Showing posts with label මගේ පුස්තකාලෙන්. Show all posts
Showing posts with label මගේ පුස්තකාලෙන්. Show all posts

Thursday, February 19, 2026

ඒ මහා ගුවන් අනතුර

පහුගිය දෙසැම්බර් නිවාඩුව පුතාට කදිම අත්දැකීමක් කරන්න මට උවමනා වුණා. ශිෂ්‍යත්ව විභාගය ඉවර වුණ ගමන් ම එළඹුනු ඒ නිවාඩුවේ මෙතෙක් තිබුණු පන්ති, පාඩම් කිරීම් ආදී කටයුතුවලින් මිදිලා ලැබුණු නිවාඩුව නිසා.

නමුත් මට නිවාඩු තිබුණෙ නෑනෙ. මට වැඩ තිබුණා. ලංකාවෙ ලස්සන ම දිස්ත්‍රික්කයක වැඩ කිරීම එක අතකින් බැලුවොත් වාසනාවක්.

ඉතින් මට පුළුවන් වුණා, පුතාටත් මම දකින දේවල් දකින්න ඉඩ ලබා දෙන්න. ඒකට තවත් රුකුළක් වුණේ, මගෙ කාර්යාලීය ගමන් සගයා වුණු කණිෂ්ක. ගිය ගිය තැන මම ගියපු කාර්යාලවල නිලධාරීන් පුතාව ආදරයෙන් පිළිගත්තා. ඒ වගේ ම කණිෂ්කත් පුතාව තමන්ගෙ යාළුවෙක් සහ දරුවෙක් වගේ බලාගත්තා.

ඉතින් පුතාට අවස්ථාව ලැබුණා, ආගරපතන, මස්කෙළිය, නෝර්වුඩ්, අඹගමුව සහ පුන්ඩලුඔය අවට ප්‍රදේශ දැකගන්න. ඒ අතරෙ, ඩන්සිනන් ඇල්ල, කාස්ල්රී සහ නෝටන්බ්‍රිජ් ජලාශ, බිංදුවෙ හැතැප්ම කණුව, සප්තකන්‍යා කඳුවැටිය ආදිය දැකගත්තා.

අපි අද කතාකරන්න යන්නෙ, අවුරුදු 52 කට කලින් සිදුවුණු එක් සිදුවීමක් ගැන.

ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපළේ සිට ජෙඩා බලා යන එක් ගුවන් යානයක්... 

ඒක ගුවන් ගත වුණේ ගරුඩා ඉන්දුනීසියා ගුවන් සමාගම යටතේ වුණත්, ගුවන් යානය අයිති වුණේ ඕලන්දයේ මාටින්එයා සමාගමට. මක්කම වන්දනාවට යාමට ඒ දිනවල තිබුණු අධික මගී ඉල්ලුම සම්පූර්ණ කරන්න, මාටිනෙයා සමාගමෙන් කුළී පදනමින් ගුවන්යානා කීපයකුත්, කාර්යමණ්ඩල කණ්ඩායම් 6 ක් සහ ස්ථාන කළමනාකරුවෙකුත් ගරුඩා ගුවන් සමාගමට ලබා දී තිබුණා. 

අපි අවධානය යොමු කරන මාටිනෙයා පීඑච් එම්බීඑච් එම්පී 138 දරණ ඩීසී 8 ගුවන් යානය ඉන් එකක්. 

1974 දෙසැම්බර් 04 වෙනිදා මේ ගුවන් යානය සුරබයා ගුවන් තොටුපොළෙන් පිටත් වෙන්නට සූදානම් වෙද්දී, එහි කාර්ය මණ්ඩලයට ආහාර විෂ වීමක් සිදු වෙලා තිබුණා. 

ඉතින් හදිසියේ ම ඒ වෙනුවට වෙනත් කණ්ඩායමක් යොදවන්න සිද්ධ වුණා. ප්‍රධාන ගුවන් නියමු කැප්ටන් හෙන්ඩ්‍රික් ලැමේ, සහකාර නියමු හෙවත් පළමු නිලධාරි රොබට් බ්ලොම්ස්මා, ගුවන් ඉංජිනේරු ජොහැනස් ගිජ්ස්බෝටස් විජ්නෑන්ඩ්ස් ඒ අලුතින් යොදවපු අය. 

ගුවන් යානය සුරබයා සිට කොළඹටත් (කටුනායක), එතනින් නැවත ඉන්ධන පුරවාගෙන ජෙඩා වෙතත් පියාසර කරන්න නියමිත ව තිබුණා. නමුත් අලුතින් යෙදවූ ප්‍රධාන නියමුවරයා ඊට පෙර කවදාවත් සුරබයා සිට කොළඹට පියාසර කළ අත්දැකීමක් තිබුණේ නෑ. සහකාර නියමුවා මුළු ගමන් මාර්ගයට ම නවකයෙක්.


සාමාන්‍යයෙන් මේ වගේ ගමන්වලට ප්‍රථමයෙන් නියමුවන්ට, පළපුරුදු නියමුවන් සමඟ පියාසර කර, නව ගමන් මාර්ග ගැන අත්දැකීම් ලබා ගන්න අවස්ථාව ලබා දෙනවා. නමුත් මෙ දින ඇතිවුණු හදිසි තත්ත්වය මත මේ අය යොදවන්න සිදු වී තිබුණා.

මේ විදිහට ගුවන් යානය ජාත්‍යන්තර වෙලාවෙන් 12:03 පැය ට හෙවත් ඉන්දුනීසියා වෙලාවෙන් 07.03 ට සුරබයා වෙතින් පිටත් වුණා. විශේෂ සිදුවීමකින් තොරව යානය, කොළඹ ගුවන් තොරතුරු කළාපයේ සීමාවට ළඟා වුණා කොළඹ වේලාවෙන් රාත්‍රී 09.52 ට. ගුවන් නියමුවා කොළඹ කළාපීය පාළක මැදිරිය අමතා දැන්වූවා, ඔවුන් කටුනායක සිට නාවුක සැතපුම් 130 ක් දුරින් සිටින බව. නැවතත් 09.55 ට ඇමතූ නියමුවා දැන්වූවා, ඒ වන විට ඔවුන් නාවුක සැතපුම් 120 ක් දුරින් මුහුදු මට්ටමේ සිට අඩි 35,000 ක උසකින් සිටින බව.

කොළඹින් ගුවන් යානයට උපදෙස් දුන්නා අඩි 15,000ක් දක්වා පහතට බසින ලෙසටත්, නාවුක සැතපුම් 50 දී නැවතත් අමතන ලෙසටත්.

නැවතත් ප.ව. 10.05 ට ගුවන් නියමුවා කොළඹ අමතා දැන්වූවා, ඔවුන් සැතපුම් 50 ක් දුරින් අඩි 16,000ක උසකින් සිටින බව.

එතන දී කොළඹින් ඔවුන්ට උපදෙස් ලැබුණා, අඩි 5,000 දක්වා පහතට බසින්නත්, අඩි 8,000 දී නැවත අමතන ලෙසටත්. ඒ වගේ ම කොළඹින් කටුනායක පාළක කුළුණට මෙම ගුවන් යානයේ පැමිණීම ගැන දැනුම් දුන්නා. 

ගුවන් යානය නැවතත් 10.08 ට පමණ කොළඹ අමතා තමන් අඩි 8,000 ක උසකින් සිටින බව වාර්තා කළා. එතන දී කොළඹින් ගුවන් යානයට දැන්වූවා, කටුනායක හා සම්බන්ධ වන ලෙසට.

ඒ අනුව ගුවන් යානය කටුනායක අමතන්නට උත්සාහ කළා. කිහිප වතාවක් ගුවන් විදුලි තරංගමාලා කීපයක් ඔස්සේ උත්සාහ කළ පසු ඔවුන්ට රාත්‍රී 10.09 වන විට සම්බන්ධතාව ගොඩනගා ගත්තා කටුනායක පාළක කුළුණ සමග. ඒ වන විට තමන් නාවුක සැතපුම් 14ක් දුරින්, අඩි 7,000 සිට අඩි 6,000 ක් දක්වා පහත බසිමින් සිටින බව ගුවන් නියමුවා කටුනායක දැන්වූවා.

කටුනායක සිට සැතපුම් 14ක් තරම් ආසන්න වී ඇති නිසා අඩි 2,000 ක් දක්වා පහත බසින ලෙසට කටුනායකින් දැන්වූවා. 

ඉන් පසු මේ ගුවන් යානයෙන් කිසි ම සන්නිවේදනයක් නිකුත් වුණේ නැහැ.

කොත්තැල්ලෙන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ජී. ආර්. පුංචිසිඤ්ඤෝ එදා රෑ විමලසුරේන්ද්‍ර බලාගාරයේ රාජකාරියේ නිරත වී සිටියා. රෑ 10:15 ට විතර පොළොව හෙල්ලෙන තරම් මහා ශබ්දයක් ඔහුට ඇසුණා.

කොත්තැල්ලෙන මුරුත්තැන්න ගමේ පදිංචි 21 හැවිරිදි සුමනදාස එදා රෑ සාදයකට සහභාගී වී සිටින අතර, ගුවන් යානයක් ගිණි ගනිමින් සප්ත කන්‍යා කඳුවැටියේ අංජිමලේ කන්දේ හැපෙනු දුටුවා. ඒ ගැටීමත් එක්ක කන්දේ තිබුණු බට පඳුරු ගිනිගත්තා.

හැටන් තැපැල් කාර්යාලයේ රාත්‍රී දුරකථන කියාකරු ලෙස සේවයේ යෙදි සිටියා මල්දෙණිය නම් මහත්මයෙක්. ඔහු කටුනායක ගුවන් තොටුපළ අමතා දැන්වූවා, මස්කෙළිය ප්‍රදේශයේ ගුවන් යානා අනතුරක් සිදු වී ඇති බව.

අංජිමලේ යනු දෙමළ භාෂාවෙන් 5 වන කන්දයි. යානයේ වම්පස පියාපත සප්තකන්‍යා කඳුවැටියේ හතරවන කන්දේ ගැටුණා, ඉන් සමබරතාව බිඳුණු යානව පස්වන කන්දේ පාෂාණමය මුහුණත ගැටිලා පිපුරුවා.

යානයේ සිටි මඟීන් 185 දෙනා ම ඉස්ලාම් බැතිමතුන්. කාර්ය මණ්ඩලයේ 9 දෙනාත් සමඟ ඔවුන් සියලු දෙනා ම ජීවිතක්ෂයට පත්වුණා.

වාර්තාකාරයා ගිහින් ගල්කුළ රස්නෙද කියල අතගාල බලල ඇවිත් ලියල තියෙන්නෙ...
ඒ කාලේ අපේ තාත්තා කිව්වෙ දිනමිණ පත්තරේට බොරු පත්තරේ කියලා. මම හිතුවා පොඩි කාලේ, "ඇත්ත" පත්තරේ වගේ ම "බොරු" පත්තරේකුත් තියෙනව කියලා.

මුදාගැනීමට පසුවදා එහි ගිය හමුදාවේ සෙබළුන් සහ ගම්වැසියන්ට ප්‍රදේශයට ආවේණික අයහපත් දේශගුණය වගේ ම, භූමියේ විෂම පිහිටීමත් අභියෝගයක් වුණා. ගෙන ඒමට හැකි වුණු තරම් සිරුරු කොටස් ගෙනැවිත් කඳුවැටිය පාමුළ හෙවත් නෝටන් බ්‍රිජ් හි තර්බර්ටන් ප්‍රදේශයේ සමූහ මිනීවළක මිහිදන් කෙරුණා. එහි ස්මාරකයක් ද ඉදි කෙරුණා.


මේ සිදුවීම වුණේ කොහොම ද?

යානයේ ගුවන් යානා දත්ත රෙකෝඩරය හෙවත් කළු පෙට්ටියත් විනාශ වී තිබුණා. ඉතා දුෂ්කර ලෙස වුවත් සොයා ගත හැකි වුණේ, මෙහි පටිගත වන පටියෙන් අඩි 130 ක් දිගට ඉතිරි වූ කොටස් පමණයි. එහි සටහන් වී තිබුණේ ත් ගුවන් ගමනේ මුල් කොටස්වල සන්නිවේදනයන්. ඉතින් ගුවන් යානා අනතුර ගැන පසුව කෙරුණු විමර්ශනයට යොදා ගත හැකි වුණේ පාලක කුළුණුවල සටහන් වූ සන්නිවේදනයන් පමණයි.

ඒ අනුව මෙම අනතුර විමර්ශනය කරලා, ලංකාවේ සිවිල් ගුවන්ගමන් දෙපාර්තමේන්තුවෙන් විමර්ශන වාර්තාවක් නිකුත් කෙරුණා. 

ගුවන් නියමුවා කියූ හැටියට, කටුනායක සිට සැතපුම් 14ක් දුරින් ඔවුන් සිටියා නම්, ඔවුන් සිටිය යුත්තේ කොළඹට ආසන්න තැනිතලා කළාපයේ. එහි දී අඩි 2,000කට පහත බැස්වීම ගැටලුවක් නැහැ. නමුත් ඒ අවස්ථාවේ ඇත්තට ම ඔවුන් සිට ඇත්තේ කටුනායකින් නාවුක සැතපුම් 56ක් දුරින්. ඒ කියන්නේ මධ්‍යම කඳුකරයේ. සප්ත කන්‍යා කඳුවැටියේ උස ම කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 5,148ක් උසයි. ඉතින් සිදු වූ දෙය සිතා ගන්න පුළුවන්.

එයින් පෙනෙන්නේ, ගුවන් යානයේ දුර මැනීමට පැවති උපකරණ දෝෂ සහිතව පැවතුණු බව. මේ සඳහා ප්‍රධානව භාවිත කෙරුණේ, ඩොප්ලර් රේඩාර් පද්ධතියක්. මෙහි දුර පෙන්වා ඇත්තේ නාවුක සැතපුම් 46ක් අඩුවෙන්. මේ ගැන මුල් ගුවන් නියමුවා සහ කාර්ය මණ්ඩලය දැනගෙන සිටියත් නැතත්, අලුතින් යෙදවන ලද කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබුණේ නැහැ.

එම පද්ධතියේ දෝෂයක් තිබුණත්, ආසන්න වශයෙන් දුර ගැන අදහසක් ගැනීමට කාළගුණ රේඩාර් පද්ධතියෙන් පුළුවන්. නමුත් පසුව අනාවරණය වූ අන්දමට, එම පද්ධතියත් දෝෂ සහගත එකක් ව තිබුණා.

ඉතින් අන්තිමට, මේ ගුවන් යානා අනතුරට හේතුව, ඇන්ටන් ජෝන්ස් කියනවා වගේ... "කාර්මීකරණ දෝෂයක්!"

මෙය ඒ කාලය වන විට ලෝකයේ සිදු වී තිබුණු දෙවැනි විශාලත ම ගුවන් අනතුර. දැනට එය ලොව 37 වැනි බිහිසුණු ම අනතුර වන අතර, ලංකාවේ සිදු වූ දරුණුත ම ගුවන් යානා අනතුර යි.

මේ ගැන අපේ හිතවත් සවිදු සත්සර විජේවර්ධන මහතා කළ විඩියෝව පහතින් තිබෙණවා. 


මූලාශ්‍ර:

Report on the accident to Martinair DC-8 PH-MBH on 4th December 1974 at Theberton Estate, Maskeliya, Sri Lanka. - Ministry of Transport, Department of Civil Aviation. 16 June 1975.

සප්ත කන්‍යා ගුවන් අනතුර: හතළිස් පස් වසරක මතකය - BBC

Saturday, November 15, 2025

ශනිදා 10ට - විනතා සහ කද්‍රැ ගේ කතාව - னாගයන් සහ ගුරුළා 01

මීට කලින් වේතාල කතාවේ කමෙන්ට් කරපු රුසියානු ලී බෝණික්කා විනතා සහ කද්‍රැගේ ඔට්ටුව ගැන ලියන්න යෝජනා කළා. ඒ කතාව මහාභාරතයේ තිබුණු තැනින් (මේක තියෙන්නෙ අස්ථික පර්ව කියන කොටසෙ) හොයාගෙන, මගෙ ක්‍රමයට පරිවර්තනය කරලා පහතින් පළ කරනු ලැබේ. විශේෂ ස්තූතිය බුරතීනෝ ට...

ස්වර්ණමය යුගයේ දී දක්ෂ ප්‍රජාපතීන් හට දියණියන් දෙ‌ දෙනෙක් වූහ. මේ සොහොයුරියන් ‌දෙ දෙනා විස්මය දනවන සුන්දරත්වයෙන් යුක්ත වූවෝ ය. විනතා සහ කද්‍රැ නම් වූ ඔවුන් දෙ දෙනා ම කාශ්‍යප සෘෂි විසින් විවාහ කර ගන්නා ලදහ. තම භාර්යාවන් නිසා ඉමහත් සතුටට පත් වූ කාශ්‍යපයෝ, ඔවුන් එකිනෙකාට වරයක් බැගින් ප්‍රදානය කළෝ ය. එය  ඇසූ කාන්තාවෝ දෙ දෙනා ද මහත් සතුටට පත් වූහ. කද්‍රැ ප්‍රාර්ථනා කළේ පුතුන් ලෙස, සමාන ශ්‍රේෂ්ඨත්වයෙන් යුත් දහසක් සර්පයන් ලැබීමට ය. විනතා, ශක්තියෙන්, බලයෙන්, ශරීර ප්‍රමාණයෙන් සහ පරාක්‍රමයෙන් ඔවුන් දහස ඉක්මවා යන, පුතුන් දෙ දෙනෙකු ලැබීමට පැතුවා ය. කද්‍රැ වෙත ඔවුන්ගේ ස්වාමියා බහු පුත්‍ර වරය ප්‍රදානය කළ අතර, විනතාවට ද, "පැතුම ඉටු වේවා!"යි කීවේ ය. "බීජයන් (දරුවන්) ප්‍රවේසමෙන් දැරිය යුතු ය"යි කාශ්‍යප වරයන් ලැබීමෙන් ප්‍රීතියට පත් සිය භාර්යාවන්ට කියා, වන ගත විය.

කාලය ගත වී යද්දී, කද්‍රැ බිජු දහසක් බිහි කළ අතර, විනතා බිජු දෙකක් බිහි කළා ය. ඔවුන්ගේ පරිවාර ස්ත්‍රීන් එම බිජුවටයන් වෙන වෙන ම උණුසුම් කුටීර තුළ තැන්පත් කර තැබූ හ. අවුරුදු පන්සියයක් ගත වූ ගිය පසු කද්‍රැ බිහි කළ බිත්තර පුපුරා දරුවන් පිටතට ආහ. එහෙත් විනතා ගේ නිඹුලුන් බිහි වූයේ නැත. ඊර්ෂ්‍යා සහගත වූ විනතා එක් බිජුවටයක් බිඳ බැලුවා ය. එතුළ වූ දරුවා ගේ උඩුකය වර්ධනය වී තිබුණ ද, යට කොටස වැඩී තිබුණේ නැත. මෙයින්, බිජුව තුළ සිටි දරුවා කෝපයට පත් වී, සිය මවට ශාප කළේ ය. "නුඹ මෙම බිජුවටය නිසි කලට පෙර බිඳි හෙයින්, නුඹ වහලියක් වේවා! තවත් අවුරුදු පන්සියයක් යනතුරු, සම්පූර්ණයෙන් වැඩී නොමැති අනෙක් බිජුව විනාශ කිරීමට හෝ නොඉවසිල්ලෙන් බිඳීමට තැත් නොකළහොත්, එහි වැඩෙන කීර්තිමත් දරුවා නුඹ වහල්බවින් මුදවනවා ඇත! ඒ දරුවා ශක්තිමත් වීමට නම්, මේ සියලු කාලය තුළ නුඹ එම බිජුව ඉතා සැළකිල්ලෙන් රැක බලා ගත යුතු ය." මෙසේ ශාප කළ දරුවා අහසට නැංගේ ය. ඔහු සූර්යයාගේ රථාචාර්ය බවට පත් වූ අතර, උදෑසණ අහසේ දැක ගත හැකි අරුණ නම් වූයේ ඔහු ය.

අවුරුදු පන්සියයක් ගිය තැන අනෙක් බිජුව ද පුපුරා විවර වී නාගයන් බුදින්නා වූ ගුරුළා පිටතට ආයේ ය. ඔහු ආලෝකය දුටු මොහොතේ ම, සිය මව හැර ගියේ ය. සියලු පක්ෂීන්ට නායකයා වන හෙතෙම, සාගිනි දැනී, තමන්ට නියම කර ඇති ආහාරය සොයා පියාසර කළේ ය.

මේ කාලයේ එක් දිනක, සොහොයුරියන් දෙ දෙනා මනස්කාන්ත, දෙවියන් විසින් ද වන්දනය කෙරුණු, අශ්වයින් අතර අග්‍ර මාණික්‍යය වූ, අමෘතය පිණිස කලඹන ලද සමුද්‍රයෙන් මතු වූ උච්ඡායිඃශ්‍රවා නම් අශ්වයා දුටහ.

මහා සුන්දරත්වයෙන් සහ බල පරාක්‍රමයෙන් හෙබි උච්ඡායිඃශ්‍රවා ගැන කද්‍රැ, විනතාවගෙන් මෙසේ ඇසුවා ය: "කියන්න ප්‍රිය සොයුරිය, උච්ඡායිඃශ්‍රවා කුමන පැහැයකින් යුක්ත ද?" ඊට විනතා පිළිතුරු දුන්නී: "ඒ අශ්වයින්ගේ අග්‍ර කුමාර තෙමේ නිසැකව ම ශ්වේත වර්ණ වෙයි. නුඹ කුමක් සිතයි ද? උහු කුමන වර්ණ ද? ඒ ගැන පරදුවක් තබමු."  කද්‍රැ පිළිතුරු දෙමින්: "ප්‍රසන්න සිනාවෙන් යුක්ත තැනැත්තිය, මට සිතෙන්නේ මේ අසුගේ වලගය කළු පැහැ බවයි. සුන්දරිය, මා සමග ඔට්ටු තබන්න, පරදින්නී අනෙකාගේ වහලිය වේ වා!.

මෙසේ තම තමන් අතර, වහලියක මෙන් දාසකම් කිරීමට පරදු තබා සොහොයුරියෝ නිවස වෙත ගියේ, ඊ ළඟ දිනයේ දී අශ්වයා පරීක්ෂා කර බලා නිගමනයකට එළඹීමට තීරණය කර ගෙන ය. කද්‍රැ වඤ්චාවක් කිරීමට අදිටන් කර ගත්තී, ඇගේ පුත්‍රයින් දහසට, කාල වර්ණ කෙස් ගස් බවට පරිවර්තනය වී අශ්වයාගේ වලිගය වසා ගන්නට නියෝග කළා ය. එහෙත් ඇගේ පුත්‍රයින් වූ සර්පයන් ඇගේ අණ පිළිපැදීම ප්‍රතික්ෂෙප කළෙන්, ඈ ඔවුනට ශාප කළා ය. ඒ, "පාණ්ඩව පරපුරේ ප්‍රඥාවන්ත ජනමෙජය රජුගේ සර්ප යාගයේ දී තොප සියලු දෙන අග්නි ට බිලි වේවා!"යි යනුවෙනි. මෙම අතිශය ක්‍රෑර සහ ඉරණම විසින් පොළඹවන ලද ශාපය මහාත්මයන් හෙවත් බ්‍රහ්ම  වෙත ශ්‍රවණය විය. සර්පයන් ශීඝ්‍ර ලෙස බෝවී ඇති බව දුටු බ්‍රහ්මයෝ, තම මැවිල්ල ගැන කරුණාවෙන් යුක්ත ව, සියලු දෙවියන් සමඟ මෙකී ශාපය ගැන සාකච්ඡා කළෝ ය. ඇත්තෙන් ම, සර්පයෝ උග්‍ර විෂ සහිත ද, මහා පරාක්‍රමවත් ද, අතිශය ශක්තිමත් ද වූවෝ සේ ම, අනෙක් සත්ත්වයන් දෂ්ඨණය කිරීමෙහි ද යෙදුනෝ වෙති. සියලු සත්ත්වයන්ගේ වධකයෝ වූ උන්ගේ, මවු ඔවුන් කෙරෙහි පැවතුණු විධිය සියලු සත්ත්වයන්ගේ යහපතට හේතු වන්නේ ය. අනෙක් සතුන්ගේ මරණය අපේක්ෂා කරන්නවුන්ට, දෛවය හැම කල්හි ම මරණ දඬුවම පනවයි. එසේ තම මතය එකිනෙකා අතර හුවමාරු කරගත් දෙවියෝ කද්‍රැගේ ක්‍රියාව අනුමත කර නික්මුණෝ ය. එකල බ්‍රහ්ම තෙමේ කාශ්‍යපයන් තමන් වෙත කැඳවා මෙසේ කීවේ ය: "සියළු සතුරන් පිටුදැක සිටි ශුද්ධවූ තැනැත්ත, මේ උග්‍ර විෂ සහ විශාල සිරුරු ඇති, අනෙක් සතුන් දෂ්ඨ කිරීමෙහි අරමුණු ඇති, දැන් සිය මවු විසින් ශාප කරන ලද්දා වූ මේ සර්පයෝ තොප විසින් උපදවන ලද්දහු ය. පුත්‍රය, මේ ගැන ස්වල්පයකුදු කණගාටු නො වෙව. බිලි යාගයේ දී සර්පයෙන් වැනසීම දීර්ඝ කාලයකට පෙර ම නියම වූවකි." මෙසේ කියා විශ්වයේ නිර්මාතෘ වූ දිව්‍යමය ආත්මයෝ, කාශ්‍යපයන් සැනසූ අතර, විෂහරණය (සර්පයන් වැනසීම) පිළිබඳ දැනුම ඒ සිරිමතුන් සමග බෙදාගත්තෝ ය. 


ඉන්පසු, රාත්‍රිය පහව ගොස් උදෑසන හිරු නැග ආ විට, පරදු තැබූ දෙ සොහොයුරියෝ, විනතා සහ කද්‍රැ, උච්ඡායිඃශ්‍රවා නම් අශ්වයා ආසන්නයට ගොස් පිරික්සීමට නො ඉවසිල්ලෙන් ගියෝ ය. ඔවුන් යන මාර්ගයේ, සාගර නම් ජල නිධාන වූ, පුළුල් හා ගැඹුරැති, බොහෝ සේ රෞද්‍ර හඬ නගන, තල්මසෙකු වුවත් ගිලීමට තරම් විශාල මසුන් ගෙන් පිරුණු, මකරුන් සහ  තවත් බොහෝ ස්වරූප ඇති සත්ත්වයන් දහස් ගණනින් වෙසෙන, තවත් භයංකර රාක්ෂසයන් වැනි දරුණු ජලජ සතුන් හේතුවෙන් තරණය කිරිම උගහට, ඉදිබුවන් සහ කිඹුලන්ගෙන් සැදි, සෑම ආකාරයක ම රත්නයට ආකර වූ, වරුණ හෙවත් සමුද්‍ර දේවයාට නිවාස වූ, නාගයන්ගේ විශිෂ්ඨ හා දැකුම්කලු නිවහන වූ, සියලු ගංගාවන්ගේ හිමියා වූ, අන්තර්භෞම අග්නියේ විමාන වූ, අසුරයන්ගේ අභයස්ථාන වූ, සියලු සත්ත්වයන්ට බිය උපදවන, කිසිදා වෙනස් නො වන, මහා ජලස්කන්ධය වූයේ ය. එය ශුද්ධ ද, දෙවියන්ට කාම දායී ද, අමෘතයේ උත්පත්ති ස්ථානය ද, අසීමිත ද, අචින්ත්‍ය ද, පූජ්‍ය ද, අතිශය විස්මයාවහ ද වූයේ ය. එය අන්ධකාර ද, සමුද්‍ර ජීවීන්ගේ කෝලහාලයෙන් භයංකර ද, අතිශයින් ම රෞද්‍ර ශබ්දයෙන් පිරුණේ ද, ගැඹුරු දිය සුලියෙන් ගහන ද, විය. එය සියලු සතුන්ට ත්‍රාසය උපදවන්නකි. වෙරළ සිට හමන සුළඟින් මෙහෙයවී, රළ උස්ව නැඟුනු, වික්ෂෝභයට පත් වූ, කැළඹුණු, එහි දියවැල් නමැති අත් ඉහළට ඔසවමින් නටන්නාක් මෙන් විය. චන්ද්‍රයාගේ පුර පස හා අව පස හැරීම් මඟින් ඇති කළ, රළ පංති නැඟීමෙන් පිරුණු එය, වාසුදේවයන්ගේ පංචජන්‍ය නම් වූ මහා ශංඛය බිහි කළාහු ද, සියලු රත්නයන්ට නිධිය ද, වූයේ, මිනිය නොහැකි පරික්‍රමයෙන් යුත් ගෝවින්ද වල් ඌරු ස්වරූප ගෙන පෘථිවිය සමුදුරු පතුලෙන් ඉහළට ඔසවාලන විට මුලින් ම කැළඹුණේ විය...

(ඔය විදිහට පත හෑල්ලක් තියෙනව මේ ඡේදයෙ සහ ඊළඟ ඡේදයෙ..)

 නාගයෝ සමූහ සාකච්ඡාවකින් පසු අවසන් තීරණයකට එළඹුණෝ, සිය මාතාවගේ නියෝගය ඉටු කළ යුතු බවත්, එසේ නො කළ හොත්, ඇය තම මාතෘ ප්‍රේමය ඉවත ලා සියලු දෙනා ම දවනු ඇති බවත් සිතූ හ. අනෙක් අතට, ඇය කාරුණික වුවහොත් ඈ ඔවුන් ශාපයෙන් මුදවනු ඇත. ඔවුහු "අපි නිසැකව ම අශ්වයාගේ වලිගය කළු පැහැ ගන්වමු" යි කියා, එහි ගොස් අශ්වයාගේ වලිගයේ කෙඳි බවට හැරුණා හ.

දක්ෂගේ දියණියන් වූ විනතා සහ කද්‍රැ නම් සොහොයුරියන් දෙ දෙනා ආකාශය දිගේ අතිශය සොම්නසින් යුතුව සාගරයේ එහා කෙළවරට යන සේ ගමන් ගත්හ. එසේ යන අතර ඔවුහු සාගරය දුටහ. (එතන ඉඳං ආපහු අර උඩ වගේ පත හෑල්ලක් තියෙනව, සාගරය ගැන...)

විනතා සමඟ සමුද්‍රය තරණය කළ, ශීඝ්‍ර වේග ඇති කද්‍රැ, නොබෝ වේලාවකින් ම අශ්වයා සමීපයෙන් අහසින් බටහ. ඔවුහු දෙදෙනා ම, මහා වේග ඇති අශ්වයන් අතරින් ශ්‍රේෂ්ඨතමයා චන්ද්‍ර රශ්මිය සේ සුදුපැහැ ශරීරයක් ඇත්තේතෙක් වුව ද, (වලගයේ) කළු පැහැ රෝම ඇත්තෙක් වූ බව දුටුවෝය. වලගයේ බොහෝ කළු පැහැ ලෝම දුටු කද්‍රැ, දුර්මුඛ වූ විනතාව වහල් භාවයට පත් කළා ය. පරදුව පැරදුණු විනතාව ද, වහල් බවට පැමිණියේ, මහත් සේ ශෝක වූවා ය. මේ අතරවාරයේ සිය කාලය එළඹි විට, විශ්වයේ බලය පිළිබඳ වූ සියලු ම අංශවලින් හෙබි, සිතූ විට කැමති ස්වරූප ගත හැකි පක්ෂියා වූ, සිතූ ඇසිල්ලෙකින් කැමති ස්ථානයකට යා හැකි වූ,  අවැසි විට තම සහායට සෑම ආකාරයක ම ශක්තීන් කැඳවා ගත හැකි වූ, තෙදින් පිරුණු ගුරුළා සිය මව (ගේ උපකාර) නොමැතිව බිජුව පුපුරා බිහි වූයේ ය. ගිණි කඳක් මෙන් උද්දීප්ත ව ඔහු භයංකර ලෙස දිළිසුණේ ය. යුගාන්ත අග්නිය ට සම දීප්තියකින් හෙබි ඔහුගේ දෑස් අකුණු මෙන් දිප්තිමත් විය. ඉපදී නොබෝ වේලාවකින් ම ඒ පක්ෂියා වැඩී වර්ධනය වී, අහසට පැන නැංගේ ය. බිහිසුණු ද, ප්‍රචණ්ඩ ලෙස ගුගුරමින් ද, ඔහු දෙ වන සමුද්‍රාග්නියක් තරම් භයංකර ලෙස පෙනුණේ ය. ඔහු දුටු සෑම දෙවිවරයෙක් ම, විභවාසු (අග්නි) ගේ රැකවරණය පැතුවෝ ය. ඔවුහු ඒ බහුවිධ ස්වරූප ඇතිව සිය ආසනයේ වැඩ හුන් දේවයා වෙත නමස්කාර කරමින් මෙසේ කීහ. "අහෝ අග්නි, ඔබේ ශරීරය අප වෙත දිගු නොකරනු මැනව. ඔබ අප ගිල ගන්නට සැරසෙන්නෙහි ද? බලන්න, ඔබේ මේ දැවැන්ත ගිනි දලු පුළුල්ව පැතිරී යමින් ඇත." අග්නි පිළිතුරු දුන්නේ ය. "අසුර නාශකයනි, එය නුඹ සිතාගත් දෙය නොවේ. මේ මහා ශක්තිමත් වූ ද, විභූතියෙන් මා හට  සම වූ ද, මහා බලයක් පැවරුණාවූ ද, විනතාවගේ ප්‍රීතිය වර්ධනය කරන්නට උපන්නා වූ ද, ගරුඩයා වෙයි. ඔහුගේ කාන්ති ප්‍රවාහය දැකීමෙන් පමණක් ම නුඹ තුල මේ මුළාව ඇති විය. ඔහු කාශ්‍යපගේ බලැති පුත්‍රයා ය, නාගයන් වනසන්නා ය, දෙවියන්ගේ සුභ සිද්ධියට කැප වූයේ ය, දෛත්‍යයන්ගේ හා රාක්ෂසයන්ගේ සතුරා ය. දැං බුරා කියයි ද දන්නෑ දිති හා අදිති ගේ පළහිලව්වත් ලියන්ඩ කියලා... උහු ගැන අල්පයකට ද තෙපි බිය නොවවු. මා සමග අවුත් බලනු." මෙසේ ඈත සිටි දෙවියන් වෙත කීවේ ය.

------------------------------------------------

සමුද්‍රාග්නියක් = a bioluminescent glow produced by phosphorescent marine organisms. (https://www.collinsdictionary.com/dictionary/english/sea-fire#:~:text=a%20bioluminescent%20glow%20produced%20by%20phosphorescent%20marine%20organisms)

------------------------------------------------

දෙවියෝ මෙසේ කීහ. "ඔබ සෘෂිවරයෙකි. යාගවල දී විශාලම කොටස ඔබට පුදනු ලැබේ, ඔබ සදා උජ්වලිත වූයේ ය." සෘෂිවරයා සමග ගරුඩයා වෙත ගිය ඔවුහු, සජීවී සහ අජීවී විශ්වයෙහි මුල්තැන ගත් ඒ පක්ෂියාට පූජා කළහ. "තොප සියල්ල විනාශ කරන්නා ද වන්නාහු ය, සියල්ලේ මැවුම්කාරයා ද වන්නෙහි ය; තොප හිරණ්‍යගර්භයෝ ම වන්නාහු ය; තොප දක්ෂ සහ අනෙක් ප්‍රජාපතීන්ගේ වේශයෙන් පැමිණි ආදීතමයන්ගෙන් කෙනෙකි; තොප ඉන්ද්‍ර ය; තොප විෂ්ණුහුගේ පුනරාවතාරයට ගෙළ දුන් හයග්‍රිව නම් උතුම් අශ්වයාහු ය; තොප ඊශර ය. (ත්‍රිපුර ගිනි තැබීමේ දී මහදෙවියන් අත ඊ තළ බවට පත් වූ විෂ්ණු තෙමේ ම ය.) තොප විශ්වයේ හිමියාහු ය; තොප විෂ්ණු ගේ මුඛය ය; තොප මුහුණු සතරකින් යුත් පද්මජ ය; තොප බ්‍රාහ්මණයෙකි; තොප අග්නි ය, පවන ය; (මෙසේ විශ්වයේ ඇති සියලු ම වස්තූන්ට අධිපති දේවාත්මයන්ගේ නම් කියමින් පුද කරති.) තොප ශාස්ත්‍රය ය. තොප අප සියලු දෙනා ම මෝහණය කරන මායාව ය; සෑම තැන ම පැතිරි ආත්මය තොප ය; 

// මෙහෙ ම ගරුඩාව මුරුංග අත්තෙ තියලා කතා කරන දෙවියෝ සහ සෘෂිවරු, ඒ අතරෙ ම ගරුඩාගෙ තේජස සහ කාන්තිය නිසා උන්දැලට වෙලා තියෙන පීඩාව අඩු කරලා දෙන්ඩ කියලා ඉල්ලනවා. - ඒ හෑල්ල ලස්සන නිසා පහළින් දාලා තියෙනවා. කම්මැලි අය ඒක මගෑරලා යන්න...//

තොප දෙවියන්ගේ අධිපති ය; තොප මහා සත්‍යය ද වන්නාහු ය; තොප අභීත ය; තොප සදා නො වෙනස් ය; තොප උපලක්ෂණයන්ගෙන් තොර බ්‍රහ්ම ය; තොප සූර්යයා ගේ ශක්තිය ය; තොප බුද්ධිමත් කර්ත්‍රව්‍යයන් ය; තොප අපගේ මහා ආරක්ෂකයාහු ය; තොප ශුද්ධාත්මයේ සාගරය ය; තොප පවිත්‍ර ය; තොප අන්ධකාරයේ ලක්ෂණයන් තුරන් කරන්නෙහි ය; තොප සය මහා ලක්ෂණයන්ගෙන් හෙබියාහු ය; තොප හා තරග කර සම විය හැක්කෙක් නැත; සියල්ල උපන්නේ තොපගෙනි; තොප විශිෂ්ට කාර්යයන්ගෙන් යුක්ත ය; පැවති හා නොපැවති සියල්ල තොප ය; තොප පිරිසිදු දැනුම ය; තොප අපට දර්ශනය වන්නේ සජීවී හා අජීවී විශ්වය පුරා පැතිරි සූර්යයාගේ රශ්මිය සේ ය; සෑම මොහොතක ම තොප සූර්යයාගේ කාන්තිය අඳුරු කරවන්නෙහි ය; තොප සියල්ල විනාශ කරන්නා ය; තොප විනාශ වන හා විනාශ නො වන සියල්ල ය; අහෝ තොප අග්නි මෙන් කාන්තිමත් ය; සූර්යයා කුපිතව සියලු මැවීම දවන්නා මෙන් තොප ද දවන්නෙහි ය; භයංකරයාණනි, තොප ලෝකාවසානයෙහි සියල්ල වනසා දමන ගින්න මෙන් විරෝධය පාන්නෙහි ය; ආකාශචාරී ගරුඩය, අපි තොපගේ ආරක්ෂාව පතමු. පක්ෂීන්ගේ අධිපතිය, තොපගේ ශක්තිය අසාමාන්‍ය ය; තොපගේ කාන්තිය ගින්නට සමානය; තොපගේ දීප්තිය කිසි අන්ධකාරයකට ළං විය නොහැකි විදුලිය බඳු ය; තොප වළාකුළු කරා ළඟා වන්නාහු ය; එසේ ම හේතුව ද ඵලය ද තොප ම වන්නෙහි ය; ප්‍රසාද දායකයා ද, පරාක්‍රමයෙන් අපරාජිත ද වන්නෙහි ය; ස්වාමීනි, තොපගේ කාන්තියෙන් මුළු විශ්වය ම උණු වී ද, උණු කළ රනෙහි දිස්නය මෙන් ප්‍රභාමත් වී ද, ඇත්තේ ය. තොප විසින් අතික්‍රමණය කරන ලද්දා වූ ද, බියපත් කරන ලද්දාවූ ද, තම දිව්‍යමය වාහනයන්හි නැගී ඒ මේ අත දිවෙන, මේ මහාත්ම ඇති දෙවියන් ආරක්ෂා කළ මැනව. උත්තම පක්ෂියාණනි, සියල්ලේ ම අධිපතියාණනි, තොප කාශ්‍යප නම් මෛත්‍රි සහගත, මහෝත්තම සෘෂිවරයාගේ පුත්‍රයා ය. එහෙයින් කුපිත නොව, සක්වල කෙරෙහි සානුකම්ප්‍ය වෙ ව. තොප උත්තරීතර ය. අහෝ, තොපගේ කෝපය සංසිඳුවා, අප රැකගනු ව. හෙණ ගුගුරන්නාක් මෙන් මහ හඬ ඇති තොපගේ නාදය දශ දිගෙහි, අහසෙහි, ස්වර්ගයෙහි, පොළොවෙහි සහ අපගේ හදවත්හි පැතිරෙයි. පක්ෂියාණනි, තොප අතොරක් නො මැති ව කම්පිත ය. අහෝ, අග්නිය සම වූ තොපගේ ශරීරය හීන කර ගනු මැනව. කුපිත වූ යම ට සම වූ තොපගේ කාන්තියෙන් අපගේ හදවත් තුලින් ශාන්තබව සහ කම්පිත බව දුරු ව ගියේ ය. පක්ෂීන්ගේ අධිපතිය, තොපගේ අනුකම්පාව අයැද සිටින අප කෙරෙහි කාරුණික වෙ ව. අප වෙත වාසනාව සහ ප්‍රීතිය උදා කර දෙනු මැනව."

මෙසේ දෙවියන් සහ විවිධාකාර වූ සෘෂිවරුන් විසින් පුදනු ලැබූ පැහැපත් පියාපතින් සැදි පක්ෂියා තම බලය සහ කාන්තිය මඳක් අඩු කර ගත්තේ ය. තම ශරීරය ගැන ඇසීමෙන් සහ දැකීමෙන්, සුන්දර පියාපතින් හෙබි පක්ෂියා තම ශරීරය ද කුඩා කර ගත්තේ ය.

ඉන්පසු ගුරුළා මෙසේ කීය, "කිසිදු සත්ත්වයෙක් භය පත් නො වේවා! තොප මාගේ භයංකර ස්වරූප දැකීමෙන් භීත වූ හෙයින් මම මාගේ ශක්තිය හීන කර ගන්නෙමි." 

සිතූ සිතූ තැනට ඇසිල්ලකින් යාමට හැකි, තම උපකාරයට ඕනෑම ආකාරයක බලවේගයන් කැඳවීමෙහි සමත්, පක්ෂි තෙම, අරුණ සිය පිටෙහි හිඳුවාගෙන සිය පියාගේ නිවෙසින් පිටත් ව, මහා සාගරයෙන් ඔබ්බෙහි පිහිටි, තම මවගේ පාර්ශ්වයට ගියේ ය. සූර්යයා සිය සැඩ රැසින් ලෝකය දවන්නට තීරණය කළ වේලාවේ ම, ඔහු මහා කාන්තියෙන් යුත් අරුණ, නැඟෙනහිර පෙදෙසේ තැබී ය. 

ක්ෂීර සාගරය කළඹා ලබාගත් අමෘතය, දෙවියන් අතරට වී හිඳ රාහු විසින් පානය කරන ලද විට, සූර්ය සහ සෝම දෙවිවරුන් විසින් ඒ බව පෙන්වා දෙන ලදි. ඒ අවස්ථාවේ සිට ඔහු එම දෙවිවරුන් සමඟ ක්‍රොධය ඇති කර ගත්තේ ය. මෙයින්, රාහු තම හිංසකයා (සූර්ය) ගිළ දැමීමට ඉටා ගත්තෙන්, කුපිත වූ සූර්ය, "මා කෙරහි මේ රාහු ක්‍රොධ උපදවා ගත්තේ දෙවියන්ට යහපත කිරීමට මා තුළ වූ ආශාව හේතුවෙනි. මේ ඝෝර ප්‍රතිවිපාකය මා හුදෙකලාව දැරිය යුතු ය. ඒකාන්තයෙන් ම, මේ ගැන මා හට උපකාර නොලැබේ. සුරලොව වැසියන්ගේ දෑස් ඉදිරිපට ම මා ගිළ දැමෙන අතර, ඔවුහු නිහඬව ම එයට ඉඩ හරිති. එහෙයින් ලෝක විනාශයට මා කටයුතු කළ යුතු යැ" යි සිතී ය. මේ තීරණයත් සමග ඔහු අපර දිග පර්වතයට ගියේ ය. 

එම තැනෙහි සිට ඔහු ලෝකය විනාශ කරනු වස්, තම තාප තරංගයන් විහිදුවන්නට විය. මහා සෘෂිවරු සුරයන් කරා එළඹ, ඔවුනට කතා කරන්නට වූහ, "බලන්න, රෑ මැද සියලු හදවත් බියපත් කරමින් තුන් ‌ලෝකය ම වනසා දමමින් මහා තාපයක් හට ගෙන ඇත." සෘෂින් ද කැටිව සුරයෝ සිය පූර්වතමයා (බ්‍රහ්ම) වෙත ගොස් මෙසේ කීහ. "මේ සා කළබලයක් ඇති කළ මහත් තාපය කුමක් ද? සූර්ය තෙමේ තවමත් උදා වී නැත. එහෙත් (ලෝක) විනාශය නියත ය. ස්වාමීනි, හිරු උදා වූ විට කුමක් නම් සිදු වේ ද?" පූර්වතමයා පිළිතුර දුන්නේ ය: "ඇත්තෙන් ම සූර්යයා අද ලෝකය විනාශ කරමින් උදාවන්නට සූදානම් ය. ඔහු දෘෂ්‍යමාන වූ විගස ඔහු සියල්ල අළු කන්දක් වන සේ දවාලන්නේ ය. එහෙත් මා විසින් කල් තබා ප්‍රතිකර්මය සළසා ඇත්තේ ය. කාශ්‍යපයන්ගේ නුවණැති පුත්‍රයා සියල්ලන් විසින් අරුණ නමින් දන්නා ලද්දේ ය. ඔහු ශරීරයෙන් අති මහත් ද, මහා කාන්තියෙන් යුක්ත ද වේ. ඔහු සූර්යයා ට ඉදිරියෙන් සිටිමින් රථාචාර්ය රාජකාරිය ඉටු කරමින් හිරුගේ ශක්තිය වළකාලනු ඇත. මෙය ලෝකයන්ගේ ද, සෘෂිවරුන්ගේ ද, සුර ලොව වැසියන්ගේ ද, යහපත තහවුරු කරනු ඇත.

අරුණ පූර්වතමයාගේ ආඥාව අනුව ඔහුට අණ කරන ලද දේ මුළුමනින් ම ඉටු කෙළේ ය. සූර්යයා අරුණගෙන් මුවා ව, උදා වන්නට විය.

ඉක්බිති ඒ මහා බල සම්පන්න, සිතූ ක්ෂණයකින් සෑම තැනකට ම යා හැකි පක්ෂියා, මහා සමුද්‍රයේ අනෙක් කෙළවරේ දී සිය මව හා එක් විය. එහි විනතා විසූයේ, පරදුවෙන් පරාජයට පත් කොට, වහල් භාවයට පත් කිරීමෙන් පීඩිත ව ය. වරක් කද්‍රැ, තමන් ඉදිරියේ දුර්වලව බිම බෑවී හුන් විනතාව, ඇගේ පුත්‍රයා ඉදිරිපිට ම අමතා මෙසේ කීවා ය: "සියුමැලි විනතාව, සමුද්‍රය මධ්‍යයේ ඈත දුර කොණක, නාගයන් වාසය කරන, අහ්ලාදජනක සහ සුන්දර ප්‍රදේශයක් වෙයි. මා එහි උසුලාගෙන යනු." මෙයින්, ඒ පැහැපත් පියාපත් ඇති පක්ෂියාගේ මව, (සිය උරහිසින්) සර්පයන්ගේ මව උසුලාගත්තා ය. ගරුඬයා ද ඔහුගේ මවගේ මෙහෙයවීමෙන්, සර්පයන් සිය පිටෙහි තබාගෙන රැගෙන ගියේ ය. විනතා පුත්‍ර ආකාශ පාලක තෙමේ සූර්යයා දෙසට නැඟුනේ ය. ඔහු පිට හුන් සර්පයෝ සූර්ය රශ්මියෙන් තැවුුුණෝ, ක්ලාන්තවූ හ. සිය පුතුන් හට වූ ගැහැට දුටු කද්‍රැ තොමෝ ඉන්ද්‍ර වෙත යාඥා කළා; "සියලු සුරයන්ට අධිපතිය, තොපට නමස්කාර කරමි! වෘත්‍ර නාශකය, තොපට නමස්කාර කරමි, නමුචි නාශක වූ තොපට නමස්කාර කරමි, සහසැසිය, සචියගේ සහකරුව, තොපගේ වර්ෂාව වගුරා, සූර්ය තාපයට හසු වූ සර්පයන්ගේ ආරක්ෂකයා වුව මැනව. සියලු දිව්‍යාත්මයන් අතරින් යහපත් ම තැනැත්තවු වූ පුරන්දරය, ජලස්කන්ධයන් සේ වර්ෂණයට තොප සමත් ය. වායුව ද, වළාව ද, අග්නිය ද, ආකාශයේ විදුලිය ද, තොපය. වළාවන් බමවන්නෙන්, යුගන්ධර මහා වළාව නම් ලද්දේ තොප ය. බිහිසුණු, අසම සම අකුණ ද, මේඝ ගිගුරුම ද තොප ය. ලෝකය නිමැවූවේ ද, එය විනාශ කරන්නේ ද තොපය. තොප යටත් කළ නොහැක්කේ ය. සියලු සතුන්ගේ ද, ආදිත්‍යගේ ද, විභවාසුගේ ද, අපූර්ව මූලද්‍රව්‍යයන්ගේ ද, ආලෝකය තොප ය. සියලු සුරයන්ගේ පාලකයා තොප ය. තොප විෂ්ණු ය. තොපට දහසක් නෙත් ඇත. සුරයෙකු වූ තොප පරම අපේක්ෂාව ය. තොප අහෝ දෙවියනි, සකල අමෘතය ද, උතුම් සෝමය ද වන්නහු ය. තොප තත්පරය ද, චන්ද්‍ර දිනය ද, බලය (මිනිත්තුව) ද, ක්ෂණය (මිනිත්තු 4) ද, වන්නෙහි ය. තොප පුර පක්ෂය ද, අව පක්ෂය ද වන්නෙහි ය. තොප කලාව ද, කෂ්තය ද, (විෂ්ණු පුරාණය අනුව: ඇසිපිය 16 (10) = කෂ්ත 1, කෂ්ත 30 (35) = කලා 1, කලා 30 (20) = මුහුර්ත 1) තෘතිය ද, වර්ෂය ද, සෘතුව ද, මාසය ද, රැය ද, දහවල ද වන්නෙහි. තොප සෞම්‍ය පෘථිවිය ය - එහි ඇති කඳුවැටි හා වනාන්තර ද සමඟ, තොප අන්තරීක්ෂය ය - සූර්යයාගෙන් උජ්වලිත, තොප නඟින බසින මහ රැළි ඇති, තල්මසුන්ගෙන්, තල්මසුන් බුදින්නන්ගෙන්, මකරුන් හා අනේක විඳ මත්ස්‍ය ගණයෙන් පිරුණු මහ සාගරය ය. තොප, ධ්‍යානයෙන් නිග්මිත සිත් ඇති සෘෂිවරුන්ගේ සහ ප්‍රඥාවන්තයන්ගේ වන්දනයට පත් මහා කීර්තිය ය. තොප සියලු සත්ත්වයන්ගේ යහපත උදෙසා පූජා කරන ලද සෝම පානය ද, ශුද්ධවූ යාතිකාවන් සමඟ පුදන පිරිසිදු වෙඬරු ද, බුදින්නෙහි ය. ඵලය අපේක්ෂාවෙන් බ්‍රාහ්මණයෝ තොප පූජා කරමින් වන්දනා කෙරෙති. තොප අසම සම බලයෙන් යුක්තය හ, තොප වේදයෙහි සහ වේදාන්තයෙහි ගැයුම ය. ශික්ෂිත බ්‍රාහ්මණයන් ප්‍රවේසමින් වේදය උගනිමින්, තොප වෙත පූජා කරමින් නමස්කාර කරන්නේ එහෙයිනි. 

------------------------------

මේ පරිවර්තනය මේ තරමක් හරි කරගන්න මෙච්චර කාලයක් ගියේ ඇයි කියා ඔබට හිතා ගන්න හැකි වෙනු ඇත. දිගට ම මේ විදිහට ගියොත්, තව කොටස් දෙකකින් විතර කතාව කියා ඉවර කරන්ඩ පුළුවං වනු ඇති. නමුත් එහෙම නැතුව මේකේ සාරාංශය දානවට කවු ද කැමති? ඔබේ අදහස කියන්න...

Monday, November 10, 2025

ශනිදා දහයට චුට්ටක් පසුවී... තවත් හෙදියක් අතුරුදන් වෙයි

මෙන්න සුවහසක් පාඨක දෙතුන් දෙනාගේ ඉල්ලීම පරිදි සුනන්ද කෝදාගොඩගේ විනෝද රසාංග පොතේ තවත් එක් කොටසක්...

*    *    *

හෙදියන් තුන්සිය ගණනක් හිටි හැටියේ අතුරුදහන් වීම පිළිබඳ පුවත දැනගන්නට ලැබුණු මොහොතේ මගේ පපුවේ ඇවිලුණු ගින්දර මූදගොඩ ගැලුවත් නිවා දැමිය නොහැකි තරම් විය.

ඉතා ඉක්මණින් මේ පිළිබඳව සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා නර දූපතේ සමස්ථ රෝගීන්ගේ සංගමය ගිය ඉරිදා එවන ලද විදුලි පුවත මට ලැබුනේ අද අලුයම කුකුළා හඬලන්නටත් පෙරදීය.

මේ සිද්ධිය ගැන සොයා බැලීමට පත් කරන ලද ඒක පුද්ගල කොමිටියේ සර්ව බලධාරී එකම පුද්ගලයා වශයෙන් හෙදියන් කෙරෙහි කරුණාවෙන් උපන් හදවතක් ඇති මාවම පත් කරගනු ලැබුවේ සදාකාලික රෝගියෙකු වූ රෝහල බදා ගත් හැලිවලංගොඩ මහතාය.

මහ පාරේ තිබී අහුලාගත් පනාවකින් රෝහල් හෙදි විදුහල් පීරමින් හෙදියන් විශාල පිරිසක් මෙම පරීක්ෂණය සඳහා තෝරා ගැනීමට මට හැකි විය.

හෙදියෝ සියලු දෙනාම මා වටකර සිට ගත්හ. හංසයන් මැද්දට වන් උරුලෑවෙක් මෙන් මා වෙව්ලන්නට විය. එකෙණෙහිම හෙදියන් දෙදෙනෙක් පැමිණ මගේ අත් දෙකින් අල්ලා ගත්හ. 

'මොකටද තමුසෙ මෙහාට මකබෑවුනේ,...?'

'මං ආවේ ඔයාල ගැන පරීක්ෂණයක් කරන්න.'

'ඇයි තමුසෙට පරීක්ෂණ කරන්න වෙන දේවල් නැද්ද?'

'නෑ... නෑ... අර හෙදියන් තුන්සිය ගානක් අතරුදහන් වෙලා කියල පත්තරේ පළවුනාට පස්සේ අපේ සංගමයෙන් මාව පත්කළා ඒ ගැන පරීක්ෂා කරන්න.'

එය සිහි කළ විටම හෙදියන් කීප දෙනෙක්ම අඬන්නට පටන් ගත්හ.

එක් හෙදියක් දෑතට ගෙන සිප සැනසූ පසු අනෙක් සියලු දෙනාම සන්සුන් වූහ.

'මේ අතුරුදහන් වුන හෙදියන් රට ගිහිල්ල කියලනෙ පත්තරේ තිබුනේ'

'ඒක අමූලික බොරුවක්'

'වෙන්න බෑ... පත්තර වල බොරු දාන්නේ නැහැනේ'

'ඒක ඇත්තද බොරුද කියලා තමුසෙට වඩා හොඳට අපි දන්නවා.'

එක් හෙදියක් ඉන්ජෙක්සන් කටුවක් ද රැගෙන මා ඉදිරියට පැන්නාය. ක්ෂණයකින් ඇය වෙත හෙලන ලද ප්‍රේමාන්විත බැල්මකින් ඇය වසඟ කරගත් මම මේ පිළිබඳව තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි.

'හොඳයි මේ අතරුදහන් වීමට හේතුව මොකක්ද කියල කියන්න පුළුවන්ද?'

'පුළුවන්... පුළුවන්... පුළුවන්...' හෙදියන් සියලු දෙනාම එක හඬින් කෑගසන්නට වූහ.

'ඉතින් කියන්නකො අනේ... මට යන්න පරක්කු වෙනව.'

'කිව්වොත් මට මොනවද දෙන්නේ...' මෙතෙක් වෙලා මගේ ඇකයෙහි උන් හෙදිය මගේ නිකටෙන් අල්ලා සොලවමින් ඇසුවාය.

'ඔයා ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම්.' දෙන්න තරම් දෙයක් මා ළඟ නැති නිසා මම නිර්භයවම කීවෙමි.

"අපිට අවුරුදු පහක් යනකම් බඳින්න තහනම්." මගේ ඇකයෙහි සිටි හෙදිය කඳුළු සලන්නට වූවාය.

'නෑ...! මම විමතිය පළ කළෙමි.'

'ඔව් අනේ'

"බරපතල අසාධාරණයක් නේ. මේ නීතිය නැතිකරන්න ඕනෑ... මං ඒක නැති කරනවා කරනවාමයි."

ප්‍රීතිය දරාගත නොහැකිව එක් හෙදියක් මගේ කරට පැන ගත්තාය.

'මට පත්වීම ලැබෙන කොට අවුරුදු තිස් පහයි. තව අවුරුදු පහක් යනකොට මං නාකි වෙනවා. ඔයාට බැරිද අනේ මේ දුකින් මාව බොර ගන්න.'

'ඔයා විතරක් නෙවෙයි. මං ඔයාලා ඔක්කොම මේ කරදරෙන් නිදහස් කරනවා.'

හෙදියන් සියලු දෙනාම මා බිම පෙරළා ගෙන ජය ඝෝෂා කරන්නට පටන් ගත්හ.

'ඉතින් ඔයාලගෙන් තුන්සිය ගාණක් නැති වෙන්න හේතුව ඕකද?'

'ඔව් අනේ, ලෙ‌ඩෙක් සනීප වෙලා යනකොට අපේ එක්කෙනක් එක්ක යනවා.'

'ඒකත් නැති කරන්න ඕනෑ.' මම කීවෙමි.

'එපා අනේ.' කරුණාවෙන් උතුරන සිතක් ඇත්තියක් මට ටොක්කක් ඇන්නාය.

'හොඳයි කසාද බැඳපු නැති පිරිමි රෝහල් වල නතර කිරීම තහනම් කෙරුවාම ඔයාලගෙන් කවුරුවත් අතුරුදහන් වෙන්නේ නැහැනේ.'

'තෝ හදන්නේ අපේ කටේ පස් දාන්නද යකෝ.' හෙදියන් සියලු දෙනාම මා වට කරගෙන තඩි බාන්නට පටන් ගත්හ. මම පණ බේරාගෙන දිව්වෙමි. ආපසු හැරී බැලුවේ එක හුස්මට කිලෝ මීටර් පහක් දුවගෙන ඇවිත්ය.

'දෙවියන්ට ස්තූති වේවා.' හෙදියන් එක්කෙනෙක්වත් පෙනෙන්නට නැත. මට පියවි සිහිය ආවේ දැන්ය.

'ඔයාට මහන්සිද ඩාලිං...?'

'දෙයියෝ සාක්කි.' මා මෙපමණ දුරක් දුවගෙන ඇවිත් තියෙන්නේ මගේ කර උඩ සිටි හෙදියත් සමගය. ඉතා අමාරුවෙන් ඈ බිමට බස්සවා ගත් මම කරගත් ගොන්කම ගැන ළතැවෙමින් ඈ සමග ගෙදර ආවෙමි. අත් වැරැද්දකින් සිදු වූවත් තවත් හෙදියක් අතුරුදහන් වීමේ පුවත හෙට පත්තර වල පළවනු ඇත. එනිසා මා කෙරෙහි අනුකම්පාවෙන් හෙට පත්තර ගැනීමෙන් වලකින මෙන් මෙය කියවන සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිමි.



මීට පෙර පළ කළ කොටස්...

1. පවුල්කාරයන්ගේ අවුරුදු උත්සවය

2. බඩු පෙට්ටියක කොළඹට ගමනක්

3. කොස් මස් යානය ආච්චිගෙ කොන්දට

4. කරලැයින් ආච්චි සමග බැල්කනියේ

5. පොහොය දා ආච්චි සමග සිල් ගනී.

Wednesday, November 5, 2025

පසළොස්වක පොහොයදා ආච්චි සමඟ සිල් ගනී

කරලැයින් ආච්චි සමග චිත්‍රපටියක් බැලීමට ගිය කතාවේ මුලින් සඳහන් කර ඇති සිල් ගැනීමේ කතාව, සුනන්ද කෝදාගොඩ ගේ විනෝද රසාංග පොතෙන් උපුටාගෙන පසළොස්වක පොහොය දින පළ කිරීම සුදුසු බව සිතුවෙමි...

"නැගිටපන්"

පසළොස්වක පොහෝදා හිමිදිරි පාන්දර කොඳු නාරටිය තුනට හතරට නමාගෙන කුම්භකර්ණ සෙයියාවෙන් නිද්‍රෝපගතව සිටි මට ආත්තම්මාගෙන් හැරමිටි පාරක් වැදුණි.

"මට බැහැ"

අනපේක්ෂිත අයුරින් ලද ඒ හැරමිටි පහරින් මුචලින්ද නාගරාජයා මෙන් කිපුණු මම අනෙක් ඇලයට හැරී නැවතත් නින්දට වැටුනෙමි.

"නැගිටපන් යකෝ... උඹ සිල් ගන්න යන්නේ නැද්ද...?"

හතර පෝයටම සිල් ගන්නා අපේ ආච්චි මාවද සිල් ගැනීමට එකතු කරගෙන යාමට නොගත් උත්සාහයක් නැත. එහෙත් මම ඒ හැම වාරයකම කට්ටි පැන ඇගෙන් බේරුනේ ගැහැණු ළමයෙකුගේ ග්‍රහණයෙන් බේරෙන තරුණ කොලු ගැටයෙකු මෙන්ය.

මෙදා සැරේ නම් ඇගෙන් ගැලවීමක් නැත. ඊයේ උදේ සිට මට කිසිම ආහාරයක් නොදී නිරාහාරව තැබූ ඇය මා මීමින්නෙකු සේ පොළොව බදාගෙන ඇඬූ පසු රාත්‍රී කෑම වේල පවා දුන්නේ මෙම පෝයදා සිල් ගැනීමට යන බවට මා පොරොන්දු කර ගැනීමෙන් පසුවය. සිල් ගැනීමට වඩා දැන් මට ඕනෑ කරන්නේ නිදා ගැනීමයි.

"මට බැහැ සිල් ගන්න යන්න..."

"නිදි කුම්භයා...! මෝඩයා...! බූරුවා... වසවර්තියා...!"

"මතක නැද්ද ඊයේ රෑ කිව්වා අද උදේ සිල් ගන්න එනව කියල" ආච්චි කනෙන් අල්ලා මා පැදුරෙන් නැගිට්ටෙව්වාය.

"ඒ වුනාට දැන් මට බැහැ..." මම උට්ඨාන වීර්යයෙන් යුක්තව නැවතත් පැදුරේ ඇලවුනෙමි. 

උපන්දා සිට අද වනතුරු මා සිල් අරගෙන නැත. නොදන්නා දෙමළෙට ගොස් වරිගේ නහගන්නවාට වඩා දන්නා සිංහලෙන් නිදා ගැනීම යහපත්ය. ගමරාළ හා හා පුරා කියා සිල් ගැනීමට ගොස් සිදුවූ අකරතැබ්බය මා ඉස්කෝලේ යන කාලයේ අසා ඇත.

ආච්චි හදන්නේ ගහ දන්නා මට කොළ කඩා පෑමටය. ඇය කොතෙක් හිරිහැර කළත් අද නම් මම සිල් ගන්නට යන්නේම නැත.

"නැගිටපන් කාළකණ්ණියා... දැන් මට පරක්කු වෙනවා. බලපන් අද කොච්චර හොඳ දවසක්ද...?"

අද පසළොස්වක පෝය. බෞද්ධයෙකුට තියෙන වැදගත්ම දවස..." ආච්චි මා සම්‍යක්දෘෂ්ටිකයෙකු කිරීමට උත්සාහ කරයි.

"මට බැහැ...! මට බැහැ...! මට බැහැ...!" දෝමනස්ස සහගත පටිඝසම්පයුක්ත චිත්තයෙන් නැගිටගත් මම පොළොවේ අඩි හප්පා කෑ ගැසුවෙමි. වසවර්ති මාරයා දුටු කලෙක මෙන් ආච්චී කිලෝ ග්‍රෑමයක් පස්සට පැන්නාය.

"හෙමින් කතා කරපන් ළමයෝ..." සෝමනස්ස සහගත ඥානසම්පයුක්ත චිත්තයෙන් ආච්චි මගේ ඔලුව අත ගෑවාය.

"බලපන් අර අල්ලපු ගෙදර සීලවතී ළමයත් අද සිල් ගන්නව. ගමේ ගැහැණු ළමයි ඔක්කොම අද පන්සලේ" අහෝ දෙවියනි; උතුම් වූ පසළොස්වක පොහොය දවසේ සිදුවන්නට යන දුර්භාගයයක මහත! ගමේ ගැහැණු ළමයින් සියලු දෙනාම අද පන්සල ආක්‍රමණය කරන්නේ නම් මා මෙසේ වකුටු වී නිදා ගැනීමෙන් කුමණ ප්‍රයෝජනයක්ද? අල්ලපු ගෙදර සීලවතී නංගී අද සිල් ගන්නේ නම්, අපායට ගියත් මමත් සිල් ගත යුතුය.

"යං ආච්චි යං..." ඇස් දෙක පිහදා කබ කඩාගත් මම සිල් රෙදි පොරවාගෙන සම්මා සංකල්පයෙන් යුක්තව ආච්චි සමග ඉස්සර වුනෙමි.

සීලවතී නංගිට පින්සිදු වන්නට මමද පන්සලට පැමිණියෙමි. අද පන්සලට නොපැමිණියේ නම් මා ජීවිතයේ කර ගන්නා ලද ලොකුම ගොන්කම එය වන්නට ඉඩ තිබුණි. තුන්සිය හැටපස් දවසේම බොරු කියා මා රවටන ආච්චි අද මෙම පොහොය දවසේ කියා ඇත්තේ පරම සත්‍යයකි. ගමේ ගැහැණු ළමයින් පන්සල ආක්‍රමණය කර ඇත.

පොලිස් කාරයෙක් හොර අරක්කු තිප්පලක් සොයාගන්නාක් මෙන් මම සෙනඟ පීරා ගෙන ගොස් සීලවතී නංගී සොයා ගත්තෙමි. ආච්චිද හැරමිටි වාරුවෙන් එන මාර දිව්‍ය පුත්‍රයෙකු මෙන් මා පසුපස පැමිණියාය.

"අපි මල් ගෙනාවෙ නැහැ නේද ආච්චියේ..." සීලවතී නංගී අත තිබුණු මල් වට්ටියට පෙරේත බැල්මක් හෙලූ මම තව ටිකක් ඈට ළංවුනෙමි.

"ඇත්තමයි; මල් ටිකක් ගේන්න අමතක උනානේ..." දැන් මාගේ සම්මා ආජීවය කෙරෙහි ආච්චි පැහැදීමකින් සිටී.

"මල් ටිකක් දෙන්නද...?" සංගීත ප්‍රසංගයකදී ඇහෙන ඉමිහිරි සංගීත රාවයක් බඳු සීලවතී නංගිගේ කටහඬ කන් දෙක පසා කරගෙන ගොස් හද පතුලටම කිඳා බැස්සේය. පාද යුග්මය 'සට - සට' යන අනුකරණයෙන් වෙව්ලා ගිය නමුදු මම උට්ඨාන වීර්යයෙන් යුක්තව අනිමිසලෝචන පූජාවෙහි යෙදුනෙමි.

"මල් නැතුවට කමක් නැහැ. යමං සිල් ගන්න..." ආච්චි මට හැරමිටියෙන් ඇන්නාය.

"කමක් නැහැ ආච්චි අම්මේ; මල් ටිකක් අරගෙන යමු. පව්නේ පසළොස්වක පෝය දවසේ මල් නැතිව බුදුන් වඳින එක" හැරමිටි පාරද කාගෙන මම ඇයට අත පෑවෙමි. ඇය මල් අහුරක් මා අතේ තැබුවාය. මම මල් ටිකක් ගන්නා ගමන් ඇගේ ඇඟිල්ලක් ද මිරිකුවෙමි. ආච්චි තරහෙන් පුපුරමින් නවගුණවැල අතට ගත්තාය.

"පරක්කු වෙලා නේද ආවේ...?" ඒබරන් සීයා ආච්චිගේ කනට කර ඇසුවේය.

"ඔව් ටිකක් පරක්කු වුණා" ආච්චි නවගුණවැලේ ඇටයක් පහතට දැම්මාය. "ඊයේ රෑ ගබං ලොක්කගේ දුව පැනල ගිහින්ලුනේ...?"

"ඒක නේන්නම්. අබුද්දස්සකාලෙට වෙන වැඩ. අර වසවර්තිය ඒ කෙලීව රවට්ට ගන්න ඇති. නොදකින් වනචර හැත්ත."

"ඒ හාදය බැඳපු එකෙක් නේද?"

"බැඳල ළමයි දෙන්නෙකුත් ඉන්නවලු."

"අනේ අනිච්චං සංසාරේ" ආච්චිත් සීයත් මෙලොව සිහියක් නොමැතිව සතර සතිපට්ඨානය කියවන අතරේ මම සීලවතී නංගී සමග බුදුන් වැඳ සම්‍යක් වචනයෙහි යෙදුනෙමි.

"ඔයා හැමදාම සිල් ගන්නවද...?" මම ඇයට ළං වී ඇසුවෙමි.

"නෑ පෝයට විතරයි... ඔයා?"

"මම ඉස්සෙල්ලාම අද තමයි සිල් ගන්න ආවේ."

"මීට පස්සේ හැමදාම සිල් ගන්න එනවද...?"

"ඔයා එනවනම් එන්නම්..."

සතිපට්ඨානය කියවීම මඳකට නැවැත්තූ කරලැයින් ආච්චි අප අතරින් හැරමිටිය තිව්වේ සිල් කවලන් වෙන නිසා වෙන්නට ඇත. එහෙත් ඒ හැරමිටියට තබා වසවර්ති මාරයාටවත් අද අපගේ සීලයට බාධා කළ නොහැක.

"අල පන්සීයක් කීයද... රුපියල් හතයි.

"රතුලූණු තිහයි."

"නොදකින් කාලකන්නි කලුකඩකාරයො තමයි රට කන්නේ... මුන්ට හෙණවත් පහත් වෙන්නේ නැහැනේ"

ආච්චි අම්මලා ටික එකතුවී ගජරාමෙට කර්මස්ථාන කියවති. සීලවතීත්, මමත්, ඊට වඩා වැදගත් නවීන පන්නයේ ආදර භාවනාවක යෙදුනෙමු.

"යමං ගෙදර..."

භාවනාව අවසන් කළ ආත්තම්මා මට හැරමිටි පාරක් ගැසුවාය. සීලවතීගේ අත අතහැර මම නවගුණවැල අතට ගත්තෙමි.

"මට බෑ... මං හෙටත් සිල් ගන්නවා..."

"ඔහොමද යකෝ සිල් ගන්නේ...?" ආච්චි සීලවතී දෙස රවා බැලුවාය.

"කෙළෙස් මාරයෝ හැම තැනම. කොල්ලෙකුට පන්සලටවත් එන්න විධියක් නෑ...

යමං ගෙදර...!" ආච්චි මගේ අතින් ඇද්දය.

මම නාහෙන් අඬන්නට පටන් ගත්තෙමි.

"ඔන්න ඔහේ හිටපුවාවේ. සිල් ගත්තත් කොල්ලො කෙල්ලොනේ... අපිත් තව ටිකක් වෙලා භාවනා කරමු..." ඒබරං සීයා ආච්චිගේ අතින් අල්ලාගෙන ධර්ම ශාලාවේ කෙළවරට ගියේය. 

අපි ආච්චිටත් හොරෙන් බෝමලුවට ගොස් අලුත් භාවනාවක් පටන් ගත්තෙමු.

"අට්ඨි... මස්මිං... කායේ... කේසා..." කරලැයින් ආච්චිත්, ඒබරං සීයත් භාවනා කරන හඩ අපට ඇසේ.

"ඔයා මට ආදරේද...?" සීලවතීගේ කරේ තිබුණු නවගුණවැල ගලවා මම ඒ වෙනුවට මගේ අත ඇගේ කරවටා දැමුවෙමි.

"ඔව්..." සීලවතී නවගුණවැල වෙනුවට මගේ අතේ ඇඟිලි, ඇටපුරුක් ගැන්නාය.

"ඇයි ඔයා සිල් ගන්න ආවේ...?"

"ඔයා එන බව දැනගත්තු හින්දා..."

"කොහොමද දන්නේ මම එන බව...?"

"ආච්චි කීවා මාත් එක්ක. ඔයත් අද සිල් ගන්නව කියලා..."

"හෙටත් එනවද සිල් ගන්න..."

"හෙට පෝයක් නැහැනේ...?"

"පෝයක් නැතිවුනාට කමක් නැහැ අපි සිල් ගමු..."

"අපෝ එතකොට හොඳ නැහැ. අනිත් අය සැක හිතයිනේ. අපි දෙන්න විතරක් සිල් අරගෙන ඉන්නකොට."

"ඇයි ඔයා බයද?"

"ම්... හු..." ඇය ඔලුව වැනුවාය.

"කෝ... කෝ... මේ වසවර්තියා..." ආච්චිත්, ඒබරං සීයාත් භාවනාව අවසන් කොට අප සොයන්නට පටන් ගෙන ඇත.

"රහත් වුනාද දන්නෙ නැහැ. නවගුණවැලත් අතේ තියාගෙන නේද හිටියේ"

ඒබරං සීයා පුදුමයෙන් වටපිට බලයි.

"රහත් වෙලා තියෙන්නෙ අරකිත් එක්ක..." ආච්චි දත්මිටි කමින් පිළිකුල් භාවනාවේ යෙදෙයි.

"අර ඉන්නේ... අර ඉන්නේ..." ඒබරං සීයා අප දුටුවේය.

"වසවර්තියා...! කාලකණ්ණියා...! දේවදත්තයා, හිටු තොට මං..."

ආච්චි හැරමිටියද උස්සාගෙන දුවගෙන එන්නේ මෛත්‍රී භාවනාවද කණපිට පෙරලාගෙනය.

එනපොට එතරම් හොඳ නැත. සීලවතී‌ගේ අත අල්ලාගත් මම උට්ඨාන වීර්යයෙන් හා සතර සම්‍යක් ප්‍රධාන චිත්තයෙන් දුවන්නට පටන් ගත්තෙමි. ආච්චිත් ඒබරං සීයාත් අප ලුහුබඳිමින් සිටී.

"මට නම් දැන් ගෙදර යන්න බෑ. ගෙදර ගියොත් ආච්චි මාව මරාවි..."

මම හති ලමින් නැවතුනෙමි.

"එහෙනං යං අපේ ගෙදර..." සීලවතී නංගී මගේ අතින් ඇදගෙන නැවතත් දුවන්නට පටන් ගත්තාතා. මම සීලවතී සමග ඇගේ ගෙදරට රිංගා ගත්තෙමි. ඉතින් නම් මට ගෙදර යාමට ලැබෙන්නේ නැත. කවදා හෝ මා ගෙදර එන බව දන්නා කරලැයිං ආච්චි හැරමිටිය ද උස්සාගෙන මඟ බලා සිටිනු ඇත. හැරමිටි පූජාවේ බරපතලකම දන්නා මම සීලවතීගේ ගෙදරම නැවතුනෙමි.

පසළොස්වක පොහොය දවසේ සිල් ගැනීමෙන් මා කර ගන්නා ලද කුසල කර්මයේ විපාක දිට්ඨධම්මවේදනීය වශයෙන් ලැබෙ අපරාපරිය වේදනීය ත්ත්ත්වයටද පැමිණ ඇත. ආච්චි තියා මහා බ්‍රහ්මයා ඇවිත් කතා කළත්, ඉතින් නම් මා සිල් ගන්නට යන්නේ නැත.

Saturday, September 20, 2025

කරලැයින් ආච්චි සමග බැල්කනියේ

පසුගිය පුර පසලොස්වක් පොහොය දිනයේ මා සිල් ගැනීමට කැන්දාගෙන යාමෙන් කරලැයින් ආච්චි විසින් කරන ලද ශ්‍රේෂ්ඨ කර්තව්‍යයට ප්‍රත්‍යුපකාර වශයෙන් යමක් කරන්නට මගේ සිත මට බල කරයි. එවිට එදා සිදුවූ සියලු ආනන්තරීය කර්මයන් අමතක කර දමා ඇය මට අභය දානය දෙනු නො අනුමානය.

'ආච්චියේ...' එක් රැයක් ගෙදර පැමිණීමට අමතක වූ විට නැන්දම්මා කෙනෙකු ඉදිරියේ බැගෑපත් වන සුවච කීකරු බෑනා කෙනෙකු මෙන් මම තුනට හතරට නැමී ආච්චි ලඟට පැමිණියෙමි.

'තුඃ නොදකිං කාලකණ්ණිය...' ඊශ්‍රායෙල් යුද භටයෙකු මෙන් කිපුණු ආච්චි හැරමිටිය අතට ගත්තාය. බෲස්ලි මෙන් අට ඉස්බක් උඩට පැන කරණමක් ගැසූ මම හැරමිටියද උදුරා ගෙන එකත් පසෙකට වීමි.

'මෙහෙ දියං මගේ හැරමිටිය...'

'පොඩ්ඩක් ඉවසන්නකො ආච්චියෙ... ආච්චි මෛත්‍රී භාවනාව කරනවා නේද...?'

'නොදකිං කැස්වටුව... තෝ එනවද බොල ඒ පාර මට මෛත්‍රී භාවනාව උගන්නන්න...'

'නෑ ආච්චියෙ මං ආවේ කළගුණ සලකන්න...'

'කළගුණ සලකන්න...'

'ඔව්... ආච්චි මාව සිල්ගන්න එක්ක ගියානෙ... ඒ හින්ද මං ආච්චිව එක්කං යනව අංගුලිමාල පෙන්නන්න...'

'අංගුලිමාල... කොහේද බොල දැන් අංගුලිමාලයෙක් ඉන්නේ... තෝ එනවද මාව ගොනාට අන්දන්න...' ආච්චි ඉදිරියට පැන මා අත තිබූ හැරමිටියද උදුරා ගත්තාය.

'නෑ ආච්චියේ, අංගුලිමාල චිත්‍රපටිය. ඉන්දියාවේ ෆිල්ම් කරල තියෙන්නෙ...

බුද්ධගයාව ලුම්බිණිය, ඉසිපතනෙ, ගිජුකුළු පව්ව, ඔක්කොම පෙන්නනවලු'

'අනේ පුත‌ේ... කොහේද ඔය පිංතූරේ පෙන්නන්නේ...' ආච්චි අහිගුණ්ඨිකයෙකු දුටු නයෙකු මෙන් දැපනෙ වැටුනාය.

'මෙහේ හෝල් එකේ...'

'පුතාට සියළු දෙවි හාමුදුරුවන්ගෙ පිහිටාරක්ෂාව ලැබෙන්න ඕන... ඒකෙ අංගුලිමාල බුදුහාමුදුරුවන්ගෙ පස්සෙන් එලවනවත් පෙන්නනවද පුතේ...'

'ඔව් ආච්චියේ බුදුහාමුදුරුවෝ පණපිටින් වගේ...' මේ ගමනට ආච්චි කැන්දාගෙන යා යුතුම නිසා මම බේගලයක් ඇද බෑවෙමි.

'අනේ සාදු... බුදුරැස් විහිදෙනවත් පේනවද පුතේ...?'

'ඔව්...'

'සාදු! සාදු! කීයටද පුතේ පිංතූරෙ පටන් ගන්නෙ...?'

'හයහමාරට... ආච්චි ලෑස්ති වෙන්නකො ඉක්මනට... තව පැයයි තියෙන්නෙ...'

'ඔය හැටි ලේසිතිවෙන්නේ මොනවටද පුතේ, ඉක්මණට යං. සෙනගත් ඇතිනේ...'

'ආච්චියේ...'

'ඇයි පුතේ...'

'මේ... මේ...' වැස්සට මතු වූ ගැඩවිල්ලකු මෙන් මම ඇඹරෙන්නට උනෙමි.

'ඇයි සල්ලි එහෙම මදිද පුතේ...?'

'නෑ ආච්චියේ.'

'එහෙනං...?'

'ආච්චිට තනියි නේද, තනිමය යනකොට...?'

'ඇයි පුතා යන්නේ නැද්ද...?'

'නෑ... මමත් යනව...'

'එහෙනං...?'

'තවත් ගෑණු කෙනෙක් එක්කරං ගියානං නේද හොඳ...?'

'කවුද ඉතිං එක්කරං යන්නේ...?'

'ඇයි සී... ල... ව... තී නංගි...' ආච්චි අදත් මුචලින්ද නම් නාග රාජයා මෙන් කිපෙනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් අංගුලිමාලට පින්සිදු වන්නට එය එසේ වූවේ නැත.

'අනේ කොච්චර එකක්ද පිං අයිති වෙන වැඩක් නේ... මෙහෙම දෙයක් පෙන්නන එක...'

ඒකච්ඡන්දයෙන් පනත සම්මත කරගත් මම ආච්චිගේ පූර්ණ අනුමැතිය ඇතිව ඓරාවන හස්ති රාජයා මෙන් එක පිම්මෙන් කඩුල්ල පැනගොස් සීලවතී නංගී කැන්දාගෙන ආවෙමි.

'යමු නේද ආච්චියෙ...'

ආච්චි ඉස්සර කරගත් මා සීලවතී නංගී සමග සිනමා හල කරා ගියේ අතුරු මැතිවරණයකින් ජයගත් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව කරා යන තේජාන්විත විලාසයෙනි. පෝලිමේ සෙනඟ පොර කනු දුටු ආච්චි කෙලින්ම ගොස් මැනේජර්ගෙන් ටිකට් තුනක් ඉල්ලුවාය.

'මොනවයින්ද ඕන...?'

'බැල්කනි...' මම ඉස්සරහට පැන්නෙමි.

'රුපියල් තිහයි...'

සාක්කුවේ සතයක්වත් නැති බව හොඳාකාරව දන්නා නමුදු මම බොරුවට සාක්කු තුන හතරටම අත දැමුවෙමි. එහෙත් ඒ අවසරයෙන් අංගුලිමාලට පිං සිදු වන්නට සර්ධාවෙන් පිරීගිය ආච්චිගේ හැඹිලිය ඉස්සරහට පැන්නේය.

බැල්කනියට ගොස් සීලවතී නංගී ලඟින්ම මා වාඩිවීමට සැරසෙන විට විදුලියක් මෙන් මැද්දට පැනගත් කරලැයින් ආච්චී අප දෙදෙනා දෙපැත්තට කර මැදින් වාඩි වූවේ මට කොනිත්තා සීලවතී නංගීටද රවාගෙනය.

අතක්පි‌ට අතක් තබාගත් ආච්චි නොයිවසිල්ලෙන් තිරය දෙස බලා නිහඬව සිටියේ අංගුලිමාල පෙන්වන තුරුය. එහෙත් ඇගේ නිහඬ බව වැඩි වේලාවක් පැවතුනේ නැත. තරුණ යුවලක් අත්වැල් බැඳගෙන පැමිණ ආච්චි ඉස්සරහින් වාඩිවිය.

'නොදකින් වනචරයෝ...' ආච්චි ඔවුන් දෙස රවා බලා කෙළ පහරක් ද ගැසුවාය.

'ඉන්නකො ආච්චියේ කෑ ගහන්නේ නැතුව...' කිසි දිනෙක බැල්කනියට පැමිණ චිත්‍රපටියක් නොබැලූ ආච්චි බැල්කනියට කැන්දාගෙන ඒමෙන් මා කරගත් ගොන්කමේ බරපතලකම මට වැටහුනෛ් දැන්ය. එහෙත් මෙය මෙතනින් කෙළවර නොවන බව මම දනිමි.



විනාඩියෙන් විනාඩිය තවත් තරුණ තරුණියෝ අත්වැල් අල්ලාගෙන පැමිණ ඔවුනොවුන් තුරුළු වී පෙම්බස් තෙපලන්නට වූහ.

'මෙව්ව පෙන්නන්නද යකෝ මාව එක්කරගෙන ආවේ. අර බලපං අරකි ඉන්න ලස්සන... අරූට තුරුල්වෙලා... මුංගෙ මහ එවුන් මොනවට මුං හැදුවද මං අහන්නේ... වනචර හැත්ත...'

'සද්ද නැතුව ඉන්නකෝ ආච්චි...'

'සද්ද නැතුව ඉන්න... මොනවටද මං කියන්නේ අර... අර බලපං අරකි අරූට තුරුල්වෙලා ඉන්න හැටි... මුන්ට විළිසංගෙ නැද්ද මං අහන්නේ...'

'ඔහොම තමයි ආච්චි බැල්කනිය...'

'තෝ මේව පෙන්නන්ද බොල මං මේකට එක්කං ආවේ... මේව බලල තමයි උඹත් නරක්වෙලා තියෙන්නෙ... මුන්ට ගෙවල් නැද්ද මං අහන්නෙ මඟුල් නටන්න මේ වගේ වැදගත් තැන්වලටම එන්නේ... යමං යන්න ඒ චිත්තර පටියෙන් කමක් නෑ...'

ආච්චි සීලවතී නංගිත් ඇදගෙන ඉස්සර වූවාය.

'අර අර... පේනවද අරුන්ගෙ අත් එහෙම තියෙන තැන්... තුඃ නොදකින්...'

ආච්චි එලියට එන ගමනුත් තරුණ යුවලක් දෙස රවා බැලුවාය. ඔවුන් තුබූ තැන්වලින් අත් ඉවතට ගත්තේ විදුලි වේගයෙනි.

'ඇයි යන්නේ චිත්‍රපටිය බලන්නෙ නැද්ද...?' මැනේජර් සීලවතී නංගීත් ඇදගෙන යන කරලැයින් ආච්චිගෙන් ඇසුවේය.

'නෑ... නෑ... මහත්තයාට පිං අයිති වෙච්චාවේ ඊට වඩා හොඳ චිත්තර පටියක් අපි බැලුව...'

කරලැයින් ආච්චී සමග බැල්කනියට යාමෙන් මා කරගත් බ්‍රහ්ම ගොන්කම නිසා සීලවතී නංගී සමග නිවී සැනසිල්ලේ චිත්‍රපටියක් බැලීමට තිබූ භාග්‍යයද අහිමි වීමෙන් මන්ත්‍රීවරයෙකුට චිට් එක දුන් ගමන්ම පාර්ලිමේන්තුවට යාමටත් කලින් චිට් එක උදුරා ගැනීමේදී ඇතිවන තරමේ දුකක් කණගාටුවක් මට ඇති විය.

ඉතින් නම් මේ සම්ම ජාතියේ චිත්‍රපටියක් බැලීමට යාමට මට ආච්චීගෙන් අවසර ලබා ගැනීමට නොහැකි වනු ඇත.

සුනන්ද කෝදාගොඩගේ විනෝද රසාංග පොතෙනි. මේ කතාවේ මුලින් ම සඳහන් වන සිල් ගැනීමේ කතාව ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

වැඩිදුර රසවින්දනය සඳහා... මේ විඩියෝ එක නැරඹීමෙන් ඔබට "පිංගුත්තර විස්ථාපන කැකිරි වල් පෙරේතයෙකු" යනු කවරෙක්දැයි තේරුම් ගත හැකි වනු ඇත.

මේ දවස්වල කකුලෙ සුළැඟිල්ල ටීපෝ එකේ කකුලෙ වැදුනත් රිද්ම් ඔෆ් ගිටාර් වන බැවින්...


Sunday, July 27, 2025

ජීවිතය සුන්දරයි

පහුගිය පෝස්ට් එකට කමෙන්ට් කරමින් බකුසුහාමි උපාසක මහතා, සිලිලාරේ පෝස්ට් එකක ලිංක් එක සටහන් කරලා තිබුණා. තාත්තලා ගැන කම්පනයක් ඇති කරවන ලිපියක් ඒ. 

ඒ ලිපිය කියවනවිට අපේ තාත්තාත්, මම දැකලා තිබෙණ තවත් තාත්තලා ගණනාවකුත් ගැන දිග කල්පනා රැසක් ඔලුවට ආවත්, එතැන ලියන්නට තිබෙණ හොඳ ම කමෙන්ටුව, තවත් පෝස්ටුවක් ම වෙන එක වඩා හොඳයි කියලා හිතුවා.

මේ මම දැකපු තවත් මාර ම තාත්තෙක්.

ගුයිදෝ... 1930 ගණංවල ඉතාලියේ වෙසෙන යුදෙව්වෙක්. සැහැල්ලු ජීවිතයක් ගත කරන තරුණයෙක් වන ඔහු ගේ සිත ඇදී යනවා, ඩෝරා නම් තරුණ ගුරුවරියක් වෙත. 


ඩෝරා ට විවා ගිවිසගත් තවත් අයෙක් සිටිනවා. නමුත් ඇය කැමති වන්නේත් ගුයිඩෝට. ඔහු ඇය දිනාගන්නේ සුරංගනා කතාවක බඳු වික්‍රමයක් කරමින්...


ඔවුන්ට පුතෙකු ලැබෙනවා. ඔහුගේ නම ජොෂුවා. ඔවුන්ගේ ජීවිත මැදට ෆැසිස්ට් වාදීන්ගේ බලපෑම එන්නේ ඒ අතර...

ගුයිඩෝ සහ ඔහුගේ පුතා ෆැසිස්ට් වද කඳවුරකට රැගෙන යනවා. ඩෝරා යුදෙවු ජාතිකයෙකු නොවන නමුත්, ඇයත් කැමැත්තෙන් ඔවුන් සමග යනවා. කුඩා දරුවෙකුගේ මනසට ෆැසිස්ට් වාදය - යුදෙවු - වධ දීම්, යුද්ධ ආදිය අනවශ්‍ය ලෙස ඇතුල් නොකිරීමට තැත් කරන ගුයිඩෝ, පුතාට කියන්නේ මේ සෙල්ලමක් විදිහටයි. හැංගිමුත්තං වැනි දිගුකාලීන සෙල්ලමක්. ඔවුන් හොඳින් සෙල්ලම අවසන් කළහොත් තෑග්ග විදිහට ඇත්ත යුද්ධ ටැංකියක් ලැබෙනු ඇති. 

කඳවුරේ දී ඩෝරා කාන්තා කොටසට යැවෙන නිසා, ඔවුන්ට එකිනෙකා දකින්නවත් ලැබෙන්නේ නැහැ. නමුත් තමන් හොඳින් සිටින බව වත් ඇයට දැනගන්නට සැළැස්වීමට ගුයිඩෝ විවිධ උපක්‍රම භාවිත කරනවා.


අවසානයේ, යුද්ධය නිමාවෙමින් තිබිය දී, ගුයිඩෝ මරා දැමෙනවා. ඔහු මරා දමන්නට කැටුව යන විට, ඔහුගේ පුතා දකිනවා. නමුත් තම අවසාන මොහොත් කීපයත් ඔහු පුතාට සෙල්ලමේ ම කොටසක් බව ඒත්තු ගන්වන්න සමත් වෙනවා.

තාත්තලා සහ ඔවුන්ගේ කැපකිරීම් ගැන මතකයේ පිහි පාරක් විදිහට ඇනී තිබෙන මේ චිත්‍රපටිය La vita è bella හෙවත් ඉංග්‍රීසියෙන් Life is Beautiful. 1997 දී තිරගත වුණු මෙය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය වුණු ගුයිඩෝ හැටියට රඟ පෑවේ රොබෙර්තෝ බෙනිඥි. 1999 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය භාෂාවකට අයත් චිත්‍රපටිය, හොඳ ම සංගීතය සහ හොඳ ම නළුවාට හිමි සම්මාන දිනාගත්තා. 1999 ඇකඩමි සම්මාමාන උළෙලේ දී ත්  ඉහත කී සම්මාන තුන ම ඔවුහු දිනාගත්තා. කෑන්ස් සම්මාන දෙකක් ද ඇතුළුව ලොවපුරා සිනමා සම්මාන මහත් රාශියක් දිනාගත් මේ චිත්‍රපටිය, මේතාක් නිමැවුණු හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 27වැනි ස්ථානයේ තිබෙනවා.

මෙන්න එය බාගත කිරීමට ටොරන්ට් සබැඳිය...

Sunday, March 16, 2025

කොස්මස් යානය ආච්චිගේ කොන්දට


පහුගිය පෝස්ට් එකට කමෙන්ට් කරපු රුසියානු ලී බෝණික්කා මරාල කොන්ත්‍රාත්තුවක් පංගනාර්තු කරපු අතර, ඒ කොන්ත්‍රාත්තුව මේ වන තුරුත් ඉවර කරගන්න බැරි උනේ ය. ඒ උනත් බ්ලොග් එක පාලුවට අරින්න බැරි කැසීමක් තිබෙන නිසා, සුනන්ද කෝදාගොඩ මහතාගේ විනෝද රසාංග පොතෙන් උපුටා ගත්ත කතාවක්, හුදී ජන රසවින්දනය උදෙසා මෙහි පල කර සිටිනවා ඇත. මීට පෙරත් ඒ පොතෙන් ම කතා දෙකක් මං පල කර ඇති අතර, ඒවාට ලිංක් පහළින් දක්වා ඇත.

1. පවු(ල්)කාරයින්ගේ සංගමය මෙහෙයවන අවුරුදු සැණකෙලිය

2. බඩුපෙට්ටියක කොළඹට ගිය ගමනක් 

*    *    *

"දඩාස්..."

"බුදු අම්මෝ..."

ආච්චිගේ ලතෝනියෙන් මම මුසපත් උනෙමි. අහළ පහළ සියලු දෙනාම ඒ දෙසට දුවගෙන එන්නට විය. ආච්චි කෙඳිරි ගාමින් සිටී.

"ඇයි...? ඇයි...?"

අල්ලපු ගෙදර පොඩි එකා ආච්චිට ළංවිය.

"කොස්... මස්... වැටුණා" උන්දෑට කියා ගන්නට ලැබුනේ එපමණකි. සිහිසන් නොමැතිව ගිය ඇය ළඟට කිට්ටු වන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීය.

"එක්කෙනක්වත් අල්ලන්න එපා..." "අයින් වෙන්න. අයින් වෙන්න." "කෝ කෑලි එහෙමත් තියෙනවද?" ගත වූයේ තත්පර කීපයකි. දහසකට අධික සංඛ්‍යාවක් අපේ ගෙවත්තට එකතු වී සිටිති. ඒ සියලු දෙනාම කොස්මස් යානය ලංකාවට කඩා වැටෙන තුරු බලාගෙන සිටි අයය.

"ඕකුන්ට ඕක උන්ගෙ රට වටේ කරකවන්න තිබුනනේ... අහවල් මගුලකට ලංකාවට එව්වද? ඕක අපේ වත්තට වැටිල මගේ පොඩි එකෙකුට තුවාලයක් උනානං එහෙම ඕකුන්ගෙ..." ඇමෙරිකාවට එදා සිටම විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් සිටින ඒබරංමාමා ද අඩියක් ගසා ගෙන එතැනට පැමිණ දත්මිටි කෑවේය.

සෙනඟ හැසිරවීම සඳහා පොලීසියෙන් පැමිණි මහත්තැන්ලා බයිනෙත්තු, රයිපල් මානාගෙන අවට විපරම් කරන අයුරු මම දුටුවෙමි. රස පරීක්ෂකයන් යැයි සිතිය හැකි පිරිසක් ඒ අවට ගල්, වැලි බොරළු, අළු දූලි ආදිය එකතු කරන්නට විය. පුවත්පත් නියෝජිතයෝ හතර වටින්ම කැමරා මානාගෙන ප්‍රදේශය දෙවනත් කරමින් තොරතුරු සෙවූහ.

"කවුද මේක ඉස්සෙල්ලම දැක්කෙ...?"

"මම... මම දැක්කෙ" පුංචි කොළු ගැටයෙක් ඉදිරිපත් විය. ඌ දැක්ක කෙංගෙඩියක් නැත. සිදු වූ සියල්ල දුටුවේ මමය. එහෙත් මට ඔවුන් ඉදිරියට යා ගත නොහැකිය.

"කියන්න බලන්න මොකද්ද උනේ කියල..." කැමරා එකින් එක ළමයා වෙත උළුක් වන්නට විය. විදුලි වරුසාවක් ලෙසින් පොටෝ ගණනාවක්ම වැදුණි.

"දඩාස් ගාලා සද්දයක් ඇහිල මං කක්කුස්සියෙ ඉඳල දුවගෙන ඇවිත් බැලුව."

වාර්තා කාරයෝ නාස් තද කර ගන්නට වූහ. ළමයාට මේ වෙනස දැනුණි.

"නෑ මං හෝදගෙන ආවෙ..." එකෙනෙහිම ඇඟිලි තුඩුවලින් නාස් පොලු නිදහස් විය.

"ඉතිං ඉතිං..." පුවත් පත් වාර්තා කරුවෝ සියලු දෙනාම තවත් ළංවී කරුණු විපරම් කරන්නට වූහ.

"ඊට පස්සේ මේ ආච්චි මෙතන වැටිල ඉන්නව මම දැක්ක..."

"ඉතිං ඔය ළමට ළඟට ආව...?"

"ඔව්"

"ආච්චි ඇල්ලුවද?"

"නෑ..."

"කතා කළාද?"

"ඔව්"

"මොනවද කිව්වෙ...?"

"හරියට කතා කරගන්නවත් බෑ!" ඔව්හු සියලු දෙනාම එකම නිගමනයකට එළඹුනහ.

"කාගෙද ඔය සරම?"

"ඒකත් මේ ආච්චිගෙ ඇඟට වැටිල තිබුණෙ."

"ඉතිං මොකටද ඕක අතට ගත්තෙ. බිම දාන්න. බිම දාන්න."

කීප දෙනෙක්ම කෑගසන්නට විය. ළමයා සරම විසි කරනවාත් සමගම පොටෝ කීපයක්ම වැදුණි. රසපරීක්ෂකයින් එක්වී කිසියම් උපකරණයකින් සරම ගෙන රස පරීක්ෂණාගාරයට ගෙන යෑම සඳහා වීදුරු පෙට්ටියකට දමා ගත්තේ ය.

කිසි දිනක පිජාමා සරමක් නොදුටු එවුන් සේ හැමදෙනාම ඒ සරම නරඹන්නට විය. වෙනදා මා දෙස හොරැහින්වත් නොබලන අහළ පහළ තරුණියන් සියලුදෙනාම ඇස් කරකව කවා ඒ සරම දෙස ඉතා ආසාවෙන් බැලීම මාගේ අධිකතර චිත්ත ප්‍රීතියට හේතු විය.

"තව කවුද මේ සිද්ධිය ඇහින් දැක්කෙ...?" පොලෝසියේ මහත්තැන් කෙනෙක් මහ හඬින් මුරගාන්නට විය. එහෙත් වෙනත් කිසිවෙකු ඉදිරිපත් වෙන පාටක් නොවීය.

"බය වෙන්න එපා... තව කවුරුහරි මේ සිද්ධිය දැක්ක කෙනෙක් ඉන්නව නම් කියන්න..."

පත්තා වාර්තාකරුවෙක් පිරිසගෙන් විමසන්නට විය.

"මමත් දැක්ක..." රූමත් තරුණියක් ඉදිරියට පැමිණියාය. මගේ ඇස් මටම අදහා ගැනීමට නොහැකි විය. මම විළි ලැජ්ජාවෙන් හතර අතට ඇඹරුනෙමි. මේ සියලු විනාශයට මුල ඇය බව ඇයවත් නො දන්නවා විය හැකිය. ඒ මැගිලින් නැන්දාගේ දුවය.

"ඉතිං...? ඉතිං... මොනවද දැක්කෙ නංගී...? කියන්න බලන්න..." පුවත්පත් වාර්තාකරුවෙක් ඇගේ ඔළුව අතගාන්නට විය. මට යකා නැග්ගේය. මහසෝනා මෙන් ගහ උඩින් බිමට පැන බෙල්ල අනිත් පැත්තට කරකැවීමට සිතුනද, මා පත්ව ඇති අසරණ තත්ත්වය නිසා එම අදහස අකැමැත්තෙන් නමුත් යටකර දැමීමට සිදුවිය.

"උදේ නාන්න යන කොට මම දැක්ක... මේ ගෙදර මහත්තයයි මේ ආච්චියි මෙතන ඉන්නව."

"මොනව කර කරද හිටියෙ...?"

"උඩ බලාගෙන හිටියෙ. ඒත් එයා මං දැකලා හිනාවෙලා ආච්චිට හොරෙන් මට ඇහැකුත් ගැහුව."

"කවුද ඒ...?"

"මේ ගෙදර ඉන්න මහත්තය..."

"කවුද මේ ගෙදර ඉන්නෙ...?"

"අර නරනාටක එහෙම ලියන එක්කෙනා..."

"නෑ...! ඒ හාදයත් මෙතන හිටියද...? කෝ... ඉතිං?"

ඉන්පසුව සියලු දෙනාම මා ගැන සොයන්නට වූහ.

මා අතුරුදහන් වී ඇතැයි සමහරෙක් සැක කළහ.

"මේ තියෙන්නෙ... මේ තියෙන්නෙ..."

කවුදෝ කෙනෙක් අළු ගොඩක් පෙන්නුවේය. ඒ ඊයේ රාත්‍රී මා විසින් මරා පුච්චා දමන ලද කුණකටුවාගේ අළු ගොඩය. සියලු දෙනාම එතැනට එකතු විය. "මිනිහත් ඉවරයි එහෙනං" හිතවත් පත්‍ර කලාවේදීහූත්, රැස්ව සිටි සියලුදෙනාත් සංවේගාත්මක සුසුම් රැල්ලක් පිටකරන අයුරු මම අසා සිටියෙමි.

පරීක්ෂණය සඳහා එතැන තිබූ අළු ගොඩ එකතු කර ගන්නා විට මා පිළිබඳව දන්නා නොදන්නා හැම දෙනම මහ හඬින් හඬා වැළපෙන්නට විය.

"අයියෝ අහිංසකය..." සෙලෝ ආච්චි කම්මුලේ අත ගසා ගත්තාය.

"කාටවත් හිරිහැරයක් නැති මනුස්සය..." මැගිලින් නැන්දා කිඹුල් කඳුලු හෙලන්නට වූවාය.

"කොහේ හරි හොඳ තැනක උපදින්න ඇති." මා දුටු තැන "තුඃ!" ගා කෙළ ගසා අහක බලාගන්නා ජුසේ සීයා කොඳුරා කුරුසය ලකුණු කළේය.

දැන් ඔවුන් සිතා සිටින්නේ "කොස්මස්" යානය හිස මත පතිත වී මා අළුදූලි වන්නට ඇතැයි කියාය.

එහෙත් මම සුවසේ හිඳිමි. එනමුදු වෙනස්කම් කීපයක් සිදුවී තිබේ. මා ඉස්සර සිටියේ බිමය. දැන් උඩය. එනම් කොස් ගහ මුදුනේය. ඉස්සර සියලු සම්පත් තිබුණේය. දැන් ඇඳි වතත් අහිමි වී ඇත.

ඔබ සැමගේ දැන ගැනීම පිණිස කොස්ගස මුදුනේ අසරණව සිටගෙන වුවද ඇත්ත හෙළිකිරීම මගේ යුතුකම යැයි සිතමි.

දිවා ආහාරය සඳහා තම්බා ගෙන කෑමට කොස් ගෙඩියක් කඩා ගැනීමට අපේ වත්ත පහළ කොස් ගස ළඟට ආච්චි සමග ගිය මම ආච්චි ගහ යට තබා කොස්ගහට නැග්ගෙමි.

කොස් ගහ මුදුනේ සිට අවට සිරිනැරඹූ මට මැගිලින් නැන්දාගේ රූබර දියණිය දිය නාමින් සිටින මනස්කාන්ත විලාසය අපූරුවට දර්ශනය විය. ඒ චමත්කාර ජනක දර්ශනයෙන් මන්මත් වූ මම ගහ මුදුනේ සිටම කරණමක් ගසා ඇයට අත්පුඩියක් ගැසුවෙමි.

උඩබිම නොබලා ගැසූ කරණම නිසා කොස් අත්තක තිබූ දිමි ගොටුවක් මා හිස මතට වැටී දිමියන් මට වද දෙන්නට විය. දැවැන්ත කොස් අත්තක් අල්ලා ගත් මා බිම නොවැටී බේරී සිටියද ඇසිල්ලකින් මා හැඳ සිටි සරම ආච්චිගේ ඔළුවට වැටුණි.

සිදුවූ අකරතැබ්බයෙන් හතර විලි ලැජ්ජාවෙන් ඇඹරෙමින්, ඒ කුරිරු දිමියන්ගෙන් බේරීම සඳහා අත්තෙන් අත්තට පැන යද්දී මාගේ වම් පාදය වැදී කඩා වැටුණු කොස් ගෙඩියක් ආච්චිගේ පිට කොන්දට වැටී විසිවී ගොස් පහළ ළඳට වැටෙනවා මා බලාගෙනය.

මෙම සිද්ධියේ ආරම්භය එතැනය. එහෙත් ආච්චි සිතන්නට ඇත්තේ ද හිටිහැටියේ "කොස්මස්" යානය කඩා වැටුනා කියා විය යුතුය. සිද්ධිය පිළිබඳ සැලවූ රෝහල් නිලධාරීහු ඇම්බියුලන්ස් එකක දමාගෙන ප්‍රතිකාර සඳහා ආච්චි රෝහලට ගෙන ගියාය.

පරීක්ෂණ කටයුතු අවසන් වී පත්තර වාර්තා කරුවෙන්, රසපරීක්ෂකයන්, විද්‍යාඥයන් හා අසල්වැසියන් බොහෝ දෙනෙක් විසිර ගියද, ඒ දූෂමාන ආරංචිය ඇසූ හැම දෙනාම "කොස්මස්" යානය වැටුණු ස්ථානය හා මා මියගිය ස්ථානය නැරඹීමට වැල නොකැඩී පැමිණෙන්නට විය. ඒ අතර මා ළඟින් ඇසුරු කළ කාන්තාවෝ සහ තරුණියෝ මා මියගිය බව අසා මහ හඬින් වැළපෙන්නට වූහ.

දැවැන්ත කොස් අත්තකට මුවා වී රාහු අසුරේන්ද්‍රයා සේ දිවැසින් මෙන් මේ සියල්ල බලාගෙන සිටිය ද, සරමක් නෙමැති කමින් ගසින් බිමට බැස මට ඔවුන් සනසාලිය නොහැකි ය. ඒ නිසාම හතර වටින්ම ඝණාන්ධකාරය ගලා එනතුරු හතර විළි ලැජ්ජාවෙන් ඇඹරෙමින් මා කොස්ගහ මුදුනට වී සිටිමි.

Saturday, February 15, 2025

වේතාල කතා - 9 තරංගය

8 තරංගය

"වේතාලය, භවතා කී හෙතු දෙක ම පිවිතුරු චරිත ඇති අගමැතිහුගේ ලය පැළීමට හෙතු නො වී ය. හුදක්, 'මේ රජ සාමාන්‍යස්ත්‍රීන් කෙරෙහි ආලය කිරීමෙන් ම රාජ්‍ය පාලනය නො සලකා සිටියේ ය. දැන් වනාහි දෙවඟන කෙරෙහි ඇලුනු මොහු ගැණ කියනු ම කිම? එහෙයින් මා විසින් අපවාදයෙන් බේරීමට කෂ්ට (අමාරු) ක්‍රියාවක් කළ නමුදු දොෂ ම අධික වී ය'යි සිත‌ා තමන්ගේ අවස්ථාව ගැණ ම ශොකයට පැමිණීමෙන් මන්ත්‍රිහු ගේ පපුව පැළුනේ ය යි හඟිමි"යි රජ තෙමේ පිළිවදන් දින.

වේතාලතෙමේ පෙර මෙන් රජු කෙරෙන් පලා ගියේ ය.

9 තරංගය

1

නැවත ද වේතාලතෙමේ රජුගේ කර පිට යන්නේ "රජ්ජුරුවෙනි, අපූර්‍ව එක් කථාවක් කියමි. අසව" යි කියා තවත් කථාවක් ඇරඹී.

ජිමුතවාහන චරිතය

"රජතුමනි, හිමාලයපර්‍වතය ලොකයෙහි ඉතා ප්‍රකට ය. එතැන් සිට උත්තරමෙරුව (උත්තරධ්‍රැවය) තෙක් ලොකයෙහි තිබෙන සියලු දෙශගුණත් වැවෙන සියලුගස්වැල්ජාතිත් එක් තැන් කොට නිමවන ලද්දාක් වැනි වූ ඒ කන්දෙහි මුදුන නිතර ම හිමෙන් ගැවසී ගත්තේ ය. එය සාමාන්‍ය මිනිසෙකු තබා හිරු විසිනුදු මේ තාක් නො දක්නා ලද්දේ ය. සියලු රුවනුන්ට ආකරයක් වූ එහි තැනිතලාවෙක්හි කාංචන පුර නම් පුරයක් හිරු විසින් එක් තැන් කොට තැබූ රැස් පිඩක් මෙන් බබලයි. මහමෙරමුදුනෙහි සක්දෙව් රජු මෙන් ඒ නුවර ජිමුතකෙතු නම් විද්‍යාධරරාජයෙක් විසී ය. ඔහුගේ ගෙවුයනෙහි පරපුරෙන් පැවත එන කප්රුකෙක් පිහිටියේ ය. ඒ රජ තෙමේ ඒ කප්රුකෙහි බෙලෙන් පෙර උපන් කඳපිළිවෙළ (පංචස්කන්ධපරිපාටිය - මදැයි පාද සටහනෙන් තේරුම හෙව්වා...) සිහි කරණ, දානපති වූ, සියලුසතුන් කෙරෙහි පතළ කුළුණු ඇති, ගුරුන්ගේ වචනයන්ට නිතර අවනත වූ, බොධිසත්ව චරිත ඇති, ජිමුතවාහන නම් පුතෙකු ලැබී ය.

රජතෙමේ සියපුතුගේ යහපත්ගුණයන් හා ගුණවත් ඇමැතියන් ද විසින් මෙහෙයනලද්දේ සුදුසුකල්හි යොවුන් වයසට පත් ඒ කුමරා යුවරජකම්හි අභිෂික්ත කෙළේ ය. එක්දිනක්හි එතුමා යුවරජඅසුනෙහි වැඩහුන් කල්හි පියරජුගේ ඇමැතියෝ එතුමන් වෙත අවුත් "යුවරජ්ජුරුවන් වහන්ස, ඔබවහන්සේගේ උයනෙහි තිබෙන, කැමැති හැම දෙය දෙන, සියලුසතුන් විසිනුදු නො මැඬිය හැකි, මේ කප්රුක ඔබවහන්සේ විසින් හැමදා පිදිය යුතු ය. මේ කප්රුක අපට අනුකූල ව සිටිකල්හි ශක්‍රතෙමේ ද අප මැඬ පවතින්ට සමත‍්ථර්‍ නො වේ. අන් කෙනෙකුන් ගැණ කවර කථා ද? එහෙවින් මේ දිව්‍යවෘක‍්ෂයට ඔබ විසින් බුහුමන් කළ යුතු ය"යි සැළ කළහ.

ජිමුතවාහන යුවරජ තෙමේ එබස් අසා "අඳෝ ම ය! (අඳෝමය! යනු 'අනේ පුදුමයි' (Alas!) යන අත්ථර්‍ ඇති නිපාතයකි.) මෙබඳු කාමදායක වූ කප්රුකක් ලැබ ගෙණත් අපගේ පූර්‍ව පුරුෂයන් විසින් කිසි ම මහත්ඵලයක් නො ලබන ලදි. හුදෙක් ඒ සමහර දිළින්දන් විසින් ස්වල්පමාත්‍ර ධනයෙක් ම ලබන ලදි. එයින් ඔවුන් විසින් තුමූ ද මේ මහත්ආනුභාව ඇති වෘක්ෂරාජයා ද යන දෙ පක්ෂය ම සැහැල්ලුබවට පමුණුවන ලදහ. එහෙත් මම මේ දිව්‍යවෘක්ෂයාගෙන් මහත් ඵල ලබන්නෙමි" යි සනිටුහන් කොට ගෙණ පියරජු වෙත ගොස් වැඳ එකත්පස් ව සිට මෙසේ සැළ කෙළේ ය:-

"පියානන් වහන්ස, මේ සසරසයුරෙහි සියලු ධන සම්පත්තිය ස්ථිර නො වෙයි. ශ්‍රී තොමෝ නො බෝ කල් සිටිනා, දුටු කෙණෙහි ම නැති වන, සැන්දෑවිදුලියක් මෙන් අස්ථිර ය. කිසි කලෙක්හි කිසිතැනෙක රඳා නො සිටියි. මේ සංසාරයෙහි එක ම පරොපකාරය නො නස්නාසුලු වූයේ යුග සියගණන් පවත්නේ පින් හා යශස් උපදවයි. පියානන් වහන්ස, එහෙයින් නැසෙනසුලු වූ මේ ධනසම්පත්තිය උදෙසා අප විසින් කවර හෙයින් කප්රුක රකිනු ලැබේ ද? 'මගේ කප්රුක ය, මගේ කප්රුක ය' යනාදීන් තෘෂ්ණා උපදවමින් මේ රුක රැකි අපේ මුතුන්මිත්තෝ කොහි ගියෝ ද? එයින් ඔහු කුමක් කළෝ ද? ඔවුනතුරෙන් කාහට මේ රුක අයිති ද? මේ රුකට ඔහු කවරහු ද? එහෙයින් ඔබ වහන්සේ අවසර දෙතොත් මේ කල්පවෘක්ෂයෙන් පරොපකාර නැමැති උතුම් ඵලය සිද්ධ කරන්ට කැමැත්තෙමි."

ඉක්බිති පියරජහු විසින් අනුදන්නා ලද්දේ (යහපතැයි පිළිගන්නා ලද්දේ) කප්රුක වෙත ගොස් "දෙවය, ඔබ විසින් අපගේ පුරාතනයන්ට සිතූ පැතූ සැපත් දෙන ලදි. මවිසින් ද පතනු ලබන එක ම කැමැත්තක් සිද්ධ කෙරේවා. යම් සේ මුලුපොළොව නො දිළිඳු වේ නම්, දෙවය, ඔබ එසේ කරණු මැනව. එහෙයින් මම දිළිඳු ලොකයාට ඔබ දෙන්නෙමි. පොහොසත් වූ අපට ඔබෙන් කම් නැත. එහෙයින් ලොව සුවපත් කරන්ට යනු මැනව. ඔබට යහපතක් වේවා" යි පැතී ය. "මම එසේ කරන්නෙමි"යි වචනයක් කප්රුකින් පහළ වී ය. එකෙණෙහි ම ඒ කප්රුක අහසට නැඟ මුලුලොවට ධනය වස්වා දෙව්ලොවට ම ගියේ ය. එයින් ජිමුතවාහනයුවරජහුගේ කීර්‍තතිය ද මුළුලොව පතළේ ය.

ඉක්බිති ඔහුගේ ගොත්‍රයෙහි වූවෝ මසුරුකමින් හා ජිමුතවාහනගේ රාජ්‍යයට ලොභ කිරීමෙන්ත ද නො ඉවසන්නාහු කප්රුක රහිත ඒ ජිමුතවාහන හා ඔහු පියරජ ද පහසුවෙන්  පැරදවිය හැකිකැයි සිතා යුද සඳහා ආහ. ජිමුතවාහන තෙමේ පියරජු වෙත ගොස් "පියානන් වහන්ස, අවි දැරූ ඔබවහන්සේ හා යුද කරන්ට කවරෙකුට ශක්තිය ඇද් ද? එහෙත් කවරෙක් මේ වැනසෙනසුලු සිරුර පිණිස නෑයන් මරා රාජයය රැකගන්ට සතුටු වේ ද? එහෙයින් අපට රාජ්‍යයෙන් කිම? අන් තැනකට ගොස් දෙලෙව්හි ම යහපත සිද්ධ කරණ පින්දහම් කරමු. රාජ්‍යලොභී වූ මේ දීන බන්ධූහු තුටු වෙත්වා"යි සැළ කෙළේ ය.

පියරජ තෙමේ ද "මම නුඹ උදෙසා ම රාජ්‍යය රැක ගන්ට කැමැති වෙමි. ඉදින් නුඹ විසින් නෑයන් කෙරෙහි කරුණාවෙන් එය අත්හරිණු ලැබේ නම්, මේ මහලු මට ද එයින් පලක් නැත. එහෙයින් නුඹේ අදහසට මම ද සතුටු වෙමි"යි කියා බිසොව හා පුත්‍ර වූ ජිමුතවාහන ද සමග වින්ධ්‍යපර්‍වතයට ගොස් එහි විසී ය. එහි දී ජිමුතවාහනයුවරජ එහි වසන සිද්ධ රාජයෙකුගේ පුත් වූ මිත්‍රාවසු නම් කුමරෙකු දැක කථා කොට මිත්‍ර වීය.

2

ලොවට මිහිරි වූ වසන්තකාලය සම්ප්‍රාප්ත වී ය. දකුණු දිගින් හෙමින් හෙමින් පවන් හමන්ට පටන් ගත. මීඅඹ, නික, රත්හෝපලු, කෑල ඈ රුක් මල්බරින් නැමීගත. බිඟූහු ගුමුගුමුනද කරමින් මලින් මලට පියාඹමින් මුවරද රොන් රැස් කළහ. කොවුලෝ පලරස විඳ මිහිරිනදින් ගයන්ට වන්හ. තරුණතරුණියෝ ලඟ දී පැමිණෙන අවුරුදුඋලෙළ සඳහා අළුත්රෙදිපිළි ආදිය පිළියෙල කළහ.

මේ මනරම් වූ වසන්තකාලයෙහි එක්දිනෙක්හි යුවරජ තෙමේ එහි වූ උමාදෙවොලකට ගියේ දෙව්පුදට වෙණ වයමින් සිටි මනරම්රූසිරින් සිරිකත දිනූ කිසියම් කාන්තාවක දැක්කේ ය. එකෙණෙහි ජිමුතවාහනතෙමේ ඇස් නැමැති දොරටුවෙන් ඇතුල් වූ ඒ කාන්තාව විසින් පැහැරගන්නාලද සිත් ඇත්තේ වී ය. ඕතොමෝ ද ඒ උයනට අබරණක් වූ, මෙහෙසුරා විසින් අනඞ්ගයා දැවීමෙන් හටගත් ශොකයෙන් තපස් රකිනු පිණිස වනයට පැමිණි අනංගමිත්‍ර වූ මධූහු (වසන්තකාලය) වැනි ලලනාවන්ගේ නෙත්‍රයන්ට මිහිරක් වූ, ඒ යුවරජු දැක කලබල සහිත වූවා.

ජිමුතවාහනතෙමේ ඇගේ යෙහෙළිය ලඟට ගොස් "භද්‍රාව, ඔබගේ යෙහෙළියගේ නමෙහි ඇතුළත් වීමෙන් කවර අක්ෂරයෝ පින්වත් වෙත් ද? මෑ විසින් කවර වංශයෙක් අලඞ්කාර කරණු ලැබේ ද? මෑගේ මුවසඳමඬලින් කවර දෙසක්හි භාග්‍යවත්තරුණයන්ගේ නෙත්‍රචකාරයෝ (නෙත් නමැති ඇටිකූලෝ) සැනසෙත් දැ"යි විචාළේ ය.

"මෝ තොමෝ වින්ධ්‍යවතී නමු. මෙතුමියගේ පියානෝ විශ්වාවසු නම් සිද්ධරාජයන් වහන්සේ ය. මිත්‍රාවසු කුමර තෙමේ මෑගේ සහෝදරයා ය"යි පිළිවදන් දී "ඔබතුමානන්ගේ භාග්‍යවත් නාමය කුමක් ද? කවර දෙසක් ඔබගේ උත්පත්තියෙන් පවිත්‍ර වූයේ ද? කවරහෙයින් මෙහි පැමිණීම වී දැ?"යි ඕ තොමෝ ද විචාළා ය. යුවරජ තමන් පිළිබඳ පුවත් සැකෙවින් දැන්වී ය.

ඉක්බිත්තෙන් ඒ යෙහෙළිතොමෝ වින්ධ්‍යවතියඅමතා "යෙහෙළිය, මේ විධ්‍යාධරරාජකුමාරයෙකි. අප විසින් අතිථි (ආගන්තුක) සත්කාරයෙන් පුදන්ට වටී. මෙතුමා මුළුලෝවැසියා විසින් ම පුදනු ලැබේ ය"යි කීවා.

වින්ධ්‍යවතිතොමෝ ද ලැජ්ජාවෙන් අවනත වූ මුඛ ඇත්තී 'මාගෙන් පූජා ගණු ලැබේවා'යි කියමින් යුවරජුහට මල්මාලාවක් පිළිගැන්වූ ය. ජිමුතවාහනතෙමේ ද ප්‍රෙමභාරයෙන් නැමුනේ මාලාව පිළිගෙණ ඇගේ ගෙලෙහි ම පැලඳවී ය. ඕතොමෝ ද සිනිඳු කටාක්ෂනිරීක්ෂණ (ඇස්කොණින් බැලීම්) නමැති නිල්මහනෙල්මල්දම් ඔහුගේ සිරුරෙහි පැලඳවූ.

මෙසේ ඔවුන් දෙදෙනා ස්වයංවරය කොට සිටි කල්හි එක්තරා වේටිකාවක් අවුත් සිද්ධරාජදුහිතෘවට "රජකුමරිය, මවුමෙහෙසිය ඔබ කැඳවයි. වහා වඩිනු මැනවැ"යි සැළකළා.

ඕතොමෝ සියගෙට ගියා, ප්‍රියවරහයෙන් පීඩිත වූවා, මවුබිසොව දැක, යහනට ගොස් සැතපුනා ය. මෙසේ ආතුර වූ ඒ රජකුමරියගේ නෙත් කැලඹුනේ ය. උණුසුමින් ගත දැවුනේ ය. කඳුලු වැගුරුණේ ය. යෙහෙළියන්ගේ චන්දන විලේපනයෙන් (ඇඟ ගානා සඳුන් කල්කයෙන්) හා පියුම්පතින් ගැසූ පවනින් ද මඳක් සැනසුම් ලද්දී කොතැනක වත් සැපතක් නො දැක්කා ය. ඉක්බිති සුදුවන්දහවල්දවස රත්වන්සැන්දෑවත් සමග කිසියම් තැනක ගියකල්හි, සඳ ද සිනාසෙන පෙරදිගඟනගේ (නැගෙනහිර දෙස නැමැති කාන්තාවගේ) මුව සිඹිනාකල්හි, ඒ කාන්තාතොමෝ ජීවිතාශාවක් නැත්තී ලජ්ජාවෙන් ස්වකීය මනොරථය සම්පූර්‍ණ කිරීමට උපා යෙදීමෙහි අසමත්ථර්‍ වූවා, ඒ රැය දුක සේ ගෙවා අලුයම ඒ උමාදෙව්මැඳුරට ම ගියා ය.

ජිමුතවාහන ද එහි ගොස් සැඟවී සිටියේ ය. ඒ අතර රාජදුහිතෘව ද එහි පැමිණ උමාදෛවිය පිදූ. පුදා මෙසේ පැතූ. "මෑනියන් වහන්ස, මේ අසරණ මට පැහැදෙනු මැනව. මේ ජාතියෙහි ම ජිමුතවාහන මාගේ ස්වාමියා වන සේ කරුණා කරණ සේක්වා! එසේ නො හැකි නම් අනතුරු (ඊලඟ) ජාතියෙහි වත් එසේ වන ලෙස අනුකම්පා කරණ සේක්වා!"

"දුව, විද්‍යාධරචක්‍රවර්‍තති වන ජිමුතවාහන මේ ජාතියෙහි ම නුඹගේ ස්වාමියා වන්නේ ය! යන ශබ්දයෙක් අහසින් ඇසින. ජිමුතවාහන තෙමේ ද එකෙණෙහි ම එහි පැමිණියේ ප්‍රියාව සැනසී ය.

එකෙණෙහි ම එක් යෙහෙළියක් කුමරිය වෙත පැමිණ මෙසේ සැළ කළා ය: "පින්වතිය, කැමැත්ත සිද්ධ වන හෙයින් භාග්‍යයෙන් වැඩෙන්නෙහි ය. අපේ මිත්‍රාවසු කුමාරයා අපේ දෙවයන් වහන්සේ වෙත ගොස්, මාත් අසා සිටිය දී "පියානන් වහන්ස, සියකප්රුක පරොපකාරය පීණිස පරිත්‍යාග කළ, තුන්ලෝවැසියා විසින් බුහුමන් කරණු ලබන, යම් ඒ ජිමුතවාහන නම් විද්‍යාධරයුවරාජයෙක් වේ නම්, හෙතෙමේ මෙහි පැමිණ සිටියි. එතුමා අප විසින් ද පිදිය යුතු ය. භාර්‍ය්‍යාවකට එතුමා වැනි හිමියෙක් ලොව කොතැනක වත් නැත. එහෙයින් එතුමාට කාන්තාරත්නයක් වූ වින්ධ්‍යවතිය පුදමු" යි සැළ කෙළේ ය. අපේ දෙවයන් වහන්සේ ද ඒ අදහස අනුමත කළ සේක. දැන් ඔබගේ සොහොයුරු ඒ මිත්‍රාවසු කුමාරතෙමේ ජිමුතවාහන යුවරජ්ජුරුවන් වහන්සේගේ නිවාසස්ථානයට ගියේ ය. ඔබගේ විවාහය වහා ම සිද්ධ වන්නේ ය යි සිතමි. එහෙයින් මෙහි නො සිට වහා රජමැඳුරට ම යනු මැනව."

යුවරජතෙමේ ද මේ කථාව අසා මිත්‍රාවසුකුමරා පිළිගැණීමට සියනිවෙසට ම ගියේ ය. මිත්‍රාවසු ද අවුත් සිය අදහස දැන්වී ය. යුවරජු හා එතුමාගේ මව්පිය දෙදෙන ද මිත්‍රාවසුගේ යොජනාව පිළිගත්හ.

සුබදවසෙක්හි ඒ තරුණයුවලගේ විවාහමඞ්ගලය මහොත්සවයෙන් සිද්ධ කරණ ලදි.

3

එක් දිනෙක්හි කෞතුකදර්‍ශනයෙහි (පුදුම දේවල් දැකීමෙහි) ලොල් වූ යුවරජ තෙමේ මිත්‍රාවසු සමග තන්හි තන්හි හැසිරෙන්නේ මුහුදු තෙරට පැමිණියේ එහි වැටී තුබුනු ඇටසැකිලි රැසක් දැක්කේ ය. "මේ ඇටසැකිලි කාගේ දැ?"යි විචාළේ ය. මිත්‍රාවසු ඒ පිළිබඳ වෘත්තාන්තය සැකෙවින් කී ය:-

"පෙර නාගමාතෘ වූ කද්‍රැ තොමෝ ගරුඬ ('ගරුඬ' යනු මහාපක්ෂිජාතියකි) මාතෘ වූ විනතාව සූදුවෙන් පරදවා සිය දැස්සක කළා ය. විනතාපුත්‍ර ගරුඬරාජ තෙමේ ඒ නිමිති කොට වෛර බැඳ, සියමව දාසභාවයෙන් මුදා, බලාත්කාරයෙන් පාතාලලොකයට වැද නයින් මරා කන්ට පටන් ගත්තේ ය. මෙසේ කල් යන අතර නාගයෝ පිරිහෙන්නට වන්හ. னாගරාජ වූ වාසුකී තෙමේ මෙය දැක ගුරුළු රජු වෙත ගොස් සියනයින් නො මරණ ලෙස අයැද සිටියේ ය.දිනපතා ගුරුළුරජුට අහර පිණිස එක් නයෙකු දකුණුදිග මුහුදුවැල්ලට එවන ලෙසට ද පොරොන්දු වූයේ ය. ගුරුළුරජ ද 'එකවිට බොහෝ නයින් මැරුණු කල්හි මගේ භොජනාගාරය වහා පිරිහෙයි. මෙසේ වූ කල මගේ කිසි වෙහෙසක් නැති ව ම මගේ ආහාරය මා වෙත ම පැමිණේ ය'යි සිතා නා රජුගේ ඉල්ලීම පිළිගත. එදා පටන් ගුරුළුරජ දින පතා එක එක නයා බැනිග් මේ වැලිතෙලෙහි දී කා දමයි. මේ පර්‍වතශිඛරයක් වැනි ඇට රැස කනලද ඒ නයින්ගේ ය."

ජිමුතවාහන මේ කථාව අසා ශොකයට පත් වූයේ "තමන්ගේ ප්‍රජාවන් සියඅතින් ම සියසතුරු වූ ගුරුළුරජුට බිලි දෙන ඒ නාරජ දීනයෙකි. ඔහුට ඇතැයි කවීන් විසින් කියනු ලබන මුව දහස අතුරෙන් එක් මුවෙකින් වත් 'එම්බල ගුරුළ, මා පළමු කොට කව'යි කියන්නට නො හැකි වූ හෙතෙමේ පිරිමියෙක් නො වේ. කෙසේ නම් ඒ නපුංසකයා සියකුලනෑයන් නසන ගුරුළාට යටත් වූයේ ද? ඒ වීර වූ ගුරුළුරජ මෙබඳු නිහීන ක්‍රියාවක් කෙසේ නම් කෙරේ ද? අහෝ! මොහයක මහතැ!"යි කියා "තමන්ගේ නිසරුසිරුස පුද කිරීමෙන් එක් නයෙකුගේවත් දිවි රැක දුන හොත් යෙහෙකැ"යි සිතී ය.

එකෙණෙහි ම පියරජුගේ පනිවුඩයක් ගෙණ දූතයෙත් මිත්‍රාවසු වෙත පැමිණියේ ය. මිත්‍රාවසු පියරජුගේ අණ අසා යන්නට සැරසින. ජිමුතවාහන ඔහු පළමු කොට යවා තෙමේ නැවැත්තේ අදහස් කළ ක්‍රියාව සිදු කරන්ට කැමැත්තෙන් ඔබ මොබ හැසුරුණේ ය. එකෙණෙහි ම මඳක් ඈත උස් ගලක් වෙත රාජපුරුෂයෙකු විසින් ගෙණවුත් නවත්වන ලද මනහරඅයුරු ඇති දුඃඛිත වූ එක් තරුණපුරුෂයෙකු හා ඔහු විසින් සියගෙට වහා යන මෙන් ඉල්ලනු ලබන, කඳුළින් තෙත් මුහුණු ඇති ව වැලපෙමින් සිටි, මැහැල්ලක ද දැක්කේ ය.

ජිමුතවාහන ඒ දෙදෙනා ගැණ දැනගන්නා අටියෙන් ලං ව සැඟවී සිටියේ ය. මැහැල්ල ද "අනේ! මගේ එක ම පුතේ, ශංඛවුඩ, උඹේ පෙම්වත් මුහුණ දැකීම අදින් ඉවරයි! අහෝ! උඹ හැදුවේ කොපමණ දුක් ගෙණ ද? ඉතින් උඹ කවදා දකින්ට ද? අය්යෝ! උඹ නැති වුනා ම උඹේ මහලු පියා කෙසේ ජීවත් වේ ද?" යනාදිය කියමින් අඬමින් සිටියා ය. තරුණයා ද "අම්මේ, දුකින් පීඩිත වූ මට උඹේ වැලපීම ඉතා දුක් දෙයි. මට ආදරය ඇත් නම්, මට තවත් දුක් නො දී ගෙදර යන්න. මේ නුඹගේ අවසාන දැක්මයි. අන්තිමප්‍රණාමය යි. (වැඳීම) ගුරුළා එන්නට ලඟයි. ඉක්මනින් ගෙදර යන්නැ"යි කී ය. මැහැලිතොමෝ ඒ අසා "අනේ මගේ රත්තරන් පුතා රැකගන්ට කවුරු වත් නැත් දෝ"යි කියමින් වටපිට බැලුවා ය.

ජිමුතවාහන මේ සියල්ල දැක ද අසා ද "අඳෝ ම ය! මේ ශංඛවුඩ නම්, වාසුකි විසින් ගුරුළාට අහර පිණිස එවන ලද්දෙකි. මේ මැහැල්ල මොහුගේ මවු ය. එක ම පුතු නැති වීමේ දුකින් වැලපෙන්නී ය. මෙසේ සොවින් පෙළුනු මැහැල්ල නො සැනසුවොත් මගේ උත්පත්තිය නිෂ්ඵල ය! එසේ නො කළොත් පරහිතකරණයෙහි නිරතුරු බද්ධපක්ෂ වූ (අනුන්ට උපකාර කිරීමෙහි නිතර ම ලෑස්ති වූ.) මට නින්දා වේවා!" යි සිතා මැහැල්ල ලඟට ගොස් "මෑනියෙනි, මම නුඹගේ පුතා රැක දෙන්නෙමි. අඬන්නට එපා. මගේ මේ නිසරුසිරුර ගුරුළාට දී සරු වූ පරොපකාරය කර ගන්නෙමි"යි කී ය.

මැහැල්ල එය අසා ඒ අමුත්තා ගුරුළා ම ය යි සිතා තැති ගෙණ "ගුරුළුරජතුමනි, මා කා මගේ මේ එක ම පුතා හරිණු මැනවැ"යි යාච්ඤා කළා ය. ශංඛවුඩතෙමේ එය දැක "මෑනියන්වහන්ස, මේ උතුමා ගුරුළා නොවේ. මෙතුමා සඳ සේ සෞම්‍ය මුඛයක් ඇත්තේ කෙසේ නම් ඒ කුරිරු ගුරුළා හා සම වේ ද? එහෙයින් තැති නො ගත මැනවැ"යි සැනසී ය.

"මම විද්‍යාධරයෙක්මි. නුඹගේ පුතා රැක දෙනු පිණිස පැමිණියෙමි. මේ සිරුර වස්ත්‍රයෙන් මුවහ කොට කෂුධිත (බඩගිනි ඇති) වූ ගුරුළාට දෙමි. නුඹ පුතා සමග ගෙදර යනු මැනව. මම පරොපකාරය උදෙසා දිවි පුදා පින් සිදු කර ගන්නෙමි"යි ජිමුතවාහනතෙමේ මැහැල්ලගෙන් ඉල්ලා සිටියේ ය.

වෘද්ධාව (මැහැල්ල) එය අසා "මගේ මෙබඳු දුකක් බලා මට පිහිට වන්ට ආ භවත්තෙමේ මගේ මේ කුසින් වැදූ පුතුට ද වඩා ආදරවන්තදරුවෙකි. ඉතින් නුඹ බඳු කරුණාවන්ත පින්වත් දරුවෙකු කුරිරුගුරුළාට කෙසේ දෙම් දැ?" යි ජිමුතවාහනගේ යාච්ඤාව ප්‍රතික්ෂෙප කළා ය.

ජිමුතවාහන ද නැවතත් බොහෝ කරුණු කියා සිය මනදොළ පුරාගන්නට අවකාශ ඉල්ලී ය. ශංඛවුඩතෙමේ ජිමුතවාහනගේ ඉල්ලීමට විරුද්ධ වූයේ ය. "උතුමානෙනි, ඔබ විසින් සැබවින් ම කරුණාව දක්වන ලදි. මම වනාහි ඔබගේ සිරුර දී මගේ පණ රැක ගන්ට කැමති නො වෙමි. රුවන් නසා කලුගල්කැබැල්ලක් රැකගන්නේ කවරෙක් ද? මුළුලෝවැසියන්ට ම අනුකම්පා කරණ ඔබ වැනි උතුමෝ විරලයහ. පින්වතානන් වහන්ස, මම අකටයුත්තක් කොට සක්පල් නාරජකුලයට කැලලක් ඇති කරන්ට සතුටු නො වෙමි"යි කියා මවට ද ගෙදර යන්ට අවවාද කොට දෙවියන් පුදනු පිණිස මුහුදුබඩ පිහිටි එක් දෙවොලකට ගියේ ය.

"මේ වේලෙහි ගුරුළා ආවොත් මාගේ මනදොළ පිරෙන්නේ ය"යි ජිමුතවාහන සිතී ය. සිතනු සමග ම ගුරුළා ද අවුත් ඔහු ඩැහැගෙණ ගොස් එක් ගල්කුළකට බැස කන්නට වන. "උපනුපන් ජාතියක් පාසා මෙ පරිද්දෙන් ම මාගේ දෙහය පරොපකාරය පිණිස වේවා!. පරොපකාරය රහිත වූ සවර්‍ගමොක්ෂයෝ පවා නො වෙත්වා!"යි ජිමුතවාහන තෙමේ ගුරුළා සියසිරුරෙහි මස් උදුර උදුරා කද්දීත්, ප්‍රාර්‍තථනා කෙළේ ය. එකෙණෙහි ඔහු මත අහසින් මල් වැසි වට. දෙවියෝ අහස පුරා සිට සාධුකාර දුන්හ.

ගුරුළා ජිමුතවාහන ඩැහැ ගෙණ යන අතර ඔහුගේ සිළුමිණ (ඔටුන්න මුදුනෙහි බැඳි මැණික) වින්ධ්‍යවතියගේ ඉදිරියෙහි වැටින. ඕ තොමෝ ලෙයින් වැකුනු එය දැක ඉතා කැලඹුනී නැඳිමයිලන්ට දැක්වූවා ය. ඔහු ද එය දැක "මේ කිමෙක්දැ?"යි භ්‍රාන්ත වූහ. ඉක්බිති ඔහු තුමූ ස්වකීයවිද්‍යාබලයෙන් සියලු තොරතුරු දැන වින්ධ්‍යවතිය ද සමග වහා එහි යන්ට පිටත් වූහ. ශංඛවුඩතෙමේ ද දෙව්පුද කොට පූර්‍වස්ථානයට ආයේ ලෙයින් වැකුනු ගල්පව්ව දැක "අහෝ! පවිටු මම නැසුනෙමි. ඒ කරුණාවන්ත උතුමා මා උදෙසා සියසිරුර ගුරුළාට පුද කළ බව පෙණේ. හතුරා විසින් ඒ උතුමා කොහි ගෙණ යන ලද දැ යි සෙවිය යුතු ය. ඉදින් එතුමා ජීවත් ව සිටියොත් අපවාද නමැති මඩෙහි නො ගිලෙන්ට හැකි වෙමි" යි සිතා වැටුනු ලේදහර අනු ව වහවහා ගියේ ය.

4

මේ අතර ඒ ජිමුතවාහන කමින් සිටි ගුරුළුතෙමේ කිසි දුකක් නො පෙන්වා හුදක් සතුටු වෙමින් සිටි ඔහු දැක "අහෝ, මෙතෙමේ කිසියම් ආශ්වය්‍ය ර්‍ මහාසත්වයෙකි. මවිසින් කනු ලබන්නේ ද සතුටු වෙයි. නො මැරෙයි. මා උපකාරිකයෙකු කොට සිතන බව පෙණේ. තව දුරටත් මොහු නො කමි. කරුණු විචාරමි"යි සිතන්නට වන.

ජිමුතවාහනතෙමේ ඔහුගේ ප්‍රමාදය බලා "පක්ෂිරාජය, කවර හෙයින් නැවැත්තෙහි ද? තව ද මාගේ දෙහයෙහි ලේමස් තිබේ. ඔබ තෘප්තියට පැමිණි බවකුදු නො පෙණේ. එහෙයින් තවත් කව"යි පක්ෂියා මෙහෙයී.

ගුරුළා ඉතා පුදුම වූ මෙබස් අසා "මහතානෙනි, මම රැවටුනෙමි. ඔබ නාගයෙකු විය නො හැකි ය. භවත්තෙමේ කවරෙක් ද? කියනු මැනැවැ"යි ප්‍රශ්න කෙළේය.

"මා னයෙකු වීමෙන් හෝ නො වීමෙන් නුඹට කම් කිම? නුඹේ මේ ප්‍රශ්නය කුමක් ද? පටන් ගත් ක්‍රියාව කරව. පටන් ගත් ක්‍රියාවට විරුද්ධ දෙය කරන්නේ කවර මෝඩයෙක් දැ?"යි ජිමුතවාහන කියන කෙණෙහි ම "ගුරුළුරජානෙනි, මහපව් නො කරව. මේ තාගේ කිනම් මොහයෙක් ද? තා විසින් කනු ලබන්නේ නාගයෙක් නො වේ. තට ආහාර පිණිස එවන ලද නාගයා නම් මම"යි කෑ ගා කියමින් ශංඛවුඩතෙමේ ද එහි පැමිණියේ ය. ගුරුළුතෙමේ ඒ දෙදෙනාගේ බස් අසා ඉතා කැලඹුනේ ය.

ශංඛවුඩ ගුරුළාගේ සැකය දුරු කරණු පිණිස තව දුරටත් කථා කෙළේ ය:- "ගුරුළානෙනි, නුඹේ මේ මෝහය කුමක් ද? මාගේ පෙණය හා දිව් දෙකත් නො දක්නෙහි ද? තා විසින් කනු ලබන උතුමාගේ සෞම්‍යාකාරය නො දක්නෙහි ද? එහෙයින් එතුමා හැර වහා මා කා දමව. දැන දැන මේ ගුණවත් උතුමා තව දුරටත් කෑවොත් තාගේ උදරය එකාන්තයෙන් ම පැළෙන්නේ ය. මට අනුකම්පා කරව. මගේ කිත්සිරුරෙහි (කීර්තිශරිරයෙහි) කළු ලප නො උපදව."

එකෙණෙහි ම ජිමුතවාහනගේ මවුපිය දෙදෙනා හා භාර්‍ය්‍යාවත් එහි පැමිණියාහු, "අහෝ! ජිමුතවාහන, කවර හෙයින් අපට නො දන්වා මෙසේ සැහැසිකමක් කෙළෙහි දැ?"යි වැළපෙන්නට වන්හ.

ගුරුළා ද තමන් විසින් කනලද්දේ ලොව පතළ යශස් ඇති ජිමුතවාහනයුවරජතුමා ය යි දැන පසුතැවෙන්නට වන. "අහෝ! මා විසින් කුමක් කරණ ලද ද? මෙතුමා මළ කල මා ජීවත් ව සිටීමෙන් පලක් නැත. ගිනි වැද මිය යෑම සුදුසු ය. අධර්‍ම නමැති විෂවෘක්ෂයෙහි මිහිරි ඵලයෙක් කෙසේ හටගණී ද?" යනාදීන් සිතමින් ගුරුළා සිතිවිලි අවුලෙන් වෙළී සිටින අතර ජිමුතවාහනතෙමේ ව්‍රණපීඩාවෙන් (තුවාලවල වේදනාවෙන්) මළේ ය.

ඒ දැක සියල්ලෝ අඬන්ට වන්හ. ශොකය නිසා 'කටයුතු කුමක් දැ'යි නිශ්චය කිරීමෙහි අසමර්‍ථ වූහ. ගුරුළා හා ශංඛවුඩ ද තමන්ට ම නින්දා කරගත්හ. වින්ධ්‍යවතීතොමෝ පෙර වර (තපස් රැකීමාදියෙන් දෙවියන් ආදීන්ගෙන් බලාපොරොත්තු වන දෙය) දුන් උමාදෙවියට දොස් කියන්ට වූවා ය:- "උමා දේවියනි, 'විද්‍යාධරචක්‍රවර්‍තති වන ජිමුතවාහන නුඹගේ ස්වාමියා වන්නේ ය'යි ඔබ විසින් කියන ලදි. එහෙයින් දැන් මාගේ අභාග්‍යයෙන් ඔබවහන්සේ මිථ්‍යාවාදී (බොරු කියන කෙනෙක්) වූ සේක."

එකෙණෙහි ම උමාව පහළ වූවා. "පුත්‍රිය, (දුව) මාගේ වචනය බොරු නො වන්නේ ය"යි කියා කෙණ්ඩියෙන් අමා පැන් ගෙණ ජිමුතවාහනගේ, ඇට පමණක් ඉතිරි වූ, සිරැරට ඉස්සේ ය. එයින් ජිමුතවාහන පෙරට ද වඩා ශොභාසම්පන්න රූපයෙන් යුක්ත ව සියල්ලන්ගේ හර්‍ෂයත් සමග නැගී සිටියේ ය.

උමාදේවිය ද, "පුත්‍රය, ජිමුතවාහන, නුඹගේ මේ පරොපකාරයෙන් මම නුඹ කෙරෙහි පැහැදුනෙමි. මම දැන් නුඹ විද්‍යාධරචක්‍රවර්‍තතිපදවියෙහි අභිෂෙක කරන්නෙමි"යි කියා ඔහු මත අමාපැන් වක්කර අතුරුදහන් වූවා ය. අහසින් මල්වැසි වැස්සේ ය. දිව්‍යභෙරීහු ගුගුළහ.

ගුරුළුරජ විද්‍යාධරචක්‍රවර්‍තතිරජු වැඳ සිටියේ "සක්විති රජතුමනි, උදාර අදහස් ඇති ඔබ විසින් මුළුතුන්ලොව ම පුදුමයට පත් කරණ විසිතුරක් කරණ ලදි. ඔබගේ මේ අධික වීර්‍ය්‍යයෙන් පැහැදුනෙමි. එහෙයින් මට අණ දෙනු මැනව. මගෙන් ද අභිමතවරයක් ගණු මැනවැ"යි වර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.

"තෝ මා කෙරෙහි Praසන්ன වූයෙහි නම්, මට අනික් වරයකින් කම් නැත. මම එක ම වරයක් ඉල්ලමි. මෙතැන් සි‌ට මේ නයින් නො කව. පෙර කෑ නයින් ද ජීවත් වන ලෙස සලසව"යි සක්විතිතෙමේ ගුරුළාට අණ දින. ගුරුළුතෙමේ 'එසේ කෙරෙමැ'යි ගිවිස දෙව්ලොවට ගොස් අමා පැන් ගෙණ අවුත් තමන් විසින් කන ලද නයින්ගේ ඇට රැස මතුවෙහි ඉස්සේ ය. මළා වූ සියලු නාගයෝ පෙර මෙන් ම නො බුන් (නො කැඩුනු) සිරුරු ඇති ව නැගී සිටියහ.

*    *    *    *

වේතාලතෙමේ මේ කථාව කියා, "රජතුමනි, ශංඛවුඩ, ජිමුතවාහන යන දෙදෙනා අතුරෙන් කවරෙක් වීර්‍ය්‍යයෙන් අධික තර වේ දැ?" විචාරා පෙර මෙන් ශාපය ද සිහි කරවී ය.

-------------------------------------------

මේ මට අලුතෙන් හම්බ වුණු බ්ලොග් එකක්. නම අන්ධකාරය. තියෙන්නෙ ම කෙටියෙන් ලියපු අන්ධකාර කතා. ගිහින් ධෛර්යවත් කරල එන්න...

Saturday, January 18, 2025

පිය සමර හෙවත් භාරත ගී

මට භාරතීය සිනමාව සමීප කළේ අපේ තාත්තා. ඔහු පුදුමාකාර සංගීත රසවිඳින්නෙක්. මගේ ගැටවර වියේ දී තාත්තත් එක්ක රසවිඳපු භාරතීය සංගීත කොටස් ටිකක් මට මතක් වුණා, මේ ළඟ දි මට අහම්බෙන් වගේ මීනා කුමාරි ගැන කියවන්න ලැබුණු ෆේස්බුක් ලිපියකින්... 

මේ ඒ ගැන කෙටි ලියවිල්ලක්.

පළමුවෙන් ම, "හදවත තමන්ගේ වුණත් ප්‍රීතිය අනුන්ගේ..."

දිල් අප්නා ඕර් ප්‍රීත් පරායී රංජිත් එදිරිසිංහ ගේ වචනවලින් කියනවා නම් 1960 දී භාරත රිදී තිරය ර්ණත් කළ කළු සුදු චිත්‍රපටයක්. එහි නිරූපණය වුනේ සුශීල් නම් වෛද්‍යවරයා (රාජ් කුමාර්) සහ කරුණා නම් හෙදිය (මීනා කුමාරි) අතර ඇතිවන ප්‍රේමය. ඊට මැද්දට එන්නේ, සුශීල් ගේ පියාගේ මරණාසන්න කැමැත්ත (මට මතක හැටියට). පියාගේ කැමැත්ත අනුව සුශීල්ට සිද්ධ වෙනවා, ඔවුන්ගේ පවුලේ මිතුරෙකුගේ දියණිය වන කුසුම් (නදීරා) විවාහ කරගන්නට. ඒ ආරංචිය කරුණා දැනගන්නේ දීපාවලී උත්සවය දවසේ රෑ. 

මේ චිත්‍රපටයේ මම දකින අසාමාන්‍ය සහ දක්ෂ භාවිතයක් තමයි, ඉතා ම සතුටුදායක අවස්ථාවන් - ඉතා ම දුක්බර අවස්ථාවන් සමග සංකලනය කිරීමෙන් දුක තීව්‍ර ලෙස ඉස්මතු කර දැක්වීම. ඒක සංගීතයෙනුත් (ශංකර් සහ ජායිකිෂන්) ඉතා ම දක්ෂ විදිහට නිරූපණය කරනවා.

ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි කරුණා පත්වන දුක්බර තත්ත්වය, දීපාවලී උත්සවයේ මල් වෙඩි සහ ආලෝකවත් සැමරීම් එක්ක නිරූපණය කිරීම. මේ ඒ අවස්ථාවේ සංගීතමය නිරූපණය. පොඩ්ඩකට විඳින්න, ආරම්භයේ දී අහන්නට ලැබෙන පියානෝ වාදනය...


චිත්‍රපටියේ දිගට ම නිරූපණය වෙනවා, සුශීල් තම පියාගේ කැමැත්ත ඉටු කිරීමට හිත හදා ගත් පසුවත්, කරුණා සමග ඇති කරගත් ප්‍රේමය මරා දමන්නට බැරි කමින් දුක් විඳන ආකාරය. ඒ වගේ ම කරුණා ඔහුගේ හැඟීම් තේරුම් ගෙන ඒ නිසා ම මුහුණ පාන දුක්ඛිත තත්ත්වය. එක් තැනක දී කරුණා, කැමැත්තෙන් ම තමන් ගැන කිසි ම තොරතුරක් සොයා ගන්නට බැරි වන ආකාරයට අතුරුදහන් වෙනවා. ඒ අවස්ථාවේ දී සුශීල් ශෝකයෙන් සහ අපේක්ෂාභංගත්වයෙන් පෙළෙමින් මුහුදු වෙරළට යනවා. එතැන වීදි ගායකයෙක් වේග රිද්ම ගීයක් ගායනා කරනවා. එහි අදහස තමයි, "කොහේ ගියා ද දන්නේ නෑ - කොහේ ගියා ද දන්නේ නෑ - මගේ හදවතත් අරගෙනයි ඈ ගියේ..."


මේ මම රස විඳි වෙනත් චමත්කාරජනක සංගීත කොටසක්. මෙහිත් රඟපාන්නේ රාජ් කුමාර් සමඟ මීනා කුමාරී. චිත්‍රපටය පාකීසා. මේ අවස්ථාව මට මතක හැටියට, අලුතින් එක් වූ යුවළක් අත් දකින චමත්කාරය. එය නිරූපණය කරන්නේ සුවිශේෂී සංගීත නාද සහ එහි දෝංකාරමය නිරූපණය සමගින්... සඳ එළියෙන් ආලෝකවත් වූ තෙත්බර රාත්‍රියක හැඟීමක් ඇති කරනවා...


මෙහි සංගීතය ගුලාම් මොහොමඩ් විසින්.

මී ළඟට පපුවේ ඇනුණු පිහිපාරක් වගේ දැනෙන "ආජාරේ... පර්දේසී..." (එන්න... පිට ගං කාරයෝ...) 


බිමල් රෝයිගේ මධුමති ඉතා ම සුන්දර කවියක් වාගේ නිර්මාණයක්. එය පුරා ම පැතිරී තිබෙන ඉතාම සරළ, සුන්දර, සැහැල්ලු සංගීතය සලීල් චෞද්රි විසින්.

මධුමති චිත්‍රපටය ගැන සඳහන් වුණු අතරේ, මම දැකපු එක් සුවිශේෂී දෙයක් තමයි, දිලිප් කුමාර්ගේ රංගන ශෛලිය. වැඩි ඔප දැමීම් නැතුව, ඉතා ම සාමාන්‍ය සහ තාත්වික රංගනයක් තමයි ඔහු ඉදිරිපත් කරන්නෙ. ටෝනි රණසිංහගේ රඟපෑමත් ඊට සමානයි කියා මම හිතනවා. එයට පරිබාහිරව, දිලිප් ඉතා ම විචිත්‍ර සහ දඟකාර චරිතයක් නිරූපණය කරනවා, ගංගා ජම්නා චිත්‍රපටියේ දී. මේ එයට කදිම උදාහරණයක්... 


මෙහි සංගීතය නෞෂාද් අලි විසින්...

දිලිප් සහ වෛජයන්තිමාලා ඉතා අපූරු ජන කලාත්මක රංගනයක් ඉදිරිපත් කරන තවත් අවස්ථාවක් මේ. මේ ගීතයේ තනුව ශ්‍රී ලංකාවටත් ඉතා ම හුරු පුරුදු වුණේ, මෙහි අනුකරණයක් විදිහට සිංහල විකට යුග ගීතයක් බිහි වුණු නිසා. 


ඉහත ගීත සියල්ල ගායනා කළේ මොහම්මද් රෆි සමඟ ලතා මංගේෂ්කර්. නමුත් මෙය ගායනා කරන්නේ ලතා ගේ නැඟනිය වුණු, ආශා භෝංස්ලේ. ගිතය ඇතුළත් වුණේ නයා දෝර් චිත්‍රපටියට. සංගීතය ඕ. පී. නයියාර් විසින්.

දිලිප් ගේ දක්ෂ නිරූපණයක් සහිත ගීතයක් කොහිනූර් චිත්‍රපටයෙන් උපුටා දක්වන්න කැමතියි, පෝස්ටුව අවසාන කිරීම විදිහට. මෙහි අන්තිම හරියේ ඔහු ඉතා ම හුරු බුහුටි ලෙස සිතාරය වාදනය කරනවා...


මෙහි සංගීතය නෞෂාද් අලි, ගී පද ශකීල් බදායුනි, ගායනය මොහම්මද් රෆි.

Sunday, December 29, 2024

වේතාල කථා - 8 තරංගය

වෙතාලයා මේ කථාව කියා, "රජතුමනි, ඔවුන් දෙදෙනා අතුරෙන් කවරෙක් සමුද්‍රපතනයෙහි (මුහුදට පැනීමෙහි) දී අධිකවීර්‍ය්‍ය ඇත්තේ වී ද? නො වළහා කියව. නැත් නම් පෙර කළ ශාපය ම වන්නේ ය"යි කී ය. 

7 තරංගය

රජ තෙමේ ප්‍රශ්නය විසඳී- "වේතාලාධිපතිය, ඒ දෙදෙනා අතුරෙන් සත‍්වශීල ම වඩා අධිකවීය්‍යර්‍ ඇත්තේ යයි මාගේ හැඟීම යි. හෙතෙමේ පළමු කොට කිසි හසරක් (පාරක්) නො දැන ජීවිතයෙහි ආශා නැති ව ම මුහුදට පැන්නේ ය. චණ‍්ඩසිංහ රජ සත්වශීලගෙන් තොරතුරු දැන ගෙණ ම මතු බලාපොරොත්තු සහිත ව මුහුදට පැන්නේ ය."

ප්‍රශ්නවිසර්ජනාවසානයෙහි (ප්‍රශ්න විසඳීමේ අවසන්හි) වේතාලයා පෙර මෙන් ස්වස්ථානයට ගියේ ය.

8 තරංගය

රජතෙමේ පෙර මෙන් ම ශිංශපාවෘක‍්ෂමූලයට ගොස් ඒ වේතාලයා උසුලා ගෙණ එන්නට වන. වේතාලයා ද "රජ්ජුරුවෙනි, මෙසේ ගමනාගමනයෙන් නො කලකිරෙණ යුෂ්මතා මට වඩවඩා ප්‍රිය වෙහි ය. එහෙයින් නුමේ මහන්සිය දුරු වන පිණිස ඉතා සිත්කලු ආඛ්‍යායිකාවක් (කථාවක්) කියමි. එය අසව"යි කියා තවත් කථාවක් පටන් ගත්තේ ය.

විදුදරඟන (විද්‍යාධරකාන්තාව) ලැබූ පරිදි

පෙර අඟුරට රුවින් අනඞ‍්ගයා පැරදවූ යශොවර්‍ධන නම් රජකේ වී ය. බාහුබලයෙන් සියලු සතුරන් දිනූ ඒ රජ තුමා එක් කලෙක්හි තාරුණ්‍යමදයෙන් ('තරුණයෙක්මි'යි සිතීමෙන් වන මත් වීම) හා රූපමදයෙන් ද මත් වූයේ ස්වකීය රාජ්‍යභාරය දීර්‍ඝදර්ශි නම් මහනැණැති අහ ඇමතියාට දී තෙමේ අන්තඃපුරයට වී කම්මැළි ජීවිතයක් ගත කෙළේ ය. හෙතෙම නළඟනන්ගේ මිහිරි ගී මිස හිතෛෂීන්ගේ ඔවදන් නො ම ඇසී ය.ඇත්පුරලියන්ගේ (අන්තඃපුර ස්ත්‍රීන්ගේ) නැටුම් මිස රාජ්‍යයෙහි කටයුතු නො ම බැලී ය. පස්කම් සුව විඳුම ම ජීවිතයෙහි එක ම ඵලය යි සිතා ධර්‍මමාර්‍ගයෙන් පහ වී ය. සියතෙදමහිමෙන් ම සතුරන් පහ වෙතැයි සලකා රට රැකුම පිළිබඳ කාර්‍ය්‍යන්හි උද්‍යුක්ත (උත්සාහවත්) නො වී ය. දීර්‍ඝදර්ශිතෙමේ රාජ්‍යය පිළිබඳ කර්‍ය්‍යයන් කරමින් නිතර ප්‍රමාදරහිත ව විසී ය.

"අපගේ රජතුමා ව්‍යසනයෙහි ලා මහඇමැතිතෙමේ රාජ්‍යශ්‍රීය වළඳන්නේ ය"යි නාගරිකයන් අතර අපවාදයෙක් පැන නැංගේ ය. එය මහඇමැතියාගේ කණට ද පැමිණියේ ය. හෙතෙමේ නුවණැති ස්වගෘහණිය (ස්වකීය භාර්‍ය්‍යාව) ඒ ගැණ මන්ත්‍රණය කෙළේ ය: "සොඳුර, රජතුමා කම්සුව විඳීමෙහි ඇලී වසන කල්හි ඔහු විසින් ඉසිලිය යුතු රාජ්‍ය භාරය ඔහුගේ ම අනුදැනීමෙන් ධර්‍මනීති නො ඉක්මවා උසුලන්නා වූ මට ද 'මොහු විසින් රාජයය නසනලදැ'යි මහත් අපකීර්තියක් ඉපදී තිබේ. ලෝකාපවාදය මහතුන්ට ද දොස් එළවයි. රාමකුමාරතෙමේ ද ජනයන්ගේ අපවාදයෛන් සීතාදේවිය නො හළේ ද? හළේ ම ය. එහෙයින් දැන් මවිසින් කුමක් කට යුතු ද?"

"ස්වාමිනී, ඔබ රජතුමන් වෙත ගොස් තීර්ථයාත්‍රාව පිණිස අවසර ඉල්ලනු මැනව. ඔබ තීර්ථථයාත්‍රාවෙහි යෙදුනු කල්හි ඒ අපවාදය නවත්නේ ය. ඔබ පැමිණි කල්හි අගමැතිපදවිය නින‍්දාව ක් නැති ව ම ලැබිය හැකි ද වන්නේ ය"යි ඕතොමෝ  කීවා.

ඇමැතිතෙමේ රජු වෙත ගියේ ය. රජතුමා සිරිත් වූ ලෙස එතුමා පිළිගත්තේ ය. බොහෝ වේලා බොහෝ දේ ගැණ සාකච්ඡා කෙළේ ය. අවසන්හි ඇමැති තෙමේ "දේවයන් වහන්සැ"යි රජු ඇමතී ය. "මම දැන් මහල්ලෙමි. මම යොවුන්වියෙහි දී රාජකාය්‍යර්‍ කෙළෙමි. ශිෂ්ටධර්‍මය නො ඉක්මමවා පස්කම්සුව වින්දෙමි. මෙතෙක් කල් ඇමැතිකම්හි මිස පරලොව සුව එළවන පින්කම්හි නො යෙදුනෙමි. දෙවයිනි, මෙ සසර නිසරු ය. රොග කව දා පැමිණේදැ යි නො දනිමි. මරුවා කෙස්වැටිය ගෙණ අදින බව හැඟේ. ඔහුගේ යටතට කවර මොහොතක යන්ට වේ දැ යි කීමට කවරෙක් සමර්ථ වේ ද? මනුෂ්‍යජීවිතයෙන් ගතයුතු එක ම ඵලය නම් සසර ලුහුඬු කරණ කුසල් කිරීමයි. එහෙයින් පූජනීය ස්ථාන වඳින්නට යනු පිණිස අවසර දෙනු මැනවැ"යි අවසර ඉල්ලී ය.

රජතෙමේ එය'සා "ඇමැතිතුමනි, මෙසේ නො කළ මැනව. පින් වනුයේ පූජනීයස්ථාන වැඳීමෙන් ද? දානාදීයෙන් පින් සිදු නො වේ ද? සියගෙහි සිට ම දානාදියෙන් ස්වර්‍ගමොක‍්ෂසාධන නො කට හැකි ද? මම ධනය දෙමි. එයින් සියගෙිහි සිට ම පින් කරන්නැ"යි කී ය.

"දෙවයන් වහන්ස, දේශාටනය වනාහී මිනිකෙු ගේ දියුණුුවට ඉතා අවශ්‍ය වූවකි. ලදරු සිතෙහි දෙශාටනයට ඇල්මක් ස්වභාවයෙන් ම ඇකි වන නමුදු මවුපියන්ගේ විරුද්ධත්වය නිසා ලදරුකල්හි ඊට ඉඩ නො ලැබේ. තරුණ බවට පත් වන විට ම ජීවිකාව පිළිබඳ අදහස්වලින් මිනිසා ගේ සිත පිරෙන්නේ ය. එයින් දේශාටනය පිළිබද අදහස් නසා දමනු ලැබේ. ඊළඟට, එබඳු උතුම් අදහස් ඇති වන්නේ මහලුකල්හි ය. මහලුකලත් ගත වූවොත් මේ සිරුරෙන් සිට ගෙණ දේශාටනය කිරීමට ඉඩ නො ලැබේ. අප වැනි රාජකාර්‍ය්‍යයන්හි නියුක්තයන්ට විශේෂයෙන් ම දේශ සඤ්චාරය ඉතා ප්‍රයෝජනවත් වේ. එයින් අපේ දුර්‍වල තැන් සොයා ගත හැකි ය. නොතර තැන් තර කරන අයුරු ඉගෙණ ගත හැකි ය. පිටරැටියන්ගේ අදහස් දත හැකි ය. ඔවුන්ට අපේ රටෙන් වුව මනා දෙය දැන එය සැපයීමෙන් රටෙහි වෙළෙඳාම හා ඔබතුමන්ගේ ආදායමත් වැඩිදියුණු කළ හැකි ය. මෙසේ කරුණු පවත්නා හෙයින් මගේ මේ දේශාටනයෙන් ඔබවහන්සේට මහත් ප්‍රයෝජන වන්නේ ය. තවද, දේවයන්වහන්ස, වන්දනීයස්ථාන වනාහි නිත්‍යයෙන් ශුද්ධ ය. නුවණැතියන් විසින් ඇවිදීමෙහි ශක්තිය තිබෙන කල්හි ම ඒ ස්ථානයන්ට ‌ගොස් වැඳිය පිදිය යුතු ය. එසේ නො වූයේ නම් විශ්වාස නො කට හැකි මේ සිරුර ඒ වන්දනීයස්ථාන හා කෙසේ එක් වේ ද? එහෙයින් ද මවිසින් යා යුතු ම ය."යි අමාත්‍යතෙමේ කී ය.

එකෙණෙහි ම දියවඩනනිලමේ පැමිණියේ ය. "දෙවයිනි, සූර්‍ය්‍යයා අහස්මැදට පැමිණියේ ය. නානුමුර ද සූදානම් ය. එහෙයින් වඩිනු මැනව. නානවේලාව ඉකුත් ව යන්නේ ය"යි සැළ කෙළේ ය. රජතෙමේ ඒ අසා නාන පිණිස එතැනින් නැගිට ගියේ ය. මන්ත්‍රිතෙමේ ද රජු වැඳ ගෙට ගියේ තමා අනු ව යන්නට සැරසුනු භාර්‍ය්‍යාව නවතා සියමෙහෙකරුවන්ට ද නො දැනෙන සේ යාත්‍රාරම්භ කෙළේ ය.

2

ඇමැතිතෙමේ පිළිවෙළින් නොයෙක් දනව්හි සරමින් තීර්ථ‍ස්ථාන වැඳගෙණ කඳුහෙල් පැන ගෙණ ඔඩ්ඩිරටට පැමිණියේ මුහුදුතෙර පිහිටි එක් පටුනක මෙහෙසුරු දෙවොලකට ගොස් එහි මිදුලෙහි එක් පසෙක්හි හිඳ ගත.  දෙව්පුද සඳහා එහි පැමිණි එක්තරා වෙළෙඳෙක් හිරු රැසින් තැවුනු සිරුරු ඇති, දුරුකතර ඊමෙන් වෑරුණු, ඔහු දැක පුනනූලින් හා ශරීරලක‍්ෂණයෙන් ද දුර සිට පැමිණි ද්විජ (බ්‍රාහ්මණ) ශ්‍රෙෂ්ඨයෙකැයි සලකා සියගෙට කැඳවා ගෙණ ගොස් සත්කාර කොට තොරතුරු විචාළේ ය. ඇමැතියා තමන් පිළිබඳ තමන් පිළිබඳ තොරතුරු කීය. වෙළෙඳ තෙමේ "මම වෙළෙඳාම් පිණිස ස්වර්‍ණද්වීපයට යන්නට බලාපොරොත්තුව සිටිමි. භවත් ‌තෙමේ බොහෝ දුර ගමන් කිරීමෙන් වෙහෙසුනේ ය. එහෙයින් මා එන තෙක් මෙහි නැවතී විශ්‍රාම ගණු මැනෑව"යි නිමන්ත්‍රණය  (ආරාධනා) කෙළේ ය.

"මා මෙහි සිටීමෙන් කම් නැත. ඔබ සමග මම ද එහි යනු කැමැත්තෙමි"යි ඇමැතියා කී හෙයින් වෙළෙඳතෙමේ ඔහුත් සමග නැව් නැංගේ ය. ඔහු චණ්ඩ වූ මෝරුන් ආදි මහමසුන්ගෙන් ගහන, කුදුමහත් රළපෙළින් අතරක් නැති, රත්නයන්ට කෙසේ වෙතත් ලුනට ආකර වූ, ජලට නිධාන වූ, මහසයුර තරණය කොට ස්වර්‍ණද්වීපයට පැමිණ මඳ කලක් එහි වැස පෙරළා එන්නාහු මුහුද මැද දඹරන්මුවා කඳ ඇති ඉඳුනිල්මිණිමුවා කොළ ඇති මිණිමුවා පල ඇති මනහර මලින් හෙබුනු කප්රුකක් ද, එහි වෙළෙපෙහි (අතු බෙදී ගිය තැන) රත්නමයපර්‍ය්‍යඞ්කයෙක්හි (රුවන් පුටුවෙක්හි) හුන් මනරම් රුවින් සිරිකත පැරයූ කිසියම් කාන්තාවක ද දුටහ. ඕතොමෝ වෙණ වයමින් ගීයක් කැයූ. "පෙර කළ කම් පරිදි සත‍්වතෙමේ විපාක විඳියි. සත්වයා විසින් පෙර කළ කම් මහබඹහු විසිනුදු වෙනස් කළ නො හැක්ක. යම් කෙනෙකුන්ට යමක් විය යුතු නම්, හෙතෙමේ ඒ විය යුත්ත විසින් ම යටත් කරණු ලැබ සුදුසු ස්ථානයට පමුණුවනු ලැබේ" යනු ඒ ගීයෙහි අර්‍ථය යි.

ඒ අඞ්ගනාව ඒ ගීය ගයා එහි ම ගිලුනා. "අද මවිසින් දුටු මේ ආශ්චර්‍ය්‍යය කුමක් ද? මහමුහුද කොහි ද? දුටු පමණින් නැතු වූ දෙවඟන සහිත කල්පවෘක්ෂය කොහි ද? (මුහුද හා දෙවඟන සහිත කල්පවෘක්ෂය එකිනෙකට බොහෝ ඈත ය. මුහුදෙහි දෙවඟනන් සහිත කප්රුක් විය නො හැක්කැයි කී අයුරුයි.) ඉදින් මුහුද හැමදා මෙබඳු නම්, සිරිකත සඳ කප්රුක යනාදිය මේ සමුදුරෙන් පහළ වීමෙහි කිනම් සැකයෙක් දැ?"යි ඇමැති තෙමේ සිතමින් විස්මිත ව බලා සිටියේ ය.

ඔහුගේ විලස දුටු කර්‍ණධාරාදීහු "මහතානෙනි, අපට මෙහි පුදුමයෙක් නැත. මේ උත්තමාඞ්ගනාව හැම කල්හි මෙහි පෙණේ. දුටු කෙණෙහි ම දියෙහි ගිලේ. ඔබට වනාහි මෙය අළුත් දර්‍ශනයෙකැ"යි කීහ.

මන්ත්‍රී තෙමේ වෙළෙඳා සමග කීප දිනකින් සමුදුර තරණය කොට වෙළෙඳාගේ ගෙට ම ගොස් බොහෝ දවස් එහි ම වැස පහසු ගෙණ වෙළෙඳාට ආශිර්‍වාද කොට පිටත් ව සියදෙසට ගියේ ය.

අඟුරට රජහු විසින් සියඅගමැතියා වූ ඔහු සොයනු පිණිස යොදන ලද චරපුරුෂයෝ ඔහු දුර දී ම දැක අවුත් රජු හට සැළකළහ. රජතුමා නගරය සරසවා මහපෙරහැරින් ගොස් අගමැතිහු පිළිගෙණ රජමැඳුරට ම කැඳවා ගෙණ ආයේය. බොහෝ සත්කාර සම්මානයෙන් අගමැතිහු පිදී ය. "ඇමැතිතුමනි, අප හැර ගොස් කවර හෙයින් මේ දුක් වින්දෙහි ද? එසේ වේවා. කිසි හෙතුවක් නැති ව තීත්ර්‍ථාදීභ්‍රමණයෙහි (පූජනීයස්ථානාදියෙහි ඇවිදීමෙහි)ඔබගේ සිත හැරවූ සර්‍වබලපරාක්‍රම භවිතව්‍යයා (විය යුත්ත) ගේ විසිතුරුගතිය කවරෙක් දනී ද? දැන් කියනු මැනව:- කවර කවර දෙශයෝ ඔබ විසින් යන ලදහු ද? කිනම් අභිනව වස්තු දක්වාලද දැ?"යි විචාළේ ය.

අගමැතිතෙමේ සියගමන් පිළිබඳ සියලු වාර්‍තා සැළ කෙළේ ය. රජතෙමේ දෙවඟන ගැණ අසා ඇය නැති රාජ්‍යයත් නිෂ්ඵල ය යි සිතී ය. "අමාත්‍යශ්‍රෙෂ්ඨයානෙනි, ම විසින් ඕතොමෝ අවශ්‍යයෙන් ම දැක්ක යුත්තී ය. නො එසේ වී නම්, මාගේ දිවි තිබෙතැයි නො සලකනු මැනව. භවිතව්‍යතාවට ම ගරු කොට ඔබ කී මගින් යමි. ඔබ මා නො වළක්වනු මැනව. අනුගමනය ද නොකට යුතු ය. මා එන තෙක් මගේ මේ රාජ්‍යය රකිනු මැනව. ඔබගේ රජ වූ මාගේ මේ අණ වෙනස් නො කළ යුතු ය"යි සිය අදහස රහසින් අගමැතියාට දැන්වී ය.

ඇමැතිතෙමේ ද රජුගේ අධිෂ්ඨානය අසා මහත් උලෙළෙහි (උත්සවයෙහි) ද දොම්නස් සහිත වී ය. ස්වාමියා මහත් වූ ව්‍යසනයෙක් හි වැටුනුකල්හි සන්මන්ත්‍රීන්ට සැපයක් කොයින් ද? හේ නොයෙක් සුභාෂිතයන්ගෙන් රජුගේ අදහස වෙනස් කරන්නට යත්න කෙළේ ය. සර්‍වබලපරාක්‍රම භවිතව්‍යතාව කවදා කුමකින් පැරදේ ය?

ඉක්බිති ඒ රජතෙම රාජ්‍යය අගමැතිහට භාර කර තවුස්වෙස් ගෙණ රාත්‍රියෙහි නුවරින් පිටත් වී ය. පිළිවෙළින් ගම් නියම්ගම් දනවුමඬුලු (ජනපදසමූහ) ගෙවා යන්නේ මඟ දී දිවැස් ඇති එක් තවුසෙකු දැක්කේ ය. රජතෙමේ තවුසා වෙත ගොස් වැඳ සිටියේ ය. "දරුව, මෙනම් වෙළෙඳා සමග නැවු නැග ගොස් අභීෂ්ට (බලාපොරොත්තු වන) කාන්තාව ලබන්නෙහි ය"යි තවුසා විසින් කී තෙපුල් අසා ඉතා පිණා ගියේ වහා එයින් නික්ම ගොස් ඒ වෙළෙඳා සමග නැව් නැංගේ ය. මහමුහුද මැද දී අගමැති කී පරිදි දෙවඟන සහිත කල්පවෘක්ෂය පහළ වී ය. රජ එය දැක ඇසිල්ලක් නිශ්චල ව සිටියේ ය.


3

"පින්වත් රත්නාකරය, (සමුද්‍රය) ඔබට නමස්කාර වේවා. යම්බඳු තොප විසින් මේ දෙවඟන සඟවා ගෙණ සිරිකතගෙන් විෂ්ණුතෙමේ රවටන ලද ද, ඒ ඔබ ශරණ කොට පැමිණියෙමි. ඔබ මාගේ කැමැත්ත සිද්ධ කරණු මැනව. දෙවියන් ඔබ කලඹා ඔබගේ හස්තසාර ධන සියල්ල ම පැහැර ගතැයි අඥයෝ කියති. දෙවියන් පැහැර ගත් අමෘතය කුමක් ද? මේ කාන්තාවගේ දර්‍ශනය ම අමෘතය නො වේ ද? දෙවියන් මෙන් මම ඔබ නො කලඹමි. එබඳු බලයක් නරයෙකු වූ මට කොයින් ද? මම ඔබට මගේ දිවි පුදමි. මා කෙරෙහි පැහැදෙනු මැනව" යනාදීන් රජ තෙමේ මුහුදට ස්තූති කරන්නට පටන් ගත. එකෙණෛහි ම කප්රුක සහිත ඒ දෙවඟන මුහුදෙහි ගිලෙන්නට වන. රජ ද එය දැක ඒ අනුව මුහුදට පැන්නේ ය. මුහුදෙහි ගිලුනු රජතෙමේ හදිසියෙන් ම කිසියම් දෙව්පුරයක් දැක්කේ ය. විස්මයසහිත වූයේ මිණිමුවාටැඹින් හා රන්මුවාබිතුපෙළින් ද, ලෙලදෙන මුතුලැලින් (මුතුවැලින්) යුත් පලඟින් ද මනරම් මැඳුරු සියගණනින් බබලන, තන්හි තන්හි නන්වන් මිණිරුවනින් බැඳි පියගැටපෙළින් විසිතුරු පොකුණුවලින් හා සිතු පැතූ දෙය දෙන කප්රුක්වලින් ද සමෘද්ධ උද්‍යානයන් ගෙන් හොබනා එනුවර දැක, අනෙක සම්පත්තියෙන් පිරිපුන් වුව ද ජනයන් නැති එහි ඒ කාන්තාව සොයනු වස් ගෙයක් පාසා ගියේ ය. අවසන්හි එක් මිණිමුවාමහපහයෙක්හි අගනා ඇඳෙක්හි හිස සිට දෙපතුලට පොරවා ගෙණ හෝනා (නිදන) ඇය දැක්කේ ය. ඕතොමෝ ද මනාවිලස් ඇති රජහු දැක වහා යහනින් නැඟී සිටියා, අතිථිසත්කාර කළාය. තොරතුරු ද විචාළා ය:- "පින්වතානෙනි, භවත් තෙමේ කවරෙක් ද? කෙසේ මේ රසාතලයට (පාතාල ලෝකයට) පැමිණියේ ද? රාජලක්ෂණයෙන් පිරිපුන් ඔබගේ මේ සිරුරෙහි තවුස්පිරිකර කිම් ද?

රජතෙමේ සියල්ල විස්තර කොට ඈ පිළිබඳ තොරතුරු විචාළේ ය:- "පින්වත් යුවතිය, භවතිය කවරක් ද? කවර හෙයින් ශූන්‍ය (හිස්, පාලු) වූ මේ ස්ථානයෙහි තනි ව වසන්නී ද? මට මෙය මහත් පුදුමයකි. ප්‍රහේලිකාවකි. භවතියගේ මවුපියෝ කවුරු ද? නම කුමක් ද? ඔබට පැමිණ තිබෙන විපත කුමක් ද? කියනු මැනව. මගේ මේ අගනා ජීවිතය පුදා වත් අසරණ වූ නුඹ විපතින් ගලවා ගන්නට උත්සාහ කරමි. මම ඔබගේ දැක්මෙන් ම බැඳ දාසභාවයට පත් කරණ ලද්දෙමි. එහෙයින් මට නො වළහා කියනු මැනව."

"මහතානෙනි, මෘගාඞ්කෙස්න නම් ශ්‍රීමත් විද්‍යාධරාධිපතියෙක් ඇත. මම ඔහුගේ දූ වූ මෘගාඞ්කවතී වෙමි. මගේ ඒ පියතෙමේ මා මේ නුවර තනි කර දමා පුරවැසියන් හා කොහි කවර හෙයින් ගියේ දැ යි නො දනිමි. එහෙයින් මම මේ ශූන්‍යස්ථානයෙන් නික්ම මුහුදෙන් මතු වී කප්රුකට නැඟී ගායනා කරමි"යි ඕතොමෝ තමන් පිළිබඳ පුවත් විස්තර කළා ය.

රජතෙමේ නානාවිධමෘදුවචනයන්ගෙන් ඇය සිත් ගත්තේ ය. ඕතොමෝ ද ඔහුගේ භාර්‍ය්‍යාව වන්නට ගිවිසියා ය. "ආර්‍ය්‍යපුත්‍රය, මසක් පාසා පුර අව දෙපස්හි තුදුස්වක්හි ද අටවක්හි දැ යි යන සිවුදිනයන්හි මම ඔබට අයත් නො වෙමි. යම්කිසි තැනකට යන මම ඔබ විසින් නො වැළැක්විය යුතුද නො සෙවිය යුතු ද වෙමි. ඊට හෙතුව ද නො විචාළ යුතු ය"යි පොරොන්දුවක් ද ඉල්ලී ය. රජතෙමේ සතුටින් ම "එසේ ‌වේවා"යි ඇගේ ඉල්ලීම පිළිගෙණ ඇය විවාහ කොට ගෙණ එහි ම විසී ය.

කළුවරරැයින් සැරසුනු අවතුදුස්වක (කළුවර පක්ෂයෙහි 14 වැනි දිනය) පැමිණියේය. ඒ අංගනාතොමෝ දිව්‍යසම්පත්තියෙන් පිණමින් සිටි රජු වෙත ගියා. ගොස් ඉකි බිඳිමින් ඇඬුවා:- "අහෝ! මගේ පවක මහත! අද ඔබගෙන් වෙන් විය යුතු දවසෙකි. නො වැළැක්විය හැකි කිසියම් කටයුත්තක් සඳහා මම පිටත යමි. හෙට නො වරදවා එන්නෙමි. එතෙක් ඔබ මෙහි සැප සේ සිටිනු මැනව. තෙල (අර) පෙණෙන පළිඟුමුවා ගෙට නො යනු මැනව. එහි වූ වැවට නොබසිනු මැනව. එහි බැස්සොත් නිසැකයෙන් මිනිස්ලොවට යන්නෙහි ය! මා එන තෙක් පරිස්සමින් සිටිනු මැනවැ"යි කීවා ය. රජ ඇයගේ කඳුළින් තෙත් මුවපියුම් සියඋතුරුසළුපටින් පිසදැම්මේ ය. හද පැළී යන තරම් සොවින් ඇගේ ඉල්ලීමට අවසර දුන්නේ ය. ඕතොමෝ ද පිටත්ව ගියා ය.

රජතෙමේ ද 'විය යුත්තක් වේවා'යි සිත දැඩි කොට ගෙණ ඒ ගමන ගැණ දැනගණු පිණිස කඩුව හා දුනුහී ද රැගෙණ ඇය පසුපසින් ම ඇයට නො පෙණී ගියේ ය. ඇය නුවරින් පිට වූ කෙණෙහි ම බිහිසුණු රකුසෙක් ගොරනාද කරමින් ඉදිරියට පැන ඇය අල්ලා නරාවළක් වැනි මුවතුළ බහා ගිල්ලේ ය. රජ එය දැක අතිශයින් කිපුනේ එකෙණෙහි ම මහ අසිපත ඇද ගෙණ දිවගොස් ඒ රකුසාගේ හිස සිඳ ලී ය. කඩුසිළින් (කඩුවේ උලෙන්) රකුසාගේ උදරය පැළී ය. එකෙණෙහි ම මෘගාඞ්කවතී තොමෝ එයින් නික්ම ආවා ය. රජතෙමේ ඇය දැක පිණා ගියේ ඇය සතුටින් ආලිඞ්ගනය කෙළේ ය. "ප්‍රියාව, මේ කිම? සිහිනයක් ද? නොහොත් මායාවක් දැ?" යි විචාළේ ය.

4

ඒ විද්‍යාධරකාන්තා තොමෝ ද තමන් පිළිබඳ තතු සිහි කොට රජුට ඒ සියල්ල කීවා ය:- "උතුමානෙනි, අසනු මැනව. මෙය ස්වප්නයක් නො වේ. මායාවක් ද නො වේ. මෙය විද්‍යාධරරාජ වූ මාගේ පියා විසින් කරණ ලද ශාපයක විපාකයකි. මගේ ඒ පියානන් වහන්සේ බොහෝ දරුවන් ඇති ව මෙහි විසූ සේක. මා කෙරෙහි වැඩි ආදරයක් දැක්වූ සේක. මා නැති ව කිසිවිටෙක අහරක් නො ගත් සේක. මම ද මෙහෙසුරුපුදෙහි (පූජාවෙහි)  ඇලුනෙම් හැම තුදුස්වක්හි හා අටවක්හි මෙහෙසුරුදෙවොලට ගියෙමි. එක් දිනෙක්හි දෙව්පුද සඳහා ආ මම මුළු දවස ම දෙවොලෙහි ගත කෙළෙමි. ඒදිනෙහි ද පියතෙමේ මා එන තෙක් බලාපොරොත්තු වූයේ ආහාරපානයක් නො ගත්තේ ය. රාත්‍රියෙහි ආ සාපරාධ මා කෙරෙහි කිපුනු පියතෙමේ ශාප කෙළේ ය:-

'තී බඩසාදුකින් පෙළුනු මා මුළුදවසෙහි ම සිහි නො කෙළෙහි ය! එහෙයින් කෘතාන්ත නම් බිහිසුණු රකුසෙක් මසක් පාසා අටවක්හි හා තුදුස්වක්හි ද ඉසුරුපුදට නගරයෙන් බැහැර යන තී ගිල දමාවා! ඉක්බිති තී ඔහුගේ ලය බිඳගෙණ පිටත එව! මේ ශාපය ද රකුසා ගිලීමෙන් වූ දුක ද සිහි නැති වේවා! තනිව ම මෙහි හිඳුව!'

"ඉක්බිත්තෙන් බිය පත් වූ මා විසින් දීන (බැගෑපත්) වචනයන්ගෙන් සනහන ලද හෙතෙමේ ශාපයාගේ අවසානයක් දැක්වී ය:-

'කුරිරු තැනැත්තිය, මගේ වචන නිෂ්ඵල නො වන්නේ ය. එහෙයින් කලක් තී මේ ශාපය වින්ද යුතු ය. යම් කලෙක්හි අඟුරට රජ මෙහි පැමිණ තීගේ ස්වාමියා වී රකුසා විසින් තී ගිලිනු දැක ඒ රකුසා මරන්නේ ද, එකල්හි තිගේ ශාපය ගෙවෙන්නේ ය. එවිට ම ස්වකීය විද්‍යාවෝ නැවතත් සිහියට එන්නාහු ය.'

"මෙසේ ශාපාවසානකාලය කියා මා මෙහි තනි කර දමා පිරිවර සහිත ව හිමාලයපර්‍වතයට ගියේ ය. මම එතුමාගේ නියමයෙන් ශාපබලයෙන් කිසිවක් නො දැන මෙහි සිටියෙමි. දැන් ඔබගේ අනුග්‍රහයෙන් ශාපය ගෙවින. හැම දෙය පිළිබඳව මගේ ස්මෘතිය ද උපන්නේ ය. එහෙයින් අද පියානන් වහන්සේ වෙත යන්නෙමි. 'ශාපාවසානයෙහි සියගතියට පැමිණෙන්නේ ය' යනු නියමය යි. ඔබතුමා මෙහි ම සිටිනු මැනව. නැතහොත් සිය රටට යනු මැනව. ඒ කරුණෙහි ඔබගේ ම කැමැත්තක් වේවා."

රජ තෙමේ ඇයගේ බස් අසා දුඃඛිත වූයේ "සුන්දරිය, නුඹ තවත් සත්දවසක් මා සමග මෙහි ම සිටිය යුතුය. කිසිවක් නො කියා ... මේ උයනෙහි නුඹ සමග සත්දවස මුළුල්ලෙහි ක්‍රීඩා කරමින් ... කනගාටුව දුරු කරන්ට උත්සාහ කරමි. ඉන්පසු නුඹට නුඹගේ පියා සිටින තැනට ද, මට මගේ රටට ද යා හැකි"ය ඈහට කී ය. ඕතොමෝ ද ... පිළිගත්තා ය.

රජ සත්වැනි දවසෙහි ප්‍රයොගයෙන් ඇයත් සමග මිනිස්ලොවට පැමිණෙන දොරටුව වූ පොකුණ ඇති පළිඟුමුවා ගෙට ගියේ වහා ඇගේ අත දැඩි සේ අල්ලා ගෙන පොකුණට පැන්නේ සියපුරයෙහි උයනෙහි පොකුණින් මතු වී ය! උයන්පල්ලෝ මිනිස් ඇසට උත්සවයක් බඳු ඒ කාන්තාව සමග පැමිණි රජු දැක අගමැතිහට ඒ බව සැල කළහ. මන්ත්‍රිතෙමේ පුරවැසියන්ට දන්වා මහොත්සව කොට පෙරහරින් ගොස් ඒ කාන්තාව සහිත රජතුමා කැඳවා ගෙණ ආයේ ය.

"අහෝ! අහසෙහි විදුලියක් මෙන් ඇසිල්ලක් පමණ කල් පෙණුනු මේ දෙවඟන මේ රජතෙමේ කෙසේ ලබා ගත්තේ ද? බඹහු විසින් යමෙකුගේ ලලාටයෙහි යමක් කොටන ලද නම් එය කොතරම් දුෂ්කර වූවත් එකාන්තයෙන් ම සිද්ධ වන්නේ ය"යි අමාත්‍යතෙමේ සිතී.

මෘගාඞ්කවතිය ද රජු සියදෙසට පැමිණ සිටින බව හා සත්දවස පිරුණු බවත් දැක සිය පියා වෙත යන්ට සිතුවා, එහෙත් එවිට උත්පතනවිද්‍යාව (අහසට නැඟීමට උපකාර වන මන්ත්‍රය) සිහියට නො ආයේ ය. ඕතොමෝ එයින් අතිශයශොකයට පැමිණියා ය. "ප්‍රියාව, කවර හෙයින් මෙසේ ශොක කරන්නෙහි ද? කියව"යි රජු විසින් විචාරණ ලද්දී "රජතුමනි, මම ශාපයෙන් මිදුනු නමුත් මෙපමණ කල් ඔබගේ ස්නෙහබන්ධනයෙන් බැඳී සිටියෙමි. එයින් මගේ විද්‍යාවෝත් දිව්‍යගතිත් නටහ. ආලය, තෘෂ්ණාව, ක්‍රොධය, ඊර්‍ෂ ්‍යාව යනාදී ක්ලෙශයෝ සියල්ලන්ගේ ම ප්‍රඥාව හා මනශ්ශක්තියත් නසන්නාහ"යි පිළිතුරු දුන්නා ය.

රජතෙමේ "මේ දෙවඟන දැන් මට අයත් වූයේ ය යි සතුටට පැමිණියේ මහත් උත්සව පැවැත්වී ය. අගමැතිතෙමේ එය බලා ගෙට ගොස් ශයනගත වූයේ වහා ලය පැළීමෙන් මළේ ය. රජතෙමේ ද ඒ මෘගාඞ්කවතිය සමග යෙහෙන් රාජ්‍යපාලනය කරමින් ස්වර්‍ගසම්පත්ති වැනි සැප විමින් බොහො කල් සිටියේ ය.

වේතාලයා මේ කථාව කියා "රජතුමනි, මේ කරුණ පිළිබඳ ව මා තුළ මහත් සැකයක් තිබේ. ස්වාමි වූ රජතුමාට එතරම් අභිවෘද්ධියක් වූ කල්හි ද ඔහුගේ අගමැතිහුගේ හෘදය ස්ඵුටිත (පැළින) වී ය. ඊට හෙතුව කුමක් ද? 'මවිසින් දෙවඟන නො ලබන ලදැ'යි සිතීමෙන් වූ ශොකය ද? නැතහොත් රජු නැවත පැමිණිබව දැක්මෙන් රාජ්‍යය අයත් කර ගැන්මෙහි අපෙක්ෂාවෙන් සිටි ඔහු තුළ ඇති වූ ඊර්‍ෂ ්‍යාව ද? මේ මාගේ සැකය සිඳුව. දැන දැන මෙය මට නො කීයෙහි නම්, නුඹගේ හිස සියක් කඩකට පුපුරන්නේ ය"යි තර්ජනාන්ත ප්‍රශ්න විචාළේ ය.

මීළඟ කොටස ළඟ දී ම...

පරණ පොතේ පිටුවක් ඉරී තිබීම නිසා සමහර තැන් හිස් තැන් වශයෙන් ම තැබීමට සිදු වූ බව කරුණාවෙන් සළකන්න.

වැඩිපුර බලපු ලිපි