති කිරීමේ මාර්ගය, යන දේවල් මනාව අවබෝධ කරගන්නවා. භවආස්‍රව ( සංසාරය පුරාවටම සිතේ පැලපදියම් වෙමින් පැසවමින් තිබෙන දේවල් (අයිලාස් ට ස්තූතියි)), ආස්‍රවයටහේතුව, ආස්‍රව නැති කළ හැකි බව, ආස්‍රව නැති කිරීමේ මාර්ගය හොඳින් අවබෝධ කරගන්නවා. නමුත් උතුම් ශ්‍රාවකයා මේ පමණකිනුත් බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියලා නිශ්චය කරන්නේ නෑ.

මෙසේ දියුණු සිතක් ඇති තැනැත්තා ආස්‍රවයෙන් මිදෙනවා. එසේ මිදුණු බවත් අවබෝධ වෙනවා. ඉන්පසු තවත් අර්හත් මාර්ගයේ කළ යුත්තක් නැති බව දැනගන්නවා. මේ තත්ත්වයේදී උතුම් ශ්‍රාවකයා  බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය කියා මනාව අවබෝධ කරගන්නවා. මෙයින් තමයි ඇතෙකුගේ පිය සටහනේ උපමාව අවසන් වන්නේ.

ඩ්‍රැකියා මේ සුත්‍රය අධ්‍යයනය කළේ මේ පෝස්ටුව ලියන ගමන්මයි. මේ සූත්‍රයෙන් බුදු සසුනේ මූලික පරමාර්ථය පැහැදිලි වෙනවා. බුදුන්ගේ ධර්මයේ මූලික පරමාර්ථය වන්නේ ලෝකෝත්තර විමුක්තිය ට එළඹීමයි. ඒ නිසා සසුනේ පැවිදි වෙන තැනැත්තෙක් සෘජුවම අරමුණු කරගත යුත්තේ අර්හත් භාවයයි කියලා මේ සූත්‍රයෙන් කියවෙනවා. මිහිඳු හාමුදුරුවො මේක දේශනා කරන්න කලින් දේවානම්පියතිස්ස රජුගේ අයිකිව් චෙක් කිරීම සාධාරණ බව පේනවා. මොකද, මේ සූත්‍රය මනාව අවබෝධ කරගන්න විවේකී මනසක් සහ තීක්ෂණ බවක් අවශ්‍ය බව පේන නිසා. ඒ වගේම, මේ රටේ තමන් නියෝජනය කරන ශාසනය පිහිටුවන්න ශක්තිමත් අත්තිවාරමක් සැපයෙන දේශනාවක් නිසා මේ සූත්‍රයම තොරාගන්න ඇති බවත් පැහැදිලියි. 

මේ පෝස්ටුවෙන් ඩ්‍රැකියාගේ 2013 පොසොන් කළාපය අවසන් කිරිමට සිද්ධ විම ගැන කණගාටුයි. ආයෙත් ඊළඟ අවුරුද්දේ තවත් බණවාරයකින් හමුවෙන තුරු ඩ්‍රැකියා නවතිනවා.

පින්තූරය ණයට ගත්තේ : http://www.lakehouse.lk/budusarana/2008/06/18/z_p18-Mihindu.jpg

Sunday, June 16, 2013

ධම්මස්සවණ කාලෝ.... ඩ්‍රැකියාගේ පොසොන් කළාපය ආරම්භ වෙයි


මහින්දාගමනය ලංකාවේ ජනතාවට වැදගත් වෙන්නෙ ඇයි?

ඩ්‍රැකියා දකින්නෙ මේ විදිහට.

මිහිඳු රහතන් වහන්සේ ත්, සමකාලීනව ඊට පස්සෙ ආව සංඝයා වහන්සේලා ත් සමඟ දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුදහම ලංකාවේ රාජ්‍ය ආගම බවට පත් කිරීම නිසා, ලාංකීය ජනතාවගෙ දාර්ශනික සහ ආධ්‍යාත්මික පැත්ත බුද්ධ දර්ශනය සමඟ හැඩ ගැසීම,

ඊට කලින් ලංකාවෙ බුදු දහම තිබුණද? මහාවංශය ප්‍රමුඛ ලිඛිත මූලාශ්‍ර වල හැටියට නං බුදුන් ලංකාවට තුන් වරක් වැඩම කරලා, ලංකාවෙ මුල්ම චෛත්‍ය වන ගිරිහඬු සෑය සහ මහියංගන චෛත්‍යය ඉදි වෙලා, සිරිපතුල පිහිටුවලා, ආදී වශයෙන් බුද්ධාගම ලංකාවෙ තහවුරු වෙන්න ගොඩක් වැඩ කටයුතු කෙරිලා තියෙනවා. ඒ විතරයැ, පෙර බුදුවරුන් තුන් නමත් ලංකාවට වැඩම කරලා තියෙනවාලු.

ආසියාතික වෙනත් බෞද්ධ රටවලත් මේ වගේම මූලාශ්‍ර වල තියෙනවා බුදුන් තමන්ගෙ රටට වැඩම කළ බව සහ ඒ ආශ්‍රිත කටයුතු ගැන. ඒත් බුද්ධ චරිතය හැටියට අපි ඉගෙන ගන්නා කතා වල ඒ කිසිම දෙයක් ගැන විශේෂයෙන් සඳහන් වෙන්නේ නෑ. මෑත කාලෙදි රාවණා පාක්ෂිකයන්ගෙන් නොසෑහෙන්න බැණුම් අහපු සහ ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට තම ජීවිතය කැප කරමින් සේවය කළ මහාචාර්ය පරණවිතාන ත් කිව්වනේ බුදුන් ලංකාවට වැඩි බවට පුරාවිද්‍යාත්මක සාධක නෑ කියලා. ඒ නිසා, මේ කාරණාව විවාදයට ලක් කළ යුතු දෙයක් හැටියට ඩ්‍රැකියා දකිනවා.

නැවතත් මාතෘකාවට

මහින්දාගමනයත් එක්ක ලංකාවට ලැබුණු සංස්කෘතිකමය දායාද

සමහරු කියන විදිහට අක්ෂර මාළාව, ගොඩනැගිලි ඉදිකිරීම්, ආදී වශයෙන් හැම දෙයක්ම අපිට ලැබුණෙ මහින්දාගමනයෙන් කියලා කියනවා. ඒ අනුව මහාවංශයෙ කියන විජය ඉඳන් දේවානම්පියතිස්ස රජු දක්වාම රජවරු පාලනය කරලා තියෙන්නෙ බොහොම ප්‍රාථමික සංස්කෘතියක් සහිත රටක්. ගෙයක් දොරක් හදාගන්න දන්නැති, ලියන්න කියන්න දන් නැති රජෙක් හැබැයි ධර්මාශෝක රජු සමඟ ලියුම් හුවමාරුත් කරගෙන තියෙනවා.

(මහාවංශයෙ කියන විදිහට ධර්මාශෝක රජු කොච්චර පිංවන්තද කියනවානම්, සයංජාත ඇල් වී ගිරවු කපාගෙන ඇවිත් එයාගෙ අටු කොටු පුරවනවා. මීයො ඒ වී ඇට සුද්ධ කරනවා. පාඨලීපුත්‍රය අවට මැරෙන්න ඉන්න මුවො, මොනරු ආදී සත්තු ඒ රජුගේ කුස්සිය ළඟට ඇවිත් මැරෙනවා, මේං මාව කාපං කියලා.)

ඩ්‍රැකියාගේ අදහස මහින්දාගමනයෙන් අපිට මෙලෝ කජ්ජක් ලැබුණෙ නැත කියන එක නොවෙයි. මෙ වෑයම, ඓතිහාසික මූලාශ්‍ර වල තාර බර ඇරළා හැදෑරිය යුතුයි මිස, සියල්ල සත්‍යයි කියා ගෙඩි පිටින් ගිළ දැමිය යුතු නොවේ යන අදහස මතු කිරීමයි.

මධ්‍යස්ථව බැලීමේදී මහින්දාගමනයෙන්, 

1. බුදු දහම
2. බුදු දහමේ එන දාන සීල සමානාත්මතා ආදී යහපත් සංකල්ප බහුලව සමාජගතවීම
3. වන්දනා ක්‍රම ආදී අභිචාර සහ බැඳුනු සංස්කෘතිය
4. බෞද්ධ ගොඩනැගිලි ඉදිකිරීම් තාක්ෂණය (ලංකාවට හුරු විදිහට අනුවර්තනය කර)
5. රජවරු ධාර්මික වීමට පෙළඹවීම

ලංකාවට ලැබුණා කියන එක පැහැදිළියි.

ඩ්‍රැකියාට මාර ප්‍රශ්නයක් වෙලා තිබුනේ ඔය මොනවත් නොවෙයි. මිහිඳු රහතන් වහන්සේ ලංකාවට වැඩලා, දේවානම්පියතිස්ස රජු ගේ අයිකිව් ත් චෙක් කරළා, ඉස්සෙල්ලාම දේශනා කරපු චුල්ල හත්ථිපදෝපම සූත්‍රයේ මොනවද තිබුණේ කියන එකයි. ඒකට ඩ්‍රැකියා පරිශීලනය කළ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මුල් කොටස (විතරක් නෙවෙයි සම්පූර්ණ ත්‍රිපිටකය ම වුනත්) මෙතනින් ගිහිං බාගන්න පුළුවං.

ඉතිං ඩ්‍රැකී උපාසක තමන්ගේ මුල්ම පොසොන් කළාපයේ මුල්ම කොටසින් දෙසන්න ලෑස්ති වෙන්නේ, වාර්තාගත හැටියට ලංකාවෙ රජෙකුට මුලින්ම දේශනා කරන ලද සූත්‍රය සරළ සිංහලෙන්.

චුල්ල හත්ථිපදෝපම හෙවත් ඇතෙකුගේ පාද සටහනේ උපමාව ආශ්‍රිත සුළු සූත්‍රයේ මුලින් ම සඳහන් වෙන්නේ, පිලෝතිකා නම් පාරිව්‍රාජකයෙක්, තමන් බුදුන් ගැන පැහැදීමට හේතු වූ කරුණු හතරක් ගැන ජාණුස්සොණි නම් බ්‍රාහ්මණයා හට පැහැදිලි කරන ආකාරයයි.

පිලෝතිකා පාරිව්‍රාජකයා කියනවා, ‘ඇතුන් ඉන්න කැළෑවක් ආශ්‍රිතව ඉන්න දක්ෂ මිනිහෙක්, කැළෑවට ඇතුල් වෙලා දකිනවා, දිගිනුත් වැඩි, පළලිනුත් වැඩි ඇත් පිය සහටනක්. එයින් එයා නිගමනය කරනවා, මේ නම් විශාල ඇතෙක් කියලා. අන්න ඒ වගේ බුදුන් වහන්සේ ගැන කරුණු හතරක් දැකපු මම නිගමනය කරනවා, බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය, යන වග‘ කියලා. 

මොනවද මේ කියන කරුණු හතර?

1. 
සියුම් බුද්ධියක් ඇති, තර්ක ශාස්ත්‍රයේ කෙළ පැමිණි අන් මත බිඳීමට දක්ෂ ක්ෂිත්‍රියයෝ සමහරු කල්පනා කරනවා, බුදුන් හමුවුනොත් මම මේ ප්‍රශ්නය අහනවා, එතකොට මෙහෙම උත්තර දුන්නොත් මම බුදුන් මෙහෙම වාදියෙක්ය කියනවා, ඒ නැතුව මේ විදිහට උත්තර දුන්නොත් මම බුදුන් එහෙම වාදියෙක් ය කියනවා, කියා හිතාගෙන, බුදුන් අසළ ගමකට වැඩිය වෙලාවක උන් වහන්සේ හමු වෙනවා.

එතකොට බුදුන් වහන්සේ දැහැමි කතාවෙන් කරුණු පැහැදිලි කරලා, ඒ තැනැත්තා ගේ දැනුම තවත් තියුණු කරලා, ඒ තැනැත්තා සතුටු කරනවා. එතකොට ඒ පණ්ඩිත මනුස්සයා කලින් කරන්න හිතාගෙන ආව වැඩේ, කරලා වැඩක් නැති තත්ත්වයට පත් වෙනවා. අන්තිමෙ එයත් බුදුන් ගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා.

2. ඉහත කාරණය ම බ්‍රාහ්මණ පණ්ඩිතයන් සම්බන්ධයෙන් ද අදාළ වෙනවා,
3. ගෘහපතියන් සම්බන්ධයෙන් ද අදාළ වෙනවා,
4. ශ්‍රමණ දාර්ශනිකයන් සම්බන්ධයෙන් ද අදාළ වෙනවා.

මේ හතර වර්ගය, බුදුන් ළඟ මහණ වෙලා, උපසපන් වෙලා, ජනතාවගෙන් ඈත්ව කෙළෙස් තවලා, අන්තිමේ තමන් මහණ වීමෙන් ලබා ගැනීමට අරමුණු කළ අර්ථය ලබාගන්නවා. ඒ අය කියනවා, ‘අපි තව පොඩ්ඩෙන් විනාසයි. කලින් අපි රහත් නොවී රහතුන් කියා හිතාගෙන හිටියා. දැන් අපි රහත් බවට පත් වෙලා.‘ කියලා.

මේ ඇසූ ජාණුස්සෝණි බමුණා, බුදුන් ගැන පැහැදිලා, බුදුන් වැඩ වාසය කළ ජේතවනාරාමයට ඇවිත් බුදුන් හමුවෙලා, පිලෝතිකා පාරිව්‍රාජකයා සමග ඇති වුණු සල්ලාපය බුදුන් එක්ක කියනවා. එතකොට බුදුන් වහන්සේ කියනවා: ‘ඇත් පියසටහනේ උපමාව එතනින් නවතින්නෙ නෑ. තව විස්තර තියෙනවා‘ කියලා.

සූත්‍රයේ ඉතිරි කොටසේ බුදුන් සවිස්තරාත්මකව කියනවා, බුදුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධය, උන් වහන්සේ ගේ ධර්මය මනාව දේශනා කරන ලද්දකි, උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා වහන්සේ හරි මඟට පැමිණි අය ය, යන වග නිශ්චිතවම නිගමනය කරන්නේ කොහොමද කියන එක. පෝස්ටුව දිග වැඩි වෙන නිසා ඩ්‍රැකියා ඒක පොසොන් කළාපයේ ඉදිරි කොටසක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.

පින්තූරය ණයට ගත්තේ : http://www.lankapuvath.lk/sinhala/images/stories/newstext/General/SS/Latest/Poson_02.jpg

වැඩිපුර බලපු ලිපි