Thursday, March 19, 2026

පාර අයිනෙන් ගත්ත ටයරය - අපේ බාප්පා ගැන කතාවකි

ඒ කාලෙ අපේ ගමේ පාරවල් දැන් කාලෙ වගේ නෙවෙයි. මම කියන්නෙ හැත්තෑවේ දශකයෙ මුල. ගුරු පාරවල් තිබුණෙ. පළල් පාරවලට කිව්වෙ කරත්ත පාර කියලයි. ගමේ ප්‍රධාන ම පාර තිබුණෙ කරත්ත පාරක්.

අපේ තාත්තා ස්ථිර රස්සාවකට ගියෙ හැත්තෑ දෙකේ. මම හිතන්නෙ එයා මුලින් ම රැලේ බයිසිකලයක් ගත්තෙ ඒ කාලෙ, මාස කීපයක පඩියෙන් ඉතුරු කරගත්ත මුදලින්. ඒ බයිසිකලේ පවුලෙ හැමෝට ම වටින එකක් වුණා. හොඳට තෙල් දාලා, රැකගෙන, වටින දෙයක් වගේ තමයි තාත්තා පාවිච්චි කළේ.

දවසක් අපේ බාප්පා මේ බයිසිකලේ ඉල්ලුවා එහා ගමට ගිහිං එන්න. තාත්තා තමන්ගෙ මල්ලිගෙ පරිස්සම ගැන හොඳට දන්න නිසා, බයිසිකලේ දුන්නෙ එච්චර කැමැත්තකින් නෙවෙයි.

මේ බයිසිකල් ගමන තමයි හැම දෙයක් ම වෙනස් කළේ.

බාප්පා ගමන පිටත් වුණේ හවස හතරට විතර. ගියෙ අපේ ගමේ වෙල් යායට එහා පැත්තෙ තිබුණු පරකන්දෙණියට. ගුරු පාර දිගේ ජැන්ඩි පහට බයිසිකලේ පැදගෙන, බෙල් එකත් ඉද හිට නාද කරගෙන යද්දි, ලාවට ඇඳිරි වැටෙමින් තිබුණා. ලා ඇඳිරියට බාප්පා දැක්කෙ නෑ, පාර අයිනෙ නයෙක්  මුවහත් ගල් කෑල්ලක් තිබුණා පාරෙ. ඒක ඇනිලා එක පාරට ම බයිසිකලේ ඉස්සරහ රෝදෙ ටයර් එක පිපුරුවා...

දැන් මොක ද කරන්නෙ? අපේ ගම අවට පරිසරය දන්න අය දන්නවත් ඇති, සුනිල් මාමගෙ කඩේ ගාවින් පහලට තියෙනව නාගහදෙණිය පාර, ඔන්න ඔය පාරෙ අතරමැද හරියෙ තමයි මේක සිද්ධ වුණේ. ඒ කාලෙ ඔය හරිය හද්ද කැලේ. ගෙවල් තිබුණෙත් පාර අයිනෙ නෙවයි, ඒ වගේ ම ගෙවල් අතරත් සෑහෙන පරතරයක් තබුණා, ඉඩම් විශාල වීම නිසා.

ටයර් එක නැතුව රිම් එකෙන් විතරක් බයිසිකලේ තල්ලු කරගෙන ආපහු ගෙදර යන්න තමයි සිද්ධ වෙන්නෙ. ඔය අතරෙ තමයි, බාප්පට පාර අයිනෙ සර සරයක් ඇහුණෙ. හොඳට බලපුවා ම මෙන්න සයිස් නයා. අඩියක් විතර ඇති පෙනේ විතරක්. පෙනේ කොච්චර ලොකු ද කියනව නං ඒකෙ "ප"යන්න විතරක් නෙවෙයි අනික් අකුරු දෙකත් තිබුණා.

බාප්පා එක පාරට ම අත දිග ඇරලා අල්ල ගත්තා අර නයාගෙ ඔලුවෙන්. ඒ කරලා හිටං, ඌව එතුවා බයිසිකලේ රිම් එක දිගට. ඔලුව දෙපැත්තෙන් මාපටඇඟිල්ලෙනුයි දබරැඟිල්ලෙනුයි තද කරපුවාම උගෙ කට ඇරුණා. ඒ කටේ ගැහුවා උගෙ ම නැට්ට.

ඒ කරලා හිටං බාප්පා ආපහු බයිසිකලේ නැගලා පදින්ඩ ගත්තා. ටික වෙලාවක් යනකොට තමයි බාප්පට තේරුණේ, අලුත් ටයර් එක රබර් ටයර්වලට වඩා හොඳයි කියලා. සාමාන්‍යයෙන් ගුරු පාරක බයිසිකලේ යද්දි, ඉස්සරහ රෝදෙ හුළං අඩු කරන්ඩ වෙනව, මොක ද, වලවල්වල වැටෙන කොට හුළං හොඳට ම පිරුණු ටයර්වලින් ටෙන්ෂන් එක බයිසිකල් හැඬල් එකට ම දැනෙනව. එතකොට අත් දෙදරනව වගේ දැනෙනව. නමුත් මේ ප්‍රසන්න ටයර් එක එහෙම නෑ. ඒක වලවල්වල වැටෙනකොට පොඩ්ඩක් බුරුල් වෙලා සාමාන්‍ය පාරෙදි ආපහු තද වෙනව.

බාප්ප ඉතිං ගමනත් ගිහිං, වෙන්ඩ පුංචිත් බලාගෙන, ආපහු ඇවිත්, ගමේ ඒ කාලෙ තිබුණු කඩ කීපයෙන් එකක් වුණු ඇල්බොට් ආතගෙ කඩේ ගාවට ආව. ඇවිත් බයිසිකලේ නවත්තනකොට ම, මුදලාලි දැක්කා ඉස්සරහ ටයර් එක පොඩ්ඩක් දඟලනව. 

"මේ මොකද්ද මේ අමුතු ජාතියෙ ටයර් එක?" කඩේ මුදලාලි ඇහුව.


"මේක නයා ලකුණ ටයර් එකක්." බාප්ප කිව්ව. "මං මේ පාර අයිනෙන් ගත්තෙ. නැද්ද හොඳ ඩන්ලොප් වගේ ටයර් එකක් ගන්ඩ? මේක මාරු කරගන්ඩ ඕනෙ."

ඔය විදිහට අලුත් ටයර් එකකුත් අරගෙන බාප්ප ගෙදර ඇවිත්, අපේ තාත්තට බයිසිකලෙයි ටයර් එකයි දුන්නා. 

පහුවදා තාත්තා විංකල් පියදාස හොයාගෙන ගියා ටයර් එක මාරු කරගන්ඩ. වැඩේ තියෙන්නෙ, පියදාස මාමා, ටයර් එක පන්නන්ඩ හදනකොට නයා තව ටිකක් තද කරගන්නව. මාරු කරන්ඩ දෙන්නෙ ම නෑ. ඒ ගමන තාත්තට තේරුණා, නයා අලුත් ජොබ් එකට ආසයි කියලා. 

ඉතින් තාත්තත් අවුරුදු ගාණක් ම නයා ලකුණ ටයර් එක දාගෙන බයිසිකලේ පැද්දා.

මේ විදිහෙ පරණ කතාවලට පටුනක්...

 1. බාප්පගෙ මිරිස් වගාව












Thursday, February 19, 2026

ඒ මහා ගුවන් අනතුර

පහුගිය දෙසැම්බර් නිවාඩුව පුතාට කදිම අත්දැකීමක් කරන්න මට උවමනා වුණා. ශිෂ්‍යත්ව විභාගය ඉවර වුණ ගමන් ම එළඹුනු ඒ නිවාඩුවේ මෙතෙක් තිබුණු පන්ති, පාඩම් කිරීම් ආදී කටයුතුවලින් මිදිලා ලැබුණු නිවාඩුව නිසා.

නමුත් මට නිවාඩු තිබුණෙ නෑනෙ. මට වැඩ තිබුණා. ලංකාවෙ ලස්සන ම දිස්ත්‍රික්කයක වැඩ කිරීම එක අතකින් බැලුවොත් වාසනාවක්.

ඉතින් මට පුළුවන් වුණා, පුතාටත් මම දකින දේවල් දකින්න ඉඩ ලබා දෙන්න. ඒකට තවත් රුකුළක් වුණේ, මගෙ කාර්යාලීය ගමන් සගයා වුණු කණිෂ්ක. ගිය ගිය තැන මම ගියපු කාර්යාලවල නිලධාරීන් පුතාව ආදරයෙන් පිළිගත්තා. ඒ වගේ ම කණිෂ්කත් පුතාව තමන්ගෙ යාළුවෙක් සහ දරුවෙක් වගේ බලාගත්තා.

ඉතින් පුතාට අවස්ථාව ලැබුණා, ආගරපතන, මස්කෙළිය, නෝර්වුඩ්, අඹගමුව සහ පුන්ඩලුඔය අවට ප්‍රදේශ දැකගන්න. ඒ අතරෙ, ඩන්සිනන් ඇල්ල, කාස්ල්රී සහ නෝටන්බ්‍රිජ් ජලාශ, බිංදුවෙ හැතැප්ම කණුව, සප්තකන්‍යා කඳුවැටිය ආදිය දැකගත්තා.

අපි අද කතාකරන්න යන්නෙ, අවුරුදු 52 කට කලින් සිදුවුණු එක් සිදුවීමක් ගැන.

ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපළේ සිට ජෙඩා බලා යන එක් ගුවන් යානයක්... 

ඒක ගුවන් ගත වුණේ ගරුඩා ඉන්දුනීසියා ගුවන් සමාගම යටතේ වුණත්, ගුවන් යානය අයිති වුණේ ඕලන්දයේ මාටින්එයා සමාගමට. මක්කම වන්දනාවට යාමට ඒ දිනවල තිබුණු අධික මගී ඉල්ලුම සම්පූර්ණ කරන්න, මාටිනෙයා සමාගමෙන් කුළී පදනමින් ගුවන්යානා කීපයකුත්, කාර්යමණ්ඩල කණ්ඩායම් 6 ක් සහ ස්ථාන කළමනාකරුවෙකුත් ගරුඩා ගුවන් සමාගමට ලබා දී තිබුණා. 

අපි අවධානය යොමු කරන මාටිනෙයා පීඑච් එම්බීඑච් එම්පී 138 දරණ ඩීසී 8 ගුවන් යානය ඉන් එකක්. 

1974 දෙසැම්බර් 04 වෙනිදා මේ ගුවන් යානය සුරබයා ගුවන් තොටුපොළෙන් පිටත් වෙන්නට සූදානම් වෙද්දී, එහි කාර්ය මණ්ඩලයට ආහාර විෂ වීමක් සිදු වෙලා තිබුණා. 

ඉතින් හදිසියේ ම ඒ වෙනුවට වෙනත් කණ්ඩායමක් යොදවන්න සිද්ධ වුණා. ප්‍රධාන ගුවන් නියමු කැප්ටන් හෙන්ඩ්‍රික් ලැමේ, සහකාර නියමු හෙවත් පළමු නිලධාරි රොබට් බ්ලොම්ස්මා, ගුවන් ඉංජිනේරු ජොහැනස් ගිජ්ස්බෝටස් විජ්නෑන්ඩ්ස් ඒ අලුතින් යොදවපු අය. 

ගුවන් යානය සුරබයා සිට කොළඹටත් (කටුනායක), එතනින් නැවත ඉන්ධන පුරවාගෙන ජෙඩා වෙතත් පියාසර කරන්න නියමිත ව තිබුණා. නමුත් අලුතින් යෙදවූ ප්‍රධාන නියමුවරයා ඊට පෙර කවදාවත් සුරබයා සිට කොළඹට පියාසර කළ අත්දැකීමක් තිබුණේ නෑ. සහකාර නියමුවා මුළු ගමන් මාර්ගයට ම නවකයෙක්.


සාමාන්‍යයෙන් මේ වගේ ගමන්වලට ප්‍රථමයෙන් නියමුවන්ට, පළපුරුදු නියමුවන් සමඟ පියාසර කර, නව ගමන් මාර්ග ගැන අත්දැකීම් ලබා ගන්න අවස්ථාව ලබා දෙනවා. නමුත් මෙ දින ඇතිවුණු හදිසි තත්ත්වය මත මේ අය යොදවන්න සිදු වී තිබුණා.

මේ විදිහට ගුවන් යානය ජාත්‍යන්තර වෙලාවෙන් 12:03 පැය ට හෙවත් ඉන්දුනීසියා වෙලාවෙන් 07.03 ට සුරබයා වෙතින් පිටත් වුණා. විශේෂ සිදුවීමකින් තොරව යානය, කොළඹ ගුවන් තොරතුරු කළාපයේ සීමාවට ළඟා වුණා කොළඹ වේලාවෙන් රාත්‍රී 09.52 ට. ගුවන් නියමුවා කොළඹ කළාපීය පාළක මැදිරිය අමතා දැන්වූවා, ඔවුන් කටුනායක සිට නාවුක සැතපුම් 130 ක් දුරින් සිටින බව. නැවතත් 09.55 ට ඇමතූ නියමුවා දැන්වූවා, ඒ වන විට ඔවුන් නාවුක සැතපුම් 120 ක් දුරින් මුහුදු මට්ටමේ සිට අඩි 35,000 ක උසකින් සිටින බව.

කොළඹින් ගුවන් යානයට උපදෙස් දුන්නා අඩි 15,000ක් දක්වා පහතට බසින ලෙසටත්, නාවුක සැතපුම් 50 දී නැවතත් අමතන ලෙසටත්.

නැවතත් ප.ව. 10.05 ට ගුවන් නියමුවා කොළඹ අමතා දැන්වූවා, ඔවුන් සැතපුම් 50 ක් දුරින් අඩි 16,000ක උසකින් සිටින බව.

එතන දී කොළඹින් ඔවුන්ට උපදෙස් ලැබුණා, අඩි 5,000 දක්වා පහතට බසින්නත්, අඩි 8,000 දී නැවත අමතන ලෙසටත්. ඒ වගේ ම කොළඹින් කටුනායක පාළක කුළුණට මෙම ගුවන් යානයේ පැමිණීම ගැන දැනුම් දුන්නා. 

ගුවන් යානය නැවතත් 10.08 ට පමණ කොළඹ අමතා තමන් අඩි 8,000 ක උසකින් සිටින බව වාර්තා කළා. එතන දී කොළඹින් ගුවන් යානයට දැන්වූවා, කටුනායක හා සම්බන්ධ වන ලෙසට.

ඒ අනුව ගුවන් යානය කටුනායක අමතන්නට උත්සාහ කළා. කිහිප වතාවක් ගුවන් විදුලි තරංගමාලා කීපයක් ඔස්සේ උත්සාහ කළ පසු ඔවුන්ට රාත්‍රී 10.09 වන විට සම්බන්ධතාව ගොඩනගා ගත්තා කටුනායක පාළක කුළුණ සමග. ඒ වන විට තමන් නාවුක සැතපුම් 14ක් දුරින්, අඩි 7,000 සිට අඩි 6,000 ක් දක්වා පහත බසිමින් සිටින බව ගුවන් නියමුවා කටුනායක දැන්වූවා.

කටුනායක සිට සැතපුම් 14ක් තරම් ආසන්න වී ඇති නිසා අඩි 2,000 ක් දක්වා පහත බසින ලෙසට කටුනායකින් දැන්වූවා. 

ඉන් පසු මේ ගුවන් යානයෙන් කිසි ම සන්නිවේදනයක් නිකුත් වුණේ නැහැ.

කොත්තැල්ලෙන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ජී. ආර්. පුංචිසිඤ්ඤෝ එදා රෑ විමලසුරේන්ද්‍ර බලාගාරයේ රාජකාරියේ නිරත වී සිටියා. රෑ 10:15 ට විතර පොළොව හෙල්ලෙන තරම් මහා ශබ්දයක් ඔහුට ඇසුණා.

කොත්තැල්ලෙන මුරුත්තැන්න ගමේ පදිංචි 21 හැවිරිදි සුමනදාස එදා රෑ සාදයකට සහභාගී වී සිටින අතර, ගුවන් යානයක් ගිණි ගනිමින් සප්ත කන්‍යා කඳුවැටියේ අංජිමලේ කන්දේ හැපෙනු දුටුවා. ඒ ගැටීමත් එක්ක කන්දේ තිබුණු බට පඳුරු ගිනිගත්තා.

හැටන් තැපැල් කාර්යාලයේ රාත්‍රී දුරකථන කියාකරු ලෙස සේවයේ යෙදි සිටියා මල්දෙණිය නම් මහත්මයෙක්. ඔහු කටුනායක ගුවන් තොටුපළ අමතා දැන්වූවා, මස්කෙළිය ප්‍රදේශයේ ගුවන් යානා අනතුරක් සිදු වී ඇති බව.

අංජිමලේ යනු දෙමළ භාෂාවෙන් 5 වන කන්දයි. යානයේ වම්පස පියාපත සප්තකන්‍යා කඳුවැටියේ හතරවන කන්දේ ගැටුණා, ඉන් සමබරතාව බිඳුණු යානව පස්වන කන්දේ පාෂාණමය මුහුණත ගැටිලා පිපුරුවා.

යානයේ සිටි මඟීන් 185 දෙනා ම ඉස්ලාම් බැතිමතුන්. කාර්ය මණ්ඩලයේ 9 දෙනාත් සමඟ ඔවුන් සියලු දෙනා ම ජීවිතක්ෂයට පත්වුණා.

වාර්තාකාරයා ගිහින් ගල්කුළ රස්නෙද කියල අතගාල බලල ඇවිත් ලියල තියෙන්නෙ...
ඒ කාලේ අපේ තාත්තා කිව්වෙ දිනමිණ පත්තරේට බොරු පත්තරේ කියලා. මම හිතුවා පොඩි කාලේ, "ඇත්ත" පත්තරේ වගේ ම "බොරු" පත්තරේකුත් තියෙනව කියලා.

මුදාගැනීමට පසුවදා එහි ගිය හමුදාවේ සෙබළුන් සහ ගම්වැසියන්ට ප්‍රදේශයට ආවේණික අයහපත් දේශගුණය වගේ ම, භූමියේ විෂම පිහිටීමත් අභියෝගයක් වුණා. ගෙන ඒමට හැකි වුණු තරම් සිරුරු කොටස් ගෙනැවිත් කඳුවැටිය පාමුළ හෙවත් නෝටන් බ්‍රිජ් හි තර්බර්ටන් ප්‍රදේශයේ සමූහ මිනීවළක මිහිදන් කෙරුණා. එහි ස්මාරකයක් ද ඉදි කෙරුණා.


මේ සිදුවීම වුණේ කොහොම ද?

යානයේ ගුවන් යානා දත්ත රෙකෝඩරය හෙවත් කළු පෙට්ටියත් විනාශ වී තිබුණා. ඉතා දුෂ්කර ලෙස වුවත් සොයා ගත හැකි වුණේ, මෙහි පටිගත වන පටියෙන් අඩි 130 ක් දිගට ඉතිරි වූ කොටස් පමණයි. එහි සටහන් වී තිබුණේ ත් ගුවන් ගමනේ මුල් කොටස්වල සන්නිවේදනයන්. ඉතින් ගුවන් යානා අනතුර ගැන පසුව කෙරුණු විමර්ශනයට යොදා ගත හැකි වුණේ පාලක කුළුණුවල සටහන් වූ සන්නිවේදනයන් පමණයි.

ඒ අනුව මෙම අනතුර විමර්ශනය කරලා, ලංකාවේ සිවිල් ගුවන්ගමන් දෙපාර්තමේන්තුවෙන් විමර්ශන වාර්තාවක් නිකුත් කෙරුණා. 

ගුවන් නියමුවා කියූ හැටියට, කටුනායක සිට සැතපුම් 14ක් දුරින් ඔවුන් සිටියා නම්, ඔවුන් සිටිය යුත්තේ කොළඹට ආසන්න තැනිතලා කළාපයේ. එහි දී අඩි 2,000කට පහත බැස්වීම ගැටලුවක් නැහැ. නමුත් ඒ අවස්ථාවේ ඇත්තට ම ඔවුන් සිට ඇත්තේ කටුනායකින් නාවුක සැතපුම් 56ක් දුරින්. ඒ කියන්නේ මධ්‍යම කඳුකරයේ. සප්ත කන්‍යා කඳුවැටියේ උස ම කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 5,148ක් උසයි. ඉතින් සිදු වූ දෙය සිතා ගන්න පුළුවන්.

එයින් පෙනෙන්නේ, ගුවන් යානයේ දුර මැනීමට පැවති උපකරණ දෝෂ සහිතව පැවතුණු බව. මේ සඳහා ප්‍රධානව භාවිත කෙරුණේ, ඩොප්ලර් රේඩාර් පද්ධතියක්. මෙහි දුර පෙන්වා ඇත්තේ නාවුක සැතපුම් 46ක් අඩුවෙන්. මේ ගැන මුල් ගුවන් නියමුවා සහ කාර්ය මණ්ඩලය දැනගෙන සිටියත් නැතත්, අලුතින් යෙදවන ලද කාර්ය මණ්ඩලය දැනුවත් කර තිබුණේ නැහැ.

එම පද්ධතියේ දෝෂයක් තිබුණත්, ආසන්න වශයෙන් දුර ගැන අදහසක් ගැනීමට කාළගුණ රේඩාර් පද්ධතියෙන් පුළුවන්. නමුත් පසුව අනාවරණය වූ අන්දමට, එම පද්ධතියත් දෝෂ සහගත එකක් ව තිබුණා.

ඉතින් අන්තිමට, මේ ගුවන් යානා අනතුරට හේතුව, ඇන්ටන් ජෝන්ස් කියනවා වගේ... "කාර්මීකරණ දෝෂයක්!"

මෙය ඒ කාලය වන විට ලෝකයේ සිදු වී තිබුණු දෙවැනි විශාලත ම ගුවන් අනතුර. දැනට එය ලොව 37 වැනි බිහිසුණු ම අනතුර වන අතර, ලංකාවේ සිදු වූ දරුණුත ම ගුවන් යානා අනතුර යි.

මේ ගැන අපේ හිතවත් සවිදු සත්සර විජේවර්ධන මහතා කළ විඩියෝව පහතින් තිබෙණවා. 


මූලාශ්‍ර:

Report on the accident to Martinair DC-8 PH-MBH on 4th December 1974 at Theberton Estate, Maskeliya, Sri Lanka. - Ministry of Transport, Department of Civil Aviation. 16 June 1975.

සප්ත කන්‍යා ගුවන් අනතුර: හතළිස් පස් වසරක මතකය - BBC

Saturday, February 14, 2026

පතුලක් නොපෙණෙන ආවාට...?

එකෝමත් එක කාලෙක...

ගම්බද පාරක යමින් සිටි බෙරවායෙකුට දකින්න ලැබුණේ කවදාවත් අහලවත් නැති දර්ශනයක්. 

රත්තරන් කොතක්... පළාත ම දිළිසවමින් එකපාරට ම පොළොවෙන් මතු වුණා. කීප මොහොතකින් ආපසු පොළොවට ම ගිළුණා. ආපහු තවත් තැනකින් මතුවුණා. ආපසු ගිළුණා. මේ විදියට කීප විටක් ම මතුවුණු රන් කොත, පොළොව දිගේ පහතට ඇදී ගෙන ගිහින්, පහතින් තිබුණු ඔයට වැටුණා. 

මේ ආශ්චර්යය දැකපු බෙරවායා, මේ සිදුවීම නම් දේව හාස්කමක් බව හිතලා, ඊට කරන ආචාරයක් වගේ ම ඒ ගැන අවට සිටි ගම්වැසියන් ට දැන ගැනීමට හේවිසි ගහන්න පටන් ගත්තා.

මේ සිදුවීම කටින් කට ගියා. මේ කොත මතුවුණු විවර හැටියට හඳුනාගන්න පුළුවන් - පතුලක් නොපෙනෙන විවර තුනක් මේ කියන ප්‍රදේශයේ තියෙන ආකාරය පසුව සොයාගන්න පුළුවන් වුණා. බෙරවායාගේ කතාවේ කොත පහළට ඇදී ගිය මාර්ගය විදිහට සළකාගන්න පුළුවන් පුළුල් සහ ගැඹුරු ඇලක් වගේ ගල්වලින් හැදුණු මාර්ගයක් ඒ කියන ආවාට තුන අසළින් පටන් ගෙන ඔය දිහාවට පහළට සකස් වෙලා තිබුණා.

කටින් කට ගිය ජනප්‍රවාදය අනුව මේ ප්‍රදේශය කොත්තුනුගොඩ හැටියට හැඳින්වුණා. ඒ සමස්ත ප්‍රදේශය ම කොතක් මතුවුණු මලය (හෙවත් කඳුකරය) යන අර්ථයෙන් පසුකාලීනව කොත්මලේ නමින් හැඳින්වුණා.

*    *    *

ඇත්තට ම කොත්තුනුගොඩ මේ දක්වාත් ඔය කියන පත්ළක් නොපෙණෙන ආවාට තුන තිබෙණවා. ඒ අතරින් විශාල ම ආවාටය අසළින් පහළට ඇදෙන ගල් බිත්ති සහිත ඇළ මාර්ගය දැනටත් ගම්වැසියන් හඳුන්වන්නේ දෝව කියලා. දෝවේ ගල් බිත්තිවල සටහන් වෙලා තියෙනවා, උණු ලාවා පහතට ගළාගිය ආකාරය. ආවාටවල ස්වභාවය වගේ ම ඉහතින් තිබුණු ජනප්‍රවාදයෙන් ඇඟවෙන ආකාරයට, මේ කියන්නේ සක්‍රිය වුණු කුඩා ගිණිකන්දක් ගැන...

සමහරවිට අර කියන බෙරවායා ඇත්තට ම ගිණිකන්දක් දැක්කා ද? එහෙමත් නැත්නම්, මේ ආවාට සහ දෝව දැකපු පසුකාලීන ජනාවාස ඇතිකරගත් ගැමියන් මේ සියල්ල එකතු කරලා ජන කතාවක් නිර්මාණය කළා ද? 

ඔය ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.

අපට පසුගිය දෙසැම්බර් 13 වැනිදා මේ ස්ථාන ඇස් දෙකෙන් ම දැකගන්න හැකි වුණා. පහතින් තියෙන්නේ ඒ ගැන සවිදු සත්සර විජේවර්ධන උන්නැහැ කළ යූටියුබ් විඩියෝව. ඔබත් දැකගන්න... 


අපි තවත් කුතුහලාත්මක වීඩියෝ මේ චැනල් එකට එකතු කරලා තියෙනවා. ඉදිරියටත් තවත් වැඩිය දකින්න නොලැබෙන දේවල් ගැන, එහෙමත් නැත්නම් අපි හොඳට දන්න දේවල නොදන්න විස්තර ඇතුළත් විඩියෝ එකතු කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අනික් අයටත් මේ ගැන කියන්න. ඔබ ලබා දෙන නොමිලේ ප්‍රචාරණය අපට ලොකු තල්ලුවක් සහ උනන්දු කිරීමක්. (මොනටයිස් කරලා, තවදුරටත් ගුණාත්මක විඩියෝ කිරීම සඳහා අවශ්‍ය වියදම් ආවරණය කරගන්න පොඩි පහේ ආදායමක් ලබා ගන්නත්...)

විඩියෝව පටිගත කරගැනීමට සහ ප්‍රදේශය ගවේෂණය කිරීමට උපකාර කළා:

නුවරඑළියේ එච්. ඒ. කණිශ්ක අභිෂේක මහතා

කොත්තුනුගොඩ

කේ. ඩබ්ලිව්. ප්‍රියන්ත මහතා (ආවාට පිහිටා තියෙන්නේ මෙතුමාගේ තේ වත්තේ)
කේ. ඩබ්ලිව්. සුරවීර වෙද මහතා
කේ. එම්. නිවන්ක මහතා සහ ඔහුගේ පුතා වන,
කේ. එම්. හංස හේෂාන් පුතා

Monday, February 2, 2026

අඹන්පොළ රාළගෙ අපූරු සාක්කිය - උපුටාගැනීමකි

පින්තූරය ඇන්දෙ - ChatGPT

අදට අවුරුදු දෙසීයකට තරමේ එපිට කාලයක, ගමක වූ  රණ්ඩුවක් ගැන, ඒ කාලයේ ජීවත්වුණ අඹන්පොළ රාළ (අඹන්විට රාළ බවත් කියනව.) ලියූ  කවි පංතියක් මේ. 

මේ රණ්ඩුවට සහභාගි වුණ අයගෙ නම් ගම් එහෙමත් තිබෙන නිසා, ඒ කාලයේ  භාවිත වුණ නම් මොනවද කියාත් මෙයින් දැනගැනීමට  පුලුවන්. එහි  වැඩිපුර සිට  ඇත්තේ  කාන්තාවන් ය. සමහර කාන්තාවන් රණ්ඩු කෙකි නෙව! 

කාන්තාවන්ගේ නම්:

කළූ, සපූ, සවුන්දරී, ළමී, කුමී, සමිත්තරී, කිරී, ගිරී, පවුත්තරී තමා ඒ අය.  දිඹුල් මලී යනුවෙනුත් නමක් සඳහන් ව තිබුණද, එය  මේ කවියේ එළිසමය  ගැලපීමට  යෙදූ  නමක් බවයි හැඟෙනුයේ (දිඹුල් ගස්වල මල් තිබෙන බවක්  ගැමියෝ විශ්වාස නොකරත්.).

පිරිමි නම්:

රණ්ඩුවට  සහභාගි වී, එතන සිටි කාන්තාවන්ගෙන් ගුටි කෑවේ දියෝගු නමැත්තා පමණි.  දියෝගු යනු පහතරට වැසියන් පාවිච්චි කළ පෘතුගීසි නමකි.

නල්ලුරුවෙ සෙල්ලා, ඇඹුල්දෙණියේ කිරා, වත්තල කළුවා, යන අයගේ බිරින්දෑවරුන් පමණක් කලහයට  එක් වී තිබේ.  බඩ බක්කා යන අයගේ දුව ද එතනට ආවද, ගැටුමට සහභාගි වී නැත.

කළුත් සපුත් සවුන්දරිත් 
ලමිත් කුමිත් සමිත්තරිත්
කිරිත් ගිරිත් පවුත්තරිත්  
ඇවිත් කළ රොසේ 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

පසුත් පෙරත් දෙයත් වරත් 
රකිත්  සිටිත්  අනිත්  බනිත් 
ගසත්  ඉසිත්  ගලුත් වැලුත් 
මමත් දුටු ලෙසේ 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

ඇඹුල්දෙනියෙ කිරාගෙ අඹු
දිඹුල්මලිට ඇන්න ටොක්ක
බුබුල් නැඟුනි හිස හැම තැන 
ඇඹුල් දෙසි ලෙසේ 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

නැඹුල් යකුට නිති පුදකොට
එකල් දියගු දිවගෙන ගොස් 
දිඹුල් දියට කඩන් පැනපි 
කිඹුල් මොටෙකු සේ 
ඔහොයියා 

අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

නල්ලුරුවේ සෙල්ලගෙ අඹු
එතැනම සිට ගුල්ලො නොවිදි
ඉන්නක් ගෙන බල්ල කියා 
ගසන කල සිටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

ඉල්ල කකා ආඬින් වෙත 
කොල්ල සේම ගොස් දියෝගු
බල්ල සේම පැනපිය ගොස් 
වල්ල කැලයටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

ටොක්ක නොහැර ඉන්නා බඩ
බක්ක කියන හකු‍රගෙ දුව
අක්කෙ නුඹත් එන්නෙද 
අන්නක්ක නෙලුමටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

කෙක්ක අගින් ඇන්න කලට
හක්ක දෙපිට දත් එළියට 
ටොක්ක නොකා පැනපිය ලිප්
- බොක්ක ඇතුළටා 

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

වත්තල කළුවාගෙ අඹුව
තිත්ත කථාවෙන් බැණ බැණ
වත්ත පහළ  තිබුණු කිතුල්
- පිත්ත ‍ගනිමිනා

ඔහොයියා 
අවුල්නාද සපිරිවර්දනේ 
දින දින අවුල්නාද සපිරිවර්දනේ 

පැත්ත පිටට දුන් කල සම්
පොත්ත ඉගිලි හඩක් ගසා
අත්තන කැලයට දුවපිය 
චිත්ත බියගෙනා 

(අඹන්පොළ රාළ කවියාගේ පබැඳුමකි.)

අන්නක්කා = අන්නාසි

Channa Withana

2025.01.14



Saturday, November 22, 2025

යුද්දේ...



එක ජාතියක් ඉහළිනුත්, තව එකක් පහළිනුත්

තියන දර්ශනය

අන්තිමේ දී සහ සම්පූර්ණයෙන් ම අර්ථ දක්වා, අත්හැර දමන තුරු

හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...


තවදුරටත් හැම ජාතියක ම 

පළමු පංතියක් සහ දෙවෙනි පංතියක් නැති වෙන තුරු

මිනිසුන්ගේ හමේ පැහැය

ඔහුගේ ඇසේ පැහැය වගේ ම සැළකිලිමත් විය යුතු නැති දෙයක් වන තුරු

මං කියන්නෙ, යුද්දේ...


මූලික මිනිස් අයිතිවාසිකම් සමානව

ජාතිය ගැන නොවිමසා හැමෝට ම ලබා දෙන තුරු, 

යුද්දේ...


ඒ දවස උදා වන තුරු,

සදාකාලික සාමය ගැන, ගෝලීය පුරවැසිභාවය ගැන,

ජාත්‍යන්තර සදාචාරයක පාලනය ගැන සිහිනය

ළුහුබැඳ යා යුතු ව, නමුත් කවදාවත් ලබා ගන්න බැරි...

තාවකාලික මායාවක් හැටියට පවතින 

දැන් හැමතැන ම යුද්දේ, යුද්දේ.


විවිධ රටවල අපේ සහෝදරයන් 

අමානුෂික බන්ධනයෙන් පාලනය කරන

අනාර්ය සහ නොසතුටු රාජ්‍ය පාලනයන්

පෙරළා දමා, මුළුමනින් ම විනාශ කරන තුරු

හැම තැන ම යුද්දේ, මං කියන්නෙ යුද්දේ...


නැගෙනහිරත් යුද්දේ, බටහිරත් යුද්දේ

උතුරෙත් යුද්දේ, දකුණෙත් යුද්දේ

යුද්දේ, යුද්දේ, යුද්ධය ගැන කට කතා.


ඒ දිනය වෙන තුරු, මහ පොළොව

සාමය ගැන නොදැන සිටිනු ඇත, අපි සටන් කරාවි

එය අත්‍යවශ්‍ය බව අපට දැනේ වි, අපි දිනන බව අපි දනීවි

අපට ජයග්‍රහණය ගැන නිසැක නිසා.


හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි,

හොඳ, නරක යටපත් කරාවි. 

*    *    *

බොබ් මාලේ ගේ WAR ගීතය ඇසුරින් දළ පරිවර්තනයක්... 


මේකෙ අදහස හිතට වැදුණේ පහත ෆේස්බුක් සටහන කියවීමට ලැබීමෙන්.

https://www.facebook.com/share/p/16QfVMzQ2b/



Saturday, November 15, 2025

ශනිදා 10ට - විනතා සහ කද්‍රැ ගේ කතාව - னாගයන් සහ ගුරුළා 01

මීට කලින් වේතාල කතාවේ කමෙන්ට් කරපු රුසියානු ලී බෝණික්කා විනතා සහ කද්‍රැගේ ඔට්ටුව ගැන ලියන්න යෝජනා කළා. ඒ කතාව මහාභාරතයේ තිබුණු තැනින් (මේක තියෙන්නෙ අස්ථික පර්ව කියන කොටසෙ) හොයාගෙන, මගෙ ක්‍රමයට පරිවර්තනය කරලා පහතින් පළ කරනු ලැබේ. විශේෂ ස්තූතිය බුරතීනෝ ට...

ස්වර්ණමය යුගයේ දී දක්ෂ ප්‍රජාපතීන් හට දියණියන් දෙ‌ දෙනෙක් වූහ. මේ සොහොයුරියන් ‌දෙ දෙනා විස්මය දනවන සුන්දරත්වයෙන් යුක්ත වූවෝ ය. විනතා සහ කද්‍රැ නම් වූ ඔවුන් දෙ දෙනා ම කාශ්‍යප සෘෂි විසින් විවාහ කර ගන්නා ලදහ. තම භාර්යාවන් නිසා ඉමහත් සතුටට පත් වූ කාශ්‍යපයෝ, ඔවුන් එකිනෙකාට වරයක් බැගින් ප්‍රදානය කළෝ ය. එය  ඇසූ කාන්තාවෝ දෙ දෙනා ද මහත් සතුටට පත් වූහ. කද්‍රැ ප්‍රාර්ථනා කළේ පුතුන් ලෙස, සමාන ශ්‍රේෂ්ඨත්වයෙන් යුත් දහසක් සර්පයන් ලැබීමට ය. විනතා, ශක්තියෙන්, බලයෙන්, ශරීර ප්‍රමාණයෙන් සහ පරාක්‍රමයෙන් ඔවුන් දහස ඉක්මවා යන, පුතුන් දෙ දෙනෙකු ලැබීමට පැතුවා ය. කද්‍රැ වෙත ඔවුන්ගේ ස්වාමියා බහු පුත්‍ර වරය ප්‍රදානය කළ අතර, විනතාවට ද, "පැතුම ඉටු වේවා!"යි කීවේ ය. "බීජයන් (දරුවන්) ප්‍රවේසමෙන් දැරිය යුතු ය"යි කාශ්‍යප වරයන් ලැබීමෙන් ප්‍රීතියට පත් සිය භාර්යාවන්ට කියා, වන ගත විය.

කාලය ගත වී යද්දී, කද්‍රැ බිජු දහසක් බිහි කළ අතර, විනතා බිජු දෙකක් බිහි කළා ය. ඔවුන්ගේ පරිවාර ස්ත්‍රීන් එම බිජුවටයන් වෙන වෙන ම උණුසුම් කුටීර තුළ තැන්පත් කර තැබූ හ. අවුරුදු පන්සියයක් ගත වූ ගිය පසු කද්‍රැ බිහි කළ බිත්තර පුපුරා දරුවන් පිටතට ආහ. එහෙත් විනතා ගේ නිඹුලුන් බිහි වූයේ නැත. ඊර්ෂ්‍යා සහගත වූ විනතා එක් බිජුවටයක් බිඳ බැලුවා ය. එතුළ වූ දරුවා ගේ උඩුකය වර්ධනය වී තිබුණ ද, යට කොටස වැඩී තිබුණේ නැත. මෙයින්, බිජුව තුළ සිටි දරුවා කෝපයට පත් වී, සිය මවට ශාප කළේ ය. "නුඹ මෙම බිජුවටය නිසි කලට පෙර බිඳි හෙයින්, නුඹ වහලියක් වේවා! තවත් අවුරුදු පන්සියයක් යනතුරු, සම්පූර්ණයෙන් වැඩී නොමැති අනෙක් බිජුව විනාශ කිරීමට හෝ නොඉවසිල්ලෙන් බිඳීමට තැත් නොකළහොත්, එහි වැඩෙන කීර්තිමත් දරුවා නුඹ වහල්බවින් මුදවනවා ඇත! ඒ දරුවා ශක්තිමත් වීමට නම්, මේ සියලු කාලය තුළ නුඹ එම බිජුව ඉතා සැළකිල්ලෙන් රැක බලා ගත යුතු ය." මෙසේ ශාප කළ දරුවා අහසට නැංගේ ය. ඔහු සූර්යයාගේ රථාචාර්ය බවට පත් වූ අතර, උදෑසණ අහසේ දැක ගත හැකි අරුණ නම් වූයේ ඔහු ය.

අවුරුදු පන්සියයක් ගිය තැන අනෙක් බිජුව ද පුපුරා විවර වී නාගයන් බුදින්නා වූ ගුරුළා පිටතට ආයේ ය. ඔහු ආලෝකය දුටු මොහොතේ ම, සිය මව හැර ගියේ ය. සියලු පක්ෂීන්ට නායකයා වන හෙතෙම, සාගිනි දැනී, තමන්ට නියම කර ඇති ආහාරය සොයා පියාසර කළේ ය.

මේ කාලයේ එක් දිනක, සොහොයුරියන් දෙ දෙනා මනස්කාන්ත, දෙවියන් විසින් ද වන්දනය කෙරුණු, අශ්වයින් අතර අග්‍ර මාණික්‍යය වූ, අමෘතය පිණිස කලඹන ලද සමුද්‍රයෙන් මතු වූ උච්ඡායිඃශ්‍රවා නම් අශ්වයා දුටහ.

මහා සුන්දරත්වයෙන් සහ බල පරාක්‍රමයෙන් හෙබි උච්ඡායිඃශ්‍රවා ගැන කද්‍රැ, විනතාවගෙන් මෙසේ ඇසුවා ය: "කියන්න ප්‍රිය සොයුරිය, උච්ඡායිඃශ්‍රවා කුමන පැහැයකින් යුක්ත ද?" ඊට විනතා පිළිතුරු දුන්නී: "ඒ අශ්වයින්ගේ අග්‍ර කුමාර තෙමේ නිසැකව ම ශ්වේත වර්ණ වෙයි. නුඹ කුමක් සිතයි ද? උහු කුමන වර්ණ ද? ඒ ගැන පරදුවක් තබමු."  කද්‍රැ පිළිතුරු දෙමින්: "ප්‍රසන්න සිනාවෙන් යුක්ත තැනැත්තිය, මට සිතෙන්නේ මේ අසුගේ වලගය කළු පැහැ බවයි. සුන්දරිය, මා සමග ඔට්ටු තබන්න, පරදින්නී අනෙකාගේ වහලිය වේ වා!.

මෙසේ තම තමන් අතර, වහලියක මෙන් දාසකම් කිරීමට පරදු තබා සොහොයුරියෝ නිවස වෙත ගියේ, ඊ ළඟ දිනයේ දී අශ්වයා පරීක්ෂා කර බලා නිගමනයකට එළඹීමට තීරණය කර ගෙන ය. කද්‍රැ වඤ්චාවක් කිරීමට අදිටන් කර ගත්තී, ඇගේ පුත්‍රයින් දහසට, කාල වර්ණ කෙස් ගස් බවට පරිවර්තනය වී අශ්වයාගේ වලිගය වසා ගන්නට නියෝග කළා ය. එහෙත් ඇගේ පුත්‍රයින් වූ සර්පයන් ඇගේ අණ පිළිපැදීම ප්‍රතික්ෂෙප කළෙන්, ඈ ඔවුනට ශාප කළා ය. ඒ, "පාණ්ඩව පරපුරේ ප්‍රඥාවන්ත ජනමෙජය රජුගේ සර්ප යාගයේ දී තොප සියලු දෙන අග්නි ට බිලි වේවා!"යි යනුවෙනි. මෙම අතිශය ක්‍රෑර සහ ඉරණම විසින් පොළඹවන ලද ශාපය මහාත්මයන් හෙවත් බ්‍රහ්ම  වෙත ශ්‍රවණය විය. සර්පයන් ශීඝ්‍ර ලෙස බෝවී ඇති බව දුටු බ්‍රහ්මයෝ, තම මැවිල්ල ගැන කරුණාවෙන් යුක්ත ව, සියලු දෙවියන් සමඟ මෙකී ශාපය ගැන සාකච්ඡා කළෝ ය. ඇත්තෙන් ම, සර්පයෝ උග්‍ර විෂ සහිත ද, මහා පරාක්‍රමවත් ද, අතිශය ශක්තිමත් ද වූවෝ සේ ම, අනෙක් සත්ත්වයන් දෂ්ඨණය කිරීමෙහි ද යෙදුනෝ වෙති. සියලු සත්ත්වයන්ගේ වධකයෝ වූ උන්ගේ, මවු ඔවුන් කෙරෙහි පැවතුණු විධිය සියලු සත්ත්වයන්ගේ යහපතට හේතු වන්නේ ය. අනෙක් සතුන්ගේ මරණය අපේක්ෂා කරන්නවුන්ට, දෛවය හැම කල්හි ම මරණ දඬුවම පනවයි. එසේ තම මතය එකිනෙකා අතර හුවමාරු කරගත් දෙවියෝ කද්‍රැගේ ක්‍රියාව අනුමත කර නික්මුණෝ ය. එකල බ්‍රහ්ම තෙමේ කාශ්‍යපයන් තමන් වෙත කැඳවා මෙසේ කීවේ ය: "සියළු සතුරන් පිටුදැක සිටි ශුද්ධවූ තැනැත්ත, මේ උග්‍ර විෂ සහ විශාල සිරුරු ඇති, අනෙක් සතුන් දෂ්ඨ කිරීමෙහි අරමුණු ඇති, දැන් සිය මවු විසින් ශාප කරන ලද්දා වූ මේ සර්පයෝ තොප විසින් උපදවන ලද්දහු ය. පුත්‍රය, මේ ගැන ස්වල්පයකුදු කණගාටු නො වෙව. බිලි යාගයේ දී සර්පයෙන් වැනසීම දීර්ඝ කාලයකට පෙර ම නියම වූවකි." මෙසේ කියා විශ්වයේ නිර්මාතෘ වූ දිව්‍යමය ආත්මයෝ, කාශ්‍යපයන් සැනසූ අතර, විෂහරණය (සර්පයන් වැනසීම) පිළිබඳ දැනුම ඒ සිරිමතුන් සමග බෙදාගත්තෝ ය. 


ඉන්පසු, රාත්‍රිය පහව ගොස් උදෑසන හිරු නැග ආ විට, පරදු තැබූ දෙ සොහොයුරියෝ, විනතා සහ කද්‍රැ, උච්ඡායිඃශ්‍රවා නම් අශ්වයා ආසන්නයට ගොස් පිරික්සීමට නො ඉවසිල්ලෙන් ගියෝ ය. ඔවුන් යන මාර්ගයේ, සාගර නම් ජල නිධාන වූ, පුළුල් හා ගැඹුරැති, බොහෝ සේ රෞද්‍ර හඬ නගන, තල්මසෙකු වුවත් ගිලීමට තරම් විශාල මසුන් ගෙන් පිරුණු, මකරුන් සහ  තවත් බොහෝ ස්වරූප ඇති සත්ත්වයන් දහස් ගණනින් වෙසෙන, තවත් භයංකර රාක්ෂසයන් වැනි දරුණු ජලජ සතුන් හේතුවෙන් තරණය කිරිම උගහට, ඉදිබුවන් සහ කිඹුලන්ගෙන් සැදි, සෑම ආකාරයක ම රත්නයට ආකර වූ, වරුණ හෙවත් සමුද්‍ර දේවයාට නිවාස වූ, නාගයන්ගේ විශිෂ්ඨ හා දැකුම්කලු නිවහන වූ, සියලු ගංගාවන්ගේ හිමියා වූ, අන්තර්භෞම අග්නියේ විමාන වූ, අසුරයන්ගේ අභයස්ථාන වූ, සියලු සත්ත්වයන්ට බිය උපදවන, කිසිදා වෙනස් නො වන, මහා ජලස්කන්ධය වූයේ ය. එය ශුද්ධ ද, දෙවියන්ට කාම දායී ද, අමෘතයේ උත්පත්ති ස්ථානය ද, අසීමිත ද, අචින්ත්‍ය ද, පූජ්‍ය ද, අතිශය විස්මයාවහ ද වූයේ ය. එය අන්ධකාර ද, සමුද්‍ර ජීවීන්ගේ කෝලහාලයෙන් භයංකර ද, අතිශයින් ම රෞද්‍ර ශබ්දයෙන් පිරුණේ ද, ගැඹුරු දිය සුලියෙන් ගහන ද, විය. එය සියලු සතුන්ට ත්‍රාසය උපදවන්නකි. වෙරළ සිට හමන සුළඟින් මෙහෙයවී, රළ උස්ව නැඟුනු, වික්ෂෝභයට පත් වූ, කැළඹුණු, එහි දියවැල් නමැති අත් ඉහළට ඔසවමින් නටන්නාක් මෙන් විය. චන්ද්‍රයාගේ පුර පස හා අව පස හැරීම් මඟින් ඇති කළ, රළ පංති නැඟීමෙන් පිරුණු එය, වාසුදේවයන්ගේ පංචජන්‍ය නම් වූ මහා ශංඛය බිහි කළාහු ද, සියලු රත්නයන්ට නිධිය ද, වූයේ, මිනිය නොහැකි පරික්‍රමයෙන් යුත් ගෝවින්ද වල් ඌරු ස්වරූප ගෙන පෘථිවිය සමුදුරු පතුලෙන් ඉහළට ඔසවාලන විට මුලින් ම කැළඹුණේ විය...

(ඔය විදිහට පත හෑල්ලක් තියෙනව මේ ඡේදයෙ සහ ඊළඟ ඡේදයෙ..)

 නාගයෝ සමූහ සාකච්ඡාවකින් පසු අවසන් තීරණයකට එළඹුණෝ, සිය මාතාවගේ නියෝගය ඉටු කළ යුතු බවත්, එසේ නො කළ හොත්, ඇය තම මාතෘ ප්‍රේමය ඉවත ලා සියලු දෙනා ම දවනු ඇති බවත් සිතූ හ. අනෙක් අතට, ඇය කාරුණික වුවහොත් ඈ ඔවුන් ශාපයෙන් මුදවනු ඇත. ඔවුහු "අපි නිසැකව ම අශ්වයාගේ වලිගය කළු පැහැ ගන්වමු" යි කියා, එහි ගොස් අශ්වයාගේ වලිගයේ කෙඳි බවට හැරුණා හ.

දක්ෂගේ දියණියන් වූ විනතා සහ කද්‍රැ නම් සොහොයුරියන් දෙ දෙනා ආකාශය දිගේ අතිශය සොම්නසින් යුතුව සාගරයේ එහා කෙළවරට යන සේ ගමන් ගත්හ. එසේ යන අතර ඔවුහු සාගරය දුටහ. (එතන ඉඳං ආපහු අර උඩ වගේ පත හෑල්ලක් තියෙනව, සාගරය ගැන...)

විනතා සමඟ සමුද්‍රය තරණය කළ, ශීඝ්‍ර වේග ඇති කද්‍රැ, නොබෝ වේලාවකින් ම අශ්වයා සමීපයෙන් අහසින් බටහ. ඔවුහු දෙදෙනා ම, මහා වේග ඇති අශ්වයන් අතරින් ශ්‍රේෂ්ඨතමයා චන්ද්‍ර රශ්මිය සේ සුදුපැහැ ශරීරයක් ඇත්තේතෙක් වුව ද, (වලගයේ) කළු පැහැ රෝම ඇත්තෙක් වූ බව දුටුවෝය. වලගයේ බොහෝ කළු පැහැ ලෝම දුටු කද්‍රැ, දුර්මුඛ වූ විනතාව වහල් භාවයට පත් කළා ය. පරදුව පැරදුණු විනතාව ද, වහල් බවට පැමිණියේ, මහත් සේ ශෝක වූවා ය. මේ අතරවාරයේ සිය කාලය එළඹි විට, විශ්වයේ බලය පිළිබඳ වූ සියලු ම අංශවලින් හෙබි, සිතූ විට කැමති ස්වරූප ගත හැකි පක්ෂියා වූ, සිතූ ඇසිල්ලෙකින් කැමති ස්ථානයකට යා හැකි වූ,  අවැසි විට තම සහායට සෑම ආකාරයක ම ශක්තීන් කැඳවා ගත හැකි වූ, තෙදින් පිරුණු ගුරුළා සිය මව (ගේ උපකාර) නොමැතිව බිජුව පුපුරා බිහි වූයේ ය. ගිණි කඳක් මෙන් උද්දීප්ත ව ඔහු භයංකර ලෙස දිළිසුණේ ය. යුගාන්ත අග්නිය ට සම දීප්තියකින් හෙබි ඔහුගේ දෑස් අකුණු මෙන් දිප්තිමත් විය. ඉපදී නොබෝ වේලාවකින් ම ඒ පක්ෂියා වැඩී වර්ධනය වී, අහසට පැන නැංගේ ය. බිහිසුණු ද, ප්‍රචණ්ඩ ලෙස ගුගුරමින් ද, ඔහු දෙ වන සමුද්‍රාග්නියක් තරම් භයංකර ලෙස පෙනුණේ ය. ඔහු දුටු සෑම දෙවිවරයෙක් ම, විභවාසු (අග්නි) ගේ රැකවරණය පැතුවෝ ය. ඔවුහු ඒ බහුවිධ ස්වරූප ඇතිව සිය ආසනයේ වැඩ හුන් දේවයා වෙත නමස්කාර කරමින් මෙසේ කීහ. "අහෝ අග්නි, ඔබේ ශරීරය අප වෙත දිගු නොකරනු මැනව. ඔබ අප ගිල ගන්නට සැරසෙන්නෙහි ද? බලන්න, ඔබේ මේ දැවැන්ත ගිනි දලු පුළුල්ව පැතිරී යමින් ඇත." අග්නි පිළිතුරු දුන්නේ ය. "අසුර නාශකයනි, එය නුඹ සිතාගත් දෙය නොවේ. මේ මහා ශක්තිමත් වූ ද, විභූතියෙන් මා හට  සම වූ ද, මහා බලයක් පැවරුණාවූ ද, විනතාවගේ ප්‍රීතිය වර්ධනය කරන්නට උපන්නා වූ ද, ගරුඩයා වෙයි. ඔහුගේ කාන්ති ප්‍රවාහය දැකීමෙන් පමණක් ම නුඹ තුල මේ මුළාව ඇති විය. ඔහු කාශ්‍යපගේ බලැති පුත්‍රයා ය, නාගයන් වනසන්නා ය, දෙවියන්ගේ සුභ සිද්ධියට කැප වූයේ ය, දෛත්‍යයන්ගේ හා රාක්ෂසයන්ගේ සතුරා ය. දැං බුරා කියයි ද දන්නෑ දිති හා අදිති ගේ පළහිලව්වත් ලියන්ඩ කියලා... උහු ගැන අල්පයකට ද තෙපි බිය නොවවු. මා සමග අවුත් බලනු." මෙසේ ඈත සිටි දෙවියන් වෙත කීවේ ය.

------------------------------------------------

සමුද්‍රාග්නියක් = a bioluminescent glow produced by phosphorescent marine organisms. (https://www.collinsdictionary.com/dictionary/english/sea-fire#:~:text=a%20bioluminescent%20glow%20produced%20by%20phosphorescent%20marine%20organisms)

------------------------------------------------

දෙවියෝ මෙසේ කීහ. "ඔබ සෘෂිවරයෙකි. යාගවල දී විශාලම කොටස ඔබට පුදනු ලැබේ, ඔබ සදා උජ්වලිත වූයේ ය." සෘෂිවරයා සමග ගරුඩයා වෙත ගිය ඔවුහු, සජීවී සහ අජීවී විශ්වයෙහි මුල්තැන ගත් ඒ පක්ෂියාට පූජා කළහ. "තොප සියල්ල විනාශ කරන්නා ද වන්නාහු ය, සියල්ලේ මැවුම්කාරයා ද වන්නෙහි ය; තොප හිරණ්‍යගර්භයෝ ම වන්නාහු ය; තොප දක්ෂ සහ අනෙක් ප්‍රජාපතීන්ගේ වේශයෙන් පැමිණි ආදීතමයන්ගෙන් කෙනෙකි; තොප ඉන්ද්‍ර ය; තොප විෂ්ණුහුගේ පුනරාවතාරයට ගෙළ දුන් හයග්‍රිව නම් උතුම් අශ්වයාහු ය; තොප ඊශර ය. (ත්‍රිපුර ගිනි තැබීමේ දී මහදෙවියන් අත ඊ තළ බවට පත් වූ විෂ්ණු තෙමේ ම ය.) තොප විශ්වයේ හිමියාහු ය; තොප විෂ්ණු ගේ මුඛය ය; තොප මුහුණු සතරකින් යුත් පද්මජ ය; තොප බ්‍රාහ්මණයෙකි; තොප අග්නි ය, පවන ය; (මෙසේ විශ්වයේ ඇති සියලු ම වස්තූන්ට අධිපති දේවාත්මයන්ගේ නම් කියමින් පුද කරති.) තොප ශාස්ත්‍රය ය. තොප අප සියලු දෙනා ම මෝහණය කරන මායාව ය; සෑම තැන ම පැතිරි ආත්මය තොප ය; 

// මෙහෙ ම ගරුඩාව මුරුංග අත්තෙ තියලා කතා කරන දෙවියෝ සහ සෘෂිවරු, ඒ අතරෙ ම ගරුඩාගෙ තේජස සහ කාන්තිය නිසා උන්දැලට වෙලා තියෙන පීඩාව අඩු කරලා දෙන්ඩ කියලා ඉල්ලනවා. - ඒ හෑල්ල ලස්සන නිසා පහළින් දාලා තියෙනවා. කම්මැලි අය ඒක මගෑරලා යන්න...//

තොප දෙවියන්ගේ අධිපති ය; තොප මහා සත්‍යය ද වන්නාහු ය; තොප අභීත ය; තොප සදා නො වෙනස් ය; තොප උපලක්ෂණයන්ගෙන් තොර බ්‍රහ්ම ය; තොප සූර්යයා ගේ ශක්තිය ය; තොප බුද්ධිමත් කර්ත්‍රව්‍යයන් ය; තොප අපගේ මහා ආරක්ෂකයාහු ය; තොප ශුද්ධාත්මයේ සාගරය ය; තොප පවිත්‍ර ය; තොප අන්ධකාරයේ ලක්ෂණයන් තුරන් කරන්නෙහි ය; තොප සය මහා ලක්ෂණයන්ගෙන් හෙබියාහු ය; තොප හා තරග කර සම විය හැක්කෙක් නැත; සියල්ල උපන්නේ තොපගෙනි; තොප විශිෂ්ට කාර්යයන්ගෙන් යුක්ත ය; පැවති හා නොපැවති සියල්ල තොප ය; තොප පිරිසිදු දැනුම ය; තොප අපට දර්ශනය වන්නේ සජීවී හා අජීවී විශ්වය පුරා පැතිරි සූර්යයාගේ රශ්මිය සේ ය; සෑම මොහොතක ම තොප සූර්යයාගේ කාන්තිය අඳුරු කරවන්නෙහි ය; තොප සියල්ල විනාශ කරන්නා ය; තොප විනාශ වන හා විනාශ නො වන සියල්ල ය; අහෝ තොප අග්නි මෙන් කාන්තිමත් ය; සූර්යයා කුපිතව සියලු මැවීම දවන්නා මෙන් තොප ද දවන්නෙහි ය; භයංකරයාණනි, තොප ලෝකාවසානයෙහි සියල්ල වනසා දමන ගින්න මෙන් විරෝධය පාන්නෙහි ය; ආකාශචාරී ගරුඩය, අපි තොපගේ ආරක්ෂාව පතමු. පක්ෂීන්ගේ අධිපතිය, තොපගේ ශක්තිය අසාමාන්‍ය ය; තොපගේ කාන්තිය ගින්නට සමානය; තොපගේ දීප්තිය කිසි අන්ධකාරයකට ළං විය නොහැකි විදුලිය බඳු ය; තොප වළාකුළු කරා ළඟා වන්නාහු ය; එසේ ම හේතුව ද ඵලය ද තොප ම වන්නෙහි ය; ප්‍රසාද දායකයා ද, පරාක්‍රමයෙන් අපරාජිත ද වන්නෙහි ය; ස්වාමීනි, තොපගේ කාන්තියෙන් මුළු විශ්වය ම උණු වී ද, උණු කළ රනෙහි දිස්නය මෙන් ප්‍රභාමත් වී ද, ඇත්තේ ය. තොප විසින් අතික්‍රමණය කරන ලද්දා වූ ද, බියපත් කරන ලද්දාවූ ද, තම දිව්‍යමය වාහනයන්හි නැගී ඒ මේ අත දිවෙන, මේ මහාත්ම ඇති දෙවියන් ආරක්ෂා කළ මැනව. උත්තම පක්ෂියාණනි, සියල්ලේ ම අධිපතියාණනි, තොප කාශ්‍යප නම් මෛත්‍රි සහගත, මහෝත්තම සෘෂිවරයාගේ පුත්‍රයා ය. එහෙයින් කුපිත නොව, සක්වල කෙරෙහි සානුකම්ප්‍ය වෙ ව. තොප උත්තරීතර ය. අහෝ, තොපගේ කෝපය සංසිඳුවා, අප රැකගනු ව. හෙණ ගුගුරන්නාක් මෙන් මහ හඬ ඇති තොපගේ නාදය දශ දිගෙහි, අහසෙහි, ස්වර්ගයෙහි, පොළොවෙහි සහ අපගේ හදවත්හි පැතිරෙයි. පක්ෂියාණනි, තොප අතොරක් නො මැති ව කම්පිත ය. අහෝ, අග්නිය සම වූ තොපගේ ශරීරය හීන කර ගනු මැනව. කුපිත වූ යම ට සම වූ තොපගේ කාන්තියෙන් අපගේ හදවත් තුලින් ශාන්තබව සහ කම්පිත බව දුරු ව ගියේ ය. පක්ෂීන්ගේ අධිපතිය, තොපගේ අනුකම්පාව අයැද සිටින අප කෙරෙහි කාරුණික වෙ ව. අප වෙත වාසනාව සහ ප්‍රීතිය උදා කර දෙනු මැනව."

මෙසේ දෙවියන් සහ විවිධාකාර වූ සෘෂිවරුන් විසින් පුදනු ලැබූ පැහැපත් පියාපතින් සැදි පක්ෂියා තම බලය සහ කාන්තිය මඳක් අඩු කර ගත්තේ ය. තම ශරීරය ගැන ඇසීමෙන් සහ දැකීමෙන්, සුන්දර පියාපතින් හෙබි පක්ෂියා තම ශරීරය ද කුඩා කර ගත්තේ ය.

ඉන්පසු ගුරුළා මෙසේ කීය, "කිසිදු සත්ත්වයෙක් භය පත් නො වේවා! තොප මාගේ භයංකර ස්වරූප දැකීමෙන් භීත වූ හෙයින් මම මාගේ ශක්තිය හීන කර ගන්නෙමි." 

සිතූ සිතූ තැනට ඇසිල්ලකින් යාමට හැකි, තම උපකාරයට ඕනෑම ආකාරයක බලවේගයන් කැඳවීමෙහි සමත්, පක්ෂි තෙම, අරුණ සිය පිටෙහි හිඳුවාගෙන සිය පියාගේ නිවෙසින් පිටත් ව, මහා සාගරයෙන් ඔබ්බෙහි පිහිටි, තම මවගේ පාර්ශ්වයට ගියේ ය. සූර්යයා සිය සැඩ රැසින් ලෝකය දවන්නට තීරණය කළ වේලාවේ ම, ඔහු මහා කාන්තියෙන් යුත් අරුණ, නැඟෙනහිර පෙදෙසේ තැබී ය. 

ක්ෂීර සාගරය කළඹා ලබාගත් අමෘතය, දෙවියන් අතරට වී හිඳ රාහු විසින් පානය කරන ලද විට, සූර්ය සහ සෝම දෙවිවරුන් විසින් ඒ බව පෙන්වා දෙන ලදි. ඒ අවස්ථාවේ සිට ඔහු එම දෙවිවරුන් සමඟ ක්‍රොධය ඇති කර ගත්තේ ය. මෙයින්, රාහු තම හිංසකයා (සූර්ය) ගිළ දැමීමට ඉටා ගත්තෙන්, කුපිත වූ සූර්ය, "මා කෙරහි මේ රාහු ක්‍රොධ උපදවා ගත්තේ දෙවියන්ට යහපත කිරීමට මා තුළ වූ ආශාව හේතුවෙනි. මේ ඝෝර ප්‍රතිවිපාකය මා හුදෙකලාව දැරිය යුතු ය. ඒකාන්තයෙන් ම, මේ ගැන මා හට උපකාර නොලැබේ. සුරලොව වැසියන්ගේ දෑස් ඉදිරිපට ම මා ගිළ දැමෙන අතර, ඔවුහු නිහඬව ම එයට ඉඩ හරිති. එහෙයින් ලෝක විනාශයට මා කටයුතු කළ යුතු යැ" යි සිතී ය. මේ තීරණයත් සමග ඔහු අපර දිග පර්වතයට ගියේ ය. 

එම තැනෙහි සිට ඔහු ලෝකය විනාශ කරනු වස්, තම තාප තරංගයන් විහිදුවන්නට විය. මහා සෘෂිවරු සුරයන් කරා එළඹ, ඔවුනට කතා කරන්නට වූහ, "බලන්න, රෑ මැද සියලු හදවත් බියපත් කරමින් තුන් ‌ලෝකය ම වනසා දමමින් මහා තාපයක් හට ගෙන ඇත." සෘෂින් ද කැටිව සුරයෝ සිය පූර්වතමයා (බ්‍රහ්ම) වෙත ගොස් මෙසේ කීහ. "මේ සා කළබලයක් ඇති කළ මහත් තාපය කුමක් ද? සූර්ය තෙමේ තවමත් උදා වී නැත. එහෙත් (ලෝක) විනාශය නියත ය. ස්වාමීනි, හිරු උදා වූ විට කුමක් නම් සිදු වේ ද?" පූර්වතමයා පිළිතුර දුන්නේ ය: "ඇත්තෙන් ම සූර්යයා අද ලෝකය විනාශ කරමින් උදාවන්නට සූදානම් ය. ඔහු දෘෂ්‍යමාන වූ විගස ඔහු සියල්ල අළු කන්දක් වන සේ දවාලන්නේ ය. එහෙත් මා විසින් කල් තබා ප්‍රතිකර්මය සළසා ඇත්තේ ය. කාශ්‍යපයන්ගේ නුවණැති පුත්‍රයා සියල්ලන් විසින් අරුණ නමින් දන්නා ලද්දේ ය. ඔහු ශරීරයෙන් අති මහත් ද, මහා කාන්තියෙන් යුක්ත ද වේ. ඔහු සූර්යයා ට ඉදිරියෙන් සිටිමින් රථාචාර්ය රාජකාරිය ඉටු කරමින් හිරුගේ ශක්තිය වළකාලනු ඇත. මෙය ලෝකයන්ගේ ද, සෘෂිවරුන්ගේ ද, සුර ලොව වැසියන්ගේ ද, යහපත තහවුරු කරනු ඇත.

අරුණ පූර්වතමයාගේ ආඥාව අනුව ඔහුට අණ කරන ලද දේ මුළුමනින් ම ඉටු කෙළේ ය. සූර්යයා අරුණගෙන් මුවා ව, උදා වන්නට විය.

ඉක්බිති ඒ මහා බල සම්පන්න, සිතූ ක්ෂණයකින් සෑම තැනකට ම යා හැකි පක්ෂියා, මහා සමුද්‍රයේ අනෙක් කෙළවරේ දී සිය මව හා එක් විය. එහි විනතා විසූයේ, පරදුවෙන් පරාජයට පත් කොට, වහල් භාවයට පත් කිරීමෙන් පීඩිත ව ය. වරක් කද්‍රැ, තමන් ඉදිරියේ දුර්වලව බිම බෑවී හුන් විනතාව, ඇගේ පුත්‍රයා ඉදිරිපිට ම අමතා මෙසේ කීවා ය: "සියුමැලි විනතාව, සමුද්‍රය මධ්‍යයේ ඈත දුර කොණක, නාගයන් වාසය කරන, අහ්ලාදජනක සහ සුන්දර ප්‍රදේශයක් වෙයි. මා එහි උසුලාගෙන යනු." මෙයින්, ඒ පැහැපත් පියාපත් ඇති පක්ෂියාගේ මව, (සිය උරහිසින්) සර්පයන්ගේ මව උසුලාගත්තා ය. ගරුඬයා ද ඔහුගේ මවගේ මෙහෙයවීමෙන්, සර්පයන් සිය පිටෙහි තබාගෙන රැගෙන ගියේ ය. විනතා පුත්‍ර ආකාශ පාලක තෙමේ සූර්යයා දෙසට නැඟුනේ ය. ඔහු පිට හුන් සර්පයෝ සූර්ය රශ්මියෙන් තැවුුුණෝ, ක්ලාන්තවූ හ. සිය පුතුන් හට වූ ගැහැට දුටු කද්‍රැ තොමෝ ඉන්ද්‍ර වෙත යාඥා කළා; "සියලු සුරයන්ට අධිපතිය, තොපට නමස්කාර කරමි! වෘත්‍ර නාශකය, තොපට නමස්කාර කරමි, නමුචි නාශක වූ තොපට නමස්කාර කරමි, සහසැසිය, සචියගේ සහකරුව, තොපගේ වර්ෂාව වගුරා, සූර්ය තාපයට හසු වූ සර්පයන්ගේ ආරක්ෂකයා වුව මැනව. සියලු දිව්‍යාත්මයන් අතරින් යහපත් ම තැනැත්තවු වූ පුරන්දරය, ජලස්කන්ධයන් සේ වර්ෂණයට තොප සමත් ය. වායුව ද, වළාව ද, අග්නිය ද, ආකාශයේ විදුලිය ද, තොපය. වළාවන් බමවන්නෙන්, යුගන්ධර මහා වළාව නම් ලද්දේ තොප ය. බිහිසුණු, අසම සම අකුණ ද, මේඝ ගිගුරුම ද තොප ය. ලෝකය නිමැවූවේ ද, එය විනාශ කරන්නේ ද තොපය. තොප යටත් කළ නොහැක්කේ ය. සියලු සතුන්ගේ ද, ආදිත්‍යගේ ද, විභවාසුගේ ද, අපූර්ව මූලද්‍රව්‍යයන්ගේ ද, ආලෝකය තොප ය. සියලු සුරයන්ගේ පාලකයා තොප ය. තොප විෂ්ණු ය. තොපට දහසක් නෙත් ඇත. සුරයෙකු වූ තොප පරම අපේක්ෂාව ය. තොප අහෝ දෙවියනි, සකල අමෘතය ද, උතුම් සෝමය ද වන්නහු ය. තොප තත්පරය ද, චන්ද්‍ර දිනය ද, බලය (මිනිත්තුව) ද, ක්ෂණය (මිනිත්තු 4) ද, වන්නෙහි ය. තොප පුර පක්ෂය ද, අව පක්ෂය ද වන්නෙහි ය. තොප කලාව ද, කෂ්තය ද, (විෂ්ණු පුරාණය අනුව: ඇසිපිය 16 (10) = කෂ්ත 1, කෂ්ත 30 (35) = කලා 1, කලා 30 (20) = මුහුර්ත 1) තෘතිය ද, වර්ෂය ද, සෘතුව ද, මාසය ද, රැය ද, දහවල ද වන්නෙහි. තොප සෞම්‍ය පෘථිවිය ය - එහි ඇති කඳුවැටි හා වනාන්තර ද සමඟ, තොප අන්තරීක්ෂය ය - සූර්යයාගෙන් උජ්වලිත, තොප නඟින බසින මහ රැළි ඇති, තල්මසුන්ගෙන්, තල්මසුන් බුදින්නන්ගෙන්, මකරුන් හා අනේක විඳ මත්ස්‍ය ගණයෙන් පිරුණු මහ සාගරය ය. තොප, ධ්‍යානයෙන් නිග්මිත සිත් ඇති සෘෂිවරුන්ගේ සහ ප්‍රඥාවන්තයන්ගේ වන්දනයට පත් මහා කීර්තිය ය. තොප සියලු සත්ත්වයන්ගේ යහපත උදෙසා පූජා කරන ලද සෝම පානය ද, ශුද්ධවූ යාතිකාවන් සමඟ පුදන පිරිසිදු වෙඬරු ද, බුදින්නෙහි ය. ඵලය අපේක්ෂාවෙන් බ්‍රාහ්මණයෝ තොප පූජා කරමින් වන්දනා කෙරෙති. තොප අසම සම බලයෙන් යුක්තය හ, තොප වේදයෙහි සහ වේදාන්තයෙහි ගැයුම ය. ශික්ෂිත බ්‍රාහ්මණයන් ප්‍රවේසමින් වේදය උගනිමින්, තොප වෙත පූජා කරමින් නමස්කාර කරන්නේ එහෙයිනි. 

------------------------------

මේ පරිවර්තනය මේ තරමක් හරි කරගන්න මෙච්චර කාලයක් ගියේ ඇයි කියා ඔබට හිතා ගන්න හැකි වෙනු ඇත. දිගට ම මේ විදිහට ගියොත්, තව කොටස් දෙකකින් විතර කතාව කියා ඉවර කරන්ඩ පුළුවං වනු ඇති. නමුත් එහෙම නැතුව මේකේ සාරාංශය දානවට කවු ද කැමති? ඔබේ අදහස කියන්න...

Monday, November 10, 2025

ශනිදා දහයට චුට්ටක් පසුවී... තවත් හෙදියක් අතුරුදන් වෙයි

මෙන්න සුවහසක් පාඨක දෙතුන් දෙනාගේ ඉල්ලීම පරිදි සුනන්ද කෝදාගොඩගේ විනෝද රසාංග පොතේ තවත් එක් කොටසක්...

*    *    *

හෙදියන් තුන්සිය ගණනක් හිටි හැටියේ අතුරුදහන් වීම පිළිබඳ පුවත දැනගන්නට ලැබුණු මොහොතේ මගේ පපුවේ ඇවිලුණු ගින්දර මූදගොඩ ගැලුවත් නිවා දැමිය නොහැකි තරම් විය.

ඉතා ඉක්මණින් මේ පිළිබඳව සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා නර දූපතේ සමස්ථ රෝගීන්ගේ සංගමය ගිය ඉරිදා එවන ලද විදුලි පුවත මට ලැබුනේ අද අලුයම කුකුළා හඬලන්නටත් පෙරදීය.

මේ සිද්ධිය ගැන සොයා බැලීමට පත් කරන ලද ඒක පුද්ගල කොමිටියේ සර්ව බලධාරී එකම පුද්ගලයා වශයෙන් හෙදියන් කෙරෙහි කරුණාවෙන් උපන් හදවතක් ඇති මාවම පත් කරගනු ලැබුවේ සදාකාලික රෝගියෙකු වූ රෝහල බදා ගත් හැලිවලංගොඩ මහතාය.

මහ පාරේ තිබී අහුලාගත් පනාවකින් රෝහල් හෙදි විදුහල් පීරමින් හෙදියන් විශාල පිරිසක් මෙම පරීක්ෂණය සඳහා තෝරා ගැනීමට මට හැකි විය.

හෙදියෝ සියලු දෙනාම මා වටකර සිට ගත්හ. හංසයන් මැද්දට වන් උරුලෑවෙක් මෙන් මා වෙව්ලන්නට විය. එකෙණෙහිම හෙදියන් දෙදෙනෙක් පැමිණ මගේ අත් දෙකින් අල්ලා ගත්හ. 

'මොකටද තමුසෙ මෙහාට මකබෑවුනේ,...?'

'මං ආවේ ඔයාල ගැන පරීක්ෂණයක් කරන්න.'

'ඇයි තමුසෙට පරීක්ෂණ කරන්න වෙන දේවල් නැද්ද?'

'නෑ... නෑ... අර හෙදියන් තුන්සිය ගානක් අතරුදහන් වෙලා කියල පත්තරේ පළවුනාට පස්සේ අපේ සංගමයෙන් මාව පත්කළා ඒ ගැන පරීක්ෂා කරන්න.'

එය සිහි කළ විටම හෙදියන් කීප දෙනෙක්ම අඬන්නට පටන් ගත්හ.

එක් හෙදියක් දෑතට ගෙන සිප සැනසූ පසු අනෙක් සියලු දෙනාම සන්සුන් වූහ.

'මේ අතුරුදහන් වුන හෙදියන් රට ගිහිල්ල කියලනෙ පත්තරේ තිබුනේ'

'ඒක අමූලික බොරුවක්'

'වෙන්න බෑ... පත්තර වල බොරු දාන්නේ නැහැනේ'

'ඒක ඇත්තද බොරුද කියලා තමුසෙට වඩා හොඳට අපි දන්නවා.'

එක් හෙදියක් ඉන්ජෙක්සන් කටුවක් ද රැගෙන මා ඉදිරියට පැන්නාය. ක්ෂණයකින් ඇය වෙත හෙලන ලද ප්‍රේමාන්විත බැල්මකින් ඇය වසඟ කරගත් මම මේ පිළිබඳව තවදුරටත් ඔවුන්ගෙන් ප්‍රශ්න කළෙමි.

'හොඳයි මේ අතරුදහන් වීමට හේතුව මොකක්ද කියල කියන්න පුළුවන්ද?'

'පුළුවන්... පුළුවන්... පුළුවන්...' හෙදියන් සියලු දෙනාම එක හඬින් කෑගසන්නට වූහ.

'ඉතින් කියන්නකො අනේ... මට යන්න පරක්කු වෙනව.'

'කිව්වොත් මට මොනවද දෙන්නේ...' මෙතෙක් වෙලා මගේ ඇකයෙහි උන් හෙදිය මගේ නිකටෙන් අල්ලා සොලවමින් ඇසුවාය.

'ඔයා ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම්.' දෙන්න තරම් දෙයක් මා ළඟ නැති නිසා මම නිර්භයවම කීවෙමි.

"අපිට අවුරුදු පහක් යනකම් බඳින්න තහනම්." මගේ ඇකයෙහි සිටි හෙදිය කඳුළු සලන්නට වූවාය.

'නෑ...! මම විමතිය පළ කළෙමි.'

'ඔව් අනේ'

"බරපතල අසාධාරණයක් නේ. මේ නීතිය නැතිකරන්න ඕනෑ... මං ඒක නැති කරනවා කරනවාමයි."

ප්‍රීතිය දරාගත නොහැකිව එක් හෙදියක් මගේ කරට පැන ගත්තාය.

'මට පත්වීම ලැබෙන කොට අවුරුදු තිස් පහයි. තව අවුරුදු පහක් යනකොට මං නාකි වෙනවා. ඔයාට බැරිද අනේ මේ දුකින් මාව බොර ගන්න.'

'ඔයා විතරක් නෙවෙයි. මං ඔයාලා ඔක්කොම මේ කරදරෙන් නිදහස් කරනවා.'

හෙදියන් සියලු දෙනාම මා බිම පෙරළා ගෙන ජය ඝෝෂා කරන්නට පටන් ගත්හ.

'ඉතින් ඔයාලගෙන් තුන්සිය ගාණක් නැති වෙන්න හේතුව ඕකද?'

'ඔව් අනේ, ලෙ‌ඩෙක් සනීප වෙලා යනකොට අපේ එක්කෙනක් එක්ක යනවා.'

'ඒකත් නැති කරන්න ඕනෑ.' මම කීවෙමි.

'එපා අනේ.' කරුණාවෙන් උතුරන සිතක් ඇත්තියක් මට ටොක්කක් ඇන්නාය.

'හොඳයි කසාද බැඳපු නැති පිරිමි රෝහල් වල නතර කිරීම තහනම් කෙරුවාම ඔයාලගෙන් කවුරුවත් අතුරුදහන් වෙන්නේ නැහැනේ.'

'තෝ හදන්නේ අපේ කටේ පස් දාන්නද යකෝ.' හෙදියන් සියලු දෙනාම මා වට කරගෙන තඩි බාන්නට පටන් ගත්හ. මම පණ බේරාගෙන දිව්වෙමි. ආපසු හැරී බැලුවේ එක හුස්මට කිලෝ මීටර් පහක් දුවගෙන ඇවිත්ය.

'දෙවියන්ට ස්තූති වේවා.' හෙදියන් එක්කෙනෙක්වත් පෙනෙන්නට නැත. මට පියවි සිහිය ආවේ දැන්ය.

'ඔයාට මහන්සිද ඩාලිං...?'

'දෙයියෝ සාක්කි.' මා මෙපමණ දුරක් දුවගෙන ඇවිත් තියෙන්නේ මගේ කර උඩ සිටි හෙදියත් සමගය. ඉතා අමාරුවෙන් ඈ බිමට බස්සවා ගත් මම කරගත් ගොන්කම ගැන ළතැවෙමින් ඈ සමග ගෙදර ආවෙමි. අත් වැරැද්දකින් සිදු වූවත් තවත් හෙදියක් අතුරුදහන් වීමේ පුවත හෙට පත්තර වල පළවනු ඇත. එනිසා මා කෙරෙහි අනුකම්පාවෙන් හෙට පත්තර ගැනීමෙන් වලකින මෙන් මෙය කියවන සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිමි.



මීට පෙර පළ කළ කොටස්...

1. පවුල්කාරයන්ගේ අවුරුදු උත්සවය

2. බඩු පෙට්ටියක කොළඹට ගමනක්

3. කොස් මස් යානය ආච්චිගෙ කොන්දට

4. කරලැයින් ආච්චි සමග බැල්කනියේ

5. පොහොය දා ආච්චි සමග සිල් ගනී.

Wednesday, November 5, 2025

පසළොස්වක පොහොයදා ආච්චි සමඟ සිල් ගනී

කරලැයින් ආච්චි සමග චිත්‍රපටියක් බැලීමට ගිය කතාවේ මුලින් සඳහන් කර ඇති සිල් ගැනීමේ කතාව, සුනන්ද කෝදාගොඩ ගේ විනෝද රසාංග පොතෙන් උපුටාගෙන පසළොස්වක පොහොය දින පළ කිරීම සුදුසු බව සිතුවෙමි...

"නැගිටපන්"

පසළොස්වක පොහෝදා හිමිදිරි පාන්දර කොඳු නාරටිය තුනට හතරට නමාගෙන කුම්භකර්ණ සෙයියාවෙන් නිද්‍රෝපගතව සිටි මට ආත්තම්මාගෙන් හැරමිටි පාරක් වැදුණි.

"මට බැහැ"

අනපේක්ෂිත අයුරින් ලද ඒ හැරමිටි පහරින් මුචලින්ද නාගරාජයා මෙන් කිපුණු මම අනෙක් ඇලයට හැරී නැවතත් නින්දට වැටුනෙමි.

"නැගිටපන් යකෝ... උඹ සිල් ගන්න යන්නේ නැද්ද...?"

හතර පෝයටම සිල් ගන්නා අපේ ආච්චි මාවද සිල් ගැනීමට එකතු කරගෙන යාමට නොගත් උත්සාහයක් නැත. එහෙත් මම ඒ හැම වාරයකම කට්ටි පැන ඇගෙන් බේරුනේ ගැහැණු ළමයෙකුගේ ග්‍රහණයෙන් බේරෙන තරුණ කොලු ගැටයෙකු මෙන්ය.

මෙදා සැරේ නම් ඇගෙන් ගැලවීමක් නැත. ඊයේ උදේ සිට මට කිසිම ආහාරයක් නොදී නිරාහාරව තැබූ ඇය මා මීමින්නෙකු සේ පොළොව බදාගෙන ඇඬූ පසු රාත්‍රී කෑම වේල පවා දුන්නේ මෙම පෝයදා සිල් ගැනීමට යන බවට මා පොරොන්දු කර ගැනීමෙන් පසුවය. සිල් ගැනීමට වඩා දැන් මට ඕනෑ කරන්නේ නිදා ගැනීමයි.

"මට බැහැ සිල් ගන්න යන්න..."

"නිදි කුම්භයා...! මෝඩයා...! බූරුවා... වසවර්තියා...!"

"මතක නැද්ද ඊයේ රෑ කිව්වා අද උදේ සිල් ගන්න එනව කියල" ආච්චි කනෙන් අල්ලා මා පැදුරෙන් නැගිට්ටෙව්වාය.

"ඒ වුනාට දැන් මට බැහැ..." මම උට්ඨාන වීර්යයෙන් යුක්තව නැවතත් පැදුරේ ඇලවුනෙමි. 

උපන්දා සිට අද වනතුරු මා සිල් අරගෙන නැත. නොදන්නා දෙමළෙට ගොස් වරිගේ නහගන්නවාට වඩා දන්නා සිංහලෙන් නිදා ගැනීම යහපත්ය. ගමරාළ හා හා පුරා කියා සිල් ගැනීමට ගොස් සිදුවූ අකරතැබ්බය මා ඉස්කෝලේ යන කාලයේ අසා ඇත.

ආච්චි හදන්නේ ගහ දන්නා මට කොළ කඩා පෑමටය. ඇය කොතෙක් හිරිහැර කළත් අද නම් මම සිල් ගන්නට යන්නේම නැත.

"නැගිටපන් කාළකණ්ණියා... දැන් මට පරක්කු වෙනවා. බලපන් අද කොච්චර හොඳ දවසක්ද...?"

අද පසළොස්වක පෝය. බෞද්ධයෙකුට තියෙන වැදගත්ම දවස..." ආච්චි මා සම්‍යක්දෘෂ්ටිකයෙකු කිරීමට උත්සාහ කරයි.

"මට බැහැ...! මට බැහැ...! මට බැහැ...!" දෝමනස්ස සහගත පටිඝසම්පයුක්ත චිත්තයෙන් නැගිටගත් මම පොළොවේ අඩි හප්පා කෑ ගැසුවෙමි. වසවර්ති මාරයා දුටු කලෙක මෙන් ආච්චී කිලෝ ග්‍රෑමයක් පස්සට පැන්නාය.

"හෙමින් කතා කරපන් ළමයෝ..." සෝමනස්ස සහගත ඥානසම්පයුක්ත චිත්තයෙන් ආච්චි මගේ ඔලුව අත ගෑවාය.

"බලපන් අර අල්ලපු ගෙදර සීලවතී ළමයත් අද සිල් ගන්නව. ගමේ ගැහැණු ළමයි ඔක්කොම අද පන්සලේ" අහෝ දෙවියනි; උතුම් වූ පසළොස්වක පොහොය දවසේ සිදුවන්නට යන දුර්භාගයයක මහත! ගමේ ගැහැණු ළමයින් සියලු දෙනාම අද පන්සල ආක්‍රමණය කරන්නේ නම් මා මෙසේ වකුටු වී නිදා ගැනීමෙන් කුමණ ප්‍රයෝජනයක්ද? අල්ලපු ගෙදර සීලවතී නංගී අද සිල් ගන්නේ නම්, අපායට ගියත් මමත් සිල් ගත යුතුය.

"යං ආච්චි යං..." ඇස් දෙක පිහදා කබ කඩාගත් මම සිල් රෙදි පොරවාගෙන සම්මා සංකල්පයෙන් යුක්තව ආච්චි සමග ඉස්සර වුනෙමි.

සීලවතී නංගිට පින්සිදු වන්නට මමද පන්සලට පැමිණියෙමි. අද පන්සලට නොපැමිණියේ නම් මා ජීවිතයේ කර ගන්නා ලද ලොකුම ගොන්කම එය වන්නට ඉඩ තිබුණි. තුන්සිය හැටපස් දවසේම බොරු කියා මා රවටන ආච්චි අද මෙම පොහොය දවසේ කියා ඇත්තේ පරම සත්‍යයකි. ගමේ ගැහැණු ළමයින් පන්සල ආක්‍රමණය කර ඇත.

පොලිස් කාරයෙක් හොර අරක්කු තිප්පලක් සොයාගන්නාක් මෙන් මම සෙනඟ පීරා ගෙන ගොස් සීලවතී නංගී සොයා ගත්තෙමි. ආච්චිද හැරමිටි වාරුවෙන් එන මාර දිව්‍ය පුත්‍රයෙකු මෙන් මා පසුපස පැමිණියාය.

"අපි මල් ගෙනාවෙ නැහැ නේද ආච්චියේ..." සීලවතී නංගී අත තිබුණු මල් වට්ටියට පෙරේත බැල්මක් හෙලූ මම තව ටිකක් ඈට ළංවුනෙමි.

"ඇත්තමයි; මල් ටිකක් ගේන්න අමතක උනානේ..." දැන් මාගේ සම්මා ආජීවය කෙරෙහි ආච්චි පැහැදීමකින් සිටී.

"මල් ටිකක් දෙන්නද...?" සංගීත ප්‍රසංගයකදී ඇහෙන ඉමිහිරි සංගීත රාවයක් බඳු සීලවතී නංගිගේ කටහඬ කන් දෙක පසා කරගෙන ගොස් හද පතුලටම කිඳා බැස්සේය. පාද යුග්මය 'සට - සට' යන අනුකරණයෙන් වෙව්ලා ගිය නමුදු මම උට්ඨාන වීර්යයෙන් යුක්තව අනිමිසලෝචන පූජාවෙහි යෙදුනෙමි.

"මල් නැතුවට කමක් නැහැ. යමං සිල් ගන්න..." ආච්චි මට හැරමිටියෙන් ඇන්නාය.

"කමක් නැහැ ආච්චි අම්මේ; මල් ටිකක් අරගෙන යමු. පව්නේ පසළොස්වක පෝය දවසේ මල් නැතිව බුදුන් වඳින එක" හැරමිටි පාරද කාගෙන මම ඇයට අත පෑවෙමි. ඇය මල් අහුරක් මා අතේ තැබුවාය. මම මල් ටිකක් ගන්නා ගමන් ඇගේ ඇඟිල්ලක් ද මිරිකුවෙමි. ආච්චි තරහෙන් පුපුරමින් නවගුණවැල අතට ගත්තාය.

"පරක්කු වෙලා නේද ආවේ...?" ඒබරන් සීයා ආච්චිගේ කනට කර ඇසුවේය.

"ඔව් ටිකක් පරක්කු වුණා" ආච්චි නවගුණවැලේ ඇටයක් පහතට දැම්මාය. "ඊයේ රෑ ගබං ලොක්කගේ දුව පැනල ගිහින්ලුනේ...?"

"ඒක නේන්නම්. අබුද්දස්සකාලෙට වෙන වැඩ. අර වසවර්තිය ඒ කෙලීව රවට්ට ගන්න ඇති. නොදකින් වනචර හැත්ත."

"ඒ හාදය බැඳපු එකෙක් නේද?"

"බැඳල ළමයි දෙන්නෙකුත් ඉන්නවලු."

"අනේ අනිච්චං සංසාරේ" ආච්චිත් සීයත් මෙලොව සිහියක් නොමැතිව සතර සතිපට්ඨානය කියවන අතරේ මම සීලවතී නංගී සමග බුදුන් වැඳ සම්‍යක් වචනයෙහි යෙදුනෙමි.

"ඔයා හැමදාම සිල් ගන්නවද...?" මම ඇයට ළං වී ඇසුවෙමි.

"නෑ පෝයට විතරයි... ඔයා?"

"මම ඉස්සෙල්ලාම අද තමයි සිල් ගන්න ආවේ."

"මීට පස්සේ හැමදාම සිල් ගන්න එනවද...?"

"ඔයා එනවනම් එන්නම්..."

සතිපට්ඨානය කියවීම මඳකට නැවැත්තූ කරලැයින් ආච්චි අප අතරින් හැරමිටිය තිව්වේ සිල් කවලන් වෙන නිසා වෙන්නට ඇත. එහෙත් ඒ හැරමිටියට තබා වසවර්ති මාරයාටවත් අද අපගේ සීලයට බාධා කළ නොහැක.

"අල පන්සීයක් කීයද... රුපියල් හතයි.

"රතුලූණු තිහයි."

"නොදකින් කාලකන්නි කලුකඩකාරයො තමයි රට කන්නේ... මුන්ට හෙණවත් පහත් වෙන්නේ නැහැනේ"

ආච්චි අම්මලා ටික එකතුවී ගජරාමෙට කර්මස්ථාන කියවති. සීලවතීත්, මමත්, ඊට වඩා වැදගත් නවීන පන්නයේ ආදර භාවනාවක යෙදුනෙමු.

"යමං ගෙදර..."

භාවනාව අවසන් කළ ආත්තම්මා මට හැරමිටි පාරක් ගැසුවාය. සීලවතීගේ අත අතහැර මම නවගුණවැල අතට ගත්තෙමි.

"මට බෑ... මං හෙටත් සිල් ගන්නවා..."

"ඔහොමද යකෝ සිල් ගන්නේ...?" ආච්චි සීලවතී දෙස රවා බැලුවාය.

"කෙළෙස් මාරයෝ හැම තැනම. කොල්ලෙකුට පන්සලටවත් එන්න විධියක් නෑ...

යමං ගෙදර...!" ආච්චි මගේ අතින් ඇද්දය.

මම නාහෙන් අඬන්නට පටන් ගත්තෙමි.

"ඔන්න ඔහේ හිටපුවාවේ. සිල් ගත්තත් කොල්ලො කෙල්ලොනේ... අපිත් තව ටිකක් වෙලා භාවනා කරමු..." ඒබරං සීයා ආච්චිගේ අතින් අල්ලාගෙන ධර්ම ශාලාවේ කෙළවරට ගියේය. 

අපි ආච්චිටත් හොරෙන් බෝමලුවට ගොස් අලුත් භාවනාවක් පටන් ගත්තෙමු.

"අට්ඨි... මස්මිං... කායේ... කේසා..." කරලැයින් ආච්චිත්, ඒබරං සීයත් භාවනා කරන හඩ අපට ඇසේ.

"ඔයා මට ආදරේද...?" සීලවතීගේ කරේ තිබුණු නවගුණවැල ගලවා මම ඒ වෙනුවට මගේ අත ඇගේ කරවටා දැමුවෙමි.

"ඔව්..." සීලවතී නවගුණවැල වෙනුවට මගේ අතේ ඇඟිලි, ඇටපුරුක් ගැන්නාය.

"ඇයි ඔයා සිල් ගන්න ආවේ...?"

"ඔයා එන බව දැනගත්තු හින්දා..."

"කොහොමද දන්නේ මම එන බව...?"

"ආච්චි කීවා මාත් එක්ක. ඔයත් අද සිල් ගන්නව කියලා..."

"හෙටත් එනවද සිල් ගන්න..."

"හෙට පෝයක් නැහැනේ...?"

"පෝයක් නැතිවුනාට කමක් නැහැ අපි සිල් ගමු..."

"අපෝ එතකොට හොඳ නැහැ. අනිත් අය සැක හිතයිනේ. අපි දෙන්න විතරක් සිල් අරගෙන ඉන්නකොට."

"ඇයි ඔයා බයද?"

"ම්... හු..." ඇය ඔලුව වැනුවාය.

"කෝ... කෝ... මේ වසවර්තියා..." ආච්චිත්, ඒබරං සීයාත් භාවනාව අවසන් කොට අප සොයන්නට පටන් ගෙන ඇත.

"රහත් වුනාද දන්නෙ නැහැ. නවගුණවැලත් අතේ තියාගෙන නේද හිටියේ"

ඒබරං සීයා පුදුමයෙන් වටපිට බලයි.

"රහත් වෙලා තියෙන්නෙ අරකිත් එක්ක..." ආච්චි දත්මිටි කමින් පිළිකුල් භාවනාවේ යෙදෙයි.

"අර ඉන්නේ... අර ඉන්නේ..." ඒබරං සීයා අප දුටුවේය.

"වසවර්තියා...! කාලකණ්ණියා...! දේවදත්තයා, හිටු තොට මං..."

ආච්චි හැරමිටියද උස්සාගෙන දුවගෙන එන්නේ මෛත්‍රී භාවනාවද කණපිට පෙරලාගෙනය.

එනපොට එතරම් හොඳ නැත. සීලවතී‌ගේ අත අල්ලාගත් මම උට්ඨාන වීර්යයෙන් හා සතර සම්‍යක් ප්‍රධාන චිත්තයෙන් දුවන්නට පටන් ගත්තෙමි. ආච්චිත් ඒබරං සීයාත් අප ලුහුබඳිමින් සිටී.

"මට නම් දැන් ගෙදර යන්න බෑ. ගෙදර ගියොත් ආච්චි මාව මරාවි..."

මම හති ලමින් නැවතුනෙමි.

"එහෙනං යං අපේ ගෙදර..." සීලවතී නංගී මගේ අතින් ඇදගෙන නැවතත් දුවන්නට පටන් ගත්තාතා. මම සීලවතී සමග ඇගේ ගෙදරට රිංගා ගත්තෙමි. ඉතින් නම් මට ගෙදර යාමට ලැබෙන්නේ නැත. කවදා හෝ මා ගෙදර එන බව දන්නා කරලැයිං ආච්චි හැරමිටිය ද උස්සාගෙන මඟ බලා සිටිනු ඇත. හැරමිටි පූජාවේ බරපතලකම දන්නා මම සීලවතීගේ ගෙදරම නැවතුනෙමි.

පසළොස්වක පොහොය දවසේ සිල් ගැනීමෙන් මා කර ගන්නා ලද කුසල කර්මයේ විපාක දිට්ඨධම්මවේදනීය වශයෙන් ලැබෙ අපරාපරිය වේදනීය ත්ත්ත්වයටද පැමිණ ඇත. ආච්චි තියා මහා බ්‍රහ්මයා ඇවිත් කතා කළත්, ඉතින් නම් මා සිල් ගන්නට යන්නේ නැත.

Saturday, November 1, 2025

ශනිදා දහය වෙනුවෙන් - රා සහ තවත් කතා


පහුගිය සතියේ අපේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට මහනුවර ගිහිං එන අතරේ, මගෙ විමර්ශන නිලධාරි ජනක කියපු කතා ටිකක් මේ.

ජනකගෙ ගමේ උන්නා එක්තරා මාමෙක්. එයා දවසක් නිකං කට්ටිය එක්ක කතා කර කර ඉන්න කොට කියනවා, 

"අපේ වත්තෙ කැපුව නෙව මලක්. (ඒ කියන්නෙ කිතුල් මලක්) ඒකෙ දවසක් දෙකක් තමයි හැර දිගේ නැගල මල කැපුවෙ. ඊට පස්සෙ එක සීරුවට ටැප් එක ඇරියා වගේ ගලන්න ගත්ත නෙව තෙලිදිය.

"ඉතිං මං මොකද කළේ, පුනීලෙයයි රබර් හෝස් එකයි අරං නැග්ගා හැර දිගේ. නැගල හිටං මල එබුවා පුනීලෙට. ඒකෙ අගට හෝස් එක ගහලා, පහළට බැහැලා, අර හෝස් එකේ අනික් අග කෙලිම්ම ගත්තා ලිප උඩ තියෙන තාච්චියට.

"ඇස්වහක් නෑ, ආයෙ සති ගාණක් යනකං එක දිගට පැණි උණුකරන්ට සිද්ධ උනා අපෙ ගෙදර උන්දැට."

තව දවසක් උන්දැට ම වෙච්ච වැඩක් මේ.

උන්දැගෙ ගෙදර කිරි හරක් ඇති කළා. දවස ගානෙ උදෙම් ම මුන්දැ කිරි බෝතල් ගෙනිහිං විකුණනව ගෙවල්වලට. දවසක් මේ එක කිරි බෝතලේක ඉස් ගෙඩියෙක් ඉඳලා. ඊ ළඟ දවසෙ අර ගෙදර උදවිය මෙයාගෙන් ඇහුව ඒ ගැන.

"ඈ...! ඉස්ගෙඩියෙක් හිටියා? ආ ඒක තමයි. අපේ වැස්සි පහළ ඇලෙං වතුර බීල නෙ ඔය. ඒ ඇලේ ඉස්ගෙඩියො වකාරෙ." කිව්ව මුන්දැත් ඇඟට නොදැනී.

ඔය කතා ගැන මායි මගෙ මාතලියයි කිව්ව, මගෙ හිටපු සීසී ඩයස් මහත්තෙයට. මාතලියා කියන විදිහට සීසී කියන කෙටි යෙදුමේ තේරුම, කපටි ක්ලාක් කියන එකයි. ඒ ගමන ඩයස් මහත්තෙය කියනව, උන්දැත් උපදෙස් දුන්නලු දවසක් මල් කපන මාමෙකුට, කිතුල් මලට කෙලිම්ම බට ලයින් එකක් ගහල ලිප ළඟට ඇදල ගන්ඩ කියලා. එතකොට හැම දාම ගස් නගින්න වෙන්නෙ නෑ කියලා.

"ඒක හරි කියමුකො. හැම දාම උදේට මල හෝදන්ඩ එපැයි. ඒකට ගහට නගින්ට වෙනවනෙ." කියල අර මාම කිව්ව ම, ඩයස් කිව්වලු, 

"ඒකට තව බට ලයින් එකක් ගහමු" කියල.

අපේ තාත්තා ඉන්න කාලෙ, අපේ වත්තෙ පොල් රා මදින්න අතුරක් බැන්දා. ගම්පොළ පැත්තෙන් ආව කට්ටියක් අපේ ගස් විස්සක් බද්දට අරගෙන තමයි මේ අතුර බැන්දෙ.

පස්සෙ අතුරු තහනම් නියෝගයක් ඇවිත් ඒක අයින් කරගන්ඩ සිද්ධ වුණා.

ඔය අතුර ට පොල් ගස් විස්සක් අපේ එක ඉඩමක තිබුණෙ නෑ. ඉතින් තාත්ලගෙ මහගෙදර වත්ත පුරා ම මේ අතුර දිගට බඳින්න වුණා. ඔය පොල් මල් තලන රා මාමා, අතුරට නගින්නෙ අපේ ගේ ගාව ගහකිං. ඊට පස්සෙ අතුර දිගේ ගිහිං ගිහිං අන්තිමේ විසි වෙනි ගහෙන් බහින්නෙ අපේ බාප්පගෙ ගේ ළඟින්. (ඔව් ඔව් අර ගජබිං බාප්ප තමා.)

ඔය රා මාමා හැමදා ම උදේ තමයි රා බාන්නෙ. හැමදාම හවසටත් අතුරට නැගලා හැම මලක් ම තලාගෙන තලාගෙන යනවා. ඒ ගමං ඔය හැම මලක ම එකතු වෙච්ච රා මුට්ටියකට අරගෙන, අන්තිම ගහේ එල්ලලා බහිනවා, රෑ තිස්සෙ පැහෙන්ඩ.

දවසක් රා මාමා එන්ඩ කලිං අන්තිම ගහේ නැගපු අපේ බාප්පා, අර රා මුට්ටියට ෂොට් එක දීලා, රා මාමා එනකොට කියනවලු, "ඊයෙ රෑ උගුඩුවො ඇවිත් මේ ගහේ දඟලනවා දඟලනවා ඉවරයක් නෑ. මයෙ හිතේ රා මුට්ටිය ම බීල වගේ."

 

මේ අපේ සුරංග මල්ලි සා ගැන ලියපු පෝස්ටුව.

Saturday, September 20, 2025

කරලැයින් ආච්චි සමග බැල්කනියේ

පසුගිය පුර පසලොස්වක් පොහොය දිනයේ මා සිල් ගැනීමට කැන්දාගෙන යාමෙන් කරලැයින් ආච්චි විසින් කරන ලද ශ්‍රේෂ්ඨ කර්තව්‍යයට ප්‍රත්‍යුපකාර වශයෙන් යමක් කරන්නට මගේ සිත මට බල කරයි. එවිට එදා සිදුවූ සියලු ආනන්තරීය කර්මයන් අමතක කර දමා ඇය මට අභය දානය දෙනු නො අනුමානය.

'ආච්චියේ...' එක් රැයක් ගෙදර පැමිණීමට අමතක වූ විට නැන්දම්මා කෙනෙකු ඉදිරියේ බැගෑපත් වන සුවච කීකරු බෑනා කෙනෙකු මෙන් මම තුනට හතරට නැමී ආච්චි ලඟට පැමිණියෙමි.

'තුඃ නොදකිං කාලකණ්ණිය...' ඊශ්‍රායෙල් යුද භටයෙකු මෙන් කිපුණු ආච්චි හැරමිටිය අතට ගත්තාය. බෲස්ලි මෙන් අට ඉස්බක් උඩට පැන කරණමක් ගැසූ මම හැරමිටියද උදුරා ගෙන එකත් පසෙකට වීමි.

'මෙහෙ දියං මගේ හැරමිටිය...'

'පොඩ්ඩක් ඉවසන්නකො ආච්චියෙ... ආච්චි මෛත්‍රී භාවනාව කරනවා නේද...?'

'නොදකිං කැස්වටුව... තෝ එනවද බොල ඒ පාර මට මෛත්‍රී භාවනාව උගන්නන්න...'

'නෑ ආච්චියෙ මං ආවේ කළගුණ සලකන්න...'

'කළගුණ සලකන්න...'

'ඔව්... ආච්චි මාව සිල්ගන්න එක්ක ගියානෙ... ඒ හින්ද මං ආච්චිව එක්කං යනව අංගුලිමාල පෙන්නන්න...'

'අංගුලිමාල... කොහේද බොල දැන් අංගුලිමාලයෙක් ඉන්නේ... තෝ එනවද මාව ගොනාට අන්දන්න...' ආච්චි ඉදිරියට පැන මා අත තිබූ හැරමිටියද උදුරා ගත්තාය.

'නෑ ආච්චියේ, අංගුලිමාල චිත්‍රපටිය. ඉන්දියාවේ ෆිල්ම් කරල තියෙන්නෙ...

බුද්ධගයාව ලුම්බිණිය, ඉසිපතනෙ, ගිජුකුළු පව්ව, ඔක්කොම පෙන්නනවලු'

'අනේ පුත‌ේ... කොහේද ඔය පිංතූරේ පෙන්නන්නේ...' ආච්චි අහිගුණ්ඨිකයෙකු දුටු නයෙකු මෙන් දැපනෙ වැටුනාය.

'මෙහේ හෝල් එකේ...'

'පුතාට සියළු දෙවි හාමුදුරුවන්ගෙ පිහිටාරක්ෂාව ලැබෙන්න ඕන... ඒකෙ අංගුලිමාල බුදුහාමුදුරුවන්ගෙ පස්සෙන් එලවනවත් පෙන්නනවද පුතේ...'

'ඔව් ආච්චියේ බුදුහාමුදුරුවෝ පණපිටින් වගේ...' මේ ගමනට ආච්චි කැන්දාගෙන යා යුතුම නිසා මම බේගලයක් ඇද බෑවෙමි.

'අනේ සාදු... බුදුරැස් විහිදෙනවත් පේනවද පුතේ...?'

'ඔව්...'

'සාදු! සාදු! කීයටද පුතේ පිංතූරෙ පටන් ගන්නෙ...?'

'හයහමාරට... ආච්චි ලෑස්ති වෙන්නකො ඉක්මනට... තව පැයයි තියෙන්නෙ...'

'ඔය හැටි ලේසිතිවෙන්නේ මොනවටද පුතේ, ඉක්මණට යං. සෙනගත් ඇතිනේ...'

'ආච්චියේ...'

'ඇයි පුතේ...'

'මේ... මේ...' වැස්සට මතු වූ ගැඩවිල්ලකු මෙන් මම ඇඹරෙන්නට උනෙමි.

'ඇයි සල්ලි එහෙම මදිද පුතේ...?'

'නෑ ආච්චියේ.'

'එහෙනං...?'

'ආච්චිට තනියි නේද, තනිමය යනකොට...?'

'ඇයි පුතා යන්නේ නැද්ද...?'

'නෑ... මමත් යනව...'

'එහෙනං...?'

'තවත් ගෑණු කෙනෙක් එක්කරං ගියානං නේද හොඳ...?'

'කවුද ඉතිං එක්කරං යන්නේ...?'

'ඇයි සී... ල... ව... තී නංගි...' ආච්චි අදත් මුචලින්ද නම් නාග රාජයා මෙන් කිපෙනු ඇතැයි මම සිතුවෙමි. එහෙත් අංගුලිමාලට පින්සිදු වන්නට එය එසේ වූවේ නැත.

'අනේ කොච්චර එකක්ද පිං අයිති වෙන වැඩක් නේ... මෙහෙම දෙයක් පෙන්නන එක...'

ඒකච්ඡන්දයෙන් පනත සම්මත කරගත් මම ආච්චිගේ පූර්ණ අනුමැතිය ඇතිව ඓරාවන හස්ති රාජයා මෙන් එක පිම්මෙන් කඩුල්ල පැනගොස් සීලවතී නංගී කැන්දාගෙන ආවෙමි.

'යමු නේද ආච්චියෙ...'

ආච්චි ඉස්සර කරගත් මා සීලවතී නංගී සමග සිනමා හල කරා ගියේ අතුරු මැතිවරණයකින් ජයගත් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුව කරා යන තේජාන්විත විලාසයෙනි. පෝලිමේ සෙනඟ පොර කනු දුටු ආච්චි කෙලින්ම ගොස් මැනේජර්ගෙන් ටිකට් තුනක් ඉල්ලුවාය.

'මොනවයින්ද ඕන...?'

'බැල්කනි...' මම ඉස්සරහට පැන්නෙමි.

'රුපියල් තිහයි...'

සාක්කුවේ සතයක්වත් නැති බව හොඳාකාරව දන්නා නමුදු මම බොරුවට සාක්කු තුන හතරටම අත දැමුවෙමි. එහෙත් ඒ අවසරයෙන් අංගුලිමාලට පිං සිදු වන්නට සර්ධාවෙන් පිරීගිය ආච්චිගේ හැඹිලිය ඉස්සරහට පැන්නේය.

බැල්කනියට ගොස් සීලවතී නංගී ලඟින්ම මා වාඩිවීමට සැරසෙන විට විදුලියක් මෙන් මැද්දට පැනගත් කරලැයින් ආච්චී අප දෙදෙනා දෙපැත්තට කර මැදින් වාඩි වූවේ මට කොනිත්තා සීලවතී නංගීටද රවාගෙනය.

අතක්පි‌ට අතක් තබාගත් ආච්චි නොයිවසිල්ලෙන් තිරය දෙස බලා නිහඬව සිටියේ අංගුලිමාල පෙන්වන තුරුය. එහෙත් ඇගේ නිහඬ බව වැඩි වේලාවක් පැවතුනේ නැත. තරුණ යුවලක් අත්වැල් බැඳගෙන පැමිණ ආච්චි ඉස්සරහින් වාඩිවිය.

'නොදකින් වනචරයෝ...' ආච්චි ඔවුන් දෙස රවා බලා කෙළ පහරක් ද ගැසුවාය.

'ඉන්නකො ආච්චියේ කෑ ගහන්නේ නැතුව...' කිසි දිනෙක බැල්කනියට පැමිණ චිත්‍රපටියක් නොබැලූ ආච්චි බැල්කනියට කැන්දාගෙන ඒමෙන් මා කරගත් ගොන්කමේ බරපතලකම මට වැටහුනෛ් දැන්ය. එහෙත් මෙය මෙතනින් කෙළවර නොවන බව මම දනිමි.



විනාඩියෙන් විනාඩිය තවත් තරුණ තරුණියෝ අත්වැල් අල්ලාගෙන පැමිණ ඔවුනොවුන් තුරුළු වී පෙම්බස් තෙපලන්නට වූහ.

'මෙව්ව පෙන්නන්නද යකෝ මාව එක්කරගෙන ආවේ. අර බලපං අරකි ඉන්න ලස්සන... අරූට තුරුල්වෙලා... මුංගෙ මහ එවුන් මොනවට මුං හැදුවද මං අහන්නේ... වනචර හැත්ත...'

'සද්ද නැතුව ඉන්නකෝ ආච්චි...'

'සද්ද නැතුව ඉන්න... මොනවටද මං කියන්නේ අර... අර බලපං අරකි අරූට තුරුල්වෙලා ඉන්න හැටි... මුන්ට විළිසංගෙ නැද්ද මං අහන්නේ...'

'ඔහොම තමයි ආච්චි බැල්කනිය...'

'තෝ මේව පෙන්නන්ද බොල මං මේකට එක්කං ආවේ... මේව බලල තමයි උඹත් නරක්වෙලා තියෙන්නෙ... මුන්ට ගෙවල් නැද්ද මං අහන්නෙ මඟුල් නටන්න මේ වගේ වැදගත් තැන්වලටම එන්නේ... යමං යන්න ඒ චිත්තර පටියෙන් කමක් නෑ...'

ආච්චි සීලවතී නංගිත් ඇදගෙන ඉස්සර වූවාය.

'අර අර... පේනවද අරුන්ගෙ අත් එහෙම තියෙන තැන්... තුඃ නොදකින්...'

ආච්චි එලියට එන ගමනුත් තරුණ යුවලක් දෙස රවා බැලුවාය. ඔවුන් තුබූ තැන්වලින් අත් ඉවතට ගත්තේ විදුලි වේගයෙනි.

'ඇයි යන්නේ චිත්‍රපටිය බලන්නෙ නැද්ද...?' මැනේජර් සීලවතී නංගීත් ඇදගෙන යන කරලැයින් ආච්චිගෙන් ඇසුවේය.

'නෑ... නෑ... මහත්තයාට පිං අයිති වෙච්චාවේ ඊට වඩා හොඳ චිත්තර පටියක් අපි බැලුව...'

කරලැයින් ආච්චී සමග බැල්කනියට යාමෙන් මා කරගත් බ්‍රහ්ම ගොන්කම නිසා සීලවතී නංගී සමග නිවී සැනසිල්ලේ චිත්‍රපටියක් බැලීමට තිබූ භාග්‍යයද අහිමි වීමෙන් මන්ත්‍රීවරයෙකුට චිට් එක දුන් ගමන්ම පාර්ලිමේන්තුවට යාමටත් කලින් චිට් එක උදුරා ගැනීමේදී ඇතිවන තරමේ දුකක් කණගාටුවක් මට ඇති විය.

ඉතින් නම් මේ සම්ම ජාතියේ චිත්‍රපටියක් බැලීමට යාමට මට ආච්චීගෙන් අවසර ලබා ගැනීමට නොහැකි වනු ඇත.

සුනන්ද කෝදාගොඩගේ විනෝද රසාංග පොතෙනි. මේ කතාවේ මුලින් ම සඳහන් වන සිල් ගැනීමේ කතාව ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

වැඩිදුර රසවින්දනය සඳහා... මේ විඩියෝ එක නැරඹීමෙන් ඔබට "පිංගුත්තර විස්ථාපන කැකිරි වල් පෙරේතයෙකු" යනු කවරෙක්දැයි තේරුම් ගත හැකි වනු ඇත.

මේ දවස්වල කකුලෙ සුළැඟිල්ල ටීපෝ එකේ කකුලෙ වැදුනත් රිද්ම් ඔෆ් ගිටාර් වන බැවින්...


Thursday, August 7, 2025

ක්ලැරන්ස් - ගිටාරයේ රිද්මය 5 - ගෝල්ඩන් චයිම්ස් ගැන තවත් විස්තර

මේ මම උපුටාගන්නේ ෆේස්බුක් හි ක්ලැරන්ස් රසික සමූහයේ Prabhath Prabhath මහතා ගේ ලිපියක්...


👉👉අමිරැ ජයමහ මහතාට නොලියුනු දෙයක් ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා තිබු නිසා ,මම ද මුන්ස්ටෝන්, ගෝල්ඩන් චයිම්ස් , සුපර් ගෝල්ඩන් චයිම්ස් හා විශේෂයෙන්ම ක්ලැරන්ස් විජේවර්ධන මහතාට අතිශයින්ම ගරැ කරන කෙනෙක්  ලෙසින් මේ තොරතුරැත් ඉදිරිපත් කිරීමට සිතුවෙමි..

 1970 අප්‍රේල් මාසයේදී,  ක්ලැරන්ස් විජේවර්ධන ප්‍රමුකව ශානක විජිත් එකතුවී" ප්‍රසංගයක් පවත්වමු!" කියලා යෝජනා වෙනව.  ඔවුන් එය "Breakaways from the Moonstones" ලෙස හැඳින්වූ අතර එය මොරටුවේ ශුද්ධ වූ එමානුවෙල් පල්ලියේදී සිදු විය. ප්‍රධාන ගිටාර් වාදකයෙකු වන ඇන්ටන් ගුණතිලක එම ප්‍රසංගය සඳහා එක් වුණා. එය අතිවිශිෂ්ට ප්‍රසංගයක් වුණා!

ඉන්පසු අලුත් කන්ඩායමක් ආරම්භ වෙනවා.

ක්ලැරන්ස් විජේවර්දනයන්ගේ ගායන දිවිය මල්වර ගැන්වෙන්නේ ඊට පසුව.ඉන් පසු ආරම්භ වුනේ ඔහුගේ දෙවන උපතයි. ඒ ගෝල්ඩන් චයිමස්  කන්ඩායම නිර්මානය වීම.

ඒ ප්‍රසංගයෙන් පස්සේ, ජෙරල්ඩ් වික්‍රමසූරිය. මහතා 1970 දී ඒ කණ්ඩායම "Golden Chimes" ලෙස නම් කරනවා. (ඉතින් ඒක තමයි Golden Chimes සංගීත කණ්ඩායමේ ආරම්භය.

1970 අවුරුද්දේ මැද දී ඩික්සන් ගුණරත්න Lead guitar වාදකයා ලෙස Golden Chimes කණ්‌ඩායමට එකතු වුණා. ක්ලැරන්ස් rhythm ගිටාරයෙන්, චානක පෙරේරා bass ගිටාරයෙන්, ඩික්සන් ගුණරත්න lead ගිටාරයෙන් සහ විජිත් පීරිස් drums වාදනයෙන්. ඔවුන්ගේ පළමු EP තැටිය, නාමාවලිය CHB අංක 014 ) "The Dynamic New Sound of the Golden Chimes" ලෙස නිකුත් කළා,

. 'පාට පාට රන්තටු', 'සිහින් සිනාවයි', 'කිමද නාවේ' සහ 'මගේ පැල්පතේ' .ඉන් එලිදැක්වුනා

1971 දී අනිල් භාරතී සහ ලාංකිකා Golden Chimes කණ්ඩායමට ගායනයෙන් දායක වෙනවා. ලංකිකා පෙරේරා, ශ්‍රී ලංකාවේ සංගීත කණ්ඩායමක main female vocalist කෙනෙකු වූ පළමු කාන්තාවන්ගෙන් කෙනෙක්. ඔවුන් තවත් EP තැටියක් Philips ලේබලයෙන් නිකුත් කළා. (Super tone නාමාවලිය VTA අංක 1007)  දරන මේ නිකුතුවේ  'මලයි වැලයි', 'සිහිල් නුවන්', 'සුරඟන වෙස් වලා' සහ 'මාගේ වියෝවෙන්' යන ගීත.එලිදැක්වුනා 'අනිල් භාරතී කන්ඩායමට එකතුවුනේ බටහිර ගීත ගයන්න. එකල ලාංකිකාද සිංහල මෙන්ම බටහිර ගී ගායනයටද දස්කම් දක්වූවා.නමුත් ශානක පෙරේරාගේ ඉල්ලීම මත ක්ලැරන්ස් විසින් අනිල් බාරතීට අද වෙයි ඉරු දින', 'මා ආදරෙයි නංගියේ' වගේ  ගීත ගයන්නට අවස්තාව උදාකර දුන්නා  ඔහු ගැයු "බෙත්ලෙහෙම්පුරේ" කියන නත්තල් ගීතය අදටත් ඉතා ජනප්‍රිය ගෝල්ඩන් චයිම්ස් මතකයට නංවන ගීයක්.

1971 චානක සහ ලංකිකා විවාහ වෙනවා.ක්ලැරන්ස් ඔවුන්ගේ විවාහ මංගල්‍ය වෙනුවෙන්ම "රන් සීනු හැඬවී" ගීතය  නිර්මානය කර දෙනවා .ඒ දෙව්මැදුරේ ඔවුන් එකතුවී ගයන්නට. එය අපූරු ගීතයක් නමුත් ඔවුන්ට එය පටිගත කරන්න තියන අවස්තාව නැතිවී යනවා  ඉරු දින', 'සඳයි තරුයි', 'තක්කිට තරිකිට', 'මුහුදු රැල්ල' යන ගීත එලිදකින්නේ ඊට පසුව  1972 සිහින පතුම් විමනේ  රස මිහිර ගෙනා පුතුනේ සහ රන් මොනරුන්  (ලන්කි මගේ පෙම්බර මිතුරී) ගමෙන් ලියුමක් යුග ගීතය  යන ගීත නිර්මානය වෙන්නේ ලන්කිකා  ඇතුලුවයි. (මේ බව 2000 ප්‍රසංගයේදී ලන්කිකා පැවසුවා)  සිහින පතුම් විමනේ ගීතය නිර්මානය වෙන්නේ ලංකිකාට ඒ ඇගේ පුතා වෙනුවෙන් .නමුත් ඒ ගීතය අැයට කියන්නට ලැබෙන්නේ නැහැ. ඒ ගොල්ඩන් චයිම්ස් කන්ඩායමෙන් ක්ලැරන්ස් සහ ඩික්සන් ඉවත් වීම නිසා..ඔවුන් සඅපර් ගෝල්ඩන් චයිම්ස්. ලෙසට අලුත් කංඩායමක් හදනවා.ඒ ගීතය ක්ලැරන්ස් නැවත අැනස්ලී මලවන සමග එකතුවී සුපර් ගෝල්ඩන් චයිම්ස් නිර්මානය වීමත් සමගම නැවත ගායනා කරනව.

👇👇👇👇👇👇👇👇👇

ගෝල්ඩන් චයිම්ස් නැවත අලුත් වෙනවා

ඒ වෙනුවට රුක්ශාන් පෙරේරා  ලක්ප්‍රිය ද සිල්වා සහ ලයසින් දසිල්වා එකතු වෙනවා.ලයසින් එකතුවෙන්නේ ඕර්ගන් වාදකයෙක් ලෙසට.

ක්ලැරන්ස් ගෙනා ශෙෙලිය  කන්ඩායම් ගී බටහිර ගී රටාව  නොබිදී ඉදිරියටම ගෝල්ඩන් චයිම්ස් ගෙන යනවා. ඉන් පසු ඔවුන් "අදුරට බැන බැන" ,සිහිවේ, සිහිනිඟ වටකුරු, පුතු නිදියයි ,ගීත එලිදක්වනවා ඒ ගීත නිර්මානය වෙන්නේ ලක්ප්‍රිය ද සිල්වා තුලින්. මොලකැටි පුතුනේ ගීතයට ගුවන්විදුලි තහනමක් ආවා කියා කතාවක්ද තිබුනා. පසුව රුක්ශාන් පෙරේරා  ඉවත් වී ක්ලැරන්ස් ට එකතුවෙනවා  සමගම ජයන්ත සිරිමාන්න එකතු වෙනවා ගෝල්ඩන් චයිම්ස්ට. ගමෙන් ලියුමක් පිලිතුරු ගීය ,මා මතක නති කලාට,  වැනි ගීත එලි දක්වෙන්නේ ඉන් පසුව. එලෙස ඔවුන් තවත් තැටි තුනක් පවා නිකුත් කිරීමට හැකි වුණා. ඒක ඇත්තටම ධෛර්යයක්.

ක්ලරන්ස් විජේවර්දන ඉවත් වුනත් කන්ඩායම නොබිදී තියාගනිමින් ඔවුන් සිංහල ගීත මෙන්ම බටහිර ගීත තුලින්ද  කන්ඩායම වර්ණ ගන්වමින් ගුවන්විදුලි වඩසටහන් දියත් කරා..මේ කාලය වන විට ගුවන් විදුලියේ කන්ඩායම් ගී වලට තිබුන අවස්තාවන් හීන වේගෙන යන යුගයක් වුනා. හදිසියේ ලක්ප්‍රිය සහ  ලයසින් යන දෙදෙනා කන්ඩායමින් ඉවත් වී එවකට ක්ලරන්ස් විජේවර්දනයන් අරාම්භ කර තිබූ සුපර් ගෝල්ඩන් චයිම්ස් කන්ඩායමට එකතුවුනා.

1970 දශකය අග භාගය වන විට චානක පෙරේරා විදේශගත වෙනවා. ඒ වකවානුවේ ලාංකිකා නිර්මාන කිරීමෙන් බහැර නොවී ගීත කීපයක් පටි ගත කලා. ඇය, කරුණාරත්න අබේසේකරයන්ගේ පද වලට ප්‍රියා පීරිස් ගේ තණු නිර්මානයෙන් ගුවන් යානය ,දිනක සයුර රත්තරනේ වැනී ගීත  එලිදක්වුවා.

පොඩි නිහැඬියාව බිදිමින් 1980 දි ගෝල්ඩන් චයිම්ස් යලි කරලියට ආවා. ඒ බටහිර සහ සිංහල කන්ඩායම් ගී දෙකම සමබරව ගයන කන්ඩායමක් ලෙස .එහි ශානක පෙරේරා ලන්කිකාගේ සොයුරු ඩොල්ලා පීරිස් ,නිහාල්, රවීන්ද්‍ර සහ සහ තිලක් යන සාමාජිකයන්ගෙන් සමන්විතවුනා. ඒ ප්‍රසිද්ද වේදිකාවට අමතරව දකුනේ සංචාරක හෝටල් වල සංගීතය සපයන කණ්ඩායමක් ලෙසයි.පසුව නොයෙක් වර කාලය සමග නිහාල් අස්මොන් සුරෙශ්නි පෙරේරා රන්ජන් ප්‍රනාන්දු ටෙරී මිස්කින් ,ජගත් පීරිස්,කන්ඩායම නියෝජනය කලා.

1987 ඔබ්සවර් පුවත් පත සන්විදානය කල "මියුසිකල් ස්ටාර්ස් " Musical Stars Musical සම්මාන උලෙලේ ජනප්‍රියම කන්ඩායමට (most Popular Band of The Year) හිමි සම්මානය හිමි කර ගන්නට ගෝල්ඩන් චයිම්ස් කන්ඩායමට හැකිවුනා .ඒවනවිට ඩ්‍රම්ස් වාදනයෙන් ශිරාස් සුදර සහ ලන්කිකාගේ සොයුරු ලක් දේවා කන්ඩායම නියෝජනය කරමින් සිටියා....පසුව වරින් වර එකතුවූ ශිරාන් ගෝමස්. අසන්ජී වික්‍රමසින්හ .බචී සෙට්ටමිගේ දිස්නක දනසේකර කන්ඩායම ඉදිරියට ගෙන ගියා ඒ ඔවුන්ගේ මල්බර යුගය වුනා.1991 දී බටහිර ජනප්‍රිය ගී  අසුරෙන් 'මායා " නමින් අල්බමයක් එලි දක්වුනා ඒ ගීත ගයුවේ ලන්කිකා සමග ලක් දේව් විසින්.  කුසුමන්,සමරු පොතේ,තාරුකා, ලදක් අනුලාවන් වගේ, පහන් තරුව,  ආදර කුමරුනි, ඉන් කීපයක්.ඒ වෙනකොට කන්ඩායම් ගී පොකුරට එකතුවුනු මායා ඇල්බමයේ ගීත රචනා කලේ ලක්දේව විසින්.ඒ ගීත විවිද අර්තයන්ගෙන් සමන්විත වුනා

1980 දශකය වන විට ලංකාවේ හොඳම dance bands 5න් එකක් බවට golden chimes පත් වෙනවා. බොහෝමයක් celebrations වලට සෑම කෙනෙකුටම Golden Chimes නැතුවම බැරි band එකක් වුණා!

2000 දී, ඔවුන් ඔවුන්ගේ 30 වන සංවත්සරය සැමරුවා! මොරටුව බෞද්ද මන්දීරයේ පැවැත්වූ මෙම ප්‍රසන්ගය ශාලාව පිරී ඉතිරී යන ප්‍රසන්ගයක් වුනා   ලක් දේවා රචනා කල මුතු සැමරුම් විශේශ ගීයක් ඔවුන් එදා ගායනා කල එය නැවත පටිගත කිරීමක් වුනේ නෑ . ලන්කි මගේ පෙම්බර මිතුරී යන රන් මොනරුන් ගීය ශානක එදා ගායනා කල ඒක විශේශ සිදුවීමක් සිරස මාද්ය තුලින් මෙම ප්‍රසන්ගය එලිදක්වූවා

පෙර යුගයේ තහනම් වූ "ගමෙන් ලියුමක් පිලිතුරු ගීය" ලක්දේව විසින් ගැයුවා. කඩායම් ගී ශෙෙලිය ඉදිරියට  ගෙනයමින් ඔවුන් නව ගීත කීපයක් එලි දක්වූවා යොවුන් වසන්තේ ,හිරු නැගීලා ,කුරුලු කැදැල්ලේ ,සිතුම් නිල් දියේ ,ඉන් කීපයක් .

එම වසරේම ඔවුන්ගේ පලමු සී ඩී තටිය "කිමදනාවේ "නමින් තොරානා ලේබලය යටතේ එලි දක් වුනා.එහි ලක් දේවා විසින් නව ගීත 7 ක් නිර්මානය කර තිබුනා,

ශානක පෙරේරා විසින් ඔහුගේ කුලුදුල් ගීය "සාගර වෙරලේ "නමින් එහි අඩංගු වුනා.එහි පද තනු නිර්මනය වුනේ ලක් දේවා අතින් .ශානක ග‍ායනා කලා.  ගලා හැලෙනා ,දලදා පෙර හැර සිහින් සිනාවයි සිහින සාගරේ , ආදරයක් අතුලු පෙර ගැයු සහ නව ගීත වලින්  එය රසවත් වුනා. 70 දශකයේ ශෙෙලියේ  ගී නිර්මාන කරනයේ අඩුවක් නොලද ගොල්ඩන් චයිම්ස් කන්ඩායමට.විදේශීය අරයුම් ගලාගෙන ආවා.

දෙස් විදෙස් තුල සංචාරක ව්‍යාපාරය තුල ඉහල ප්‍රතිචාර ලබමින් ඔවුන් ඉදිරියට යද්දි ක්ලැරන්ස් විජේවර්දනයන්  සමග ප්‍රසංග වලදි ඔවුන් නැවත හමුවුනා. පෙර මුසු කල ගී රසය නැවත අලුත් වුනා එවකට ක්ලැරන්ස් සුපර් ගෝල්ඩන් චයිම්ස් කන්ඩායමේන් ඉවත්ව අලුත් කන්ඩායමක් නිරිමානය කලා "මදාරා"නමින්. නව ගීත කිරීමට ආරාදනාවක්ද. ගෝල්ඩන් චයිම්ස් කංඩායමට ලබුනා,

කාලය සමග ලන්කිකා ප්‍රමුක ගෝල්ඩන් චයිම්ස් කන්ඩායමට 2024 වනවිට  වරින් වර නව සාමාජිකයක් එකතු වුනා ප්‍රිමල් ප්‍රනාන්දු පුශ්ප ඩයස්, එරංග,කමල් ගාල්ලගේ  ඉන් කීපයක්..කන්ඩායම් සන්ගීතයේ නොනැවතුන ගී මතක ගෝල්ඩන් චයිම්ස් ගැන දත් නොදත් තොරතුරු ඔබට තිලින කලේ ඉතා සතුටින්. මේ තෝරතුරැ වලින් පෙන්වන්වන්නේ ක්ලැරන්ස් ඉදිකල මාවත දිගේ ඔහු බිහි කල ගෝල්ඩන් චයිම්ස් කංඩායම කොතරම් දුරක් අාවාද යන්නයි. ක්ලැරන්ස්ගේ ශෙෙලියට බිඳක්වත් හානි නොකර ගෝල්ඩන් චයිම්ස් ඉදිරියටම ගෙනා ඒ පරපුරට ස්තුතියි. 🙏🙏🙏

වැඩිපුර බලපු ලිපි