ෆයර්මවුන්ට් කොළණිය ලෙසින් ඉංග්‍රීසි පාලකයන් විසින් නම් කෙරුණු, ගිණිමලේ ඉපැරණි ජනාවාසය වසරේ වැඩි හරියක් ම මීදුම සහ වළාකුළු නිසා අඳුරු වී පැවතුණේ ය. නිතර වැටෙන කුඩු වැස්ස, කඳු මුඳුන් ඉහළින් ගළා යන සුළඟ විසින් ඒ මේ අත විසුරුවන්නේ හිතු මතේ ය. රවුම් ගල් ගෙඩිවලින් ආකූල වුණු, සිඳී යමින් පැවති දියපාරවල් වංගු ගැසෙමින් පුරන් වූ කුඹුරු මැදින් ගලාගෙන යද්දී හිරිමල් කෙල්ලන් හෙමින් සිනාසෙන්නා මෙන් මුණු මුණු හඬ නැඟුනි. හේන් කෙටීමෙන් ම ලඳු කැලෑ බවට පත් ව තිබූ, කඳු මුහුණත් බොහොමයක් අලුතින් වල් කෙටී, කෝපි පැල ඉන්දවීමට යටත් වී තිබුණේ ය. කඳු මුදුන දක්වා ඒකාකාරීව පැතිරුණු කෝපි වගාව ඔස්සේ නෙත් හෙළූ ටිකිරි බණ්ඩා ගේ දෑස් හැකිළුණේ කඳු මුදුනේ සිටි අසරුවාගේ අඳුරු සේයාවෙනි.
"තුඃ...!" බිමට කෙළ ගැසූ ටිකිරි බණ්ඩා ආපිට හැරුණේ ය.
පුරන් වූ හෙල්මලු කුඹුරේ නියර පිටින් ලියද්දට බට ඔහු, අඩ දණින් වැටී, වියළි පස් හා දිරා ගිය පිදුරු අතගෑවේ ශෝකයෙනි.
"අප්පච්චී..."
ටිකිරි බණ්ඩා නැගිට්ටේ ඇසිල්ලකිනි. තම අඩ දියණියගේ කටහඬ ඇසුණු දෙසට ඔහු දිවගියේ ය. යන්තමින් නවයොවුන් වියට එළඹෙමින් සිටි දැරිය ගොවි රාළගේ ගෙපැලේ මිදුලේ පසෙක වූ ගල්තලාව මත නැග, සිය කැපකරු පියා දිව එන දෙස බලා සිටියා ය.
"හා හා... මේ ගොම්මං වෙලාවෙ එලි පහලියට එන්ට එපා, මයෙ පුතේ..."
"ඉතිං අප්පච්චි ගියෙ...?"
"හා හා... ඒ පණ්ඩිතකං තියාගමු. යමු පුතේ ගෙට." ඔහු දැරියගේ සුරතින් අල්ලාගෙන ගෙයි එළිපත්තට ගොඩ විය.
"මොකද අප්පච්චි? හැන්දෑවෙත් තියෙන්නෙ දවාලෙ තියෙන දේවල් ම තමා. මොන එහෙකට ද බය වෙන්නෙ?"
"උඹ නං කියයි ඉතිං..." ටිකිරි බණ්ඩා එළිපත්තේ වූ උස් පිළේ වාඩි වී, කරේ වූ ලේන්සුව දිගහැර, උරහිස් මතින් පොරවා ගත්තේ ය.
"අදත් අර වතුකාර හාම්පුතා අස්සයගෙ පිටේ නැගලා උන්නා කවුඩං ගල මුදුනෙ." ටිකිරි බණ්ඩා කීවේ ලොකු මැණිකේ හෙවත් සිය වැඩිමහල් දියණිය ගෙනැවිත් දුන් අඩි වළඳ අතට ගනිමිනි. "උන්දැල කන්දෙ කැලේ කැපුවට පස්සෙ තමා අපේ කුඹුරු වේළිලා ගියෙ. බඩ්ඩිංගක් කාගන්ට නෑ මේ සුදු හැතිකරේ හින්දා..." ඔහු අඩි වළඳේ වූ තලපයෙන් කඩා ගත් බිඳක්, එහි ම වූ මිරිස් හොදි ආනම සමඟ දවටා මුවෙහි ලා ගත්තේ ය.
"කොයි කාලෙත් එකයි." කීවේ බාල දියණිය ය. "සුද්දො නැත්තං රටේ රාළලා, නිළමෙලා... ඔය කොයි ඇත්තොත් කෙරුවේ තමුං සැප සුවන්දිරං විඳින එක මිසක්, ගම්මුයි ගොවිතැනුයි බලා හදාගන්න එක නෙමෙයි..."
"මේ බලන්ටකො අප්පච්චි" ලොකු මැණිකේ පිළ මත කකුල් නවා වාඩි වුණා ය. "මේකිගෙ පැහිච්චකම! උඹ සුද්දට කලිං උන්නු ඔය කියන රටේ රාළලා, නිළමෙලා දැකල තියෙනවද මුතූ?"
"ඒ කාලෙ විතරක්යැ? ඔය දැනුත් ඉන්නෙ අපේ නල්ලමලේ ආරච්චිලා, විදානෙලා..." ඈ පිල මත සිටි ටිකිරි බණ්ඩා අසල දණ ගසාගෙන කට ඇරියේ, සුළු පියාගෙන් තලප කටක් කවා ගැනීමට ය.
* * *
ගිණිමලේ නියම්ගම පිහිටියේ කහටගස්තලාවේ ය. කඳු වළල්ලෙන් වටවූ තැනිතලා ප්‍රදේශය වෙත වැටුණු අඩිපාරවල් කඳු වටා ඇදුණු දැවැන්ත සර්පයන් වැනි ය. අනාගතයේ දී ජනාකීර්ණ වීමේ ඉරණම සැඟවී තිබූ කන්දෙ වැව ජලාශය සුළඟින් රැළි නඟමින් පැවතිණ. ඒ අසළින් පටන් ගන්නා කුඩා මඩු දහයක් දොළහක් පමණ වූ නියම් ගම කඩ මණ්ඩියට ඉදිරිපිටින් සති පොලේ තාවකාලික ඇටවුම් සවිකර තිබුණි. බඩු විකුණන්නන්ගේත් ගැනුම් කරුවන්ගේත් නිරන්තර ඝෝෂාවෙන් ආකූල වූවකි, කහටගස්තලාවේ සති පොළ.
ටිකිරි බණ්ඩාත්, ලොකු මැණිකේත් තමන්ගේ ගෙවත්තෙන් නෙලාගෙන ඇවිත් තිබූ එළවලු හා පළතුරු ටික විකුණා ඉවර වෙන්නට ආසන්න ය. දැන් දැන් බඩුවල මිල කියන්නේ ඉතා ම අඩුවෙනි. ගැනුම් කරුවන් විසින් මුලින් මුලින් තෝරා, දැන් ඉතිරිව ඇත්තේ ද වටිනාකම කිව නොහැකි සිඟිති, අඩුපාඩු සහිත භෝග ස්වල්පයක් පමණකි.
එක්වරම වෙළෙන්දියන්ගේ කෑ කොස්සම මොහොතකට නතර විය. එසැණින් දකින්නට ලැබුණේ යටිගිරියෙන් කෑගසමින් ඒ මේ අත දුවන මිනිසුන්, ගැහැණුන් හා ළමයින් රැසකි. අසු කුර ගැටෙන හඬ ඒ හඬ ද මැඩගෙන පැතිර යන්නට විය. අසු කුරවල ගැටී ඒ මේ අත විසි වන ගල් කැට ඊතල මෙන් වේගයෙන් විසිරෙයි.
මිනිසුන්ගේ ඝෝෂාවෙන් සහ කලබැගෑනියෙන් කුළප්පු වූ අශ්වයෝ දෙදෙනෙක් ඉදිරි ගාත් ඔසවා හේෂාරවය කළහ. උන්ගේ පිටේ නැග සිටි අඳුරු කබා කාරයෝ දෙදෙනා අසුන් මෙල්ල කර ගැනීමට අසීරු තැතක් දැරූ හ. පිමි දෙක තුනක් පැන ආ එක් අශ්වයෙක් නතර වුනේ ටිකිරි බණ්ඩාගේ එළවලු පඩංගුව අසළ ය. නැවත නැවතත් ඉදිරි ගාත් ඔසවමින් බිම ගසමින් වටේ කැරකැවුණු අශ්වයාගේ කුරවලට හසුවූ පඩංගුව ඉවතට විසි වෙද්දී, දවසේ වෙළෙඳාම මඟින් ටිකිරි බණ්ඩා රැස්කරගෙන තිබූ දුම්කොළ, ලුණු, තුනපහ, රෙදි පිළි වැනි හුවමාරු භාණ්ඩ සියල්ල සීසීකඩ ගියේ ය.
අවට විසිරුණු බඩු බාහිරාදිය රැක ගැනීමට පියා දිව යාම වළක්වා ගැනීම, දියණියන් දෙ දෙනාට කළ හැක්කක් නොවීය. සමහර හදිසි අවස්ථාවන් හි දී කෙතරම් පැසුණු මිනිසෙකු වූව ද කටයුතු කරන්නේ ප්‍රකෘති බුද්ධිය විසින් නොව දෛවය විසින් මෙහෙයවීමෙනි. භයානක අත්දැකීමේ කම්පණයෙන් තැති ගැනුණු ලොකු මැණිකේ, සිය අඩ නැගණිය තදින් බදාගෙන කඩ මැස්සේ කොණක ගුළි ගැසී සිටියා, සිය දෑස් ඉදිරිපිට අශ්වයාගේ කුර පහරට සිය පියා හසුවෙනු දුටුවා ය. නැවත නැවතත් ඉහළ පහළ ගිය අස් කුර... බැස යන හිරු කිරණ වැදී රිදී පැහැයෙන් බැබළුණු ලාඩම්... ඊළඟ වාරයේ නැවතත් ඉහළට එසවෙද්දී ලාඩමේ වැකී තිබුණු ලේ...
